වෙබ් ලිපිනය:

Saturday, March 26, 2022

IMF වාර්තාව මොකක්ද?


මේ වන විට IMF වාර්තාවක් සංසරණය වෙනවා. මෙය IMF එකෙන් ණය ගැනීම සඳහා ඇති කරගත් ගිවිසුමක කෙටුම්පතක් නෙමෙයි. සාමාන්‍යයෙන් වසරකට වරක් සාමාජික රටවල ආර්ථිකය හා ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂණය කරලා IMF එක විසින් නිකුත් කරන උපදේශන වාර්තාව. මෙය රටේ ප්‍රශ්නයක් තිබුණත් නැතත් සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. ඒ වගේම, මෙය උපදේශනයක් මිසක් ගිවිසුමක් හෝ කොන්දේසි දැමීමක් නෙමෙයි. 

ණය ලබා ගැනීම සඳහා එකඟ වී ගිවිසුමක් ගහන එක මීට වඩා පුළුල් හා සංකීර්ණ වැඩක්. එහිදී IMF එක රටේ ආර්ථිකය ගැන මීට වඩා ගැඹුරු ලෙස අධ්‍යයනය කර වඩා පුළුල් හා නිශ්චිත ක්‍රියා මාර්ග යෝජනා කරනවා. එය වැඩි කාලයක් ගත වන වැඩක්. සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් හා රනිල් අතර සිදු වූ සංවාදය අනුව මම හිතුවේ තිරයෙන් පසුපස යම් ක්‍රියාවලියක් සිදු වී ඇති බවයි. එහෙත්, දැන් පෙනෙන විදිහට ඒ කතාබහ සිදු වී තිබෙන්නේ මේ උපදේශන වාර්තාව සම්බන්ධව වගෙයි පෙනෙන්නේ. 

ඒ කියන්නේ IMF එකෙන් ණය ගන්න වැඩේ ඒ තරම්ම හදිසියෙන් වෙන්නේ නැහැ කියන එකයි. IMF ණය හදිසියේ එන්නේ නැහැ කියා කියන්නේ ඩොලරයක මිල ඉතා ඉක්මණින් ස්ථාවර වෙන්නෙත් නැහැ කියන එකයි. දැන් පේන විදිහට ඩොලරයක මිල රුපියල් 300 ඉක්මවන එක රජය හෝ මහ බැංකුව විසින් වලක්වන පාටක් නැහැ. ලබන සතියේ හරියටම බලමු. 

ඩොලරයක මිල ස්ථාවර වනු ඇත්තේ කවදා හෝ දවසක IMF එක සමඟ ඇති කර ගන්නා ගිවිසුම පිළිබඳව නිශ්චිත හා විස්තරාත්මක ප්‍රකාශයක්  කිරීමෙන් පසුව පමණයි. තවමත් රුපියල පාවෙන්නේ නැති බවත් එය යම් මාර්ගෝපදේශනයක් යටතේ අවප්‍රමාණය වෙමින් තිබෙනු පමණක් බවත් මතක තබා ගත යුතුයි. ඇතැම් විට මිල ඉහළ යාමට ඉඩ හැර මහ බැංකුව විසින් වෙළඳපොළෙන් සංචිත මිල දී ගනිමින් සිටිනවා විය හැකියි. එසේ වෙනවානම් එය සාධනීය දෙයක්.

රටේ කාගේ හරි අතේ සල්ලි නැති වුනාම තියෙන දෙයක් උගස් කරලා හරි ණයක් ගන්න වෙන්නේ බැංකුවකින්. බැංකු වලට මේ වැඩේම වුනාම ණයක් ගන්න වෙන්නේ මහ බැංකුවෙන්. මේ වෙද්දී මහ බැංකුවත් බංකොලොත්. මහ බැංකුව සතුව උගස් කළ හැකි දෙයක්වත් නැහැ. පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය!

ගුවන් යානයක යද්දී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වූ වෙලාවක අනික් අයට උදවු කරන්න කලින් මුලින්ම කළ යුත්තේ තමන් ඔක්සිජන් මාස්ක් එක දාගන්න එක. දැන් මහ බැංකුව ඉන්නෙත් ඒ වගේ අඩියකට වැටිලා. රට ගැන, බැංකු ගැන බලන්න කලින් මහ බැංකුවේම ණය ආපසු ගෙවන විදිහ ගැන හිතන්න වෙනවා. මීට මාස හත අටකට පෙර මහ බැංකුවේ විදේශ වත්කම් වලින් විදේශ බැරකම් පියවලා මහ බැංකුව කරන්සි බෝඩ් එකක් කරන්න පුළුවන්කම තිබුණත් දැන් එහෙම කරන්න පුළුවන් තත්ත්වයක්වත් නැහැ. 

මහ බැංකුව විසින් බැංකු වලට එන ඩොලර් එකතු කර ගනිමින් සිටිනවානම් එහි කිසිම වැරැද්දක් නැහැ. එයින් ඩොලරයක මිල ඉහළ යන්නේ වුවත්, අවසාන වශයෙන් ඩොලරයක මිල පාලනය කර ගැනීමට උදවුවක් විය හැක්කේ එසේ එකතු කර ගන්නා සුළු හෝ ඩොලර් ප්‍රමාණයයි. 

අරමුදලේ උපදේශන වාර්තාව ණය ගිවිසුමක් නොවෙතත් එයින් ලංකාවේ ආර්ථිකය ගැන IMF එක හිතන විදිහ ගැන දළ අදහසක් ගන්න පුළුවන්. එහි තිබෙන ප්‍රධාන යෝජනා මොනවද?

1. රජයේ ආදායම් වැඩි කර ගැනීම හරහා රාජ්‍ය අයවැය පරතරය අඩු කර ගැනීම. මේ සඳහා ආදායම් බදු හා වැට් බදු අනුපාතික ඉහළ දැමීම හා බදු පදනම් පුළුල් කර ගැනීම. බදු වලින් නිදහස් කිරීම් හැකිතාක් අවම කිරීම. ඉන්ධන මිල හා විදුලි බිල් පිරිවැය හා ගැලපෙන පරිදි මිල සූත්‍ර හඳුන්වා දීම. 2024 වන විට ප්‍රාථමික හිඟය ශුන්‍ය කර ගැනීම. දූෂණ අඩු කර ගනිමින් යහපාලනය සවිමත් කිරීම. රාජ්‍ය මූල්‍යනය සම්බන්ධ පාරදෘශ්‍යභාවය හා වගවීම වැඩි කිරීම. 

2. තිරසාර ලෙස ණය කළමනාකරණය කරගත හැකි ක්‍රමවේදයක් සකසා ගැනීම. කලට වෙලාවට ණය ආපසු ගෙවීම සුදුසුයැයි අරමුදල සිතන නමුත් ආදායම් වැඩි කරගෙන අයවැය හිඟය සීමා කර ගැනීම මගින් පමණක් ණය කලට වේලාවට ගෙවිය හැකි වේද යන්න පිළිබඳව අරමුදල සැක පහළ කරයි. 

3. මේ වන විට ඉහළ ගොස් ඇති උද්ධමනය එම ඉහළ මට්ටමෙහි දිගටම නොපැවතෙන පරිදි මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම. මුදල් අමාත්‍යාංශය සමඟ කතාබහ කර මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කර ගැනීම.

4. විණිමය අනුපාතය සැලසුම් සහගත ලෙස ක්‍රමයෙන් ඉහළ යන්නට සලස්වා අවසානයේදී එය ඉල්ලුම සැපයුම මත තීරණය වීමට ඉඩ හැරීම. කෙසේ වුවද, එකවර විශාල ලෙස මිල ඉහළ යාම වැළැක්වෙන පරිදි, අනෙකුත් වෙනස්කම් කරන අතර මෙය පියවරෙන් පියවර කළ යුතුයි. එයට සමාන්තරව දේශීය නිෂ්පාදනයට බාධාවක් වන ආනයන සීමාවන් ඉවත් කළ යුතුයි.

5. ඉහත වෙනස්කම් නිසා පීඩාවට පත් වන සමාජයේ පහළ ස්ථාවර වල පීඩාවන් අවම වන පරිදි සමාජ ආරක්ෂණ වියදම් වැඩි කිරීම හා ඉලක්කගත ලෙස වැඩි පිරිසකට සහන ලැබෙන පරිදි පුළුල් කිරීම. දැනට දදේනියෙන් 0.4%ක් පමණක් වන සමාජ සංරක්ෂණ වියදම් පවතින්නේ ලංකාවේ මට්ටමේ වෙනත් රටවලට සාපේක්ෂව පහළ මට්ටමකයි.

මේවා පසුගිය දෙසැම්බරයේ පැවති තත්ත්වය අනුව සිදු කර තිබෙන යෝජනා. ණය ලබා දීමේ ගිවිසුමක කොටස් නෙමෙයි. එහෙත් ණය ලබා දෙන ගිවිසුමකට මේ දේවල් ඇතුළත් විය හැකියි. මේ දේවල් කරන්න ගිහින් ලංකාවට කෙළවෙයිද? IMF එක මේ හදන්නේ ලංකාවට කෙළවන්නද?

50 comments:

  1. Frustration is already creeping in to the lives of middle class. We are in a country in which 80rs antigen and 2500rs pcr were sold at 1250 and 6500 respectively. It would be a dream to achieve the transparency that IMF demands with top brasses of the government. We are heading along a dark tunnel. Only tiny distant light is the headlight of an on coming train.

    ReplyDelete
    Replies
    1. In that train, many middle class families will enjoy a time travel back to 1990s, could be even further back to the past. Rice hulls (Dahayiya) and saw dust for cooking when LPG would be unaffordable, empty refrigerators kept turned off to reduce the electricity bill as in Yashoravaya, education aboard only for the kids of top 1%, foreign vacations also exclusively for that top layer etc.

      Delete
    2. පෙඩ්ප් වෙලා ඉන්නේ ඉකොනෝ මල්ලියේ අපට
      කන්නට මොකුත් නැහැ කුසගින්නකට
      විදුලිය ඇත්තෙත් නැහැ දවසෙන් බාගෙකට
      පෝලිම් වලයි ගත වන්නේ අපේ කල දවස

      හැදුවට මහින්ද වාගේ පුත්තුන්ව
      ඩීඒ රාජපක්ෂගේ අම්මට හැමිනෙන්න
      හෙන ඉල්ලයි මිනිස්සුන් හැම එකාවන්ව
      පෙර කරුමෙකුයි ගෙනියන්නේ අප හැමෝම

      අවොත් රනිල් විසදෙයි මේ ප්‍රශ්න
      තෙල් ටික බේත් ටික හම්බෙයි ඇතිවෙන්න
      මදිපාඩුවට ලයිටුත් දෙයි දවසටම
      කියන්නේ ඇත්තද පහදා දෙනු මැනව

      අයිඑම්එප් කට්ටිය අහක බලනු එපා
      ඉන්දියාව තෙල් පරිප්පු නොදී ඉදිනු එපා
      චීනෙන් ගත්තු ණය ටික ඉල්ලනුත් එපා
      ඩොලරුත් නැති අපට බඩගිනි හැදෙනු එපා

      Delete
    3. ඉකොනෝ මැට්ටා මැරිලද? සද්දයක් නැත්තේ?

      ඉකොනෝ මල්ලි නිවන් ගිහිං අපිට ගොඩක් ඈතයි
      දවස් තුනක් බලන් හිටියා එන්නෙම නැති පාටයි


      දිවංගත ඉකොනෝමැට්ටා මහතාට අමාමහා නිවනින් සැනසීම අත්වේවා

      Delete
  2. ඉහත සදහන් 4 නි යෝජනාව අනුව මේ වෙනකොට රුපියල අවප්‍රමානය වීමේ වේගය IMF එකවත් අනුමත කරන එකක් නෑ නේද ඉකෝන්? රුපියල කොපමන අවප්‍රමානය උනත් රට තුලට එන ඩොලර් ප්‍රමාණයේ ලොකු වෙනසක් වෙලා නැතිබව තමයි පෙනෙන්න තියෙන්නෙ. බලන් ගියහම රුපියල අවප්‍රමානය කරලා තියෙන්නෙ කිසිම සූදානමක් නැතිව වගෙයි පෙනෙන්න තියෙන්නෙ.
    ඉකෝන් කියන්නෙ අපි IMF ගිහින් IMF එකෙන් ප්‍රකාශයක් නිකුත් කරන තුරුම රුපියල අවප්‍රමානය වෙන්න පුලුවන් කියලනේ. මේ යන විදියට ඒකට අඩුම තරමෙ මාස 2 ක් වත් යන්න පුලුවන් නේද ඉකෝන්? අනිත් ප්‍රශ්නය අහන්නෙ නෑ. හිතාගන්නකෝ. 😁

    ReplyDelete
    Replies
    1. මහ බැංකුව හා රජය සතුව තිබෙන සියලුම දත්ත මා සතුව නැහැ. මට යමක් කිව හැක්කේ ප්‍රසිද්ධ කර ඇති දත්ත මත පදනම්ව පමණයි. මහ බැංකුවට මහ බැංකුවේ කෙටිකාලීන ණය පියවීම සඳහා වාණිජ බැංකු වලට එන ඩොලර් වලින් සැලකිය යුතු කොටසක් එකතු කර ගන්න වෙනවා. එම ප්‍රමාණය මහ බැංකුවට දීමෙන් පසුව ඉතිරි වන ඩොලර් ටික වාණිජ බැංකු වලට ඔවුන්ගේ ණය පියැවීම සඳහා අවශ්‍ය වෙනවා. වාණිජ බැංකු වලට වෙනත් අයට ඩොලර් නිකුත් කළ හැකි තත්ත්වයක් ඇති වන්නේත්, ඩොලරයක මිලේ යම් ස්ථාවර වීමක් සිදු විය හැක්කේත් ඉන් පසුවයි. මෙය සිදු වන තුරු ඩොලර් ආකර්ෂණය කර ගැනීම සඳහා මිල ඉහළ දමන්න වෙනවා. එවිට විකිණුම් මිල ඊට වඩා රුපියල් 10-15ක් උඩට යනවා. IMF ණය ලැබෙන තුරු මේ තත්ත්වය ඉක්මණින් වෙනස් වීමේ ඉඩක් මට පෙන්නේ නැහැ. ඉන්දියාවෙන්, චීනයෙන් එන සල්ලි බොහෝ දුරට එම රටවලටම ආපසු යනවා. ඇත්තටම කියනවානම් එන්නෙම නැහැ වගේ. "අනික් ප්‍රශ්නයට" මටත් පිළිතුරක් නැහැ.

      Delete
  3. අහන්නට ප්‍රශ්නයක්
    නැත, තිබේ කෝටියක්
    හිත අවුල් ජාලයක්
    කවද වේවිද සෙතක්?

    ReplyDelete
  4. ඔය imf එකෙන් කියන දේවල් කරන්නෙ නැතිව හිමීට විදේශ ණය ටික දේශීය ණය වලට පරිවර්තනය කරල විදේශ ණය අඩු කල ගත්තොත් මේ අර්බුදෙන් ගොඩ එන්න පුලුවන්නේද?

    ReplyDelete
    Replies
    1. //විදේශ ණය ටික දේශීය ණය වලට පරිවර්තනය කරල//

      ඒක කරන ක්‍රමය මොකක්ද?

      Delete
    2. දැන් ගෝට කරන්නෙ ඒ විදියට නේද? නැතිනම් කොහොමද විදේශීය ණය අඩුවෙල තියෙන්නෙ?

      Delete
    3. සංචිත තියෙනකම් සල්ලි අච්චු ගසමින් (දේශීය ණය වැඩි කරමින්) විදේශ ණය ගෙවුවා. දැන් නැවතත් විදේශ ණය ඉහළ යමින් තිබෙනවා.

      Delete
    4. අනිත් එක දැන් ඩොලර් 100ක ස්වෛරිත්ව බැඳුම්කර ඩොලර් 50ට බැහැලා. එතකොට සංඛ්‍යාලේඛණ වල බිලියන 2 බිලියනයට අඩු වෙනවා. නමුත්, ණය ගෙවද්දී බිලියන දෙකම ගෙවිය යුතුයි.

      Delete
    5. දැන් තියෙන වෙලඳපොල අනුපාතයටද ණය ගන්න් හැදෙන්නෙ?

      Delete
    6. ඒ වගේම තව දෙයක් අපේ මිනිස්සුන්ටත් මේකෙන් ගොඩ එන්න කරන්න පුලුවන් සුලු දේත් කරන්නෙ නෑ නේද? එවන සල්ලි ටිකත් නීති විරෝධීව ලංකාවට එවන්නෙ. එතනින් රුපියල් වැඩි වුනාට ලංකාවෙ ඉන්නෙ එයාලගෙ loved once දුක් විදිනව.

      ලංකාවේ මිනිස්සු හරිනම් උදේ හවස වදින්න ඕන ශ්‍රී මෝදි උත්තමය වැඩ ඉන්න දිශාවට. ඒ උත්තමය දඹදිව පාලනය කරන කම් ලංකාවට කවදාවත් බංකොලොත් වෙන්න දෙන්නේ නැහැ නේද?

      ඇත්තටම මේ ඩොලර් එක අවප්‍රමාණ වීම සමග ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ අගය (නොමිනල්) සහ ඒක පුද්ගල ආදායම (නොමිනල්) සෑහෙන අඩු වෙලා ලංකාවේ ආර්ථිකය අප්‍රිකා රටවල් ගොඩක තත්ත්වයට ආසන්න තැනකට යනවා නේද? ලංකාවේ ආර්ථිකය මැදි ආදායම් වලින් දැනටමත් අඩු ආදායම් තත්ත්වයට වැටීම සමග ඉතාමත් දිළිඳු රටක් වශයෙන් ලංකාව නම් වේවි. ඒත් ලංකාවේ ජීවන වියදම් අහස උසට නැග ඇති නිසාත් ශ්‍රමිකයින් හිඟය නිසාත් ලංකාවට ආයෝජන නම් එන එකක් නැහැ තියෙන ආයෝජන ටිකත් රටින් පිටට ගිහින් ලංකාව සම්පූර්ණයෙන්ම බංකොලොත් වේවි නේද?

      Delete
  5. CFNM ක්‍රමයෙන් මීට වැඩිය සාධනීය වෙනසක් බලාපොරොත්තු බැරිද ලංකාවට ඉකොනෝ?

    ReplyDelete
  6. Ikono malli oyath ehenam Kakka kara gatta.

    ReplyDelete
  7. ඇමරිකාවේ ලැට් හෝදන ඉකොනෝ මල්ලිට
    එපා එපා නම් හදන්න ඔබත් පිංවත

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා මේ ලංකාවේ රුපියල අධික ලෙස අවප්‍රමාණ වීම සමග ආනයන තවත් ඉහළ ගිය බව පේනවා ඒත් ඊට හේතුව කුමක්ද? මම හිතන්නේ සෛද්ධාන්තික වශයෙන් වෙන්න ඕන මේකේ අනිත් පැත්ත නමුත් අමුද්‍රව්‍ය මිල අධික වීමත් සමග තෙල් මිල, ආහාර පාන ඉතා අධික ලෙස මිල ඉහළ ගිය එකත් සේවක වැටුප් වැඩි කරන්න සිදුවීමත් එක්ක ලංකාවේ දේශීය කර්මාන්ත වැසී යමින් පවතින බව පේනවා මේවායෙන් නේද? මේකෙන් වෙන්නේ ආනයන තවත් ඉහළ යන බව හරියට අර ගිෆන් භාණ්ඩ මිල ඉහළ ගියාම වෙනවා වගේ.

    කොහොම උනත් මේ ක්ලිප් එකේ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ඉතා වැදගත් ආර්ථික දේශපාලනික කරුණු කාරණා කීපයක් කෙටියෙන් කියනවා මේ ගැන ආර්ථික විද්‍යාව පැත්තෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද දැන්?

    https://youtu.be/rMpVsstL1_g

    මොකද මේ කියන කතාවල ඇත්තක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. තියෙනවා නේන්නම් රත්තරනේ! කරන්න උවමනාවක් තියෙනවානම් ආනයන තහනම් කරන්න පුළුවන් කියලනේ කියන්නේ. හොඳ යෝජනාවක්. ආනයන පාලනයෙන් ප්‍රශ්නය විසඳීමේ ඊළඟ පියවර ලෙස ඉන්ධන ගේන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවොත් ඩොලර් විශාල ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඊට පස්සේ රටේ දැනට තිබෙන ප්‍රයෝජනයකට නැති වාහන ප්‍රතිඅපනයනය කරලා සෑහෙන ඩොලර් ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන්. දේශීය කරත්ත කර්මාන්තයත් දියුණු වෙයි. බර කරත්ත වලට බඳින්න ප්‍රමාණවත් තරම් හරක් රටේ නැත්නම් හරක් බෝවෙන තුරු නැවත දෝලා ක්‍රමය යොදා ගන්න පුළුවන්. එයින් විශාල රැකියා ප්‍රමාණයක් අලුතෙන් හැදෙනවා. ඒ වගේම දෝලා කර්මාන්තයකුත් රටේ හැදෙනවා. රට පාලනය කිරීම සඳහා ගමන් බිමන් යාමට අවශ්‍ය ටික දෙනෙකුගේ ගමන් ප්‍රශ්නෙත් විසඳෙනවා. පොසිල ඉන්ධන වලින් විදුලිය සපයන එක නවත්තලා අත්‍යවශ්‍ය නොවන කටයුතු වලට (රටේ සාමාන්‍ය මිනිස්සුන්ට) විදුලිය දෙන එක නැවැත්තුවහම ගෙවල් වල දැනට තිබෙන ශීතකරණ, රූපවාහිණි යන්ත්‍ර, රෙදි හෝදන යන්ත්‍ර වගේ ඒවත් ප්‍රතිඅපනයනය කරන්න පුළුවන්. ඊට පස්සේ රෙදි හෝදන රැකියාත් ගොඩක් රටේ හැදෙයි. රටේ බොහෝ දෙනෙක් ගොවිතැනට යොමු වුනාට පස්සේ එම පවුල් වල දරුවන්ට වුනත් ගොවිතැන ගැන දැනගත්තහම ඇතිනේ. එය දෙමවුපියන්ගෙන්ම ඉගෙන ගන්න පුළුවන්. දරුවන්ට වැඩකට නැති දේවල් උගන්වන්න සල්ලි නාස්ති කරන්න අවශ්‍ය නැහැ. රට පාලනය කිරීම සඳහා පමණක් ටික දෙනෙක් පුහුණු කළාම ඇති. දැනට හදලා තියෙන කාපට් පාරවල් පහසුවෙන්ම වී වේලන්න යොදා ගත හැකියි. මෙහිදී පෙන්වා දෙන වැදගත්ම දෙය මැකලම් ආණ්ඩුකාර උත්තමයාගේ උපදේශය. ඒ අනුව, සියළුම මැතිවරණ අහෝසි කර දැමිය යුතුයි. නැත්නම් ඔය යෝජනා ක්‍රියාත්මක කරන එකයි ඡන්ද දිනන එකයි දෙකම කරන්න බැහැනේ. මේ කියන දේවල් කළොත් ඉතා ඉක්මණින් මැකලම් ආණ්ඩුකාරයාගේ යුගය වැනි සෞභාග්‍යමත් යුගයක් රටේ නැවත හැදෙයි!

      Delete
    2. දේඅහපාලකයි නෙමෙයි ලන්කාවට වෙලා තියෙන සාපෙ. මේ වගෙ තක්කඩි රජයේ උස් පුටු වලට එන එක.

      Delete
    3. @ ඉකොනො,

      ඔය උඩ ඇනෝ කියල තියෙන්නේ අර්බන් සිටිසන් (Urban Citizen Colombo) සම්මන්ත්‍රනයේ පොඩි කෑල්ලක් ගැන, ඔය අර්බන් සිටිසන් සම්මන්ත්‍රණය ගැන ඉකොනොමැට්ටා වැරදියට තේරුම් අරන් වගේ, මේ විනාඩි දෙක හමාරක ක්ලිප් එකත් බලන්න.

      https://www.youtube.com/watch?v=EgZ5tZ8sgXM

      ඔය සම්මන්ත්‍රණය පැවැත්වූයේ පහුගිය කාලේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා දූෂණ වංචා වලක්වා නීතියේ ආධිපත්‍යය ඇති කිරීමට කැපවූ පිරිසක්, 19 වෙනි සංෂෝධනයෙන් පස්සේ ගෙනාපු හිටපු බ්‍රයිබරි කමිෂන් චෙයාර්මන් සරත් ජයමාන්න, හියුමන් රයිට්ස් චෙයාමන් ආචාර්ය ප්‍රතිභා මහානාම වගේ ගොඩක් අය ඕකට ආවා, ලංකාවේ හිටපු ඔඩිටර් ජෙනරාල් ගාමිණී විජේසිංහ කියන්නේ සුදුසුකම් ලත් වරලත් ගණකාධිකාරීවරයෙක් නේද? කබරාල කම්බ හොරා වගේ කපටි හොරෙක් වත් මොළ හතාණෝ වගේ පුස් අමු මැටි පොල් බූරුවෙක් වත් නෙවෙයි. මේ අය හැමෝම වත්මන් පවුල් පාලනය වෙනස් කිරීමට කැපවීමෙන් වැඩ කරන අය. මේ ගැන ලංකාවේ මිතුරන්ගෙන් විමසලා සත්‍ය තත්වය දැන ගෙන විවේචනය කළ යුතු නොවේද?

      අනෙත් කරුණ තමයි හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අන්තර්ජාල සාකච්ඡාවකදී 2021/22 වසරවල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අයි එස් බී ස්වෛරීත්ව බැඳුම්කරවලට මුදල් ගෙවීම පසුපස මහා වංචාවක් ඇති බවත් අද වන විට මහ බැංකුව දේශපාලනීකරණය වී ඉල්ලන ඕනෑතරමක් මුදල් අච්චු ගසා දෙන තැනට පත්ව ඇති බවත් ඩොලර් මිලියන් සීයක් පමණ අති විශාල මුදලක් රටට අහිමි කරමින් රට බංකොලොත් වීමට මූලික හේතුවක් වූ නෙළුම් කුලුන ඉදිකිරීමේදී මහා පරිමාණ ගසා කෑමක් සිදුව ඇති බවත් ඔහු සියලු විස්තර සහිතව මනාලෙස පැහැදිලි කලා;

      https://www.youtube.com/watch?v=nOM8l8KNE2s

      මෙම වැඩසටහන දකින සියලු දෙනා තමාගේ Facebook ගිනුමට share කලොත් අපිට ලංකාවේ අනාගතයක් දකින යම් පිරිසක් හෝ බිහිකළ හැකි වේවී... ලංකාවේ විගණනය විධායකයෙන් වෙන් වූ නිදහස් ආයතනයක් වීමත් දේශපාලකයන් නීතියේ ආදිපත්‍යට යටත් කිරීමත් වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කලයුතුයි.

      ලංකාවේ ගොඩක් පිරිසක් ඉන්නවා "ගාමිණී ව්ජේසින්හ වැනි උතුමන් තවත් මේ රටේ සිටිනා බව සියලු ජනතාව දැන ගතයුතුය . මේ අය එක තැනකට සංවිධාන කර දුර්දාන්ත දේශපාලකයන් බිහිවීම නතර කිරීමට ක්‍රියාත්මක වෙමු. දුෂ්ඨ පාලකයින්ට බිය නොවී ඔවුන් පොලු මුගුරු වලින් නෙලා ත්නතුරු වලින් පන්නා දමා හොරා කෑ ධනය යලි රටට අත්පත් කරගෙන හැකි උපරිම දඬුවම් දිය යුතුයි' කියා හිතන මේකේ කමෙන්ට් වල පැහැදිලිව රටේ ජනයාගේ අදහස් පැහැදිලි වෙයි.

      Delete
    4. ///ඔඩිටර් ජෙනරාල් ගාමිණී විජේසිංහ කියන්නේ සුදුසුකම් ලත් වරලත් ගණකාධිකාරීවරයෙක් නේද? කබරාල කම්බ හොරා වගේ කපටි හොරෙක් වත්...//

      කබ්රාල් කියන්නෙත් සුදුසුකම් ලත් වරලත් ගණකාධිකාරීවරයෙක්. ගණකාධිකාරීවරයෙක් වෙන්න සුදුසුකම් ලැබුවා කියන එකෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් හෝ පුහුණුවක් ඇති බව අදහස් වෙන්නේ නැහැ. ඒ වගේම එවැනි පුහුණුවක් තිබු පමණින් වුවත් කියන හෝ කරන හැම දෙයක්ම නිවැරදියි කියා කියන්න බැහැ. මහාචාර්ය WD ලක්ෂ්මන් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ආචාර්ය උපාධියක් ලැබූ හා විශාල කාලයක් ශාස්ත්‍රාලයීය කටයුතු වල නිරත වූ අයෙක්. එහෙත් ඔහු යටතේ මහ බැංකුවේ සිදු වුන හැම දෙයක්ම නිවැරදිද?

      Delete
  9. ඉකොන්,

    මේ පොඩි වීඩියෝ එක සම්පූර්ණ බලල මේකට ලයික් කරන්න, ඊට පස්සේ මේක ෂෙයාර් කරන්න දන්න කියන හැමෝටම, මේකට කමෙන්ට් ඕනේ මේ සැරේ නම් අපිත් වෙනසක් කරනවා කියලා...

    මෙන්න මේක...

    https://youtu.be/SnOH5XwlKYw

    අපේ මිතුරු අශේන් සහෝදරයා ඉතාමත් ලස්සනට මේ වීඩියෝ එක කරල තියෙන්නෙ නේද?

    මේ සැරේ නම් අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය ලොකු වෙනසක් කරනවා මුළු රටම අවුරුදු හැත්ත හතරක් තිස්සේ රට මුහුණ දුන් කාලකන්නි පාලනය වෙනස් කර අලුත් කණ්ඩායමක් විසින් බලය අත්පත් කරගෙන රට ගොඩ නගන සුබවාදී ඇසකින් ලොව දකින්නට හැමෝටම ආරාධනා... ජය වේවා!

    ReplyDelete
  10. //ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ලෝකයට පෙන්වන්නේ රුපියල්වලින් නොව ඩොලර්වලිනි. ඒ සඳහා එම අගය ඩොලර්වලට පරිවර්තනය කළ යුතුය. එවක පැවති නිල විදේශ විනිමය අනුපාතයෙන් එනම් රුපියල් 202 න් එය බෙදනවා වෙනුවට මේ වන විට ප්‍රකාශිත වෙමින් තිබෙන සැබෑ විනිමය අනුපාත අගයෙන් බෙදුව හොත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය පහළ අගයක් ගනු ඇත. එසේ වූයේ නම් 2021 වර්ෂයේදී මෙරට ඍණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළ බව අනාවරණය වීමටද ඉඩ තිබිණි. මේ තත්ත්වය හෙළි වීම වැළැක්වීම පිණිස ඩොලරයේ රුපියල් අගය 202 ක මට්ටමේ පවත්වා ගෙන ගියේය.// - රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි

    ලංකාවේ GDP එක දැන් කීයද? 2022 එකපාර වර්ධන වේගය රින වෙනවද?

    ReplyDelete
    Replies
    1. //2022 එකපාර වර්ධන වේගය රින වෙනවද?//

      ආනයන පාලන නිසා 2022 ආර්ථික වර්ධන වේගය සෘණ විය හැකියි. එහෙත් එයට උඩ කියා තිබෙන කරුණේ සම්බන්ධයක් නැහැ. ආර්ථික වර්ධනය ගණනය කරන්නේ මිල වෙනස්කම් වල බලපෑම ඉවත් කරලා.

      විණිමය අනුපාතය අවප්‍රමාණය වීම නිසා අනිවාර්යයෙන්ම වගේ ඩොලර් වලින් GDP එක අඩු වෙයි.

      Delete
    2. උඩ කියා ඇති කරුනේ සම්බන්දයක් නැහැ කියන්නෙ ඇයි? හරියට බැලුවොත් උද්ශමනය අයින් කලාම රුපියල් වලින් කිව්වත් සොලර් වලින් කිව්වට්ජ් එකම ආර්තික වර්දන වේගය නේද එන්න ඕන?

      Delete
    3. //උඩ කියා ඇති කරුනේ සම්බන්දයක් නැහැ කියන්නෙ ඇයි? හරියට බැලුවොත් උද්ශමනය අයින් කලාම රුපියල් වලින් කිව්වත් සොලර් වලින් කිව්වට්ජ් එකම ආර්තික වර්දන වේගය නේද එන්න ඕන?//

      ඒක තමයි සම්බන්ධයක් නැහැ කිවුවේ.

      Delete
    4. මට කියන්න ඕන උනේ 2021 අග වෙනකම් ඩොලර් එක අල්ලගෙන ඉඳල අතඇරිය නිසා, ඒ විකෘතිය නිසා උන බලපෑම ගැන. ඩොලර් එක එකපාරට උඩගිය නිසා, රුපියල් වලටත් වඩා ඩොලර් වලි කිව්වම වර්දන වේගය අඩු අගයක් ගන්නෙ නැද්ද?

      Delete
    5. වර්ධන වේගය ප්‍රතිශතයක්. එය කියන්නේ රුපියල් වලින් හෝ ඩොලර් වලින් නෙමෙයි. විණිමය අනුපාතය වර්ධන වේගයට බලපාන්නේ නැහැ.

      Delete
    6. නමුත් ඉකොනොමැට්ටා ලංකාවේ භාණ්ඩ හා සේවා මිල ගණන් දිහා බලපු ගමන් ප්‍රශ්නය තේරුම් ගන්න පුළුවන් නේද? මේ ගැන ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, ඔහු අද මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ දැන් ලෝකයේ වැඩිම උද්ධමනය ඇති රට ශ්‍රී ලංකාව බව යි. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මිල ගණන් සැසඳීමක් සිදු කළා මෙහෙම.

      01. වසර දෙකකට පෙර 2019 වසරේ දී රුපියල් පනහක්ව තිබූ පාන් රාත්තලක මිල වසර 2කින් පසුව අද වන විට රුපියල් 130 යි.

      02. පහුගිය රජය යටතේ රුපියල් 90ක තිරිඟු පිටි කිලෝව දැන් රුපියල් 196 යි. රුපියල් 85 ට අපේ කාලේ තිබුණ සීනි කිලෝව දැන් 195 යි.

      03. සාමාන්‍ය ආර්ථික පිළිවෙත අනුව භාණ්ඩ මිල පොදුවේ වාර්ෂිකව 5%කින් හෝ 10%කින් වැඩිවන්නට ඉඩ ඇතත්, එයට සාපේක්ෂක සේවක වැටුප් වැඩිවීම පොදු ප්‍රවණතාවකි. රුපියල් 140 තිබුණ පරිප්පු කිලෝවක් 420ට දැන් අලෙවි කෙරේ. "පරිප්පු නැති හෝටලයක් නැතැ" යි යන කියමන අනුව දැන් බත් පැකට් එකේ මිල ද 2019ට වඩා 2022 වන විට රුපියල් 100ත් 120ත් අතර මුදලකින් වැඩි වී ඇත.

      04. රුපියල් 250ට පැවති කොත්තු එකක් අද රුපියල් 610 දක්වා ඉහළ ගොස් ඇත.

      05. රු. 380ට පැවති ග්‍රෑම් 400ක කිරි පැකට්ටුවක් මේ සතියේ රුපියල් 970 කි. එහෙත් වෙළඳපොලේ සොයාගන්නටත් අමාරුයි.

      06. යකඩ හා සිමෙන්ති විශාල ප්‍රමාණයකින් වැඩි වීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට ප්‍රධාන බාධකයක් ඇතිවී තිබේ. පහුගිය රජය කාලේ එජාපය යටතේ රුපියල් 880 කට ලබා ගැනීමට පුළුවන් වූ ආනයනික අම්බුජා සීමන් කුජාන්, අල්ට්රාටෙක් සිමෙන්ති කොට්ටයක් සොයාගැනීමට නැති අතර රුපියල් 935 ට පමණ පැවති ලෝකල් සංස්ථා, රුහුණු, මිත්සුයි ආදී සිමෙන්ති රු. 1950ට වැඩි වී ඇති අතර, යකඩ ටොන් එකක මිල 120,000 සිට 440,000 ඉක්මවා ඇත.

      07. ඉන්ධන මිල 100%කින් පමණ වැඩිකර ඇති අතර, ඒ හරහා සියලු භාණ්ඩ හා සේවාවන්හි මිල ද ජනතාවට දරාගත නොහැකි මට්ටමින් වැඩි වී ඇති නිසා සේවා සපයන්නන්ගේ ආදායම් මාර්ග ද අඩුවී ඇත.

      08. කලින් 2014 වසරේ දී රු. 150 ක්ව තිබූ 92 පෙට්‍රල් ලීටරය 2015 සිට 2017 දක්වා රුපියල් 117. බැගින් ලබා දී 2019 වන විට 137 දක්වා යහපාලනය විසින් අඩු කළ නමුදු දැන් එහි මිල රු 254කි. එහෙත් ඉන්දියානු තෙල් සමාගම අලෙවි කරන්නේ රු. 303ට යි. 95 දැන් 288 සහ IOC 367යි.

      09. රු. 121 ඔටෝ ඩීසල් 2019 දී 104ට අඩු කළා. දැන් 2022 දී එය රු. 176 කි. ඩීසල් හා පෙට්‍රල් මිල වැඩිවීමේ විපාකය සමස්ත සමාජයටම අහිතකර බලපෑම් ඇති කරන බව නොරහසකි.

      10. ඒ වගේම 2019 වන විට රු. 1,375 ක් පමණක් වූ ගෑස් මිල දැන් එහි සහතික මිල පාලනය ඉවත් කිරීම නිසා රු. 4500 දක්වා මිලකට අලෙවි කෙරේ.//

      මේ වගේ දේවල් ගොඩක් කියාගෙන කියාගෙන ගියා මට මතකයි. ඇත්තටම දැන් ලංකාවේ රුපියල් අව්වට හසු වූ අයිස් කැටයක් ලෙසින් දියවී යන අතර තව ටික දවසකින් ඩොලර් එකක් රුපියල් දහස ඉක්මවා යන බව ඉතාමත්ම පැහැදිලි කරුණකි. මේ මොහොතේ ලංකාවේ සිටින අපේ ඥාති හිතවතුන් දැඩි ලෙස කම්පනයට පත් වී ඇති පසුබිමක ඒ අයට මේ සම්බන්ධයෙන් දිය හැකි උපදෙස් මොනවාද කියලා කියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ඉකොනොමැට්ටා. ඔබ හිතන්නේ කුමක්ද මේ වෙලාවේ රත්රන් බඩු විදේශ මුදල් කෑෂ් වලට අරන් සඟවා තබා ගැනීමට සහ ඉඩම් මිලදී ගැනීම හොඳයි ද?

      Delete
    7. ඉකොනො, මෙහෙම බලන්නකො
      2020 gdp එක රු 1000, ඩොලර් එක රු 200
      2021 මූර්ත වර්දන වේගය 5%, උද්දමනය 10%
      හිතන්නකො 2021 පුරාවටම ඩොලරය 200 හිර කරන් හිටිය කියල. එතකොට 2021 අවසානයෙ මෙහෙම වෙන්න ඕන.
      දදෙනි =1000x115% = රු 1150
      ඩොලර් වලින් දදෙනි = $5.75
      $ වලින් වර්දන වේගය = .75/5%=15%

      දැන් 2022 බලමු.
      වර්දන වේගය -5%, උද්දමනය 10% කියල හිතමු.
      ඩොලර් එක පාකලාම ඒකෙ නියම අගයට ආව කියල හිතමු. ඒ කියන්නෙ 2021 10%+ 2022 10% = 20% න් නගින්න ඕන. 200x110%x110% =242.
      දැන් 2022 අවසානයෙ රුපියල් වලින් සහ ඩොලර් වලින් දදෙනි බලමු.
      රුපියල් වවලින් = 1150x 105% =1207
      ඩොලර් වලින් = 1207/242 =4.98
      ඩොලර් වලින් වර්දන වේගය = -13.4%

      2022 රුපියල් වල වර්දන වේගයට වඩා ඩොලර් වර්දන වේගය අඩු වෙලා 2021 අල්ලගෙන ඉඳල අතඇරිය නිසා.
      ඒ කියන්නෙ 2022දි රාජපක්ශල මෙච්චරකල් කරපු ඩොලර් වලි ද්දෙනි කියන සෙල්ලම අතාරිනව.

      Delete

    8. AnonymousMarch 30, 2022 at 8:46 AM

      ඔබේ තර්කය නිවැරදියි. ඔය කතාව මම මීට කලින් විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවනේ. නමුත් ඔබ ඔය කියන දෙය ආර්ථික වර්ධනය නෙමෙයි. ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ මූර්ත ආර්ථික වර්ධනය. ඔබේ උදාහරණයේ එය 5% හා -5%. එයට විණිමය අනුපාතයේ සම්බන්ධයක් නැහැ.

      //ඒ කියන්නෙ 2022දි රාජපක්ශල මෙච්චරකල් කරපු ඩොලර් වලි ද්දෙනි කියන සෙල්ලම අතාරිනව.//

      දැනට පවතින තත්ත්වය අනුවනම් ඩොලර් වලින් දදේනි ගැන කතා කරන එකක් නැහැ. නමුත් උද්ධමනයත් විශාල ලෙස ඉහළ ගියොත් ඔය තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්.

      Delete
    9. උද්ද්මනය සමගම ඒ හා සමානව ඩොලරයත් ඉහල ගියොත් මගේ තර්කය තවමත් වලන්ගුද?

      Delete
    10. නැහැ. ඔබේ තර්කය වලංගු වෙන්නේ උද්ධමනයට වඩා අඩුවෙන් ඩොලරය ඉහළ ගියොත් පමණයි. දෙක එක සමානව වෙනස් වුනොත් නාමික දදේනි ඩොලර් අගයේ වෙනස් වීමෙන් සැබෑ ආර්ථික වර්ධනය නිරූපණය වෙනවා.

      Delete
  11. මේ තියෙන්නේ ලංකාවේ ආර්ථිකය ගැන ඉතාමත් ලස්සනට පැහැදිලි කරන කාටූන් එකක්


    https://www.facebook.com/129843276524/posts/10157998703146525/

    Cartoon of the day, ඉකොන් ඔබ මොකද හිතන්නේ මේ ගැන කතාව ඇත්තක් නේද?

    ReplyDelete
  12. ඉකොනොමැට්ටා,

    එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ඇප්ලයිඩ් ඉකොනොමික්ස් (ව්‍යවහාරික ආර්ථික විද්‍යාව???) පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කිගේ නවතම උද්ධමන වගුවට අනූව ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති බවත් ස්ටීව් හැන්කිගේ උද්ධමන වගුවට අනූව 14.2% ක් ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 58% දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් ලංකාවේ මාධ්‍ය වල වාර්තා කර තිබුණා.

    කෙසේ වෙතත් මහාචාර්ය ස්ටීව් හෑන්කීට අනූව ලංකාව තුළ 1884 සිට 1950 දක්වා ක්‍රියාත්මක වූ කරන්සි බෝඩ් (මුදල් මණ්ඩලයක්???) ක්‍රියාත්මක කිරීම තුළින් ලංකාවේ තිබෙන ඉහළ උද්ධමනයට කදිම විසඳුමක් සොයාගත හැකි බව ස්ටීව් හැන්කි ක්‍රමවේදයයි.

    මෙහිදී ඉතාමත් සුවිශේෂ කාරණය නම් මීට පෙර මහාචාර්ය හැන්කිගේ උද්ධමන වගුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොතිබීම සහ මෙවර එම උද්ධමන වගුවට ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇතුළත් වී තිබිමයි.

    කෙසේ වෙතත් ස්ටීව් හැන්කී බල්ගේරියාව වැනි රටවල කරන්සි බෝඩ් කරන්න ගිහින් දැඩි ලෙස විවේචනයට ලක්වූ පුද්ගලයෙක්.

    ස්ටීව් හැන්කී කියන විදිහට ලංකාවේ උද්ධමනය 58% ක් විතර දක්වා ඉහළ ගිහින්

    මම හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ට රුපියල් ගැන නැවත වතාවක් විශ්වාසය ඇති කිරීම, පොළී අනුපාතික ඉහළ දැමීම සහ ලංකාවේ පවතින දැඩි භාණ්ඩ හිඟකම නැවත වතාවක් යථා තත්වයට පත් කරගන්න පුලුවන් වුණොත් මේක පාලනය කර ගන්න පුළුවන්, නමුත් රජය වහ වහා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන.


    Steve Hanke (@steve_hanke) Tweeted:

    Sri Lanka's severe balance of payments crisis is sinking the country. Today, I measure inflation in #SriLanka at a roaring 58%/yr. The only way to save LKA’s economy is to dump the rupee and install a #CurrencyBoard.

    https://t.co/4jK59ioUPx https://twitter.com/steve_hanke/status/1508926597499428871?s=20&t=8s8EiQhVCLdSyqO8gNq7dg

    ලංකාවේත් සමගි ජන බලවේගයේ ප්‍රධාන ආර්ථික උපදේශක සහ ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා අද මාධ්ය වලට පැවසූවේ ආණ්ඪුවේ අවප්‍රමාන කිරීමේ වැඩපිළිවෙල සමග රුපියල බාල්දුවීම හේතුවෙන් ඉතාමත් ඉක්මණින්ම ඇමෙරිකානු ඩොලරය රුපියල් හාරසිය පනහට වඩා (1$ = 450+) ඉක්මවායමින් දිගින් දිගටම ඉහළ යාම කිසිවෙක්ටත් වැළැක්විය නොහැකි බව, මේක ඇත්තද?

    එමෙන්ම පිළිගත් ආර්ථික විද්‍යාඥයෙක් වශයෙන් ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුව හා මෙම ගැටලුවේ දිගපළල පිළිබඳව ආණ්ඩුව විසින් තවමත් නිසි පරිදි අවබෝධ කර නොගෙන ඇති බවද මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ඉතා වගකීන් සඳහන් කළා.

    “පහුගිය දවස්වල ආණ්ඩුව තියපු ඊනියා සර්ව පාක්ෂික සමුළුවේදීත් අපි දැක්කා මහබැංකු අධිපතිවරයා කිසිම සැලැස්මක් නැතුව නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු වෙනුවට හිටපු රජයන්ට, කෝවිඩ් එකට, යුක්රේනයට පාස් කරමින් ඉන්නවා. කෝවිඩ් නිසා නෙවෙයි, කොවිඩ් වලින් වෙච්ච බලපෑමක් නැහැ, ඒත් වත්මන් රජය ගත් යම් යම් වැරදි තීරණ නිසා මූල්‍ය විනය පිරිහුණා විතරක් නෙවෙයි අයවැයේ රාජ්‍ය ආදායම 25%කින් අඩුකරගත්තා."

    "අපි මේක දැක්ක මුලදිම කිව්වා වියදම් පැත්ත අවම කළයුතු බව. ඒත් ඒ පිළිබඳ නෑසූකන්ව රජය දේශපාලනික ප්‍රචාරණ සහිත විවිධ සංවර්ධන වැඩ කළා. ආදායම් වෙනුවට වියදම් වැඩි වුණාම අපිට ණය ගන්න වුණා. ඒත් මේ වනවිට ණය නොදෙන තත්ත්වයට ඇවිල්ලා. ඒකට රජය ලේසියෙන් කළේ දිගින් දිගටම මුදල් මුද්‍රණය කළා.

    ඒ හේතුවෙන් ඩොලරයේ වටිනාකම වැඩිවෙනවා. පහුගිය රජය සමයේ හොඳින් පාලනය කර මේ ආණ්ඩුව එනකොට රුපියල් 180ට තිබුණ ඩොලරය ආණ්ඩුව විසින් පාලනය කරන්න ගියා, අපි කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ණය දෙන ආයතන වලින් ණය අරගෙන මේක පාලනය කරගන්න කියල, අපි වසර එක හමාරකට මත්තෙන් කියපු ඒ කාරණයට ඇහුම්කන් දුන්නානම් අදත් ඩොලරය 215 විතර නැත්නම් උපරිම 230 පමණ නවත්වාගැනීමට අවකාශ තිබුණා."

    මම හිතන්නේ ඔහු පවසන දේවල් ඇත්ත නේද?

    ReplyDelete
  13. රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීමට බලපෑ හේතු හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මීට සති කීපයකට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අනාවරණය කර තිබුණේ මෙහෙමයි;

    //01. දිගු කාලයක් විනිමය අනුපාතිකය කෘතිමව තබා ගැනීම නිසා එක්වරම පාලනයෙන් ගිලිහී මෙය විශාල ගනනකින් එකවර ඉහළ යා හැකිය

    02. ආනයන වියදම් සහ අපනයන ආදායම අතර විශාල පරතරය සහ සේවා අංශයේ ආදායම් අඩුවීම නිසා විශාල ගෙවුම් ශේශ ප්‍රශ්නයක් ඇතිවී තිබේ

    03. මහ බැංකුව මගින් උද්ධමනයට වඩා අඩු පොලී අනුපාත පවත්වා ගැනීම, ඉතිරි කිරීම වෙනුවට පරිභෝජනය කිරීමට මිනිසුන්ට බල කිරීම

    04. දිගින් දිගටම මහබැංකුව මගින් මුදල් නිකුත් (මුද්‍රණය) කිරීමෙන් භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම තව තවත් වැඩි කිරීම

    05. ආනයනික භාණ්ඩ අවශ්‍ය වන නව ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් ආනයනික භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම තව තවත් වැඩි කිරීම.

    06. ගෙවුම් ශේෂ පරතරය මූල්‍යකරණය සඳහා විදේශ ණය මත දැඩි ලෙස යැපීම මිස වෙනත් විකල්ප පිළියම් වලට යොමු නොවීම

    07. නැවත සාකච්ඡා කිරීමට අපහසු ජාත්‍යන්තර මුදල් වෙළෙඳපොළ ණය ගැනීම් සඳහා දැඩි ලෙස නිරාවරණය වීම (උදා: අයි එස් බී වැනි ඒවා)

    08. විදේශ ණය නැවත ගෙවීම ගැන නියමිත වේලාවට සාකච්ඡා කිරීමට අපොහොසත් වීම (ඇතැම් ජී.ටු.ජී වගේ හිතවත් රජයන්ගේ ඇති ණය මුලින් කතාකර ප්‍රතිව්‍යුහ ගත කර හැකි තත්වයක් තිබුණත් දැන් ඔවුන් ඊට භය වීම - හේතුව ලංකා ආර්ථිකයේ අස්ථාවරත්වය)

    09. රට තුල දැඩි මූල්‍ය විනයක් මුල සිටම ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයාට අපත් වියත්මග ඇතුළු සංවිධානත් දිගින් දිගටම අවධාරණය කළත් 2020 මහ මැතිවරණයෙන් පසුව බලයට පැමිණි ඇතැම් ඇමතිවරුන් සහ ද්විත්ව පුරවැසි අවලස්සන ඇමරිකානුවාගේ ක්‍රියා කලාපය තත්වය බරපතල අතට හැරවූවා.

    "ආර්ථිකය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති අයකු විසින් රටේ ආර්ථිකය මෙහෙය වීම නිසා අපේ රට දිනෙන් දින ආගාධයට ඇද වැටෙන බව අපි දිගින් දිගටම මුලින්ම ඇමති මණ්ඩලය තුළත් ඇමති මණ්ඩලය තුළ කතා කරලා පලක් නැති තැන ඇමති මණ්ඩලයෙන් පිටතත් කරුණු දක්වන්න පටන් ගත්තා. ඒ වගේම අපි ඇමැති මණ්ඩලය තුළ දිගින් දිගටම සටන් කළේ මේ අර්බුදයට විසඳුමක් පේනතෙක් මානයක නැති වුණාම ජනතාව වික්ෂිප්ත වෙනවා වහාම විසඳුමක් හදමු කියන එක. ආණ්ඩුව ඇතුළේ ඒ විසඳුම සකස් කිරීම සිද්ධ නොවුන නිසා අපි මුලු රටම හරි මගට යනුවෙන් මේ තියෙන අර්බුදයෙන් ගොඩ යන්න විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ විසඳුම විෂඳුමක් වගේ දැකලා විසඳුම ක්‍රියාත්මක කරනවා වෙනුවට විමල් වීරවංශ ඇමතිතුමාවත් මාවත් අමාත්‍ය ධුරවලින් ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කරල තියනවා. ඒක හරියට හඳේ ආවාට පෙන්නන්න ඇඟිල්ල දිගු කළහම හඳෙ හාවා දෙස බලනවා වෙනුවට දිගු කළ ඇඟිල්ල කපා දැමුවා වගේ වැඩක් . ඒ නිසා දැන් සදාකාලික අමාවක උදා වීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා."//

    Cont'd...

    ReplyDelete
    Replies
    1. Cont'd...

      ///"ඇත්තෙන්ම ආණ්ඩුවේ ගමන පිළිබඳ අපි පසුගිය වසර එකහමාර තුළ විවේචනයන් ඉදිරිපත් කලත් අපිට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් විදිහට යම්යම් බාධාවන් බැඳීම් තිබුණා . හරියට අපි දිව ගැටගහල ගොත ගසමින් තමයි මෙච්චර කල් කතා කළේ . දැන් මේ රට මෙතැනට අරන් ගියේ කොහොමද ඒකට වගකිව යුත්තෝ කවුද කියන එක ගැන අපිට නිදහසේ කියන්න පුළුවන් වගේම නුදුරු දිනක අපි වරින් වර මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳ ඒකට වගකිව යුත්තේ ආණ්ඩුවේ කවුරුන්ද කියන එක අපි ඉදිරියේදී රට හමුවේ ලිඛිත ශාක්ෂි සහිතව තබන්න සූදානම්."

      "ඒ වගේම අපිට හිතෙනවා 1958 දී ඇමෙරිකානු නවකතාවක් ප්‍රකාශයට පත් වුණා The Ugly American (අවලස්සන ඇමරිකානුවා) සිංහලටත් ඒක පරිවර්තනය වෙලා තියෙනවා අවලස්සන ඇමරිකානුවා කියලා. ඉතින් මේ අවලස්සන ඇමරිකානුවා පොත යළි ශ්‍රී ලංකාවේ ලියැවෙමින් පවතිනවා . ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්න අපිට සිද්ධවෙලා තියනවා . මම මේ අලුත් ආණ්ඩුව පත් වෙච්ච දවසේ සිට ඊයේ දක්වාම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයෙක් ඒ නිසා ඒ කාලේ වෙච්ච දේවල් ලිඛිතව මට සමාජය රට හමුවේ තියන්න ශුද්ධ වූ අයිතියක් තියෙනවා."

      "අපි සාක්ෂි සහිතව පෙන්නනවා මේ රට මෙතෙන්ට ගෙනාවේ කොහොමද කියලා . එතකොට මේ සිතා මතා මේ කුමන්ත්‍රණය කරන්නේ මේ රට 1997 ඉන්දුනීසියාව තිබුණු තැනට අරන් යන්නයි කියන සාධාරණ සැකය අපිට තියනවා. 1997 දී සුහර්තෝ ජනාධිපතිතුමා ඉඩ දුන්නේ නෑ නැගෙනහිර තිමෝරය ට නිදහස දෙන්න. අචේ ප්‍රාන්තයට ස්වයං පාලනය දෙන්න . ආර්ථික අර්බුදය ඇති වුණු වෙලාවේ රටේ ජනතාවට කන්න නැති උනා. ඉන්ධන නැතිවෙලා මුළු රට ම නතර වුණා. ඒත් ජනතාව අසහනයට පත් වෙලා ඉන්න වෙලාවේ ජාත්‍යන්තර ප්‍රජාව ඇවිල්ල කිව්වා අපි ඔබේ රටට ගොඩයන්න අරමුදල් ලබා දෙන්නම් හැබැයි නැගෙනහිර තිමෝරය ට නිදහස දෙන්න අචේ ප්‍රාන්තයට ස්වයං පාලනය දෙන්න. මට මේ අපරාධ කරන්න බැහැ කියලා සුහර්තෝ ජනාධිපතිතුමා ඉල්ලා අස්වුණා. ඒක කරන්න මං සූදානම් කියලා මෙගාවතී සුකර්නෝපුත්‍ර කිව්වම රට වෙනුවෙන් කතා කරපු මිනිස්සුම රටට ආදරය කරලා නැගෙනහිර තිමෝරය අපේ රටේ කොටසක් කියලා කියපු මිනිස්සුම නැගෙනහිර තිමෝරය ට නිදහස දීලා හරි අපිට කන්න දීපල්ලා කියලා පෙළපාළි ගියා. මහා දැවැන්ත ජයග්‍රහණයකින් සුකර්නෝ පුත්‍ර බලයට ඇවිල්ලා ඒ රටට කරන්න පුළුවන් විනාශය සිද්ධ කළා . මේ අවලස්සන ඇමරිකානුවා විසින් මේ රට අද ඒ පාර අරගෙන යන්නේ කියන එක අපිට බොහොම පැහැදිලියි. ඒ නිසා අපි ඇමති මණ්ඩලයේ සිටියත් නැතත් ආණ්ඩුව තුළ සිටියත් නැතත් අපි ජනතාව සමග එකතුවෙලා මේ ගමනින් අපේ රටට අත් වෙන්න යන මේ අඳුරු ඉරණමෙන් රට බේරගන්න කළ හැකි කළ යුතු හැමදේම කරන්න සූදානම් කියන පණිවිඩය රට හමුවේ තියෙනවා."//

      Brief explanation by Gamma

      https://www.youtube.com/watch?v=c2Htp2Q3rFA

      මේ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ලංකාවේ බොහෝ දෙනෙක් මේ කතා විශ්වාස කරන නිසා මෙහි වැරදි ඇත්නම් පෙන්වා දෙන්න

      Delete
    2. @ ඇනෝ 2.12 AM

      කතාව සම්පූර්ණ ඇත්ත බන් ආණ්ඩුව මේ ගහන්නේ බැසිල් ගේ ගේමක් ඇමරිකානු ප්ලෑන් එකක් ඕකට බැසිල් ඇතුලු පවුලටම ලොකු කුට්ටියක් හම්බ වෙලා ඇති ලංකාවේ ආණ්ඩුව කරන ගමන් කරන හොරකම් වගේ ඩබල් ගානක් ලැබිලා ඇති.

      Delete
  14. Isb අනික් ණය වගෙ නෙමෙයි, එක පාර ගෙවන්න ඕන, කල් දාන්නත් බෑ.ඒක නිසා නේද ආණ්ඩුව දැන් හිරවෙල ඉන්නෙ?
    ඉස්සරහට තව බිලියනයක් මග එනව.

    ReplyDelete
  15. මෙතැන වෙලා තියෙන්නේ මොකක්ද?
    https://economynext.com/sri-lanka-rejects-all-bonds-at-auction-amid-rupee-fall-92222/#janashakthi-insurance

    ReplyDelete
  16. කට්ටිය සභාග රජයක් කියල ආපහු පරන කැබිනට් එක හදයි වගෙ වීරවන්ශල එක්ක එකතු වෙල.

    ReplyDelete
    Replies
    1. දැනට සාකච්ඡා තාම ඉවර නෑ ආණ්ඩුව සජිත්ට අගමැති තනතුර සඳහා පත් වීමට ආරාධනා කර රනිල් වික්‍රමසිංහට මුදල් ඇමති ධූරය යෝජනා කරන්නේ නමුත් සජිත් ප්‍රේමදාස දැනට ඉතා මැනවින් සහ තදින් පවසන්නේ ජනාධිපති වහාම ඉල්ලා අස්වීමට වුවමනා බවත් ජනපතිවරණය වහා පැවැත්විය යුතු බව සහ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක් ඊට ඉදිරිපත් නොවිය යුතු බව. තවම ඒකට එකඟ වෙලා නෑ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයටත් නව සභාග ආණ්ඩුවෙන් ඇමති තනතුරු සඳහා සහ ඕනෑ තරම් මුදල් වෙන්කර දීමට කැමති බව පවසන නමුත් ඔවුන් වත්මන් ජනපති නන්දසේන පරයාගේ දූෂිත ඒකාධිපති පවුල් පාලනයට නොසතුට ප්‍රකාශ කරමින් අවඥාවෙන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

      බොහෝ දුරට ලංකාවේ වෙලාවෙන් හෙට උදේ වගේ වෙනකොට මේ ගැන විස්තරයක් දැන ගන්න පුළුවන් වෙයි බලමු.

      Delete
  17. ඉකොනොමැට්ටා,

    කම්බා හොර නිවාඩ් කබ්රාල් ගේ වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වය අහෝසි කර ඔහු ඉතාමත් අපකීර්තිමත් ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ සාමාජිකත්වය ලබා ඇති සියලු ආයතන වලින් පහ කර එලවා දැමීමට වහාම මේ ලින්ක් එකේ තියන සයිට් එකට ගිහින් ඔබේ සහය දක්වන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයාර් කරලා මූට කෙළවලාම දාන්න පුල් සපෝට් එකක් දෙන්න යාලුවන් එක්ක බෙදා ගන්න දන්න කියන හැමෝම මේ ගැන දැනුවත් කරන්න බොහෝම ස්තුතියි.

    https://www.facebook.com/2194656573885034/posts/5681090441908279/?app=fbl

    මේ හෑෂ් ටැග් එක හැම තැනම කමෙන්ට් කරන්න

    #SayNotoCabraal

    #CancelCAMembershipOfCabraal

    උපරිම සහය දෙන්න හැමෝම ....

    ReplyDelete
  18. FYI

    //Forwarded many times

    රාජපක්ෂලාට පිට රටවලට යන්න බැරි වෙන්න වීසා බෑන් කරන්න කියලා ඒ රටවලින් ඉල්ලීමක් සමග ඔවුන්ගේ මුදල් අත් හිටවමු මේ හෑශ්ටැග් ටික කොපි කරලා ශෙයා කරන්න...

    #visabanforrajapaksas
    #freezerajapakshemoney
    #GiveUsOurStolenMoneyBack
    #GotaGoHome2022
    #SayNoTo225
    #ExpectUs
    #AnonymousSaveSriLanka
    #SriLanka #EconomicCrisisLK #SriLankaEconomicCrisis #SriLankaCrisis #SirFail #GoHomeGota #GoHomeRajapaksas #SriLankaProtests #EmergencyLaw
    #Anonymous #anonymoushackers
    #anonymousforthevoiceless #helpless #SaveSriLanka #findstolenmoney #PeoplesMoney
    #itspeople #SaveTheChildren #savethefuture #savemymotherland #CorruptPoliticians #rajapakshas #Anonymoushelpsrilanka

    ///

    ReplyDelete
  19. //ආචාර්ය නන්දලාල් වීරසිංහ ඕස්ට්‍රෙලියාවෙන් කැඳවා මහබැංකු අධිපති ලෙස පත්කරන්න යයි//

    මෙයත් රුපියල් අච්චු ගහන කෙනෙක් වගේ.

    https://www.youtube.com/watch?v=om25i0kE0qw&ab_channel=NewsfirstSriLanka

    ReplyDelete
    Replies
    1. මේ ක්ලිප් එකේනම් ඔහු කියන්නේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම ගැනයි. ඩොලර් සංචිත විකුණන ප්‍රමාණයට භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ.

      Delete
  20. ඉකොන් මේ කෙටි වීඩියෝ ක්ලිප් එකේ කියන විදියට ලංකාවේ ජනපති ගෙදර යවන්න පුළුවන් වෙයි ද?

    https://fb.watch/caKIfqREgT/

    ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා ජනපති ඉල්ලා අස් වුණොත් මේ ක්ලිප් එකේ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසන ආකාරයට වැඩ බලන ජනපති ලෙස පත් කර ගත හැකි කෙනෙක් ඉන්නවා ද?

    https://fb.watch/caL4536Ulc/

    මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ඒ වගේම ජාතික ජන බලවේගයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසන ආකාරයට ලංකාවේ ආර්ථිකය වසර 45 ක් විතර පැවති නව ලිබරල් ධනවාදී බලපෑම් මත මේ අර්බුදය ඇතිවූ බව අර්ථ නිරූපණය කරන එක ගැන හිතන්නේ මොකද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: