Tuesday, May 26, 2020

වී බිස්ස අවුස්සමු!


ධනවාදය කියා කියන්නේ මිනිස්සුන්ගේ නිදහස් ගනුදෙනු මිසක් මුදල් නෙමෙයි. මුදල් කියා කියන්නේ ගනුදෙනු සඳහා භාවිතා කරන මෙවලමක් පමණයි. ඒ නිසා, ධනවාදය පවතින්න මුදල් අවශ්‍යම නැහැ. වැදගත් වන්නේ මුදල් භාවිතා කර හෝ නොකර නිදහස් ගනුදෙනු සිදු වීමයි. එහෙත්, ගනුදෙනු නිදහසේ සිදු නොවනවානම් එතැන ධනවාදයක් නැහැ.

යුරෝපීයයන් පැමිණ වෙනස් කරන්න කලින් ලංකාවේ තිබුණේ මොන විදිහේ ආර්ථිකයක්ද? ඒ කාලයේ ලංකාවේ ජීවත් වුනේ ගනුදෙනු කිසිවක් නොකර තම තමන්ගේ දූපත් වල ජීවත් වූ රොබින්සන් කෲසෝලාද?

යුරෝපීයයන් ලංකාවට මුලින්ම පැමිණෙන කාලයේදී යුරෝපයේ ශ්‍රම බලකායෙන් අවම වශයෙන් 50-75% අතර පිරිසක් නිරතව හිටියේ කෘෂිකාර්මික රැකියා වලයි. ලංකාවේ මේ ප්‍රතිශතය මීට වඩා අඩු මට්ටමක තියෙන්න හේතුවක් නැහැ. ඒ අයගෙන් විශාල පිරිසක් වී ගොවිතැනේ නිරතව හිටිය බව පැහැදිලියි.

බත් කියන්නේ ලාංකිකයාගේ ප්‍රධාන ආහාරය. මේ පුරුද්ද විජයගෙන් සංකේතවත් වන වත්මන් නැගෙනහිර ඉන්දියාවෙන් සියවස් කිහිපයක් තිස්සේ කණ්ඩායම් වශයෙන් මෙහි ආ සංක්‍රමණිකයින් හේතුවෙන් ප්‍රචලිත වූ පුරුද්දක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. දැනටත් ඉන්දියාවේ වැඩිපුරම සහල් නිපදවන ප්‍රාන්තය බටහිර බෙංගාලයයි. කොහොම වුනත් අවම වශයෙන් සහශ්‍ර තුනකට ආසන්න කාලයක් පුරා ලංකාවේ වී ගොවිතැන සිදු වෙනවා.

ජනප්‍රිය සාහිත්‍යය කෙසේ වුවත් ලංකාවෙන් පිටරට වලට සහල් අපනයනය කළ බවට තිබෙන සාක්ෂි වලට වඩා ලංකාව සහල් ආනයනය කළ බවට සාක්ෂි වැඩියි. මේ ගැන අප පෙර කතා කර තිබෙනවා. හැබැයි ගම්පොළ යුගය පමණ වන තුරු ඔය ආනයන අපනයන දෙකම ඉතා කලාතුරකින් සිදු වී ඇති දේවල් මිස නිතර සිදු වී ඇති දේවල් නෙමෙයි. ඒ අර්ථයෙන් ගත් විට ලංකාවේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් නිපදවාගෙන තිබෙන්නේ ලංකාවේමයි. ඒ සහල් ප්‍රමාණය රටේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවූ කාල වකවානු වගේම කිසියම් අතිරික්තයක් තිබුණු කාල වකවානුත් තියෙන්න ඇති. එහෙත්, කාලයක් තිස්සේ එක දිගටම විශාල අතිරික්තයක් තිබී ඇති බවක්නම් පෙනෙන්නේ නැහැ.

සැලකිය යුතු විදේශ වෙළඳාමක් සිදු නොවූයේය යන අර්ථයෙන් ලංකාව සහලින් ස්වයංපෝෂිතව සිටි බව කියන්නට පුළුවන්. එහෙත්, එවැනි තත්ත්වයක් පැවතුණේ නෛසර්ගික හේතු මත මිස කෘතීම ලෙස ජාත්‍යන්තර වෙළඳාමට බාධා පමුණුවා තිබුණු නිසා නෙමෙයි. නාවික තාක්ෂනය එක්තරා මට්ටමකට දියුණු වන තුරු මහා පරිමාණ ජාත්‍යන්තර වෙළඳාම ප්‍රායෝගික යථාර්තයක් නෙමෙයි.

ලංකාවේ ශිෂ්ඨාචාරය වියලි කලාපයෙන් තෙත් කලාපයට මාරු වීමෙන් පසුව රටේ සහල් නිෂ්පාදනයේ පෙර වූ සාර සොබාව නැවත දකින්නට ලැබී ඇති බවක් පෙනෙන්නේ නැහැ. කෙටි කාලාන්තර තුළ රාජධානි මාරු වීම, රාජ්‍යය ශක්තිමත්ව නොපැවතීම, නිතර ඇති වූ අභ්‍යන්තර ගැටුම් ආදියත් එයට හේතු වෙන්න ඇති. අනෙක් අතට මේ කාලය වන විට නාවික තාක්ෂනයේ යම් මට්ටමක දියුණුවක් ඇති වී තිබෙනවා. මේ කරුණු හේතුවෙන් යුරෝපීයයන්ගේ සම්ප්‍රාප්තියට පෙරත් ලංකාව නැගෙනහිර හා දකුණු ඉන්දියාවෙන් වරින් වර සහල් ආනයනය කර තිබෙනවා. එහෙත්, රටේ අති මහත් බහුතරයක්, කුසගින්නෙන් නොපෙළුනානම්, තව දුරටත් යැපෙන්න ඇත්තේ දේශීය සහල් වලින්.

මේ අර්ථයෙන් බැලු විට ලංකාවේ ජීවත්ව සිට ඇත්තේ රොබින්සන් කෲසෝලා නොවූවත් මිනිසුන් අතර ගනුදෙනු වැඩි ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ ගම් හා පරිවාර ගම් සීමාව තුළයි. රටේ විවිධ ප්‍රදේශ අතර ගනුදෙනු සිදු වී තිබෙන්නේ ඉතා සීමිතවයි. එයට හේතුවද මාර්ග පහසුකම් වැඩි දියුණු වී නොතිබීම නිසා භාණ්ඩ ප්‍රවාහනයට වූ ස්වභාවික බාධාව මිස ආණ්ඩු විසින් පැනවූ හාල් පොලු වැනි නියාමන රෙගුලාසි නෙමෙයි.

මේ කාලය වන විට හාල් කියන්නේ ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය පමණක් නෙමෙයි. ලංකාවේ ප්‍රධාන මුදල් ඒකකයද හාල්  කියා කියන්න පුළුවන්.

ආර්ථික විද්‍යාවේදී මුදල් අර්ථ දක්වන ගුණාංග තුනක් තිබෙනවා.
- ගනුදෙනු වලදී ගෙවීම් කිරීමට යොදා ගන්නා මෙවලමක් වීම
- ගිණුම් තැබීමේ ඒකකයක් වීම
- වටිනාකම ගබඩා කර තබා ගත හැකි දෙයක් (වත්කමක්) වීම

ලංකාවේ ආර්ථිකය තුළ සහල් විසින් අඩු වැඩි වශයෙන් මේ කාර්යයන් තුනම ඉටු කර තිබෙනවා. මේ කාලය වෙද්දී වගේම ඊට සියවස් ගණනාවකට පෙරත් ලංකාවේ රන් රිදී ඇතුළු ලෝහ කාසි භාවිතා වී තිබෙනවා තමයි. සමාජ ධුරාවලියේ ඉහළින් සිටි අය ලෝහ කාසි භාවිතා කරන්න ඇති. ජාත්‍යන්තර වෙළඳාමේදී වගේම නිතර සිදු නොවූ ගමෙන් පිට අයෙකු සමඟ කරන ඇතැම් ගනුදෙනුවකදී ලෝහ කාසි භාවිතා කරන්න ඇති. එහෙත්, ගම ඇතුලේ සිදු වූ බොහෝ ගනුදෙනු වලදී ලෝහ කාසි හුවමාරුවක් වුනා කියා හිතන්න බැහැ. ඇතැම් අය අතේ ලෝහ කාසි තිබෙන්නම නැතුව ඇති.

ධනවාදය හා සමාජවාදය වෙනස් වන එක් මූලික කරුණක් වන්නේ සමාජවාදය විසින් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ හිමි විය යුතුය කියන කරුණ බැහැර කිරීම. නමුත්, ධනවාදය විසින් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ මේ එක් එක් නිෂ්පාදන සාධකය සපයන අය අතර නියම අනුපාතයට බෙදී යා යුතු බව පිළිගන්නවා. ඒ නිසා, ශ්‍රමය වෙනුවෙන් පමණක් ප්‍රතිලාභ ලබන ප්‍රාග්ධනය අහිමි අයෙකුට තමන්ගේ වත්මන් පරිභෝජනය සීමා කර ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමට හා අනාගතයේදී ප්‍රාග්ධනය වෙනුවෙන්ද ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි වෙනවා.

සමාජවාදය තුළ මේ අවස්ථාව නැති නිසා මිනිස්සුන්ව උපයන දේ සියල්ල පරිභෝජනය කර අවසන් කරන පරිභෝජනවාදයක් වෙත තල්ලු කෙරෙනවා. ප්‍රාග්ධනය මිනිසුන් අතේ එක් රැස් වීම වැළැක්වෙනවා. ඒ හරහා ප්‍රාග්ධනයේ අයිතිය පිළිබඳ රාජ්‍ය ඒකාධිකාරය පවත්වා ගැනීමට ඉඩ සැලසෙනවා. ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ මිනිසුන් අතර බෙදා හරින්නේ (හෝ නොහරින්නේ) කොහොමද කියා තීරණය කිරීමේ අයිතිය ඉතිරි වන්නේ රජයේ ඉහළ ස්ථරයේ සිටින සුළු පිරිසකගේ අතේ. ඒ නිසා, ඒ පිරිසට ඔවුන්ගේ අභිමතය අනුව තීරණය කෙරෙන කටයුත්තක් සඳහා ඒ අතිරික්තය යෙදෙවීමේ හැකියාවක් ලැබෙනවා. එය වෙනත් රටක විකුණන පොත් වල මිල සුබසාධනය කිරීම, වෙනත් රටක යුද්ධයකට මැදිහත් වීම හෝ අභ්‍යවකාශ වැඩ සටහනක් වෙන්න පුළුවන්.

ලංකාවේ කෘෂි කර්මාන්තයේ කාලයක් තිස්සේම පැවතුණු අඳ ගොවි ක්‍රමය ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ හා ශ්‍රමයේ ප්‍රතිලාභ පිළිගන්නා ක්‍රමයක්. ඒ කාලයේ මිනිස්සු මේ බර වචන හෝ ධනවාදය කියන්නේ කුමක්ද කියා දැන සිටින්න නැතුව ඇති. එහෙත්, ඉඩම් හිමියාට ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ අයිතිය හිමි විය යුතු බව ගොවියා විසිනුත්, ගොවියාට ශ්‍රමයේ ප්‍රතිලාභ අයිතිය හිමි විය යුතු බව ඉඩම් හිමියා විසිනුත් පිළි ගැනුණා. මැණික් පතල් කර්මාන්තයේ බිම් පංගුව (හා පසුව එකතු වූ මැෂින් පංගුව) කියන්නෙත් ඔය වගේම දෙයක්.

ඇතැම් විට ඉඩම් හිමියා වුනේ පන්සලක් හෝ දේවාලයක්. ඇතැම් විට රජය වෙනුවෙන් කිසියම් සේවයක් කළ අයෙක්. ඇතැම් විට රට වෙනුවෙන් සේවයක් කර රජයෙන් ඒ වෙනුවෙන් ප්‍රතිලාභයක් ලැබූ කෙනෙක්.

මේ ගනුදෙනු වලදී ලෝහ කාසි යොදා ගැනුනේ නැහැ. මුදල් ඒකකය වුනෙත් වී කුරුණිම තමයි. ඒ වගේම, රජයට ගෙවිය යුතු බදු ගෙවීම සඳහා බොහෝ විට යොදා ගත්තෙත් වී. මීට අමතරව කෘෂිකාර්මික අංශයෙන් පිටත වෙනත් අංශ වල රැකියා වල නිරත වූ අයට, උදාහරණයක් ලෙස කම්මල් වැඩ කළ හෝ වලං හැදූ අයට ගෙවීම් කළේත් වී වලින්. මේ වැඩේට වෙනත් ආහාර බෝගත් යොදා ගෙන ඇතත් ජනප්‍රියම ගෙවීම් මාධ්‍යය වුනේ වී.

අනෙක් පැත්තෙන් මිනිස්සුන්ගේ වත්කම් පිළිබඳ නිර්ණායකයක් වුනෙත් වී. වී බිස්ස හිස්වීමෙන් සංකේතවත් වුනේ බංකොලොත් වීමයි. හැමදාම අටුව පිරෙන්න වී තිබුණානම් ඔහු සාපේක්ෂ ධනවතෙක්. වෙනත් ලෙසකින් කිවුවොත් වී ගබඩා කර තබා ගැනීම යන්නෙන් අදහස් වුනේ වත්කම් ගබඩා කර තබා ගැනීමක්.

ඒ වගේම, ඉඩම් වල වටිනාකම තීරණය වුනේ වැපිරිය හැකි වී ප්‍රමාණය හෝ ලැබිය හැකි වී අස්වැන්න මතයි. වී මිටි, වී නෑලි, වී කුරුණි, වී බෙර, වී පෑල්, වී අමුණු වගේ ඉඩම් මනින ඒකක හැදී තිබෙන්නේ මේ පදනමෙන්. ඉඩම් වල සරු නිසරු බව අනුව මේ ඒකකයක වර්ග ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ගිණුම් තැබීමේ ඒකකයක් ලෙසත් වී වලට කාර්ය භාරයක් තිබී තිබෙනවා.

ඉහත පැහැදිලි කර ඇති පරිදි වී කියා කියන්නේ ලාංකිකයින්ගේ ප්‍රධාන ආහාරය වගේම කාලයක් තිස්සේ භාවිතා කළ ප්‍රධාන මුදල් ඒකකයක්. ආදායම හා වත්කම් පිළිබඳ නිර්ණායකයක්.

මුදල් ඒකකය ලෙස සෘජුවම ශ්‍රම ඒකක යොදා ගැනුණු අවස්ථාත් තිබෙනවා. අත්තම් ක්‍රමයේදී සිදු වන්නේ එවැනි දෙයක්. මෙහිදී හුවමාරු වන්නේ ශ්‍රම ඒකකයි.

ශ්‍රම ඒකක හුවමාරු කිරීම මාක්ස්වාදය සමඟ ගැලපෙන අදහසක්. මෙය ස්වභාවිකව ක්‍රියාත්මක විය හැක්කේ ශ්‍රම ඒකක වල වටිනාකම් ආසන්නව සමානනම් පමණයි. එහෙත් සියල්ලන්ගේම ශ්‍රම ඒකක හැම විටම සමාන නැහැ. මාක්ස්වාදී ප්‍රවේශය නිවැරදි නොවන්නේ ඒ නිසයි. එසේ වුවත්, අත්තම් සන්දර්භයේදී ශ්‍රම ඒකක බොහෝ දුරට සමානයි. පේලියට ගොයම් කපාගෙන යන කොට එක් කෙනෙක්ට වැඩි වේගයකින් හා තවත් කෙනෙක්ට අඩු වේගයකින් ගොයම් කපන්න බැහැ. ඒ නිසා, නූතන කම්හලක නිෂ්පාදන පේළියකදී (production line) වගේ කවුරුත් එකම වේගයෙන් වැඩ කරන්න ඕනෑ. මේ සන්දර්භයේදී අත්තම් ක්‍රමය මාක්ස්වාදය සමඟ මෙන්ම ධනවාදය සමඟත් ගැලපෙනවා.

මේ ශ්‍රම ඒකක හුවමාරු ක්‍රමය නවීන තොරතුරු තාක්ෂනය සමඟ මුසු වී විකල්ප ගනුදෙනු ක්‍රමයක් ලෙස මේ වෙද්දී බටහිර ලෝකය තුළ අලුත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ ගැන වෙන වෙලාවක විස්තර කරන්නම්.

මෙතෙක් විස්තර කළ දේවල් වල සාරය ගත්තොත්, යුරෝපීයයන් එන කාලය වෙද්දී ලංකාවේ ගම් මට්ටමේ ස්වයංපෝෂිත ආර්ථිකයන් තිබුණා. එහෙත්, මේ ගම් වෙනත් ගම් වලින් හෝ ලෝකයෙන් වෙන් කෙරෙන කෘතීම බාධා තිබුණේ නැහැ. ගම් ඒකක බාහිර තරඟකාරිත්වයට මුහුණ දුන්නා. ගනුදෙනු සීමා වී තිබුණේ ගම් අතර පාරවල් හැදී ප්‍රවාහන පහසුකම් දියුණු වී නොතිබීමේ හේතුව නිසා පමණයි. බාහිර සාධක සැළකු විට පැවති තත්ත්වය කාර්යක්ෂමයි.

රටේ බොහෝ තැන් වල තිබුණේ මේ වගේ තත්ත්වයක් වුවත් මේ ආකෘතිය ඇතුළේ නොතිබුණු තැන් තිබුණා. උදාහරණයක් ලෙස මන්නාරමේ මුතු කර්මාන්තය ආශ්‍රිත ආර්ථිකය රට ඇතුළේ කෘෂි ආර්ථිකය සමඟ බද්ධ වී තිබුණේ නැහැ. එය බොහෝ දුරට ජාත්‍යන්තරකරණය වී තිබුණා. කර්මාන්තයේ නියැලුණු බොහෝ දෙනෙක් තාවකාලික සංක්‍රමනික ශ්‍රමිකයින්. අද ව්‍යවහාරය අනුව ලංකාවේ හා ඉන්දියාවේ ද්විත්ව පුරවැසියන් කියා කියන්නත් පුළුවන්. යුරෝපීයයන් පැමිණීමට පෙර සිටම ඔවුන්ගේ පරිභෝජනය පිණිස දකුණු ඉන්දියාවෙන් සහල් ආනයනය කර තිබෙනවා.

එක පැත්තකින් පැවති ප්‍රවාහන බාධක නිසා රට මැද සිට මන්නාරමට සහල් ප්‍රවාහනය කරනවාට වඩා දකුණු ඉන්දියාවෙන් බෝට්ටු වලින් ගේන එක කාර්යක්ෂමයි. අනෙක් පැත්තෙන් රට මැද තෙත් කලාපයේ ස්වයංපෝෂිත ගම් ඒකක ඇතුළේ පිටතට විකිණිය හැකි වී අතිරික්තයක් තිබී නැහැ.

යුරෝපීයයන් පැමිණීමෙන් පසුව ස්වයංපෝෂිත ගම් ඒකක වලින් බාහිරව වූ ආර්ථිකය තව තවත් පුළුල් වුනා. එහිදී දුම්කොළ හා කුරුඳු ආශ්‍රිත අපනයන ඉලක්ක කරගත් වාණිජ කෘෂි කර්මාන්තයේ නියැළුණු ශ්‍රමිකයින්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් දිගින් දිගටම ඉන්දියාවෙන් ආනයනය කර තිබෙනවා. රට මැද ස්වයංපෝෂිත ගම් ඒකක ඇතුළේ පිටතට විකිණිය හැකි තරමේ සහල් අතිරික්තයක් නොතිබීම එයට ප්‍රධාන හේතුවයි. අඩු වශයෙන් ලන්දේසි යුගයේ ආරම්භයේ සිට මෙසේ ආනයනය කළ වී ප්‍රමාණ හා මිල ගණන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛණ සහිත වාර්තා තිබෙනවා. ලිපිය වෙන පැත්තකට යන නිසා වැඩි විස්තර කතා නොකර සිටිමු.

ඉංග්‍රීසින් විසින් කෝපි හා තේ හඳුන්වාදීමත්, දකුණු ඉන්දීය ශ්‍රමිකයින් රැගෙන ඒමත් නිසා ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකය එසේම තිබියදී එයින් බාහිර ආර්ථිකය විශාල ලෙස පුළුල් වුනා. ඒ නිසා, ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයේ සාපේක්ෂ වැදගත්කම අඩු වුනා. දකුණු ඉන්දීය ශ්‍රමිකයින්ට අවශ්‍ය ආහාර බොහෝ දුරට ඉන්දියාවෙන්ම ආනයනය කිරීමයි සිදු වුනේ. වාණිජ කෘෂිකර්මයෙන් ඉපැයූ ආදායම් ඒ සඳහා ප්‍රමාණවත් වුණා.

යුරෝපීයයන්ට, විශේෂයෙන්ම ඉංග්‍රීසින්ට ලංකාවේ ඔවුන්ගේ වියදම් ලංකාවෙන් උපයන ආදායම් වලින්ම පියවා ගන්න අවශ්‍ය වුනා. ඔවුන් ඒ සඳහා විශාල ලෙස මහන්සි වුනා. කෝපි හා තේ හඳුන්වා දීමත් මේ උත්සාහයන් තුළ කළ අත්හදා බැලීම්. කෝපි අසාර්ථක වුනත් තේ හා රබර් ආශ්‍රිත කෘෂිකර්මය සාර්ථක වුනා.

ලංකාවට ඉංග්‍රීසින් විසින් තේ හා රබර් හඳුන්වා දෙන විට සහශ්‍ර තුනක පමණ කාලයක් තිස්සේ පැවති වී වගාව ආශ්‍රිත කෘෂිකර්මාන්තයක් ලංකාවේ තිබුණා. එහෙම තියෙද්දී ඉංග්‍රීසින් විසින් අපනයන කර්මාන්තයක් ලෙස වී වගාව දියුණු නොකර ලංකාවේ නොතිබුණු තේ හා රබර් වගා කරමින් අවදානමක් ගත්තේ ඇයි? අඩු වශයෙන් දේශීය පරිභෝජනය සැපිරිය හැකි  තරමට වී ගොවිතැන දියුණු නොකර වී හෝ සහල් ආනයනය කරන්න පෙළඹුණේ ඇයි?

මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන එක අපි තවත් දවසකට කල් දමමු.

13 comments:

  1. මෙම වටිනා බ්ලොග් අඩවියට පිවිසෙන්නන් අනිකාගේ අනන්‍යතාවයට ගරු කරන්නේ නම් මැනවි.

    ස්තුතියි.
    CP-C

    ReplyDelete
    Replies
    1. ඉකොනෝ,

      අද (27) මධ්‍යම රාත්‍රියේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

      ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 96ක් සහ සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 98ක් වනු ඇති.

      අදාළ උපරිම සිල්ලර මිල නියම කිරීමට අනූව කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙස දැක්වේ.

      ---

      රුපියල් 90 පාලන අමිල ඉහල දාලා නේද? ඊයේ පෙරේදා ඩඩ්ලි සිරිසේන මහතාගේ වී මෝල වටලුවේ රුපියල් 90 ට හාල් දෙන්න කියලනි. එහිදී ඔහු කිවේ රුපියල් 90 ට හාල් දෙන්න බැහැ. අවම 98 ට වත් දෙන්න ඕනි. නැත්තං වී මෝල වහලා හිරේ යනවා කියලනි. ඩඩ්ලි කියපු දේ ආණ්ඩුව පිලි අරංද? ඇයි ආණ්ඩුව මුලදී 90 ට දෙන්න කිවේ, ඒ මුදලට දෙන්න බැහැ කියලා දැනගෙනම. ආණ්ඩුවේ හැම තීරණේම වගේ මේකත් රිවස් කරන නිසාද?

      Delete
    2. පැරාගේ ලිපියේ ලස්සන තනි වාක්‍යයක් තිබෙනවා. "ගෝඨාභය රාජපක්ෂ ද මේ අතගාන්නේ බත් මුට්ටියේ පතුල නොව, ලංකාවේ මිනිසුන්ගේ මානසික කිරිපල්ල ය."

      Delete
  2. මේ දවස්වල ලංකාවේ ජනාධිපතිවරයා සහ පාරිභෝගික ආරක්ෂක අධිකාරිය භාර මේජර් ජනරාල්වරයාත්, සකලවිධ පොහොට්ටු බැතිමතුනුත් ජීවිතය කැප කර තිබෙන බව පෙනෙන්නේ ඩඩ්ලි සිරිසේන වැනි මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් විනාශ කිරීමට ය. මැනිං මාකට් එකේදී මේජර් ජනරාල්වරයා කුඩා වෙළඳුන්ට දැමූ දර්ශනය ම ඩඩ්ලි තම මෝලේදී මේජර් ජනරාල්වරයාට දැම්මේ ය. මැනිං මාකට් එකේ වෙළඳුන් ජාමෙ බේරාගන්නට ඇඹරුණ පරිද්දෙන් ම මේජර් ජනරාල්වරයා ද බන්දු සමරසිංහගේ විකට ජවනිකාවක් රඟදක්වනු දක්නට ලැබිණි.


    මේ අතර, ධනපතීන් විනාශ කිරීමට කොන්දේසි විරහිතව ඉදිරිපත් වන සත්ගුණවත් ලාංකික විප්ලවවාදීන් හා වාමාංශිකයෝ ද ජනාධිපති ගෝඨාභයගේ පසුපසින් ගාටමින් දෙන්න ඕනැ ඕකට කියමින් කුණු තක්කාලි එකතු කරනු ද දක්නට ලැබිණි.

    මා නම් ඩඩ්ලි පමණක් නොව, ධම්මික පෙරේරා, දිලිත් ජයවීර, නන්දන ලොකුවිතාන පමණක් නොව, නාමල් රාජපක්ෂ වැනි ජාවාරම්කාරයන් පවා විනාශ කරන එකට විරුද්ධ ය. මේ ව්‍යාපාරිකයන්ගේ චරිතය හොඳ නැති බව ඇතැමෙක් කියති. චරිත හොඳ යයි පෙන්වා දෙන හින්නි අප්පුහාමිලා වළ දැමූ තැන්වල ගස් ද පැළ වී තිබේ. ලංකාවේ දැන් දශක ගණනාවක සිට පවතින ව්‍යාපාරික වාතාවරණය තුළ සටකපට ගේම්කාරයන්ට හැර ව්‍යාපාරික ලෝකයේ පවතින්නට බැරි ය. හුණු නැති කිල්ලෝට කොහේවත් නැත.

    හාල් වෙළඳපොළ පමණක් නොව, පන්සලට පූජ කරන්නට යන මල පවා ජාවාරමකි. මාෆියා ගැන කතා කරනවා නම් සුවඳ හඳුන්කූරේ සිට ගඳගහන කුණු ගොඩ දක්වා තිබෙන්නේ මාෆියා ය.

    ව්‍යාපාරික නොවන බව කියන රජයේ නිලධාරියාගේ ක්ලේම් එකේ සිට දේශපාලකයාගේ වාහන බලපත්‍රය දක්වා තිබෙන්නේ මහ දවල් මහජන මුදල් මංකොල්ලයන් ය.

    සමෘද්ධිලාභියාගේ සිට ජනාධිපතිවරයා දක්වා විශාල පිරිසක් මහජන මුදලින් පිං පඩියේ සිට පැජට් පාරේ ඩබල් ගෙදර දක්වා දේවල් අපේක්ෂා කරති.

    ගොවියාගේ සිට බීඕඅයි ව්‍යාපෘතිය දක්වා ම බලන්නේ පෝර ටිකේ සිට ඉඩම් යාය දක්වා මහජන මුදල්, දේපල කුට්ටියක් කඩාගන්නේ කෙසේ ද කියා ය.

    පන්සලේ හාමුදුරුවන්ගේ සිට ජ්‍යෝතිෂකාරයන්, කට්ටඩියන්, හොර වෙදුන්, ගුරුවරුන් හරහා විශේෂඥ වෛද්‍යවරයා දක්වා හැමකෙනෙකු බලා ඉන්නේ තමන් ළඟට එන අසරණයාගේ උණ්ඩුක පුච්ඡය දක්වා සූරාගන්නේ කෙසේ ද කියා ය.

    ආණ්ඩුව එස්.එම්.එස්. එකේ සිට අරක්කු බෝතලය දක්වා හැම දේකට ම අසාධාරණ බදු පනවයි. රජයට අයත් තෙල් සංස්ථාව ලෝක වෙළඳපොළේ කුණු කොල්ලයට වැටුණ ඉන්ධන ලංකාවේ අස්ප ගණනට විකුණයි.

    ඔබ ද මෙම ලිපිය කියවන්නේ කොරියාවෙන් ගෙනා කුණු කොම්පියුටරයකට දමාගත් වින්ඩෝස් හොර කොපියකින් විය හැකි ය. ලංකාවේ විප්ලවවාදීන් සමාජය වඩා යහපත් අන්දමින් වෙනස් කරන්නට ය කියා ආදර්ශ දෙන්නට අපට බලන්නට ය කියන චිත්‍රපට උන් බලන්නේ ද ටොරන්ට් හරහා හොරෙන් බාගෙන ය.

    ඒ වුණාට ඩඩ්ලි සිරිසේනගේ චරිතය හොඳ නැත. ඕකා විනාශ කර දැමිය යුතු යයි ආණ්ඩුව කියන විට අපේ කටින් නිකම් ම විසිල් පිට වේ. එයට මූලික හේතුව අපේ ඔලුවල තිබෙන ගතානුගතික කුණුකන්දල් ය. අප ධනවතුන්ට බය ය. වෙළඳපොළට බය ය. වෙළඳාමට බය ය. ලාභයට බය ය. ආයෝජනවලට බය ය. ව්‍යාපාරවලට බය ය. බදු ගෙවන්නට බය ය. වැඩ කරන්නත් බය ය.

    පෞද්ගලික ව්‍යවසායකයන් රටේ ආර්ථිකයට, නිෂ්පාදනයට, වෙළඳපොළට කර තිබෙන දායකත්වය දෙස අසුබවාදී ඇසකින් ම බැලීම ලාංකිකයන්ගේ ජන්ම ගතියකි.

    අපට ලැබෙන්නේ අපට ගැලපෙන නායකයන් ය.

    කෙසේ වෙතත්, තවමත් විසිල් මිස බල්ටි නම් නැත.

    රට සංවර්ධනය කරන්නට නම්, හොඳ වුණත්, නරක වුණත්, මේ ඉන්න ව්‍යවසායකයන් හා වැඩකරන ජනතාව සමග වැඩ කළ යුතු ය. ඩඩ්ලි විනාශ කර එතැනට රාජපක්ෂලාගේ සල්ලිවලින් රොෂාන් රණසිංහ ගෙනත් දැමුවා ය කියා වෙනසක් වන්නේ නැත.

    හාල් ගැන කියනවා නම්, රජය අවුරුදු සීයක් තිස්සේ මැදිහත් වෙලාත්, තවමත් නිදහසේ බත් ටික කන්නට පුළුවන් වාතාවරණයක් රටේ නැත. බත් කන්නට ඕනෑ ය කියා අපි මහජන මුදලින් වාරිමාර්ග ටික හදා දී, මහජන මුදලින් පෝර ටික දී, මහජන මුදලින් ම වී ටික මිල දීත් ගෙන, මහජන මුදලින් ගබඩා කර තබාගෙන, මහජන මුදලින් කොටා, මහජන මුදලින් බෙදාහැරියත් මේ රටේ හිත හොඳින් බත් ටික කන්නට බැරි ය. මූලික හේතුව, බත් කන එවුන් තුළ තිබෙන ආවේණික කුහකකමකැයි මට සිතේ.

    1953දී ඩඩ්ලිට අගමැතිකම අහිමි වුණේ හාල් සේරුවක මිල සත 25 සිට එක වර ම සත 70ට වැඩි කළ නිසා ය. 1970දී මිනිසුන් සිරිමා බලයට ගෙන එන විට කියූ සටන් පාඨය වුණේ ‘අපෙ අම්මා ළඟ එනවා – හාල් සේරු දෙක දෙනවා’ කියා ය. හඳෙන් හෝ හාල් ගෙනත් දෙන්නට එදා දේශපාලකයෝ පොරොන්දු වූ හ. 1977දී ජේ.ආර්. ආණ්ඩු පෙරළුවේ හාල් ඇතුළු ඇට රාත්තල් අටක් නිකම් දෙන්නට පොරොන්දු වී ය.

    ගෝඨාභය රාජපක්ෂ ද මේ අතගාන්නේ බත් මුට්ටියේ පතුල නොව, ලංකාවේ මිනිසුන්ගේ මානසික කිරිපල්ල ය.

    ඇත්තට ම අප මෙතරම් බත් ගිලින්නේ ඇයි? බත් පෙරේතකමින් මිදෙන්නට අපට බැරි ඇයි? ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ එතනය. ලාංකිකයන් බත්කෑම අඩු කර වෙනත් විවිධ ආහාර තම ආහාර වේලට එකතු කරගත යුතු ය. හාල් ප්‍රශ්නයට පමණක් නොව, ඇතැම් සෞඛ්‍ය ප්‍රශ්නවලට ද විසඳුම එහි තිබේ.

    ReplyDelete
  3. රටේ ප්‍රධාන වී මෝල් සංඛ්‍යාව 4කි. එයට අමතරව කුඩා මෝල් දෙදහසක් පමණ පවතී. වෙළෙඳපොළ ක්‍රමයට අනුව කුඩා මෝල් හිමියන් සහල් මිල තීරණය කරනු ලබන්නේ ප්‍රධාන මෝල් හතරෙහි සහල් මිලට අනුවය. මෙරට දිනක සහල් අවශ්‍යතාව කිලෝ ලක්ෂ 50කි. පෙර කී ප්‍රධාන වී මෝල් හතරෙන් නිෂ්පාදනය වන්නේ සහල් කිලෝ ලක්ෂ 8කි. ඉතිරි කිලෝ ලක්ෂ 42ම කුඩා මෝල්වලින් නිෂ්පාදනය වේ. එම කිලෝ ලක්ෂ හතළිස් දෙකෙහි මිල හාල් කිලෝ ලක්ෂ 8කට අනුව තීරණය වීමේ ගැටලුව පළමුව විසඳිය යුතුව තිබේ.

    ReplyDelete
  4. ස්වයංපෝෂිත ය කියන්නේ අවශ්‍යතාවට ප්‍රමාණවත් අයුරින් නිශ්පාදනය කිරීමට වඩා, නිශ්පාදනය වන ප්‍රමාණයට ගැලපෙන්න අවශ්‍යතා සීමා කරගැනීමක් වගේ නේද? අමුවෙන් කීවොත් මිනිස්සුන්ට මන්දපොෂණය හැදෙන කොට රට ස්වයංපෝෂිත වෙනවා.

    ReplyDelete
    Replies
    1. වැරදුනා, රට ස්වයංපෝෂිත වෙනකොට මිනිස්සු මන්දපෝෂිත වෙනවා.

      Delete
    2. බොහෝ විට ප්‍රායෝගිකව අන්තිමට වෙන්නේ ඔය වගේ දෙයක්. හැම විටම නොවුනත් කවර හෝ හේතුවකින් අස්වනු අඩු වූ ගමන් වෙන්නේ ඕකයි.

      Delete
  5. /සමාජවාදය තුළ මේ අවස්ථාව නැති නිසා මිනිස්සුන්ව උපයන දේ සියල්ල පරිභෝජනය කර අවසන් කරන පරිභෝජනවාදයක් වෙත තල්ලු කෙරෙනවා./සමාජ සුභසාධනය ඉහල රටවල මේ දේම වෙන්නේ නැතිද?

    ReplyDelete
    Replies
    1. දෙකේ වෙනසක් තිබෙනවා. සමාජවාදී රටක කිසිම කෙනෙක්ට ප්‍රාග්ධනය එක් රැස් කරගන්න අවස්ථාවක් නැහැ. ක්‍රමය විසින්ම ඒ අවස්ථාව නැති කරලා තිබෙනවා. ඒ නිසා, පුද්ගලයෙක්ට කරන්න වෙන්නේ උපයන කොටස පරිභෝජනය කර අවසන් කරන එකයි. එහිදී තමන්ට පරිභෝජනය කරන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉපැයීමේ හැකියාව තිබෙන කෙනෙක් ඕනෑවට වඩා මහන්සි නොවී අවශ්‍ය ප්‍රමාණයට පමණක් වැඩ කර නිකම් ඉන්න පෙළඹෙනවා. සමාජවාදයේ අකාර්යක්ෂමතාවය එන්නේ එතැනින්.

      ධනවාදයේදී ඕනෑම කෙනෙකුට ප්‍රාග්ධනය එක් රැස් කරගන්න අවස්ථාව තිබුණත් හැම දෙනෙක්ම ප්‍රාග්ධනය එක් රැස් කරන්නේ නැහැ. ඇතැම් අය කොහොමටත් ලැබෙන දෙය පරිභෝජනය කරලා ඉවර කරනවා. නමුත්, ඉතිරි පිරිස වැඩේ ඇදගෙන යනවා.

      සුබසාධන ආකෘතියේදීත් (මෙය මට කතා කරන්න අවශ්‍යව තිබූ මාතෘකාවක්. දැන් වෙනත් පැත්තකට යන නිසා ආපහු එන්න කාලයක් ගත වෙයි!) යම් පිරිසක් මේ වගේ තැනකට තල්ලු වෙනවා. එතැනින් ගැලවෙන්න අවශ්‍ය නැති, අනුන් දෙන දෙයක් කාලා ඉන්න කැමති කෙනෙකුට දිගටම ඒ විදිහට ඉන්න පුළුවන්. (අනිවාර්යයෙන්ම සුබසාධනයක් අවශ්‍ය පිරිස් ගැන නෙමෙයි) හැබැයි ඒ ලෝකයට පිටින් තව ලෝකයක් පැහැදිලිව පේන්න තිබෙනවා. ලෝක දෙක අතර පැහැදිලි පරතරයක් තිබෙනවා. කැමති කෙනෙකුට අනෙක් ලෝකයට යන්න බාධාවක් නැතුවාක් මෙන්ම බොහෝ විට ක්‍රමය විසින් එය දිරිමත් කරමින් අවස්ථා සලසනවා. එහිදී පුද්ගලයකු සතුව තේරීමක් තිබෙනවා. සමාජවාදී ක්‍රමය යටතේ ඒ තේරීම නැහැ.

      මම ලිපියක සඳහන් කළ මිනිසුන්ගේ ආත්මාර්ථකාමය හා සහකම්පනය අතර තිබෙන සමතුලිතතාවය පවත්වා ගත හැකි තරමේ සමාජ සුබසාධනයක් ධනවාදය තුළ නෛසර්ගිකවම ඇති වෙනවා. එය අඩු හෝ වැඩි වූ විට ප්‍රශ්න ඇති වෙනවා.

      ලංකාව උදාහරණයකට ගත්තොත් මරණයකදී, පොදු ආපදාවකදී, දන්සැලක් දෙන විටදී හෝ රාමසාන් කාලයේදී මිනිස්සු ස්වකැමැත්තෙන් වෙනත් අයට උදවු කරනවා. නමුත්, වැටුපෙන් බාගයක් පරිත්‍යාග කරන්න කියපු ගමන් සීමාව පනිනවා.

      Delete
  6. අපි පහු ගිය කාලෙම කල්පනා කලේ වී වගාවේ ඵලදායීතාව වැඩි කරමින්, රට සහලින් ස්වයංපෝෂිත කරගන්න. ලංකාවේ පරිසරය ට කෙලවෙලා ගියේ හාල් වලින් රට ස්වයංපෝෂිත කරන්න ගිහිං. ඵලදායිතාව වැඩි කරන්න ගිහිං.

    වියලි කලාපයට වහින්නේ මාස් වැස්ස. ඒ නිසා වියලි කලාපේ ඉස්සර ගොවියෝ කුඹුරු අස්වැද්දුවේ අවුරුද්දකට එක කන්නයයි. ඒක මදි. කන්න දෙකම නෙවෙයි, පුළුවන් නම් තුනක් වැඩකරන්න පුළුවන් ද කියලා බැලුවා. අඩු මාසේ වී වගාව පටන් ගත්තා. වැස්ස නැති කාලෙට වතුර ගන්න මහවැලි ඇතුළු ගංගා වියලි කලාපෙට හැරෙවුවා. ගංගා ආශ්‍රිත පරිසර සමතුලිත තාව බිඳුනා. උල්පත් වලින් කාන්දු වන පිරිසිදු ජලයෙන් උපදින ගංගාව ඈතට යන්න යන්න වගා බිම් වලට ඉහින රසායනික අපද්‍රව්‍ය වලින් දූෂණය වුනා. ඒවායින් යැපුණු වන සතුන් වඳ වෙන්න ගත්තා.

    කෘමිනාශක, වල් නාශක ගහලා රසායනික පොහොර නාවලා පස ඉවර කරලා දැම්මා. සමනලයා, බත්කූරා ගේ ඉඳන් පුංචි කෘමීන් වඳ කලා. වක්කඩේ, ඇලේ දොලේ හිටපු තිත්ත, දණ්ඩි, කොරලි, තල්කට්ටෝ වගේ මාළු විතරක් නෙවෙයි ඔටර්ස් හෙවත් දියබල්ලොත් වඳ කළා. මේ මොනවා කලත් අපේ වී ගොවිතැන රජයෙන් යැපෙන, ඒ කියන්නේ වී ගොවිතැනට කිසි සම්බන්ධයක් නැති ජනතාවක ගේ බදු මුදලින් යැපෙන තත්වයෙන් ඉහලට ඔසවන්න අපට තාම බැරි වුනා. පරිසරය විනාශ කරගත්ත එක ඇරෙන්න වෙන කිසිදු ජයග්‍රහණයක් දිනා ගන්න අපට බැරි වුනා. අපි මේක වෙන විදියකට පරිකල්පනය කර ගත්තේ නැතිනම්, මේ උගුලෙන් ගැලවෙන්න අපට බැහැ.

    ලංකාවේ වී ගොවිතැන රැක ගන්න නම්, අඛණ්ඩව පවත්වාගන යන්න නම්, ඒක පැරණි සංස්කෘතික අරුතින් නගා සිටවන්න ඕනේ. සාම්ප්‍රදායික වී, සාම්ප්‍රදායික වගා ක්‍රම වලට නැවත යන්න ඕනේ. ඒවා පරිසර හිතකාමීයි. ස්වභාව ධර්මයත් එක්ක සහජීවනයෙන් කෙරෙන ඒ ගොවි තැන පරිසර සමතුලිත තාව රැකගෙන කල එකක්.

    වී ගොවිතැන නම් ඒ සංස්කෘතික ක්‍රියාකාරකම සංදර්ශනාත්මකයි. ඒක ඇතුලේ කවි ගායනා තියෙනවා, නැටුම් තියෙනවා, චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. කුඹුර හාන්න එක ජාතියක කවි. ගොයම් හිටවන්න නෙලුම් කවි. කපන්න වෙනම කවි. බැත පාගන්න වෙනම කවි. දැන් ඒ මොකවත් නැතුව හැමදෙයක් ම කඩි මුඩියේ කරන්න ‘සුනාමි’ මැෂිම තියෙනවා. ඒ නමේම තියෙනවා විනාශය.

    සාම්ප්‍රදායික ගොවිතැනෙහි අන්තර්ගත සමස්ත සංස්කෘතික ක්‍රියාකාරකමයි විකුණන්න ඕනේ. වී වෙනුවට සමස්ථ වී ගොවිතැන ම වෙන විදියකට පැකේජ් කර වෙළඳම් කරන විදියක් හිතන්න වෙනවා. ඒකටයි මිලක් නියම වෙන්න ඕනේ.

    මේ සංස්කෘතික කටයුත්ත නරඹන එකම, විඳින එකම ආස්වාදයක්. ඒකට නරඹන්නන් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒ වින්දනය සඳහා මිලක් ගෙවන්න සූදානම් ඕන තරම් පිරිස් ඉන්නවා. ඒ සඳහා එය සංචාරක කර්මාන්තය එක්ක බද්ධ කරන්න ඕනේ. එවැනි වගාවකින් ලැබෙන අස්වැන්න ට වෙන වටිනාකමක් තියෙනවා. සාමාන්‍ය සහල් වෙළඳ පොලේ නෙවෙයි. සුවිශේෂ ( niche ) වෙළඳ පොලක. ඒ සඳහා වැඩි මිලක් ගෙවන පාරිභෝගික පිරිසක් ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් හොයා ගන්න පුලුවන්.

    මේ ප්‍රශ්නය විසඳන එක ඒ විදියටයි පරිකල්පනය කරගන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. නැත්නම් හැමදාම හාල් පාරිභෝගිකයි, ගොවියයි දෙන්නම මාෆියාවක බයිට් ලෙස ගොදුරු වෙන එක විතරයි වෙන්නේ.

    -අශෝක හඳගම

    ReplyDelete
    Replies
    1. CP-C ගේ ප්‍රශ්නයකට ප්‍රතිචාර ලෙස මම යෝජනා කළේ ඔය වගේ දෙයක්. ඔහුගේ අරමුණ සමඟ මේ වගේ දෙයක් නොගැලපුනත් වෙනත් අයෙකුට කළ හැකි දෙයක්.

      Delete
  7. ජනාධිපතිවරයා,අගමැතිවරයා රැස්වීම් තබද්දී, ආගමික උත්සව වලට සහභාගී වීමේදී මෙම උපදෙස් පිළිපදිනා බවක් පෙනෙන්නට නැත. ජේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ වාර්තාවක්‌ උපුටා දක්වමින් ඊයේ ලංකාදීප පුවත්පතේ වාර්තාවක්‌ පල කර තිබු අතර එහි දක්වා තිබුනේ කොළඹ කාර්යාල විවෘත කිරීමෙන් පසු එහි පැමිණෙන කාර්යාල සේවක සේවිකාවන් එකිනෙකා සිප වැළඳ ආචාර සුභාශිංසන නොකරන ලෙසයි. එනමුත් ඊය රාත්‍රී පුවත් වලින් අප දුටුවේ අභාවප්‍රාප්ත තොන්ඩමන් මහතා බැලීමට රෝහලට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී තොණ්ඩමන් මහතාගේ පවුලේ උදවිය වැළඳගෙන ආචාර කල බවයි. සාමාන්‍ය ජනතාවට නීති රීති දමනා රජයේ ප්‍රධානින් ඒවා තුට්ටුවකට මායිම් නොකිරීම ගැන කිසිම මාධ්‍යයක් ප්‍රශ්න නොකරන්නේ ඇයි? පසුගිය යහපාලන රජය සමයේ ඉතාම පොඩි ගැටලුවක් පවා මහා දෙයක් ලෙස සලකමින් රංගනයේ නිරතවූ මාධ්‍ය අද දිනයේ ස්වයං වාරණයට ලක්ව ඇත්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.