වෙබ් ලිපිනය:

Friday, April 15, 2022

අරගලකරුවන් ඉල්ලන්නේ කුමක්ද?


ශ්‍රී ලංකාවේ වත්මන් මහජන අරගලයේ ප්‍රධානම දේශපාලන ඉල්ලීම කුමක්ද කියා ඇසුවොත් දිය හැකි සංක්ෂිප්තම පිළිතුර බටහිර නූතනත්වය යන්නයි. ගෝඨාභය එළවීම හෝ ඔහු ඇතුළු රාජපක්ෂවරුන් එළවීම මේ දේශපාලන ඉල්ලීමේ මතුපිට ස්වරූපයයි. බටහිර නූතනත්වය ඉල්ලමින්, තේරුමක් ඇතිව හෝ නැතිව, පාරට බසින්නට ශ්‍රී ලාංකික මහජනතාවට සිදු වන්නේ ගෝඨාභය ව්‍යාපෘතිය තුළ බටහිර නූතනත්වයට එරෙහි වීමේ ප්‍රවේශයක් තිබීම හා පොදු මහජනතාවගේ ඇසින් බලන විට එම ප්‍රති-නූතනත්ව ව්‍යාපෘතිය අසාර්ථක වී තිබීමයි. ගෝඨාභය විසින් ක්‍රියාත්මක කළ ප්‍රති-නූතනත්ව ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය දෘෂ්ඨිවාදය නිර්මාණය කළේ නලින් ද සිල්වා විසිනුයි. එනයින්, මේ අරගලය සඳහා නලින් ද සිල්වා විසින් මූලබීජ සපයා ඇති බවද කිව හැකියි.

අරගලකරුවන් විසින් සෙවූ දේ කාණ්ඩ දෙකක් යටතේ වර්ග කළ හැකියි. පළමු කාණ්ඩයට වැටෙන්නේ බටහිර සංවර්ධනය තුළින් ලබාගත හැකි ආර්ථික සමෘද්ධියයි. දෙවන කාණ්ඩයට වැටෙන්නේ බටහිර රටවල දැකිය හැකි, පුද්ගල අසමානතා පිළිගන්නා, සමානාත්මතාවයයි (egalitarianism). අරගලය තුළ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වූයේ අරගලකරුවන් විසින් ඉල්ලා සිටින මේ කාණ්ඩ දෙකටම අයත් දේශපාලන ඉල්ලීම් නියෝජනය කරන දේශපාලන ධාරාවක් ලංකාවේ නොපැවති නිසයි. වෙනත් විදිහකින් කිවුවොත් බටහිර නූතනත්වය වෙනුවෙන් සෘජුව පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ නොතිබීමයි.

සමගි පෙරමුණු ආණ්ඩුවේ ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප වීමෙන් පසු ලංකාවේ දිගටම ක්‍රියාත්මක වූයේ සාපේක්ෂව විවෘත ආර්ථික ප්‍රතිපත්තියක්. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පෙනී සිටියේ මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන්. ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියේ ජවිපෙ පෙසපෙ වැනි පක්ෂ පමණයි. මේ වෙද්දී ජවිපෙ පවා, ජාජබ ලේබලය යටතේ, ජාතික සමාජවාදයෙන් විතැන් වීමට උත්සාහ කරමින් සිටිනවා.

විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම තුළ රට තුළ භාණ්ඩ හිඟයන් හා පෝලිම් ඇතිවුණේ නැහැ. එසේ තිබියදී, මේ අරගලය පැන නැගීමට ආසන්නම හේතු සපයන්නේ ගෝඨාභය ආණ්ඩුව විසින් නැවතත් ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති කරා යොමු වීමයි. එකම වෙනස සමගි පෙරමුණු කාලයේ සමාජවාදී ලේබලය තුළ මේ ප්‍රතිපත්ති අසුරා තිබීම හා මෙවර ජාතිකවාදී ලේබලය තුළ එම ප්‍රතිපත්ති අසුරා තිබීම පමණයි.

විණිමය අනුපාතය පාලනය කිරීමත්, ඒ හේතුව නිසා ඇතිවූ ඩොලර් හිඟයට පිළියමක් ලෙස ආනයන පාලනය කිරීමත්, ආනයන පාලන හේතුවෙන් භාණ්ඩ හිඟ වීම හා මිල ඉහළ යාමත්, ඉන්ධන ආනයනය කළ නොහැකි නිසා විදුලි බල සැපයුම සීමා වීමත්, අරගලකරුවන්ව පාරට ඇද දමනු ලැබුවා. පහත සටන් පාඨ වලින් කියන්නේ මේ කතාවයි.

1. අපිට කිරි නෑ 

2. මගේ දරුවොත් බොන කිරි පැකට් එක නැති කළාට උඹට වහිනකොට ගහන ඒවා ගහපන් 

3. කිරි ගණන්..යෝගට් ගණන්..චිකන් ගණන්...බිස්කට් ගණන්.. අපටත් කෑම අඩු කරන්න වෙලා

4. කිරිපිටි මිල අඩු කරන්න සර් නැත්නම් මුන් කිරි බොන්ඩ අපේ ගෙවල් පැත්තට එනවා 

5. ගන්න නෑ අපිට කඩේ gas මුන් ගහන්නේ අපිට Teargas 

6. Bring down the cost of living 

7. පැතුවේ සෞභ්යමත් රටක් ලැබුණේ අපායක් 

8. NO FOOD NO ELECTRICITY NO GAS NO MEDICINE NO EDUCATION 

9. මේ බෝඩ් එකත් රු 30/= xත්තෝ 

10. කළුවරේ MAKE-UP එකවත් දාන්න බෑ YAKO!

11. පෝලිම් වල මරණ වලට වග කිවයුත්තේ ගොඨෝ නුඹයි. 

12. ලයිට් කපන්න එපා යකෝ මිනිහගෙන් වදේ

13. CURRENT නැතුව පාඩම් නොකර LAWYERSලා වෙන්න මොකෝ අපි බේබිලාද?

14. නාමල්ට ලිමිණි අපිට චිමිණි 

ලංකාවේ පාලන බලය හෙබවූ ප්‍රධාන පක්ෂ දෙක විසින්ම විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළත් එම ප්‍රතිපත්ති වල වාසි සමාජයේ සියල්ලන්ටම එක සේ හිමි වුනේ නැහැ. දේශපාලනඥයින් හා ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් විසින් හැම විටම වැඩි වරප්‍රසාද භුක්ති වින්දා. ඉහත අවසන් සටන් පාඨ වලින් මේ විෂමතාවයට එරෙහි විරෝධයද පෙන්නුම් කරනවා. පහත සටන් පාඨ මෙම ඉල්ලීම වඩා හොඳින් නිරූපණය කරනවා.

15. මින්පසු මාර්ගයේ VIP විය යුත්තේ ගිලන්රථ පමණයි. 

16. ප්‍රභූවරුන්ගේ ඇම්ම හොඳ කළ පුරවැසියන්ගේ ගැම්මට ජයවේවා!

ලංකාවේ කවදාවත්ම සමානාත්මතා සමාජයක් තිබුණේ නැහැ. ලාංකීය සමාජය තුළ බලය, ධනය හා වෙනත් සංස්කෘතික කරුණු මත පදනම්ව පුද්ගලයින්ව  වර්ග කෙරෙනවා. මෙයින් වෙනස්ව, බටහිර රටවල කවර විෂමතා තිබුණත් පුද්ගලයින්ට පුද්ගලයින් සේ සැලකීම වැදගත් සේ සැලකෙනවා. ගනුදෙනුවක නියැලෙන පුද්ගලයින් දෙදෙනෙකු සමානයින් නොවීම නිදහස් ගනුදෙනුවක් සිදුවීමට බාධාවක්. වෙළඳපොළ ආර්ථිකයක් තුළ කිසියම් ව්‍යවසායකත්වයක් ඇති අයට ඉහළට එන්න ඉඩ ලැබෙන්නේ සමාන අවස්ථා ඇති පසුබිමකදී පමණයි. 

රටක සිටින ව්‍යවසායකත්වයක් ඇති සීමිත පිරිසට ඉහළට එන්න ඉඩ ලැබෙන තරමට ඒ කුසලතාවය නැති අනෙකුත් අයටද නිෂ්පාදන කාර්යයට දායක වීමට වැඩි අවස්ථා ලැබෙනවා. සරලව කිවුවොත් රටේ රස්සා ඇති වෙනවා. රස්සා වැඩි වන තරමට ශ්‍රමිකයින් සඳහා වන තරඟය තුළ වැටුප් මට්ටම් ඉහළ ගොස් සියල්ලන්ගේම ආර්ථික තත්ත්වය වඩා යහපත් වෙනවා. බටහිර රටවල ජනතාව අත් විඳින ආර්ථික සෞභාග්‍යයේ රහස මෙයයි.

කිසියම් රටක ධනවාදය දියුණු වෙද්දී මුලින්ම වෙන්නේ සීමිත ධනවතුන් පිරිසක් ඇති වීමයි. ඔවුන් නිසා රට දියුණු වෙනවා. ඉන් පසුව, ඒ දියුණුවේ ප්‍රතිලාභ පහළ ස්ථර වෙත ගලා යනවා. එහෙත්, එය ඒ විදිහටම වෙන්නනම් වෙළඳපොළ පුළුල් වීමට සමාන්තරව සමාජයද සමානාත්මතා සමාජයක් විය යුතුයි. දහනවවන සියවසේ පමණ සිට බටහිර රටවල මෙම පරිවර්තන ක්‍රමක්‍රමයෙන් සිදු වුනා. වෙළඳපොළ පුළුල් වෙද්දී එයට සමාන්තරව සමාජයද සමානාත්මතා සමාජයක් බවට පරිණාමය වුනා.

රජය මුල් වී සමානාත්මතා සමාජයකින් ඔබ්බට ගිය සමානතා සමාජයක් හදන්නට හැදූ සමාජවාදී රටවල මේ පරිණාමය ස්වභාවික ලෙස සිදු වුනේ නැහැ. ඒ නිසා, ඒ රටවල වෙළඳපොළ පුළුල් වෙද්දී ව්‍යවසායකත්වයක් ඇති සියල්ලන්ටම ඉහළට එන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව ලැබෙන්නේ පාලනාධිකාරිය සමඟ සම්බන්ධතා පවත්වා ගත හැකි අයට පමණයි. මේ හේතුව නිසා එවැනි රටවල රස්සා හැදෙන්නේ අඩුවෙන්. ප්‍රමාණවත් තරඟයක් නැති නිසා ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතු විභව ප්‍රතිලාභය හැම විටම ලැබෙන්නේ නැහැ. මෙහි වාසිය පාලනාධිකාරිය සමඟ සම්බන්ධතා පවත්වා ගන්නා සීමිත පිරිසකට ලැබෙනවා. රුසියාවේ මෙන්ම චීනයේද දැකිය හැකි මේ තත්ත්වය ලංකාවේද දැකිය හැකියි.

සමස්තයක් ලෙස ගත් විට ලංකාවේ සමාජවාදී පක්ෂ බොහොමයක් එරෙහි වන්නේ ඉහත තත්ත්වයට වුවත් ඔවුන් එය විග්‍රහ කරන්නේ වෙළඳපොළ විරෝධී පදනමක සිටයි. එහිදී ඔවුන් විසින් ආර්ථිකය කෙරෙහි රජයේ ආධිපත්‍යය පෝෂණය කරමින් පවතින තත්ත්වය එසේම පවත්වා ගැනීම සඳහා මතවාදී සහයෝගයක් ලබා දෙනවා. ලංකාවේ පවතින සමස්ත දේශපාලන ක්‍රමයටම එරෙහි වෙමින් "225ම එපා!" කියන තාරුණ්‍යයට ඉහත තත්ත්වය පිළිබඳ යම් සවිඥානිකත්වයක් ඇති බව ඇතැම් සටන් පාඨ වලින් පැහැදිලි වෙනවා. එහෙත්, මේ අවබෝධය තුළින් ප්‍රධාන දේශපාලන ධාරාවක් බිහි වී නැහැ.

17. ආණ්ඩුවෙන් ශ්‍රී ලංකාව බේරාගමු!

18. අපේම සල්ලි වලින් V8 වලට PRTROL පිනට ගහ රඟපු එවුන් දැන් ගෙවල් අස්සේ...! මං අහන්නේ දැන් සැපද?

ආර්ථික ප්‍රශ්න වලින් පසුව මහජන විරෝධයට ප්‍රමුඛ හේතුවක් වී තිබෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් තමන්ව රවටනු ලැබූ බව බොහෝ දෙනෙකුට අවබෝධ වී තිබීමයි. ආර්ථික ප්‍රශ්නද එහි කොටසක්. බොහෝ සටන් පාඨ වලින් මේ පසුතැවිල්ල සෘජු ලෙසම නිරූපණය වෙනවා. 

19. කරන්න පුළුවන් එකෙක්ට දීලා දැන්වත් පලයව්

20. අපෝ ඇති සීයේ ගෙදර යන්න 

21. PORN HUB එකේවත් මෙහෙම අරිනවා දැකල නෑ හාමුදුරුවනේ 

22. පරණ කෑල්ලවත් මෙච්චර රැවැට්ටුවේ නැහැ 

23. අපට හරි සැපයි. මහී, ගෝඨා ඔයාලට කොහොමද?

24. අර්බුධයක් නිර්මාණය කර බලයට පැමිණෙන්නා අර්බුධයකින්ම විනාශ වී යයි.

25. 69න් එකෙක් සමාවෙයන් වැරැද්ද නිවැරදි කරන තුරු අත නොහරිමි 

26. Dr , ස' රටේ මිනිස්සුන්ට හික් ගෑවිලා ඉන්නේ බලෙන් ඉන්න හදන්න එපා!!! PLEASE!!!

27. ඉස්සෙල්ලම විනය කැඩුවේ තොපි 

28. තාමත් හොඳටම කරන්නේ ඔයාද?

29. දැන් සැපද?

30. I've Seen Better Cabinets at Damro!

මේ පසුතැවිල්ල තරුණයින් තුළ විශේෂයෙන්ම කැපී පෙනෙනවා.

31. අද අඳුරු වී ඇත්තේ අපේ අනාගතයයි.

32. YOU MESSED WITH THE WRONG GENERATION 

33. DONT RUIN OUR FUTURE

34. තෝ මගේ පළවෙනි ඡන්දය කෑවා මූසලයා 

රාජපක්ෂලාට එරෙහිව මේ තරම්ම විරෝධයක් මතු වුනේ ඇයි? මෙය බටහිර කුමන්ත්‍රණ වැනි පටු ප්‍රවාදයකින් තේරුම් ගන්න හදනවානම් එය පවතින යතාර්ථය අවබෝධ කර නොගැනීමක්. පසුතැවිල්ලට හේතු වී තිබෙන්නේම බටහිර කුමන්ත්‍රණ මාදිලියේ පටු ප්‍රවාද හරහා තමන්ව රැවටීමට ලක් කරනු ලැබ ඇති බව අවබෝධ වීමයි.

මහජන අරගලය පැන නගින්නේ ආර්ථික හේතු මත බව ඉතාම පැහැදිලි හා බොහෝ විට අවිවාදිත විය හැකි කරුණක්. ඇතැම් සටන් පාඨ වලින් මේ කරුණ පිළිබඳ මහජන මතය හා අවබෝධය පිළිබිඹු වෙනවා.

35. විදෙස් ණය වලට රට සින්න කිරීම නතර කරනු 

36. ගත්තු ණයට කරපු සංවර්ධනයද මේ?

රාජපක්ෂලාට එරෙහි ප්‍රධානම සටන් පාඨය වී තිබෙන්නේත්, ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව ලෙස අරගලකරුවන් බොහෝ දෙනෙකු විසින් හඳුනා ගන්නේත් මහජන මුදල් මංකොල්ලයයි.

37. රාජපක්ෂ හොර හැතිකරෙ සොරා ගත්ත ඩොලර් දීල මක බෑවිල පල යන්නට!

38. Stop corruption and stepdown 

39. All Sri Lankans are Extremely United against Extremely Corrupted SL Government

40. රාජපක්ෂ හොරු ගෙදර යවමු.

41. හොරා කාපු සල්ලි දීපං මයිනෝ!

රජයට සම්බන්ධව සිටින අය මහජන මුදල් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් යොදා ගැනීම ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ලංකාවේ විතරක් සිදුවන දෙයකුත් නෙමෙයි. රජය බලවත් වෙද්දී ඇතිවන මේ තත්ත්වය ලංකාව තුළ එන්න එන්නම දරුණු වුනා කියා කියන්න පුළුවන්. 

හැත්තෑ හතේදී ලංකාව ලෝකයට (සාපේක්ෂව) විවෘත වුනා. මෙය විවෘත ආර්ථික ක්‍රමය ලෙස පොදුවේ හැඳින්වෙනවා. හැත්තෑ හතෙන් පසුව ලංකාවේ නිෂ්පාදකයාව ජාත්‍යන්තර තරඟයට නිරාවරණය කෙරුණා. එහෙත්, ලංකාව ඇතුළේ සමාන තරඟයක් ඇති වීමේ වාතාවරණයක් ඒ එක්කම හෝ ඉන් පසුව හැදුනේ නැහැ. රට ඇතුළේ කාට හරි පහළ සිට උඩට මතු වෙන්නනම් රාජ්ය යාන්ත්‍රනය සමඟ අශුද්ධ සන්ධානයකට යන එක නොකරම බැරි දෙයක් බවට පත් වුනා. 

ඔය දැන් රටේ මහජනතාව දිගින් දිගටම කතා කරන නාස්ති, දූෂණ, මහජන මුදල් මංකොල්ල පහුගිය කාලය මුළුල්ලේම සිදු වුනා. මේවා කවුරුත් දැන ගෙන හිටපු දේවල්. හැබැයි රටේ වැඩි දෙනෙක්ට ඔය දේවල් ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒ දේවල් දිගින් දිගටම නඩත්තු වුනේ ඒ නිසා. "අපේ හොරා අපිට හොඳයි" කියලා එවැනි අයව දැන දැනම තමන්ගේ නියෝජිතයින් සේ පත් කරගන්න සම්ප්‍රදායකුයි ලංකාවේ දිගටම දකින්න ලැබුණේ. ඒක එක පාරටම වෙනස් වුනේ කොහොමද?

හැත්තෑ හතේ සිට පසුගිය වසර දක්වාම ඔය හොරකම් මිනිස්සුන්ට ඇඟට දැනුණේ නැහැ. කවුරු හොරකම් කරගත්තත් තමන්ගේ ජීවිත එන්න එන්නම වඩවඩා යහපත් වෙනවානම් මිනිස්සු හොරකම් ගැන එතරම් වදවෙන්නේ නැහැ. ගොඩක් හොරකම් වුනයි කියන 2004-2014 දශකයේදී රටේ බොහෝ දෙනෙකුගේ ආර්ථික තත්ත්වය බලා ඉඳිද්දී වගේ යහපත් වුනා. රට බලා ඉඳිද්දී වගේ දියුණු වුනා. ඒ විතරක්ද? යුද්දෙත් ඉවර වුනා!

යහපාලන ආණ්ඩුව බලයට පත් වුනේ මිනිස්සු රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන කලකිරී හිටපු නිසා නෙමෙයි. රාජපක්ෂලාගේ කාලයේ ගත්ත ණය ගැනත්, රාජපක්ෂලාගේ හොරකම් ගැනත් එජාපය හා ජවිපෙ වැනි පක්ෂ විසින් කියපු දේවල් ප්‍රශ්නයක් කර ගත්තේ ඉතාම සීමිත පිරිසක්. යහපාලන ආණ්ඩුව දිනුවේ කාලයක් ප්‍රකාශ නොවුණු උතුරු නැගෙනහිර ඡන්ද නැවත ප්‍රකාශ වීම නිසා මිසක් දකුණේ ජනමතය ලොකුවට වෙනස් වූ නිසා නෙමෙයි.

කොහොම වුනත් යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට ලංකාවේ ආර්ථිකය පුපුරන්න කිට්ටු වී තිබුණු ගිණි කන්දක්. ඒ ගිණි කන්ද උඩ යහපාලන ආණ්ඩුවට රාජපක්ෂලා කරපු සෙල්ලම් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ගොඩක් මිනිස්සු මේක දැක්කේ හොඳට තිබුණු ආර්ථිකය රනිල් ඇවිත් විනාශ කිරීමක් විදිහටයි. රාජපක්ෂ කණ්ඩායමේ "ආර්ථික විද්‍යාඥයෝ" ඔය මානසිකත්වයට දිගින් දිගටම පෝර ගැහුවා. ඒ නිසා, මිනිස්සු ගෝඨාභයගෙන් 2004-2014 කාලයේ තිබුණු, 2015-2019 කාලයේ නොතිබුණු, ගෝඨාභය කඳවුර විසින් පොරොන්දු වුනු, සෞභාග්‍යය අපේක්ෂා කළා. 

දකුණේ මිනිස්සුන්ට 2004-2014 ආර්ථික ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න නොතිබුණත්, රාජපක්ෂ ක්‍රමය ගැන වෙන ප්‍රශ්න තිබුණා. ඒ මොනවාද කියලා කියන්න ඕනෑ නැහැනේ. නැති වුනු ආර්ථික සෞභාග්‍යය ආයෙත් අරන් එයි කියන එකට අමතරව මිනිස්සු ගෝඨාභය ගෙන් අර රාජපක්ෂ ක්‍රමය වෙනස් කරලා නීතියේ පාලනය ස්ථාපිත කරයි කියන එකත් බලාපොරොත්තු වුනා. වුනේ මොකක්ද කියලා ඉතිං කියන්න ඕනෑ නැහැනේ. ඔය දෙකටම අමතරව තවත් පිරිසක් ගෝඨාභය සමඟ සිංහල බෞද්ධ රාජ්‍යය කරා යන්න බලාගෙන හිටියා. 

ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියා ඉල්ලමින් මිනිස්සු පාරට බහින තැනට වැඩ සිද්ධ වුනේ ආර්ථික සෞභාග්‍යය ආයෙත් අරන් එන එක සහ සිංහල බෞද්ධ රාජ්‍යය කරා යාම කියන ද්විත්ව අරමුණු එකට නොපෑහුණු නිසයි. සෛද්ධාන්තික ලෙසම එකවර අත්කර ගත නොහැකි ඔය අරමුණු දෙක මොන විදිහෙන් හෝ ඉටු වී තිබුනනම් රාජපක්ෂලා හොරකම් කිරීම වගේ දේවල් ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට මේ වගේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ ආණ්ඩුව සිංහල-බෞද්ධ ජාතිකත්වය මතුපිටින් පමණක් තියා ගෙන, විදේශ ණය වලින් පුම්බා ආර්ථික සෞභාග්‍යය මිනිස්සුන්ට පෙන්නුවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කොයි වෙලාවකවත් බටහිර නූතනත්වයට පිටින් විකල්ප හොයන්න ගියේ නැහැ. විණිමය අනුපාතය පහලින් තියාගෙන කරපු පොන්සි ක්‍රීඩාව වුනත් කළේ බටහිර නූතනත්වයේ නීති යටතේ. 

කලින්ම ඩොලරයේ මිල ඉහළ යන්න දුන්නානම්, කලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියානම්, මේ කඩා වැටීම වෙන්නේ නැහැ. එය වැළැක්වූයේ ආණ්ඩුව මෙහෙයවූ දෘෂ්ඨිවාදයයි. කෙලින්ම සම්බන්ධ වුනත් නැතත් මේ දෘෂ්ඨිවාදයේ නිර්මාණකරු නලින් ද සිල්වා. තවත් විදිහකින් කිවුවොත් ආණ්ඩුව විසින් මේ ගෙවන්නේ නලින් ද සිල්වාගේ දෘෂ්ඨිවාදයේ දුගීකමේ මිල.

බටහිර නූතනත්ව රාමුව ඇතුළේ සිංහල-බෞද්ධ සංස්කෘතිය සමඟ යා හැකි දුර නලින් ද සිල්වා විසින් අසූව දශකයේදී පමණම නිවැරදි ලෙස හඳුනා ගන්නවා. එහෙත්, ඔහු එය තේරුම් ගන්නේ ඔහු දැන සිටි භෞතික විද්‍යාව හා මාක්ස්වාදය ඇසුරෙන්. ප්‍රශ්නයක් වැරදියට විග්‍රහ කරගත් පසු නිවැරදි පිළිතුරු ලැබෙන්නේ නැහැ.

නලින් ද සිල්වාගේ මූලික ප්‍රශ්නය ඔහු දැන් ටික කාලයක සිට නිතර භාවිතා කරන "ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව" කියන පාඨය ඇතුළේ පැහැදිලිව පෙනෙන්න තියෙනවා. තමන් බටහිර විද්‍යාඥයෙකු නොවන බව පුනපුනා කිවුවත් නලින් ද සිල්වා කියන පුද්ගල චරිතය ගොඩ නැගී තියෙන්නේම බටහිර භෞතික විද්‍යා රාමුවක් ඇතුළේ. බටහිර සමාජ විද්‍යා බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගගහ යන්නේය යන මතයේ කාලයක් තිස්සේ ඇලී ගැලී සිටීම නිසාම ඔහුට බටහිර සමාජ විද්‍යා බොහෝ දුරට මග හැරී තිබෙනවා. ආර්ථික විද්‍යාව හා සම්බන්ධව මෙය ඉතාම පැහැදිලියි. භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගගහ ගියේ නලින් ද සිල්වා විසින් හදාරා තිබෙන සම්භාව්‍ය මාක්ස්වාදයයි. 

ආර්ථික විද්‍යා ආකෘති කියා කියන්නෙම "ඒත් අතට මේත් අතට" ස්වභාවය හඳුනාගෙන ගොඩ නැගිය යුතු ද්වි-දෛශික  ආකෘති. මේ ආකෘති භෞතික විද්‍යාවේ නිතර හමුවෙන ඒක-දෛශික සරල ආකෘති වලට වඩා සංකල්පීය ලෙස සංකීර්ණයි. මම මෙහිදී සංකීර්ණ යන වචනය භාවිතා කරන්නේ නිශ්චිත සීමිත සන්දර්භයකයි.

ඉහත හේතුව නිසා භෞතික විද්‍යාව, ගණිතය හෝ ඉංජිනේරු විද්‍යාව වැනි විෂයයන් හැදෑරු අය ආර්ථික විද්‍යා ආකෘති තේරුම් ගන්න ගිහින් විශාල අවුලක වැටෙනවා. සමහර අය තමන්ගේ රාමුවේ සිට මේ ආකෘති තේරුම් ගන්න උත්සාහ කර අමාරුවේ වැටෙනවා. එයින් ඇතැම් අය තමන්ගේ අනවබෝධය ප්‍රදර්ශනය කරමින් පොරවල් වගේ තේරුමක් නැති විකාර කියවනවා. 

කිසියම් බලයක් යොදා උඩ දැමූ ගලක් ගමන් කරන උස හෝ එය බිම වැටෙන්නට ගත වන කාලය භෞතික විද්‍යා ආකෘතියක් යොදා ගෙන පැහැදිලි කරන්න පුළුවන්. මෙහිදී ගල උඩ යන්නේ එය උඩ දමන පුද්ගලයෙක් ඉන්න නිසා. අවශ්‍යනම් ඉහත ගැටලුවම වෙනත් ආකාරයකින් ඉදිරිපත් කර කිසියම් නිශ්චිත උසක් දක්වා ගමන් කරන පරිදි හෝ කිසියම් නිශ්චිත කාලයකින් පසු බිම වැටෙන පරිදි ගලක් උඩ දැමීම සඳහා යෙදිය යුතු බලය කුමක්ද කියා කෙනෙක්ට අහන්න පුළුවන්. ඔය දෙවිදිහෙන් කොයි විදිහට ඇහුවත් මෙහි තිබෙන්නේ ඒක-දෛශික ගැටලුවක්. මම මෙහිදී මේ වචනය භාවිතා කරන්නේ දෛශික යන්නෙහි ගණිතමය අර්ථයෙන් නෙමෙයි.

කොයි විදිහට ගැටලුව ඉදිරිපත් කළත් ගල උඩ යන උස හෝ ගත වන කාලය තීරණය කරන්නේ ගල විසින් නෙමෙයි. එය උඩ දමන පුද්ගලයා විසින්. ගල කරන්නේ නිෂ්ක්‍රීය කාර්යයක්. ඔයිට වඩා සංකීර්ණ ආකෘතියක් ගත්තත් මෙහි වෙනසක් නැහැ. අඟහරු වෙත යන යානයක් වුවත් කරන්නේ නිෂ්ක්‍රීය කාර්යයක්. එය කෘතීම බුද්ධිය යොදා ගන්නා උපකරණයක් වුවත් බොහෝ ප්‍රායෝගික සන්දර්භයන්හිදී මේ කතාවේ වෙනසක් නැහැ. අනාගතයේ ඒ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. උඩ දමන ගලක් අතරමගදී හිතාමතා ගමන් මග වෙනස් කර වෙන පැත්තකට යන්නේ නැහැ. 

ඕනෑම ව්‍යවහාරික භෞතික විද්‍යා ආකෘතියකදී සිදු වන්නේ මෙවැන්නක්. එක පැත්තක තියෙන්නේ ස්වයං පාලනයක් නැති, හිතන්නේ නැති අජීවී දේවල් ටිකක්. හිතන්නේ පැත්තක ඉන්න ව්‍යවහාරික භෞතික විද්‍යාඥයා පමණයි. ආර්ථික විද්‍යා ගැටලුවක් මීට වඩා වෙනස්. ආර්ථික විද්‍යාඥයා වගේම ඔහු විෂය කර ගන්නා මිනිස්සුත් හිතන පතන මිනිස්සු. ආකෘතිය වෙනස් කරන විට ආකෘතියේ විෂයයත් එයට ප්‍රතිචාර දක්වමින් වෙනස් වෙනවා. පුහුණුවක් නැති අයෙකුට ආර්ථික විද්‍යා ආකෘතියක මේ තත්ත්වය විග්‍රහ කර ගන්නා ද්වි-දෛශික සැකසුම තේරුම් ගන්න අසීරුයි. ඒ නිසාම ආර්ථික විද්‍යාඥයින් විසින් වරින් වර කරන ප්‍රකාශ විසංවාදී නොවන බව තේරුම් ගන්නත් අමාරුයි.

බොහෝ විට භෞතික විද්‍යාව හා ගණිතය හැදෑරූ අයගේ අනන්‍ය ප්‍රශ්නයක් වෙන මේ ප්‍රශ්නය වෛද්‍ය විද්‍යාව, ජීව විද්‍යාව හෝ කෘෂි විද්‍යාව හැදෑරූ අයට නැහැ. ඔවුන්ගේ විෂය (හදාරනු ලබන දෙය) භෞතික විද්‍යාඥයෙකුගේ විෂය මෙන් නිෂ්ක්‍රීය දෙයක් නෙමෙයි. තවමත් සම්භාව්‍ය මාක්ස්වාදය විශ්වාස කරන අයටත් මේ අවුලම තිබෙනවා. දාස් කැපිටාල් ලියන කාලයේ ආර්ථික විද්‍යාවේ ද්වි-දෛශික ආකෘති ගොඩ නැගී තිබුණේ නැහැ. ඒ නිසා, භෞතික විද්‍යාව හැදෑරු අය මෙන්ම සම්භාව්‍ය මාක්ස්වාදය විශ්වාස කරන අයත් ආර්ථික ගැටළු හමුවේ බොහෝ විට තමන්ගෙන් බාහිර සතුරෙකු හඳුනා ගන්න යොමු වෙනවා. එහෙත් ඇත්තම සතුරා ඉන්නේ තමන් තුළයි.

බටහිර දැනුම් ආධිපත්‍යය පිළිබඳ නලින් ද සිල්වාගේ ප්‍රවාදය හැදී තිබෙන්නේම, සම්භාව්‍ය මාක්ස්වාදයේ මෙන්ම, මූලික වැරැද්දක් සමඟයි. මෙහිදී මේ ද්වි-දෛශික සමාජ විද්‍යා ගැටළුව නලින් ද සිල්වා විසින් තමන්ට හුරුපුරැදු ඒක-දෛශික ආකෘතියක් ඇතුළට රිංගවා ඒ ඇසුරෙන් ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරනවා. නලින් ද සිල්වාගේ සිංහල-බෞද්ධ රාජ්‍යය පිළිබඳ අදහස මතු වන්නේ ඒ විදිහටයි. 

ගෝඨාභය ව්‍යාපෘතිය ආර්ථික සාධක මත කඩාගෙන වැටෙද්දී සිංහල-බෞද්ධ රාජ්‍යය පිළිබඳ අදහසද පරාජය වෙමින් ප්‍රති-සිංහල-බෞද්ධ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් මතු වීම මේ අරගලය තුළ දැකගත හැකි වූ දෙයක්. වෙනම කතා කළ යුතු, වේගයෙන් පරිමාණය වන, අරගලයේ ගතිකත්වය තුළ මේ වන විට මේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ ස්වරූපයද වෙනස් වෙමින් තිබෙනවා. කෙසේ වුවත්, මේ අරගලය තුළ සිංහල-බෞද්ධ ව්‍යාපෘතියට එරෙහි නැගී සිටීමක්ද පැහැදිලිව දැකිය හැකි වුනා. 

42. ආණ්ඩුවේ චීවරධාරීනි අන්තවාදී බයිලා එපා!

43. සාටකයයි වටාපතයි හරි අවධානම්!

44. හාමුදුරුවනේ සාටකේ ගලවලා සිවුරක් අඳිමුද?

ලංකාවේ දේශපාලනඥයින් බටහිර විද්‍යා මිනුම් දඬු අනුව මිථ්‍යාවන් සේ සැලකෙන දේ පසුපස යාම අලුත් දෙයක් නෙමෙයි. එහෙත්, සිංහල-බෞද්ධ දෘෂ්ඨිවාදය තුළ මේ දේවල් වලට පෙර නොතිබුණු පිළිගැනීමක් ලැබුණා. දැන් ගෝඨාභය ව්‍යාපෘතිය අසාර්ථක වීමට සමාන්තරව අරගලය තුළ මිථ්‍යාවන්ට එරෙහිව බටහිර නූතනත්වය වෙනුවෙන් පෙනී සිටීම පැහැදිලිව දැකිය හැකියි.

45. ඤානක්කා ජනාධිපති කරලා උඹ ආර්යාව වෙයන් නන්දේ 

46. ඥානක්කට දෙන සැප අපේ උන්ට නෑ කැප 

47. ඥාණා අක්කා දිහා බලනවා වගේ රට දිහා බලපං!

වයස අවුරුදු 30 නොඉක්මවූ තරුණ තරුණියන් හා බටහිර රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් මේ අරගලයේ පෙරමුණු බල ඇණි දෙකක් සේ සැලකිය හැකියි. මෙතෙක් ලංකාවේ දේශපාලනය තුළ සක්‍රියම කණ්ඩායම වූයේ වයස් අවුරුදු 40-60 අතර පිරිසයි. තරුණ කණ්ඩායම සැලකුණේ ජංගම දුරකථනයේ මුහුණ ඔබා ගෙන සිටින එලොවටත් නැති මෙලොවටත් නැති පිරිසක් ලෙසයි. ඔවුන් එවැන්නන් නොවන බව මේ වන විට පැහැදිලිව පෙන්වා තිබෙනවා. ලංකාවේ අනාගත දේශපාලනය තීරණය කරන්නේ මේ තරුණ පිරිසයි. 

එක පැත්තකින් මෙය මෙසේ සිදු නොවුනානම් පුදුමයක්. දැන් වයස අවුරුදු 40-60 අතර පිරිස "ආතල් ගත්තේ" තමන්ගේ දරුවන්ගේ වියදමින්. බොහෝ විට මේ වන විට ශ්‍රී ලංකා රජයේ ණය ප්‍රමාණය රටේ ජනගහණයෙන් බෙදූ විට ලැබෙන ගණන රුපියල් මිලියනය ඉක්මවා තිබිය හැකියි. ඔය තරුණයින්ට ඒ ණය ගෙවන්න වෙනවා. ඔවුන්ට එවැනි පරිප්පුවක් කන්න වී තියෙන්නේ ඔවුන් කළ කිසිදු වරදක් නිසා නෙමෙයි. දැන් මේ තරුණයින් කතා කරනවා. අපේ පරම්පරාවට නොතිබුණු ලෝකය දැකීමේ අවස්ථාව අන්තර්ජාලය හරහා ඔවුන්ට හිමි වී තිබෙනවා. වැඩිහිටි පරම්පරාවට තවදුරටත් ඔවුන්ට බොරු කළ නොහැකියි. ඔවුන් සොයන්නේ නූතනත්වයයි. අනෙක් පැත්තෙන්, බටහිර රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් කියන්නේද ලංකාව නූතනත්වයෙන් බැහැරව සිටීම ගැන කණස්සල්ලක් ඇති පිරිසක්. 

මගේ නිරීක්ෂණය අනුව, සමස්තයක් ලෙස බැලුවොත්, මේ විදිහට හදිසියේ පොලා පැන්නේ බටහිර නූතනත්වය සොයා යාමේ ශ්‍රී ලාංකික දේශපාලන අභිලාෂයයි. මේ රැල්ලට දේශපාලන නායකත්වය දිය හැක්කේ එම අවශ්‍යතාවය නියෝජනය කරන දේශපාලන ව්‍යපාරයකටයි. එවැන්නක් එක්කෝ අලුතෙන් බිහිවිය යුතුයි. නැත්නම් දැනට පවතින දේශපාලන ව්‍යාපාර අවශ්‍ය තරමට රූපාන්තරණය විය යුතුයි.

48. TOGETHER අපි ශ්‍රී ලාංකිකයින් 

49. NO PARTIES NO COLORS I am against 225. 225ටම පාරටවත් බහින්න ඉඩ නොදෙමු!

50. GOTA GO HOME SAJITH STAY HOME ANURA DONT EVEN THINK ABOUT IT...RANIL DONT GET YOUR HOPES UP...

අරගලයේ ගතිකත්වය වෙනම කතා කළ යුතු කරුණක්. මේ අරගලය නිර්දේශපාලනික මහජන අරගලයක් වන්නේ එම අරගලය කිසිදු දේශපාලන පක්ෂයකට තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවිය නොහැකිය යන අර්ථයෙන් පමණයි. මේ අරගලය පිටතට පොලා පනින අවස්ථාව වන විට සජබ හා එහි කොටසක් වන 43 බලකායත්, ජාජබ ලේබලය යටතේ ජවිපෙත් දේශපාලන බලය ලබා ගැනීම ඉලක්ක කරගෙන සංවිධාන කටයුතු පුළුල් කරමින් සිටියා. ඇත්තට හෝ බොරුවට ආණ්ඩුව සමඟ සිටි පිරිසක්ද එළියට බැස්සා. පෙසප වෙනම දේශපාලන වැඩ පිලිවෙලක සිටියා.

පෙසප අවසන් දේශපාලන අරමුණු සමඟ කෙතරම් දුරස්ව සිටියත් ආණ්ඩුවෙන් පිටතට දේශපාලනය රැගෙන යාමේ පෙසප ප්‍රවේශය මම කැමති එකක්. බොහෝ විට පෙසපට අවශ්‍ය ආකාරයෙන් නොවිය හැකි වුවත්, අවසාන වශයෙන් සිදු වුනේ පෙසප ඉලක්ක කළ දෙයයි. 

ආණ්ඩුවෙන් ඉවත් වූ එකොළහේ කණ්ඩායමට සැබෑ රාජපක්ෂ විරෝධයක් තිබුණේද යන්න සැක සහිතයි. එහෙත්, ඔවුන් හැර ඉහත කී අනෙකුත් සියලු කණ්ඩායම් වෙත රාජපක්ෂ විරෝධයක් තිබුණා. පක්ෂ ලේබල් නොමැතිව වුවත් ආරම්භයේදී අරගලය හා බද්ධ වූයේ එම දේශපාලන පක්ෂ වලට පක්ෂපාතී වූ පිරිස් හා පාවෙන ඡන්දදායකයින්. ඒ අතර, ගෝඨාභය දිනවීමට ඡන්දය දුන් අයද ඉන්න ඇති. උදාහරණයක් ලෙස 2010දී මහින්දටත්, 2015දී යහපාලනයත්, 2020දී නැවත රාජපක්ෂලාටත් ඡන්දය දුන් අය. 

මගේ අදහස පෙසප විසින් මුල සිටම අරගලයේ සුක්කානම අතට ගැනීමේ අරමුණින් සක්‍රිය වැඩ කොටසක් කළ බවයි. ඉන්දියානු විරෝධය මතු කරමින් පෙළපාලි සංවිධානය කළ කාලයේදී මෙන් එක තැනකට දහ දෙනෙකුට නොවැඩි පිරිසක් යොදවමින් තමන්ට අවශ්‍ය දිශාවට අරගලය මෙහෙයවන්නට ඔවුන් උත්සාහ කළත් පෙර අවස්ථාවේදී මෙන් නොව මේ අවස්ථාවේදී එළියට බැස සිටියේ යම් දේශපාලන අරමුණක් තිබුණු, අනුන්ගේ රූකඩ කරගැනීම පහසු නොවූ පිරිසක්. කොහොම වුනත්, අරගලය ගැන වැඩිම දේශපාලන ඉවක් තිබුණේ පෙසපට කියා කියන්න පුළුවන්.

පෙසපයෙන් පසුව අරගලය හොඳින්ම කියවා ගත්තේ කොළඹ ව්‍යාපාරික ප්‍රජාවයි. රාජපක්ෂලාගේ "අයුතු ලෙස උපයාගත් ධනයට" කොළඹ ව්‍යාපාරික ප්‍රජාව විසින් "අයුතු ලෙස උපයාගත් ධනය"  එකතු කරනු ලැබීමේ අවදානම ඔවුන් කලින්ම හඳුනාගත්තා. අරගලයට සම්පත් අඩු නොවුනේ ඒ නිසයි. 

සජබට මෙන්ම ජාජබටද අරගලය කලින්ම කියවා ගැනීමේ නිවැරදි ඉවක් තිබුණේ නැහැ. කොහොම වුනත්, මේ අරගලය තුළ එම කණ්ඩායම් දෙකේම සාමාජිකයින් විශාල ලෙස නියෝජනය වෙනවා. අරගලකරුවන්ගේ ආර්ථික අභිලාශ සමපාත වන්නේ සජබ සමඟයි. එහෙත්, ඔවුන්ගේ දූෂණ පිටුදැකීමේ අභිලාශය සමපාත වන්නේ ජාජබ සමඟයි. මහ බැංකු අධිපතිමාරුවෙන් හා රජයේ ආර්ථික ප්‍රතිපත්ති සජබ ප්‍රතිපත්ති හා සමපාත වීමෙන් අනතුරුව අරගලයේ සුක්කානම අතට ගැනීම සඳහා සජබ සතු වූ ශක්‍යතාව ගිලිහී ගොස් ජාජබට වඩා වාසිදායක පිටියක් සකස් වී තිබෙනවා.

මහජන අරගලයක් කියා කිවුවත් මෙය ලංකාවේ සියලු ස්ථරයන් නියෝජනය කෙරෙන අරගලයක් නෙමෙයි. තවමත් මෙය නාගරික හා අර්ධ නාගරික පිරිස් වල අරගලයක්. සමාජයේ පහළම ස්ථර හා ග්‍රාමීය කොටස් අරගලය හා බද්ධව සිටින්නේ ඉතා අඩුවෙන්. ඉස්ලාම් භක්තිකයින්, ක්‍රිස්තියානින් හා නිරාගමිකයින්ට සාපේක්ෂව බෞද්ධ හා හින්දු නියෝජනය සීමිතයි. එහෙත් මේ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. 

අරගලයට හේතු වූ සාධක සෑහෙන කාලයකට අහෝසි වන්නේ නැහැ. ඒ නිසා, මේ අරගලය දිගට ඇදී යා හැකි එකක්. අරගලයේ සුක්කානම කිසියම් කණ්ඩායමකගේ අතට යාම වැළැක්විය හැකි එකම ක්‍රමය එසේ වනවාට අකැමැති අය අරගලය හා සම්බන්ධ වීමයි. මේ කාරණයේදී කොළඹ ව්‍යාපාරික ප්‍රජාව දේශපාලන පක්ෂ වලට ආදර්ශයක්.

මේ අරගලයේ සටන් පාඨ කියා කියන්නේ ලංකාවේ නූතන ඉතිහාසය. සරසවි වල ඉතිහාස අධ්‍යයන අංශ විසින් මේවා සංරක්ෂණය කළ යුතුයි. සමහර විට එය සිදුවනවා ඇති. වෙන රටවලනම් එය එසේ සිදු වෙනවා.



















































47 comments:

  1. චි චි බේබිගේ රොකට් එකට තෙල් ටිකක් ගහන්න
    මද මුලානේ බත් බලයා

    ReplyDelete
    Replies
    1. බලයො උශ්ණයි

      Delete
  2. ගෝල්පේස් එකේ දෙතුන්සීයක්‌ දෙනා බොර්ඩ් උස්සන් හිටියට ලක්ෂ හැට නමයක් ජනතාව ආණ්ඩුව සමගයි.

    ReplyDelete
    Replies
    1. පෙඩ්ප් වෙලා ඉන්නේ ඉකොනෝ මල්ලියේ අපට
      කන්නට මොකුත් නැහැ කුසගින්නකට
      විදුලිය ඇත්තෙත් නැහැ දවසෙන් බාගෙකට
      පෝලිම් වලයි ගත වන්නේ අපේ කල දවස

      හැදුවට මහින්ද වාගේ පුත්තුන්ව
      ඩීඒ රාජපක්ෂගේ අම්මට හැමිනෙන්න
      හෙන ඉල්ලයි මිනිස්සුන් හැම එකාවන්ව
      පෙර කරුමෙකුයි ගෙනියන්නේ අප හැමෝම

      අවොත් රනිල් විසදෙයි මේ ප්‍රශ්න
      තෙල් ටික බේත් ටික හම්බෙයි ඇතිවෙන්න
      මදිපාඩුවට ලයිටුත් දෙයි දවසටම
      කියන්නේ ඇත්තද පහදා දෙනු මැනව

      අයිඑම්එප් කට්ටිය අහක බලනු එපා
      ඉන්දියාව තෙල් පරිප්පු නොදී ඉදිනු එපා
      චීනෙන් ගත්තු ණය ටික ඉල්ලනුත් එපා
      ඩොලරුත් නැති අපට බඩගිනි හැදෙනු එපා

      Delete
  3. ගෝටාගෝගමේ කක්කුස්සි ලගින් යන්න බෑ ගඳේ. හරියට ලැට් යන්නවත් දන්නේ නැති අය එක්ක මොන අරගලද.

    දැන් අරගලේ ඉවරයි. ඔවා කරලා පුළුවන්ද රට අල්ලන්න.

    ReplyDelete
  4. වඩාත්ම පිඩාවට පත් වෙලා ඉන්න සමාජයේ පහළම ආදායම් ස්තරය මේ අරගලයට වැඩි දායකත්වයක් නොදැක්වීම ඔබ දකින්නේ කොහොමද

    ReplyDelete
    Replies
    1. මේකට පිළිතුරක් ලෙස එතරම් දේශපාලනිකව නිවැරදි නැති, ටිකක් ප්‍රචලිත යාන් එකක් මතක් කරන්න පුළුවන්.

      එක දවසක් තමන්ට භාර්‍යාවන්ගෙන් වන අඩන්තේට්ටම් වලට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න ස්වාමි පුරුෂයෝ එකතු වෙනවා. සභාවේ පළමු ප්‍රශ්නය "මෙතන ඉන්න අයගෙන් භාර්‍යාවගෙන් නොඅසා තීරණයක් ගන්න බැරි අය අත උස්සන්න".

      හැමෝම අත උස්සනවා. ඒත් එක්කෙනෙක් විතරක් අත උස්සන්නේ නැහැ. දැන් මේ තනි මනුස්සයා එක පාරටම හැමෝගෙම වීරයෙක් වෙනවා.

      "අප අතරේ ඔබ වැනි එක් අයෙක් හෝ ඉන්න එක අපට ලොකු ආඩම්බරයක්. ඔබට තව මොනවා හරි කියන්න තියෙනවද?".

      "භාර්‍යාවගෙන් අහන්නෙ නැතුව මුකුත් කියන්න බැහැ. අත ඉස්සුවෙ නැත්තෙත් ඒ නිසා!"

      Delete
    2. ඔබ කියන්නේ සහනාධාර අහිමි වෙයි කියලා බය නිසා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා කියලා ද

      Delete
    3. ඒ මිනිස්සුන්ට මේ පීඩාව එක පාරටම දැනෙන්න තරම් අමුතු දෙයක් නෙමෙයි. ඒ වගේම මෙතැන ඉන්න අය සංවේදී ගොඩක් දේවල් වලට ඔවුන් එතරම් සංවේදී නැහැ.

      Delete
  5. As the newly appointed CBSL Governor mentioned when we are goin to the IMF it would be necessary to have (1) political stability (2) Social stability. At the moment we do not have either. Though I agree with you ideologically the protesting masses represent diverse sects with different opinions. For example may be supporting privatisation whilst some are opposing it. In this context what practical solution we can arrive at. Do you believe a capitalist movement could occur from the masses. I dont believe 43 group will able to grasp the oppertunity. Or are we going to end up with anarchy like in middle east.

    ReplyDelete
    Replies
    1. There is a clear gap between the aspirations of these masses and their expectations on how to achieve those. A strong, deterministic and honest leadership may show them the way. I think they are willing to listen if they believe the preacher is genuine.

      Delete
  6. අරගලේ ඉන්න කවුරුවත් යහපාලනෙන් ගත්තු isb ගැන කතා කරන්නෙ නෑ හැබැයි. නිර්පාක්ශිකනම් මේ අර්බුදේට සෘජුවම දායකඋන හේතුව ගැන නේද කතා කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කරුණාකර පැරණි ලිපි කියවන්න. එකම ප්‍රශ්නයට නැවත නැවත පිළිතුරු ලිවිය නොහැකියි.

      Delete
  7. සන්නද්ධ අංශ යොදවා අරගලය මර්ධනය කරමු. ඉකොනෝමැට්ටා අත්තඩංගුවට ගමු. කුකුළුමස්සෙක්ක බත් කටක් කමු. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=VFoEDN-yobo

      Delete
  8. ආර්තිකේ කබලෙන් ලිපට ඇදලා දාපු 2015 කොත්තමල්ලි බජට් එක ගැනයි, 2015-2019 කාලේ කන්සම්ප්සන් වලට ගත්ත බිලියන් 13ක ණය ගැනයි වචනයක්වත් නැත්තන් එකොනොමැට්ටාගේ නිර්පාක්ශිකභාවය ගැන සැක ඇතිවෙනවා කියවන අයට! :)

    ReplyDelete
    Replies
    1. කරුණාකර මෙහි 2015 සිට පළ කර තිබෙන පැරණි ලිපි කියවන්න.

      Delete
  9. උගන්ඩාවේ සංචිත වැඩිවීම හා ලංකාවේ සංචිත අඩුවීම අතර සම්බන්දයක් තියෙනව ද ඉකොනොමැට්ට සහ ඒ පිලිබදව ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් නැද්ද

    ReplyDelete
    Replies
    1. උගන්ඩාව කාලයක සිටම සංචිත ක්‍රමක්‍රමයෙන් වර්ධනය කර ගනිමින් සිටිනවා.

      https://data.worldbank.org/indicator/FI.RES.TOTL.CD?locations=UG

      Delete
  10. මේ විරෝධඡතා පෝස්ටර් දැක්කාම මට මහා සංවේගයක් ඇතිවුනා.
    මෙතන කවුරුවත් “එක සිවිල් නීතියක් ගෙනෙං“ කියලා දැන්වීමක් දාලා නෑ.

    සිංහලයන්ට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාවක්. මුන්ට ඕනේ ආණ්ඩුවෙන් පිනට කන්න.

    මම නම් එහෙම නෑ.
    “කුසගිනි දැනුනට සිඟා නොකව්.
    තණපත් නොබුදිති සිංහ පැටව්“

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක ඇත්ත. වැඩක් වෙන්නනම් එයයි මෙය යා යුතු තැන. හැබැයි සටන් පාඨ වල අදහස් මාත්‍රා තිබෙනවා. උදාහරණයක් ලෙස පාරේ VIP ගිලන් රථ පමණයි.

      Delete
  11. Thanks Economatta. I also have the similar view on this struggle. But, I am very surprised to see the way you analyzed the social issues. It would be great if you could explain more about the colombo business class. According to my observation, only IT companies joined and supported the struggle. I don't think Sri Lankan universities are playing a serious role here as you expected. It will be simply a press conference, protest and media statement.

    I don't think the young generation is aware of the economic hardship they have to face in the future. This was triggered due to power interruptions. What do you say?
    Another observation is using the word F*** in the protect. I never expected using this word in public.

    ReplyDelete
    Replies
    1. It is not just the IT companies. Many others support the struggle directly or indirectly. It is for the same reason why artists support. They need the support of masses to stay in business. Yes, they have no clear idea about the inevitable hardships they have to face in the future. The slogan with the F word is a direct import from the Black Lives Matter struggle in the US and probably has a longer history. Look at the level of participation of young Sri Lankans educated in international schools and private universities. No previous protest managed to attract them. This specific young crowd live in a Western society- just their physical bodies are in SL.

      Delete
  12. These people were not sensitive to the farmers' issue. what do you think about it?

    ReplyDelete
    Replies
    1. People are sensitive to their own issues and they are here to express their own concerns. I doubt whether farmers are represented here. In general, rural informal sector is not here.

      Delete
  13. Yes. I agree with you. Those who are in the protest are well disciplined and organized. They have gathered with one slogan. I think this slogan keep everyone together. On the hand, this young generation through out the country followed and supported various non-scientific practices. Therefore, I can see a serious bipolar here. Can you predict another hegemony after some years? In Pavana - by Nanda Malini- one song is about high class school students who play balls. Now, they are leading the country, but the same song is being played.

    ReplyDelete
    Replies
    1. Your observation is correct. While these people are united for a common goal, there are many bipolarities, not just one. That is exactly how democracy should be practiced. That is exactly how the democracy in western countries is practiced. Free individuals group together to achieve a common goal while they differ in many other respects. The beauty of democracy is that it finally allows these bipolarities to disappear or peacefully coexist. I see it is happening here. So far, when it moves towards an extreme, an opposite force immerges almost immediately to neutralize that force. An anger possibly could have directed toward the rich was eliminated when the rich started to show up their presence and support. Anti-Buddhist forces were neutralized when the Buddhist monks joined the crowd. I am curious how trade unionists will interact with the crowd. Simply put "If you dislike how it progresses, go there and express yourself!" and you will be heard. That is democracy. However, it does not mean that the final outcome would be your ideal one. You will have to accept it. Again, that is democracy.

      Delete
  14. සර්පන්ට්කින්ග්April 16, 2022 at 8:26 PM

    ඉකොනොත් නලින් ද සිල්වා කෙනෙක් වෙලා වගෙයි. මොකද ශූන්‍ය වෙච්ච ලෝකෙක යමක් නිර්වචනය කරගන්න වෙන්නෙම තවත් ඒ වගේම හදාගත්ත නිර්ණායකයක් භවිතා කරලා. ඉතින් හදාගත්ත දේට සාපේක්ෂව පේන දේ වෙනස් වෙනවා.

    ඉකොන් කියන සි-බෞ දෘෂ්ටිවාදය මෙන්ම බටහිර නූතනත්වයත් කඩා වැටිලා කියන එකයි මගේ අත්දැකීම. මොකද ඔය කියන ප්‍රජාතන්ත්‍රයවත් ඔය කියන සාමූහිකත්වයවත් ඔය කිසි තැනක නැති නිසා.

    ලෝකය ශූන්‍යයි. ඕකෙ මොනවා හැදුවත් කඩාගෙන වැටෙනවා සත්තයි. මොකුත් නොහදා සිටීමම තමා උතුම්. මොකුත් නොහාදා සිටීමමයි සාර්ථකත්වය.

    ReplyDelete
    Replies
    1. මෙහි ලිවුවේ අරගලකරුවන්ගේ දෘෂ්ඨිවාදය පිළිබඳ මගේ නිරීක්ෂණ මිසක් මගේ පෞද්ගලික මතවාද නෙමෙයි. (මගේ පෞද්ගලික මතවාද සමඟ සමපාත වන කොටස්ද තිබෙන නමුත් එසේ නොවන තැන්ද තිබෙනවා.)

      Delete
  15. අරගලයට තැනක් දෙන්න
    ඉකොනෝ මල්ලි පෙරට එන්න
    කක්කුස්සිය බාර ගන්න
    පිරිසිදු කර තබා ගන්න

    ReplyDelete
  16. කාලයක් තිස්සේ blog මාලාව කියවන විට මට ඇවිත් තියෙන අදහස නම්, 2005 වගේ කාලයක සිටම දිගින් දිගටම රජය/ජනතාව සුවපහසු ජීවිතයක්/economy එකක් සදහා අනාගතය උකස් කරාවගේ දෙයක්. ඒ අනුව බැලුවම මේ උද්ගොෂණයට තරුණ පිරිස් එක් වීම පුදුමයක් නැහැ. ඔවුන්ගේ ජීවිතය උකස් කරලා තමයි ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාව හොද ජීවිතයක් ගතකරේ.
    දැන් ඒ පිරිස පාරට ඇවිත්.

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි. ඔවුන්ව බිත්තියටම හේත්තු කරලා තියෙන්නේ. කලින් පරම්පරාවට මෙන් ඔවුන්ට මේ ණය ඉදිරි පරම්පරාවට තල්ලු කළ හැකි අවකාශයක් තවදුරටත් ඉතිරි වී නැහැ. ඔවුන්ට තමන් හම්බු කරන දෙයින් අනුන්ගේ ණයත් එක්ක ගෙවන්නම වෙනවා. නිෂ්ඵල ඉල්ලීමක් වුවත්, "හොරා කාපු සල්ලි දියවු!" කියන ඔවුන්ගේ ඉල්ලීම ඉතාම සාධාරණයි. මොකද කවුරු විසින් හෝ උපදින්න කලින්ම "හොරා කාලා" තියෙන්නේ ඔවුන්ගේ සල්ලි.

      Delete
  17. ඉකොන්..... අලුතෙන් පත්කරන ලද ආර්‍තික විශේඥ කණ්ඩායමට අනුව රටේ වටිනා සම්පත් කීපයක් විකිණීමෙන් ඩොලර් බිලියන 8 ක් පමන සොයා ගත හැකියි කියා කියනවා.


    ඒ අනුව දීර්‍ඝ කාලීන බදු ක්‍රමයට ක‍ටුණායක ගුවන් තො‍ටුපල ඩොලර් බිලියන 2ටත් මත්තල ගුවන් තො‍ටුපල ඩොලර් මිලියන 300 කටත්, රත්මලාන ගුවන් තො‍ටුපල ඩොලර් මිලියන 400 කටත් බදු දිය හැකියයි ඇස්තමේන්තු කර තිබෙනවා.

    තවද උතුරු කොලඹ වරාය සංවර්‍ධන ව්‍යාපෘතිය ඩොලර් මිලියන 600 ට වෙනත් පාර්‍ශවයකට පැවරීමට අදහස් කරනවා.

    වඩා විශාලම විකීනීම හෝ බදු දීම වන්නේ පෝට් සිටියේ ලංකාවට හිමි ඉඩම් බදු දීමයි. මෙයින් ඩොලර් බිලියන 4 ක් ඉපැයීමට අදහස් කරනවා.

    මීට අමතරව ටෙලිකොම් සතු රජයේ කොටස් ඩොලර් මිලියන් 500කටත් , ශ්‍රී ලංකා ඉන්ශූරන්ස් ඩොලරි මිලියන 300ටත් විකිණිය හැකි වෙතැයි ගණනය කෙරෙනවා.


    ඉදිරි ආර්‍තික අර්‍බුදය හමුවේ මේ යෝජනා කවර රජයකට උවත් සිදී කිරීමට සිද්ධ වෙනවා. ප්‍රශ්නය වෙන්නේ මෙම රජයන් කොතරම් දුරට පාර දෘශය ආකාරයට , මෙම ගණුදෙණු සිදුකෙරෙයිද යන්නයි.

    රජය Iඹ්F ගියොත් මෙම ගණුදෙනු පාරදෘශ්්‍ය ආකාරයට සිදු කිරීමට එයට බලපෑම් කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. //රජය IMF ගියොත් මෙම ගණුදෙනු පාරදෘශ්‍ය ආකාරයට සිදු කිරීමට එයට බලපෑම් කරන්න පුලුවන්ද?//

      එවැන්නක් අපේක්ෂා කරන්න බැහැ. ගණුදෙනු පාරදෘශ්‍ය ආකාරයට සිදු කිරීම IMF එකේද අපේක්ෂාව විය හැකි නමුත් එය ඔවුන්ගේ scope එකෙන් පිට තිබෙන දෙයක්. මේ කටයුත්තේදී ඔවුන්ට ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමේ හැකියාවක් නැහැ. මෙය පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒ සඳහා බලපෑම් කළ යුත්තේ රටේ මහජනතාවයි.

      පොඩි ප්‍රශ්නයක්. ඔය ලැයිස්තුවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස් නැද්ද? මේ හදිස්සියේ ගුවන් යානා ලීස් කරන්න යන්නේ තියෙන ඒවා විකුණා ඩොලර් ටිකක් හොයා ගෙන යම් කාලයක් යන තුරු ලීස් කළ ගුවන් යානා වලින් ගුවන් සේවය නඩත්තු කිරීමේ අරමුණින්ද? කරන්න යන්නේ එවැන්නක්නම් එය නරක අදහසක් නෙමෙයි.

      Delete
    2. හැබයි ඉකෝන් මෙහෙම දෙයකුත් තියෙනවා නේද.....මෙවර IMF යන කොට මෙහි පාර්‍ශව තුනක් ඉන්නවා නේද? කලින් වතාවල නම් රජය සහ IMF විතරයි, නමුත් මෙවර ණය හිමියොත් මේකට ඈදෙන නිසා IMF එකට කේවල කිරීමේ හැකියාව වැඩියි නේද? අනිත් එක වෙන වතාවල වගේ නෙමේ, දැන් IMF ගිහිල්ලා තියෙන්නේ හොම්බෙන්ම ඇණගෙන. එකත් IMF එකේ කේවල් කිරීමේ හා පසුවිපරම් කිරීමේ හැකියාව වැඩි වීමට හේතුවක් නේද?

      එයාර් ලංකා එක ලිස්ට් එකේ නැතීවීම මටත් ගැටළුවක්. නමුත් එය එම ලිස්ට් එකේ තිබ්බෙ නෑ. මම එය උපුටා ගත්තේ සන්ඩේ ටයිමස් එකෙන්...සමහර විට එතැන වැරදීමක්ද දන්නෙත් නෑ..

      Delete
    3. මෙය පාර්ශ්ව තුනක් සේ සලකන්න බැහැ. IMF ගනුදෙනුව තිබෙන්නේ ශ්‍රී ලංකාව (රජය හා මහ බැංකුව) අතර. ණයහිමියන් සමඟ ශ්‍රී ලංකා රජය කරන ගනුදෙනුවකට IMF එක මොන විදිහකින්/මට්ටමකින් සම්බන්ධ වෙයිද කියන එක අපැහැදිලියි. කොහොම වුනත් මේ වෙලාවේ මේ ගනුදෙනු පාරදෘශ්‍ය ආකාරයෙන් කිරීමට මහජන පීඩනය විසින් බලපෑම් කෙරෙනවා. අනෙක් පැත්තෙන් වෙනදාට වඩා ලෝකයේ අවධානය ලංකාව වෙත යොමු වී තිබෙනවා. ඔබේ උපුටා ගැනීම නිවැරදියි. පසුව මමත් එය දැක්කා.

      Delete
  18. if we are going to sell everything together, we might not be able to gain the expected income. I am also not sure who are going to buy the used aircrafts. I think these are very old.

    ReplyDelete
  19. Thanking you for writing this. Recently I started following what everyone is writing about the crisis and was wondering what is going on in Prof. Nalin de Silva’s mind. This explains most of it, and I would like to read more about these contradictions created by different ideologies if you are willing to write about them, in an academic perspective.

    I haven’t studied classical Marxism or any other socioeconomic theories. Coming from a mathematical background (with a unidirectional approach :) ) my simple explanation for the theories of Prof. Nalin de Silva was, him being somewhat outdated about the young generation (e.g., claiming that the slogan and the concept of ‘Go Home Gota’ should have been created in the west as anyone in Sri Lanka is unable to do such) and his unawareness about the mismanagement by the government (e.g., he ends up talking about his guesses on the cost of vaccines for Covid, while there are statements and documents to find facts if he needs to). This piece was eye opening, as it provides an in-depth analysis on the root cause. It is very interesting to see how different disciplines shape the way we think, without we realizing it.

    Please keep writing.

    ReplyDelete
  20. ලන්කාවෙ කලින් තිබ්බ පොලී අනුපාතය අඩුයි සහ ඩොලරය බලෙන් අල්ලන් හිටපු නිසා අපනයනකරුවො ඩොලර් ලන්කාවට නොගෙනත් පිටරට අකෞන්ට් වල තියාගෙන හිටිය. ඔවුන්ට අවශ්‍ය රුපියල් අඩු පොලියට බැන්කුවෙන් ලබාගෙන බිස්නස් එක කරගෙන ගියා ඒක ඔවුන්ට වාසි නිසා. දැන් මේ තත්වය කනපිට හැරුනු නිසා පිටරට අකෞන්ට් වල ඩොලර් ලන්කාව්ට එන්න ගන්නව. ඒක්ව්න් ඩොලරයේ යම් අඩුවීමක් වෙයි කියල හිතනව.
    ඉකොනො මේ අදහස ගැන මොකක්ද හිතන්නෙ?

    ReplyDelete
    Replies
    1. තත්ත්වය කණපිට හැරී නැහැ. මහ බැංකුව විසින් එය සැලසුම්සහගත හා ක්‍රමානුකූලව අවශ්‍ය පරිදි වෙනස් කෙරෙමින් පවතිනවා. විණිමය අනුපාතය මෙන්ම පොලී අනුපාතිකද අවශ්‍ය මට්ටම දක්වා ඉහළ යාමේ ගමන ආරම්භ කළා පමණයි.

      Delete
  21. රජයේ දේපලක් විකුණනවා නම් චීනයට පමණක් විකිණිය යුතුයි.
    මන්ද සිංහල සංස්කෘතියට මෙරට හිමිවිය යුතු විශේෂත්වය පිලිගන්නේ චීනය පමණයි.

    ReplyDelete
  22. ඉකොනොමැට්ටා,

    මේ ලංකාවේ තිබෙන අරගලය 2020 වසරේ ට්‍රම්ප් එලවීමට ඩිමොක්‍රටික් සහ ලිබරල් කණ්ඩායම් සී අයි ඒ සහය සහිතව සැලසුම් කළ ඇමරිකන් ජෝජ් ෆ්ලොයිඩ් සටනේ ශ්‍රී ලංකන් වර්ෂන් එක වුණත් මේක 2011 ඇරෑබ් ස්ප්‍රින් එකේ අභාශයත් යම් තරමකින් කැටිවූ වඩා නිරයුධ වමට බර සටන්ක්, ට්‍රම්ප්ගෝ ප්ලෑන් එකේදී බ්ලැක් ලයිවුස් මැටර් එක බළල් අතක් විදිහට යොදා ගත්තා වගේ මේකෙදි ලංකාවේ පෙරෙටුගාමී සෙට් එකේ සංවිධාන ශක්තිය සහ නිර්මාණශීලීත්වය මෙහි මෙහෙයවන්නන් වන ඇමරි-න්දියන් කණ්ඩායම් හොඳින් යොදාගෙන තියෙනවා, නමුත් බැසිල් සහ සෙන්ද-නාන යටින් ඇමරිකන් ඩිමොක්‍රැටික් ලිබරල් න්‍යායාචාර්යයන් සමග ශක්තිමත් ලෙස ඩීල් දමාගේන ඇති නිසාත් අරගලය ඇතුලේ ආණ්ඩුවේ සෙට් එක විශාලම සෙට් එක නිසාත් කෙමෙන් කෙමෙන් විදුලි කප්පාදුව සහ ගෑස්/ බෙහෙත් හිඟය අඩුවී යාමත් මිනිස්සු කෙමෙන් කෙමෙන් පොළිම් වැනි අසීරු තත්ව වලට හුරුවීමත් බයෝ ගෑස්/ සොලර් පවර් ආදී ඉනොවේටිව් දේවල් නිසාත් මෙයෙ කෙමෙන් කෙමෙන් දියාරු වෙමින් ගියත් ඒ සේරටම වඩා මේ අරගලය දියාරු වීමට ආකර්ෂණීය කැරිස්මැටික් ලීඩර් කෙනෙක් යටතේ නායකත්වයක් නැති වීම ප්‍රධාන හේතුවක්. මේ හේතුව නිසාම විවිධාකාර බන්කොළොත් දේශපාළණික අහර කුක්කන් මෙහි පල නෙලා ගැන්මට කුරුමානම් ඇල්ලීම අරුමයක් නොවේ. එමෙන්ම තරුණ සංහාරයක් සිදු කල ප්‍රේමදාසගේ මන්ද මානසිකයෙක් බඳු වූ සිඟිති මනසක් සහිත ප්‍රේමදාස පුත්‍රයා මේ අරගලයට නායකත්වය දෙන්නට සූදානම් බව ප්‍රකාශ කිරීමෙන් එය සනාථ වන අතරම ඔහුගේ මරිමෝඩකමද ඒ සමගම ප්‍රදර්ශණය කර ඇත​. එසේම ඔහු ජාතික මට්ටමේ විහිළු කරුවෙක් බවද සනාථ කර ඇත​. මේ අරගලය මෙසේ දිග්ගැස්සීමෙන් ජන ප්‍රසාදය අහිමිව කුණු බක්කියට විසි වූ ත්‍රාඩ පක්ෂ හොර පවුලේත් උන්ගේ අතවැසියනුත් වන අපත දේශපාළකයින් අළු ගසා දමා තව කෙටි කලකින් ජන මනස වෙනස් වීමත් සමග සිංහ හම් පොරවාගෙන නැවත කරළියට එනු ඇත​. ඒ නිසා ඔවුන් හඳුනා ගැන්මද අරගල කරුවන්ගේ ඉතාම වැදගත්ම කාර්‍යය වෙයි. ඒ නිසා ප්‍රමුඛතාවය දිය යුතු කරුණු ඉදිරියට ගැන්මද අතීශය වැදගත්. මේ සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක කියලා තිබුනු අදහසක් මේ අරගලයට වටිනවා. එනම් ආණ්ඩුව සහ අරගලකරුවන් අතර සාකච්ජාවට මැදිහත්කරුවන් ලෙස

    1. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMC)
    2. ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL)
    3. ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය

    යන ස්වාධීන ආයතන වලින් වෘත්තීකයන් කණ්ඩායමක් පත්කරගැනීමයි. නැත්නම් අරගලය කප්පිත්තෙක් නැති නැවක් වෙනවා. ඇමරිකන් ලිබරල් ඩිමොක්‍රටික් සම්පත් දායකයින්, ඉන්දීය සහ ලාංකීය ලිබරල් සෙට් එක ඇතුළු න්‍යායාචාර්ය මෙහෙයුම්කරුවන් මොනවා කිව්වත් මේක මාස ගනන් අල්ලං ඉන්න පුලුවන් කෙලියක් නෙමෙයි නේ,මේ නිසා අප ප්‍රායෝගික විය යුතුයි, ඔබෙගේ මෙය සබැඳි ඇමරිකන් ඩිමොක්‍රටික් ලොක්කන්ට ලංකාවේ ප්‍රායෝගික දේශපාලන තත්වයන් ගැන තොරතුරු අපේ අත්දැකීම් ආදිය බෙදා හදාගැනීමට ඔබගේ ඊ මේල් ලිපින/ කන්ටැක්ට්ස් මෙහි සටහන් කරන්න, අපි මේ ගැන සාකච්ඡා කරමු !

    ReplyDelete
    Replies
    1. ඕනෑම අයෙකුට අප සමඟ සම්බන්ධ වීම සඳහා ඊමේල් ලිපිනය වියුණුවේ වම්පස උඩ කෙළවරේ තිබෙනවා.

      Delete
  23. පට්ට පට පට මාමේ! මෙන්න ලියවිලි <3

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: