වෙබ් ලිපිනය:

Showing posts with label බදු. Show all posts
Showing posts with label බදු. Show all posts

Wednesday, June 17, 2026

බදු නිසා ආර්ථිකය වර්ධනය වෙනවාද?


මේ සමඟ පළ කරන රූප සටහන ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කර ප්‍රසිද්ධ කළ එකක්. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවයි. රූප සටහනෙහි පෙන්වා දී තිබෙන්නේ 2026 පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා විවිධ අංශ වලින් ලැබුණු දායකත්වයයි.

කෘෂිකාර්මික = 7.3%

කර්මාන්ත = 27.3%

සේවා = 54.2%

සහනාධාර අඩු කළ බදු = 11.3%

ඇතැම් අය මේ රූප සටහන තේරුම් ගෙන තිබෙන ආකාරය අනුව, පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.3%කටම දායක වී තිබෙන්නේ භාණ්ඩ හා සේවා මත අය කර තිබෙන ශුද්ධ බදු. එහෙමත් නැත්නම් භාණ්ඩ හා සේවා මත අය කළ බදු සහ රජයෙන් ලබා දුන් සහනාධාර අතර වෙනස. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මත බදු අය කිරීම මගින් දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළ හැකිද?

වැඩියෙන් බදු අය කළ විට නිෂ්පාදනය අධෛර්යමත් වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ කියන එක සාමාන්‍ය බුද්ධියට වුනත් තේරෙන දෙයක්. ආර්ථික විද්‍යා න්‍යාය අනුව වුනත්, බදු නිසා ආර්ථික වර්ධනය සීමා වනු මිස ඉහළ යන්නේ නැහැ. එහෙමනම්, මේ රූප සටහනෙන් පෙන්වන අපභ්රංශය කුමක්ද? 

දළ දේශීය නිෂ්පාදිතය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ රට තුල සිදු වූ අගය එකතු වීම් වල එකතුව. ඒ කියන්නේ අවසන් භාණ්ඩ හා සේවා නිෂ්පාදිත වල වෙළඳපොළ වටිනාකම සහ නිෂ්පාදන යෙදවුම් පිරිවැය අතර වෙනස. උදාහරණයක් විදිහට සීනි කිලෝවක් සැලකුවොත්, පාරිභෝගිකයා විසින් ගෙවන මිල සහ නිෂ්පාදකයාගේ පිරිවැය අතර වෙනස. සීනි කිලෝවක් විකිණෙන්නේ රුපියල් 240කටනම් සහ නිෂ්පාදන පිරිවැය රුපියල් 180ක්නම්, මෙහි රුපියල් 60ක අගය එකතු වීමක් තිබෙනවා.

එහෙත් ඉහත තර්කය හරියන්නේ රජයේ මැදිහත් වීමක් නැත්නම් පමණයි. අපි හිතමු නිෂ්පාදන පිරිවැය රුපියල් 180ක් වීමට හේතුව රජය විසින් පොහොර ආනයනය කරද්දී විශාල බද්දක් අය කිරීම කියලා. බද්ද නැත්නම් නිෂ්පාදන පිරිවැය රුපියල් 160ක් පමණයි. ඒ අනුව, රුපියල් 80ක අගය එකතු වීමක් සිදු විය හැකිව තිබුණත් බද්ද නිසා එය රුපියල් 60කට සීමා වී තිබෙනවා. ඇත්තම අගය එකතු වීම විය යුත්තේ රුපියල් 80. 

අනෙක් අතට නිෂ්පාදන පිරිවැය රුපියල් 180කට සීමා වී තිබෙන්නේ රජයෙන් ලබා දෙන සහනාධාර නිසා වෙන්න පුළුවන්. සහනාධාර නැත්නම්, පිරිවැය රුපියල් 200ක් කියා සිතමු. ඒ කියන්නේ ඇත්තම අගය එකතු වීම රුපියල් 40ක් පමණයි. 

ඉහත උදාහරණ වලින් පෙන්වා දුන් පරිදි, රජය විසින් නිෂ්පාදන මත බදු අය කරද්දී සහ සහනාධාර ලබා දෙද්දී, ඒ ගැන නොසලකා ඇස්තමේන්තු කරන අගය එකතු වීම් වල විකෘතියක් සිදු වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරද්දී සහනාධාර අඩු කළ බදු වල බලපෑම එකතු කිරීම මගින් කරන්නේ ඒ වැරැද්ද හදන එකයි.

ඉහත සංඛ්‍යාලේඛණ වලට ගියොත්, අවසන් අයිතමයෙන් අදහස් වන්නේ සහනාධාර අඩු කළ බදු දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.3%කට හේතු වුනා කියන එක නෙමෙයි. එම බදු අය නොකළේනම් (සහ සහනාධාර ලබා නොදුන්නේනම්) කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වල නිෂ්පාදිතය ඇස්තමේන්තු කරද්දී තවත් 11.3%ක කොටසක් එකතු විය හැකිව තිබුණා කියන එකයි. එසේත් නැත්නම් එම අංශ වල සැබෑ දායකත්වය පෙනෙන ප්‍රතිශත වලට වඩා වැඩි බවයි. 

ඉහත කොටසද දළ දේශීය නිෂ්පාදිතයට එකතු කර තිබෙන්නේ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වල නිෂ්පාදකයින් විසින්ම වුවත්, එම කොටස රජය විසින් බදු ලෙස එකතු කරගෙන ඇති බැවින් අදාළ නිෂ්පාදකයින්ගේ ආදායමක් බවට පත් වී නැහැ. නමුත් එම කොටසද ඔවුන් විසින් මහන්සියෙන් සිදු කර ඇති අගය එකතු කිරීම් වලම කොටසක්. 

රට තුල සිදු වූ අගය එකතු වීම් වල එකතුව කියන්නේ දළ දේශීය නිෂ්පාදිතය අර්ථ දක්වන එක් ක්‍රමයක්. ඒ ක්‍රමය අනුව, සහනාධාර අඩු කළ බදු කොටසද කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා ලෙස වර්ග කළේනම්, අදාළ අංශයට අදාළ කොටස එකතු කර එක් එක් අංශයේ අගය එකතු වීම් නිවැරදිව ගණනය කළ හැකිව තිබුණා. නමුත් දළ දේශීය නිෂ්පාදිතය අර්ථ දක්වන තවත් ක්‍රමයක් වන්නේ එය රටේ සමස්ත ආදායම ලෙස සැලකීමයි. ඒ ක්‍රමය අනුව, මේ කොටස රජයේ ආදායමක් මිසක් නිෂ්පාදකයින්ගේ ආදායමක් නොවන නිසා, කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වලට එකතු කළ නොහැකියි. ඒ නිසා, මෙම කොටස වෙනම පෙන්නුවත්, මෙමගින්  බදු රටේ නිෂ්පාදනය වැඩි කිරීමට දායක වන බවක් අදහස් වන්නේ නැහැ. 

Wednesday, July 9, 2025

ඇමරිකාවෙන් 30%ක බද්දක්!



ඇමරිකාව විසින් ලංකාවේ අපනයන මත පනවන බද්ද 30% ලෙස තීරණය කර තිබෙනවා. මෙය මුලින් යෝජනා වූ 44%ක බද්දට වඩා අඩු වුවත්, ලංකාවට දැනෙන මට්ටමේ බලපෑමක් කරන බද්දක්. අලුත් බද්ද අගෝස්තු 1 දින සිට ක්‍රියාත්මකයි. 

මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු පරිදි 10%ක බද්දකින් ලංකාවට විශාල බලපෑමක් සිදු නොවන නමුත් බදු අනුපාතය ඊට වඩා වැඩි වුවහොත් රටේ ආර්ථික වර්ධනය 0.25%-1.5% අතර ප්‍රමාණයකින් පහත වැටිය හැකියි. මේ වන විට පනවා තිබෙන 30% බද්ද 10% මට්ටමට වඩා 44% මට්ටමට ආසන්නයි. ඒ අනුව, ආර්ථික වර්ධනය මත මෙම බද්දේ සෘණාත්මක බලපෑම 1%ක් පමණ විය හැකියි.

මූල්‍ය අරමුදල විසින් 3.5%ක ආර්ථික වර්ධන වේගයක් ඇස්තමේන්තු කර තිබුණේ මෙම බද්ද 10% ලෙස සලකමිනුයි. ආර්ථික වර්ධනයට අමතරව අපනයන ආදායම් හා රැකියා නියුක්තිය කෙරෙහිද මෙහි දිගුකාලීන බලපෑමක් තිබෙනවා.

ඇමරිකන් අපනයන මත ශ්‍රී ලංකාව විසින් අය කරන බදු හා අනෙකුත් බාධා අඩු කරන්නේනම් මෙම 30% බද්ද පිළිබඳව තව දුරටත් සලකා බැලීමට ඇමරිකාව සූදානම් බවද ලිපියේ සඳහන්ව තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව විසින් ඇමරිකාව තුළ කිසියම් ව්‍යාපාරයක් අරඹන්නේනම් ඒ සඳහා ක්ෂණිකව පහසුකම් සැලසීමට සූදානම් බවද එහි සඳහන්. 

Friday, August 23, 2024

දැන් ආණ්ඩුවට සල්ලි තියෙනවද?


ජනාධිපතිවරණයට තියෙන්නේ තවත් සති හතරක් පමණයි. ජනාධිපතිවරණ තරඟය තුළ ඉදිරියෙන් ඉන්න අපේක්ෂකයින් තුන් දෙනා විසින්ම රාජ්‍ය අයවැය කෙරෙහි බලපෑමක් සිදු වන විවිධ පොරොන්දු දෙන බවක් පේන්න තිබෙනවා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමක ඉඳලා වෙනත් වියදම් වැඩි වෙන යෝජනා වල සිට විවිධ බදු සහන දක්වා පරාසයක පැතිරුණු යෝජනා. මේ එක්ක ගොඩක් දෙනෙක්ට මතු වෙන සාධාරණ ප්‍රශ්නය ඔය කියන දේවල් කරන්න ආණ්ඩුවට සල්ලි තියෙනවද කියන එකයි.

අපි මේ කතා කරන්නේ අවුරුදු දෙකකට කලින් ණය ගෙවා ගන්න බැරුව "බංකොලොත් වුනු" රජයක අයවැය ගැනනේ. ඒ ශ්‍රී ලංකා රජයට දැන් හදිසියේම කප්රුකක් පහළ වෙලා නැහැ. හැබැයි දැන් ශ්‍රී ලංකා රජය අවුරුදු දෙකකට කලින් පල්ල හූරමින් හිටපු හිඟන රජයත් නෙමෙයි. ඒ හිඟන්නාගේ පාත්තරේ මේ වෙද්දී සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඉතිරි වී තිබෙනවා. 

මේ ජනාධිපතිවරණයෙන් කවුරු දිනුවත් මාස හය හතකින් රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන එකක් නැහැ කියලා මම විශ්වාසයෙන් යුතුව කියන්නේ ඔන්න ඔය හේතුව හින්දා. ඉතාම අසීරුවෙන් ආදායම් වැඩි කරගෙන සහ වියදම් දැඩි ලෙස සීමා කරමින් රජය විසින් යම් මුදලක් ඉතිරි කරගෙන ඉන්න නිසා ලබන අවුරුද්ද සඳහා හදන අයවැයෙන් යම් වියදම් වැඩි කිරීමක් හෝ බදු සහනයක් දෙන්න පුළුවන් අවකාශයක් මේ වෙද්දී හැදිලා තියෙනවා. සීමාව පැන්නුවේ නැත්නම්, එහෙම කළා කියලා කිසිසේත්ම රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ. 

මේ (2024) අවුරුද්දේ පළමු මාස හයේ බදු ආදායම රුපියල් බිලියන 1,709ක්. මෙම මුදල පසුගිය (2023) වර්ෂයේ පළමු මාස හයට සාපේක්ෂව 42.6%ක වැඩිවීමක්. ජූනි අවසානය සඳහා IMF එක විසින් ලබා දී තිබුණු ඉලක්කය රුපියල් බිලියන 1,500ක් පමණයි. ඒ අනුව, ඉලක්කයට වඩා 14.0%ක් ඉස්සරහට ගිහින් තියෙනවා. රුපියල් වලින් බිලියන 209ක්. 

ඔය බදු ආදායමනේ! බදු නොවන ආදායම් එක්ක 2024 පළමු මාස හයේ රජයේ මුළු ආදායම රුපියල් බිලියන 1,865ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය පෙර වසරට සාපේක්ෂව 41.6%ක වර්ධනයක්. 

නමුත්, ඔය විදිහට ආදායම් ඉහළ යද්දී රජය හරි හරියට වියදම් වැඩි කරලා නැහැ. පසුගිය වසරට සාපේක්ෂව වියදම් වැඩි කරගෙන තියෙන්නේ යාන්තම් 2.0%කින් පමණයි. මේ නිසා, පොලී ගෙවීම් හැර, මාස හයට රජය විසින් වියදම් කරලා තියෙන්නේ රුපියල් බිලියන 1,321ක් පමණයි. ඒ කියන්නේ ආදායමෙන් 70.9%ක් පමණයි. මේ ඉතිරි 29.1% ඉතිරි වෙලා තිබෙනවා. රුපියල් වලින් බිලියන 543ක්. එහෙමත් නැත්නම් මෙම වසරේ පළමු මාස හයට රුපියල් බිලියන 543ක ප්‍රාථමික අයවැය අතිරික්තයක්!

ලංකාව දැනට ඉන්න සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව, දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක් දක්වා ප්‍රාථමික අයවැය අතිරික්තය ඉහළ දමාගෙන ඒ මට්ටමේ තියාගෙන යන්න වෙනවනේ. ඔය ඉලක්කයට යා යුතුව තියෙන්නේ 2025 අවුරුද්දේදීයි. මේ අවුරුද්දට දීලා තියෙන ඉලක්කය 1.0%ක්. ඒ අනුව, මාස තුනෙන් තුනටත් ඉලක්ක දීලා තිබෙනවා. ජූනි මාසය අවසානයට ඉලක්කය රුපියල් බිලියන 140ක්. නමුත් රජය රුපියල් බිලියන 543ක්ම ඉතිරි කරගන්න සමත් වී තිබෙනවා. 

ලංකාව නිදහස ලැබුවට පස්සේ කිසිම දවසක ශ්‍රී ලංකා රජය විසින් මේ මට්ටමේ කාර්ය සාධනයක් පෙන්වලා නැහැ. මේක සැබෑ ක්‍රම වෙනසක්. ආණ්ඩුව කාට ගියත් ඔය පාරේම දිගටම ගියොත් රටට පැහැදිලිව පෙනෙන අනාගතයක් තිබෙනවා. 

මේ අවුරුද්ද අවසානයට ලබා දී තිබෙන ප්‍රාථමික අයවැය අතිරික්ත ඉලක්කය රුපියල් බිලියන 300ක්. ඒ අනුව, දැනටම ඉතිරි කරගෙන තිබෙන මුදල මුළු අවුරුද්දේම ඉලක්කයටත් වඩා 81.1%කින් වැඩි මුදලක්. ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8%ක් පමණ. වසරේ දෙවන භාගයේදීත් බදු එකතු කිරීම් කාර්යක්ෂම ලෙස සිදු වුනොත් සහ වියදම් ඔය විදිහටම පාලනය වී තිබුනොත් මේ අවුරුද්ද ඇතුළතම 2.3% ප්‍රාථමික අතිරික්ත ඉලක්කය පහු කරලා තවත් එහාට යන්න පුළුවන්. මම හිතන විදිහට බොහෝ විට ඒ වැඩේ වෙයි. 

දැනට මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපත්තිය වී තියෙන්නේ ලැබෙන අරමුදල් සියල්ල වියදම් නොකර යම් සංචිතයක් පවත්වා ගන්න එක. ඒ නිසා, යම් සතියක වෙළඳපොළ පොලී අනුපාතික ගොඩක් වැඩිනම් පරණ ණය ගෙවන්න අලුතෙන් ණය නොගෙන ඒ සංචිතයෙන් ගෙවන්න පුළුවන්කම තිබෙනවා. මේ හේතුව නිසා පොලී අනුපාතික මත වන පීඩනය අඩු වෙලා පොලී වියදමත් සීමා වෙනවා. ඒ නිසා පොලී වියදමද ඇතුළුව සමස්ත අයවැය හිඟය කෙරෙහි දෙපැත්තකින් වාසිදායක බලපෑම් එනවා.

පොලී වියදම්ද ඇතුළුව මේ අවුරුද්දේ පළමු මාස හයේ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 599ක් පමණයි. පසුගිය අවුරුද්දේ එම මුදල රුපියල් බිලියන 1,243ක්.

ඔය විදිහට රජය ආදායම් වැඩි කර ගෙන තියෙන්නේ මිනිස්සුන්ගේ බඩ පිටට ඇලෙන තුරු හූරලා බදු අරගෙන කියලා කෙනෙකුට කියන්න පුළුවන්. වසර දෙකකට කලින් බදු වැඩි කරපු විදිහ ගැන ඒ විදිහට කියන එකේ වැරැද්දක් නැහැ.

රටක රජයක් මොන හේතුවක් නිසා හෝ අර්බුදයට ගිහින් ඊට විසඳුමක් විදිහට ක්ෂණිකව බදු ආදායම් වැඩි කරගන්න අවශ්‍ය වූ විට බදු අනුපාතික ඉහළ දමන්න වෙනවා. මොකද බදු පදනම වැඩි කරගන්න එක එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නොවුනත් බදු අනුපාතික එක රැයකින් ඉහළ දමන්න පුළුවන්. නමුත් ඒ විදිහට දිගින් දිගටම බදු අනුපාතික ඉහළ දමන්න බැහැ. එයින් මිනිස්සුන්ට වෙන පීඩාව පැත්තකින් තිබ්බත් බදු අනුපාතික වැඩි කරලා බදු ආදායම් වැඩි කර ගන්න පුළුවන් යම් උපරිම සීමාවක් තිබෙනවා. 

ලංකාවට ලබා දී තිබුණු ඉලක්කය දදේනියෙන් 14.3% දක්වා බදු ආදායම් වැඩි කරගෙන ඒ මට්ටමේ තියාගෙන යන එක. 2022දී හිටපු 7.3% මට්ටමේ ඉඳලා 14.3% මට්ටමට එක පාරට යන්න බැහැ. බදු අනුපාතික වැඩි කරලා යම් මට්ටමකට යා හැකි වුනත් එතැනින් එහාට යන්න බදු පදනම පුළුල් කරගන්න වෙනවා. කොයි තරම් කාර්යක්ෂම රජයකට වුනත් ඒ වැඩේට සැලකිය යුතු කාලයක් යනවා. IMF එක විසින් ශ්‍රී ලංකා රජයට මේ ඉලක්කයට ටිකෙන් ටික යන්න 2028 දක්වා කාලය දී තිබෙනවා. 2025 වසර සඳහා ඉලක්කය 13.9%ක්.

මේ විදිහට බදු ආදායම් ඉලක්ක වලට යන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ සඳහා, අදාළ ආයතන වලට කාර්ය සාධන ඉලක්ක (KPI) ගණනාවක් දී තිබෙනවා. ඒවා ඉතාම විස්තරාත්මක මට්ටමට ගිය ඒවා. නිකම්ම එකතු කළ යුතු සල්ලි ගණන් පමණක් නෙමෙයි. අලුතෙන් විවෘත කළ යුතු බදු ගොනු ප්‍රමාණ, විගණනය කළ යුතු බදු ගොනු ප්‍රතිශතය, නියමිත දිනයට බදු ගෙවීම් ප්‍රතිශතය ආදී ගොඩක් දේවල් සඳහා තියෙන්නේ මාස තුනෙන් තුනට ඉහළ යන ඉලක්ක. ඒ නිසා, අතීතයේ පැවති තත්ත්වයන් එක්ක පසුගිය අවුරුදු දෙක සංසන්දනය කරලා ඒ පරණ විවේචන දිගටම කරන්න පුළුවන් පසුගිය දෙවසර තුළ සිදු වී තිබෙන විශාල වෙනස්කම් ගැන යාවත්කාලීන නැති කෙනෙකුට පමණයි. එහෙම නැතුව බදු අනුපාතික වැඩි කළ නිසා ස්වයංක්‍රීය ලෙස බදු ආදායම් වැඩි වෙලා නෙමෙයි. (මේ දේවල් ගැන ආණ්ඩුව ජනතාව දැනුවත් කරන්නෙත් නැහැ තමයි!)

රජයේ බදු ආදායම් ඉහළ ගිහින් තිබුණත් බදු සහන දෙන්න තවමත් අමාරු ඔය 14.3% ඉලක්කයට යන්න තිබෙන නිසා. හැබැයි මේ දක්වා රජයේ කාර්ය සාධනය ඉලක්ක වලට වඩා ඉදිරියෙන් තිබෙනවා. 2023 වසර අවසානය සඳහා ඉලක්කය වුනේ 9.2% වුනත් 9.8% මට්ටමට ගියා. මේ අවුරුද්ද අවසානයට ඉලක්කය 12.1% වුනත්, දැන් පෙනෙන විදිහට 12.4% වගේ මට්ටමකට යන්න පුළුවන්. ඒ IMF දෙවන විමර්ශනයේ ඇස්තමේන්තුව. මම හිතන්නේ ඊටත් වඩා ගොඩක් එහාට යන්න පුළුවන් වෙයි. 

මේ තත්ත්වයන් එක්ක යම් බදු සහනයන් සම්බන්ධව දැනටමත් IMF එක සහ ශ්‍රී ලංකා රජය එකඟ වී තිබෙනවා. හැබැයි ඒවා ඉදිරියේදී පැනවීමට නියමිතව තිබුණු අලුත් බදු හා අදාළ වෙනස්කම්. 

මුල් සැලසුමට අනුව 2025 වර්ෂයේදී 1.9%කින් බදු ආදායම වැඩි කර ගත යුතුව තිබුණත් දැන් පෙනෙන විදිහට ඉලක්කයට යන්න තවත් අඩු 1.5%ක් පමණයි. වාහන ආනයනයට ඉඩ ලැබෙද්දී එයින් 0.8%ක් එකතු වෙනවා. වැට් බදු පදනම පුළුල් වෙද්දී තවත් 0.3%ක් එනවා. ඒ නිසා, 2025 සඳහා කලින් යෝජනා වී තිබුණු දේපොළ බද්ද දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. සුළු බදු වෙනස්කම් කිගිපයක් පමණක් කරලා අවශ්‍ය ඉලක්කයට යන්න පුළුවන්. 

ලංකාවේම ඉතිහාසය සහ ලංකාවේ ආර්ථික මට්ටමේ ඉන්න ලෝකයේ අනෙකුත් රටවල් එක්ක බලද්දී ලංකාවේ බදු ආදායම් තියෙන්නේ ගොඩක් පහළ මට්ටමකයි. ඒ නිසා, IMF එක ඉන්න මතය ඔය අවශ්‍ය අවම සීමාව දක්වා ආදායම් වැඩි කරගත යුතු බවයි. ඒ නිසා, අලුතෙන් දමන්න යෝජනා වී තිබෙන බදු නොදමා සිටීම වැනි දෙයක් හැර දැනට තිබෙන බදු අඩු කිරීමක් කරන්න පුළුවන් තත්ත්වයක් තවම නැහැ. හැබැයි යන විදිහට මේ අවුරුද්ද අන්තිමේදී කලින් හිතුවට වඩා හොඳ තත්ත්වයක් පෙනෙන්න පුළුවන්. 

එහෙම වුනොත් ලබන වසරේදී දැනට තිබෙන බදු අනුපාතික යම් තරමකින් අඩු කරන එක වුනත් කරන්නම බැරි වැඩක් නෙමෙයි. එහෙම කියලා බඩේ ඉන්න ළමයින්ට කේන්දර හදන්න බැහැනේ. අවුරුද්ද ඉවර වෙලා රාජ්‍ය අයවැය ඇස්තමේන්තු හා ජාතික ගිණුම් ඇස්තමේන්තු (දදේනි) එනකම් ඉන්න වෙනවා. ඊට පස්සේ ඒවා පෙන්නලා IMF එකත් එක්ක කතා කරන්න පුළුවන්.

සමහර අය කියන කතාවක් වන්නේ ජනවරම පෙන්නලා IMF එකත් එක්ක හෙට්ටු කරන්න පුළුවන් කියලා. ඒවා මැතිවරණ ඉලක්ක කර කියන කතා. IMF එකත් එක්ක හෙට්ටු කරන්න ජනවරම් පෙන්නන්න අවශ්‍ය නැහැ. රජයේ අපේක්ෂිත ආදායම් කලින් දී තිබෙන ඉලක්ක වලට වඩා වැඩිනම්, ඒ සංඛ්‍යාලේඛණ තහවුරු කර පෙන්නලා බදු කප්පාදුවකට IMF එක කැමති කරගන්න එක අමාරු වැඩක් නෙමෙයි. මීයෝ අල්ලන බව පේනවානම් IMF එක පූසා ඉටිද මැටිද කියලා හොයන්නේ නැහැ. හැබැයි ආදායම් පේන්න නැත්නම්, මොන ජනවරමක් තිබුණත් ඔය හෙට්ටු කිරිලි බොරු!

දැන් යන විදිහට රජයේ ආදායම් වැඩි වෙන බවත්, බදු කපලා ආදායම් අඩු කරගන්න ඉඩක් දැනට නැති බවත් පැහැදිලියිනේ. එහෙම වෙද්දී වියදම් වැඩි වුනේ නැත්නම් අවශ්‍ය ඉලක්ක ප්‍රමාණයට වඩා සල්ලි ඉතුරු වෙනවා. ආණ්ඩුව කාගේ වුනත් ඒ සල්ලි වියදම් කරන්න පුළුවන්. වියදම් කරන්නේ කොහොමද කියන එක දේශපාලන තීරණයක්. 

දැන් අපි රාජ්‍ය සේවක වැටුප් කියන මාතෘකාවට ආවොත්, 2022දී එම වියදම රුපියල් බිලියන 956ක්. 2023දී මේ වියදම රුපියල් බිලියන 940 දක්වා අඩු වී තිබෙනවා. මේ අවුරුද්දේ පළමු මාස හතරේ සංඛ්‍යාලේඛණ අනුව මේ වියදම තවත් අඩු වෙමින් තිබෙනවා. මීට හේතුව පසුගිය කාලයේදී අලුත් බඳවා ගැනීම් සිදු නොකිරීමයි. අපි රුපියල් රුපියල් බිලියන 920 ලෙස සලකමු. ඔය සංඛ්‍යාලේඛණය අනුව, රාජ්‍ය සේවක වැටුප් 25%කින් වැඩි කරන්න අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 230ක පමණ මුදලක්. මේ අවුරුද්දේ පළමු මාස හය තුළ පමණක් ඉලක්කය ඉක්මවා ඉතිරි කරගෙන තිබෙන මුදල රුපියල් බිලියන 403ක්. ඒ කියන්නේ ආණ්ඩුව කාට ගියත් ඔය වැඩේ කරන්න ලොකු අමාරුවක් නැහැ. 

ආණ්ඩුවට ඡන්ද තියන්න සල්ලි තියෙනවද? මැතිවරණයක් සඳහා වැය වන්නේ රුපියල් බිලියන දහයක් හෝ දොළහක් වැනි මුදලක්. දැන් තත්ත්වය අනුව ඒ වගේ මුදලක් වැය කරන එක කිසිසේත්ම ලොකු දෙයක් නෙමෙයි. හැබැයි එහෙමත් බැරි කාලයක් පහු කරලා තමයි දැන් ඉන්න තැනට ආවේ. 

Thursday, June 20, 2024

මැද රටේ ආර්ථිකය


පසුගිය 2023 වර්ෂයේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 126.1ක්. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 17.9ක් පමණ. එම වසරේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 27.4ක්. ඒ කියන්නේ ඇමරිකන් ආර්ථිකය තවමත් චීන ආර්ථිකයට වඩා 53%කින් විශාලයි. යුරෝපීය සංගමයේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 18.4ක් පමණ වුවත්, එහි ප්‍රධානම ආර්ථිකය වන ජර්මනිය වගේම, ලෝකයේ විශාලතම ආර්ථික අතර තිබෙන ඉන්දියාව හා ජපානයත් ආර්ථිකයේ ප්‍රමාණය අතින් චීනයට වඩා ගොඩක් පසුපසිනුයි ඉන්නේ. ජර්මනිය, ජපානය හා ඉන්දියාව යන රටවල් තුනේම ආර්ථිකයන් එකතු කළත් චීනයේ ආර්ථිකය තරම් විශාල නැහැ. 

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීන ආර්ථිකයේ සංයුතිය මොන වගේද?

කෘෂිකර්මය - යුවාන් ට්‍රිලියන 9.4 (7.5%)

කර්මාන්ත - යුවාන් ට්‍රිලියන 39.9 (31.7%)

ඉදි කිරීම් - යුවාන් ට්‍රිලියන 8.6 (6.8%)

සේවා - යුවාන් ට්‍රිලියන 68.1 (54.0%)

චීනයේ නිෂ්පාදන ආර්ථිකය ගැන ගොඩක් අය කතා කළත්, චීන ආර්ථිකයේ ලොකුම පංගුව සේවා ආර්ථිකය. ලංකාව, ඇමරිකාව, වියට්නාමය ඇතුළු අනෙක් බොහෝ රටවල වගේම තමයි. 

උදාහරණයක් විදිහට දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.8%ක් හෙවත් යුවාන් ට්‍රිලියන 12.3ක් තොග හා සිල්ලර වෙළඳාම. ඒ වගේම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.0%ක් හෙවත් යුවාන් ට්‍රිලියන 10.1ක් මූල්‍ය අංශයේ අතරමැදි සේවා. තව යුවාන් ට්‍රිලියන 7.4ක් හෙවත් දදේනියෙන් 5.8%ක් නිවාස හා දේපොළ වෙළඳාම්. ඔය කොටස් තුන පමණක් එකතු කළත් චීනයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් පංගුවකට කිට්ටුයි (23.6%).

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සැලකිය යුතු පංගුවක් ඉහත සඳහන් අනු අංශ තුන බව මම පෙර සටහනක සඳහන් කර තිබෙනවා. මේ සියල්ල අතරමැදි සේවාවන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙය විකෘතියක්ද? එහෙමනම්, කොමියුනිස්ට් පක්ෂයක පාලනය ය‍ටතේ තිබෙන චීනයේ ඔය අතරමැදි සේවා වල පංගුවත් ඔය තරම් විශාල වුනේ කොහොමද? 

මම හිතන්නේ අතරමැදියන් නැති කිරීමේ මිථ්‍යාව ගැන කොමියුනිස්ට් චීනය දිහා බලලා වුනත් ඉගෙන ගන්න අමාරු නැහැ. ආර්ථිකයක් ප්‍රසාරණය වීම සඳහා තොග හා සිල්ලර වෙළඳාම, මූල්‍ය අංශයේ අතරමැදි සේවා හා නිවාස හා දේපොළ වෙළඳාම් වැනි අතරමැදි සේවාවන් ඉතාම අවශ්‍යයි. ඒවා නැති කරලා ආර්ථිකයන් ප්‍රසාරණය කරන්න බැහැ. 

චීනය විශාල රාජ්‍ය අංශයක් තිබෙන රටක්. චීන රජය යටිතල පහසුකම් සංවර්ධනය ආදිය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. මේ වෙනුවෙන් චීන රජය සල්ලි හොයා ගන්නේ කොහොමද?

අමුතු මැජික් එකක් නැහැ. ඇමරිකාවේ හා ලංකාවේ රජයයන් වගේම චීන රජයත් ආදායම් හොයා ගන්න ප්‍රධාන ක්‍රමය බදු. 2023දී චීනයේ මුළු රාජ්‍ය ආදායම වූ යුවාන් ට්‍රිලියන 21.7ක මුදලින් යුවාන් ට්‍රිලියන 18.1ක්ම, ඒ කියන්නේ 84%ක්ම බදු ආදායම්. චීන රජයට අයිති රාජ්‍ය ව්‍යවසාය වලින් ලැබෙන ආදායම් ඇතුළු අනෙක් සියලු ආදායම් තිබෙන්නේ ඉතිරි 16% ඇතුළේ. 

මේ බදු සියල්ල සෘජු බදුද?

මොන පිස්සුද? ඔය බදු ආදායමෙන් යුවාන් ට්‍රිලියන 6.9ක්ම වැට් බදු. තවත් යුවාන් ට්‍රිලියන 1.6ක් පරිභෝජන බදු. මීට සාපේක්ෂව පුද්ගල ආදායම් බදු යුවාන් ට්‍රිලියන 1.5ක් පමණයි. සමාගම් ආදායම් බදු යුවාන් ට්‍රිලියන 4.1ක්. වක්‍ර බදු අය කළා කියලා සෘජු බදු අය නොකර ඉන්නේ නැහැ.

චීනය ආදායම මත කොයි තරම් බදු ගහනවද?

යුවාන් 3000 දක්වා (මාසික ආදායම) - 3%

යුවාන් 3000-12,000 අතර - 10%

යුවාන් 12,000-25,000 අතර - 20%

යුවාන් 25,000-30,000 අතර - 25%

යුවාන් 35,000-50,000 අතර - 30%

යුවාන් 55,000-80,000 අතර - 35%

යුවාන් 80,000 සිට - 45%

රජයකට බදු අය නොකර වියදම් කරන්න බැහැ. වියදම් කළ හැක්කේ කාගෙන් හෝ බදු ලෙස එකතු කර ගන්නා සල්ලි. චීනය කියලා එහි වෙනසක් නැහැ.

Friday, January 5, 2024

වැට් කොයි තරම් එකතු වෙනවාද?

පසුගිය 2022 අවුරුද්දේ පළමු හා දෙවන කාර්තු දෙකේදී වැට් බද්ද තිබුණේ 8% මට්ටමේ. මෙය තුන්වන කාර්තුවේදී 12% දක්වාත්, හතරවන කාර්තුවේදී 15% දක්වාත් වැඩි කළා. 

පෙර ලිපියක විස්තර කළ පරිදි, වැට් බදු අය කරන්නේ අගය එකතු කිරීම් මතයි. දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රටේ අගය එකතු කිරීම් වල එකතුව. ඒ නිසා, වෙනසක් නැතුව රටේ නිපදවන සියළුම භාණ්ඩ හා සේවා මත එකතු කළ අගය මත පදනම්ව වැට් අය කළොත්, දදේනි අනුපාතයක් ලෙස වැට් බදු ආදායම හා රටේ වැට් බදු අනුපාතය සමාන විය යුතුයි.

නමුත්, කිසිම රටක ඕක ඔය විදිහට වෙන්නේ නැහැ. ඊට පළමු හේතුව, ඇතැම් භාණ්ඩ හා සේවා මත අඩු වැට් බදු අනුපාතයක් අය කිරීම. සමහර විට මෙවැනි ඇතැම් භාණ්ඩ හා සේවා වැට් බද්දෙන් නිදහස් කරලා වෙන්නත් පුළුවන්. ලංකාවෙත් එවැනි වැට් වලින් නිදහස් බඩු ලැයිස්තුවක් තිබෙනවා. දෙවැනි හේතුව අපනයන මත සාමාන්‍යයෙන් වැට් බදු අය නොකිරීම. තුන් වන හේතුව දදේනියෙන් ආයෝජනය කරන කොටස වැට් බද්දට අහු නොවීම. 

ඔය හේතු තුනට අමතර අනෙකුත් හේතු විදිහට බදු එකතු කිරීමේ යාන්ත්‍රණයේ ප්‍රශ්න තිබෙනවා. ලංකාව ගත්තොත් වැට් සඳහා ලියාපදිංචි වීමේ අවම පිරිවැටුම් සීමාව නිසා ඊට පහළින් කොටස හැලෙනවා. ඊට අමතරව වැට් බදු හරියට නොගෙවීමේ ප්‍රශ්නය තිබෙනවා. 

ප්‍රධාන වශයෙන්ම ඉහත කී පළමු හේතු තුන නිසා ගොඩක් OECD රටවල් වල වැට් බදු ආදායම දදේනි අනුපාතයක් ලෙස ගත්තහම වැට් බදු අනුපාතයෙන් 50%-60% අතර මට්ටමකයි තියෙන්නේ. ඉතිරි කොටස වැට් වලට අහු නොවන හෝ මුළුමනින්ම අහු නොවන කොටස.

ලංකාවේ 2022 එක් එක් කාර්තුවේ දදේනිය සහ එම කාර්තුව තුළ අය කළ වැට් බදු අනුපාතය අනුව මුළු දදේනියම වැට් වුනානම් රජයට ලැබෙන බදු ආදායම හොයා ගන්න පුළුවන්. මෙම මුදල රුපියල් බිලියන 2,655.6ක් හෙවත් දදේනියෙන් 11.0%ක්. නමුත්, ආනයන මත අය කළ වැට් කොටස නැතුව එම වසරේ වැට් බදු ආදායම් ලෙස ඇත්තටම එකතු කරගෙන තිබෙන්නේ රුපියල් බිලියන 291.6ක් පමණයි. මෙය දදේනියෙන් 1.2%ක් පමණයි. 

වෙනත් විදිහකින් කිවුවොත් රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයෙන් වැට් අය වී තිබෙන කොටස 11.0%ක් පමණයි. ඉතිරි 89.0%ක කොටස වැට් වෙලා නැහැ. රටේ නිපදවන භාණ්ඩ හා සේවා වලින් 50%ක් වැට් වුනොත්, වැට් බද්ද 18%නම්, වැට් වලින් විතරක් රජයට දදේනියෙන් 9%ක බදු ආදායමක් එන්න ඕනෑ. මේ ආනයනික භාණ්ඩ මත අය කරන වැට් කොටස නැතුව. 

මේ සමඟ පළ කරන වගුවේ තිබෙන්නේ OECD රටවල් 35ක සාමාන්‍ය වැට් බදු අනුපාතය සහ දදේනි අනුපාතයක් ලෙස වැට් බදු ආදායම. ඔය දෙක අතර අනුපාතයත් වගුවේ තිබෙනවා. OECD රටවල් 38 අතරින් වැට් අය නොකරන ඇමරිකාවත්, වැට් අනුපාතය ප්‍රාන්තය අනුව වෙනස් වන කැනඩාවත්, සංසන්දනාත්මක රාජ්‍ය ආදායම් දත්ත හොයා ගන්න නැති නිසා ඕස්ට්‍රේලියාවත් වගුවේ නැහැ. අනෙක් රටවල් සියල්ල එහි තිබෙනවා.



Thursday, January 4, 2024

නැති රුපියල් හා නැති ඩොලර්

 

මේ සමඟ පළ කර තිබෙන පළමු රූප සටහනේ දැකිය හැක්කේ පවර් අවුට්ලට් හතරක් තිබෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක්. මේ විදිහේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් තිබේනම් එය පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කිරීමෙන් පසුව විදුලි උපකරණ හතරකට එයින් විදුලිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ මෙහි තිබෙන පවර් අවුට්ලට් හතරෙන් එකකට තව ඔය වගේම එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් සම්බන්ධ කළොත් ඒකෙනුත් විදුලි උපකරණ හතරකට විදුලිය ලබා ගන්න පුළුවන්. (සම්බන්ධ කරන විදුලි පරිපථය ඕවර්ලෝඩ් වුනොත් ෆියුස් එක යයි. ඒක වෙනම කතාවක්.)

රූප සටහනේ තියෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එකත් පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලයි තියෙන්නේ. හැබැයි ඒ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ ඒකෙම පවර් අවුට්ලට් හතරෙන් එකකට. එක්ස්ටෙන්ෂන් කෝඩ් එක පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලා තව උපකරණ හතරකට එයින් විදුලිය ගන්න පුලුවන්නම්, මේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එක පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලත්නම්, ඉතුරු වෙලා තිබෙන පවර් අවුට්ලට් තුනෙන් විදුලි උපකරණ තුනකට අවශ්‍ය විදුලිය ලබා ගන්න බැරිද? 

කෙනෙකුට ඉහත ආකාරයෙන් තර්ක ගොඩ නගන්න පුළුවන්. සමහර විට ඒ වගේ තර්ක සමාජගත කරන්නත් පුළුවන්. නමුත්, මේ වගේ දෙයක් කරන්න බැරි බව ඔකපතන ඉස්කෝලේ පහේ පන්තියේ ළමයෙක් වුනත් කියයි. ඒකට භෞතික විද්‍යාව ලොකුවට දැන ගන්න අවශ්‍ය නැහැ. විදුලි පරිපථ ගැන ලොකුවට දැන ගන්න ඕනෑ නැහැ. ප්‍රායෝගික අත්දැකීම් මත සාමාන්‍ය බුද්ධියට තේරෙන දෙයක්. ඇයි බැරි කියලා ඇහුවොත් ගොඩක් අය මේ වගේ උත්තරයක් දෙයි.

"එතකොට කොහෙන්ද මේකට කරන්ට් එක එන්නේ?"

ඕක තේරෙන්නේ ප්‍රායෝගික අත්දැකීම් වලින්. ඔය වගේ සාමාන්‍ය පුද්ගලයෙක්ට වැඩි මහන්සියක් නැතුව තේරුම් ගන්න පුළුවන් දේවල් සමහර වෙලාවට ටිකක් වැඩිපුර හිතන කෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඒකෙන් ඒ වගේ කෙනෙක් සාමාන්‍ය පුද්ගලයෙක්ට තේරෙන දෙයක්වත් නොතේරෙන මෝඩයෙක් කියා අදහස් වෙන්නේ නැහැ. අලුත් දැනුමක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් හිතන විදිහට නොහිතන කෙනෙක්ට. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් හිතන විදිහට නොහිතා කෙනෙක් යමක් කී පමණින් එය අලුත් දැනුමක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කලාතුරකින්.

පළමු රූප සටහනේ වගේ පද්ධතියකින් විදුලිය ගන්න බැරි බව තේරුම් ගන්න කාට වුනත් වැඩි අමාරුවක් නැතත්, ඔය සංකල්පයම ටිකක් රට පටලවලා ඉදිරිපත් කළොත් හැමෝටම එක පාරට අවුල මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. මේ සමඟ පළ කර තිබෙන දෙවන රූප සටහනේ තියෙන්නේ ඒ වගේ පද්ධතියක්. 


මේ දෙවන රූප සටහනේ පද්ධතියෙන් ජෙනරේටරයක් කරකවලා විදුලිය ලබා ගන්නවා. ජෙනරේටරය කරකවන්න යොදා ගන්නේ හුළං පුරවපු බැලුන් වැලක්. බැලුන් ටික වතුර භාජනයක් ඇතුළෙන් යනවා. භාජනයේ අඩියේ බැලුන් වලට ඇතුළට යන්න ඉඩ සලසන එහෙත් වතුර ලීක් නොකරන වෑල්වයක් තියෙනවා. ඒ වෑල්වයෙන් භාජනය ඇතුළට යන බැලුන් එකින් එක උඩුකුරු තෙරපුම නිසා වතුරේ උඩට යද්දී ජෙනරේටරය කැරකෙනවා. හුළං පිරවූ බැලුන් වල ඝණත්වය වතුරේ ඝණත්වයට වඩා අඩු වුනත්, සාමාන්‍ය වාතයේ ඝණත්වයට වඩා වැඩියි. ඒ නිසා, අනෙක් පැත්තෙන් ගුරුත්වය නිසා පහළට බලයකුත් යෙදෙනවා. 

මේ පද්ධතියේ තිබෙන අවුල මෙය කියවන බොහෝ දෙනෙක් විසින් තේරුම් ගෙන විස්තර කරන්න ඉඩ තිබුණත්, පළමුවෙනි රූප සටහනේ පද්ධතියේ අවුල තේරුම් ගන්න තරමටම ඒක ලේසි නෑ කියන එක මගේ අදහසයි. වෙන වචන වලින් කිවුවොත් ඒ අවුල ඕනෑම පොඩි ළමයෙකුට තේරෙන එකක් නැහැ. රටේ ප්‍රසිද්ධ, සැලකිය යුතු සමාජ ප්‍රාග්ධනයක් එකතු කරගත්ත කෙනෙක් ප්‍රසිද්ධ මාධ්‍යයක ඔය වගේ පද්ධතියක් හඳුන්වා දී විස්තර කළොත් වැඩේ තවත් සීරියස්. ඒ වගේ අවස්ථාවකදී ඔය වගේ අදහසක් සමාජගත වෙන්න වුනත් පුළුවන්.

ආර්ථිකය සම්බන්ධ කාරණා වලදීනම් ඔය වගේ දේවල් දුර්ලභ නැහැ. එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් අතපත ගානවා වගේ රටක සාර්ව ආර්ථිකය අතපත ගාන්න අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින් කෙනෙක්ට. ඒ නිසා, ඒ වගේ කෙනෙක්ට හිතන්නවත් තරම් නොවන දේ වෙනත් අයට මාර සීරියස් අදහස් විදිහට පේනවා. ඒක වැරැද්දක් කියන්නත් බැහැ.

මේ වගේ ටිකක් දිග පූර්විකාවක් ලිවුවේ නලින් ද සිල්වාගේ ලිපියක තිබෙන පහත අදහස ගැන කතා කරන්න.

"වැට් බද්ද පනවා ඇත්තේ ජාමුල අවශ්‍යතාවක් පරිදි. එයට මූලික හේතුව වූයේ ජාමුලට අවශ්‍ය පරිදි රුපියල පා කිරීම. ගෝඨාභය හා කබ්රාල් මුල දී කළාක් මෙන් ඩොලරයට නිශ්චිත අගයක් නියම කළා නම් මුදල් අමාත්‍යාංශයට ඩොලර් මිල දී ගැනීමේ දී මහා බැංකුවට රුපියල් විශාල ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙන්නෙ නැහැ. අද එසේ ගෙවන්න මුදල් අමාත්‍යංශයට රුපියල් නැහැ. රුපියල් හොයා ගන්න වෙන්නෙ මුදල් අච්චු ගැසීමෙන් බදු පැනවීමෙන්. ජාමූල කියනවා මුදල් අච්චු ගහන්න එපා කියලා. ඉතින් වැට් බද්දයි මරාල බද්දයි අර බද්දයි මේ බද්දයි පනවන්න ඕන."

මෙය නලින් ද සිල්වා විසින් මේ අදහස ඉදිරිපත් කර තිබුණු මුල් අවස්ථාව නෙමෙයි. පෙර ලිපියක හෝ කිහිපයකත් මේ කතාව කියා තිබුණා. මෙය නලින් ද සිල්වාගේ ලිපියට පිළිතුරක් හෝ ඔහුට උගන්වන්න ලියන ලිපියක් නෙමෙයි. නමුත්, ස්වාධීනව හිතා ස්වාධීනව අදහස් කළ කරන නලින් ද සිල්වා වගේ කෙනෙක්ට මෙහෙම හිතෙනවානම් රටේ තවත් බොහෝ දෙනෙකුට මෙහෙම හිතෙන එකේ පුදුමයක් නැහැ. 

ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික මට්ටමේ හෝ දැනුමක් තිබෙන කෙනෙකුට මෙය විස්තර කළ යුතු නැතත්, එසේ නොවන බොහෝ දෙනෙකුට කතාවේ අවුල තේරුම් ගන්න එක ඒ තරම්ම සරල නැතුව ඇති කියා හිතෙන්නේ නලින් ද සිල්වා වගේ කෙනෙක් විසිනුත් මේ කතාව ලියා තිබෙන නිසා. 

මෙහි තිබෙන්නේ රාජපක්ෂ ආර්ථික ක්‍රමයේ ඉතා කෙටි සාරංශයක්. විශේෂයෙන්ම 2010-2012 කාලයේදීත්, ඉන්පසුව 2020-2021 වසර වලදීත් කළ දේ තමයි මෙහි කෙටියෙන් තියෙන්නේ. එහෙම කරලා රට ඉතිහාසයේ වැටුණු නරකම තැනකට වැටිලා හොඳම එකෙන් කෙළ වුණු විදිහ ඇස් පනාපිට දැක්කට පස්සේ තවමත් ඔය ක්‍රමය ගැන කතා කරන අය ඉන්නවා කියන්නේ බැරෑරුම් ලෙස සිතිය යුතු කරුණක්. විශේෂයෙන්ම ඒ ගොඩේ ඉන්න ඇතැම් අය සාමාන්‍ය පුද්ගලයින්ම නොවන නිසා. 

මෙය කියවන ගොඩක් අයටනම් මේකේ ලිපියක් ලියා විස්තර කරන්න තරම් දෙයක් නැතුව ඇති. නමුත්, මේ කතාවේ අවුල නැවත නැවත මතක් නොකළොත්, අද හෙට නොවෙතත්, නැවත කවදා හෝ දවසක රෑ වැටුණු වලේ දවල් වැටෙන්න පුළුවන්.

දැන් මෙහි තර්කය මේ වගේ එකක්. ඩොලරයක මිල පා වෙන්න නොදී රුපියල් 200 වගේ මට්ටමක නොවෙනස්ව තියාගෙන හිටියානම් රජයට ඒ මිලට මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්න තිබුණා. එහෙමනම්, රජයේ වියදම් මේ තරම් ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, බදු වැඩි කරන්න වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ බදු වැඩි කරන්න අවශ්‍ය වුනේ ඩොලරය පා කළ නිසා. 

පළමුව, රජයේ වියදම් වැඩි ප්‍රමාණයක් රුපියල් වියදම් මිසක් ඩොලර් වියදම් නෙමෙයි. රටේ උද්ධමනය වැඩි වෙද්දී මේ වියදම් කොහොමටත් වැඩි වෙනවා. ඒ වැඩි වූ වියදම් යම් ක්‍රමයකින් හොයා ගන්න වෙනවා. උද්ධමනය වැඩි වෙද්දී බදු ආදායම්ද නිකම්ම ඉහළ යන නමුත් පටන් ගනිද්දීම රජයේ ආදායම් හා වියදම් අතර විශාල පරතරයක් තිබුණොත් උද්ධමනය නිසා වෙන්නේ ඒ පරතරය වැඩි වෙන එක. 

රජය විසින් ආනයනික භාණ්ඩයක් මිල දී ගත්තත් බොහෝ අවස්ථා වලදී එසේ මිල දී ගන්නේ රට ඇතුළේම ඉන්න සැපයුම්කරුවෙක්ගෙන්. සෘජුවම ආනයනය කරන්නේ නැහැ. ඒ නිසා, ගෙවන්නේ රුපියල් වලින් මිසක් ඩොලර් වලින් නෙමෙයි. රුපියල් වලින් ගෙවුවත් ඩොලරය ඉහළ යද්දී මේ වගේ වියදම් ඉහළ යනවා තමයි. නමුත් රජය විසින් ආනයනික භාණ්ඩ මිල දී ගැනීම සඳහා යන වියදම රජයේ මුළු වියදම් වල එක් කොටසක් පමණයි. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල ඉහළ යද්දී ආනයන බදු ආදායම් ආදියත් නිකම්ම ඉහළ යනවා. මෙහිදීත් ඩොලරයක මිල ඉහළ යාම ප්‍රශ්නයක් වෙන්නේ පටන් ගනිද්දී ඩොලරයක මිල මත තීරණය වන වියදම් හා ඩොලරයක මිල මත තීරණය වන ආදායම් අතර පරතරයක් තිබුනොත් පමණයි. 

මීට අමතරව රජයට ඩොලර් අවශ්‍ය වෙන්නේ කලින් ගත් විදේශ ණය වල වාරික හා පොලී ගෙවන්න. ඒවා ඩොලර් වලින්ම ගෙවන්න වෙනවා වගේම ඒ සඳහා රුපියල් ගෙවා මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්නත් වෙනවා. නමුත් ඒ වගේම මෙහි අනෙක් පැත්තකුත් තිබෙනවා. රජය විසින් අලුතෙන් ගන්න විදේශ ණය මහ බැංකුවට විකුණලා රුපියල් කරන්නත් වෙනවා. රජය ශුද්ධ වශයෙන් විදේශ ණය ගෙවනවානම් ඩොලරයක මිල පහළින් තියෙන එක වාසියි. නමුත් වෙන්නේ ඒකේ අනෙක් පැත්තනම් ඩොලරයක මිල පහළින් තියෙන තරමට රජයට පාඩුයි. දැන් පොඩි වෙනසක් වී තිබුණත් බොහෝ විට ලංකාවේ තිබුණු තත්ත්වය දෙවැන්න මිසක් පළමුවැන්න නෙමෙයි. 

කොහොම වුනත්, මේ තර්කයේ තිබෙන ප්‍රධාන වැරැද්ද ඕක නෙමෙයි. රජයට මහ බැංකුවෙන් අඩු මිලට ඩොලර් මිල දී ගන්න පුළුවන් වුනත් එහෙම කරද්දී මහ බැංකුවේ සංචිත අඩු වෙනවා. ඒ නිසා, මහ බැංකුවේ සංචිත එලෙසම පවත්වා ගනිමින් ඔය වැඩේ කරන්නනම් මහ බැංකුව විසින් රජයට විකුණන ඩොලර් ප්‍රමාණය නැවත කාගෙන් හෝ මිල දී ගන්න වෙනවා. මිල අඩු මට්ටමක තියාගෙන ඉඳිද්දී කවුරුවත් ඒ මිලට මහ බැංකුවට සංචිත විකුණන්නේ නැහැ. ඒ නිසා, මේ වැඩේ කරද්දී මහ බැංකුවේ සංචිත ටිකෙන් ටික හිඳී ගිය ආකාරයත්, රටේ හා රටට සල්ලි එවන රටින් පිට ඉන්න මිනිස්සු බැංකු ක්‍රමය අත ඇරලා උන්ඩියල් වලට මාරු වුන ආකාරයත් අපි ඇස් පනාපිටම දැක්කා. සෙල්ලම නතර වෙද්දී සංචිත හිඳිලා රටත් බංකොලොත් වෙලා.

කවුරුවත් ඩොලර් විකුණන්න කැමති නොවන අඩු මිලක ඩොලරය තියාගෙන ප්‍රශ්නය විසඳගන්න හදන එක මුලින් කී පද්ධති දෙකෙන් එකකින් විදුලිය ගන්න හදනවා වගේ වැඩක්. හැබැයි මේ වගේ දෙයක් ඉතා කෙටි කාලයක් කරන්න පුළුවන්. ඒ මහ බැංකුව සතුව යම් විදේශ සංචිත ප්‍රමාණයක් තිබෙන නිසා. මේක හරියට බැටරියක විදුලිය ගබඩා කර ගන්නවා වගේ දෙයක්.

නිතර ලයිට් කපපු පහු ගිය කාලයේ ගොඩක් ගෙවල් වල ලයිට් ගිය වෙලාවට ස්වයංක්‍රීය ලෙස පත්තු වෙන විදුලි පහන් තියාගෙන හිටියා. මේ විදුලි පහන් ක්‍රියාත්මක වෙන්නේ බැටරියකින්. විදුලි බලය තියෙන වෙලාවට බැටරිය චාජ් වෙනවා. ලයිට් ගියාම ඒ චාජ් එකෙන් බල්බ් එක පත්තු වෙනවා. නැවත විදුලි බලය ලැබුණු විට බල්බ් එක ස්වයංක්‍රීය ලෙස නිවී ගිහින් බැටරිය චාජ් වෙන්න පටන් ගන්නවා.

ඔය වගේ විදුලි පහන් වලින් ලයිට් ගිය වෙලාවට එළිය ගන්න පුළුවන් වුනේ එක දිගටම ලයිට් නොකපපු නිසා. විදුලි පහනේ බැටරිය බහින්න කලින් හැම විටම වගේ නැවත ලයිට් එනවා. එහෙම වුනේ නැත්නම් චාජ් එක ඉවර වුනාට පස්සේ ඔය විදුලි පහණත් නිවී යනවා. එක දිගටම ඩොලරයක මිල පහළින් තියා ගනිද්දී වෙන්නෙත් හරියටම ඔය වැඩේ. බැටරියේ චාජ් එක ඉවර වෙනවා වගේම රටේ නිල සංචිතත් ඉවර වෙනවා. ඊට පස්සේ ඉතිං රටම කළුවරේ තමයි.

ආර්ථික විද්‍යාඥයෝ මේ වෙන්න යන දේ පෙන්වලා දුන්නේ අවුරුදු ගණනකට කලින්. අපිම වුනත් අවුරුදු හත අටකට කලින් සිට බ්ලොග් එක හරහා වෙන්න යන දේ ගැන කියා තිබුණා. ඒ දවස් වල කියද්දී නොතේරුණු එකේ ලොකු ප්‍රශ්නයක් නැතත් ඒ කියපු දේවල් ඒ විදිහටම වෙලා රටම මේ තරම් ලොකු අමාරුවක වැටුනට පස්සේ තවමත් තේරෙන්නේ නැත්නම් ඉතිං අනේ මන්දා...

රාජපක්ෂ ආර්ථික ක්‍රමයේ තිබුණේ යෙදවුම් නැතුව සම්පත් මවන ආකෘතියක්. මුලින් ඉදිරිපත් කළ පද්ධති වැඩ කරන්නේ නැහැ වගේම මේ වගේ ක්‍රමයක් වැඩ කරන්නේ නැහැ. පද්ධතිය ඇතුළට කොහෙන් හෝ කරන්ට් එක ගන්නම වෙනවා. නලින් ද සිල්වාගේ ලිපියේ මෙහෙම කොටසකුත් තිබෙනවා.

"මේ කවුරුත් කරන වරද තමයි ජාමුල මත පමණක් රැඳීම. ඔවුන් ආර්ථික නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්නෙ නැහැ. ඔවුන් බ්‍රික්ස් කණ්ඩායමේ සංවර්ධන බැංකුවට යන්නෙ නැහැ."

මෙහි යෝජනා කරන්නේ ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් වෙන තැනකින් කරන්ට් එක ගත යුතු බව. වෙන තැන ඉතිං චීනයනේ. ඒ කියන්නේ ඩොලරයක මිල දිගටම පහළින් තියාගෙන සිටිමින්, ඒ මිලට කවුරුවත් ඩොලර් සපයන්නේ නැති අඩුවට දිගින් දිගටම ණය ගන්න කියන එක. ඒ විදිහට එළියෙන් කරන්ට් එක එනවානම් එහෙම එනකම් ලයිට් පත්තු වෙනවා. රාජපක්ෂ ක්‍රමය ඇතුළේ ලයිට් පත්තු වුනේ ඔය ක්‍රමයට.

හැබැයි ඔය ක්‍රමයට ගිහින් අන්තිමට ලයිට් නිවුනා. ඔය විදිහට දිගින් දිගටම ණය අරගෙන තවත් ණය ගන්න බැරි වෙලාවක් ආවා. ඩොලරයක මිල පාලනය කරගන්න බැරි වුනේ ඊට පස්සේ.

මම ජාජබ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. නමුත්, ඒ ප්‍රතිපත්ති වල ප්‍රශ්න කොයි තරම් තිබුණත්, එයින් අදහස් වන්නේ ඒ ප්‍රතිපත්ති වල හැම කොටසක්ම නරක බව නෙමෙයි. ඒ වගේම, රාජපක්ෂ ක්‍රමයේ සහ ජාජබ ක්‍රමයේ යම් සමානකම් තිබුණත් ඒ දෙක එකක්ම නෙමෙයි. පැහැදිලි වෙනස්කම් තිබෙනවා. 

විණිමය අනුපාතය පාලනය කිරීම ඇතුළු මිල පාලනය සමාජවාදීන් අතර ජනප්‍රිය ක්‍රමයක්. නලින් ද සිල්වා යෝජනා කරන්නෙත් ඒ සමාජවාදී ක්‍රමය. නමුත්, රජය ආදායම ඉක්මවා වියදම් කරන එක සාමාන්‍යයෙන් සමාජවාදී භාවිතාවක් නෙමෙයි. ඒ වැඩේ ගොඩක් වෙලාවට වෙන්නේ "පාලනය" වෙනුවට "නිදහස" වෙනුවෙන් පෙනී සිටින අය අතින්. ඒ වගේ සමහර තැන් වල රජයයන් විසින් රාජ්‍යමූල්‍ය පාලනය අමතක කරලා නිදහසේ ණය වෙනවා. 

රාජපක්ෂ ක්‍රමයේත් ජාජබ යෝජනා වලත් වෙනස කුමක්ද කියලා සමහර අය අහනවා. රාජපක්ෂ ක්‍රමයට කරන්ට් එක එන ක්‍රමයක් නැහැ. එකම ක්‍රමය වෙන රටකින් ණය ගන්න එක. ඒ වැඩේ දිගින් දිගටම කරන්න බැහැ. රට ඇතුළේ කරන්න හැදුවේ බදු කපලා, ඒ අඩුවට සල්ලි අච්චු ගහලා, ඒ මගින් ආදායම වැඩි කර ගන්න. එහෙම කරලා ආදායම් වැඩි කරගන්න පුළුවන් තමයි. නමුත් බොහෝ දුරට වැඩි වෙන්නේ නාමික ආදායම්. ඒ උද්ධමනය නිසා. 

ජාජබ යෝජනා වල බදු කැපීමක් හෝ සල්ලි අච්චු ගැසීමක් ගැන මම දැකලා නැහැ. ඒවායේ තියෙන්නේ බදු ආදායම් වැඩි කර ගෙන රජයේ ආදායම් හා වියදම් තුලනය කර ගැනීම ගැන. දැන් කරන්න හදන්නෙත් ඒ වැඩේම තමයි. වෙනසක් තියෙනවානම් තියෙන්නේ බදු ආදායම් එකතු කරගන්න යන ක්‍රමයේ. එහෙම වෙනසක් හරි තියෙයිද කියලා බලන්න වෙන්නේ කරන වෙලාවකම තමයි. 

මොන විදිහකින් හෝ අවසාන වශයෙන් විය යුත්තේ රජයේ ආදායම් හා වියදම් තුලනය වෙන එක. ඒක මොන විදිහකින් වුනත් වෙනසක් නැහැ කියන එක එයින් අදහස් වෙන්නේ නැහැ. වෙන විදිහ ආර්ථික වර්ධනය කෙරෙහි බලපානවා. නමුත් මොන විදිහෙන් හෝ රජයේ ආදායම් හා වියදම් තුලනය වේනම්, වෙන ලොකු පිස්සුවක් නැටුවේ නැත්නම්, කලින් සැරේ වගේ නැවත වරක් ආර්ථිකය විශාල අර්බුදයකට යන්නේ නැහැ. 

කෙටියෙන් කිවුවොත් නැති රුපියල් වලින් අයවැය හිඟය පියවන්න බැහැ. නැති ඩොලර් වලින් විදේශ අංශය තුලනය කරන්න බැහැ.

Tuesday, January 2, 2024

වැට් බද්ද හා බඩු මිල


වැට් (VAT) ලෙස කෙටි කර තිබෙන ඉංග්‍රීසි වචනයේ තේරුම එකතු කළ අගය මත බද්ද කියන එක. ඒ නිසා, වැට් බද්ද කියද්දී දෙපාරක්ම බද්ද කියා කියවෙනවා. කොහොම වුනත් සිංහල භාෂාවේ ඔය වගේ යෙදුම් තියෙන නිසා අපි වැට් බද්ද ලෙසම මේ බද්ද හඳුන්වමු.

තේරුමෙන්ම කියැවෙන පරිදි මේ බද්ද එකතු කළ අගය මත අය කරන බද්දක්. එකතු කළ අගය කියන්නේ කිසියම් භාණ්ඩයක හෝ සේවාවක විකිණුම් මිල සහ එහි යෙදවුම් පිරිවැය අතර වෙනස. මේ කොටස මත අදාළ බද්ද රජයට ගෙවන්නේ භාණ්ඩ හා/හෝ සේවා නිෂ්පාදකයා විසින්. මෙහිදී අතරමැදියන්ද සලකා තිබෙන්නේ අගය එකතු කිරීමක් කරන සේවා නිෂ්පාදකයින් ලෙසයි. 

හැබැයි මෙහෙම කිවුවත්, ඇත්තටම බද්දේ බර දරන්නේ පාරිභෝගිකයා විසින්. නිෂ්පාදකයා විසින් කරන්නේ පාරිභෝගිකයාගෙන් එම බද්ද අය කරලා රජයට දෙන එක. 

වැට් බද්ද එන්න කලින් තිබුණු පිරිවැටුම් බදු ක්‍රමයේදීත් බද්ද අය කළේ භාණ්ඩයක් හෝ සේවාවක් විකුණද්දී එහි විකිණුම් මිලෙන් ප්‍රතිශතයක් විදිහටයි. ඒ ක්‍රමයේ තිබෙන ප්‍රශ්නය එකම භාණ්ඩය හෝ සේවාව මත අදියර කිහිපයකදී නැවත නැවත බදු ගෙවන්නට සිදු වීම. සාමාන්‍ය මූලධර්මයක් විදිහට වැට් බදු ක්‍රමයේදී මේ වැඩේ වෙන්නේ නැහැ. වැට් බද්දේ මූලධර්ම අනුව, භාණ්ඩයක් හෝ සේවාවක් අවසන් පාරිභෝගිකයා විසින් මිල දී ගන්නා මිලේ ප්‍රතිශතයක් පමණයි අවසාන වශයෙන් රජයට බදු සේ එකතු වෙන්නේ. ඊට කලින් අදියර වලදී අය කෙරෙන වැට් බදු රජය විසින් ආපසු ගෙවනවා. 

හරියටම කිවුවොත්, කිසියම් නිෂ්පාදකයෙකු විසින් දරනු ලැබූ යෙදවුම් පිරිවැය සඳහා ගෙවූ වැට් බදු කොටස ආපසු ලැබෙනවා. ඒ නිසා, නිෂ්පාදකයෙක් විසින් අවසාන වශයෙන් කරන්නේ තමන් විසින් එකතු කළ අගය මත පමණක් බදු ගෙවන එක. ගෙවන එක කිවුවත් අවසන් පාරිභෝගිකයාගෙන් සෘජුව හෝ වක්‍රව රජයට එකතු කරලා දෙන එක. 

රටක දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ ඒ රටේ නිපදවන සියලුම භාණ්ඩ හා සේවා වල වෙළදපොළ වටිනාකම. මේ සියලුම භාණ්ඩ හා සේවාවන් මත එකම අනුපාතයකින් වැට් බදු අය කරනවානම් රජයේ වැට් බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතික විය යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ එක් එක් නිෂ්පාදකයා විසින් සිදු කළ අගය එකතු කිරීම් වල එකතුවද වන නිසා එය එසේ විය යුතුයිනේ. එහෙත් විවිධ බදු නිදහස් කිරීම් නිසා ප්‍රායෝගිකව මෙය මෙලෙසම වෙන්නේ නැහැ. 

දළ දේශීය නිෂ්පාදිතය තුළ අදියරෙන් අදියර අගය එකතු කිරීම් වන පරිදිම ඊට සමානුපාතිකව වැට් බදුද එකතු වෙනවා. මෙය මූලික නිෂ්පාදන වල සිට අවසන් පාරිභෝගිකයා දක්වා එන දාමයක්. එය මෙවැන්නක් විය හැකියි.

මොරකැටියේ කෙසෙල් ගොවියා -> ඇඹිලිපිටියේ කෙසෙල් එකතු කර කොළඹට ප්‍රවාහනය කරන්නා -> පිටකොටුවේ තොග වෙළෙන්දා -> හෝමාගම සිල්ලර වෙළෙන්දා -> පනාගොඩ පාරිභෝගිකයා 

පහසුව සඳහා අපි අගය එකතු වීමේ අදියර තුනක් සලකමු.

නිෂ්පාදකයා -> තොග වෙළෙන්දා -> සිල්ලර වෙළෙන්දා -> පාරිභෝගිකයා 


මේ එක් එක් අදියරේදී අගය එකතු වීම මේ විදිහට කියා හිතමු.

ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑමයක නිෂ්පාදකයාට ලැබෙන මිල - රුපියල් 100

තොග වෙළෙන්දාගෙන් සිල්ලර වෙළෙන්දාට ලැබෙන මිල - රුපියල් 150

පාරිභෝගිකයාට ලැබෙන මිල - රුපියල් 200

මෙහිදී නිෂ්පාදකයා විසින් රුපියල් 100ක අගය එකතු කිරීමක් කරන අතර තොග වෙළෙන්දා විසින් රුපියල් 50ක අගය එකතු කිරීමක්ද, සිල්ලර වෙළෙන්දා විසින් තවත් රුපියල් 50ක අගය එකතු කිරීමක්ද කරනවා. ඒ අනුව, පාරිභෝගිකයාට රුපියල් 200ක් ගෙවන්නට සිදු වෙනවා. 

දැන් මේ සියලු දෙනාටම 20%ක වැට් බද්දක් ගෙවන්නට සිදු වුනොත් වෙන්නේ කුමක්ද?

නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාගෙන් රුපියල් 120ක් (100 + 20) අය කර එයින් රුපියල් 20ක් රජයට ගෙවනවා. ඒ අනුව, නිෂ්පාදකයා විසින් අතින් බදු ගෙවා නැහැ. ඒ වගේම මුලින් ලැබුණු රුපියල් 100 නිෂ්පාදකයාට ලැබෙනවා.

තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන් රුපියල් 180ක් (150 + 30) අය කර එයින් රුපියල් 30ක් රජයට ගෙවන අතර තොග වෙළෙන්දා විසින් නිෂ්පාදකයාට ගෙවූ රුපියල් 20ක වැට් බද්ද තොග වෙළෙන්දාට රජයෙන් ආපසු ලැබෙනවා. ඒ අනුව, තොග වෙළෙන්දා විසින් අතින් බදු ගෙවා නැහැ. ඒ වගේම මුලින් ලැබුණු රුපියල් 50 තොග වෙළෙන්දාට ලැබෙනවා. 

සිල්ලර වෙළෙන්දා විසින් පාරිභෝගිකයාගෙන් රුපියල් 240ක් (200 + 40) අය කර එයින් රුපියල් 40ක් රජයට ගෙවන අතර සිල්ලර වෙළෙන්දා විසින් තොග වෙළෙන්දාට ගෙවූ රුපියල් 30ක වැට් බද්ද සිල්ලර වෙළෙන්දාට රජයෙන් ආපසු ලැබෙනවා. ඒ අනුව, සිල්ලර වෙළෙන්දා විසින් අතින් බදු ගෙවා නැහැ. ඒ වගේම මුලින් ලැබුණු රුපියල් 50 සිල්ලර වෙළෙන්දාට ලැබෙනවා. 

අවසාන වශයෙන් රුපියල් 40ක මුළු බදු මුදලම ගෙවා තිබෙන්නේ පාරිභෝගිකයා විසින්. එයින් රුපියල් 20ක් නිෂ්පාදකයා විසින්ද, රුපියල් 10ක් තොග වෙළෙන්දා විසින්ද, තවත් රුපියල් 10ක් සිල්ලර වෙළෙන්දා විසින්ද රජයට එකතු කර දී තිබෙනවා.

කෙසේ වුවත්, සියලුම නිෂ්පාදකයින් (සේවා නිෂ්පාදකයින්ද ඇතුළුව) වැට් බදු සඳහා ලියා පදිංචි වූවන් නොවන නිසා ප්‍රායෝගිකව මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ. වැට් බදු ආපසු ලැබෙන්නේ වැට් බදු සඳහා ලියා පදිංචි වූ අයට පමණයි. එසේ නොකළ අයට වැට් බදු අය කරන්නත් බැහැ. 

දැන් මෙහි නිෂ්පාදකයා වැට් සඳහා ලියාපදිංචි වී නැත්නම් වෙන්නේ කුමක්ද?

මෙහිදී නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාගෙන් අය කරන්නේ රුපියල් 100ක් පමණයි. එහෙත් තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන්, කලින් මෙන්ම, රුපියල් 180ක් (150 +30) අය කරනවා. එසේ අය කර රජයට රුපියල් 30ක් ගෙවනවා. සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයාගෙන් රුපියල් 240ක් (200 + 40) අයකර රුපියල් 40 රජයට ගෙවන අතර තොග වෙළෙන්දාට ගෙවූ රුපියල් 30 ආපසු ලබා ගන්නවා.

මෙහිදී පාරිභෝගිකයා විසින් ගෙවූ බදු මුදල වෙනස් වන්නේ නැහැ. රජයට ලැබෙන බදු ආදායම වෙනස් වන්නේද නැහැ. සිදුවන එකම වෙනස රජයට බදු එකතු වන ආකාරය වෙනස් වීම පමණයි. කලින් නිෂ්පාදකයා විසින් රජයට එකතු කර දුන් රුපියල් 20ත් දැන් රජයට එකතු කර දෙන්නේ තොග වෙළෙන්දා විසින්. 

තොග වෙළෙන්දාත් වැට් සඳහා ලියාපදිංචි වී නැත්නම් වෙන්නේ කුමක්ද?

මෙහිදී තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දාගෙන් රුපියල් 150ක් අය කරන අතර සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයාගෙන් රුපියල් 240ක් (200 + 40) අය කරනවා. එම රුපියල් 40 රජයට ගෙවනවා. රජයට ලැබෙන බදු ආදායමේ හෝ පාරිභෝගිකයාට ගෙවන්නට වන මිලේ කිසිදු වෙනසක් නැහැ.

මෙයින් පැහැදිලි වන පරිදි, අවසන් වශයෙන් භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයාට විකුණන අවස්ථාවේදී වැට් බදු අය කෙරේනම් ඊට පෙර අදියර වලදී එම බදු අය කළත් නොකළත් ප්‍රතිඵලය එකයි. 

එහෙත් අවසන් අදියරේ සේවා නිෂ්පාදකයා, ඒ කියන්නේ මේ නිදර්ශනයේ සිල්ලර වෙළෙන්දා, වැට් සඳහා ලියා පදිංචි වී නැත්නම් එම අදියරේදී අගය එකතු කිරීම මත බදු එකතු වන්නේ නැහැ. මෙහිදී අප විසින් සලකා බලන්නේ සිල්ලර වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී නැතත්, තොග වෙළෙන්දා එසේ ලියාපදිංචි වී ඇති තත්ත්වයයි. නිෂ්පාදකයා වැට් සඳහා ලියාපදිංචි වී සිටීම හෝ නොසිටීම අවසාන ප්‍රතිඵලය කෙරෙහි එතරම් වැදගත් නැහැ.

මෙහිදී තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන් රුපියල් 180ක් (150 + 30) අය කර එයින් රුපියල් 30ක් රජයට ගෙවනවා. (නිෂ්පාදකයාට වැට් බදු ගෙවා ඇත්නම් එම මුදල රජයෙන් ආපසු ලබා ගන්නවා.) නමුත් සිල්ලර වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී නැති නිසා තොග වෙළෙන්දාට ගෙවූ රුපියල් 30ක වැට් බද්ද රජයෙන් ආපසු ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එම මුදල සිල්ලර වෙළෙන්දාගේ පිරිවැයට එකතු වී එම පිරිවැය රුපියල් 180ක් වෙනවා. ඒ මත රුපියල් 50ක අගය එකතු කිරීමකින් පසුව පාරිභෝගිකයාගේ මිල රුපියල් 230ක් වෙනවා.

මෙහිදී පාරිභෝගිකයාගෙන් සෘජුව වැට් බද්දක් අය නොකළත්, පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු මිල රුපියල් 30කින් වැඩි වෙලා. ඒ රුපියල් 30 තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන් අය කර රජයට ගෙවූ රුපියල් 30ක වැට් බදු මුදලයි. පාරිභෝගිකයින් විසින් සෘජුව වැට් බදු නොගෙවන බොහෝ අවස්ථා වලදී මේ ආකාරයෙන් එම බද්දෙන් කොටසක් වක්‍ර ලෙස පාරිභෝගිකයාගේ මිලට එකතු වී තිබෙන්න පුළුවන්. ඒ සැපයුම් දාමයේ මුල් අදියර වලදී අය කර තිබෙන වැට් බදු. මේ අනුව, මෙහිදීද අවසන් වශයෙන් බදු බර පාරිභෝගිකයා මතයි.

නිෂ්පාදකයා හා සිල්ලර වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී සිටියදී තොග වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී නැත්නම් වෙන්නේ කුමක්ද?

මේ අවස්ථාවේදී නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාගෙන් රුපියල් 120ක් (100 + 20) අය කර එයින් රුපියල් 20ක් රජයට ගෙවනවා. නමුත් තොග වෙළෙන්දාට ගෙවූ වැට් බදු මුදල රජයෙන් ආපසු ලබාගත නොහැකි නිසා එම මුදල තොග වෙළෙන්දාගේ පිරිවැයට එකතු වෙනවා. එම රුපියල් 120ක මුදලට රුපියල් 50ක අගය එකතු කිරීමක් කිරීමෙන් පසුව සිල්ලර වෙළෙන්දාට විකුණන්නේ රුපියල් 170ක මුදලකටයි. සිල්ලර වෙළෙන්දා එයට තවත් රුපියල් 50ක අගය එකතු කිරීමක් කිරීමෙන් පසුව පාරිභෝගිකයාගේ මිල රුපියල් 220 දක්වා ඉහළ යන අතර වැට් බදු මුදලද එයට එකතු වූ පසු පාරිභෝගිකයාට රුපියල් 264ක් (220 + 44) ගෙවන්නට සිදු වෙනවා. 

තොග වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී සිටියේනම් පාරිභෝගිකයාට වැය වන්නේ රුපියල් 240ක මුදලක් පමණයි. දැන් එය රුපියල් 24කින් වැඩි වෙලා. රජයට ලැබුණු වැට් ආදායම රුපියල් 64ක් වෙලා. මෙයට හේතුව නිෂ්පාදකයාගේ රුපියල් 100ක අගය එකතු කිරීම මත දෙවරක් වැට් බදු අය වනවාට අමතරව එම වැට් බද්ද මතද නැවත වරක් වැට් බදු ගෙවන්නට පාරිභෝගිකයාට සිදු වීමයි. මෙයින් කොටසක් සෘජුවත් (රුපියල් 44ක්) තවත් කොටසක් වක්‍ර ලෙසත් (රුපියල් 20ක්) පාරිභෝගිකයාට ගෙවන්නට සිදු වෙනවා. 

සැපයුම් දාමයේ මුල් කොටසේදී වැට් බදු අය වී මැදදී එය ඛණ්ඩනය වූ විට ඉහත තත්ත්වය ඇති විය හැකියි. ප්‍රායෝගිකව සැපයුම් දාම මෙහි උදාහරණයට වඩා දිගු හා සංකීර්ණ නිසා බොහෝ අවස්ථා වලදී මෙවැන්නක් සිදු විය හැකියි. වැඩි ගනුදෙනු ප්‍රමාණයක් මත වැට් අය කෙරෙන තරමට මේ විකෘතිය සීමා වෙනවා.

Thursday, November 2, 2023

බදු වැඩි කිරීම හා පඩි වැඩි කිරීම


මාධ්‍ය වාර්තා අනුව, වැට් බද්ද තවත් 3%කින් වැඩි කරන්න යන බවක් කියැවෙනවා. ඒ එක්කම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න යන බවකුත් කියැවෙනවා. මේවා මේ චිදිහට කෙරෙයිද කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් වෙන්න ඉඩක් තියෙනවා. 

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සාධාරණීකරණය කළ හැකි යම් හේතු තියෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 0.8% දක්වා අඩු වෙලා තිබුණා. ඔක්තෝබර් මාසයේදී සුළු වැඩි වීමක් සිදු වීමෙන් පසුවද, කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 1.5%ක් පමණයි. හැබැයි උද්ධමනය අඩු වෙලා කියන්නේ බඩු මිල අඩු වෙලා කියන එක  නෙමෙයි. පසුගිය සැප්තැම්බර් දක්වා වසරක් තුළ 70%කින් පමණ ඉහළ ගිය බඩු මිල ඒ මට්ටමේම තිබෙනවා. 

බඩු මිල 70%ක් තරම් විශාල ලෙස ඉහළ ගියා කියන එකෙන් රටේ සියල්ලන්ගේම ජීවන තත්ත්වය අනුපාතිකව නරක අතට හැරුනා කියන එක අදහස් වෙන්නේ නැහැ. හාල්, එළවළු, මාළු මිල ඉහළ යනවා කියන්නේ ගොවීන්ගේ, ධීවරයන්ගේ ආදායමද අනුපාතිකව වැඩි වුනා කියන එක. සේවා සැපයුම් වල මිල ඉහළ යද්දී එම සේවා සපයන්නගේ ආදායම් ඉහළ යනවා. වැටුප් ලබන්නන්ගේ ආදායම් ඒ විදිහට සෘජුවම වැඩි වෙන්නේ නැතත්, අවිධිමත් රැකියා කරන්නන්ගේ වගේම පෞද්ගලික අංශයේ විධිමත් රැකියා කරන අයගේත් වැටුප් යම් තරමකින් හෝ වැඩි වී තිබෙනවා. ඒ අයගෙන් සමහර අයට විට බදු වැඩි වීමේ අවාසිය ඊට වඩා වැඩි ඇති. කොහොම වුනත් වියදම් ඉහළ යද්දී ආදායමේද කවර හෝ ගැලපීමක් වෙලා තියෙනවා.

රාජ්‍ය සේවකයින් හා අදාළව ඉහත කී ආදායම් ගැලපීම වුනේ නැහැ. මේ පදනම මත රාජ්‍ය සේවක වැටුප් වල යම් වැඩි කිරීමක් සාධාරණීකරණය කරන්න පුළුවන්. රාජ්‍ය සේවය විශාල කිරීම හා ඉන්න රාජ්‍ය සේවකයින්ගේ වැටුප් තරමක් වැඩි කිරීම කියන්නේ එකක්ම නෙමෙයි. අනෙක් පැත්තෙන් මේ යෝජනාව දේශපාලනික අරමුණක් ඇතුව ඉදිරිපත් කරන එකක් කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්. 

හේතුව කුමක් වුනත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නනම් ඒ වියදම හොයා ගන්නත් වෙනවා. ප්‍රායෝගිකව මේක කරන්න වෙන්නේ බදු වැඩි කරලා. ඒ නිසා, මේ වෙන්න යන්නේ බදු තවත් වැඩි කරලා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් කියා විග්‍රහ කරන්නත් පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ වැඩ පිළිවෙළක් ඇතුළේ මේ දේවල් මේ විදිහට වෙන්නේ ඇයි?

රටක රජයක් කොයි තරම් විශාල මට්ටමක පවත්වා ගන්නවද කියන එක ආර්ථික විද්‍යාවෙන් එහාට ගිය දේශපාලනික කරුණක්. සමාජවාදී ආර්ථික ක්‍රමය පැත්තකින් තියලා, ධනවාදී ආකෘතිය ඇතුළෙන් පමණක් බැලුවත් රජය විශාල කිරීම හා කුඩා කිරීම අතර ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දේශපාලනික බෙදීමක්. රජයක් විශාල වෙද්දී නාස්ති, දූෂණ, අකාර්යක්ෂමතා වැඩි වීමේ විභවයද ඉහළ යනවා. තරඟකාරිත්වය කෙරෙහි වගේම ඒ හරහා දිගුකාලීන ආර්ථික වර්ධනය කෙරෙහිත් අහිතරකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. හැබැයි රජයක් විශාල වූ පමණින්ම රාජ්‍ය මූල්‍ය අස්ථාවරත්වයක් ඇති වෙලා ලංකාවේ ඇති වුනු ආකාරයේ අර්බුදයක් ඇති වෙන්නේ නැහැ.

සාමාන්‍ය මූලධර්මයක් විදිහට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විශාල රජයක් පවත්වා ගෙන යනවා. නමුත් ඒ විශාල රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කරන්න අවශ්‍ය බදු ආදායම හොයා ගන්නවානම් රජය හෝ රට අස්ථාවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ බදු ලෙස එකතු කර ගන්න කොටස වැඩියි. අනෙක් පැත්තෙන් නවලිබරල් ලෙස හඳුන්වන දේශපාලන ප්‍රතිපත්ති හරහා ඉලක්ක කරන්නේ අඩු බදු ප්‍රමාණයකින් නඩත්තු කළ හැකි කුඩා රජයක්. ඔය දෙපැත්තෙන් කොයි පැත්තට ගියත් බදු ආදායම් හා රාජ්‍ය වියදම් ගැලපෙනවානම් ලංකාවේ වුනා වගේ අවුලක් වෙන්නේ නැහැ.

රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය නැති වෙලා රටක ආර්ථිකය අවුලට යන්නේ රජයක් දිගින් දිගටම ආදායම් ඉක්මවා වියදම් කරද්දී. ලංකාවේ වුනේ ඒක. ඒ වගේ අර්බුදයකට ගියාට පස්සේ නැවත රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගන්නනම් එක්කෝ බදු ආදායම් වැඩි කරගන්න වෙනවා. නැත්නම් රාජ්‍ය වියදම් අඩු කරන්න වෙනවා. බොහෝ විට ඔය දෙකේ යම් මිශ්‍රණයක් තෝරා ගන්න වෙනවා. මිශ්‍රණය කුමක්ද කියන එක දේශපාලනික කරුණක්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන වැඩ පිළිවෙළක ඉලක්කය රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම. එතැනදී වැදගත් වෙන්නේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය මිසක් කලින් කියපු මිශ්‍රණය කුමක්ද කියන එක නෙමෙයි. ආදායම් වැඩි කරගෙන වගේම වියදම් අඩු කරගෙනත් ඉලක්කයට යන්න පුළුවන්.

මේ වසරේ පළමු මාස හය සැලකුවොත් ශ්‍රී ලංකා රජය ඉලක්ක කළ බදු ආදායම් එකතු කරගෙන තිබුණේ නැහැ. නමුත්, වියදම් ප්‍රමාණය ඉලක්කයට වඩා සෑහෙන තරමකින් අඩු කර ගැනීම මගින් ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය අවශ්‍ය තරමටත් වඩා හොඳින් ළඟා කර ගත්තා. අරමුදල විසින් බදු ආදායම් ඉලක්කයක් දීලා තිබුනේ ඒ මගින් ප්‍රාථමික අයවැය හිඟය සීමා කරවන්න. බදු ආදායම ඉලක්කයට ගියේ නැතත්, අවසාන වශයෙන් රාජ්‍ය වියදම් සීමා කිරීම නිසා ප්‍රාථමික අයවැය හිඟය ප්‍රාථමික අයවැය අතිරික්තයක් වුනා. ඒ කියන්නේ අතරමැදි ඉලක්කය ලඟා කරගෙන නැතත් අවසාන ඉලක්කයට ගිහින්. 

ඉහත තත්ත්වය හමුවේ අරමුදලේ පළමු සමාලෝචනයේදී රජයේ බදු ආදායම් ඉලක්ක ලඟා කර නොගැනීම ලොකු ප්‍රශ්නයක් කරගන්න හේතුවක් තිබුණේ නැහැ. නමුත් මොන හේතුවක් නිසා හෝ අරමුදල මේ ඉලක්කය මග හැරීම ගැන අනවශ්‍ය බරක් තියා තිබෙනවා. ඒ නිසා, රජයට යම් බදු වැඩි කිරීමක් කර ඉලක්කයට යන්න වෙනවා. වැට් වැඩි කරන්න යනවා ඇත්තේ ඒ නිසා.

කොහොම වුනත් රජය ආදායම් හා වියදම් තුලනය කරගෙන තිබුණු නිසා බදු වැඩි කරගෙන ආදායම් වැඩි කර ගනිද්දී තරමක් වැඩියෙන් වියදම් කරන්න අවකාශයකුත් ඇති වෙනවා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනාව එනවා ඇත්තේ ඒ අවකාශය ඇතුළේ. 

යම් තරමකින් මෙහිදී වෙන්නේ ගිණුම් එහා මෙහා වීමක්. සරසවි ඇදුරන් වැනි සාපේක්ෂව ඉහළ වැටුප් ගන්න අයගේ වැටුප් ඉහළ ගියොත් එයින් කොටසක් ආදායම් බදු විදිහට නැවත රජයටම ලැබෙනවා. ආදායම් බදු නොගෙවන රාජ්‍ය සේවකයෝ සැලකුවත් වැට් වගේ බදු හරහා වැඩි කරන වැටුප් වලින් සැලකිය යුතු කොටසක් රජයට ආපහු එනවා. ඒ නිසා, මේ සැලසුම ඇතුළේ වියදම් වැඩි කර ආදායම් වැඩි කර ගැනීමකුත් තරමක් දුරට තියෙනවා. කොහොම වුනත් මුදල් සංසරණය වැඩි වීම නිසා ආර්ථික වර්ධනය කෙරෙහි සිදු විය හැකි යම් බලපෑමක් හැර මේ වැඩෙන් රාජ්‍ය මූල්‍යනයෙහි ශුද්ධ වශයෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. වැදගත් කරුණ රජය මේ වගේ තැනකට තල්ලු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එක.

සමහර අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධව කරන විවේචනයක් වන්නේ නව ලිබරල් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක. මේ වෙලාවේ අරමුදල කරලා තියෙන දේ දිහා බැලුවොත්නම් පැහැදිලිව දැකිය හැක්කේ හරියටම අනෙක් පැත්ත. අරමුදල විසින් බදු තවත් වැඩි කර වියදම් වැඩි කරන තැනකට රජය තල්ලු කරන්නේ රජයේ ආදායම් හා වියදම් කොහොම හරි ගලපාගෙන අවශ්‍ය අවසාන ඉලක්කයට ගියාටත් පස්සේ. 

Sunday, April 9, 2023

ධන බද්ද හා ධන සම්ප්‍රේෂණ බද්ද


ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදයට කෙසේ වුවත් මෑතකාලීන දැවැන්ත ආර්ථික කඩා වැටීමට ආසන්නම හේතුවක් වන්නේ 2020දී සිදු වූ අවිචාරවත් බදු කැපිල්ලයි. මෙහිදී "දේශීය විසඳුම්" හෝ "විකල්ප විසඳුම්" වැනි සන්නාම ඉස්සරහට දමමින් සම්මත දැනුම බැහැර කෙරුණා.

බදු කැපිල්ලෙන් රාජ්‍ය ආදායම් විශාල ලෙස පහත වැටුණා. අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගොස් ණය ගැනීමේ අවශ්‍යතාවය විශාල ලෙස ඉහළ ගියා. වැඩියෙන් ණය ගන්න යද්දී පොලී අනුපාතික අනුරූප ලෙස ඉහළ යාමට ඉඩ හැරිය යුතු වුවත්, ඒ වැඩේ සිදු වුනෙත් නැහැ. ඒ නිසා, හිඟය පියවන්න වුනේ මහ බැංකුවෙන් ණය ගැනීමෙන් හෙවත් සල්ලි අච්චු ගැසීමෙන්. 

වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහද්දී රුපියලේ සාපේක්ෂ වටිනාකම අඩු වෙනවා. එවිට එය නිරූපණය වන පරිදි ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ හැරිය යුතුයි. එය නොකළ නිසා ඩොලර් ලාබ වෙලා වේගයෙන් රුපියල් ඩොලර් වුනා. රටේ ඩොලර් සංචිත සිඳී ගොස් ඩොලර් අර්බුදයක් ආවා. ප්‍රශ්නයේ මුල තිබුණේ අවිචාරවත් බදු කැපිල්ල.

බදු කැපිල්ලටද පසුබිමක් තිබුණා. විශාල අයවැය හිඟයක් පවත්වා ගැනීම, පොලී අනුපාතික පහළින් තියා ගැනීම සහ විණිමය අනුපාතය ඕනෑවට වඩා ශක්තිමත්ව තියා ගැනීම 2015ට පෙරද වසර ගණනක් තිස්සේ සිදු වූ නිසා 2015 වන විට ලංකාව ආර්ථික අර්බුදයක් කිට්ටුවටම ඇවිත් තිබුණා. IMF ගිහින් එම ආර්ථික අර්බුදය වලක්වා ගනු ලැබුවා. ඒ සඳහා බදු වැඩි කර අයවැය හිඟය අඩු කරන්න සිදු වුනා. ඩොලරය ඉහළ යන්න දෙන්න වුනා. ආර්ථික වර්ධනය සීමා වෙන්න ඉඩ හරින්න සිදු වුනා. 

ඉහත පිරිමැසුම් ක්‍රියාමාර්ග කිසිවක් ආකර්ශනීය දේවල් වුනේ නැහැ. බදු කැපිල්ල, පොලී අනුපාතික පහළින් තියා ගැනීම, ඩොලරයක මිල පාලනය කිරීම ආදී හැම දෙයක්ම සිදු වුනේ ඔය පසුබිමේ. සම්මත දැනුම ප්‍රතික්ෂේප කරමින් ක්‍රියාත්මක කළ මෙම "ගෘහස්ථ විසඳුම්" වල ප්‍රතිඵල ලොකු මිලක් ගෙවීමෙන් පසුව ශ්‍රී ලාංකිකයින් විසින් තේරුම් ගත්තා.

මේ වෙද්දී බදු ඉහළ දැමීම මගින් වැරැද්ද නිවැරදි කර තිබෙනවා. බදු වැඩිවීම රටට දැනෙන නමුත් උද්ධමනය තරමටම දැනෙනවා කියා මම හිතන්නේ නැහැ. උද්ධමනය දිගටම පැවතියේනම් එහි හානිය අනිවාර්යයෙන්ම වඩා වැඩියි. දැනටමත් බදු ඉහළ දමා අවසන් බැවින් "පීඩා කිරීමේ කාලය" බොහෝ දුරට අවසානයි. පැනවීමට තව දුරටත් ඉතිරිව තිබෙන්නේ ධන බද්ද හා ධන සම්ප්‍රේෂණ බද්ද පමණයි. 

ධන බද්දක් යනු කුමක්ද?

ලංකාව ඇතුළු ලෝකයේ බොහොමයක් රටවල් ආදායම් බදු අය කරනවා. එහෙත් ධන බදු (wealth tax) අය කරන්නේ ලෝකයේ රටවල් අතරින් අතළොස්සක් පමණයි. ඇතැම් විට ධන බදු ප්‍රාග්ධන බදු (capital tax) ලෙසද හැඳින්වෙනවා. ධන බදු තේරුම් ගැනීම සඳහා පහසුම ක්‍රමය ධන බදු හා ආදායම් බදු සංසන්දනය කිරීමයි.

ධන බදු අය කරන්නේ ධනය මතයි. ආදායම් බදු අය කරන්නේ ආදායම මතයි. ධනය හා ආදායම අතර තිබෙන්නේ කවර ආකාරයක සම්බන්ධයක්ද?

ආර්ථික විද්‍යාවේදී (මෙන්ම භෞතික විද්‍යාව වැනි වෙනත් විද්‍යාවන්හි හා ගිණුම්කරණය වැනි තාක්ෂණික විෂයයන් තුළ) හමු වන විචල්‍යයන් සංචිත විචල්‍යයන් (stock variables) සහ ධාරා විචල්‍යයන් (flow variables) ලෙස වර්ග කළ හැකියි. සංචිත විචල්‍යයකින් පෙන්වන්නේ, පොකුණක ඇති ජල ප්‍රමාණය මෙන්, කිසියම් නිශ්චිත මොහොතක පවතින තත්ත්වයයි. මෙයින් වෙනස්ව ධාරා විචල්‍යයකින් පෙන්වන්නේ, දිය ඇල්ලකින් පහතට වැටෙන ජලය මෙන්, නිශ්චිත අවස්ථා දෙකක් අතර සිදුවන දෙයක්. 

ධනය යනු සංචිත විචල්‍යයක්. ආදායම් යනු ධාරා විචල්‍යයක්.

- කිසියම් නිශ්චිත දිනක ඔබට අයිතිව තිබූ පොල් ගස් ගණන ධනයක්. ඒ පොල් ගස් වලින් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලබා ගත් පොල් ගෙඩි ගණන ආදායමක්.

- කිසියම් නිශ්චිත දිනක ඔබට අයිතිව තිබූ කිකිළියන් ගණන ධනයක්. ඒ කිකිළියන්ගෙන් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලබා ගත් බිත්තර ප්‍රමාණය  ආදායමක්.

- කිසියම් නිශ්චිත දිනක ඔබට අයිතිව තිබූ කුඹුරු ඉඩම් ප්‍රමාණය ධනයක්. ඒ කුඹුරු ඉඩම් වලින් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලබා ගත් වී ප්‍රමාණය  ආදායමක්.

- කිසියම් නිශ්චිත දිනක ඔබ සතුව බැංකුවේ තිබුණු මුදල් ප්‍රමාණය ධනයක්. ඒ මුදල් වෙනුවෙන් කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ලැබුණු පොලිය ආදායමක්.

ධනය වැඩිවන තරමට එම ධනය වෙනුවෙන් ප්‍රතිලාභ සේ ලැබෙන ආදායමද සාමාන්‍යයෙන් ඉහළ යනවා. ආදායම වැඩි වන තරමට ධනය වැඩි වීමේ ඉඩකඩ ඉහළ යන නමුත් එසේ වන්නේ පරිභෝජනය ආදායමට වඩා අඩුනම් පමණයි. පරිභෝජනය ආදායමට වඩා වැඩිනම් සිදු වන්නේ ධනය ක්‍රමයෙන් අඩු වීමයි. 

ධනය මත බදු අය කිරීම සමාජවාදී අදහසක්. එහෙත් සමාජවාදී අදහසක් වන්නට පෙර සිටම පැවති පෞරාණික අදහසක්. මෙහි ප්‍රධාන අරමුණ ආදායම් විෂමතා අඩු කිරීමයි. ආදායම් බදු වලින්ද ආදායම් විෂමතා අඩු කිරීම ඉලක්ක කරන නමුත් බොහෝ විට ධන බදු වල එකම අරමුණ ආදායම් විෂමතා අඩු කිරීමයි. ධන බද්දක් කියන්නේ දක්ෂිණාංශික මතධාරීන් විසින් දැඩි ලෙස විරුද්ධ වන බද්දක්.

ධන බද්දක් අය නොකිරීමට හේතු ගණනාවක් තිබෙනවා. මේ හේතු නිසාම දැන් ලෝකයේ බොහෝ රටවල් ධන බදු අය කරන්නේ නැහැ. මුලින් ධන බදු අය කළ රටවල්ද පසුකාලීනව ධන බදු අහෝසි කර තිබෙනවා. යුරෝපයේ රටවල් ගණනාවක් විසින්ම කලකට පෙර ධන බදු අය කර ඇතත්, පසුව එම ධන බදු අහෝසි කර තිබෙනවා. යුරෝපීය රටවල් අතරින් මේ වන විට ධන බදු අය කරන්නේ නෝර්වේ, ස්පාඤ්ඤය හා ස්විට්සර්ලන්තය පමණයි. 

අසල්වැසි ඉන්දියාව විසින් 1957 සිට ධන බද්දක් අය කළත් 2016 අප්‍රේල් 1 දින සිට එම බද්ද අහෝසි කළා. පකිස්ථානය 1963දී ධන බද්දක් පනවා 2002දී එය අහෝසි කළා. 1958 වසරේ සිට ලංකාවද ධන බද්දක් අය කළා. 1992දී මෙම බද්ද අහෝසි කරනු ලැබුවා. 

පසුගිය දශක දෙක තුනක පමණ කාලය තුළ ලෝකයේ රටවල් ධන බද්ද අහෝසි කරමින් සිටියත් ඉතා මෑතක සිට නැවතත් මෙම බද්ද පිළිබඳව යම් උනන්දුවක් ඇති වී තිබෙනවා. ඇමරිකාවේ බර්නි සැන්ඩර්ස් සහ ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි පක්ෂ හා කණ්ඩායම් විසින් මෑතකදී ධන බදු පැනවීම යෝජනා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිට තිබෙනවා.

ධන බද්දක් නොපැනවිය යුත්තේ ඇයි?

ධන බද්දකට විරුද්ධව ගෙන එන ප්‍රධාන තර්ක පහත පරිදි පෙළ ගැස්විය හැකියි.

1. එකම ආදායම මත දෙවරක් බදු ගෙවන්නට සිදු වීම- ධනය කියා කියන්නේ පරිභෝජනය නොකර ඉතිරි කරගත් ආදායම්. ආදායම් බදු ගෙවීමෙන් පසුව ධන බදු ගෙවනවා කියන්නේ එකම ආදායම මත නැවත නැවත බදු ගෙවීමක්. මෙය ආර්ථික ප්‍රශ්නයකට වඩා සදාචාරාත්මක ප්‍රශ්නයක් කියා කිව හැකියි.

2. ඉහත හේතුව නිසා ආයෝජන අධෛර්යමත් වීම - තමන්ගේ ආදායම පරිභෝජනය කර අවසන් කරන කෙනෙකුට ධන බදු ගෙවන්නට සිදු වන්නේ නැහැ. ධන බදු ගෙවන්නට සිදු වන්නේ පරිභෝජනය සීමා කර ආදායම ආයෝජනය කරන අයටයි. මෙය ආර්ථික කරුණක්.

3. ව්‍යවසායකත්වය අධෛර්යමත් වීම - ව්‍යවසායකයෙකුට බොහෝ විට සැලකිය යුතු කාලයක් යන තුරු තමන් සිදු කරන ආයෝජනය හෝ අවදානම වෙනුවෙන් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. මෙම කාලය තුළ ධන බදු ගෙවන්නට සිදු වීමෙන් ව්‍යවසායකත්වය අධෛර්යමත් වෙනවා.

4. ධනය රටින් බැහැරට ගලා යාම - ධන බදු අය කරන රටවල ඇති ධනය එසේ නොකරන රටවල් වෙත විතැන් කිරීම වාසිදායකයි. මෙහි ප්‍රතිඵලය රට තුළ ඇති ප්‍රාග්ධනය රටින් පිටතට ගලා යාමයි. ඉහත සාධක දෙක මෙන්ම මෙම සාධකයද රටක ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. 

5. ධන බද්ද අය කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා- ලෝකයේ රටවල් ගණනාවක් විසින්ම ධන බද්ද අහෝසි කිරීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ඉහත සඳහන් සදාචාරාත්මක හා ආර්ථිකමය හේතු වලට වඩා මෙම ප්‍රායෝගික හේතුවයි. බොහෝ අවස්ථා වලදී ධන බදු අය කර ගැනීමේ පරිපාලන වියදම් එකතු වන ධන බදු වලට වඩා වැඩි මට්ටමක පැවතී තිබෙනවා. 

ඉහත හේතු නිසා ධන බදු අය කිරීමට පහසුවෙන්ම විරුද්ධ විය හැකි වුවත්, ලංකාවේ ආර්ථික අර්බුදය සඳහා පිළියම් සෙවීමේදී ධන බද්දක් අය කිරීම ගැන සිතා බැලිය යුතු බව මා විසින් පෞද්ගලිකවම යෝජනා කර ඇති දෙයක්. ලංකාවට මේ අවස්ථාවේදී ධන බද්දක් සුදුසු බව මගේ අදහස වූයේ සහ වන්නේ ලංකාවේ දැනට පවතින සුවිශේෂී තත්ත්වයන් තුළයි. මෙම යෝජනාව මේ වන විට ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ යෝජනාවක් බවට පත් වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද පිළිගෙන තිබෙනවා. මෙය අරමුදලේ යෝජනා හැම විටම එකම වට්ටෝරුවක්ය යන පොදු චෝදනාවටටද පිළිතුරක්.

මා එසේ සිතුවේ සහ සිතන්නේ ඇයි?

1. ලංකාවේ බොහෝ දෙනෙකු විසින් පොදු දේපොළ අවභාවිතා කර ඇති බව, සාමාන්‍ය වචන වලින් කිවුවොත් හොරකම්, දූෂණ, කොමිස් ලබා ගැනීම් ආදී ක්‍රම වලින් අයථා ලෙස ධනය උපයා ඇති බව, ප්‍රචලිත හා ජනප්‍රිය අදහසක්. ප්‍රමාණය ඇතැම් අය කියන තරම් නොවිය හැකි වුනත්, මේ කතාව බොරුවක් නෙමෙයි. මෙසේ අයථා ලෙස උපයා ඇති ආදායම් බදු දැලට අසු වී නැහැ. එහෙත් එවැනි ආදායම් වලින් සැලකිය යුතු කොටසක් වත්කම් බවට පත් වී ඇති බැවින් ධන බද්දක් මගින් නොලැබුණු ආදායම් එකතු කර ගත හැකියි. අයථා ලෙස උපයා ඇති ධනය පිළිබඳ ඇස්තමේන්තුවක් හෝ ලබා ගැනීම සඳහා මෙවැනි බද්දක් හොඳ ප්‍රවේශයක්. දේශපාලන පලිගැනීම් මට්ටමට නොගොස්, හොරකම්, දූෂණ, කොමිස් ආදිය හරහා උපයා ඇති ධනය ගැන සොයා බලා නැවත අය කර ගැනීම නීතිමය හා පරිපාලනමය ලෙස ඉතා අපහසු කාර්යයක්. යම් කාලයක් එක දිගට ධන බද්දක් අය කිරීම මගින් මේ කාර්යය වක්‍ර ලෙස වඩා ඵලදායී ආකාරයකින් කළ හැකියි.

2. බදු පැහැර හැරීමද ලංකාවේ කාලයක් තිස්සේ සිදුව ඇති සාමාන්‍ය දෙයක්. හොරකම්, දූෂණ ආදිය නොකර සාධාරණ ලෙස උපයන ආදායමක් වෙනුවෙන් වුවද හෙවිය යුතු බදු නිසි සේ ගෙවා නැත්නම් එහි තිබෙන්නේ කාලයක් තිස්සේ රජයට හා ජනතාවට කර ඇති වංචාවක්. ධන බද්දක් මගින් මෙසේ නොගෙවූ බදු වක්‍ර ලෙස අය කර ගත හැකියි.

3. හොරකම්, දූෂණ ආදිය සිදුකර නැතත්, බදුද හරියට ගෙවා ඇතත්, කාලයක් තිස්සේ රජය විසින් ප්‍රමාණවත් තරම් බදු අය නොකිරීමේ වාසිය ලබමින් ධනය එක්රැස් කරගත් විශාල පිරිසක් ඉන්නවා. ධන බද්දක් මගින් පසුගිය කාලය තුළ ප්‍රමාණවත් තරමින් බදු අය නොකිරීමේ අවාසිය ආපසු හැරවිය හැකියි. 

4. ලංකාවේ පවතින පසුබිම තුළ නිසි ලෙස ක්‍රියාත්මක ධන බද්දක් මගින් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ හැකි බව මගේ අදහසයි. ලංකාවේ ව්‍යවසායකත්ව ආයෝජන සිදුවන්නේ ඉතා අඩුවෙන්. ඒ වෙනුවට බොහෝ දෙනෙකු විසින් කරන්නේ මූර්ත වත්කම් මත ධනය ආයෝජනය කර වටිනාකම ඉහළ යාමේ වාසිය ලබා ගැනීමයි. නිසි ලෙස සැලසුම් කරන ධන බද්දක් මගින් මෙය අධෛර්යමත් කර ව්‍යවසායකත්ව ආයෝජන ප්‍රවර්ධනය කළ හැකියි. 

5. ඉහත අයුරින්ම ඇතැම් පරිභෝජන ස්වරූපයේ ආයෝජන අධෛර්යමත් කළ හැකියි. ඉහත කරුණ හා මෙම කරුණ පසුව වැඩිදුරටත් විස්තර කරන්නම්.

6. ශ්‍රී ලාංකිකයින්ට සිය ප්‍රාග්ධනය රටින් බැහැරට පහසුවෙන් විතැන් කිරීමේ හැකියාවක් නැහැ. දැනට රටින් බැහැර වන බොහෝ දෙනෙකු ශ්‍රමය මත පදනම් වූ ආදායම් ලබන්නන් මිස වත්කම් මගින් ආදායම් උපයන්නන් නෙමෙයි. ඒ නිසා ධන බද්දක් අය කළ පමණින් ධනය රටෙන් විතැන් වීමක් ලොකුවට සිදු වීමේ ඉඩක් නැහැ.

මෙවැනි බද්දක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානම ප්‍රශ්නය ධන බදු අය කර ගැනීමේ වාසියට සාපේක්ෂව ඒ සඳහා යන පරිපාලන වියදම ඉහළ මට්ටමක පැවතීමයි. මෙය ශ්‍රී ලංකා රජය විසින් ජයගත යුතුව ඇති අභියෝගයක්. අරමුදලේ තාක්ෂනික සහයෝගයද ලබමින් අවශ්‍ය මූලික කටයුතු කිරීම සඳහා දෙවසරක කාලයක් ඉතිරිව තිබෙනවා. 

ඉහත සිවුවන හා පස්වන කරුණු වෙත නැවත ආවොත්, එක් උදාහරණයක් ලෙස, ලංකාවේ බොහෝ දෙනෙකු විසින් වාහන මිල දී ගන්නේ පරිභෝජන භාණ්ඩයක් ලෙස සලකමින් නොව වත්කමක් එකතු කර ගැනීමක් ලෙසයි. නිවාස වියදම් ගැනද කිව හැක්කේ මෙයයි. ලංකාවේදී මෙවැනි වත්කම් වල වටිනාකම ඉහළ යාමක් මිස ක්ෂය වීමක් නොවන නිසා වත්කමකින් ආදායමක් නොලැබීමේ අවාසිය නිශේධනය වෙනවා. 

එහෙත්, වාහනයක් ආනයනය කිරීමේදී එකවර විශාල බදු මුදලක් අය කිරීමේ ක්‍රමය වෙනුවට (හෝ එම බද්ද තිබියදීම) වාහනයේ අයිතිය මත මාසිකව සැලකිය යුතු බදු මුදලක් අය කරන්නේනම් වත්කමක් ලෙස සලකමින් වාහනයක් තියා ගැනීම ගැන දෙවරක් සිතන්නට සිදු වෙනවා. 

ඉඩම් හා ගෙවල් ගැන වුවත් තත්ත්වය මෙයයි. එක්කෝ වත්කම් බදු (ධන බදු) වියදම උපයන ආදායමක් මෙම වත්කම් මගින් සොයා ගන්නට සිදු වෙනවා. නැත්නම් එම බදු මුදල පරිභෝජන වියදමක් සේ සලකන්න වෙනවා. ආදායමක් ඉපැයීම සඳහා හෝ සැබෑ පරිභෝජන අවශ්‍යතා පිණිස මෙවැනි වත්කමක් නඩත්තු කරන අයෙකුට මෙය ප්‍රශ්නයක් නොවුනත්, වටිනාකම ඉහළ යාම සලකමින් මෙවැනි වත්කම් නඩත්තු කරන අයට දෙවරක් සිතන්නට ධන බද්ද විසින් බල කරනවා. එවැන්නන් මෙවැනි වත්කම් විකුණා දමද්දී අවසාන වශයෙන් එවැනි වත්කම් නවතින්නේ වඩා ඵලදායී ලෙස මෙම වත්කම් ප්‍රයෝජනයට ගන්නා අය ලඟයි.

වගා නොකර නිකම් තියා ගන්නා වගා කළ හැකි ඉඩමක් ගැන හෝ කුලියට නොදී වසා ඇති ගෙයක් ගැන හිතන්න. මෙවැනි වත්කමකින් ආදායමක් නොලැබුණත් නිකම් තියාගෙන සිටීමේ වියදමක් නැති නිසාත්, වටිනාකම වැඩි වනු මිස අඩු නොවන නිසාත් එසේ කිරීමේ පාඩුවක් නැහැ. එහෙත්, වත්කම් බද්දක් ගෙවන්නට සිදු වූ වහාම තත්ත්වය වෙනස් වෙනවා. අවම වශයෙන් වත්කම් බද්ද හා ගැලපෙන ආදායමක් නොලැබේනම් පාඩුවක් සිදු වන නිසා අදාළ දේපොළ කුලියට හෝ බද්දට දීමට සිදු වෙනවා. එසේ කළ නොහැකිනම් විකුණන්නට සිදු වෙනවා.

ලංකාවේ බොහෝ දෙනෙක් තමන්ගේ ඉතිරි කිරීම් ආදායම් නූපයන වත්කම් වල ආයෝජනය කරනවා. වත්කම් බද්දක් මගින් මෙය අධෛර්යමත් කෙරෙනවා. එහිදී සමාගම් කොටස් වැනි ආයෝජන දිරිමත් වීමක් සිදු වෙනවා. මේ හේතු නිසා හරියට සැලසුම් කරන වත්කම් බද්දක් මගින් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය නැවත පණ ගස්වන්න පුළුවන්. 

ධන සම්ප්‍රේෂණ බද්දක් යනු කුමක්ද?

ධන බද්දකට අමතරව ධන සම්ප්‍රේෂණ හා උරුම බදුද යෝජනා වී තිබෙනවා. විරෝධතා ඇතත්, මෙම බදු ධන බදු තරම්ම විවාදිත නැහැ. 

ධන සම්ප්‍රේෂණ බදු වල ඉලක්කයද ආදායම් විෂමතා අවම කිරීමයි. ආදායම් විෂමතා පැවතීම වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ප්‍රධාන තර්කයක් වන්නේ යමෙකු විසින් උපයන ධනය අදාළ පුද්ගලයාගේ අයිතියක් බවයි. මේ තර්කයම ධනය උපයන්නෙකුගෙන් පැවත එන අයටද අදාළ කර ගත හැකිද? මහන්සි වී වැඩ කර ධනය ඉපැයූ අයෙකුගේ උරුමකරුවෙකු වීම නිසාම යමෙකු ධනවතෙකු වීම සාධාරණද?

ඇතැම් විට යමෙක් ධනය උපයන්නේම තමන්ගේ උරුමකරුවන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් විය හැකියි. එය එසේනම් අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය ප්‍රශ්නයක් කියා කියන්න බැහැ. නමුත්, අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය නිසා පුද්ගලයින් ඉපදෙන්නේම සමානයින් ලෙස නෙමෙයි. මෙහි වැරැද්දක් තිබෙනවා. ධන සම්ප්‍රේෂණ බද්දක් මගින් අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය සීමා කර ආදායම් විෂමතා අඩු කළ හැකියි. ධන බද්දට ජනතා සහයෝගයක් නැති බොහෝ රටවල පවා ධන සම්ප්‍රේෂණ බදු ක්‍රියාත්මකව තිබෙනවා. ඒ වගේම, ධන සම්ප්‍රේෂණ බද්දක් අය කිරීම ධන බද්දක් අය කරන තරම්ම අපහසු නැහැ. 

ප්‍රායෝගිකව ධන බදු මෙන්ම ධන සම්ප්‍රේෂණ බදුද අය කෙරෙන්නේ ධනවතුන් මතයි. මෙහිදී ධනවතුන් අර්ථදැක්විය යුතු වෙනවා. ධනවතෙකු අර්ථදක්වන සීමාව දේශපාලනික කරුණක්. එසේ අර්ථ දැක්වීමෙන් පසුව, බදු අය කර ගැනීම සඳහා ඔවුන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු එකතු කරන්නට සිදු වෙනවා. මෙය ආදායම් දත්ත එකතු කිරීමට සාපේක්ෂව අසීරු කටයුත්තක්. ඒ සඳහා පෙර සූදානමක් අවශ්‍යයි. අවශ්‍ය පෙර සූදානම සඳහා රජයට දෙවසරක කාලයක් තිබෙනවා.

Saturday, April 8, 2023

ප්‍රාථමික අයවැය තුලනය වන ආකාරය


ගෙවුනු 2022 අවුරුද්දේ රජයේ ආදායම් හා වියදම් ගැන පෙර සටහනක විස්තර කළා. පහත තිබෙන්නේ එම ආදායම් හා වියදම් වල සාරාංශයක්.

ආදායම් සහ ප්‍රදාන එකතුව දදේනි % ලෙස - 8.3%යි.

පොලී ගෙවීම් හැර වියදම් දදේනි % ලෙස - 12.0%යි

පොලී වියදම් දදේනි % ලෙස - 6.5%යි.

ප්‍රාථමික අයවැය හිඟය දදේනි % ලෙස - 3.7%යි.

සමස්ත අයවැය හිඟය දදේනි % ලෙස - 10.2%යි.

යෝජිත සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව, 2025 වසර වන විට ඉහත තත්ත්වය වෙනස් වී දැනට දදේනියෙන් 3.7%ක හිඟයක්ව පවතින වන ප්‍රාථමික අයවැය ශේෂය දදේනියෙන් 2.3%ක අතිරික්තයක් වීමට නියමිතයි. එය සිදු වන්නේ රාජ්‍ය ආදායම දදේනියෙන් 14.9% දක්වා වැඩි වීමෙනුයි. මෙය සිදු වන්නේ පහත ආකාරයෙනුයි.

බදු ප්‍රතිසංස්කරණ නොමැතිව අපේක්ෂා කළ හැකි වූ ආදායම - 8.1%

මූල්‍ය සේවා මත වැට් බද්ද වැඩි කිරීම - 0.1%

සමාජ සංරක්ෂණ බද්ද - 0.8%

පුද්ගල ආදායම් බදු ආකෘතිය වෙනස් කිරීම - 0.6%

ලාභාංශ මත රඳවා ගැනීමේ බදු වැඩි කිරීම - 0.2%

සමාගම් බදු වැඩි කිරීම - 0.2%

සමාගම් බදු සඳහා බදු සහන ඉවත් කිරීම - 0.3%

වැට් බද්ද 12% දක්වා වැඩි කිරීම - 0.7%

වැට් බද්ද 15% දක්වා වැඩි කිරීම - 0.5%

වැට් බදු සඳහා අවම සීමාව අඩු කිරීම - 0.06%

වැට් බදු සහන ඉවත් කිරීම - 1.4%

ඉන්ධන බදු වැඩි කිරීම - 0.3%

විදුලි සංදේශ බදු වැඩි කිරීම - 0.02%

සූදු ක්‍රීඩා හා ඔට්ටු දැමීම් බදු වැඩි කිරීම - 0.03%

මත්පැන් හා දුම්වැටි බදු වැඩි කිරීම - 0.4%

මත්පැන් හා දුම්වැටි බදු උද්ධමනය හා ගැලපීම - 0.2%

තෑගි හා උරුම බද්ද - 0.2%

ධන බද්ද - 1.0%

මහ බැංකුවේ ලාභාංශ අහිමිවීම - (-0.1%)

ආදායම් එකතුව - 14.9%


පොලී හැර රජයේ වියදම - 12.6%

ප්‍රාථමික අයවැය අතිරික්තය - 2.3%

පොලී වියදම් දදේනි % ලෙස - 7.3%යි.

සමස්ත අයවැය හිඟය දදේනි % ලෙස - 5.0%යි.

ඉහත බදු අතරින් තෑගි හා උරුම බද්ද සහ ධන බද්ද හැර අනෙකුත් බදු සියල්ලම මේ වන විටද පනවා අවසන්. තෑගි හා උරුම බද්ද සහ ධන බද්ද පැනවීමට නියමිතව තිබෙන්නේ 2025 ජනවාරි 1 දින සිටයි. 

Saturday, March 18, 2023

ඇමරිකාවේ ඒ කාලේ ආදායම් බදු


පසුගිය 2022 වසරේදී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් වලින් 3,268ක් පමණයි. එම වසරේදී ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,180ක්. මේ වගේ විශාල ආදායම් පරතරයක් තිබෙන රටවල් දෙකක ආදායම් බදු සීමා සංසන්දනය කරන්න බැරි බව ගොඩක් අය කියනවා. කතාව ඇත්ත. 

ඇමරිකාව ඔය තැනට දවසකින් දෙකකින් ආවේ නැහැ. ඇමරිකාවේ දැන් ඒක පුද්ගල ආදායම ඩොලර් 75,180ක් වුනත් ඇමරිකාවත් ලංකාව හිටපු මට්ටමේ හිටපු කාලයක් තිබුණා. ඒ අවුරුදු හැටකට කලින්. 1962 වසරේදී ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3,244යි. ආසන්න වශයෙන් ලංකාවේ දැන් මට්ටම. 

ඒ කාලයේදී ඇමරිකානුවන් කොපමණ ආදායම් බදු ගෙවුවද? පහත තිබෙන්නේ 1962 වසරේදී ඇමරිකාවේ ෆෙඩරල් ආදායම් බදු අනුපාතික.

$2,000 දක්වා- 20%

$2,000 සිට- 22%

$4,000 සිට- 26%

$6,000 සිට- 30%

$8,000 සිට- 34%

$10,000 සිට- 38%

$12,000 සිට- 43%

$14,000 සිට- 47%

$16,000 සිට- 50%

$18,000 සිට- 53%

$20,000 සිට- 56%

$22,000 සිට- 59%

$26,000 සිට- 62%

$32,000 සිට- 65%

$38,000 සිට- 69%

$44,000 සිට- 72%

$50,000 සිට- 75%

$60,000 සිට- 78%

$70,000 සිට- 81%

$80,000 සිට- 84%

$90,000 සිට- 87%

$100,000 සිට- 89%

$150,000 සිට- 90%

$200,000 සිට- 91%

ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 336 සේ සලකා ඉහත වාර්ෂික ඩොලර් ආදායම් මාසික රුපියල් ආදායම් වලට හැරෙවුවොත් මේ වගේ. 

රුපියල් 56,000 දක්වා- 20%

රුපියල් 56,000 සිට- 22%

රුපියල් 112,000 සිට- 26%

රුපියල් 168,000 සිට- 30%

රුපියල් 224,000 සිට- 34%

රුපියල් 280,000 සිට- 38%

රුපියල් 336,000 සිට- 43%

රුපියල් 392,000 සිට- 47%

රුපියල් 448,000 සිට- 50%

රුපියල් 504,000 සිට- 53%

රුපියල් 560,000 සිට- 56%

රුපියල් 616,000 සිට- 59%

රුපියල් 728,000 සිට- 62%

රුපියල් 896,000 සිට- 65%

රුපියල් 1,064,000 සිට- 69%

රුපියල් 1,232,,000 සිට- 72%

රුපියල් 1,400,000 සිට- 75%

රුපියල් 1,680,000 සිට- 78%

රුපියල් 1,960,000 සිට- 81%

රුපියල් 2,240,000 සිට- 84%

රුපියල් 2,520,000 සිට- 87%

රුපියල් 2,800,000 සිට- 89%

රුපියල් 4,200,000 සිට- 90%

රුපියල් 5,600,000 සිට- 91%

කෙසේ වුවත්, කලින් කලට සිදුව ඇති බදු සංශෝධන වලින් පසු, මේ වන විට ඇමරිකාවේ උපරිම ආදායම් බදු අනුපාතය 37%ක් පමණයි. 

ඇමරිකානුවන් ආදායම් බදු ගෙවිය යුත්තේ ෆෙඩරල් රජයට පමණක් නෙමෙයි. ඇමරිකාවේ ප්‍රාන්ත හතක වියදම් සියල්ලම වක්‍ර බදු වලින් පමණක් ආවරණය කර ගන්නා නමුත් ඉතිරි ප්‍රාන්ත 43හිදී ප්‍රාන්ත ආදායම් බදුද ගෙවිය යුතුයි. 

උදාහරණයක් ලෙස කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ආදායම් බදු 1% සිට 12.3% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. නිවුයෝර්ක් ප්‍රාන්තයේ ආදායම් බදු 4% සිට 10.9% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. සියල්ලන්ගෙන්ම 4.95%ක ආදායම් බද්දක් අය කරන ඉලිනෝයි ප්‍රාන්තය ඇතුළු තවත් ප්‍රාන්ත ගණනාවක ආදායම් බදු අනුපාතිකය ආදායම් මට්ටම අනුව වෙනස් වෙන්නේ නැහැ. 

ප්‍රාන්ත ආදායම් බදු වලට අමතරව පළාත් පාලන ආයතන මගින්ද ආදායම් බදු අය කරනවා. ෆෙඩරල් හා ප්‍රාන්ත ආදායම් බදු වලට අමතරව අපේ කෝරළයට (කවුන්ටියට) ආදායමෙන් 1%ක් බදු ලෙස ගෙවිය යුතුයි. 

Monday, February 27, 2023

මිරිස් ගොවියාගේ කතාවස්තුව


මේක පොරොන්දුවක් ඉටු කරන්න ලියන සටහනක්. හරියටම කියනවානම්, පහත ප්‍රශ්නයට පිළිතුරක්.

 "ආර්ථික විද්‍යාව දන්නෙ නැති මට පොඩි ප්‍රශ්නයක් ආවා අද මිරිස් ගැන ප්‍රවෘත්තියක් දැකලා. මේක වීඩියෝවට අදාල ඇති. ලංකාවට මිරිස් ටොන් 55000 ඕන වෙනවා අවුරුද්දට, අපි 5000 නිෂ්පාදනය කරනවා. 50000 පිට රටින් ගේනවා.(වැඩිම හරියක් ඉන්දියාවෙන්). වියදම ඩොලර් මිලියන 110 විතර.ඒ කියන්නෙ අර trade deficit එකෙන් බිලියන 2 කට කිට්ටුයි.

ඉන්දියාව ගොවීන්ට විශාල වශයෙන් සහනාධාර දෙනවා. අපනයනය කරනවනම් වැඩියෙන් සහනාධාර දෙනවා.( ඉන්දියාවෙ GDP එකෙන් 2% ගොවි සහනාධාර)

බොහෝ විද්වතුන් මේ දවස්වල කියන විදිහට අපි ගොවීන් ආරක්ෂා කරන්න තීරු බදු දාන්න නරකයි. සහනාධාර දෙන්නත් නරකයි. අපේ මිරිස් ගොවීන් ඉන්දියාවෙ ආණ්ඩුවේ සහය ලබන ගොවීන් සමග සහයක් නැතිව තරඟ කරන්න ඕන.බැරිනම් ගොවිතැන අතාරින්න ඕන.

අන්තිමට ගොවියට වෙන්නෙ බිරිඳ, දුව මැද පෙරදිග යවලා ලැබෙන රියාල් දීල මිරිස් ගන්න.

මට හිතෙන්නෙ මෙතන යම් නොගැලපීමක් තියනවා කියලයි. දන්නෙ නැති නිසයි අහන්නේ. පහදා දුන්නොත් කෘතඥ වෙමි.

ස්තූතියි."

පිළිතුර ලිවීමේදී මම ඉහත ප්‍රශ්නය ඇතුළේ තිබෙන කරුණු පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. ඇතැම් විට මේ ඇතැම් කරුණු නිවැරදි නොවෙන්න පුළුවන්. මම එය අදාළ කරගන්නේ නැහැ. මොකද මේ කතාවම ප්‍රබන්ධයක් වුනත් (මම එහෙම කියන්නේ නැහැ) අහලා තිබෙන ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක්. 

පළමු ගැටළුව මෙහි තිබෙන "නොගැලපීම" කුමක්ද? 

මේ "නොගැලපීම" හිටපු ගොවියාගේ බිරිඳ, දුව මැද පෙරදිග ගිහින් එවන රියාල් වලින් හිටපු ගොවියා කඩෙන් මිරිස් ගන්න එකනම්, ඒකේ මට ප්‍රශ්නයක් පේන්නේ නැහැ.

මට අවශ්‍යනම් වත්තේ මිරිස් වවාගන්න පුළුවන්. නමුත් මම වත්තේ මිරිස් වවන්නේ නැහැ. සල්ලි දීලා කඩෙන් මිරිස් ගන්නවා. මම හිතන විදිහට ඒකේ කිසිම නොගැලපීමක් නැහැ. 

මම වත්තේ මිරිස් නොවවා කඩෙන් මිරිස් මිල දී ගන්නේ ඇයි?

පළමුව, මට කඩෙන් මිරිස් ගන්න සල්ලි තිබෙන නිසා. දෙවනුව, වත්තේ මිරිස් වවලා ඒ මිරිස් ගස් නඩත්තු කරන්න යන කාලය කඩෙන් මිරිස් ගන්න යන මුදලට වඩා වටින නිසා. 

දැන් ඔය කතාවම අර ගොවි පවුලටත් ආදේශ කරන්න පුළුවන්. ඔය ගොවියා මිරිස් වවන්න කාලය නොයොදවා බිරිඳ හෝ දුව එවන සල්ලි වලින් කඩෙන් මිරිස් මිල දී ගනිද්දී වෙන්නෙත් මම කඩෙන් මිලදී ගනිද්දී සිදුවන දෙයම තමයි. මම මොන හේතුවක් නිසා හෝ මිරිස් වවන්න කැමති නැත්නම්, ඒ කතාවම වෙන කෙනෙකුටත් අදාළ නොවෙන්න හේතුවක් නැහැනේ.

අපි මෙහෙම පටන් ගනිමු. දඹුල්ල, කුරුණෑගල වගේ පැත්තක මිරිස් වන ගොවි පවුලක් ඉන්නවා. ගොවි පවුලේ දුව ඉගෙනගෙන ගණකාධිකාරිනියක් වෙලා කොළඹ පෞද්ගලික සමාගමක හොඳ වැටුපක් ගන්න රස්සාවකට යනවා. ඉගෙන ගන්න වියදම් කරන්නේ දෙමවුපියන් විසින් මිරිස් වවලා හම්බ කරපු සල්ලි. රස්සාවට ගියාට පස්සේ දැන් මේ දුව දෙමවුපියන්ට කියනවා මිරිස් වවන්න මහන්සි නොවී විවේකයෙන් ඉන්න කියලා. මාස්පතා දෙමවුපියන්ගේ නඩත්තුවට මුදලක් එවනවා. අවුලක් තියෙනවද?

ඔහොම ඉන්න අතරේ දුවට මැදපෙරදිග රැකියාවක් ලැබෙනවා. දැන් දුව ගෙදරට රියාල් එවනවා. කලින් වැඩේම වෙනවා. දෙමවුපියන් මිරිස් වවන එක නවතිනවා. අවුල්ද? අර දුවත් දෙමවුපියන් වගේම මිරිස් වවන එකම කළ යුතුද?

ඔහොම වෙන්නේ නැතිව දුව ඇඟලුම් කම්හලක රැකියාවට ගියා කියමු. එහෙම නැත්නම් දුව හෝ බිරිඳ මැද පෙරදිග ගෘහ සේවිකා රැකියාවකට ගියා කියා හිතමු. ඒත් ඕකේ ආකෘතිමය වෙනසක් නැහැනේ. එහෙම වෙනසක් පේනවානම් ඒ පේන්නේ සමහර රැකියා පහත් රැකියා ලෙස දකින නිසා පමණයි. 

සමහර විට මැද පෙරදිග රැකියා වලට යාම නිසා ඇතිවන වෙනත් අතුරු ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත්, ඒවා මිරිස් කතාවට අදාළ නැහැ. 

දෙවන ප්‍රශ්නය ඉන්දියාවෙන් එන මිරිස් වලට තීරු බදු නොගහන නිසා ලංකාවේ මිරිස් ගොවියාගේ තරඟකාරිත්වය නැති වෙලාද කියන එක. ප්‍රශ්නයේම තියෙන තොරතුරු අනුව, අවුරුද්දකට මිරිස් ටොන් 5000ක් ලංකාවේ නිෂ්පාදනය කරනවා. එහෙම කරන්නේ මිරිස් විකුණලා ලාබයක් ලබා ගන්න පුළුවන් නිසා. ඒ විදිහට මිරිස් වවන අයට ඉන්දියාවෙන් එන මිරිස් එක්ක තරඟ කරන්න පුළුවන්. ඒ නිසා, මෙතැන ප්‍රශ්නය ඉන්දියාවේ මිරිස් නෙමෙයි.

දැන් ඉන්දියාවෙන් එන මිරිස් වලට තීරු බද්දක් දැම්මහම වෙන්නේ කුමක්ද? ඉන්දියාවෙන් එන මිරිස් ගණන් යනවා. ඒ එක්කම ලංකාවේ මිරිසුත් ගණන් යනවා. මිරිස් වවන එකේ ලාබ වැඩි වෙන නිසා මිරිස් වවන ප්‍රමාණය ටිකක් ඉහළ යයි. ඉන්දියාවෙන් මිරිස් එන එක ටිකක් අඩු වෙයි. සමහර විට මිරිස් ගොවියාගේ බිරිඳට මැදපෙරදිග යන්න අවශ්‍ය නැති වෙයි.

දැන් මිරිස් ආනයන වෙනුවෙන් රටින් යන ඩොලර් ටිකක් ඉතිරි වෙලා. නමුත්, අනෙක් පැත්තෙන් මැදපෙරදිගින් එන රියාල් අඩු වෙලා නිසා රටට වාසියක් නැහැ. ඒ වගේම ගොවි පවුලේ ජීවන තත්ත්වය ඉහළ ගිහිනුත් නැහැ. කලින් වෙනත් රැකියාවක් කරලා හොයපු මුදල දැන් මිරිස් වලින් හොයනවා. එච්චරයි.

අන්තිමට රටට ඩොලර් ඉතිරියක් හෝ ගොවි පවුලේ ආදායම් වැඩි වීමක් ලොකුවට නැහැ. නමුත් පාරිභෝගිකයින් විසින් මිරිස් වලට ගෙවිය යුතු මිල වැඩි වෙලා. හැබැයි රජයේ පැත්තෙන්නම් වාසියක් තිබෙනවා. මිරිස් වලට වැට් වගේ බද්දක් ගහලා රජය විසින් පාරිභෝගිකයින්ගෙන් මුදලක් එකතු කරගත්තා වගේ වැඩකුයි වෙලා තියෙන්නේ. බදු මුදල් වලින් රජය නඩත්තු කරන්න පුළුවන්. 

එතකොට ඉන්දියාව ගොවීන්ට සහනාධාර දෙනවානම් ලංකාවත් ලංකාවේ ගොවීන් ආරක්ෂා කරගන්න සහනාධාර දිය යුතු නැද්ද?

ලංකාවේ ගොවීන් ආරක්ෂා කරගත යුතු ඇයි? ගොවීන්ට කළ හැකි විකල්ප රැකියාවක් නැත්නම්, ඒ නිසා ඔවුන්ව රජයෙන් නඩත්තු කරන්න වෙනවානම්, ගොවීන්ගේ රැකියා සුරක්ෂිත කරන එකේ තේරුමක් තියෙනවා. එහෙම නැතුව ගොවි පවුලේ කවුරු හෝ මැද පෙරදිග ගිහින් හෝ රට ඇතුළේම වෙනත් රැකියාවක් කරලා සල්ලි හොයනවානම් ඔවුන්ව මිරිස් හේනටම හිරකරලා තියන්න හිතන එක වුනත් අන්ත පසුගාමී අදහසක්. 

ඉන්දියාව මොකක් හෝ හේතුවක් නිසා ඉන්දියාවේ ගොවීන්ට සහනාධාර දෙනවානම් එය ඉන්දියාවේ ප්‍රශ්නයක්. ඒ මිරිස් ලංකාවට ලාබෙට එනවානම්, එයින් අදහස් වෙන්නේ ඉන්දියාවේ බදු ගෙවන්නන්ගේ මුදලින් ලංකාවේ පාරිභෝගිකයා සුබසාධනය කෙරෙන බව. ඉතිං කොයි තරම් හොඳද? ඕක වෙනස් කරන්න මහන්සි විය යුත්තේ ඇයි? 

ඔය විදිහට ගියොත් රටේ කිසිම නිෂ්පාදනයක් වෙන එකක් නැහැනේ. හැමදේම පිටරටින්ම ගේන්න වෙනවානේ!

ඉතිං මොකක්ද අවුල? කොළඹ නගර සභා සීමාව වගේ කොටසක් ගත්තොත්, ඔය කොටසේ කෘෂිකාර්මික නිෂ්පාදනයක් සිදු නොවෙන තරම්. නමුත්, වැඩිපුරම බඩගින්නේ ඉන්නේ ඒ අයද නැත්නම් මිරිස් වවන පැති වල අයද? 

හැමදේම පිටරටින්ම ගේන්න තරම් ආදායමක් මොන විදිහකින් හෝ ලැබෙනවානම්, එහෙම ගේන එකේ අවුලක් නැහැ. ලංකාවේ ප්‍රශ්නය ණය වෙවී ආනයනය කරන එක. ඇත්ත ප්‍රශ්නය ණය මිසක් ආනයන නෙමෙයි. රජය ණය වෙන්නේ නැත්නම්, ආනයන කරන්න වෙන්නේ උපයන මුදල් වලින්. ආනයන කරන්නේ මොන විදිහෙන් හෝ උපයන මුදල් වලින්නම් එහි ගැටලුවක් නැහැ. 

මිරිස් ගොවීන් සුබසාධනය කරන්නනම් වෙන කාගෙන් හරි ඒ මුදල බදු විදිහට අය කරන්න වෙනවා. තීරුබදු අවසාන වශයෙන් ගෙවන්නේ පාරිභෝගිකයා. සුබසාධනය මගින් ගොවියා ගොවිතැන ඇතුළේම හිර කරලා තියන්න පුළුවන්. එයින් වෙන්නේ ඔවුන් විකල්ප රැකියා වලට යන එක වලක්වනු ලැබීම සහ සමස්තයක් ලෙස රටේ ආදායම් වර්ධනය සීමා වීම. 

ලොකු වාසියක් නැතිකමටත් වඩා මෙහි තිබෙන ප්‍රශ්නය රජය විසින් සුබසාධනය කරන්න කැමති තරමට මිනිස්සු බදු ගෙවන්න කැමති නැති වීම. එවිට සුබසාධනය කරන්න වෙන්නේ ණය වලින්. එහෙම ණය අරගෙන තමයි මේ දැන් වෙලා තිබෙන අවුල වෙලා තියෙන්නේ.

ගොවීන්ට ජීවත් වෙන්න ආදායමක් නැත්නම්, කරන්න වෙන රැකියාවකුත් නැත්නම්, අවුලක් නැද්ද?

අනිවාර්යයෙන්ම ඒකේනම් අවුලක් තිබෙනවා. කරන්න වෙන රැකියා නැත්තේ ඇයි? රටේ ප්‍රමාණවත් තරමින් රැකියා නොහැදෙන නිසා. රැකියා හැදෙන්නනම් ආයෝජන ඉහළ යා යුතුයි. ආයෝජන කරන්නේ සමාගම් විසින්. සමාගම් වලට වැඩියෙන් ආයෝජන කළ හැක්කේ ලාබ වැඩි වෙන තරමටයි. එම ලාබ මත වැඩියෙන් බදු ගහන තරමට ආයෝජන අඩු වෙලා, රැකියා අවස්ථා අඩුවෙනවා.

සමාගම් විසින් වැඩියෙන් ලාබ උපයන එක අසාධාරණ නැද්ද? එයින් ආදායම් විෂමතා වැඩි වෙන්නේ නැද්ද?

කිසිසේත්ම නැහැ. සමාගම වැඩියෙන් ලාබ උපයන තරමට රැකියා අවස්ථා වැඩි වී ආදායම් විෂමතා අඩු වෙන එකයි වෙන්නේ. සමාගම් කියන්නේ නෛතික පුද්ගලයින් මිසක් සැබෑ පුද්ගලයින් නෙමෙයි. සැබෑ පුද්ගලයින්ට මෙන් නෛතික පුද්ගලයින්ට පරිභෝජනය කරන්න බැහැ. හැබැයි සමාගම් අයිතිකාරයින්ට පරිභෝජනය කරන්න පුළුවන්. ඔවුන්ගේ ආදායම් වැඩි වෙද්දී ආදායම් විෂමතා වැඩි වෙනවා. ආදායම් විෂමතා අඩු කරන්නනම් කළ යුත්තේ සමාගම් වලට බදු නොගසා සමාගම් වල අයිතිකාරයින්ට බදු ගහන එකයි. ඒ කියන්නේ ආයතනික ආදායම් බදු වෙනුවට පුද්ගල ආදායම් බදු වැඩියෙන් අය කරන එක ලංකාවේ වෙන්නේ එහි අනෙක් පැත්ත. රැකියා හොයා ගෙන රටින් යන්න වෙන එකත් මෙහි ප්‍රතිඵලයක්.

Thursday, January 26, 2023

ණය ගත්ත අය වැරදිද?


ආදායම් බදු ඉහළ දැමීමේ බලපෑම සමහර අයට තේරිලා තියෙන්නේ ජනවාරි පඩිපත ආවට පස්සේ. ලිපියට හේතු වූ උත්තේජක ගැන සමාජ ජාලා පරිශීලනය කරන හැමෝම වගේ දන්න නිසාත්, පොදු අවකාශයකට එකතු කරලා තිබුණත් මේවා පෞද්ගලික තොරතුරු නිසාත්, මම නැවත ප්‍රචාරය කරන්න යන්නේ නැහැ. 

මේ සමහර අය කවුද? 

මේ ගොඩේ ඉන්නේ පොදු අරමුදල් වලින් රුපියල් ලක්ෂ හතර පහක මාසික වැටුපක් ලබා ගන්න වෘත්තිකයෝ. ඒ අයට බදු කැපිල්ල දරුණුවටම බලපාලා තියෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. 

මාසයකට රුපියල් 115,000ක් උපයන අයෙක් කියා කියන්නේ ලංකාවේ ආදායම් උපයන්නන් අතර ඉහළම 5%ට අයිති කෙනෙක්. මාසයකට රුපියල් ලක්ෂ හතර පහක මාසික වැටුපක් ලබා ගන්න අයෙක් කියා කියන්නේ බොහෝ විට ආදායම අනුව ඉහළම 1%ට අයත් වෙන කෙනෙක්. දැන් මේ බදු වැඩි කිරීමෙන් පස්සේ ජීවත් වෙන්න අමාරුයි කියා කියන්නේ එහෙම අය. 

මේ ගැන පළවන අදහස් වල පැහැදිලි බෙදීමක් දකින්න පුළුවන්. සමහර අය බදු ඉහළ දැමීම විවේචනය කරමින් එහි අහිතකර ප්‍රතිඵල ගැන කතා කරනවා. තවත් අය බදු වැඩි කිරීම ගැන කණස්සල්ලෙන් කතා කරන අයගේ පෞද්ගලික මූල්‍ය කළමනාකරණය විවේචනය කරමින් කතා කරනවා. වැරැද්ද ණය ගත්ත අයගේද? එහෙම නැත්නම් ආණ්ඩුවේද?

මේකේ දෙපැත්තක් තියෙනවා. ඒ නිසා, අපි නිගමන වලට යන්නේ නැතුව දෙපැත්තම කතා කරමු. ඊට කලින් අපි අදාළ ආදායම් කාණ්ඩයට බදු සංශෝධනයේ බලපෑම කුමක්ද කියා විමසා බලමු.

මාසික ආදායම - රුපියල් 400,000යි.

කලින් ගෙවූ බදු ප්‍රමාණය - රුපියල් 9,000යි.

දැන් ගෙවිය යුතු බදු ප්‍රමාණය - රුපියල් 70,500යි.

මාසික ආදායම - රුපියල් 500,000යි.

කලින් ගෙවූ බදු ප්‍රමාණය - රුපියල් 15,000යි.

දැන් ගෙවිය යුතු බදු ප්‍රමාණය - රුපියල් 106,500යි.

රුපියල් ලක්ෂ 5ක මාසික වැටුපක් ලබන කෙනෙක් රුපියල් 106,500ක් බදු ගෙවුවත් තව රුපියල් ලක්ෂ හතරකට කිට්ටු මුදලක් ඉතිරි වෙනවා. EPF හා ETF වලට 15%ක් අයින් කළත්, ලක්ෂ තුනකට වඩා අතේ ඉතිරි වෙනවා. එහෙමනම්, ජීවත් වෙන්න විදිහක් නැති කතාව මොකක්ද?

මෙතැන ප්‍රශ්නය ලක්ෂ තුනකට වඩා ණය ගෙවන්න සිදු වී තිබීමයි. මේක බොරු කතාවක් නෙමෙයි. ඕක තමයි ඔය වගේ ආදායමක් උපයන ගොඩක් ලාංකිකයන්ගේ ඇත්ත තත්ත්වය. මෙතැන තිබෙන මූලික ප්‍රශ්නය, මේ විදිහට ණය වුන එකේ වැරැද්ද කාගේද? 

ලක්ෂ පහක මාසික වැටුපක් හා ලක්ෂ හතරක මාසික වැටුපක් ගන්න වෘත්තිකයින් යුවලක් ගැන හිතමු. ඔහොම අය ඉන්නවනේ. දැන් මේ යුවලට මාසයකට අතට ලැබෙන මුදල එක පාරටම රුපියල් 177,000කින් අඩු වෙලා. රුපියල් 177,000ක් කියන්නේ ගෙයක් වාහනයක් (වාහන දෙකක්) තියෙන කෙනෙකුට ණය ගෙවීම් හැර කෑම බීම, ඉන්ධන, බිල්පත්, දරුවන්ගේ අධ්‍යාපන වියදම්, ලොකු අසනීපයක් හැදුනේ නැත්නම් සෞඛ්‍ය වියදම් ආදී සියල්ල වෙනුවෙන් වැය කිරීමට ප්‍රමාණවත් මුදලක්. ඔය තරමේ ආදායමක් උපයන යුවලක් එදිනෙදා වියදම් වලට රුපියල් ලක්ෂ දෙකක් වගේ මුදලක් තියා ගෙන ඉතිරි කොටස් ඉඩම්, ගෙවල්, වාහන වගේ දේවල් වෙනුවෙන් යට කරන එක සාමාන්‍ය තත්ත්වයක්. මොකද එදිනෙදා වියදම් වලට මාසයකට රුපියල් ලක්ෂ දෙකක් තියා ගත්තහම හොඳටම ඇති.

දැන් එක පාරටම කලින් ගාණට වඩා රුපියල් 177,000ක් වැඩියෙන් බදු ගෙවන්න වුනහම අතට ඉතුරු වෙන්නේ රුපියල් 23,000ක් පමණයි. ඕකෙන් ජීවත් වෙන්න බැහැ. ඒ නිසා, මේ කණස්සල්ල ඉතාම සාධාරණයි. දැන් මෙතැන වැරැද්ද ණය වෙලා ඉඩම්, ගෙවල්, වාහන ගත්ත එකද? බංකොලොත් වෙන තරමට රට ණය වුනේ මිනිස්සු ඔය විදිහට ණය වුන නිසාද?

ඇත්තටම මේ ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නය ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රශ්නයේ පිළිබිඹුවක්. පැහැදිලි කර ගන්න තියෙන්නේ ප්‍රශ්නයේ මුල ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නයද නැත්නම් සාර්ව ආර්ථික ප්‍රශ්නයද කියන එකයි. තේරෙන විදිහට කිවුවොත්, මිනිස්සුන්ගේ අධිපරිභෝජනය නිසා රට ණය වුනාද නැත්නම් රට ණය වුනු නිසා මිනිස්සු අධිපරිභෝජනයට පෙළඹුණාද?

පළමුවැන්න වුනා කියලා කියන්න සහ කතාවක් ගොතන්න ලේසියි. නමුත් ඇත්තටම පළමුවැන්න දෙවැන්නේ ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ඇත්තම ඔය ණය වෙච්ච මිනිස්සු අහිංසකයි. 

මෙහි ස්වායත්ත ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නයකුත් නැහැ කියලා මම කියන්නේ නැහැ. සමාජවාදී හා ආගමික අදහස් නිසා ඇති වූ, කලාව හරහා කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කෙරුණු, දෘෂ්ඨිවාදයේ ප්‍රශ්නයකුත් මෙහි තිබෙනවා. කොහෙන් හෝ එදිනෙදා හොයා ගන්න දෙයක් කාලා බීලා වියදම් කරලා ආතල් එකක් ගන්න, හෙට ගැන නොහිතන බොහීමියානුවා පට්ට වීර චරිතයක්. නොකා නොබී ඉතිරි කරන මුදලාලි මෙලොව වගේම එලොවත් නැති කර ගත්ත සමාජයට කිසිම වැඩක් නැති මසුරෙක්. ඕක තමයි කලාව හා සාහිත්‍යය හරහා ප්‍රවර්ධනය කරන දෘෂ්ඨිවාදය. මේ හා අදාළව කතා කරන්න තව වැඩිපුර දේවල් තිබුණත්, ඒක අවශ්‍ය නොවන්නේ ඇත්ත ප්‍රශ්නය මේක නොවන නිසා. 

ඉහත දෘෂ්ඨිවාදය නිසා ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා, මිනිස්සු ණය වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා රට ණය වෙන්නේ නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා, ඉහත දෘෂ්ඨිවාදය වෙනස් කළ හැකි මානසික මෙහෙයුමකින් රටේ සාර්ව ආර්ථික ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ වගේම, සාර්ව ආර්ථික ප්‍රශ්නය විසඳන තුරු, දෘෂ්ඨිවාදය වෙනස් කරන මෙහෙයුම් වලින් අඩු වශයෙන් ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නය වුනත් විසඳන්න බැහැ. එක්කෙනෙක් ඊනියා පරිභෝජනවාදයෙන් ඉවත් වෙද්දී අනිවාර්යයෙන්ම වෙන කෙනෙක් ඒ අඩුව පුරවනවා. 

ලාංකිකයින්ගේ අධිපරිභෝජනය සැබෑවක් වුවත්, එය සාර්ව ආර්ථික අසමතුලිතතා වල පිළිබිඹුවක් මිසක් ඊට හේතුව නෙමෙයි. සාර්ව ආර්ථික අසමතුලිතතා නැති කළොත් ඊනියා අධිපරිභෝජනයත් නැති වෙනවා. ඕක අනෙක් පැත්තට වෙන්නේ නැහැ. 

ණය වෙලා පරිභෝජනය කරනවද එහෙම නැත්නම් පරිභෝජනය සීමා කරලා ඉතිරි කරනවද කියන එක පෞද්ගලික තේරීමක්. පෞද්ගලික තේරීමක් කියා කිවුවත්, මේක සෑහෙන තරමකින් පුද්ගලයෙකුගේ පුද්ගලභාවය එක්ක සම්බන්ධ වන දෙයක්. පුද්ගලයෙකුගේ අනන්‍යතාවයේ කොටසක්. ඇතැම් විට උපදින කොටම යම් තරමකින් ජාන වලින්ම තීරණය වී තිබෙන දෙයක්. ඉපදුනාට පස්සේ හැදෙන පරිසරය එක්ක, පුද්ගල අනන්‍යතා ගොඩ නැගෙද්දීම ගොඩ නැගෙන දෙයක්. ඒ නිසා, බොහෝ දෙනෙක්ට තමන් ණය ගන්නෙක් වෙනවද නැත්නම් ඉතිරි කරන්නෙක් වෙනවද කියන එක සවිඥානිකව පාලනය කරන්න අමාරුයි. ඒ හේතුව නිසාම තමන්ට සාපේක්ෂව බලලා වෙනත් අයව විවේචනය කරන එකත් නිවැරදි නැහැ. කොයි තරම් අමාරු තත්ත්වයකදී වුනත් සමහර අයට ණය වෙන්න හිත හදා ගන්න අමාරුයි. තවත් අයට කොයි තරම් ආදායම ඉහළ ගියත් ණය නොවී ඉන්න අමාරුයි. මේවා යම් තරමකින් නළලේ කෙටිලා තියෙන දේවල්. 

ක්ෂුද්‍ර ආර්ථික හැසිරීම් තීරණය වෙන්නේ ඔය පුද්ගල බද්ධ තත්ත්වයන් එක්කයි. ඇතැම් අය අනාගතයට සාපේක්ෂව වර්තමානයට වැඩි බරක් තබනවා. එවැනි අය ණයකාරයෝ වෙනවා. තවත් අය වර්තමානයට අඩු බරක් තියලා අනාගතයට වැඩි බරක් තියනවා. ඒ අය ණයහිමියෝ වෙනවා. හැබැයි මේ කාණ්ඩ දෙක ඉරක් ඇඳලා වෙන් කරන්න බැහැ. පුද්ගලයෙක් අනාගතයට සාපේක්ෂව වර්තමානයට කොයිතරම් බරක් තියනවද කියන එක සන්තතික විචල්‍යයක්. ඒ කියන්නේ මේක දර්ශකයක් ලෙස සැලකුවොත් 0 සහ 100 අතර හැම තැනකම කවුරු හරි ඉන්නවා. 100 කිට්ටුව ණයකාරයෝ. 0 කිට්ටුව ණයහිමියෝ. 

මිනිස්සුන්ට ණය ගන්න අවශ්‍ය වුනා කියලා එපමණකින්ම ණය ගන්න බැහැ. ණය දෙන්නත් කවුරු හරි ඉන්න ඕනෑ. ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ මැදිහත්වීමක් නැත්නම් ඔය දෙපැත්ත අනිවාර්යයෙය්න්ම තුලනය විය යුතුයි. පෙර කී දර්ශකයට ගියොත්, 51-100 අතර අය ණයකාරයෝ වෙනවා. 0-50 අතර අය ණයහිමියෝ වෙනවා. වෙළඳපොළ සමතුලිත වෙනවා. ඒ නිසා, රට ණය වෙන්නේ නැහැ. 

දෘෂ්ඨිවාදයේ වෙනස්කම් ඉහත කී සාර්ව ආර්ථික තුලනය කෙරෙහි බලපාන්නේ නැහැ. මොකද මොන තත්ත්වය යටතේ වුවත් රටේ 50%ක් ණයකාරයෝ. ඉතිරි 50% ඉතිරිකරන්නෝ. දෘෂ්ඨිවාදය විසින් කරන්නේ ඔය ගොඩවල් වල ඉන්න පුද්ගලයින් එහාමෙහා කරන එක පමණයි. ගොඩවල් වල ප්‍රමාණ වෙනස් වෙන්නේ නැහැ. මොකද ණය දෙන්නෝ නැතුව ණය ගන්නා අය නැහැ. 

සල්ලි අච්චු ගැසීමත් එක්ක, එහෙම නැත්නම් බැංකු පද්ධතිය විසින් මුදල් සැපයුම වැඩි කිරීමත් එක්ක, ඉහත සමතුලිතතාවය වෙනස් වෙනවා. මොකද දැන් ණය ගන්නන් තරමටම ණය දෙන්නන් අවශ්‍ය වන්නේ නැහැ. අලුතෙන් මුදල් නිර්මාණය වෙද්දී අලුතෙන් ණය නිර්මාණය වීමක් සිදු වෙනවා. 

අපි හිතමු ඉහත දර්ශකයේ 0-100 අතර සිටින එක් එක් පුද්ගලයා විසින් රුපියල් ලක්ෂය බැගින් ණය ගන්නවා හෝ දෙනවා කියලා. මුදල් සැපයුම වෙනස් වෙන්නේ නැත්නම්, ණය ගන්නෝ ලක්ෂ 50ක ණය ගන්නවා. ණය දෙන්නෝ එම ලක්ෂ 50ක ණය ප්‍රමාණය දෙනවා. ඉල්ලුම හා සැපයුම අනුව පොලී අනුපාතිකය තීරණය වෙනවා. ඒ පසුබිමේ තිබෙන ප්‍රධාන සාධකය මුදලේ කාල වටිනාකම. ඒ කියන්නේ අනාගත පරිභෝජනයට සාපේක්ෂව වර්තමාන පරිභෝජනය කොයි තරම් වටිනවාද කියන එක. මේකත් මැද සිටින, ඒ කියන්නේ දර්ශක අගය 50 වූ පුද්ගලයාගේ කාල වටිනාකම. 

දැන් ඔය වගේ සමතුලිත ආර්ථිකයකට අලුත් සල්ලි රුපියල් ලක්ෂ 20ක් දැම්මොත් වෙන්නේ කුමක්ද? ඉතිරි කරන්නෝ ප්‍රමාණය 40ට බහිනවා. ණය ගන්නන් ප්‍රමාණය 60 දක්වා ඉහළ යනවා. ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 60යි. නමුත්, ඉතිරි කිරීම් ප්‍රමාණය රුපියල් ලක්ෂ 40ක් පමණයි. අඩු රුපියල් ලක්ෂ 20 අච්චු ගහපු, එසේ නැත්නම් බැංකු පද්ධතිය විසින් මවපු සල්ලි. 

ඒ විතරක් නෙමෙයි. දැන් පොලී අනුපාතික තීරණය කරන්නේ ඉහත දර්ශකයේ 50 මට්ටමේ හිටපු පුද්ගලයා නෙමෙයි. 40 මට්ටමේ ඉන්න පුද්ගලයා. ඒ පුද්ගලයාගේ කාල වටිනාකම අඩුයි. ඒ නිසාම, සමතුලිත පොලී අනුපාතිකයත් අඩුයි. අනෙක් පැත්තෙන් උද්ධමන අපේක්ෂා ඉහළයි. මේ තත්ත්වය එක්ක ණය ගන්න එක කලින්ට වඩා ආකර්ශනීයයි. ණය දෙන එක පාඩුයි. කලින් ණය දුන් දහ දෙනෙක් දැන් ණයකාරයින් වී සිටින්නේ ඔය නිසා.

මුදල් සැපයුම වැඩි කිරීම වේගවත් වන තරමට, පොලී අනුපාතික අඩු වන තරමට, ඔය සමතුලිතාවය 0 පැත්තට විතැන් වෙනවා. ණයකාරයෝ වැඩි වෙනවා. ඉතිරි කරන්නෝ අඩු වෙනවා. මුදල් සැපයුම හා පොලී අනුපාතික නිවැරදි වන තුරු මිනිස්සුන්ට පරිභෝජනය සීමා කරන්න උපදෙස් දුන්නා කියලා ඔය තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. 

ලංකාවේ ප්‍රශ්නයේ පළමු කොටස තියෙන්නේ ඔතැන. සෑම වසරකම සැලකිය යුතු ලෙස මුදල් සැපයුම ඉහළ යද්දී, උද්ධමනයට සාපේක්ෂව පොලී අනුපාතික පහළින් තියෙද්දී, ණයකාරයෝ බෝ වෙනවා. ඉතිරි කරන්නෝ වඳ වෙනවා. ඒක මිනිස්සුන්ගේ වැරැද්දක්ම නෙමෙයි. 

ප්‍රශ්නයේ දෙවෙනි කොටස විදේශ ණය. අපි හිතමු රුපියල් ලක්ෂ 20කින් මුදල් සැපයුම වැඩි කරන අතර තව රුපියල් ලක්ෂ 20ක විදේශ ණය ගත්තා කියලා. දැන් ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 70 දක්වා ඉහළ යනවා. ඉතිරි කිරීම් රුපියල් ලක්ෂ 30 දක්වා පහළ යනවා. අඩු රුපියල් ලක්ෂ 40න් රුපියල් ලක්ෂ 20ක් විදේශ ණය. ඉතුරු රුපියල් ලක්ෂ 20 අච්චු ගහපු හෝ මවපු රුපියල්. විදේශ ණය සහ මුදල් මැවීම තවත් ටිකක් වැඩි කළොත් රටම ණයකාරයෝ වෙලා ඉතිරි කරන්නෝ නැත්තටම නැති වෙලා යන්න වුනත් පුළුවන්. ඔය වගේ සාර්ව ආර්ථික තත්ත්වයක් යටතේ ඕනෑම කෙනෙක් ඉතිරි කරන්නෙක් නොවී ණය ගන්නෙක් වෙනවා. 

විදේශ ණය ගනිද්දී තවත් දෙයක් වෙනවා. ණය විදිහට ගන්න ඩොලර් වෙළඳපොළේ විකුණලා රුපියල් කරද්දී ඩොලර් එකේ මිල බහිනවා. ආනයන ලාබ වෙනවා. ඊට පස්සේ ණය ගන්නවාට අමතරව, ණය අරගෙන වැඩි වැඩියෙන් ආනයන කරන එකත් ප්‍රවර්ධනය වෙනවා. 

රුපියල් ලක්ෂ හතර පහක වැටුප් ලබන අය වියදමට ලක්ෂයක් දෙකක් පමණක් තියාගෙන ඉතිරි කොටස යොදාගෙන ගෙවන්න ණය අරගෙන තියෙන්නේ ඔය සාර්ව-ආර්ථික තත්ත්වය තුළයි. ණය වෙලා වාහන, ගෙවල් ගොඩ ගහගෙන ඉන්නේ ඔය සාර්ව-ආර්ථික තත්ත්වය තුළයි. එහෙම නොකරපු අයයි ඇත්තටම තාර්කික නොවන තීරණ අරගෙන තියෙන්නේ. මොකද පැවති තත්ත්වයන් තුළ ඉතිරි කරන්නා මෝඩයෙක්. ණය නොගන්නා පුද්ගලයා මෝඩයෙක්.

පසුගිය බදු කැපිල්ලට පෙර, 2019දී රුපියල් ලක්ෂ හතර හා පහ බැගින් මාසික වැටුප් ලැබූ අයට පිළිවෙළින් රුපියල් 42,000 සහ 66,000 ලෙස බදු ගෙවන්න සිදු වී තිබුණා. ඒ අනුව, දැන් වැඩිපුර ගෙවන්න සිදු වී තිබෙන මුදල රුපියල් 69,000ක්. නමුත්, 2020 බදු කැපිල්ලෙන් පසු මෙම බදු මුදල පිළිවෙලින් රුපියල් 9,000 හා 15,000 දක්වා අඩු වුනා. ඒ කියන්නේ රුපියල් 85,000ක ඉතිරියක්. 

ඉහත පරිදි බදු කැපිල්ල හරහා වැය කළ හැකි ආදායම ඉහළ යද්දී එයට අනුරූපව පරිභෝජනය ඉහළ නොදැමුවේනම් දැන් සිදුකර තිබෙන බදු වැඩි කිරීම මේ තරම් දරුණු ලෙස දැනෙන එකක් නැහැ. නමුත්, බදු කැපිල්ල සිදු කළේම සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස පරිභෝජනය ඉහළ දැමීම ඉලක්ක කරගෙනයි. එම ප්‍රතිපත්තියට අනුරූපව මුදල් සැපයුම වැඩි කර පොලී අනුපාතික පහත හෙළනු ලැබුවා. ඒ මගින්, පරිභෝජනය ප්‍රවර්ධනය කෙරුණා. ඒ අනුව, බදු කැපිල්ලෙන් පසුව, පසුගිය දෙවසර තුළ බොහෝ දෙනෙකු තව තවතවත් ණය වී ඇති බව පැහැදිලියි. ලංකාව ආසියාවේ ඓශ්චර්යය වී රටේ මෙන්ම තමන්ගේද ආදායම් ඉහළ යද්දී ගත් ණය ආපසු ගෙවීම ප්‍රශ්නයක් නොවනු ඇතැයි මේ අය සිතන්නට ඇති.

ඓතිහාසික තොරතුරු දෙස බැලුවොත්, බදු සීමා ලිහිල් කිරීම මිස දැඩි කිරීම ලංකාවට සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා, ලබා දුන් බදු සහන ආපසු හැරවෙනු ඇතැයි මේ බොහෝ දෙනෙක් නොසිතන්නට ඇති. ඇත්තටම මේ බොහෝ දෙනෙක් මේ වෙද්දී පීඩාවට පත්ව සිටින්නේ තමන්ගේම වැරදි මූල්‍ය කළමනාකරණය නිසා නෙමෙයි. රටේ කාලයක් තිස්සේ පැවති අසංගත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිසා.

ඒ අය පැවති සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ ගොදුරු. හැබැයි එහෙමයි කියලා ඒ වැරදි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි නොකර වෙන කළ හැකි දෙයකුත් නැහැ. මොකද රජය හිර වෙලා ඉන්න හිරවිල්ල මිනිස්සුන්ගේ හිරවිල්ලට වඩා ගොඩක් දරුණු හිරවිල්ලක්.  

මේ වගේ හිර වෙලා අයට දැන් කරන්න පුළුවන් කුමක්ද? රජයට කරන්න වෙලා තියෙන දෙයම තමයි. ණය ගෙවන්න බැරි ද්‍රවශීලතා ප්‍රශ්නයක් තියෙනවානම්, ගත්ත ණය ඵලදායී නොවන වත්කම් වල හිර වෙලානම්, එකම විසඳුම එම වත්කම් විකුණන එක. ඒක කරන්න හිත හදාගන්න බැරිනම් වෙන්නේ තව තව හිරවෙන එක විතරයි. 

Monday, December 19, 2022

ලංකාවට ඇත්තටම ආයෝජන එනවද?


බදු වැඩි කිරීමේ අයහපත් ප්‍රතිඵල ගැන කතා කරන අය කියන දෙයක් තමයි මේ වැඩෙන් රටට එන විදේශ ආයෝජන නැති විය හැකියි කියන එක. මේ කතාව ටිකක් දුරට ඩොලරයේ මිල ඉහළ යද්දී රජයේ ණය ඉහළ යනවා කියන කතාවට සමානයි.

කලින් නැවත නැවත පැහැදිලි කර දී තිබෙන දෙවන කතාව තවත් වරක් කෙටියෙන් මතක් කරන්නම්. ඩොලර් ණයට අරගෙන, ඒ ණය ආපසු ගෙවද්දී ඩොලරයක මිල වැඩි වෙලානම් ඒ හේතුව නිසා රජයට රුපියල් වලින් වැඩි වියදමක් යනවා. කතාව ඇත්ත. 

ඉහත තර්කයේ ප්‍රශ්නය තියෙන්නේ තර්කය ඇතුළේ නෙමෙයි. තර්කයට පිටින්. කතාව ඇත්ත වුනත් රජයට ඔය පාඩුව වෙන්නේ ගත්ත විදේශ ණය ආපහු ගෙවද්දී. නමුත් ලංකාවේ රජය ශුද්ධ වශයෙන් විදේශ ණය ආපහු ගෙවලාම නැහැ. ගෙවන්නෙත් නැහැ. හැමදාම වගේ කළේ ගෙවන ණයට වඩා අලුතෙන් විදේශ ණය ගන්න එක. ඔහොම විදේශ ණය අරගෙන රුපියල් කරද්දී ඩොලරයේ මිල ඉහළින් තියෙන තරමට රජයට වාසියි. පාඩු වෙන්නේ ඩොලරයේ මිල අඩු වෙද්දී.

විදේශ ආයෝජන ගැන කතාවත් ඔය වගේම එකක්. වැඩියෙන් බදු ගෙවද්දී රටට එන ආයෝජන අඩු වෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ රටට ආයෝජන එනවානම්. මෑතකාලීනව දිගින් දිගටම වෙලා තියෙන්නේ ආයෝජකයින් විසින් රජය ණයට ගන්න සල්ලිත් රටින් ගෙනියන එක. 

විදේශ ණය අරගෙන රටට වෙලා තියෙන අවුල ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් ඒ ගැන කවුරුත් වගේ දන්නවා. ණය විදිහට රටට එන විදේශ ප්‍රාග්ධනය ගැන බයෙන් සැකෙන් බලන ගොඩක් අය කොටස් හිමිකම් විදිහට රටට එන සෘජු විදේශ ආයෝජන වගේ දේවල් වල කිසිම අවුලක් දකින්නේ නැහැ. නමුත් ඇත්තටම ණය හෝ කොටස් භේදයක් නැතිව ලංකාව විදේශ ප්‍රාග්ධනය ආකර්ශනය කර ගන්න ආකෘතියේම අවුලක් තියෙනවා.

රටකට විදේශ ආයෝජන එන එකේ වාසි ගණනාවක් තියෙනවා. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් ඒ වාසි අමතක කරලා, කරන්නන් වාලේ ආයෝජකයෝ ගෙන්න ගනිද්දී වෙන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්. 

ලංකාව කාලයක් තිස්සෙම කරලා තියෙන්නේ බදු සහන දීලා ආයෝජකයින් ආකර්ශනය කර ගන්න එක. ආයෝජකයින් රටට එන එකෙන් රජයට වාසියක් ගන්න පුළුවන් වෙන්නේ ලැබෙන බදු ආදායම වැඩි කර ගැනීම මගිනුයි. බදු ආදායම වැඩි වෙන්නේ නැත්නම්, කොහොම හරි ආයෝජකයෝ ගෙන්න ගත්තා කියලා ඒ ගෙන්න ගත්ත එකෙන් වැඩක් නැහැ.

රටේ ආයෝජනයට හිතකර පරිසරයක් හැදෙනවානම් බදු සහන නැතත් ආයෝජකයෝ එනවා. ඒ එන්නේ දිගුකාලීන වාසි බලාගෙන. එහෙම එන ආයෝජකයෝ තමන්ගේ ලාබ නැවත නැවත රට ඇතුළේම ආයෝජනය කරනවා මිසක් රටෙන් අරන් යන්න හදිසි වෙන්නේ නැහැ.

රටේ ඒ ආකාරයේ ආයෝජනයට හිතකර පරිසරයක් හැදීම සඳහා කළ යුතු මූලික දේවල් සිදු නොකර බදු සහන දීලා ආයෝජකයෝ ගෙන්නුවහම රටට එන්නේ පුළුවන් තරම් ඉක්මනින් රටට ගෙනාපු මුදල වගේ කිහිප ගුණයක් රටින් අරන් යන්න බලාගෙන එන ආයෝජකයෝ. අන්තිමට වෙන්නේ රටට ගේන ඩොලර් ටික වගේ කිහිප ගුණයක් රටින් එළියට යන එක. අන්තිමට රජයට බදුත් නැහැ. රටට විදේශ විණිමයත් නැහැ.

පහත සංඛ්‍යාලේඛණ දිහා බැලුවහම මේ කරුණ පැහැදිලි වෙයි.

වර්ෂය- 2016

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 949

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 500

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 450

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 260

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 240


වර්ෂය- 2017

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 934

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 431

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 503

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 32

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 399


වර්ෂය- 2018

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 783

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 558

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 225

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 238

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 320


වර්ෂය- 2019

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 863

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 599

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 264

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 120

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 474


වර්ෂය- 2020

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 636

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 445

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 191

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 211

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 234


වර්ෂය- 2021

සෘජු විදේශ ආයෝජන වල ලාභය - ඩොලර් මිලියන 647

ලාභාංශ ලෙස ලබාගත් මුදල - ඩොලර් මිලියන 357

නැවත ආයෝජනය කළ මුදල - ඩොලර් මිලියන 290

අලුතෙන් රටට ආ ණය නොවන සෘජු ආයෝජන - ඩොලර් මිලියන 317

ආයෝජකයින් විසින් රටින් ගෙන ගිය මුදල - ඩොලර් මිලියන 40

Wednesday, November 9, 2022

පළමු මාස හයේ අය හා වැය

පෙර ලිපියක ("රජය ආදායම් වැඩි කරගන්න යන්නේ කොහොමද?") ඉදිරිපත් කළේ මෙම වසරේදී රජය ආදායම් වැඩි කර ගන්නට සැලසුම් කර ඇති ආකාරයයි. එහි ඉදිරිපත් කළේ ආදායම් ඇස්තමේන්තු. ඇත්ත ගණන් නෙමෙයි. පෙර වසර හා අදාළවනම් ඇත්තම ගණන්.

පහත තියෙන්නේ මේ වසරේ මුල් මාස හය තුළ රජයේ ඇත්තම ආදායම. සියළුම ගණන් රුපියල් බිලියන වලින්.

ආදායම් බදු - 234.9

වැට් බදු - 197.8

නිෂ්පාදන/ සුරා බදු - 170.9

වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද - 94.0

විශේෂ වෙලඳ භාණ්ඩ බද්ද - 38.9

ආනයන බදු - 25.4

සෙස් බද්ද - 20.4

අනෙකුත් බදු - 16.5

මුළු බදු ආදායම - 798.8

බදු නොවන ආදායම - 119.7

මුළු රාජ්‍ය ආදායම - 918.5

මෙය පසුගිය වසරේ මුල් සමස තුළ මුළු රාජ්‍ය ආදායම වූ රුපියල් බිලියන 714.5ට සාපේක්ෂව 28.6%ක ආදායම් වර්ධනයක්. 

බොහෝ දෙනෙකුට තිබෙන ඊළඟ ප්‍රශ්නය රජය මේ සල්ලි වියදම් කළේ කොහොමද කියන එකයි. පහත තියෙන්නේ රුපියල් බිලියන වලින් රජයේ වියදම්. වරහන් තුළ තිබෙන්නේ අදාළ කාර්යය වෙනුවෙන් වැය කළ ආදායම් ප්‍රතිශතය.

පොලී ගෙවීම් - 657.8 (71.6%)

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් - 627.1 (68.3%)

ප්‍රාග්ධන වියදම් හා ණය දීම්- 250.5 (27.3%)

භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් - 75.9 (8.3%)

සමෘද්ධි හා පොහොර සහනාධාර - 45.8 (5.0)

අනෙකුත් සහනාධාර - 165.0 (18.0%)

එකතුව - 1,822.1 (198.4%)

පසුගිය වසරේ පළමු සමසට සාපේක්ෂව රාජ්‍ය ආදායම් 28.6%කින් ඉහළ යද්දී, රාජ්‍ය වියදම්ද 21.8%කින් ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් පොලී ගෙවීම් පැහැර හැරීමෙන් පසුවද පොලී වියදම් 29.7%කින් ඉහළ යද්දී, පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම්ද 17.8%කින් ඉහළ ගොස් තිබෙනවා. රාජ්‍ය වියදම තව දුරටත් රාජ්‍ය ආදායම මෙන් දෙගුණයකට ආසන්නයි.

වෙබ් ලිපිනය: