වෙබ් ලිපිනය:

Showing posts with label භාණ්ඩාගාර බිල්පත්. Show all posts
Showing posts with label භාණ්ඩාගාර බිල්පත්. Show all posts

Wednesday, May 28, 2025

බිල්පත් පොලිය අඩු වේ!

 

මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75% දක්වා අඩු කිරීමෙන් පසුව, අද (මැයි 28) පැවැත්වුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී, එම අඩු කිරීමට අනුරූපව, බිල්පත් පොලිය සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා. සාමාන්‍ය මූලධර්මයක් ලෙස එක් දින පොලී අනුපාතික ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට ආසන්නව පැවතිය යුතු අතර කල් පිරීමේ කාලය දිගු වෙද්දී පොලී අනුපාතික ක්‍රමයෙන් වැඩි විය යුතුයි.

අද වෙන්දේසියේදී තෙමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයද ඉක්මවා 7.55% දක්වා පහත වැටී අතර සය මාසික කල් පිරීමක් සහිත බිල්පත් පොලිය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ආසන්නයට පැමිණ තිබෙනවා. එක් වසර බිල්පත් පොලියද 8% සීමාවෙන් පහළට පැමිණ තිබෙනු දැකිය හැකියි.

රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් දිගටම පවත්වා ගන්නා තත්ත්වයක් යටතේදී සමස්තයක් ලෙස භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කළ හැක්කේ පැරණි බිල්පත් කල් පිරෙන විට වෙළඳපොලට නිදහස් වන මුදලට වඩා අඩු මුදලක්. ඒ නිසා, රජය විසින් වෙළඳපොලට නිදහස් කරන මුදල් සහ බිල්පත් නිකුත් කිරීම මගින් වෙළඳපොලෙන් නැවත ලබා ගන්නා මුදල අතර වෙනස බැංකු පද්ධතිය තුළ ඉතිරි වෙනවා. 

මේ වන විට බැංකු පද්ධතිය තුළ රුපියල් බිලියන 200කට ආසන්න ද්‍රවශීලතා අතිරික්තයක් දැකිය හැකියි. ඉදිරි කාලයේදී පොලී අනුපාතික තව දුරටත් පහත වැටීමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා. 

Wednesday, April 9, 2025

බිල්පත් වෙන්දේසිය මුළුමනින්ම අසාර්ථකයි!

 


අද (අප්‍රේල් 9) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් රජය විසින් මිල දී ගැනීමට සමත්ව තිබෙන්නේ රුපියල් බිලියන 3.75ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. වෙන්දේසියට රුපියල් බිලියන 80ක බිල්පත් ඉදිරිපත් කර තිබුණා. 

රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම ඇතුළු කවර හෝ හේතු නිසා සති තුනක පමණ සිට පොලී අනුපාතික මත පීඩනය ඉහළ යමින් පැවති බව අප විසින් පෙර සටහනක පෙන්වා දුන්නා. ඇමරිකාව විසින් තීරු බදු වැඩි කිරීමෙන් පසුව ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය හමුවේ දැන් ඉහත තත්ත්වය ඔඩු දුවමින් තිබෙනවා.

පසුගිය වසර තුළ ආර්ථිකය ඉලක්ක මට්ටමට වඩා වර්ධනය වූ අතර උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා අඩු වුනා. එහෙත් පොලී අනුපාතික ඉලක්ක මට්ටමට අඩු නොවූ බැවින් ඉහත යහපත් වර්ධනයන් නිසා රටේ ණය තිරසාරත්වයට ඇති වූ සාධනීය බලපෑමෙන් සැලකිය යුතු කොටසක් නිශේධනය වී ඇති බව මූල්‍ය අරමුදල විසින් පෙන්වා දී තිබුණා.

ප්‍රාථමික අයවැය අතිරික්තය ඉලක්ක මට්ටමේ තබා ගත්තේ වුවද, පොලී අනුපාතික ඉලක්ක මට්ටමේ රඳවා ගත නොහැකිනම්, සමස්ත අයවැය හිඟය ඉලක්ක මට්ටම ඉක්මවා යාම හේතුවෙන් ණය තිරසාරත්වය අවදානමට ලක් වෙනවා. 

සිංහල අලුත් අවුරුද්දට පෙර මුදල් ඉල්ලුම ඉහළ යාමේ බලපෑමද මෙහි තිබෙනවා විය හැකි බැවින් ඇතැම් විට මේ තත්ත්වය සිංහල අවුරුදු සතියෙන් පසුව යහපත් අතට හැරෙන්නට පුළුවන්. ඒ වන විට තීරු බදු යුද්ධයද යම් සමතුලිතතාවයකට පැමිණ තිබිය හැකියි. ඉන් පසුවද මේ තත්ත්වයේ වෙනසක් සිදු නොවුවහොත් එය ප්‍රශ්නයක්. 

Friday, November 8, 2024

විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් සල්ලි අච්චු ගහන හැටි!


විවට වෙළඳපොළ මෙහෙයුම් කියන්නේ මොනවාද? මේ ගැන විස්තර කරන මෙන් කිහිප දෙනෙක්ම ඉල්ලා තිබුණා. මේ ගැන පැහැදිලි කරන්න කලින් භාණ්ඩාගාර බිල්පත් ආයෝජන ගැන කලින් වැඩිපුර විස්තර කර නැති දෙයක් විස්තර කරලා ඉන්නම්.

භාණ්ඩාගාර බිල්පත් කියන්නේ ණය උපකරණයක්. ඒ කියන්නේ රජය ණය ගන්නා ක්‍රමයක්. නමුත් පුද්ගලයෙකුගේ පැත්තෙන් බැලුවොත් මෙය මුදල් ආයෝජනය කිරීම සඳහා තිබෙන විකල්ප ක්‍රමයක්. ගොඩක් වෙලාවට භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමෙන් ස්ථිර තැන්පතුවකින් ලබා ගන්නවාට වඩා වැඩි පොලී අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්.

මීට පෙර භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම ගැන මෙහි පළ කළ ලිපි කියවා ඒ වැඩේ පටන් ගත් බොහෝ දෙනෙක් ඉන්නවා. සාමාන්‍ය පුද්ගලයෙක් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්නේ බැංකුවක් හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් හරහා. සාමාන්‍ය පුද්ගලයෙකුට රජයෙන් සෘජුවම භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න බැහැ.

ලොකු මුදලක් ආයෝජනය කරන කෙනෙකුට බැංකුවක් හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් හරහා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න පුළුවන්. එහිදී වෙන්නේ අදාළ බැංකුව හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම විසින් යම් කොමිස් මුදලක් හා/හෝ ගාස්තුවක් අය කර රජය හා තමන්ගේ ගනුදෙනුකරු අතර අතරමැදියෙකු ලෙස කටයුතු කරන එක. අවසාන වශයෙන් බිල්පතේ අයිතිකරු වෙන්නේ ගනුදෙනුකරුවා.

නමුත් ප්‍රායෝගිකව සාපේක්ෂව අඩු මුදලක් ආයෝජනය කරද්දී වෙන්නේ ඔය වැඩේම නෙමෙයි. මෙහිදී ඇත්තටම වෙන්නේ අර කලින් කියපු ආකාරයට භාණ්ඩාගාර බිල්පතක් මිල දී ගන්නවාට වඩා වෙනස් වැඩක්. පැහැදිලි කිරීමේ පහසුවට මේ වෙන වැඩේ බැංකුව විසින් පාරිභෝගිකයාට භාණ්ඩාගාර බිල්පත කුලියට දීමක් කියා කියන්න පුළුවන්.

මේක හරියට යම් සීමිත කාලයකට රඹුටන් ගහක් බදු දෙනවා වගේ වැඩක්. අදාළ කාලය අවසන් වන තුරු රඹුටන් ගහෙන් ලැබෙන ප්‍රතිලාභ ලබා ගන්නේ බදු ගත් තැනැත්තා. 

සාමාන්‍ය මුදලක් බැංකුවක් හරහා භාණ්ඩාගාර බිල්පතක ආයෝජනය කරද්දී වෙන්නෙත් ඔය වැඩේ. බැංකුව විසින් කලින් මිල දී ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පතකක් මුදල් ආයෝජනය කරන කාලයට පාරිභෝගිකයාට පවරනවා. කාලය අවසන් වූ පසු බිල්පතේ අයිතිය නැවතත් බැංකුවටම ලැබෙනවා.

උදාහරණයක් විදිහට බැංකුව විසින් ජනවාරි 15 වෙනිදා මාස හයකින් කල් පිරෙන බිල්පතක් මිල දී ගන්නවා. එය කල් පිරී මුදල් ආපසු ලැබෙන්නේ ජූනි 15 වෙනිදා. ඔය අතර පෙබරවාරි 20 පරිභෝගිකයක් ඇවිත් බැංකුවට කියනවා මාස තුනකට භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමන්න ඔනෑ කියලා. දැන් බැංකුව කරන්නේ සල්ලි අරගෙන එහි හිලවුවට මාස තුනක කාලයකට තමන් කලින් ගත් බිල්පතේ අයිතිය පාරිභෝගිකයාට පවරන එක. ඒ කියන්නේ පෙබරවාරි 20 සිට මැයි 20 දක්වා කාලයට. ඔය මාස තුනක කාලය තුළ බිල්පත සඳහා රජයෙන් ලැබෙන පොලිය අයිති වෙන්නේ පාරිභෝගිකයාටයි.

ඔය විදිහට විස්තර කළාට රජය දවස ගානේ බිල්පත් වලට පොලී ගෙවන්නේ නැහැ. පොලියත් එක්ක මුල් මුදල ලැබෙන්නේ කල් පිරුණු පසුවයි. මේ උදාහරණයේදීනම් ජූනි 15. නමුත් බැංකුව පාරිභෝගිකයාට සල්ලි ආපහු ගෙවන්න ජූනි 15 වන තුරු ඉන්නේ නැහැ. මාස තුන ඉවර වූ ගමන් සල්ලි සහ පොලිය ගෙවනවා. ඒ නිසා, ඇත්තටම වෙන්නේ ඒ කාලය තුළ පාරිභෝගිකයාට තමන්ගේ සල්ලි වෙනුවෙන් ඇපයක් විදිහට භාණ්ඩාගාර බිල්පතක අයිතිය ලැබෙන එකයි.

මේ විදිහේ ගනුදෙනු වලට කියන්නේ ප්‍රති-මිල දී ගැනීම් ගනුදෙනු කියලා. ඉංග්‍රීසියෙන් repurchase transaction කියන එක. කෙටියෙන් රිපෝ කියලා කියනවා. ඉතින් ඇත්තටම ගොඩක් අය භාණ්ඩාගාර බිල්පතක ආයෝජනය කරනවා කියලා කරන්නේ බැංකුව එක්ක රිපෝ ගනුදෙනුවක් කරන එක.

මේ රිපෝ නැත්නම් ප්‍රති-මිල දී ගැනීම් කියන එකේ තේරුම මේකයි. බැංකුව ගණුදෙනුකරුට භාණ්ඩාගාර බිල්පතක් විකුණනවා. හැබැයි ඒ විකුණන්නේ නිශ්චිත කාලයකට පසුව එය බැංකුවටම ආපසු විකිණීමේ පොරොන්දුව මත. ආපසු විකිණිය යුතු දවස වගේම විකුණන මිල ගැනත් මුලින්ම එකඟතාවයකට එනවා. ඇත්තටම කියනවානම් ප්‍රති-මිල දී ගැනීම් ගනුදෙනුවක් කියන්නේ එක විටම එකඟ වෙන ගනුදෙනු දෙකක්. 

දැන් මේ විදිහට බැංකුව වෙනත් අයෙකුට ප්‍රති-මිල දී ගැනීම් පදනම මත බිල්පතක් විකුණද්දී ඒ පුද්ගලයාගේ පැත්තෙන් වෙන්නේ මිල දී ගැනීමක්. ඒ නිසා ඒ පැත්තෙන් මේකට කියන්නේ ප්‍රති-විකිණුම් ගනුදෙනුවක් කියලා. ඉංග්‍රීසියෙන් reverse repurchase transaction හෙවත් සාමාන්‍ය වහරේදී රිවර්ස් රිපෝ කියලා කියනවා.

බැංකු බැංකු අතරත් ඔය රිපෝ ගනුදෙනු සිදු වෙනවා. එක බැංකුවකට රිපෝ ගනුදෙනුවක් අනෙක් බැංකුවට රිවර්ස් රිපෝ ගනුදෙනුවක්. සාමාන්‍ය පාරිභෝගිකයෙක් සහ බැංකුවක් අතර ගනුදෙනුවක් වෙද්දී හැම විටම වගේ පාරිභෝගිකයාට අවශ්‍ය වෙන්නේ රිපෝ එකක් කරන්න. රිවස් රිපෝ එක කරන්නේ බැංකුව. නමුත් බැංකුවකට යම් දවසක රිපෝ කරන්න අවශ්‍ය වෙන්න වගේම රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වෙන්නත් පුළුවන්.

බැංකුවකට තවත් බැංකුවක් එක්ක රිපෝ ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වෙන්නේ මුදල් අතිරික්තයක් ඇති විට. මුදල් හිඟයක් ඇති විට රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරනවා. ඔය දෙකෙන් කොයි එක කළත් නිශ්චිත දින ගණනකට පසුව ගනුදෙනුව ආපසු හැරවීමට ආරම්භයේදීම එකඟ වෙනවා. මේ දින ගණන දවසක් තරම් කෙටි කාලයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අද බිල්පතක් විකුණලා හෙට ආපසු මිල දී ගන්නවා. නැත්නම් අද මිල දී ගෙන හෙට ආපසු විකුණනවා. 

බැංකු මේ විදිහට රිපෝ (හෝ රිවර්ස් රිපෝ) ගනුදෙනු කරන්නේ තාවකාලික මුදල් හිඟයක් හෝ තාවකාලික මුදල් අතිරික්තයක් ඇති විටයි. මුදල් හිඟය හෝ අතිරික්තය දිගටම තියෙන එකක් බව පේනවානම් කරන්නේ බිල්පතක් ස්ථිර ලෙසම විකිණීම හෝ මිල දී ගැනීම. ඒ කියන්නේ ආපසු හැරවීමේ ගිවිසුමක් නැතිව ගනුදෙනුව ඉවරම කරලා දමන එක. 

බැංකු බැංකු අතර ඔය විදිගේ රිපෝ ගනුදෙනු සිදු වෙනවා වගේම මහ බැංකුව හා බැංකු අතරත් රිපෝ ගනුදෙනු සිදු වෙනවා. හැබැයි මේ ගනුදෙනු සිදු වන්නේ උපරිම වශයෙන් සතියකින් ආපසු හැරවෙන පරිදියි. ඊට අමතරව, මේ දවස් වල නොකළත්, මහ බැංකුව අනෙකුත් බැංකු එක්ක බිල්පත් ස්ථිර ලෙසම විකිණීමේ හෝ මිල දී ගැනීමේ ගනුදෙනුත් කරනවා. මේ ගනුදෙනු සියල්ලටම පොදුවේ කියන්නේ විවට වෙළඳපොළ ගනුදෙනු කියලා.

විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් මහ බැංකුව විසින් බැංකුවකින් බිල්පතක් මිල දී ගනිද්දී ඒ වෙනුවෙන් අලුතෙන් මුදල් නිකුත් කිරීමක් සිදු වෙනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. මහ බැංකුව විසින් කෙළින්ම බිල්පත් වෙන්දේසියෙන් බිල්පත් මිල දී ගනිද්දී සිදු වන දෙයම තමයි. 

කෙළින්ම වෙන්දේසියෙන් බිල්පත් මිල දී ගන්න එක සාමාන්‍යයෙන් මහ බැංකුවක් කරන වැඩක් නෙමෙයි. නමුත් ලංකාවේ දිගින් දිගටම ඔය වැඩේ සිදු වුනා. දැන් අලුත් මහ බැංකු පණත අනුව ඒ වැඩේ කරන්න බැහැ. නමුත් විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගන්න එක ලෝකයේ හැම රටකම වගේ මහ බැංකු විසින් කරන සාමාන්‍ය දෙයක්. මහ බැංකුවේ රස්සාවේ ප්‍රධාන අංගයක්. අලුත් මහ බැංකු පණතෙන් ඒ වැඩේට කිසිම බාධාවක් නැහැ.

විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගනිද්දී රටේ සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. ඒ වගේම, මහ බැංකුව විසින් කලින් මිල දී ගත් බිල්පත් විකුණන විට සංචිත මුදල් ප්‍රමාණය පහත වැටෙනවා. මහ බැංකුවක් මුදල් සැපයුම අවශ්‍ය මට්ටමේ තියාගන්නේ මේ ක්‍රමයටයි. ඒ නිසා, මුදල් සැපයුම නිසි මට්ටමේ තියා ගැනීම සඳහා මහ බැංකුවකට විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගැනීම හා විකිණීම කරන්නම වෙනවා.

මහ බැංකුවක ප්‍රධානම කාර්යය උද්ධමනය පාලනය කිරීම. එය කරන්නේ පොලී අනුපාතික පාලනය කිරීම මගිනුයි. උද්ධමනය ඕනෑවට වඩා ඉහළ ගිය විට එය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික වැඩි කරන්න වෙනවා. නමුත් උද්ධමනය අඩු වුනාට පස්සේ නැවත පොලී අනුපාතික පහළට ගන්න වෙනවා. 

එහෙම කළේ නැත්නම් නැවතත් උද්ධමනය ආපු වෙලාවක පොලී අනුපාතික තවත් වැඩි කරන්න වෙනවා. දිගටම එහෙම කරන්න ගියොත් වෙන්නේ උද්ධමනය එන එන සැරේට පොලී අනුපාතික දිගින් දිගටම ඉහළ යන එකනේ. ඒ නිසා, උද්ධමන තර්ජනයක් නැති වෙලාවට පොලී අනුපාතික පුළුවන් තරම් පහළට ගත යුතුයි. එහෙම පහළට අරන් තිබුණහම නැවතත් උද්ධමන තර්ජනයක් එන වෙලාවක ප්‍රශ්නයක් නැතිව වැඩි කරන්න පුළුවන්.

පොලී අනුපාතික තීරණය වෙන්නේ මුදල් වලට තිබෙන ඉල්ලුම හා මුදල් සැපයුම අනුව. ඉල්ලුමට වඩා සැපයුම අඩුනම් පොලී අනුපාතික ඉහළ යනවා. සැපයුම වැඩිනම් පොලී අනුපාතික පහළ යනවා. ඒ නිසා මහ බැංකුවට පුළුවන් මුදල් සැපයුම පාලනය කිරීම මගින් පොලී අනුපාතික පාලනය කරන්න. මුදල් සැපයුම පාලනය කරන්නේ කලින් විස්තර කරපු විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගැනීම හෝ විකිණීම මගිනුයි. 

මුදල් ඉල්ලුම කියන්නේ දිනපතාම වෙනස් වන දෙයක්. අද ඉල්ලුම වැඩි වුනාට හෙට නැවත අඩු වෙන්න පුළුවන්. ඒ නිසා, මහ බැංකුව විසින් බිල්පත් මිල දී ගැනීම හා විකිණීම මගින් සැපයුම වෙනස් කළ යුත්තේ වෙළඳපොළ මුදල් ඉල්ලුම ස්ථිර ලෙසම වෙනස් වී ඇති බවක් පෙනේනම් පමණයි. මුදල් ඉල්ලුම තාවකාලිකව විචලනය වෙද්දී කරන්නේ රිපෝ හෝ රිවර්ස් රිපෝ ගනුදෙනු කිරීම මගින් පොලී අනුපාතික ස්ථාවරව තියා ගන්න එක. දැන් ටික කාලයක ඉඳලම මහ බැංකුව කරන්නේ ඒක.

මේ දවස් වල විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් මහ බැංකුව විසින් රිවර්ස් රිපෝ කරන ක්‍රම තුනක් තිබෙනවා. ඔය ක්‍රම තුනෙන් කොයි ක්‍රමයට කළත් වෙන්නේ මහ බැංකුවෙන් සල්ලි එළියට යන එකයි. ඒ කියන්නේ සංචිත මුදල් වැඩි වෙන එකයි. නමුත් ගනුදෙනුව කරන්නේම ඒ සල්ලි නැවත මහ බැංකුවට ආපසු එන ගිවිසුමත් අත්සන් කරලා. ක්‍රම තුන මේකයි.

1. එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය: මේ ක්‍රමයට මහ බැංකුව විසින් නිශ්චිත රිපෝ ගනුදෙනු ප්‍රමාණයක් සඳහා වෙන්දේසි ක්‍රමයට මිල ගණන් කැඳවනවා. එහිදී අඩුම ලන්සු තබන අයට එම පොලී අනුපාතික වලට මහ බැංකුව එක්ක රිපෝ ගනුදෙනුවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුවේ පැත්තෙන් රිවර්ස් රිපෝ ගනුදෙනුවක්. ඊළඟ වැඩ කරන දිනයේදී සල්ලි නැවත මහ බැංකුවට එනවා. මහ බැංකුව විසින් ඇපයට තියාගත් බිල්පත නැවත අදාළ බැංකුවටම අයිති වෙනවා. පසුගිය කාලයේදී සෑම වැඩ කරන දවසකම වගේ මහ බැංකුව විසින් රිවර්ස් රිපෝ වෙන්දේසි පවත්වලා තියෙනවා. අදාළ දවසේ මුදල් හිඟයක් තිබෙන බැංකු වලට වාසිදායකම විකල්පය මේක.

2. සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය: මේකත් කලින් ක්‍රමයම තමයි. නමුත් වෙනස ගනුදෙනුව ආපසු හැරෙන්නේ දවස් හතකින් පසුව වීමයි. එක දිගට සතියක් සල්ලි හිඟ බව පෙනෙන බැංකුවකට මේ වැඩේ හොඳ විකල්පයක්. ඒ දවස් හතට බිල්පතක අයිතිය අහිමි වෙනවා. මහ බැංකුව සල්ලි දෙන්නේ බිල්පතක් ඇපයට තියාගෙනනේ. පසුගිය සති වල අඟහරුවාදා දවස් වල මහ බැංකුව විසින් සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසි පවත්වලා තිබෙනවා.

3. නිත්‍ය ණය පහසුකම: මේ ක්‍රමයට සිදු වෙන්නෙත් එක් දින රිවර්ස් රිපෝ ගනුදෙනුවක්ම තමයි. ඒ කියන්නේ එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය හරහා සිදු වන දේ. නමුත් වෙන්දේසියට මහ බැංකුව විසින් ඉදිරිපත් කරන්නේ නිශ්චිත බිල්පත් ප්‍රමාණයක්. වෙන්දේසියෙන් ඒ බිල්පත් ගන්න ඉඩක් නොලැබුණු සහ දවස අන්තිමේදී මුදල් හිඟයක් තිබෙන බැංකුවකට දවස අවසානයේදී නිත්‍ය ණය පොලී අනුපාතිකය යටතේ රිපෝ ගනුදෙනුවක් කරන්න වෙනවා. ඒ පොලී අනුපාතිකය වෙන්ද්සියේ පොලී අනුපාතිකයට වඩා වැඩියි. පොලී අනුපාතිකයේ මේ වෙනස හැර වෙනත් වෙනසක් නැහැ. ඊළඟ වැඩ කරන දිනයේදී සල්ලි ආපසු ගෙවුවට පස්සේ බිල්පතේ අයිතිය ලබා ගන්න පුළුවන්.

මහ බැංකුව රිවර්ස් රිපෝ කරන ඔය ක්‍රම තුනෙන්ම තාවකාලිකව මුදල් සැපයුම වැඩි වී නැවත මුල් මට්ටමට එනවා. මීට අමතරව මහ බැංකුවට විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා රිපෝ වෙන්දේසි තියන්නත් පුළුවන්. ළඟකදීනම් රිපෝ වෙන්දේසි තියලා නැහැ.

මහ බැංකුව රිපෝ ගනුදෙනුවක් කළ විට සිදු වන්නේ බැංකුවක් විසින් මහ බැංකුවෙන් බිල්පතක් ඇපයට ගෙන මහ බැංකුවේ සල්ලි තැන්පත් කරන එකයි. නමුත් මේ දවස් වල බැංකු විසින් මහ බැංකුවෙන් ඇපයක් නොගෙනම විශාල මුදල් ප්‍රමාණයක් මහ බැංකුවේ තැන්පත් කරනවා. ඒ නිසා මහ බැංකුවට රිපෝ වෙන්දේසි තියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ සල්ලි වෙනුවෙන් මහ බැංකුව ගෙවන පොලී අනුපාතිකය මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය. 

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කියා කියන්නේ ඔය නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය සහ කලින් කියපු නිත්‍ය ණය පහසුකම යටතේ රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරද්දී බැංකුවක් විසින් මහ බැංකුවට ගෙවිය යුතු නිත්‍ය ණය පොලී අනුපාතිකය කියන පොලී අනුපාතික දෙකටයි.

දැන් මේ විදිහට බැංකුවක් නිත්‍ය තැන්පතු පහසුකම ප්‍රයෝජනයට ගනිද්දී සංචිත මුදල් සැපයුම අඩු වෙනවා. ඊළඟ දවසේ ඒ සල්ලි ආපසු ගනිද්දී මුදල් සැපයුම කලින් පැවති මට්ටමටම එනවා.

උදාහරණයක් විදිහට අපි පසුගිය අඟහරුවාදා (නොවැම්බර් 5)  දින සිදු වූ විවට වෙළඳපොළ ගණුදෙනු පරීක්ෂා කර බලමු.

මහ බැංකුවෙන් රිවර්ස් රිපෝ ක්‍රමයට ලබා දුන් ණය:

එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 16,665

සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 50,000

නිත්‍ය ණය පහසුකම - රුපියල් මිලියන 550

එකතුව = රුපියල් මිලියන 67,215

සමහර වෙබ් අඩවි වල මහ බැංකුව අච්චු ගහපු සල්ලි කියලා පෙන්වලා තියෙන්නේ ඔය විදිහට එළියට ගිය මුදල් ප්‍රමාණය. මේ ගණන් මහ බැංකුව දිනපතා ප්‍රකාශයට පත් කරනවා. නමුත් ආපසු එන සල්ලි ගැන විශේෂයෙන් කියන්නේ නැහැ. රිවර්ස් රිපෝ කියලා කිවුවහම දන්න ඕනෑම කෙනෙකුට ඒ සල්ලි ආපහු එන බව තේරුම් ගන්න අමාරු නැහැ.

පහත තියෙන්නේ ඔය කියන දවසේදීම (නොවැම්බර් 5) කලින් කරපු රිවර්ස් රිපෝ ආපසු හැරවෙද්දී මහ බැංකුවට ආපසු පැමිණි මුදල් ප්‍රමාණය. 

මහ බැංකුවෙන් රිවර්ස් රිපෝ ක්‍රමයට ලබා දුන් ණය ආපසු ගෙවීම්:

එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 20,000

සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 70,000

නිත්‍ය ණය පහසුකම - රුපියල් මිලියන 50

එකතුව = රුපියල් මිලියන 90,050

දැන් පේනවනේ. රුපියල් මිලියන 57,215ක් එළියට ගියත් රුපියල් මිලියන 70,050 ආපසු මහ බැංකුවට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් රුපියල් මිලියන 22,835ක මුදලක් මහ බැංකුවට ඇවිත් තියෙනවා. 

මීට අමතරව, ඔය කියන දවසේදී නිත්‍ය ණය පහසුකම් ලෙස රුපියල් මිලියන 165,567ක මුදලක් මහ බැංකුවට ඇවිත් තියෙනවා. ඒ එක්කම අනෙක් පැත්තට කලින් දවසේ ඒ විදිහටම තැන්පත් කරපු රුපියල් මිලියන 166,012ක් ආපසු ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් රුපියල් මිලියන මිලියන 445ක් මහ බැංකුවෙන් එළියට ගිහින් තියෙනවා. ඔය ගණන කලින් ගණනෙන් අඩු කළොත් සමස්තයක් විදිහට රුපියල් මිලියන 22,390ක් මහ බැංකුවට ආපහු ඇවිත් තියෙනවා. 

මේ පසුගිය අඟහරුවාදා තත්ත්වයනේ. ඊට කලින් දවසේ, ඒ කියන්නේ සඳුදා තත්ත්වය ඔය විදිහටම ගණන් හැදුවොත්, එදා වෙලා තියෙන්නේ රුපියල් මිලියන 39,409ක් එළියට යන එකයි. ඒ කියන්නේ එපමණකින් සංචිත මුදල්ද ඉහළ යනවා කියන එක. නමුත් ඔය වගේ දෙයක් දවසක් වුනා කියන්නේ අමුතු දෙයක් හෝ කලබල විය යුතු දෙයක් නෙමෙයි. සමහර දවස් වල වැඩියෙන් සල්ලි එළියට එනවා. සමහර දවස්වල වැඩියෙන් මහ බැංකුවට එනවා. ඒක වෙන්නේ මුදල් ඉල්ලුම වෙනස් වෙන විදිහ අනුවයි. 

නොවැම්බර් මාසයේ අද දක්වා වැඩ කරන දවස් හයක කාලය සැලකුවහොත් විවට වෙළඳපොළ ගනුදෙනු හරහා ශුද්ධ වශයෙන් රුපියල් මිලියන 13,911ක් නැවත මහ බැංකුවට එන එකයි සිදු වී තියෙන්නේ. සාමාන්‍යයෙන් ධන හා සෘණ විචලනයන් අවලංගු වී ගියාම ඒ තරම් විශාල නැති ධන හෝ සෘණ ගණනක් තමයි එන්නේ. හැබැයි මේ ගණන දිහා බලලා වුනත් මහ බැංකුව කොයි තරම් සල්ලි අච්චු ගහලද කියන එක ගැන අදහසක් ගන්න බැහැ. විවට වෙළඳපොළ ගනුදෙනු කියා කියන්නේ සංචිත මුදල් වෙනස් වෙන එක ක්‍රමයක් පමණයි. විදේශ විණිමය ගනුදෙනු, රජය සමඟ කරන ගනුදෙනු වැනි තවත් හේතු ගණනාවක් නිසා සංචිත මුදල් සැපයුම වෙනස් වෙනවා.

Sunday, October 20, 2024

පසුගිය මාසයේ රජය කොයි තරම් ණය වුනාද?


මේ වන වට ජනාධිපතිවරණය පැවැත්වී මාසයක් ගත වී තිබෙනවා. එම මාසයක කාලය තුළ රජය විසින් අලුතෙන් කොපමණ ණය ලබා ගෙන තිබේද?

රජය විසින් ලබා ගන්නා සියලු ණය වර්ග පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නැතත් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබා ගත් ණය පිළිබඳ නිශ්චිත තොරතුරු මහ බැංකු වෙබ් අඩවියෙන් බලා ගන්න පුළුවන්. පහත තිබෙන්නේ පසුගිය මාසයක කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජය විසින් ලබා ගෙන තිබෙන ණය ප්‍රමාණයයි.

සැප්තැම්බර් 25 - රුපියල් මිලියන 132,000

ඔක්තෝබර් 2 - රුපියල් මිලියන 156,750

ඔක්තෝබර් 9 - රුපියල් මිලියන 93,500

ඔක්තෝබර් 16 - රුපියල් මිලියන 106,700

එකතුව - රුපියල් මිලියන 488,950

කෙසේ වුවත්, මෙම කාලය තුළ කල් පිරුණු (ආපසු ගෙවිය යුතු) භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් මෙම අරමුදල් වලින් වැඩි කොටසක් වැය වී තිබෙනවා. පහත තිබෙන්නේ එසේ ආපසු ගෙවූ ණය ප්‍රමාණයි. 

සැප්තැම්බර් 27 - රුපියල් මිලියන 114,666

ඔක්තෝබර් 4 - රුපියල් මිලියන 135,344

ඔක්තෝබර් 11 - රුපියල් මිලියන 64,766

ඔක්තෝබර් 18 - රුපියල් මිලියන 76,138

එකතුව - රුපියල් මිලියන 390,914

මේ අනුව, භාණ්ඩාගාර බිල්පත් ණය ආපසු ගෙවූ ප්‍රමාණයට වඩා රුපියල් මිලියන 98,036ක් වැඩියෙන් අලුත් භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගෙන තිබෙනවා. 

මීට අමතරව, ඔක්තෝබර් 11 දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීම මගින් තවත් රුපියල් මිලියන 104,500ක ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව, මාසයක කාලය තුළ රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ප්‍රමාණය රුපියල් මිලියන 203,536කින් ඉහළ ගොස් තිබිය යුතුයි. 

සැප්තැම්බර් 26 දින වන විට ශ්‍රී ලංකා රජය විසින් ලබා ගෙන තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ප්‍රමාණය රුපියල් මිලියන 17,154,456ක්. මේ වන විට මෙම ප්‍රමාණය රුපියල් මිලියන 17,356,992 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඔක්තෝබර් 23 දින නැවතත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන අතර එහිදී සහ ඉන් අනතුරුව තවත් රුපියල් මිලියන 137,500ක භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගැනීමට ඉඩ තිබෙනවා. ඔක්තෝබර් 25 දින රුපියල් මිලියන 107,017ක භාණ්ඩාගාර බිල්පත් ණය ආපසු ගෙවිය යුතුයි. ඒ අනුව, මේ සතියේ ඉහත ණය ප්‍රමාණයද  ලබාගතහොත් භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණය තවත් රුපියල් මිලියන 30,483කින් ඉහළ යා හැකියි. 

මේ අයුරින් ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණයට වඩා වැඩියෙන් අලුතෙන් ණය ලබා ගැනීමට අවශ්‍ය වන ප්‍රධානම හේතුව ආපසු ගෙවද්දී ණය මෙන්ම පොලියද ගෙවිය යුතු වීමයි. භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගනිද්දී පොලිය මුලින්ම ගෙවන බැවීන් රජයට ඇත්තටම ලැබෙන්නේ ණය ප්‍රමාණයෙන් පොලිය අඩු වූ විට කොටසයි. 

කෙසේ වුවද ඉහත ණය ප්‍රමාණ පසුගිය මාසය තුළ ආපසු ගෙවා ඇති භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය වල සහ පොලියේ එකතුවටද වඩා වැඩියි. පෙර සැලසුම් කළාට වඩා රජයේ වියදම් වැඩි වී තිබීමට හෝ ආදායම් අඩු වී තිබීමට විශේෂ හේතුවක් නොපෙනෙන බැවින් මෙම අමතර අරමුදල් ප්‍රමාණය සංචිතයක් සේ තබා ගන්නවා විය හැකියි. 

Saturday, September 28, 2024

අලුත් ආණ්ඩුව තවත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවාද?

දැන් තවත් අලුත් බැච් එකක් (දැන් භාෂාවෙන්නම් බැජ් එකක්) ආර්ථිකය ගැන ඉගෙන ගනිමින් ඉන්නවා. මෙය ඔවුන් වෙනුවෙන් ලියන, මූලික සංකල්ප පැහැදිලි කෙරෙන ලිපියක්. කාලයක් මෙහි පළ කෙරෙන දේවල් කියවන අයට මෙහි අලුත් දෙයක් නැතිව ඇති. මේ දේවල්ම මීට පෙර වරින් වර පැහැදිලි කර තිබෙනවා.

භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනවාද?

භාණ්ඩාගාර බිල්පත් කියා කියන්නේ ශ්‍රී ලංකා රජයේ (සහ වෙනත් රටවල රජයන්හි) කෙටිකාලීන ණය උපකරණයක්. ඒ කියන්නේ රජය කෙටිකාලීන ණය ලබා ගන්නා ක්‍රමය. හරියටම කිවුවොත් ප්‍රධානම ක්‍රමය. මේ ක්‍රමයට රජය විසින් උපරිම වශයෙන් වසරක් දක්වා කාලයක් සඳහා ණය ලබා ගන්නවා. වසරකට වඩා වැඩි කාලයකට ණය ලබා ගන්නේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින්. 

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ශ්‍රී ලංකා රජය විසින් කොපමණ ණය ලබාගෙන තිබෙනවාද?

මෙම වසරේ මැද (ජූනි 30) වන විට ශ්‍රී ලංකා රජය විසින් ලබා ගෙන තිබුණු මුළු ණය ප්‍රමාණයේත්, ශ්‍රී ලංකා රජය ඇප වී ලබා ගෙන තිබුණු ණය ප්‍රමාණයේත් මුළු එකතුවේ ඩොලර් අගය මිලියන 100,646ක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 100කට වඩා වැඩියි. නමුත් එයින් අදහස් වන්නේ මේ සියළුම ණය විදේශ ණය බව හෝ ඩොලර් වලින් ලබාගෙන තිබෙන ණය බව නෙමෙයි.

ඉහත ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 5,618ක් ශ්‍රී ලංකා රජයේ ඇප වීම මත වෙනත් ආයතන (උදාහරණයක් ලෙස තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ්‍රීලංකන් ගුවන් සේවය, සතොස, ධීවර සංස්ථාව වැනි රාජ්‍ය සංස්ථා) විසින් ලබා ගෙන ඇති ණයයි. ඒ අනුව, මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 95,028ක්. එයින් 60%කට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් ඩොලර් මිලියන 57,246කට සමාන ණය ප්‍රමාණයක්, මධ්‍යම රජය විසින් ලබාගෙන තිබුණු රුපියල් ණයයි. 

ඉහත සඳහන් මධ්‍යම රජයේ රුපියල් ණය වලින් වැඩි ප්‍රමාණය ලබා ගෙන තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගිනුයි. එම ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 41,920ක්. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබාගෙන තිබුණු රුපියල් ණය ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 12,739ක්. රුපියල් වලින් බිලියන 3,894.5ක්. පසුගිය (2024 අගෝස්තු) මාසය අවසන් වන විට මෙම ප්‍රමාණය රුපියල් බිලියන 3,921.5 දක්වා ඉහළ ගොස් තිබුණා. මෙම ණය උපරිම වශයෙන් වසරක කාලයක් ඇතුළත ආපසු ගෙවිය යුතුයි.

ආපසු ගෙවිය යුත්තේ ණය පමණද? පොලිය ගෙවිය යුතු නැද්ද?

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ණය ගැනීමේදී සිදුවන ක්‍රියාවලිය සරල ණයක් ලබා ගැනීමේදී සිදුවන ක්‍රියාවලියට වඩා වෙනස්. මෙහිදී ණය ප්‍රමාණය යන්නෙන් අදහස් වන්නේ පොලියද ඇතුළත්ව ආපසු ගෙවිය යුතු මුළු මුදලයි. තේරුම් ගැනීමේ පහසුව පිණිස ඕනෑවට වඩා සරල කළහොත්, භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නා අයෙකු රජයට ණය දෙන්නේ ගෙවිය යුතු පොලිය කලින්ම අඩු කර ගෙනයි. 

රජය විසින් රුපියල් බිලියන 3,921.5ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇතත්, එයින් අදහස් වන්නේ ඊට සමාන මුදලක් රජයට ලැබී ඇති බව නෙමෙයි. රජයට ඇත්තටම ලැබී තිබෙන්නේ මීට වඩා අඩු මුදලක්. මෙම මුදල පොලියද ඇතුළත්ව රජය විසින් ආපසු ගෙවිය යුතු මුදලයි. එම මුදල භාණ්ඩාගාර බිල්පතක "මුහුණත අගය" ලෙස හැඳින්වෙනවා. 

භාණ්ඩාගාර බිල්පත් පොලිය තීරණය වෙන්නේ කොහොමද?

භාණ්ඩාගාර බිල්පත් පොලිය තීරණය වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී. සාමාන්‍යයෙන් සතියකට වරක් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනවා. එහිදී ගැනුම්කරුවන්ට වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා ලන්සු ඉදිරිපත් කළ හැකියි. 

උදාහරණයක් ලෙස රුපියල් බිලියන 100ක මුහුණත අගයක් ඇති භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසියට ඉදිරිපත් කළා කියා අපි හිතමු. මෙයින් අදහස් වන්නේ බිල්පතක් "කල් පිරීමේදී" ආපසු ලැබෙන මුදලයි. "කල් පිරීම" යන්නෙන් අදහස් වන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබා ගන්නා ණය හා පොලිය එක වර ආපසු ගෙවන දිනය ලඟා වීමයි. 

කල් පිරෙන විට රුපියල් 100ක් ලබා ගැනීම සඳහා ගැනුම්කරුවෙකු විසින් ගෙවන්නට කැමති වන්නේ රුපියල් 100කට වඩා අඩු මුදලක්. එම මුදල රුපියල් 80ක්, 90ක් හෝ 95ක් වැනි රුපියල් 100ට වඩා අඩු ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. 

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන ගැනුම්කරුවෙකුට ලැබෙන පොලී අනුපාතය තීරණය වන්නේ වක්‍ර ලෙසයි. උදාහරණයක් ලෙස වසරකින් කල් පිරෙන රුපියල් 100ක බිල්පතක් රුපියල් 80කට වෙන්දේසියෙන් මිල දී ගන්නා අයෙකුට වසර අවසානයේදී තමන්ගේ ආයෝජනය වෙනුවෙන් රුපියල් 20ක ප්‍රතිලාභයක් ලැබෙනවා. එය 25%ක (=20/80*100%) වාර්ෂික පොලියක් ලැබීමට සමානයි. නමුත් එම බිල්පතම රුපියල් 95ක් ගෙවා වෙන්දේසියෙන් මිල දී ගත්තේනම් ලැබෙන වාර්ෂික පොලිය 5.26%කට (=5/95*100%) සීමා වෙනවා. 

භාණ්ඩාගාර බිල්පත් පොලී ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන වචනය "ඵලදා අනුපාතය" යන්නයි. ඊට හේතුව, ලැබෙන ප්‍රතිලාභය එක් එක් පුද්ගලයා විසින් බිල්පත මිල දී ගැනීමේදී ගෙවූ මුදල මත තීරණය වන්නක් වීමයි. වෙනත් අයුරකින් කිවුවොත් තමන්ගේ අරමුදල් කොයි තරම් ඵලදායී ලෙස ආයෝජනය කර ඇත්ද යන්න මෙයින් නිර්ණය වන නිසා. 

වෙන්දේසියේදී සිදුවන්නේ රුපියල් 100ක මුහුණත අගයක් සඳහා වැඩිම මුදලක ලංසු ඉදිරිපත් කරන ගැනුම්කරුවන්ට බිල්පත් නිකුත් කිරීමයි. එනම්, අඩුම ඵලදා අනුපාතයක් භාර ගන්නා ගැනුම්කරුවන්ට බිල්පත් විකිණීමයි.

ඉදිරියේදී වෙනස් වීමට නියමිතව ඇතත්, තවමත් රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පවත්වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. ඇතැම් අවස්ථා වලදී වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ලංසු වල මිල බොහෝ අඩුනම් (එනම් අපේක්ෂා කරන ඵලදා අනුපාතිකය බොහෝ වැඩිනම්) සහ රජයට තාවකාලිකව රෝලක් ගසා ගැනීමේ හැකියාවක් ඇත්නම්, වෙන්දේසියට ඉදිරිපත් කරන බිල්පත් වලින් කොටසක් හෝ මුළු ප්‍රමාණයම නොවිකුණා සිටින අවස්ථාද දැකිය හැකියි.

භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැක්කේ කාටද?

මුලින්ම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරද්දී ඒවා සෘජුව මිල දී ගත හැක්කේ වාණිජ බැංකු, ප්‍රාථමික ගැනුම්කරුවන්, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන කිහිපයකට පමණයි. එහෙත්, වාණිජ බැංකු හා ප්‍රාථමික ගැනුම්කරුවන් හරහා වෙනත් ඕනෑම ආයතනයකට හෝ පුද්ගලයෙකුට භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැකියි. 

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ලබා ගන්නා අරමුදල් වලින් කරන්නේ කුමක්ද?

මෙම අරමුදල් පරණ ණය හා පොලී ගෙවීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, රාජ්‍ය සංස්ථා වල පාඩු පියවීම, යටිතල පහසුකම් දියුණු කිරීම, සුබසාධන වියදම් වැනි විවිධ කාර්යයන් සඳහා රජයට යොදාගත හැකියි. මෑතකාලීන ප්‍රවණතා දෙස බැලුවහොත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, රාජ්‍ය සංස්ථා වල පාඩු පියවීම, යටිතල පහසුකම් දියුණු කිරීම, සුබසාධන වියදම්  වැනි දේ සඳහා බදු ආදායම් වෙන් කර ඇති බැවින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ලබා ගන්නා අරමුදල් වලින් තනිකරම වාගේ සිදු කර ඇත්තේ පරණ ණය හා පොලී ගෙවීමයි.

සෑම සතියකම මෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමක් සිදු වන බැවින්, සෑම සතියකම මෙන් භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමක්ද සිදු වෙනවා. උදාහරණයක් ලෙස ඊයේ (සැප්තැම්බර් 27) දින රුපියල් බිලියන 114.6ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් කල් පිරීමට නියමිතව තිබුණා. ඒ කියන්නේ රජය විසින් ඊට සමාන මුදලක් ආයෝජකයින්ට ගෙවිය යුතුයි.

මෙසේ රුපියල් බිලියන 114.6ක මුදලක් භාණ්ඩාගාර බිල්පත් ආයෝජකයින්ට ආපසු ගෙවීමටනම්, එම මුදල රජයට ලැබෙන ක්‍රමයක්ද තිබිය යුතුයි. බදු හරහා රජයට ආදායමක් ලැබෙන නමුත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, රාජ්‍ය සංස්ථා වල පාඩු පියවීම, යටිතල පහසුකම් දියුණු කිරීම, සුබසාධන වියදම් වැනි විවිධ කාර්යයන් සඳහා එම මුදල් වැය කිරීමෙන් පසුව ණය හා පොලී ගෙවීම සඳහා වැය කළ හැකි තරමේ ඉතිරියක් වෙන්නේ නැහැ. ඒ නිසා, රජයේ එදිනෙදා වියදම් බදු වලින් පියවා ගත්තේ වුවද, පරණ ණය හා පොලී ගෙවීම සඳහා අලුතෙන් ණය ගන්නට සිදු වෙනවා. ඒ සඳහා භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කරන්නට සිදු වෙනවා. මේ ණය චක්‍රයෙක් පහසුවෙන් ගැලවෙන්න බැහැ.

කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවිය යුත්තේ රුපියල් බිලියන 114.6ක මුදලක් පමණක් වුවත්, එපමණ මුදලක බිල්පත් අලුතෙන් නිකුත් කිරීමෙන් පමණක් මෙම අරමුදල් ප්‍රමාණය එකතු කර ගැනීමේ හැකියාවක් නැහැ. ඊට හේතුව, රුපියල් බිලියන 114.6ක මුහුණත අගය ඇති බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කර රජයට ලබා ගත හැකි මුදල ඊට වඩා අඩු මුදලක් වීමයි. කලින් විස්තර කළ පරිදි, මෙම ක්‍රමයේදී ආයෝජකයින් විසින් රජයට මුදල් ලබා දෙන්නේ අනාගතයේදී ලැබිය යුතු පොලිය කලින්ම අඩු කරගෙනයි. ඒ නිසා, රුපියල් රුපියල් බිලියන 114.6ක මුදලක් එකතු කර ගැනීම සඳහා ඊට වඩා වැඩි බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කරන්නට සිදු වෙනවා. ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 25 දින රජය විසින් රුපියල් බිලියන 120ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කර තිබෙනවා. 

මේ අයුරින් සැප්තැම්බර් 25 දින වෙන්දේසි කළ බිල්පත් ප්‍රමාණයෙන් රුපියල් බිලියන 70ක් දින 91කිනුත්, රුපියල් බිලියන 40ක් දින 182කිනුත්, ඉතිරි රුපියල් බිලියන 10 දින 364කිනුත් කල් පිරෙනවා. එසේ කල් පිරෙද්දී අදාළ මුදල් ආපසු ගෙවීම සඳහා අරමුදල් සොයා ගන්නට සිදු වන්නේ මෙම ප්‍රමාණ වලටත් වඩා වැඩියෙන් ණය ගැනීම මගිනුයි. වෙන ක්‍රමයක් නැහැ. මේක ණය චක්‍රයක්!

මේ ණය චක්‍රයෙන් ගැලවෙන්න කිසිම ක්‍රමයක් නැද්ද?

එය කළ හැකි ක්‍රමය හැකි තරමින් රජයේ ආදායම් වැඩි කරගෙන හා රජයේ වියදම් සීමා කරගෙන ටිකෙන් ටික හෝ ණය ගෙවීමයි. දිගටම අඛණ්ඩව එසේ කරන්නේනම් ණය ප්‍රමාණය ටිකෙන් ටික අඩු වී යනවා. එහෙම කළත්, ණය ගෙවා ඉවර කරන්නනම් අවම වශයෙන් අවුරුදු විසිපහක්වත් යයි. තව අවුරුදු දහයක්වත් යන තුරු අනිවාර්යයෙන්ම සිදු වන්නේ තිබෙන ණය ප්‍රමාණය වසරින් වසර ඉහළ යාමයි. 

ණය තිරසාරත්වය ඇති කර ගැනීම යන්නෙන් අදහස් කරන්නේ රජයේ ආදායමෙන් යම් කොටසක් ඉතිරි කරගෙන ණය ගෙවීම සඳහා යෙදවීම මගින් හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උදවුවෙන් වාර්ෂිකව රජය විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය සහ පොලිය දරාගත හැකි මට්ටමක් දක්වා අඩු කර ගැනීමයි. 

Wednesday, September 11, 2024

දේශපාලන අවදානම හා පොලී අනුපාතික

 

ජනාධිපතිවරණ දිනය ආසන්න වෙද්දී ඉහළ ගොස් ඇති දේශපාලන අවදානම හමුවේ අද (සැප්තැම්බර් 11) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට රුපියල් බිලියන 180ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කළද, රජයට විකුණාගත හැකිව තිබෙන්නේ රුපියල් බිලියන 164.8ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. එම ප්‍රමාණය මිල දී ගෙන තිබෙන්නේද පොලී අනුපාතික නැවත 10% සීමාව ඉක්මවීමට ඉඩ හරිමිනුයි.

ඉදිරි සතියේ වෙන්දේසියට රුපියල් බිලියන 175ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබෙනවා. එය ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියයි. 

Wednesday, February 7, 2024

පොලී අනුපාතික විශාල ලෙස පහත වැටේ!


අද (2024 පෙබරවාරි 7) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. ඒ පසුගිය සතියේද එවැනිම පහත වැටීමක් සිදු වීමෙන් පසුවයි. පහත තිබෙන්නේ අද වෙන්දේසියේ පොලී අනුපාතික.

දින 91 - 10.96%

දින 182 - 11.07%

දින 364 - 10.73%

දෙසතියකට පෙර (2024 ජනවාරි 23) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදීද බිල්පත් අලෙවි වූයේ මීට වඩා සැලකිය යුතු තරම් ඉහළ පොලී අනුපාතික වලටයි. 

දින 91 - 13.35%

දින 182 - 13.41%

දින 364 - 12.78%

මාස විස්සකට පෙර (2022 අප්‍රේල් 7 දින), වත්මන් මහ බැංකු අධිපතිවරයා ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව, උද්ධමනය ඉක්මණින් අඩු කර ගැනීම ඉලක්ක කර ගනිමින්, පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාමට ඉඩ සැලැස්වූවා. පහත තිබෙන්නේ ඔහු ධුරයේ වැඩ භාර ගෙන මාස හතරකට පසුව (2022 සැප්තැම්බර් 7) පොලී අනුපාතික පැවති මට්ටමයි.

දින 91 - 32.89%

දින 182 - 31.29%

දින 364 - 30.50%

කෙසේ වුවද, මේ වන විට පොලී අනුපාතික වත්මන් අධිපතිවරයා වැඩ භාර ගන්නා විට පැවති මට්ටමට සාපේක්ෂව වුවද විශාල ලෙස පහත වැටී තිබෙනවා. පහත තිබෙන්නේ ඒ වන විට (2022 අප්‍රේල් 6 දින) පැවති පොලී අනුපාතිකයි.

දින 91 - 14.12%

දින 182 - 15.36%

දින 364 - 15.69%

උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවක් සතු ප්‍රධානම මෙවලම පොලී අනුපාතිකයි. වත්මන් අධිපතිවරයා විසින් ධුරය භාර ගැනීමෙන් අනතුරුව එම අවිය නිවැරදි ලෙස ප්‍රයෝජනයට ගැනුනා. 

පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම බොහෝ දෙනෙකුගේ කණස්සල්ලට හා විවේචනයට හේතු වුවත්, එමගින් 73.7% වැනි (ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව) ඉහළ මට්ටමක පැවති උද්ධමනය කෙටි කලක් තුළ මහ බැංකුවේ ඉලක්ක මට්ටම දක්වා පහත දමා ගැනීමට හැකි වුනා. 

ආසන්න කාලයකදී උද්ධමනය මෙවැනි ඉහළ මට්ටමක පැවති බොහෝ රටවල එම ඉහළ උද්ධමනය තවමත් පාලනය වී නැහැ. පොලී අනුපාතික නිසි සේ ප්‍රයෝජනයට ගනිමින් ලංකාවේ උද්ධමනය පාලනය කිරීමෙන් අනතුරුව දැන් පොලී අනුපාතිකද දිගුකාලීනව පැවති සාමාන්‍ය මට්ටම දක්වා පහත වැටෙමින් තිබෙනවා.

කෙසේ වුවද, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තියට අමතරව, පොලී අනුපාතික පහත වැටීම කෙරෙහි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් වලින් විශාල බලපෑමක් සිදු වී තිබෙනවා. මේ වන විට රජයේ ආදායම් වැඩි කර ගැනීම හා වියදම් පාලනය හරහා ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කරගෙන ඇති බැවින් පරණ ණය හා පොලී ගෙවීම සඳහා හැර රජය පවත්වා ගෙන යාම සඳහා ණය ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා, රජය විසින් අලුතෙන් ණය ලෙස ලබා ගන්නේ පරණ ණය හා පොලී වෙනුවෙන් දේශීය මුදල් වෙළඳපොළට පොම්ප කරන රුපියල් ප්‍රමාණයට වඩා අඩු රුපියල් ප්‍රමාණයක්.

ඉහත තත්ත්වය තුළ දේශීය මුදල් වෙළඳපොළේ රුපියල් ද්‍රවශීලතාවය ඉහළ යමින් තිබෙනවා. මහ බැංකුව විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම හරහා මෙම අතිරික්ත ද්‍රවශීලතාවයෙන් කොටසක් අවශෝෂණය කර ගන්නා නමුත් අනෙක් අතට මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමද සිදු කරමින් සිටින නිසා නැවතත් වෙළඳපොළේ රුපියල් ද්‍රවශීලතාවය ඉහළ යනවා. ජනවාරි මාසය තුළ රටේ නිල සංචිත තව දුරටත් ඉහළ යාම මගින් හා ඩොලරයක මිල පහත යාමෙන් පෙන්නුම් කරන්නේ මහ බැංකුව විසින් දිගින් දිගටම වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් සිටින බවයි.

රජයේ ණය ගැනීම් සීමා වෙද්දී බැංකු පද්ධතිය තුළ ඉතිරි වන අතිරික්ත රුපියල් ප්‍රමාණය පෞද්ගලික අංශයට ණය ලෙස දීමට බැංකු වලට සිදු වෙනවා. මෙහිදී ණය සැපයුම පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ඉක්මවීමේ ප්‍රතිඵලයක් ලෙස එම ණය පොලී පහත වැටීමක්ද සිදු වෙමින් පවතිනවා. 

Thursday, August 31, 2023

අගෝස්තු උද්ධමනය 4%යි!


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේදී උද්ධමනය 4.0% දක්වා පහත වැටී තිබෙනවා. මෙය මහ බැංකුවේ දිගුකාලීන උද්ධමන ඉලක්කය වන 4%-6% පරාසයේ පහළම සීමාවයි. ඉදිරි මාසයේදී මෙම අගය ඉලක්ක සීමාවෙන් පහතට වැටෙන බව ඉතාම පැහැදිලි අතර ශුන්‍ය මට්ටමට වුවද ආසන්න විය හැකියි. එමෙන්ම මෙම මාසයේ උද්ධමනය වුවද ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මීට වඩා අඩු මට්ටමක පැවතිය යුතුයි. අඩු වශයෙන් වසර අවසාන වන තුරු උද්ධමනය මහ බැංකුවේ ඉලක්ක සීමාවෙන් පහළ රැඳී තිබිය හැකියි. 

මේ වන විට පවතින උද්ධමනය හා සැසඳූ විට පොලී අනුපාතික තිබෙන්නේ සෑහෙන තරම් ඉහළ මට්ටමකයි. අඟහරුවාදා දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 150ක බිල්පත් ප්‍රමාණයෙන් විකුණා ගත හැකි වූ ප්‍රමාණය රුපියල් බිලියන 108ක් පමණයි. ඒ වෙනුවෙන් පෙර සතියට වඩා තරමක් වැඩි පොලියක් භාර ගන්නටද සිදු වුනා. පෙර සතියේදී 17.97% මට්ටමේ පැවති දින-91 ඵලදා අනුපාතය 18.48% දක්වා ඉහළ ගොස් තිබුණු අතර අනෙකුත් කල් පිරීම් වල ඵලදා අනුපාතිකද ඉහළ ගොස් තිබුණා. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම තෙවන වරටද කල් යාම නිසා ඇති වූ වෙළඳපොළ අවිනිශ්චිතතාව මීට හේතු වී ඇති බව පෙනෙනවා. 

Wednesday, August 16, 2023

සංචිත අනුපාතය අඩු කිරීමෙන් පසු බිල්පත් පොලිය


ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% සිට 2% දක්වා පහත හෙළීමෙන් අනතුරුව අද පැවති බිල්පත් වෙන්දේසියේදී වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 180ක් තරම් විශාල මුළු බිල්පත් ප්‍රමාණයම වෙන්දේසි වී ඇති අතර ඵලදා අනුපාතික වලද සැලකිය යුතු පහළ යාමක් පෙනෙන්නට තිබෙනවා. 

දින 91 බිල්පත්:

පසුගිය සතිය - 19.78%

මේ සතිය - 17.55%

අඩු වීම - 2.23%


දින 182 බිල්පත්:

පසුගිය සතිය - 17.11%

මේ සතිය - 14.87%

අඩු වීම - 2.24%


දින 364 බිල්පත්:

පසුගිය සතිය - 13.94%

මේ සතිය - 13.19%

අඩු වීම - 0.75%

කෙසේ වුවද, ඉහත ඵලදා අනුපාතික තවමත් තිබෙන්නේ ඒක්ෂණ මුදල් වෙළඳපොළ පොලී අනුපාතික වලට වඩා සැලකිය යුතු තරම් ඉහළිනුයි. මෙම තත්ත්වය තුළ මහ බැංකුව විසින් තවදුරටත් ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමෙන් බිල්පත් පොලී අනුපාතික වල ලොකු වෙනසක් සිදු වීමට ඉඩක් නැහැ. බැංකු පද්ධතිය තුළ මුදල් සැපයුම ඉහළ යාම මගින්ම පොලී අනුපාතික පහත යා යුතුයි. 

Wednesday, July 19, 2023

අද පොලී අනුපාතික තවත් ඉහළට!


අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ඵලදා අනුපාතික තව දුරටත් ඉහළ යාමට ඉඩ දීමෙන් පසුවද විකුණා ගත හැකි වී තිබෙන්නේ වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 160ක බිල්පත් ප්‍රමාණයෙන් රුපියල් බිලියන 63.7ක ප්‍රමාණයක් පමණයි. දින-91 බිල්පත් වල ඵලදා අනුපාතිකය 19.99%දක්වාත්, දින-182 ඵලදා අනුපාතිකය 17.77 දක්වාත්, දින-364 ඵලදා අනුපාතිකය 14.35% දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. 

රුපියල් බිලියන 220.7ක ලන්සු ඉදිරිපත් වී ඇතත්, අවශ්‍ය බිල්පත් ප්‍රමාණය මිල දී ගෙන නැත්තේ එසේ කළේනම් ඵලදා අනුපාතික තවත් ඉහළ යන නිසායි. එයින් අදහස් වන්නේ මෙම ඵලදා අනුපාතික නියම වෙළඳපොළ ඵලදා අනුපාතික නොවන බව සහ නියම වෙළඳපොළ ඵලදා අනුපාතික මීටත් වඩා වැඩි බවයි. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිවේදනය නිකුත් වීමෙන් පසුව පැවති පළමු බිල්පත් වෙන්දේසියේදී, එනම් ජූලි 5 වෙන්දේසියේදී, දින-91 බිල්පත් වල ඵලදා අනුපාතික 23.00% සිට 17.79% දක්වාත්, දින-182 ඵලදා අනුපාතික 19.49% සිට 15.93% දක්වාත්, දින-364 බිල්පත් වල ඵලදා අනුපාතික 16.99% සිට 13.86% දක්වාත් පහත වැටුණා. එමෙන්ම, වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 140ක මුළු බිල්පත් ප්‍රමාණයම එම මිල ගණන් යටතේ අලෙවි කළ අතර වෙන්දේසියෙන් පසුව තවත් අමතර රුපියල් බිලියන 35ක බිල්පත් ප්‍රමාණයක් එම මිල ගණන් වලටම අලෙවි කළ හැකි වුනා. මෙය මේ අයුරින් වෙන්දේසියෙන් පසුව අලෙවි කළ හැකි උපරිම ප්‍රමාණයයි. එනම්, වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයෙන් 25%කට සමාන ප්‍රමාණයක්. 

කෙසේ වුවත්, ජූලි 5 වෙන්දේසියේදී පැවති ඉහත තත්ත්වය සතියකට පසුව ආපසු හැරී තිබුණා. ජූලි 12 වෙන්දේසියේදී පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ දීමෙන් පසුවද විකුණා ගත හැකි වූයේ වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 160ක බිල්පත් ප්‍රමාණයෙන් රුපියල් බිලියන 99.7ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. අද වන විට මෙම තත්ත්වය තවත් නරක අතට හැරී තිබෙනවා. 

පොලී අනුපාතික මෙවැනි ඉහළ මට්ටමක දිගටම පැවතුණහොත්, යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලින් පසුවද ණය තිරසාරත්වය ඇති කර ගැනීම අපහසු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස නැවත වටයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් මතු විය හැකියි. නැවත වටයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානමක් පෙනෙන්නට ඇති විට පොලී අනුපාතික පහත වැටෙන්නේ නැහැ. ඒ නිසා, පොලී අනුපාතික ඉතා ඉක්මණින්, අපේක්ෂිත අයුරින් පහත නොවැටුනහොත් ඒ හේතුව නිසා විෂම චක්‍රයක් ආරම්භ වෙන්න පුළුවන්. 

මේ අතර, රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මුලින් ඉදිරිපත් කළ කාල රාමුව දෙසතියකින් පමණ කල් දමා තිබෙනවා. ඒ අනුව, මුලින් සැලසුම් කළ පරිදි ජූලි මාසය අවසන් වෙද්දී මේ කටයුත්ත අවසන් වන්නේ නැහැ. 

මහ බැංකුව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා රජයට ලැබෙන සහනය ගණන් හදා තිබෙන්නේ විශ්‍රාම පාරිතෝෂිත අරමුදල් වල බැඳුම්කර 100%ක්ම ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කරනු ඇතැයි යන උපකල්පනය යටතේ. එහෙත්, පොලී අනුපාතික පිළිබඳ අපේක්ෂාවන් ඉහළ මට්ටමක පවතීනම් මෙම අරමුදල් සතු බැඳුම්කර සියල්ල ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම සිදු නොවිය හැකියි. මේ පිළිබඳව හරියටම දැනගන්න වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ පසුවයි. 

මේ අතර, ඉහළ ගිය ඩොලරයක මිල ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කරන අතර එයට හේතුව මහ බැංකුවේ මැදිහත්වීමක් විය හැකියි.

Wednesday, July 5, 2023

ප්‍රතිව්‍යුහකරණ අවදානම් ඉවත් වූ පසු පොලී අනුපාතික...

 

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව වූ අවිනිශ්චිතතා ඉවත් වීමත් සමඟ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහත ගොස් තිබෙනවා. අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස-3 පොලී අනුපාතික 5.21%කින්ද, මාස-6 පොලී අනුපාතික 3.56%කින්ද, මාස-12 පොලී අනුපාතික 3.13%කින්ද පහළ ගොස් තිබෙනවා. 

හෙට දිනයේදී බොහෝ විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල සැලකිය යුතු කප්පාදුවක් සිදුවිය හැකි අතර එයින් අනතුරුව ඉදිරි සතියේදී බිල්පත් පොලී අනුපාතික තවත් පහළ යා යුතුයි.

Wednesday, May 17, 2023

ණය සීමාව වැඩි කළේ ඇයි?

මෑතකදී රජයට නිකුත් කළ හැකි උපරිම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් ඉහළ දැම්මා. මෙයින් අදහස් වන්නේ කුමක්ද?

භාණ්ඩාගාර බිල්පත් කියන්නේ ලංකාවේ කාලයක් තිස්සේ භාවිතා කෙරෙන ණය උපකරණයක්. රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ. මේ පණත වරින් වර සංශෝධනයට ලක්ව ඇතත් නිදහස ලබන්න පෙර සිටම පැවති පණතක්. 

මෙම පණතේ 2(1) වගන්තිය අනුව මුදල් විෂය භාර ඇමතිවරයාට පුළුවන් කිසියම් උපරිමයකට යටත්ව, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජයට අවශ්‍ය ණය ලබා ගැනීම සඳහා භාණ්ඩාගාරයේ අදාළ නියෝජ්‍ය ලේකම් වරයාට නියෝග කරන්න. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ණය ගැනීම ඇතුළු රාජ්‍ය මූල්‍යනය පිළිබඳ බලය තිබෙන්නේ ව්‍යවස්ථාදායකයට. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා, මේ බලය මුදල් ඇමති වරයාට ලැබෙන්නේ පාර්ලිමේන්තුවෙන්. නමුත්, දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ 2(1) වගන්තිය අනුව, පාර්ලිමේන්තුව විසින් මේ අනුමැතිය දෙන්නේ යම් උපරිම සීමාවකට යටත්ව. ඒ නිසා, නීතිය අනුව, ඊට වඩා වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න බැහැ. 

ඉහත සීමාව කවදාවත් ප්‍රායෝගිකව ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් අප දන්නා පරිදි රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් පවත්වා ගනිද්දී වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න වෙනවා. ඔහොම ගිහින් යම් අවස්ථාවක රජය විසින් නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඔය අනුමත උපරිම සීමාවට කිට්ටු වෙනවා. එවිට විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගෙන උපරිම සීමාව වැඩි කර ගන්නවා. කලට වෙලාවට ඔය වැඩේ නොකළොත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න යද්දී නීතිමය/ තාක්ෂනික ප්‍රශ්නයක් ඇති වෙලා ලොකු අවුලක් වෙන්න පුළුවන්. ලංකාවේ කවදාවත් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. (ඇමරිකාවේනම් මේ දවස් වල ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා.)

2021 ජුනි මාසය වන තුරු මෙම සීමාව රුපියල් බිලියන 2000ක්. එම මාසයේදී අදාළ සීමාව රුපියල් බිලියන 3000 දක්වා වැඩි කළා. ඉන්පසුව, පසුගිය 2022 වසරේ ජූනි මාසයේදී මෙම සීමාව රුපියල් බිලියන 4000 දක්වාත්, නැවත 2022 නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 5000 දක්වාත් ඉහළ දමනු ලැබුවා. දැන් මෙම සීමාව රුපියල් බිලියන 6000 දක්වා ඉහළ දමා තිබෙනවා. 

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ හැකි උපරිම සීමාව ඉහළ දැමූ පමණින් එපමණ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරෙනු ඇති බවක් අදහස් වන්නේ නැහැ. එයින් අදහස් වන්නේ නැවත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා තුරු ඊට වඩා වැඩියෙන් බිල්පත් නිකුත් කළ නොහැකි බව පමණයි. එහෙත්, වඩා වැඩියෙන් බිල්පත් නිකුත් නොකරන්නේනම් සීමාව ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. සීමාව ඉහළ දමන්නේම පරණ සීමාව ඉක්මවා බිල්පත් නිකුත් කිරීමට අවශ්‍ය නිසයි. 

පසුගිය සතිය අවසන් වන විට (මැයි 11) රුපියල් බිලියන 4,840ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කර තිබුණා. උපරීම සීමාව වැඩි නොකළේනම්, රටේ නීතිය අනුව තව දුරටත් නිකුත් කළ හැකිව තිබුණේ රුපියල් බිලියන 160ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. මේ වගේ වෙලාවක නොව සාමාන්‍ය තත්ත්වයකදී වුවත් මෙවැනි සීමිත නීතිමය අවකාශයක් තිබීම රාජ්‍යමූල්‍ය කළමනාකරණය සාමාන්‍ය පරිදි කිරීමට බාධාවක්. ඒ වගේම, සතිපතා හෝ මාස්පතා සීමාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර ගැනීමද තේරුමක් නැති වැඩක්. එකවර තරමක් වැඩි ප්‍රමාණයකින් සීමාව ඔසොවන්නේ ඒ නිසා. 

කෙසේ වුවත් මෙවැනි උපරිම නීතිමය සීමාවක් තිබීම නරක දෙයක් නෙමෙයි. එයින් යම් පාලනයක් සිදු වෙනවා. 

පෙරේදා (මැයි 15) රුපියල් බිලියන 103.6ක බැඳුම්කර ප්‍රමාණයක කල් පිරුණා. ඒ වගේම, පසුගිය සතියේ (මැයි 12) රුපියල් බිලියන 305.7ක විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් කල් පිරුණා. අනිද්දා (මැයි 19) තවත් රුපියල් බිලියන 305.7ක බිල්පත් ප්‍රමාණයක් කල් පිරෙනවා (මෙම ගණන් දෙක සමාන වීම අත්වැරැද්දක් නෙමෙයි.) මේ ටික එකතු කළොත් රුපියල් බිලියන 715.0ක අති දැවැන්ත මුදලක්. මැයි 12-19 කාලය තුළ රජය විසින් මෙම බිල්පත් හා බැඳුම්කර පියවිය යුතුයි. මේ වෙනුවෙන් 23% පොලියට බිල්පත් මිල දී ගත්තොත්, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 879ක බිල්පත් අලුතෙන් නිකුත් කරන්න සිදු වෙනවා. එවිට දැනට නිකුත් කර ඇති බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 268කින් පමණ වැඩි වෙනවා. එසේ නැත්නම් අනෙක් විකල්පය බිල්පත් අඩුවෙන් නිකුත් කර අඩුව පිරවීමට බැඳුම්කර අලුතෙන් නිකුත් කිරීමයි.

මගේ අදහසනම් මේ වෙලාවේ බැඳුම්කර අඩුවෙන් නිකුත් කර බිල්පත් වැඩියෙන් නිකුත් කළ යුතු බවයි. එසේ යෝජනා කරන්නට හේතු කිහිපයක් තිබෙනවා. 

පළමුව, සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් විය යුතුයි. එවිට මූල්‍ය වෙළඳපොළ අවිනිශ්චිතතා විශාල ලෙස දුරු වී පොලී අනුපාතික මත වන අවදානම් අධිභාරය ඉවත් වෙනවා. මෙය සිදු නොවුවහොත් විශාලම අවුලක් වන නිසා පොලී අනුපාතික ගැන කතා කරන එකේවත් තේරුමක් නැහැ. අපේක්ෂිත පරිදි වැඩේ වෙයි කියලා දැනට හිතමු.

දෙවන කරුණ සැප්තැම්බර් වන විට උද්ධමනය විශාල ලෙස පහත වැටීමයි. ඒ වන විට මෙම අගය තනි අංකයක් වෙන්න පුළුවන්. යම් එහා මෙහා වීමක් හැරුණු විට මෙය නියත වශයෙන්ම සිදු වීමට නියමිත නමුත් ඒ පිළිබඳ වෙළදපොල විශ්වාසය තවමත් ගොඩ නැගී නැහැ. තව සති හයකින් මේ විශ්වාසය ගොඩ නැගෙයි. ඇතැම් විට ඊට පෙර දේශීය ණය ගැන පැහැදිලි ප්‍රකාශයක් ආවොත් එහි බලපෑමත් පොලී අනුපාතික වලට එයි. මේ තත්ත්වයන් එක්ක සැප්තැම්බර් පමණ වන විට පොලී අනුපාතික විශාල ලෙස අඩු විය යුතුයි.

දැන් කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළොත් එම බිල්පත් වසරක් ඇතුළත කල් පිරෙන නිසා ඉන් පසුව අඩු පොලියකට නැවත නිකුත් කළ හැකියි. සය මාසික බිල්පත් නිකුත් කළොත් වාසිය තවත් වැඩියි. බැඳුම්කර නිකුත් කළොත් දැන් තිබෙන ඉහළ පොලී අනුපාතිකය දිගටම ගෙවන්න සිදු වෙනවා. වැඩියෙන් බිල්පත් නිකුත් කරන්නනම් උපරිම සීමාව අනිවාර්යයෙන්ම ඉහළ දමන්න වෙනවා. දැන් එය කර ඇති නිසා මේ වැඩේට බාධාවක් නැහැ.

අද (මැයි 17) වෙන්දේසියේදී රුපියල් බිලියන 180ක බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කර තිබෙනවා. මෙම ප්‍රමාණය විශාල ප්‍රමාණයක්. පසුගිය සතියේදීද මීට ආසන්න බිල්පත් ප්‍රමාණයක් නිකුත් කෙරුණා. කෙසේ වුවත්, මෙම ප්‍රමාණය කල් පිරුණු බිල්පත් ප්‍රමාණයට වඩා අඩු නිසා මුළු බිල්පත් ප්‍රමාණය වැඩි වී නැති විය හැකියි. ඇතැම් විට මීට අමතරව මහ බැංකුව සතු වූ කල් පිරුණු බිල්පත් නැවත ආයෝජනය කළා වෙන්නත් පුළුවන්. කල් පිරුණු බිල්පත් වලින් මහ බැංකුවේ කොටස හරියටම දන්නේ නැතත් එම පංගුව සැලකිය යුතු පංගුවක් විය යුතුයි.

පොලී අනුපාතික වලද යම් පහත යාමක් පෙන්නුම් කරනවා. අදාළ දත්ත පහත වගුවේ ඇති නිසා නැවත සටහන් කරන්නේ නැහැ.

අලුතෙන් නිකුත් කරන බිල්පත් වල පොලී අනුපාතික අඩු වීමේදී පහත වැටෙන්නේ එම බිල්පත් වල පොලිය පමණක් නෙමෙයි. වෙළඳපොළේ දැනට තිබෙන බිල්පත් හා බැඳුම්කර වල පොලී අනුපාතිකද ඒ හා පහත වැටෙනවා. ඒ නිසා, පොලී අනුපාතික පහත වැටෙන එක සෙමින් සිදුවන ක්‍රියාවලියක්. පොලී අනුපාතික සුළුවෙන් පහත වැටෙද්දී වුවත් දිගුකාලීන බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ යනවා. 

ණය සීමාව ඉහළ දමා ඇති නිසා මහ බැංකුව තව සල්ලි අච්චු ගසයිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති ගිවිසුමෙන් මහ බැංකුව විසින් රජයට ලබා දිය හැකි ශුද්ධ ණය ප්‍රමාණය පිළිබඳව උපරිම සීමාවන් නියම කර තිබෙනවා. පහත තිබෙන්නේ එම සීමාවන්.

2022 අවසානයේදී රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය - රුපියල් බිලියන 2,834යි.

2023 මාර්තු අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,890යි.

2023 ජූනි අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,890යි.

2023 සැප්තැම්බර් අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,840යි.

2023 දෙසැම්බර් අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,740යි.

මේ අනුව, උපරිම සීමාව ක්‍රමයෙන් පහත වැටෙන බව පැහැදිලි විය යුතුයි. රුපියල් බිලියන 2,890 කියන්නේ ජනවාරි අවසාන වෙද්දී තිබුණු ඇත්ත ගණන. එම ගණන ජූනි අවසන් වන තුරු වැඩි වෙන්න බැහැ. ඉන් පසුව, සැප්තැම්බර් IMF විමර්ශනය වෙද්දී අඩු වශයෙන් රුපියල් බිලියන 50කින් අඩු වෙන්න ඕනෑ. වසර අවසන් වන විට තවත් රුපියල් බිලියන 100කින් අඩු වෙන්න ඕනෑ. ඕකයි එකඟතාවය.

මෙම සීමා ඉක්මවා යාමට ලංකාවේ නීතියෙන් බාධාවක් නැතත් එසේ සීමා ඉක්මවා ගියහොත් රජයට සහ මහ බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු බේරාගන්නට සිදු වෙනවා. 



Wednesday, March 22, 2023

පොලී අනුපාතික අඩු වෙන්න පටන් අරන්ද?


අද (මාර්තු 22) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික වල සැලකිය යුතු අඩුවීමක් දැකිය හැකියි. දින-91 පොලී අනුපාතික 26.23% දක්වාත්, දින-182 පොලී අනුපාතික 26.12 % දක්වාත් අඩු වී ඇති අතර, දින-364 පොලී අනුපාතික 24.32% දක්වා පහත වැටී තිබෙනවා.

පොලී අනුපාතික මෙලෙස පහත වැටී තිබෙන්නේ රුපියල් බිලියන 125ක, සැලකිය යුතු තරම් විශාල, බිල්පත් තොගයක් වෙන්දේසි කරද්දී වීම විශේෂත්වයක්. මෙම බිල්පත් ප්‍රමාණය සඳහා එමෙන් දෙගුණයකට ආසන්න, රුපියල් බිලියන 241.3ක ලංසු ඉදිරිපත් වී තිබෙනවා. 

මෙයින් පෙනී යන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ අවදානම්හි පහළ යාමක් විය හැකියි. මේ වන විට ප්‍රසිද්ධ කර ඇති ස්ථායීකරණ වැඩපිළිවෙළ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වනු ඇති බව පෙනෙන්නට ඇතත් එයින් සිදු විය හැකි අලාභය ගැන බිල්පත් හිමියන්ට තිබුණු අවිනිශ්චිතතා අඩු වී තිබෙනවා. 

දේශීය ණය කියන්නේ මොනවාද?

අප කතා කරන සන්දර්භය තුළ, දේශීය ණය යනු ශ්‍රී ලාංකිකයින් විසින් රාජ්‍ය අංශයට ලබා දී ඇති ණයයි. එම සන්දර්භය තුළ, විදේශ ණය යනු රාජ්‍ය අංශය විසින් විදේශිකයින්ගෙන් ලබා ගෙන ඇති ණයයි. කෙසේ වුවද, මෙම වර්ගීකරණය ආර්ථික සංඛ්‍යාලේඛණ වල කරන වර්ගීකරණයක් මිස භෞතික හෝ නීතිමය වෙනස්කමක් මත කරණ වර්ගීකරණයක් නෙමෙයි. අයිතිය වෙනස් වීම නිසා ඕනෑම මොහොතක දේශීය ණයක් විදේශීය ණයක් විය හැකියි. එහි අනෙක් පැත්තද විය හැකියි.

නීතිමය කටයුත්තක් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ඉහත වර්ගීකරණය එතරම් වැදගත් නැහැ. එහිදී වැදගත් වන්නේ ණය ගිවිසුම සිදුව ඇති නීතියයි. ඇතැම් ණය ලංකාවේ නීතිය යටතේ ලබාගෙන ඇතත්, තවත් ඇතැම් ණය ලබා ගෙන තිබෙන්නේ වෙනත් රටක නීතියක් යටතේයි. මේ ගොඩවල් දෙකේම දේශීය ණය මෙන්ම විදේශීය ණයද තිබෙනවා. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය තුළ, ණය වර්ගීකරණය කරන්නේ මේ ආකාරයෙන් නෙමෙයි. එහිදී කාණ්ඩ තුනක් යටතේ ණය වර්ගීකරණය කෙරෙනවා.

-විදේශ නීතියක් යටතේ විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගෙන ඇති ණය 

-දේශීය නීතියක් යටතේ විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගෙන ඇති ණය 

-නීතියක් යටතේ ශ්‍රී ලංකා රුපියල් වලින් ලබාගෙන ඇති ණය 

මෙම කාණ්ඩ තුන අතරින් ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත්ම අසීරු පළමු කාණ්ඩයේ ණයයි.

පසුගිය වසර අවසානයේදී ඩොලර් මිලියන 83,595ක් ලෙස ඇස්තමේන්තු කර ඇති ලංකාවේ මුළු ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 41,474ක්ම පළමු කාණ්ඩයේ ණයයි. එම මුදලින් ඩොලර් මිලියන 3,002ක් පසුගිය වසර තුළ පැහැර හැර අවසානයි. දෙවන කාණ්ඩයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,069ක් වන අතර එයින් ඩොලර් මිලියන 230ක්ද පසුගිය වසර තුළ පැහැර හැර තිබෙනවා. තුන් වන කාණ්ඩය යටතේ ඇති රුපියල් ණය වල ඩොලර් අගය මිලියන 38,052ක්. 

පළමු කාණ්ඩයට අයත් ණය වලින් බහුපාර්ශ්වික ණය, මුදල් හුවමාරු ණය සහ නිල වශයෙන් ණය පැහැර හැරීමෙන් පසුව ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ නැහැ. ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව ඇත්තේ ඉතිරි ද්විපාර්ශ්වික ණය සහ වාණිජ ණයයි. මීට අමතරව දෙවන කාණ්ඩයේ ණයද ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වෙනවා. 

ඉහත කාණ්ඩ තුන තුළම දේශීය ණය තිබෙනවා. පළමු කාණ්ඩය තුළ ඇති මුහුණත අගය ඩොලර් මිලියන 12,250ක් වන ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 1,750ක් දේශීය ණය වන අතර දෙවන කාණ්ඩය බොහෝ දුරට දේශීය ණයයි. මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම දේශීය බැංකු වල ශේෂ පත්‍ර කෙරෙහි බලපානවා.

වැඩි වශයෙන්ම දේශීය ණය වන තුන්වන කාණ්ඩය හා අදාළව නිශ්චිත තීරණයක් තවමත් ගෙන නැතත් යම් ආකාරයක ණය ප්‍රතිසංවිධානය කිරීමක් අපේක්ෂා කළ හැකියි. මේ වන විට ශ්‍රී ලංකා බලධාරීන් සහ ඔවුන්ගේ උපදේශකයින් විසින් රටේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට හානියක් නොවන පරිදි මෙම තුන්වන කාණ්ඩයේ ණය ප්‍රතිසංවිධානය කළ හැකි විවිධ විකල්ප ක්‍රමවේද සලකා බලමින් සිටිනවා.

Thursday, March 16, 2023

බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!


ඊයේ (මාර්තු 15) මහා භාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීමක් මත මහ බැංකුව විසින් රුපියල් බිලියන 113.5ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් එපමණ මුදලක් රජයට ලබා දී තිබෙනවා. මෙම මුදල මහ බැංකුවෙන් ඉල්ලා තිබෙන්නේ ඊයේ ගෙවීමට නියමිතව තිබූ ණය මුදලක් ආපසු ගෙවීම සඳහායි.

ණය ගෙවිය යුතු වූයේ කවර පාර්ශ්වයකටද යන්න සඳහන්ව නැහැ. මහ බැංකුවෙන් මේ අයුරින් රුපියල් ලබා ගත්තත්, එම රුපියල් වැය කර ඩොලර් මිල දී ගෙන විදේශ ණයක් ආපසු ගෙවුවා වෙන්නත් පුළුවන්. ඊයේ පැවති විණිමය අනුපාතය අනුව මෙම මුදල ඩොලර් මිලියන 347කට ආසන්න මුදලක්. 

ඇතැම් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් ලබන සතියේදී ලැබෙන්නට නියමිත නිසාත්, මහ බැංකුව විසින් පසුගිය දිනවල සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇති නිසාත්, ඉන්දියාවට ගෙවිය යුතු ණය වලින් කොටසක් ගෙවුවා වෙන්න පුළුවන්. කොහොම වුනත්, මේ කොටස මගේ හිතළු පමණයි. ණය ගෙවුවේ කාටද කියා මම හරියටම දන්නේ නැහැ.

යම් හෙයකින් මෙසේ ආපසු ගෙවුවේ විදේශ ණයක්නම් ඒ සඳහා ඩොලර් මිල දී ගත්තේ මහ බැංකුවෙන්ම පමණක්ද එසේ නැත්නම් යම් කොටසක් වෙළඳපොළෙන් මිල දී ගත්තේද යන්නත් පැහැදිලි නැහැ. මේ වන විට අන්තර්බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල නැවත ඉහළ යාම තුළින් පිළිබිඹු වන්නේ එහි වූ අතිරික්ත ඩොලර් ද්‍රවශීලතාව මහ බැංකුව විසින් මුළුමනින්ම අවශෝෂණය කර ගනිමින් සිටින බව හෝ එසේ කර අවසන්ව ඇති බවයි.

රජය විසින් බදු වැඩි කර, වියදම් සීමා කර ඇතත්, අපේක්ෂිත තරමටම බදු ආදායම් එකතු වන බවක් පෙනෙන්නට නැහැ. යම් හෙයකින් විදේශ අංශයේ ප්‍රශ්නය විසඳාගනු ලැබුවද, රජයේ විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිල දී ගැනීමට ප්‍රමාණවත් බදු ආදායමක් එකතු නොවුවහොත්, එම හිඟය පියවා ගන්නට සිදු වන්නේ දේශීය වෙළඳපොළෙන් ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම මගිනුයි. පොලී අනුපාතික තවත් ඉහළ යන්නට ඉඩ නොදී දේශීය වෙළඳපොළෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය විශාල ලෙස වැඩි කර ගැනීමේ හැකියාවක් නැහැ.

Wednesday, January 18, 2023

පොලී අනුපාතික තවත් පහළට!

පෙර සතියේ පළ කළ සටහනක අප විසින් ඉදිරිපත් කළ පුරෝකථනය සනාථ කරමින් අද දිනයේ (ජනවාරි 18) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික පැහැදිලිව පෙනෙන පරිදි පහත වැටී තිබෙනවා.

දින-91 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 55

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 86.2

විකිණූ පොලී අනුපාතිකය = 30.08

පෙර සතියේ පොලී අනුපාතිකය = 31.15%

දෙසතියකට පෙර පොලී අනුපාතිකය = 32.01%


දින-182 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 20

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 54.8

විකිණූ පොලී අනුපාතිකය = 29.07%

පෙර සතියේ පොලී අනුපාතිකය = 31.37%

දෙසතියකට පෙර පොලී අනුපාතිකය = 32.02%


දින-364 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 20

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 53.7

විකිණූ පොලී අනුපාතිකය = 28.25%

පෙර සතියේ පොලී අනුපාතිකය = 29.04%

දෙසතියකට පෙර පොලී අනුපාතිකය = 29.16%

පසුගිය දෙසතියක කාලය සැලකූ විට දින-91 බිල්පත් පොලී අනුපාතික 2%කින් පමණත්, දින-182 පොලී අනුපාතික 3%කින් පමණත්, දින-364 පොලී අනුපාතික 1%කින් පමණත් පහත වැටී ඇති බව ඔබට පෙනෙනු ඇති. මේ රටාව කියාපාන්නේ කුමක්ද?

පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ දීමෙන් අනතුරුව, පසුගිය මාස ගණනාවක් පුරා, රජයට අවශ්‍ය අරමුදල් දේශීය වෙළඳපොළෙන් සපයා ගත හැකි වුනත්, බොහෝ දුරට එසේ අරමුදල් සපයාගත හැකි වූයේ තෙමසක කාලයකට පමණයි. වෙනත් අයුරකින් කිවුවොත්, දින-91 බිල්පත් විකුණාගත හැකි වූ තරමට දින-182 හෝ දින-364 බිල්පත් විකුණාගත හැකි වූයේ නැහැ. මෙයට හේතුව වූයේ බිල්පත් ආයෝජකයින් විසින් මාස තුනකට වඩා වැඩි කාලයකට සල්ලි හිර කිරීම අවදානම් කටයුත්තක් සේ දැකීමයි. 

බිල්පත් ආයෝජකයින්ගේ දෘෂ්ඨි කෝණයෙන් ඉහත හැසිරීමට හේතු දෙකක් තිබුණා. හේතු කියා කිවුවත් එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්. 

පළමුවැන්න, පොලී අනුපාතික අඩුවනු ඇති බවක් ඔවුන් විශ්වාස නොකිරීම. පොලී අනුපාතික අඩුවන බව පෙනෙන්නේනම් වඩා වාසිසහගත තීරණය දිගු කලකට මුදල් ආයෝජනය කරමින් පවතින ඉහළ පොලී අනුපාතික වල වාසිය දිගුකාලීනව තහවුරු කර ගැනීමයි. අනෙක් අතට පොලී අනුපාතික තවත් ඉහළ යා හැකි බව පෙනේනම් වඩා වාසිදායක තීරණය වන්නේ කෙටි කලකට මුදල් ආයෝජනය කරන එකයි. පොලී අනුපාතික නොවෙනස්ව පවතිනු ඇති බව පෙනෙන්නේ වුවද වඩා වාසිදායක කෙටි කලකට මුදල් ආයෝජනය කරන එකයි. 

දෙවන සාධකය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානමයි. දින-91 වැනි කෙටි කලකදී මෙවැන්නක් සිදු වීමේ අවදානම අඩු වුවත්, සල්ලි හිර කර තබන කාලය වැඩි වෙද්දී අවදානම ඉහළ යනවා. 

ඉහත හේතු දෙක නිසා රජයට අවශ්‍ය පමණ ණය ලබා ගත හැකි වුවත්, එසේ ණය ලබා ගත හැකි වූයේ මාස තුනක කාලයකටයි. ඒ නිසා, ඉතා කෙටි කාලාන්තර තුළ නැවත නැවත ණය ගැනීමට සිදු වී තිබුණා.

ඉහත තත්ත්වයන් තවමත් මුළුමනින් වෙනස් වී නැහැ. එහෙත්, බිල්පත් ආයෝජකයින්ගේ හැසිරීමේ යම් වෙනසක් පැහැදිලිව දක ගත හැකියි. මේ වන විට, දින-91 බිල්පත් කෙරෙහි පමණක් වූ අවධානය ක්‍රමයෙන් දින-182 බිල්පත් කෙරෙහි යොමු වෙමින් තිබෙනවා. දින-182 බිල්පත් පොලී අනුපාතික වඩා වැඩියෙන් පහත වැටීමට හේතුව මෙයයි.

වෙළඳපොළ විසින් මේ සංඥාව ග්‍රහණය කර ගැනීමට සමාන්තරව බොහෝ දෙනෙකු විසින් දිගුකාලීන ආයෝජන මගින් ඉහළ පොලී අනුපාතික වල ප්‍රතිලාභ තහවුරු කර ගැනීමට උත්සාහ කිරීම අපේක්ෂා කළ හැකි වුවත්, අනෙක් පැත්තෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානම මෙය වළක්වනවා. ඒ නිසා, වසර ගණනාවක කාලයකට රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීම කෙසේ වෙතත්, දින-364 දක්වා වන රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීම සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් අදාළ පොලී අනුපාතික තව දුරටත් අඩුවේයැයි සිතිය හැකියි. 

පෙර සටහනෙන් විස්තර කළ පරිදි, ෆිච් රේටිං ආයතනය වැනි ආයතන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානමක් දකිනවා. ඔවුන් එවැනි නිගමනයකට එළැඹෙන්නේ පවතින ඉහළ පොලී අනුපාතික එළෙසම පවතිනු ඇතැයි යන පදනම මතයි. එහෙත්, පොලී අනුපාතික අඩු වෙමින් පවතින අතර පොලී අනුපාතික අඩු වෙද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය හා එයින් ලැබිය හැකි වාසිද අඩු වෙනවා. 

පොලී අනුපාතික තිබිය යුතු මට්ටම තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ උද්ධමනයයි. එහෙත්, මෙහිදී අදාළ වන්නේ දැනට පවතින උද්ධමනය නෙමෙයි. සුරැකුම්පතක් නිකුත් කරන දින සිට කල් පිරෙන දිනය දක්වා කාලය තුළ පවතිනු ඇතැයි අපේක්ෂිත උද්ධමනයයි. මේ වසර අවසානය වන විට අඩුම වශයෙන් 15% දක්වාත්, බොහෝ විට තනි අංකයක් දක්වාත් උද්ධමනය අඩු වීමට නියමිතව ඇති නිසා දින-364 පොලී අනුපාතිකයද අඩු වශයෙන් 15% මට්ටම දක්වා අඩු විය යුතු වුවත්, වෙළඳපොළ උද්ධමන අපේක්ෂාවන් තවමත් අඩු වී නැති නිසාත්, ණය ප්‍රතිව්‍යුහකරණය කිරීම පිළිබඳ බිය නිසාත්, පොලී අනුපාතික නිවැරදි වීමට යම් කාලයක් ගත විය හැකියි. යම් කාලයක් යා හැකි වුවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය නොකර වැඩේ ගොඩින් බේරා ගැනීමට හැකි වන තරම් ඉක්මණින් එය සිදු නොවන්නට හේතුවක් නැහැ.

කෙසේ වුවත්, මේ අයුරින් පොලී අනුපාතික පහළ යනු ඇත්තේ රජය විසින් දිගටම මූල්‍ය විනය පවත්වා ගන්නේනම් පමණයි. සල්ලි අච්චු නොගසන තත්ත්වයක් යටතේ රජයට වියදම් කරන්න වෙන්නේ ආදායම් එකතු වන තරමටයි. මෙහිදී රජයේ ගෙවීම් ප්‍රමාද වීම නොවැලැක්විය හැකියි. සැපයුම්කරුවන්ගේ ගෙවීම් ආදිය කාලයක් තිස්සේම ප්‍රමාද වෙමින් ඇති අතර, මේ වෙද්දී සමෘද්ධි දීමනා, රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම්ද ප්‍රමාද වෙමින් තිබෙනවා. රජයට තත්ත්වය කළමනාකරණය කරගත හැකි වනු ඇත්තේ කවර හෝ රාජ්‍ය වත්කම් විකුණා යම් මුදලක් සොයා ගැනීමෙන් පමණයි. එවැනි දේ නොකර පොලී අනුපාතික අවශ්‍ය පමණ අඩු කර ගැනීම අසීරුයි. පොලී අනුපාතික අවශ්‍ය පමණ අඩු වන තුරු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට වීමේ අවදානම පහව යන්නේ නැහැ. යන පාර හරි වුනත් ගමනාන්තය තිබෙන්නේ තව බොහෝ දුරයි.

Wednesday, December 7, 2022

සල්ලි අච්චු ගහන හැටි...


සල්ලි අච්චු ගහනවා කියන කතාව දැන් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. නමුත්, මේ ගැන සද්දෙන් කතා කරන ගොඩක් අය සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය පිළිබඳ මූලික අවබෝධයක් නැති අය. මේ ගැන විවිධ අය වරින් වර අපෙනුත් ප්‍රශ්න අහනවා. මේ වීඩියෝ එකේ අදාළ මූලික සංකල්ප පිළිබඳ පැහැදිලි කිරීමක් තිබෙනවා.

Monday, November 28, 2022

ඵලදා වක්‍රය, ද්‍රවශීලතාව හා පොලී අනුපාතික


අතේ කීයක් හරි සල්ලි තියෙන අය අහන පොදු ප්‍රශ්නයක් ගැන කලින් සටහනෙනුත් කතා කළානේ. 

"මගේ අතේ අමාරුවෙන් එකතු කර ගත්ත ලක්ෂ දහයක් තියෙනවා. මම මේ කල්පනා කරන්නේ මේ සල්ලි මාස තුනකට FD දානවද නැත්නම් අවුරුද්දකට දානවද කියලා...."

ඕක තමයි ප්‍රශ්නයේ පොදු ආකෘතිය. මේ ප්‍රශ්නය ඇතුළේ තිබෙන සැඟවුණු ප්‍රශ්නය ඉදිරි කාලයේදී පොලී අනුපාතික අඩු වෙයිද කියන එක. 

අද 25% පොලියට අවුරුද්දකට සල්ලි දමලා මාස තුනකින් ඔය පොලී අනුපාතය 30% වුනොත්, අද ගත්ත තීරණය ගැන පසුතැවීමක් ඇති වෙනවනේ. ඔය විදිහටම, අද අද 25% පොලියට අවුරුද්දකට සල්ලි දමන්න පුළුවන්කම තියෙද්දී මාස තුනකට සල්ලි දමලා තව මාස තුනකින් පොලිය 20% වුනොත්, ඒත් හිතෙනවනේ අපරාදේ කියලා. ප්‍රශ්නයේ පසුබිම ඕකයි.

එහෙමනම්, පොලී අනුපාතික වලට කුමක් වෙයිද? ඒ ගැන කාගෙන් හරි දන්න කියන කෙනෙක්ගෙන් අහලා අදහසක් ගත්තොත් පස්සේ ඔය වගේ පසුතැවීම් වෙන එක වලක්වා ගන්න පුළුවන් වෙන එකක් නැද්ද?

සරල හා කෙටි පිළිතුර "නෑ" කියන එකයි. ඒ ඇයි?

පොඩ්ඩක් ඔය ගණුදෙනුවේ අනෙක් පැත්තේ ඉන්න කෙනාගේ සපත්තුවට බැහැලා බලන්න. ඔබ ණය දෙන්නෙක්නම් ගනුදෙනුවේ අනෙක් පැත්තේ ඉන්නේ ණය ගන්නෙක්. පොලී අනුපාතික අඩු වෙන්න යනවානම්, වැඩි කාලයකට වැඩි පොලියකට සල්ලි ණයට දෙන එක (සල්ලි බැංකුවේ දමනවා කියන්නේ බැංකුවට සල්ලි ණයට දීමක්) ඔබට ලාබයි. නමුත් බැංකුවට (ණය ගන්නා පුද්ගලයාට හෝ ආයතනයට) පාඩුයි. ඔබට ලාබ ගන්න ඉඩ දී බැංකුව පාඩු කර ගනියිද?

බැංකුවක් පාඩුවට ණය දෙන්නේ නැහැ වගේම ණය ගන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට ඔබට බැංකුවකින් ලැබෙන පොලී අනුපාතිකය ණය ඉල්ලුම හා ණය සැපයුම සමතුලිත වන පොලී අනුපාතිකයයි. එක් එක් කල් පිරීම් සඳහා ණය ඉල්ලුම හා ණය සැපයුම වෙනස් වෙන ආකාරය අනුව පොලී අනුපාතිකත් වෙනස් වෙන්න පුළුවන්. 

ඉදිරියේදී පොලී අනුපාතික අඩු වෙන්න යන බව ගොඩක් අයට පේනවානම් වැඩි කාලයකට සල්ලි දමන්න යද්දී ලැබෙන පොලී අනුපාතිකත් අඩු වෙනවා. ඒ නිසා, කෙටිකාලීනව සල්ලි දමනවාද නැත්නම් දිගුකාලීනව දමනවාද කියන එකේ විශාල වෙනසක් නැහැ. එය තීරණය වෙන්නේ බොහෝ දුරට ඔබේ පෞද්ගලික අවශ්‍යතා හා රුචිකත්වයන් මතයි.

බැංකු වල පොලී අනුපාතික තීරණය කරන්නේ අදාළ බැංකු වල නිලධාරීන් විසින්. හැබැයි ඔවුන් ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්නේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ දිහා බලාගෙන. පොලී අනුපාතික වල දිශානතිය මූලික වශයෙන්ම තීරණය වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙළඳපොළ තුළයි. 

පහළ තියෙන්නේ පසුගිය (2022) නොවැම්බර් 23 දිනෙන් අවසන් වූ සතියේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ඵලදා (පොලී) අනුපාතික.

මාස 3 31.25%

මාස 6 28.55%

මාස 12 28.36%

වසර 2 26.22%

වසර 3 27.82%

වසර 4 27.18%

වසර 5 27.60%

වසර 6 26.99%

වසර 8 26.87%

වසර 10 27.59%

වසර 15 25.33%

වසර 20 22.83%

වසර 30 21.44%

මේ පොලී අනුපාතික වලින් කියැවෙන්නේ කුමක්ද? පළමුව, දැන් තිබෙන පොලී අනුපාතික ක්‍රමයෙන් අඩු වීමට නියමිත බව. දෙවනුව, පොලී අනුපාතික එසේ අඩු වුනත්, තව දුරටත් සැලකිය යුතු ඉහළ මට්ටමක පවතිනු ඇති බව.

හැබැයි මතක තියාගන්න මේ තියෙන්නේ පොලී අනුපාතික පිළිබඳව මම කරන පුරෝකථනයක් නෙමෙයි. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ගනුදෙනු කරන අය මේ මොහොතේ හිතන විදිහ. මේ ගොඩේ ඉන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩිය මූල්‍ය වෙළඳපොළ ගැන දැනුවත් ලොකු සල්ලි කාරයෝ හෝ ආයතන කියන එකත් අපට අමතක කරන්න බැහැ. 

මේ පොලී අනුපාතික වලින් නිරූපණය වෙන්නේ මූල්‍ය වෙළඳපොළ ගැන දැනුවත් ලොකු සල්ලි කාරයෝ හෝ ආයතන හිතන විදිහ වුනත්, ඒ හේතුව නිසාම මේ හිතන විදිහා සියයට සියයක් නිවැරදි බව අදහස් වෙන්නේ නැහැ. කාට වුනත් නිගමන වලට පැමිණිය හැක්කේ දැනට තිබෙන තොරතුරු මත පදනම්වයි. කලින් දැන නොසිටි අලුත් තොරතුරක් හමු වූ විට පරණ නිගමන වෙනස් වෙනවා.

ඉහත ඉදිරිපත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර කල් පිරීමේ කාලය හා පොලී (ඵලදා) අනුපාතික අතර සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරයකට තමයි ඵලදා වක්‍රය කියා කියන්නේ. අලුත් තොරතුරු ලැබෙද්දී ඵලදා වක්‍රය වෙනස් වෙනවා. මේ අලුත් තොරතුරු මහ බැංකුවේ හෝ රජයේ තීරණයක්, ජාත්‍යන්තර සිදුවීමක් හෝ රට ඇතුළේ සිදුවන දේශපාලන පෙරළියක් වැනි ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. නමුත්, මේ මොහොතේ තිබෙන තොරතුරු මත පදනම්ව විශ්ලේෂණය කළොත්, පොලී අනුපාතික වල දිශානතිය පිළිබඳ හොඳම විශ්ලේෂණය තියෙන්නේ ඵලදා වක්‍රය ඇතුළේ කියා කියන්න පුළුවන්. 

මේ මොහොතේ දැකිය හැකි ඵලදා වක්‍රයෙන් කියැවෙන්නේ කුමක්ද? 

ඔබේ අතේ සල්ලි තිබේනම් ඔබට වසර 30ක කාලයක් යන තුරුම වුවත් 21.44%ක වාර්ෂික පොලියක් ලබා ගැනීමේ අවස්ථාව තිබෙන බවයි. භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කර ඒ මට්ටමේ පොලියක් ලබා ගත හැකිනම් බැංකුවක් කීයටවත් ඊට වඩා අඩු පොලියකට ණය දෙන්නේ නැහැ. 

මේ මොහොතේ දැකිය හැක්කේ පහළට නැඹුරු වූ ඵලදා වක්‍රයක්. එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. බොහෝ විට දැකිය හැක්කේ ඉහළට නැඹුරු වූ ඵලදා වක්‍රයක්. පහළින් තියෙන්නේ 2022 මාර්තු 2 දිනෙන් අවසන් වූ සතියේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ඵලදා වක්‍රය.

මාස 3 8.50%

මාස 6 8.61%

මාස 12 8.76%

වසර 2 9.58%

වසර 3 10.96%

වසර 4 12.15%

වසර 5 12.34%

වසර 6 12.38%

වසර 8 12.61%

වසර 10 12.73%

වසර 15 12.77%

වසර 20 12.45%

වසර 30 12.08%

මේ විදිහට තිබුණු ඵලදා වක්‍රය සති පහකට පසුව, එනම් 2022 අප්‍රේල් 6 දිනෙන් අවසන් වූ සතිය වෙද්දී වෙනස් වී තිබුණේ මේ විදිහටයි. 

මාස 3 12.25%

මාස 6 12.21%

මාස 12 12.50%

වසර 2 13.16%

වසර 3 14.49%

වසර 4 14.77%

වසර 5 14.88%

වසර 6 15.10%

වසර 8 15.55%

වසර 10 15.46%

වසර 15 15.67%

වසර 20 15.70%

වසර 30 15.74%

මම හිතන්නේ හැම කල් පිරීමේ කාලයක් සඳහාම පොලී අනුපාතික වල 2.50%-3.75% අතර වැඩිවීමක් සිදු වී ඇති බව කාට වුනත් පැහැදිලිව පේනවා. මේ වැඩිවීමට එක් හේතුවක් වුනේ මාර්තු 4 වනදා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 6.5%-7.5% මට්ටම දක්වා 1%කින් වැඩි කිරීම. ඩොලර් පෙග් එක රුපියල් 200 මට්ටමේ තියා ගන්න බැරුව අත අරින්න වුනෙත් ඔය කාලය ඇතුළතයි. ඊට අමතරව අරගලය පටන් ගත්තෙත් ඔය කාලය ඇතුළත. මේ සියල්ල සිදුවුනේ වත්මන් මහ බැංකු අධිපති විසින් ධුරය භාර ගන්න කලින්. 

අලුත් අධිපති විසින් වැඩ භාරගත් වහාම (අප්‍රේල් 8) මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 13.5%-14.5% දක්වා 7%කින් වැඩි කළා. ඒ අප්‍රේල් 8 වනදා. ඊට පස්සේ ජූලි 6 වනදා තවත් 1%කින් වැඩි කළා. ඒ කියන්නේ දැන් තිබෙන 14.5%-15.5% මට්ටම දක්වා. සමහර විට මුල් වැඩි කිරීම කරන්න ඇත්තේ ඒ වෙද්දී තිබුණු ද්වීතියික වෙළඳපොළ ඵලදා වක්‍රය දිහා බලාගෙන. ඒ වෙද්දී වසර 2-3 අතර කල් පිරෙන බැඳුම්කර වල ඵලදා අනුපාතික තිබුණේ ඔය කිට්ටුව. සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපත්ති වලින් ඉලක්ක කරන්නෙත් ඔය වගේ කාලයක්. පහළින් තියෙන්නේ 2022 අප්‍රේල් 20 දිනෙන් අවසන් වූ සතියේ ඵලදා අනුපාතික.

මාස 3 19.71%

මාස 6 20.25%

මාස 12 21.24%

වසර 2 20.41%

වසර 3 20.88%

වසර 4 22.14%

වසර 5 22.41%

වසර 6 22.65%

වසර 8 23.97%

වසර 10 23.78%

වසර 15 22.81%

වසර 20 19.67%

වසර 30 15.78%

වසර 15 දක්වා කල් පිරීම් කාල දිහා බැලුවොත් ඵලදා අනුපාතික වල 7%-8%ක පමණ ඉහළ යාමක් දකින්න පුළුවන්. මේ වැඩිවීම ප්‍රතිපත්ති පොලී අනුපාතික වල ඉහළ යාමට ආසන්නව සමානයි. 

අලුත් අධිපති ඇවිත් ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් වැඩි කළාට පස්සේ මහ බැංකුවේ  ප්‍රතිපත්ති පොලී අනුපාතික හා ද්වීතියික වෙළඳපොළ පොලී අනුපාතික අතර ඒ වෙද්දී හැදී තිබුණු 6%-8% මට්ටමේ පරතරය නැති වුනේ නැහැ. ඒ වෙනුවට සිදු වුනේ, ඒ පරතරය ඒ විදිහටම තියෙද්දී ඵලදා වක්‍රය 7%-8%කින් පමණ ඉස්සුණු එකයි. ඒ කියන්නේ ද්වීතියික වෙළඳපොළ ඵලදා අනුපාතික 7%-8%කින් පමණ ඉහළ ගිය එකයි. එහෙම වුනේ ඇයි?

මෙයට හේතුව අලුත් අධිපති වැඩ භාර ගනිද්දී රුපියල් බිලියන 660.5ක දැවැන්ත ද්‍රවශීලතා හිඟයක් තිබීම. ද්‍රවශීලතා හිඟයක් කියා කියන්නේ කුමක්ද? කෙටියෙන් කිවුවොත් ණය ඉල්ලුම සැපිරීම සඳහා ණය සැපයුම ඉක්මවා ණය සැපයීමේ ප්‍රතිඵලය. වෙනත් විදිහකින් කිවුවොත් බැංකු විසින් නැති සල්ලි ණයට දීම.

ද්‍රවශීලතා හිඟයක් හිඟයක් ඇති වීමට ප්‍රධානම හේතුව පොලී අනුපාතික ඕනෑවට වඩා අඩු වීම. පොලී අනුපාතික ඕනෑවට වඩා අඩු බව කිව හැකි නිර්ණායකය කුමක්ද? 

මේ නිර්ණායකය වෙළඳපොළ අපේක්ෂාවන්. මාර්තු මාසය අවසානයේදී බැංකු වල ණය පොලී අනුපාතිකය (Average Weighted New Lending Rate) 10.73%යි. ස්ථිර තැන්පතු පොලී අනුපාතිකය (Average  Weighted  New Fixed  Deposit  Rate) 8.06%යි. කොපාමිද අනුව මාර්තු මාසයේ උද්ධමනය 21.5%යි. ජාපාමිද අනුව, උද්ධමනය 17.3%යි. 

උද්ධමනය 17% හෝ 21% මට්ටමේ තියෙද්දී, තවත් වැඩි වෙන බව පැහැදිලිව පෙනෙද්දී, 11%කට අඩු පොලියකට ණය ගන්න ලැබෙනවා කියන්නේ ඉතාම වාසිදායක ඩීල් එකක්. මේ වගේ තත්ත්වයක් යටතේ ණය ඉල්ලුම ඉහළ මට්ටමක තිබීම අහන්න දෙයක් නෙමෙයි. අනෙක් පැත්තෙන්, උද්ධමනය 17% හෝ 21% මට්ටමේ තියෙද්දී, තැන්පතු වෙනුවෙන් 8%ක් ලැබෙනවා කියන්නේ උද්ධමනය නිසා ක්ෂය වන මුදලේ වටිනාකමින් බාගයක්වත් ලැබෙන්නේ නැහැ කියන එක. මේ වගේ තත්ත්වයක් යටතේ මිනිස්සු තවතව ණය ගන්න මිසක් ඉතිරි කරන්න පෙළඹෙන්නේ නැහැ.

ඔය වගේ තත්ත්වයක් යටතේ, ණය ගන්න ප්‍රමාණය ඉහළ යද්දී බැංකු වල සල්ලි එළියට යනවා. නමුත් තැන්පතු විදිහට ඒ සල්ලි නැවත බැංකු පද්ධතිය ඇතුළට එන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය තමයි කලින් කියපු රුපියල් බිලියන 660.5ක දැවැන්ත ද්‍රවශීලතා හිඟය.

ඔය විදිහට බැංකු "නැති සල්ලි" ණය විදිහට නිකුත් කරන්නේ කොහොමද? මතක තියාගන්න මේ කියන්නේ වාණිජ බැංකු විසින් කරන මුදල් මැවීම ගැන නෙමෙයි. මුදල් මැවීමේදී වෙන්නේ තැන්පතු ලෙස ආපසු බැංකු වෙත එන කලින් දුන් ණයම නැවත ණය විදිහට දෙන එක. මේ කියන්නේ කලින් දුන් ණය නැවත බැංකු වලට ඇවිත් නැති තත්ත්වයක් ගැන.

මේක කළේ මහ බැංකුවෙන් දෛනික පදනම මත ණය අරගනිමිනුයි. මාර්තු අන්තිම වෙද්දී මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තිබුණේ 6.5%-7.5% මට්ටමේ. 6.5% තැන්පතු පොලිය. 7.5% ණය පොලිය. මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ලැබෙද්දී නැවත එම ණය 11% පමණ පොලියකට දෙන්න බැරිකමක් නැහැනේ. ඒ වගේම, මහ බැංකුවෙන් 7.5% පොලියට ණය ලැබෙද්දී ස්ථිර තැන්පතු වලට 8% වගේ පොලියක් මිසක් ඊට වඩා වැඩි පොලියක් දෙන්න බැංකු පෙළඹෙන්නෙත් නැහැනේ. 

දැන් ඔය වගේ රුපියල් බිලියන 660.5ක විශාල ද්‍රවශීලතා හිඟයක් තියෙද්දී තමයි අලුත් අධිපති පත් වෙලා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් වැඩි කළේ.

පෞද්ගලික අංශයට දුන් ණය වලින් බැංකු විසින් 11%ක පමණ පොලියක් අය කරද්දී, වාණිජ බැංකු විසින් රජයට ණය දීලා 12.5% පමණ පොලියක් ලබා ගත්තා. ඒ විදිහට රජයෙන් 12.5% පමණ පොලියකට මිල දී ගත් භාණ්ඩාගාර බිල්පත් අනෙක් අතට මහ බැංකුවේ ඇපයට තියලා 7.5% පොලියට මහ බැංකුවෙන් ණය ගත්තා. ඒ කියන්නේ, බැංකු විසින් මහ බැංකුවේ සල්ලි රජයට ණයට දීලා කෙළින්ම 5%ක පමණ ලාබයක් තියා ගත්තා. රුපියල් බිලියන 660.5ක ද්‍රවශීලතා හිඟයක් කියන්නේ එයින් 5%ක් ඇස් වහගෙන ලාබ වලට එකතු කර ගන්නවා කියන එක.

බැංකු කඩා වැටෙන එක ගැන ලංකාවේ ගොඩක් අය වද වුනත්, ලංකාවේ බැංකු කියා කියන්නේ පට්ට කාර්යක්ෂම ආයතන නෙමෙයි. බැංකු කරන්නේ ලංකාවේ බැංකු පාරිභෝගිකයාගේ අඩු මූල්‍ය සාක්ෂරතාවයෙන් ප්‍රයෝජන අරගෙන ලාබ හොයන එක. එහෙම නැතුව මේ ආයතන සුළු ආන්තික ලාබයකින් දුවන තරඟකාරී ආයතන නෙමෙයි. අනෙක් රාජ්‍ය ආයතන පාඩු ලබද්දී රාජ්‍ය බැංකු වලට ලාබ ලබන්න පුළුවන් වී තියෙන්නෙත් ඒ නිසා. පෞද්ගලික බැංකු වලින් හරියකට තරඟයක් දෙනවානම් රාජ්‍ය බැංකු වලට ඔය විදිහට පවතින්න බැහැ. නමුත් වෙන්නේ ඒක නෙමෙයි. පෞද්ගලික බැංකුත් රාජ්‍ය බැංකු වගේම අකාර්යක්ෂමතා නඩත්තු කරන එක. 

රාජ්‍ය බැංකු තිබීම පෞද්ගලික බැංකු වලටත් අකාර්යක්ෂම වෙන්න විශාල උදවුවක්. පාරිභෝගිකයාගේ අඩු මූල්‍ය සාක්ෂරතාවය එහෙම අකාර්යක්ෂම වෙලත් ලාබ ලබන්න බැංකු වලට ඉඩ සලසනවා. මිනිස්සු කෙළින්ම භාණ්ඩාගාර බිල්පත් ගන්න පෙළඹුනොත් බැංකු වලට අඩු පොලියට ස්ථිර තැන්පතු විදිහට එකතු කරන සල්ලි අනෙක් අතට භාණ්ඩාගාර බිල්පත් වල දාලා අත උඩින් ලාබ ලබන්න බැහැනේ. නමුත් ඒ වැඩේ වෙනවා. 

මහ බැංකුව 7%කින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කරපු ගමන් බැංකු ටික කළේ රජයට ණය දෙන පොලී අනුපාතිකත් වැඩි කරන එක. කලින් මහ බැංකුවෙන් 7.5%ට අරගෙන රජයට 12.5%ට දුන්නා. දැන් මහා බැංකුවෙන් 14.5%ට ගන්න සල්ලි රජයට 19.5%ට දෙනවා. අර 5% ලාබය එහෙම්මයි. 

කොහොම වුනත් මහ බැංකුව පොලී අනුපාතික වැඩි කරපු නිසා එක වැදගත් දෙයක් වුනා. මාර්තු අන්තිම වෙද්දී 8.06% මට්ටමේ තිබුණු ස්ථිර තැන්පතු පොලී අනුපාතික අප්‍රේල් ඉවර වෙද්දී 15.63% මට්ටම දක්වා ඉහළ ගියා. රජයට 19-20% වගේ පොලියකට සල්ලි ණයට දෙන්න පුළුවන්කම තියෙද්දී. මහ බැංකුවෙන් දෛනික පදනමට ගන්න ණය වලටත් 14.5%ක පොලියක් ගෙවන්න වෙලා තියෙද්දී. ඔය වගේ පොලියක් ගෙවලා ස්ථිර තැන්පතු එකතු කර ගන්න එක බැංකු වලට පාඩු නැහැනේ. 

සැප්තැම්බර් අවසන් වෙද්දී බැංකු වල ස්ථිර තැන්පතු පොලිය 22.55% දක්වා වැඩි වෙලා. ඔය වගේ පොලියක් ගෙවලා ගන්න සල්ලි ඊට වඩා අඩු පොලියකට ණයට දෙන්න බැහැනේ. ණය පොලියත් 24.93% දක්වා ඉහළ ගිහින්. ඔය විදිහට තැන්පතු පොලී වැඩි වෙද්දී බැංකු වලට එන තැන්පතු වැඩි වෙනවා. අනෙක් පැත්තෙන් ණය පොලී ඉහළ යද්දී ණය ඉල්ලුම අඩු වෙන නිසා බැංකු වලින් එළියට යන සල්ලි ප්‍රමාණය අඩුයි. ඒ නිසා, සල්ලි බැංකු වල ඉතුරු වෙනවා.  

බැංකු වල සල්ලි ඉතුරු වෙනවා කිවුවට අලුත් මහ බැංකු අධිපති වැඩ භාර ගනිද්දී බැංකු පද්ධතියේ රුපියල් බිලියන 660.5ක විශාල ද්‍රවශීලතා හිඟයක් තිබුණු බව මම කලින්ම කිවුවනේ. ඒ නිසා, බැංකු වල සල්ලි ඉතුරු වෙද්දී වුනේ ඔය ද්‍රවශීලතා හිඟය ටිකෙන් ටික අඩුවෙන එක. අඩු වුනා වුනත් තවමත් තියෙන්නේ හිඟයක්. 

මේ ද්‍රවශීලතා හිඟය දැන් කාලයක සිටම තියෙන එකක්. කලින් අධිපති කබ්රාල් වැඩ භාර ගන්නකොටත් රුපියල් බිලියන 175ක පමණ ද්‍රවශීලතා හිඟයක් තිබුණා. ඔහුගේ කාලය තුළ වුනේ ඔය හිඟය එන්න එන්නම වැඩි වුනු එකයි. ඔය විදිහට ද්‍රවශීලතා හිඟයක් නඩත්තු කරනවා කියන්නෙත් සල්ලි අච්චු ගහනවා වගේම වැඩක්. ලංකාවේ සංචිත මුදල් පිළිබඳ සංඛ්‍යාලේඛණ වලට ද්‍රවශීලතා හිඟය ඇතුළත්ව නැතත් ඇමරිකාව වගේ රටවල සංචිත මුදල් පිළිබඳ සංඛ්‍යාලේඛණ පෙන්නද්දී ඔය ගණනත් එකතු කරනවා. මහ බැංකුව සල්ලි අච්චු ගහලා ස්ථිර පදනමකින් එළියට දැම්මේ නැතත්, හැමදාම හවසට සල්ලි එළියට දමලා උදේට එකතු කර ගන්නවා කියන්නෙත් සල්ලි අච්චු ගහලා එළියට දැම්මා වගේම වැඩක්නේ. 

අධිපතිවරුන්ගේ කාල වකවානු වල සල්ලි අච්චු ගැසීම ගැන හරියටම බලනවානම් අදාළ කාල වකවානු වල ද්‍රවශීලතා හිඟය වෙනස් වුනේ කොහොමද කියන එකත් සලකා බැලිය යුතුයි. මහ බංකු අධිපති විදිහට නන්දලාල් වීරසිංහ පත් වුනාට පස්සේ බැංකු පද්ධතියේ තිබුණු විශාල ද්‍රවශීලතා හිඟය ටිකෙන් ටික අඩු කරන්නත් කටයුතු කළා. කොහොම වුනත් මේ වෙද්දීත් (නොවැම්බර් 25) බැංකු පද්ධතියේ රුපියල් බිලියන 400කට ආසන්න ද්‍රවශීලතා හිඟයක් තිබෙනවා. ඔය ද්‍රවශීලතා හිඟය නැති වෙලා ද්‍රවශීලතා අතිරික්තයක් ඇතිවුනොත් පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල මට්ටමටම, ඒ කියන්නේ 15% පමණ මට්ටමට බහිනවා. හැබැයි රුපියල් බිලියන 400ක ද්‍රවශීලතා හිඟයක් මහ බැංකුවේ මැදිහත්වීමක් නැතිව එහෙම හදිස්සියෙන් නැති වීමේ ඉඩක් පෙනෙන්න නැහැ. 

ද්‍රවශීලතා හිඟය අඩුවීම ගැන මෑතකදී වත්මන් මහ බැංකු අධිපතිවරයා කියනවා ඇහුණා. කතාව ඇත්ත. ද්‍රවශීලතා හිඟය නැති වුනොත් පොලී අනුපාතික සැලකිය යුතු ලෙස අඩු වෙන බවත් ඇත්ත. හැබැයි මහ බැංකුවේ මැදිහත්වීමක් නැතුව ඔය වැඩේ ඉතා ඉක්මණින් වෙන එකක් නැහැ. නමුත්, මහ බැංකුවට අවශ්‍යනම් ඔය හිඟය ක්ෂණිකව නැති කර දමන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ රුපියල් බිලියන 400ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න එක. ඒ කියන්නේ එපමණකින් සල්ලි අච්චු ගහන එක. මහ බැංකුව ඔය වැඩේ කළොත් 30% මට්ටමේ තිබෙන පොලී අනුපාතික පටස් ගාලා 15% වගේ මට්ටමකට බහිනවා. නමුත් මේ වෙලාවේ පීඩනයට යට වෙලා මහ බැංකුව එහෙම කළොත් ඒක එක හොඳ වැඩක් නෙමෙයි.

මහ බැංකුව විසින් හොඳ විදිහේ මැදිහත්වීමක් කරලා ද්‍රවශීලතා හිඟය නැති කරන්න අවශ්‍යනම් කළ යුත්තේ ඔය රුපියල් බිලියන 400ක මුදලට හරියන්න ඩොලර් මිල දී ගන්න එකයි. ඒ කියන්නේ, දැන් මිල අනුව, ඩොලර් බිලියන 1.1ක් පමණ. මහ බැංකුවට ඒ තරම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගැනීමේ ඉඩක් තවම ළඟ පාතකවත් පේන්නෙත් නැහැනේ. හොදම වැඩේ එක්කෝ එහෙම තත්ත්වයක් ඇති වන තුරු බලා ඉඳලා මැදිහත්වීමක් කරන එක. එහෙම නැත්නම් පොලී අනුපාතික ඉහළින් තිබී ඒ හේතුවෙන් කාලයත් එක්ක ද්‍රවශීලතා හිඟය අඩු වෙන්න අරින එක. 

Monday, August 15, 2022

දැන් උද්ධමනය හොඳ වෙලාද?


පසුගිය සති ගණනාවක් මුළුල්ලේම මහ බැංකුව විසින් රජය වෙනුවෙන් වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් මුළු ප්‍රමාණයම වෙන්දේසියේදී අලෙවි කළ හැකි වූ වාසිදායකම මිලට අලෙවි කරනු ලැබුවා. මෙහිදී පොලී අනුපාතික ඉහළ යාම ගැන මහ බැංකුව එතරම් කනස්සලු වූයේ නැහැ. ප්‍රමුඛතාවය දුන්නේ පොලී අනුපාතික කීයට ගියත් භාණ්ඩාගාර බිල්පත් විකිණීම මගින් රජයට අවශ්‍ය අරමුදල් සොයා දී සල්ලි අච්චු ගැසීමෙන් වැලකී සිටීමටයි. අගෝස්තු 3 වෙන්දේසිය තෙක්ම මේ තත්ත්වය මෙලෙස සිදු වුනා.

කෙසේ වුවත්, පසුගිය සතියේ මේ ක්‍රමවේදයෙන් විතැන් වීමක් පෙනෙන්නට තිබෙනවා. අගෝස්තු 9 දින පැවති වෙන්දේසියට රුපියල් බිලියන 85ක බිල්පත් ඉදිරිපත් කර ඇතත්, විකුණා තිබෙන්නේ රුපියල් බිලියන 65.9ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. ඉන් පසුව, රුපියල් බිලියන 7.5ක බිල්පත් ප්‍රමාණයක් සෘජු ක්‍රමයට විකුණා තිබෙනවා. සතිය තුළ සංචිත මුදල් හෝ මහ බැංකුව සතු බිල්පත් ප්‍රමාණයේ වැඩි වීමක්නම් දැකිය නොහැකියි. ඒ දෙකම අඩු වී තිබෙනවා. එසේ වුවත්, මහ බැංකුවේ ඉහත තීරණය මගින් පෙන්නුම් කරන්නේ පොලී අනුපාතික ඉහළ යනු දැකීමට මහ බැංකුවේ ඇති නොකැමැත්තයි. එසේ නැත්නම් මේ කාරණය හා අදාළව මහ බැංකුව රජයට යට වීමයි.

මේ අතර මහ බැංකු අධිපතිවරයාගේ නමින් පළ වී ඇති ලිපියක් හා එහි සිංහල පරිවර්තනය වේගයෙන් සංසරණය වෙනවා. ලියා ඇති ශෛලිය අනුව මෙය ව්‍යාජ ලේඛණයක් විය හැකි වුවත්, ඒ බවක් මෙතෙක් අධිපතිවරයා විසින් හෝ මහ බැංකුව විසින් කියා නැහැ. අදාළ ලිපියේ මහ බැංකු අධිපති වරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කරනවා. 

''පැරණි න්‍යායන් අනුව යමින්, මෑතකදී මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත විශාල ලෙස වැඩි කළේය. එහි අරමුණ වූයේ උද්ධමනය පාලනය කිරීමයි. මෙය කනගාටුදායක ලෙස වැරදි පියවරක් වන අතර ඵලදායිතාව දිරිමත් නොකරනු ඇත, නමුත් එය අධෛර්යමත් කරනු ඇත.''

මෙය ඇතැම් විට ව්‍යාජ ලෙස සකස් කළ ලියැවිල්ලක් විය හැකියි. මහ බැංකු අධිපතිවරයා මුලදීනම් දැඩි ලෙසම පෙනී සිටියේ පොලී අනුපාතික වැඩි කිරීම වෙනුවන්. එහෙත්, මේ වන විට ඔහු සිය මතය වෙනස් කරගෙන ඇත්දැයි මා දන්නේ නැහැ. මෙය ව්‍යාජ ලියැවිල්ලක් නොවේනම් අධිපතිවරයා විසින් දැන් කියන්නේ ටිකක් වෙනස් කතාවක්. (පසු සටහන: වත්පොතේ ප්‍රතිචාර වල ඇති තොරතුරු අනුව මෙය මහ බැංකු අධිපතිවරයා විසින් නොව වෙනත් අයෙකු විසින් ලියූවක් බව පැහැදිලිව පේනවා.)

"උද්ධමනය පැවැත්ම සඳහා ඵලදායී වීමට මිනිසුන් තල්ලු කරනු ඇත. උද්ධමනය භාණ්ඩ හා සේවාවල මිල ගළපා ගන්නා අතර පාරිභෝගිකයන් තම පරිභෝජනයේ පිරිවැය තමන් විසින්ම ගෙවන ලෙස ඉල්ලා සිටියි. ත්‍රිරෝද රථයක්, පාර අයිනේ කඩ සාප්පුවක් හෝ කුඩා සැලෝන්/ස්පා එකක් පවත්වාගෙන යාමෙන් පුද්ගලයෙකුට පවුලක් නඩත්තු කළ නොහැකි බව උද්ධමනය සහතික කරයි. කෙටියෙන් කිවහොත්, උද්ධමනයට වඩා ඔබ ඵලදායි විය යුතුය, නැතහොත් ඔබ විනාශ වනු ඇත."

මේ කතාවේ යම් ඇත්තක් නැතුවා නෙමෙයි. උද්ධමනය කියා කියන්නේත් උද්ධමනයට විසඳුමක්. උද්ධමනයට හේතු වන්නේ රටක නිෂ්පාදනය ඉක්මවා මුදල් සැපයුම ඉහළ යාමයි. මුදල් සැපයුම ඉහළ යාම අහම්බයක් නෙමෙයි. මහ බැංකුව විසින් කරන දෙයක්. මහ බැංකුව විසින් ඉහළ යවන මුදල් සැපයුම මහ බැංකුව විසින්ම අඩු කරන්නේනම් උද්ධමනය ඇති වීම වලක්වා ගත හැකියි. එහෙත්, මහ බැංකුව විසින් එය නොකරන්නේනම් රටේ ජනතාවට උද්ධමනයට මුහුණ දෙන්න වෙනවා. ජනතාව විසින් උද්ධමනයේ බර දරා ගැනීම තුළ මුදල් සැපයුම ඉහළ යාමේ බලපෑම ඉවත් වී උද්ධමනය පාලනය වෙනවා. ඒ අර්ථයෙන් මේ කතාව ඇත්ත.

නමුත්, මහ බැංකුව විසින් හෝ මහ බැංකු අධිපතිවරයා විසින් මේ වගේ කතාවක් කියනවානම් එය විශාල ප්‍රශ්නයක්. එහෙම කියනවානම් ඒ කියන්නේ මේ වගේ දෙයක්.

"අපි අපිට අවශ්‍ය ප්‍රමාණයට සල්ලි අච්චු ගහලා අපිට අවශ්‍ය අයට දෙනවා. ඒ අය පැත්තක ඉඳලා මහන්සි නොවී පරිභෝජනය කරයි. අනෙක් අයට තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරලා, නිෂ්පාදනය වැඩි කරලා, පරිභෝජනය නොකර එයින් කොටසක් "අපිට අවශ්‍ය" අයට දීමෙන් උද්ධමනය පාලනය කරන එක!"

උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවේ හා මහ බැංකු අධිපතිවරයාගේ නීතිමය වගකීමක්. මහ බැංකු අධිපතිවරයෙකුට කවදාවත් උද්ධමනය හොඳ දෙයක් කියා කියන්න බැහැ. මුදල් නීති පණත අනුවම, උද්ධමනය 10% ඉක්මවීම රටේ මිල ස්ථායීතාවය තර්ජනයට ලක් වීමක් සේ සැලකෙනවා. උද්ධමනය 10% ඉක්මවන සෑම මාසයකදීම මහ බැංකුව විසින් උද්ධමනයට හේතු වූ තත්ත්වයන්, උද්ධමනය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එම ක්‍රියාමාර්ග වලින් උද්ධමනය පාලනය වීමට නියමිත ආකාරය පැහැදිලි කරමින් විස්තරාත්මක වාර්තාවක් මුදල් ඇමතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. යම් හෙයකින් මෙම වාර්තාව ප්‍රසිද්ධ කිරීම මහජන ශුභ සිද්ධිය කෙරෙහි අහිතකර ලෙස බලපාන්නේනම් හැර එම වාර්තාව ප්‍රසිද්ධ කළ යුතුයි. 

උද්ධමනයට විසඳුම මහජනතාව ඵලදායීතාවය විසින් වැඩි කර ගැනීමද? 2010-2012 වකවානුව වැනි, ඩොලරයක මිල ඉහළ යන්නට නොදී එක තැන තබා ගැනුණු වකවානු වල අපනයනකරුවන් මැසිවිලි නගද්දී ඔවුන්ට මහ බැංකුව විසින් කියූ කතාවත් මීට සමානයි. ඒ දවස් වල මහ බැංකුව විසින් කිවුවේ අපනයනකරුවන් විසින් ඩොලරයක මිල ඉහළ යාම දෙස බලා නොසිට සිය ඵලදායීතාව වැඩි කර ගත යුතු බවයි.

මේ කතා දෙකම සමාන කළ හැක්කේ මහ බැංකුව විසින් පැත්තක සිටින ජනතාව ගඟකට තල්ලු කර "දැන් ඉතිං පීනලා බේරෙන්න!" කියන එකටයි. ගඟට වැටුණු අයෙකුට බේරෙන්න හැකි වෙන්නේ ඵලයීතාවය වැඩි කරගෙන මොන විදිහෙන් හෝ ගොඩට පීනුවොත් පමණක් කියන එක ඇත්ත. නමුත්, පීනා ජීවිතය බේරා ගැනීමේ ප්‍රශ්නය මතු වන්නේම මහ බැංකුව විසින් ගඟට තල්ලු කරන නිසා. ඵලදායීතාවය වැඩි කර ගැනීම කිසිසේත්ම නරක දෙයක් නොවුනත්, උද්ධමනයට විසඳුම මහජනතාව විසින් ඵලදායීතාවය  වැඩි කර ගැනීම කියා කියන එක ඉතාම අසාධාරණ කතාවක්. 

"උද්ධමනයට වඩා ඔබ ඵලදායි විය යුතුය. නැතහොත් ඔබ විනාශ වනු ඇත."

කතාව ඇත්ත. හැබැයි මෙය අදාළ ගඟට වැටී ඉන්න අයට පමණයි. උද්ධමනයේ වාසි ගන්න පිරිසක් වෙනම ගං ඉවුරේ පැත්තක ඉන්නවා. ගඟට වැටුණු ඔබ අමාරුවෙන් පීනා ගොඩට ආවත් ඒ අය කරන්නේ ඔබව නැවත ගඟට තල්ලු කරන එකයි. උද්ධමනයට වඩා ඵලදායී වීම ඒ අයට අදාළ නැහැ. එය අදාළ වන්නේ ඔබට පමණයි.

පොලී අනුපාතික වැඩි කළ විට ඵලදායිතාව දිරිමත් වන්නේ නැද්ද? 

මෙය කියවන බොහෝ දෙනෙකුට දැන ගන්නත් එක්ක මම මුලින්ම නාමික හා මූර්ත පොලී අනුපාතික ගැන විස්තර කරන්නම්. 

අපි උද්ධමනය ඉහළ මට්ටමක තිබෙන කාලයක් ගැන හිතමු. හාල් කිලෝ එකක නැත්නම් පොල් ගෙඩියක මිල මාසයක් තුළ 5%කින් ඉහළ යන බව කාට වුනත් පැහැදිලියි කියා හිතමු. ඔය වගේ වෙලාවක අතේ සල්ලි තිබෙන ඕනෑම කෙනෙක් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් හාල් පොල් මිල දී ගන්න පෙළඹෙනවා. මොකද පහු වෙලා ගන්නවට වඩා දවසක් හරි කලින් ගන්න එක ලාබයි. ඉන්ධන ඉල්ලුම වගේම ඩොලර් ඉල්ලුමත් වැඩි වෙලා තියෙන්නේ ඔය හේතුව නිසා. ඕනෑවටම නෙමෙයි. ගණන් වැඩි වෙන නිසා, අතේ සල්ලිත් තියෙන නිසා ටිකක් වැඩිපුර ගන්නවා. 

උද්ධමන තත්ත්වයක් ඇති වෙන්නෙම රටේ තිබෙන භාණ්ඩ ප්‍රමාණයට සාපේක්ෂව මුදල් ප්‍රමාණය වැඩි වුනාමනේ. මොකද අතේ මුදල් ප්‍රමාණය වැඩි වෙද්දී භාණ්ඩ ඉල්ලුම වැඩි වුනත් භාණ්ඩ සැපයුම වැඩි වෙන්නේ නැහැ. දැන් ඊට අමතරව, කලින් කියපු විදිහටම සමපේක්ෂණය නිසා අමතර භාණ්ඩ ඉල්ලුමක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලය මිල තවත් ඉහළ යන එකයි. (මිල ඉහළ නොගියොත් වෙන්නේ භාණ්ඩ හිඟය තවත් වැඩි වෙන එකයි. තෙල් වලට වගේම ඩොලර් වලටත් වුනේ ඒකයි.)

පේනවනේ වෙන දේ. උද්ධමනය ඉහළ මට්ටමක තියෙද්දී මිල වැඩි වන බව පැහැදිලිව පේන නිසා ඒ හේතුවෙන්ම අමතර භාණ්ඩ ඉල්ලුමක් ඇති වෙනවා. අපේ උදාහරණයේදී මාසයකට මිල වැඩි වීම 5%යි. ඒ කියන්නේ මාසයක් කලින් බඩු අරගෙන තියා ගත්තොත් පාරිභෝගිකයන්ට 5%ක අමතර වාසියක් තියෙනවා. 

එතකොට ව්‍යාපාරිකයන්ට? අපි හිතමු සිල්ලර කඩයක් ගැන. දැන් මේ කඩේට මොනවා හෝ බඩු ටිකක් මිල දී අරගෙන මාසයක පමණ කාලයක් තුළ 10%ක ලාබයක් තියාගෙන විකුණනවා කියා හිතමු. මාසයකට 5%කින් බඩු මිල වැඩි වෙද්දී ඔය ලාබය නිකම්ම 15% වෙනවා. 

අපි වෙන නිෂ්පාදන කර්මාන්තයක් ගැන හිතමු. සරල ලෙස, බිත්තර හා පාන්පිටි යොදා ගෙන බිත්තර ආප්ප හදා විකුණන එක ගැන හිතමු. ඒත් කතාව ඔය වගේ.  බිත්තර හා පාන්පිටි මිල වැඩි වෙද්දී බිත්තර ආප්ප මිලත් ඉහළ යනවා. නමුත්, එයින් ලාබය වැඩි වෙන්නේ නැහැ. හැබැයි කලින්ම බිත්තර හා පාන්පිටි අරන් තිබුණානම් එතැන අමතර ලාබයක් තියෙනවා. වඩා සංකීර්ණ නිෂ්පාදනයක් ගැන හිතුවත් උද්ධමන කාලයකදී අමුද්‍රව්‍ය කලින්ම මිල දී ගැනීමෙන් ඔය වාසිය එනවා. ඒ වගේම, මිල අඩු වන වකවානු වලදී ඕකම අනෙක් පැත්තට වෙලා පාඩුවක් වෙනවා. පාඩුවක් වෙනවා කියන එකෙන් අදහස් කළේ ලාබය අඩු වෙනවා කියන එකයි. 

දැන් අපි මේ කතාවට පොලී අනුපාතික එකතු කරමු. ඔය කලින් කියපු වාසිය ගන්න පුළුවන් වෙන්නේ අතේ සල්ලි තියෙන අයට විතරනේ. නමුත්, 2% පොලියට ණය ගන්න පුළුවන්නම් තත්ත්වය කොහොමද? 

උද්ධමනය නිසා ලැබෙන අමතර වාසිය 5%යි. අතේ සල්ලි නැත්නම් ණයට බඩු අරගෙන 2% පොලිය ගෙවුවත් 3%ක් වාසියි. ඒ නිසා, පොලී අනුපාතික උද්ධමනය අනුපාතිකයට වඩා අඩුනම් ඕනෑම පුද්ගලයෙක් හෝ ව්‍යාපාරිකයෙක් ණය ගන්න පෙළඹෙනවා. මොකද අවදානමක් නැති ලාබයක්!

දැන් මෙය කොහොමද මුදල් සැපයුම කෙරෙහි බලපාන්නේ? පොලී අනුපාතික උද්ධමනයට වඩා පහතින් තිබෙන තුරු ණය ගන්න පුළුවන් හැම කෙනෙක්ම පුළුවන් තරම් ණය ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. මේ විදිහට ණය ගන්න අය විශාල ලාබයක් ලබන්නේ ඵලදායීතාවය වැඩි කරගෙන නෙමෙයි. උද්ධමනයේ උදවුවෙන්. මහ බැංකුවේ උදවුවෙන්. 

උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකු විසින් පොලී අනුපාතික ඉහළ දමන්නේ ඔය හේතුව නිසා. අවම වශයෙන් උද්ධමනය හා ගැලපෙන තරමට පොලී අනුපාතික ඉහළ දැමුවේ නැත්නම් වෙන්නේ දිගින් දිගටම ණය ඉල්ලුම වැඩි වී මුදල් සැපයුම ප්‍රසාරණය වෙන එකයි.

මම කලින්ම මූර්ත පොලී අනුපාතික කියා දෙයක් ගැන කිවුවනේ. මූර්ත පොලී අනුපාතිකය කියා කියන්නේ නාමික පොලී අනුපාතිකය හා උද්ධමනය අතර වෙනස. නාමික පොලී අනුපාතිකය කියා කියන්නේ අපි ඔය නිකම්ම පොලී අනුපාතිකය කියන එක. නාමික කියා විශේෂණයක් එක් කරන්නේ මූර්ත පොලී අනුපාතික කියා වෙනම එකක් ගැන කතා කරන්න අවශ්‍ය නිසා.

උදාහරණයක් විදිහට දැන් උද්ධමනය 60% පමණ. අපි හිතමු ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතිකය 36%ක් කියලා. එතකොට වෙනස, ඒ කියන්නේ මූර්ත පොලී අනුපාතිකය සෘණ 24%ක්. එයින් අදහස් කරන්නේ කුමක්ද? ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතිකය 36%ක් වුනත්, පුළුවන් තරම් ණය ගන්න එක වාසියි කියන එකයි. මොකද 60%කින් (මාසයකට 5%කින්) බඩු ගණන් යන නිසා 36%ක් (මාසයකට 3%ක්) පොලී ගෙවුවත්, තව 24%ක් (මාසයකට 2%ක්) ලාබයි.

අතේ සල්ලි තියෙන, සල්ලි බැංකුවේ දමා තියෙන කෙනෙක් ගැන හිතමු. ඉතිරි කිරීම් සඳහා බැංකු වල පොලිය 12%යි කියා කියමු. මාසයකට 1%යි. දැන් ඔය සල්ලි බැංකුවේ නොතියා මොනවා හෝ බඩු අරගෙන ගෙදර ස්ටොක් කර ගත්තොත් 5%කින් බඩු ගණන් යන නිසා 4%ක වාසියක් තියෙනවා. ඒ නිසා, උද්ධමනය හා ගැලපෙන පරිදි පොලී අනුපාතික වැඩි නොකළොත්, මිනිස්සු බැංකු වල තිබෙන තමන්ගේ සල්ලි අදින්න පටන් ගන්නවා. ඒකෙන් වෙන්නෙත් මුදල් සැපයුම ඉහළ යන එක. මේ විදිහට සල්ලි ඇදලා වියදම් කරන එකේදී වෙන්නේ උද්ධමනයේ වාසිය ගන්න එක මිසක් ඵලදායීතාවය වැඩි කර ගැනීමක් නෙමෙයි. 

මූර්ත පොලී අනුපාතික සෘණ පැත්තේ තිබෙනවා කියා කියන්නේ එක පැත්තකින් ණය ඉල්ලුම වැඩි වෙනවා කියන එක. අනෙක් පැත්තෙන් ඉතිරි කිරීම් අඩු වෙනවා කියන එක. ඔය දෙකෙන්ම වෙන්නේ මුදල් සැපයුම ප්‍රසාරණය වෙන එකයි. මෙය වැළැක්වීම සඳහා ලෝකයේ ඕනෑම මහ බැංකුවක් විසින් යොදා ගන්නා ප්‍රධානම මෙවලම පොලී අනුපාතිකයි. 

දැන් උද්ධමනය 60% වගේ වෙලානේ. ඒ කියන්නේ පොලී අනුපාතික 60% කළ යුතුද?

පොලී අනුපාතික 60% කළ යුතුයි කියා මම යෝජනා කරන්නේ නැහැ. උද්ධමනය 60% යන්නෙන් අදහස් වෙන්නේ පසුගිය වසරක කාලය තුළ මිල වැඩි වීම එපමණ බවයි. නමුත්, අද යම් කිසිවකු විසින් දමන වසරක ස්ථිර තැන්පතුවක පොලී අනුපාතිකය 15%නම්, එම පොලිය ලැබෙන්නේ අද සිට ඉදිරි වසර සඳහා. ඒ නිසා, මෙහිදී අදාළ වන්නේ අද සිට වසරකට පසුව උද්ධමනයයි. එය අපි හරියටම දන්නේ නැහැ. වසරකට පසු උද්ධමනය 30% දක්වා අඩු වෙයි කියා හිතන්න පුළුවන්නම් 30% පොලී අනුපාතිකය ගැලපෙන එකක්. වසරකට පසු උද්ධමනය එපමණ අඩු වී තිබෙන්න බැරිකමක් නැහැ. නමුත්, 15% වැනි මට්ටමකට අඩු වෙයි කියලානම් හිතන්න අමාරුයි. 

ඒ නිසා, මුදල් සැපයුම පාලනය කිරීම සඳහා පොලී අනුපාතික අවම වශයෙන් 30% මට්ටමේවත් පවත්වා ගත යුතුයි. ඒ වැඩේ නොකර උද්ධමනයට මුහුණ දීම සඳහා ඵලදායීතාවය වැඩි කර ගන්න කියලා මහ බැංකුව කියනවානම් එය මහ බැංකුවේ රස්සාව හරියට නොකර වැරැද්ද අනුන් පිට දමන්න කියන කතාවක්. 

තර්කයක් විදිහට ගත්තොත් ඔය ඵලදායීතාවය වැඩි කර ගැනීමේ කතාව වඩා ගැලපෙන්නේ මූර්ත පොලී අනුපාතික ගොඩක් ඉහළ මට්ටමක තිබෙන වෙලාවකදීයි. දැන් උද්ධමනය 60%යි. අපි හිතමු ණය පොලී අනුපාතිකය 70%යි කියලා. ඔය 70%ක  පොලියෙන් 60%ක්ම උද්ධමනය නිසා නැවත ආපසු ලැබෙනවා. ඵලදායීත්වය වැඩි කර ගන්න වෙන්නේ උද්ධමනයේ වාසිය නොලැබෙන ඉතිරි 10% ආවරණය කර ගන්නයි. 

Sunday, July 24, 2022

භාණ්ඩාගාර බිල්පත් හා සංචිත මුදල්


මෙය පසුගිය ලිපියට අටුවාවක් සේ ලියන සටහනක්. බොහෝ දෙනෙකු විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ ගිය විට එය සල්ලි අච්චු ගැසීමක් සේ වැරදියට අර්ථකථනය කරනවා. ඉතා පැහැදිලිවම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යාම හා සල්ලි අච්චු ගැසීම එකක් නොව දෙකක්. එහෙත්, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය දෙස බලා සල්ලි අච්චු ගැසීම පිළිබඳ යම් අදහසක් ගත හැකි නිසා එය නිරීක්ෂණය කිරීම නරක දෙයක් නෙමෙයි. එය චිත්‍රයේ එක කොටසක් පමණක් බව දැනගෙන මෙය කළ යුතුයි.

මහ බැංකුව විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ දෙකක් ප්‍රසිද්ධ කරනවා. එකක් එම බිල්පත් වල මුහුණත අගයන්හි (face value) එකතුවයි. අනෙක එම බිල්පත් වල ගිණුම් වල සටහන්ව ඇති වටිනාකමයි (book value). මේ ගිණුම් වල සටහන්ව ඇති වටිනාකම යනු අදාළ දිනයේදී එම බිල්පත් වල වෙළඳපොළ වටිනාකමයි (mark-to-market value). 

පසුගිය මාර්තු හා මැයි මාස අවසානයේදී මෙම අගයයන් පහත පරිදියි.

මුහුණත අගය අනුව බිල්පත් ප්‍රමාණය 

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,727.8

2022 මැයි 31- රුපියල් බිලියන 1,971.5

වැඩි වීම - රුපියල් බිලියන 243.7


ගිණුම් අගය අනුව බිල්පත් ප්‍රමාණය 

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,657.3

2022 මැයි 31- රුපියල් බිලියන 1,853.8

වැඩි වීම - රුපියල් බිලියන 196.5

බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය වෙනස් වීම සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය නොවන බව ඉතාම පැහැදිලියි. 

අපි හිතමු මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් කිසියම් දිනක රුපියල් මිලියන 100ක මුහුණත අගය ඇති භාණ්ඩාගාර බිල්පතක් මිල දී ගත්තා කියා. එහෙත් එයින් අදහස් වන්නේ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100ක් මුදල් ගෙවූ බව නෙමෙයි. මිලියන 100 කියා කියන්නේ බිල්පත කල් පිරුණු විට ලැබෙන මුදලයි. අපි හිතමු එසේ ගෙවූ මුදල රුපියල් මිලියන 93ක් බවත් කල් පිරෙන කාලය දින 91 බවත්. බිල්පත සඳහා ලැබෙන පොලිය, එහෙමත් නැත්නම් ඵලදා අනුපාතය, තීරණය වන්නේ මෙසේ මිල දී ගත් මිල අනුවයි. එය අපට මෙලෙස ගණන් හැදිය හැකියි.

ඵලදා අනුපාතය = (100 - 93)*(365/91)/93 = 30.19%

ඒ කියන්නේ මහ බැංකුව මේ බිල්පත මිල දී ගනිද්දී මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය රුපියල් මිලියන 100කින් ඉහළ යන නමුත් ඒ වෙනුවෙන් ගෙවන්නේ රුපියල් මිලියන 93ක් පමණයි. ඒ කියන්නේ, "සල්ලි අච්චු ගැසීමක්" වෙන්නේ රුපියල් මිලියන 93ක් පමණයි. ඒ නිසා, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය දෙස බලා සල්ලි අච්චු ගැසීම පිළිබඳ දළ අදහසක් ගත හැකි වුවත් පූර්ණ අදහසක් ගන්න බැහැ.

ඒ වගේම මේ බිල්පත කල් පිරුණු විට සිදුවන දෙයත් බලමු. එවිට මහ බැංකුවට රුපියල් මිලියන 100ක් ලැබෙන නිසා සංචිත මුදල් සැපයුම එපමණකින් පහළ යනවා. ඒ වගේම, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගයද රුපියල් 100කින් පහළ යනවා. එසේ වුවත්, කල් පිරෙන්න කලින් මහ බැංකුව මේ බිල්පත විකිණුවොත් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය රුපියල් 100කින් පහළ යන නමුත් එපමණකින් සංචිත මුදල් ප්‍රමාණය පහළ යන්නේ නැහැ.

එහෙමනම් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගය වෙනස් වීමෙන් සල්ලි අච්චු ගැසීම හරියටම නිරූපණය වෙනවද? 

දැන් මේ බිල්පත මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 93ක් ගෙවන්න වෙනවනේ. ඒ එක්කම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගයද එපමණකින් ඉහළ යනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය හරියටම නිරූපණය වෙනවා. නමුත් වැඩේ අවුල් වෙන්නේ ඊට පස්සේ. 

මිල දී ගත් දවසේ ඉඳන් මේ බිල්පතේ වෙළඳපොළ අගය දිනෙන් දින වෙනස් වෙනවා. ඒ කියන්නේ ගිණුම් අගයත් වෙනස් වෙනවා. කල් පිරෙන දිනය වන විට එම අගය රුපියල් මිලියන 100ක් වෙනවා. හැබැයි ඒ අතර කාලයේදී සංචිත මුදල් ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගය වෙනස් වීම දිහා බලලත් සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය හරියටම නිගමනය කරන්න බැහැ.

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම රජයට ණය දෙන එක ක්‍රමයක් පමණයි. මහ බැංකුව රජයට කෙළින්මත් ණය හා අත්තිකාරම් දෙනවා. ඒ වගේම සමහර වෙලාවට රජයේ මුදල් මහ බැංකුවේ තැන්පත් කරනවා. මේ හේතු නිසා, සංචිත මුදල් කෙරෙහි බලපාන්නේ රජයට මහ බැංකුව විසින් දුන් ශුද්ධ ණය ප්‍රමාණයේ වෙනස් වීම. ඒක ඔය කලින් කී දෙකෙන් එකක්වත් නෙමෙයි. සාමාන්‍යයෙන් රජය මහ බැංකුවෙන් අරන් තිබෙන ණය ප්‍රමාණය ඔය දෙකටම වඩා වැඩියි. එම ණය ප්‍රමාණයේ වෙනස්වීම අඩු හෝ වැඩි විය හැකියි.

රජයට මහ බැංකුව විසින් දුන් ශුද්ධ ණය ප්‍රමාණය

2022 මාර්තු 31 - රුපියල් බිලියන 2,682.5

2022 මැයි 31- රුපියල් බිලියන 2,904.8

වැඩි වීම - රුපියල් බිලියන 222.3

හැබැයි සල්ලි අච්චු ගැසීම හෙවත් සංචිත මුදල් වැඩි වීම කියා කියන්නේ ඔය විදිහට සල්ලි අච්චු ගහලා මොන ක්‍රමයෙන් හෝ රජයට දෙන මුළු රුපියල් ප්‍රමාණයත් නෙමෙයි. මහ බැංකුවෙන් එළියට රුපියල් යන හා ඒ රුපියල් ආපහු මහ බැංකුවට එන තවත් ක්‍රම ගණනාවක් තිබෙනවා. ප්‍රචලිතම ක්‍රමය ඩොලර් විකිණීම හා මිල දී ගැනීම. ඩොලර් මිල දී ගනිද්දී රුපියල් එළියට යනවා. විකුණද්දී නැවත ඒ රුපියල් මහ බැංකුවට එනවා.

2022 අප්‍රේල් 

විකිණු ඩොලර් ප්‍රමාණය - මිලියන 244.90

මිල දී ගත් ඩොලර් ප්‍රමාණය - මිලියන 140.95

2022 මැයි 

විකිණු ඩොලර් ප්‍රමාණය - මිලියන 222.73

මිල දී ගත් ඩොලර් ප්‍රමාණය - මිලියන 155.10

මාස දෙකේදීම මිල දී ගත් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඩොලර් විකුණලා තිබෙනවා. ඒ කියන්නේ රජයට ණය විදිහට දුන් රුපියල්  බිලියන 222.3න් යම් ප්‍රමාණයක් ඩොලර් විකිණීම හරහා නැවත මහ බැංකුවට ඇවිත් තිබෙනවා. මේ හේතුව සහ වෙනත් හේතු නිසා, ඔය මාස දෙක තුළ සංචිත මුදල් වැඩි වී තියෙන්නේ, ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා තියෙන්නේ, රජයට ණය දුන් ප්‍රමාණයට වඩා අඩුවෙන්.

සංචිත මුදල් ප්‍රමාණය

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,386.7

2022 මැයි 31- රුපියල් බිලියන 1,414.9

වැඩි වීම - රුපියල් බිලියන 28.3

වෙබ් ලිපිනය: