වෙබ් ලිපිනය:

Tuesday, April 19, 2022

සීතා ගීතා මේ බලන්නකෝ...


මේක අලුතෙන් දිවුරුම් දුන්නු රාජ්‍ය ඇමතිනියන් ගැන ලිපියක් නෙමෙයි. ආර්ථිකේ ගැනම දිගටම කතා කරපු නිසා පොඩි වෙනසකටත් එක්ක සිංදුවක් ගැන කතා කරන්න හිතුණා. අවුරුදු දවස් නිසා අවුරුදු සිංදුවක්ම තෝරා ගත්තා.

"සීතා ගීතා මේ බලන්නකෝ 

ලස්සන මගෙ මේ ඇඳුම් කට්ටලේ 

ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ..."

නිරංජලා සරෝජනී සහ ගීතා කාන්ති ජයකොඩි ගායනා කරන හැත්තෑව දශකයේ මුල් කාලයේ ගීයක්. අර හැත්තෑ හතට කලින් සමගි පෙරමුණු ආණ්ඩුව කියලා එකක් තිබුණේ. අන්න ඒ කාලේ. 

ඔය කාලේ ඇඳුමක් ගන්නවා කියන එක මේ දවස් වල ගෑස් සිලින්ඩරයක් ගන්න තරම්වත් ලේසි නැහැ. කොහොමත් ගොඩක් පවුල් වල දරුවන්ට ඇඳුම් කට්ටලයක් ලැබුණේ ඔය අවුරුදු කාලෙට තමයි. හැමදාම හිතේ හැටියට ළමයින්ට ඇඳුම් අරන් දෙන්න තරම් මිනිස්සු අතේ සල්ලි තිබුණේ නැහැ. සල්ලි තිබුණා වුනත් සල්ලි වලට ගන්න බඩු නැහැ. සමුපකාරෙට එන භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙදි කෑල්ලක් ගන්නත් මැනේජර් මහත්තයා එක්ක හිතවත්කමක් තියෙන්න ඕනෑ. දැන් කිරිපිටි ගන්නවා වගේ.

"ආනේ නීතා කොයින්ද ඔයාට ලැබුණේ...?"

නීතාටනම් කොහොම හරි ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලයක් ලැබිලා. නීතා ගිහින් ඒක සීතාටයි ගීතාටයි පෙන්නනවා. තුන් දෙනාම හිච්චි කෙල්ලෝ. ඔන්න එහෙනම් අහගන්න නීතාට ලස්සන අවුරුදු ඇඳුම් කට්ටලේ ලැබුණේ කොහොමද කියලා.

"බෝගන්විලා පැළ උදුරාලා 

මමම හැදුව මගෙ තක්කලි කොටුවේ 

පොකුරු පොකුරු හැදුණා හැම නටුවේ 

ඒව විකුණලා කාසි ගෙනැල්ලා 

කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා 

ඇඳුම් කට්ටලේ මහගත්තා"


"පස පෙරළලා ගිනි අවුළාලා 

මමම හැදුව මගෙ පොඩි මුං හේනේ 

කරල් ඇතිවී තිබුණා පැළ ගානේ 

ඒව විකුණා කාසි ගෙනැල්ලා 

කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා 

ඇඳුම් කට්ටලේ මහගත්තා"

කොහොම කට්ටක් කන්න ඇද්ද ඇඳුම ගන්න. ඔය සමගි පෙරමුණු ආණ්ඩුවේ වගා සංග්‍රාම කාලෙනේ. විකුණන එක කොහොම වෙතත් කන්න බොන්න හරි වත්තේ මොනවා හරි වවා ගත්තේ නැත්නම් ඉතිං බඩගින්නේ තමයි.

ඇඟලුම් කර්මාන්තය ප්‍රචලිත වුනේ හැත්තෑ හතෙන් පස්සෙනේ. ඔය කාලයේ ගම් වල තරුණියන්ට කරන්න කියලා රස්සා එහෙමට තිබුණේ නැහැ. හේනේ කුඹුරේ වැඩක් කරගෙන ගෙදර උයන පිහන එක දරු මල්ලෝ බලා ගෙන ඉන්න එක තමයි ඉතිං ගොඩක් තරුණියන්ගේ ඉරණම. දරු මල්ලෝ කිවුවේ බාල සහෝදර සහෝදරියෝ, වැඩිහිටි සහෝදර සහෝදරියන්ගේ දරුවෝ එහෙම.

සමහර අම්මලා ගෑණු දරුවන්ට පොඩි කාලේ ඉඳලම ගෙදර දොරේ වැඩ හුරු කළත්, එහෙම නැතුව දරුවන්ව "මල් වගේ" හදපු අම්මලත් හිටියා. එහෙම ටිකක් "පොෂ්" ගෑණු දරුවෝ මැහුම් පන්ති, කුකරි ක්ලාස්, ටයිපිං ෂෝට් හෑන්ඩ් පංති ආදියට යන අතර ගෙදර ඉන්න වෙලාව මල් වවන්න යොදවනවා. සේපාලිකා, සමන් පිච්ච, දාස් පෙතියා, වතුසුදු වගේ වැඩි මහන්සියක් නැතිව ඔහේ හැදෙන මල් අතරේ ඕකිඩ්, ඇන්තූරියම් වගේ ඒවා ටිකක් පොෂ් මල්. ඒවාට දිනපතා සාත්තු කළ යුතුයි. බෝගන්විලා වලට ඒ තරමටම සාත්තු කළ යුතු නොවුනත් ඒකෙත් පොඩි පොෂ් ගතියක් තිබුණා.

මල් වලට ගෑණු ළමයි සාත්තු කරන්නේ පණ ඇරලා. එහෙම තත්ත්වයක් තියෙද්දී තමයි නීතා තමන්ගේ බෝගන්විලා පැළ ටික උදුරලා තක්කාලි හිටවන්නේ. වත්තේ හැම බිම් අඟලකම කන්න පුළුවන් මොනවා හෝ දෙයක් වගා නොකර බෝගන්විලා වවන එක දරුණු අපරාදයක් වගේ පෙනුණු කාලයක්නේ ඕක. නීතා තමන්ගේ බෝගන්විලා ටික උදුරා දමලා ඒ ඉඩේත් තක්කාලි වවලා සීතාට සහ ගීතාට ආදර්ශයක් දෙනවා. බෝගන්විලා ටික බේරගන්න හිතුවානම් ඇඳුම් නැතුව තමයි ඉන්න වෙන්නේ.

ගෙවතු වගා වැඩේ හොඳයි. අපිත් ඔය වැඩේ කරනවා. ගෙදරට එළවලුත් ලැබෙනවා තමයි. හැබැයි වැඩිපුර තියෙන්නේ සතුට. ආර්ථික පැත්තෙන් බැලුවොත් බෝගන්විලා වවන එකෙයි තක්කාලි වවන එකෙයි වැඩිපුරම තියෙන්නේ රුචිකත්වයන් පිළිබඳ වෙනස. මේවා රටක ආහාර ප්‍රශ්නයට විසඳුම් නෙමෙයි. හැබැයි වෙන විකල්පයක් නැති වුනාම ඔය වගේ දේවල් නොකරම බැරි වෙන්නත් පුළුවන්. 

මේ සිංදුවේ පදමාලාවේ මම ආසම කොටස "කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා" කියන කොටස. සාමාන්‍ය භාවිතයේදී අපි මේ වගේ සන්දර්භයකදී කාසි විකුණලා කියා කියන්නේ නැහැ. සිංදුව ලියා තිබෙන චන්ද්‍රසේන රංගේගේ දේශපාලන අදහස් ගැන මම දන්නේ නැහැ. නමුත් ඔය කාලය ගොඩක් කලාකරුවෝ, ලේඛකයෝ මාක්ස්වාදය එක්ක තදින් බැඳී සිටි කාලයක්. සමහර විට මේ රචකයාත් එවැන්නෙක්ව සිටියා වෙන්න පුළුවන්. එසේ නොවෙන්නත් පුළුවන්.

"ඒව විකුණලා කාසි ගෙනැල්ලා- කාසි විකුණලා ඇඳුම් ගෙනැල්ලා" කියන කොටස ඇහෙන හැම වෙලාවකම මට මතක් වෙන්නේ දාස් කැපිටාල් පොතේ C-M-C ආකෘතිය. ඕක ඉල්ලුම් සැපයුම් න්‍යාය වැඩි දියුණු වෙන්නත් කලින් යුගයේ යල් පැන ගිය ආකෘතියක් වුවත් දාස් කැපිටාල් ආගමික ග්‍රන්ථයක් විදිහට සලකන සමහර අය තවමත් ඔය ආකෘතිය ගැන කතා කරනවා මම දැකල තියෙනවා. මෙයින් විස්තර කරන්නේ පාරිභෝගික භාණ්ඩයක් මුදල් වෙලා දෙවනුව මුදල් පාරිභෝගික භාණ්ඩයක් වෙන එක. තව M-C-M කියලා එකකුත් තියෙනවා. ඒකෙදී මුදල් පාරිභෝගික භාණ්ඩයක් වෙලා දෙවනුව පාරිභෝගික භාණ්ඩය මුදල් වෙනවා. මාක්ස්වාදයේ ගොඩක් ප්‍රවාද පටන් ගන්නේ ඔය දෙවන ආකෘතියේ ඉඳලා. 

මේ පද පේලි දෙක අපට නූතන සන්දර්භයක පිහිටුවා විග්‍රහ කරන්නත් පුළුවන්. විකුණන එක ජාත්‍යන්තර සන්දර්භයකට ගෙනිහින් කාසි ඩොලර් විදිහට සලකන එකයි කරන්න තියෙන්නේ. දැන් පාරිභෝගික භාණ්ඩය අපනයන භාණ්ඩයක් වෙලා ඩොලර් ගේනවා. දෙවනුව, ඒ ඩොලර් ආනයනික පාරිභෝගික භාණ්ඩයක් වෙනවා. ඊළඟ අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් කට්ටලයක් ගන්නනම් නීතාට වගේම සීතාට හා ගීතාටත් ඩොලර් වලට විකිණිය හැකි දෙයක් නිපදවන්න වෙනවා. සමහර විට ඒ වැඩේට තක්කාලි ගලවලා බෝගන්විලා හිටවන්න වෙන්නත් පුළුවන්. 

#ඉකොනොමැට්ටා 

18 comments:

  1. 'මට මතක් වෙන්නේ දාස් කැපිටාල් පොතේ C-M-C ආකෘතිය'

    CMC කිව්වේ සිලෝන් මුස්ලිම් කොන්ග්‍රස් කියන එකද?

    ReplyDelete
  2. අපි මෙහෙම හිතුවොත් ඉකොනොමැට්ටා,

    නීත තමන්ගෙ "ඉඩමෙ" "බෝගන්විලා කැලෑව" සුද්ද කරල අලුතින් "තක්කලි සහ මුං වගාවක්" කරනව. ඔය වගා හරි සීරුමාරුවට කරන්න ඕනැ.නිතර "maintain" කරන්න ඕනැ.

    බෝගන්විලා නං ඔහෙ ඕසෙට වැවෙනවනෙ. ඇති ආර්ථික ප්‍රතිලාභයක් නෑ.

    නීත දන්නව "පාරිභෝගික රුචිය". එයාල බෝගන්විලා කන්නෙ නෑනෙ. නමුත් තක්කලි සහ මුං කන්න කැමතියි.

    දැන් නීත තමන්ගෙ ඉඩමෙ සීරුමාරුවට කරපු තක්කලි සහ මුං විකුණල ඉඩමෙන් හොඳ ආදායමක් ගන්නව.

    මේක එයා සීතටත් ගීතටත් කියනව. මේක අහපු සීතයි ගීතයි තමන්ගෙ කැලෑ ඉඩම් දෙකත් එලි කරල සංවර්ධනය කරල පාරිභෝගිකය කැමති දේ වගා කරල විකුණල "උපරිම පාරිභෝගික තෘප්තිය" සලසල නීත වගේම සාපේක්ෂව තමන්ගෙ ආර්ථිකය ශක්තිමත් කරගන්නව.

    ජෝන් කැල්වින් කිව්වෙත් ආර්ථික දියුණුවත් දෙවියන් වහන්සෙගෙ එක් කැමැත්‍තක් වගේ දෙයක් නේද ?

    අනික තමන්ගෙ "පුද්ගලික ඉඩම" ආර්ථික දියුණුව පිණිස තමන්ට ඕනැ විදියට භාවිතයෙ වරදක් නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. //තමන්ගෙ "පුද්ගලික ඉඩම" ආර්ථික දියුණුව පිණිස තමන්ට ඕනැ විදියට භාවිතයෙ වරදක් නෑ නේද ?//

      කිසිම වරදක් නැහැ.

      Delete
    2. එතකොට ජෝන් කැල්වින් ගැන කතාව හරිද?

      Delete
  3. //ඇඟලුම් කර්මාන්තය ප්‍රචලිත වුනේ හැත්තෑ හතෙන් පස්සෙනේ. ඔය කාලයේ ගම් වල තරුණියන්ට කරන්න කියලා රස්සා එහෙමට තිබුණේ නැහැ.//

    මේ යුගයේ ගම් වල බොහෝ තරුණියන්ගේ රැකියාව උනේ රෙදි විවීම (handloom weaving) තමයි.

    ReplyDelete
    Replies
    1. සමහර පැති වල තරුණියෝ ඔය වැඩේ කළා. නමුත් මෙය රට පුරා විශාල ලෙස ව්‍යාප්ත වී තිබුණේ නැහැ.

      Delete
  4. නහයෙන් අඬලා බැනල පළි ගසා
    පට්ටම් ලැබිලා ගීතා සතුටෙන්
    සීතා කොහේද කියල හොයනවා
    ලස්සන වැඩ තව එන්න තියෙනවා!

    ReplyDelete
  5. මුදල් සැපයීම කපා හැරීමෙන් උද්දමනය අඩු කිරිමේ උපක්‍රමය සාර්ථක වෙයිද.

    ReplyDelete
    Replies
    1. දිගටම අවශ්‍ය පරිදි සිදු වුනොත් අනිවාර්යයෙන්ම සාර්ථක වෙයි.

      Delete
  6. May I ask an economic question which is not directly related to this. I am asking here since this is the recent article.
    Does the black market dollar exchange (Hundial, Hawala) contribute to the inflation in the country? If so, how and to what extent.


    ReplyDelete
    Replies
    1. It doesn't contribute to the inflation (in general). It is an indicator of the true, hidden inflation.

      Delete
    2. ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ ඩොලර් එක උඩ ගිය නිසා තමයි උද්දමනය වැඩිවෙලා බඩු මිල ඉහල යන්නෙ කියල.
      හැබැයි ආර්තික ඔස්තාද්ල ඔක්කොම.

      Delete
  7. ශ්‍රී ලංකාවේ රඹුක්කන කියන ගමේ මිනිස්සු මැරිලායි කියලා ඇමරිකාවේ මාධ්‍ය කතා වෙනවා කියන්නේ ඇත්තද ඉකොනෝ?

    එක්සත් ජාතික සංවිධායක නඩු දාන්න යනවලු.
    මොකද වෙන්නේ?

    හරියට ඉන්ටෙර්නෙට් වැඩ නැති නිසා නිවුස් දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක කියවන්නේ කොහොමද?

      Delete
  8. Could you please tell me where and when the Internet does not work?

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර. ගිය සතියේ ඉදන්. බිල ගෙව්වේ නැහැනේ.

      Delete
  9. ඉකොනෝමැට්ටා, ඩොලර් හිගයක් තිබුනට ලංකාවට එන නීති විරෝධී මත්ද්‍රව්‍ය වල හිගයක් නැත්තේ ඇයි?
    ඒවායේ මිල වැඩිවෙලා නැත්තෙත් ඇයි?

    අනික තමයි ලංකාවේ සෑම භාණ්ඩයකම, සේවාවකම මිල වැඩි උනත් අපේ පැත්තේ දැන් අවුරුදු ගානක් ඉදන් සුදුවා පැකට් එක රුපියල් 150 යි. බෝතලේ 600 යි. සැරේ බාල වීමක් නැහැ.

    ස්ටැම්ප් වගේ ඒවත් කලින් මිලමයි. උද්දමනයට සාපේක්ෂ වැඩි වීමක් නැහැ.

    මේ වෙළෙන්දන් විදෙස් නියෝජිතයෝ සමග කොහොමද මේ ගනු දෙනුව කරන්නේ? අදහසක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. 1. ඩොලර් හිඟය තියෙන්නේ බැංකු වල. මීට කලිනුත් මත්ද්‍රව්‍ය ගෙන්වන්න ඩොලර් ගත්තේ බැංකු වලින් නෙමෙයිනේ. උන්ඩියල් කරන අය ළඟ ඩොලර් හිඟයක් නැහැ. මත්ද්‍රව්‍ය වල විකිණුම් මිලෙන් වැඩි කොටසක් ගැනුම් මිලට සම්බන්ධයක් නැති වියදම් හා ලාබ. ඒ නිසා, ඩොලර් එක වැඩි වුනත් මිල ක්ෂණිකව වැඩි නොවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ යන්නේ සැපයුම් ප්‍රශ්න ඇති වූ විට. දැන් එවැනි ප්‍රශ්නයක් නැතිව ඇති.

      2. අවසරලත් දේශීය මත්පැන් මිල වැඩි වෙලාද? එසේ වෙලා නැත්නම් ක්ෂණිකව සුදුවා මිල පමණක් වැඩි නොවිය හැකියි. එසේ වුනත්, ආදේශනය නිසා ඉල්ලුම ඉහළ යාමෙන් පිරිවැය වැඩිවීමේ බලපෑම නිශේධනය වෙන්න පුළුවන්. අවිධිමත් අංශයේ රැකියා නැති වෙද්දී වැඩි දෙනෙක් කර්මාන්තයට ඇවිත් සැපයුම හා තරඟය වැඩි වීමේ බලපෑම වෙන්නත් පුළුවන්. කෙසේ වුවත්, වැඩි කල් නොයා යම් අවස්ථාවක මිල වැඩි වෙයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: