වෙබ් ලිපිනය:

Tuesday, August 19, 2025

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව සහ සේවා අපනයන


පෙර ලිපියක ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව ගැන කතා කරද්දී සේවා අපනයන සලකා බැලුවේ නැහැ. මේ ගැන පාඨකයින් ගණනාවක්ම අදහස් දක්වා තිබුණා. එය අත් වැරැද්දක් නෙමෙයි. හේතු ගණනාවක් නිසා හිතාමතාම කළ දෙයක්.

පළමුව, ලංකාවේ දැනට බලයේ ඉන්න කණ්ඩායම වගේම වෙනත් විවිධ කොටස්ද ලංකාවේ නිෂ්පාදනය හෝ නිෂ්පාදන ආර්ථිකය ගැන කතා කරද්දී එයින් අදහස් කළේ භාණ්ඩ නිෂ්පාදනය සහ භාණ්ඩ අපනයනයයි. ඒ නිසා, මේ හා අදාළ වත්මන් තත්ත්වය විමසා බැලීමේ වැදගත්කමක් තිබෙනවා. 

දෙවනුව, ලෝක වෙළඳාම තුළ සේවා වෙළඳාමේ වැදගත්කම ඉහළ ගියේ සාපේක්ෂව පසු කාලයකදී නිසා ලෝකයේ විවිධ රටවල භාණ්ඩ අපනයන හා අදාළ සංඛ්‍යාලේඛණ තිබෙන තරමටම සේවා අපනයන පිළිබඳ විශ්වාසනීය දීර්ඝකාලීන සංඛ්‍යාලේඛණ නැහැ. 

තුන්වනුව, ලංකාවේ සේවා අපනයන හා එහි විභවය ගැන කතා කිරීම සඳහා ප්‍රවේශයක් ලෙස භාණ්ඩ අපනයන  වලින් සාකච්ඡාව පටන් ගන්න අවශ්‍ය වුනා. සේවා අපනයන ගැන කොහොමටත් පසුව වෙනම කතා කරන්නයි හිටියේ. දැන් මේ කරන්නේ ඒ වැඩේ.

කලින් ලිපියෙහි සඳහන් කළ පරිදි,  2024 වන විට ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව 0.00052ක් හෙවත් 0.052%ක් පමණයි. භාණ්ඩ හා සේවා අපනයන කාණ්ඩ දෙකම සැලකූ විට මේ පංගුව මීට වඩා තරමක් වැඩියි. නමුත් ඒ වෙනස ලෝක මට්ටමේදී බලපෑමක් කළ හැකි තරමේ වෙනසක් නෙමෙයි. 2024දී මේ පංගුව 0.00061ක් හෙවත් 0.061%ක් පමණයි. 

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව වේගයෙන් පහත වැටුණු නිදහසින් පසු මුල් යුගය පැත්තකින් තිබ්බොත්, මේ පංගුව වැඩිම මට්ටමක තිබී ඇත්තේ 2016 හා 2017 වසර වලදීයි. මෙම උපරිම අගය 0.084%ක් පමණ. නාමික ඩොලර් අගය සැලකුවොත් දැනට ලංකාව වැඩිම භාණ්ඩ හා සේවා අපනයන ආදායමක් උපයා තියෙන්නේ 2018 වර්ෂයේදීයි. එම අගය ඩොලර් බිලියන 20.3ක්. වෙන ආණ්ඩුවක කාලය තුළ මේ දේවල් සිදු වුනානම් ඒවා විශාල ලෙස ප්‍රචාරණය කෙරෙනවා. පාස්කු ප්‍රහාරය සිදු වූ 2019දී පවා ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන පංගුව 0.078% තරම් ඉහළ අගයක පැවතුණා. මෙම පංගුවේ 2015-2019 සාමාන්‍ය අගය 0.081%ක්. එය අනෙකුත් වකවානු එක්ක බලද්දී කැපී පෙනෙනවා.

ඇත්ත වශයෙන්ම යහපාලන ආණ්ඩුව කාලයේ ලංකාවේ අපනයන පංගුව සාපේක්ෂව ඉහළ මට්ටමක තිබීමට හේතුව ඒ ආණ්ඩුව විසින් කළ දේවල් කියා කියනවාට වඩා නොකළ දේවල් කියා කියන්න පුළුවන්. ඔය කාලයේදී සාපේක්ෂව විණිමය අනුපාතය මත මහ බැංකු මැදිහත්වීම් සිදු වුනේ අඩුවෙන්. රජය මුල් වී රටේ නිෂ්පාදනයේ හා අපනයන වල සංයුතිය හෝ දිශානතිය මත බලපෑම් කළේ අඩුවෙන්. ඒ නිසා, වෙළඳපොළ යාන්ත්‍රනය වඩා හොඳින් ක්‍රියාත්මක වුනා. ඊට අමතරව, ඊට පෙර යුගයේදී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව, සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබුණා. එය දිගටම සිදු වුනා. ඔය සේවා අපනයන ආදායම් වලින් විශාල කොටසක් සංචාරක කර්මාන්තයෙන් ලැබුණු විදේශ විණිමය. 

මෙම වසරේදී ලංකාවේ නාමික භාණ්ඩ හා සේවා අපනයන ආදායම 2018 මට්ටම ඉක්මවා යාමට ඉඩ තිබෙනවා. ඒ අනුව, මෙම 2025 වසරේදීද, 2018දී මෙන්, ලංකාවේ වැඩිම භාණ්ඩ හා සේවා අපනයන ආදායම වාර්තා වෙයි. එහෙත්, ලංකාවේ වෙළඳ පංගුවනම් 2015-2019 මට්ටමට යන එකක් නැහැ. 

කෙසේ වුවත්, ඉහත සඳහන් ලංකාවේ පංගුව වසරක් හෝ දෙකක් ඇතුළත 2015-2019 පැවති මට්ටමට ඔසොවා ගන්න එක අසීරු වැඩක් නෙමෙයි. ඒ සඳහා ලොකු දේවල් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. එතැනින් උඩට වුනත්, යම් සීමාවක් දක්වා වැඩි කර ගැනීමේ විභවයක් තිබෙනවා. නමුත් ගොඩක් වැඩි කරගන්න එකනම් ප්‍රායෝගිකව අසීරු වැඩක්. 

මේ ආණ්ඩුව රටේ භාණ්ඩ නිෂ්පාදනය සහ අපනයනය වැඩි කර ගැනීම සඳහා සාපේක්ෂව වැඩි බරක් තබමින් සිටින බව පේනවා. චීනය වගේ රටක වෙළඳපොළට ඇතුළු වෙන්න ව්‍යවසායකත්වය තිබිලා මදි. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීම් වලින් ප්‍රයෝජනයක් ලැබෙන්න පුළුවන්. නමුත් ලංකාවේ භාණ්ඩ අපනයන ලොකුවට වර්ධනය නොවීමට හේතු වන මූලික හේතු තිබෙනවා. කලින් ලිපියක විස්තර කළ, මානව සම්පත් වෙනුවෙන් ප්‍රශස්ත මට්ටම ඉක්මවා ආයෝජනය කර තිබීම එක් හේතුවක්. එයටම සම්බන්ධ, ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් තවත් හේතුවක්. මේ වගේ සාර්ව ආර්ථික සාධක නිසා ලංකාවේ නිෂ්පාදන පිරිවැය වඩා වැඩියි. 

ආණ්ඩුව, බලයට පත් වෙන්න පෙර කියපු විදිහටම, "විද්‍යාත්මක ක්‍රමයකට" අපනයන භාණ්ඩ හා අපනයන වෙළඳපොළවල් තෝරා ගෙන ඒවා ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරනවා. මේ මගින් යා හැකි උපරිම සීමාව කාලයක් යද්දී අවබෝධ වෙයි. හැබැයි මේ උත්සාහයන් නරක නැහැ. අවම වශයෙන් භාණ්ඩ අපනයන පංගුව තියෙන මට්ටමේම තියා ගන්න වුනත්, ලෝක වෙළඳාම වර්ධනය වන වේගයෙන් ලංකාවේ භාණ්ඩ අපනයන වර්ධනය කර ගන්න වෙනවා. 

කොහොම වුනත්, මේ ආණ්ඩුව පවා, කෙටිකාලීනව විශ්වාසය තබා තියෙන්නේ සංචාරක ඉපැයීම් මතයි. ප්‍රායෝගිකව දැනට ලංකාවට වැඩිම ශක්‍යතාවයක් තිබෙන තැන මෙයයි. ජූලි මාසය අවසන් වෙද්දී සංචාරකයින් 1,368,288 දෙනෙක් ලංකාවට පැමිණ තිබුණා. අගෝස්තු 18 වන විට මෙම ප්‍රමාණය මිලියන 1.5 ඉක්මවලා කියලා වාර්තා වී තිබෙනවා. කෙසේ වුවත්, 2018දී, ජූලි මාසය අවසන් වන විට සංචාරකයින් 1,382,476 දෙනෙක් ලංකාවට පැමිණ තිබුණා. තවමත් සංචාරක පැමිණීම් 2018 මට්ටමට වඩා අඩුයි. 

පුරෝකථන අනුව, මෙම (2025) වසරේදී ලෝක සංචාරක කර්මාන්තය 3%-5% අතර වර්ධනයක් පෙන්නුම් කිරීමට නියමිතයි. පාස්කු ප්‍රහාරය නිසා 2019දී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පසුබෑමක් සිදු වුනත්, එම වසරේදී ලෝක සංචාරක කර්මාන්තයේ 3.6%ක වර්ධනයක් සිදු වුනා. ඉන් පසුව, කෝවිඩ් නිසා කර්මාන්තය කඩා වැටුණත්, 2024 වන විට නැවතත් 2019දී සිටි තැනට එම කර්මාන්තය පැමිණුනා. නමුත් ලංකාවේ සංචාරක කර්මාන්තය තවමත් 2018 මට්ට්ටමට පැමිණ නැහැ. ඒ නිසා, මෙම වසරේදී 2018 මට්ටමට පැමිණුනත්, එය 2018ට සාපේක්ෂව ලංකාවේ පංගුවේ 7%-9% පමණ අඩු වීමක්. 

එක පැත්තකින් මෙය නරක දෙයක්මත් නෙමෙයි. මෙයින් පැහැදිලි වන්නේ ලංකාවට පහසුවෙන්ම අත්පත් කර ගත හැකි විභවයක් පවතින බවයි. 

රටට විදේශ විණිමය ලැබේනම් එසේ ලැබෙන්නේ භාණ්ඩ අපනයනයෙන්ද නැත්නම් සේවා අපනයනයෙන්ද යන්න වැදගත් නැහැ. මොන විදිහකින් ලැබුණත් ඒ විදේශ විණිමය වලින් රටට අවශ්‍ය ආනයන සිදු කළ හැකියි. ණය ගෙවිය හැකියි. 

සංචාරක කර්මාන්තය වැනි තනි විදේශ විණිමය ප්‍රභව මත යැපීමේ අවදානමක් තිබෙනවා. ඇඟලුම් වැනි නිෂ්පාදනයක් සැලකුවත් ඒ අවදානම තිබෙනවා. අවදානම ආවරණය කර ගැනීම සඳහා කළ යුත්තේ හැකි ඉක්මණින් ප්‍රමාණවත් විදේශ සංචිත ගොඩ නංවා ගෙන පවත්වා ගෙන යාමයි.

තවත් විශේෂ කරුණක් පැහැදිලිව සටහන් කර තැබිය යුතුයි. එනම් දිගුකාලීනව නිෂ්පාදන ආර්ථිකයක් ඉලක්ක කරමින් කෙටිකාලීනව සංචාරක කර්මාන්තය දියුණු කිරීම හරියන උපාය මාර්ගයක් නොවන බවයි. සංචාරක කර්මාන්තයෙන් රටට වැඩි වැඩියෙන් විදේශ විණිමය ලැබෙන තරමට රුපියල වඩ වඩා ශක්තිමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපනයන තරඟකාරිත්වය තව තවත් අඩු වීම නොවැලැක්විය හැකියි. ඒ නිසා, මුලින් සංචාරක කර්මාන්තය මගින් විදේශ විණිමය උපයා ගෙන පසුව භාණ්ඩ අපනයන පංගුව වැඩි කර ගැනීම එකිනෙක හා ගැටෙන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග දෙකක්. දොන් සිමන් දෙකම එකවර ඉලක්ක නොකර සේවා ආර්ථිකය ගැන වැඩි විශ්වාසයක් තබා කටයුතු කර ඇති 2015-2019 කාලයේදී ලෝක ආර්ථිකය තුළ ලංකාවේ පංගුව සාපේක්ෂව ඉහළ මට්ටමක තිබීමට හේතුව එයයි. 

දත්ත වල මූලාශ්‍රය ලෝක බැංකුව (https://data.worldbank.org/indicator/NE.EXP.GNFS.CD).

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: