Sunday, May 17, 2020

ආර්ථිකය සැලසුම් කළ හැක්කේ කාටද?


ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 2,425,000ක් බව මම කලින් කිවුවනේ. මෙයින් බෝග වගාවේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 1,261,000ක්. ආහාර පිණිස "වගා කරන" මාළු හා ඉස්සන් ආදියද ඇතුළත්ව  සත්ව ගොවිපොළ වල සේවය කරන ශ්‍රමිකයින් ප්‍රමාණය 762,000ක්. ධීවර කර්මාන්තයේ හා දඩයමේ නිරත ප්‍රමාණය 62,000ක්. වන වගාවේ හා දැව කැපීමේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 166,000ක්. ඉහත කී කර්මාන්ත හා අදාළ කිසියම් සහායක සේවාවක නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 174,000ක්.

ඇමරිකාවේ මුළු ජනගහණය මිලියන 330ක් පමණ වෙනවා. එයින් ශ්‍රම බලකායට අයත් පිරිස 157,538,000ක්. මේ අනුව, ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය රටේ ජනගහනයෙන් 0.7%ක් හා ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණයි.

ඇමරිකාව ශුද්ධ ලෙස ආහාර අපනයනය කරන රටක්. පසුගිය 2019 වසරේදී ඇමරිකාවේ කෘෂිකාර්මික අංශය ඉපැයූ ශුද්ධ අපනයන ආදායම, එනම් අපනයන ආදායමෙන් ආනයන වියදම් අඩු කළ පසු ශේෂය, ඩොලර් 5,618,060,868ක්. ඩොලර් බිලියන වලින් 5.6ක්. (මුළු කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් බිලියන 136.7ක්).

ඒ වගේම, ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණෙන ආහාර ප්‍රමාණයෙන් 31%ක් පමණ නාස්ති වෙනවා. 2010 ඇස්තමේන්තුවකට අනුව ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්.

ඇමරිකාව රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ අරමුණින් විවිධ සුබසාධන වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. පසුගිය වසරේදී අඩු ආදායම්ලාභී පවුල් 17,964,000කට ආහාර මුද්දර වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 60.4ක්. අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණෙන දරුවන් මිලියන 29.6කගේ දිවා ආහාර වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 14.2ක්. පාසැල් දරුවන් මිලියන 14.8කගේ උදේ ආහාර වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4.6ක් වැය කර තිබෙනවා. අඩු ආදායම්ලාභී ගර්භණී හා කිරිදෙන මවුවරුන් මිලියන 6.4කට ආහාර ආධාර ලෙස තවත් ඩොලර් බිලියන 5.2ක් වැය කර තිබෙනවා. මීට අමතරව හදිසි ආපදා ආහාර ආධාර, ළමා නිවාස හා මහළු නිවාස සඳහා ආහාර ආධාර, රතු ඉන්දියානු ආහාර ආධාර වැඩ සටහන් ඇතුළු තවත් ආහාර ආධාර වැඩ සටහන් ගණනාවක් ඇමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. මෙසේ ආහාර සුරක්ෂිතතාව ඉලක්ක කළ සුබසාධන වැඩ සටහන් වෙනුවෙන් පමණක් වැය කර තිබෙන මුදල අවම වශයෙන් ඩොලර් බිලියන 92.7ක්.

මේ ඇමරිකාවේ ආර්ථිකය සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් හොඳින් තිබුණු 2019 වසරේ තත්ත්වයයි. පෙර වසර වල මේ වියදම් මීට වඩා ගොඩක් වැඩියි. මේ වසරේදී නැවත මේ වියදම් විශාල ලෙස ඉහළ යයි.

ඒ වගේම මේ රාජ්‍ය අංශයේ දායකත්වය ඇති ආහාර ආධාර වැඩ සටහන් පමණයි. ඇමරිකාවේ හැම ලොකු කුඩා නගරයකම වගේ රාජ්‍ය මැදිහත්වීමක් නැති ආහාර බැංකු ක්‍රියාත්මක වෙනවා. එවැනි තැනකට යන කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. ආහාර බැංකු 200ක් හරහා ආහාර ආධාර බෙදන එක් රාජ්‍ය නොවන සංවිධානයක් පමණක් පසුගිය වසර තුළ මිලියන 40කට වැඩි පිරිසකට ආහාර වේල් බිලියන 4.2ක් බෙදා දී තිබෙනවා. මා පෞද්ගලිකව දන්නා පරිදි මෙවැනි වැඩ සටහන් ක්‍රියාත්මක කරන ආගමික හා ආගමික නොවන ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා.

ඇමරිකාවේ ආහාර නාස්තියට එක් හේතුවක් වන්නේත් මේ ආකාරයට විවිධ සුබසාධන වැඩ සටහන් යටතේ මුදලක් නොගෙවා ආහාර ලබා ගැනීමේ අවස්ථාව බොහෝ දෙනෙකුට හිමිව තිබීමයි. තමන්ගේ අතින් මුදල් යන විට ආහාර නාස්තිය  වලක්වා ගන්න කෙනෙක් උනන්දු වුවත් නොමිලේ ආහාර ලැබෙන විට ඒ උනන්දුව අඩු වෙනවා. ආහාර නාස්තිය අනුමත නොකළත්, මෙවැනි සුබසාධන වැඩ සටහනක ප්‍රමුඛ ඉලක්කය වන්නේ ආහාර අවශ්‍ය අය වෙත ප්‍රමාණවත් හා සුදුසු ආහාර ලැබෙන බව සහතික කිරීම මිස ආහාර නාස්තිය අඩු කිරීම නෙමෙයි. එය ද්වීතියික ඉලක්කයක්.

මෙහි "සුදුසු" කියන වචනය ගැනත් යමක් කිව යුතුයි. ආහාර වෙනුවෙන් තමන්ගේ මුදල් වැය කරන කෙනෙක් තමන්ගේ ආහාර රුචියට වැඩි ප්‍රමුඛත්වයක් දෙනවා. එහෙත්, මුදල වැය කරන්නේ වෙනත් අයෙකු වූ විට යම් තරමකින් මුදල වැය කරන තැනැත්තාගේ රුචිකත්වය ඉස්මතු වීමක් වෙනවා. එහිදී වඩා රසවත් ආහාර වලට සාපේක්ෂව වඩා පෝෂ්‍යදායී ආහාර වලට වැඩි බරක් වැටෙනවා. මෙය යම් තරමකින් ආහාර නාස්තියට හේතු වෙනවා. විශේෂයෙන් එළවලු හා පළතුරු හා අදාළව.

ඇමරිකාවේ රජය, පාරිභෝගිකයින් හා ව්‍යාපාරික ආයතන විසින් ආහාර මිල දී ගැනීම වෙනුවෙන් 2018 වසරේදී වැය කර තිබෙන මුදල ඩොලර් බිලියන 1,710ක්. 2019 වියදමද මේ ආසන්න මුදලක් විය යුතුයි. මේ ආහාර මුළුමනින්ම වාගේ ඇමරිකාව ඇතුළත නිපදවුණු ආහාර කියා කියන්න පුළුවන්.

ඇමරිකාව විසින් 2019 දී ඩොලර් බිලියන 131.0ක ආහාර හා වෙනත් ප්‍රාථමික කෘෂිකාර්මික නිෂ්පාදිත ආනයනය කර ඇතත්, ඇමරිකාවේ කෘෂිකාර්මික අපනයන වලින් උපයා ඇති ආදායම ඊට වඩා වැඩියි. ඒ නිසා, ඇමරිකාව ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක නොසිටියත් ආහාර වලින් ස්වයංපෝෂිත රටක්. මෙය ආනයන තරඟයට බිය නොවී කාර්යක්ෂමතාවය තුළින් අත්පත් කරගත් තත්ත්වයක්. එසේ නැතිව ආණ්ඩුව විසින් ගොවියා ආනයන වලින් ආරක්ෂා කර, සහනාධාර දී, හෝ මධ්‍යගත සැලසුම් හරහා අත් කරගත් ජයග්‍රහණයක් නෙමෙයි. (ඇමරිකා චීන වෙළඳ යුද්ධය වැනි කරුණු පසුවට ඉතිරි කරමු.)

ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ වෙළඳ ශේෂය ධන අගයක් වනවාක් මෙන්ම ඇමරිකාවේ කෘෂි ආර්ථිකයට සාපේක්ෂව ඉතා සුළු අගයක්. ඊට සාපේක්ෂව ආහාර සුබසාධන වැඩසටහන් වල හා ආහාර නාස්තියේ බලපෑම ගොඩක් වැඩියි.

ඇමරිකාවේ ජීවත් වන ආහාර මිල දී ගැනීමේ හැකියාවක් ඇති අයගේ මුළු ආහාර ඉල්ලුම සැපයීමට, එවැනි හැකියාවක් නැති අය වෙනුවෙන් තිබෙන ආධාර වැඩසටහන් හරහා ඇති කෙරෙන අමතර ඉල්ලුම සැපයීමට මෙන්ම, සැලකිය යුතු නාස්තියක් දරා ගැනීමටද ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් ඇමරිකාව තුළ සිදු වෙනවා. මේ වෙනුවෙන් දායක වෙන්නේ ඇමරිකාවේ ශ්‍රම බලකායෙන් 1.5%ක පිරිසක් පමණයි. ඒ කියන්නේ රටේ ශ්‍රම බලකායෙන් 98.5%කටම කෘෂිකාර්මික අංශයේ රැකියා අහිමි වෙලා. ඒ අය පාරට වැටිලද?

රටේ ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණක් රටට අවශ්‍ය ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කරද්දී අනෙක් පිරිස රැකියා නැතිව නිකම් ඉන්නවානම් අවසාන වශයෙන් රට හිටපු තැනමයි. අර ලබා ගත්තු කෘෂිකාර්මික අංශයේ ඉහළ ඵලදායීතාවයෙන් ටික දෙනෙකුට යහපතක් වී ඇතත් (හෝ එසේ පෙනෙන්නට තිබුණත්) සමස්තයක් ලෙස රට හිටපු තැනමයි. අන්තිමට සිදු වෙලා තියෙන්නේ රටේ ආදායම් විෂමතාවය වැඩි වෙන එක පමණයි.

නමුත්, මෙය මේ විදිහට සිදු වෙන්න විධිහක් නැහැ. රටේ 98.5%ක් රැකියා නැතිව සිටියොත් ඉතිරි 1.5% විසින් හදන ආහාර මිල දී ගන්න ඒ අයට හැකියාවක් නැහැ. ඒ නිසා ආහාර වලට ඉල්ලුමක් නැහැ. ඉල්ලුමක් නැති නිසා ආහාර හදන අයට ඒ ආහාර විකුණගන්න බැහැ. ඒ නිසා ආදායමකුත් නැහැ. ඒ නිසා, මේ වගේ තත්ත්වයක් පවතින්නනම් අනිවාර්යයෙන්ම ඉතිරි 98.5% විසින් වෙන කවර හෝ රැකියාවක් කළ යුතුයි. නිෂ්පාදනයක් කළ යුතුයි. ආදායම් ඉපැයිය යුතුයි.

පසුගිය 2019 වසරේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 21,427ක්. නමුත්, එයින් කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල නිෂ්පාදිතය ඩොලර් බිලියන 169.2ක් පමණයි. ඒ කියන්නේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.8%ක් පමණයි. කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රම බලකායෙන් 1.5%ක් වූ මිලියන 2.4ක පිරිස ඩොලර් බිලියන 169.2ක අගය එකතු කිරීමක් කරන අතරතුර මිලියන 155.1ක ඉතිරි ශ්‍රමිකයින් පිරිස විසින් ඩොලර් බිලියන 21,257ක අගය එකතු කිරීමක් කරලා තිබෙනවා. එහෙමනම් වඩා කාර්යක්ෂම කොයි කණ්ඩායමද?

ධනවාදී තරඟය හමුවේ ඇමරිකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉතිරි වී සිටින්නේ ඒ වැඩේට වඩාත්ම කාර්යක්ෂම පිරිසනේ. ඒ කියන්නේ කෘෂිකර්මයෙන් ඉවත් වෙලා තියෙන්නේ සාපේක්ෂව අකාර්යක්ෂම පිරිසක්. මෙය හරියටම නිවැරදි නැතත් දැනට අපි පහසුවට එහෙම කියමුකෝ. නමුත්, එසේ එළියට ගිය ශ්‍රමිකයින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉතිරි වූ පිරිස මෙන් දෙගුණයක දායකත්වයක් ආර්ථිකයට ලබා දෙන්න සමත් වී තිබෙනවා. සමස්තයක් ලෙස කෘෂිකාර්මික අංශයේ එක් ශ්‍රමිකයෙන් ඩොලර් 70,000ක අගය එකතු කිරීමක් කරද්දී කෘෂිකාර්මික නොවන අංශයක ශ්‍රමිකයෙක් ඩොලර් 137,000ක අගය එකතු කිරීමක් කරනවා. මේක වුනේ කොහොමද?

මිනිස්සු එකිනෙකා වෙනස්. ඒ අයගේ කුසලතා වෙනස්. වෙළඳපොළ පුළුල් වෙනවා කියා කියන්නේ හැම දෙනෙක්ම හැම දෙයක්ම කරන තැන ඉඳලා එක් එක් පුද්ගලයා තමන් වඩා කැමතිම, වඩා දක්ෂම දේ කරන තැන දක්වා ආර්ථිකය පරිණාමය වීමක්. මිනිහෙක් එක වැඩකදී කාර්යක්ෂම නොවුනත් කවර හෝ වැඩකදී කාර්යක්ෂම වෙනවා.

මේ ශ්‍රම විභජනය සමාජවාදීන් පවා එකඟ වෙන දෙයක්. හැම දෙයක්ම තමන් තනිවම කර ගන්න යාම අකාර්යක්ෂම බව සමාජවාදීන් විසිනුත් බොහෝ දුරට අවිවාදිතව පිළිගන්නවා. සමාජවාදයේ ප්‍රශ්නය මෙය සැලසුම්සහගතව කළමණාකරණය කරන්න යාමයි. ඔවුන් අසාර්ථක වන්නේ එතැනදී. මේ කියන පරිණාමය ස්වභාවිකව සිදු වන තරම් ප්‍රශස්ත ලෙස සැලසුම් කරන්න ප්‍රායෝගිකව කිසිවෙකුට හැකියාවක් නැහැ. බාධාවක් නැත්නම් නිදහස් වෙළඳපොළ විසින් අපූරුවට ඒ කාර්යය කරනවා.

(Images: https://www.koreatimes.co.kr/www/common/printpreviews.asp?categoryCode=103&newsIdx=262692)

19 comments:

  1. ඉකොනෝ,
    'පොළොන්නරුවේ වෙළෙන්දෝ සහල් විකිණීමෙන් ඉවත් වෙති'

    සහල් විකිණීමෙන් තමන් තාවකාලිකව ඉවත්විමට තීරණය කර ඇතැයි පොලොන්නරුවේ සිල්ලර වෙළෙඳුන් බොහෝ දෙනෙකු කියා සිටිති.

    මේ අතර පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සියලූම විවිධ සේවා සමූකාර සමිතිද මේ වනවිට සහල් විකිණීමෙන් ඉවත්වී ඇතිබව කියති.

    සහල් මෝල් වලින් සහල් තොග නිකුත් කරන මිල සිල්ලර මිලට වඩා බෙහෙවින් ඉහල මට්ටමක පැවැතීම මෙයට හේතුව හේතුව බව එම සිල්ලර වෙළෙඳුන් සහ සමූපකාර සමිති ප‍්‍රධානීහු පෙන්වා දෙති.උදාහරණයක් ලෙස නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 94ක් 95ක් බවත් ලොකු,පොඩි කිසිම සහල් මෝලකින් ඒ මිලට හැර තමන්ට සහල් අලෙවි නොකරන බව ඒ වෙළෙඳුන් ප‍්‍රකාශ කළහ. එවැනි මිලකට සහල් මිලදීගෙන රජයේ පාලන මිලට සිල්ලරට සහල් අලෙවි කිරීමට හැකියාවක් නොමැති නිසා මේ තීරණයට එළඹි බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

    මේ හේතුවෙන් අද(17) පොලොන්නරුවේ ඇඳිරි නීතිය යටතේ විවෘත කරතැබීමට අවසර තිබෙන සිල්ලර වෙළඳසැල්වල පවා රජයේ පාලන මිලට සහල් මිලදී ගැනීමට නොතිබූ බව පාරිභෝගිික ජනතාව පැවැසූහ.
    -ලංකාදීප-

    මේ වගේ අර්බුධ වලදී රජය මොකක්ද කරන්න ඕනි ඉකොනෝ යෝජනා කරන විදියට. රජය පාලන මිලක් පනවන්නේ නැතිව හිටියොත්, වෙළදපලට නිදහසේ හැසිරෙන්න ඉඩ දුන්නොත් මොකක් වෙයිද? බත් කියන්නේ රටේ අතිබහුතර දෙනාගේ ප්‍රධාන ආහාරය නිසා. අත්‍යවශ්‍යම දෙයක්නි. ඉකොනෝ ගොඩක් වෙලාවට යෝජනා කරන්නේ වෙළදපලට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන එක හොදයි කියලා නේද? එතකොට ලංකාවේ හාල් වෙළදපලට එහෙම නිදහසේ මිල තීරණය කරන්න ඉඩ දුන්නොත් මොකක් වෙයිද? මිල ඉහල යයිද? ජනතාවට මොන වගේ හොදක් වෙයිද? කෙටිකාලීනව සහ දීර්ඝකාලීනව. සෘජුව සහ වක්‍රව.(සාමානයෙන් සිල්ලර වෙළදාමේදී සහල් වලින් ලාබයක් ඇත්තෙම නැති තරං වෙළෙන්දාට. සහල් කිලෝ එකක් රුපියල් 90 ක් නම් ඕක එයාට හම්බෙන්නෙත් 89 ට වගේ තමයි. සමහර වෙලාවට සත පනහයි ලාබෙ කිලෝ එකකින්. යටකරන මුදල්, ගබඩා කිරීම, සහල් අලෙවි කරන බෑග්ඒකට යන මුදල, සහල් වල බර අඩුවීම වගේ එව්වා බලදිදී කිසිම ලාබයක් නැහැ. ඒත් හාල් විකුනන්නේ ඒක අත්‍යවශ්‍ය නිසා සහ හාල් ගන්නට එන මනුස්සයා තවත් දේවල් මිලට ගන්නා නිසා.)

    ReplyDelete
    Replies
    1. පාලන මිල ඉල්ලුම හා සැපයුම සමතුලනය වන මිලට වඩා වැඩිනම් පාලන මිලෙන් වෙළඳපොළට බලපෑමක් සිදුවෙන්නේ නැහැ. පාලන මිල ඊට වඩා අඩුනම් සහල් හිඟයක් ඇති විය යුතුයි. එවැනි සහල් හිඟයක් පෙනෙන්න නැත්නම් එයින් පෙනෙන්නේ සිල්ලර අදියරේදී මේ වන විට පාලන මිලේ සැලකිය යුතු බලපෑමක් නැති බවයි.

      වෙළඳපොළ යාන්ත්‍රනය ඉතා සංකීර්ණයි. සහල් කියා අපි පොදුවේ කිවුවත් හාල් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. රතු කැකුළු සම්බා වැනි නිශ්චිත හාල් වර්ගයක් ගත්තත් එහි විවිධ ප්‍රභේද තිබෙනවා. ඒ වගේම නිෂ්පාදකයා (හා සැපයුම් දාමය) අනුව ගුණාත්මක භාවය වෙනස් වෙනවා. එක් එක් පාරිභෝගිකයාගේ හාල් රුචිකත්වයන් වෙනස්. ඒ නිසා, වෙළඳපොළ විසින් විසඳන්නේ විචල්‍යයන් අති විශාල ප්‍රමාණයක් තිබෙන ඉතා සංකීර්ණ සමීකරණයක්. මේ සමීකරණයේ විචල්‍ය සියල්ල නිරීක්ෂණය කරන එක කිසිවෙකුට කරන්න බැරි දෙයක්. වෙළඳපොළ යාන්ත්‍රනය තුළ විවිධ හාල් මිලවල් විශාල ප්‍රමාණයක් මිස හාල් මිල කියා කිව හැකි තනි අගයක් නැහැ.

      වෙළඳපොළට මැදිහත්වන ආණ්ඩුවට කළ හැක්කේ සහල් වලට තනි පාලන මිලක් හෝ රතු කැකුළු, සම්බා ආදී ලෙස මිලවල් හතරක් පහක් නියම කරන එක පමණයි. අපි හිතමු රතු කැකුළු වලට නිශ්චිත පාලන මිලක් දැම්මා කියා. දැන් මේ මිල ගුණාත්මක භාවය අඩු රතු කැකුළු කිලෝවක සමතුලිත මිලට වඩා වැඩි වුවත්, ගුණාත්මක භාවය වැඩි රතු කැකුළු කිලෝවක සමතුලිත මිලට වඩා අඩුනම් ගුණාත්මක භාවය අඩු රතු කැකුළු පමණක් වෙළඳපොළට එනවා. එවැනි හාල් තොග ප්‍රමාණවත් තරමක් ගබඩා වල තිබේනම් රටේ හාල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. නමුත්, ගුණාත්මක භාවය වැඩි රතු කැකුළු වෙළඳපොළට එන්නේ නැහැ. තොග තිබෙන අයට බාල තත්ත්වයේ සහල් තොග වඩා පහසුවෙන් විකුණගන්න අවස්ථාවක් සැලසෙනවා.

      මේ වෙලාවේ ලංකාවේ සහල් ඉල්ලුම විශේෂයෙන් ඉහළ ගිහින් නැහැ. සැපයුම විශේෂයෙන් අඩු වී ඇති බවකුත් මම දන්නේ නැහැ. ඒ නිසා පාලන මිල නොතිබුණත් විශාල මිල ඉහළ යාමක් සිදු වෙයි කියා මම හිතන්නේ නැහැ.

      Delete
    2. ඉකොනෝ,

      පුළුවන් නං මේ කරණය ගැන ලිපියක් පල කරනවද? ලක්ෂ ගානක පිරිසකට සෘජුව බලපාන දෙයක් මේක. පොළොන්නරුව කියන්නේ රටේම අතිබහුතර ජනයාගේ ප්‍රධාන ආහාරවේල වග කරන ප්‍රදේශය. ඉතිං එතකොට එම ප්‍රදේශයේ වෙළෙන්දන් එම ආහාරය විකිණීමෙන් වලකිනවා කියන්නේ දැඩි අවධානය යොමුකළ යුතු දෙයක්. ලිපියක් බලාපොරොත්තු වෙමි.

      Delete
    3. හාල් හා අදාළව ආණ්ඩුව මේ වෙලාවේ ඇන ගැනීමක් කරයි කියලා මම හිතන්නේ නැහැ. පාලන මිල ක්‍රමය වෙනුවෙන් මම පෙනී නොසිටින බව ඔබ පැහැදිලිවම දන්නවානේ. එසේ වුවත්, මේ වෙලාවේ පාලන මිල සීමාකාරී වී ඇතැයි මම හිතන්නේ නැහැ. එහෙමනම් රට පුරා හාල් හිඟයක් ඇති වී එය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් විය යුතුයි. එසේ නොවීමෙන් පෙනෙන්නේ පවතින පාලන මිලට සහල් සැපයීමේ හැකියාවක් ඇති පිරිසක් රටේ සිටින බවයි. පොළොන්නරුවේ පමණක් සහල් විකිණීම නැවතී ඇත්නම් එය පාරිභෝගික මට්ටමේදී විශාල සමාජ ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නැහැ. පොළොන්නරුවේ ගොඩක් අය සතුව ගෙවල් වල වී/හාල් තොග තිබෙනවා. මෙය ව්‍යවසායකයින්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත්, කවුරු හෝ පිරිසක් අඩු මිලට සහල් සපයනවා කියන එකෙන් අදහස් වෙන්නේ එසේ කළ නොහැක්කේ සාපේක්ෂව අකාර්යක්ෂම අයට කියන එකයි. රටේ හාල් හිඟයක් නැත්නම් ඔවුන් වෙළඳපොළෙන් ඉවත් වීමේ වරදක් නැහැ. රටේ හාල් හිඟයක් ඇති වුවහොත් අනිවාර්යයෙන්ම රජයට පාලන මිල ගැන නැවත හිතා බලන්න වෙනවා.

      Delete
  2. වෛරස් තර්ජනය හා මුල්‍ය අර්බුදය මැද්දේ ශ්‍රී ලංකාව තව තවත් චීන ණය කන්දට යටවේ..! ඩො.බි. 4.8 ක ණය වාරිකයක් තිබියදී තවත් ඩො.බිලියනයක චීන ණයක් අරන්..!

    නීකී ඒෂියන් රිවීව් වාර්තාවක සිංහල පරිවර්තනය

    (2020.මැයි.17, ප.ව.4.45) අධික ණය පීඩාවට අමතරව කොරෝනා වෛරසය නිසා හටගත් ගැඹුරු මුල්‍ය අර්බුදයක් ඉදිරියේ තිබියදී, මෙතෙක් ලබාගෙන ඇති ණය වෙනුවෙන් මෙම වසර තුල ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් ගෙවීමට ඇති බවට වගේ වගක් නැති ශ්‍රී ලංකා ආණ්ඩුව තව තවත් චීන ණය ගොඩ වැඩි කර ගනිමින් සිටින වගක් පෙනෙන්ට තිබේ.
    හම්බන්තොට මාර්ග අලුත්වැඩියාවට රු. බිලියන 15 ක් මොකටද?

    අප්‍රියල් මාසය තුල ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 7.2 ($7.2b) දක්වා පහත බසිද්දී එල්ලෙන්නට වැලක් සොයන ජනධිපති ගෝටාබය රාජපක්ෂ පසුගිය මාස දෙක තුල දෙවතාවක් චීනය වෙත අත පා ඇත. මේ දක්වා බීජින් වෙතින් ඩොලර් මිලියන 500 ($500m )ක කඩිනම් වෛරස් ණය සහනයක් ලබා දී ඇත. මේ අතර මාර්ග කිලෝ මීටර් 105 ක් අලුත්වැඩියා කිරීම සඳහා තවත් ශ්‍රී ලංකා රුපියල් බිලියන 15 ක ($80m) ණයක් චීන සංවර්ධන බැංකුව (Chinese Development Bank ) වෙතින් ලබාගැනීම සඳහා වන යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත. (මෙම සියළු මාර්ග ඇතුලත් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට පමණි) බුර බුරා නැගෙන මුල්‍යමය අර්බුදයක් අබියස, මාර්ග ව්‍යාපෘතියක් සඳහා මුදල් සෙවීම පිලිබඳ දසතින් විරෝධය නැගෙමින් පවතී. මේ දක්වා රෝගීන් 1000 කට වඩා අඩුවෙන් වාර්තා කොට ඇති ශ්‍රී ලංකාව KOVID -19 ට එරෙහි සටනේ යම් ප්‍රගතියක් ලබා සිටීන නමුත් නැග එන ණය උදම් රළට එරෙහි සටනේ එවැනි ප්‍රගතියක් නොපෙන්වයි. රජයේ ඉහල ප්‍රකාශකයෙකුට අනුව මෙම අමතර ණය පහසුව මගින් අය වැය පරතරයේ සුවිශාල හිඩැසක් පියවා ගැනීමට රජය බලාපොරොත්තු වේ.

    ආර්ථික කටයුතු ප්‍රතිසංස්කරණ පිලිබඳ හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසන පරිදි අවම වශයෙන් ඩොලර් බිලියන එකක ($1B) වැඩිදුර ණය ලබාගැනීම සඳහා රජය චීනය සමග ගිවිසුම් ගත වී ඇති අතර මින් ඩොලර් මිලියන 500ක මුදලක් ($500m) මාර්තු මස රජයට ලැබී ඇත. කෙසේවතත් මාර්ග සංවර්ධනය වෙනුවෙන් ණය ලබාගැනීම ඔහුගේ දැඩි විවේචනයට ලක්විය.” මෙවැනි වියපෘති මේ අවස්ථාවේ ප්‍රමුඛත්වයක් නොවේ. මේ ණය ගන්නේ දැනට තිබෙන මහාමාර්ග වැඩි දියුණු කරන්න. අපිට මේක පසුව කරන්න පුළුවන්” යයි ද සිල්වා Nikkei Asian Review වෙත ප්‍රකාශ කළේය.
    ද්‍රව්‍ය 156 ක් ආනයනය සීමා කළා...

    දකුණු ආසියානු දූපත් රාජ්‍ය දරුණු මුදල් හිඟයකට මුහුණ පා ඇත. අන්තර් ජාතික මුල්‍ය අරමුදල (IMF) ඇස්තමේන්තු කරන පරිදි ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ සහ පළාත්සභා වල සමස්ත අයවැය හිඟය, එනම් රජයේ දල ණය ප්‍රමාණය 2020 තුල දල ජාතික නිෂ්පාදනයෙන් 9.4% දක්වා වර්ධනය වනු ඇත. මේ අනුව වසංගතයේ ආර්ථික බලපෑම මත පසුගිය වසරේ මෙම අගය වූ 6.8% ට වඩා විශාල වැඩිවීමක් පෙන්නුම් කරයි.

    රට මුහුණදී ඇති මුල්‍ය අර්බුදයෙන් ගොඩ එන මගක් ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මිලියන1.2 වූ රජයේ සෙවකයන්ගෙන් ඉල්ලා සිටියේ අය වැය පරතරය පියවීම සඳහා මැයි මස සම්පූර්ණ වැටුප හෝ කොටසක් නැවත රජය වෙත පරිත්‍යාග කරන ලෙසයි. අප්‍රියෙල් මස තුල ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල 200.46 දක්වා වාර්තාගත අවප්‍රමාණ වීමක් වාර්තා කළ අතර මේ හේතුවෙන් ආහාර, මත්පැන් සහ ඇඟලුම් ඇතුළු ද්‍රව්‍ය 156 ක් ආනයනය සීමාකිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේය.
    රජයේ මුළු ණය රුපියල් ට්‍රිලියන 13 යි.. (13,000,000,000,000/-)

    මේ වසර තුල ඩොලර් බිලියන 4.8ක් ($4.8b) ණය වාරික වශයෙන් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. ශ්‍රී ලංකා මහා බැංකුවට අනුව වසර 2019 අවසාන වන විට රජයේ මුළු ණය රුපියල් ට්‍රිලියන 13 වූ අතර මින් ට්‍රිලියන 6.4 ක ප්‍රමාණයක් විදේශ ණය අතරට අයත් විය. මහ බැංකුව විදේශ ණය ප්‍රමාණය විස්තරාත්මකව ඉදිරිපත් නොකළ ද හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගිය වසරේ Nikkie සමග පවසන ලද පරිදි චීන ණය ප්‍රතිශතය සමස්ත විදේශ ණයෙන් 9% ක අගයක් ගනී. මේ අතර පුද්ගලික අංශයේ විශ්ලේෂකයකු ප්‍රකාශ කළ පරිදි මෙය 15% ට වඩා අඩු අගයක් ගනී.

    ReplyDelete
    Replies
    1. චීනය ඉතා සතුටින් උදව් කිරීමට ඉදිරිපත් වී සිටින අතර අප්‍රියෙල් 29 වන දින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග හමුවක දී ශ්‍රී ලංකාවේ චීන තානාපති හු වේ ප්‍රකාශ කර සිටියේ සිය අති විශේෂ මිතුරකු වන ශ්‍රී ලංකාවේ ආර්ථිකය පණ ගැන්වීම සඳහා සහය වීමට චීනය සුදානම් බවයි. චීන රජයේ ආධාර වලට අමතරව චීන සමාගම් වල සහ බැංකු වලද නොමසුරු සහය ශ්‍රී ලංකාව වෙත ලැබෙන බව හු ප්‍රකාශ කළේය. මෙහිදී රාජපක්ෂ ප්‍රකාශ කළේ තම ප්‍රධාන අරමුණ වන්නේ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම බවයි. “ විදේශ ආයෝජන සඳහා අවස්ථා රාශියක් තිබෙනවා. චීනය සහ වෙනත් රටවලට මෙම අවස්ථා වලින් ප්‍රයෝජන ගන්නා ලෙස මම ආරාධනා කරනවා.” යයි රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
      චීනය දෙසට වැඩි නැඹුරුවක්..

      මහා බැංකු මුල්‍ය ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ සභාපති සිරිමල් අබේරත්න ප්‍රකාශ කළ පරිදි රජය ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (World Bank, Asian Development Bank & International Monetary Fund) සමග ද සාකච්ඡා කරමින් සිටී. “රජය චීනය දෙසට වැඩි නැඹුරුවක් දක්වන්නේනම් ඒ සඳහා සාධාරණ හේතු පවතී. චීනය මේ වන විට COVID-19 අර්බුදය පාලනය කොටගෙන ඇති අතර වඩාත් කඩිනමින් පහසු කොන්දේසි යටතේ ණය ලබාගැනීමට හැකිවනු ඇත” යයි අබේරත්න වැඩි දුරටත් පැවසීය.

      කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ වඩාත් සුබදායක ස්ථාවරයක් ගනිමින් ප්‍රකාශ කළේ ආර්ථිකය කඩිනමින් නැගීසිටිනු ඇති අතර ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (World Bank, Asian Development Bank & International Monetary Fund) අවම වශයෙන් මස 6 ක ණය සමා කාලයක් ලබාදෙනු ඇති බවයි. චීනය සහ ජපානය වැනි රටවල්ද මේ අසීරු අවස්ථාවේ අත්‍යවශ්‍ය ඉඩකඩක් ලබාදෙනු ඇති බවට ඔහු තව දුරටත් විශ්වාසය පල කළේය.

      ගෝටාබයගේ වැඩිමහල් සහෝදරයා වන වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුල ශ්‍රී ලංකා රජය සිය සංවර්ධන ව්‍යාපෘති සඳහා අධික ලෙස චීන ණය ලබාගැනීමට කටයුතු කළේය. මේ අතර චීන රජයද උපක්‍රමික හේතු මත මෙම දූපත් රාජ්‍ය තුල සිය ආයෝජන පුළුල් කිරීමට කටයුතු කළේය. රාජපක්ෂගේ බල ප්‍රදේශය වන දකුණේ හම්බන්තොට, ඩොලර් බිලියන 1.5 ($1.5b) වියදමින් ඉදිකළ අන්තර්ජාතික වරාය මෙසේ චීන මුල්‍ය පහසුකම් සැපයූ එක් ව්‍යාපෘතියකි. කෙසේ වෙතත් මෙම වරාය දිගින් දිගටම පාඩු ලබන තත්වයක් යටතේ, වසර 2017 දී ඩොලර් බිලියන 1.1 ($1.1b) මුදලකට 99 අවුරුදු බදු ගිවිසුමක් චීනය වෙතම පැවරීමට ශ්‍රී ලංකා රජයට සිදුවූ අතර මේ මගින් චීන ණය බරින් යම් සහනයක් ලබාගැනීමට හැකි විය ෴

      -2020 මැයි 15 දා නිකී ඒෂියන් රිවීව් වෙත මුන්සා මුස්ටාක් ලියූ Sri Lanka piles on more Chinese loans amid virus and debt crisis නම් ලිපිය

      Delete
    2. ඉකොනෝමැට්ටා, ඩොලරයේ අගය රුපියල් 200 සිට 185 දක්වා අගය වීම සම්බන්දයෙන් ඉහත පුවතේ සම්බන්ධයක් තිබේද?

      Delete
    3. කමෝන් ඉයන්, මෝඩ පොහොට්ටු කොටලුවන්ට කනේ ඇඟිලි ගහගන්න කියලා තියනවා. රුසියාවට වඩා ඉරිසියාව ලොකුයි කිව්වා වගේ මෙතන ඉන්න රාජපක්ෂ කල්ලියේ පඩි ලබමින් ඔවුන් විසින් නඩත්තු කරන කාලකණ්ණි කුලී කරුවන් ගේ තියන කුහක කමයි අමන කමයි කොරෝනා වලටත් වඩා ලොකු වෛරසයක්. මැරුණත් ඕකුන්ට ඔය ලෙඩේ හොඳ වෙන්නේ නැහැ පෙරේත හැත්ත. තමන් තමයි ලෝකේ ඉන්න එකම දේශපාලන ඒකාධිකාරිය කියලා හිතන් ඉන්නේ සැමන්ටින් පුන්නක්කු වහල් බයි හරක්. හොඳ දේ හොඳ ලෙස දකින්න නොහැකි වන්නේ එක්කෝ ඌ අවජාතකයෙක් එහෙම නැත්නම් රාජපක්ෂ කල්ලියේ වහලෙක්.

      Delete
    4. මේ වෙලාවේ ලංකාවට විදේශ ණය නොගෙන සිටීමේ කිසිදු හැකියාවක් නැහැ. තිබෙන විදේශ ණය වල වාරික හා පොලිය ගෙවන්න වෙන්නේ අනිවාර්යයෙන්ම කවර ආකාරයකින් හෝ අළුත් විදේශ ණය අරගෙනයි. එසේ නොකළහොත් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇවිත් ආර්ථිකයේ පෙර කිසි දිනක නොවූ වීරූ විශාල කඩා වැටීමක් වෙනවා. ලංකාවට රුපියල් අච්චු ගැහුවට ඩොලර් අච්චු ගහන්න බැහැ. අවුලට හේතුව කෝවිඩ්-19 ප්‍රශ්නය මතු වන තුරු දශක ගාණක් තිස්සේ ලංකාවේ විවිධ ආණ්ඩුව වල ආර්ථික ප්‍රතිපත්ති වුවත්, මේ වෙලාවේ කවුරු බලයේ හිටියත් වෙන විකල්පයක් නැහැ.

      අවුල තිබෙන්නේ දැන් පවතින ප්‍රශ්නය හමුවේ ක්ෂණික විසඳුමක් ලෙස ණය ගැනීමේ නෙමෙයි. කාලයක් තිස්සේ තිබුණු, දැන් උග්‍ර වී තිබෙන දිගුකාලීන ප්‍රශ්නය මේ හරහා තවත් උග්‍ර කිරීම තුළයි. අනිවාර්යයෙන්ම රුපියල ස්ථාවර වෙන්නේ ණය සල්ලි වල ශක්තියෙන්. එය දිගුකාලීනව ප්‍රශ්නය උග්‍ර කරනවා. මේ වෙලාවේ විදේශ ණය ලබා ගත යුත්තේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳගන්න අවශ්‍ය නිසා මිසක් රජයේ අයවැය හිඟය පියවා ගැනීමේ අරමුණින් නෙමෙයි. මෙය කියවන විපක්ෂ දේශපාලනඥයින්, මාධ්‍යවේදීන් හෝ රට ගැන හිතන ආණ්ඩුවට හිතවත් අය විසින් අසා හෝ සොයා දැන ගත යුත්තේ ලබා ගත් ණය මුදල කොපමණද කියන එක නෙමෙයි. පහත ප්‍රශ්න දෙකට පිළිතුරුයි.

      - ලබාගත් ණය මුදලින් කොපමණ ප්‍රමාණයක් ඇත්තටම රටට එනවද? කොපමණ ප්‍රමාණයක් ගිවිසුමේ කොන්දේසි අනුව නැවත ආපසු චීනයටම යනවද? මාර්ග හැදීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකටම ලබා දිය යුතුනම් බොහෝ විට ඇත්තටම සල්ලි එන්නේ නැහැ. චීනයෙන්ම ගේන අමුද්‍රව්‍ය, චීනයෙන් ගේන කම්කරුවන්ගේ වැටුප්, චීන සමාගමේ ලාබය ආදී ලෙස වැඩි කොටසක් ආපසු චීනයටම යනවා.

      - ලබාගත් ණය වෙනුවෙන් පොලී ලෙස කොපමණ මුදලක් කොපමණ කාලයකින් ගෙවිය යුතුද? ඇතැම් විට පොලී ලෙස ආපසු ගෙවන්න සිදුවන මුදල ලැබෙන මුදලට වඩා වැඩි වෙන්න වුනත් බැරි නැහැ.

      මේ ප්‍රශ්න වලට පිළිතුරු කාට හෝ හොයාගෙන මෙහි දමන්න පුළුවන්නම් වැඩි දුරට අදහස් දක්වන්නම්. බොහෝ විට ලංකාවේ ප්‍රශ්නය ණය ගැනීම නෙමෙයි. ණය ගැනීමේදී එකඟවන කොන්දේසි වල ස්වභාවයයි.

      Delete
    5. //බොහෝ විට ලංකාවේ ප්‍රශ්නය ණය ගැනීම නෙමෙයි. ණය ගැනීමේදී එකඟවන කොන්දේසි වල ස්වභාවයයි.//

      ඒකට තව එක කරුණක් අඩුද මන්දා. 'මේ ණයවලින් ගොඩක් ගැනීමට අවශ්‍යම ඒවාද?'

      Delete
    6. ඔබ පෙන්වා දෙන කරුණ නිවැරදියි. අලුතෙන් ණය ගන්න හැම වටයකදීම වගේ බොහෝ විට වෙන්නේ පරණ ණය හා වාරික ගෙවන්න අවශ්‍ය මුදල සමඟ තව ටිකක් වැඩියෙන් ගන්න එකයි.

      Delete
    7. ඉකොනෝ,
      නය දෙන රටවල් එතකොට නය දෙන්නේ කුමක් බලාපොරොත්තුවද? ඔවුනුත් දන්නවා ඇතිනේ ලංකාවට නය ගත්තට එව්වා ආයේ ගෙවන්න වෙන්නේ ඔවුන්ගේම නයක් අරං කියලා. චීනයේ නය වාරික ගෙවන්න චීනයෙන්ම නයක් දෙනවා. මොකක්ද මේකේ අවසානය?

      Delete
    8. හොඳ ප්‍රශ්නයක්. බැංකුවෙන් ණයක් ගන්න බැරි, බංකොලොත් වී ඉන්න කෙනෙක්ට පොලී මුදලාලි ණය දෙන්නේ ඇයි? ණය අවදානම ඉහළ යද්දී ණය දෙන අයගේ අපේක්ෂිත ප්‍රතිලාභත් ඉහළ යනවා. අවදානම කොයි තරම් වැඩි වුනත් ඒ අවදානමට සරිලන ප්‍රතිලාභ තිබේනම් කෙනෙක් ණය දෙන්න පැකිලෙන්නේ නැහැ. ඔක්තෝබර් 4 දින 106.25ක් ගෙවන ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කරයක් පැය හතරකට පෙර විකිණුනේ 79.15කට. මාස 4.5කින් 34%ක ප්‍රතිලාභයක් ඩොලර් වලින්. ඔය වගේ විශාල ප්‍රතිලාභයක් වෙනුවෙන් මිනිස්සු අවදානම් ගන්නවා. සක්විති ළඟ මුදල් තැන්පත් කළා වගේ. චීනයත් ණය දෙනවා ඇත්තේ අවදානමට සරිලන ප්‍රතිලාභ බලාගෙන.

      Delete
    9. ඉකොනෝ,
      බැංකුවෙන් නයක් ගන්න බැරිව අසාදු වෙලා ඉන්න කෙනෙක්ට පොලි මුදලාලි කෙනෙක් උනත් නයක් දෙන්නේ නයහිමියාට ආපහු ඒක වැඩි පොලියත් එක්ක ගෙවන්න පුළුවන් කියලා හිතලනි. එහෙම නැත්තං නය දෙන්නේ ගෙවාගන්න බැරිබව දැනගෙනම, වෙනත් වාසියක් බලාපොරොත්තුව. ඒ කියන්නේ නය හිමියාගේ ඉඩමකට ඇහැ ගහගෙන. නැත්තං නය හිමියාට රූමත් බිරිඳක්, දියණියක් ඉන්නවා නං ඒකට ඇහැගහගෙන වගේ.

      ලංකාවේ නය වාරික ගෙවන්න තවත් නය දෙන චීනය කොහොම කල්පනා කරනවා ඇත්ද? ලංකාව කවදහරි පොලියත් එක්ක ගෙවයි කියලා හිතනවා ඇත්ද? නැතිනම් වෙනින් වාසියක් බලාගෙනද? මොකක්ද මේ ගැන අදහස? එහෙමත් නැතිනම් මිතුරෙක් විදියට උදව් කිරීමේ බලාපොරොත්තුවත්ද?

      හදිසියේ ලංකාව නය වාරික නොගෙවා හිටියොත් මොකක්ද වෙන්නේ? උදාහරණයක් විදියට චීනයේ නය නොගෙවා හිටියොත්? ලංකාවට නය දෙන අනෙකුත් රටවලුත් නය නොදී ඉදිද? ලංකාවේ අපනයන වගේ එව්වා චීනයට එතරම් යන්නේ නැති නිසා ලංකාවේ අපනයන චීනය එපා කිව්වොත් එතරම් බලපෑමක් වෙන එකක් නැද්ද? අනෙකුත් රටවල්, IMF එකට මොනවද කරන්න පුළුවන් එතකොට?

      Delete
    10. ඔබ අහල තිබෙන හැම දෙයක්ම පැහැදිලි කරන්නනම් ලිපි මාලාවක් දමන්න වෙනවා. එය අපි ඉඩ ලැබෙන පරිදි කරන්න බලමු. ආර්ථික විද්‍යාවේ වපසරියේ තිබෙන එක් කරුණක් ගැන කෙටියෙන් කියන්නම්. ඔබ දන්නා පරිදිම ලංකාව චීනයෙන් මිල දී ගන්නා දේවල් එක්ක බැලුවහම චීනය ලංකාවෙන් මිල දී ගන්නා දෙයක් නැති තරම්. මේ වගේ තත්ත්වයක් දිගින් දිගටම පවතින්න බැහැ. තනිව මේ කරුණ ගත්තොත් ගෙවුම් ශේෂය එක වසරකදී ධනනම් අනෙක් වසරේ සෘණ වෙන්න ඕනෑ. එය එසේ නොවෙන්නනම් වෙනත් යම් කිසි දෙයක් සිදු විය යුතුයි.

      මෙහිදී එසේ සිදුවන වෙනත් දෙය ඇමරිකාව හා යුරෝපය එක්ක දිගින් දිගටම ලංකාව විසින් පවත්වාගෙන යන ධන වෙළඳ ශේෂයයි. ලංකාව බටහිර රටවලට භාණ්ඩ ආනයන කර උපයන විදේශ විණිමය චීනයට හා ඉන්දියාවට වියදම් කරනවා. ඒ අනුව ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාම ඉන්දියාවේ හා චීනයේ වාසියට හා බටහිර රටවල අවාසියට සමතුලිත වෙනවා. මෙයට තවම බටහිර රවලින් විශාල ප්‍රතිරෝධයක් ඇවිත් නැති නිසා තත්ත්වය මෙලෙස පවතිනවා. එවැනි ප්‍රතිරෝධයක් තවම ඇවිත් නැත්තේ ඇමරිකාව වගේ රටක ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව මේ අවාසිය විශාල නොවීමයි. එහෙත්, ජාතිකවාදී ප්‍රවණතා එක්ක මේ තත්ත්වය ඉදිරියේදී වෙනස් වෙන්න ඉඩ තිබෙනවා.

      චීන ආර්ථිකයේ වර්ධනය බොහෝ දුරට රඳා පවතින්නේ රටේ පරිභෝජනයට වඩා නිෂ්පාදනයක් කිරීම මතයි. එම අතිරික්තය කාට හෝ විකුණාගත යුතුයි. කාලයක් තිස්සේම චීනය මේ අතිරික්තය වැඩිපුරම විකුණුවේ බටහිර රටවලට. අනෙක් අතට ඒ වගේ අතිරික්තයක් දිගුකාලීනව තිබීමම විකෘතියක්. එයින් අදහස් වෙන්නේ රටේ මිනිස්සුන්ගේ ශ්‍රමයේ ප්‍රතිලාභ වලින් කොටසක් ඒ මිනිස්සුන්ට ලැබෙන්නේ නැහැ කියන එකයි. එසේ ලැබෙනවානම් නිෂ්පාදනය වැඩිවීමට සමාන්තරව ඒ මිනිස්සුන්ගේ පරිභෝජනයත් වැඩි විය යුතුයි.

      ධනවාදී රටකනම් එය එලෙස සිදු වෙනවා. එහෙත්, චීනය ධනවාදී රටක් නොවන නිසා චීන රජයට රටේ නිෂ්පාදිතයෙන් විශාල කොටසක් මිනිස්සුන්ට යන්න නොදී ඉවත් කර ගන්න පුළුවන්. චීනය සතු වෙළඳ අතිරික්තයෙන් නිරූපණය වෙන්නේ චීන මිනිස්සු උපයන සැබෑ අදායමෙන් ඔවුන්ගේ පරිභෝජනය සඳහා නොලැබෙන කොටසක්. මේ ප්‍රමාණයට රටෙන් එළියට භාණ්ඩ ගියත් රට ඇතුළට භාණ්ඩ එන්නේ නැහැ. ඒ වෙනුවට එන්නේ ඩොලර් නෝට්ටු. ඒ කියන්නේ කඩදාසි කෑලි.

      ඇමරිකාවේ ආණ්ඩුවට මේ කඩදාසි වියදමක් නැතිව මුද්‍රණය කරන්න පුළුවන්. වෙන රටක් ඒ වැඩේ කළොත් රටේ උද්ධමනය ඉහළ යනවා. අන්තිමට මේ කඩදාසි කෑලි වල වටිනාකමක් නැති වෙනවා. නමුත්, ඇමරිකාව හා අදාළව ගත් විට පැත්තක ඉන්න චීනය වගේ රටවල් මේ වටිනාකමක් නැති (විශ්වාසය මත පදනම් වූ නාමික වටිනාකමක් පමණක් ඇති) කඩදාසි කෑලි අරගෙන ඒ වෙනුවට ඇමරිකාවට පරිභෝජනය කළ හැකි භාණ්ඩ එවන නිසා ඇමරිකාව එක පැත්තකින් සල්ලි අච්චු ගහද්දී අනික් පැත්තෙන් ඒ සල්ලි භාණ්ඩ බවට පත් වෙනවා. ඒ නිසා රටේ උද්ධමනයක් ඇති වෙන්නේ නැහැ. පසුගිය ආර්ථික අවපාතය වෙලාවේ වගේම මේ අවස්ථාවේදීත් ඇමරිකන් ආණ්ඩුවට රටේ මිනිස්සුන්ට ලෝබ නැතිව ඩොලර් බෙදන්න හැකි වී තිබීමේ රහස එයයි. වෙන රටක් මෙය කළානම් උද්ධමනය ඉහළ ගිහින්, ජාතික ව්‍යවහාර මුදල අවප්‍රමාණය වෙලා ආර්ථිකය කඩා වැටෙනවා.

      Delete
    11. දැන් මේ නාමික වටිනාකමක් තිබෙන සල්ලි වසරින් වසර චීනයේ ගොඩ ගැහෙනවා. ඒ වෙනුවෙන් චීනය සැබෑ ආයෝජනයක් කර තිබෙනවා. ඒ නිසා ඒ ආයෝජනය වෙනුවෙන් ප්‍රතිලාභ නැත්නම් එය පාඩුවක්. ප්‍රතිලාභ ලැබිය හැකි එක ක්‍රමයක් වන්නේ ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා ඒ සල්ලි නැවත ඇමරිකාවටම දී පොලී ආදායමක් ලබා ගැනීමයි. නමුත්, මෙහිදී ලංකාව හා චීනය අතර ගනුදෙනු වලදී මෙන් චීනයෙන් ඇමරිකාව සල්ලි ඉල්ලා සිටීමක් වෙන්නේ නැහැ. එහි අනිත් පැත්තයි වෙන්නේ. චීනය ඇමරිකාවේ දේශීය ආයෝජකයින් සමඟ තරඟකර ඇමරිකානු රජයේ ණය "මිල දී ගත යුතුයි". මෙහිදී චීනයට හෙට්ටු කිරීමේ හැකියාවක් නැති නිසා ලැබෙන්නේ ඉතාම සුළු පොලියක්. පොලී ආදායමක් නැති තරම්.

      මේ විදිහට එකතු වන සල්ලි ලංකාව වගේ රටකට ණය විදිහට දෙන එක චීනයට විශාල වාසියක්. මොකද එක පැත්තකින් කරන්න දෙයක් නැතිව නිකම් තිබෙන සල්ලි. අනික් පැත්තෙන් මේ සල්ලි ලංකාව වගේ රටකට දෙන එකේ තවත් වාසි කිහිපයක් තිබෙනවා.

      බොහෝ විට සල්ලි දෙන්නේ චීනයෙන් කොන්දේසි සහිතවයි. චීනය පාරක් හදන්න ආධාර කළ විට ඒ සඳහා චීන සමාගමකට කොන්ත්‍රාත් දිය යුතුයි. චීන සමාගම බොහෝ විට උපයෝගී කරගන්නේ චීන අමුද්‍රව්‍ය හා යම් තරමකට චීන ශ්‍රමය. ඒ නිසා, ඇත්තටම සල්ලි වලින් වැඩි කොටසක් යන්නේ එම චීන සමාගමටයි.

      එය එසේ නොවුනත් ලංකාව හා චීනය අතර තිබෙන චීනයට වාසිදායක වෙළඳ ශේෂය දිගටම පවත්වා ගන්නනම් මොන විදිහකින් හෝ ලංකාවට විදේශ විණිමය ලැබිය යුතුයි. එසේ නොවුනහොත් රුපියල අවප්‍රමාණය වී චීන බඩු මිල අධික වෙනවා. චීන බඩු වලට ලංකාවේ තිබෙන මිල වාසිය නැති වූ විට ලංකාවේ දේශීය කර්මාන්ත හිස ඔසොවනවා. වෙනත් තෙවන රටක කෝණයෙන් බැලූ විට චීනයට සාපේක්ෂව ලංකාවේ ශ්‍රමය ලාබ වෙනවා. එවිට ඒ ලාබ ශ්‍රමය හොයාගෙන තෙවන රටවල ආයෝජන චීනයෙන් ලංකාවට එනවා. ලංකාව වැනි රටවලට දිගින් දිගටම ණය දෙමින් රුපියල පහළින් තියාගන්න උදවු කළ තරමට චීනයට ලංකාවේ දේශීය ආර්ථිකය ඔලුව උස්සන එක වලක්වා දිගින් දිගටම චීන බඩු ලංකාවේ විකුණන්න පුළුවන්. ඒ අතරම කරන්න දෙයක් නැතිව නිකම් තියෙන ඩොලර් වලට ලැබෙන පොලී ආදායම් ලෙස විශාල මුදලක් උපයන්නත් පුළුවන්.

      චීනය සමඟ ණය ගැනීමේදී රටවල් දෙකක් ලෙස සැලකුවහොත් ලංකාවට හෙට්ටු කිරීමේ හැකියාව වැඩි විය යුතුයි. මොකද චීනය ලංකාවට දෙන්නේ කාගේ හෝ ඇඟේ ගහන්න අවශ්‍ය සල්ලි. ලංකාවේ විසින් හෙට්ටු කිරීම සිදු නොවෙන්නනම් ලංකාව පුළුවන් තරම් හිරවෙන්න අරින්න ඕනෑ. වෙන විකල්ප නැති වූ විට හෙට්ටු කරන්න බැහැ. මෙය කළමනාකරණය කර ගැනීමේදී ආර්ථික උපාය මාර්ග සමඟ දේශපාලන උපාය මාර්ග එකතු වෙනවා.

      ලංකාව හා බටහිර රටවල් අතර වෙළඳ ශේෂය ලංකාවට වාසිදායක නිසා ලංකාවට එම රටවල් එක්ක කොහොමටවත් හෙට්ටු කරන්න බැහැ. ඉන්දියාවෙන් හා චීනයෙන් ශුද්ධ ආනයන වෙනුවෙන් වැය කරන්නේ එසේ ලැබෙන අමතර මුදලට නොවැඩි මුදලක්නම් ලංකාවට බටහිර රටවලින් ලැබෙන ඩොලර් වල ශක්තියෙන් චීනය හා ඉන්දියාව එක්ක සාර්ථකව හෙට්ටු කරන්න පුළුවන්. එහෙත්, ලංකාව ඊටත් වඩා වැඩියෙන් ආනයනය කර හිර වෙන නිසා එය කරන්න බැහැ. ආනයන සීමා කිරීම මෙයට විසඳුමක් නොවන්නේ එසේ කළා කියා රට තුළ ඉන්දියාවට හා චීනයට වඩා අඩුවෙන් බඩු හදන්න බැරි නිසයි. ඒ නිසා රටේ හදන බඩු රට ඇතුලෙ මිසක් රටින් පිටත විකුණන්න බැහැ.

      රුපියලේ අගය අවශ්‍ය පමණ ඉහළ යන්න ඇරියානම් ලංකාව ඇතුළේ චීන හා ඉන්දියානු බඩු මිල අධික වන නිසා ඊට සාපේක්ෂව දේශීය නිෂ්පාදන මිල අඩු වී ආනයන වෙනුවට ආදේශ වෙනවා. සීනි කිරිපිටි වගේ දේවල් වෙනුවට වුනත් දේශීය නිෂ්පාදන ආදේශ වෙනවා. ආයේ ආනයන තහනම් කරන්න දෙයක් නැහැ. හැබැයි මේ වැඩේ වෙන්නනම් මිල ඉහළ යන්න දෙන්න වෙනවා. රුපියල අවප්‍රමාණය වෙද්දී බදු සහන හෝ පාලන මිල හරහා මේ භාණ්ඩ වල මිල පහළින් තියා ගත්තොත් දේශීය නිෂ්පාදකයාට ඒ වාසිය ලැබෙන්නේ නැහැ.

      දේශීය ආර්ථිකය නැංවීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස බදු සහන දෙනවානම් දෙන්න ඕනෑ ආනයනික පාරිභෝගික භාණ්ඩ වලට නෙමෙයි. දේශීය කර්මාන්ත බිහි කිරීමට ඉවහල් වන යන්ත්‍ර සූත්‍ර වැනි අන්තර්-භාණ්ඩ වලටයි. ආනයන ආදේශක වලට සැබෑවටම වෙළඳපොළ ජයගන්න පුළුවන් වෙන්නේ එසේ කළ විටයි.

      Delete
  3. ඉකොනෝ.
    1. සංඛ්‍යාලේඛන සහ fine data අනුව ඔබේ මෙම ලිපියෙන් මම එන නිගමනය ධනවාදය යනු ස්වභාවික ප්‍රපංචයක් බවයි. එනම්, තාපගති විද්‍යාවේ දෙවැනි නියමයට අනුව ධනවාදයේ චලන දිශාව විශ්වයේ disorder එක වැඩි කරන දිශාවටයි. ඊට ප්‍රතිපක්ෂව මාක්ස්-ලෙනින්වාදය විසින් යෝජනා කරන පරිදි ධනවාදයට එරෙහි වීම යනු ස්චභාවයට එරෙහි වීමයි. මොන ජගතාටවත් දෙවැනි නියමයට එරෙහි විය නොහැකි නිසා අද දවසේ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටීම යනු නිශ්ඵල ක්‍රියාවක්, ඵල රහිත දෙයක් කියාද ඔබ කියන්නේ? ලෝකය විග්‍රහ කර ගැනීමට pi අගය (22/7) පමණක් ප්‍රමාණවත් නොවේ. එහි සම්පූර්ණ චිත්‍රය සාදා ගැනීමට Euler constant එක - e අගයද- බෙහෙවින් අවශ්‍ය නොවේද?

    2. මිනිස් සමාජය ආර්ථික , විද්‍යාත්මක සහ සදාචාරාත්මක දියුණුවක් කරා ඔසවා තැබීමේදී ධනවාදය විසින් කරන ක්‍රියාවන්ද නැත්නම් මාක්ස්-ලෙනින්වාදය විසින් සිදුකල ක්‍රියාවන් සහ පශ්චාත් මාක්ස්වාදය විසින් දැන් යෝජනා කරන ක්‍රියාවන්ගෙන් වඩාත් නිවැරදි වන්නේ කුමක්දැයි විනිශ්චය කිරීමට තුන්වැනි නිර්ණායකයක අවශ්‍යතාවය දැන් මතුවී ඇත. මා statisticsl thermodynamics ඒ සඳහා යෝජනා කරමි.

    3. ජවිපෙ (AKD) / පෙසපෙ (KG) / පෙප( x කණ්ඩායමෙන් කැඩී ගිය DKG පිල) සහ ඔ⁣බේ අවධානයට යොමු නොවූ සසපෙ අතුරින් යම්තාක් දුරකට හෝ ප්‍රගතිශීලී වන්නේ DKG ගේ පෙරටුගාමී පන්ෂය යැයි යන හැඟවුමක් ඔබේ කොමෙන්ටුවක මගේ ඇස ගැටුනා. එය එසේ නම් , ඔබ ඒ තීරණයට එලැඹීමට පැමිණි නිරීක්ෂණ සහ නිගමන කවරේදැයි කිව හැකිද? මා මෙහිදී වඩාත් අපේක්ෂා කරනුයේ ජවිපෙ බස් ගිවි තැබීම, පෙසපෙ නවක වදය දීම ආදී සිල්ලර කාරණා නොව ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක් ලෙස ඔබ දකින්නේ ද යන්නය.

    4. පොලොන්නරුවේ සහල් මිල අර්බුදය ගැන මේ බ්ලොගයේ කියවන්නෙක් ඉල්ලා ඇති ඉල්ලීම සියල්ලන් වෙනුවෙන් ඔබට කාරුණිකව ඉටු කල හැකිද?

    ජය!
    CP -C

    ReplyDelete
    Replies
    1. 1. ධනවාදය යනු ස්වභාවික ප්‍රපංචයක් කියන එක නිවැරදියි. නමුත්, ඒ තුළ ස්වභාවයට එරෙහි වීමේ ඉඩකඩ වලක්වා නැහැ. ස්වභාවය තුළ පරිණාමය කියන එක සිදු වෙන්නේම පවතින තත්ත්වය වෙනස් වීමේ ක්‍රියාවලිය සමඟයි. නමුත්, එහිදී කලින් සැලසුම් කළ නිශ්චිත දිශාවකට ඇදගෙන යාමක් සිදු වෙන්නේ නැහැ. පවතින තත්ත්වයට එරෙහිව යෝජනා වන විවිධ විකල්ප අතරින් වඩා හොඳ දේවල් ස්වභාවිකවම ඉතිරි වෙනවා. වඩා හොඳ දෙයක් නැත්නම් පවතින දෙය එසේම පවතිනවා. මාක්ස්-ලෙනින්වාදය විසින් කරන්නේ එක් නිශ්චිත මාර්ගයක් ප්‍රගතියේ දිශාව කියලා කලින් තීරණය කරලා සමාජය ඒ ඔස්සේ පරිණාමය කරවන්න හදන එකයි. ආගම් වලින් කරන්නෙත් ඒකමයි. ඒ අතින් මාක්ස්-ලෙනින්වාදය ආගමිකයි. හැබැයි කවර හෝ මැජික් එකකින් සමස්ත ලෝකයම එකවර සමාජවාදී වුනොත් ඒ ක්‍රමයට සෑහෙන කාලයක් බිඳ නොවැටී පවතින්න පුළුවන් කියා මම හිතනවා. බටහිර දියුණුව සෝවියට් වැසියන්ට පෙනුණේ නැත්නම් සෝවියට් ක්‍රමය තව කාලයක් පවතිනවා. අදටත් උතුරු කොරියාව වගේ ලෝකයට වැසුනු සමාජවාදී රටවල් තිබෙනවා. පිටත තත්ත්වය නොදකින තුරු ඇතුළේ මිනිස්සු වඩා හොඳ විකල්පයක් පිළිබඳව දැනුවත් වෙන්නේ නැහැ. මේ විදිහටම ලෝකයම කිසියම් ආගමික මූලධර්මවාදයකට තල්ලු වුනොත් එයත් පවතින්න පුළුවන්. මොකද අධ්‍යාපනය සැලසුම් කෙරෙන්නේ එම ක්‍රමය පවතින ආකාරයටයි. ඉන්දියාවේ කුල ක්‍රමය සහශ්‍ර ගණනක් බිඳ නොවැටී පැවතුණා. ඔබ කතා කරන තාපගති විද්‍යාව සමඟ තිබෙන සම්බන්ධය මා විසින් අධ්‍යයනය කර නැති නිසා ඒ ගැන මට බරපතල අදහස් දැක්වීමක් කරන්න බැහැ.

      2. ඔබේ අදහස විස්තරාත්මකව ලියන්න පුලුවන්නම් මෙහි ඔබේ නමින් පෝස්ට් එකක් වශයෙන් වුවත් පළ කිරීමට මම සූදානම්.

      3. ජවිපෙ (AKD), පෙසපෙ (KG) හා සසප කියන දේවල් වල අසූව අනූව දශක වල අසා නැති කිසිම අලුත් දෙයක් හමු වී නැහැ. මම ඇත්තටම ඔය පක්ෂ වල මතවාද ගැන හොයන්න එහෙමට කාලයක් යොදවන්නේ නැහැ. නමුත්, කවර හෝ අලුත්, වෙනස් අදහසක් අහම්බෙන් හෝ දැක්කොත් ඒ වෙනුවෙන් යම් කාලයක් යොදවනවා. එවැනි දෙයක් මේ පැරණි පක්ෂ වලින් මෑතකදී අහුවෙලාම නැහැ. සමහර අය කොයි කණ්ඩායමේද කියලා හරියටම දන්නෙත් නැති නිසා වැරදීම් වී තිබෙන්න පුළුවන්. දාස් කැපිටාල් එය ලියපු කාලයේ හැටියට හොඳ ප්‍රබන්ධයක්. නමුත්, අද වෙද්දී ආර්ථික විද්‍යාව කියන විෂයයත් පොදුවේ ලෝකයත් විශාල ලෙස වෙනස් වෙලා. පෙප අඩු වශයෙන් ඒ වෙනස්කම් වලට සංවේදීයි. ඒ කියන්නේ ඔවුන් නිවැරදියි හෝ ඔවුන් සමඟ මම එකඟ වෙනවා කියන එක නෙමෙයි. නමුත් ඔවුන් මේ වන විට පවතින ලෝකය තේරුම් ගන්න හෝ පැහැදිලි කරන්න උත්සාහ කරනවා කියා මම හිතනවා. මම උනන්දුවක් දක්වන විෂය පථය හා ඔවුන් වැඩිපුර කතා කරන විෂය පථය විශාල ලෙස අතිපිහිත නොවන නිසා මට දැඩි නිගමන වලට එන්න අමාරුයි. මට තේරෙන විදිහට ඔවුන් කතා කරන්නේ ධනවාදය ඇතුළෙන් වෙනස් කිරීමක් ගැන. ඔවුන්ගේ සංකල්ප වෙනස් වුවත් මේ අදහස සමඟ මට අවුලක් නැහැ. මොකද ධනවාදය කියන්නේ නිරන්තරයෙන් වෙනස්වන හා වෙනස්විය යුතු දෙයක්. ධනවාදයේ මූලික හරය නෙමෙයි. මූලික හරය එසේම තිබියදී මිනිසුන් අතර සිදුවන අන්තර්ක්‍රියා වල ස්වභාවය. ඔවුන් ලංකාවට සුදුසු ආර්ථික ප්‍රතිපත්තියක් ගැන බරපතල ලෙස කතා කරනු මම දැක නැහැ.

      4. පොලොන්නරුවේ සහල් මිල අර්බුදය ගැන මම මේ කමෙන්ට් එකේ ඇති දේ හැර හරියටම තොරතුරු දන්නේ නැහැ. ඇත්තටම කතා කළ යුතු ප්‍රශ්නයක් තිබෙන බව පෙනුනොත් වැඩිපුර දෙයක් ලියන්නම්.

      Delete
  4. ඉහක කොමෙන්ටුවට තුල ඇති සසපෙ, සසප ලෙස නිවැරදි විය යුතුයි.
    CP-C

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.