වෙබ් ලිපිනය:

Wednesday, February 7, 2024

පොලී අනුපාතික විශාල ලෙස පහත වැටේ!


අද (2024 පෙබරවාරි 7) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. ඒ පසුගිය සතියේද එවැනිම පහත වැටීමක් සිදු වීමෙන් පසුවයි. පහත තිබෙන්නේ අද වෙන්දේසියේ පොලී අනුපාතික.

දින 91 - 10.96%

දින 182 - 11.07%

දින 364 - 10.73%

දෙසතියකට පෙර (2024 ජනවාරි 23) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදීද බිල්පත් අලෙවි වූයේ මීට වඩා සැලකිය යුතු තරම් ඉහළ පොලී අනුපාතික වලටයි. 

දින 91 - 13.35%

දින 182 - 13.41%

දින 364 - 12.78%

මාස විස්සකට පෙර (2022 අප්‍රේල් 7 දින), වත්මන් මහ බැංකු අධිපතිවරයා ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව, උද්ධමනය ඉක්මණින් අඩු කර ගැනීම ඉලක්ක කර ගනිමින්, පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාමට ඉඩ සැලැස්වූවා. පහත තිබෙන්නේ ඔහු ධුරයේ වැඩ භාර ගෙන මාස හතරකට පසුව (2022 සැප්තැම්බර් 7) පොලී අනුපාතික පැවති මට්ටමයි.

දින 91 - 32.89%

දින 182 - 31.29%

දින 364 - 30.50%

කෙසේ වුවද, මේ වන විට පොලී අනුපාතික වත්මන් අධිපතිවරයා වැඩ භාර ගන්නා විට පැවති මට්ටමට සාපේක්ෂව වුවද විශාල ලෙස පහත වැටී තිබෙනවා. පහත තිබෙන්නේ ඒ වන විට (2022 අප්‍රේල් 6 දින) පැවති පොලී අනුපාතිකයි.

දින 91 - 14.12%

දින 182 - 15.36%

දින 364 - 15.69%

උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවක් සතු ප්‍රධානම මෙවලම පොලී අනුපාතිකයි. වත්මන් අධිපතිවරයා විසින් ධුරය භාර ගැනීමෙන් අනතුරුව එම අවිය නිවැරදි ලෙස ප්‍රයෝජනයට ගැනුනා. 

පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම බොහෝ දෙනෙකුගේ කණස්සල්ලට හා විවේචනයට හේතු වුවත්, එමගින් 73.7% වැනි (ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව) ඉහළ මට්ටමක පැවති උද්ධමනය කෙටි කලක් තුළ මහ බැංකුවේ ඉලක්ක මට්ටම දක්වා පහත දමා ගැනීමට හැකි වුනා. 

ආසන්න කාලයකදී උද්ධමනය මෙවැනි ඉහළ මට්ටමක පැවති බොහෝ රටවල එම ඉහළ උද්ධමනය තවමත් පාලනය වී නැහැ. පොලී අනුපාතික නිසි සේ ප්‍රයෝජනයට ගනිමින් ලංකාවේ උද්ධමනය පාලනය කිරීමෙන් අනතුරුව දැන් පොලී අනුපාතිකද දිගුකාලීනව පැවති සාමාන්‍ය මට්ටම දක්වා පහත වැටෙමින් තිබෙනවා.

කෙසේ වුවද, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තියට අමතරව, පොලී අනුපාතික පහත වැටීම කෙරෙහි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් වලින් විශාල බලපෑමක් සිදු වී තිබෙනවා. මේ වන විට රජයේ ආදායම් වැඩි කර ගැනීම හා වියදම් පාලනය හරහා ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කරගෙන ඇති බැවින් පරණ ණය හා පොලී ගෙවීම සඳහා හැර රජය පවත්වා ගෙන යාම සඳහා ණය ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා, රජය විසින් අලුතෙන් ණය ලෙස ලබා ගන්නේ පරණ ණය හා පොලී වෙනුවෙන් දේශීය මුදල් වෙළඳපොළට පොම්ප කරන රුපියල් ප්‍රමාණයට වඩා අඩු රුපියල් ප්‍රමාණයක්.

ඉහත තත්ත්වය තුළ දේශීය මුදල් වෙළඳපොළේ රුපියල් ද්‍රවශීලතාවය ඉහළ යමින් තිබෙනවා. මහ බැංකුව විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම හරහා මෙම අතිරික්ත ද්‍රවශීලතාවයෙන් කොටසක් අවශෝෂණය කර ගන්නා නමුත් අනෙක් අතට මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමද සිදු කරමින් සිටින නිසා නැවතත් වෙළඳපොළේ රුපියල් ද්‍රවශීලතාවය ඉහළ යනවා. ජනවාරි මාසය තුළ රටේ නිල සංචිත තව දුරටත් ඉහළ යාම මගින් හා ඩොලරයක මිල පහත යාමෙන් පෙන්නුම් කරන්නේ මහ බැංකුව විසින් දිගින් දිගටම වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් සිටින බවයි.

රජයේ ණය ගැනීම් සීමා වෙද්දී බැංකු පද්ධතිය තුළ ඉතිරි වන අතිරික්ත රුපියල් ප්‍රමාණය පෞද්ගලික අංශයට ණය ලෙස දීමට බැංකු වලට සිදු වෙනවා. මෙහිදී ණය සැපයුම පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ඉක්මවීමේ ප්‍රතිඵලයක් ලෙස එම ණය පොලී පහත වැටීමක්ද සිදු වෙමින් පවතිනවා. 

7 comments:

  1. ඉකොනෝ 2030 පමණ වන විට ලංකාවේ gdp per capita එක කොපමණ වේ දැයි අදහසක් ලබා ගත හැකිද? හැකිනම් ඒ කොපමණ වේ ද?

    ReplyDelete
    Replies
    1. ‍රනිල් දිගටම හිටියොත් USD 25,000 ක් විතර වෙයි 👍

      Delete
    2. මෙහෙමයි 2030 කියන්නේ ලොකු කාලයක්, අනික ආණ්ඩුව වෙනස් වෙන්නත් ඉඩ තියෙන වෙලාවක හරියටම කියන්න අමාරුයි

      නමුත් රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා දැනට කරගෙන යන යහපාලන ආණ්ඩුව කාලේ ගත්ත පියවරම අනුගමනය කළොත් ආර්ථිකය තව තවත් හැකිලෙනවා

      රජයේ වියදම් සීමා කිරීම විශේෂයෙන්ම ප්‍රාග්ධන වියදම් capital expenditure සම්පූර්ණයෙන්ම පාහේ කපාහැර තිබීම නිසාත් යටිතල පහසුකම් යලි ගොඩනැගෙන්නේ නැති එක නිසා පෞද්ගලික අංශයේ නිවාස වාණිජ ගොඩනැගිලි වගේ දේවල් විතරක් යන්තම් ගොඩ නැගෙයි ඒකත් ළඟදීම ඍණ පැත්තට යන බවයි දැනට පේන්නේ

      අධික බදු නිසා දේශීය ආයෝජන වගේම අධික බලශක්ති වියදම ශ්‍රම බලකාය විදේශ ගත වීම නිසා සේවක හිඟය වගේ දේවල් නිසා විදේශ ආයෝජන ලෙස එන කර්මාන්ත පැමිණීම සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිට තිබෙන නිසාත් ලංකාවේ ආර්ථිකය තවදුරටත් හැකිලීම සහ එකතැන පල්වීම දකින්න ලැබෙනව, අනෙක රටේ ජනගහනය වර්ධනය වීම අඩු නිසාත් ලංකාවෙන් විශාල ලෙස මැදපෙරදිග රටවල සේවයට යන අය පවා කැනඩාව ඕස්ට්‍රේලියාව සහ නැගෙනහිර යුරෝපය ජෝජියා රුමේනියා වගේ රටවලට පවා සංක්‍රමණය වීම සමග ජනගහනය වැඩි වෙන එක තවත් සීමා වෙනවා

      මේ නිසා මේ ලංකාවේ දැනට ඇති ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකළොත් ලංකාවේ ආර්ථිකය මේ විදියටම එකතැන පල්වීම නිසා GDP per capita ඔය අගය US$ 3500 අගයේ හෝ ඊට වඩා අඩු අගයකට සෙට් වෙයි

      රටේ කර්මාන්ත බිඳ වැටෙන ඒවා සංචාරක ව්‍යාපාරයෙන් restore කරගන්න පුළුවන් වුණොත් හොඳයි. නැත්නම් GDP එක මීටත් වඩා පහල යන්න ඉඩ තියෙනවා බොහෝ දුරට එතකොට Nauru වගේ රටවලට වෙච්ච දේ ලංකාවට වෙයි

      ආණ්ඩුව මාරු වූණත් සජිත් ප්‍රේමදාස රජයක් හෝ මාලිමා රජයක් ආවත් ඒත් මේ ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනස් කරන්න තරම් ඒ අයට අවබෝධයක් නෑ නන්දලාල් වීරසිංහ යටතේම මහබැංකුව මේ විදියටම ක්‍රියාත්මක වෙයි ඔවුන් වෙන වෙන බහුබූත කතාකර කර ජනතාව රවටමින් මේ ක්‍රමයම දිගටම ක්‍රියාත්මක කරාවි. ඒ නිසා ලංකාව ගැන බලාපොරොත්තු අතහැර විදේශ ගතවීම තමයි පෞද්ගලිකව කරන්න තියෙන එකම ඔප්ෂන් එක...

      Delete
  2. අනේ මන්ද ඉකොනොමැට්ටාට අනුව ලංකාවේ...

    1. සංචිත 👍
    2. රුපියල 💪
    3. ණය බර ⬇
    4. සංවර්ධනය ⬆️
    5. පොලී අනුපාත ⬇️

    ඉන්න හිතෙන රටක්...



    ඒත් ඇත්තටම ලංකාවේ තත්ත්වය කියලා ලංකාවේ බහුතර ජනතාව හිතන්නේ...

    1. බඩු මිල බලන් ඉද්දි ⬆
    2. Factory වහල රස්සාවල් නැති වෙන
    3. මිනිස්සු රට යන්න බලන් ඉන්න
    4. අහන අහන මිනිහට ඉන්න එපාවෙලා තියෙන
    5. 2022 ට වඩා 2023 ඉතාම නරක වුණ, සහ ඊටත් වඩා 2024 අමාරු වෙයි කියලා හිතෙන...

    ලෝකයේම ඉතාම අමාරු ජීවන තත්ත්වයක් ඇති බවට බහුතර පුරවැසියන් හිතන ඉතාම දූශිත පාලනයක් ඇති අසාර්ථක රටක්....

    මෙයින් cow ද ඇත්ත කියන්නේ?

    ReplyDelete
  3. ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාර හිමි ව්‍යවසායක නහීල් විජේසූරිය කුඩා දරුවන්ගේ රෝග වලට ප්‍රතිකාර කරන Little hearts 💕 අරමුදල වෙනුවෙන් රුපියල් බිලියනයක නැත්නම් කෝටි සීයක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා, මෙය රජයට ගෙවීමට සිදුව ඇති බදු වලින් මගහැරීමට සිදුකල හැකි උප්පරවැට්ටියක් ද ඉකොනොමැට්ටා?

    ලංකාවේ ආර්ථිකය ගැන කියන කොට මට හිතෙන පරණ භාරතීය සමෝසා වෙළඳාම ගැන කතාවක් මතක් වුණා

    නුතන ආර්ථික රැඩිකල්වාදය ගැන අවබෝධයක් නැති මැදිවයසේ
    "ගනේෂ් " ඉන්දියාවේ කාර්යබහුල නගරයක වෙසෙන සමෝසා වෙළෙන්දෙක්. නගරය තුල ගමන්කරන ඔහුගේ ජංගම අවන්හලේ දිනකට සමෝසා 500ක් ඉතා පහසුවෙන් විකිණීම සිදුකෙරිනි. පසුගිය වසර 30 තුල ඔහු කොයි කා අතරත් අතිශයින්ම ජනාධරයට පත්වුයේ ඔහුගේ සමෝසා වෙළඳාම නිසයි. ඒ මක්නිසාද යත් ඔහු සනීපාරක්ෂාව සහ ඔහුගේ රසගුණ සමෝසා වල ඉහළ ගුණාත්මකභාවය ගැන ඉතා විශාල සැලකිල්ලක් දැක්වූ නිසයි. ඉස්තරම්ම තෙල් සහ අමුද්‍රව්‍ය ඔහු ඒ සඳහා යොදමින් සමෝසා මිලදී ගන්නන් හට නොමිලයේ චට්නි ලබා දී ඉතුරුවන සමෝසා දුප්පතුන්ට බෙදාදෙන අතර තවත් ඒවා වේ නම් බල්ලන්ට සහ හරකුන්ට කෑමට ලබා දුනි. ඉතාම කැපවීමෙන් වැඩකළ ගනේෂ් මේ ව්‍යාපාරය තුලින් සැලකිය යුතු මුදලක් මාසිකව ඉපයීමට සමත් විය. ඔහුගේ එකම පුතාගේ මුලික අධ්‍යාපනයට, උපාධියට සහ ඔහුගේ ඇමරිකානු අනුබද්ධ බිස්නස් ස්කූල් එකකින් ගත් MBA උපාධිය සඳහාද සියලු වියදම් දැරුවේ ගනේෂ්ගේ සමෝසා ව්‍යාපාරය තුලින් ලැබූ මුදලිනි. ඔහු කිසිඳු ණයකින් තොර පුද්ගලයෙක් විය. ඔහුගේ පුත් සන්දීප් තම MBA උපාධියෙන් පසුව නිවසට පැමිණුනේය. ඔහු තම පියාගේ සමෝසා ව්‍යාපාරය සඳහා උදව් කිරීමට කැමති බව ගනේෂ්ට දැන්වීය. නමුත් මින් පෙර කිසිදිනෙක ඔහු තම පියාගේ සමෝසා ව්‍යාපාරය සඳහා උදව් කර තිබුනේ නැත. ඔහුගේ ආගමනය ගැන ගනේෂ් අතිශයින් සතුටු විය. තම ව්‍යාපාරය තවදුරටත් වැඩිදියුණුකිරීමට මෙය අනගි අවස්ථාවක් යයි ගනේෂ් සිතුවේය.

    එක්සත් ජනපදයේ සරසවියට අනුබද්ධ භාරතීය උසස් අධ්‍යාපන ආයතනයකින් නූතන ආර්ථික විද්‍යාව ගැන ඉතාම උසස් දැනුමක් සහිතව ගෝලීය ආර්ථිකය, ව්‍යාපාර කළමනාකරණය සහ රැකියා වෙළඳපොල ගැන සන්දිප්හට ඉමහත් දැනුමක් තිබුණි. ඒ ගැන ඔහු පර්යේෂන නිබන්ධන සිදුකළ අතර ඒ පිලිබඳ presentations සහ දේශනයන් පවා කර තිබුණි. ව්‍යාපාර වල ශුද්ධ ලාබය වැඩිකරගනීමට කලයුත්තේ මොනවාදැයි ඔහු විසින් ලියු පොත්පත්ද ඒ අතර විය.

    පියාගේ ව්‍යාපාරය දියුණුකිරීමේ අරමුණින් ඔහු පරිපාලනයට ඍජු දායකත්වයක් දැක්විය. ව්‍යාපාරය විධිමත්කිරීමේ ක්‍රමයතුල සමහරවිට දෛනිකව විකුණන සමෝසා ඒකක ගණන 500 සිට පහල බසියහැකි නමුත් ශුද්ධ ලාභය ඉහලයනබව ඔහු තම පියාට විස්තර කළේය. තම පුතුගේ විශිෂ්ට දැනුම ගැන ගනේෂ් අසීමාන්තික සතුටකට පත්විය.

    එහි පළමු පියවර ලෙස සමෝසා පිසීමට ගන්නා තෙල් ඔහු මෙසේ වෙනස් කළේය. නව සහ නැවුම් තෙල් 80% සමග වරක් පාවිච්චිකරනලද තෙල් 20% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. පාරිභෝගිකයන්ට එහි වෙනසක් නොතේරුනි. ඔවුන් පෙර මෙන් සමෝසා 500ක් අලෙවි කලෝය. ඔවුන්ගේ ලාභය යම් ප්‍රමාණයකින් ඉහල ගියේය. ගනේෂ් සතුටට පත්විය. ඊළඟ දිනයේදී නැවුම් තෙල් 70% භාවිතා කල අතර වරක් පාවිච්චිකරනලද තෙල් 30% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. එදින ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 400ක් පමණි. ඉතිරිය දුප්පතුන්ට සහ සතුන්ට ආහාරපිනිස ලබාදුනි. තම පුතු කී දෙය එලෙසින්ම සිදුවීම ගැන ගනේෂ් සතුටුවිය.

    ඊළඟ දිනයේදී නාස්තිය වලක්වාගැනීමට සමෝසා 400ක් පමණක් සැදීමට සන්දීප් උපදෙස් දුනි. ඒ සඳහා 60% නව තෙල් සමග පාවිච්චිකරනලද තෙල් 40% මිශ්‍ර කර සමෝසා බැදීමට බාවිතා කළේය. එදින සමෝසා 400 විකුණා ගැනීමට හැකිවූ නිසා ඔවුන්ගේ ලාභය ඉහල ගියේය. ගනේෂ් ඉමහත් සතුටට පත්විය. නමුත් එදින රසය පිලිබඳව පරිභෝගිකයන්තුල කැමැත්තක් තිබුනේ නැත. පසුදින සමෝසා බැදීමට 50% නවුම්තෙල් සහ 50% බාවිතා කරනලද තෙල් යොදාගැනීමට සන්දීප් උපදෙස් දුනි. නමුත් එදින විකුණාගත හැකිවතිබුනේ සමෝසා 300ක් පමණි. ඉතිරිය විසිකරනු හෝ නොමිලේ දෙනු වෙනුවට නැවත බැද පසුදින අලෙවිකිරීමට සන්දීප් කටයුතු කළේය. මෙය තමාටත් කලින් කළහැකිව තිබුනා නොවේදැයි ගනේෂ් පසුතැවිලි විය. නමුත් තම පුතු ගැන ආඩම්බර විය.

    Cont'd

    ReplyDelete
    Replies
    1. Cont'd

      පසුදින අලුතෙන් සමෝසා 200ක් සැකසු අතර පෙරදින ඉතුරුවූ සමෝසා100ක් සමග සමෝසා 300ක් විකිණීමට ඔවුන්ට හැකිවිය. නොමිලයේ ලබාදුන් චට්නි නොමිලයේ ලබා නොදීමෙන් සිදුවන ලාභය ගැන සන්දීප් තම පියාට විස්තර කළේය. එය බාදාවක් නොවේනම් එසේ කරනමෙන් ගනේෂ් කීවේය. එසේ කලදිනට පසුදින සිට ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 100ක් පමණි. දින කීපයක්ම ඔවුනට විකුණාගත හැකිවුයේ සමෝසා 100ක් පමණි. දින කීපයක් අධ්‍යයනය කිරීමෙන් පසු ආර්ථික අවපාතයක් සිදුවී ඇතිබව වටහාගත සන්දීප් මෙසේ පැවසිය.

      "මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. ඒක නිසා Business අඩුයි. අපි free දෙන ටිෂු එක නොදී ඉමු". එසේ කී සන්දීප් නොමිලයේ දුන් ටිෂු කඩදාසිය නැවැත්විය.

      දිනකීපයකින් සමෝසා ව්‍යාපාරය ඒකක 50ක් දක්වා පහත වැටුණි. දැන් සමෝසා ව්‍යාපාරය නවතා නව ව්‍යාපාරයක් ආරම්භකිරීමට කාලය පැමිණ ඇතිබව සන්දීප්, ගනේෂ්ට පැවසිය. මෙතෙක් දින නිශ්ශබ්දව සිටි ගනේෂ් තම හඬ අවදි කළේය.

      "උඹ ඉගනගෙන තියෙන්නේ business කරන්න නෙවෙයි. වංචා කරන්න. අපුරුවට සමෝසා 500ක් වික්ක මම, අද උඹව ලංකරගෙන විකුනන්නේ සමෝසා 50ක් විතරයි. මම මේක අවුරුදු 30ක්ම කලේ උඹ වගේ ඉගෙනගෙන නෙවෙයි. උඹල ඉගෙනගෙන තියෙන්නේ වංචා කරන්න මිසක් business දියුණු කරන්ඩ නෙවෙයි. කරුණාකරලා මේක මට කරගන්ඩ දීලා උඹ පැත්තකට වෙයන්. උඹට කැමතිනම්. පිටි අනන, සමෝසා බදින වැඩේට මම උඹව පඩියක් දීලා ගන්නම්".

      නැවත සුපුරුදු පරිදි ඉහල ගුණාත්මක භාවය ගැන සිතු ගනේෂ් පෙරටත් වඩා හොඳින් සමෝසා සැකසීම ඇරඹීය. සති කීපයකින්ම නැවතත් සමෝසා 600ක් දිනකට විකුණන මට්ටමට තම ව්‍යාපාරය ඉහල නැංවිය.

      පසු වදන:

      අද බොහොමයක් රජයේ සහ පුද්ගලික ආයතනවල පමණක් නොව, බොහෝ තැන්වල සිදුවන්නේ මෙය නොවේද?

      System change කරන්නට නම් මුලින්ම තමන්ගේම ආකල්ප වෙනස්විය යුතු නොවේද? එකිනෙකාට බැනගනිමින් නොදරුවන් ලෙස හැසිරෙමින්, මං මුලාවී දුවනා ඔබත් මමත් කෙසේනම් system වෙනස්කරන්න ද?

      Delete
    2. උනුත් නොදන්නොය උන් යන මානය
      දිනන්න යන්නෙම වංචා කරලය
      උන්ගෙන් පාඩම් උගන්නෙ කෙලෙසද
      උනුත් මංමුළා වූවන් ගාණය

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: