වෙබ් ලිපිනය:

Tuesday, May 7, 2024

විදේශ සංචිත වේගයෙන් ඉහළ යයි!


මහ බැංකුවේ පවත්වා ගෙන යන රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ගෙවුණු අප්‍රේල් මාසයේදී තවත් ඩොලර් මිලියන 478කින් ඉහළ ගොස් තිබෙනවා. පෙර මාසයේදීද විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 440කින් ඉහළ යාම සැලකූ විට මෙය දෙමසක් ඇතුළත ඩොලර් මිලියන 918කින් විදේශ සංචිත ඉහළ යාමක්. අප්‍රේල් මාසය අවසානයේදී රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,438ක්.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ තොරතුරු එළිදරවු වීමෙන් පසුව විණිමය වෙළඳපොළෙහි ඇති වූ කම්පනය ඉතා ඉක්මණින්ම සමනය වී ඇති බව දැකිය හැකියි. මේ හා අදාළව ඇති විය හැකි නරකම තත්ත්වය දැන් රහසක් නෙමෙයි. එම නරකම තත්ත්වය වුවද එතරම් නරක තත්ත්වයක් නෙමෙයි. 

මේ වන විට ශ්‍රමික ප්‍රේෂණ ප්‍රවාහ ස්ථාවර වී ඇති අතර සංචාරක කර්මාන්තයේ ආදායම් වල සැලකිය යුතු වැඩිවීමක් දැකිය හැකියි.  වාහන ආනයන සිදු නොවෙන පසුබිමක වුවද, ඉහත සඳහන් මාර්ග දෙක හරහා රටට ලැබෙන විදේශ විණිමය ප්‍රවාහ වලට සාපේක්ෂව ආනයන ඉල්ලුම විශාල මට්ටමක නැහැ. එම තත්ත්වය තුළ, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීම මගින්, රුපියල "ඕනෑවට වඩා" ශක්තිමත් වීම පාලනය කරමින් සිටිනවා. 

ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය ගැන වසර නවයක කාලයක් තිස්සේ අප මෙම වියුණුව හරහා පැහැදිලි කිරීම් හා විග්‍රහ කිරීම් සිදු කර තිබෙනවා. එම කාලය තුළ අප විසින් දිගින් දිගටම පෙන්වා දුන්නේ රටේ ගෙවුම් ශේෂ අර්බුද වලට ප්‍රධානම හේතුවක් වන්නේ විණිමය අනුපාතය නිදහසේ තීරණය වන්නට ඉඩ නොදී එය පාලනය කරන්නට යාම බවයි. 

විණිමය අනුපාතය පාලනය කිරීම නිසා ගෙවුම් ශේෂ අර්බුද පැමිණෙන බව කීවත් වඩාත් නිවැරදිව කිවහොත් ප්‍රශ්නය වූයේ විණිමය අනුපාතය පාලනය කිරීම මගින් රුපියල ඕනෑවට වඩා ශක්තිමත්ව තබා ගැනීමයි. ලංකාවේ දිගින් දිගටම සිදු වූයේ එයයි. විණිමය අනුපාතය පාලනය කිරීම රුපියල දුර්වල මට්ටමක පවත්වා ගත්තේනම් මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. 

වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම පැහැදිලි කළත්, අපේ බොහෝ පාඨකයින් වුවද අප කියූ දෙය තේරුම් ගත්තේ හෝ විශ්වාස කළේ නැහැ. පසුකාලීනව වුවත් බොහෝ දෙනෙකුට තිබුණේ මෙවැනි ප්‍රශ්නයක්.

"ආණ්ඩුව විසින් එක ඩොලරයක් හෝ උපයන්න කිසිම දෙයක් නොකර රුපියල ශක්තිමත් විය හැක්කේ කොහොමද?"

ආණ්ඩුව ඩොලර් උපයන්න මොනවා හෝ කර තිබේද, කළ යුතුද, වගේ දේවල් වඩා දේශපාලනික කරුණු. එසේ කර තිබීම හෝ නොතිබීම වගේම එසේ කළ යුතුද යන්න විණිමය අනුපාතය කෙරෙහි බලපාන්නේ ද්වීතියික කරුණු ලෙසයි. ඒ කිසිම දෙයක් සිදු නොවුනත්, ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම මත තීරණය වීමට ඉඩ හැරිය විට වෙළඳපොළ විසින් ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳෙනවා.

රුපියල කෘතීම ලෙස ශක්තිමත්ව තබාගත් විට හැමෝටම කෙසේ වෙතත් විණිමය වෙළඳපොළ හැසිරීම ගැන යම් අවබෝධයක් ඇති අයට මෙම තත්ත්වය කොයි වෙලාවක හෝ ආපසු හැරෙන බව පෙනෙනවා. එහි ප්‍රතිඵලය රටට එන විදේශ විණිමය ප්‍රවාහ සීමා වීම සහ රටෙන් යන විදේශ විණිමය ප්‍රවාහ ඉහළ යාමයි. ඒ නිසා, රුපියල කෘතීම ලෙස ශක්තිමත්ව තබා ගැනීමට උත්සාහ කිරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ එය වඩාත් දුර්වල වීමයි.

ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළේ ඉලක්ක අනුව මෙම වසර අවසාන වෙද්දී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,128ක් දක්වා ඉහළ නංවා ගත යුතුයි. මේ සඳහා අවශ්‍ය වන්නේ තවත් ඩොලර් මිලියන 690ක් පමණයි. පසුගිය මාස දෙක තුළ පැවති තත්ත්වය දිගටම පැවතුණහොත් ජූනි මාසය අවසන් වන විට මේ ඉලක්කයට යා හැකියි. 

මැයි දිනයේදී නිවේදනය කෙරුණේ තේ කර්මාන්තයේ කම්කරුවන්ගේ අවම වැටුපෙහි වැඩි වීමක් සිදු කෙරෙන බවයි. මෙය සිදු වන්නේ ඩොලරයක මිල පහත වැටීම දැනටමත් තේ නිෂ්පාදකයින්ගේ කණස්සල්ලට හේතු වී ඇති පසුබිමකයි. රුපියල තව දුරටත් විශාල ලෙස ශක්තිමත් වුවහොත් එය අපනයනකරුවන්ට දරා ගැනීමට අසීරු තත්ත්වයක් විය හැකියි. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියර ආසන්නයට පැමිණ ඇත්නම් එය රටේ විදේශ අංශය හා අදාළ ලොකු තීරණ ක්ෂණිකව නොගෙන එතෙක් කල් මරන්නට සාධාරණ හේතුවක්. එය එසේ වුවත්, නොවුවත්, දැනට පවතින වර්ධනයන් තුළ වාහන ආනයනය සඳහා තරමක් කලින් දොර හරින්නට ඉඩකඩ විවෘත වී තිබෙනවා. මෙම අවස්ථාව මැතිවරණ අල්ලස් ලෙස වාහන ආනයන බලපත්‍ර ලබා දීම වෙනුවෙන් නොයොදවා, රටේ ආර්ථික ප්‍රමුඛතා මත පදනම්ව සිදු කරන්නේනම් එයින් රජයේ බදු ආදායම්ද වර්ධනය කරගත හැකියි. 

පසුගිය මාසයක ත්‍රිරෝද රථහිමියෙකු විසින් අදහස් දක්වමින් කියා සිටියේ වාහන ආනයනය සඳහා නැවත ඉඩ ලබා දෙන විට ත්‍රිරෝද රථ සඳහා ප්‍රමුඛතාවය ලැබිය යුතු බවයි. ත්‍රිරෝද රථ කියන්නේ ඇත්තටම ලංකාවට ගැලපෙන වාහනයක්. ඒ වගේම, ඒ හරහා ඉහළ යන ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ සමාජ ස්ථර දක්වා විහිදී එම සමාජ ස්ථර වල සිටින්නන් සවිබල ගන්වන්නක්. ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනෙන ලොරි, කුඩා ලොරි, වෑන් ආදියෙහිද එවැනි ආර්ථික බලපෑමක් තිබෙනවා. 

රටට ලොකු ආර්ථික බලපෑමක් නොමැතිව රටේ විණිමය සංචිත හින්දවීමට පමණක් දායක වන්නේ පෞද්ගලික භාවිතය සඳහා යොදා ගැනෙන, ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු, මිල අධික වාහනයි. බදු රහිතව ආනයනය කරන්නට ඉඩ ලැබුණහොත් හානිය තවත් වැඩියි. 

12 comments:

  1. දැන් නං රටේ කෙරෙනා වැඩ බොහොම ගොඩක්
    ඡන්ද බලාගෙන දානා පන්නෙ ඇමක්

    ReplyDelete
  2. ත්‍රිරෝද රථ කියන්නෙ සාපයක්. හංදි හංදි ගානෙ රටේ තරුණ ජවය ඊසි මනි වෙනුවෙන් කල්මරවන අටමගලයක්...ඊට අමතරව, වාහන තද බද, අනතුරු වැඩි වෙන්නත් මේවායෙ හැසිරීම බලපාලා තියනවා..

    ReplyDelete
    Replies
    1. තනිකරම ඇත්ත.....

      Delete
    2. ඇත්ත, අනෙක පරිසර දූෂණය, සහ ඊටත් වඩා සේෆ්ටි නැත්තටම නැති මාරකම වාහනයක්, ඊට වඩා ඕනමනම් අඩු වියදමකින් කුඩා නවීන ආරක්ෂිත රෝද හතරේ විදුලි ටැක්සි රථ සහ පාක් වල සූර්ය පැනල මගින් ඒවා ආරෝපණය කරලා කරන්න පුළුවන්.

      සේරටම වඩා හොඳම දේ පොදු ප්‍රවාහනය දියුණු කිරීම, පෞද්ගලික අංශයට විවෘතව විදුලි බස්රථ ආනයනය කිරීමට සහ ඒවා ධාවනය කිරීමට අවසර ලබාදී රජ මිල තීරණය නොකර මෘදු ලෙස නියාමනය කිරීම සහ අවම බදු ආදායමක් යටතේ අවස්ථාව අනුව මිල නියම කිරීමට අවසර දිය යුතුයි. පීක් hours වල සහ රාත්‍රියට වැඩි ගණන් සහ දවල්ට අඩු ගණන් ලෙස ඉල්ලුම අනුව මිල තීරණය කිරීමට ඉඩ දිය යුතුයි

      ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රවාහනය ප්‍රතිව්යුහගත කර පෞද්ගලික අංශයට කාගෝ දුම්රිය පැදවීමට සහ අවශ්‍ය නම් මගී දුම්රිය පැදවීම ලබාදී දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ට එම ආයතන වලට දෙන සේවාව අනුව අමතර ගෙවීමක් ලැබෙන ලෙස ක්‍රමයක් සකස් කිරීම අත්‍යවශ්‍ය දෙයක්

      ඔය ත්‍රීරෝද රථ හූචක්කු වෙනුවට ලස්සන කූඩා විවෘත විදුලි රථ සංචාරක කලාප වල පමණක්ම දාන්න පුළුවන් තායිලන්තය මැලේසියාව වියට්නාමය වගේ පෞද්ගලික අංශයේ මැදිහත්වීම මත

      Delete
    3. ඇත්ත , ත්‍රී රොද රථ රියදුරන් හිම්ක්මවීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා

      Delete
    4. ලංකාව තුල අනවශ්‍ය ලෙස මාර්ග තදබදය සහ ඉන්ධන නාස්තිය වගේම නිෂ්පාදන කර්මාන්ත කඩාවැටීමට බලපෑ ප්‍රධාන සාධකය වන තරුණ ශ්‍රමය අහිමි කරන ත්‍රී රෝද රථ භාවිතය ප්‍රචලිත වීමට හේතුව පොදු ප්‍රවාහනය නිසි පරිදි ගුණාත්මක ලෙස දියුණු නොවීමයි. පසුගිය වසරවල ලංකාවේ මාර්ග අනතුරුවල සංඛ්‍යාලේඛණ සසඳලා බැලුවත් වැඩිම අනතුරුවලට භාජනය වෙලා තියෙන රථය වෙන්නේ යතුරු පැදියයි. ඊළඟට ත්‍රී රෝද රථ අනතුරු වැඩිම වාහන වර්ගය ලෙස වාර්තා වනවා

      ලෝකයේ හොඳම පොදු ප්‍රවාහනය පවතින චීනය සහ හොංකොං වගේම සිංගප්පූරුව වගේ වාණිජ නගර වලින් ලංකාවට මේ ගැන තේරුම් ගෙන පොදු ප්‍රවාහනය දියුණු කරන්න පුළුවන් වේවි

      දැනටමත් ලංකාව ඉන්ධන නිෂ්පාදන නොකරන රටවල් 42 අතුරෙන් දෙවනියට අඩුම fuel tax තියෙන රටයි, ඒ වගේම
      ලංකාවේ ගෘහස්ථ වියදමෙන් ප්‍රවාහනයට 25.9% යන එකත් එය ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන තුනටම වඩා වැඩි (4.5%) වීම ලොකු ප්‍රශ්නයක්

      ලංකාවේ යාන්ත්‍රික වාහන භාවිතය motorization පුද්ගලයින් දාහකට 257 ක්! මේක ලෝකයේ ඉතාම වැඩිම තත්ත්වයක්. ඒ වගේම ලංකාව දරාගන්න බැරි වියදමකින් තමයි මේක කරලා තියෙන්නේ, ඒක පුද්ගල ආදායම ඩොලර් 3500 - 4000 අතර ලෝකයේ පහළ මධ්‍යම පන්තියේ තියෙද්දිත්..මේකෙන් තුනෙන් එකකට වඩා ත්‍රීවිල් සහ මෝටසයිකල්, ඒවත් කාර් වුනොත් රටට දැන් තියෙන පාරවලට වඩා දෙගුණයක් පාරවල් ඕන වේවි.

      මේවන විට ගෝලීය වෙළඳපොල තුල 80$ + තියෙන බොර තෙල් බැරලයක මිල ඩොලර් පනහට බැස්සත් ලංකාවේ සම්පූර්ණ ආනයන වියදමින් 10% මහාමාර්ග වල දවන වාහන ඉන්ධනවලට පමණක්ම යනවා.

      දැන් තෙල් ආනයන මිල අනුව ලංකාවේ මුළු ආනයන වියදමෙන් භාගයකට වඩා වාහන සහ මාර්ග අලුත්වැඩියාව, ඉන්ධන වගේ ඒධාට යනවා. මේක බරපතලයි

      ලංකාවේ මුළු GDP එකෙන් 11% කට වඩා දැනටම මහාමාර්ග වල දවා පුච්චනවා. ඒ මාර්ග තදබදය නිසා පාරේ පුච්චන කාලයේ වියදම හැර! මේ තත්ව මත රට මළාට ගොඩ නොයන බව දැන දැනත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන් ආයි වාහන ගේන්නත් හදනවා

      ශ්‍රී ලංකා මහා බැංකු වාර්ෂික වාර්තා මත පදනම්ව මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් දාම පිළිබඳව මහාචාර්ය අමල් කුමාරගේ Prof. Amal S. Kumarage සම්මන්ත්‍රණයකදී ඉදිරිපත් කළ කරුණු වලිනුයි ඉහත විස්තර හෙළිදරව් වුණේ

      ලෝකය මේ ප්‍රශ්නවලටඋත්තර හොයන්න පටන් අරන් සෑහෙන කලක්. චීනය වගේ රටවල් පුදුමාකාර විදියට පොදු ප්‍රවාහනය දියුණු කරලා තියෙනවා, එනමුත් ඒවා කරපු විධි වලින් ලංකාවට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් ලංකාවේ අය ඒ කිසිම දෙයක් කරන්නේ නෑ.

      මේ ආගාධයෙන් රට ගොඩගත හැකි එකම ක්‍රමය ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් මත, Renewables energy මත Electrified Public Transport සහ විදුලි සහායක පාපැදි සහ කුඩා ස්කූටර වගේ MicroMobility දියුණු කිරීම මගින් පමණයි!

      ත්‍රී රෝද රථ භාවිතය අධෛර්යය කිරීම වගේම ආනයනය තහනම් කිරිමෙන් සීමිත ආයු කාලයක් පවතින දැනට ඇති ත්‍රී රෝද රථ කල් ඉකුත් වන්නට ඉඩ හැරීමෙන් භේද අනවශ්‍ය බහුබූත වාහනය ලංකාවෙන්ම තොලොංචි කරන්න පුළුවන් වේවි කියල හිතෙනවා.

      Delete
  3. 'පසුගිය මාසයක ත්‍රිරෝද රථහිමියෙකු විසින් අදහස් දක්වමින් කියා සිටියේ වාහන ආනයනය සඳහා නැවත ඉඩ ලබා දෙන විට ත්‍රිරෝද රථ සඳහා ප්‍රමුඛතාවය ලැබිය යුතු බවයි. ත්‍රිරෝද රථ කියන්නේ ඇත්තටම ලංකාවට ගැලපෙන වාහනයක්. '

    මහත්තයා ත්‍රිරෝද රථයක් මිලදී ගන්න බලාපොරොත්තුව සිටිනා ලංකාවේ ග්‍රාමීය කොල්ලෙක් ද

    ReplyDelete
  4. ඉකොනෝ

    ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාර දියුණු වීම ගැන මේ ධම්මික පෙරේරා උන්නැහේ කියන කතාව ඇත්තද?

    https://www.facebook.com/share/v/yHabXVS1axEU8Myb/?mibextid=oFDknk

    ලංකාවේ සමාජවාදී අදහස් දරන අය කාලාන්තරයක් පුරා රටේ සිටින ව්‍යාපාර කරලා සල්ලි හදන අය සූරාකන්නන් තක්කඩියන් කපටියන් ලෙස හංවඩු ගැසීම අපහාස කිරීම නිසා ලංකාවේ බාල තරුණ පරපුර ව්‍යාපාර වෙතට නැඹුරු නොවී ආණ්ඩුවේ ස්ථිර රස්සා හොයන අය බවට පත් වීම වලක්වන්නටත් ඔවුන් ව්‍යවසායකත්වය හරහා මුදල් මවන්නට පුළුවන් අය කළ යුතු බවත් ඔහු මේ කියන කතා ප්‍රායෝගික භාවිතය තුල කිරීමට පුළුවන්ද කියල විස්තර කළ හැකි ද?

    ReplyDelete
  5. පසුගිය මාසයක ත්‍රිරෝද රථහිමියෙකු විසින් අදහස් දක්වමින් කියා සිටියේ වාහන ආනයනය සඳහා නැවත ඉඩ ලබා දෙන විට ත්‍රිරෝද රථ සඳහා ප්‍රමුඛතාවය ලැබිය යුතු බවයි. ත්‍රිරෝද රථ කියන්නේ ඇත්තටම ලංකාවට ගැලපෙන වාහනයක්//
    Well said.... some stupid sri lankens dont know or dont like to believe it...

    ReplyDelete
    Replies
    1. A Tuk Tuk which is also known as an auto-rickshaw, these vehicles that became popular in lesser regulated developing countries in Southeast Asia have since made their way around the world. The three-wheeled, open-air vehicles are exposure to the extreme pollution, the less comfortable ride and the expose to uncomfortable heat a excessive heat & noise if you stop at a traffic light for some time.

      Malaysia, Singapore, and other developed South-East Asian countries do not have tuk-tuks which are baned by the strict regulations like they do in Thailand, India, Bangladesh and Sri Lanka. However, except Sri Lanka, the other countries having Tuk Tuks also planning to remove them from their road network progressively, starting in the late 90s, provincial Governments of those countries except Sri Lanka started to limit these Three-Wheelers by banning them from main roads.

      Sri Lanka also had to follow them very soon refer to the Paris Agreement which is an international treaty on climate change that was adopted in 2015. The treaty covers climate change mitigation, adaptation, and finance. The Paris Agreement was negotiated by 196 parties at the 2015 United Nations Climate Change Conference near Paris, France agreeing to cut the greenhouse gas emissions which cause global warming. Adopted by 194 parties (193 countries including SL plus the EU) in the French capital on 12 December 2015.

      Delete
  6. වාහන ආනයනය සීමාව සම්පූර්ණ ඉවත් කළොත් ඔය එකතු කරගත්ත විදේශ සංචිත ප්‍රමාණය ඉක්මනට ඉවර වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ නිසා සීමිත වාහන වර්ග ප්‍රමාණයක් විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ මහා පරිමාණ ව්‍යාපාර වලට අත්‍යවශ්‍ය වන කුඩා ලොරි ට්‍රක්රථ සහ කුඩා වෑන් වගේම කන්ටේනර ප්‍රවාහනය කරන ප්රයිම් මූවර් රථ වගේ ඒවා, විශේෂයෙන්ම ජපානයේ භාවිතා කල වසර පහකට වඩා පැරණි වාහන ගේන්න දුන්නොත් ඉතා අඩු මුදලකට අරගෙන ඩොලර් ඉතුරු කරගෙන වැඩි කාලයක් භාවිතා කරන්න පුළුවන් වාහන ලබාගන්න පුළුවන් වෙයි, ප්‍රයිම් මූවර් නම් යුරෝපයේ විශේෂයෙන්ම එංගලන්තයේ වසර දහයක් පරණ ඒවා ගේන්න පුළුවන්

    අනෙක ඔර්ජිනල් ජපන් වාහන දැන් ලංකාවට ආනයනය කරන්නේ නෑ ...
    හේතුව ඉන්දියාව උපක්‍රමශීලීව ලංකාවේ යතුරු පැදි මාකට් එකේ සිට සියලුම වාහන මාකට් එක අල්ලමින් යනවා රජයට බලපෑම් කරමින් බදු ක්‍රම හරහා වංගු ගහමින්,

    දුකට කාරනයක්.😪

    උදාහරණයකට ලොරි ගත්තොත් ජපන් 8, 1/2 ලොරි ගෙනාවෙම නෑ ඉන්දීය බට්ටො නිසා හැබයි ඒ ජපන් ලොරියක් ගෙනාවනම් අවුරුදු 20 කට වඩා ලේසියෙන්ම වැඩ අරගෙන පට්ට ගහන්න තිබ්බ, බට්ට අවුරුදු 5 න් ඉවරයි,, අපරාදේ ඉන්දියාවට පුදන සල්ලි

    ReplyDelete
  7. අන්බයස්ඩ්May 13, 2024 at 11:49 PM

    ඉකොනොමැට්ටා රනිල්ට චන්ද අරං දෙන්න මෙහෙම ලියනවා නෙමෙයිනෙ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: