Tuesday, November 3, 2015

බිඳ වැටුණු ටකෝමා පාලම


ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනය මා දන්නා තරමින් ආරම්භයේ සිට දිගටම සිදුකෙරුණේ ඉංග්‍රීසි බසිනි. මෙය කවර අවදියක හෝ සිංහලෙන් හෝ දෙමළෙන් සිදුවූ බවක් මා දන්නේ නැත. සිංහලෙන් හෝ දෙමළෙන් වසර දොළහක පාසැල් අධ්‍යාපනය නිමකර සරසවියට ඇතුළු වන ඉංජිනේරු සිසුවකුට මෙසේ එක්වරම සිදුවන සංක්‍රාන්තිය සැලකිය යුතු අභියෝගයකි. මහා ලොකු ඉංග්‍රීසි දැනුමක් නොතිබුණත් සරසවියකට ඇතුළු වන විට රජයේ ඉංග්‍රීසි උපගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි මටද මේ සංක්‍රාන්තිය විශාල අභියෝගයක් වීනම්, හරියකට ඉංග්‍රීසි ගුරුවරයෙකු හෝ නොසිටි පාසැල් වලින් පැමිණි සිසුන් මුහුණ දුන් අභියෝගයේ තරම සිතාගැනීම අපහසු නැත.

ඉහත තත්ත්වයට යම් විසඳුමක් ලෙස ඉංජිනේරු විද්‍යා දේශන ආරම්භ කිරීමට පෙර මාස කිහිපයක ඉංග්‍රීසි පුහුණුවක් සිදු කෙරුණේය. සරසවි දොරවල් ඇරී තිබෙනවාට වඩා වැසී තිබුණු, මා සරසවි පිවිසුම් ලබා සිටි සමයේ මේ පුහුණුවේ මුල් කොටස සරසවි වලින් පිටතදීත් දෙවන කොටස සරසවි තුළත් සිදු කෙරුණේය. මුල් කොටස සාමාන්‍ය ඉංග්‍රීසි පුහුණුවක් වූ අතර මෙය විවිධ විෂයයන් හදාරන සිසුන්ට පොදුවේ ඒ ඒ දිස්ත්‍රික්ක වලම පැවැත්වුණු අතර දෙවන කොටසින් ආවරණය කෙරුණේ ඉංජිනේරු විද්‍යා (හෝ පීඨය අනුව තමන් හැදෑරු වෙනත්) විෂයයන් ඉගෙනීමට අවශ්‍ය වන ඉංග්‍රීසි දැනුමයි.

මේ ඉංග්‍රීසි පන්ති පැවැත්වුණේ කුඩා කණ්ඩායම් වශයෙනි. මේ අනුව, අපට මුලින්ම අඳුනා ගැනීමට ලැබුණු සරසවි සගයන් වූයේ තමන් ඇතුලත්ව සිටි ඉංග්‍රීසි පන්තියට සහභාගී වූ සිසුන්ය. එමෙන්ම, පේරාදෙණියේ අපේ කාණ්ඩයේ සිසුන්ගේ පළමු ගුරුවරයා වූයේ මෙසේ ඉංග්‍රීසි ඉගැන්වූ යම් අයෙකි. මගේ කණ්ඩායමට මෙසේ ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරිය මහාලිංගම් මහත්මියයි. ගුණවර්ධන මහත්මිය මෙවැනි තවත් ඉංග්‍රීසි ගුරුවරියක් විය.

දිවා කාලයේදී ඉංග්‍රීසි පන්තියේ එකට සිටි බැචාලාව අඳුනා ගන්නා අතර රාත්‍රී කාලයේදී ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටි වෙනත් බැචාලාද හඳුනාගන්නට ලැබුණේ නවකවද අත්දැකීම්ද සමඟ කලවමේය. වලස්මුල්ල පැත්තෙන් පැමිණි අබරන් (සැබෑ කාඩ්එක නොවේ) ඇතුළු මගේම බැචාලා කිහිපදෙනෙකු මුල්සතියේම මට හඳුන්වා දුන්නේ ඒ ප්‍රදේශයෙන්ම පැමිණි ජේෂ්ඨ උත්තමයෙකි. ඉහත සඳහන් කළ මගේ බැචාලාට දිනපතා සවසට ඉංග්‍රීසි පන්තියක් පවත්වන ලෙස මේ ජේෂ්ඨ උත්තමයා මට නියෝග කළේ නවකවදයේ කොටසක් වශයෙන්ම නොව, එයින් ඉහත සිසුන්ට යම් පිටිවහලක් ලැබේයැයි අවංකවම අදහස් කරමින් විය යුතුය. කෙසේ වුවද, මේ හේතුවෙන් අබරන් මුල් කාලයේම මගේ මිතුරෙක් විය.

ඉංග්‍රීසි දැනුම අතින් පිටුපසින් සිටියත් අබරන් නොදන්නා මගුලක් නැත. තුන්වන උත්සාහයෙන් සරසවි පැමිණ සිටි මට වඩා වසර කිහිපයක් වැඩිමලෙකු වූ ඔහුට භීෂණ සමයේ සිදුවීම් ගැනත්, කාන්තා පාර්ශ්වය සමඟ සිදු කළ ගණුදෙනු ගැනත් කියන්නට තිබුණු රසවත් කතා හිල්ඩා ශාලාවේ තෙවන මහලේ සඳළුතල-කොරිඩෝවේ ඈඳිගෙන, මැදියම් රැයද පසුවනතුරු කට ඇරගෙන අසා සිටීම කිසිසේත්ම වෙහෙසකර කටයුත්තක් නොවීය. ඔහුගේ ඇතැම් පාසැල් සගයින් ඉංජිනේරු පීඨයේ අපට වඩා ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් වල සිටි බැවින් පීඨය පිලිබඳ නොදන්නා බොහෝ දේ මා මුලින්ම දැනගත්තේ ඔහුගෙනි. මේ අනුව, අපේ ඉංග්‍රීසි ගුරුවරියන් වූ මහාලිංගම් මහත්මියගේත්, ගුණවර්ධන මහත්මියගේත් සැමියන් ඉංජිනේරු පීඨයේ මහාචාර්යවරුන් බවත්, 'සිරා පොරවල්' බවත් මා මුලින්ම දැනගත්තේ අබරන්ගෙනි.

කාලය වේගයෙන් ගෙවී ගියේය. ඉංග්‍රීසි මධුසමය අවසන් වී ඉංජිනේරු විද්‍යා පාඨමාලා සමඟ ගෙවන සැබෑ කම්මල් ජීවිතය අපේ ජීවිත හිර කර අගුළු ලූයේය. මේ වන විට මා හඳුනාගෙන සිටි අපේ තවත් බැචෙක් වූ අණ්ඩරයා (නැවතත්, සැබෑ කාඩ් එක නොවේ.) ඔහුගේ ගොන්පාට් වලින් අපේ ඒකාකාරී ජීවිත වල නීරස තරමක් නොව බොහෝ දුරට අඩු කළේය. මහාලිංගම් මහත්මියගේ සැමියා වූ මහාචාර්ය මහාලිංගම්වද මේ වන විට අපි හඳුනාගෙන සිටියෙමු.

අපේ කාලයේදී යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ අධිපති වූයේ මහාචාර්ය මහාලිංගම්ය. පැසුණු හිසෙන් යුතු, සුදුවතින් සැරසුණු මේ උත්තුංග දේහධාරියා පෞරුෂයේ සංකේතයක් බඳුවිය. එවකට විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ අධිපති වූයේ මහාචාර්ය ජයසේකරයි. මහාචාර්ය මහාලිංගම් මෙන් උසමහත පුද්ගලයෙකු නොවූවත් ඔහුද බොහෝ විට සුදුවතින් සැරසුණු ප්‍රසන්න පුද්ගලයෙකි. මහාචාර්ය මහාලිංගම්ගේ විෂය ක්ෂේත්‍රය කම්පනය සහ අනුනාදය හා අදාල වූ අතර මහාචාර්ය ජයසේකර ඉගැන්වුයේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර පිලිබඳවය.

මේ කාලයේ බොහෝ දිනවල හවස් වරුවේ මහාචාර්ය මහාලිංගම්, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ සිට කොරිඩෝව දිගේ දිගු පියවර තබමින් විද්‍යුත් ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ජයසේකරගේ කාර්යාලය වෙත ඇවිද ගොස් දිගු වේලාවක් සාමිචියේ යෙදීම විශේෂ සැලකිල්ලක් නොදැක්වූ සිසුවෙකුට වුවද හොඳින් නිරීක්ෂණය වන දසුනක් විය.

සාමාන්‍ය ආචාර්ය උපාධියකට වඩා ඉහළ උපාධියක් ලෙස සැලකෙන, තම ක්ෂේත්‍රය වෙනුවෙන් සැලකියයුතු කාර්යභාරයක් සිදුකළ අයෙකුට පිරිනැමෙන,  'ඩීඑස්සී' ගෞරව උපාධියක් ලබාගත් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රයේ ලංකාවේ පළමුවැන්නා මහාචාර්ය මහාලිංගම් බව එවකට අපි දැන සිටියෙමු. එමෙන්ම, ඇව්රෝ ජෙට් එන්ජිමෙහි වූ කිසිවෙකුට සොයාගත නොහැකි වූ දෝෂයක් ඔහු විසින් සොයාගත් බවත්, ඒ වෙනුවෙන් ලැබුණු බොහෝ වරදානයන් ප්‍රතික්ෂේප කර, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඉදිරිපස ප්‍රදර්ශනය කර ඇති රොකට් එන්ජිම පමණක් ඔහු ඉල්ලා සිටි බවත් වැනි දේ මේ වෙද්දී අපි අසා සිටියෙමු.

මේ දිනයේදීත් මහාචාර්ය මහාලිංගම් කොරිඩෝව දිගේ ඇවිද යන්නේ මහාචාර්ය ජයසේකර හමු වීමට විය යුතුය.

"මචං, ඔය ප්‍රොෆෙසර් මහලිංගම් හැමදාම හවසට හවසට ප්‍රොෆෙසර් ජයසේකර හම්බ වෙන්න යන්නෙ ඇයි කියල දන්නවද?"

අබරන් තවත් බැචාලා කිහිප දෙනෙකුට කියනු ඇසී මාද ඔලුව දැම්මේ ඔහුගේ කතා සාමාන්‍යයෙන් රසවත් නිසාය. ඒ වගේම, ඔහු නොදන්නා ඕපාදූපයක් නැත.

"පොර අලුතින් තියරියක් හොයාගෙන ප්‍රොෆෙසර් ජයසේකරත් එක්ක. වයර් නැතුව වයිබ්‍රේෂන් යූස් කරලා ඉලෙක්ට්‍රිසිටි ට්‍රාන්ස්මිට් කරන්න."

"අනේ පලයන් බන් යන්න."

"නෑ මචං, සිරාවට!"

මෙසේ කියමින් ඔහු පැත්තක සිටි අණ්ඩරයා දෙස බැලුවේ සිය මතය තහවුරු කිරීමට උදවුවක් බලාපොරොත්තුවෙන් මෙනි.

"ඒ වුනාට තවම තියරියේ පොඩි අවුල් ටිකක් තියෙනවලු නේද?"

අණ්ඩරයා අබරන්ට නොපෙනෙන්නට ඉඟියක් කළ නිසා සිදුවී ඇති දේ හිතා ගැනීම කිසිවකුට අමාරු වුනේ නැත. මෙවැනි අණ්ඩර ලස්සනට ඇඹරීම අණ්ඩරයාගේ විශේෂ දක්ෂතාවයකි. අණ්ඩරයාගේ පේටන්ට් කළ හැකි අදහස අබරන් දැන් පොර වාගේ හතර අතට දෙන්නේ ඇත්තටම ඇණගෙනය.

"සිරානේ මචං. දැන් ඔය වැඩෙන් අපිට අහක ඉඳලා කරන්ට් වදින එකක් නැද්ද?"

මමත් පැත්තක සිට අබරන්ව ෆෝම් කළෙමි.

"එහෙම වෙන්නේ නැහැල්ලු. කරන්ට් එක යවන්නේ ඉලෙක්ට්‍රෝ මැග්නටික් වේව්ස් විදිහටලු."

අබරන් ගිරවා වගේ දෙන්නේ අණ්ඩරයාගේ වචන බව කාට වුණත් පැහැදිලිය. අණ්ඩරයාගේ මෙවැනි ගොන්පාට් ඒ දිනවල අපේ එදිනෙදා ජීවිතයේ කොටසකි.

ඒ දවස්වල ගොන්පාට් එකක් වූ මේ කතාව ගොන්පාට් එකක්ම නොවේ. තවමත් පර්යේෂණ මට්ටමේ වුවත් මෙවැනි තාක්ෂණයක් තවදුරටත් සිහිනයක් නොවන අතර ඉදිරියේදී 'වයර්ලස්' ලෙස විදුලිබල්බයක් දැල්වීම සිහිනයක් නොවිය හැකිය.

රැහැන් රහිතව විදුලිය සම්ප්‍රේෂණය කරන අයුරු සොයා නොගත්තත් මහාචාර්ය මහාලිංගම් ඒ කාලයේ අපේ වීරයෙක් මෙන්ම අතීත මතකයේද කොටසකි. ඔහු පාවිච්චි කළ මෝටර් රථය එවකට භාවිතයේ පැවති මාදිලියක නවීන මෝටර් රථයක් නොවූවත් හැමවිටම ඉතා හොඳ තත්ත්වයෙන් නඩත්තු කර තිබුණේය. එමෙන්ම, ශාරීරික ව්‍යායාම සඳහා දිනපතාම සරසවිය හරහා සැලකිය යුතු දුරක් ඇවිදීම මහාචාර්ය මහාලිංගම් නොවරදවා කළ දෙයකි. මහාලිංගම් මහත්මියද මේ කටයුත්තට බොහෝ විට එක්විය. මහාචාර්ය මහාලිංගම් උපන් දිනය මා හරියටම නොදන්නා නමුත් ඔහු විසින් විඳ ඇතැයි මා සිතන දීර්ඝායුෂ ඔහුගේ මෙවැනි යහපත් ජීවන විලසිතාවන්හි ප්‍රතිඵලයක් මිස අහම්බයක් නොවේ.

මැලේසියානු ලාංකිකයෙකු වූ තරුණ මහාලිංගම් 1946දී ලංකාවට පැමිණෙන්නේ ලංකා තාක්ෂණික විද්‍යාලයෙහි උපාධි අධ්‍යාපනය ලබා ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යා බාහිර උපාධියක් ලබාගැනීම සඳහාය. මේ කාලයේදී වත්මන් සිංගප්පුරුවද ඇතුළත් නිදහස ලබා නොතිබුණු මැලේසියාව තුල සරසවි අධ්‍යාපනය ලබාදෙන ආයතන කිසිවක් තිබුණේ නැත.

මේ කාලයේදී යමක් කමක් තිබුණු මැලේසියානුවන්ගේ සිහිනයක් වූයේ සිය දරුවන් එංගලන්තයට හෝ ලංකාවට එවා උසස් අධ්‍යාපනය ලබා දීමයි. විශේෂයෙන්ම එවකට මැලේසියාවේ රජයේ ඉහළ තනතුරු බොහොමයක් දැරූ උගත් ලාංකිකයෝ සිය දරුවන් ලංකාවට එවා උසස් අධ්‍යාපනය ලබාදුන්හ. ලංකාවේ නීති විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය, යුනිවර්සිටි කොලීජිය මෙන්ම තාක්ෂනික විද්‍යාලයද කලක සිට කලාපයේ නමක් දිනාගෙන සිටි අධ්‍යාපන ආයතනයි. වෛද්‍ය විද්‍යාලය සහ යුනිවර්සිටි කොලීජිය 1942දී ලංකා විශ්ව විද්‍යාලය තුලට අවශෝෂණය වී තිබුණත් ඉංජිනේරු පීඨය ඇරඹුණේ වසර ගණනක් පමාවී 1950 වසරේදීය.

අධ්‍යාපනය සඳහා ලංකාවට පැමිණි මැලේසියානුවන් බොහෝ දෙනෙකු ආපසු සිය ගම්බිම් බලා පිටත් වූ නමුත්, එවකට සේවය කිරීමට හා වාසයට ඉතා යෝග්‍ය තැනක් වූ ලංකාවේ දිගටම රැඳෙන්නට මහාලිංගම් තරුණයා තීරණය කළේය. 1950 වසරේදී ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය පිහිටවන විට එහි ආරම්භක කථිකාචාර්යවරයෙක් ලෙස මහාලිංගම් සේවයට බැඳුණේය. පසුව ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨය බවට පත් වූ අතර එංගලන්තයේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය (PhD ) ලබා ආපසු පැමිණි ආචාර්ය මහාලිංගම් පසුව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් DSc ගෞරව ආචාර්ය උපාධියක්ද ලබා මහාචාර්යවරයෙකු ලෙස දිගටම සේවය කළේය.

1940 වසරේ නොවැම්බර් 07 දින ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ ටකෝමාහි ඉදිකර තිබුණු එවකට ලෝකයේ තිබූ තෙවන දිගම එල්ලෙන පාලම, එය විවෘත කර මාස හතරකට පසුව පැයට සැතපුම් 42ක සුළඟකට ඔරොත්තු දිය නොහැකිව බිඳ වැටුණේ ඉංජිනේරුවන් මවිතයට පත් කරවමිනි. මේ පාලම සැලසුම් කර තිබුණේ පැයට සැතපුම් 120ක සුළඟකට වුවද ඔරොත්තු දිය හැකි පරිදිය. පසුව සොයාගැනුනේ පාලම බිඳවැටීමට හේතුව අනුනාදය (resonance) බවයි. මේ සිදුවීම අලලා සකස් කෙරුණු වාර්තා චිත්‍රපටයක් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේදී නිතර ප්‍රදර්ශනය කෙරුණේය. මෙය මහාචාර්ය මහාලිංගම්ගේ විෂය ක්ෂේත්‍රය විය.

ටකෝමා පාලම බිඳවැටීමේ 75වන සංවත්සරයට දින හතරක් ඉතිරිව තිබියදී, මහාචාර්ය මහාලිංගම් අද දින යාපනයේ රෝහලකදී  සිය දිවිසැරිය නිමාකර තිබේ. ඔහුගේ අවසන් කටයුතු හෙට දින (නොවැම්බර් 04 බදාදා) යාපනයේ අලවෙඩ්ඩිහිදී පැවැත්වේ.

31 comments:

  1. යුග පුරුෂයන්

    ReplyDelete
  2. මේ කාලයේදී යමක් කමක් තිබුණු මැලේසියානුවන්ගේ සිහිනයක් වූයේ සිය දරුවන් එංගලන්තයට හෝ ලංකාවට එවා උසස් අධ්‍යාපනය ලබා දීමයි. /////// අද සල්ලි තියන එවුන් ළමයි පිටරට යවනවා උසස් අධ්‍යාපනය​ට

    ReplyDelete
    Replies
    1. මම මේ කොටස මේ විදිහට එකතු කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවුණු ඒ වෙනසත් පෙන්නන්න හිතලයි.

      Delete
  3. මා දන්නා පරිදි 1983 වෙනතුරු පළමු වසරේ අඩු තරමින් සමහර විෂයයන් හෝ සඳහා සිංහල සහ දෙමළ බසින් දේශන කෙරුණා.

    ෆ්ලුයිඩ්/තර්මෝ - ජයතිලස සහ සිවසේකරම්
    සර්වේයින් -
    මෙටීරියල් සයන්ස් - මලියසේන සහ ෂන්

    එය තීරණය වුනේ දෙමළ කතිකාචාර්්‍යවරුන් කී දෙනෙකු සේවයේ යෙදී සිටියේ ද යන කරුණ මතයි. ලංකාවේ 1983 සිදුවීම් නොවුනා නම්, ඔබේ මේ ලිපියේ මුල් වැකි දෙක වෙනස් වෙනවා!

    මං කියවා ඇති විදියට දේශන සිංහලෙන්/දෙමලෙන් පවත්වන ලෙස කියා ඉංජිනේරු සිසුන් 60-70 කාලවල උද්ඝෝෂණය කර තියෙනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, රසික. මා නොදැන සිටි කරුණු කිහිපයක්!

      Delete
  4. තවත් කරුණක් තමයි මහාලිංගම් මුලික උපාධියෙන් සිවිල් ඉංජිනේරෙවෙකු බව. විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවට දේශකයින් අවශ්‍ය නිසා තමයි ඔහුට කියා ඇත්තේ ඒ අංශයේ විෂයයක් ගැන තම පීඑච්ඩී පරීක්‍ෂණ කරන ලෙස!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, රසික. මෙයත් මා දැන නොසිටි දෙයක්.

      Delete
  5. හුඟක් අහලා තිබෙනවා මෙතුමා ගැන.
    //වයර් නැතුව වයිබ්‍රේෂන් යූස් කරලා ඉලෙක්ට්‍රිසිටි ට්‍රාන්ස්මිට් කරන්න."// මේක දැන් තියෙනවා නේද?
    http://powerbyproxi.com/wireless-charging/

    ReplyDelete
    Replies
    1. පර්යේෂණ ගැන දැනගෙන සිටියත් වාණිජ මට්ටමෙන් මෙසේ භාවිතා වන බව දැනගෙන සිටියේ නැහැ. කාලෙකදී ජෝක් එකක් අවුරුදු ගාණකට පසුව යථාර්තයක් වීම නියම අත්දැකීමක්.

      Delete
    2. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1404-2015-11-03-23-47-58

      Delete
    3. ස්තුතියි, අජිත්! මේ ලිපියේ නෙලුම්යාය වර්ෂන් එකේ pdf එකක් විද්‍යුත් තැපෑලෙන් සංසරණය වී බොහෝ දෙනෙකු අතට පත්වී ඇති බව පසුව දැනගන්නට ලැබුණා.

      Delete
  6. අනුනාදය (resonance)?
    මේක පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
    මේ ලිපිය ඉතාමත් කැමතෙන් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. අනුනාදය කියන්නේ පැද්දෙන එකටයි. ඕනෙම වස්තුවකට එකටම විශේෂ වුන පැද්දෙන රටාවක් තියෙනවා. අපි මේ රටාවට ඒකට බලයක් දිපුවම විතරයි ඒ වස්තුව අපෙන් උපරිම විදියට බලය ලබාගෙන තමන්ගේ උපරිම පද්දීමට ලගා වෙන්නේ. උදාහරණයක් විදියට ඔයා ඔන්චිල්ල්ලාවක් තල්ලු කරනවානම් ඒක පැද්දෙන රටාවටයි තල්ලු කරන්න ඕනේ. එතකොටයි ඒක ටිකෙන් ටික වේගේ වැඩි කරගන්නේ. ඒ රටාවෙන් වෙනස් විදියට තල්ලු කරොත් ඒක හරියට පද්දෙන්නේ නෑ. අනුනාදය කියන්නේ මේකටයි. හොදම උදාහරණයක් වෙන්නේ microwave උදුන. මේ microwave උදුන් හදල තියෙන්නේ ජල අනු වල පැද්දෙන රටාවට හරියටම ගැලපෙන විදියට. එතකොට ජල අණු වලට පුළුවන් microwave වල තියෙන මුළු ශක්තියයම අවශෝෂණය කරගන්න. ඒකයි වතුර රත් වෙන්නේ. microwave වල තියෙන භාජනය රත් නොවෙන්නේ microwave වල රටාව ඒ භාජනය හැදිලා තියෙන අනු වල රටාවට ගැලපෙන්නේ නැති නිසයි. මේ පාලම කැඩෙන්න හේතුවත් හුලග විසින් මේ පාලමේ පැද්දෙන රටාවටම හුලග හමලා තියෙන නිසයි.

      Delete
    2. ස්තුතියි, ඇනෝ! මට මේක සරලව විස්තර කරන හැටි හිතාගන්න බැරුවයි හිටියේ. ඔබ එය අපූරුවට කර තිබෙනවා. මම මේ කමෙන්ටුව මීළඟ පොස්ට් එකට කොපි කර ගන්නම්.

      Delete
  7. ඊයේ චන්දන ගුණසේකර ගේ ලිපියෙන් මෙතුමා ගැන දැන ගත්තා.. අද නොකී කතා පුංචි කවියකුත් ලියා තිබුනා.. මෙතුමාගේ ජන'ප්‍රියත්වය' ගැන තව මොන කතාද? සුභ ගමන් 'සර්'!!!

    ඔය ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම ගැන දවසක් පේරා ඉන්ජිනේරුවෙක්ම මෙහෙම කතාවක් කියුව.. ආට් ෆැකල්ටියේ ඉන්ග්ලිෂ් මීඩියම් කරන සෙට් එක කන්නේ බොන්නේ කතා කරන්නේ ඔක්කොම කඩ්ඩෙන්ලු.. උන් වෙනම ලෝකෙකින් ආව ඒලියන් ල වගේ ඉන්නේ කියල.. ' හැබැයි උන් දන්නේ නැති උනාට ආට් ෆැකල්ටියේ ඇර අනිත් හැම ෆැකල්ටියකම උගන්නන්නේ ඉංග්‍රීසියෙන්..' :)

    ReplyDelete
    Replies
    1. බාගෙට ඉංග්‍රීසි දැනගෙන ඉංග්‍රීසි කතාකරන රටක ජීවත් වෙන එක කොළඹ ඒ විදිහට ජීවත් වන තරම් අමාරු නැහැ. ඒකෙ හැටි එහෙම තමයි, කමී. තමන්ට නැති දෙයට වැඩි කැමැත්තක් ඇතිවීම නිසා ඇතිවන ඉල්ලුම සහ තමන්ගේ තියෙන වටිනාම කුසලතාවය මාකට් කිරීමෙන් ඇතිවන සැපයුම අතර සමතුලිතතාව තමයි මේ.

      Delete
    2. කළ්‍යාණ මිත්‍ර.....
      ඉකොනොමැට්ටාගේ ඉතාම රසවත් මේ සටහන මහාචාර්ය මහාලිංගම් පිළිබඳ සිංහලෙන් ලියූ හොඳම සටහනයි. බ්ලොග් සටහනක් ලියන්න හිතුවත් මට ඒ සඳහා මානසික විවේකයක් නොතිබුණ නිසයි කවි පද කීපයක් ලිව්වේ.

      Delete
    3. කළ්‍යාණ මිත්‍ර.....
      ඉකොනොමැට්ටාගේ ඉතාම රසවත් මේ සටහන මහාචාර්ය මහාලිංගම් පිළිබඳ සිංහලෙන් ලියූ හොඳම සටහනයි. බ්ලොග් සටහනක් ලියන්න හිතුවත් මට ඒ සඳහා මානසික විවේකයක් නොතිබුණ නිසයි කවි පද කීපයක් ලිව්වේ.

      Delete
  8. පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ සිම්බොලික් චරිතයක් ගැන පළවූ හරබර සටහනක් .

    ReplyDelete
    Replies
    1. ඔහුට ඉතිහාසයේ හිමි විය යුතු තැන ලබා දීම සඳහා ලබා දුන් ඉතාම පුංචි තල්ලුවක්. ඒ තල්ලුව ගොඩක් දෙනෙකුගේ හිත්වල ස්වභාවික සංඛ්‍යාත සමඟ සම්පාත වී අනුනාද වීම සතුටට කරුණක්!

      Delete
  9. අගනාම සටහනක් ඉකොනෝ , මෑත කාලයේ දිනක් හමු වීමට අවස්ථාවක් ලැබුනා, අපේ කණ්ඩායමේ සගයන් සමගින්. එහෙත් එතුමා බොහෝ දුර්වලවයි සිටියේ .ටකොමා පාලමේ වාර්තා චිත්‍රපටිය කී පාරක් නරබන්න ඇත්දැයි කියලයි කල්පනා කලේ

    ReplyDelete
    Replies
    1. වාර ගණනනම් මටත් මතක නැහැ. සෑම වසරකදීම කිහිප වරක් ප්‍රදර්ශනය කෙරුණු බව මතකයි.

      Delete
  10. මමත් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව මද කලක් හදාරපු කෙනෙක්.. මම ඉගෙන ගත්තෙ ඔයිට සාපේක්ෂව ඉතා මෑතකදි..ඒත් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හදාරන අය අමුතු උනකට ඒක හදාරන අය..බොහෝවිට අපේ ඉන්ස්ටිටියුට් එකෙන් අවුට් වෙද්දි අඩුම පඩි ලබන්නෙ යාන්ත්‍රික ඉංජිනේරුවො..අපේ එකෙත් දෙමල සර් කෙනෙක් හිටියා ලයිබ්‍රරියෙ තියෙන ඕනි පොතක් ගැන දන්නවා...එයා පේපර් ගැන එච්චර විස්සාසයක් නැති කෙනෙක්..ලමයිට කොපි කරන්න දෙන්න බොහොම කැමතියි.. එයා කියන්නෙ නොලේජ් එක තියෙන්නෙ පේපර් වල නෙමේය කියලා..

    කොහොම වුනත් දැන් මල නිසාම කස්ටිය හොද කියනවා..ඒත් ඉතිං ඉන්න කාලෙ හරියට වැඩක් ගන්න අපේ අය සමත් වුනේ නැහැ නෙව..

    ReplyDelete
    Replies
    1. /* කොහොම වුනත් දැන් මල නිසාම කස්ටිය හොද කියනවා..ඒත් ඉතිං ඉන්න කාලෙ හරියට වැඩක් ගන්න අපේ අය සමත් වුනේ නැහැ නෙව */

      නොදැන කියන කතාවක්. වසර පනහක් පමණ ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයට ඔහු කල සේවය කොපමණද?

      Delete
    2. සමහර විට ඔබ කියන්නේ ඔහුගෙන් නිසි ප්‍රයෝජනය ගැනීම ගැන වෙන්න ඇති, අමිල. එසේ කළ අය දහස් ගණනක් අද ලෝකය පුරාම විසිරී සිටිනවා.

      Delete
  11. එදා විදෙස් ශිෂ්‍යයින් ලංකාවට අවා අධ්‍යාපනය සඳහා.අද අපේ ශිෂ්‍යන් විදෙස් ගත වෙනවා ඒ අරමුණම ඇතුව.එකෙන් ගම්‍ය වෙන්නේ අපේ රටේ අධ්‍යාපනය කොයි තරම් පිරිහීමකට ලක් වෙලා කියන එකද?

    ReplyDelete
    Replies
    1. මේකට එක් තැනකට විතරක් ඇඟිල්ල දික්කරන්න බෑ, මනෝජ්. ඒත් අන්තිමට වෙලා තියෙන දේ තමයි මේ.

      Delete
  12. නොමැරෙන මිනිස්සු................

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ලිපිය ලිවුවෙත්, කුරුටු, ඉතිහාසයේ ඔහුට වෙන්වී ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව පෙනුණු නිසා. මිනිසුන්ගේ හදවත් වල ජීවත්වන වීරයෝ ටික කාලයකින් මැරිලා යනවා. ඒ අය ඉදිරි පරම්පරා වලට හඳුනාගන්න වෙන්නේ කොහේ හරි තියෙන මේ වගේ සටහනකින් පමණයි.

      Delete
  13. ඉකොනොමැට්ටාගේ ඉතාම රසවත් මේ සටහන මහාචාර්ය මහාලිංගම් පිළිබඳ සිංහලෙන් ලියූ හරවත්ම සටහනයි. මෙලෙස ඉතිහාසය සටහන් කිරීම අනාගතයට හරිම වටිනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.