පසු ගිය (2024) වර්ෂයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 29,899ක්. රටේ ජනගහණය මිලියන 21.9ක්. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 1,364,235ක්. ඒ කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතය රටේ සෑම පුරවැසියෙකු අතරම එක සමානව බෙදී ගියේනම්, එක් අයෙකුගේ කොටස තමයි ඔය ප්‍රමාණය. හතර දෙනෙක් සිටින නිවසක පංගුව රුපියල් ලක්ෂ 54ක් පමණ. මාසයකට ලක්ෂ හතර හමාරක් පමණ.
පසු ගිය වසරේ පුද්ගල ආදායම් බදු ගෙවිය යුතු අවම සීමාව තිබුණේ රුපියල් ලක්ෂ 12 මට්ටමේ. ඒ කියන්නේ රටේ සෑම පුද්ගලයෙකුටම රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයට සමාන ආදායමක් ලැබුනේනම්, රටේ සෑම දෙනෙකුම ආදායම් බදු ගෙවන්නෙක් කියන එකයි.
මේ විදිහට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරලා තියෙන්නේ දදේනිය රටේ මුළු ජනගහණයෙන් බෙදලා. එම ගණනට අලුත ඉපැදුනු බිළිඳුන් පවා අයිතියි. නමුත් රටේ සිටින ආදායම් උපයන්නන් ප්‍රමාණය රටේ ජනගහණයට වඩා ගොඩක් අඩුයි. පසුගිය වසරේදී කුමක් හෝ රැකියාවක් කළේ මිලියන 21.9ක ජනගහණයෙන් මිලියන 7.9ක පිරිසක් පමණයි. රැකියා නොකරන, එහෙත් වත්කම් වලින් ආදායම් උපයන අයද සිටින නිසා කිසියම් හෝ ආදායමක් ඉපැයූ පිරිස මීට වඩා තරමක් වැඩි ඇති. මේ ආදායම් උපයන්නන් ප්‍රමාණය මිලියන 10ක් සේ සැලකුවත්, එක් ආදායම් උපයන්නෙකුගේ සාමාන්‍ය වාර්ෂික ආදායම රුපියල් මිලියන 3ක් පමණ විය යුතුයි. ඒ කියන්නේ මාසයකට ලක්ෂ දෙක හමාරක්.
නමුත් බදු ගෙවද්දී පෙන්වන ආදායම් දිහා බැලුවොත්, මාසයකට රුපියල් ලක්ෂය ඉක්මවන ආදායම් උපයන අය ඉන්නේ ඉහත ඇස්තමේන්තුවට වඩා ගොඩක් අඩුවෙන්. එහෙමනම්, රටේ දළ දේශීය නිෂ්පාදිතය ආදායමක් වී තිබෙන්නේ කාගේද?
රටේ දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රටේ කාට හෝ ලැබුණු ආදායම් වලද එකතුවයි. රුපියල් බිලියන 29,899ක් වූ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ආදායම් ප්‍රභව වලට විභේදනය කළ විට දැකිය හැක්කේ මෙවැනි තත්ත්වයක්.
ශ්‍රමිකයින්ගේ වැටුප් හා අනෙකුත් ලැබීම් - රුපියල් බිලියන 7,645 (25.6%)
සමාගම් වල අතිරික්තය - රුපියල් බිලියන 9,218 (30.8%)
මිශ්‍ර ආදායම් (තනි පුද්ගල ව්‍යාපාර වල ලාභ) - රුපියල් බිලියන 10,196 (34.1%)
භාණ්ඩ හා සේවා මත අය කළ බදු - රුපියල් බිලියන 2,840 (9.5%)
දැන් මේ ශ්‍රමිකයින්ගේ වැටුප් හා අනෙකුත් ලැබීම් ප්‍රමාණය වන රුපියල් බිලියන 7,645 රටේ ශ්‍රම බලකාය වූ මිලියන 7.9න් බෙදුවොත්, එක් ශ්‍රමිකයෙකුගේ මාසික ආදායම ආසන්න වශයෙන් රුපියල් 80,000ක් පමණ වෙනවා. එම ගණන රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මෙන් පුදුම හිතෙන ගණනක් නෙමෙයි. ඒ නිසා, වැටුප් ශ්‍රමිකයින් අතර, මාසික ආදායම අවම බදු සීමාව ඉක්මවන අය මහා ගොඩක් නැති වෙන්න පුළුවන්. ඒ අයට බොහෝ විට පුද්ගල ආදායම් බදු ගෙවන්න වෙනවා. වංගු ගහන්න අමාරුයි. ඊට අමතරව වක්‍ර බදු ගෙවීම මගින් භාණ්ඩ හා සේවා මත අය කළ බදු කොටසටත් දායක වෙන්න සිදු වෙනවා.
රටේ සමස්ත ආදායමෙන් ශ්‍රමිකයින් විසින් ලබා ගන්නා කොටසටත් වඩා වැඩි කොටසක් සමාගම් වල අතිරික්තයයි. නමුත් මේ කතා කරන්නේ විධිමත් ලෙස ලියා පදිංචි කළ සමාගම් ගැනයි. ඒ සමාගම් වලටත් ආදායම් බදු ගෙවන්න සිදු වෙනවා. 2024දී සමාගම් විසින් ගෙවූ ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 584ක්. එය ඉහත ඇස්තමේන්තුවෙන් 6.3%ක් පමණයි. මෙම අනුපාතය සමාගම් බදු අනුපාතිකයට වඩා බොහෝ අඩුයි. ඊට හේතුව බදු අය කරන්නේ ගිණුම්කරණ ලාබ මත වීම සහ ගිණුම්කරණ ලාබ පෙන්වීමේදී වංගු ගැසිය හැකි නීත්‍යානුකූල (හා එසේ නොවන) ක්‍රම තිබීමයි.
ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ප්‍රමාණය (වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය) පසුගිය වර්ෂයේදී රුපියල් බිලියන 1,447කින් ඉහළ ගියා. මෙම අගය දළ වශයෙන් කොටස් වෙළඳපොළ ලියාපදිංචි සමාගම් වලින් රටේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු කළ කොටස සේ සලකන්න පුළුවන්. එසේ සැලකුවහොත්, එම අගය රටේ සමාගම් වල ලාභ වලින් 15.7%ක් පමණයි. කෙතරම් විවේචන කළ හැකි වුවත්, කොටස් වෙළඳපොළ සමාගම් සාමාන්‍යයෙන් සැලකිය යුතු තරමේ නියාමනයකට භාජනය වෙනවා. මෙවැනි පොදු සමාගම් වැඩිපුර ලාබ ගන්නවානම්, කැමති ඕනෑම අයෙකුට කොටස් මිල දී ගෙන ඒ ලාබ බෙදා ගැනීම සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්.
නමුත්, ඉහත සංඛ්‍යාලේඛණ අනුව, ලංකාවේ පෞද්ගලික සමාගම් වල ලාබ වලින් 85%ක්ම තියෙන්නේ පොදු සමාගම් වලින් බාහිරව පෞද්ගලික ප්‍රාග්ධනහිමියන් සතුවයි. එම සමාගම් වල ලාබ බෙදා ගැනීම සඳහා රටේ ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න බැහැ. මේ සමාගම් වල ප්‍රාග්ධනය සම්ප්‍රේෂණය වන්නේ පරම්පරා උරුමය අනුවයි. වෙනත් විදිහකින් කිවුවොත් ලංකාවේ ආදායම් උපයන්නන් අතර ශ්‍රමිකයින් සහ ප්‍රාග්ධනහිමියන් ලෙස පැහැදිලි ලෙස වර්ග කර හඳුනා ගත හැකි දෙකොටසක් ඉන්නවා.
තමන්ගේ දක්ෂතාවයෙන් ආදායම් උපයා ධනවත් වීම සහ උරුමයෙන් ලැබුණු ධනයේ ප්‍රතිලාභ වල උදවුවෙන් තව තවත් ධනවත් වීම කියන්නේ කරුණු දෙකක්. පළමුවැන්න මෙන්ම දෙවැන්නද වැරැද්දක් නෙමෙයි. එහෙත් දෙවැන්නේදී සිදු වන්නේ පළමුවැන්නේදී මෙන් ධනය ඉපැයීමේ වැඩිම ශක්‍යතාවයක් ඇති පිරිස සතුව ධනය එක්රැස් වීමක්ද නෙමෙයි.
බදු ප්‍රතිපත්ති මගින් අන්තර්-පරම්පරා ධන සම්ප්‍රේෂණය පාලනය නොකරන්නේනම්, කාලයත් සමඟ සමාජයේ උපතින්ම ධනවතුන් හා උපතින්ම දුප්පතුන් ලෙස කොටස් දෙකක් ඇති වීම වලක්වන්න බැහැ. මේ කරුණ අමතක කර, නියාමනයෙන් තොරව, බදු ප්‍රතිපත්ති මගින් සිදු කරන මැදිහත්වීම් වලින් තොරව, සාධාරණ වෙළඳපොළ තරඟයක් ඉබේම ඇති වී රටේ ඕනෑම කෙනෙකුට ධනවතෙකු වීමට ඉඩකඩ විවර වේයැයි කවුරු හෝ හිතනවානම්, ධනවතුන් විසින් දුප්පතුන්ට පුණ්‍යාධාර ලෙස තමන්ගේ ධනය බෙදා දී දුප්පතුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මත පමණක් විශ්වාසය තබනවානම්, එය මනෝරාජික, මූලධාර්මික අදහසක් පමණයි.
ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සමාගම් වල ලාභ සේ යන කොටසටත් වඩා වැඩි කොටසක් යන්නේ මිශ්‍ර ආදායම් ලෙසයි. ඒ කියන්නේ ශ්‍රමයේ සහ ප්‍රාග්ධනයේ පංගු පැහැදිලිව හඳුනා ගත නොහැකි ආදායම්. බදු නිසි පරිදි නොගෙවන ආදායම් බොහෝ දුරට තිබෙන්නේ මේ ගොඩේ. ලංකාවේ බදු ආදායම් අඩු වීමට ප්‍රධාන හේතුව වන්නේද මේ කොටසයි. ඒ කියන්නේ වෙනත් අයෙකු හෝ සමාගමක් වෙනුවෙන් සේවය කර විධිමත් වැටුපක් ලබා නොගන්නා අතරම තමන්ගේ ආදායම් මාර්ගය ව්‍යාපාරයක් සේ ලියාපදිංචි කර නොමැති පිරිස. රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යද්දී එයින් වැඩිම පංගුවක් අත්පත් කර ගන්නේ මේ පිරිසයි. රජය හමුවේ ඇති ප්‍රධානම අභියෝගයක් වන්නේ මේ කාණ්ඩය තුළ ඇති ආදායම් මත ගෙවිය යුතු බදු නිසි සේ අය කර ගැනීමයි. එය කළ හැක්කේ ඕනෑම තනි පුද්ගල ව්‍යාපාරික කටයුත්තක් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීම සහ එම ලියාපදිංචිය අලුත් කිරීමේ කොන්දේසියක් ලෙස බදු ගොනු කිරීම අනිවාර්ය කිරීම මගින් පමණයි.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.