වෙබ් ලිපිනය:

Thursday, May 2, 2024

ශ්‍රම බලකා සහභාගීත්වය


කලින් සටහනෙන් ලංකාවේ විරැකියා අනුපාතය හා අධ්‍යපන සුදුසුකම් අතර තිබෙන සම්බන්ධයේ විකෘතිය ගැන කතා කළා. රටක විරැකියා අනුපාතය කියන්නේ කුමක්ද?

විරැකියා අනුපාතය කියා කියන්නේ රටේ ජනගහණයෙන් (හෝ වැඩිහිටි ජනගහණයෙන්) රැකියාවක් නොකරන ප්‍රතිශතයට නෙමෙයි. රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින එහෙත් රැකියාවක් නැති නිසා රැකියාවක් නොකරන ප්‍රතිශතයට. 

රටක ශ්‍රම බලකාය ලෙස හඳුන්වන්නේ මේ විදිහට රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින ප්‍රමාණයයි. රටේ වැඩ කළ හැකි වයසක සිටින ජනගහණයේ අනුපාතයක් ලෙස මෙම අගය ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ලෙස හැඳින්වෙනවා. රටේ රැකියා ප්‍රමාණය ඉහළ යද්දී වගේම ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය අඩු වෙද්දීත් විරැකියා අනුපාතය අඩු වෙනවා. දෙවැන්න හොඳ තත්ත්වයක් නෙමෙයි.

ලෝකයේ රටවල් අතරින් ලංකාව ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ගොඩක් අඩු රටක්. පහත තිබෙන්නේ තෝරාගත් රටවල් කිහිපයක සංසන්දනාත්මක දත්ත.

කටාර් - 89%

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 83%

ඉතියෝපියාව - 80%

කෙන්යාව - 74%

වියට්නාමය - 73%

නවසීලන්තය - 72%

බහරේන් - 72%

කුවේට් - 72%

සිංගප්පූරුව - 69%

ඉන්දුනීසියාව - 68%

තායිලන්තය - 67%

ස්වීඩනය - 67%

චීනය - 66%

ඕස්ට්‍රේලියාව - 66%

ස්විට්සර්ලන්තය - 66%

නෝර්වේ - 65%

මැලේසියාව - 65%

ඊශ්‍රායලය - 65%

කැනඩාව - 65%

ජපානය - 63%

එක්සත් රාජධානිය - 62%

ඇමරිකා එක්සත් ජනපදය - 62%

ජර්මනිය - 62%

බංග්ලා දේශය - 58%

ප්‍රංශය - 56%

ඉන්දියාව - 55%

පකිස්ථානය - 53%

ලංකාව - 51%

නේපාලය - 40%

ලෝක බැංකු වෙබ් අඩවියෙන් මුළු ලැයිස්තුවම බලාගන්න පුළුවන්. ලංකාවට වඩා පහලින් ඉන්නේ රටවල් 27ක් පමණයි. ඒ වගේම, ලංකාවේ මේ අනුපාතය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන බවත් නිරීක්ෂණය කළ හැකියි.

මෙය පහළ විරැකියා අනුපාතය තුළ සැඟවී තිබෙන අවධානය යොමු විය යුතු ප්‍රශ්නයක්. රටේ වැඩ කරන වයසේ සිටින ජනගහණයෙන් බාගයකටම රැකියාවක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියන්නේ වැඩ කරන ඉතිරි පිරිසට ඒ අයව නඩත්තු කරන්න වෙනවා කියන එකයි. 

විදේශික ශ්‍රමිකයින් විශාල පිරිසකට රැකියා සපයන මැද පෙරදිග රටවල වගේම සිංගප්පූරුවේත් ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ මට්ටමක තිබීම තේරුම් ගන්න පුළුවන්. චීනය, වියට්නාමය වගේ සමාජවාදී රටවලත් මේ අනුපාතය වැඩියි. සමාජවාදී ආර්ථික-දේශපාලන ක්‍රමය ඇතුළේ වැඩ නොකර සිටීමට වැඩි ඉඩක් නැති වීම ඊට හේතුව වෙන්න පුළුවන්. බටහිර ධනවාදී රටවල වෙළඳපොළ යාන්ත්‍රනය හරහා වැඩ කිරීම ප්‍රවර්ධනය කෙරෙනවා. වැඩ නොකර නිකම් හිටියොත් සුම්මා තමයි. අනෙක් පැත්තෙන් අප්‍රිකාවේ දුප්පත් රටවල් වලත් ශ්‍රම බලකා සහභාගීත්වය ගොඩක් වැඩියි. 

පොදුවේ ගත්තහම දකුණු ආසියානු කලාපයේ ශ්‍රම බලකා සහභාගීත්වය අඩුයි. එහෙම බැලුවහම මෙය කලාපයේ ප්‍රශ්නයක්. නමුත් ලංකාව ඉන්නේ ඉන්දියාවට, බංග්ලා දේශයට හා පකිස්ථානයටත් වඩා තරමක් පහළින්. මේ තත්ත්වයට කරුණු ගණනාවක් දායක වී තිබිය හැකියි. පහත තිබෙන්නේ ඒ අතරින් ප්‍රධාන කරුණු දෙකක්.

1. වැඩ කළ හැකි වයස් කාලයෙන් සැලකිය යුතු කොටසක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීම සහ එම කාලය තුළ ශ්‍රම බලකායෙන් මුළුමනින්ම බැහැර වී සිටීම. මෙය බටහිර රටවල සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

2. අපේක්ෂිත ජීවත්වීමේ කාලය ඉහළ ගොස් ඇතත් විශ්‍රාම ගන්නා වයස අනුරූප ලෙස ඉහළ නොයාම.

හැබැයි මෙහෙම පැත්තකුත් තියෙනවා. වැඩ කළ හැකි වයස් සීමාවේ අන්ත දෙකේ ඉන්න ඔය කණ්ඩායම් දෙක ශ්‍රම බලකායට එකතු වුනා කියලා ඒ අයට කරන්න රස්සා රටේ තියෙනවද?

මේ තත්ත්වයට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපනය (පළමු කරුණ) හා සෞඛ්‍යය (දෙවන කරුණ) සුබසාධනය කිරීම. මෙය අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කරන අරමුදල් කප්පාදු කළ යුතුයි කියා කරන යෝජනාවක් විදිහට වරදවා තේරුම් ගන්න එපා. නමුත් ඕනෑම රාජ්‍ය මැදිහත්වීමක හිතකර වගේම අහිතකර ප්‍රතිඵලත් තිබෙනවා.

අධ්‍යාපනය සඳහා ඉඩප්‍රස්තා ඉහළ යද්දී පුද්ගලයෙක් ශ්‍රම බලකායට එකතු වෙන එක ප්‍රමාද වෙනවා. නමුත්, ඒ විදිහට පහු වෙලා ශ්‍රම බලකායට එකතු වෙලා වුනත් වැඩි දායකත්වයක් ලබා දෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ පෞද්ගලිකව ගත්තොත් මුල් කාලයේ "නාස්ති කරන" කාලය වෙනුවෙන් පසුව පොලියත් එක්ක ප්‍රතිලාභ ලැබෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් පෞද්ගලිකව ආයෝජනය කරන කෙනෙක් එසේ කරන්නේ මේ ප්‍රතිලාභ දිහා බලාගෙන. (පොදු අරමුදල් වලින් අධ්‍යාපනය සුබසාධනය කළත් ඒ සඳහා වෙන් කළ යුතු කාලය පෞද්ගලික ආයෝජනයක්). 

සෞඛ්‍ය පහසුකම් සඳහා ඉඩප්‍රස්තා ඉහළ යද්දී ජීවත් වන කාලය වැඩි වෙනවා. නමුත් පුද්ගලයෙක් වැඩි කාලයක් ජීවත් විය යුත්තේ ඇයි? වැඩි කාලයක් ජීවත් වෙනවා කියන්නේ වැඩි කාලයක් දුක් විඳින එකනම් ඒ ජීවත් වීමෙන් ඇති වැඩක් නැහැ. ඒක පෞද්ගලිකව කෙනෙකුට පෙනෙන දෙය.  රටේ පැත්තෙන් තත්ත්වය කුමක්ද?

සෞඛ්‍ය පහසුකම් සඳහා වෙන් කරන පොදු අරමුදල් රටේ ප්‍රතිලාභයක් බවට පත් වන්නේ එහිදී ඉහළ යන ජීවිත කාලය සහ එම ජීවිත කාලයේ ගුණාත්මක භාවය රටේ ආර්ථිකය වඩා ශක්තිමත් කිරීමට දායක වන්නේනම් පමණයි. අධ්‍යාපනය සඳහා වෙන් කරන පොදු අරමුදල් රටේ ප්‍රතිලාභයක් බවට පත් වන්නේ එය රටේ ආර්ථිකය වඩා ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදු කරන ආයෝජනයක් වන්නේනම් පමණයි. ඔය දෙකම වෙන්නේ අනුරූපී ලෙස රටේ රැකියා අවස්ථා ඉහළ ගියහොත් පමණයි. 

ලංකාව මීට වඩා වැඩි වේගයකින් කාර්මීකරණය නොවන්නේ ඇයි? එසේ වඩා වැඩි වේගයකින් කාර්මීකරණය කිරීම අසීරු ඇයි? සරල පිළිතුර මේ සඳහා අවශ්‍ය වන ආකාරයේ ශ්‍රම සැපයුමක් රටේ නැති වීමයි. ශ්‍රම බලකා සහභාගීත්වය වැඩි කර ගැනීමටනම් රටේ ජීවත්වන, ශ්‍රම බලකායෙන් පිට සිටින අයව ආකර්ෂණය කර ගත හැකි ආකාරයේ රැකියා ජනනය වීමක් සිදු වීය යුතුයි. කාර්මික අංශයේ රැකියා ජනනය වුනත් බොහෝ විට ඒවා ලංකාවේ ශ්‍රම බලකායට ආකර්ශනීය වන එකක් නැහැ. 

3 comments:

  1. නලින් දසිල්වාගේ මරණය ගැන අපගේ බලවත් විරෝධය පලකර සිටිමු.

    ReplyDelete
  2. ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දාර්ශනික පඬිරුවන වූ විශ්වවේදය (cosmology) පිළිබඳව ලෝකප්‍රකට විද්වතකු වූ ද මහා ගණිතඥ මහාචාර්ය නලීන් කුමාර් ද සිල්වා ගුරුදේවයාණන් අභාවප්‍රාප්ත වී තිබේ.

    එතුමන් ඇමරිකා එක්සත් ජනපදයේ සිටින තම පුතුගේ සුව දුක් බැලීමට ගොස් සිටියදී හදිසියේම ඇතිවූ රෝගී තත්වයක් මත මෙසේ අවාසනාවන්ත ලෙස අභාවප‍්‍රාප්ත වී ඇත.ඒ වන විට ඒ මහතා 79 වන වියේ පසුවිය.

    ගණිතය පිළිබඳව විශේෂඥ දැනුමකින් යුතුවු මහාචාර්යවරයකු වු එතුමා කැලණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය. නලින් ද සිල්වා මහතා කලක් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

    ජාතික චින්තනය,නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය,භෞතික විද්‍යාව දේශපාලන මතවාද ආදී එකිනෙකට වෙනස් විවිධාකාර විෂයයන් සම්බන්ධයෙන් එතුමා තුල පැවති විශේෂඥ දැනුම නිසාම මහැදුරු නලින් ද සිල්වා ලෝක ප්‍රසිද්ධියක් උසුලනු ලැබීය.

    1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ ආචාර්ය නලින් කුමාර් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.

    ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පළ කළේය.

    නලින් ද සිල්වා මුලදී මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් මත ගෙන හැර පෑවේය.

    ඊට පසුව ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී මගේ ලෝකය ග්‍රන්ථය රචනා කළේය.

    මහාචාර්ය නලින් කුමාර් ද සිල්වා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල ගුරු සංගමයේ සභාපති ලෙසද කටයුතු කළේය. ඔහු විසින් පුවත්පත් ලිපි විසි දෙදහස් පන්සියයකට වඩා පළ කොට ඇති අතර සමාජ මාධ්‍යවල පෝස්ට් දහසය දහසකට අධික ගණනක් ද පළකොට ඇත.

    නිදහස් නිවහල් චින්තනයක් වෙනුවෙන් ඇප කැප වූ ඒ වෙනුවෙන්ම දිවියම කැප කළ එතුමන්ට…. ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා! මතු බුදු වන නාථ දෙවි පිහිටෙන් එතුමන් ප්‍රාර්ථනීය බෝධියකින් සංසාර දුකින් අත්මිදේවා !!

    ReplyDelete
  3. මෙතන රට ගිහින් වැඩ කරන අය මගහැරෙනවා නේද? ලංකාවෙ 10-15%පිට රට ඉන්න නිසා මේ අගය 65%+ වෙන්න ඔනේ. එහෙම බැලුවොත් පිරිමි 45% සහ ගැහැණු 15% (මුලු ජනග්‍රහනයෙන්) වගේ ශ්‍රමය ලබා දෙනවා.

    ප්‍රශ්නය කාන්තා ශ්‍රම දායකත්වය අඩුවීම.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: