වෙබ් ලිපිනය:

Thursday, May 18, 2023

අට ගසා අවසන් කිරීම


මෝටර් සයිකල් පදින්න පුරුදු වෙද්දී අට ගහනවා කියලා එකක් කරනවා. නොදන්නා දෙයක් නොවන නිසා අමුතුවෙන් විස්තර කරන්න යන්නේ නැහැ. කිහිප වරක් දෙපැත්තටම නමලා, වංගු ගහලා, හරියට අට ගැහුවට පස්සේ නවතින්නේ මුලින් හිටපු තැනමයි. මේක පටන් ගත්තු දේ මග නොනවත්වා අවසන් කිරීමක් කියන්නත් පුළුවන්. හැබැයි අට ගහලා ඉවර කළාට පස්සේ ඔය පාරේම තවත් ඉස්සරහට ගියොත් වෙන්නේ කලින් ගිය පාරේම නැවත යාමක්.

මේ වියුණුව පටන් අරගෙනත් දැන් අවුරුදු අටක් අවසන් වෙලා. ඒ කියන්නේ අපිත් කොහොම හරි අට ගහලා!

ඔය අවුරුදු අට ඇතුළත කොයි තරම්නම් දේවල් වුනාද? ඇමරිකාවේ වගේම ලංකාවෙත් ජනාධිපතිවරුන් තුන් දෙනෙක්ගේ යුග ගෙවුනා. ලංකාවේනම් දැන් ඉන්නේ අටවන ජනපති. ඔය අතර දරුණු වසංගත කාලයක් ගෙවුනා. යාන්තමින් අපෙත් පණ බේරුණා. ඒ නිසා ඉකොනොමැට්ටා සන්නාමයත් නොමැරී බේරුණා.

වියුණුව පටන් ගනිද්දී ලේඛකයාගේ ඉලක්කය වුනේ අවුරුදු පහක්, ලිපි දාහක්, හිට්ස් මිලියනයක් කියන එක. පටන් ගනිද්දී කිවුවට පටන් ගනිද්දීම නෙමෙයි. පටන් ගත්ත අවුරුද්දේ එක්තරා නිශ්චිත අවස්ථාවකදී. මුල්ම ඉලක්කය වුනේ ලිපි සීයක් ලියන්න. ඔය ඉලක්කය ගැන හිතුවේ ඊට පස්සේ. 

ඔය ඉලක්ක වලට ගිහින්නම් දැන් කාලයක් වෙනවා. මේ වෙද්දී ලිපි 1,325ක් පළ කර තිබෙනවා. මේක 1,326. හිට්ස් මිලියන 1.4කට කිට්ටු වෙලා තිබෙනවා. පීක් එක ඉවර වෙලා කාලයක් වුනත්, තවමත් දවසකට හාර පන්සීයක් මෙහි පැමිණ මෙය කියවනවා. නමුත්, මේ වෙද්දී වත්පොත හරහා අප ලියන දේ කියවන පිරිසට සාපේක්ෂව මෙහි පැමිණ කියවන්නේ අඩු පිරිසක්.

වියුණුව පටන් අරගෙන කෙටි කලක් යන තුරු කියවන්නන් වැඩි පිරිසක් මෙහි පැමිණියේ වෙනත් වියුණු හා සින්ඩි හරහා වුනත් ඉන් පසු දිගටම මෙන් වැඩි වැඩියෙන් කියවන්නන් මෙහි පැමිණියේ වත්පොත හරහා. මෙහි පළ කරන ලිපි වත් පොත හරහා ප්‍රසිද්ධ කිරීම අවහිර කරනු ලැබීමෙන් පසුව ඒ පීක් එක ඉවර වුනා. 

ඉන් පසුව, ආසන්න වශයෙන් පසුගිය වසරකට වැඩි කාලය තුළ, අප විසින් අපගේ ලිපි සෘජු ලෙසම වත්පොතෙහි පළ කරනු ලැබුවා. මේ වෙද්දී මෙම ලිපි වියුණුවෙහි පළ කිරීමේ ප්‍රධානම අරමුණ ලිපි සංරක්ෂණය කිරීමයි. වසර හත අතකට පෙර මෙන් නොව, මේ වන විට වත්පොත සංවාද සඳහා හොඳ වේදිකාවක්. මෑතකදී වියුණුව හරහා වැදගත් සංවාද සිදු වී නැහැ. 

කෙසේ වුවත්, අපට මේ වන විට මුහුණ දෙන්නට සිදු වී තිබෙන ප්‍රධානම ප්‍රශ්නය මෙහි පළ කරන ලිපි සංරක්ෂණය කිරීම පිළිබඳ තාක්ෂණික ගැටළුවකට මුහුණ දීමට සිදු වී තිබීමයි. ලිපි ප්‍රමාණය ඉතා විශාල නිසාත්, එම ලිපි බොහොමයක්ම දිගු ලිපි නිසාත්, පසුගිය සැප්තැම්බර් පමණ සිට වියුණුව එකවර බැකප් කර ගබඩා කර ගැනීම අසීරු වී තිබෙනවා. මේ වගේ දේවල් එක පැත්තකින් බැලුවහම වෙනස් වීම සඳහා කරන සංඥා කියා කියන්නත් පුළුවන්.

පහත තිබෙන්නේ අපගේ ඡායා වියුණුව:

https://econometta.blogspot.com/

ඒ වගේම, පහත තිබෙන්නේ අපගේ අනෙකුත් ප්‍රධාන වියුණුව:

http://emgesathapaha.blogspot.com/

ඉදිරි කාලයේදී මෙම වියුණුව යාවත්කාලීන නොවුවහොත් කරුණාකර ඉහත වියුණු දෙකට පිවිසෙන්න. 

වසර අටක් හෝ අඩු කාලයක් අප හා රැදී සිටි ඔබට අපගේ ප්‍රණාමය!

Wednesday, May 17, 2023

ණය සීමාව වැඩි කළේ ඇයි?

මෑතකදී රජයට නිකුත් කළ හැකි උපරිම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් ඉහළ දැම්මා. මෙයින් අදහස් වන්නේ කුමක්ද?

භාණ්ඩාගාර බිල්පත් කියන්නේ ලංකාවේ කාලයක් තිස්සේ භාවිතා කෙරෙන ණය උපකරණයක්. රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ. මේ පණත වරින් වර සංශෝධනයට ලක්ව ඇතත් නිදහස ලබන්න පෙර සිටම පැවති පණතක්. 

මෙම පණතේ 2(1) වගන්තිය අනුව මුදල් විෂය භාර ඇමතිවරයාට පුළුවන් කිසියම් උපරිමයකට යටත්ව, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජයට අවශ්‍ය ණය ලබා ගැනීම සඳහා භාණ්ඩාගාරයේ අදාළ නියෝජ්‍ය ලේකම් වරයාට නියෝග කරන්න. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ණය ගැනීම ඇතුළු රාජ්‍ය මූල්‍යනය පිළිබඳ බලය තිබෙන්නේ ව්‍යවස්ථාදායකයට. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා, මේ බලය මුදල් ඇමති වරයාට ලැබෙන්නේ පාර්ලිමේන්තුවෙන්. නමුත්, දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ 2(1) වගන්තිය අනුව, පාර්ලිමේන්තුව විසින් මේ අනුමැතිය දෙන්නේ යම් උපරිම සීමාවකට යටත්ව. ඒ නිසා, නීතිය අනුව, ඊට වඩා වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න බැහැ. 

ඉහත සීමාව කවදාවත් ප්‍රායෝගිකව ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් අප දන්නා පරිදි රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් පවත්වා ගනිද්දී වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න වෙනවා. ඔහොම ගිහින් යම් අවස්ථාවක රජය විසින් නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඔය අනුමත උපරිම සීමාවට කිට්ටු වෙනවා. එවිට විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගෙන උපරිම සීමාව වැඩි කර ගන්නවා. කලට වෙලාවට ඔය වැඩේ නොකළොත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න යද්දී නීතිමය/ තාක්ෂනික ප්‍රශ්නයක් ඇති වෙලා ලොකු අවුලක් වෙන්න පුළුවන්. ලංකාවේ කවදාවත් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. (ඇමරිකාවේනම් මේ දවස් වල ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා.)

2021 ජුනි මාසය වන තුරු මෙම සීමාව රුපියල් බිලියන 2000ක්. එම මාසයේදී අදාළ සීමාව රුපියල් බිලියන 3000 දක්වා වැඩි කළා. ඉන්පසුව, පසුගිය 2022 වසරේ ජූනි මාසයේදී මෙම සීමාව රුපියල් බිලියන 4000 දක්වාත්, නැවත 2022 නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 5000 දක්වාත් ඉහළ දමනු ලැබුවා. දැන් මෙම සීමාව රුපියල් බිලියන 6000 දක්වා ඉහළ දමා තිබෙනවා. 

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ හැකි උපරිම සීමාව ඉහළ දැමූ පමණින් එපමණ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරෙනු ඇති බවක් අදහස් වන්නේ නැහැ. එයින් අදහස් වන්නේ නැවත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා තුරු ඊට වඩා වැඩියෙන් බිල්පත් නිකුත් කළ නොහැකි බව පමණයි. එහෙත්, වඩා වැඩියෙන් බිල්පත් නිකුත් නොකරන්නේනම් සීමාව ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. සීමාව ඉහළ දමන්නේම පරණ සීමාව ඉක්මවා බිල්පත් නිකුත් කිරීමට අවශ්‍ය නිසයි. 

පසුගිය සතිය අවසන් වන විට (මැයි 11) රුපියල් බිලියන 4,840ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කර තිබුණා. උපරීම සීමාව වැඩි නොකළේනම්, රටේ නීතිය අනුව තව දුරටත් නිකුත් කළ හැකිව තිබුණේ රුපියල් බිලියන 160ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. මේ වගේ වෙලාවක නොව සාමාන්‍ය තත්ත්වයකදී වුවත් මෙවැනි සීමිත නීතිමය අවකාශයක් තිබීම රාජ්‍යමූල්‍ය කළමනාකරණය සාමාන්‍ය පරිදි කිරීමට බාධාවක්. ඒ වගේම, සතිපතා හෝ මාස්පතා සීමාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර ගැනීමද තේරුමක් නැති වැඩක්. එකවර තරමක් වැඩි ප්‍රමාණයකින් සීමාව ඔසොවන්නේ ඒ නිසා. 

කෙසේ වුවත් මෙවැනි උපරිම නීතිමය සීමාවක් තිබීම නරක දෙයක් නෙමෙයි. එයින් යම් පාලනයක් සිදු වෙනවා. 

පෙරේදා (මැයි 15) රුපියල් බිලියන 103.6ක බැඳුම්කර ප්‍රමාණයක කල් පිරුණා. ඒ වගේම, පසුගිය සතියේ (මැයි 12) රුපියල් බිලියන 305.7ක විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් කල් පිරුණා. අනිද්දා (මැයි 19) තවත් රුපියල් බිලියන 305.7ක බිල්පත් ප්‍රමාණයක් කල් පිරෙනවා (මෙම ගණන් දෙක සමාන වීම අත්වැරැද්දක් නෙමෙයි.) මේ ටික එකතු කළොත් රුපියල් බිලියන 715.0ක අති දැවැන්ත මුදලක්. මැයි 12-19 කාලය තුළ රජය විසින් මෙම බිල්පත් හා බැඳුම්කර පියවිය යුතුයි. මේ වෙනුවෙන් 23% පොලියට බිල්පත් මිල දී ගත්තොත්, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 879ක බිල්පත් අලුතෙන් නිකුත් කරන්න සිදු වෙනවා. එවිට දැනට නිකුත් කර ඇති බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 268කින් පමණ වැඩි වෙනවා. එසේ නැත්නම් අනෙක් විකල්පය බිල්පත් අඩුවෙන් නිකුත් කර අඩුව පිරවීමට බැඳුම්කර අලුතෙන් නිකුත් කිරීමයි.

මගේ අදහසනම් මේ වෙලාවේ බැඳුම්කර අඩුවෙන් නිකුත් කර බිල්පත් වැඩියෙන් නිකුත් කළ යුතු බවයි. එසේ යෝජනා කරන්නට හේතු කිහිපයක් තිබෙනවා. 

පළමුව, සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් විය යුතුයි. එවිට මූල්‍ය වෙළඳපොළ අවිනිශ්චිතතා විශාල ලෙස දුරු වී පොලී අනුපාතික මත වන අවදානම් අධිභාරය ඉවත් වෙනවා. මෙය සිදු නොවුවහොත් විශාලම අවුලක් වන නිසා පොලී අනුපාතික ගැන කතා කරන එකේවත් තේරුමක් නැහැ. අපේක්ෂිත පරිදි වැඩේ වෙයි කියලා දැනට හිතමු.

දෙවන කරුණ සැප්තැම්බර් වන විට උද්ධමනය විශාල ලෙස පහත වැටීමයි. ඒ වන විට මෙම අගය තනි අංකයක් වෙන්න පුළුවන්. යම් එහා මෙහා වීමක් හැරුණු විට මෙය නියත වශයෙන්ම සිදු වීමට නියමිත නමුත් ඒ පිළිබඳ වෙළදපොල විශ්වාසය තවමත් ගොඩ නැගී නැහැ. තව සති හයකින් මේ විශ්වාසය ගොඩ නැගෙයි. ඇතැම් විට ඊට පෙර දේශීය ණය ගැන පැහැදිලි ප්‍රකාශයක් ආවොත් එහි බලපෑමත් පොලී අනුපාතික වලට එයි. මේ තත්ත්වයන් එක්ක සැප්තැම්බර් පමණ වන විට පොලී අනුපාතික විශාල ලෙස අඩු විය යුතුයි.

දැන් කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළොත් එම බිල්පත් වසරක් ඇතුළත කල් පිරෙන නිසා ඉන් පසුව අඩු පොලියකට නැවත නිකුත් කළ හැකියි. සය මාසික බිල්පත් නිකුත් කළොත් වාසිය තවත් වැඩියි. බැඳුම්කර නිකුත් කළොත් දැන් තිබෙන ඉහළ පොලී අනුපාතිකය දිගටම ගෙවන්න සිදු වෙනවා. වැඩියෙන් බිල්පත් නිකුත් කරන්නනම් උපරිම සීමාව අනිවාර්යයෙන්ම ඉහළ දමන්න වෙනවා. දැන් එය කර ඇති නිසා මේ වැඩේට බාධාවක් නැහැ.

අද (මැයි 17) වෙන්දේසියේදී රුපියල් බිලියන 180ක බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කර තිබෙනවා. මෙම ප්‍රමාණය විශාල ප්‍රමාණයක්. පසුගිය සතියේදීද මීට ආසන්න බිල්පත් ප්‍රමාණයක් නිකුත් කෙරුණා. කෙසේ වුවත්, මෙම ප්‍රමාණය කල් පිරුණු බිල්පත් ප්‍රමාණයට වඩා අඩු නිසා මුළු බිල්පත් ප්‍රමාණය වැඩි වී නැති විය හැකියි. ඇතැම් විට මීට අමතරව මහ බැංකුව සතු වූ කල් පිරුණු බිල්පත් නැවත ආයෝජනය කළා වෙන්නත් පුළුවන්. කල් පිරුණු බිල්පත් වලින් මහ බැංකුවේ කොටස හරියටම දන්නේ නැතත් එම පංගුව සැලකිය යුතු පංගුවක් විය යුතුයි.

පොලී අනුපාතික වලද යම් පහත යාමක් පෙන්නුම් කරනවා. අදාළ දත්ත පහත වගුවේ ඇති නිසා නැවත සටහන් කරන්නේ නැහැ.

අලුතෙන් නිකුත් කරන බිල්පත් වල පොලී අනුපාතික අඩු වීමේදී පහත වැටෙන්නේ එම බිල්පත් වල පොලිය පමණක් නෙමෙයි. වෙළඳපොළේ දැනට තිබෙන බිල්පත් හා බැඳුම්කර වල පොලී අනුපාතිකද ඒ හා පහත වැටෙනවා. ඒ නිසා, පොලී අනුපාතික පහත වැටෙන එක සෙමින් සිදුවන ක්‍රියාවලියක්. පොලී අනුපාතික සුළුවෙන් පහත වැටෙද්දී වුවත් දිගුකාලීන බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ යනවා. 

ණය සීමාව ඉහළ දමා ඇති නිසා මහ බැංකුව තව සල්ලි අච්චු ගසයිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති ගිවිසුමෙන් මහ බැංකුව විසින් රජයට ලබා දිය හැකි ශුද්ධ ණය ප්‍රමාණය පිළිබඳව උපරිම සීමාවන් නියම කර තිබෙනවා. පහත තිබෙන්නේ එම සීමාවන්.

2022 අවසානයේදී රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය - රුපියල් බිලියන 2,834යි.

2023 මාර්තු අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,890යි.

2023 ජූනි අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,890යි.

2023 සැප්තැම්බර් අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,840යි.

2023 දෙසැම්බර් අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,740යි.

මේ අනුව, උපරිම සීමාව ක්රමයෙන් පහත වැටෙන බව පැහැදිලි විය යුතුයි. රුපියල් බිලියන 2,890 කියන්නේ ජනවාරි අවසාන වෙද්දී තිබුණු ඇත්ත ගණන. එම ගණන ජූනි අවසන් වන තුරු වැඩි වෙන්න බැහැ. ඉන් පසුව, සැප්තැම්බර් IMF විමර්ශනය වෙද්දී අඩු වශයෙන් රුපියල් බිලියන 50කින් අඩු වෙන්න ඕනෑ. වසර අවසන් වන විට තවත් රුපියල් බිලියන 100කින් අඩු වෙන්න ඕනෑ. ඕකයි එකඟතාවය.

මෙම සීමා ඉක්මවා යාමට ලංකාවේ නීතියෙන් බාධාවක් නැතත් එසේ සීමා ඉක්මවා ගියහොත් රජයට සහ මහ බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු බේරාගන්නට සිදු වෙනවා. 



Tuesday, May 16, 2023

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කොයි තරම් අමාරුද?


කලින් සටහනෙන් පෙන්වන්න අදහස් කළ ප්‍රධානම කාරණය යම් ආකාරයක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළත් ඒ හේතුවෙන් බැංකු පද්ධතිය අස්ථාවර නොවන බවයි. ලංකාවේ බැංකු කඩා වැටෙනවානම් එසේ කඩා වැටෙන්න වැඩිම ඉඩක් තිබුණු කාලය දැන් පහු වෙලා. 

පොලී අනුපාතික වේගයෙන් ඉහළ යන කාලයක් කියන්නේ බැඳුම්කර ආයෝජකයින්ට නරක කාලයක්. එවැනි කාලයකදී ඔවුන් කලින් අඩු කූපන් පොලියකට මිල දී ගෙන තිබෙන බැඳුම්කර වල මිල විශාල ලෙස පහත වැටෙනවා. කල් පිරීමේ කාලය වැඩි වන තරමට සහ පොලී වෙනස වැඩි වන තරමට මිල පහත වැටීමද වැඩියි.

මෙවැනි මිල පහත වැටීම් "සිදු නොවූ/ සිදු විය හැකි අලාභ - unrealized losses" ලෙස අදාළ ආයෝජකයින්ගේ ශේෂ පත්‍ර වල රැඳී තිබෙනවා. මෙවැනි සිදු විය හැකි අලාභයක් ඇත්ත අලාබයක් වෙන්නේ යම් හෙයකින් ඔය වගේ වෙලාවක බැඳුම්කරයක් විකුණන්න සිදු වුනොත්.

මේක මේ වගේ දෙයක්. කවුරු හෝ කෙනෙක් ඉඩමක් මිල දී ගැනීමෙන් පසු ඉඩමේ මිල විශාල ලෙස පහත වැටෙනවා. ඔය වගේ වෙලාවක ඉඩම විකුණුවොත් විශාල පාඩුවක් වෙනවා. නමුත්, කොහොම හරි අල්ලගෙන හිටියොත් පසුව මිල වැඩි වූ වෙලාවක ලාබයක් තියාගෙන විකුණන්න පුළුවන්. හැබැයි සල්ලි හදිස්සියක් වුනොත් බල බල ඉන්න බැහැ. පාඩුවට විකුණන්න වෙනවා.

සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයකට මේ වගේ සල්ලි හදිස්සි ඇති වෙන්නේ නැහැ. දායක මුදල් ආපසු ගෙවන්න අවශ්‍ය මුදල් ප්‍රමාණයට වඩා වැඩියෙන් හැම විටම මෙන් අලුත් දායක මුදල් ලැබෙනවා. ඒ නිසා පරණ වත්කම් විකුණන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් බැංකු වල තත්ත්වය වෙනස්. සමහර වෙලාවට බැංකුවට එන සල්ලි වලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් තැන්පතුකරුවන් විසින් ඉල්ලා සිටින්න පුළුවන්. 

වාණිජ බැංකු සුරැකුම්පත් ආයෝජන කරන්නේම ඔය වගේ සල්ලි හදිස්සියකදී විකුණන්න බලාගෙන. නමුත්, පෙර කී අයුරින් වෙළඳපොළ මිල ගොඩක් අඩු වී ඇති වෙලාවක සුරැකුම්පත් විකුණන්න වුනොත් ලොකු පාඩුවක් දරාගන්න වෙනවා. මුළු කතාවම ගත්තොත් වඩා සංකීර්ණ වුනත්, මෑතකදී ඇමරිකාවේ බැංකු කිහිපයක් බංකොලොත් වුනේ ඔය විදිහට පාඩුවට සුරැකුම්පත් විකුණන්න වීම නිසා. 

ලංකාව හා අදාළව මේ විදිහට සුරැකුම්පත් වල මිල පහළ ගිය අදියර දැන් ඉවරයි. දැන් තියෙන්නේ මේ චක්‍රයේම අනෙක් පැත්ත. ඒ කියන්නේ කලින් මිල දී ගත් සුරැකුම්පත් වල මිල වේගයෙන් ඉහළ යන අදියර. මේ වගේ කාලයක සුරැකුම්පත් සඳහා ලැබෙන්න තිබෙන මුදලින් යම් කොටසක් නොලැබී ගියත්, බැංකු සිටින්නේ කලින් හිටියාට වඩා වාසිදායක සහ ස්ථායී තැනක. ඒ නිසා, යම් ණය කප්පාදුවක් සිදු වුනත් බැංකු වලට අවුලක් වෙන්නේ නැහැ. කතාව ඕකයි.

මෙයින් අදහස් කළේ අනිවාර්යයෙන්ම ණය හෝ පොලී කප්පාදුවක් වෙයි කියන එක නෙමෙයි. බොහෝ විට එහෙම නොවෙන්න පුළුවන්. ඒ ඇයි කියන එක දැන් තව දුරටත් විස්තර කරන්නම්.

ඔය දේශීය ණය ප්‍රතිව්‍යුහකරණ බිය එක්ක 13% කියන අංකය සම්බන්ධයි. යෝජිත වැඩ පිළිවෙළ අනුව, 2027-2032 කාලයේ දළ ණය අවශ්‍යතාවය (GFN) දදේනියෙන් 13% ඉක්මවන්න බැහැ. එයින් විදේශ ණය සේවාකරණය 4.5% ඉක්මවිය නොහැකියි. විදේශ ණය වලට 4.5%ක් වෙන් කළාට පස්සේ දේශීය ණය සේවාකරණය සඳහා ඉතුරු වෙන්නේ 8.5%ක් පමණයි කියන එකත් එක්ක තමයි ඔය බය ඇවිත් තියෙන්නේ. නමුත්, හේතු කිහිපයක් නිසා තත්ත්වය මේ තරම්ම නරක නැහැ.

පළමුව, 4.5% කියා කියන්නේ උපරිම සීමාවක්. වැඩපිළිවෙළේ ඉලක්ක තිබෙන්නේ ඊට වඩා තරමක් පහළින්. ඒ නිසා, 8.5%ට වඩා ටිකක් උඩට යන්න පුළුවන්. ඊටත් වඩා වැදගත් කරුණ මේ වෙද්දී දදේනියෙන් 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීම. එම අතිරික්තයෙන් ණය හා පොලී සියල්ල ගෙවන්න බැරි වුනත් යම් කොටසක් ගෙවන්න පුළුවන්. ඒ නිසා, දේශීය ණය සේවාකරණය වෙනුවෙන් දදේනියෙන් වැඩි ප්‍රතිශතයක් වෙන් කරන්න පුළුවන්.

පහළින් තියෙන්නේ දේශීය (රුපියල්) ණය සේවාකරණ වියදම් හා අදාළව අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන ඉලක්ක.

2022 - 21.5%

2023 - 21.3%

2024 - 14.5%

2025 - 13.1%

2026 - 14.9%

2027 - 13.0%

2028 - 11.1%

2029 - 11.9%

2030 - 10.0%

2031 - 10.2%

2032 - 10.2%

2033 -  9.8%

ඔය කාලය තුළ නාමික දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන ආකාරය පුරෝකථනය කර තිබෙන්නේ පහත ආකාරයටයි.

2023 - 26.0%

2024 - 12.3%

2025 - 8.3%

2026 - 8.4%

2027 - 8.3%

2028 - 8.3%

2029 - 8.3%

2030 - 8.3%

2031 - 8.3%

2032 - 8.3%

2033 - 8.3%

මේ අනුව දදේනි ඇස්තමේන්තු පහත තිබෙනවා.

2022 - රුපියල් බිලියන 24,148

2023 - රුපියල් බිලියන 30,426

2024 - රුපියල් බිලියන 34,169

2025 - රුපියල් බිලියන 37,005

2026 - රුපියල් බිලියන 40,113

2027 - රුපියල් බිලියන 43,443

2028 - රුපියල් බිලියන 47,049

2029 - රුපියල් බිලියන 50,954

2030 - රුපියල් බිලියන 55,183

2031 - රුපියල් බිලියන 59,763

2032 - රුපියල් බිලියන 64,723

2033 - රුපියල් බිලියන 70,095

ඉහත ගණන් ඇසුරෙන් අපට රුපියල් ණය හා පොලී ආපසු ගෙවීම වෙනුවෙන් වෙන් කළ හැකි මුදල් ප්‍රමාණ හොයාගන්න පුළුවන්. 

2022 - රුපියල් බිලියන 5,192

2023 - රුපියල් බිලියන 6,481

2024 - රුපියල් බිලියන 4,954

2025 - රුපියල් බිලියන 4,848

2026 - රුපියල් බිලියන 5,977

2027 - රුපියල් බිලියන 5,648

2028 - රුපියල් බිලියන 5,222

2029 - රුපියල් බිලියන 6,063

2030 - රුපියල් බිලියන 5,518

2031 - රුපියල් බිලියන 6,096

2032 - රුපියල් බිලියන 6,602

2033 - රුපියල් බිලියන 6,869

කලින් ලිපියේ සඳහන් කළ පරිදි, 2023 අප්‍රේල් අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 4,761ක්. රුපියල් බිලියන 9,136ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබුණත් ඒ සියල්ල එක වර කල් පිරෙන්නේ නැහැ. කල් පිරෙන්නේ මේ විදිහට.

2023 මැයි-දෙසැම්බර් අතර - රුපියල් බිලියන 915යි 

2024 - රුපියල් බිලියන 1,195යි 

2025 - රුපියල් බිලියන 1,218යි 

2026 - රුපියල් බිලියන 1,102යි 

2027 - රුපියල් බිලියන 1,454යි 

2028 - රුපියල් බිලියන 950යි 

2029-2032 අතර - රුපියල් බිලියන 1,484යි 

2033-2045 අතර - රුපියල් බිලියන 819යි 

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය වඩා විශාල වුනත්, කිසියම් වසරක කාලයක් සැලකුවොත් දේශීය ණය සේවාකරණයෙන් ලොකුම කොටස බිල්පත්. රුපියල් බිලියන 4,761ක් වන බිල්පත් ප්‍රමාණයෙන් රුපියල් බිලියන 2,724ක්ම අරගෙන තියෙන්නේ මහ බැංකුව. ඔය ප්‍රමාණය සමීකරණයෙන් ඉවත් වුන ගමන් ප්‍රශ්නය සෑහෙන්න සරල වෙනවා. ඒ නිසා, මම හිතන විදිහට බැඳුම්කර වල කූපන් පොලී හෝ මුහුණත අගය අඩු කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. ඊට අමතරව දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර නියම දවසට ගෙවන එකත් කරන්න බැරි දෙයක් නෙමෙයි. 

බරපතල ප්‍රශ්නය විදේශ ණය. ඒ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්නම් දේශීය ණය ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි මෙය බොහෝ දුරට තිබෙන ණය වැඩි කර නොගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. 

Monday, May 15, 2023

වැල් පාලම දිගේ එගොඩ බලා...


කාල වේලාව හොයා ගන්න ගොඩක්ම අමාරු වුනත්, ටික දවසකින් ලිපියක් පළ නොකළ නිසා අප සමඟ රැඳී සිටින පාඨකයින් වෙනුවෙන් රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන යම් යාවත්කාලීන කිරීමක් කරන්නම්. 

වැඩි විස්තර වලට යන්න කලින් කියන්න යන දේ ගැන ඉතා කෙටියෙන් කිවුවොත්, ශුභවාදී ලෙස හැම දේම හොඳින් විසඳී අවසන් බව සිතා ඇහැ කණ පියාගත හැකි වාතාවරණයක් තවමත් ඇති වී නැහැ. තවමත් ගෙවෙන්නේ අවිනිශ්චිත, අවදානම් කාලයක්. ඒ වගේම, අවශ්‍ය දේවල් ප්‍රායෝගිකව සිදු විය හැකි වේගයෙන් සිදු වෙමින් තිබෙන නිසා, අශුභවාදී වීමට හේතුවක් පෙනෙන්නත් නැහැ. 

තවමත් ඉන්නේ වැල් පාලමේ මැද වුනත්, එගොඩ බලා ගමන හෙමින් හෙමින් සිදු වෙමින් තිබෙනවා. මේ ගමන කලබලයෙන්, ඕනෑවට වඩා හදිස්සියෙන් යා හැකි ගමනක් නෙමෙයි. ඒ වගේම, වැල් පාලම මැද සිට සිරි නරඹමින් කාලය ගත කරන්නත් බැහැ. හැකි වේගයෙන්, නොනැවතී ගමන යා යුතුයි.

පසුගිය සතිය අවසන් වෙද්දී ප්‍රධාන වාණිජ බැංකු වල ඩොලරයක ගැනුම් මිල රුපියල් 304 දක්වා පහත වැටී තිබුණු බව ඔබ නිරීක්ෂණය කරන්න ඇති. මෙයින් කරුණු දෙකක් පිළිබිඹු වෙනවා. පළමුව, බැංකු පද්ධතිය තුළ ඩොලර් මිල දී ගැනීම සඳහා වන ඉල්ලුම ඉක්මවා ඩොලර් ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා. දෙවනුව, බැංකු පද්ධතිය තුළ ඇති අතිරික්ත ඩොලර් මිල දී ගනිමින් මිල පහත වැටීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් විශාල උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්න නැහැ.

දෙවැන්න සිදු වන්නේ යෝජිත සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි කොටසක් ලෙසයි. අදාළ වැඩපිළිවෙළ අනුව විණිමය වෙළඳපොළ කෙරෙහි මහ බැංකුව විසින් කරනු ඇත්තේ සීමිත හා නිශ්චිත මැදිහත් වීමක් පමණයි. ඒ නිසා, වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත විණිමය අනුපාතය සැලකිය යුතු තරමකින් ඉහළට හෝ පහළට විචලනය විය හැකියි. මේ වන විට රුපියල කෙටිකාලීනව තවතවත් අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට නැහැ. 

ඉහත තත්ත්වයට හේතුව ආනයන වියදම් වලට සාපේක්ෂව ඩොලර් ලැබීම්, විශේෂයෙන්ම ශ්‍රමික ප්‍රේෂණ, ඉහළ ගොස් තිබීමයි. කෙසේ වුවත්, එය සිදු වන්නේ ආනයන සීමා මුළුමනින්ම ඉවත්ව නොමැති පසුබිමකයි. ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් වෙද්දී මේ තත්ත්වය වෙනස් වී ඩොලරයක මිල නැවතත් ඉහළ යාමට නියමිතයි. එසේ වුවත්, එම ඉහළ යාම ක්‍රමිකව මිස එක වර වේගයෙන් සිදු වන එකක් නැහැ. 

මහ බැංකුව විසින් දැනට ඩොලරයක මිල පහත වැටීමට ඉඩ සලසමින් සිටින්නේ, ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුවද ඩොලරයක මිල ගොඩක්ම ඉහළ සීමාවකට නොයාම අපේක්ෂා කරමින් විය හැකියි. දැනට රුපියල් 313 සීමාවේ තිබෙන අන්තර් බැංකු එතැන් වෙළඳපොළේ මැදි මිල 15%කින් පමණ ඉහළ ගියත්, එය කාලයක් රැඳී තිබුණු රුපියල් 360 සීමාව ඉක්මවන්නේ නැහැ. 

මෙය ආනයන සීමා ඉවත් කළ පසු ඩොලරයක මිල රුපියල් 360ක් වනු ඇතැයි ව්‍යංගයෙන් කීමක් නෙමෙයි. සමාන්තර ලෙස බැංකු පද්ධතිය තුළට වෙනත් ක්‍රම වලින් ඩොලර් ගලා ඒම නිසා රුපියලෙහි අවප්‍රමාණය වීමක් නොවෙන්න වුනත් පුළුවන්. විණිමය අනුපාතය ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන්නට ඉඩ හැරීමෙන් පසුව එය කවර ආකාරයෙන් වෙනස් වෙයිද කියා කිසිවෙකුට හරියටම කියන්න බැහැ. එහෙම කියන්න පුළුවන්නම්, එය ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන්නක් ලෙස සලකන්න බැහැ. 

කොහොම වුනත් වැදගත්ම කරුණ විණිමය අනුපාතය ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන්නට ඉඩ හැරීම ප්‍රතිපත්තියක් සේ පිළිගෙන ඒ අනුව කටයුතු කරමින් සිටීමයි. මෙම ප්‍රතිපත්තිය වෙනස් නොකරන තාක් ලංකාවට එදිනෙදා අවශ්‍යතා සඳහා විදේශ විණිමය නොමැති වීමේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. එහෙත්, පරණ ණය හා පොලී ගෙවීමේ ප්‍රශ්නය තවදුරටත් ඉතිරි වෙනවා. තවතවත් ණය නොගෙන උපයන විදේශ විණිමයෙන් එදිනෙදා වියදම් පිරි මසා ගත හැකි වුවත්, පරණ ණය හා පොලී ගෙවීමට තරම් මුදලක් ඉතිරි කර ගැනීම කිසිසේත්ම කළ නොහැක්කක්. ගොඩ ගැසී තිබෙන විදේශ ණය කන්දරාව ඒ තරම්ම විශාලයි.

සාර්ව ආර්ථික වැඩපිළිවෙල තුළ සිදුවන අනෙකුත් වැදගත්ම දෙය රජයේ එදිනෙදා ආදායම් හා වියදම් ගලපනු ලැබීමයි. මේ අනුව, රජයට අලුතෙන් ණය ගන්නට අවශ්‍ය වන්නේ පරණ ණය හා පොලී ගෙවීමට පමණයි. මේ ආකාරයෙන් රජයේ අයවැය හා රටේ අයවැය ගලපා ගැනීම ක්‍රීඩාව මුළුමනින්ම වෙනස් කිරීමක් (game changer).

මේ වෙනස කොයි තරම් වැදගත් වෙනසක්ද කියන එක මේ විදිහට විස්තර කරන්න පුළුවන්. කිසිසේත්ම සිදු නොවන හා කළ නොහැකි, තනිකරම පරිකල්පනීය අදහසක් වුවත්, අපි නිකමට හිතමු මේ මොහොතේ සිට රජයේ ණය හා රටේ ණය ආපසු ගෙවීම මුළුමනින්ම නැවැත්තුවා කියා. සියළුම ණයහිමියෝ මේ වැඩේට කැමති වුනා කියලත් හිතමු. ඉන් පසුව, රජයට උපයන ආදායම් වලින් යම් මුදලක් ඉතිරි කර ගන්න පුළුවන් වගේම රටට උපයන විදේශ විණිමය වලින් යම් මුදලක් ඉතිරි කර ගන්නත් පුළුවන්. 

මේ වගේ පරිකල්පනීය තත්ත්වයක් යටතේ රජයට හෝ රටට නැවතත් කාගෙන්වත් ණය ගැනීමේ ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. රජයට අඩු වශයෙන් රට ඇතුළෙන් හෝ ණය ගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට, සිංගප්පූරුව මෙන්, අයවැය අතිරික්තය ආයෝජනය කර ආදායම් උපයන්න පුළුවන්. එම ආදායම් ඉහළ යද්දී බදු අඩු කරන්න පුළුවන්. ඒ වගේම, අතිරික්තය විදේශ සංචිත බවට පත් කර විදේශ විණිමය උපයන්න පුළුවන්. ඒ හරහා, අපනයන තරඟකාරිත්වයද පවත්වා ගනිමින්, රුපියල ශක්තිමත් වෙන්න ඉඩ සලස්වන්න පුළුවන්.

ඔය ඔක්කොම වෙන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් හා ජංගම ගිණුමේ (පොලී වියදම් හැර) අතිරික්තයක් පවත්වා ගැනීමත් එක්ක. ඒ හැර, වෙන කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔය දෙක මුල සිටම කළානම්, අද ලංකාව මේ දැන් තිබෙන ලංකාව නෙමෙයි. ඊට වඩා ගොඩක් දියුණු රටක්. 

හැබැයි ලංකාව මුල සිටම එහෙම කළේ නැහැනේ. ඒ නිසා, දැන් ඔය වැඩේ පටන් ගත්තා කියලා මෙතෙක් එකතු වූ ණය කන්දරාවේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න බැහැ. මේ මොහොතේ සිට රජයේ ණය හා රටේ ණය ආපසු ගෙවීම මුළුමනින්ම නැවැත්වූ පරිකල්පනීය තත්ත්වයක් යටතේ කියලා කිවුවේ ඒ නිසා. එහෙම දෙයක් කරන්න පුළුවන් පරිකල්පනීය ලෙස පමණයි. හේතු ගණනාවක් නිසා සැබෑ ලෝකයේ ඒ වගේ දෙයක් කරන්න ඉඩක් නැහැ. 

හැබැයි අර කලින් කියපු දේවල් දෙක නොකර පරිකල්පනීය ලෙස වුවත් ඔය වගේ දෙයක් ගැන හිතන්න බැහැ. මොකද ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගන්නා තුරු, ජංගම ගිණුම් හිඟයක් පවත්වා ගන්නා තුරු, එදිනෙදා රට දුවවන්න වුනත් අලුතෙන් තව තව ණය ගන්න වෙනවා. කලින් ගත්ත ණය ආපසු ගෙවමින් මිස අලුතෙන් තවත් ණය ගන්න බැහැ. ඒ නිසා, ණය නොගෙවන එක ගැන පරිකල්පනීය ලෙසවත් හිතන්න බැහැ. දැන් තත්ත්වය ක්‍රීඩාව මුළුමනින්ම වෙනස් කිරීමක් වෙන්නේ ඒ නිසා. 

කලින් තත්ත්වය තුළ ණය ලංකාවේ හා ලංකාවේ රජයේ ප්‍රශ්නයක්. මේ අලුත් තත්ත්වය තුළ එය ණයහිමියන්ගේ ප්‍රශ්නයක්. අලුත් සන්දර්භයේදීත් වෙනත් විවිධ හේතු නිසා ණය ප්‍රශ්නය තවදුරටත් ලංකාවේ හා ලංකාවේ රජයේ ප්‍රශ්නයක් වුනත්, කලින් වගේ ණය නැතිව හුස්ම ගන්නවත් බැරිකමක් දැන් නැහැ. 

හැබැයි මේ "වෙනත් විවිධ හේතු" පහසුවෙන් පැත්තකට දැමිය හැකි හේතු නෙමෙයි. බරපතල හේතු. පළමු ප්‍රශ්නය ජාත්‍යන්තර නීති. විදේශ ණය වලින් සැලකිය යුතු කොටසක් ලබා ගෙන තියෙන්නේ වෙනත් රටක නීතිය යටතේ. ඒ නිසා, ලංකාවට හිතුමනාපෙට ණය පැහැර හරින්න බැහැ. මෙය කළ හැකි එකම ක්‍රමය ණය හිමියන්ගේ එකඟත්වය ඇතිව කිසියම් ආකාරයක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන එක. 

දේශීය නීතිය යටතේ ලබා ගෙන තිබෙන ණය වලට ඉහත ප්‍රශ්නය නැහැ. නමුත්, රටේ බැංකු පද්ධතිය අස්ථාවර වීම වගේ කාරණා ගැන සලකා බැලිය යුතු නිසා, මේ ණය වුනත් හිතුමතේට පැහැර හරින්න පුළුවන්කමක් නැහැ. 

ඉහත සන්දර්භය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දැවැන්ත අභියෝගය ලංකාව හමුවේ තිබෙනවා. සමීකරණයේ විසඳන්න අමාරුම කොටස මුල කොටස. ඒ කියන්නේ වෙනත් රටක නීතිය යටතේ ලබාගෙන තිබෙන ණය. දෙවන ප්‍රශ්නය මතු වන්නේ එම ප්‍රශ්නය විසඳන්න යාමේදී මතු වන අතුරු ප්‍රශ්නයක් විදිහටයි.

යෝජිත ස්ථායීකරණ වැඩ පිළිවෙළ අනුව ලංකාවට 2023-2027 ඩොලර් මිලියන 14,087ක ණය සහනයක් අවශ්‍ය වෙනවා. ඒ 2022දී පැහැර හැර තිබෙන ඩොලර් මිලියන 2,824ට අමතරව. එකතුව ඩොලර් මිලියන 16,911ක්. මෙම මුදල ලංකාවේ ආර්ථිකයට සාපේක්ෂව ඉතාම විශාල මුදලක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔය ණය සහනය නැතුව ලංකාවට වැල් පාලමෙන් එගොඩ වෙන්න බැහැ. 

ලංකාවේ ආර්ථිකය ස්ථායී කිරීම සඳහා ණය සහන දීමෙන් උදවු වෙන්න ණයහිමියෝ කැමති වෙලා තිබෙනවා. ඉහත කී ණය සහනය අවශ්‍ය බවත් පිළිගෙන තිබෙනවා. නමුත්, තමන් මේ පාඩුවෙන් කොයි තරමක් දරා ගන්නවාද කියන එක ගැන තවමත් එකඟත්වයක් නැහැ. 

මේක ගිලෙන්න යන නැවක් ගිලෙන එක බේරාගන්න බර අඩු කරන්න යද්දී මතු වන ආකාරයේ ප්‍රශ්නයක්. මොන විදිහකින් හෝ බර අඩු කරගන්න කාටත් අවශ්‍යයි. මොකද නැව ගිලුනොත් කාටවත් බේරුමක් නැහැ. හැබැයි තමන්ගේ ගොඩ තියාගෙන අනෙක් අයගේ ගොඩවල් මුහුදට දමලා බර අඩු කරගන්න පුලුවන්නම් කවුරු වුනත් කැමතියි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තිබෙන අභියෝගය ඕකයි. 

පසුගිය වසරේ පැහැර හැරපු කොටසත් එක්ක ඩොලර් මිලියන 16,911ක් කියන එකෙන් ඒ කියන දෙයට වඩා දෙයක් අදහස් වෙන්නේ නැහැ. 2027 දක්වා මේ මුදල ආපසු ගෙවන්නේ නැහැ. එච්චරයි. ඊට පස්සේ වෙන්නේ කුමක්ද කියන එක ණයහිමියෝ  කතා කරලා බේරගන්න අවශ්‍ය දෙයක්. නමුත් එහෙමයි කියලා 2028 සිට ඔය ණය පරණ ඇරියස් එක්ක ගෙවන්න පුළුවන්කමකුත් නැහැ. සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ ඇතුළේම 2028-2032 කාලයේ විදේශ ණය සේවාකරණය පිළිබඳ දදේනියෙන් 4.5%ක උපරිම සීමාවකුත් තිබෙනවා. ඒ නිසා, වැඩේ කෙළවරක් වෙද්දී ණයහිමියන්ට කවර හෝ පාඩුවක් විඳ දරා ගන්නම වෙනවා.

මේ වන විටත් ද්විපාර්ශ්වික ණයහිමියෝ එක කණ්ඩායමක් විදිහට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරමින් ඉන්නවා. චීනය, සවුදි අරාබිය හා ඉරානය එහි ඉන්නේ නිරීක්ෂකයින් විදිහට. අපි දැනට වැඩි විස්තර කතා නොකර වැඩි තොරතුරක් ලැබෙන තුරු බලා සිටිමු. 

දේශීය ණය ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්නයක් වෙන්නේ දදේනියෙන් 13%ක් වන උපරිම ණය සේවාකරණ සීමාව එක්ක. එයින් 4.5%ක් විදේශ ණය සේවාකරණය සඳහා වෙන් කළොත් දේශීය ණය සේවා කරණය වෙනුවෙන් උපරිම වශයෙන් වෙන් කළ හැක්කේ දදේනියෙන් 8.5%ක් පමණයි. මේ ඉලක්කයට යන්න දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙයිද? එහෙම කළොත් අතුරු ප්‍රශ්න ඇති වෙයිද? 

මේක ප්‍රශ්නයක් වෙන්නේ පොලී අනුපාතික දිගටම ඉහළ මට්ටමක තිබීමේ අවදානමත් එක්ක. මගේ පෞද්ගලික අදහසනම් සැප්තැම්බර් මාසය පමණ වන විට පොලී අනුපාතික විශාල ලෙස අඩුවෙයි කියන එක. නමුත්, එහෙම නොවුනොත් තත්ත්වය ගැනත් අපි සලකා බලමු. 

අප්‍රේල් අවසානය වෙද්දී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය (මුහුණත වටිනාකම) රුපියල් බිලියන 4,761ක්. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 9,136ක්. දේශීය ණය කියන්නේ මේ කොටස් දෙක පමණක් නොවුනත්, මේ කොටස් දෙක ගැන පමණක් කතා කළොත්, එකතුව රුපියල් බිලියන 13,897ක්. රජය එදිනෙදා වියදමට තවත් ණය නොගත්තත්. මේ ණය හා පොලිය ගෙවීම සඳහා දිගින් දිගටම ණය ගන්න වෙනවා. එහෙම අවශ්‍ය නොවන්නේ අර කලින් කියපු ආකාරයේ පරිකල්පනීය තත්ත්වයක් යටතේ පමණයි.

දැන් මම කලින් කිවුවා වගේ මෙතැන තිබෙන මූලික ප්‍රශ්නය විදේශ ණයනේ. දේශීය ණය කියා කියන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න යද්දී මතුවෙන අතුරු ප්‍රශ්නයක් පමණයි. දේශීය ණය ප්‍රශ්නයක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ පොලී අනුපාතික දැන් මට්ටමේම තියෙනවද එහෙම නැත්නම් විශාල ලෙස අඩු වෙනවද කියන එකත් එක්ක. මේ වෙද්දී එක් අවුරුදු බිල්පත් පොලී අනුපාතිකය 23%ක් පමණ. මේ අනුපාතිකය මේ මට්ටමේම තිබුණොත්, දැනට නිකුත් කර තිබෙන බිල්පත් වල පොලී ගෙවන්න පමණක් අලුතෙන් බිල්පත් නිකුත් කර ගෙන ගියොත්, ණය සේවාකරණ අවශ්‍යතාවය (බිල්පත් හා පමණක් අදාළව) ඉහළ යන්නේ මේ විදිහටයි. 

2023 - රුපියල් බිලියන 4,761යි 

2027- රුපියල් බිලියන 10,897යි 

2032 - රුපියල් බිලියන 30,679යි 

මම හිතන්නේ ණය තිරසාරත්වය නැති වීම කියා කියන්නේ කුමක්ද කියලා මේ ගණන් දිහා බැලුවහම පැහැදිලි වෙනවා. රජය රජයේ වියදම් වෙනුවෙන් අලුතෙන් එක සතයක්වත් ණය ගත්තේ නැතත් දැනට නිකුත් කර තිබෙන රුපියල් බිලියන 4,761ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය 2032 වෙද්දී රුපියල් බිලියන 30,679ක් වෙනවා. පොලී අනුපාතික 23% මට්ටමේ දිගටම තිබුනොත්, භාණ්ඩාගාර බැඳුම්කර ඇතුළු අනෙකුත් දේශීය ණයත් ඔය වගේම අනුපාතයකින් වැඩි වෙනවා. 

ඔය තත්ත්වය හරි තියෙන්නේ මෑතකදී පොලී අනුපාතික සැලකිය යුතු ලෙස අඩු වූ නිසා. පසුගිය වසර අවසන් වෙද්දී පොලී අනුපාතික තිබුණේ 30% වගේ මට්ටමක. 30% පොලී අනුපාතික ඒ විදිහට දිගටම තිබුණානම් තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද? 

2023 - රුපියල් බිලියන 4,761යි 

2027- රුපියල් බිලියන 13,598යි 

2032 - රුපියල් බිලියන 50,488යි 

පේනවනේ කොයි තරම් භයානක තත්ත්වයක්ද තිබුණේ කියලා.

හැබැයි ඔය කියපු ආකාරයේ අවදානමක් ඇති වෙන්නේ පොලී අනුපාතික අඩු නොවුනොත්. පොලී අනුපාතික පසුගිය වසර ආරම්භයේදී පැවති 8% මට්ටම දක්වා අඩු වුනොත් දිගුකාලීන චිත්‍රය විශාල ලෙස වෙනස් වෙනවා.

2023 - රුපියල් බිලියන 4,761යි 

2027- රුපියල් බිලියන 6,477යි 

2032 - රුපියල් බිලියන 9,517යි 

පේනවනේ වෙනස! පොලී අනුපාතික 30% මට්ටමේ තිබුනානම් 2032 වෙද්දී රුපියල් ට්‍රිලියන 50 ඉක්මවන, දැන් තිබෙන 23% පොලී අනුපාතික යටතේ වුවත් රුපියල් ට්‍රිලියන 30 ඉක්මවන භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණය පොලී අනුපාතික 8% මට්ටමට ගත්ත ගමන් රුපියල් ට්‍රිලියන 9.5 මට්ටම දක්වා පහත වැටෙනවා. මීට වඩා තරමක් සංකීර්ණ වුනත් භාණ්ඩාගාර බැඳුම්කර ඇතුළු අනෙකුත් ණය පිළිබඳ කතාවත් ඔය වගේ එකක්. 

පොලී අනුපාතික ඉහළ මට්ටමක දිගටම තිබුණොත්, 2027-2032 කාලයේදී දේශීය ණය සේවාකරණය දදේනියෙන් 8.5% සීමාවට ගේන එක ඉතාම අමාරු වැඩක්. එහෙම කරන්නනම් සැලකිය යුතු ණය හා පොලී කප්පාදුවක් කරන්න වෙනවා. නමුත්, පොලී අනුපාතික 8% මට්ටමට ආපු ගමන් තත්ත්වය වෙනස් වෙනවා. මගේ අදහස අනුව, ණය හෝ පොලී කප්පාදු නොකර ණය කළඹ ප්‍රශස්තකරණය කිරීම මගින් පමණක්, අවශ්‍ය ඉලක්කයට යා හැකි වෙනවා. ප්‍රශ්නය වන්නේ පොලී අනුපාතික කොයි තරම් ඉක්මණින්, කොයි තරම් පහළට ගන්න පුළුවන්ද කියන එකයි. 

භාණ්ඩාගාර බිල්පතක් උපරිම වශයෙන් වසරක් ඇතුළත කල් පිරෙනවා. ඒ විදිහට කල් පිරෙද්දී අදාළ මුදල ආපසු ගෙවීම සඳහා අලුතෙන් බිල්පත් විකුණන්න වෙනවා. ඒ විකුණන බිල්පත් 8%ක පමණ පොලී අනුපාතිකයකට විකුණාගන්න පුළුවන්නම් වැඩේ අහවරයි. 

නමුත්, භාණ්ඩාගාර බැඳුම්කර හා අදාළ තත්ත්වය සංකීර්ණයි. ඒවා කල් පිරෙන්න වසර ගණනක් යනවා. ඒ නිසා, අදාළ කාලය තුළ දිගටම මුලින් පොරොන්දු වූ පොලිය ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් පොලිය කප්පාදු කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ඇතැම් බැඳුම්කර සඳහා 2026 වසර තෙක් 22.5%ක කූපන් පොලී ගෙවිය යුතුයි. තවත් ඇතැම් බැඳුම්කර වලට 2029 දක්වා 20%ක කූපන් පොලියක් ගෙවිය යුතුයි. 2032 දක්වා 18%ක කූපන් පොලියක් ගෙවන්න එකඟ වී නිකුත් කරපු බැඳුම්කරත් තිබෙනවා. යම් පොලී කප්පාදුවක් කළේ නැත්නම්, මේ ඉහළ පොලී අනුපාතික දිගටම ගෙවන්න සිදු වෙනවා. ඒ නිසා, බැඳුම්කර පොලී අනුපාතික ඉක්මණින් පහළට ගන්න එක බිල්පත් පොලී පහළට ගන්න එකට වඩා ටිකක් සංකීර්ණයි.

හැබැයි ඔය විදිහට භාණ්ඩාගාර බැඳුම්කර වල කල් පිරීමේ කාලය ගොඩක් දිගු වීම නිසාම ලැබී තිබෙන විශාල වාසියකුත් තිබෙනවා. දැන් වෙළඳපොළේ තිබෙන භාණ්ඩාගාර බිල්පත් සියල්ලම මෙන් ඉහළ පොලී අනුපාතිකයකට නිකුත් කර ඇති ඒවා වුනත්, භාණ්ඩාගාර බැඳුම්කර සියල්ලම ඉහළ පොලී අනුපාතිකයක් යටතේ නිකුත් කරපුවා නෙමෙයි. ඉහළ පොලී අනුපාතික වලට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන්න සිදු වුනේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ණය පැහැර හැරීමට ආසන්න කාලයක සිට. තවත් පොඩ්ඩක් පස්සට ගියොත් විණිමය අනුපාතය අත හැරීමෙන් පසුව. ඊට පෙර නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරලා තියෙන්නේ අඩු පොලියකට. දැනට වෙළඳපොළේ තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර වලින් වැඩි කොටසක් මේ විදිහට කලින් නිකුත් කරපුවා. 

හරියටම ගණන් කතා කළොත්, අප්‍රේල් අවසානයේදී වෙළඳපොළේ තිබුණු රුපියල් බිලියන 9,136ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් 81%ක් පමණම 2022ට පෙර නිකුත් කරපුවා. 2022න් පසුව නිකුත් කර තිබෙන්නේ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 19%ක් පමණයි. අලුතෙන් නිකුත් කළ බැඳුම්කර වල කූපන් පොලිය 20%කට ආසන්න වුනත්, පරණ බැඳුම්කර වලට ගෙවිය යුතු කූපන් පොලිය ආසන්න වශයෙන් 10%ක් පමණයි. ඒ නිසා, තවත් කාලයක් ඉහළ පොලියක් ගෙවන්න වීමේ ප්‍රශ්නය තිබෙන්නේ ඔය මෑතකදී නිකුත් කළ 19%ක කොටස හා අදාළව පමණයි. 

2022ට පෙර නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර (ISIN):

මුළු ප්‍රමාණය (මුහුණත අගය) = රුපියල් බිලියන 7,378.9යි 

බරිත සාමාන්‍ය කූපන් පොලී අනුපාතිකය = 10.18%යි

බරිත සාමාන්‍ය විකුණුම් මිල (රුපියල් 100ක මුහුණත අගයක්) = රුපියල් 95.43යි 

බරිත සාමාන්‍ය ඵලදා අනුපාතය = 10.71%යි 

බරිත සාමාන්‍ය කල් පිරීමේ කාලය (2023 අප්‍රේල් 30 සිට) = දින 1,620යි 


2022 සිට නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර (ISIN):

මුළු ප්‍රමාණය (මුහුණත අගය) = රුපියල් බිලියන 1,756.8යි 

බරිත සාමාන්‍ය කූපන් පොලී අනුපාතිකය = 19.48%යි

බරිත සාමාන්‍ය විකුණුම් මිල (රුපියල් 100ක මුහුණත අගයක්) = රුපියල් 77.97යි 

බරිත සාමාන්‍ය ඵලදා අනුපාතය = 25.08%යි 

බරිත සාමාන්‍ය කල් පිරීමේ කාලය (2023 අප්‍රේල් 30 සිට) = දින 1,607යි 


කල් පිරීමේ කාලය අතින් මෑතකාලීන බැඳුම්කර සහ පරණ බැඳුම්කර අතර ලොකු වෙනසක් නැහැ. ඊට හේතුව මෑතකාලීන බැඳුම්කර බොහොමයක් මැදිකාලීන බැඳුම්කර වීමයි. ප්‍රධාන වෙනස තිබෙන්නේ කූපන් පොලී අනුපාතයේ සහ ඊටත් වැඩියෙන් ඵලදා අනුපාතයේ. මේ වෙනසට හේතුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානම වෙනුවෙන් කලින්ම එහි මිල අය කරගෙන තිබීමයි. 

මගේ අදහස වන්නේ දේශීය ණය හා සම්බන්ධව කටයුතු කරන ආකාරය අදාළ කටයුත්තෙහි නිරත කණ්ඩායම විසින් මේ වන විටද බොහෝ දුරට තීරණය කර අවසානව තිබිය හැකි බවයි. එවන් තත්ත්වයක් තුළ අප විසින් මෙහි ලියන දෙයක කිසිදු තේරුමක් නැතත්, මගේ අදහසනම් 2022න් පසුව නිකුත් කළ බැඳුම්කර වල පමණක් කූපන් පොලී සහ මුහුණත වටිනාකම අඩු කරමින් සිදු කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වඩාත්ම ඵලදායී මෙන්ම සාධාරණ බවයි. එසේ කිරීමෙන් කිසිවෙකුට කිසිදු පාඩුවක් සිදු නොවන අතර සිදු විය හැක්කේ පොලී අනුපාතික පහත වැටීමේදී ලැබිය හැකි අධික ලාබය සීමා වීමක් පමණයි. එමෙන්ම එවැන්නක් කිරීමෙන් රටේ මූල්‍ය පද්ධතිය තවත් ස්ථායී වනු මිස අස්ථායී වීමක් සිදුවන්නේද නැහැ. 

පහත බැඳුම්කර දෙක සංසන්දනය කිරීම මගින් මෙය පැහැදිලි කළ හැකියි.

බැඳුම්කරයේ අංකය (ISIN): LKB00526A159 

නිකුත් කළ දිනය: 2021 ජනවාරි 15

කල් පිරෙන දිනය: 2026 ජනවාරි 15

පොලී අනුපාතය: 6.75%

විකිණුම් මිල: රුපියල් 98.83

දැන් විකිණිය හැකි මිල: රුපියල් 62.66


බැඳුම්කරයේ අංකය (ISIN): LKB00426E154 

නිකුත් කළ දිනය: 2022 මැයි 15

කල් පිරෙන දිනය: 2026 මැයි 15

පොලී අනුපාතය: 22.5%

විකිණුම් මිල: රුපියල් 82.18යි 

දැන් විකිණිය හැකි මිල: රුපියල් 86.45යි 


මාස 16ක කාල පරතරයක් තුළ නිකුත් කර තිබෙන ඉහත බැඳුම්කර දෙකෙහි කල් පිරීම් දින අතර වෙනස මාස හතරක් පමණයි. නමුත්, පළමුවැන්න සඳහා 6.75%ක කූපන් පොලියක් ගෙවද්දී දෙවැන්න වෙනුවෙන් 22.5%ක කූපන් පොලියක් ගෙවන්නට සිදු වී තිබෙනවා. ඊට අමතරව දෙවැන්න විකුණා තිබෙන්නේ රුපියල් 86.45ක මිලකටයි. ඒ නිසා, රුපියල් 86.45ක ආයෝජනයක් වෙනුවෙන් වසරකට රුපියල් 22.50ක් ලැබෙනවා. කල් පිරීමේදී රුපියල් 100ක් ලැබෙනවා. මෙය 27.4%ක පොලියක්. 

පළමුවැන්න විකුණා තිබෙන්නේද වට්ටම් මිලකට වුවත් එම වට්ටම එතරම් විශාල නැහැ. ඒ නිසා, සැබෑ පොලිය (ඵලදා අනුපාතය) 6.8%ක් පමණයි. 

සාමාන්‍ය මූලධර්මයක් ලෙස බැඳුම්කරයක් මිල දී ගැනීමෙන් පසුව පොලී අනුපාතික ඉහළ ගියහොත් එම බැඳුම්කරයේ වටිනාකම (විකිණිය හැකි මිල) පහත වැටෙනවා. පසුගිය වසරේ අප්‍රේල් පමණ සිට පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ඒ වන විට නිකුත් කර තිබුණු බැඳුම්කර සියල්ලේම මෙන් මිල ගණන් විශාල ලෙස පහත වැටුණා. ඉහත පළමුවැන්න එක් උදාහරණයක් පමණයි. පහත තිබෙන්නේ තවත් කිහිපයක්. 

බැඳුම්කරයේ අංකය (ISIN): LKB02032A016 

නිකුත් කළ දිනය: 2022 ජනවාරි 1

කල් පිරෙන දිනය: 2032 ජනවාරි 1

පොලී අනුපාතය: 8%

විකිණුම් මිල: රුපියල් 81.64

දැන් විකිණිය හැකි මිල: රුපියල් 41.80


බැඳුම්කරයේ අංකය (ISIN): LKB02032A016 

නිකුත් කළ දිනය: 2013 නොවැම්බර් 1

කල් පිරෙන දිනය: 2033 නොවැම්බර් 1

පොලී අනුපාතය: 9%

විකිණුම් මිල: රුපියල් 69.47

දැන් විකිණිය හැකි මිල: රුපියල් 42.25


බැඳුම්කරයේ අංකය (ISIN): LKB03043F011

නිකුත් කළ දිනය: 2013 ජූනි 1

කල් පිරෙන දිනය: 2043 ජුනි 1

පොලී අනුපාතය: 9%

විකිණුම් මිල: රුපියල් 65.49

දැන් විකිණිය හැකි මිල: රුපියල් 42.25

ඉහත බැදුම්කරයක් කල් පිරෙන තෙක් තබා ගතහොත් මුහුණත අගය වන රුපියල් 100ක මුදල ලැබෙනවා. ඒ දක්වා වාර්ෂිකව අදාළ කූපන් පොලියද ලැබෙනවා (ණය ප්‍රතිව්‍යුහගත නොකළහොත්). එහෙත් යම් හෙයකින් සල්ලි හදිස්සියකට දැන් මේ බැඳුම්කරයක් විකුණන්නට සිදු වුවහොත් විකිනිය හැක්කේ එහි මුහුණත වටිනාකමෙන් 42%ක පමණ මුදලටයි.

ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වැඩි ප්‍රමාණයක් අයිති සේවක අර්ථසාධක අරමුදලට සහ වාණිජ බැංකු වලටයි. සේවක අර්ථසාධක අරමුදලට සල්ලි හදිස්සි ඇති වෙන්නේ නැතත්, බැංකු වලට සල්ලි හදිස්සි වලට මුහුණ දෙන්න සිදු වෙනවා. එහෙම සල්ලි හදිසියක් වී ඔය වගේ බැඳුම්කරයක් විකුණන්න සිදු වුවහොත් එයින් විශාල පාඩුවක් සිදු වෙනවා. පොලී අනුපාතික අවදානම කියා කියන්නේ ඕකට. මෑතකදී ඇමරිකාවේ බැංකු කිහිපයක් කඩා වැටුණේ ඔය ප්‍රශ්නය නිසා. 

ඇමරිකාවේ බැංකු වලට තිබුණු ප්‍රශ්නය ලංකාවේ බැංකු වලටත් තිබෙනවා. ඊටත් වඩා ගොඩක් දරුණුවට. පසුගිය වසරේ දෙවන කාර්තුවේ සිටම. රුපියල් 100ක බැඳුම්කරයක් රුපියල් 42කට විකුණනවා කියා කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ණය වලින් 58%ක් ක්ෂණිකව කපා හරිනවා වගේ වැඩක්. නමුත්, ලංකාවේ බැංකු එකක්වත් කඩා වැටුණේ නැහැ. එහෙම කඩා නොවැටුණේ කිසිම බැංකුවකට ඔය විදිහට පාඩුවට බැඳුම්කර විකුණන්න සිදු නොවූ නිසා. 

ලංකාවේ බැංකු වලට පාඩුවට බැඳුම්කර විකුණන්න සිදු නොවුණේ සල්ලි හදිස්සි නොතිබුණු නිසා නෙමෙයි. සල්ලි හදිස්සි වෙන අවස්ථා වල අවුලක් නැතුව මහ බැංකුවෙන් ණය ගන්න හැකි වූ නිසා. රුපියල් 100ක බැඳුම්කරයක් මහ බැංකුවේ ඇපයට තියලා අවශ්‍ය අරමුදල් තාවකාලිකව ණයට ගන්න පුළුවන්නම් බැඳුම්කරය පාඩුවට විකුණන්න වෙන්නේ නැහැ. 

ඔය කියපු දේ සිද්ධ වෙන්නේ පොලී අනුපාතික ඉහළ යන කාල වකවානු වල. හැබැයි දැන් ලංකාවේ පොලී අනුපාතික ඉහළ ගිය කාලය ඉවරයි. දැන් වෙන්නේ පොලී අනුපාතික පහළ යන එක. පොලී අනුපාතික පහළ යද්දී කලින් වැඩි පොලියකට මිල දී ගත් බැඳුම්කර වල මිල ඉහළ යනවා. උදාහරණයක් විදිහට 2022 මැයි 15 දින නිකුත් කළ, පෙර තොරතුරු සඳහන්,  2026 මැයි 15 කල් පිරෙන 22.5% බැඳුම්කරයක් දැන් රුපියල් 86.45කට විකුණන්න පුළුවන්. මේ මිල වුවත් මුහුණත අගයට වඩා අඩුයි තමයි. නමුත්, මිල දී ගෙන තිබෙන්නේ රුපියල් 82.18කට නිසා දැන් විකිණුවත් පාඩුවක් නැහැ. 

මේ වගේ වෙලාවක 2022ට කලින් නිකුත් කරපු බැඳුම්කර වල මුහුණත වටිනාකම හෝ කූපන් පොලිය කපා හැරියොත් වෙන්නේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ වැඩක්. රුපියල් 100 රුපියල් 42ට විකුණන්න වෙලා තියෙද්දී ඒකෙනුත් කොටසක් කපා ගත්තොත් කාට කියන්නද?

හැබැයි මළ නොතලා රොන් ගන්න ක්‍රමයට 2022න් පස්සේ නිකුත් කළ බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතු මුදලින් යම් කොටසක් කපා හරින්න බැරිකමක් නැහැ. අදාළ ආයෝජකයින්ට පාඩුවක් සිදු නොකරමින් ඔය වැඩේ කරන්න වුනත් යම් ඉඩකඩක් තිබෙනවා. අඩුවශයෙන් කෙටිකාලීනව පාඩුවක් නොවන විදිහට වැඩේ කරන්න පුළුවන්. 

මේකට හේතුව පොලී අනුපාතික පහත වැටෙද්දී බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ යාම. ඒ නිසා, පොලී අනුපාතික පහත දමා ගත හැකි එකම ක්‍රමය යම් ආකාරයක ණය (මුහුණත අගය හා/හෝ කූපන් පොලී) කපා හැරීමක්නම්, ඒ වැඩේ කිරීමෙන් අවසාන වශයෙන් වෙන්නේ යහපතක්. හැබැයි ඔය වැඩේ නොකර ස්වභාවික ලෙසම පොලී අනුපාතික පහත වැටෙනවානම් ඒක තමයි සිදු විය හැකි හොඳම දෙය. මැදිහත්වීමක් කළ යුත්තේ ඒ වැඩේ වෙන්නේම නැත්නම් පමණයි. 

අපි හිතමු පොලී අනුපාතික ක්ෂණිකව 8% මට්ටම දක්වා පහත වැටුනා කියලා. එහෙම වුනොත් දැන් රුපියල් 86.45ට විකිණෙන, රුපියල් 82.18ට මිල දී ගෙන තිබෙන, 2026 මැයි 15 කල් පිරෙන 22.5% බැඳුම්කරයක මිල ක්ෂණිකව රුපියල් 138.01 දක්වා ඉහළ යනවා. දැන් රුපියල් 76.49ට විකිණෙන, රුපියල් 62.03ට මිල දී ගෙන තිබෙන, 2032 ජූලි 1 කල් පිරෙන 18% බැඳුම්කරයක මිල ක්ෂණිකව රුපියල් 163.87 දක්වා ඉහළ යනවා. ඒ නිසා, කූපන් පොලියෙන් හරි මුහුණත අගයෙන් හරි යම් කොටසක් කපා හැරියත් සැලකිය යුතු ලාබයක් ගන්න පුළුවන්. පොලී අනුපාතික නිකම්ම අඩු වුනොත් ඔය ලාබය ගෙඩිය පිටිං. 

ඔය වගේ විශාල ලාබයක් ලැබිය හැකි තත්ත්වයක් ඇති නොවුනත්, පොලී අනුපාතික ඉහළ යද්දී, 2022ට කලින් නිකුත් කර තිබෙන බැඳුම්කර වල වටිනාකමත් ඉහළ යනවා. නමුත්, එහිදී බොහෝ දුරට වෙන්නේ මේ වෙලාවේ කඩා වැටී තිබෙන මිල යථා තත්ත්වයට පත් වීමක්. 

දැන් රුපියල් 41.80ට විකිණෙන, උඩින් විස්තර ලියා ඇති, 2032 ජනවාරි 1 කල් පිරෙන 8% බැඳුම්කරය ගත්තොත්, පොලී අනුපාතික 8% වූ ගමන්ම මෙහි මිල එහි මුහුණත අගය වන රුපියල් 100 වෙනවා. දැන් රුපියල් 42.25ට විකිණෙන, 2033 නොවැම්බර් 1 කල් පිරෙන 9% බැඳුම්කරයක මිල රුපියල් 106.99 වෙනවා. ඒ කියන්නේ පොලී අනුපාතික 8% මට්ටමට අඩු වුනොත්, ඇතැම් පරණ බැඳුම්කර වලින් වුනත් පාඩුවක් නොවෙන්න සුළු කප්පාදුවක් කළ හැකි තත්ත්වයක් ඇති වෙනවා. නමුත් අලුත් බැඳුම්කර වල මෙන් මේ පරණ බැඳුම්කර වලින් ලොකු කප්පාදුවක් කරන්න බැහැ. සුළු කප්පාදුවක් කළා කියලා ලොකුවට ණය අඩු වෙන්නෙත් නැහැ. 

දේශීය ණය කප්පාදුවකින් රජයට ලබා ගත හැකි වාසියට සාපේක්ෂව පොලී අනුපාතික පහත වැටීමෙන් ලැබෙන වාසිය ඉතාම දැවැන්ත වාසියක්. ඒ නිසා, ණය හෝ පොලී කප්පාදුවක් කරන්න අවශ්‍ය වෙන්නේ පොලී අනුපාතික පහත නොවැටුනොත් පමණයි. එවැනි කප්පාදුවක් කළත්, පොලී අනුපාතික අඩු කර ගැනීම සඳහා සංකේතාත්මක කප්පාදුවක් කළාම හොඳටම ඇති. උදාහරණයක් විදිහට පොඩි කූපන් පොලී වලට අත නොතියා, 22.5% වගේ ලොකු කූපන් පොලී වලින් පමණක් කොටසක් කපා හරින්න පුළුවන්. 

වැදගත්ම කරුණ ඔය විදිහේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් බැංකු පද්ධතියට කිසිම පාඩුවක් නොවීම. ඇත්තටම කිවුවොත් වෙන්නේ දැනට තියෙන අවදානමත් නැති වෙන එක. උදාහරණයක් විදිහට, 2032 ජූලි 1 කල් පිරෙන 18% බැඳුම්කරයක කූපන් පොලිය 9% දක්වා අඩු කරලා, ඊට අමතරව තව 10%ක හෙයාකට් එකකුත් දැම්මා කියා හිතමු. ඔය වැඩේ කරද්දී ඵලදා අනුපාතිකය 8% මට්ටමට වැටෙනවානම්, බැඳුම්කරයක මිල (මුහුණත වටිනාකම රුපියල් 100ක් වෙනුවෙන් දැන් ලැබෙන රුපියල් 90 සහ 9% දක්වා අඩු කළ කූපන් පොලී අනුපාතිකයේ වටිනාකම) තව දුරටත් රුපියල් 101.49ක් වෙනවා. මෙහි දැන් මිල රුපියල් 75.49ක් පමණක් බවත්, මුල් ගැණුම් මිල රුපියල් 62.03ක් පමණක් බවත් සැළකු විට අවසාන වශයෙන් ඔය පොලී කපා හැරීමෙන් හා හෙයාකට් එකෙන් පසුවත් වාසියක් මිස පාඩුවක් වෙලා නැහැ. 

සමස්ත කතාව සාරාංශගත කළොත්, පොලී අනුපාතික අඩු වූ ගමන් වාණිජ බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය ආයතන වල වගේම සේවක අර්ථසාධක අරමුදලේත් වත්කම් වල වෙළඳපොළ අගය එක පාරටම ඉහළ ගිහින් දැනට තිබෙන අවදානම් නැති වෙලා යනවා. පොලී අනුපාතික පහළට ගන්න යම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළත් එයින් වෙන සුළු අවාසියට වඩා ලැබෙන වාසිය වැඩියි. ඒ නිසා, වැඩේ ඉක්මන් වන තරමට බැංකු වලට හා අනෙකුත් ආයතන වලට නැවතත් ලාබ උපයන්න පටන් ගන්න පුළුවන්. ස්ථිර තැන්පතු ආදී බැංකු වල වගකීම් හා අදාළව කිසිම අවුලක් වෙන්නේ නැහැ. එහෙම අවුලක් වුනොත් වෙන්නේ මේ තියෙන තත්ත්වය දිගටම තිබුණොත්. 


Friday, May 5, 2023

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්


පසුගිය සටහන පළ කළේ ලංකාවේ විදේශ සංචිත ගැනයි. එහි විදේශ සංචිත ලෙස හැඳින්වූවේ දළ විදේශ වත්කම්. තේරෙන බාසාවෙන් හදිසියකට වියදමට අතේ තියෙන සල්ලි කියා කියමු. හැබැයි මේ සල්ලි කාලයක් තිස්සේ උපයා ඉතිරි කරගත් තමන්ගේම සල්ලි නෙමෙයි. මේ සල්ලිත් ණයට ගත් අනුන්ගේ සල්ලි. 

ලංකාව නිදහස ලබද්දී ලංකාව සතුව ඒ විදිහට ඉතිරි කරගත් තමන්ගේම විදේශ වත්කම් තිබුණා. ඒවා නියම විදේශ වත්කම්. දැන් තිබෙන නමට පමණක් විදේශ සංචිත වගේ නෙමෙයි. නිදහසින් පසු අනුගමනය කළ ජාතිකවාදී හා සමාජවාදී ප්‍රතිපත්ති නිසා අවුරුදු පහළොවක් පමණ යද්දී ඒ වත්කම් ඉවර වෙලා ලංකාව ශුද්ධ ණයකරුවෙක් බවට පත් වුනා. තවමත් කතාව වගේම තවත් දශක ගණනක් යන තුරු කතාව වන්නේත් එතැන් සිට කතාවයි. 

රටක් සතුව ප්‍රමාණවත් තරමින් තමන්ගේම විදේශ වත්කම් තිබේනම් එවැනි රටකට ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දෙන්න සිදු වන්නේ නැහැ. නමුත්, ණයට ගත් අනුන්ගේ සල්ලි වලින් විදේශ සංචිත පවත්වා ගනිද්දී වරින් වර ඔය ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. මෙය විසඳුමක් නැති ප්‍රශ්නයක් නෙමෙයි. විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමයි. ඔය ක්‍රමය තුළ සිටින තාක් වරින් වර නැවත නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න සිදු වෙනවා. 1965 සිට ලංකාවේ කතාව ඕකයි. තවත් රටවල් ගණනාවක කතාවත් ඕකයි.

ඉන්දියාව නිදහස ලැබුවේ ලංකාවට ආසන්න කාලයකයි. රටේ ප්‍රමාණයට සාපේක්ෂව නිදහස ලබද්දී ඉන්දියාව සතුව ලංකාව සතු වූ තරම් විදේශ සංචිත තිබුණේ නැහැ. ඒ වගේම, ඉන්දියාව අනුගමනය කළේත් ජාතිකවාදී හා සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියක්. මෙහි ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවට ලංකාවටත් කලින් ගෙවුම් ශේෂ අර්බුද යුගයට පා තබන්න වුනා. 

ඉන්දියාවට මුල් වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න සිදු වුනේ 1957දී. එතැන් සිට 1991 දක්වා කාලය තුළ ඉන්දියාවට 7 වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න සිදු වුනා. එහෙත්, 1991දී ඉන්දියාව මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් කර ගත්තා. ඉන්පසුව, ඉන්දියාවට ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දෙන්න සිදු වී නැහැ. නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න සිදු වී නැහැ. 

ලංකාවේ 1977දී සිදු වූ ආකාරයේ වෙළඳපොළ වෙත නැඹුරු වූ ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙන්ම ආර්ථිකය විවෘත කිරීම පිළිබඳවද ඉන්දියාව ගැඹුරෙන් සිතුවේ 1991දී. ඒ අතින් ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටියා. එහෙත්, ලංකාවේ ප්‍රවේශය වූයේ වැඩි වැඩියෙන් විදේශ ණය ගනිමින් රජය මුල් වී ප්‍රාග්ධන ආයෝජන කිරීමයි. ඒ නිසා, ආර්ථිකය විවෘත කිරීමේ හා වෙළඳපොළට වැඩියෙන් ඉඩ දීමේ වාසි හමුවේ වුවත්, ලංකාවේ ගොඩ නැගුනේ අස්ථාවර, භංගුර ආර්ථිකයක්. 

වඩා විවෘත හා වෙළඳපොළ වෙත නැඹුරු වූ ආර්ථික ප්‍රතිපත්ති නිසා ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකයට වඩා වේගයෙන් වර්ධනය වුනා. එහෙත්, එයට සමාන්තරව රටේ ශුද්ධ විදේශ බැරකම්ද වේගයෙන් ඉහළ ගියා. ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් ආර්ථික වර්ධනය ගැන සිතු තරමටම ආර්ථික ස්ථාවරත්වය ගැන හිතුවේ නැහැ. එයින් වෙනස්ව, ඉන්දියාව ආර්ථික වර්ධනය ගැන හිතුවේ ආර්ථික ස්ථාවරත්වයද පවත්වා ගනිමිනුයි. ලංකාවේ හා ඉන්දියාවේ ඉරණම් වෙනස් වුනේ මේ හේතුව නිසා. 

හැම විටම මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විසඳුම් හොයන්නේ ඒ වෙලාවේ අතේ සල්ලි නැති ප්‍රශ්නයටයි. රටක ශුද්ධ විදේශ වත්කම් හිඟයක් පැවතීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රශ්නයක් ලෙස දකින්නේ නැහැ. මෙය තේරුම් ගැනීමට අපහසු දෙයක් නෙමෙයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේම ජාත්‍යන්තර සංවිධානයක්. ජාත්‍යන්තර සංවිධානයකට ලෝකයේ හැම රටක් දෙසම එක ලෙස බලනවා මිස එක් රටකට විශේෂත්වයක් දක්වන්න බැහැ. ලෝකයේ හැම රටකටම ශුද්ධ විදේශ වත්කම් පවත්වා ගන්න බැහැ. ශුද්ධ විදේශ වත්කම් තිබෙන රටවල් තියෙන්නනම් ශුද්ධ විදේශ බැරකම් තිබෙන රටවලුත් ලෝකයේ තිබිය යුතුයි. තමන් සිටිය යුත්තේ කොයි ගොඩේද කියා තෝරා ගැනීම අදාළ රටේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ වැඩක්. 

දශක හයක පමණ කාලයක් තිස්සේ රටක් විදිහට ලංකාවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තේ තිබුණත් මහ බැංකුව සතුව ශුද්ධ විදේශ වත්කම් තිබුණා. එවැනි ශුද්ධ විදේශ වත්කම් නොමැතිව ජාතික මුදල් ඒකකය වන රුපියලේ වටිනාකම පවත්වා ගැනීමේ හැකියාවක් කවදාවත්ම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වූයේ නැහැ. ලංකාවේ රුපියලට ලංකාවෙන් පිටතදී කිසිම පිළිගැනීමක් නැහැ.

ඇමරිකාවට, එක්සත් රාජධානියට හෝ ජපානයට තමන්ගේ මුදල් ඒකක වලින් ගෙවා වෙනත් රටවලින් භාණ්ඩ ආනයනය කළ හැකියි. ඒ නිසාම, යම් සීමාවන් තුළ වුවත්, සැබෑ නිෂ්පාදනයක් සිදු නොකර සල්ලි අච්චු ගැසීම මගින්ම වුවත් භාණ්ඩ ආනයනය කළ හැකියි. එහෙත්, ලංකාව වැනි රටකට එසේ කළ නොහැකියි. රුපියල් හුවමාරුවට කිසිවෙකු ලංකාවට භාණ්ඩ හෝ සේවාවන් සපයන්නේ නැහැ. රුපියලේ වටිනාකම රැඳී තිබෙන්නේම ඩොලර් වැනි වෙනත් මුදල් ඒකක වලට හුවමාරු කිරීමේ හැකියාව මතයි. 

රුපියල් දී ඩොලර් වැනි වෙනත් මුදල් වර්ග ලබා ගත හැකි බවද විශ්වාසයක්. ඒ විශ්වාසයේ පදනම ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණයයි. ඒ නිසාම, රුපියල ගනුදෙනු මාධ්‍යයක් ලෙස පිළිගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය පමණ ශුද්ධ විදේශ සංචිත පවත්වා ගත යුතුයි. එම ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණවත් නොවන්නේනම්, තිබෙන ප්‍රමාණය හා ගැලපෙන පරිදි රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හැරිය යුතුයි. මෙය නොකිරීමේ අනිවාර්ය ප්‍රතිඵලය ගෙවුම් ශේෂ අර්බුදයක්.

වෙනත් ඕනෑම මහ බැංකුවක් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද කාලයට අනුරූපව හා ආර්ථික වර්ධනයට අනුරූපව රුපියල් සැපයුම ඉහළ දමනවා. එහි වරදක් නැහැ. මේ විදිහට රුපියල් සැපයුම ඉහළ දමද්දී ඊට සමාන්තරව මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්ද ඉහළ යා යුතුයි. මහ බැංකුව විසින් විදේශ විණිමය මිල දී ගැනීම මගින් ශුද්ධ විදේශ වත්කම් ඉහළ දමා ගත හැකියි. එසේ නැත්නම් රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හරිමින් දැනට තිබෙන විදේශ වත්කම් ප්‍රමාණයේ රුපියල් වටිනාකම ඉහළ දමාගත හැකියි. ඔය දෙකෙන් එකක්වත් නොකර රුපියල් සැපයුම වැඩි කළොත් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙනවා.

රූප සටහනෙහි දැකිය හැකි පරිදි, 2020 පෙබරවාරි පමණ වන තුරු මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ක්‍රමයෙන් ඉහළ ගියා. මෙය සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් ඉන්පසුව මේ ප්‍රවණතාව වෙනස් වුනා. ඩොලරයක මිල ප්‍රමාණවත් තරමින් ඉහළ යාමට නොදී දිගින් දිගටම සල්ලි අච්චු ගහද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වේගයෙන් අඩු වෙන්න පටන් ගත්තා. 2021 අගෝස්තු වෙද්දී මහ බැංකුවේ විදේශ බැරකම් විදේශ වත්කම් ඉක්මවා ගොස් ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තට ගියා. ඒ කියන්නේ මහ බැංකුව බංකොලොත් වුනා.

මහ බැංකුවේ  ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තට යාමෙන් පසුවද තවතවත් ණය වීම නැවතුනේ නැහැ. මහ බැංකුව විසින් අසල්වැසියන්ගෙන්, විශේෂයෙන්ම ඉන්දියාවෙන්, ඩොලර් ණයට ගනිමින් එම ඩොලර් අඩු මිලට වෙළඳපොළේ විකිණුවා.  මේ වෙද්දී දළ සංචිත යම් තරමකින් වැඩි වී ඇතත්, තවමත් මහ බැංකුව ශුද්ධ ණයකරුවෙක්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබුණා කියා ඉහත තත්ත්වය ක්ෂණිකව වෙනස් වෙන්නේ නැහැ. එක පැත්තකින් ශේෂ පත්‍රයට වත්කමක් එකතු වෙද්දී අනෙක් පැත්තෙන් ඊට සමාන බැරකමක්ද එකතු වෙනවා. ඒ නිසා, ශුද්ධ විදේශ වත්කම් තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. කෙටියෙන් කිවුවොත්, ණය අරගෙන විදේශ වත්කම් වැඩි කරගැනීම මගින් මේ අවුල ලිහන්න බැහැ. 

අවුල ලිහන්නනම් මහ බැංකුවට රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඒ ක්‍රමය මගින් සංචිත වැඩි කර ගන්න වෙනවා. වෙන විසඳුමක් නැහැ. 

මහ බැංකුවට  රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන් වෙන්නේ වෙළඳපොළේ ප්‍රමාණවත් ඩොලර් අතිරික්තයක් තිබුණොත් පමණයි. අපනයන ආදායම්, සේවා ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ ආදී කවර හෝ ක්‍රමයකින් එම අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රටට පැමිණිය යුතුයි. රටට ඩොලර් ආවේ නැත්නම් මහ බැංකුවට ඩොලර් මිල දී ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසාම, ශුද්ධ විදේශ වත්කම් වැඩි කරගන්නත් ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ, රුපියලට නැවත වටිනාකමක් ලබා දීමේ හැකියාවක් නැහැ.

වෙළඳපොළේ යම් ඩොලර් අතිරික්තයක් තිබුණත් එම අතිරික්තය ඉක්මවා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් වැඩියෙන් ඩොලර් මිල දී ගන්න ගියොත් එහි ප්‍රතිඵලය වන්නේ ඩොලරයක මිල ඉහළ යාමයි. ශුද්ධ විදේශ වත්කම් ධන පැත්තේ ඇති වෙලාවකනම් මෙයින් වෙන්නේ එම වත්කම් (රුපියල් අගය) තවත් ඉහළ යාමයි. නමුත් ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තේ තියෙද්දී ඩොලරයක මිල ඉහළ යාමෙන් එම සෘණ අගය ඉහළ යනවා. ඒ නිසා, මේ වගේ වෙලාවක වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න එකත් දෙපැත්ත කැපෙන ආයුදයක්. ඒ නිසාම, මේ වැඩේ කරන්න වෙන්නේ පරිස්සමට හා සීරුමාරුවට. 

ඉහත කරුණු සියල්ල සලකා බලමින්, යෝජිත සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ තුළ මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් අඩු කර ගෙන ක්‍රමයෙන් ශුද්ධ විදේශ වත්කම් ගොඩ නගා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. මේ වැඩ පිළිවෙළ අනුව, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නේ ඉලක්ක සීමාවක් තුළයි. ඕනෑවට වඩා හදිසියෙන් හෝ වැඩියෙන් ඩොලර් මිල දී ගන්න යන්නේ නැහැ. විණිමය අනුපාතයද ස්ථාවරව තබා ගනිමින් සංචිත ගොඩ නගා ගත හැක්කේ ඒ ක්‍රමයටයි.

මාර්තු අවසානයේදී ඩොලර් මිලියන 2,755ක් වූ මහ බැංකුවේ දළ නිල සංචිත මේ වසර අවසානයේදී ඩොලර් මිලියන 4,431 දක්වා ඉහළ නංවා ගැනීම යෝජිත සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ ඉලක්කයයි. එහෙත්, ඒ වන විටද මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සටහන් වනු ඇත්තේ රුපියල් බිලියන සෘණ 480ක් ලෙසයි. මෙම අගය ධන පැත්තට යනු ඇත්තේ 2024 වසර තුළයි. අපහසුවක් නොමැතිව රුපියලේ වටිනාකම පවත්වාගත හැකි මට්ටමකට ඉහළ යනු ඇත්තේ 2026 වසර තුළයි. එතෙක්, ශ්‍රී ලංකා රුපියලේ ශක්තිය වනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රැඳී සිටීම නිසා ලැබෙන සහතිකයයි. 

Thursday, May 4, 2023

අප්‍රේල් අවසානයේදී විදේශ සංචිත


අප්‍රේල් මාසය අවසන් වෙද්දී විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,755 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය මාසය තුළ ඩොලර් මිලියන 61ක ඉහළ යාමක්. මාර්තු මාසය තුළ ඩොලර් මිලියන 475කින් විදේශ සංචිත ඉහළ ගියා. 

ඉහත දත්ත අනුව පෙනී යන්නේ අප්‍රේල් මාසය තුළ මහ බැංකුව විසින් විණිමය වෙළඳපොළට දැනෙන මැදිහත්වීමක් කර නැති බවයි. එනම් විණිමය අනුපාතය ඉල්ලුම හා සැපයුම මත තීරණය වීමට ඉඩ හැර ඇති බවයි. මාර්තු අවසානයේදී එතැන් වෙළඳපොළෙහි ඇමරිකන් ඩොලරයක මැදි මිල රුපියල් 327.29ක් ලෙස සටහන් වූ අතර අප්‍රේල් අවසාන වෙද්දී එම මිල රුපියල් 321.65 දක්වා පහත වැටී තිබුණා.

යෝජිත සාර්ව ආර්ථික වැඩසටහන අනුව විණිමය අනුපාතය වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය විය යුතුයි. විදේශ සංචිත තර කර ගැනීම සඳහා මහ බැංකුව විසින් යම් මැදිහත්වීමක් කරන නමුත් එයින් වෙළඳපොළ කම්පන ඇති වීම වැළැක්වීම සඳහා මෙසේ සිදු කරන ශුද්ධ මිල දී ගැනීම් සම්බන්ධව උපරිම සීමාවක් නිර්ණය කර ඒ පිළිබඳව කලින්ම වෙළඳපොළ දැනුවත් කර තිබෙනවා.

වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත විණිමය අනුපාතය තීරණය වන්නේනම් රටකට විදේශ විණිමය ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වන්නේ නැහැ. සැපයුමට වඩා ඉල්ලුම වැඩි වෙද්දී මිල යන නිසා ආනයන ඉල්ලුම අඩු වී අපනයන දිරිමත් වෙනවා. ඒ හරහා වෙළඳ ශේෂය දිගින් දිගටම පුළුල් වීම වැළකෙනවා. යෝජිත සාර්ව ආර්ථික වැඩසටහන යටතේ දිගුකාලීනව විදේශ විණිමය ප්‍රශ්නය විසඳා ගන්නා උපාය මාර්ගය මෙයයි.

කෙසේ වුවත්, රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් පවත්වා ගනිමින් එම හිඟය පියවීමට ණය ගනිද්දී මෙය මේ අයුරින්ම සිදු වන්නේ නැහැ. රජය විසින් ණයට ගන්නා විදේශ විණිමය රුපියල් කිරීමේදී විණිමය අනුපාතය ඕනෑවට වඩා අධිප්‍රමාණය වී වෙළඳ හිඟය පුළුල් වෙනවා. ඉන් පසුව, ගත් ණය ආපසු ගෙවන්නට යාමේදී විණිමය අනුපාතය මත පහසුවෙන් තුලනය නොවන විශාල පීඩනයක් ඇති වෙනවා. ඒ නිසා, ගෙවුම් ශේෂ ප්‍රශ්නය තිරසාර ලෙස විසඳා ගැනීම සඳහා රාජ්‍යමූල්‍ය අසමතුලිතතාව නැති කරගත යුතුයි. 

යෝජිත  සාර්ව ආර්ථික වැඩසටහන තුළ රාජ්‍යමූල්‍යයද තුලනය වීමක් සිදු වෙනවා. ඒ සඳහා අපේක්ෂිත ආදායම් ඉලක්ක ලඟා කර ගනිමින් වියදම් සීමා තුළ රැඳී සිටිය යුතුයි. කෙසේ වුවත්, වැඩසටහනේ සාර්ථකත්වය මුළුමනින්ම මෙන් රඳා පවතින්නේ අපේක්ෂිත පරිදි ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම තුළයි. එය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් මුහුණ දෙන මේ මොහොතේ අභියෝගයයි. 

Wednesday, May 3, 2023

බැංකු කඩා වැටෙද්දී පොලී අනුපාතික තවත් ඉහළට!


අද ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළෙඳපොළ කමිටුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික තවත් පාදක අංක 25කින් (0.25%කින්) ඉහළ දැම්මා. මේ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව 5.00-5.25% දක්වා ඉහළ යනවා. පසුගිය මාර්තු මාසයේ සිට ෆෙඩරල් විවට වෙළෙඳපොළ කමිටුව රැස් වුනු හැම අවස්ථාවකදීම පොලී අනුපාතික ඉහළ දමා තිබෙන අතර මේ එක දිගට පොලී අනුපාතික ඉහළ දමන දහවන අවස්ථාවයි. 

මීට පෙර, උද්ධමනය ඉලක්ක මට්ටම ඉක්මවා ගිය 2006 වසරේදී ඇමරිකාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 5.25% දක්වා ඉහළ දමනු ලැබූ අතර, ඊටත් පෙර 2000 වසරේදී 6.50% දක්වා ඉහළ දමනු ලැබුවා. ඒ අවස්ථා දෙකේදීම දැඩි මුදල් ප්‍රතිපත්තිය අවසන් වුනේ ආර්ථික අර්බුදයකින්. පසුගිය (2022) ජූනී මාසයේදී 9.1% මට්ටම දක්වා ඉහළ ගිය උද්ධමනය මේ වන විට 5.0% මට්ටම දක්වා අඩු වී ඇතත්, ඉලක්ක මට්ටම වන 2.0% දක්වා උද්ධමනය අඩු වන තුරු දැඩි මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම ඇමරිකාවේ මහ බැංකුවේ අභිලාෂය බව පෙනී යනවා.

කෙටිකාලයක් තුළ මේ අයුරින් පොලී අනුපාතික විශාල ලෙස වැඩි කිරීම මූල්‍ය ආයතන වල වත්කම් කෙරෙහි අහිතකර ලෙස බලපානවා. පසුගිය සතියේ ඇමරිකාවේ තවත් බැංකුවක් බංකොලොත් වුනා. මේ විදිහට බංකොලොත් වූ ෆස්ට් රිපබ්ලික් බැංකුව ඇමරිකාවේ 14වන විශාලතම බැංකුවයි. මෙය ඇමරිකාවේ දෙවන විශාලතම බැංකු කඩා වැටීමයි.

ගෙවුණු මාර්තු මාසයේදී ඇමරිකාවේ විශාලතම බැංකු දෙකක් කඩා වැටුණා. ඒ, 16 වන තැන සිටි සිලිකන් වැලි බැංකුව සහ 29 වන තැන සිටි සිග්නේචර් බැංකුවයි. මෙම බැංකු කඩා වැටීම් ඇමරිකන් ඉතිහාසයේ දෙවන හා තෙවන විශාලතම බැංකු කඩා වැටීම් ලෙස සටහන් වුනා. එහෙත්, ෆස්ට් රිපබ්ලික් බැංකුව මේ බැංකු දෙකටම වඩා විශාල නිසා එම බැංකුවේ කඩා වැටීම දෙවන විශාලතම බැංකු කඩා වැටීම බවට පත් වී තිබෙනවා. 

ඇමරිකාවේ ෆෙඩරල් තැන්පතු රක්ෂණ ක්‍රමය නිසා කිසියම් බැංකුවක් කඩා වැටුනත් ඩොලර් 250,000 දක්වා වන තැන්පතු සුරක්ෂිතයි. මෙම රක්ෂණ ක්‍රමය වෙනුවෙන් සාමාජික බැංකු විසින් වාර්ෂිකව මුදලක් ගෙවිය යුතුයි. 

බැංකුවක් බංකොලොත් වූ විට ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම විසින් තැන්පතු ආරක්ෂා කරන ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය, තැන්පතුකරුවන්ට අදාළ මුදල් සෘජුව ගෙවා දැමීමයි. දෙවන ක්‍රමය, එවැනි බැංකුවක් සෘණ මිලකට වෙනත් බැංකුවකට විකිණීමයි. 

මාර්තු මාසයේදී බැංකු කඩා වැටුණු විට පළමු ක්‍රමය අනුගමනය කළත්, ෆස්ට් රිපබ්ලික් බැංකුව අදාළව දෙවන ක්‍රමය අනුගමනය කිරීමට ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම සමත්ව තිබෙනවා. මේ අනුව, මේ අනුව තරඟකාරී වෙන්දේසි ක්‍රමයකින් අඩුම ලන්සුව ඉදිරිපත් කළ ජේපී මෝගන් චේස් බැංකුවට ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම විසින් පවරාගත් ෆස්ට් රිපබ්ලික් බැංකුවේ වත්කම් හා බැරකම් විකුණා තිබෙනවා. කඩා වැටුණු පසු තැන්පතු වෙනුවෙන් වන්දි ගෙවීමට සාපේක්ෂව මෙම ක්‍රමය වාසිදායක ක්‍රමයක්.

බැංකුවක් බංකොළොත් වුනා කියන්නේ එහි වත්කම් වලට වඩා බැරකම් වැඩියි කියන එකයි. කිසිවෙකු විසින් එවැනි ශුද්ධ බැරකමක් මුදල් ගෙවා ලබා ගන්නේ නැහැ. ඒ නිසා, ශුද්ධ බැරකමක් විකිණිය හැක්කේ සෘණ මිලකටයි. ඒ කියන්නේ සල්ලිත් එක්කයි. අඩුම මුදල් ප්‍රමාණයක් සමඟ ෆස්ට් රිපබ්ලික් බැංකුව මිල දී ගන්නට කැමති වී තිබෙන්නේ ඇමරිකාවේ ලොකුම බැංකුව වන ජේපී මෝගන් චේස් බැංකුවයි. 

ඇමරිකානු ඉතිහාසයේ විශාලතම බැංකු කඩා වැටීම 2008දී සිදු වූ වොෂින්ටන් මියුචුවල් බැංකුව කඩා වැටීමයි. ඒ අවස්ථාවේදී එම බැංකුව මිල දී ගත්තේද ජේපී මෝගන් චේස් බැංකුවයි. මේ අයුරින් බංකොලොත් බැංකුවක් වෙනත් බැංකුවකට පැවරීම සඳහා ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගමට වැය වන්නේ තැන්පතු මුදල් ආපසු ගෙවනවාට වඩා අඩු මුදලක්.

පොලී අනුපාතික ඉහළ දැමීම බැංකු පද්ධතියේ ස්ථාවරත්වය මත අහිතකර ලෙස බලපාන නමුත් ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් වඩා විශාල අභියෝගය ලෙස හඳුනාගෙන තිබෙන්නේ උද්ධමනය පාලනය කිරීමයි. එහිදී, ඔවුන් බැංකු කඩා වැටීම ගැන නොසිතා සෘජුව තීරණ ගන්නා අතර බැංකු කඩා වැටීම් වලට වෙනම විසඳුම් දෙනවා. ඇමරිකානු ඩොලරයේ ශක්තිය රඳා පවතින්නේ ඇමරිකාවේ උද්ධමනය අඩු මට්ටමක ස්ථාවර ලෙස පවත්වා ගැනීම මතයි. 

වෙබ් ලිපිනය: