Saturday, May 9, 2020

පැරකුම් යුගයකට නැවත යා යුතුද?


"මුහුදට ඇද්දෙන මහ ගංගා – කුඹුරට යළි හරවා
ධාන්‍ය වගා කොට සිරිලක මේ – පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට පුරුදු වෙලා – බිඳලව් දුක සංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් – නිජ භූමිතලේ ලංකා..."

කියවන අය අතර ඔය පද ටික හිතේ නැති කෙනෙක් නැතුව ඇති නේද? ඔය සින්දුවේ කියන ආකාරයට පැරකුම් යුගයකට නැවත යාමේ අරමුණ හෝ ඉලක්කය ගැන අපට වරින් වර අහන්න ලැබෙනවා. පැරකුම් යුගයේදී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූ බව සඳහන් වෙනවා.

මේ කියන පැරකුම් යුගය ක්‍රිස්තු වර්ෂ 1153–1186 අතර කාලයයි. ලංකාවට පෘතුගීසීන් ආවේ ක්‍රිස්තු වර්ෂ 1505දී. ඒ කියන්නේ පැරකුම් යුගයේ අවසානය හා පෘතුගීසි ආගමනය අතර කාලය වසර 319ක් පමණයි. පෘතුගීසි ආගමනයේ සිට මේ වන විට තවත් වසර 515ක් ගෙවිලා. මම මෙයින් කියන්න අදහස් කළේ පැරකුම් යුගය කියන එක ලංකාවේ ඉතිහාසය එක්ක බැලුවහම සාපේක්ෂව නූතන යුගයක් කියන එකයි, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල ඉතිහාසය මීට වඩා ගොඩක් කෙටි වුවත් ලංකාවේ ඉතිහාසය පැරකුම් යුගයෙන් ගොඩක් එහාට යනවා. මහින්දාගමනය සිදු වූ තැන් සිට පැරකුම් යුගය දක්වා කාලය පැරකුම් යුගයේ සිට අද දක්වා කාලයට වඩා දිගු කාලයක්.

පැරකුම් යුගයේදී ලෝකයේ අනෙක් හැම රටකම මිනිස්සු කොළ අතු ඇඳගෙන හිටියේ නැහැ. ඒ කාලය වන විට ලෝකයේ විවිධ රටවල් යම් මට්ටමක දියුණුවක් අත් කරගෙන හිටියා. ඉතාලියේ බොලොඤ්ඤ සරසවිය ආරම්භ කර තිබෙන්නේ පැරකුම් යුගයට වසර 65කට පෙර ක්‍රිස්තු වර්ෂ 1088දී. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය ආරම්භ කරල තියෙන්නේ පැරකුම් යුගයට වසර 57කට පෙර ක්‍රිස්තු වර්ෂ 1096දී. පැරකුම් යුගය වන කොට වැනීසිය මහා පරිමාණයෙන් නැවු තනමින් හා ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙමින් සෑහෙන තරමේ ආර්ථික සමෘද්ධියක් අත් පත් කර ගෙන.

මේවා ලිවුවා කියලා ජාතික අභිමානය අඩු කරගන්න අවශ්‍ය නැහැ. පැරකුම් යුගය ලංකා ඉතිහාසයේ ඉතා සමෘද්ධිමත් යුගයක්. වැනීසිය මට්ටමේ නොහිටියත් ඒ කාලයේ ලංකාව ආනයන, අපනයන හා ප්‍රති-අපනයන කර විශාල වශයෙන් ආදායම් ඉපැයූ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක්. ලංකාව විසින් දකුණු ඉන්දියාවෙන් පිටත රටක් ආක්‍රමණය කළ එකම අවස්ථාව ලෙස සැලකිය හැකි අරමණ ආක්‍රමණය සිදු වුනෙත් මේ කාලයේ. මේ ගැන කලින් ලියූ ලිපි මාලාවක් පහත තිබෙනවා.

වෙළඳ සම්බාධක වලට එරෙහිව ලංකාව යුද්ධයකට...





අපට කතා කරන්න අවශ්‍ය වී ගොවිතැන ගැනනේ. රෝදය අළුතින් හොයා ගන්න කාලය මිඩංගු නොකර මම මේ ගැන භූෂණ කල්හාරගේ සිංහලේ බ්ලොග් අඩවියේ පළ කර තිබුණු ලිපියක කොටස් උපුටා දක්වන්නම්. ඔහු ඉතිහාසය ගැන සෑහෙන දැනුමක් තිබෙන, විශ්වාසනීය මූලාශ්‍ර හෝ වෙනත් තාර්කික පදනමක් සහිතව කරුණු ඉදිරිපත් කරන කෙනෙක් නිසා ඔහු ලියා ඇති දේ ගැන නැවත හොයා බලන්න හේතුවක් මට පෙනෙන්නේ නැහැ.

"මහාවංශය වැනි වංශ කතා මූලාශ්‍ර සහ අට්ඨ කතා වල දැක්වෙන ආකාරයට අනුරාධපුර ශිෂ්ඨාචාරය ආරම්භයේ පටන්ම විවිධ අවස්ථා වලදී මෙරට දරුණු සාගත තත්වයන්ට මුහුණ දී ඇත." 

"...පුරාතන සහ මධ්‍යතන යුගයන්හී මෙරට තුල වරින් වර දුර්භීක්ෂ තත්වයන් ඇති වුවද පාලකයන් නිරතුරුව ඒවා මැඩපැවැත්වීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගත් බවත් ඒ අනුව ආහාර බෝග නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් රටේ පරිභෝජනය උදෙසා අවශ්‍ය තරමින්වත් තිබෙන්නට ඇති බවත් අනුමාණ කල හැක. මුළු දිවයින පුරාම සියළු කල්හීම එකම තත්වයක් බලපැවත්වීද? එසේම ප්‍රභූ සහ සංඝ සමාජයේ සිට සමාජයේ පහල ස්ථරය නියෝජනය කල ගැමියන් දක්වා මේ තත්වය එසේම පැවතීද යන්න අවසාන නිගමනයකට එලඹිය හැකි කාරණා නොවේ."

"මෙරටින් සහල් අපනයනය කල බවට අපගේ වංශ කතා වල කිසිදු සඳහනක් හමු නොවන අතර ඒ පිළිබඳව ඇත්තේ  එකම එක සාක්ෂ්‍යක් පමණි. ... මෙරට "පෙරදිග ධාන්‍යාගාරය" යන යෙදුම බොහෝවිට ඇතිවන්නට ඇත්තේ මේ එකම තොරතුර පාදක කරගෙන වීමට පුළුවන. ... කෙසේ නමුත් මෙරටට සහල් ආනයනය සිදු කල බවට වූ සාධක කිහිපයක්ම හමුවේ."

මුළු ලිපියම පහත සබැඳියෙන් කියවිය හැකියි.


දැන් අපි වැදගත්ම කරුණට එමු. පැරකුම් යුගයේ ලංකාව සහල් (බොහෝ විට වී) අපනයනය කළා වෙන්න පුළුවන්. නමුත්, එසේ අපනයනය කළ සහල් ප්‍රමාණය රටේ මුළු සහල් නිෂ්පාදනයෙන් විශාල කොටසක් වෙන්න බැහැ. අරමණ ආක්‍රමණය ගැන මා ලියා ඇති ලිපි පෙළේ තිබෙන කරුණු අනුව සමහර විට එක සහල් නැවක් පිටරට යවා ඒ පිළිබඳව විශාල ප්‍රචාරයක් කළා වෙන්න පුළුවන්. එහෙම නැතුව ලංකාවෙන් මුළු පෙරදිගටම සහල් යවපු බව පිළිගන්න සාධක නැහැ.

හැබැයි ඔය කියන පැරකුම් යුගයේ වගේම වරින් වර වෙනත් කාල වකවානු වලදීත් ලංකාවේ සහල් අතිරික්තයක් තිබුණා කියන එක පිළිගන්න පුළුවන්. වැවු, අමුණු, දාගැබ් හදන්න ශ්‍රමය යොදවන්න පුළුවන් වෙන්නේ නිෂ්පාදන අතිරික්තයක් තිබුණානම් පමණයි. වී හෝ සහල් අපනයනය කරන්න හෝ ගබඩා කරන්න පුළුවන් වෙනවා කියන්නේ රටේ සියලු දෙනාටම ආහාරයට ගන්න අවශ්‍ය සහල් ප්‍රමාණයට වඩා රටේ නිපදවුනා කියන එක වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. 

සමහර විට පිරිසක් සතුව විශාල අතිරික්තයක් තිබුණත් ඉතිරි පිරිස බඩගින්නේ හිටියා වෙන්න බැරිද? අපි එහෙම වුනේ නෑ කියලා හිතමු.

අනෙක් අතට වැවු, අමුණු, දාගැබ් හදන්න ශ්‍රමය ඉතිරි වුනා කියා කියන්නේ ඒ අයට කන්න දෙන්න ආහාර හදන්න ඉතිරි පිරිසට හැකි වුනා කියන එකයි. ඇතැම් විට කුඹුරු වැඩ නැති දවස් වල මේ වගේ වෙන වැඩ කළා වෙන්නත් පුළුවන්.

දැන් අපි අපේ ඇස්තමේන්තු වලට එමු.

අපි හිතමු රටේ නිපදවන සහල් රටේ සියලුම දෙනා පරිභෝජනය කිරීමෙන් පසුව යම් ප්‍රමාණයක් ඉතිරි වී ඒ ප්‍රමාණයෙන් කොටසක් අපනයනය කළා කියලා. තවත් කොටසක් ගබඩා කර ගත්තා කියමු. අපනයනය කරපු ප්‍රමාණය පරිභෝජනය කළ ප්‍රමාණයෙන් 5%ක් ලෙසත්, ගබඩා කර ගත් ප්‍රමාණය 45%ක් ලෙසත් සලකමු. ඒ කියන්නේ පරිභෝජනය කළ ප්‍රමාණයෙන් 50%ක් අතිරික්තය. වෙනත් විදිහකට කිවුවොත් නිපදවපු ප්‍රමාණයෙන් තුනෙන් එකක් අතිරික්තය.

ඊළඟ ප්‍රශ්නය රටේ ජනගහණයෙන් කොපමණ පිරිසක් මේ වී ප්‍රමාණය නිපදවන්න දායක වුනාද කියන එකයි. පැරණි ලංකාවේ ජීවත් වූ අයගෙන් බොහෝ දෙනෙක් වී ගොවිතැනේ යෙදුනු බව අප දන්නා නිසා එසේ නොයෙදුණු ප්‍රතිශතය ඇස්තමේන්තු කරන එක වඩා පහසුයි.

කුඩා දරුවන් හා මහල්ලන් - 30%
රජවරුන්, ප්‍රාදේශීය ප්‍රභූවරුන් හා බෞද්ධ භික්ෂූන් - 1%
ගොවිතැන් නොකරන පහත් කුල වල අය - 10%
ගර්භණී/ කුඩා ළමුන්ට කිරි දෙන කාන්තාවන් - 4%
වැව්, අමුණු හදන්න හා රාජ්‍ය සේවයට ගිය අය - 5%
එකතුව - 50%

ඒ කියන්නේ රටේ ජනගහණයෙන් 50%ක්වත් වී ගොවිතැනේ යෙදෙනවා. ඒ පිරිස රටේ මුළු ජනගහණයට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙන් 150%ක් හදනවා. මේ අනුව, එක් අයෙකු තවත් දෙදෙනෙකුට බත සපයනවා.

දැන් අපි ඇමරිකාවට ආවොත් ඇමරිකාවේ වී ගොවිපොළවල් 5,500ක පමණ ප්‍රමාණයකින් මිලියන 330ක් වන ඇමරිකානුවන්ට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවනවා. ඇමරිකාවේ ප්‍රධාන ආහාරය බත් නොවන නිසා මේ සංසන්දනයේ වැරැද්දක් තියෙනවනේ. ලංකාවේ ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 100ක් වුනත්, ඇමරිකාවේ එය කිලෝග්‍රෑම් 10ක් පමණයි. ඒ නිසා, ඇමරිකානුවන් ලංකාවේ තරමටම බත් කනවානම් ඇමරිකාවේ වී ගොවිපොළවල් 5,500ක පමණ ප්‍රමාණයකින් මිලියන 33ක් පමණ ඇමරිකානුවන්ට අවශ්‍ය සහල් ප්‍රමාණය නිපදවනවා කියන එකයි නිවැරදි. එතකොට ඇමරිකාවේ එක වී ගොවියෙක් තව කී දෙනෙකුට බත සපයනවද? 

ඇමරිකාවේ එක වී ගොවියෙක් ලංකාවේ හයදාහකට කන්න ප්‍රමාණවත් හාල් ප්‍රමාණයක් නිපදවනවා. කලින් ඇස්තමේන්තුව අනුව පැරකුම් යුගයේ වී ගොවියෙක් නිපදවලා තියෙන්නේ තව දෙන්නෙක්ට කන්න ප්‍රමාණවත් සහල් ප්‍රමාණය පමණයි. ඔය රජ කාලේ වී අමුණු ගණන් අස්වද්දපු යෝදයෝ ගැන කියනවනේ. එහෙම අය ඉන්න ඇති. හැබැයි අද ඇමරිකාවේ වී ගොවියෙක් කන්න දෙන තරම් පිරිසකට ඒ වගේ යෝදයෙක් වුනත් බත සැපයුවා කියා කියන්න බැහැ.

පැරකුම් යුගයේ එක ගොවියෙක් වී වවන කොට තව දෙන්නෙක් වැව් අමුණු හදන්න, ගෙවල් වල ළමයි බලාගන්න, අනිත් අයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න, ආයුධ හදන්න, නැවු හදන්න, රටවල් ආක්‍රමණය කරන්න වගේ වෙනත් වැඩ සඳහා ඉතුරු වුනා. අද ඇමරිකාවේ එක වී ගොවියෙක් වී වවන කොට වෙනත් ආහාර හදන්න, නැවු හදන්න, ගුවන් යානා හදන්න, කෝවිඩ් එන්නත් හදන්න, අඟහරු යානා හදන්න, බ්ලොග් ලියන්න, ඉරානයට බෝම්බ දමන්න, කුමන්ත්‍රණ කරන්න, ලංකාවේ ඉඩම් ටික අල්ල ගන්න ගිවිසුම් හදන්න වගේ වැඩ වලට තව හය දාහක් ඉතුරුයි.

ඒ ඇමරිකාවනේ. පැරකුම් යුගය එක්ක අද ලංකාව සංසන්දනය වෙන්නේ කොහොමද? අතරින් පතර හාල් ආනයනය කළත් බොහෝ දුරට ලංකාවට අවශ්‍ය හාල් ප්‍රමාණය රට ඇතුළේ හදා ගන්නවනේ. අපි කියමු රටේ සහල් අවශ්‍යතාවයෙන් 80%ක් රට ඇතුළේ හදා ගන්නවා කියලා. මේ හාල් ටික හදා ගන්න කී දෙනෙක් ඕනෑද? 2019 අවසන් කාර්තුවේදී කෘෂිකර්ම, වන හා ධීවර අංශයේ රැකියා වල නිරත වූ පිරිස 2,215,128ක්. ලංකාවේ ජනගහණය ඔය වගේ දහගුණයක් පමණ වෙනවනේ. ඒ කියන්නේ ජනගහණයෙන් 10%ක්. අපි කියමු ඔය 10%න් 80%ක්ම කළේ වී වවන එක කියලා. එතකොට 8%ක්.

දැන් මේ 8% රටේ 80%කට බත සපයනවා. ඒ කියන්නේ එක වී ගොවියෙක් තව 9 දෙනෙකුට කන්න දෙනවා. ඇමරිකාවේ හයදාහ කිට්ටුවකවත් නැහැ තමයි. හැබැයි පැරකුම් යුගයට වඩා තුන් ගුණයක් පමණ කාර්යක්ෂමයි.

මේ ගණන් හැදිල්ලට මම සංඛ්‍යා ගත්තේ මට හිතෙන හැටියටයි. ඒ නිසා, මූලාශ්‍ර මොනවාද කියලා අහන්න එපා. මේ ගණන් හරියටම හරි කියා මම කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම විශාල මිනුම් වරදක් මේ ඇස්තමේන්තු වල තියෙනවා. මොකද පරාක්‍රමබාහු යුගයේ මේ සංඛ්‍යාලේඛණ තියෙන සෙල්ලිපි නැහැනේ. හැබැයි මේ සංඛ්‍යාලේඛණ සැලකිය යුතු ලෙස වෙනස් වුනත් මම මේ කියන කතාව වෙනස් වෙන්නේ නැහැ. අද වෙනකොට ලංකාව පැරකුම් යුගයේ ඉඳලා සෑහෙන්න ඉදිරියට ඇවිල්ලයි තියෙන්නේ.

අපේ ඉතිහාසය ගැන අපි දැන ගන්න ඕනෑ. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නත් අවශ්‍යයි. ඒ ගැන අභිමානයක් ඇති කරගන්න එකත් හොඳයි. හැබැයි එහෙම කියලා ආපහු හැරිලා අතීතයට යන්න අවශ්‍ය නැහැ. දැන් ඉන්න තැනින් ඉදිරියට යන්නනම් ඉන්න තැනට වඩා කාර්යක්ෂම තැනක් දිහා බලාගෙනයි ඉදිරියට යා යුත්තේ.

9 comments:

  1. පැරකුම් යුගයකට නැවත යා යූතුයි කියන්නේ එවන් සහල් අතිරික්තයක් ඇති කරගන්න පුලුවන් තත්වයක් ඇති කර ගැනීමට උත්සාහ කල යුතු බවයි කියායි මට හිතුනේ. පෙර ලිපිවල බෙදා හදා ගත් තොරතුරු සමග ඒක් කොච්චර realistic goal එකක් වෙයිද යන්න ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. Without proper technology and GM seeds it's a pipe dream. Ever heard about seed monopoly and why Indian farmers against it ? Search Vandana Shiva, you'll get the answer

      Delete
  2. චන්ද්‍රිකාගේ කාලේදෝ කොහෙද ලංකාවේ වී අතිරික්තයක් ආවා කියල බොහොම අඬබෙරගහල හාල් වගයක් පිට රට පැටෙව්වනේ.

    ඒ යුග වල උනත් පිටරටින් සහල් ගෙනාවනම් ගෙන්න ඇත්තේ රජ්ජුරුවන්ට නිලමෙලාට පොඩි වෙනසකට කියල ගෙනාපු බාස්මතී ටිකක් වෙන්නත් ඇති.

    ReplyDelete
  3. මූලාශ්‍රය මතක නැතත් පරාක්‍රම සමුද්‍රය වැඩ අවසන් කළ අවුරුද්දේම බැම්ම ස්ථාන පහකින් බිඳි ගිය නිසා පසුවට තනි විශාල ජලාශයක් වශයෙන් නොව එය තැනීමට සම්බන්ධකල කුඩා වැව් වශයෙන් වෙන් වෙන්ව පැවති බව පසුව කළ සමීක්ෂණ වලදී සොයගත් බව කියවා තියනවා.

    ReplyDelete
  4. පරාක්‍රම බාහු රජ්ජුරුවන්ගේ කාලේ නැව් හරියට ශෙං හූ ගෙ චීන නැව්වල කුඩා ප්‍රමාණයේ අනුවාදනයක්.

    බඩගින් ගැන කියනවානම්
    ජොශුවා වහන්සේ කිව්වා "දුප්පතුන් සැමදා ඔබ සමඟ සිටිති කියලා" එයා සාමාන්‍ය මනුශ්‍යයෙක් කියලා සැලකුවොත් එයා කියපු එකම අර්ථවත් කතාව එච්චරයි.
    ඒ නිසාම ආර්ථික කතා නිසා සිංහලයන්ගේ ජාතික අභිමාණය නැතිකරගතයුතු නෑ.

    ReplyDelete
  5. අපි ඉන්නේ අතීතයේ හරි අනාගතයේ. සිහිනවල... ඒත් අතීත අත්දැකීම්වලින් ගත යුතු පාඩම් ඉගෙන ගන්නෙත් නැහැ. අනාගතය ඉසුරුබර කරගන්නට වත්මනේ සැලසුම් හදන්නෙත් නැහැ. මට අපේ මවිබිම ගැන දැනෙන්නේ එහෙමයි.

    ReplyDelete
  6. අතීතයට යන්න ආස අය ඉන්නවා. ගමට වෙලා ඉන්න ආස අය ඉන්නවා.පැරණි විදිහට ජීවත් වෙන්න ආස අය ඉන්නවා..
    ඒත් ඒ ගොල්ලට ඒ ජීවිත දිරවනවද? 

    විසිට් කරලා එන්නතියෙනවා නම් පරකුම්බා යුගේත් සුපිරි ඇති. ඒත් ඒ කලේ මිනිහෙක් විදිහට ජීවත් වෙන්න ලැබුනොත්. වාහන නැහැ..ඉන්ටනෙට්නැහැ.. කුල මල වලින් පිරුන සමාජෙක අපි අඩු කුලේ වෙන්න පුලුවන්, අපිට ලස්සනට ගෙයක්දොරක් හදාගන්න හැටියක් නැහැ.. හැමෝම හිතන්නේ ඒ කාලේකිව්වම අපි ඔක්කොමල්ල රජ සිටු මැතිවරු වලා ඉදී කියලා. ඒ රජවරු සිටු මැතිවරු වුනත් කිසිම සස්පෙන්සන් මෙව්වා එකක් නැති දෝලාවල පැයට කිලෝමීටර හයේ හතේ වේගෙන් තමයි එදා ගමන් ගියේ. ඒ කාලේ වාසය කල ඇත්ත සාමාන්‍ය වැසියෙක්ගේ කෝණයෙන් බැලුවොත් ඔය හොදායි කියන ගොඩක් අය එදාට යන්න ආසා වෙන එකක් නැහැ.

    ReplyDelete
  7. මේ සින්දුවේ පැරකුම් යුගයක් කියලා අදහස් කරලා තියෙන්නෙ ගොවිතැන දියුනු කරන්න ඕනේ කියන එක වෙන්න ඕනේ.
    එත් ඉකොනොගේ පැහැදිලි කිරීම් ගනනය කිරිම් ඉතාමත් සාර්ථකයි. සාමාන්‍යයෙන් අපි නොහිතන කෝන වලින් මේ ගැන අදහසක් ගන්න පුලුවන්.
    ලන්කාවෙ වී ගොවිතැනට තාමත් අදික ශ්‍රමයක් යොදා ගන්නවා. ඒකටත් එක හේතුවක් ලාබ ශ්‍රමය , විරැකියාව. කරන්න තියෙන්නෙ පුලුවන් තරම් තාක්ශනය, යන්ත්‍රොපකරණ පාවිච්චි කරලා වැඩි ඉඩම් ප්‍රමාණයක් අස්වද්දන එක. අතිරේක ශ්මය වෙන නිශ්පාදන වලට හරි සේවා වලට හරි යොමු වෙන එක. ඒත් ඒක ලන්කාවට කොතරම් ප්‍රායෝගිකද.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.