Tuesday, November 10, 2015

අත්වැරදීම්, පෞද්ගලිකත්වය සහ සමාජ ජාල

සරසවියක් අසල බස් නැවතුමක පෙරේරා යුවල බසයක් එන තුරු රැඳීසිටිති. එහි සිටින, අතේ ඇති පොත් වලින් සරසවි සිසුවෙකු බව පෙනෙන, කෙට්ටු තරුණයෙකු පෙරේරා මහත්තයා වෙත ලංවේ.

"අංකල්, වෙලාව කීයද?"

පෙරේරා මහත්තයා කතාවක් නැතුව බුම්මාගෙන සිටී.

"අංකල්, වෙලාව කීයද දන්නෑ?"

තරුණයා නැවතත් අසන්නේ තමාගේ ප්‍රශ්නය හරියට නොඇසුණේ හෝ නොපැහැදිලි වූයේයැයි සිතමිනි. ඒත් පෙරේරා මහත්තයා තවමත් බුම්මාගෙනය. දුර්මුඛ වන තරුණයා පැත්තකට වෙයි.

"මහත්තය මොකැයි අර ඉලන්දාරියට වෙලාව නොකිවුවේ? ඒක හරි නෑ නේද?"

ගෙදර ගොස් ටික වෙලාවකින් පෙරේරා නෝනා අසයි.

"නෝනට මේ දේවල් තේරෙනව මදි!"

"ඒ කිවුවේ?"

"ඒ කිවුවේ, දැන් මම වෙලාව කිවුවනං ඔය ඉලන්දාරියා අපිත් එක්ක කතාවට වැටෙයි. හොඳයි නැද්ද?"

"ඔවු, එහෙම වෙන්න පුළුවන් තමයි!"

"සමහර විට අපේ ගෙවල් දොරවල් තියෙන තැන් ගැන විස්තර උනත් අහන්න බැරි නෑ."

"ඔවු, සමහර විට!"

"ඕව අහගෙන අපේ ගෙදර උනත් වෙලාවක එන්න බැරිකමක් නෑ."

"මමනං හිතන්නේ නෑ. හැබැයි ඉතින් බැරිකමක් නෑ!"

"දැන් අපේ චූටි මැණිකේ ඇහැට කණට පේන කෙලී. ඔය ඉලන්දාරියගේ ඇහැවැටුණාම දුර දිග යන සම්බන්ධයක් ඇතිවෙන්න බැරිද?"

"ඔවු ඉතිං ගින්දරයි පුළුනුයි එකට තියන්න බෑ තමයි. ඒත් ඉතිං දීග දෙන වයසෙ ඉන්න ඒ ළමයට එහෙම හරි යමක් කෙරෙනවනං මොකක්ද තියෙන වැරැද්ද? කැම්පස් ළමයෙක්නේ..."

"නෝනනං කියයි! මං කොහොමද අතේ වෙලාව බලන්න ඔරලෝසුවක්වත් නැති ඉලන්දාරියෙකුට හිත හදාගෙන අපේ කෙලීව දෙන්නේ? දැන්වත් තේරුණාද ඇයි මං ඒ වෙලාවේ වෙලාව නොකීවේ කියලා"

(කතාවනම් බොහොම පරණ එකක් තමයි!)

මටනම් දීග දෙන වයසේ දූවරු නැත. පහුගිය දවස්වල ගුරුවරුන්ගේ දඬුවම් දීම් ගැන ඇති වූ සංවාදයටත්, එයට අදාලව පසුව ඇති වූ සංවාද වලටත් සක්‍රියව සහභාගී විය නොහැකි වූයේ කාර්යබහුල වූ නිසාය.

මා නිවසේ සිටින විට සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිරුවත්ව ඉන්නේ නැත. එහෙත්, සරමක් පමණක් හැඳ උඩුකය නිරුවත්ව සිටින විට දැනෙන සැහැල්ලුවට මම කැමතිය. ශීත රටක, ශීත සමයක නිවෙස් උණුසුම් කිරීමේ ඉහළ පිරිවැය හමුවේ වුවද මේ සැහැල්ලුවට මගේ ඇති කැමැත්ත සම්පූර්ණයෙන් මැඬ පැවැත්විය නොහැක. කෙසේ වුවද, මේ අයුරින් අමුත්තෙකු හමුවන්නට මා සූදානම් නැත.

බටහිර රටක අමුත්තෙකු නොදන්වා පැමිණීම සුලභ සිදුවීමක් නොවේ. එසේ පැමිණේනම්, බොහෝ විට ඒ පාර්සලයක් භාර දීමට පැමිණෙන ෆෙඩෙක්ස් වැනි සමාගමක සේවකයෙකු හෝ ආගම් ප්‍රචාරයට පැමිණෙන මිෂනාරියෙකි. මෙවැන්නෙකු අනපේක්ෂිත අවස්ථාවක දොර සීනුව නාද කළහොත් මට උඩුකය වසාගැනීමට අමතරව සරම වෙනුවට සුදුසු ඇඳුමක් ඇඳීමටත් සිදුවේ.

මට පෞද්ගලික ජීවිතයක් තිබේ. සමාජ ජීවිතයක්ද තිබේ. අතිපිහිතවීම් බහුල වුවද මේ දෙක දෙකකි. සමාජ ජීවිතය කියන්නේම එක්තරා රඟපෑමකි. මේ රඟපෑම හොඳින් කරන්නට මගෙන් බාහිර සමාජය මා තුලින් දැකීමට අපේක්ෂා කරන්නේ කවර ආකාරයේ පුද්ගලයෙක්ද යන්න දැන සිටිය යුතුය. එය දැනගෙන සමාජයට අවශ්‍ය පරිදි, වෙනස්ම පුද්ගලයෙකු ලෙස මා හැසිරෙන බව එයින් අදහස් නොකෙරේ. එහෙත්, සමාජය ඉදිරියේ හැසිරීමේදී යම් තරමකට නම්‍යශීලී වීමක් අනිවාර්යයෙන්ම සිදුවේ. මගේ අදහස පරිදි සෑම පුද්ගලයෙකුටම වාගේ 'ස්වභාවික' පෞද්ගලික ජීවිතයක් සහ තරමක් දුරට හෝ ස්වභාවිකත්වයෙන් දුරස්ථ සමාජ ජීවිතයක් තිබේ.

පුද්ගලයෙකු බාහිර සමාජය ඉදිරියේ නිරාවරණය කරන ශරීර කොටස් මෙන්ම එසේ නොකරන කොටස්ද තිබේ. මේවා යම් නිශ්චිත කාල-අවකාශයකට සාපේක්ෂ, තැනින් තැනට සහ කලින් කලට වෙනස්වන සම්මුතීන්ය. (බුරිය වසා ගැනීමේ අවශ්‍යතාවයක් මෙතෙක් කල් ලංකාවේ තිබුණේ නැත.) සමාජ සම්මුතියට යටත්ව කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය නිරාවරණය කරන ප්‍රමාණය ඒකීය පුද්ගල තෝරාගැනීමකි.

සමාජ ජීවිතය තුල, මේ ඒකීය පුද්ගලයින්ට වැරදීම් සිදුවේ. කෙනෙකුගේ පෞද්ගලිකත්වයේ අදාල පුද්ගලයාට සාපේක්ෂව සමාජයට නිරාවරණය නොකළ යුතු කොටසක් හදිසියේ නිරාවරණය වීම එවැනි වැරදීමකි. එසේ වූ විට, එවැන්නෙකු වහාම කරන්නේ අදාල කොටස නැවත ආවරණය කර ගැනීමයි. මේ සඳහා මුලින්ම වැරදීමක් වූ බව දැනගත යුතුය. ඇතැම්විට වෙනත් අයෙකු වැරැද්ද දකින්නට පෙර වැරදුනු බව තමන්ටම තේරේ. ඇතැම්විට වැරැද්ද අවබෝධ වන්නේ වෙනත් කෙනෙකු පෙන්වා දුන් විටය.

වෙනත් කෙනෙකුගේ වැරැද්දක් මා දකින්නේ මගේ හරි-වැරදි රාමුවට සාපේක්ෂවය. ඇතැම් විට, වෙනත් අයෙකුට අත්වැරදීමක් වී ඇති බව මට පෙනීයයි. එහෙත්, එය අත්වැරදීමක් නොවන්නටත් පුළුවන.

උදාහරණයක් ලෙස කොට සායක් ඇඳ සිටින කාන්තාවක් කකුල් තරමක් පළල් කරගෙන වාඩිවී සිටී. බොහෝ දෙනෙක් මේ විවරය දෙස කට ඇරගෙන බලා සිටිනු මට පෙනේ. මා කළ යුත්තේ කුමක්ද? (පිරිමියෙකුගේ කලිසමේ සිපරය විවර වී තිබීම වුවද සැලකිය හැකිය.)

-මේ ඉරියවුව ප්‍රසිද්ධියේ විවේචනය කළ හැකිය. මෙය හොඳ හෝ නරක විවේචනයක් විය හැකිය.
-මෙය හිමිහිට තට්ටුවක් දමා පෙන්වා දිය හැකිය.

මා සිතන පරිදි, හොඳම දෙය ඇයට හිමිහිට තට්ටුවක් දමා වී ඇති දෙය පෙන්වා දීමයි. සිදුවී ඇත්තේ අත්වැරදීමක්නම් එය නිවැරදි කර ගැනීමට එයින් ඉඩක් ලැබේ. එහෙත්, මෙහි පොඩි පරහක්ද තිබේ. ඇගේ මේ ක්‍රියාව අත්වැරදීමක් නොවේනම්? ඇයට අවශ්‍ය මේ ඉරියවුවෙන් සිටිමින් අවධානය ලබාගැනීමටනම්?

ඉහත කරුණ නිසා මා මෙලෙස තට්ටුවක් දමා කෙනෙක්ව දැනුවත් කිරීම සිදුවන්නේ අදාල පුද්ගලයා සහ මා අතර ඇති සම්බන්ධතාවයේ හෝ බැඳීමේ ප්‍රමාණයටය.

මා අතින් සිදුවන අත්වැරදීමක් යමෙක් මෙසේ පෙන්වා දෙනවානම් මා කැමතිය. එවිට, එය නිවැරදි කරගැනීමට හෝ එය වරදක් නොවේයැයි මා සිතන්නේ ඇයිදැයි පැහැදිලි කිරීමට මට අවස්ථාවක් ලැබේ. දෙවන මාදිලියේ ප්‍රතිචාරයක් අවංක එකක් නොවේනම් එය හත්පොලේ ගාගැනීමකින් කෙළවර වන්නටත් පුළුවන.



කෙසේවුවද, උඩින් ඇති වීඩියෝවේ ඇති පරිදි ප්‍රසිද්ධ වේදිකාවකදී රෙද්ද ගැලවුණු විට ලැජ්ජාවට පත්වී හෝ වෙනත් හේතුවකට එය වසා ගන්නට කෙනෙකු හදනවානම් එයින් අදහස් වන්නේ සිදුවී ඇත්තේ අත්වැරදීමක් බවයි.

යසනාත් ධම්මික බණ්ඩාර ඔහුගේ විවේචනයට පාත්‍ර වූ සටහන ඉවත් කරගෙන තිබේ. ඔහුට සිදුවී ඇති අත්වැරැද්ද ඔහුගේ පෞද්ගලිකත්වයේ සමාජයට නිරාවරණය කරන්නට අවශ්‍ය නැති කොටසක් හදිසියේ නිරාවරණය වී තිබීමයි. ඔහුගේ සටහන ඔහු සැබෑවටම සිතන ආකාරය වුවද ඒ හේතුවෙන් එය අත්වැරැද්දක් නොවන්නේ නැත.

ගැලවුණු රෙද්ද නැවත ඇඳගත් පසු ඒ ගැන නැවත නැවත කතා කිරීම (දැන් මා ඉහත වීඩියෝව කෙරෙහි නැවත අවධානය යොමු කරවන්නාක් මෙන්) ආචාර-ධාර්මිකව එතරම් සුදුසු නැතැයි මට සිතේ. එහෙත්, අනෙක් අතට මේ වීඩියෝව ඕනෑම කෙනෙකුට නැරඹිය හැකි එකක් නිසා එසේ කිරීමේ වරදක් නැතැයි මට තර්ක කරන්නටත් පුළුවන. ආචාර-ධාර්මික ගැලපීම කෙසේ වුවත් සමාජ ජාල වල කටුක යථාර්තය මෙයයි.

කලාකරුවන්, දේශපාලකයින් වැනි බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින්ට ඔවුන්ගේ සමාජ ජීවිතයෙන් පරිබාහිරව පෞද්ගලික ජීවිතයක් පවත්වා ගැනීම ඉතා අසීරුය. මෙහිදී ඔවුන් යම්තාක් දුරකට 'පොදු පුද්ගලයින්' බවට පත්වේ. යසනාත් නමැති දේශපාලන සත්ත්වයා හානියක් කරගත් විට යසනාත් නමැති ගේයපද රචකයාටත්, යසනාත් නමැති වෛද්‍යවරයාටත් තුවාල සිදුවේ. මේ තිදෙනා වෙන්කර ගැනීමට තරම් සමාජය පරිණත වී නැත.

ඉතා මැතක් වනතුරු සීමිත පිරිසකට පමණක් පැවති මේ ප්‍රශ්නය සමාජ ජාල මඟින් අප කාගේත් ප්‍රශ්නයක් බවට පත්කර තිබේ. සමාජ ජාල හා සම්බන්ධ වූ වහාම පුද්ගලයෙකු පොදු පුද්ගලයෙකු බවට පත්වේ.

බ්ලොග්කරුවෙකු හෝ කමෙන්ට් කරන්නෙකු විසින් සටහන් කළයුත්තේ ඒ පිටුපස සිටින රචකයා විසින් ප්‍රසිද්ධියේ කීමට සූදානම් දේවල් පමණක්යැයි මා සිතන්නේ නැත. මේ මාධ්‍යයේ ඇති විශේෂත්වයම ප්‍රසිද්ධියේ කිව නොහැකි අදහසක් වුවද ප්‍රකාශ කිරීමට ඇති හැකියාවයි. එමෙන්ම, ලේඛකයෙකු විසින් තමන්ගේ පෞද්ගලිකත්වයෙන් වෙනස් අනන්‍යතාවන් එකක් හෝ කිහිපයක් ජීවත් කරවීමද සියවස් ගණනක සිටම සිදුවන්නකි.

මට පෞද්ගලිකව ප්‍රශ්නයක් ඇති වී නැතත්, බ්ලොග් සටහනක ලියවෙන දේවල් ලේඛකයාගෙන් වෙන්කර නොදැකීම නිසා ප්‍රශ්න මතුවන අවස්ථා ඕනෑතරම් මා දැක තිබේ. දැන් අපට අපේ 'අත්වැරදීම්' වලින් ගැලවෙන්නට පහසු නැත. දැනට අපට කළ හැක්කේ මේ අළුත් තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් සමාජය සකස්වන ආකාරය දෙස බලා සිටීමයි.

මා මේ සටහන ලිවුවේ ව්‍යංගයෙන් හෝ කිසිවකු ඉලක්ක කරගෙන නොවේ. මගේ කාර්ය බහුල කාලසටහන සමඟ මා බ්ලොග් සටහනක් ලියන්නේ ඉතා හදිසියෙනි. එය කිහිපවරක් කියවා නිවැරදි කිරීමට මට කාලය වැයකළ නොහැක. පසුගිය දිනවල සිදුවූ ඇතැම් සිදුවීම් මෙහි ඇති අවදානම ගැන සිතන්නට මාව පොළඹවා තිබේ.

27 comments:

  1. //පසුගිය දිනවල සිදුවූ ඇතැම් සිදුවීම් මෙහි ඇති අවදානම ගැන සිතන්නට මාව පොළඹවා තිබේ.//
    හේ! හේ!!, ප්‍රතිචාරයකදී ලියුවා මතකද, ඔබේම බ්ලොගින් ක්‍රමය, ඔබ ගනීවි කියා. එය නැවත මා මතක් කරනවා මෙතැනදී.

    ඉකෝ, ලිවීමේ සීමාවන් ගැන අප නිතරම ගන්නවා. එයත් ඉවොල්ව් වීමක් කියාත් අපට කියන්න හැකියි. "අප්පමාදෝ අමතපදං-සන්තෘස්ටි පරමං ධනං" කියල කියනවනේ. පරම ධනය සොයන්න එන ගොඩක් දෙනා අප්‍රමාදව අසතුට කරා ලඟා බව තමා මා නම් ගොඩක් වෙලාවට දකින්නේ. මා නිතරම් කියන දෙයක් මගේ බ්ලොගයටත් අදාලයි. එනම් අප විනෝදාංශයක නිරත වන්නේ මුලිකවම "අර පරම ධනය" අයත් කර ගැනීමට. අනික් කරුණු සියල්ල ද්විතිකයි. :)

    ReplyDelete
    Replies
    1. ඔබේ සටහන් වල ලියාඇති දෙයින් ඔබ්බට සිතන්නට තවත් බොහෝ දේවල් ඉතිරි කර තිබෙනවා. දැනගත්දා සිට නිතිපතා ඔබේ බ්ලොග් අඩවියට පිවිසී (කියවන්නට අවසර ඇති දේ :) ) කියවන්නේ ඒ නිසයි. කියන්නට ඇති අනෙකුත් දේ ඉඩ ලැබුණු විට ඔබේ අඩවියේ සටහන් කරන්නම්.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පොස්ට් එක අපූරුයි, ඩ්‍රෝවිං එක ඊටත් අපූරුයි. පැරාගේ ප්‍රේම කුරුල්ලට වඩා ඉකොනොමැට්ටගේ ස්කින් සෙලෙක්ෂන් එකට ලකුණු දාතැකි. අපේ අය නම් අඳින්නේ ලෝගෝ තුනම තියන tricolore එකක්.

    ReplyDelete
    Replies
    1. ලකුණ පාස් රේන්ජ් එකේනම් ඒ ඇති!

      Delete
  4. //මා සිතන පරිදි, හොඳම දෙය ඇයට හිමිහිට තට්ටුවක් දමා වී ඇති දෙය පෙන්වා දීමයි. සිදුවී ඇත්තේ අත්වැරදීමක්නම් එය නිවැරදි කර ගැනීමට එයින් ඉඩක් ලැබේ. එහෙත්, මෙහි පොඩි පරහක්ද තිබේ. ඇගේ මේ ක්රියාව අත්වැරදීමක් නොවේනම්? ඇයට අවශ්ය මේ ඉරියවුවෙන් සිටිමින් අවධානය ලබාගැනීමටනම්?//

    මට හිතෙන හැටියට, හොඳම වැඩේ පැත්තකට වෙලා බලා ඉඳීමයි.

    ReplyDelete
    Replies
    1. හොඳම දේ වුනත් නැතත් ප්‍රායෝගිකව බොහෝ විට කරන්න වෙන්නේ ඒ දේ තමයි, පොඩ්ඩි. සමහර වෙලාවට හිතෙනවා ඒක කුහකකමක්ද කියලා.

      Delete
  5. ඉතා ඉහලින් අගය කරනවා ඔබේ මේ ලිපිය.

    අපිට හරියන තැන් වලට වඩා වරදින තැන් වැඩියි. මමනම් යුද භූමියේදී ඒ අත්දැකීම ලබා තිබෙනවා. නමුත් යුද්ධයේදී වන වරදීමකදී අපිට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා. මා ගන්නා වැරදි පියවරක ප්‍රතිඵලයක් වශයෙන් එක සොල්දාදුවකුගේ හෝ ජීවිතය අහිමි වුනොත්, එය නැවත නිවැරදි කල නොහැකි, සමාව අයැදීමෙන් යථා තත්වයට පත්කළ නොහැකි වැරැද්දක්. ඒ වැරැද්ද කල වේදනාව සදාකාලයටම හිතේ තියනවා. මමත් ඒ වැරැද්ද කර අදටත් දුක්වෙනවා.

    මරණීය තත්වයක් ඇතිනොවන සිද්ධියක් ගැන, පසුව සිතාබලා, මෙලෙස නිවැරදි කරගැනීම, බුද්ධිමත් මනුෂ්‍යයකු විසින් කළ යහපත් ක්‍රියාවක් ලෙස සළකන්නට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබේ උදාහරණය හොඳ එකක්, විචාරක. මෙතන තියෙන්නේ අවදානම ගන්නා ප්‍රමාණය පිලිබඳ ප්‍රශ්නයක්. වැරදීමක් නිසා ජීවිත හානියක් සිදුවුනොත් එය නිවැරදි කරන්න බැහැ. ඒත්, ඒ ගැන වැඩිපුර හිතන්න ගියොත් කිසිම තීරණයක් ගන්නත් බැහැ. මේ දෙක බැලන්ස් කිරීම අසීරු සහ සංකීර්ණ දෙයක්.

      Delete
  6. මම සමහර වෙලාවට දාන කමෙන්ට් ඇත්ත නෙමෙයි ඒත් ඒ කමෙන්ට එක කියවන කෙනෙකුට තේරේනවා මේක විහිලුවක් කියලා..එහම කමෙන්ට් එකක් දාන්නේ පොස්ට් එකට වටිනාකමක් දෙන්න..
    මට අද පොස්ට් එක ටිකක් බර වැඩියි

    ReplyDelete
    Replies
    1. //මට අද පොස්ට් එක ටිකක් බර වැඩියි// මට පටස් ගාල තේරුණා මේකනම් විහිළුවක් කියලා. :)

      Delete
  7. සමාජය තරමට අපත් අප තරමට සමාජයත් පරිනත වී නොමැත . අවසානයේ සියල්ලෝ අපරිණතවූත් තමන්ගේ රාමුවෙන් පමණක් ලොව දකින්නෝ වෙති . එහෙයින් මෙවන් ඝට්ටන සැමදා පවතිනු ඇත .

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දෙය සමඟ මම සම්පූර්ණයෙන්ම එකඟයි, ඉවාන්. අපට හෝ සමාජයකට කවදාවත් සම්පූර්ණයෙන්ම පරිණත විය හැකියැයි මා සිතන්නේ නැහැ. මේ දෙය තේරුම් ගතහැකි වැඩි පිරිසක් සිටින සමාජයක් සාපේක්ෂව වඩා පරිණත සමාජයක්.

      Delete
  8. අප්පටසිරි ඔය වීඩියෝ එකේ යූ ටියුබ් ගියාම තියනවනෙ මල් හතේ තව එව්ව. ඉකෝන්ස් මේ පොඩ්ඩක් ඉන්නකො ඒ ටික බලල ඉඤ්ඤංකො ඉස්සරවෙලා...ඒ කරල වෙලාවක් තිබ්බොත් ඔහේ ලියාපු ඉතුරු ටික කියවල කමෙන්ට් එකක් දාඤ්ඤං...හොඳේ?

    ReplyDelete
    Replies
    1. ඒ වීඩියෝ සහ මේ වීඩියෝවේ වෙනසයි වැදගත්, රවී. ඒ වීඩියෝ හැම එකකම වාගේ රෙද්ද ගලවන්නේ හිතාමතා. ඒත් මේ වීඩියෝවේ එහෙම නෙමෙයි. ඇයට මේ මොහොතේ, මේ පිරිස ඉදිරියේ ගලවන්නට අවශ්‍ය නැති රෙද්දක් තමයි අත්වැරදීමකින් ගැලවෙන්නේ. ඇය වෙනත් තැන්වල, වෙනත් අය ඉදිරියේදී රෙදි ගලවනවාද නැද්ද යන්න මෙයට කෙලින්ම අදාළ කරුණක් නෙමෙයි.

      Delete
  9. මා විශ්වාස කරන විදියට-

    1. අපට අවංකවම හිතෙන දේ කීමටත් (ලිවීමටත්)
    2. කියූ (ලියූ) පසු ඒ වෙනුවෙන් නො බියව පෙනී සිටීමටත්
    3. කියූ (ලියූ) දේ වරදක් තිබේ නම් එය පිළිගෙන නිවැරදි කිරීමටත්
    4. තමන් කියූ (ලියූ) අදහස පසු කලෙක වෙනස් කිරීමටත්

    -හැකිවිය යුතුයි!

    උදාහරණයක් කිවගොත්, කලකට ඵරෙ මා සිතුවේ දිවි නසා ගන්නට යන්නේ මෝඩයෝ හෝ ප්‍රශ්නවලින් පළා යන බියසුල්ලෝ බවත්, ඔවුන් එසේ කිරීම සමාජ ප්‍රගමනයට හේතුවක් බවත් (average IQ increases) ය.

    මා ඒ මතය ප්‍රකාශ කර ඒ වෙනුවෙන් පෙනී සිටියා.

    පසුව ඒ ගැන විවිධ අය දැක්වූ අදහස් සළකා බලා මගේ මතය කෙමෙන් කෙමෙන් වෙනස් කර / නිවැරදිි කර ගත්තා.

    දැන් මා පෙනී සිටින්නේ දිවිනසා ගන්නට යන අය ඉන් වැළැක්විය යුතු බවටත්, ඔවුන්ට පිළිසරණ විය යුතු බවටත් ඇති මතවාදය වෙනුවෙනි!

    ReplyDelete
    Replies
    1. ඔබ ඉදිරිපත් කරන කරුණු හතර ගැන මම පුළුල් අදහසකින් එකඟ වෙනවා, රසික. ඒත්, එක් දෙයක් එකතු කළ යුතුයි. මෙතන 'නො බියව පෙනී සිටීම' කියන එක මම දකින්නේ මගේ අදහස පැතිරවීම වෙනුවෙන් මා ගෙවීමට කැමති උපරිම මිලට සාපේක්ෂව. මගේ අතට වස බඳුනක් දී අවසන් වරට 'ලෝකය රවුම්ද නැත්නම් පැතලිද?' කියා ඇසුවොත් මා කරන්නේ 'එහෙනම්, පැතලි ඇති!' කියා වස බඳුන ආපසු දීම මිස 'නෑ, ඒක රවුම්ම තමයි!' කියා වසපානය කිරීම නෙමෙයි. හැම දෙනාම හිතන්නේ ලෝකය පැතලි බවනම්, එය රවුම් බව කීම ජීවිතයෙන් වන්දි ගෙවියයුතු වරදක්නම් ප්‍රතිපත්ති වෙනුවට මගේ තෝරාගැනීම වන්නේ ජීවිතයයි. මෙය බියගුළු කමක් ලෙස කෙනෙක් දැකිය හැකියි. ඒ වගේම, 'ලෝකය රවුම්!' කියා වසපානය කිරීමට තරම් 'නිර්භීත' කෙනෙකුගෙන් සමාජ ප්‍රගමනයට ලැබෙන දායකත්වය මගෙන් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි, ඒ වෙලාවට 'එහෙනම්, පැතලි ඇති!' කියා පිළිගත්තත් මා වැඩේ අතාරින්නේ නැහැ. බාහිර තත්ත්වයන් වෙනස් වුනොත් නැවතත් මා 'එවෙලේ පැවති තත්ත්වය අනුව එසේ කිවුවත් ඇත්තටම ලෝකය රවුම්!' කියා කෑගසන්න පුළුවන්. කෙටියෙන් කීවොත්, මිනිස්සුන්ගේ අදහස් වගේම ඒ අදහස් වෙනුවෙන් 'නො බියව පෙනී සිටීමට' ඇති හැකියාවත් පුද්ගලයාට සාපේක්ෂයි. ඒ නිසා, මා නිර්භීත වන්නේ මට අවශ්‍ය ප්‍රමාණයට මෙන්ම, අනෙත් අයටත් එවැනි සීමාවන් ඇතිබව මා අමතක කරන්නේ නැහැ.

      Delete
  10. අද වත්පොතේ තිබුණා ඉන්දියාවේ කාන්තාවක් දුම්රියේ දී වැසිකිළියට ගොස් ආපසු ඇවිත් වාඩි වී ඉන්නවා සල්වාරය නැතුව කමිසය විතරක් ඇඳගෙන. අතේ මොබයිල් ෆෝන් එකෙන් බරටම වැඩ!

    පස්සේ ඉකොනොමැට්ස් වගේ කෙනෙක් ඇයට ඒ බව පෙන්නා දුන්නා ලු!

    ReplyDelete
    Replies
    1. මගේ වත්පොත් කාලය සහ ලංකාව පිලිබඳ ප්‍රවෘත්ති (පුවත්පත් සහ වෙබ්සයිට්) කියවීමට ගතකළ කාලය මේ වන විට සම්පූර්ණයෙන්ම වාගේ බ්ලොග් ලිවීම් සහ කියවීම් වෙනුවෙන් ආදේශවී හමාරයි. ඔබ ඉදිරිපත් කරන 'කතන්දරය' ඇත්ත එකක්නම් එය මේ සටහනට ගොඩක් අදාලයි.

      Delete
  11. අත්වැරදීම් සඳහා සමාව ලැබියයුතුයි. හිතාමතා කරන වැරදීම් සඳහා සමාව දීම දේව ගතියක් කියල සමහරු කියනව. හැබැයි මම වැරැද්දක් කරල අනිත් අයගෙන් දේව හැසිරීමක් අපේක්ෂා කරන්නෙ නෑ. මිනිස්සු කරන වැරදීම් බොහොමයක් නොදැන කරන දේවල් නෙවේ. ඒව කරන්නෙ දැනගෙන. නමුත් හතර අතින් වදිනකොට අනේ මම දන්නෙ නෑනෙ වගේ කතන්දර කියන්න පෙළඹෙනව.

    ReplyDelete
    Replies
    1. මා යමෙකු කරන දෙයක් වැරැද්දක් ලෙස දකින්නේ, රාජ්, තමන්ටම වරදක් බව පැහැදිලි දෙයක් හිතාමතාම කෙනෙක් කරනවානම්. මා වැරදි ලෙස දැක්කත්, තමන් නිවැරදි ලෙස දකින දෙයක් යමෙකු කිරීම ගැන මා එලෙස හිතන්නේ නැහැ. එහෙත්, මගේ මේ සිතීමේත් අවදානමක් තිබෙනවා. වෙනකෙනෙක් තමන්ටම වරදක් බව පැහැදිලි දෙයක් හිතාමතාම කරන බව මට පෙනුණත්, මගේ ඒ තීරණය නිවැරදි නොවිය හැකියි. මොකද ඒ පුද්ගලයා ඇත්තටම හිතන හැටි මට දැනගත නොහැකි නිසා.

      Delete
  12. කෙනෙක් ඇඳුම් නැතුව එක දව්සක් යනවානම් අපිට හිතන්න පුළුවන් මොකක් හරි වැරද්දක් වෙලා කියාලා..

    ඒත් හැමදාම හෙළුවෙන් යනවා නම්.. එක්කෝ ඌට පිස්සු.. එහෙම නැත්නම් ලෙඩක්..

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව මා සිතන විදිහත් මේ වගේ තමයි, මාතා. ඒත්, මේ හිතීමේත් අඩුපාඩුවක් තියෙනවා නේද? දැන් මේ හැමදාම හෙළුවෙන් යන කෙනා නිවැරදි සහ හොඳටම නිර්භීත කෙනෙක්නම්? අවුරුදු විස්සකින් තිහකින් හැමෝම හෙළුවෙන් යන සමාජයක් ඇතිවුණොත් අද මේ විදිහට 'පිස්සෙක්' හෝ 'ලෙඩෙක්' ලෙස පෙනුණු කෙනා වීරයෙක් සහ සමාජ පරිවර්තනයක් සිදුකළ පුරෝගාමියෙක් ලෙස පෙනිය හැකියි.

      හැමෝම ලෝකය පැතලියි කියා හිතපු කාලේ 'ලෝකය රවුම්' කියූ කෙනෙක්ව ලෙඩෙක් හෝ පිස්සෙක් ලෙස පෙනෙන්න ඇති. ඒ වගේම, මේ සමාජයේ ගොඩක් අයට හිටපු ගමන් 'ලෝකය රවුම්' යන අදහස ඔළුවට ආවත් 'මට හිතෙන විකාර අදහස්' කියා කාටවත් නොකියා ඉන්නත් ඇති. ඒ නිසා මම හිතන්නේ හැමෝටම පිස්සු වගේ හිතෙන අදහසක් වුනත් බය නැතුව ඉදිරිපත් කරන්න පුළුවන් වාතාවරනයක් තිබීම හොඳ බවයි.

      දැන් කෙනෙකුට කිව හැකියි මෙවැනි අදහසක් විනාශකාරීනම් එය පැතිරවීමට ඉඩ නොදිය යුතු බව. මෙතනත් තත්ත්වය පේනවට වඩා සංකීර්ණයි. අදහසක විනාශකාරී බවත් සාපේක්ෂ දෙයක්. හැමෝම ලෝකය පැතලියි කියා හිතන සමාජයක 'ලෝකය රවුම්' යන අදහස විනාශකාරී අදහසක් ලෙස පෙනිය හැක්කක්. උදාහරණයක් ලෙස සමාජ ශෝධකයෙකු මේ අදහස ගැන මේ විදිහට හිතන්න පුළුවන් "දැන් මේ මනුස්සයා කියන විදිහට ලෝකය රවුම් කියන අදහස සමාජයේ පැතුරුනොත් මොකද වෙන්නේ? නාවිකයෝ බය නැතුව මූදේ ඈතට ගිහින් ලෝකයේ ගැට්ටෙන් වැටිලා විනාශ වෙන්න පුළුවන්. මෙවැනි විනාශකාරී අදහස් නියපොත්තෙන්ම කඩා දැමිය යුතුයි."

      කොහොමවුණත්, ප්‍රතිවිරුද්ධ අදහස් සාමකාමී ලෙස හැකි තරම් ගැටෙන එක හොඳ දෙයක්. මේවා පුද්ගලයින්ගෙන් වෙන්කරලා අදහස් පමණක් ලෙස දැකිය හැකිනම් අපේ අදහස් වෙනස් කරගැනීම පහසුවෙනවා. මොකද මා ඔබේ අදහස පිළිගැනීමෙන් වෙන්නේ පසුබැසීමක් හෝ 'ඔබේ' අදහස භාරගැනීමක් නොවන නිසා.

      Delete
    2. මම නම් දන්නේ ලෙඩක් හැඳුනම බෙහෙත් අරගෙන සනීප වෙන්න උත්සාහ කරනවා මිසක්, ඒ ලෙඩෙත් එක්කම ජීවත් වෙන්න එකෙක්වත් උත්සාහ කරන්නේ නෑ කියලා..

      ඒත් ඒකත් සාපේක්ෂයි... පිස්සු තදවෙච්චි පොරවල් ඕන තරම් ඉන්නේ පාරේ... සමහර විට අනාගතේදී එහෙම ඉන්න එක ආතල් කියලා හිතුවොත්නම් කරන්න දෙයක් නෑ තමයි...

      Delete
  13. අත් වැරදීම් ඕනෙම අයකුට වෙන්න පුළුවන්.තමන්ගේ ඒ වරද හදා ගැනීමෙන් අනතුරව ඒ හදා ගත් වරද හයිලයිට් කරමින් වරද කල පුද්ගලයා විවේචනය කිරීම අනුමත කරන්න බැහැ.

    ReplyDelete
  14. කැතරින් ශුල්ට්ස් කියන පරිදි වත්මනේ වැරදි කරන්නවුන් නැත . යමක් වරදක් බව දැනුනු විට එක්කෝ එය කරන එක නවත්වයි නැතිනම් එය වරදක් නොවන බවට තර්ක ගොඩ නගා ගනී

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.