වෙබ් ලිපිනය:

Wednesday, July 17, 2024

ජනාධිපතිවරණ දිනය


මේ අවුරුද්දේ ඇමරිකාවේ වගේම ලංකාවේත් ජනාධිපතිවරණ පැවැත්වීමට නියමිතයි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 අඟහරුවාදා. මේ දිනය ඇමරිකන් නීතියෙන් නිශ්චය වී තිබෙන දිනයක්. ඒ නිසා, කිසියම් බලධාරියෙකුට ඒ දිනය තීරණය කිරීමේ හැකියාවක් නැහැ.

ලංකාවේ නීතියෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය ඇමරිකාවේ වගේ හරියටම තීරණය වී නැහැ. එම දිනය තීරණය කිරීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසම සතුවයි. නමුත් ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාල රාමුව නීතියෙන් නිශ්චය කර තිබෙන නිසා මැතිවරණ කොමිසමට දින තීරණය කළ හැක්කේ නීතියෙන් ඉඩ ලැබෙන කාල රාමු හා ගැලපෙන විදිහටයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මසකට නොඅඩු හා දෙමසකට නොවැඩි දිනයක ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වී සිටින්නේ ඉල්ලා අස් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේ ඉතිරි කොටස අවසන් වන තුරුයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ වැඩ භාර ගත්තේ 2019 නොවැම්බර් 18 වෙනිදා. ඒ නිසා, ඔහුගේ ධුර කාලය 2024 නොවැම්බර් 17 දිනෙන් අවසන් වෙනවා. ඒ අනුව, සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 අතර දිනක ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. 

නමුත්, මේ අවුරුද්දේ සැප්තැම්බර් 17 වගේම ඔක්තෝබර් 17ත් පෝය දවස්. ජනාධිපති මැතිවරණ පණත අනුව පෝය දවසක ජනාධිපතිවරණය පවත්වන්න බැහැ. ඒ නිසා, ඔය කාල පරාසය සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 16 දක්වා කාලයට සීමා වෙනවා.

ජනාධිපති මැතිවරණ පණත අනුව, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට සති හතරකට නොඅඩු හා සති හයකට නොවැඩි දිනක නාමයෝජනා කැඳවිය යුතුයි. මේ අනුව, නාමයෝජනා භාර දීම සඳහා අගෝස්තු 7 හා සැප්තැම්බර් 18 අතර දිනයක් යොදාගන්න පුළුවන්. 

නාමයෝජනා කැඳවන දිනය දැනුම් දී ගැසට් නිවේදනයක් නිකුත් කළ යුත්තේ නාමයෝජනා දිනයට දින 16කට නොඅඩු හා දින 21කට නොවැඩි කාලයක් ඇතුළතයි. මේ අනුව, මැතිවරණ කොමිසමට ජූලි 17 සිට සැප්තැම්බර් 2 දක්වා දිනයක මෙම ගැසට් නිවේදනය නිකුත් කළ හැකියි. ඔය තමයි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ යුතු දිනය සම්බන්ධ නෛතික සීමාවන්.

මැතිවරණ කොමිසමේ සභාපතිට අනුව, ඉහත ගැසට් නිවේදනය නිකුත් කළ හැකි අවසන් දිනය අගෝස්තු 20. ඒ දිනය ඔහු ගණනය කළේ කොහොමද කියන එක පැහැදිලි නැහැ. මම හිතන විදිහට මේ සඳහා මැතිවරණ කොමිසමට සැප්තැම්බර් 2 දක්වාම කාලය තිබෙනවා. සරල ගණිතය අනුව, සැප්තැම්බර් 2 දින අදාළ නිවේදනය නිකුත් කළත්, එයින් දින 16කට පසුව සැප්තැම්බර් 18 දින නාම යෝජනා කැඳවලා, තවත් දින 28කට පසුව ඔක්තෝබර් 16 දින ජනාධිපතිවරණය තියන්න පුළුවන්. 

මෙය ගැසට් නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද කිරීමට යෝජනා කිරීමක් නෙමෙයි. නෛතික ප්‍රතිපාදන තිබුනත්, ඒ විදිහට අවසන් දවස දක්වා කල් ගන්න සුදුසු නැහැ. විශේෂයෙන්ම රටේ ගොඩක් අය මේ දවස දැන ගන්න විශේෂ උනන්දුවකින් ඉන්න මේ වගේ අවස්ථාවක ඔය වැඩේ පුළුවන් තරම් කලින් කරන එකයි වඩා සුදුසු. කොහොම වුනත්, මේ වන විට මැතිවරණ කොමිසමේ සභාපති මේ හා අදාළව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇති නිසා ඔය ගැසට් නිවේදනය නිකුත් වීමට ඒ තරම් කල් යන එකක් නැහැ. 

මැතිවරණ කොමිසමේ සභාපති විසින් නිවේදනය කළ පරිදි මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරෙන නිවේදනය නිකුත් කිරීමට නියමිතයි. නමුත් ඔය වැඩේ හෙට අනිද්දා කරන්න ඉන්නවානම් ඒ ගැන කලින් ප්‍රකාශ නිකුත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. ගොඩක් වෙලාවට වැඩේ වෙන්න ඉඩ තියෙන්නේ මාසයේ අවසානය කිට්ටු කරලා. අපි ජූලි 25-31 සතිය ඇතුළත මේ නිවේදනය නිකුත් කරනු ඇතැයි උපකල්පනය කරමු.

ඉහත සතිය ඇතුළත ගැසට් නිවේදනය නිකුත් කළොත්, නාම යෝජනා කැඳවන්න වෙන්නේ අගෝස්තු 10-21 දක්වා කාලය ඇතුළතයි. සති අන්තය අත ඇරියොත් අගෝස්තු 12-21 අතර. පෝය, රාහු කාල දවස් අත ඇරියම මේ දවස අගෝස්තු 12, 13, 14, 15, 20, 21 දවස් වලින් එකක් වෙන්න පුළුවන්. 

මේ දවසක නාම යෝජනා කැඳවනු ලැබුවොත්, ඔක්තෝබර් 2 වෙන්න කලින් ජනාධිපතිවරණය පවත්වන්න වෙනවා. සමහර තැන් වල සඳහන්ව තිබුණු පරිදි ඔක්තෝබර් 3 හෝ ඔක්තෝබර් 10 වගේ දවසක ජනාධිපතිවරණය තියන්න වෙන්නේ නැහැ. එහෙම කරන්නනම්, ගැසට් නිවේදනය නිකුත් කරන එක අගෝස්තු මාසය දක්වා කල් දමන්න වෙනවා.

අපි හිතමු ගැසට් නිවේදනය එන්නේ ජූලි 31 කියලා. එහෙම වුනොත් නාම යෝජනා ගන්න පුළුවන් අන්තිම දවස අගෝස්තු 21නේ. එතකොට මැතිවරණය පැවැත්විය හැකි අවසාන දිනය ඔක්තෝබර් 2. ඒ කියන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්‍රකාශය අනුව ඔහු ඇත්තටම කටයුතු කළොත්, මේ වෙද්දී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 2 දක්වා කාල පරාසයට සීමා වී අවසන්. උපරිම වශයෙන් තව දවස් 77යි!

8 comments:

  1. ලංකාවේ ජනපතිවරණය ගැන කියනකොට සේරටම කලින් රටකපටි, ප්‍රජාතන්ත්‍ර විරෝධී, එක්සත් ජනපද ඩිමොක්‍රටික පක්ෂයේ ලංකා ප්‍රධාන නියෝජිත, ලංකාවේ වත්මන් විධායක ජනපති ආචාර්ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවර ලංකාවේ ජනාධිපතිවරණය තියයි ද කියලා තියනකම්ම ෂුවර් නෑ කියල මුලින්ම කියන්න ඕන නේද? බටහිර සහායත් තියෙන නිසා ඒ යකා මොන ගේමක් දෙයිද දන්නේ නැහැ ඉස්සරහට.

    එක්සත් ජනපද ඩිමොක්‍රටික පක්ෂයේම තවත් බළල් අතක් වන ලංකාවේ මාලිමාව (ජාජබ) පැත්තට සහයෝගය ලබාදීමට දැනට යම් සුළු නැඹුරුවක් පෙන්වන තරුණ මුස්ලිම් සහ දමිළ කොටස් වුණත් ජනාධිපතිවරණය ප්‍රකාශ කළ පසු ඔවුන්ගේ ප්‍රධාන පක්‍ෂ වන මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ සංධානය වගේ පක්ෂ හිට ගන්න තැන් බැලුවම තරගය රනිල් සහ සජිත් අතරට එන බව ෂුවර් එකටම පේනවා.

    ඒත් ලංකාවේ බහුතර සිංහල බෞද්ධ ජාතිවාදී දාරබයි ජන පදනම නම් මාලිමාවේ අනුර කුමාර දිසානායක සහෝදරයාට කිසිම සහයෝගයක් දෙන්නෙ නැති තත්ත්වයට පත්වෙලා. ඔවුන්ට තවමත් පැහැදිලි ඔප්ෂන් එකක් නෑ වගේ තමයි පේන්නේ, ඒත් ඔවුන්ට අවසන් මාසය තීරණාත්මක වේවි. එක්සත් ජනපදයේ සහ භාරතයේ සහායයෙන් සමාජ මාධ්‍ය වලින් පෙන්නන මාලිමා රැල්ලත් දැන් අවාසනාවන්ත ලෙස අඩුවේගෙන ගිහින්.. රනිල් හා සජිත් අතර දෝලනය වෙන සමහර චරිත හා පක්ෂ වල ⁣සහයෝගය මෙවර දිනන පැත්ත තීරණය කරන්න ඉඩ තියෙනවා නේද? ඉකොනොමැට්ටා මොකද හිතන්නේ? රනිල් සහ මාලිමාව දෙකටම සහාය දෙනවාද? එක්සත් ජනපද ඩිමොක්‍රටික පක්‍ෂයේ තීරණය ප්ලෑන් ඒ රනිල් ප්ලෑන් බී අනුර ද? ප්ලෑන් සී සජිත් ද?

    මීළඟ ඇමරිකන් මැතිවරණය රිපබ්ලිකන්ස්ලා දිනුවොත් ලංකාවට මොනවා කරයිද? මෙවර ඩිමොක්‍රටික සහාය ලබන පක්‍ෂය ලංකාවේ රාජ්‍ය බලය අරගත්තොත් තව ටික දවසකින් පත්වන රිපබ්ලිකන් පක්ෂ රජයක් විසින් ලංකාවේ මෙවර පත්වන ඩිමොක්‍රටික නියෝජිත එකාව එලවන්න නැවතත් ලංකාවේ අරගලයක් දියත් කරලා උන්ගේ වෙනත් නියෝජිතයෙක් පත් කරාවිද? ඒ හරහා ලංකාවට නැවතත් මහත් විනාශයක් සිදුවේවි ද? කොහොමත් මෙවර ලංකාවේ ජනපතිවරණය දිනන මොකා හෝ එකා හෝ එකී එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික රිපබ්ලිකන් පක්ෂ දෙකම ෂේප් කර ගෙන භාරතයේ බීජේපී එකටත් කීකරුව උනුත් ගානට බැලන්ස් කරගෙන යුරෝපා සංගමය සහ විදේශගත ලාංකික දමිල ප්‍රජාව එක්කත් හොඳ හිත තියාගන්න වගේම ලංකාවේ බහුතර සිංහල බෞද්ධ ජාතිවාදී දාර බයි හැතිකරයගෙන් බහුතරයකුත් ෂේප් කර ගන්න පුළුවන්කම තියෙන එකෙක් වුණොත් නම් විතරක් ලංකාවට යම් ප්‍රමාණයකට හෝ හොඳ අනාගතයක් තියෙයි නැත්නම් ඉතින් සොරි ඩොට් කොම් තමයි.
    මේ ගැන ඉකොනොමැට්ටාගේ අදහස මොකක්ද?

    ReplyDelete
  2. ඇසල නිකිණි බිනර - ජනා පිනා ගෙදර
    😂😂😂😂😂😂

    ReplyDelete
  3. @ Economatta

    Businesses dependant on Maldives market will have to be cautious as the Maldivian economic situation is not doing good and a possible economic crisis is not too far from now unless some bailout happens.

    This is not to share any negative sentiments but a heads up so the business interests of your respective organizations can be safeguarded.

    *_Below article is from Sunday Times (14-July-2024)_*

    Maldives has to pay US$400 million of sovereign debt payment by next month. The Maldives is facing a severe debt crisis, with the need for more than $500 million annually to repay its creditors. The debt repayment amount is set to increase to $1.07 billion in 2026, which surpassed the country’s foreign currency reserve of $492 million in May. Fitch Ratings, in its recent rating of the country, highlighted that the Maldives only has $73 million in usable foreign reserves, which is barely enough to cover a month’s worth of imports. This situation is concerning for a small island nation that heavily depends on imported medicine, oil, and staple foods.

    https://www.sundaytimes.lk/240714/business-times/sri-lankan-banks-on-guard-after-fitch-downgrades-maldives-563750.html

    Surprisingly 59 countries in the world are facing high levels of debt distress as per WB reporting made in May 2024.

    Unfortunately, many of those have an impact to SL, as SL do trade with most of those countries in this list of 59. Can you please explain about this as well?

    ReplyDelete
  4. ලංකාවේ මැතිවරණ කොමිසමට අනුව 2024 ජන්ද හිමි නාම-ලේඛණයේ එකතුව දළ වශයෙන් ඡන්දදායකයන් 17,640,000 වන නිසා ඒකෙන් ජන්ද මිලියන 2.5 ක් ප්‍රකාශ නොකරයි කියලා හිතුවොත් සමස්ත ප්‍රකාශිත ජන්ද 15,140,000 ක්, ඒකෙනුත් ප්‍රකාශ කිරීමේදී අවලංගු විය හැකි ප්‍රමාණය විදියට අග තියෙන 140,000 ඉවත් කරෝතින් මෙවර ලංකාවේ ජනාධිපති වෙන කෙ⁣නා ජන්ද ලක්ෂ 75 ක් සහ තව එක ජන්දයක් වැඩි පුර ගත යුතුයි (සම්භාවිතා හා සංඛ්‍යාන අනුව)

    මෙතනදී

    01. දැනට ජනපති රනිල් වික්‍රමසිංහට පොදුජන පෙරමුණ පොහොට්ටුවේ සහාය සම්පුර්ණ ලැබුනොත් වැඩිපුර තව ලක්ෂ 6 ක් පමණ සහ තව එකක් ඕනේ.රනිල්ට පොහොට්ටුවේ සම්පූර්ණ සහයක් ලැබුනොත් තව චන්ද ලක්ෂ 6 ක් ගත යුතුයි කිව්වේ දැන් පොහොට්ටුවේ චන්ද ලක්ෂ 69ක් නැති නිසාත් නන්දසේන ගෝඨාභය උන්නැහේට ලැබුණු චන්ද විවිධ බලවේග වල එකතුවක් නිසාත් අද ඒ එකතුව සී සී කඩ ගොස්‍ දැන් පොහොට්ටුවට උපරිම චන්ද ලක්ෂ 25ක් ඇති. රනිල්ට ලැබෙන්නේ ඒ ටික. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දැම්මොත් ඒකත් බෙදෙනවා.

    02. සජිත්ට ගියවර ලැබුණ ජන්ද ලක්ෂ 55 එලෙසම තියාගෙන අමතරව ඔහුට ජනාධිපති වීමට තව ජන්ද ලක්ෂ 20 ක් සහ එක ජන්දයක් ඕනේ

    03.පොහොට්ටුව අපේක්ෂකයෙක්
    දැම්මොත් රනිල්ටද පොහොට්ටුවේ අපේක්ෂකයාටද පහුගිය ජනවරම දෙකට බෙදුනා කියලා හිතුවොත් ඒ දෙදෙනාගෙන් කෙනෙකුට ජනාධිපති වෙන්න ජන්ද ලක්ෂ 40.5 සහ තව එක ජන්දයක් වැඩි පුර පිටිං සොයා ගත යුතුයි.

    04. ඊළඟට අවමම සම්භාවිතාව පවතින අනුර දිසානායක ජනාධිපති වන්නේ නම් ආසන්නව ඔහු 2019 ජනාධිපතිවරණයට වඩා ජන්ද ලක්ෂ 71 කුත් තව එකක් මෙවර වැඩි පුර ගත යුතුය. (එනම් ගියවර ගෝඨාභයට වැටුන ජන්ද ප්‍රමාණය සම්පුර්ණයෙන්ම අනුරට වැටිලා මෙවර අළුත් ඡන්ද වලිනුත්
    තව ලක්ෂ 2කකට වඩා අනුරට ලැබිය යුතුයි).

    මේ අනුව කළ හැකි නිගමන;

    01.රනිල් නැවතත් ජනාධිපති වීම පොහොට්ටුවේ 100% සම්පුර්ණ සහාය නැතුව කිසිසේත්ම සිදු නොවන්නක්ම වන්නේය.

    02.සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වීම තීරණය වෙන්නේ පොදුජන පෙරමුණ පොහොට්ටුවේ හැසිරීම මතයි. සුළු වාර්ගික පක්ෂ ලෙස අදටත් හකීම් බදියුද්දින් මනෝ ගනේෂන් දිගම්බරන්ලාගේ පක්ෂ සජිත් සමග විපක්ෂයේ ඉන්නවා. පොහොට්ටුව එක්ක සිටි අතාඋල්ලාහ් දැන් සජිත් සමග එකතුවෙලා දෙමළ සංධානයේ ටෙලෝ වගේ පක්ෂ සජිත් එක්ක ඉන්නවා. දමිළ සන්ධානය රනිල් ඉල්ලුවොත් දෙකට බෙදී පලුවක් සජිත්ට එකතු වෙනවා.

    රනිල් බලවත් වන්නේ පොහොට්ටුව සම්පුර්ණයෙන් රනිල්ට උදව් කරොත් විතරයි. පොහොට්ටුව වෙනමම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවනම් රනිල්ට අවාසියි. එතකොට දිනන්නට වැඩිම ඉඩකඩ තියෙන අපේක්ෂකයා එක්කයි සුළු ජන්ද මෙවර එකතු වෙන්නේ, එහෙම වුණොත් විපක්ෂයේ ඉන්න සුළු වාර්ගික පක්ෂ සජිත්ට එකතුවෙන්න ඉඩ කඩ වැඩියි. මේ අනුව පොහොට්ටුව සම්පුර්ණ සහාය රනිල්ට දීම නොදීම මතම සුළු ජන පදනම රැදෙනවාද නැද්ද යන්න කීරණය වන තැනක සජිත්ද හිරවී ඇත.

    03. මාලිමාවේ අනුර මෙවර ජනාධිපති වෙනවා නම් එය ලංකාවේ ජනපතිවරණයක කිසිදා සිදුනොවු විස්මයජනක ආශ්චර්යයක්ම විය යුතුයි.

    04. පොදුජන පෙරමුණ පොහොට්ටුව රනිල් හැර වෙනත් ජනාධිපති වරයෙක් හදනවානම් එය අනුර රටේ ජනාධිපති වෙනවාටත් වඩා ලොකු ආශ්චර්යයක් විය යුතුයි පවතින තත්ත්වය දෙස සංඛ්‍යානය අනුව බලනවිට.

    මේ පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. Good analysis, but I have some doubts on few fact you have narrated to be honest;

      In fact, how RW get 7 million votes? If he is short of 0.6 million votes, and SLFP could only get maximum of 2.5 million votes, who will be the balance 3.9 million votes? considering my own experiences during my vacation in SL mid of this year, I've noticed that most of the voters haven't change. Even though most of the people are fed up of all the parties and the whole political system in SL, they are most likely to blindly follow the same parties (except the floating votes) they supported before, specially the rural countryside, the SLFPers (now SLPP MR gang) & UNPers follow their former leaders (UNPers now split in to two, SJB & RW followers where RW is gaining more popularity & SJB is fading away). By the way, it seems even during the worst scenario, SLFP is likely take 3.0 - 3.5 million, they have much more fans than we see in social media in ground level. Most of the social media users also read the stuff but not comment. Therefore we cannot see whom they really like through the highly biased social media comments handled by few activists biased and acts like a powerful cartel.

      Therefore if SLPP gets 3.5 million votes, and fully support RW without presenting another SLPP candidate, he still needs another 3.5 million votes. Also that Dileet Jayaweera's party (IDK the exact name) including Weerawansas Dallas etc. will likely to get another half million votes.

      On the other hand, SJB isn't popular in the south despite their existing few old former UNP fandom in the south around 1.0 - 1.5 million but their major vote base is largely comprising minority ethnicities in the North, East and urban areas. However, RW seems attracting most of them since the MR's power is largely faded away and they need wiser leader who could be able to establish the economic stability. SJB leader SP seems incompetent to be a national leader & unable to impress most of the floating voters and even most of the UNPers due to his impotent, childish & immature behavior. NPP also quite popular among new generation youngsters and few middle class people who severely affected & suffers from heavy taxation by the current IMF and west backed RW regime. They'd love to see NPP criticize and fight against the current regime, but most of them doesn't believe that NPP could manage the government, specially the economy either. They'd love to keep them in the opposition and fight against corruption and price hikes etc. So that they believe it would pressure the government to do popular humane things where RW is believed to be inhumane and emotionless zombie character by the majority of the people.

      Vast majority of the floating voters in the western, southern, central, NW, NC etc. seems not found any suitable candidate to vote. But they may decide either to vote someone or skip voting in the brink of presidential election crisis, probably in this coming September. Lets see how it goes.

      Delete
  5. මේ සම්බන්ධ බොහෝ තැන්වල මම දැක්ක දෙයක් තමයි ජනාධිපතිවරණය සෙනසුරාදාවක පැවැත්විය යුතු බව. එය නිවැරදිද? එසේනම් මෙම ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ සැප්තැම්බර් 21, 28, ඔක්තෝබර් 5 හෝ 12 යන දිනවලින් එකකයි.

    ReplyDelete
    Replies
    1. බොරු කතාවක්!

      2015 ජනවාරි 8 - බ්‍රහස්පතින්දා
      2010 ජනවාරි 26 - අඟහරුවාදා
      2005 නොවැම්බර් 17 - බ්‍රහස්පතින්දා
      1999 දෙසැම්බර් 21 - අඟහරුවාදා
      1994 නොවැම්බර් 9 - බදාදා
      1988 දෙසැම්බර් 19 - සඳුදා
      1982 ඔක්තෝබර් 20 - බදාදා

      (අන්තිමට සෙනසුරාදා දවසක තියපු එකට තමයි සෙනසුරා ලැබුවේ!)

      Delete
  6. පහද හයද පනත ගෙනල්ල ආන්ඩුව මොකක්ද කරන්න හදන්නෙ ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: