වෙබ් ලිපිනය:

Friday, August 21, 2026

ගලන ගඟකි ජීවිතේ...


ශ්‍රී ලාංකික කාන්තාවකගේ අපේක්ෂිත සාමාන්‍ය ආයු කාලය අවුරුදු අසූ එකක්. කෙනෙකු තමන්ගේ අපේක්ෂිත සාමාන්‍ය ආයු කාලය ගත කරලා මිය යනවානම් එය අකල් මරණයක් නෙමෙයි. ඉතාම සාමාන්‍ය මරණයක්. එවැනි මරණයක් ගැන විශේෂයෙන් දුක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් යම් කෙනෙකුගේ මරණය කියන්නේ මරණය දක්වා ගත කළ ජීවිතය ගැන සහ මරණයෙන් පසු ඉතිරි කර ගොස් තිබෙන දේවල් ගැන යම් පසු විපරමක් කිරීම සඳහා හොඳ අවස්ථාවක්. 

ශ්‍රී ලාංකික කාන්තාවක වූ මගේ මව මිය යන විට ඈ ගෙවා තිබුණේ ශ්‍රී ලාංකික කාන්තාවකගේ අපේක්ෂිත සාමාන්‍ය ආයු කාලයට වඩා බොහෝ අඩු කාලයක්. එය අකල් මරණයක්. මෙවැනි අකල් මරණයකින් පසුව ජීවත් වන්නන් තුළ ඉතිරි වන දුක සාමාන්‍ය මරණයක දුකට වඩා ගොඩක් වැඩියි. විශේෂයෙන්ම කුඩා වයසක සිටින දරුවන්ට එවැනි මරණයකින් විශාල බලපෑමක් වෙනවා. සමහර විට මුළු අනාගත ජීවිතයේ දිශානතියම වෙනස් වෙනවා.

සංගීතය ගැන කතා කරන්න තරම් විෂය දැනුමක් මට නැහැ. පසුකාලීනව අපේ නිවසේ තිබුණු වටාපිටාව තුළ සංගීතයට සහ කලාවට ලොකු ඉඩක් වෙන් වෙලා තිබුණේත් නැහැ. ඊට හේතුව මගේ පියාට සංගීතය හෝ පොදුවේ කලාව පිළිබඳව එතරම් රුචියක් නොතිබීම. ඔහු කිසිම දවසක සිංදුවක් අහපු බවක් මට මතක නැහැ. ටෙලිනාට්‍යයක් වුනත් බැලුවා කියලා මම හිතන්නේ නැහැ. චිත්‍රපට, වේදිකා නාට්‍ය හෝ වෙනත් කලා ප්‍රසංග සඳහා ආරාධනා හෝ නොමිලේ ප්‍රවේශපත්‍ර ලැබුණු බොහෝ අවස්ථා වලදී පවා අපිව ඇතුළට දමලා ප්‍රසංගය අවසන් වන වෙලාවට ඇවිත් ගන්න එකයි ඔහු කළේ. 

මගේ පියාට කලාව කෙරෙහි උනන්දුවක් නොතිබුණු නමුත් ඔහුගේ සහෝදර සහෝදරියන් එවැනි අය නෙමෙයි. ඒ අය සංගීතය රස විඳපු අය. මගේ මවගේ පාර්ශ්වයේනම් ගොඩක් අය සංගීතය එක්ක ජීවත් වුනා. ඒ නිසාම, ඉතාම කුඩා කාලයේ, සාමාන්‍ය නැළවිලි ගී වලින් එහාට ගිය නැළවිලි ගී මට අහන්න ලැබුණා. ඒ ගී අතරින්, එක් ගීයක් ඉතාම කුඩා කාලයේ මගේ ප්‍රියතම නැළවිලි ගීයක් වී තිබුණා.

"රුවන් වළා දුහුල් කඩින් පෙරී ස‍ඳේ රිදී කැළුම් 

තුෂාර හාර හා එතී ගලා හැළෙනවා

පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා..

සිනා ගෙනෙනවා..


අනෝතත්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින්

සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා...

සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා..

පවන් සලනවා..


අතු අග මල් කුමාරියන් බිඟුමිණි දැල් සැලෙන හඬින්

නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා..

සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා..

සිතේ අඳිනවා..


රාජ ඉසුරු බරට වටින වාසනාව කිරුළු දරන

මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා..

සීත නළින සිහින ලොවට බිළිඳු වඩිනවා..

බිළිඳු වඩිනවා.."

මේ ගීය බිහි වී තිබුණේ මහගගමසේකර, අමරදේව සහ නන්දා මාලනී කියන පසුකාලීනව මගේ ප්‍රියතම කලාකරුවන් වූ තිදෙනෙකුගේ සුසංයෝගයෙන් කියලා මම ඒ දවස් වල දැනගෙන හිටියේ නැහැ. සිංදුව මුලින්ම ඇහුනේ ඒ වගේ දේවල් ගැන උනන්දුවක් තිබුණු හෝ තේරුම් ගත හැකි වූ වයසකදී නෙමෙයි. ඒ වගේම මට ගොඩක් වෙලාවට සිංදුව ඇහුනේ නන්දා මාලිනියගේ කටහඬිනුත් නෙමෙයි. 

පසුව දැනගත් පරිදි මේ ගීය තිබී ඇත්තේ වෙසතුරු සිරිත චිත්‍රපටයේ. එය ප්‍රදර්ශනය කෙරී තියෙන්නේ මා ඉපදෙන්න දෙවසරකට පමණ කලින්. මා ඉපදෙන කාලය වන විට මේ ගීය ජනප්‍රිය ගීයක්ව තියෙන්න ඇති. මා ඉපදුනු පසුව මගේ මව ඇයගේ කුළුඳුල් දරුවාව නිදි කරවන්න මේ ගීය ගයන්න ඇති. 

රුවන් වලා ගීතය ඉතාම කුඩා කාලයේ මිහිරි මතකයක් විදිහට මගේ මතකය තුළ තවමත් රැඳී තිබෙනවා. දැන් වුනත් මේ ගීතය ඇහෙද්දී මට දැනෙන්නේ තොටිල්ලක නිදන කුඩා බිලිඳෙකුට දැනෙන විදිහේ සැනසිලිදායක හැඟීමක්. 

මුලින්ම මේ ගීතය ඇහුනේ කොයි කාලයේද කියලා මම දන්නේ නැහැ. සමහර විට ඉපදුනු අලුතම වෙන්න ඇති. නමුත් යාන්තම් මතක තියෙන වයසේදී නිදා ගන්න කලින් මේ ගීතය ඉල්ලා සිටි බවනම් හොඳටම මතකයි. ගීතය අහගෙන ඉඳිද්දී දන්නෙම නැතිව නින්ද යනවා. 

අම්මාගේ අකල් මරණයෙන් පස්සේ අප්පච්චීට මුහුණ දෙන්න වුනු බරපතල අභියෝග ගණනාවක් අතරින් එකක් වුනේ රෑට දරුවන් නිදි කරවන එක. දරුවන් නිදි කරවිය හැකි මිහිරි තාලයකින් ගී ගැයීමේ හැකියාවක් ඔහුට කිසිසේත්ම තිබුණේ නැහැ. නමුත් මවගේ බාල සොහොයුරියක් සහ පියාගේ බාල සොහොයුරියක් පුළුවන් වෙලාවට ඒ අඩුව පිරෙවුවා.

රුවන් වලා ගීය ගැයූ අම්මාගේ කටහඬ දැන් මට මතක නැහැ. නමුත් පියාගේ හා මවගේ බාල සොහොයුරියන් විසින් ගැයූ රුවන් වලා ගී වල මතකය තවමත් මා සමඟ රැඳී තිබෙනවා. ඔවුන් ඒ ගීය ගැයූ හැම වෙලාවකම මට දැනුනේ මිය ගිය මව ළඟ ඉන්නවා වගේ හැඟීමක්. දශක ගණනකට පසුව අන්තර්ජාලය හරහා නන්දා මාලිනියගේ හඬින් මේ ගීතය අහද්දී දැන් වුනත් මට ඒ හැඟීමම දැනෙනවා. හිතට දුකක් දැනෙන සමහර අවස්ථා වලදී දැනුත් මම මේ ගීතය අහනවා. 

කුඩා කාලයේදී මව අහිමි වන දරුවෙකුගේ ජීවිතයට එකතු වෙන හිස් බව නැවත කවදාවත් පිරෙන්නේ නැහැ. අම්මා කෙනෙකුට වෙනත් කිසිම ආදේශකයක් නැහැ. මවගේ මරණයෙන් පසුව ශේෂ වී ඇති ඇගේ වෙනත් භෞතික හෝ භෞතික නොවන ස්වරූපයක් නැති බව කොයි තරම් හොඳින් අවබෝධ කරගෙන සිටියත්, ජීවිතයේ අසීරු අවස්ථාවන් වලදී දුක කියන්න ඉතිරි වී සිටින්නේ ඒ මිය ගිය අම්මාම පමණයි. ඇත්තක් නොවන බව කොයි තරම් හොඳින් දැනගෙන හිටියත්, අම්මා ළඟ ඉන්නවා කියන හැඟීම පමණක්ම පවා හිතට විශාල සහනයක් ගෙන දෙනවා. අම්මාවරු කවදාවත් මැරෙන්නේ නැහැ. 

"අම්මාවරුනේ... අම්මාවරුනේ...

සම්මා සම්බුදු අම්මාවරුනේ

දරුවන්ගේ දුක් කඳුළු දකින දා

සුර ලොව සිට අත පා

ඒ කඳුළැලි පිසිනා...


අම්මාවරු නැති දරුවන්නේ

සංකා දුක් කවුදෝ දන්නේ

ඒ දුක දන්නා අම්මාවරුමයි

යම් මතු දිනයක බුදු වන්නේ

සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ... අම්මාවරුනේ...


සෙනෙහස වැඩි දා

සිතද බොළද වේ

ලොවම ආදරේ කියා සිතී

මායාවක්වී එහි තනිවූ දා

අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මාවරුනේ... අම්මාවරුනේ..."

ධර්මසිරි ගමගේ, කේමදාස, නන්දා මාලනී සුසංයෝගයෙන් මේ ගීය හැදෙන කොට මම තොටිල්ලේ නිදන බිලිඳෙක් නෙමෙයි. සැලකිය යුතු ලෝකාවබෝධයක් තිබුණු පාසැල් දරුවෙක්. මතක විදිහට මේ සිංදුව තිබුණු යසඉසුරු චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණේ අසූ දෙකේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කෙරෙන කාලයේ. ඒ කියන්නේ ජූලි කෝලාහල වලට කලින්. විජේවීර හිරෙන් නිදහස් වෙලා නිදහසේ දේශපාලනය කරපු කාලයේ. 

අම්මාවරුනේ ගීතය කියන්නේ මිය ගිය මව පිළිබඳ මතකයත් එක්ක මගේ ආත්මය තුළට කිඳා බැසපු අමතක කළ නොහැකි තවත් ගීතයක්. අම්මා ගැන මතකය එක්ක බැඳී තිබුණු රුවන් වලා ගීතයේ වගේම මේ ගීතයේත් මුල් ගායිකාව වූයේ නන්දා මාලිනියයි. මේ නිසාම හෝ වෙනත් හේතු නිසා ඈ කෙරෙන් වහනය වූයේ මවකගේ සුවඳයි.

රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය ඔඩු දුවන කාලය වන විට නන්දා මාලිනිය මගේ ප්‍රියතම ගායිකාව වී අවසානයි. ඒ තැනට ඉන් පසුව වෙනත් ගායිකාවකට ආදේශ විය හැකි වුයේ නැහැ. කැසට් පටයකට එකතු කරගත් ඇගේ මා වඩාත්ම ප්‍රිය කළ ගී එකතුව කාලයක්ම මා ළඟ තිබුණා. එම ගීත එකතුවෙහි වූ මා කැමතිම ගීත ගණනාවක් අතරින් තවත් එක් ගීතයක් වනුයේ සැදෑ කළුවර ගීතයයි. මඩවල එස් රත්නායක විසින් ලියා ඇති එම ගීතයේ ගායනය මෙන්ම තනුවද නන්දා මාලනීගේයි. කවර හේතුවක් නිසා හෝ තනිකම දැනෙන ගොඩක් වෙලාවල් වලදී ඒ තනිකම එක්ක සැදෑ කළුවර ගීතය සුසර වෙනවා. නන්දා මාලිනිය විසින් මුල් කාලයේ ගැයූ මෙවැනි ගීත ගණනාවක් තිබෙනවා. 

කෙනෙකුගේ ආයු කාලය ගැන කතා කරද්දී අප විසින් උපත හා මරණය අතර ජීවත් වන පුද්ගලයෙකු පිළිබඳ ආකෘතියක් හදා ගන්නවා. මෙය අප විසින් නිරන්තරයෙන් ප්‍රයෝජනයට ගන්නා නැතිවම බැරි සහ මූලික මට්ටමේ ආකෘතියක් පමණයි. අවසාන වශයෙන් උපත හා මරණය කියන්නේත් සම්මුතීන් දෙකක් පමණයි. ඒ සම්මුතීන් දෙක අපට නැතිවම බැරි වන්නේ උපතක් හා මරණයක් නොමැතිව ජීවත් වන පුද්ගලයෙකු අර්ථ දැක්විය නොහැකි නිසා. ජීවත් වන පුද්ගලයෙකු අර්ථ දැක්විය නොහැකි වන මොහොතේ අපිට අපිවම නැති වෙනවා. අප විසින් නිර්මාණය කර ගන්නා ලෝකයම ක්ෂණයකින් අහෝසි වී යනවා. 

ජීවත් වන හෝ ජීවත් වූ පුද්ගලයෙකු ලෙස අප විසින් අපේ පහසුවට අර්ථ දක්වා ගන්නේ නිරන්තරයෙන් වෙනස් වන ප්‍රපංචයක්. එහිදී අප විසින් අපට පුද්ගලයෙකු අර්ථ දැක්විය යුතු වන නිසාම මෙසේ කාලයත් සමඟ නිරන්තයෙන් වෙනස් වන ප්‍රපංචයක එසේ වෙනස් නොවන්නේයැයි අප සිතන කොටස් වෙන් කර ගන්නවා. නමුත් එක් එක් පුද්ගලයා විසින් එසේ වෙන් කර ගන්නේ එකම කොටස් ටිකක් නෙමෙයි. ඒ නිසාම, තමන් විසින් අර්ථ දක්වා ගත් පුද්ගලයාගේ තමන් විසින් වෙනස් නොවන සේ සලකන ලද ලක්ෂණ වෙනස් වෙද්දී අප විසින් හදා ගන්නා ආකෘති අර්බුදයට යනවා. 

ගායිකාවක් ලෙස සැලකුවහොත් නන්දා මාලිනී කියන්නේ කාලයත් සමඟ වරින් වර සැලකිය යුතු ලෙස වෙනස් වූ ප්‍රපංචයක්. ඇගේ ගායන ජීවිතයේ එක් තැනකින් පමණක් අල්ලා ගන්නවා කියන්නේ අන්ධ පුද්ගලයෙකු අලියෙකුගේ සිරුරේ කොටසක් ස්පර්ශ කර අලියා ගැන නිගමනය කරනවා වැනි දෙයක්. නන්දා මාලිනී මගේ ප්‍රියතම ගායිකාව වූයේ ඇගේ ගායන දිවියේ මුල් කාලයේදී. ඒ ගායිකාව පිළිබඳව කලකට පෙර නිර්මාණය කරගත් ආකෘතිය නඩත්තු කරද්දී මා ඇගේ පසුකාලීන හැරීම් ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. මගේ ප්‍රියතම ගායිකාව විසින් නියෝජනය කරන්නේ නන්දා මාලිනියගේ ගායන දිවියේ එක් කාල පරාසයක් පමණයි.

සත්‍යයේ ගීතය සහ පවන වැනි ප්‍රසංග පැවැත්වූ යුගය නන්දා මාලිනී විසින් විශාල සමාජ බලපෑමක් කළ කාලයක්. කාලයත් සමඟ මගේද සමාජ දේශපාලනික අදහස් වෙනස් වී තිබෙනවා. පවන ගීත ප්‍රචලිත වූ කාලයේදී පෞද්ගලිකව මා පවන ගීත ගැන සිතුවේ වුවද අද හිතන විදිහට නෙමෙයි. ඒ නිසා මා මගේ අද දෘෂ්ටි කෝණයෙන් බලා එම ගීත විචේචනය කරන්නේ නැහැ. නමුත් ඒ දිනවල වුවද මේ ගීත ඇසෙද්දී ඒවා සංගීතමය සටන් පාඨ ලෙස මිස ප්‍රියතම ගීත ලෙස මට දැනුනේ නැහැ. ඒ ගීත ඇහෙද්දී මවකගේ සුවඳ දැනුනේ නැහැ. මේ ගීත හරහා සිදු වුනේ ඒ දින වල පැවති සමාජ ඉල්ලුම සහ සැපයුම ගැලපීමක්. 

බාහිර තත්ත්වයන් වෙනස් වෙද්දී පවන මාදිලියේ ගීත සමාජය විසින් දිගින් දිගටම තව දුරටත් ඉල්ලා සිටියේ නැහැ. සමාජය පිළිබඳව සංවේදීව සිටි කලාකාරිනියක වූ නන්දා මාලිනියට, මම හිතන විදිහට, ඉන් පසුව වෙනස් වූ තත්ත්වයන්ට ගැලපෙන තවත් හැරුමක් අවශ්‍ය වී තිබුණා. නමුත් ඒ වෙද්දී නන්දා මාලිනී පවන එක්ක ආපහු හැරෙන්න බැරි තරම් දුරක් ගිහින් තිබුණා. 

ඉන්පසු කාලයේදී එළි දැක්වූ යනවානම් අනේ මං අරන් ගීතය ඇතැම් අය විසින් නන්දා මාලිනියගේ දුර්වල ගීතයක් ලෙස හඳුනා ගෙන තිබෙනු දැක්කා. මුලින්ම කී පරිදි, ගීයක් විචාරය කළ හැකි විෂය දැනුමක් මට නැහැ. නමුත් මා දකින විදිහට මේ ගීතයේ විශේෂත්වයක් තිබෙනවා. 

මේ ගීයේ බොහෝ වාමාංශික කලා නිර්මාණ වල කතා කර ඇති රාගයෙන් තොර, සඳ එළිය සේ අචින්ත්‍ය, පාරිශුද්ධ, සුරම්‍ය ප්‍රේමයක් ගැන කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට මෙහි සිදු කෙරෙන්නේ බොළඳ ප්‍රේමය සමච්චලයට ලක් කිරීමයි. ඊනියා උත්තරීතර ප්‍රේමයේ සීමාව ආර්ථික ශක්තිය මගින් සීමා කෙරෙනවා. ලුණුයි බතුයි කකා උත්තරීතර ප්‍රේමය නඩත්තු කරන්න බැහැ!

නන්දා මාලිනී කියන්නේත් වෙනත් බොහෝ කලාකරුවන් වගේම වෙළඳපොළ ඉල්ලුම අනුව වෙනස් වූ කලාකාරිනියක්. ඇගේ ගීත සම්පාදනය වූයේ ඒ ඒ අවස්ථා වල සමාජයේ පැවති ඉල්ලුම සැපිරෙන පරිද්දෙනුයි. එය වරදක් නෙමෙයි. යනවානම් අනේ මං අරන් වැනි ගීත මා දකින්නේ පශ්චාත් පවන යුගයේදී තවත් හැරවුමකට ගත් අසාර්ථක උත්සාහයක කොටසක් ලෙසයි.

ප්‍රසිද්ධ චරිත වලට තමන්ගේ අනන්‍යතාවය කිහිප වරක් නැවත නැවත වෙනස් කර ගැනීම පහසු වැඩක් නෙමෙයි. විශේෂයෙන්ම පවන යුගයේදී නන්දා මාලිනී ගමන් කළ දුර අනුව, ඉන් පසුව ඇයට ආපසු හැරෙන්න පහසු වූයේ නැහැ. ඒ නිසාම, පශ්චාත් පවන යුගයේ නන්දා මාලිනියට අපේ හිතට දැනෙන අලුත් නිර්මාණ කිරීමේ හැකියාවද සීමා වුනා කියා මම හිතනවා. 

මගේ අදහස අනුව නන්දා මාලිනිගේ රසිකයින් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් කොටසක් පවන ඇතුළු විරෝධාකල්ප ගී වලට ආශක්ත වූ පිරිසයි. අනෙක් කොටස, මා වැනි, ඇගේ මුල් කාලීන ගී වලට කැමති රසික පිරිසයි. ඔය කොටස් දෙක හැරුණු විට, නන්දා මාලිනීගේ පසුකාලීන නිර්මාණ නිසා ඈ වටා එකතු වූ රසිකයින් එතරම් ඇතැයි මා සිතන්නේ නැහැ. 

නන්දා මාලිනීගේ භෞතික මරණයට කලකට පෙර ගායිකාවක ලෙස ඇගේ මෙහෙවර අවසන්ව තිබුණු බව මගේ අදහසයි. එහෙත්, ජීවත්ව සිටි කාලය තුළ, තවත් විශාල කාලයකට මිය නොයන මතකයක් නන්දා මාලිනිය විසින් බොහෝ දෙනෙකු තුළ ඉතිරි කර ගොස් තිබෙනවා. මරණය කියන සම්මුතිය නොසලකා හැරියොත්, එලෙස අප තුළ ඉතිරිව ඇති මතකය කියන්නේ තව දුරටත් ගලා යන ඇගේ ජීවිතයම තමයි. ඇගේම හඬින් අප අසා ඇති පරිදි, ගලන ගඟකි ජීවිතේ. 

Friday, August 7, 2026

දළ නිල විදේශ සංචිත - 2026 ජූලි අවසානයේදී


මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඇති වූ බාහිර කම්පනයේ බලපෑම ක්‍රමයෙන් තුනී වී යමින් ඇති පසුබිමක, මහ බැංකුවට නැවතත් විදේශ සංචිත ගොඩ නගා ගැනීමේ දිගුකාලීන ඉලක්කය වෙත ප්‍රවේශ වීමට හැකි වී තිබෙනවා. පසුගිය ජූලි මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 348.6ක් මිල දී ගැනීමට සමත්ව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,591 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බොහෝ විට ජූලි මාසයේදී ජංගම ගිණුමේ නැවතත් අතිරික්තයක් වාර්තා විය හැකියි.

මෙම බාහිර කම්පනයට පෙර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණේ වසර අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8,645ක් වනු ඇති බවයි. මේ වන විට එම ඇස්තමේන්තුව බොහෝ දුරස්ථ ඉලක්කයක් බවට පත් වී තිබෙනවා. ඉහත දළ නිල සංචිත ප්‍රමාණය තුළ යුවාන් බිලියන 10ක (ඩොලර් බිලියන 1.5කට ආසන්න) චීන මුදල් හුවමාරු ණය ප්‍රමාණයද ඇතුළත්ව ඇති අතර, අදාළ ගිවිසුම අලුත් කර නොගන්නේනම් මෙම මුදල වසර අවසන් වීමට පෙර පියවිය යුතුයි.

දැනට පවතින තත්ත්වය අනුව පෙනී යන්නේ බාහිර කම්පනයකට තනිව මුහුණ දීම සඳහා අවශ්‍ය මට්ටමකට විදේශ සංචිත ගොඩ නගා ගැනීම සඳහා මුලින් ඇස්තමේන්තු කළ කාලයට වඩා වැඩි කාලයක් ගත වනු ඇති බවයි. වෙනත් අයුරකින් කිවහොත්, මූල්‍ය අරමුදල සමඟ මෙම වැඩ සටහන අවසන් වන විට විදේශ සංචිත එම සීමාව දක්වා ලඟා නොවනු ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ, විදේශ අංශයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා තවත් යම් කාලයකට මූල්‍ය අරමුදලේ සහතිකය අවශ්‍ය වෙනවා. 

Saturday, August 1, 2026

ජංගම ගිණුමේ දැන් තත්ත්වය

වසරේ දෙවන කාර්තුවේ මාස තුන තුළම ජංගම ගිණුමෙහි හිඟයන් වාර්තා වීමේ ප්‍රතිඵලයක් ලෙස වසරේ පළමු මාස හය අවසානයේදී ශ්‍රී ලංකාවේ විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 245.4ක සමුච්ඡිත හිඟයක් වාර්තා වෙනවා.

කිසියම් කාලයක් තුළ, නැවත ආපසු ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැතිව, විදේශිකයන්ගෙන් රටට ලැබී ඇති සහ රටෙන් විදේශිකයින් වෙත යවා ඇති විදේශ අරමුදල් ජංගම ගිණුමෙහි සටහන් වෙනවා. පළමු මාස හයේ මෙසේ සටහන් වූ විදේශ ආදායම් හා වියදම් මෙසේ සාරාංශගත කළ හැකියි.

වසරේ පළමු මාස හය තුළ ජංගම ගිණුමට ලැබුණු විදේශ විණිමය:

අපනයන ආදායම් - ඩොලර් මිලියන  6,903.2

සේවා ආදායම් - ඩොලර් මිලියන 3,528.3

(මෙයින් ඩොලර් මිලියන 1,511.1ක් සංචාරක ආදායම්)

ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 311.3

ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) - ඩොලර් මිලියන  4,604.8 

එකතුව - ඩොලර් මිලියන 15,347.6


වසරේ පළමු මාස හය තුළ ජංගම ගිණුමෙහි වැය:

ආනයන වියදම් - ඩොලර් මිලියන 12,392.3 

(මෙයින් ඩොලර් මිලියන 3,168ක් ඉන්ධන ආනයන වන අතර වාහන ආනයන ඩොලර් මිලියන 1,254ක් පමණයි)

සේවා වියදම් - ඩොලර් මිලියන 1,929.7

ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 1,205.8

ද්වීතියික වියදම් - ඩොලර් මිලියන  70.0

එකතුව - ඩොලර් මිලියන 15,597.8


ජංගම ගිණුමේ හිඟය - ඩොලර් මිලියන 245.4


වසරේ දෙවන අර්ධය තුළ මෙම අයහපත් ප්‍රවණතාවය ආපසු හැරීමේ ඉඩක් ඇත්තේ වුවද, පසුගිය තෙවසර තුළ පැවති ආකාරයේ සැලකිය යුතු අතිරික්තයක් දැකිය හැකි වනු ඇති බවක් පෙනෙන්නට නැහැ. එයින් අදහස් වන්නේ මෙම වසර අවසන් වන විට රටේ නිල විදේශ සංචිතයේ ලොකු වෙනසක් සිදු වීමේ ඉඩක් නොමැති බවයි. 

ලංකාවේ ජංගම ගිණුමෙහි 1956 වසරේ සිට 2022 දක්වා කාලය අතරතුර 1965 සහ 1977 යන දෙවසර තුළදී හැරුණු විට දිගින් දිගටම දැකිය හැකි වූයේ හිඟ තත්ත්වයක්. එහෙත්, 2022 ආර්ථික අර්බුදයෙන් පසුව මෙම තත්ත්වය ආපසු හරවා ගැනීමට හැකි වුනා. 

ජංගම ගිණුමේ හිඟයක් ඇති විට ඊට සමානව රටේ විදේශ බැරකම් ඉහළ යනවා. දිගින් දිගටම ජංගම ගිණුම් හිඟයක් නඩත්තු වෙද්දී විදේශ බැරකම්ද දිගින් දිගටම ඉහළ යනවා. මෙය අවසාන වශයෙන් එම බැරකම් පියවිය නොහැකි තත්ත්වයකට පත් වී කෙළවර වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. 1965, 1977 මෙන්ම 2022දීද මෙම තත්ත්වය නිවැරදි වූයේ රුපියල එකවර විශාල ලෙස අවප්‍රමාණය වීමට ඉඩ හැරීමෙන් පසුවයි.

පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව, එක දිගට වසර තුනක්ම ජංගම ගිණුමෙහි අතිරික්තයක් පවත්වා ගැනීමට හැකි වූ අතර එමගින් රටේ ශුද්ධ විදේශ බැරකම් වල සැලකිය යුතු අඩු වීමක් සිදු වුනත් මේ වන තුරුද බාහිර කම්පනයකට තනිව මුහුණ දිය හැකි මට්ටමකට රටේ නිල විදේශ සංචිත වර්ධනය වී නැහැ. දැනට මූල්‍ය අරමුදල සමඟ ඇති වැඩ සටහන අවසන් වනු ඇත්තේද මේ තත්ත්වයේ විශාල වෙනසක් නොමැතිවයි. එබැවින් දැනට පෙනෙන්නට තිබෙන්නේ මෙම වැඩසටහන අවසන් වෙද්දී මූල්‍ය අරමුදල සමඟ තවත් වැඩ සටහනකට යාමට සිදු වනු ඇති බවයි.




වෙබ් ලිපිනය: