වෙබ් ලිපිනය:

Monday, April 4, 2022

කී බෝඩ් වීරයෝ දැන් මහපාරේ!


වියුණුවෙහි ලිපියක් පළ කරන්නේ සතියකට පසුවයි. පාඨකයින්ගේ පැත්තෙන් බැලුවොත් මෙය තරමක දිගු නිහැඬියාවක්.

පසුගිය සතිය ලංකාවට සාමාන්‍ය සතියක් නෙමෙයි. ලෝකයම ලංකාව දෙස බලා සිටින මේ වගේ විශේෂ අවස්ථාවක කාලය වැය කළ යුතුව තිබුණු හොඳම ආකාරය වෙනදා මෙන් ලිපියක් ලියා පළ කර පැත්තකට වී සිටීම නෙමෙයි. මම හිතන්නේ මේ වියුණුවෙහි පළ වන ලිපි සාමාන්‍යයෙන් කියවන පාඨකයින් බොහෝ දෙනෙකු හා අදාළව වුවත් මෙය මෙවැනි ලිපි කියවමින් කාලය නාස්ති කළ හැකි වෙලාවක් නෙමෙයි.

මා ජීවත් වන නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද ඊයේ සවස විරෝධතාවකට එක් වුනා. ඒ බොහෝ දෙනෙකු දෙවසරකට පෙර ගෝඨාභයගේ ජය සැමරූ අය වීමද විශේෂත්වයක්. 

මේ වගේ විරෝධතා වලින් අවසාන වශයෙන් සිදු වන්නේ කුමක්ද කියන එක ප්‍රශ්නයක්. ප්‍රශ්නය ජාත්‍යන්තරීකරණය වීම අවදානම් දෙයක්. කෙසේ වුවත්, දැන් එය සිදු වී අවසානයි. 

විරෝධතා හරහා අත් කර ගත හැකි වාසිය කුමක්ද කියන එකත් එම වාසි වලට සාපේක්ෂව සිදුවන හානිය ප්‍රශ්නයක් නොවන්නේද යන්නත් ගැටළුවක්. එහෙත්, කොහොමටත් සිදු වීමට නියමිත හානිය හමුවේ මෙය නිරර්ථක තර්කයක්. 

මෙය නිදහසින් පසු ලංකාවේ දැකිය හැකි වූ පුළුල්ම මහජන නැගිටීමයි. ජවිපෙ කැරලි දෙකේදී මෙන්ම උතුරේ කැරැල්ලේදීත් මෙවැනි පුළුල් ජන සහභාගීත්වයක් දැකිය හැකි වූයේ නැහැ. මෙය සරල ආණ්ඩු විරෝධී කැරැල්ලක් නෙමෙයි. පුළුල් ක්‍රම විරෝධී කැරැල්ලක්. ඒ නිසාම, එහි දිශානතිය අවිනිශ්චිතයි. 

පැවති තත්ත්වය තුළ සජබ හා ජාජබ විසින් මෙහෙයවුණු විරෝධතාවන් සඳහාද විශාල ජන සහභාගිත්වයක් දැකිය හැකි වුනා. එම කණ්ඩායම් වලට පැහැදිලි දේශපාලන ඉලක්ක තිබුණා. එහෙත්, ආණ්ඩුව සමඟ ඉහත කණ්ඩායම් දෙකමද ප්‍රතික්ෂේප කරන විශාල පිරිසක්, විශේෂයෙන්ම තරුණ වයස් කාණ්ඩ අතර, දැකිය හැකියි. ඔවුන්ට පටු ඉලක්ක නැහැ. ඒ නිසා, ඔවුන් සමඟ ගේම් ගසා වැඩේ ගොඩ දාගන්න ලේසි නැහැ. මේ ගොඩක් අය තනි තනිව හිතා තමන්ගේ හෘද ශාක්ෂිය පසුපස යන අයයි.

ව්‍යතිරේඛ ගණනාවක් ඇතත්, පොදුවේ ලංකාවේ මෑතකාලීන දේශපාලනඥයා රටේ ජනතාවට වඩා උඩින් ජීවත් වූ අයෙක්. ධනවාදය සමඟ කිසිසේත්ම පටලවා ගත යුතු නැතත්, මේ තත්ත්වය මෙවැනි නරක අතකට හැරුණේ හැත්තෑ හතෙන් පසුවයි. 

හැත්තෑ හතට පෙරත් දේශපාලනඥයින් රටේ පොදු ජනතාවට වඩා ඉහළින් නොසිටියා නෙමෙයි. එහෙත් බොහෝ විට එය එසේ සිදු වුනේ කොහොමටත් පොදු ජනතාවට වඩා ඉහළින් සිටි ප්‍රභූන් දේශපාලනයට පැමිණීම නිසා මිසක් ඔවුන් දේශපාලනය හරහා පොරවල් හෝ සල්ලිකාරයින් වීම නිසා නෙමෙයි.

හැත්තෑ හතෙන් පස්සේ සිදු වුනේ කොහේවත් සිටි නිකමුන්ටත් දේශපාලනය හරහා පොරවල් වී මහජනතාවට ඉහළින් වැජඹිය හැකි තත්ත්වයක් ඇති වීමයි. 

මෙය යම් ආකාරයකින් එක්තරා අහම්බයක ප්‍රතිඵලයක්. සමගි පෙරමුණු ජාතික සමාජවාදී රජය විසින් ආනයන තහනම් කර, විණිමය අනුපාතය හිර කරගෙන, රට වසා ගෙන සංවෘත නිෂ්පාදන ආර්ථිකයක් හැදීමට දැරූ උත්සාහයත්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස දෙවසරක් වැඩියෙන් ආණ්ඩු කිරීමත් නිසා හැත්තෑ හතේදී එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ පොල් පිත්තකට වුවත් පාර්ලිමේන්තු යන්න අවස්ථාවක් ලැබුනා. ඒ ඇතැම් මන්ත්‍රීවරු තේරී පත් වුනේ ඊට පෙර තේරී පත්වුණු මහජන නියෝජිතයින්ට සාපේක්ෂව ධන බලයක්, ජන බලයක් තබා පෞරුෂයක් හෝ ලොකුවට තිබුණු නිසා නෙමෙයි.

මේ විදිහට ඉල්ලුවේ අලියා ලකුණෙන් වීම නිසාම විශාල පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පිරිසක් තේරී පත් වෙද්දී මන්ත්‍රීවරුන්ගේ ස්වාධීනත්වය පක්ෂයට යට වී ගියා. ඒ ක්‍රමය තවත් වැඩි දියුණු වී මහජන නියෝජිතයින් සිග්නල් කණු බවට පත් වුනා. පුළුල් ප්‍රජාතන්ත්‍රවාදයක් කවදාවත් හරියට නොතිබුණු ලංකාවේ නමට හෝ තිබුණු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයත් අවසාන වශයෙන් නූතන වැඩවසම් ක්‍රමයක් බවට පත් වුනා. 

මෑතකාලීනව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙස පෙනෙන්නට තිබුණේ මැතිවරණ හරහා තමන්ගේ නියෝජිතයින්ව තෝරා ගැනීමට අවස්ථාවක් තිබීම පමණයි. ඊට පස්සේ සාමාන්‍ය ජනතාවට කිසිම හඬක් තිබුණේ නැහැ. මහජන නියෝජිතයෝ පොරවල්. අනෙක් මිනිස්සු කාණුවට බැසිය යුතුයි. 

සමාජ ජාලා පරම්පරාවේ තරුණ තරුණියන්ට මේ ක්‍රමය දිරවන්නේ නැහැ. "කී බෝඩ් වීරයෝ" කියන අවතක්සේරුව හරහා වහන්න හැදුවත්, ඒ විදිහට මතු වුනේ ලංකාවේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය. මේ පරම්පරාවට කවුරුවත් පොරවල් නෙමෙයි. ඒ වගේම, දැන් තියෙන තාක්ෂණයත් එක්ක දේශ සීමා හරහා ප්‍රාග්ධනය ගලා යාම වගේ දේවල් පාලනය කිරීම වුනත් විහිළු.

මේක හදිසියේ මතු වුනු ප්‍රවණතාවක් නෙමෙයි. "225ම එපා" සටන් පාඨය මතු වුනේ 2020 මැතිවරණ වලට කලින්. ඒත් පස්සේ ඒක යටපත් වුනා. ඇත්තටම ගෝඨාභය බලයට පත් වුනෙත් ඔය "225ම එපා" රැල්ල හරහා. දැන් "කී බෝඩ් වීරයෝ" මහ පාරට ඇවිත්. පොරවල් වෙලා හිටපු අයට කාණුවට බහින්න වෙලා. ගෙවල් අස්සේ හැංගෙන්න වෙලා. 

මේක ආණ්ඩුවට විතරක් නෙමෙයි. ඉදිරියේදී බලයට එන්න ඉන්න කාට වුනත් බරපතල සංඥාවක්. 

තව කතා කරන්න දේවල්නම් ගොඩක් තියෙනවා. නමුත් වෙලාවක් නැහැ. වෙලාව ලැබුණු විට තව මොනවා හරි ලියන්නම්!

25 comments:

  1. මගේ අදහසනම් 'නිකමුන්' දේශපාලනයට ආවේ 1977 සිට නොවේ. 1956 දී ශ්‍රිලනිප හරහා එවැන්නන් දේශපාලනය ආවා. එකසත් ජාතික පක්ෂයේ 1988-89 කාලවල දේශපාලනයේ යෙදෙන අය ඝාතනයට ලක් වීමක් ජනතා විමුක්ති පෙරමුණ අතින් සිදුවුනා. එවිට උගතුන් අයින් වන විට භීෂණයට මුහුණ දීමට හැකි චන්ඩීන් උගතුන් වෙනුවට ආවා.

    ReplyDelete
    Replies
    1. //1956 දී ශ්‍රිලනිප හරහා එවැන්නන් දේශපාලනය ආවා.//

      නමුත් එවැන්නන්ට සෘජුව හෝ වක්‍රව දේශපාලනය හරහා විශාල ලෙස මුදල් උපයා පොරවල් වීමට අවස්ථාව ලැබුණේ හැත්තෑ හතෙන් පසුව නේද? ඒ වගේම මැතිවරණයකින් තේරී පත් වීම සඳහා විශාල ලෙස මුදල් වැය කරන්න අවශ්‍ය වුනෙත් සමානුපාතික ක්‍රමය ආවාට පස්සේ නේද? තානායම් වල සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම් වැනි බලය අපහරණය කිරීම්නම් ඊට පෙරත් වුනා.

      Delete
    2. මට මෙය කියවූ තැන මතක නැහැ. 1956 න් පසුව වූ දේවල් ගැන යමෙක් මෙසේ කියා තිබුනා. එක්සත් ජාතික පක්ශයේ අය කාවේ බීවේ බාල් නැටුවේ ඒ ගොල්ලන්ගේ පෞද්ගලික මුදල් වලින්. බණ්ඩාරණායක ගෙනා අය පොහොසත් වෙන්නේ බාල් නටන්නේ රටේ සල්ලි වලින්. 1977 පසු අවස්ථාවල් වැඩිවුනා කියන එක ඇත්තයි.

      Delete
    3. නැහැ ඉයන් පනස් හයේ පෙරළිය ගැන කෙටියෙන් කිව්වොත් 1948 නිදහසින් පසුව පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඔවුන් මුහුණ දී සිටි සමාජ සංස්කෘතික ප්‍රශ්න කිසිවක් නිසි ආකාරයෙන් හඳුනා නොගත් අතර, එනිසා ඊට විසඳුමක් ලබාදීමට ඔවුන් අපොහෝසත් විය. ඩී එස් ගේ ගොවි ජනපද ව්යෑපාරයද බහුතර ජනයා අතර ජනප්‍රිය වුණේ නැහැ, එමෙන්ම මේ පිළිබඳව ලංකාවේ බිහිවූ වාමාංශික පක්ෂ තුළින්ද හඬක් මතු නොවුනි. මන්ද ඔවුන් පදනම්ව සිටියේ යම් යම් සීමිත නායකයන් පිරිසක් යටතේ නාගරික ප්‍රදේශ (කෑගල්ල, රත්නපුර, හා ගාලු දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශ කිහිපයක) මුල්කරගෙන බිහිවූ කම්කරු කණ්ඩායම් මත. එනිසා ඔවුන් නාගරික කම්කරු පිරිස්වලට ආවේනික ගැටලු පිළිබඳව සංවේදී වූවා මිස පොදුවේ ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව පිළිබඳව සැලකිල්ලක් නොදැක් වීමේ හේතුව මත ග්‍රාමීය සමාජ බලවේග පසෙකට තල්ලු වි ඔවුන්ට පිළිගැනීමක් නොලැබුණි.

      1948 සිට ලංකාවේ බලවත්ම පක්ෂය ලෙස සිටි ප්‍රඹ්හූ පවුල් පවුල් හතරක පුද්ගලික භුක්තියක් බඳුව තිබූ එක්සත් ජාතික පක්ෂයට හෝ කලින් කිව් වාමාංශික පක්ෂ වලට හෝ මේ සඳහා නිසි නායකත්වයක් ලබාදීමට නොහැකිවිය. මේ පිළිබඳව එවකට හිටපු සටකපට ධනවත් ප්‍රභූ දේශපාලන නායකයකුව සිටි එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක යම් තාක් හොඳ මට්ටමක අවබෝධයෙන් පසුවිය. ඔහු නැඟී එන මේ රැඩිකල් සිංහල බෞද්ධ බලවේගයට නායකත්වය සැපයීමට තීරණය කළා, ඒ අනුව 1951දී නිදහස් පක්ෂය බිහි කිරීමට ඔහු සමත්විය. මේ සමාජ බලවේගය සඟ,වෙද ,ගොවි, ගුරු,කම්කරු පංචමහා බලවේගය ලෙස ප්‍රචලිත වුවත් මේ සඳහා සැබැවින්ම දායකත්වය ලැබුණේ සඟ - වෙද- ගොවි -ගුරු යන සිව් බලවේගයන්ගෙන් පමණි. මේ අතරින් කම්කරු යනු ග්‍රාමීය බලවේගයක් නොවුණු අතර ඒ සඳහා නායකත්වය සැපයූවේ වමාංශික පක්ෂයි, මෙම පන්තිය නාගරික හෝ අර්ධ නාගරික සහ වතු ආශ්‍රිත බලවේගයක් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණු අතර මේ සඳහා නායකත්වය සැපයූ වාමාංශිකයින් හරහා ඔවුන්ගේ ඉල්ලීම් හා කේවල් කිරීම් දිනා ගැනීමට හැකියාවක් ලැබිණි. උදාහණයකට නොමිලේ රජයෙන් ලබා දෙන "නිදහස් අධ්යාපනය" ලබා දීම වාමාංශික ව්යායපාරය නිසා උරුම වූණා.

      මුදල් ඇමති ජේ ආර් ගේ ආර්ථික ප්‍රතිපත්ති සමග 1953 ආනයනික සහල් වලට රජයේ සහනාධාරය ඉවත් කිරීමෙන් කම්කරු ජනයා හරහා ඇරඹූ හර්තාල් ව්‍යාපාරයත් සමග වඩාත් සවිබල ගැන්වූ SWRD අතින් ඇරඹුන සිංහල බෞද්ධ ග්‍රාමීය ප්‍රජාව මුලීක කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්ස්ටසි එක 1956 ජයග්‍රහණයත් සමඟ තහවුරු විය. මෙම බලවේගය පිඩීත බලවේගයක් වන අතරම අධිරාජ්‍ය විරෝධී නමුත් මෙම බලවේගය සිංහල බෞද්ධ ජාතිකවාදී වීම නිසා පසුගාමීය. මේ සිංහල බෞද්ධ ජාතිකවාදී මතවාදයත් සමඟ බලයට පත් බණ්ඩාරනායක රජයට පැවරුනු වගකීම වූයේ මෙතෙක් ඔවුන්ට අහිමිව තිබූ නිසි තැන ඔවුන්ට හිමිකර දීමය. ඒ අනුව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් විය. සිංහල උගතුන්ට තැනක් හිමි විය. මීට ප්‍රථම සිංහල භාෂාව උගත් බොහෝමයක් දෙනාට රැකියා අවස්ථාවක් හිමි වීම ඉතාම අවම මට්ටමක පැවතිණි. නැතිනම් නොලැබුණු තරම්ය. මේ නිසා 56 බලයට පත් බණ්ඩාරනායක ආණ්ඩුව එම ඉඩ ප්‍රස්ථාව සළසා දීමට කටයුතු කළේය. මේ නිසා සංඝයාට, සිංහල ගුරුවරයාට, සිංහල වෙද මහතාට, රෙද්ද බැනියම අඳින ගොවි ජනතාවට තැනක් හිමි විය. මෙය ප්‍රගතිශිලී පියවරක් ලෙස දැක්විය හැකිය. නමුත් බණ්ඩාරනායක ආණ්ඩුව අතින් සිදු වූ විශාලතම වරද වන්නේ සිංහල බෞද්ධ ජන සමාජයට ලබා දුන් ඉඩ ප්‍රස්ථාව ග්‍රාමීය දෙමළ හින්දු ජනතාවට ලබා නොදීමය. මේ නිසා පසුකාලීනව ගැටලු රාශියක් ඇති විය. මන්ද සිංහල බෞද්ධ ජාතිකවාදයේ මූල බීජය රෝපණය වන්නේ මේ අවස්ථාවේ දී වීමයි.

      මේ හරහා ඔබ කී පරිදි යම් ගම්බද වෙදුන් ගුරුන් නිර්ප්‍රභූන් යම් පිරිසක් බලයට පැමිණියාත් ඔවුන්ට මුදල් විශාල ලෙස අයථා අන්දමින් හම්බ කරමින් ධනවත් වීමට මාර්ග විවර වුණේ නැහැ ඒ කාලේ පැවති ක්‍රමය අනුව. බොහෝ විට එකල මන්ත්‍රීන් 1970 ගණන් වලත් කෝච්චි වල බස් වල පුට් බයිසිකල් වල ගමන් කරන එක සාමාන්‍ය දෙයක් වුණා, ඇතැම් ප්‍රභූ සහ වෙළඳ ව්‍යාපාරික මන්ත්‍රීවරුන් ඇමතිවරුන් තම පුද්ගලික කාර් වල මෝටර් සයිකල් නැත්නම් ඉඩම් වාහන (විලිස් සහ ලෑන්ඩ් රෝවර් ජීප්) වල ගියා.

      ඔබ වැනි දේශපාලන කඳවෞරකට අයත් කෙනෙක්ට පනස් හයේ ප්‍රබෝධයේ ‘ප්‍රමාණාත්මක සහ ගුණාත්මකභාවය’ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැකි වුනත් එකළ සිට අනතුරුව එළැඹි හැටේ දශකය පුරා වැඩෙමින් තිබුණේ පොත්පත් බිහි වෙන ඒවා කියවන සේම කලාව සම්බන්ධයෙන් සංවාද සිදු වෙන සේම ‘ප්‍රගතිශීලී' බලවේග අවදි වෙමින් තිබුණ කාල පරාසයක්.

      Delete
    4. පස්සේ හැත්ත එකේ කැරැල්ල වුවත් ඉහත කී ඥාන ප්‍රබෝධයේ වැඩෙමින් තිබුණ සමාජ පුෂ්පය බලහත්කාරයෙන් අකලට විකසිත කිරීමට යාමේ අනිටු ප්‍රතිවිපාකයක් මිස එය සිදු වෙමින් පැවති සමාජ සංවාදයේ වරදකින් සිදු වූවක් නෙවෙයි, එම කැරැල්ල මර්දනය කොට අනතුරුව ඉක්මනින් රට ජනරජයක් බවට පත් කළත් 1970 දශකය පුරාම දක්නට ලැබෙන්නේ 'බලය' අනිසි සහ අත්තනෝමතික ආකාරයට පාලකයන් අත මැටි පිඩක තත්වයට පත්වීමයි. විශේෂයෙන් 1975 දී විසුරුවා හැරිය යුතුව තිබුණ ආණ්ඩුව තවත් වසර දෙකකින් සිය කාලය දිගු කර ගැනීම, 1977 දී බලයට පත් පාලකයන් ආඥාදායක ආණ්ඩුක්‍රමයක් ලේඛන ගත කර ගනිමින් මැතිවරණ වලින් තොරව එක දිගට වසර දොළහක පමණ කාලයක් අත්තනෝමතික මට්ටමින් රට සිය ග්‍රහණයේ තබා ගැනීම ආදියයි හැත්තෑවේ දශකයේ දේශපාලන ඉතිහාසයේ අඳුරු පැතිකඩ වන්නේ.

      ඔබ ව්ණන 1977දෙ බලයට පැමිණි සැණින් සුළු ජන ප්‍රහාරයකින් වැඩ ඇල්ලූ එජාප පාලකයන් ‘අත්තනෝමතික බලයේ කෲරත්වය’ පියවර දෙකකින් ප්‍රදර්ශනය කළ අතර ඉන් එකක් 1980 වැඩ වර්ජනයයි. දෙවැන්න වඩාත් සාහසික වූ අතර, එය 1983 කළු ජූලියයි. දේශපාලන සිදුවීම් අතරින් එකක් එකකට වඩා සාහසික යයි තක්සේරු කරනු ලැබීම අවිද්‍යාත්මක විය හැකි වුනත් කළු ජූලිය, අසූවේ වැඩ වර්ජනය මර්දනය කරන ලද ප්‍රචණ්ඩ ආකාරයටත් වඩා සාහසික වන්නේ එය ඇත්තෙන්ම 'සාහසික භාවය' සිතාමතා ම මුදා හරිමින් සමස්ත සමාජය එහි සදාකාලික ගොදුරක් බවට පත් කරන ලද නිසයි.

      තව දෙයක් ඉයන්, ඔබ නමිනුත් වෙනත් නම් වලිනුත් අලුතෙන් පටන් ගත් සරදියෙල් නම් බ්ලොග් එකෙනුත් වත්මන් ජනපතිගේ පුතා වන මනෝජ්ව නාසා එකෙන් අයින් කරන්න කියලා කැම්පේන් එකක් සමාජ ජාල වල සහ ෆේස්බුක් එකේ කරන එක ගැන පොඩි ඉල්ලෙමක් කරන්න තියෙනවා, නමුත් මුලින් තේරුම් ගන්න තාත්තයි, පුතයි කියන්නේ පුද්ගලයින් දෙන්නෙක්. එය නොතේරෙන මෝඩ ළදරැ චුන් ගන්න ඔබ ඇතුළු ඔබගේ සමීප හිතවතුන් සහ සමාජ ක්‍රියාකාරීන් වන බාල බොළඳ පුද්ගලයින් කරන අමන වැඩ නිසා කරන්න යන හොද දේත් අවසානයේ නවතින්නෙ නරකකින්

      ඒ නිසා මනෝජ්ටයි උගේ පවුලටයි පාඩුවේ ඉන්ඩ දීපල්ලා..මේ මනුස්සයා මක් කරන්නද තමන්ගේ තාත්තා මේක දාලා යන්නෙ නැත්තං. නාසා රොකට් එකක් එවලා හරි බලෙන් උස්සගෙන යන්න කියලද උඹලා උද්ඝෝෂණය කලේ?

      මම පුද්ගලිකවම දන්නවා තමන්ගේ තාත්තා ජනාධිපතිවරණය ඉදිරිපත් වෙනවට දැඩි අකමැත්තෙන් හිටපු පුද්ගලයෙක් තමයි මනෝජ් රාජපක්ෂ කියන්නෙ. ඒ නිසා විසඳාගන්න ප්‍රශ්නයක් ගෝඨා බොස්, මහින්ද බොස්, නාමල් බොස් ඇතුළු දේශපාලනය සම්බන්ධ රාජපක්ෂවරු සමඟ විසඳා ගමු. මේ අයව මේ අහක යන කුණ්ඩවාලී වලට ඇඳලා ගන්න එපා. මේ මිනිස්සු තමන්ගේ පාඩුවේ ඒ රටට වෙලා රස්සාවක් කරගෙන ජීවත් වෙන මිනිස්සු.. ඒ ගැනත් ඔබ මීට වඩා පරිනත ලෙස සිතිය යුතුයි.

      නැවත දේශපාලනය කතා කළොත් ඔය විදිහට ලංකාවේ ඉතිහාසය පුරා නොයෙකුත් ප්‍රශ්න හමුවේ තවත් එක අඳුරු යුගයක් වූ 1970-1977 යුගයේ රට තුළ පැවති ආර්ථික අර්බුදයත්, නීත්‍යානුකූල පරිදි 1975 දී පැවැත්වීමට නියමිතව තිබුණු මහා මැතිවරණය නීති විරෝධී ලෙස වසර දෙකකට කල් දැමීමත් 1976 සමසමාජ කොමියුනිස්ට් හවුල්කාර පක්ෂ ආණ්ඩුවෙන් එළවා දමා ෆීලික්ස් ඩයස් යටතේ ක්‍රියාත්මක වුණ දැඩි මර්දනකාරී තත්ත්වයත් එක්ක යළි මැතිවරණය 1977 දී පැවැත්වීමත් (මෙය පහුගිය කාලේ යහපාලන රජය 2016 වෙනුවට 2018 පුංචි ඡන්දෙ තියලා ඉල්ලන් කෑම වගේ තමයි) වගේ හේතු නිසා ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂයට ඉතාමත්ම වාසිදායක තත්ත්වයක් නිර්මාණය වුණා. මේ නිසා ඉතාමත් අවස්ථාවාදී කපටි ජේ. ආර්. ජයවර්ධන ජනතාවට ධාන්‍ය වර්ග ‘ඇට 8ක්’ ලබාදෙන බවට පොරොන්දුවක් ද වුණා. ඒවාට රැවටී 'ධර්මිෂ්ඨ' සමාජයක් ඇතිකිරීමට ජනතාව එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ 5/6ක බලයක් බලයක් ලබාදුන්නා. ඉන් පසුව බලයට පත්වුණු එක්සත් ජාතික පක්ෂ රජය "විවෘත ආර්ථික ප්‍රතිපත්තිය" නමින් ලංකාවට ආවේණික රාජ්‍ය මූලික ලුම්පන් ගජමිතුරු ආර්ථික ක්‍රමයක් හඳුන්වාදෙමින් වෙනස්ම ආකාරයේ ගමනක් ගියා. 1977 රු. 7.54 ට තිබුණ ඩොලර් එක එක රැයින් රූ. 15.91 දක්වා 100% ක් ෆ්ලෝට් වීමට සැලැස්වීමෙන් සහ අධික ලෙස විදේශ ණය ලබාගනිමින් එදා එක්සත් ජාතික පක්ෂ රජය හඳුන්වාදුන් ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාවට තාවකාලික සහනයක් ලැබුණත් දිගුකාලීන වශයෙන් ගෙවුණු දශක හතර ඇතුළත රටට වුණු සෙතක් නැහැ නේද? අද මේ අර්බුදකාරී තත්ත්වයටත් පාර කැපුවේ ජේ ආර් ගේ ආර්ථික දේශපාලනික ගේම් වල ප්‍රශ්න නිසා නමුත් ඊට පස්සෙ ආපු අය ඒවායින් වීසඳුවේ ලන්කාවට අලුතෙන් ජේ ආර් හදපු අලුත් ප්‍රශන සමුදායෙන් 88 දකුණේ කැරැල්ල, 1983-09 උතුරේ කැරැල්ල සහ 1987 -91 ඉන්දියාවේ හමුදාව නැවතත් ආපහු යැවීම වගේ දේවල් ටිකක් විතරයි ඉතිරී ප්‍රශ්න ඔඩු දිවූ අතර මේ කට්ටිය ඒක තවත් නරක අතට හරවා තියෙනවා. ඉන්දියාව ලන්කාවට ඇඟිලි ගහන එක පටන් ගත්තේ 1987 ඉඳන් මේ දක්වා ඒක දැඩි ලෙස සිදු වෙනවා. මේ ගැන දීර්ඝ වශයෙන් වෙනමම සාකච්ඡා කිරීමට සිදු වෙනවා.

      Delete
    5. ඕනම දෙයක් දෙපැත්තක් තිබෙනවා. එහෙත් බණ්ඩාරණායක කලේ එවකට පැවැති ආර්ථික ක්‍රම දෙකෙන් එකක් තෝරාගැනීමයි. ඔහු කල ජනසතු කිරීම් වැනි දේවලින් එම පාරේ ගිය හැම රටකටම වුන දේ හැමෝම දැක්කා. කොන් දෙකක සිටින දෙදෙනෙක් ඒ ගැන විවාද කිරීමෙන් වැඩක් නැහැ.

      ගෝටාභයගේ වැරදි වලට ඔහුගේ පුතාට කරන කරදර වල මම සම්පූර්ණයෙන් විරුද්ධයි. මම වරදක් කලොත් ඒකට වගකිවයුත්තේ මමයි මගේ දරුවන් නොවේ. මේ ගැන මට චෝදනා කිරීමට හේතු මම දන්නේ නැහැ.

      Delete
    6. @ ඉයන් සහ ඇනෝ 12.04,

      බණ්ඩාරනායක ලංකාවේ ආර්ථිකයට සමාජවාදී මගුල් හඳුන්වා දී ආර්ථිකය හානිකර තත්ත්වයක් ඇති කරපු බව ඇත්ත, ඔහු රටේ ජාතිවාදී සංවිධාන සහ උතුරේ බෙදුම්වාදයට මග විවර කරපු එකත් ඇත්ත, නමුත් 1947 න් පසු ලංකාවේ බිහිවුණු එජාප ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස කටයුතු කළ ජේ ආර් ඊට වඩා විශාල විනාශයක් සඳහා මුල් ගල තැබීමත් ඊටත් වඩා රටට මහත් සේ විනාශයක් ජේ ආර් ලංකාවේ ජනාධිපති වී ගතකළ දොළොස් වසර තුල සිදුවූ බව ඉතාමත් පැහැදිලියි ඒ නිසා ජේ ආර් ලංකාවට අලුතින් නිර්මාණය කළ බරපතල ප්‍රශ්න මේවායි,

      A. 1947-77 දක්වා තිස් වසරක් ලංකාවේ සමීප හිතවාදී රටක් ලෙස කටයුතු කළ සහ කරපු සෑම ඩීල් එකක්ම ලංකාවට වාසි සහගත තත්වයක් පැව ඉන්දියාව ලංකාවේ උග්‍ර සතුරකු කර ගැනීම සහ එහි ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව ඊට පස්සෙ ලංකාවේ ආණ්ඩුවට දැඩි ලෙස බලපෑම් එල්ල කිරීමට පොට පාදා ගැනීම

      B. එහි ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව විසින් ලංකාවේ උතුරු නැගෙනහිර ලංකාවේ හමුදාවට වඩා නවීන අංග රැසකින් ඉන්දීය හමුදා නිලධාරීන් විසින් පුහුණු කර අලුත්ම අවි ආයුධ වලින් සන්නද්ධ සටන්කාමීන් බිහි කිරීම

      C. හැත්ත හතෙන් පසූ යම් වේගවත් ආර්ථික දියුණුවක් ලැබුණත් 1982 පමණ වන විට ලංකාවේ ආර්ථිකය කෙමෙන් දැඩි ලෙස අර්බුදකාරී තත්ත්වයක් ඇතිවූ විට තත්ත්වය වෙන අතකට හරවා ජාතිවාදීන් හරහා සිංහල ජාතිවාදය අවුස්සමින් 80 යාපනය පුස්තකාලය, 1983 කලු ජූලිය වැනි විශාල විනාශ හරහා රටේ දිගු කාලීන අලුත් යුද්ධයක් ඇති කිරීම.

      D. ඉන්දියාවේ හමුදා මැදිහත්වීමකට ඉඩ දී දකුණේ විපක්ෂ තහනම් කිරීම නිසාත් දැඩි ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ දූෂණ වංචා නිසා දකුණේ කැරැල්ල ඇති වීම

      E. ඉන්දීය සාම සාධක හමුදාව උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි බලය අත්පත් කරගෙන සිටීම සහ සිංහල ජනතාවට දැඩි පීඩා කිරීම

      F. රටේ ආර්ථිකය දැඩි ලෙස අගාධයට යාම නිසා 1988 මැද භාගයේ දී විදේශ මුදල් සංචිතය ඩොලර් මිලියන 200 කටත් වඩා අඩු තරමකට සිඳී ගිය නිසා තෙල්, විදුලි බලාගාර වලට ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය දැඩි ලෙස හිඟ වීම නිසා 2022 අර්බුදකාරී තත්ත්වයක් ඇතිවූ නභුත් කෙසේ හෝ දකුණේ කැරලිකරුවන්ගේ පිට දාල එය මාස කීපයක් පැවතුනත් එවකට මහ බැංකුවේ අධිපති වර්ණසේන රාසපුත්රම් මහත් සේ වෙහෙස මහන්සි වී වැඩ කර අයි එම් එෆ් එකට ගොස් ණයක් ලබා ගෙන ප්‍රශ්නය පාලනය කලා 89 විතර වෙද්දී ප්‍රේමදාස සහ බාස්කර්ලිංගම් (පාස්කරලිංගම්) සමග. නමුත් ජේ ආර් විශාල වශයෙන් විදේශ ණය බර වැඩි කරලා තමයි ගියේ 1988 වෙනකොට, තාමත් ඒ අර්බුදය එහෙමයි

      G. ඉන්දියාව ලංකාවට බලෙන් පැටවූ පළාත් සභා විකාරය සමග රටේ රාජ්‍ය වියදම් තවත් අධික වීමත් එවකට රටේ පැවති අරාජික භීෂණකාරී තත්වය නිසා දේශපාලනයට පැමිණී විවිධාකාර පාතාල මිනීමරුවන් හොරුන් කසිප්පු සහ කුඩු ජාවාරම්කරුවන් වැලි/පස් හොරුන් සමග ලංකාවේ දේශපාලන සංස්කෘතිය ඉතා අසික්කිත අමන එකක් වීම.

      H. එම ආණ්ඩුව විසින් ඉතා පුළුල් ලෙස ලංකාවේ කලින් පැවති සම්ප්‍රදායන්, සාරධර්ම සහ බොහෝ යහපත් දේවල් විනාශ කර දේශපාලකයන්ට විවිධ වර්ගයේ වරප්‍රසාද, වාහන බලපත්‍ර, බාර් සහ රෙස්ටුරන්ට් ලිකර් පර්මිට්, තවත් විවිධ වර්ගයේ ලයිසන්, මෙවැනි අනවශ්‍ය ආර්ථික වරදාන ලබා දී විශාල වශයෙන් අයථා ලෙස මුදල් හම්බ කරන්න ඉඩ විවර කිරීම.

      J. මහවැලි සංවර්ධන ව්‍යාපෘති හරහා මෙසේ විශාල වශයෙන් අයථා මුදල් හම්බ කළ ගාමිණී දිසානායක වැනි අය ඉතා ලක්ෂරි ලයිෆ් ස්ටයිල් ගත කරමින් වෙනත් තරුණ දේශපාලනඥයන්ට වැරදි ආදර්ශ ලබා දීම

      ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ 2010 න් පස්සෙ චීනය සමග සබඳතා දැඩි කරමින් ඉන්දියාව සමග වඩාත් බරපතල විදිහට ප්‍රශ්න ඇතිකර ගැනීමට ක්‍රියා කිරීම නිසා ඉන්දියාව සමග ඇති විදේශ සබඳතා ප්‍රශ්නය තවත් ඔඩු දිවූවා.

      නමුත් ප්‍රේමදාස මේ ජේ ආර් ලංකාවට අලුතින් නිර්මාණය කළ ප්‍රශ්න වලින් මින් සරල ප්‍රශ්න කීපයක් විසඳා දුන් අතර වඩාත් භයානක සිවිල් යුද්ධය සහ මැතිවරණ දූෂණ, හොර ඡන්ද දැමීම් ආදිය රාජපක්ෂ රෙජීමය සහ යහපාලන රජය සමයේ බොහෝ දුරට විසඳුනත් ණය ප්‍රශ්න සහ අනෙකුත් ප්‍රශ්න තවමත් නරක අතට හැරී ඇති බව පේනවා.

      අනෙක් පැත්තෙන් මම හිතන්නේ ඔබ බ්ලොග් වල විවිධ හොර නම් වලින් විවිධ වර්ගයේ ගේම් දී ඇති කෙනෙක් බවත් සමාජ ජාල වල 2014/ 15 සමයේ විශාල වශයෙන් අසත්‍ය ප්‍රචාර කරපු කෙනෙක් බව ඔබම පිළිගෙන ඇති නිසා ඔය මනෝජ් සම්බන්ධ ප්‍රශ්නය ඔබත් සම්බන්ධ බව සැක හිතනවා ඇති. නමුත් මම හිතන්නේ මේ කතාව පියාගේ වරදට පුතාගෙන් පළි ගැනීම ඉතා පහත් මට්ටමේ අනුවණ වැඩක් බව, නමුත් වත්මන් අසමත් ජනාධිපති ඇතුළු කුප්‍රකට රාජපක්ෂ පවුලත් එම දූෂිත පිරිසත් එලවීමට මම ඔබත් සමග අත්වැල් බැඳ ගන්න සූදානම්.

      ඒත් 77 න් පසු ආපු අය ගැන නම් මමත් උඩ ඇනෝ 12.04 සමග යම් තරමකින් එකඟයි මේවා ගැන ඔබේ අදහස් මොනවද?

      Delete
    7. //බ්ලොග් වල විවිධ හොර නම් වලින් විවිධ වර්ගයේ ගේම් දී ඇති කෙනෙක් බවත් සමාජ ජාල වල 2014/ 15 සමයේ විශාල වශයෙන් අසත්‍ය ප්‍රචාර කරපු කෙනෙක් බව ඔබම පිළිගෙන ඇති නිසා //.
      මගේ බ්ලොග් එක 2015 ට පෙර යොදාගත්තේ මම වෙන මාධ්‍යකට ලියපු ලිපි සංරක්ෂණයට. 2015 න් පසුව තමයි නිතර ලිව්වේ. මම ජේ ආර් , රනිල් වාදියෙක් යන්න කිසිවිටක හංගා නැහැ. මම කවදාවත් වෙන නම් වලින් හෝ නම නැතුව ලියා හෝ කමෙන්ට් දමා නැහැ. එමනිසා එවන් දෙයක් ගැන මට පිලිගන්න හේතුවක් නැහැ. බොහොම ස්තූතියි

      Delete
  2. ජනපති අගමැති සහ මුදල් ඇමති
    සකල වරිගයම අස්වනු යහපති
    විස්සට දා නිසි විලංගුවක් නිති
    දහනමයම බලගන්වනු යහපති

    නිදහස් උන හොරු යලිත් ගෙනෙව්
    නිසි දඬුවම් දී කූඩු කරව්
    අධිකරණය ස්වාධීන කරව්
    "කබා මිතුරනේ" පෙරට වරෙව්

    ReplyDelete
  3. තරුණ පරපුරම පෙරට ඇවිත් ඇත
    ශික්ෂණ ගතියත් පෙරට වඩා ඇත
    අදින උගුල් ගැන දැනුවත් වී ඇත
    ඉදිරි සටන දැන් ඇත්තෙ ඔවුන් අත!

    නාකි පප්පලට යන්නයි වෙන්නේ
    තරුණයන්ට තැන දෙන්නයි වෙන්නේ
    කකියන ලේ ඇති විරු දරුවන්නේ
    දිරියෙනි වැසියන් දැනුවත් වෙන්නේ

    සටන් බිමේදී නයුවන් බිහි වෙයි
    නිස්සන් ඉබේම උඩටම මතු වෙයි
    රටේම ඉදිරිය ඔවුන් අතේමයි
    ඔවුන් රැකගැනුම රටටම බාරයි!

    ReplyDelete
  4. ටෙක්නිකල් ප්‍රශ්නයක් තියෙනව.
    2011 බිලියන 1ක බැඳුම්කරයක් ගත්තම විදේශ නය බිලියන 11කින් ඉහල ගියා කියල පෙර ලිපියක තිබ්බ.
    මේක උන හැටි පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ ලිපියෙ තියෙන දේ ගැන තමයි ඇහුවෙ
      ඔබ කියන්නෙ 1බිලියන් isb එක යූස් කරල රට ඇතුලට ණය inflow එකක් ට්‍රිගර් කලා කියලද?

      Delete
    2. එම අවුරුද්දේ ස්වෛරිත්ව බැඳුම්කර ගත්තේ ඩොලර් බිලියනයක් වුවත්, ඊට අමතරව වෙනත් ක්‍රමවලින් තවත් ඩොලර් බිලියන දෙකක විදේශ ණය ගත්තා. එතකොට ඩොලර් බිලියන 3යි (මේ කියන්නේ පරණ ණය ආපසු ගෙවීම් වලට අමතරව අලුත් ණය. පරණ ණය වල පොලී ගෙවීමට ගත් ණයද ඇතුළත්ව). තව යම් ප්‍රමාණයක් මධ්‍යම රජය හැර වෙනත් රාජ්‍ය ආයතන හරහාද ගත්තා. එම ප්‍රමාණය හරියටම දන්නේ නැහැ. කොහොම වුවත් බිලියන 11 ඉක්මවා ණය ඉහළ ගියේ විණිමය අනුපාතය පහළින් තියාගෙන සිදු කළ පොන්සි ක්‍රීඩාව නිසා. නිදහසේ සිටම පැවති ප්‍රශ්නය හැරුණු විට වත්මන් අර්බුදයේ මූල බීජය එයයි.

      Delete
    3. (මේ කියන්නේ පරණ ණය ආපසු ගෙවීම් වලට අමතරව අලුත් ණය. පරණ ණය වල පොලී ගෙවීමට ගත් ණයද ඇතුළත්ව).//
      පරන ණය සහ පොලී ගෙවීමට ගත්තු ණයට අමතරව තවබිලියන් 3ක් අලුතෙන් ගැනීමක්ද?
      ඒ නය ව්‍යාපෘති ණයත් නෙමෙයිනම් විනිමය අනුපාත පහලින් ත්බා ගැනීමට සහ කොටසක් සන්චිත තරකරගැනීමට යොදවන්න ඇති.

      Delete
    4. ඔබ රාජ්‍ය ණය හා විදේශ ණය පටලවාගෙනද මන්දා. පොලී ගෙවීම සඳහා ගත් කොටසත් ඔය ප්‍රමාණය ඇතුළේ තියෙනවා. හරියටම ගණන් පරණ ලිපි වල ඇති. දැන් හොයන්න වෙලාවක් නැහැ. ඒ වෙද්දී දැන් මෙන් පොලී වියදම් ලෙස විශාල මුදලක් ගියේ නැහැ. සංචිත තර කරන්නේ මහ බැංකුව විසින් මිසක් රජය විසින් නෙමෙයි. කොහොමටත් ඔය අවුරුද්දේ සංචිත තවත් පහළ ගියා මිසක් වැඩි වුනේ නැහැ. මට ඔබේ ප්‍රශ්නය හෝ පැහැදිලි කර ගැනීමට අවශ්‍ය කරුණ කුමක්ද කියා හරියටම පැහැදිලි නැහැ. ඔබ කලින් ඇනෝමද නැත්නම් වෙන කෙනෙක්ද?

      Delete
    5. එකම ඇනෝ මේ ප්‍රශ්නෙ අහන්නෙ.
      මගෙ අන්තිම ප්‍රශනයෙන් දැනගන්න ඕන උනෙ රජය ඩිරෙක්ට්ලි ඩොලර් ණය කොච්චර අරගත්තද ඒවට මොකද උනේ කියල.
      බිලියන 3ක් ගත්ත කියන එකෙන් මට ඒත්තු ගියෙ ඒව රජය විසින් ලබාගත් ණය බවයි.
      ඊට අමතරව රටට වෙන මාර්ග වලිනුත් ඩොලර්බැරකම් එන නිසා රටේ විදේශ ණය සමස්තයක් ලෙස ඉහල යනව කියන එකමට වැටහෙනව.

      Delete
  5. ඇමරිකන් හමුදාව එයිද ඇමරිකන් පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉකොනෝ ලංකාවට? ඇප්ගනිස්තානේ එහෙම උනා නේද? ඇමරිකන් ගුවන් නැව් ඇවිත් බිල්ඩින් උඩ බාලා ඇමරිකන් සෙනග අරන් ගියේ. ලංකාවෙත් එහෙම වෙයිද? මාත් බැලුවේ බිල්ඩින් එකක් උඩට වෙලා ඉන්න ඒ එන එකක එල්ලිලා රට තොට ලෝකේ බලා කියාගෙන රවුමක් දාන්න.

    ReplyDelete
  6. මට නම් මේක පේන්නේ රාජපක්ෂලා විසින් ලස්සනට සැලසුම් කල controlled explosion එකක් වගේ. මොකද රටේ blue collar labour force එක පාරට බැස්සා නම් රාජපක්ෂ ලගේ අනාගතයත් ඉවරයි, රටත් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක ඇත්ත, විශේශයෙන් මේකේ වාර්තාකරණයේදී හිරු සහ දෙරණ වගේ චැනල් ඉතාමත් සංවිධානාත්මකව කරන සාක්ච්ඡා, වාර්තා/ කොරියාවේ 2016 අර්බුදය ගැන පවසන වදන් වලින් පේන්නේ මේක සැලසුම් සහගත විරෝධයක් හරහා ජනප්‍රිය නොවන තීන්දු ක්‍රියාත්මක කරන්න හදන සැලැස්මක් බව, ගොඩක්ම මේක ප්ටිපස්සේ ඉන්නේ 2019 පොහොට්ටු කල්ලිය වෙනුවෙන් පෙනී සිටි අපතයෝ බවත් පේනවා, සමාජ ජාල කාරයෙඔ කොරන ලබ්බක් නැහැ බෝඩ් ටිකක් උස්සන් ඉඳලා සින්දුවක් කියලා මාරු වෙනවා විතරයි, ඔය උද්ඝ්හොශන කරන එවුන් කොහොමත් පොහොට්ටු කල්ලියේ එවුන්, ඕකුන් තව ටික දවසකින් පිපක්ෂයේ අයටත් කෙළිනවා, ඒ කරලා වෙන විකල්පයක් නෑ ආයේ අපේ පාලනයේ ඉන්න නන්දසේන යටතේ ජනතාවාදී සිස්ටම් චේන්ජ් එකක් කරමු කියල මගුලක් නට්ටන්නත් ඉඩ තියෙනවා, නැත්නම් රනිල් තාවකාලික ජනපති කරන්න ඉඩ තියෙනවා නාකි මයිනා වෙනුවට රනිල් දාලා ඊට පස්සේ නන්දේ අස්වෙලා. බලමු තව ටික දවසකින් පොල් පැලේ කන විදිහ බලමු.

      Delete
  7. ඇමරිකාවෙන් ඇන්න ආ ජනාධිපතිතුමා අපිට එපා බැවින් ඉකොනෝ මහත්තයාලැයි ඇමරිකාවේ ගෙදෙට්ටවත් උන්නාන්සේව ගෙන්නා ගෙන ඉන්ට හිටින්ට දෙන මෙන් අප ඉතා ඕනා කමින් ඉල්ලා සිටිමු.

    පාඨක කැල

    ReplyDelete
  8. දේශපාලුවෝ පොරවල් වීම ඉතාම නරක විදිහට සිදුවුනේ ජනාධිපති රජාට ඇන්දවීමත් එක්කයි කියලයි මට හිතෙන්නේ . මර්වින් සිල්වා මතක්කරගැනීම විතරක් උනත් ප්‍රමාණවත්. තව නිශාන්ත මුතුහෙට්ටිගම කියලා බඩ මහත පොරක් එහෙමත් හිටියා මතක ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. නැහැ ඊට ගොඩක් කලින් ජේ ආර් ජයවර්ධන ජනාධිපති "උතුමාණන්" ඊළඟට ප්‍රේමදාස උතුමාණන් ලංකාවේ ආණ්ඩුව පාලනය කරපු කාලේ උන්ගේ ගෙවල් වල වැඩකාරයෝ පවා ලොකු පොරවල් වෙන්න පටන් ගත්තා, එවකට එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ජනපති සමාදාන විනිසුරු ගෝනවල සුනිල්, සොත්ති උපාලි වැනි පාතාල මැරවර ජඩයන් 1980 ගණන්වල පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ සැලියුට් ලබමින් කොළඹ ප්‍රධාන පොලීසි වලට ඇවිත් ඕ අයි සී ව නැගිට්ටවලා එම ඕ අයි සී ගේ පුටුවේ වාඩි වී අණ දීම, එමෙන්ම උන්ගේ මරණ තර්ජන කරදර දරාගත නොහැකිව බැරිම තැන ඔහුට ප්‍රහාරයක් එල්ල කළ ලාබාල තරුණයෙක් වූ චින්තක අමරසිංහ පොලීසිය ලවා අත් අඩංගුවට ගෙන ඔහු පොලීසිය ඇතුලට ගිහින් මාංචු දමා සිටි ලාබාල තරුණ චින්තකට බරපතල ලෙස පහර දී කකුල් කඩා දැමීම වගේ දේශපාලුවෝ සහ උන්ගේ කටු කන බල්ලන් පොරවල් වීම ආරම්භ වූ අතර මහින්ද රාජපක්ෂ 2010 එම ජඩ සංස්කෘතිය කූටප්‍රාප්තිය කරා ගමන් කරවූවා. නමුත් දැඩි මහජන විරෝධය සහ අරගල විසින් ඒවා 2015 සිට මේ දක්වා කෙමෙන් කෙමෙන් අඩු කරන ලද අතර මේ වෙනකොට එය සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න පුළුවන් තරමට දැඩි මහජන බලයක් ගොඩ නැගී තියෙනවා ඒ නිසා වහාම ලංකාවේ සියලු දේශපාලන කණ්ඩායම් වලට බල කර මේ බලතල කප්පාදු කරමින් ජනතාවට වග කියන දේශපාලන සංස්කෘතියක් දක්වා සියලු දේ වෙනස් කරන්න උපරිම වශයෙන් කටයුතු කළ යුතුයි.

      Delete
    2. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපති කාලයේ බැද්දගානේ සංජීව ඇතුළු පාතාල මැරයන් ලංකාවේ ඉහළම ආරක්ෂක අංශ ඒකකයක් වන ජනපති ආරක්ෂක අංශයට පවා එකතු කර එස් ටී එෆ් උප පරීක්ෂක තනතුරු පවා ලබා දී උන් ලවා තම විරුද්ධවාදීන්, "සටන" පුවත්පතේ කර්තෘ රෝහණ කුමාර ඇතුළු මාධ්‍යවේදීන් රාශියක් ඝාතනය කළා. පසුව පැමිණි රාජපක්ෂ රෙජිමය යටතේ එක්නැලිගොඩ අතුරුදන් වීම වැනි කාරණා ඊට කලින් පවා විශාල වශයෙන් සිදු වුණා. අද චමුදිත සමරවික්‍රම වගේ අයටත් ඒ කාලේ හිටියා නම් බඩු හම්බ වේයි කියලා හිතනවා දැන් නම් ගෙදරට අසූචි පාරක් බිත්තර පාරක් කාලා ෂේප් වෙන්න පුළුවන් නමුත් ඒවාත් නවත්වන්න අපි අරගල කරමු.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: