ඇමරිකන් රජයේ විශාල රාජ්‍ය මැදිහත්වීමක උදවුවෙන් තවත් ආර්ථික අර්බුදයක මුව විට සිටි ආජන්ටිනාව එම අර්බුදය යටපත් කර ගැනීමට සමත් වී තිබෙනවා. ඇමරිකාව විසින් සාමාන්‍යයෙන් විදේශ රටකට සිදු කරන ආකාරයේ මැදිහත්වීමකින් එහාට ගිය මෙම ඇමරිකන් රාජ්‍ය මැදිහත්වීම ආජන්ටිනා ආර්ථිකය බේරා ගැනීම සඳහා සිදු කළ ආර්ථික මැදිහත්වීමක්ටත් වඩා, පිරිහෙමින් ඇති වත්මන් ආජන්ටිනා ජනාධිපති හවියර් මිලේගේ ජනප්‍රියත්වය තවත් මාසයකින් පැවැත්වෙන ආජන්ටිනා මැතිවරණයට පෙර නැවත ගොඩ නංවා දීමේ උත්සාහයක් ලෙස සිදු කළ දේශපාලන මැදිහත්වීමක් වශයෙන් සැලකිය හැකියි.
ආජන්ටිනාව යනු පසුගිය සියවසේ මුල් කාලයේදී ලෝකයේ ධනවත් රටවල් අතර සිටි රටක්. පසුව මෙම ස්ථානය ක්‍රමයෙන් පහත වැටුනත්, දැනටත් ආජන්ටිනාව ඉහළ ආදායම් ලබන රටවල අවම ආදායම් සීමාව ආසන්නයේ සිටින ඉහළ මැදි ආදායම් රටක්. 2024දී ආජන්ටිනාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 13,440ක් වූ අතර, ඉහළ ආදායම් රටවල් සේ සැලකුනේ එම ආදායම ඩොලර් 13,935 ඉක්මවන රටවලුයි.
පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිට, 1991දී ඉහළ මැදි ආදායම් කාණ්ඩයට උසස් වූ ආජන්ටිනාව, ලංකාව මෙන් ඉන් පසුව නැවතත් පහළ මැදි ආදායම් කාණ්ඩයට වැටුණේ නැහැ. ආජන්ටිනාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම පසුගිය වසර වලදී ඉහළ ආදායම් සීමාව ආසන්නයේ උච්ඡාවචනය වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 2014 හා 2017 වසර වලදී ආජන්ටිනාව ඉහළ ආදායම් කාණ්ඩයට ලඟා වුනත්, ඒ තත්ත්වයනම් දිගටම පවත්වා ගත හැකි වූයේ නැහැ. මීට ප්‍රධාන වශයෙන් හේතු වූයේ රටේ විදේශ අංශයේ ස්ථාවරත්වය පවත්වා ගත නොහැකි වීමයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "නිත්‍ය පාරිභෝගිකයෙක්" සේ සැලකිය හැකි ආජන්ටිනාව මේ වන විට 23 වරක් එම අරමුදලෙන් ණය ලබා ගෙන තිබෙනවා. මේ වන විටද මූල්‍ය අරමුදලේ ලොකුම ණයකරු වන ආජන්ටිනාව විසින් අරමුදලට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 60කටත් වඩා වැඩියි. මෙම ණය ප්‍රමාණය මූල්‍ය අරමුදල විසින් මේ වෙද්දී රටවල් 86කට ලබා දී තිබෙන, එම රටවල් විසින් අරමුදලට ආපසු ගෙවිය යුතුව ඇති, මුළු ණය ප්‍රමාණයෙන් 35.0%කට සමානයි. මේ අනුව පෙනී යනු ඇත්තේ ආජන්ටිනාවට මූල්‍ය අරමුදලෙන් තොර පැවැත්මක් නැතුවාක් මෙන්ම අරමුදලටද ආජන්ටිනාව "නැතුවම බැරි" රටක් බවයි.
ආජන්ටිනාවට අවසන් වරට මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට සිදු වූයේ මෙම (2025) වසරේ අප්‍රේල් මාසයේදීයි. එහිදී ඩොලර් බිලියන 20ක දැවැන්ත ණය මුදලක් අනුමත වූවාක් මෙන්ම එම මුදලෙන් ඩොලර් බිලියන 12ක්ම වහාම ලබා ගැනීමටද ආජන්ටිනාවට හැකි වුනා. ඉන් පසුව සිදු කෙරුණු පළමු විමර්ශනය අවසන් වීමෙන් පසුව, ජූලි මාසයේදී තවත් ඩොලර් බිලියන 2ක මුදලක් මුදා හැරුණා. කෙසේ වුවද, මෙවැනි විශාල ණය මුදලක් අරමුදලෙන් ලබා ගැනීමෙන් පසුවද, ආජන්ටිනාව තවමත් ලංකාව මෙන් සිය විදේශ අංශය ස්ථාවර කර ගැනීමට සමත් වී නැහැ.
ලංකාව හා ආජන්ටිනාව ඇතුළු, වරින් වර නැවත නැවතත් මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ලබා ගන්නා රටවල පොදු ලක්ෂණයක් වන්නේ නිදන්ගත අයවැය හිඟය සහ නිදන්ගත ජංගම ගිණුම් හිඟයයි. එහෙත්, මෙම තත්ත්වයන් හා අදාළව ආජන්ටිනාවේ ඉතිහාසය ලංකාවේ තරම්ම නරක එකක් නෙමෙයි. 1956 සිට 2024 දක්වා එක දිගට වසර 59ක් තිස්සේ අඛණ්ඩව අයවැය හිඟයක් පවත්වාගෙන ගොස් ඇති ලංකාව අවම වශයෙන් තවත් වසර 15ක් පමණ යන තුරු මෙම වාර්තාව නැවත නැවත අලුත් කිරීමට නියමිතයි. ඊට සාපේක්ෂව ආජන්ටිනාව විසින් එක දිගට අඛණ්ඩව අයවැය හිඟයක් පවත්වාගෙන ගොස් ඇත්තේ 2009 සිට 2023 දක්වා වූ වසර 15ක කාලය තුළ පමණයි. 2003-2008 වසර හය තුළ ආජන්ටිනාව අයවැය අතිරික්තයක් පවත්වා ගත්තා.
ආජන්ටිනාවේ දේශපාලනය
ආජන්ටිනාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මේ වන විට වසර 40ක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වී ඇති අතර, ඊට පෙර 1983 දක්වා කාලය වරින් වර ප්‍රජාතන්ත්‍රවාදී පාලකයින් හා හමුදා ආණ්ඩු අතර බලය මාරු වූ කාලයක්. ඉන් පසු කාලයේදී, ලංකාවේ මෙන්ම, කිසියම් පක්ෂයකට ඇති කැමැත්ත නිසා නොව, බලයේ සිටින පක්ෂයට ඇති අකැමැත්තට වෙනත් පක්ෂයකට ඡන්දය දීම ආජන්ටිනාවේද දිගින් දිගටම සිදු වූ දෙයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආජන්ටිනාවේ දේශපාලන බලය නව ලිබරල්වාදයේ සිට වාමාංශික ජනප්‍රියවාද දක්වා වරින් වර මාරු වුනා.
කිසියම් ආණ්ඩුවක කාර්ය සාධනය විමසා බලද්දී එම ආණ්ඩුවේ ප්‍රකාශිත දේශපාලන මතවාද දෙස බලනවාට වඩා ඇත්තටම කරන දේවල් දෙස බැලීම වඩා යෝග්‍ය ක්‍රමයයි. ඇතැම් ආණ්ඩු වමට සිග්නල් දමා දකුණට හරවද්දී තවත් ආණ්ඩු දකුණට සිග්නල් දමා වමට හරවන අවස්ථා තිබෙනවා.
පසුගිය (2024) වසරේදී, වසර 15කට පසුව, ආජන්ටිනාව විසින් නැවතත් අයවැය අතිරික්තයක් වාර්තා කළා. එය සිදු වූයේ දක්ෂිණාංශික හවියර් මිලේ බලයට පත් වීමෙන් පසුවයි. එහෙත්, ඊට පෙර ආජන්ටිනාව විසින් අයවැය අතිරික්තයක් පවත්වා ගත් 2003-2008 කාලයේදී එය සිදු වූයේ වාමාංශික ආණ්ඩුවක් බලයේ සිටියදීයි.
අයවැය තුලනය කිරීම
පසුගිය වසරේදී ආජන්ටිනාව විසින් නැවතත් අයවැය අතිරික්තයක් වාර්තා කිරීම හා අදාළව විවිධ ප්‍රබන්ධ ප්‍රචලිතව ඇතත්, ඇත්ත වශයෙන්ම සිදුව තිබෙන්නේ ආජන්ටිනා රජය විසින් වසරක් ඇතුළත විශාල ලෙස බදු ආදායම් වැඩි කර ගැනීම සහ වියදම් ඊට වඩා අඩුවෙන් වැඩි කර ගැනීමයි.
හවියර් මිලේ බලයට පත් වීමෙන් පසුව, 2023දී පෙසෝ බිලියන 19,033ක් වූ ආජන්ටීනා ෆෙඩරල් රජයේ බදු ආදායම, 2024 වන විට පෙසෝ බිලියන 60,772 දක්වා වැඩි කර ගැනීමට සමත් වුනා. මෙය 219.3%ක වර්ධනයක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස බදු නොවන ආදායම් ඇතුළුව සමස්ත රාජ්‍ය ආදායම පෙසෝ බිලියන 32,053 සිට පෙසෝ බිලියන 98,168 දක්වා 206.3%කින් ඉහළ ගියා.
මේ අයුරින් ආජන්ටීනාවේ රාජ්‍ය ආදායම විශාල ලෙස වැඩි වෙද්දී, රාජ්‍ය වියදම්ද ඉහළ ගියත්, එසේ ඉහළ ගියේ රාජ්‍ය ආදායම් වැඩි වූ වේගයට වඩා අඩු වේගයකිනුයි. සමස්ත රාජ්‍ය වියදම් පෙසෝ බිලියන 41,054 සිට පෙසෝ බිලියන 96,204 දක්වා 130.5%කින් ඉහළ ගියත්, ආදායම් වර්ධන වේගය ඊට වඩා බෙහෙවින්ම වැඩි වූ බැවින්, ආජන්ටිනාවට වසර 15කට පසුව නැවතත් අයවැය අතිරික්තයක් වාර්තා කිරීමට හැකි වුනා.
ෆෙඩරල් රජයේ වියදම් ආදායම් වර්ධන වේගයට වඩා අඩු වේගයකින් වර්ධනය වුවත්, වසරක කාලය තුළ රාජ්‍ය සේවක වැටුප් වියදම් 145.9%කින්ද, විශ්‍රාම වැටුප් වියදම් 176.7%කින්ද ඉහළ ගියා. සමස්තයක් ලෙස පුනරාවර්තන වියදම් වැඩි වෙද්දී කප්පාදු වී තිබුණේ ප්‍රාග්ධන වියදම් කොටසයි. එම වියදම් 29.6%කින් අඩු වී තිබුණා. මේ වසරේ ලංකාවේ සිදු වන බව පෙනෙන්නේද මෙවැන්නක්.
උද්ධමනය
හවියර් මිලේ බලයට පත් වන විට, 2023 නොවැම්බර් මාසයේදී, ආජන්ටිනාවේ උද්ධමනය පැවතුණේ 160.9% මට්ටමේ. මිලේ බලයට පැමිණි වහාම පෙසෝව විශාල ලෙස අවප්‍රමාණය කිරීම හේතුවෙන්, උද්ධමනය 292.2% මට්ටම දක්වා ඉහළ ගියා. කෙසේ වුවත්, එසේ විණිමය අනුපාතය අවප්‍රමාණය කිරීම කළ යුතුව තිබුණු දෙයක්.
ආජන්ටිනාවේ උපක්‍රමය වූයේ මුලින්ම පෙසෝව විශාල ලෙස අවප්‍රමාණය කිරීමෙන් පසුව එහි මිල නිදහසේ තීරණය වීමට ඉඩ නොදී, අවප්‍රමාණය වීම කෘතීම ලෙස පාලනය කිරීම මගින්, උද්ධමනය පාලනය කිරීමයි. මෙම උපක්‍රමය තාවකාලිකව සාර්ථක වී උද්ධමනය මේ වන විට 33.6% මට්ටම දක්වා පහත වැටී ඇතත්, විණිමය අනුපාතය කෘතීම ලෙස පාලනය කිරීම මගින් ආජන්ටිනාව නැවතත් අර්බුදයකට පාර කපා ගෙන තිබෙනවා.
විණිමය අනුපාතය
මිලේ බලයට පත් වන විට නිල වශයෙන් ඇමරිකන් ඩොලරයක් පෙසෝ 366.5ක් වූ අතර, කළු කඩයේ ඩොලරයක් ඊට වඩා කිහිප ගුණයක් වැඩියෙන් විකිණුනා. මිලේ බලයට පත් වීමෙන් පසුව ඩොලරයක මිල එක රැයින් පෙසෝ 800 දක්වා ඉහළ දමනු ලැබූ අතර ඉන් පසුව මාසයකට 2% බැගින් පෙසෝව අවප්‍රමාණය කෙරෙනු ඇති බව නිවේදනය කෙරුණා. මෙහි අරමුණ වූයේ භාණ්ඩ හා සේවා මිල ගණන් මාසයකට 2%කට වඩා වැඩියෙන් වැඩි නොවන බවට වග බලා ගැනීමයි. එහෙත්, ආජන්ටිනාවේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඊට වඩා වැඩි වේගයකින් ඉහළ යාම නිසා පෙසෝ කළු කඩය නැති වුනේ නැහැ.
මුදල් සැපයුම
ආජන්ටිනාවේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම විණිමය අනුපාතයේ උදවුවෙන් නවතා ගැනීම අසීරු වූයේ මුදල් සැපයුම වඩා වැඩි වේගයකින් ප්‍රසාරණය වූ බැවිනුයි. මිලේ බලයට පත් වන විට, 2023 නොවැම්බර් මාසයේදී පෙසෝ ට්‍රිලියන 8.97ක් වූ M0 මුදල් සැපයුම (සංචිත මුදල්) 2025 අගෝස්තු වන විට පෙසෝ ට්‍රිලියන 44.3 දක්වා 393.9%කින් ඉහළ ගොස් ඇති අතර, පෙසෝ ට්‍රිලියන 23.8ක් වූ M2 මුදල් සැපයුම 2025 අගෝස්තු වන විට පෙසෝ ට්‍රිලියන 80.8 දක්වා 239.5%කින් ඉහළ ගොස් තිබෙනවා. පෙසෝ ට්‍රිලියන 41.3ක් වූ M3 (පුළුල්) මුදල් සැපයුම 2025 අගෝස්තු වන විට පෙසෝ ට්‍රිලියන 144.0 දක්වා 248.7%කින් ඉහළ ගොස් තිබෙනවා.
මුදල් සැපයුම මෙසේ ඉහළ යද්දී විණිමය අනුපාතයේ උදවුවෙන් පමණක් උද්ධමනය පාලනය කර ගැනීම අසීරුයි. අනෙක් අතට, රටේ මුදල් ඉල්ලුම වේගයෙන් ඉහළ යද්දී පොලී අනුපාතික වල උදවුවෙන් පමණක් උද්ධමනය පාලනය කර ගැනීමද පහසු නැහැ.
මිලේ බලයට පත් වන විට උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් ආජන්ටිනාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 133% දක්වා ඉහළ දමා තිබුණා. එම මට්ටම වුවද සැලකුණේ උද්ධමනය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන මට්ටමක් ලෙසයි. එහෙත්, මිලේ බලයට පත් වූ පසුව දැක ගත හැකි වූයේ ආජන්ටිනා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රමයෙන් ලිහිල් කරන ආකාරයයි. මෙය අලුත් ආණ්ඩුවේ දේශපාලන නැඹුරුව අනුව සිදු වූ දෙයක් සේ සලකන්න පුළුවන්. කෙසේ වුවද, මේ වන විටත් ආජන්ටිනාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 29%ක් වන අතර බැංකු පොලී අනුපාතික තිබෙන්නේ 54% මට්ටමේයි.
මහ බැංකුවක් විසින් පොලී අනුපාතික අවශ්‍ය තරම් ඉහළ මට්ටමක තබා නොගන්නේනම්, වැඩි වන මුදල් ඉල්ලුම හා ගැලපෙන පරිදි මුදල් සැපයුමද වැඩි කරන්නට සිදු වෙනවා. ආජන්ටිනාවේ මුදල් සැපයුම මෙපමණ වේගයකින් ඉහළ යාමට හේතුව එයයි. විවෘත ආර්ථිකයක මුදල් සැපයුම ඉහළ යද්දී ආනයන ඉල්ලුම ඉහළ ගොස් විණිමය අනුපාතිකය මත පීඩනයක් ඇති වෙනවා. එම පීඩනය මුදා නොහැරේනම්, විණිමය අනුපාතය ආරක්ෂා කර ගැනීම සඳහා සංචිත වැය කරන්නට සිදු වෙනවා.
එසේනම්, මිලේ බලයට පත් වීමෙන් පසුව ආජන්ටිනාව පොලී අනුපාතික ක්‍රමයෙන් අඩු කළේ ඇයි? මෙහි වූයේ ආර්ථික වර්ධනය වැඩි කර ගැනීමේ දේශපාලනික අභිලාශයයි. පොලී අනුපාතික දිගින් දිගටම ඉහළ මට්ටමක පැවතියේනම් එය ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. එය හැම විටෙකම මෙන් පවතින ආණ්ඩුවකට දේශපාලනිකව අවාසිදායකයි.
විණිමය අනුපාතය නිදහස් කිරීම
කෙසේ වුවත් ආජන්ටිනාව විසින් දිගින් දිගටම විණිමය අනුපාතය හිර කරගෙන සිටීමේ ඉලක්කයක සිටියේ නැහැ. මිලේගේ දේශපාලනික අභිලාශ සමඟ වුවද වඩා ගැලපෙන්නේ හැකි ඉක්මණින් විණිමය අනුපාතය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමයි. මූල්‍ය අරමුදල සමඟ වැඩ සටහනකට ඇතුළු වීමෙන් පසුව එහි ඉලක්කයක් වූයේද විණිමය අනුපාතය ක්‍රමයෙන් නිදහස් කිරීමයි. මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බැලූ විට මෙම (2025) අප්‍රේල් මාසයේදී අරමුදලේ උදවුවෙන් ස්ථායීකරණ වැඩ පිළිවෙලකට යාමෙන් පසුව විණිමය අනුපාතයේ හැසිරීම තරමක් නම්‍යශීලී වී ඇති ආකාරය මෙන්ම, වඩා වැඩි වේගයකින් පෙසෝව අවප්‍රමාණය වීමද පැහැදිලිව දැකිය හැකියි.
විදේශ සංචිත
මිලේ බලයට පත් වන විට ආජන්ටිනාව සතු වූ විදේශසංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 17.5ක් දක්වා පහත වැටී තිබුණු අතර පෙසෝව එක් දිනක් තුළ 54%කින් අවප්‍රමාණය කිරීමෙන් පසුව මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 23.6 දක්වා ඉහළ ගියත්, 2025 මාර්තු වන විට නැවතත් ඩොලර් බිලියන 19.0 දක්වා පහත වැටුණා. ආජන්ටිනාව මූල්‍ය අරමුදලේ සහාය පැතුවේ ඉන් පසුවයි. අරමුදලේ සහාය ලැබීමෙන් පසුව, මේ වන විට (2025 සැප්තැම්බර් 23) ආජන්ටිනාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 39.2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සතියේ අවසන් දින තුන තුළ (සැප්තැම්බර් 17-19) ආජන්ටිනා පෙසෝව වේගයෙන් අවප්‍රමාණය වන්නට පටන් ගත්තා. මෙම අවප්‍රමාණය සීමා කර ගැනීම සඳහා එම දින තුන තුළ ආජන්ටිනාවේ විදේශ සංචිත වලින් ඩොලර් බිලියනයකට වඩා වැය කරන්නට සිදු වුනා. එසේ කිරීමෙන් පසුවද, ඩොලරයක මිල පෙසෝ 1,475 පමණ දක්වා ඉහළ ගියා. මේ තත්ත්වය හමුවේ නැවතත් ආර්ථික අර්බුදයකට නොයමින් විණිමය අනුපාතය රැක ගැනීමේ හැකියාවක් ආජන්ටිනාව සතු වූයේ නැහැ.
පෙසෝව රැක ගැනීම පිණිස තව තවත් සංචිත වැය කළේනම් ඉතා ඉක්මණින්ම ආජන්ටිනාවේ සංචිත පහත වැටී ඉදිරි මාස වලදී ගෙවිය යුතු විදේශ ණය ආපසු ගෙවිය නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. එමෙන්ම, මූල්‍ය අරමුදල සමඟ තිබෙන ගිවිසුම අනුව පෙසෝව රැක ගැනීම පිණිස මහා පරිමාණයෙන් විදේශ සංචිත විකිණීමේ හැකියාවක්ද නැහැ. මිලේ පෙනී සිටින මතවාද අනුව, ඉල්ලුම හා සැපයුම තුලනය වන පරිදි ඩොලරයක මිල ඉහළ යන්නට ඉඩ හැරියේනම්, අමාරුවෙන් යටපත් කරගෙන සිටින උද්ධමනය නැවතත් හිස එසවීම වලක්වන්න බැහැ. දේශපාලනයින් විසින් වේදිකා වල කවර මතවාද වෙනුවෙන් පෙනී සිටියත්, අවසාන වශයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ හැකි තරම් කලක් බලයේ සිටීමට උදවු වන ක්‍රියාමාර්ග පමණයි.
මේ තත්ත්වය තුළ ආජන්ටිනාවේ වාසියට සිටියේ වත්කම් ඇමරිකන් ආණ්ඩුව සමඟ ඇති මිත්‍රත්වයයයි. මිලේගේ ඉල්ලීමට ඇමරිකාවෙන් වහාම ප්‍රතිචාර ලැබුණු අතර ආජන්ටිනාව වෙනුවෙන් හැකි සෑම දෙයක්ම කිරීමට ඇමරිකාව වහාම ඉදිරිපත් වූ අතර ඇමරිකාවෙන් ඩොලර් බිලියන 20ක මුදලක් මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ලබා දෙන බව ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් වරයා විසින් නිවේදනය කළා.
ඉහත නිවේදනයෙන් අනතුරුව, අදාළ මුදල් ලබා දීමටද පෙර, ආජන්ටිනා පෙසෝව සඳහා වූ සමපේක්ෂණ ඉල්ලුම පහත වැටී විණිමය අනුපාතය නැවතත් පහත වැටී තිබෙනවා. ඒ අනුව, පොරොන්දු වූ මුදල ආජන්ටිනාවට ඇත්තටම අවශ්‍ය නොවෙන්නත් පුළුවන්.
ආජන්ටිනා මැතිවරණ
එළැඹෙන ඔක්තෝබර් 26 දින ආජන්ටිනාවේ මධ්‍යවාර මැතිවරණ පැවැත්වෙනවා. මේ හවියර් මිලේ බලයට පත් වීමෙන් පසුව පැවැත්වෙන පළමු මධ්‍යවාර මැතිවරණයයි. එම මැතිවරණයේදී ආජන්ටිනාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයින්ගෙන් අඩක්ද, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින්ගෙන් තුනෙන් එකක්ද තෝරා පත් කර ගැනීමට නියමිතයි. ජනමත විචාරණ ප්‍රතිඵල අනුව දැනට ඉදිරියෙන් සිටින්නේ මිලේගේ පක්ෂය වුවත්, පෙරොන්වාදී වාමාංශික සන්ධානය සිටින්නේද ආසන්න මට්ටමකයි.
මේ අතර පසුගිය සැප්තැම්බර් 7 දින පැවති බුවනෝස් අයර්ස් පළාත් මැතිවරණයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වූයේ පෙරොන්වාදී ජස්ටිශියලිස්ට් පක්ෂයි. එම පක්ෂය විසින් 47%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිද්දී මිලේගේ පක්ෂයට ලබා ගත හැකි වූයේ 34%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මෙම පළාත සාමාන්‍යයෙන් වමට බර පළාතක්ය යන්න අපට අමතක කළ නොහැකි වුනත්, මිලේගේ පක්ෂය ඉදිරියෙන් සිටි ධනවතුන් වැඩිපුර ජීවත් වන ප්‍රදේශද ඇතුළුව සියලුම ආසන වල මිලේගේ පක්ෂයේ ජනප්‍රියත්වය පහත වැටී පෙරොන්වාදීන් 2023ට සාපේක්ෂව 3%-17% අතර ප්‍රතිශත වලින් ඉදිරියට පැමිණ සිටීම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි දෙයක්.
සමපේක්ෂණ ඉල්ලුම ඉහළ ගොස් පෙසෝව වේගයෙන් අවප්‍රමාණය වීමට හේතු වූයේ ඉහත මැතිවරණ ප්‍රතිඵලයයි. මෙම මැතිවරණ ප්‍රතිඵලය හේතුවෙන් එළැඹෙන මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵල පිළිබඳවද යම් අවිනිශ්චිතතාවයක් පැන නැගී තිබෙනවා.
වත්නම් ඇමරිකන් ආණ්ඩුවේ අභිලාශය වනුයේ එළැඹෙන මැතිවරණයේදී මිලේගේ පක්ෂය ජයගනු දැකීම බව පැහැදිලියි. ඩොලර් බිලියන 20ක් ලබා දීමට එකඟ වීමෙන් පසුව ඇමරිකාව විසින් තව දුරටත් දැනුම් දී තිබෙන්නේ මැතිවරණයෙන් පසුව ආජන්ටිනාව වෙත ඇමරිකන් ආයෝජන පැමිණීම ප්‍රවර්ධනය කෙරෙනු ඇති බවයි. මෙය ආජන්ටිනාවේ ඡන්දදායකයින් වෙත ඇමරිකාව විසින් සිදු කළ දැනුම් දීමක් සේ සැලකිය හැකියි. එබැවින් මෙය සැලකිය හැක්කේ ආර්ථික මෙන්ම දේශපාලනික රාජ්‍ය මැදිහත්වීමක් ලෙසයි. මිලේගේ පක්ෂය වැනි පක්ෂ සාමාන්‍යයෙන් රාජ්‍ය මැදිහත්වීම් වලට විරුද්ධ බව පැවසුවත්, ඒ විරෝධය ප්‍රායෝගිකව මතු වන්නේ ප්‍රාග්ධනයට එරෙහි වාමාංශික රාජ්‍ය මැදිහත්වීම් වලදී පමණයි.
ආජන්ටිනාවට හෙන ගැහුවත් අපිට පාන්ද ඉකොනො
ReplyDelete