වෙබ් ලිපිනය:

Monday, August 11, 2025

චීනයට විකිණිය හැක්කේ මොනවාද?


පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක භාණ්ඩ ආනයනය කර තිබෙනවා. නමුත් චීනය ලංකාවෙන් ආනයනය කර තිබෙන්නේ එයින් 6%ක පමණ වටිනාකමක් තිබෙන, එනම් ඩොලර් මිලියන 272.9ක, භාණ්ඩ ප්‍රමාණයක් පමණයි. ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු සූත්‍රය අනුවනම් ලංකාව චීනයට 47%ක තීරු බද්දක් පැනවිය යුතුයි. 

තීරුබදු පැනවීම කෙසේ වුවත්, පසුගිය වසරේ ලංකාවේ වෙළඳ හිඟය වූ ඩොලර් මිලියන 6,069.4ක මුදලින් ඩොලර් මිලියන 4,092.8කටම දායක වී තිබෙන්නේ ලංකාව හා චීනය අතර සිදු වන ද්විපාර්ශ්වික වෙළඳාමයි. මෙම වෙළඳාමෙහි විශාල අසමතුලිතතාවයක් තිබෙනවා. ඇමරිකාව සමඟ ලංකාව විසින් කරන ද්විපාර්ශ්වික වෙළඳාමෙහි වාසිය සීමා වුවහොත්, චීනය සමඟ වෙළඳාමෙහි දැනට තිබෙන අවාසිදායක තුලනය දිගටම පවත්වා ගෙන යාම ලංකාවට අසීරු වෙන්න පුළුවන්. 

ලංකාවෙන් චීනය වගේ රටකට අපනයනය කළ හැක්කේ මොන වගේ දේවල්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරයේදී CGTN නිවේදකයෙකු විසින් මේ ප්‍රශ්නය ඔහුගෙන් අසනවා. මේ ප්‍රශ්නයට ඔබට දිය හැකි පිළිතුර ගැන සිතා බැලුවොත් මෙය පෙනෙන තරම් සරල ප්‍රශ්නයක් නොවන බව අවබෝධ වෙයි.

පසුගිය ආර්ථික අර්බුද සමයේ ලංකාවට වෙනත් රටවලට අපනයනය කළ හැකි අමතර දේවල් ගැන මමත් ටිකක් සොයා බැලුවා. ඇත්තම කතාවනම් ලෝක වෙළඳපොළේ ලොකු පංගුවක් අල්ලා ගන්න තරම් මහ ලොකු දේවල් ලංකාවේ දැනට නැහැ. අපනයනය කළ හැකි දේවල් කවුරු හෝ විසින් දැනටත් අපනයනය කරනවා.

ඉහත ප්‍රශ්නයට පිළිතුරු ලෙස ජනාධිපති දිසානායක විසින් භාණ්ඩ වර්ග තුනක් ගැන සඳහන් කරනවා. ඒ, කුකුළු මස්, මැණික් හා ස්වර්ණාභරණ සහ කුළුබඩු. 

මම දන්නා තරමින් කුකුළු මස් අපනයනය කෙරෙහි මෙතෙක් ලංකාවේ ලොකු රාජ්‍ය අවධානයක් යොමු වී නැහැ. ඒ කෙරෙහි අවධානය යොමු කිරීම අලුත් දෙයක් වෙන්න පුළුවන්. මැණික් හා ස්වර්ණාභරණ සහ කුළුබඩු කියන්නේනම් මට මතක තිබෙන කාලයේ සිටම රජය විසින් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ අපනයන කාණ්ඩ දෙකක්. වයසින් මගේ සමකාලීනයෙකු වන ජනාධිපති දිසානායකටත් මේ උත්සාහයන් පිළිබඳ මතකයක් නැති වෙන්න බැහැ. 

අපි නිකමට හිතමු මැණික් හා ස්වර්ණාභරණ සහ කුළුබඩු සඳහා චීනයෙන් සැලකිය යුතු ආනයන ඉල්ලුමක් ආවා කියලා. මේ වර්ග දෙකෙන් එකකවත් නිෂ්පාදනය විශාල ලෙස වැඩි කිරීමේ හැකියාවක් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් නිෂ්පාදනය පරිමාණනය කිරීමේ හැකියාව (scalability) ඉතාම සීමිතයි. දශක ගණනාවක් තිස්සේ රජය මේ වෙනුවෙන් මැදිහත් වී තිබෙනවා. ඒ හරහා යම් ප්‍රගතියක් අත් කරගෙනද තිබෙනවා. නමුත් යම් වාස්තවික සීමාවකින් පසුව නිෂ්පාදනය පරිමාණනය කිරීම අසීරුයි.

නිෂ්පාදනය පරිමාණනය කිරීම අසීරු වුවත්, අවසාන වශයෙන් වැදගත් වන, අපනයන ආදායම් වැඩි කර ගැනීමනම් නොකළ හැක්කක් නෙමෙයි. එය කළ හැකි ප්‍රායෝගික ක්‍රමය ඉලක්ක වෙළඳපොළ තුළ ලංකාවේ සන්නාම ජනප්‍රිය කර ගැනීම මගින් වැඩි මිලක් ලබා ගැනීමයි.

දැනටමත් කාලයක් උත්සාහ කර තිබෙන ඉහත කාණ්ඩ දෙකට සාපේක්ෂව චීනයට කුකුළු මස් අපනයනය කිරීම විභවයක් ඇති දෙයක්. එමෙන්ම කුකුළු මස් නිපදවීම පහසුවෙන් පරිමාණනය කළ හැකියි. 

ලංකාව දැනටත් කුකුළු මස් අපනයනය කරන නමුත් එමගින් උපයන්නේ ඩොලර් මිලියන පහක පමණ මුදලක් පමණයි. මෙම අපනයන මුළුමනින්ම මෙන් යන්නේ මාල දිවයිනටයි. මේ ආණ්ඩුව විසින් සිංගප්පූරුව හා චීනය වැනි අලුත් වෙළඳපොළවල් ඉලක්ක කරමින් සිටින බව පේනවා. 

චීනය වසරකට ඩොලර් බිලියන හතරකට ආසන්න කුකුළු මස් ආනයන සිදු කරනවා. ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටි තායිලන්තය චීනයට කුකුළු මස් අපනයනය කර වසරකට ඩොලර් මිලියන 500ක් පමණ උපයා ගන්නවා. මෙවැන්නක් ලංකාවට නොකළ හැක්කක් නෙමෙයි. 

සාමාන්‍යයෙන් රටක ඒක පුද්ගල ආදායම යම් සීමාවක් ඉක්මවා ඉහළ යද්දී ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය විශාල ලෙස ඉහළ යනවා. චීනයේ කුකුළු මස් ඉල්ලුම ඉදිරි කාලයේදීද විශාල ලෙස ඉහළ යාමට නියමිත ඉල්ලුමක්. 

කුකුළු මස් වලට මෙන්ම ඌරු මස් වලටද චීනයේ විශාල ආනයන ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසාම, ලංකාව වැනි රටකට අපනයන විභවයක්ද තිබෙනවා. නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ කුකුළු මස් වලට සාපේක්ෂව ඌරු මස් නිෂ්පාදනය කෙරෙහි සංස්කෘතික සාධක වල වැඩි බලපෑමක් තිබීමයි. 

අපනයන වෙළඳපොළ අමතක කළත් ලංකාවේ ඒක පුද්ගල ආදායම තවත් ඉහළ යද්දී දේශීය කුකුළු මස් හා බිත්තර ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමට නියමිතයි. දැනටමත් දේශීය ඉල්ලුම රට තුළින් සැපයෙන බැවින් මේ වන විට මෙම කර්මාන්තය පවතින්නේ රටින් එළියට යා යුතු අදියරකයි. දේශීය වෙළඳපොළේ මිල ස්ථාවරව තබා ගැනීම සඳහාද රටින් ඔබ්බට වෙළඳපොළ පුළුල් කර ගැනීමක් අවශ්‍ය වෙනවා. 

දැනට චීනය සමඟ පවතින වෙළඳ පරතරය පහසුවෙන් පියවා ගත හැකි පරතරයක් නෙමෙයි. එහෙත්, කුකුළු මස් වැනි දෙයක් ඉලක්ක කිරීමෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගැනීමේ විභවයක් තිබෙනවා. එම මෙනුපතටම ඌරු මස්ද යම් තරමකින් එකතු කිරීමට බැරිකමක් නැහැ. 

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: