Tuesday, May 5, 2020

ඇමරිකා-වී, ඉන්දියා-වී හා ලංකා-වී

කලින් පෝස්ට් එකේ කළේ ඇමරිකාවේ හා ඉන්දියාවේ අක්කරයක වී වවන්න යන වියදම සැසඳීමක්. එහි මා ලංකාව ගැන කතා කළේ නැහැ. පෝස්ට් එකේ සංඛ්‍යාලේඛණ මම හදපුවා නෙමෙයි. මම කළේ ඉන්දියන් රුපියල් ගණන් හැටෙන් බෙදා ඩොලර් වලට හරවන එක පමණයි.

මේ සංඛ්‍යාලේඛණ ගොවීන්ට යන සැබෑ වියදම් එකතු කර හදපුවා. එහෙත්, වගුවේ  තියෙන්නේ සාමාන්‍ය අගයන්. තනි ගොවීන් ගත්තහම මීට වඩා අඩු වියදමකින් වී වවන අයත්, වැඩියෙන් වියදම් කරන අයත් ඉන්නවා. ඒ වගේම ඉන්දියාවේ සමීක්ෂණය බෙංගාලය ආශ්‍රිතව කරපු එකක් නිසා ඉන්දියාවේම වෙනත් පැති වල තත්ත්වයේ වෙනසක් තියෙන්න පුළුවන්.

කොහොම වුනත් මට පෙන්වා දෙන්න අවශ්‍ය වුනේ මේ දේවලුයි.
- ඇමරිකාවේ කුඹුරු අක්කරයක් වවන්න යන වියදම ඉන්දියාවට සාපේක්ෂව ගොඩක් වැඩියි.
- ඉන්දියාවේ (බෙංගාලයේ) කුඹුරු කෙරුවාවෙන් ලාබ ගන්න අක්කරයකින් වී කිලෝ ග්රෑම් 1,330ක අස්වැන්නක් ලබා ගැනීම ප්‍රමාණවත්.
-එහෙත්, ඇමරිකාවේ කුඹුරු කෙරුවාවෙන් ලාබ ගන්නනම් අක්කරයකින් වී කිලෝ ග්රෑම් 3,300ක් ලබා ගත යුතුයි. එය අමාරු ඉලක්කයක්.

එම ලිපියේ අවසානයේ මූලාශ්‍රය සදහන් කර තිබෙන පර්යේෂණ පත්‍රිකාව අනුව බෙංගාලයේ වී ගොවීන් ඇත්තටම ලාබ ලබන්නේ නැහැ. එහෙත්, ඉන්දියාවේ වී ගොවීන් විශාල ලාබයක් ලබන බව ගණන් හදා පෙන්වා ඇති තැන් කිහිපයක්ම අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්. එම ගණන් බැලීම් හා පෙර කී පර්යේෂණ පත්‍රිකාවේ ඇස්තමේන්තු ප්‍රධාන වශයෙන්ම වෙනස් වන්නේ එක් කරුණකින්. පර්යේෂණ පත්‍රිකාවේ ඇස්තමේන්තුවට ඉඩමේ ආවස්ථික පිරිවැයද එකතු කර තිබෙනවා. මෙය සැලකිය යුතු මුදලක්. එය අත ඇරියොත් වියදම ගොඩක් අඩුයි.

දැන් අපි ලංකාවට එමු. ලංකාවේ වී අක්කරයක් වවන්න යන වියදම පිළිබඳවත් මෙවැනි ඇස්තමේන්තු තිබෙනවා. මම හදපුවා නෙමෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදපුවා. මේ ඇස්තමේන්තු වාරි ජල වී කර්මාන්තය හා වැසි ජල වී කර්මාන්තය සඳහා වෙන වෙනම පහත වගුවේ තිබෙනවා. සංසන්දනය කිරීම සඳහා ඇමරිකාවේ ගණන් 190 බැගිනුත් ඉන්දියාවේ ගණන් 2.50 බැගිනුත් රුපියල් වලට හරවා තිබෙනවා.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණන් අනුව වාරි ජල වී කර්මාන්තයේ වියදම් පියවගන්න අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 1,222ක් ලබා ගැනීම ප්‍රමාණවත්. වැසි ජල වී කර්මාන්තයෙන් ලාබ ගන්න අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 1,268ක් ලැබුනහම ඇති.  එහෙම බැලුවොත් ලංකාවේ වී ගොවියා ඉන්නේ ඉන්දියාවටත් වඩා වාසිදායක තැනක. මේ ඊයේ පෙරේදා ආණ්ඩුව වී වල සහතික මිල වැඩි කරන්න කලින් තත්ත්වය. දැන් විදිහටනම් මේ ගණන් තවත් අඩු වෙන්න ඕනෑ.

වාරි ජල වී කර්මාන්තයෙන් අක්කරයකට වී කිලෝ ග්‍රෑම් 2,130ක් ලබා ගන්න පුළුවන්. එහෙම බැලුවහම මාර ලාබයි. වැසි ජල වී කර්මාන්තයෙන් අක්කරයකට වී කිලෝ ග්‍රෑම් 1,486ක් ලබා ගත හැකියි. ඒ වැඩෙත් පාඩුවක් නැහැ. වැඩේ ඔය තරම්ම ලාබනම් ලංකාව ආනයනික සහල් වලට බය වෙන්නේ ඇයි? කිසි ප්‍රශ්නයක් නැතුව තරඟ කරන්න පුළුවන් වෙන්න ඕනැනේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු වල අඩුපාඩු කිහිපයක්ම තියෙනවා. වගුවේ ඇමරිකා, ඉන්දියා තීරු වල තිබෙන ලංකා තීරු වල නැති අයිතම දිහා බැලුවහම ඒ බව නොපෙනෙන්න හේතුවක් නැහැ.

වාරි ජල වී කර්මාන්තයේ වතුර වල වියදම දරන්නේ වී ගොවීන් විසින් නෙමෙයි. පොදුවේ රටේ හැමෝම. මහවැලිය හදන්න ගත්ත ණය සහ පොලිය තවම ගෙවනවා. මුල් ණය මුදල ලබා දුන් අයට දැන් මේ ණය ගෙවලා ඉවර ඇති. හැබැයි ඒ ගෙවලා තියෙන්නේ වතුර විකුණලා සල්ලි අරගෙන නෙමෙයි. අලුත් ණය අරගෙන. ඒ අලුත් ණයත් දැන් ගෙවලා ඇති. ඒ තවත් ණය අරගෙන. අන්තිමට මහවැලිය හදන්න ගත්ත සල්ලි වලට තවම පොලී ගෙවනවා. ගොවීන්ට වතුර නොමිලේ.

ඒ වගේම පෝර වියදමෙන් වැඩි කොටසක් දරන්නේත් පොදුවේ රටේ හැමෝම විසින්. ඒ ගණන් එකතු කලොත් මේ වියදම් ඇස්තමේන්තුව ඉහළ යනවා.

මේ සියල්ලටම වැඩිය ලොකුම අඩුපාඩුව කුඹුරු ඉඩම් වල බදු අගය මෙහි නැති වීමයි. ඇමරිකාවේ හා ඉන්දියාවේ ඇස්තමේන්තු වල ඒ ගණන් තියෙනවා. සාමාන්‍යයෙන් මේ මිල සැලකිය යුතු මිලක්. ගොවියෙක් වගා කරන්නේ තමන්ගේම ඉඩම වුවත්, ඉඩම බදු දී ලබා ගත හැකි ආදායම ආවස්ථික පිරිවැයක් විදිහට මේ ඇස්තමේන්තුවට එකතු විය යුතුයි. ඒ ගණන දැන ගන්න කුඹුරු බද්දට දෙන මිල ගණන් හොයා ගන්න වෙනවා. ලංකාවේ කුඹුරු කිරීමේ නියම වියදම දැන ගන්නනම් මේ අයිතමයන්ද එකතු විය යුතුයි.

මම හිතන්නේ ලංකාවේ කුඹුරු බද්දට දීම හා ගැනීම බොහෝ විට අත යටින් වෙන දෙයක්. අත යට වෙන දේවල් ගැන ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකට තොරතුරු හොයා ගන්න අමාරුයි. නිවැරදි ආකාරයකට සමීක්ෂණයක් නොකර මේ පිළිබඳ ඇස්තමේන්තු හදන්නත් අමාරුයි. මා පෞද්ගලිකව දන්නා තොරතුරු අනුව වියලි කලාපයේ කුඹුරු අක්කරයක කන්නයක බදු වටිනාකම අඩු වශයෙන් රුපියල් පනස් දාහක් පමණවත් වෙනවා. සමහර අය අස්වැන්නෙන් තුනෙන් එකටත් බදු දෙනවනේ. එහෙම බැලුවත් ඔය කිට්ටුව ගාණක්. අනික් අතට මේ කුඹුරු අක්කරයක මිල ලක්ෂ දහයක් පහළොවක් පමණ වන නිසාත් රටේ පොලී අනුපාතික 8-10%ක පමණ මට්ටමේ තිබෙන නිසාත් කන්නයක කාලයට පොලිය ඔය කිට්ටුවට එනවා.

කොහොම බැලුවත් ඉඩමේ බදු වටිනාකම එකතු කළාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව දෙගුණයක් පමණ වෙනවා. එතකොට වියලි කලාපයේ වුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වන ලාබය නැහැ. මේ කියන්නේ කිසිවෙකුට ලාබ නැහැ කියන එක නෙමෙයි. කුඹුරු බදු ගන්න අයට අනිවාර්යයෙන්ම ලාබ තියෙන්න ඕනෑ. නැත්නම් බදු ගන්න අමාරුවක් නැහැනේ. ඒ වගේම බදු දෙන අයගේ පැත්තෙන් බැලුවොත් ඒ අය කුඹුර බදු දෙන්නේ කුඹුර කරනවාට වැඩිය බදු දෙන එක ලාබ නිසයි. ඒ කියන්නේ ඒ අයම කුඹුර කළානම් ඉඩමේ බදු වටිනාකම අඩු කළාම අතින් පාඩුයි.

මේ කිවුවේ වියලි කලාපයේ ඉඩම් ගැන. තෙත් කලාපයේ කුඹුරු ඉඩම් බදු අරගෙන කුඹුරු වැඩ කරන අය ඉන්න බවක් මම දන්නේ නැහැ. බදු අරගෙන කුඹුරු කිරීම අනිවාර්යයයෙන්ම පාඩුයි. ඒ නිසා, ඒ ඉඩම් වල වටිනාකම මේ ක්‍රමයට තක්සේරු කරන්න බැහැ. හැබැයි මේ ඉඩම් වල විකුණුම් මිල වියලි කලාපයේ ඉඩම් වල මිලට වඩා වැඩියි. මේ ඉඩම් අක්කර ගානට යන්නේ නැහැ. බොහෝ විට විකිණෙන්නේ පර්චස් ගාණට. තෙත් කලාපයේ ඉඩම් වල වටිනාකමට හේතුව වී වගාවෙන් ලැබිය හැකි ආදායම නෙමෙයි. ඉඩම් වල වටිනාකම එකතු කළොත් වී වගා කරන එක අනිවාර්යයෙන්ම පාඩුයි.

මේ හැම දෙයක්ම ලිවීමෙන් මම පෙන්වා දෙන්න හදන්නේ ලංකාව කුඹුරු කරන එක අත ඇරිය යුතු බව නෙමෙයි. එහෙම හිතනවානම් එය වැරදි අදහසක්. කුඹුරු කිරීම පාඩු වෙන්නේ යන වියදම ලැබෙන ආදායමට වඩා අඩු නිසයි. වෙනත් විදිහකට කියනවානම් කාර්යක්ෂමතාවය අඩු නිසයි. නමුත්, ඇමරිකන් උදාහරණයෙන් පෙනෙන්නේ ලංකාවේ වී ගොවිතැනට වඩා කාර්යක්ෂම වෙන්න තව සෑහෙන අවකාශයක් තියෙනවා කියන එකයි. එහෙමනම්, එය නොවෙන්නේ ඇයි?

අත ඇරලා දමන්න ඕනෑ ලංකාවේ වී ගොවිතැන නෙමෙයි. ලංකාවේ වී ගොවිතැන වගේම තවත් බොහෝ දේවල් අකාර්යක්ෂම වෙන්න හේතු වී තිබෙන සාධකයි.

මෙහි ලියන දේවල් හැමවිටම සංවාදයට විවෘතයි. හැබැයි ලිපියේ ලියා නැති දේ හිතින් මවාගෙන විවේචනය කළාට අපට කරන්න දෙයක් නැහැ. ලිපියේ වැරැද්දක් තිබේනම් එය පැහැදිලිව පෙන්වන්න. මඩින් නෙමෙයි ගොඩින් එන්න!

Reference:
COST OF CULTIVATION OF AGRICULTURAL CROPS - 2018 YALA, Volume 75, SOCIO ECONOMICS AND PLANNING CENTRE, DEPARTMENT OF AGRICULTURE, July 2019.

15 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මට හිතෙන විදියට ලන්කාවෙ ගොවිතැන පාඩු ලබන්න අකාර්යක්ෂම තාවය ගොඩක් බලපානවා. අකාර්යක්ෂම වෙන්න ඒ වෙනුවෙන් කරන ගනනය කිරීමුත් ගොඩක් බලපානවා. ඇත්තටම ඔබ කියනවා වගේ වාරි ජලයේ ඉන්දලා අඩු ගානට දෙන පොහොර මිටියේ සෑබෑ මිල දක්වා සියලුම වියදම් එකතු වෙන්න ඕනේ. මොකද ගොවියා නොගෙව්වට රටක් වශයෙන් අපි ඔක්කොම මේවට ගෙවන්න ඕනේ. මමත් අදහස් කරන්නේ නෑ අපි වී ගොවිතැන අතාරින්න ඕනේ කියලා. ඒත් අපි සුදුසුකම ක්‍රමය හොයා ගන්න ඕනේ ශුඪ්ද අලාබ අවම කරගන්න සහ පුලුවන්නම් ශුද්ද ලාබය වැඩි කරගන්න.

    ReplyDelete
  3. මේ සම්බන්ධව වික්ටර් අයිවන් මහතාත් කලක පටන් ලිපි ලියනවා.. එතුමා පෙන්වා දෙන්නේ තෙත් කලාපයේ කුඹුරැ කරනවාට වඩා පහසුවෙන් ඒ ඉඩම් වල මත්ස්‍ය ගොවිපලවල්, ඉස්සෝ ගොවිපල් ඇති කිරීමෙන් වැඩි ලාබ ලැබිය හැකි බවත් රටේ් ජනතාවගේ පෝශන අවශයතාවයත් සපුරා ගත හැකි බවත්... ඒ වගේම එතුමා පෙන්වා දෙනවා වියළි කලාපය තුළ පවා වී වපුරනවා වෙනුවට ලාබ ලැබිය හැකි ‍එළවලු වගා කර අවශය හාල් පිටරටින් අඩු මිලට ගෙන්වා ගැනීම සුදුසු බව... ඒ ගැන ඔබතුමා‍ෙගේ අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. හමහර ප්‍රශ්ණ වලට තර්කානුකූල උත්තර හෙවීම දුශ්කරයි. නමුත් ඒවාට විසඳුම් සෙවියහැකි සරල ක්‍රම තියෙනවා.
      ප්‍රශ්ණය අසනඑකා මොකෙක්දැයි සැලකීම එවන් ක්‍රමයක්.

      වික්ටර් අයිවන් යනු මාක්ස්වාදී, ක්‍රිස්තියානි දෙමලෙක්. මේ දෝශ වලින් එකක් තිබ්බත් ඔහු සිංහල ජාතියේ සතුරෙක්.
      ඉතින් එයා කවදාවත් සිංහල ජාතියට හොඳක්වෙන දෙයක් යෝඩනා කරයිද?

      Delete
    2. ශෙනාල්,
      වෙළඳපොළට නිදහසේ හැසිරෙන්න ඉඩ ලැබෙනවානම් ඔය ප්‍රශ්නයට පිළිතුරු හොයන්න හෝ විසඳුම් දෙන්න අවශ්‍ය වන්නේවත් නැහැ. කුඹුරු කරනවාට වඩා වැඩියෙන් මත්ස්‍ය ගොවිපලවල්, ඉස්සෝ ගොවිපල් වලින් ලාබ ලැබිය හැකිනම් ඒ ඉඩම් වල මිනිස්සු ඒවා හදයි. ලාබ නැත්නම් දිගටම කුඹුරු කරයි. කුඹුරු වැඩ නවත්තලා මත්ස්‍ය ගොවිපලවල්, ඉස්සෝ ගොවිපල් පටන් ගත්තට පස්සේ ඒ වැඩේ පාඩුයි කියා තේරුණොත් නැවත කුඹුරු කරන්න පටන් ගනියි. දෙකෙන් එකක්වත් කරන්න බැරි අය වැඩි ගානක්‌ ගෙවන කෙනෙකුට ඔය දෙකෙන් මොකක් හරි කරන්න ඉඩම බදු දෙයි. ඉඩම විකුණලා සල්ලි ටික බැංකුවේ දමලා මාස් පතා පොලී ආදායමක් ලබා ගන්න එක සියල්ලටම වඩා ලාබනම් ඒක කරයි. කරන්න තියෙන්නේ ඔය ඕනෑම දෙයක් කරන්න මිනිස්සුන්ට පහසුකම් සලසලා පැත්තකට වෙලා බලා ඉන්න එක විතරයි. දැන් පවතින අකාර්යක්ෂමතාවයට හේතු වෙලා තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ ආණ්ඩු විසින් ඔය ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න හා විසඳුම් දෙන්න යාමයි. එහි ප්‍රතිඵලයක් විදිහට මිනිස්සුන්ට තමන්ගේ ඉඩම තමන්ට අවශ්‍ය විදිහට නිදහසේ ප්‍රයෝජනයට ගන්න බැහැ. ඇතැම් විකල්ප ආණ්ඩුව විසින් අවහිර කරලයි තියෙන්නේ. අකාර්යක්ෂමතාවය එන්නේ එතැනින්. කුඹුරු ඉඩම් ගොඩ කරන්න බෑ කියා ආණ්ඩුව නීතියක් පැනවූ විට අකාර්යක්ෂමතාවය එක්ක දිගටම කුඹුර තියා ගන්න වෙනවා. කුඹුරු කරන එකට වඩා ඉස්සෝ කොටු ලාබයි කියලා ආණ්ඩුව විසින් තීරණය කරලා ඒ තීරණය ක්‍රියාත්මක කරන්න හැදුවොත් අන්තිමට වෙන්නෙත් ඒකමයි. කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. මිනිස්සුන්ට තමන්ගේ ඉඩම් වල කැමති දෙයක් නිදහසේ කරගැනීම සඳහා පහසුකම් සලසන්න. අවසර ගැනීම් වැනි විවිධ බාධා අඩු කරන්න. ඉතුරු ටික මිනිස්සු කර ගනියි. රජයට ඔවුන්ගෙන් බදු අය කරගන්නත් ඉඩක් ලැබෙයි. රජය කර ගෙන යන්න අවශ්‍ය මිනිස්සු ගණනත් අඩු වෙයි. රජයේ වියදම් අඩු වෙයි. අවසානයේදී රජයේ අයවැය හිඟයත් අඩු වෙලා මිනිස්සුන්ටත් යහපතක් වෙයි.

      Delete
  4. ලංකාවේ අස්වැන්න අඩු වෙන්න එක හේතුවක් වෙන්නේ වී ගොවිතැනට නොසුදුසු වැලි සහිත ඉඩම් වී වගාවට යොදා ගැනීම, ලැබෙන සහනාධාර සහ පහසුවෙන් වාරි ජල සම්පාදනය කළ හැකි තැන් වල පැවතීම නිසා ඒවා අතහැර දැමෙන්නෙක් නෑ.නමුත් වාරිජලයෙන සැලකිය යුතු ප්‍රමාණයක් පලදායී නොවන අයුරින් අපතේ යන්නත්, ක්‍රිටිකල් අවධි වලදී ජල හිඟයක් ඇතිවෙන්නත් ඒය හේතු වෙනවා. නමුත් දෙපාර්තමෙන්තුවේ අස්වනු සමීක්ෂන වලට නම් එවැනි කුඹුරු අහුවෙන්නේම නැති නිසා අස්වනු සංඛ්‍යාලේඛව වල නම් ඒය නිරූපණය වෙන්නේ නැතිව ඇති.

    ReplyDelete
  5. ජපානය වී අස්වැන්න ඉහල දැමීම සඳහා යාන්ත්‍රීකරණය කළ හැකි අයුරින් සියළු ගොවිබිම් නැවත සකස්කළ බව කියවා එහෙන් මෙහෙන් කියවා තියනවා, ඊට පෙර එහි පැවතියේ අපේ උඩරට වැනි කුඩා කුඹුරු කියායි හැඟුනේ. එහිදී ඉඩම් අයිතිය ප්‍රතිසංස්කරණය වුනාදැයි පැහැදිලි නොවූ නමුත් පසු කාලීනව ඉඩම්කට්ටි විශාල වී ඇති බව පෙනී යනවා, අපටත් ඒවැනි ප්‍රතිසංස්කරනයක් අවශ්‍යයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයේත්, උඩ ප්‍රතිචාර වලත් මේ ක්ෂේත්‍රයේ තිබෙන ගැටළු නිවැරදිව සඳහන් කර තිබෙනවා. මේවා ඔබට හෝ මට පමණක් තේරෙන දේවල් වෙන්න බැහැනේ. ඒ නිසා, මම මේවා එකින් එක අරගෙන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මට එන්න අවශ්‍ය වී තියෙන්නේ කිසියම් ක්ෂේත්‍රයක අකාර්යක්ෂමතාවයට හේතු වන කරුණු පැහැදිලිව පෙනෙද්දී ඇතැම් රටවල ඒවා ඉවත් නොවන හා තවත් රටවල ඉවත් වන හේතු මොනවාද කියන එකටයි.

      Delete
    2. කුඹුරු අක්කරයක් බදු දෙන්නේ/ගන්නේ කොයි වගේ ගණන් වලටද කියල දන්නවද? මම දන්නේ මගේ හිතවතුන් හරහා දැනගත් දේ පමණයි. ඒ නිසා දළ අදහසක් පමණයි තියෙන්නේ.

      Delete
    3. පදවිය - කන්නයට බුසල් 25 වතුර කරදරයක් නැති සරු කුඹුරු බුසල් 30 දක්වා,
      අම්පාර - කන්නයට බුසල් 30 පමණ. බදු මුදලේ පදනම - පොහොර සහනාධාරය සමඟ අස්වැන්නෙන් 1/3 හෝ සහනාධාර නැති අස්වැන්නෙන් 1/4.
      මහවැලි ඒච් - මහ කන්නයට බුසල් 25, යල කන්නයට 20, හෝ කන්න පහකට ලක්ෂයයි ( කෙසෙල් වැනි භෝග වගා කරන ගොවීන් සඳහා.

      Delete
    4. උකස් අක්කරයට රුපියල් ලක්ෂ 3-4,(ඉඩම් හිමි කරු මුදල් ගෙවා නිදහස් කරගන්නා තුරු උකස්හිමියා ඉඩම බුක්තිවිදීම).

      Delete
    5. ඉතාම වටිනා තොරතුරු ටිකක්. බොහොමත්ම ස්තුතියි!

      Delete
  6. To be added following costs. 1) Total cost of Irrigtion Departmentn ( more than 90 % of irrigation provided to paddy farmers) 2) Totat cost of Pddy Markating Bord 3) 50 % of the cost of Agriculture Department + Other related Ministries
    If we consider above, Cost per Ac will be doubled.

    ReplyDelete
  7. //ගොවියෙක් වගා කරන්නේ තමන්ගේම ඉඩම වුවත්, ඉඩම බදු දී ලබා ගත හැකි ආදායම ආවස්ථික පිරිවැයක් විදිහට මේ ඇස්තමේන්තුවට එකතු විය යුතුයි. //

    මට මේ ඉහත වාක්‍ය මඟින් ඔබ කියන දෙය අපැහැදිලියි. මා එය තේරුම් ගත්තේ කුඹුරු ඉඩමේ අයිතිය තමාට නම් ඒ අයිතිය ආවස්ථික පිරිවැයක් වන්නේ කෙසේද කියායි.

    කරුණාවෙන් මට මේ දෙය පහදා දිය හැකිද?

    ස්තුතියි.

    CP-C

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම මේ බ්ලොග් එක පටන් ගත් කාලයේ සිට මේ සංකල්පය පැහැදිලි කරන්න සෑහෙන්න උත්සාහ කර තිබෙනවා. බොහෝ දෙනෙක් පෞද්ගලික ජීවිතයේ තීරණ ගැනීමේදී පාඩු කර ගන්නේ ආවස්ථික පිරිවැය ගැන පැහැදිලි අවබෝධයක් නැති නිසයි. මෙය ආර්ථික විද්‍යාවේ මූලිකම සංකල්පයක්. ඔබ මේ ගැන කිසිසේත්ම දැනුවත් නැහැ කියා හිතා මම ඉතා සරල තැනක සිට පැහැදිලි කරන්නම්. මෙය ඔබ දන්නා දෙයක්නම් සමාවන්න.

      ආවස්ථික පිරිවැය කියන්නේ කිසියම් අවස්ථාවක අපට දරන්න වෙන සැබෑ පිරිවැය. මෙය අපේ අතින් යන මුදල් පිරිවැයට සමාන විය යුතු නැහැ. එයට කියන්නේ ගිණුම්කරණ පිරිවැය කියලා. කිසියම් තීරණයක නියම ලාබය හෙවත් ආර්ථික ලාබය තීරණය වන්නේ එහි ආවස්ථික පිරිවැය මතයි. ගිණුම්කරණ ලාබය කියන එක තාක්ෂණික දෙයක්. ගිණුම්කරණ සම්මත වෙනස් කළ විට එය වෙනස් වෙනවා. බදු උපදේශකයෙකු වෙත ගොස් බදු අඩු කරගන්න පුළුවන් ඒ නිසයි. නමුත්, ආවස්ථික පිරිවැය මත පදනම් වූ සැබෑ ලාබය ඒ විදිහට වෙනස් වෙන්නේ නැහැ. අප එදිනෙදා ගන්නා සිය ගණනක් පොඩි පොඩි තීරණ හැම එකකම ආවස්ථික පිරිවැය පිරිවැය මත පදනම් වූ ආර්ථික ලාබ තිබෙනවා. ඒ සදහා මුදල් සම්බන්ධ වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කන, බොන, නිදාගන්න හැම තීරණයකම. ආවස්ථික පිරිවැය ගණනය කරන්නේ තිබෙන දෙවන හොඳම විකල්පයට සාපේක්ෂව.

      දැන් ඔබ මේ බ්ලොග් එක කියවනවා. ඒ වෙනුවෙන් මා ඔබෙන් මුදලක් අය කරන්නේ නැහැ. නමුත්, එයින් අදහස් වෙන්නේ ඔබට වියදමක් නැති බව නෙමෙයි. ඊට පෙර මේ බ්ලොග් එක කියවීමන් ඔබට තිබෙන ආර්ථික ලාබය කුමක්ද? එය ඔබ ලබන කවර හෝ සතුටයි. ඔබම කියා ඇති පරිදි සමහර අය බැණ බැණ හෝ කියවන්නේ කවර හෝ සතුටක් ලැබෙන නිසයි. නැත්නම් නොකියවා ඉන්න පුළුවන්නේ. අපි හිතමු මේ සතුට යුටිල් (ඒකකයක්) 100යි කියා. දැන් ඔබේ ලාබය හොයන්න වියදම දැන ගන්න වෙනවා.

      මෙය කියවන්න ඔබට අන්තර්ජාලය වෙනුවෙන් වියදමක් දරන්න වෙනවා. ඔබ ලංකාවේ සිටියානම් එය බොහෝ විට ආවස්ථික පිරිවැයක් වෙන්න ඉඩ තිබුණා. නමුත්, මම හිතන විදිහට ඔබ අන්තර්ජාලය වෙනුවෙන් ගෙවන්නේ මාසික ගාස්තුවක්. මෙය නොකියෙවුවත් ඒ වියදම යනවා. මේ කරුණේදී මෙය නොකියවා සිටීම විකල්පයක්. ඒ විකල්පය යටතේත් මේ වියදම ඒ විදිහටම තිබෙන නිසා අප මෙහිදී එය ගණන් ගත යුතු නැහැ.

      දෙවනුව, ඔබ මේ බ්ලොග් එක කියවන්න කිසියම් කාලයක් යොදවනවා. ඒ කාලය තුළ ඔබට කිසියම් මුදල් උපයන කටයුත්තක් කිරීමේ අවස්ථාවක් තිබුණානම් මෙය කියවීම නිසා ඒ අවස්ථාව අහිමි වෙනවා. එවිට ඒ නැති වූ ආදායම ආවස්ථික පිරිවැයක්. එවැනි අවස්ථාවක් නොතිබුණත් ඔබ වෙන දෙයක් කරනවා. කරන්න වඩාත්ම ඉඩ තියෙන්නේ මොකක්ද? රූපවාහිණිය බලන්න, ව්‍යායාම කරන්න හෝ නිදාගන්න වෙන්න පුළුවන්. මේ කරන කවර හෝ දෙයින් ඔබ ලබන සතුටක් තිබෙනවා. ඒ සතුට යුටිල් 75ක් නම් මෙය කියවීමෙන් ඔබේ ලාබය යුටිල් 25යි. මොකද ඔබට යුටිල් 100ක් ලැබුණත් යුටිල් 75ක් ලැබීමේ අවස්ථාව අහිමි වෙලා.

      මගේම කුඹුර මමම වගා කරන විට අතින් මුදලක් යන්නේ නැහැ. නමුත්, මේ කුඹුර වෙනත් කෙනෙකුට බදු දී ලැබිය හැකිව තිබුණු මුදල මට අහිමි වෙනවා. ඉඩම බදු දී රුපියල් 50,000ක් ගන්න පුළුවන්කම තිබියදී එය වගාකර රුපියල් 40,000ක් ගන්නවා කියන්නේ ඇත්තටම පාඩුවක්. ඒ වගේම මගේම ශ්‍රමය යොදවනවා කියන්නෙත් වියදමක්. ඒ වියදම (ආවස්ථික පිරිවැය) තීරණය වෙන්නේ වෙන කෙනෙකුගේ කුඹුරක කුලියට වැඩ කළානම් මා උපයන මුදල මතයි. වෛද්‍යවරයෙක් තමන්ගේ ගෙවත්ත වගා කරන්න පැයක් ගත කිරීමේ වියදම ඇය පැයක් රෝගීන් බලා උපයන ආදායමයි. ඒ වගේම කුඹුරේ හාල් නොවිකුණා ගෙදර කෑමට ගත්තත් එය ආදායමක්. සැබෑ ලාභය බලන්න මේ සියලු කරුණු සලකා බලන්න වෙනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.