පසුගිය දවස් කිහිපය මුලින්ම නේපාල අරගලයටත්, ඉන් පසුව චාලි කර්ක් ඝාතනය වෙතත් යොමු වෙලා තිබුණු බව දැක්කා. ලංකාවේ බොහෝ දෙනෙක් දෙපැත්තට බෙදිලා අදහස් දක්වලා තිබුණා. ඒ අය අතරින් කවුරු හෝ විසින් අදාළ ගොඩක් දේවල් ගැන කතා කරලා තිබුණු නිසා නැවත ඒ දේවල්ම කතා කරන්න අදහසක් නැහැ.
මෙහි ලියා ඇති දේ කලක සිට කියවන අය දන්නා පරිදි, මා මිනිස් ඝාතන අනුමත කරන අයෙක් නෙමෙයි. එය නේපාලයේ දෙපැත්තෙන්ම සිදු වූ මරණ වලට වගේම චාලි කර්ක් ඝාතනයටත් අදාළයි. ඒ වගේම ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක පමණක් මේ වෙද්දී සිදු වෙන නීත්‍යනුකූල ඝාතන වලටත් අදාළයි.
මම දකින විදිහටනම් උපත හා මරණය කියා කියන්නෙත් අනෙක් බොහොමයක් දේවල් මගේම සමාජ සම්මුතීන් පමණයි. මරණය සමාජ සම්මුතියක් වුනත්, ඊනියා මරණය දක්වා මිනිස්සු ජීවත් වෙනවා. එහෙම නැත්නම් ජීවත් වෙනවා කියලා හිතනවා. ජීවත් වන මිනිස්සු, ඉඳ හිට හැර, මැරෙන්න කැමති නැහැ.
මැරෙන්න කැමති නැති ජීවත් වන පුද්ගලයෙක්ට මැරෙන්න සලස්වන එක, එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකු විසින් මරන එක, සාධාරණීකරණය කිරීම මටනම් කිසිසේත්ම නොකළ හැකි දෙයක්. කෙනෙකුට තමන්ගේම ජීවිතය නැති කර ගන්න අවශ්‍යනම් ඒක වෙනම දෙයක්. ඒ වගේම, තමන්ගේ ජීවිතය පහසු ආකාරයකින් අවසන් කර ගැනීම සඳහා වෙනත් අයෙකුගේ උපකාර පැතීම සහ එසේ උපකාර කිරීම (euthanasia) වෙනුවෙනුත් මම පෙනී සිටිනවා. නමුත් තමන්ට විනාශයක් ගෙන දෙන මත්ද්‍රව්‍ය භාවිතය වැනි දෙයක් මේ විදිහට සාධාරණීකරණය කළ හැක්කේ එයින් තෙවන පාර්ශ්වයන්ට හානියක් නොවන්නේනම් පමණයි.
මගේ මූලධර්මය වන්නේ ජීවත්වන, සිහියෙන් ඉන්න, වැඩිහිටි පුද්ගලයෙක්ට තමන්ගේ ශරීරය හා අදාළව තීරණ ගැනීමේ නිදහස තිබිය යුතුයි කියන එක. හානියක් කරගන්න උත්සාහ කරද්දී එවැනි අයෙකුට කරුණු පැහැදිලි කර දීම වෙනම වැඩක්. නමුත් අවසාන වශයෙන් තීරණය පුද්ගලයා සතු විය යුතු එකක්. මේ හේතුව නිසාම, තමන්ගේ සිරුර තුළට වෙනත් අයෙකුට ඇතුළු වෙන්න ඉඩ දිය යුතුද, තමන්ගේ සිරුර ඇතුළේ වෙනත් දෙයකට වර්ධනය වෙන්න ඉඩ දිය යුතුද වගේ දේවලුත් පුද්ගලික නිදහසේම කොටස්. ඒ වගේ දේවල් ගැන වෙනත් අය තීරණ ගන්න එක නිවැරදි නැහැ. කවුරු හෝ එහෙම කියනවානම් එහි තිබෙන්නේ බලහත්කාරයක්.
චාලි කර්ක් කියන්නේ ඇමරිකාවේ දේශපාලනයේ දක්ෂිණාංශික අන්තය නියෝජනය කළ කෙනෙක්. ඔහු තමන්ගේ දේශපාලන මතවාද වලට ගැලපෙන විදිහට තෝරා බේරාගෙන, පක්ෂග්‍රාහීව කරුණු ඉදිරිපත් කිරීම් කළා. මෙය වාමාංශික අන්තයේ ඉන්න අය වගේම දක්ෂිණාංශික අන්තයේ ඉන්න අයත් කරන වැඩක්. පරීක්ෂණ අවසන්ව නැතත්, චාලි කර්ක් ඝාතනයට හේතුව ඔහු විසින් ප්‍රචාරණය කළ මතවාදය මිසක් වෙනත් පෞද්ගලික කාරණාවක් කියා හිතන්න අමාරුයි.
දැනට චෝදනා එල්ල වී තිබෙන්නේ සාපේක්ෂව අඩු වයසක සිටින තරුණයෙකුටයි. මෙය කළේ ඔහුනම්, තමන්ගේ මුළු ඉදිරි අනාගතයම පරදුවට තියලා මේ වගේ වැඩක් කළේ ඇයි කියන එකත් සිතා බැලිය යුතු දෙයක්.
මෙවැනි ඝාතනයක් මේ තරම් පහසුවෙන් කරන්න ඇමරිකාවේ ගිණි අවි ප්‍රතිපත්තියත් උදවු වෙනවා තමයි. නමුත් ගිණි අවි නිදහස වෙනුවෙන් කෙනෙකු පෙනී සිටීම කිසිසේත්ම ඝාතනයක් සාධාරණීකරණය කරන්නේ නැහැ.
ඇමරිකානුවන්ගේ ඝාතන අභිරුචිය පිළිබඳව මාස කිහිපයකට පෙර චාලි කර්ක් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමක් හරහා බෙදා හැර තිබුණු සමීක්ෂණ ප්‍රතිඵලයක් නැවත උඩට ඇවිත් තිබෙනවා. මෙහි ඔහු අවධාරණය කරන්නේ ඇමරිකාවේ වාමාංශය තුළ ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ සංස්කෘතිය ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
නේපාලයේ සිට ඇමරිකාව දක්වා වරින් වර මතු වන ප්‍රචණ්ඩත්වය මගින් නැවත නැවත තහවුරු කරන්නේ මිනිසා කියන්නේත් තවත් එක් සතෙක්ම බවයි. තමන්ගේ පැවැත්ම තර්ජනයට ලක් වන බව පෙනෙද්දී මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වය ඉස්මතු වෙනවා. එය සිදු වන්නේ ආර්ථික හා සමාජයීය වශයෙන් නොදියුණු රටවල පමණක් නෙමෙයි. ඝාතන සංස්කෘතියට අපට කොයි තරම් විරුද්ධ විය හැකි වුවත්, යටපත් කර ගෙන සිටින මේ මිනිස් ස්වභාවය වරින් වර උඩට මතු වෙන එක වලක්වන්න අමාරු දෙයක්. මේ කාරණයේදී අප එකිනෙකා වෙනස් වන්නේ අපට අපේ හැඟීම් පාලනය කර ගත හැකි උපරිම සීමාව කුමක්ද යන්නෙන් පමණයි.
විවිධ අය විවිධ ආකාර වලින් දේශපාලන දක්ෂිණාංශය අර්ථ දක්වනවා. ඒ කොයි විදිහට අර්ථ දැක්වුවත්, සාමාන්‍යයෙන් පවතින බල ආකෘතිය හා සම්ප්‍රදාය එලෙසම පවත්වා ගැනීම නියෝජනය කරන්නේ දක්ෂිණාංශයයි. ඒ නිසාම, පවතින බල ආකෘතිය හා සම්ප්‍රදාය තුළ වරප්‍රසාද හිමි කරගන්නා පිරිස් දක්ෂිණාංශය වටා එකතු වෙනවා. ඒ තුළ, බැහැර වන අවවරප්‍රසාදිත කොටස් වාමාංශය වටා එකතු වෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ පවතින බල ආකෘතිය හා සම්ප්‍රදාය කඩා බිඳ දැමීමටයි.
දේශපාලන අභිලාශ වල තිබෙන මේ වෙනස්කම් නිසාම වාමාංශික දේශපාලන නැඹුරුව තුළ ප්‍රචණ්ඩත්වය ඉස්මතු වීමේ වැඩි නැඹුරුවක් තිබෙනවා. දක්ෂිණාංශයට ඒ නැඹුරුව කළමනාකරණය කර ගත හැකි වන්නේ එක්කෝ වැඩිපුර අන්තවාදී නොවීමෙන්. එසේ නැත්නම්, තමන්ද ප්‍රචණ්ඩ වීමෙන්.
චාලි කර්ක් විසින් උපුටා දක්වා තිබුණු සමීක්ෂණය සිදු කර තිබෙන්නේ රට්ගර්ස් සරසවිය විසින්. මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අනුව, ඇමරිකාවේ වාමාංශික මතධාරීන් අතරින් 50.2%ක් ඊලෝන් මස්ක්ව ඝාතනය කිරීම යම් මට්ටමකින් හෝ සාධාරණීකරණය කරනවා. එමෙන්ම, ඔවුන් අතරින් 56%ක් ජනාධිපති ට්‍රම්ප්ව ඝාතනය කිරීම යම් මට්ටමකින් හෝ සාධාරණීකරණය කරනවා.
මේ සමීක්ෂණය පිළිබඳ ගැටළු අමතක කළහොත්, මෙම ප්‍රතිශත පිලිබඳව කනස්සළු නොවී සිටිය නොහැකියි. කෙසේ වුවද, වඩාත්ම අවධානය යොමු විය යුත්තේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන කතා කරද්දී චාලි කර්ක් විසින් කතා කර නැති කොටසයි. එනම්, දක්ෂිණාංශික මතධාරීන් අතරින් 14.3%ක් විසින් ඊලෝන් මස්ක්ව ඝාතනය කිරීමත්, 20.3%ක් විසින් ජනාධිපති ට්‍රම්ප්ව ඝාතනය කිරීමත් යම් මට්ටමකින් හෝ සාධාරණීකරණය කර ඇති බවයි.
මට අනුවනම්, දෙවැන්න පළමුවැන්නට වඩා අවධානය යොමු විය යුතු කරුණක්. දක්ෂිණාංශිකයින්ගෙන් 20.3%ක් තමන්ගේම පිළේ සිටින ජනාධිපති ට්‍රම්ප්ව ඝාතනය කිරීම අනුමත කරන්නේනම්, විරුද්ධ පිළේ සිටින වාමාංශිකයින් අතරින් 56%ක් එසේ සිතීම අමුතු දෙයක් නෙමෙයි.
මෙයින් බොහෝ විට පෙන්වන්නේ මෙම සමීක්ෂණයේ දුර්වලතාවය වෙන්න පුළුවන්. එහෙත් එය එසේ නොවේනම්, මෙමගින් පෙන්වන්නේ ඇමරිකානුවන්ගේ ඝාතන අභිරුචිය පිළිබඳ භයානක තත්ත්වයක්. තමන්ගේම පිළේ සිටින ප්‍රබල නායකයෙකුව ඝාතනය කිරීම දක්ෂිණාංශිකයින් අතරෙන් 20.3%ක්ම අනුමත කරන්නේනම්, ප්‍රතිවිරුද්ධ පැත්තේ සිටින වාමාංශික නායකයෙකු පිළිබඳව ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? එම ප්‍රතිශතය 56%ට අඩු විය හැකිද? සමීක්ෂණය මේ ප්‍රශ්නයට පිළිතුරක් සපයන්නේ නැති නිසා ඇමරිකානුවන්ගේ ඝාතන සංස්කෘතියේ ප්‍රශ්නය වාමාංශිකයින්ට පමණක් බැර කළ නොහැකි එකක්.
දක්ෂිණාංශික මතධාරියෙකුට ජනාධිපති ට්‍රම්ප්ව හෝ ඊලෝන් මස්ක්ව ඝාතනය කිරීම සාධාරණීකරණය කළ හැකි විය හැක්කේ කෙසේද? මීට හේතුව ඔවුන්ට අනුව වුවද, මොවුන් ඕනෑවට වඩා දක්ෂිණාංශික වීමද? එසේ නැත්නම්, ඔවුන්ට අවශ්‍ය තරමට දක්ෂිණාංශික නොවීමද?
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.