වෙබ් ලිපිනය:

Sunday, April 10, 2022

මුදල් මණ්ඩලය ඉවත් විය යුතුද?


මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම් තනතුරු වෙනස් වීමෙන් පසුව සිදු වූ දේවල් හරහා අඩු වශයෙන් පසුගිය දෙවසරක කාලය තුළ මහ බැංකුව විසින් ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිවැරදි නොවූ බව පැහැදිලි වී තිබෙනවා. ඒ සමඟම කලින් සිටි මුදල් මණ්ඩලයම ඉවත් විය යුතු බවටද හඬක් නැගෙමින් තිබෙනවා. මෙයට ප්‍රතිචාර ලෙස අලුතෙන් පත් වූ අධිපතිවරයා විසින් ඉතිරිව සිටින මුදල් මණ්ඩල සාමාජිකයින් දෙදෙනා පිලිබඳව පහත නිවේදනය නිකුත් කර තිබෙනවා.

"මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟ වීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස මම ඉමහත් සතුටට පත්වෙමි. ඔවුන් පෙරදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සෑම විටම ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂා කරගනිමින්, කාර්යක්ෂමව ක්‍රියා කර ඇති අතර, මහ බැංකුවේ සියලුම කටයුතු සඳහා ඉතා ධනාත්මකව දායක වී ඇත. ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ පූර්ණ විශ්වාසයක් මා සතුව පවතින බැවින්, ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය සහ අගනා මඟපෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත්, අධිපතිවරයා ලෙස මටත් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි."

නීතිමය වශයෙන් සැලකුවොත් මහ බැංකුව කියා කියන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයයි. නියෝජ්‍ය අධිපති දක්වා මහ බැංකුවේ නිලධාරීන් කවර ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග යෝජනා කළත් අවසාන වශයෙන් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගන්නේ මුදල් මණ්ඩලයයි. ඒ නිසා මහ බැංකුව විසින් ගන්නා ඕනෑම තීරණයක වගකීමෙන් නියෝජ්‍ය අධිපති දක්වා වන එහි නිලධාරීන්ට පහසුවෙන් නිදහස් විය හැකියි. එහෙත්, මුදල් මණ්ඩලයට එසේ වගකීමෙන් නිදහස් වීමේ හැකියාවක් නැහැ. 

මුදල් මණ්ඩලයට වැරදීමට හැකි බව මේ වන විට ඉතාම පැහැදිලි කරුණක්. එසේ වැරදුනු විට එහි වන්දිය මුළු රටටම ගෙවන්න සිදු වෙනවා. පසුව තනතුරෙන් ඉවත් වුනා කියා ඒ හානිය ආපසු හැරවෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුවේ මුදල් මණ්ඩලයට වඩා පාරදෘශ්‍ය ලෙස කටයුතු කරන සේ බල කිරීමට ජනතාවට අයිතියක් තිබෙනවා.

අලුත් මහ බැංකු අධිපතිගේ හා භාණ්ඩාගාර ලේකම්ගේ මාධ්‍ය සාකච්ඡාවේදී පැහැදිලි ලෙස එළිදරවු කර ඇති පරිදි මහ බැංකුවේ නිලධාරීන් විසින් දැන් සිදු වී තිබෙන විනාශය කලින්ම දැක තිබෙනවා. ඒ වගේම නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග යෝජනා කර තිබෙනවා. එම ප්‍රකාශ නිවැරදිනම්, නිලධාරී මට්ටමේ යෝජනා හා පුරෝකථන නොසලකා හරිමින් වැරදි තීන්දු ගෙන තිබෙන්නේ මුදල් මණ්ඩලයයි. ඒ සඳහා මුදල් මණ්ඩලයට බලයක් තිබෙනවා. ඒ වගේම ඒ විදිහට ඔවුන් තීන්දු ගත්තේ ඇයි කියා දැන ගන්න ජනතාවටත් අයිතියක් තිබෙනවා.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අවසාන වශයෙන් ගත් තීන්දු නිවැරදි තීන්දු නොවේනම් සහ ඇතැම් මුදල් මණ්ඩල සාමාජිකයින් විසින් "ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂා කරගනිමින්, කාර්යක්ෂමව ක්‍රියා කර" ඇත්නම් එයින් අදහස් වන්නේ මුදල් මණ්ඩලය විසින් ගත් තීන්දු ඒකමතික තීන්දු නොවූ බවද? මුදල් මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුගේ විරුද්ධත්වය තිබියදී, ඉතිරි සාමාජිකයින් තිදෙනා විසින් බහුතර ඡන්දයෙන් තීන්දු ගත් බවද?

මම හිතන්නේ ජනතාවට මෙය පැහැදිලි කර ගැනීමට අයිතියක් තිබෙනවා. ඒ වගේම, ඉදිරි කාලයේදී මෙවැනි වැරදි හෝ අත්වැරදී සිදු නොවන බවට වග බලා ගැනීමේ අවශ්‍යතාවයක්ද ජනතාවට තිබෙනවා.

මෙය කළ හැක්කේ කොහොමද? විසඳුම ඉතා සරලයි. කළ යුත්තේ අනාගත හා පසුගිය කාලයේ පැවති මුදල් මණ්ඩල රැස්වීම් වල වාර්තා ප්‍රසිද්ධ කරන සේ බල කිරීමයි. මෙය අමුතු හෝ විශේෂ දෙයක් නෙමෙයි. පහත තිබෙන්නේ ඇමරිකාවේ "මුදල් මණ්ඩල (FOMC)" රැස්වීමක වාර්තාවක්. 

https://www.federalreserve.gov/monetarypolicy/files/fomcminutes20190918.pdf?msclkid=8ddb2f24b8f211eca499644c82246e7f

සෑම රැස්වීමකින් පසුවම මේ වාර්තා ප්‍රසිද්ධ කරනවා. එහිදී එක් එක් සාමාජිකයා අදාළ යෝජනාවට පක්ෂ වූයේද විරුද්ධ වූයේද යන්න පැහැදිලිව ජනතාවට දැනගත හැකියි. ඒ වගේම නිලධාරී මට්ටමේ යෝජනා හා පුරෝකථන මොනවාද කියන එකත්, එක් එක් "මුදල් මණ්ඩල" සාමාජිකයා විසින් ආර්ථිකය සම්බන්ධව වෙන වෙනම කරන පුරෝකථන මොනවාද කියන එකත් පැහැදිලිව දැනගත හැකියි. ඉහත රැස්වීමේදී අදාළ ප්‍රතිපත්ති තීරණයට පක්ෂ වී තිබෙන්නේ සාමාජිකයින් හත් දෙනෙකු පමණයි. තිදෙනෙකු විරුද්ධ වී තිබෙනවා.

රටටම බලපාන මුදල් ප්‍රතිපත්ති තීරණ ගත යුත්තේ සිග්නල් කණු විසින් නෙමෙයි. මුදල් මණ්ඩලයේ සිටින එක් එක් සාමාජිකයාට රටේ ආර්ථික වර්ධනය, උද්ධමනය, විණිමය අනුපාතය ආදිය සම්බන්ධව ආර්ථික විද්‍යා මූලධර්ම මත පදනම් වූ තමන්ගේම පුරෝකථන තිබිය යුතුයි. විශේෂයෙන්ම නිලධාරී මට්ටමේ යෝජනා වලට ඔවුන් එකඟ නොවන්නේනම්. ඒ වගේම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල බලපෑම ගැන පැහැදිලි අදහසක් තිබිය යුතුයි. නීතිය කුමක් වුවත් එවැනි ප්‍රවීණතාවයක් නැති හෝ එවැනි කැපවීමක් කළ නොහැකි අයෙකු මුදල් මණ්ඩල සාමාජිකත්වය සඳහා සුදුස්සෙක් නෙමෙයි. 

පෞද්ගලිකව මා කිසිදු තනතුරක් සඳහා පුද්ගලයෙකුගේ යෝග්‍යතාවය හෝ අයෝග්‍යතාවය ගැන කතා කරන්න එතරම් කැමති නැහැ. මා හැමවිටම විවේචන කරන්නේ හෝ අගය කරන්නේ කවුරු හෝ විසින් ගන්නා තීරණයි. පවතින ක්‍රමවේදයයි. මුදල් නීති පණත අනුව මුදල් මණ්ඩල සාමාජිකයෙකුව පත් කිරීමෙන් පසුව වසර හයක් යන තුරු ඔවුන්ව ඉවත් කළ නොහැකියි. 2015දී අධිපති කබ්රාල් හා තවත් ඇතැම් මුදල් මණ්ඩල සාමාජිකයින් ධුර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස්වීමෙන් ලබා දුන්නේ ඉතා වැරදි පූර්වාදර්ශයක්. එහිදී තමන් දේශපාලන පත්වීම් ලැබූවන් මිස ස්වාධීන වෘත්තිකයින් නොවන බව ඔවුන් කෙළින්ම පෙන්නුවා. ඉන් පසු මෙය දිගටම සිදු වුනා. 

මුදල් මණ්ඩල සාමාජිකයෙකු තමන්ගේ ධුර කාලය අවසන් වීමට පෙර, සෞඛ්‍ය හේතු වැනි පිළිගත හැකි හේතුවක් නැතිව, ඉල්ලා අස්වන්නේනම් එයින් රටට පෙන්වන්නේ තමන් මෙම තනතුර සඳහා නුසුදුස්සෙකු වූ බව හා ස්වාධීන වෘත්තිකයෙකු නොවූ බවයි. එවැන්නන් මෙවැනි තනතුරක් භාර නොගත යුතුයි. එහෙත්, තනතුර භාර ගන්නේනම් ඉතා පාරදෘශ්‍ය ලෙස තමන්ගේ ස්වාධීනත්වය රටට පෙන්වීමට සූදානම් විය යුතුයි.

මහ බැංකුව හරි පාරට වැටී තිබුණත් රටේ ඉදිරිය තවමත් හොඳ එකක් නෙමෙයි. හරි පාරේ දිගටම ගියොත් අවසාන වශයෙන් ආර්ථිකය ස්ථාවර කර ගත හැකි වනු ඇතත්, එය අවදානම් ගමනක්. ඒ වගේම ඊට පෙර තත්ත්වය තවත් දරුණු වන බවත් ඉතාම පැහැදිලියි. මේ වගේ වාතාවරණයක් තුළ රටටම බලපාන තීන්දු ගන්නා අය හැකි තාක් පාරදෘශ්‍ය ලෙස එම තීන්දු ගත යුතුයි. වැරදුනාට පස්සේ ජනතාව ඉදිරියේ නාහෙන් අඬලා වැඩක් නැහැ.

11 comments:

  1. මුදල් මණ්ඩලය කියන්නේ විදුලි බල මණ්ඩලේ වගේ එකක්ද?

    මුදල් මණ්ඩලේ රස්සාවක් හදා ගන්න බැරි වෙයිද?

    ReplyDelete
  2. මම හිතන්නේ මුදල් මණ්ඩලයේ සිටින සාමාජිකයින් ගණන තව ටිකක් වැඩි කර සාමාජිකයන් හත් දෙනෙක් වත් පත්කර එම අයට ජූරි සභාවක් වගේ යම් යම් තීන්දු තීරණ ගැනීම සඳහා සරල බහුතර බලය මත තීරණ ගත යුතුව ඇති බව.

    මේ වගේ ම මේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය ජනපති අතින් තනිව පත් කිරීම වෙනුවට ලංකාවේ ව්‍යවස්ථාව අනුව මුදල් බලය ඇති පාර්ලිමේන්තුව විසින් රටේ ආර්ථිකය පිළිබඳ ප්‍රධානම තීන්දු තීරණ ගැනීම කරන මුදල් මණ්ඩලය පත් කිරීමේ අයිතිය ලබා ගත යුතු බව.

    ලංකාවේ ජනපති සහ කැබිනට් මණ්ඩලයේ මුදල් සහ ආර්ථිකය පිළිබඳ ඇති බලතල අඩු කර හැකි තරම් ස්වාධීන ආයතන බලවත් කර පාර්ලිමේන්තුවට වග කියන සහ අධිකරණයේ පාලනයට යටත් කරන්න වෙනවා. නමුත් එතකොට රටේ සංවර්ධනය නම් අඩාල වීම අනිවාර්ය අංගයක් වෙනවා ලේසියෙන් වැඩක් කරන්න බැරුව හැම දෙයක්ම ඇදි ඇදි ගිහින් මුල් ගල් පැලවෙන එක වගේ දේවල් දකින්න පුළුවන්. මොකද ලංකාවේ රජයේ ආයතන, අධිකරණ ක්ෂේත්‍රය, පරිපාලන ක්ෂේත්‍ර වල දකින්න ලැබෙන දැඩි අකාර්යක්ෂමතාවය සමස්ත රජයටම උරුම වේවි. ඇත්තෙන්ම දේශපාලකයන්ගේ දූෂිත භාවය නිසා රටේ වැඩ කටයුතුවලට කාර්යක්ෂමතාවයක් ලැබී තියෙනවා. හොරකම් කරන්න හරි ඒ මිනිස්සු වැඩ කරනවා. ඉක්මනට තීන්දු තීරණ අරන් නිලධාරීන්ට බැන වැදී කෑ ගහලා වැඩ කරන නිසා මෙහෙම හරි කෙරෙනවා නැත් නම් ඔහේ පිස්සු කියවමින් අහවල් ව්‍යවස්ථාවේ අහවල් වගන්තිය යටතේ මේක මෙහෙමයි හරමයි කිය කියා කාලේ කනවා විතරයි.

    නමුත් දැන් මේ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ඉතා මැනවින් සහ තදින් කියන මේ කාරණා ගැන ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕන මම හිතන්නේ;

    https://youtu.be/fXoQSze4NJ8

    ReplyDelete
  3. ඇත්තටම ඉකොනොමැට්ටා මං මේ ගත කරන්නේ මගේ වෘත්තීය ජිවිතයේ දුක්බරම කාලයක්. ආර්ථික අර්බුදය ගැන මහ බැංකුවේ හිටපු අධිපති තුමා, හිටපු මුදල් ඇමති, මුදල් මණ්ඩලයේ කට්ටිය හැමෝටම මෙච්චර කියල මේක වළක්වා ගන්න බැරි වුණු එක ගැන මට වගේම අපි වගේ වයස විසි තිස් ගණන් වල තරුණ වෘත්තීයවේදීන් බොහෝ දෙනෙක්ට තියෙනේ ලොකු කණගාටුවක්.

    මූලික උපාධිය තාක්ෂණ අංශයේත් පස්සේ ආර්ථික විද්‍යාවෙනුත් දෙඅංශයෙන්ම අධ්‍යාපනය හදාරපු කෙනෙක් විදියට මගේ දැනුම අනුව මම එවකට හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් රාජ්ය ඇමති නිවාඩ් කබ්රාල්, හිටපු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු විශාල පිරිසක් ඉදිරියේ මේ 2020 ඔක්තෝබර් මාසේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන කරපු ප්‍රසන්ටේෂන් එකේ කෙටි පටුනක් මෙතන දාන්නම්. හැබැයි මේ කතාව කියපු එකම කෙනා මං විතරක් නෙවෙයි.

    මුලින්ම අපි මහ බැංකුව විදියට Rating Agency එක්ක ගේම ඉල්ලලා වැඩක් නෑ කියල කිව්වා.

    මහාචාර්ය ලක්ෂ්මන් යෝජනා කරන මේන්ස්ට්රීම් එකෙන් පිට තියෙන විකල්ප අදහසක් වන එම් එම් ටී න්‍යායේ විදියට සල්ලි අනවශ්‍ය විදියට අච්චු ගැහුවම මොකද වෙන්නේ කියල කිව්වා.

    එහි ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස දුප්පත් මිනිස්සු දුක් විදිනවා කියල කිව්වා

    මේවායේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වී ලංකාව අවුරුදු 10 කින් පස්සට යනවා කියල කිව්වා.

    ඒ වගේම තමයි ඒ කාලේ MCC එක ගැන විවරණ දීපු බොහෝ අයට ඒවගේ 6 ගුණයක් මාස කිහිපයක් ඇතුලතදි වෙන රටවලින් වැඩි පොළියට කොන්දේසි ගැන කොමාවකවත් මොනවද තියෙනේ කියල දන්නේවත් නතුව ස්වැප් (Swap කෙටි කාලීන ණය) කරද්දි ඒ ගැන එක වචනයක් කියා ගන්න තරම් ධෛර්යක් සහ ආත්ම ශක්තියක් තිබ්බ නැති එක ගැනත් ලොකු දුකක් තියනවා.

    ඒ වගේම තමයි මෙච්චර ප්‍රමාද වෙලා ණය ප්‍රතිව්‍යූහගත කරන්න ගිහිල්ලා debt negotiations වලදි අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන එක ලේසි වෙන්නේ නෑ. මේක නැවත හදන්න ගන්න වෙන ක්‍රියාමාර්ග වලින් ආර්ථිකයට සහ මිනිස්සුන්ට වෙන අමාරුව සෑහෙන බරපතලයි. අපේ රටයි ආර්ථිකයයි අපිට නවත මුල ඉඳන් හදන්න වෙනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ "building from scratch' කියල

    නමුත් වයසින් අත්දැකීම් වලින් ගොඩක් අඩු නිසා අළුයම ඉවත දමන කෙළ පිඬු වගේ එදා ඉවත දාපු පුංචි අපේ අදහස් වලට ටිකක් හරි ඇහුම්කන් දුන්නනං මේ තත්වය රට උදා වෙන්නේ නෑ.

    එහෙම නම් අද ජනතාවට උද්ගෝෂණ කරන්න පාරට බහින්න වෙන්න නෑ. මේ දවස් වල ලංකාවේ කරනවා වගේ මිනිස්සුන්ට පාරට එන්න වෙන්නේ නෑ. පෝලිම් වල දුක් විදින්න වෙන්නේ නෑ.

    මොනවා කරන්නද ලෝකයේ ස්වභාවය එහෙම තමයි කියල අටලෝ දහම මතක් කරගෙන අපි හිත හදා ගමු. මම තවත් මේ ගැන කතා කරන්නේ නැහැ.

    ReplyDelete
  4. මුදල් මණ්ඩලේට හමුදාව දාලා මොකුත් ගේමක් ගහන්න බැරි වෙයිද මේ අර්බුදෙට විසදුම් විදියට ජනාපතිතුමාට?

    ReplyDelete
  5. අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සම්බන්ධ සිය කාර්ය මණ්ඩල වාර්තාව (Staff Report) නිකුත් කර ඇත.. එය කියවා අවසන් වෙනකොට ඉඳිකට්ටක් වත් දේශීයව නිපදවා ගැනීමට උනන්දු නොවූ, ණය සහ එහි ප්‍රතිවිපාක ගැන අංශු මාත්‍රයක අවබෝධයක් නැති, වසර 74 ක් දේශපාලකයාම සිය ගැලවුම්කාරයාද වනු ඇති බවට සිතා සිටි මෝඩ සහ උද්දච්ච ජාතියක ඉරණම මේ වන විට තීරණය වී හමාරය..

    තවමත් මුග්ධ ලාංකික සමාජයට රට ගමන් කරමින් සිටින දිශානතිය පිලිබඳ සහ එහි අවසන් ප්‍රතිඵලය පිලිබඳ කිසිදු ආකාරයක අවබෝධයක් නොමැති බවක් පෙනී යයි.. මේ දවස් වල අලුත් අවුරුද්ද කියා පවසමින් තවමත් විශාල වශයෙන් ඇඳුම් කඩවල පොරකන මුග්ධ මිනිසුන් මම දකිමි.. තවමත් කොටස් වෙළඳපළ සේරිවාණිජලාටත්, විවිධාකාර පිරමිඩ බිස්නස්කරුවන්ටත් අසු වී සිට්න මිනිසුන් මම දකිමි.. මේ ලිපිය ලියන්නේ මේ IMF වාර්තාව සහ සම්පූර්ණයෙන්ම බංකොලොත් වී විනාශ වූ රටක පුරවැසියෙක් සතු සමාජය පිලිබඳ ඇති කියවීම එකතු කර ඔබට තේරෙන භාෂාවෙන් වෙන්න යන දේ ඔබට පැහැදිලි කර දීමටයි.. මෙය ඔබද කියවා, ඔබ දන්නා අඳුරන අනිත් අයටද පැහැදිලි කර දෙනු ඇති බව මම විශ්වාස කරමි..

    මේ 2022 අප්‍රේල් මස අගභාගයේදී පටන් අරන් මැයි මාසය පමණ වනවිට ලංකාවේ මධ්‍යම පන්තියට හික් ගෑවෙනු ඇති.. මෙහිදී මධ්‍යම පන්තිය ලෙස මා අදහස් කලේ රජයේ වෛද්‍යවරුන්, රාජ්‍ය සේවකයන් සාමාන්‍ය මට්ටමේ ව්‍යාපාරිකයන්, රජයේ සහ පුද්ගලික අංශයේ වෘත්තිකයන්, පුද්ගලික අංශයේ විවිධ රැකියාවල නිර්ත වන්නන් සහ විවිධ ස්වයං රැකියා වල නිරිත වන ජනතාවය.. මේ වනවිටත් ඉන්ධන, ගෑස්, කිරිපිටි, සීනි, පරිප්පු ආදී ආනයන කරන බඩු මිල ඩොලරයට සාපේක්ෂව ක්‍රමිකව විශාල වශයෙන් දෛනිකව ඉහල යෑම සිදු වන අතර මිල සූත්‍රයකින් පාලනය නොවන (දැඩි ලෙස පිස්සු නැටූ දූෂිත ආණ්ඩුවක සිටිය දූෂිත දේශපාලකයකු වූ මංගල සමරවීර IMF උපදෙස් මත පදනම්ව ඉන්ධන මිල සූත්‍රයක් ගෙනාවේය.. ඒවාට රෙදි කරේ තියාගෙන හිනා වුනේ එබඳුම දූෂිත වීරවංසලා, ගම්මන්පිලලාය.. ඒවා අනුමත කර ඔවුන්ට කතිරය ගැසුවේ ලංකාවේ හිටපු ඔබලාය.. ඒ පව් ඔබලා තෙල් පෝලිම් වල සිට මේ වෙද්දි ගෙවනු ලැබේ.. හැමදෙයක්ම හේතුවක් සහ ඵලයකි.. ) ඉන්ධන මිල ඔබට දරා ගැනීමට නොහැකි මට්ටමකට ඉහල යනු ඇත.. විදුලි ඒකයක නිපැයුම් පිරිවැය වියදම් පියවා ගැනීමේ මට්ටමට විදුලි බිල් විශාල වශයෙන් ඉහලට දමන ලෙස දැනටමත් IMF එක යෝජනා කර ඇති බැවින් කණකර උකස් කොට විදුලි බිල ගෙවීමට සිදුවිය හැකිය (Cost Recovery based Energy pricing is needed to mitigate fiscal risks from state own Enterprises) .. එම නිසා ඉක්මනින් සූර්ය බල පද්ධතියකට මාරු වීම ඉතාම යෝග්‍ය වන අතර විදුලිය මිල වැඩිවීම නිසා ජල බිල්පතද වැඩි වනු ඇත.. ඔබේ නිවසේ පැරණි ලිඳ දැන්ම පිරිසිඳු කරවාගන්න..

    මේ වන විට ලංකාවේ අපේ නිවසේ වාහන 3ක් භාවිතයට ගනු ලැබේ.. මෙම වාහන 3ම අපි දිනපතා ප්‍රයෝජනයට ගන්නා නිසා ඒවයින් අපිට ප්‍රතිලාභ ඇත.. නමුත් දිනපතා භාවිතයට නොගන්නා නමුත් විශාල ෆිනෑන්ස් ගෙවමින් හෝ කර්මාන්තයකට යෙදවීමට හෝ නැත්නම් තමන්ගේ තත්වය පෙන්වීම උදෙසා මිලදී ගත් බොහෝ වාහන මේ මොහොතෙත් නිවෙස් වල නිකරුණේ නවත්වා ඇත.. අඟහිඟකම් වැඩි වෙද්දි මුලින්ම විකිණෙන්නේ වාහන නිසා ඉදිරියේදී මෙම වාහන වෙලඳපොලට පැමිණීමට ඉඩ ඇත.. මේ බොහෝ වාහන ඉන්ධන කාර්යක්ෂම තාවයෙන් තොර නිසා ඉතා අඩු මුදලට අලෙවි කිරීමට අයිති කරුවන්ට සිදු වන අතර එම වියදම හා විකිණීමෙන් ලැබෙන වෙනස අතර ඇති අලාභය දරාගැනීමට අයිතිකරුවන්ට සිදුවේ.. එම වාහන මිලදී ගැනීම නිසා දැරීමට සිදු වන ඉන්ධන වියදම මෙන්ම පාලනයකින් තොරවූ අමතර කොටස් මිල ඉහල යාම නිසා ගැණුම්කරුවන්ට එමගින් අපේක්ෂිත වටිනාකම නොලැබී යාමට හේතුවක් වනු ඇති..

    ඒ වගේම තමයි IMF මගින් රජයට සහ වගකිව යුත්තන්ට දිගින් දිගටම මේ ක්‍රමවේදය පිලිබඳ අනතුරු ඇඟවූවත් ඔවු එය සැලකිල්ලට නොගත් බව (The authorities acknowledged the magnitude of the challanges caused by pandemic and considered the outlook presented by staff as overly pessimistic) සහ ඔවුන් ණය අර්බුදය දුටුවේ තාවකාලික ගැටලුවක් ලෙස පමණක් බවත් (The authorities viewed the BoP and debt challanges as temporary problem) සිය කාර්ය මණ්ඩල වාර්තාවෙන් දන්වා සිටී.. මේ උද්දච්ච සිතුවිලි නිසා ලංකාවේ මිලියන එක හමාරකට අධීක බොහෝ රාජ්‍ය සේවකයන්ට සිය වැටුප් අවප්‍රමාණ වීම, අතිකාල සේවා අහිමි වීම, දීමනා අහිමි වීම, නව රජයේ රැකියා අවස්ථා නොලැබී යාම, උසස් වීම් අවලංගු වීම වැනි කරදර වලට මුහුණ පෑමට සිදු විය හැකිය.. EPF/ETF ගෙවීම් කොහොමත් පාර්ලිමේන්තු පනත් කෙටුම්පතකින් ඉතාම ලඟ දිනයකදී ඔබෙන් උදුරා ගන්නා නිසා ඔබට විශ්‍රාම දිවිය සුවසේ ගෙවීමට නොහැකි වනු ඇත.. උද්දච්ච රාජ්‍යයකට සහ එහි පාලකයන්ට අනුමැතිය පල කිරීම වෙනුවෙන් 2019 තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ සිට ඔබ ගෙවිය යුතු මිල එසේ නියම වී තිබේ..

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ලංකාවේ සිටින සියලුම දරුවන්ට ඉගැන්වීම දෙමව්පියන්ට සිහිනයක් පමණක්ම වනු ඇති.. ඔවුන්ගේ අනාගතය දැනටම අවිනිශ්චිත කඩතුරාවකින් වැසී ඇති බව ලංකාවේ සිටින දෙමව්පියන් වන ඔබට මේ වනවිට දැනී තිබිය යුතුය.. ආහාර වර්ග මිල ඉහල යාම, ළදරු ආහාර සහ බෙහෙත් වර්ග අධික ලෙස මිල ඉහල යාම සහ ඒවා වෙලඳපොලෙන් අතුරුදන් වීම, දරුවන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සැපිරීමට නොහැකි ලෙස ප්‍රෝටීන් බහුල ආහාර වන පරිප්පු, බිත්තර, කිරි, මස් මාලු මිල ඉහල යාම ඔබේ සිඟිත්තා සහ කුඩා දරුවා උන් නොකල වරදකට පෝෂණ ඌණතාවයෙන් පෙලීමට ලක් කිරීමක් බව ඔබ තේරුම් ගත යුතුය.. ඔබ සමග පිලිසඳරක් කිරීමට කොන්ද පණ ඇති එකෙක් මේ රජයේ වත් ඊලඟට එන්න බලන් ඉන්න රජයකටවත් නැති බව ඔබ වටහා ගත යුතුය.. ඔබව සහ ඔබේ දරුවන්ව ඉතාම නීච අන්දමින් රවටා තිබේ..

      ඒ වගේම තමයි ආරක්ෂක අංශ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් වල ඇත්තන්ට ඉදිරියේදී අපහසු කාලයක් ගෙවීමට සිදු වනු ඇති.. ඒ පිලිබඳව වැඩිදුර විසින් මෙහිදී සාකච්ඡා නොකර සිටිමු.

      ඒ වගේම ඔබ හිතන ආකාරයට පහසුවෙන් විදේශ ගත වීමට ඔබට නොහැකි වනු ඇත.. බංකොලොත් රාජ්‍යයක පුරවැසියන් ලොව පුරා ඇති ධනවත් තබා දුප්පත් රටකටවත් බැරිවෙලාවත් වැද්ද ගැනීම ඉතාම අනාරක්ෂිත තීරණයක් වන අතර දැනටමත් නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය සිය සංක්‍රමණ නීති ශ්‍රී ලාංකිකයන් උදෙසා දැඩි වෙනස් කිරීමට ආරම්භ කර ඇති අතර ලාංකීය සිසුන්ට වීසා දීම නවතා දමා හෝ දැඩිව සීමා කරලා තියෙන්නේ. බොහෝ රටවල් එය අනුගමනය කරනු ඇති.. මගේ ඉතාම වෘත්තීය නිපුණ මිතුරන් පවා මෑතක සිට ඔවුන්ගේ රැකියා අයදුම්පත් බොහෝ රටවල් වලින් ප්‍රතික්ෂේප වූ බව මට කියා ඇත.. අනික ඔබ විදේශ ගත වුනත් ඔබේ මව, පියා, සහෝදර සහෝදරියන් මේ කරන්ට් නැති, බෙහෙත් නැති රටේ තනිකර දමා යාම බොහෝ දෙනෙකුට ඇති හදවත සම්බන්ධ ප්‍රශ්නයකි.. හැම මිනිහෙකුටම හදවත ලංකාවේ තබා ඔක්කොටම කලින් මම පැනගන්නවා ෆුල් මාවලස් රටකට කියා මෙයින් පිටවී යා නොහැකිය.. යා යුතුත් නැත..

      ඒ නිසා ලංකාවේ ඉන්න ඔබ හැකි අයුරින් කැපකිරීම් කරමින් වියදම් අවම කරගන්න.. කරපු පව් වලට ඔබ දැනටමත් ගෙවන බව මම දනිමි.. අලුත් පව් කරගැනීමෙන් වලකින්න.. මා මෙය ලියන්නේ වෙනත් රටවල් ගෑස් වලින් ආහාර පිසීමත් අවසන් කර වෙනත් වෙනත් ශක්ති ප්‍රභව වලට මාරු වෙද්දි 21 ශත වර්ෂයේදීත් ඉවීමට දර සෙවීමට සිදුවූ මිනිසුන් සිටින රටක දූෂිත නොදියුණු හිඟන රටක් ගැනයි.. ණයට සූට් මසා ඔලු බක්කන් නැටවීමේ අවසන් ප්‍රතිඵලය තම ජීවිත කාලය තුළදී දැකීමට අද ලාංකීය සමාජයට සිදු වී තිබේ..

      ඉතින් තෙරුවන් සරණ තවදුරටත් ඉතිරී වී ඇත්නම් ඔබට තෙරුවන් සරණයි, නැත්නම් අබ සරණයි කියාවත් පතමි...!

      Delete
  6. ඉකොනොමැට්ටා ලංකාවේ අලුත් මුදල් ඇමති පාර්ලිමේන්තුවේ කෙටියෙන් පවසන මේකෙන් ඔහුගේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් වෙයි.

    https://fb.watch/cjtiC2_mRX/

    ඒ වගේම තමයි මේක, මේ වගේ අදහස් දරන කෙනෙක් ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති පසුබිමක ලංකාවේ වැදගත්ම තනතුරක් වන මුදල් ඇමති ධූරය දැරීම ගැන ඔබ හිතන්නේ මොකද?

    https://fb.watch/cjuJXeGN0W/

    ඇත්තම කතාව මේ යක්කු ගිහින් හරියට තේරුම් නොගෙන ඔහේ අත්සන් කරල එකඟ වෙලා ණය ලබා ගන්නා අයිඑම්එෆ් කොන්දේසි නිසාම ලංකාවේ ආර්ථිකය තව තවත් හිර වෙනවා. මේ සමගම රාජ්‍ය වියදම් පියවාගන්න සහ ණය පියවාගන්න නම් රජරට අයි එම් එෆ් එකේ ගැරන්ටි එක යටතේ ආපහු අයි එස් බී වගේ ජ්‍යත්‍යන්තර බැදුම්කර ගන්න වෙනවා. තව අවුරුදු කීපයකින් මේක තව වටයකින් පත්තු වුණාම ආපහු අයිඑම්එෆ් යන්න වෙනවා. ඔහොම කොටි වල්ගයක පැටලුනාට පස්සෙ ඒක නවතින වැඩක් නොවේ. ඒ වගේම මේ අයි එම්එෆ් මානසිකත්වයෙ ඉන්න මහ බැංකු අධිපතිල, ආර්ථික ඔස්තාද්ල නිලධාරීන් කොච්චර පත් කරත් කොච්චර මාරු කරත් ඔය රටාව වෙනස් නොවේ. අන්තිමට ලංකාව කියලා රටක් නැති වෙනවා. බොහෝ දුරට ෆෙඩරල් ලෙස බලය බෙදා දීමක් වෙන්නත් පුළුවන්. පුරවැසියන් කියල ලිබරල් වාම දේශපාලන මතවාදී වහල්ලු ටිකක් (ඇත්තම වහල්ලු, දේශපාලනි පක්ෂවල වහල්ලුම නොවේ) ඉතිරි වෙයි එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් ෆෙඩරල් දෙන තැනට වැඩේ සිද්ද වෙනවනම් කොච්චර දෙයක්ද. ඒක තමයි වෙන්න ඕනෙ එහෙනම්.

      Delete
    2. වීඩියෝව දිගටම බැලුවේ නැහැ. ඔය බිලියන 12.5 කතාවෙන් පේනවා මොහු මේ වෙලාවේ මුදල් ඇමති තනතුර දරන්න නුසුදුස්සෙක් බව. කළේ මොනවාද කියලා පාර්ලිමේන්තුවේ අහන්න දෙයක් නැහැනේ. තමන්ගේ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් ඇහුවනම් ඉවරයිනේ.

      Delete
    3. මම හිතන්නේ අලි සබ්රිගේ ගණිත දැනුම සහ සාමාන්‍ය දැනුම/ මතකය ඒ තරම් හොඳ මදි. පෙබරවාරි මාසයේ ඉරාකයේ පෙට්‍රෝලියම් අපනයන වල වටිනාකම ඩොලර් බිලියන 8.5 ක් ඔය 12.5 කියලා කියන්නේ පෙබරවාරි මාසයේ සමස්ත අපනයන ආදායම වෙන්න පුළුවන් මොකද ඉරාකය ඩොලර් බිලියන තුනක විතර රත්රන් සහ තවත් භාණ්ඩ අපනයන කරන නිසා.

      In February, oil revenues reached an eight-year high of $8.5bn dollars, with daily exports of 3.3 million barrels of oil.

      මේක බලන්න;

      (https://www.aljazeera.com/amp/news/2022/4/2/iraq-oil-exports-11-07-bn-in-march-highest-for-50-years)

      //පාර්ලිමේන්තුවේ අහන්න දෙයක් නැහැනේ. තමන්ගේ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් ඇහුවනම් ඉවරයිනේ.//

      ඉකොනොමැට්ටා ලංකාවේ සහ ලෝකයේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් හා ක්‍රියාත්මක වන ආකාරය ගැන දන්නේ නැහැ වගේ. මිනිහා කතා කරද්දී " තමුන් පහුගිය අවුරුදු එක හමාරේ මේ කේස් එක වෙනකම් පොල් ගෑවද?" කියලා හර්ෂ ද සිල්වා ඇතුළු විශාල පිරිසක් බාධා කරද්දී මිනිහා ඔය අනෙක් කණ්ඩායමෙන් ප්‍රශ්න කරන්නේ මොනවාද ඔබලා ගත් අයි එස් බී ඩොලර් බිලියන 12 න් කළේ කියලා. ඒක වරදක් නෙවෙයි මොකද ඒක අහන්න ඔහුට අයිතියක් තියෙනවා. මේ ගැන වෙනම කතා කරන්න ඕන මොකද ලිඛිත දේවල් වන ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු වරප්‍රසාද, බලතල, පණත්/ කෙටුම්පත් වැනි දේ වගේම පාර්ලිමේන්තුව අනුගමනය කරන සම්ප්‍රදායන් රාශියක් ඇතත් ඒවා මේ වන තෙක් කොතැනක හෝ සටහන්ව නැහැ. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවේ සෙංකෝලය නැතහොත් වේත්‍රය සම්බන්ධයෙන් අදටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර නියෝග හෝ වෙනත් කිසිදු තැනක ලියැවී නැහැ. සෙංකෝලයෙන් විදහාපාන්නේ පාර්ලිමේන්තුවේ බලාධිකාරයයි. සභා වාරයක් ආරම්භයේදී සෙංකෝලය පාර්ලිමේන්තුවට රැගෙන එන අතර එය ගෙන එන විට ද මන්ත්‍රීවරු නැඟිට ගෞරවය දක්වති. පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරන්නේ සෙංකෝලය තැන්පත් කළ පසුවයි. එය නැතිව පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යෑමේ හැකියාවක් නැහැ. මේ සියලු දේ සිදු වූයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආභාසය යටතේ සම්ප්‍රදායානුකූලව. පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් වන ලංකාවේ ද අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍ය නැත්නම් වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදායයි (මොඩල් එකයි). පාර්ලිමේන්තුව යනු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ නියෝජිතයන්ගෙන් සමන්විත මහජනතාවට බලය ඇති ස්ථානයකි. එහි ප්‍රධානියා අගමැති වෙනවා. ශ්‍රී ලංකාවේ 1978 තෙක් පැවැතියේ බ්‍රිතාන්‍යයට හා සමාන ක්‍රමයකි. 1978 දී එය දෙමුහුම් ක්‍රමයක් වශයෙන් වෙනසට ලක් විය. 1978 ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන් අතර එතැන් සිට මෙය දෙමුහුම් ක්‍රමයක් ලෙස විකාශනය විය. වෙස්ට් මිනිස්ටර් මොඩලය යටතේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන විට නාමික ප්‍රධානියා (එංගලන්තයේ) රජු තමයි. ලංකාවේ 1972 සිට විධායක නොවු පත්කළ ජනපති.

      ලංකාවේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂයට හෝ විපක්ෂයට ඒ පිළිබඳ ස්තුති යෝජනාවක් ඉදිරිපත් කිරීමටත් විවාදයක් ඉල්ලා සිටීමටත් හැකියාව ඇත. විවාදයක් ඉල්ලා සිටියහොත් එය එදින එම අවස්ථාවේම ලබාදෙන්නේ නැතත් පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන දිනයක එය පැවැත්වේ. විවාදයේදී එම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ විශ්වාසයක් නැතැයි ප්‍රකාශවුවහොත් ඒ ගැන ඡන්දයක් ලබාගැනීමට හැකි අතර එවැනි අවස්ථා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඇත්තේ එකකි. ඒ 1960 දී දින 23 ආණ්ඩුව කාලයේදී, එම රාජාසන කතාව කළ පසු විවාදයක් ඉල්ලා සිටි අතර එහිදී ඡන්දයක් ලබාගෙන රාජාසන කතාව පරාජය කිරීම සමග ආණ්ඩුව විසුරුවා හැර තියෙනවා.

      පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ යම් රීති මාලාවකට අනුව, පාර්ලිමේන්තුවේ එදිනෙදා කටයුතු කිරීමේ දී පාර්ලිමේන්තුවට ස්ථාවර නියෝග පනවා ගත හැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබාදී ඇති අතර ස්ථාවර නියෝග සකස් කර ඇත්තේ ඒ අනුව සභාවේ වැඩ කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාමට සකස් කළ රීති සමූහයක් ලෙස, එනම් පනතක් පෙත්සමක් ඉදිරිපත් කරන්නේ කෙසේද? පාර්ලිමේන්තුවේ කතා කරන්න් කෙසේද? කතා කරන විට සිටිය යුත්තේ කෙසේද? ආදී සියලු දේ දැක්වෙන්නේ ස්ථාවර නියෝග යටතේ. පාර්ලිමේන්තුව විනය පවත්වාගෙන යන්නේ ද ස්ථාවර නියෝග අනුව, 2018 අප්‍රේල් මාසයේ දී අලුත් ස්ථාවර නියෝග මාලාවක් පිළියෙල කර එය සම්මත කරන ලද අතර දැනට බලපැවැත්වෙන්නේ එම නියෝගය. පළමුවරට ස්ථාවර නියෝග පිළියෙල වී ඇත්තේ 1912 දී පමණ. ඉන්පසු වරින් වර සංශෝධනයන්ට ලක්වී 1993 දී කරන ලද සංශෝධනයට පසු අවසන් වරට මේවා සංශෝධනය වූයේ 2018 දී.

      Delete
    4. මේ පොඩි ක්ලිප් එකේ කියන දේ වල් වල ඇත්තක් තියෙනවාද?

      https://fb.watch/cjuJXeGN0W/

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: