කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය 2.1%ක් ලෙස වාර්තා වෙනවා. ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදීද උද්ධමනය පැවතුනේ 2.1% ලෙසයි. ඒ අනුව, වසරේ අවසන් කාර්තුවේ සාමාන්‍ය අගයද 2.1%ක්. මේ අනුව, සුළි කුණාටුවේ බලපෑමෙන් පසුවද, උද්ධමනය තවමත් මහ බැංකුවේ ඉලක්ක පරාසයේ අවම සීමාව වන 3%ට වඩා අඩු අගයක්.
සුළි කුණාටුවේ බලපෑම නිසා ආහාර මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණද, උද්ධමනයෙහි වෙනසක් නොවීමට ප්‍රධාන හේතු දෙකක් බලපා තිබෙනවා. එයින් පළමුවැන්න වන්නේ ආහාර මිල ගණන් දෙසැම්බර් මාසය තුළ 3.9%කින් ඉහළ ගොස් තිබුණද, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ වල මිල මාසය තුළ සමස්තයක් ලෙස නොවෙනස්ව තිබීමයි. දෙවන හේතුව වන්නේ පසුගිය 2024 දෙසැම්බර් මාසයේදීද ආහාර මිල ගණන් 3.9%කින් ඉහළ යාමයි. උද්ධමනය ගණනය කරන්නේ පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව බැවින්, මෙම දෙසැම්බර් මාසය තුළ ආහාර මිල ඉහළ යාමේ බලපෑමද නිශේධනය වී තිබෙනවා. ඒ අනුව, දෙසැම්බර් මාසයේ උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති මට්ටමේම නැවතී තිබෙනවා.
මේ අනුව පෙනී යන්නේ සුළි කුණාටුවේ බලපෑමෙන් පසුව වුවද උද්ධමනය ප්‍රශ්නකාරී මට්ටමකට ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නොමැති බවයි. කෙටිකාලීනව එවැනි ප්‍රශ්නයක් නැතත්, මුදල් සැපයුම ප්‍රසාරණය වෙමින් පවතින ආකාරය අනුව, මහ බැංකුවට උද්ධමන අවදානම ගැනද සැලකිල්ලෙන් සිටීමට සිදු වෙනවා. මේ ගැන පසුව වෙනම ලිපියක කතා කරමු.
තවත් යහපත් ප්‍රවණතාවක් වන්නේ මාස දෙකක් එක දිගටම සෘණ අතට හැරී තිබුණු ජංගම ගිණුමේ ශේෂය නැවතත් ධන අතට හැරී තිබීමයි. නොවැම්බර් මාසය තුල ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 82ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ අනුව, ජංගම ගිණුමේ නොවැම්බර් දක්වා මාස එකොළහක ශේෂය ඩොලර් මිලියන 1,677.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වාහන ආනයන වෙනුවෙන් නොවැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 281ක් වැය වී ඇති අතර, වසරේ පළමු මාස එකොළහක කාලය ඇතුළත ඩොලර් මිලියන 1,746ක් වැය වී තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ වසරේ වාහන ආනයන වියදම ඩොලර් බිලියන දෙක ඉක්මවා යා හැකි බවයි. මුලින් ඇස්තමේන්තු කර තිබුණේ වාහන ආනයන වෙනුවෙන් ඩොලර් බිලියනයක් පමණ අවශ්‍ය වනු ඇති බවයි.
විදේශ අංශය, විශේෂයෙන්ම විදේශ සංචිත, මුලින් අපේක්ෂා කළ ඉලක්ක වලට සාපේක්ෂව අයහපත් මට්ටමක තිබීමටත්, රාජ්‍ය ආදායම් මුලින් සිදු කළ ඇස්තමේන්තු සැලකිය යුතු ලෙස ඉක්මවා යාමටත් හේතු වී තිබෙන්නේ මේ අයුරින් වාහන ආනයන සැලකිය යුතු ලෙස ඉහළ යාමයි. ඉදිරි වසර තුළ වාහන ආනයන සාමාන්‍ය මට්ටමක් දක්වා අඩු වෙද්දී රාජ්‍ය ආදායම් කෙරෙහි වූ සාධනීය බලපෑම මෙන්ම විදේශ අංශය කෙරෙහි වූ නිශේධනීය බලපෑමද ආපසු හැරීමට නියමිතයි.
වසර අවසාන වීමට තවත් දින දෙකක් තිබියදී සංචාරක පැමිණීම් ප්‍රමාණය 2,344,978ක් ලෙස වාර්තා වෙනවා. මෙම ගණන මෙතෙක් වසරකදී වාර්තා වී ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණයයි. නොවැම්බර් මාසය තුල සංචාරකයින් 212,906 දෙනෙකු රටට පැමිණ ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රටට පැමිණ තිබෙන්නේ සංචාරකයින් 184,158 දෙනෙකු පමණයි. සංචාරකයින් ප්‍රමාණයේ මෙවැනි වර්ධනයක් දැකිය හැකි වුවද, එමගින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 272.9ක මුදලට සාපේක්ෂව, පසුගිය නොවැම්බර් මාසය තුළ ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 251.6ක් පමණයි. දෙසැම්බර් මාසයේ තත්ත්වයද බොහෝ විට මෙවැන්නක් විය හැකියි.
සංචාරක ආදායම් වල පමණක් නොව මුහුදු හා ගුවන් ප්‍රවාහන සේවා සහ පරිගණක සේවා සැපයීම් වැනි අනෙකුත් සේවා ආදායම් වලද පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව අඩුවක් දකින්නට පුළුවන්. එසේ තිබියදී වුවද, ශ්‍රමික ප්‍රේෂණ සැලකිය යුතු ඉහළ යාම සහ භාණ්ඩ අපනයන ආදායම් ඉහළ යාම ජංගම ගිණුමේ ශේෂය නැවතත් ධන අතට හැරවීමට උදවු කර තිබෙනවා.
පසු ගිය ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව දැනට සිදුවන ප්‍රධානම සහ වැදගත්ම වෙනස වන්නේ ඉල්ලුම හා සැපයුම අනුව ඩොලරයක මිල ඉහළ යාමට බාධා නොකරමින් ජංගම ගිණුමේ තුලනය පවත්වා ගැනීමයි. එය දිගටම එලෙස සිදු වන්නේනම් විදේශ අංශයේ අර්බුදයක් ඇති වීමට හේතුවක් නැහැ.
ඉදිරි වසරේදී නැවත හමු වෙමු. අප හා රැඳී සිටින ඔබ සැමට සුබ නව වසරක්!
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.