අපේ ප්‍රාන්තයේ සිනමාහලක ප්‍රදර්ශනය කෙරුණු පළමු සිංහල චිත්‍රපටය ලෙස පසුගිය සති අන්තයේදී "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" දර්ශන වාරයක් සංවිධානය කෙරුණු බවත්, එහි සංවිධායකවරයාට ඒ සඳහා පෞද්ගලිකව මමත් පුලුවන් තරමින් සහයෝගයක් සහ උත්තේජනයක් ලබා දුන් බවත් කලින් සටහනේ ලිවුවනේ. එහෙම කරන්න පෙළඹවීමක් ඇති වුනේ මෙය මීට කලින් කූඹියෝ ටෙලිනාට්‍යය හදපු අධ්‍යක්ෂවරයා විසින් හදපු චිත්‍රපටයක් වීම. ඒ නිසාම, කූඹියෝ පැත්තකින් තියලා වාලම්පුරි ගැන කතා කරන්න අමාරුයි.
කූඹියෝ ආවේ 2017දී. ඒ දවස් වලම ඒ ගැන ලියපු සටහනක් වියුණුවේ තිබෙනවා. නමුත් සටහන ලියද්දී පෙන්වලා තිබුණේ කථාවාර 57කින් කථාවාර 12ක් පමණයි.
ටෙලිනාට්‍යයක කථාවාර කීපයක් පමණක් බලලා ඒ ගැන අදහස් දක්වන එකේ ලොකු අවදානමක් තියෙනවා. ලංකාවේ ටෙලිනාට්‍ය බොහොමයක් හා අදාළව ඔය අවදානම ඉතාම අඩුයි. කථාවාර දහයක් බැලුවට පස්සේ කතාව ගලා යන විදිහ හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කතාවේ කලින් හිතා ගන්න බැරි වූ හැරවුමක් සිදු වුනොත් එසේ වෙන්නේ හදිසියේ එහි නළුවෙක් හෝ නිළියෙක් දමලා ගහලා යාමේ ප්‍රතිඵලයක් විදිහට මිසක් තිර රචකයාගේ පරිකල්පන සීමාවේ විශාලත්වය නිසා නෙමෙයි.
ටෙලිනාට්‍ය, චිත්‍රපට ආදිය බලනවාටත් වඩා මම සැබෑ ලෝකයේ මිනිසුන්ගේ හැසිරීම් දිහා පැත්තකට වෙලා බලා ඉඳලා ඒ චරිත රස විඳිනවා. මිනිහෙක්ව පැත්තකට වෙලා යම් කාලයක් තිස්සේ නිරීක්ෂණය කරද්දී ඒ පුද්ගලයාගේ පරිකල්පනයේ සීමාවන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ අනාගත හැසිරීම් පුරෝකථනය කරන්න පුළුවන්. ඒකේ තියෙන්නේ වෙනම ආතල් එකක්!
චිත්‍රපටයක් කෙසේ වෙතත්, ටෙලිනාට්‍යයක් බලද්දී ඔය වැඩේ ස්වයංක්‍රීය ලෙසම සිදු වෙනවා. නමුත් ටෙලිනාට්‍ය චරිතයක අනාගත හැසිරීම් පුරෝකථනය කරන එක සැබෑ ලෝකයේ පුද්ගලයෙකුගේ හැසිරීම් පුරෝකථනය කරන එකට වඩා ගොඩක් පහසුයි. ඊට හේතුව, ටෙලිනාට්‍ය චරිතයක හැසිරීම් පරාසය සැබෑ ලෝකයේ මිනිසෙකුගේ හැසිරීම් පරාසය තරමටම පුළුල් එකක් නොවීමයි. එහි සීමාව තිරරචකයාගේ හා/හෝ අධ්‍යක්ෂවරයාගේ පරිකල්පනයේ සීමාවෙන් එහාට යන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ සීමාව මිනිස් හැසිරීම් හා අදාළව සැබෑ ලෝකයේදී දැකිය හැකි සීමාවට වඩා පටු සීමාවක්. ඒ නිසාම, ටෙලිනාට්‍යයක් බලන එකේ ආතල් එක සැබෑ ලෝකයේ මිනිස්සු දිහා බලා ඉඳලා ගන්න පුළුවන් ආතල් එකට වඩා අඩුයි.
සිංහල ටෙලිනාට්‍යයක් බලද්දී ඊළඟට වෙන්න පුළුවන් දේ පහසුවෙන්ම හිතාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඊළඟ දෙබස් ඛණ්ඩය, සමහර විට අකුරක්වත් නොවෙනස්ව, ඒ විදිහටම කියන්න පුළුවන්. ඒ සඳහා අදාළ චරිතය මොන විදිහට හැසිරෙයිද කියන එක ගැන බැරෑරුම්ව හිතන්න අවශ්‍ය නැහැ. තිරරචකයා විසින් චරිත හසුරුවන්න ඉඩ තිබෙන සීමාව අල්ලා ගැනීම ප්‍රමාණවත්. දැන් ප්‍රචලිතව තිබෙන LLM එකකට තිර පිටපතේ මුල් කොටස් කිහිපය ඇතුළු කළොත් කතාවේ ඉතිරි කොටස් සෑහෙන තරම් නිවැරදිව එළියට එන්න පුළුවන්.
කූඹියෝ ටෙලිනාට්‍යයේ මුල් කොටස් දකිද්දීම මේ කාරණය හා අදාළව වෙනසක් පේන්න තිබුණා. එහි චරිත හැසිරුනේ මෙවැනි සිංහල ටෙලිනාට්‍යයක් තුළ චරිත හැසිරෙයි කියලා මම හිතාගෙන හිටපු සීමාව ඇතුළේ නෙමෙයි. ඒ නිසාම, ඒ චරිත කොයි විදිහට හැසිරෙයිද කියන එක අනුමාන කරන්න සාමාන්‍ය සිංහල ටෙලිනාට්‍ය චරිත වල පරාසයෙන් එළියට ගිහින්, සිංහල ටෙලිනාට්‍ය වල කලින් හමු වී නැති, සැබෑ ලෝකයේ චරිත එක්ක සංසන්දනය කිරීමක් කරන්න අවශ්‍ය වුනා. තිර රචකයාගේ පරිකල්පනයේ සීමාව වඩා පුළුල් එකක් කියන එක තේරුණා. වියුණු සටහනක් ලිවුවේ ඔන්න ඔය නිරීක්ෂණයත් එක්ක.
ඔය වෙද්දී කූඹියෝ සෑහෙන්න ජනප්‍රිය වෙලා තිබුණා. නමුත් එසේ ජනප්‍රිය වී තිබුණේ මම එයට කැමති වූ හේතුව නිසාම නෙමෙයි. එහි මුලින් පෙනෙන්නට තිබුණු වාමාංශික අඩංගුව ඊට හේතු වූ ප්‍රධාන සාධකයක්.
ඔය දවස් වලම සහෝදරයෝ ටෙලිනාට්‍යයත් විකාශනය වුනා. ඇතැම් අය කූඹියෝ සහ සහෝදරයෝ ටෙලිනාට්‍ය එක ගොඩකට දමලා තිබුණා. නමුත් සහෝදරයෝ මටනම් ඒ තරම්ම සෙට් වුනේ නැහැ. ඒකත් සම්ප්‍රදායික වට්ටෝරු කතාවක්. වෙනස තිබුණේ වට්ටෝරුවේ පමණයි. මල් වට්ටෝරු, රජ වට්ටෝරු, වාමාංශික වට්ටෝරු කොයිවත් වට්ටෝරුම තමයි. වට්ටෝරුව කුමක්ද කියන එක තේරුණාට පස්සේ ආතල් එක ඉවරයි. කූඹියෝ ටෙලිනාට්‍යයේ ඔය වට්ටෝරු වල නොතිබුණු දෙයක් තිබුණා. මම ආකර්ෂණය වුනේ ඒ අඩංගුවට.
මුල් කොටස් කීපය බැලුවට පස්සේ කූඹියෝ ටෙලිනාට්‍යයේ පෙනෙන්නට තිබුණු වාමාංශික අඩංගුව මම කියවා ගත්තෙත් වැරදියට. ඒ කියන්නේ එහි තිර රචකයන් විසින් මගේ පරිකල්පනයේ සීමාව අතික්‍රමණය කරලා තිබුණා. මේ සීමාව සිංහල ටෙලිනාට්‍ය හා අදාළව මා විසින්ම දමාගෙන තිබුණු සීමාවක්. කූඹියෝ විසින් පසුව ඒ සීමාව පුළුල් කළා. නමුත් වියුණු සටහන ලිවුවේ ඊට කලින්.
ඇත්ත වශයෙන්ම, පෙනෙන්නට තිබුණු වාමාංශික අඩංගුව නිසා කූඹියෝ පස්සේ වැටුණු සමහර ප්‍රේක්ෂකයෝ කතාව ඉවර වෙද්දී කූඹියෝ විවේචකයින් බවට පත් වෙලා තිබුණා. නමුත් ඒ වෙද්දී ඔවුන් පරක්කු වැඩියි. ඔවුන් විසින්ම කලින්ම කූඹියෝ අවශ්‍ය තැනට උස්සලා ඉවරයි. ඒක ලස්සන ගේම් එකක්!
තිර රචකයෙකුගේ පරිකල්පනයේ සීමාව හැම විටම මෙන් සැබෑ ලෝකය තුළ කොයි තරම් දුරකට පුද්ගල චරිත කියවලා තියෙනවද කියන එකට සීමා වෙනවා. සැබෑ ලෝකයේ තමන්ට හමු වී නැති චරිතයක් ටෙලිනාට්‍යයක් ඇතුළේ ඉන්න බැහැ. රචකයෙකුගේ පරිකල්පනය ඇතුළේ අලි ඔලුවක් තියෙන සිංහයෙක් ඉන්න පුළුවන්. එහෙම සතෙක් සැබෑ ලෝකයේ නැහැ. නමුත් අලි ඔලුව සහ සිංහ ඇඟ සැබෑ ලෝකයේ තිබෙනවා. සැබෑ ලෝකයේදී අලි ඔලුව සහ සිංහ ඇඟ දැකලා නැති කෙනෙකුට අලි ඔලුවක් තියෙන සිංහයෙක් පරිකල්පනය කරන්න අමාරුයි.
කූඹියෝ පළමු කොටසේදී ජෙහාන් චරිතය ගොඩ නගන්නේ පොඩි ගේම් එකක් ගහගෙන පාඩුවේ ජීවත් වන සරල චරිතයක් විදිහට. ඒ වගේ පොඩි ගේම් කාරයින්ව ගොඩක් අය දැකලා තියෙනවා. නමුත් කතාව ගලාගෙන යද්දී එහි හිතා ගන්නවත් බැරි ලොකු ගේම් එකක් තියෙනවා. මේ වගේ ගේම්කාරයෙක්ගේ චරිතයක් කෙනෙකුට පරිකල්පනය කරන්න පුළුවන් වෙන්නේ තමන් ඇතුළේ ඊට වඩා ලොකු ගේම්කාරයෙක් ඉන්නවානම් පමණයි.
සමහර මිනිසුන් ඇතුළේ ජෙහාන් වගේ ලොකු ගේම්කාරයෝ ඉන්නවා. ඒ අය ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ දේශපාලනයට හරි බිස්නස් වලට හරි. දේශපාලනයෙන් වගේම බිස්නස් වලින් උඩට යන්නත් මේ ගේම්කාරයා අවශ්‍ය වෙනවා. දේශපාලනයෙන් හා බිස්නස් වලින් වේගයෙන් උඩට යන අය දිහා බලා ඉන්න කෙනෙකුට පෙනෙන්නේ බලය හෝ මුදල් යඹා යාම වුවත්, ඒ අය අතර බලය හෝ මුදල් වලටත් වඩා ගේම් එක රස විඳින ගොඩක් අය ඉන්නවා.
තමන් ඇතුළේ ජෙහාන් වගේ ගේම්කාරයෙක් ඉන්න කෙනෙක් දේශපාලනය හෝ බිස්නස් වෙනුවට තිර රචනය වගේ දෙයක් තෝරා ගන්න පෙළඹෙන්නේ කලාතුරකින්. ටෙලිනාට්‍ය චරිත තුළ හොඳ ගේම්කාරයෝ වැඩිපුර නැත්තේ ඒ නිසා.
කූඹියෝ තිරගත වෙද්දී බලයේ හිටියේ යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්නේත් ගේම් එකක ප්‍රතිඵලයක් විදිහටයි. පේන්න තිබුණේ මහින්ද රාජපක්ෂ තුන්වන වරටත් අනිවාර්යයෙන් දිනන බවයි. එහෙම තියෙද්දී මෛත්‍රීපාල සිරිසේන කැඩිලා ඇවිත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙනවා. අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීම මගින් ජවිපෙ විසින් විපක්ෂ අපේක්ෂකයාට වක්‍ර සහයෝගයක් ලබා දෙනවා.
කූඹියෝ අවසානය ආසන්නය දක්වාම ජෙහාන් ගේම් එක ගහන්නේ කා වෙනුවෙන්ද කියන එක ප්‍රේක්ෂකයාට හිතා ගන්න බැහැ. ගේම් එක තේරෙන්නේ කතාව අවසානයේදී. නමුත් කතාව ඉවර වුනාට පස්සෙත් ප්‍රේක්ෂකයාට හිතන්න දෙයක් ඉතිරි වෙනවා. ඇත්තටම ගේම් එක ජෙහාන්ගේද? එසේ නැත්නම් ජෙහාන් කියන්නේත් මේ ගේම් එකේ ඉත්තෙක් පමණක්ද? අර ගන්නම ඕනෑ කෝල් එකේ අනෙක් පැත්තේ ඉන්නේ කවුද කියලා ප්‍රේක්ෂකයා දකින්නේ නැහැ. තිර රචකයින් විසින් ප්‍රේක්ෂකයින්ට පරිකල්පනය කිරීම සඳහා ඒ ප්‍රශ්නය ඉතිරි කරනවා.
කූඹියෝ කියන්නේ වසර අටකට පසුවත් අමතක නොකළ හැකි ටෙලිනාට්‍ය අත්දැකීමක්. සමහර විට තමන්ගේ මුල් නිෂ්පාදනය මේ තරම්ම සාර්ථක වෙයි කියා එහි නිර්මාණකරුවන්වත් හිතන්න නැතුව ඇති. කූඹියෝ අවසන් වීමෙන් පසුව එහි දෙවන කොටස් හෝ එහි නිර්මාණකරුවන්ගේ වෙනත් ටෙලිනාට්‍යයක් සඳහා විශාල ඉල්ලුමක් ඇති වෙනවා. එහෙත් කූඹියෝ නිර්මාණකරුවෝ මේ ඉල්ලුම් උගුලේ වැටෙන්නේ නැහැ. ඊට හේතුව ඔවුන් ජෙහාන්ටත් වඩා දක්ෂ ගේම්කාරයින් වීමයි. ඔවුන්ට ප්‍රේක්ෂක මනස පහසුවෙන්ම කියවා ගන්න පුළුවන්. ගේම්කාරයින් කියා කියන්නේ මේ අර්ථයෙන්. කූඹියෝ දෙවන ඉනිමකුත් ගැහුවානම් අද මම වුනත් කූඹියෝ ගැන මේ විදිහට කතා කරන එකක් නැහැ.
කූඹියෝ පෙන්වලා අවසන් වන කාලය ආසන්නව පළාත් පාලන මැතිවරණ එනවා. මහින්ද නැවත නැගිටිනවා. පොහොට්ටුව පිපෙනවා. යහපාලනය දියවෙන්න පටන් ගන්නවා. යහපාලනය දෙකට කැඩිලා සත් සතියකට මහින්ද නැවත අගමැති ලෙසත් පත් වෙනවා. කෙටි බලු පොර කාලයකින් පසුව රනිල් නැවතත් පුටුවේ වාඩි වෙනවා.
ඊට පස්සේ පාස්කු ප්‍රහාර සිදු වෙනවා. යහපාලන ආණ්ඩුව ගෙදර යනවා. ගෝඨාභය ජනාධිපති වෙනවා. වසංගතය එනවා. ඊළඟට ආර්ථික අර්බුදය එක්ක අරගලය එනවා. ගෝඨාභය ඉල්ලා අස් වෙනවා. රනිල් නැවතත් ජනාධිපති වෙනවා. නමුත් ජනාධිපතිවරණයේදී රනිල් පරාජය වී අනුර ජනාධිපති වෙනවා. මාලිමා ආණ්ඩුවක් හැදෙනවා. කියන විදිහට ප්‍රභූ දේශපාලනය අවසන් වෙලා නිර්ප්‍රභූ ආණ්ඩුවක් හැදෙනවා. ඔය ඔක්කොම වුනාට පස්සේ "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" සිනමා ශාලා වලට එනවා.
චිත්‍රපටයක් බලන්න යද්දී ඒ පිළිබඳ පූර්ව නිගමන කිසිවක් නොමැතිව සිනමා ශාලාවට යන්න පුළුවන්නම් හොඳයි. නමුත් කතාවට කිවුවත් ඔය වැඩේ ප්‍රයෝගිකව කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. වාලම්පුරි බලන්න සිනමා ශාලාවට යද්දී කවදාවත් හැදුනේ නැති කූඹියෝ දෙක ඔලුවේ හොල්මන් කරනවා. වාලම්පුරි තිර රචකයා කියන්නේ කූඹියෝ හැදෙන්න කලින් හිටපු සම්ප්‍රදායික ශ්‍රී ලාංකික තිර රචකයා නෙමෙයි. ඒ නිසා, තිර රචකයාගේ පරිකල්පනයේ සීමාව ගැන පූර්ව නිගමන නැතිව, අවිඥානිකව අනපේක්ෂිත මොකක් හෝ දෙයක් බලාපොරොත්තුවෙන් සිනමා ශාලාවේ අසුන් ගන්න පුළුවන්. පැය දෙකහමාරක කාලය ඉවර වන තුරුම, කොහෙන් හෝ මතු විය හැකි නිධානය මතු වෙනකම් බලා ඉන්න පුළුවන්.
නමුත් අවාසනාවට පැය දෙකහමාර ඉවර වෙන්නේ ඔය නිධානය දකින්න අවස්ථාවක් නැතිවයි. වාලම්පුරි චිත්‍රපටයේ බලා ගෙන හිටපු කූඹියෝ දෙක නැහැ!
කොටස් 57ක ටෙලිනාට්‍යයක් කියන්නේ පැය දාසයකට වඩා වැඩි කාලයක්. පැය දාසයක් තිස්සේ පෙන්වන දේවල් පැය දෙකහමාරකින් පෙන්වන්න බැහැ. ඊටත් වඩා, ටෙලිනාට්‍යයක කොටස් දෙකක් අතර ප්‍රේක්ෂකයාට හිතන්න කාලයක් ඉතිරි වෙනවා. චිත්‍රපටයක් නරඹද්දී ප්‍රේක්ෂකයාට හිතන්න කාලයක් නැහැ. හිතන්න වෙන්නේ ගෙදර ආවට පස්සේ. විශේෂයෙන්ම වාලම්පුරි වගේ වේගයෙන් රූපරාමු මාරු වෙන චිත්‍රපටයක.
සමස්තයක් විදිහට වාලම්පුරි චිත්‍රපටයේ ප්‍රේක්ෂකයෙකුට පහසුවෙන් අහුවෙන අඩුපාඩු ඉතිරි කරලා නැහැ. රඟපෑම් ප්‍රසස්ථ මට්ටමෙන් තිබෙනවා. නමුත් ආකෘතිය අනුවම මෙහි චරිත කිසිවකට තනිව ඉස්මතු වෙන්න බැහැ. ඒ නිසා, වාලම්පුරි සිඩ්නි කූඹියෝ ජෙහාන් වෙන්නේ නැහැ. කොහොමටත් තෝරා ගෙන තියෙන්නේ දක්ෂම නළුවන් පිරිසක්. ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, දර්ශන් ධර්මරාජ් එහෙම මම පෞද්ගලිකව කැමති නළුවෝ. ඔවුන් රඟපෑම් මීට වඩා ඉස්මතු වන චරිත රඟපානවා දැකලා තියෙන නිසා වාලම්පුරි රඟපෑම් වල ඊට වඩා වැඩි විශේෂත්වයක් නැහැ. වාලම්පුරි ආකෘතිය විසින් ඉල්ලා සිටින්නේ තනි චරිත ඉස්මතු කිරීමකට වඩා ටීම්වර්ක් එකක්. රඟපෑම් වල ඒ ටීම්වර්ක් එක තිබෙනවා.
විශේෂයෙන්ම කියන්න තියෙන්නේ පසුබ්ම් සංගීතය ගැනයි. ඒකනම් වෙනම ලෙවල් එකක්. සිනමා ශාලාවක වාලම්පුරි නොබලා අන්තර්ජාලයෙන් බැලුවානම් කවදාවත් මේ අත්දැකීම ගන්න වෙන්නේ නැහැ. අවුරුදු ගණනකින් සිනමාහලකදී සිංහල චිත්‍රපටයක් නරඹා නැති නිසාත්, පසුගිය කාලයේදී අදාළ තාක්ෂනය විශාල ලෙස වැඩි දියුණු වී ඇති නිසාත්, වෙනත් ඇතැම් සිංහල චිත්‍රපට වලත් පසුබිම් සංගීතය හොඳ මට්ටමක තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් මට පෞද්ගලිකව මේ මට්ටමේ පසුබිම් සංගීතයක් තිබෙන සිංහල චිත්‍රපටයක් කවදාවත්ම බලන්න ලැබිලා නැහැ.
පසුබිම් සංගීතය බෝනස් එකක් වුනත්, බලන්න ගියේ තිර රචනය සහ අධ්‍යක්ෂණයනේ. කතාවේ මුල කොටස් සාමාන්‍ය විදිහට ගලාගෙන යනවා. සමහර වාණිජ චිත්‍රපට වල වගේ ගොන් ජෝක් නැහැ වගේම ඊනියා සම්භාව්‍ය චිත්‍රපට වල වගේ සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට නොතේරෙන අපභ්රංශත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට රස විඳිය හැකි කතාවක් තිබෙනවා. එය ගොඩක් කතා වල දැකිය හැකි ආකාරයේ දේශපාලනඥයින්ගේ, මැරයින්ගේ, ජාවාරම්කාරයින්ගේ කතාවක්. බලපු නැති අයට චිත්‍රපටය බලන්න ඉතිරි කරලා මම කතාව විස්තර කරන්නේ නැහැ.
කතාව පටන්ගන්නේ සීගිරිය පැත්තෙන්. පේන්න තිබෙන බාබර් සාප්පුව, බස් රථයේ බැනර් එක, කඩවල නාම පුවරු ආදිය අනුව තේරෙන්නේ දශක කිහිපයකට පෙර සිදු වෙන සිදු වීමක් බවයි. මම හිතන්නේ මේ වෙද්දී ලංකාවේ ගම් දනවු වලට මීට වඩා නාගරිකත්වය කාන්දු වෙලා. නමුත් නාට්‍ය කණ්ඩායමත් එක්ක කතාව කොළඹට ආවට පස්සේ පෙනෙන විදිහට කාලය වර්තමාන කාලය.
වාලම්පුරියෙන් කූඹියෝ හොයන කෙනෙකුට පළමු කූඹි ගුල හමු වෙන්නේ පොලිස් සමන් වාලම්පුරිය විකුණන්න හදන්නේ ස්වාමිටම බව පෙන්වද්දී. එතැන් සිට වාර ගණනාවක්ම, කූඹියෝ ටෙලිනාට්‍යයේ ක්‍රමයට, ප්‍රේක්ෂකයාගේ කුතුහලය අවුස්සලා මොළය කිති කවන තැන් තිබෙනවා. නමුත් අවසාන වශයෙන් හැමෝම කරන්නේ වාලම්පුරිය අයිතිකර ගන්න ගේම් එකක් ගහන එක.
කූඹියෝ ටෙලිනාට්‍යයේ වගේම මේකෙත් ගේම් තිබුණත්, ඒවා සාපේක්ෂව සිල්ලර ගේම්. ඒ වගේම සමහර දේවල් වෙන්නේ අහම්බෙන් මිසක් ගේම් වල කොටසක් විදිහට නෙමෙයි. වාලම්පුරි චිත්‍රපටයේ කූඹියෝ ටෙලිනාට්‍යයේ වගේ මහමොළකරුවෙක් නැහැ. වෙන වෙනම ගේම් මිසක් ලොකු තනි ගේම් එකක් නැහැ. ඒ කියන්නේ කතාව දුවන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂයෙක්ගේ පරිකල්පනයේ සීමාව ඇතුළේ. යම් හෙයකින් ලොකු ගේම් එකක් තිබුණත්, වාලම්පුරියක් අයිති කරගන්න ගහන ගේම් එකක් සහ රටේ නායකත්වය ගන්න ගහන ගේම් එකක් කියන්නේ ලෙවල් දෙකක්. වාලම්පුරියක් අයිති කරගන්න ගහන ගේම් එකක් දිහා බලලා දේශපාලන ගේම් එකක ත්‍රිල් එක ගන්න අමාරුයි.
කූඹියෝ ටෙලිනාට්‍යය හදලා ඒකට විශාල ප්‍රේක්ෂක ඉල්ලුමක් ආවාට පස්සේ එහි නිර්මාණකරුවන් විසින් එකතු කර ගන්න සමාජ ප්‍රාග්ධනය කූඹියෝ දෙක හෝ වෙනත් ටෙලිනාට්‍යයක් වෙනුවෙන් වැය නොකර අවුරුදු ගාණක් පරිස්සමෙන් ඉතිරි කරගෙන වාලම්පුරිය එක්ක එළියට දමන, ජෙහාන් වගේ මහ මොළකරුවෙක්ව හදන්න තරම් විශාල පරිකල්පන ශක්තියක් තිබුණු ගේම්කාරයෙක්, එළියට දමලා තිබෙන නිෂ්පාදනය කූඹියෝ ටෙලිනාට්‍යයට වඩා බාල මට්ටමක එකක් වෙන්න පුළුවන්ද?
පැය දෙකහමාරක් වේගයෙන් මාරු වෙන රූපරාමු දිහා බලා ඉඳිද්දී හිතන්න තරම් විවේකයක් ලැබෙන්නේ නැතත්, චිත්‍රපටය අවසන් වෙද්දී ඔන්න ඔය ප්‍රශ්නය මතු වෙනවා. ඒ ප්‍රශ්නය එක්ක ඇති වෙන කම්පනය නිසා, මේ දැන් බලල ඉවර කරපු වාලම්පුරි චිත්‍රපටය ගැන වෙන විදිහකට හිතන්න පෙළඹවීමක් ඇති වෙනවා. වාලම්පුරි චිත්‍රපටියේ කතාව ඇත්තටම මට තේරුණේ නැද්ද? කූඹියෝ ගේම් එකටත් එහා ගිය මොකක් හරි ගේම් එකක් ගැන මේ චිත්‍රපටියේ කියවුනා වෙන්න බැරිද?
ඔන්න ඔය හැඟීම ඇති වුනාට පස්සේ වාලම්පුරි රූප රාමු එකින් එක නැවත මතකයට එනවා. කතාව පටන් ගන්නේ ඩීඑස්ගේ ඉඳලා මහින්ද දක්වා ලංකාවේ රාජ්‍ය නායකයින්ගේ කතාවල පටිගත කළ දර්ශන වලින් තෝරාගත් කොටස් කිහිපයක් එක දිගට පෙන්වීමත් එක්ක. ඊට පස්සේ වාලම්පුරි සටන තිරයේ පෙන්වද්දී ඔය මුල් රූපරාමු ටික හෙමිහිට මතකයෙන් ගිලිහිලා යනවා.
පැය දෙකහමාරකට මේ වගේ කතාවක් කපන එක විශාල අභියෝගයක්ව තිබියදී කතාවට සම්බන්ධයක් නැති සේ පෙනෙන මේ වගේ කොටසක් කතාව මුලට ඔබ්බවන්න අධ්‍යක්ෂවරයා තීරණය කළේ ඇයි? එහෙමනම්, මේ කොටසත් කතාවේම අවියෝජනීය කොටසක් විය යුතුයි. ඒ රූපරාමු වලින් පටන් අරගෙන "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" නැවත කියවගන්න බැරිද? වාලම්පුරි ඇත්තම කතාව ඔය තිරයේ මතුපිටින් පෙනුණු කතාවම නෙමෙයිද? කතාවේ වාලම්පුරිය රූපකයක් වෙන්න බැරිද?
වාලම්පුරිය කියා කියන්නේ රාජ්‍ය බලය පිළිබඳ සංකේතයක් කියා මොහොතකට හිතුවොත් වාලම්පුරි කතාව ඇතුළෙන් වෙනම කතාවක් මතු වෙනවා. කතාවේ ගොඩක් දේවල් වලට වෙනම තේරුම් ලැබෙනවා.
පසුගිය කාලයේ ප්‍රචලිත වූ "ප්‍රභූ" හා "නිර්ප්‍රභූ" බෙදීම වගේ බෙදීමක් මගින් වාලම්පුරි පාත්‍රවර්ගයා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සිඩ්නි ඇතුළු නාට්‍ය කණ්ඩායම දමන්න වෙන්නේ "නිර්ප්‍රභූ" ගොඩට. අනෙක් ගොඩේ ඉහළම මට්ටමේ ප්රභූන් (මැඩම් සිසිකා), ඉහළම මට්ටමේ ව්‍යාපාරිකයින් (ජබීර්), සුළු ව්‍යාපාරිකයින් (ප්‍රියංකර), දේශපාලනඥයින් (කස්තුරි), දේශපාලනඥයින් සමඟ සම්බන්ධ පූජකයින් (ස්වාමි) හා රාජ්‍ය නිලධාරීන් (පොලිස් සමන්) ඉන්නවා.
ආරම්භයේදී "නිර්ප්‍රභූ" කණ්ඩායමට වාලම්පුරිය ගැන අදහසක් හෝ එය ලබා ගැනීමේ අභිලාශයක් නැහැ. එහි වටිනාකම පිළිබඳ තක්සේරුවකුත් නැහැ. ඔවුන්ට අවශ්‍ය ජීවත් වීම සඳහා කුමක් හෝ ගේමක් ගහන්න. එහෙත් ඔවුන්ටත් ඔවුන්ගේ මට්ටමෙන් ලොකු හීන තිබෙනවා. නිදහසෙන් පසු දශක හතහමාරක් තිස්සේ ඔවුන් කරන්නේ මේ හීන පස්සේ හඹා යන එක. හීනම හතහමාරක්!
මේ දශක හතහමාර තිස්සේ සිඩ්නි ඇතුළු පිරිස තමන්ව ගොඩ යවන නිධානයක් හොයනවා. එහෙම නිධානයක් ඇත්තටම නැහැ. නමුත් ඔවුන් නැති නිධානයක් හොයනවා. වෙලාවකට පේසාලෙන් තෙල් මතු වෙනවා වගේ පේනවා. වෙලාවකට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඛණිජ වැලි වලින් පමණක් රටම ගොඩ දැමිය හැකි බව පේනවා. මේ මිනිස්සු දශක හතහමාරක් තිස්සේම කරන්නේ පොළොව යට සැඟවිලා තියෙනවා කියා ඔවුන් සිතන නිධානයක් හොයන එක.
නැති නිධානයක් හොයන අතරම, මේ "නිර්ප්‍රභූ" කණ්ඩායම රට වටා යමින් ව්‍යාජ රඟපෑමක්ද කරනවා. ඒ රගපෑම් බලන්න මිනිස්සු එකතු වෙනවා. රගපෑම් බලන මිනිස්සුන්ගෙන් එකතු වන මුදලකින් නාට්‍ය කණ්ඩායම ජීවත් වෙනවා. නමුත් රගපෑම් වල ඇත්ත අරමුණ නිධානය ලබා ගෙන තමන් ගොඩ යන එක.
සීගිරියේ ඉඳලා කොළඹ එන ගමන දශක ගණනක් තිස්සේ එන ගමනක්. සීගිරියේ බාබර් සාප්පුව, බස් රථයේ බැනර් එක, කඩවල නාම පුවරු ආදියෙන් මේ නාට්‍ය කණ්ඩායම ගමන පටන් ගන්න තැන වගේම කාලයත් නිරූපණය වෙනවා. සමහර විට කාලයත් සමඟ යාවත්කාලීන වී නැති ඔවුන්ගේ පසුගාමීත්වයද මේ පසුතල විසින් නිරූපණය කෙරෙනවා.
"නිර්ප්‍රභූ" කණ්ඩායම නොදන්නා, නැති නිධානයක් හොයද්දී, "ප්‍රභූ" කණ්ඩායම විසින් දශක හතහමාරක් තිස්සේ වාලම්පුරි දෙකක් ආරක්ෂා කරනවා. එක කාලයකදී මේ දෙකෙන් එකක් වඩා බලවත් වෙනවා. ඉන් පසුව අනෙක් වාලම්පුරිය. ඔය වැඩේ මාරුවෙන් මාරුවට සිදු වෙනවා. ස්වාමිගෙන් නිරූපණය වෙන්නේ දේශපාලනයේ එක් ධාරාවක්නම්, මැඩම් සිසිකා කියන්නේ අනෙක් ධාරාව.
මැඩම් සිසිකාගේ ධාරාව ප්‍රභූ තත්ත්වය නඩත්තු කරන්නේ ප්‍රදර්ශනාත්මකවයි. සිඩ්නිලාට පහසුවෙන් ඔවුන්ට ලං වෙන්න බැහැ. නමුත් අනෙක් ධාරාව ඊට වඩා වෙනස්. ඔවුන් ප්‍රදර්ශනාත්මකව හෝ සිඩ්නිලා එක්කත් ඉන්නවා. ඒ නිසා සමහර වෙලාවට ස්වාමි ඉන්නේ තමන්ගේ පැත්තේ බවක් සිඩ්නිලාට දැනෙනවා. කෙසේ වුවත්, මෙහි සිටින සිඩ්නි ඇතුළු "නිර්ප්‍රභූ" කණ්ඩායමට "පංති විඥානය" තිබෙනවා. භෞතිකව තමන් එක්ක හිටියත් ප්‍රියංකරගේ සැබෑ පැවැත්ම තිබෙන්නේ තමන්ගේ කණ්ඩායම ඇතුලෙ කියලා සිඩ්නි විශ්වාස කරන්නේ නැහැ.
"ප්‍රභූ" කණ්ඩායම ඇතුළේ වාලම්පුරි අයිති කර ගැනීම සඳහා වන බල ගැටුම් වල කෙළවරක් නැහැ. ඒ ගැටුම් ඇතුළේ විවිධ සන්ධාන හැදෙනවා. ඒ සන්ධාන වෙනස් වෙනවා. "නිර්ප්‍රභූ" කණ්ඩායම "ප්‍රභූ" කණ්ඩායම ඇතුළේ සිදුවන මේ බල ගැටුම් වල ඉත්තන් බවට පත් වෙනවා. අවසාන වශයෙන් ඔය හැම බල ගැටුමකදීම අනිවාරතේ ගුටි කන්නේ සිඩ්නිලා. හිරේ විලංගුවේ වැටෙන්නේ සිඩ්නිලා. දශක හතහමාරක් තිස්සේම වෙන්නේ ඕකයි.
"ප්‍රභූ" කණ්ඩායම ඇතුළේ "ප්‍රභූ ගණුදෙනු" විදිහට වගේම ගේම් හරහාත් වාලම්පුරි වල අයිතිය වෙනස් වෙනවා. නමුත් මේ ගනුදෙනු වල මූලික රීතියක් විදිහට වාලම්පුරි වල අයිතිය "ප්‍රභූ" කණ්ඩායමෙන් පිටට යන්නේ නැහැ. මේ තත්ත්වය වෙනස් වන්නේ වාලම්පුරියේ අයිතිය හුවමාරු කර ගැනීම සඳහා සිදු කළ සැලසුම් සහගත ගැටුමක් අවසාන වෙද්දී වාලම්පුරි දෙකෙන් එකක් නිර්ප්‍රභූ කණ්ඩායමේ අයෙකු අතට පත් වීමෙන් පසුවයි. එයින් පසුව වාලම්පුරි සටනට "නිර්ප්‍රභූ" කණ්ඩායමද එකතු වෙනවා. කතාව අවසන් වන්නේ ප්‍රස්තුත වාලම්පුරිය "නිර්ප්‍රභූ" කණ්ඩායම සතු වීමෙන්.
"වාලම්පුරි" අවසානය ආසන්නයේදී ස්වාමි මරණයට පත් වෙනවා. ස්වාමිගේ සංකේතාත්මක මරණය මගින් තිර රචකයා නිරූපණය කළේ කුමක්ද? ස්වාමිගෙන් නිරූපණය වූයේ ආගම මුල් කරගත් දේශපාලනයයි. "ප්‍රභූ" කණ්ඩායමේ කිසිවකු ස්වාමිව මරා දමන්නේ නැහැ. ඔවුන් උත්සාහ කරන්නේ "නිර්ප්‍රභූ" කණ්ඩායම මේ සඳහා යොදා ගන්න වුවත්, ඒ උත්සාහයද සාර්ථක වන්නේ නැහැ. එහෙත් අවසාන වශයෙන් හදිසි අනතුරකින් ස්වාමි මරණයට පත් වෙනවා. ඒ එක්කම "ප්‍රභූ" කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් බොහොමයකගේ අත් වලට මාංචු වැටෙනවා.
අවසන් ජවනිකාවට ආසන්නව "ප්‍රභූ" කණ්ඩායමේ ඉහළම තලය සේ පෙනෙන මැඩම් සිසිකා සහ "නිර්ප්‍රභූ" කණ්ඩායමේ දික්ඔය අතර යම් ගනුදෙනුමය සම්බන්ධයක් ඇති වෙනවා. එක් මොහොතකට දික්ඔයව පෙනෙන්නේ පාවා දෙන්නෙක් හෝ රතු අලියෙක් ලෙසයි. නමුත් අවසාන වශයෙන් පෙනෙන පරිදි දික්ඔය විසින් කරන්නේ "නිර්ප්‍රභූ" කණ්ඩායම වෙනුවෙන් අවසන් මෙහෙයුම කිරීමයි.
මේ සටහන බොහෝ විට "වාලම්පුරි හෙවත් හීන හතහමාරක්" අධ්‍යක්ෂවරයා විසින් කියවන්නට ඉඩ තිබෙනවා. ඔහු මෙහි තිර රචකයෙකුද වෙනවා. මෙහි ලියා තිබෙන චිත්‍රපටයේ කෙළින්ම ඇහැට නොපෙනන කතාව ඔහුට කියන්නට අවශ්‍ය වූ කතාව නොවෙන්නට පුළුවන්. ඒ වගේම ඔහු අදහස් කළ කතාවට කිසිම සම්බන්ධයක් නැති, හාත්පසින්ම වෙනස් කතාවක් වෙන්නත් පුළුවන්. ඒ ගැන කරන්න දෙයක් නැහැ. තිර රචකයා මොනවා හිතාගෙන ලිවුවත්, අධ්‍යක්ෂවරයා මොනවා හිතාගෙන අධ්‍යක්ෂණය කළත්, චිත්‍රපටයක් සිනමා ශාලාවට ආවාට පස්සේ එය නරඹන එක් එක් ප්‍රේක්ෂකයා විසින් නරඹන්නේ තමන්ට අවශ්‍ය කතාවයි.
යටිපෙළක් එක්ක නිර්මාණයක් එළියට දැම්මට පස්සේ නිර්මාණකරුවෙකුට එය විස්තර කරමින් අටුවා ලියන්න බැහැ. එහෙම කළොත් මුලින් කරපු වැඩේ කිසිම තේරුමක් නැතුව යනවා. නමුත් මෙහි තිබෙන අවාසිය වන්නේ යටිපෙළ ප්‍රේක්ෂකයා විසින් වෙනස් ආකාරයකින් තේරුම් ගත හැකි වීමයි.
"සත්ත්ව ගොවිපොළ" වැනි යටි පෙළක් තිබෙන කතා තිබෙන්නේ මගේ ප්‍රියතම ලැයිස්තුවේ ගොඩක් ඉහළින්. එහෙත් මේ වර්ගයේ සිංහල චිත්‍රපටියක් මීට පෙර නරඹා ඇති බවක් මතක නැහැ. යටිපෙළක් ඇති බව තේරුම් ගැනීමෙන් පසුව මෙවැනි චිත්‍රපටයක් නැවත වරක් බලන්න පුළුවන්නම් ඒකෙත් වෙනම ආතල් එකක් තිබෙනවා. නමුත්, අපේ නගරයේදී අමාරුවෙන් යාන්තම් එක් දර්ශන වාරයක් පමණක් සංවිධානය කරගත් නිසා එවැනි අවස්ථාවක් ලැබෙන්න ඉඩ තිබෙන්නේ මෙය නැවත වරක් අන්තර්ජාලය හරහා බලන්න අවස්ථාවක් ලැබුණු විටක පමණයි. මේට්‍රික්ස් වැනි සමහර ඉංග්‍රීසි චිත්‍රපට වාර ගණනාවක් නැවත නැවත නරඹා ඇතත්, සිංහල චිත්‍රපටයක් දෙවන වරටත් බලන්න කැමැත්තක් ඇති වුනේ පළමු වරටයි.
යටිපෙළෙන් ඔබ්බට තවත් දුරක් ගියොත්, යටිපෙල ගැන හිතනවා වගේම, කතාව අවසන් වූ තැනින් එහාටත් ප්‍රේක්ෂකයාට හිතන්න විශාල ඉඩක් ඉතිරි කර තිබෙනවා. කතාව අවසන් වෙද්දී "නිර්ප්‍රභූ" කණ්ඩායම අතට වාලම්පුරි දෙකෙන් එකක් ඇවිත්. නමුත් ඇත්තටම කතාව එතැනින් අවසන් වෙනවාද?
වාලම්පුරිය අතට ගන්න කලින් "නිර්ප්‍රභූ" කණ්ඩායම "ප්‍රභූ" කණ්ඩායමේ උදවුවෙන් සමාජ සම්බන්ධතා හදා ගන්නවා. වාලම්පුරියේ වටිනාකම ගැන දැන ගන්නවා. නමුත් එම සමාජ සම්බන්ධතා උපයෝගී කරගෙන මේ "නිර්ප්‍රභූ" කණ්ඩායමට ගොඩ යන්න පුළුවන් වෙයිද? ඔවුන්ද "ප්‍රභූ" මට්ටමට උසස් වී "ප්‍රභූ" කණ්ඩායම විසින් කර ගෙන ගිය දේවල් ඒ විදිහටම කරයිද? එහෙම නැත්නම් මේ වාලම්පුරිය මුදල් කිරීමේ උත්සාහයේදී සිඩ්නිලාගේ කණ්ඩායම විදේශික ගැණුම්කරුවන්ගේ ගොදුරු බවට පත් වෙයිද? කාලයක් යද්දී "නිර්ප්‍රභූ" කණ්ඩායමේ සමගිය නැති වී ඒ තුළත් ගැටුම් ඇති වෙන්න පටන් ගනියිද? කෙටියෙන් කිවුවොත්, වාලම්පුරිය "ඇල්ලුවට හපන්න පුළුවන් වෙයිද?"
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.