වෙබ් ලිපිනය:

Showing posts with label මහ බැංකු ක්‍රමය. Show all posts
Showing posts with label මහ බැංකු ක්‍රමය. Show all posts

Friday, September 5, 2025

රන් සම්මත මිථ්‍යාව

ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ධාරාව කියා කියන්නේ එම විෂයයෙහි බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක්ව ඇති සහ කාලයේ පරීක්ෂාව සමත් වූ ප්‍රවාද හා එම ප්‍රවාද මත පදනම්ව ගන්නා ප්‍රායෝගික ක්‍රියාමාර්ග කොටසයි. මෙම ප්‍රවාද මෙන්ම ප්‍රවාද මත පදනම්ව ගන්නා ප්‍රායෝගික ක්‍රියාමාර්ගද නිරන්තරයෙන් නැවත නැවත පරීක්ෂාවට ලක් වෙනවා. එහිදී ඇතැම් ප්‍රවාද හා ක්‍රියාමාර්ග අභියෝගයට ලක් වෙනවා. එසේ නැත්නම් අලුත් ප්‍රවාද වලින් විස්ථාපනය වෙනවා. මෙය ඕනෑම විද්‍යාවකට පොදු දෙයක්.  දැනුම අභියෝගයට ලක් නොවේනම්, වෙනස් නොවේනම් එය ආගමක් මිසක් විද්‍යාවක් වන්නේ නැහැ.

මේ ක්‍රියාවලිය තුළ, කිසියම් නිශ්චිත මොහොතක, කිසියම් නිශ්චිත කරුණක් අරභයා, ප්‍රධාන ධාරාව තුළ පුළුල් එකඟතාවයක් නැති වෙන්න පුළුවන්. එසේ වෙන්නේ ඒ වන විට පුළුල් ලෙස පිළිගත් අදහසක් අභියෝගයට ලක් වන අවස්ථා වලදීයි. නමුත් කෙටිකාලීනව පවතින මෙවැනි සම්ප්‍රේෂනීය තත්ත්වයන් අවසාන වශයෙන් බොහෝ විට පුළුල් එකඟතාවයකින් අවසන් වෙනවා. සාමාන්‍යයෙන් එසේ නොවන්නේ දේශපාලනික පදනමක් ඇති නොඑකඟතා පමණයි.

වඩා නිවැරදි, අලුත් අදහසකට හෝ ප්‍රවාදයකට පැරණි සම්මතය බැහැර කර ප්‍රධාන ධාරාව තුළ ස්ථාපිත වීම සඳහා යම් කාලයක් ගත විය හැකි නිසා, ප්‍රධාන ධාරාවේ පිළිගැනීමට ලක්ව නොතිබුණු පමණින් යම් අදහසක් බැහැර කරන්න බැහැ. නමුත් මේ කරුණ සාමාන්‍යයෙන් අදාළ වන්නේ අලුත් අදහස් වලට මිසක් කාලයේ පරීක්ෂාව අසමත් වී ප්‍රධාන ධාරාව තුළ ප්‍රතික්ෂේප වූ අදහස් වලට නෙමෙයි. එහෙත් එසේ කාලයකට පෙර පරීක්ෂා කොට බැහැර කරනු ලැබූ අදහස් හා ක්‍රියාමාර්ග ඒ ගැන නොදන්නා පිරිස් වෙත අලුත් අදහස් ලෙස ඉදිරිපත් කරන අයත් දකින්න පුළුවන්. 

රන් සම්මත ක්‍රමය කාලයකට පෙර පරිණාමීය ක්‍රියාවලිය තුළ විස්ථාපනය වී ගිය ක්‍රමයක්. මෙවැනි වෙනසක් සිදු වන හැම විටෙකම සිදු වන අලුත් වෙනස තේරුම් ගැනීමට අසමත් වන හෝ පිළිගැනීමට මැලි වන යම් පිරිසක් ඉතිරි වෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. 

රන් සම්මත ක්‍රමය තුල සිදු වූයේ කඩදාසි මුදල් වල වටිනාකම රන් මගින් තහවුරු කිරීමයි. මෙවැන්නක් සිදු කළ යුතු වූයේ අදාළ කාලයේදී කඩදාසි මුදල් වර්ග පිළිබඳව පුළුල් විශ්වාසයක් ගොඩ නැගී නොතිබුණු නිසා. රන් පිළිබඳව ඒ වන විට එවැනි විශ්වාසයක් ගොඩ නැගී තිබුණා. එහෙත්, පසුකාලීනව, කඩදාසි මුදල් වර්ග විසින්ද රන් වලට තිබුණු ආකාරයේම විශ්වාසයක් ගොඩ නගා ගැනීමට සමත් වුනා. ගඟෙන් එතෙර වීමෙන් පසුව තවදුරටත් ඔරුව කරේ තියාගෙන යන්න අවශ්‍ය වුනේ නැහැ. 

මුදල් විසින් ඉටු කරන ප්‍රධාන කාර්යයන් දෙකක් වන්නේ ගෙවුම් උපකරණයක් වීම සහ වත්කමක් වීමයි. සියවස් ගණනාවකට පෙර, අද මෙන්, සංකීර්ණ මූල්‍ය වත්කම් වර්ග රාශියක් නිර්මාණය වී තිබුණේ නැහැ. මූල්‍ය වත්කම් වූයේ ස්වභාවයේ පැවති රන්, රිදී, මුතු, මැණික් වැනි දේවල්. ස්වභාවික ආකර්ෂණය සහ දුලබ බව හේතුවෙන් මෙවැනි දේවල් වලට වටිනාකමක් ලැබුණා. ඒ වටිනාකම ලැබුණේ ගනුදෙනු කිරීමේ හැකියාව නිසා නෙමෙයි. 

මේ අතරින් රන් හා රිදී වල විශේෂත්වය වූයේ ඒවා සම්මතකරණය කළ හැකි වීමයි. සරලව කියනවානම්, එක සමාන කාසි ලෙස නැවත සකස් කළ හැකි වීමයි. ගෙවුම් උපකරණයක් ලෙස ප්‍රයෝජනයට ගත හැක්කේ සම්මතකරණය කළ හැකි හෝ ස්වභාවයෙන්ම ඒ ලක්ෂණය ඇති දෙයක්. ස්වභාවයෙන්ම මේ ලක්ෂණය තිබෙන කවඩි වැනි දේවල් මෙන්ම, සම්මතකරණය කර සකස් කර ගත් විවිධ ගල් වර්ග, තේ කොළ ගඩොල් ආදියද විවිධ සමාජ වල ගෙවුම් උපකරණ බවට පත් වුනා. එවැනි සමාජ තුළ, කවඩි වැනි දේවල් වලට ගනුදෙනු කිරීමේ හැකියාව නිසාම වටිනාමක් ලැබුණා. ගනුදෙනු සඳහා යොදා නොගත්තේනම් එවැනි වටිනාමක් කවඩි වලට ලැබෙන්නේ නැහැ. 

ගෙවුම් උපකරණ සේ භාවිතා වූ අනෙකුත් විකල්ප වලට සාපේක්ෂව රන් හා රිදී වලට තිබුණු විශේෂ වාසිය වූයේ එවැනි ලෝහ වටිනා වත්කමක් ලෙස මෙන්ම ගෙවුම් උපකරණයක්ද ලෙස ද්විත්ව කාර්යයක් එක වර ඉටු කිරීමයි. ගෙවුම් උපකරණයක් සේ භාවිතා නොකළද රන් හා රිදී වලට වටිනාකමක් තිබුණා. 

කඩදාසි මුදල් වලට, ගනුදෙනු සඳහා භාවිතා නොකරන්නේනම්, රන් හා රිදී වලට මෙන් වත්කමක් වීමේ හැකියාවක් නැහැ. වත්කමක් විය හැක්කේ ගනුදෙනු සඳහා භාවිතා කිරීමේ හැකියාව නිසාම පමණයි. රන් හා රිදී මෙන්, වත්කමක් ලෙස කඩදාසි මුදල් එකතු කිරීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක්. ඒ සඳහා, මේ වෙද්දී කඩදාසි මුදල් වල ව්‍යුත්පන්න ලෙස විවිධ මූල්‍ය වත්කම් වර්ග ගණනාවක් වැඩි දියුණු වී තිබෙනවා. 

රන් වැනි වටිනා ලෝහ ෆියට් මුදල් හා සසඳන්නේනම්, අපට රන් වැනි ලෝහයකින් සිදු කෙරුණු ද්විත්ව කාර්ය භාරය විසංයෝජනය කරන්නට සිදු වෙනවා. රන් වත්කමක් සේ සලකන්නේනම්, අප විසින් කළ යුත්තේ රන් වල ප්‍රතිලාභ වෙනත් මූල්‍ය වත්කම් වල ප්‍රතිලාභ හා සැසඳීමයි. 

මෙම සංසන්දනය මගේ පෙර ලිපියක සිදු කර තිබෙනවා. 2025 ජූලි 15 දින පළ කළ "රන් කියන්නේ හොඳ ආයෝජනයක්ද?" ලිපියෙහි විස්තර කර ඇති පරිදි, 1975-2024 කාලය තුළ, ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රන් මිල වසරකට 5.42%ක සාමාන්‍ය වේගයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, යම් කිසිවකු අදාළ කාලය තුළ ඇමරිකන් ඩොලර් නෝට්ටු ළඟ තබාගෙන සිටියේනම්, එම ඩොලර් නෝට්ටු වල වටිනාකම වසරකට 5.42% බැගින් ක්ෂය වෙනවා. බොහෝ දෙනෙකු ෆියට් මුදල් හා රන් සංසන්දනය කරන්නේ මෙම පදනමින්. 

එහෙත් ඉහත සංසන්දනය නිවැරදි නොවන්නේ වත්කමක් ලෙස ඩොලර් නෝට්ටු ළඟ තබා ගැනීම සාමාන්‍ය තත්ත්වයක් නොවන නිසා. ඩොලර් නෝට්ටු භාවිතා කරන්නේ ගෙවුම් උපකරණයක් ලෙස පමණයි. ගෙවුම් උපකරණයක් හැකි වහාම ගනුදෙනුවක් වෙනුවෙන් යොදා ගනු මිස එක දිගට ළඟ තබා ගෙන ඉන්නේ නැහැ. වත්මන් සන්දර්භයෙහි ගනුදෙනු සඳහා වුවද වැඩි වශයෙන්ම භාවිතා වන්නේ ඩොලර් නෝට්ටු වල ව්‍යුත්පන්න වන බැංකු ගිණුම් මිස ඩොලර් නෝට්ටු නෙමෙයි.

වත්කම් සංසන්දනයක් කරන්නේනම්, ඩොලර් නෝට්ටු වල ව්‍යුත්පන්නයක් සේ සැලකිය හැකි, වසර 10 භාණ්ඩාගාර බැඳුම්කර වලින් 6.05%ක සාමාන්‍ය ප්‍රතිලාභයක් ලබා ගත හැකියි. මෙය රන් වල ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක්. ඊට අමතරව, 12% ඉක්මවන සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභයක් ලබා ගත හැකි කොටස් වෙළඳපොළ විකල්පය වැනි විකල්පද තිබෙනවා. එවැනි විකල්ප වලට සාපේක්ෂව රන් කියන්නේ පැහැදිලිවම නරක ආයෝජනයක්. 

ඉහත ලිපියෙහි සංසන්දනය කර ඇත්තේ ඇමරිකාවේ ඇති විකල්පයි. 2025 ජූලි 16 දින පළ කළ "ලංකාවේ කළ හැකි මූල්‍ය ආයෝජන" ලිපියෙහි මෙම සංසන්දනය ලංකාව සඳහාද සිදු කර තිබෙනවා. 1989-2024 කාලයේ ලංකාවේ සාමාන්‍ය උද්ධමනය වූ 9.65% සැලකූ විට, රන් වල ආයෝජනය කිරීම මගින් උද්ධමනයේ හානිය වළකන 10.85%ක සාමාන්‍ය ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාව තිබුණා. එහෙත්, සාමාන්‍ය භාණ්ඩාගාර බිල්පත් පොලිය වූ 12.95% එම ප්‍රතිලාභය ඉක්මවනවා. කොටස් වෙළඳපොළ සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ 20% ද ඉක්මවනවා. ඉතා පැහැදිලිවම, ඇමරිකාව තුළ මෙන්ම ලංකාව තුළද, රන් හොඳ මූල්‍ය වත්කමක් වී නැහැ. එමෙන්ම උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩු වෙනවා කියන එකත් අර්ධ සත්‍යයක් පමණයි. එසේ වන්නේ යම් කිසිවෙකු මුදල් ආයෝජනය නොකර නෝට්ටු මිටි ගොඩ ගසා ගෙන සිටියහොත් පමණයි.

වත්කම් සේ සලකන්නේනම් මුදල් වලට විකල්ප ගණනාවක් තිබෙනවා. මුදල් වල ප්‍රධානම කාර්ය භාරය වනුයේ ගෙවුම් උපකරණයක් ලෙස කටයුතු කිරීමයි. හොඳ ගෙවුම් උපකරණයක් සේ සැලකිය හැක්කේ වටිනාකම වෙනස්වීම වඩා නිවැරදිව පුරෝකථනය කළ හැකි වත්කමක්. වටිනාකම වෙනස්වීම නිවැරදිව පුරෝකථනය කළ හැකිනම්, දිගුකාලීනව වටිනාකම ක්ෂය වීම බරපතල ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඊට හේතුව ආයෝජනය කිරීම මගින් එසේ ක්ෂය වන වටිනාකම ප්‍රතිපූරණය කරගත හැකි වීමයි.

උදාහරණයක් ලෙස ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල මහ බැංකු ජනතාවට පොරොන්දු වී තිබෙන්නේ දිගුකාලීනව උද්ධමනය 2% මට්ටමේ තබා ගන්නා බවටයි. ලංකාවේ මෙම අගය 5%ක්. ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ මෙම අගය 2% ද නැත්නම් 5% ද යන්න නෙමෙයි. දිගුකාලීනව උද්ධමනය ඇත්තටම මේ පොරොන්දු මට්ටම ආසන්නයේ තිබෙනවාද කියන එකයි.

අපේක්ෂිත උද්ධමනය 2% වුනත්, 5% වුනත්, එම අගය නිශ්චිතව දන්නවානම් පුද්ගලයෙකුට අපහසුවක් නොමැතිව අනාගතය සැලසුම් කරගන්න පුළුවන්. උදාහරණයක් ලෙස දිගුකාලීන බැඳුම්කරයක ආයෝජනය කිරීම මගින් උද්ධමනයේ අවදානම පහසුවෙන්ම ඉවත් කර ගන්න පුළුවන්. ඒ නිසා, වැදගත් වන්නේ ඉලක්කය කීය වුනත්, මහ බැංකුව විසින් එම ඉලක්කය පවත්වා ගන්නේද යන්නයි. එය එසේ සිදුවන තරමට මුදලක් පිළිබඳ විශ්වාසය වැඩි දියුණු වෙනවා.

උද්ධමනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා මුදල් ඉල්ලුම හා මුදල් සැපයුම නිසි පරිදි ගැලපිය යුතුයි. පෙර ලිපියේ විස්තර කළ පරිදි, මුදල් ඉල්ලුම පාලනය කිරීම පහසු නැහැ. මුදල් සැපයුම වුවද මුළුමනින්ම මහ බැංකුවක පාලනය යටතේ ඇති දෙයක් නෙමෙයි. මහ බැංකුවකට කළ හැක්කේ නියාමනය මගින් මුදල් ඉල්ලුම හා මුදල් සැපයුම අතර තුලනයට බලපෑමක් කිරීමයි. එය අසීරු කාර්යයක් වුවත්, ලෝකයේ මහ බැංකු විසින් පසුගිය දශක ගණනාවක් පුරාම සාර්ථක ලෙස මේ කාර්යය ඉටු කර තිබෙනවා. 

රන් සම්මත ක්‍රමයකදී සිදු වන්නේ මේ තුලනය කිසිවෙකුගේ පාලනයට යටත් නැති "රන් දෙවියාට" භාර දීමයි. මුදල් ඉල්ලුමට වඩා රන් සැපයුම වැඩි වූ 1500-1650 අතර කාලයේදී මෙය අනපේක්ෂිත උද්ධමනයකට හේතු වුනා. අපේක්ෂිත උද්ධමනයකදී මෙන් නොව අනපේක්ෂිත උද්ධමනයකදී වත්කම් හානි වීමක් සිදු වෙනවා. එහෙත්, මේ වන විට රන් සැපයුම වැඩි වන්නේ මුදල් ඉල්ලුම වැඩි වන වේගයට වඩා අඩුවෙන් නිසා රන් සම්මතයක දිගුකාලීන ප්‍රතිඵලය අවධමනයයි. මෙහිදී අවධමනයට වඩා විශාල ප්‍රශ්නයක් වන්නේ වටිනාකම වෙනස් වීමෙහි සිදු වන විශාල විචලනයයි. එමෙන්ම අවධමනය වාසියක් වන්නේ එය අනපේක්ෂිතව සිදු වන්නේනම් පමණයි. 

මුදල් ඉල්ලුම කෙටිකාලීනව විශාල ලෙස විචලනය වෙනවා. නියාමකයෙකුට සක්‍රිය ලෙස මැදිහත් වී මේ විචලනයන් සීමා කළ හැකියි. එහෙත් "රන් දෙවියා" විසින් එවැනි සක්‍රිය මැදිහත්වීමක් නොකරන නිසා වත්මන් සන්දර්භයේදී රන් සම්මතයක් පවත්වා ගතහොත් සිදු වන්නේ මුදලේ වටිනාකම කෙටිකාලීනව විශාල ලෙස විචලනය වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, දිගුකාලීනව අවධමනයක් පවතින තත්ත්වයක් යටතේ වුවද, කෙටිකාලීනව උද්ධමනය විශාල ලෙස ඉහළ යාම නොවැලැක්විය හැකියි.

මේ සමඟ පළ කෙරෙන රූප සටහනෙහි පෙන්වා දී ඇත්තේ පසුගිය වසර දහයක පමණ කාලය තුළ ඇමරිකන් ඩොලරය මත පදනම් වූ උද්ධමනය සහ රන් මත පදනම් වූ උද්ධමනය වෙනස් වී ඇති ආකාරයයි. සාමාන්‍ය අගයක් ලෙස ඩොලර් උද්ධමනය 3.3%ක් වන අතර, රන් උද්ධමනය -4.4%ක් හෙවත් 4.4%ක අවධමනයක්. නමුත් මුදලක් හා අදාළව වඩා වැදගත් වන්නේ එහි ස්ථාවරත්වයයි. එනම් විචලනයන් අඩු වීමයි.

මෙම වසර දහයක කාලය සැලකුවොත් ඩොලර් උද්ධමනය වන 3.3% පොරොන්දු මට්ටම වූ 2.0%ට වඩා තරමක් වැඩියි. ඊට ප්‍රධානම හේතුව වසංගත සමයේදී එම අගය 10.1% දක්වා ඉහළ යාමයි. කෙසේ වුවද, වසංගත අවස්ථාව මුදල් ඉල්ලුම අනපේක්ෂිත ලෙස එක වර විශාල ලෙස පහත වැටුණු දුලබ අවස්ථාවක්. එවැනි දුලබ අවස්ථාකදී නියාමනය මගින් විචලනය සීමා කර ගැනීම බොහෝ අසීරු කාර්යයක්. එසේ වුවද, ඉතා කෙටි කලකින් උද්ධමනය නැවත ඉලක්ක සීමාව දක්වා පහත හෙළා ගැනීමට ඇමරිකාවේ මහ බැංකුව සමත් වුනා.

ලංකාව සැලකුවද, පෙර සිදු කළ ප්‍රතිපත්ති වැරදි වලට වසංගතයේ කම්පනය එකතු වීම නිසා උද්ධමනය 70% දක්වා ඉහළ ගියද, කෙටි කලකින් නැවතත් උද්ධමනය ඉලක්ක මට්ටම ආසන්නයට පහත හෙළා ගැනීමට මහ බැංකුව සමත් වීමෙන් පෙනී යන්නේ මහ බැංකු ක්‍රමයේ සාර්ථකත්වයයි. අවධමනයේ අහිතකර ප්‍රතිඵල නොසලකා හැරියද, ප්‍රස්ථාරයේ පෙනෙන ආකාරයේ මිල විචලනයන් සමඟ ආර්ථික තීරණ ගැනීම පහසු නොවන බව පැහැදිලිව තේරුම් යා යුතු කරුණක්. ඇමරිකාවේ භාණ්ඩ මිල තීරණය වූයේ ඩොලර් වලින් නොව රන් වටිනාකම අනුවනම්, පසු ගිය වසර දහයක කාලයේදී ඇමරිකාවේ උද්ධමනය 17.5% සිට -29.1% දක්වා විචලනය වෙනවා.

ඇත්ත වශයෙන්ම රන් සම්මත කාලයේදී වුවද, දැන් මෙන්ම, මුදල් අධිකාරයක් විසින් රන් සැපයුමෙන් ස්වායත්තව මුදල් සැපයුම නියාමනය කළා. එම කාලයේදී මේ ප්‍රස්ථාරයේ දැකිය හැකි තරමේ මිල විචලනයන් දැකිය හැකි නොවූයේ ඒ නිසා. උදාහරණයක් ලෙස ලංකාවේ ව්‍යවහාර මුදල් මණ්ඩලය ආරම්භ කිරීමෙන් පසුව, තබා ගත් රිදී ප්‍රමාණය මෙන් දෙගුණයක් දක්වා මුදල් නිකුත් කිරීමේ හැකියාවක් එම මණ්ඩලයට තිබුණා. පසුව මෙම ප්‍රමාණය තුන් ගුණයක් දක්වා වැඩි කරනු ලැබුවා. ඉන්දියාවේ හා ඇමරිකාවේ තිබුණේද මෙවැනි තත්ත්වයක්. සියලුම දෙනා රිදී (ඇමරිකාවේනම් රන්) ඉල්ලා සිටියේනම් ලබා දීමේ හැකියාවක් ඒ කාලයේදී වුවද අදාළ බලාධිකාරයන්ට තිබුණේ නැහැ.

වෙනත් විදිහකින් කිවහොත්, රන් සම්මතය බොහෝ දුරට නමට තිබුණු එකක්. ඒ හරහා සිදු වූයේ අදාළ මුදල පිළිබඳව විශ්වාසය ගොඩ නැගීමයි. රන් නොමැතිව එම විශ්වාසය ගොඩ නැගිය හැකිනම්, තව දුරටත් රන් සම්මතයක අවශ්‍යතාවයක් නැහැ. නූතන මහ බැංකුවක් විසින් මේ විශ්වාසය ගොඩ නැගීම සිදු කරන්නේ කලින් දැනුම් දී ඇති කවර හෝ නිශ්චිත මට්ටමක උද්ධමනය කාලයක් පවත්වා ගැනීම මගිනුයි. එම මට්ටම මහ බැංකුවකට එසේ ස්ථාවරව පවත්වා ගත හැකි මට්ටමක් විය යුතුයි.

වසංගත සමයේදී ඇමරිකාවේ උද්ධමනය 10% මට්ටම දක්වා ඉහළ ගියේ එවැනි විශාල ඉල්ලුම් කම්පනයකට මුහුණ දෙමින් උද්ධමනය 2% මට්ටමේ පවත්වා ගැනීම නොකළ හැක්කක් වූ නිසා. ඉලක්කය 5% වැනි ඉහළ අගයක් වීනම්, ඇතැම් විට මෙය කළ හැකිව තිබුණා. ලංකාව වැනි රටකට 2% මට්ටම යනු පවත්වා ගත නොහැකි තරම් පහළ මට්ටමක්. එවැනි පහළ මට්ටමක් ඉලක්ක කළහොත්, සුළු කම්පනයක් නිසා වුවද මහ බැංකුවේ පාලනය ගිලිහී යන්න පුළුවන්. ඒ ඇයි කියා පෙර ලිපියක විස්තර කර තිබෙනවා. මහ බැංකුව විශ්වාස කරන පරිදි 5% මට්ටම එසේ දිගුකාලීනව පවත්වා ගත හැකි මට්ටමක්. එහෙත් මහ බැංකුව විසින් කාලයේ පරීක්ෂණය සමත් වී මෙය තහවුරු කළ යුතුයි.

මා හිතන්නේ මේ වන විට මෙම ලිපි මාලාව හරහා කාලයේ පරීක්ෂාව අසමත්ව කලකට පෙර අත හැර දමනු ලැබූ රන් සම්මත ක්‍රමය හෝ නිදහස් බැංකු ක්‍රමය මහ බැංකු ක්‍රමයට විකල්පයක් නොවන්නේ ඇයි යන්න ප්‍රමාණවත් ලෙස විස්තර කර ඇති බවයි. රන් සම්මත ක්‍රමයේ ප්‍රශ්නය මිල මට්ටම විශාල ලෙස විචලනය වීමයි. ඇතැම් අය ෆියට් මුදල් වල වටිනාකම අඩු වීම සැලකිල්ලට ගෙන ඉදිරිපත් කරන තර්කය වැරදි තර්කයක් බවද මෙම ලිපි මාලාව තුළ කරුණු සහගතව පෙන්වා දී තිබෙනවා.

නිදහස් බැංකු ක්‍රමය හා අදාළව නැවත කෙටියෙන් කිව හැක්කේ දැනට වුවද මුදල් සැපයුමෙන් ලොකු කොටස තීරණය කරන්නේ වාණිජ බැංකු විසින් මිස මහ බැංකුව විසින් නොවන බවයි. ඒ නිසා, නිදහස් බැංකු ක්‍රමයක් මගින් කළ හැකි එකම වෙනස මහ බැංකුව විසින් සිදු කරන නියාමනය ඉවත් කිරීමයි. එහි ප්‍රතිඵලය වනු ඇත්තේද නියාමනයක් නොමැති මිල මට්ටම විශාල ලෙස විචලනය වීමයි.

මෙහි විස්තරාත්මකව සාකච්ඡා කර නොමැති තවත් කරුණක් වන්නේ මහ බැංකු ක්‍රමය තුළම ඇතැම් රටවල අධි උද්ධමන තත්ත්වයන් ඇති වීමයි. එහෙත්, එවැනි සෑම අවස්ථාවක මෙන්ම එසේ සිදු වී තිබෙන්නේ මහ බැංකු ස්වාධීනත්වය නැති වී රජයේ අයවැය හිඟය පියවීමේ අරමුණින් සල්ලි අච්චු ගැසීම නිසා මිස මහ බැංකු ක්‍රමයේ වරදකින් නෙමෙයි. මෙවැනි තත්ත්වයන් රන් සම්මත ක්‍රමය තුළද සිදු වුනා. රන් සම්මත පැවති රටවල් බොහොමයකද, රජයට අරමුදල් අවශ්‍ය වූ විට සිදු වූයේ පැවති රන් සම්මතය නොසලකා හරිමින් සල්ලි අච්චු ගැසීමයි. මූල්‍ය විනයක් නොමැති වීමේ ප්‍රශ්නයට මහ බැංකු ක්‍රමය විසඳුමක් නොවනවාක් මෙන්ම, රන් සම්මත ක්‍රමයද විසඳුමක් නෙමෙයි. 

මෙම ලිපිය ඇතුළු ලිපි මාලාවේ ලිපි පහම එකට කියවිය යුතු ලිපි පහක්. මේ ලිපි වලට එක් කර තිබෙන්නේ අනිවාර්යයෙන්ම එකට කිව යුතු කරුණු පමණයි. ලිපි මාලාව ලිවුවේ මේ මොහොත වෙනුවෙන් නෙමෙයි. ප්‍රශ්න, ප්‍රතිවාද හෝ විවේචන ඇත්නම් පිළිතුරු දිය හැකියි.


වෙබ් ලිපිනය: