වෙබ් ලිපිනය:

Friday, September 26, 2025

රාජ්‍යමූල්‍ය කළමනාකරණය - පළමු මාස අට


වසරේ පළමු මාස අටක කාලය ඇතුළත රුපියල් බිලියන 3,068.5ක බදු ආදායමක් සමඟ රුපියල් බිලියන 3,301.5ක සමස්ත රාජ්‍ය ආදායමක් එකතු වී තිබෙනවා. පෙර වසරට සාපේක්ෂව බදු ආදායම් 30.7%කින් වර්ධනය වී ඇති අතර වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කයෙන් 66.9%ක් දැනටමත් එකතු වී තිබෙනවා. පෙර වසරට සාපේක්ෂව සමස්ත ආදායම් වර්ධනය 28.7%ක් වන අතර, මෙය වර්ෂාවසාන ඉලක්කයෙන් 65.5%කට සමානයි. මේ අනුව පෙනී යන්නේ මෑත ඉතිහාසයේ ප්‍රථම වරට මෙම වසර තුළ රාජ්‍ය ආදායම අයවැය ඇස්තමේන්තු ඉක්මවා යා හැකි බවයි.

පුනරාවර්තන වියදම් පෙර වසරට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන්නේ 11.2%කින් පමණක් වුවත්, අයවැය ඇස්තමේන්තු මට්ටමට යාමටනම් මෙම වර්ධන වේගය 10.9%කට සීමා විය යුතු බැවින් පුනරාවර්තන වියදම් යාන්තමින් ඇස්තමේන්තු ඉක්මවා යාමට ඉඩ තිබෙනවා. එහෙත්, ප්‍රාග්ධන වියදම් විශාල ලෙස සීමා වීමේ ප්‍රතිඵලයක් ලෙස, සමස්ත වියදම් ඉහළ ගොස් තිබෙන්නේ 6.8%ක් තරම් අඩු වේගයකිනුයි. මේ අයුරින් ආදායම් ඉහළ යාමේ සහ වියදම් සීමා වීමේ ප්‍රතිඵලයක් ලෙස පළමු මාස අටේ අයවැය හිඟය රුපියල් බිලියන 411.0කට සීමා වී තිබෙනවා.

වර්ෂාවසාන ප්‍රාථමික අයවැය අතිරික්ත ඉලක්කය රුපියල් බිලියන 750ක් පමණක් වුවත්, පළමු මාස අටක කාලය තුළ පමණක් රුපියල් බිලියන 1276.5ක මුදලක් ඉතිරි වී තිබෙනවා. මීට ප්‍රධානම හේතුව පළමු මාස අට තුළ වැය කර තිබෙන්නේ ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදම් ප්‍රමාණය වන රුපියල් බිලියන 1,315ක මුදලින් 25.2%ක් පමණක් වීමයි. 

මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රතිචාරයකින් ඇඟවුනු පරිදි, ප්‍රාග්ධන වියදම් සීමා වීමට හේතුවක් වී තිබෙන්නේ අපේක්ෂා කළ ඇතැම් ව්‍යාපෘති ණය ප්‍රමාද වීමයි. වසර අවසානයේදී එම ව්‍යාපෘති ණය ලැබුණහොත් විදේශ සංචිත ඉහළ යාමට මෙන්ම රජයේ ප්‍රාග්ධන වියදම් වැඩි වේගයකින් වැය වීමටද ඉඩ ඇතත්, දැනට පවතින තත්ත්වය අනුව බොහෝ විට ඉඩ තිබෙන්නේ ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තු මට්ටමටම සිදු නොවීමටයි. ඒ අනුව, මුල් ඇස්තමේන්තු ඉක්මවා යන ප්‍රාථමික අයවැය අතිරික්තයක් සහ ඇස්තමේන්තුවලට වඩා අඩු සමස්ත අයවැය හිඟයක් වාර්තා වීමට වැඩි ඉඩක් තිබෙනවා.

ඉහත ප්‍රවණතා අනුව වඩා වැඩි විභවයක් පෙනෙන්නට තිබුණත්, ලංකාවේ ඉලක්කය වනුයේ මෙම වසරේදී දදේනියෙන් 15.1% රාජ්‍ය ආදායමක් එකතු කර ගැනීම සහ දිගුකාලීනව එම අගය 15.3% මට්ටමේ පවත්වා ගෙන යාමයි. මෙම ඉලක්ක ලඟා කර ගත්තද, මෙම වසරේදී මෙන්ම දිගුකාලීනවද, නැගී ගෙන එන සහ මැදි ආදායම් කාණ්ඩයේ රටවල් 41ක් අතරින් ඉරානය හැරුණු විට අඩුම රාජ්‍ය ආදායමක් එකතු කර ගන්නා රට වනු ඇත්තේ ලංකාවයි. 

ඉහත රටවල රාජ්‍ය ආදායම සාමාන්‍ය අගයක් ලෙස 26.2%ක් වන අතර, අඩු ආදායම් ලබන රටවල සාමාන්‍ය අගය වන 15.7% වුවද ලංකාවේ 15.1% අගයට වඩා වැඩියි. ඉහළ ආදායම් ලබන රටවල මෙම අනුපාතය 36.6%ක්. රටක ආදායම් මට්ටම ක්‍රමයෙන් ඉහළ යද්දී රාජ්‍ය අංශයේ පංගුව විශාල වීම සාමාන්‍ය තත්ත්වයයි. 

නැගී ගෙන එන සහ මැදි ආදායම් කාණ්ඩයේ තෝරාගත් රටවල 2025දී අපේක්ෂා කෙරෙන රාජ්‍ය ආදායම් පහත පරිදි වන අතර මේ සමඟ පළ කරන වගුවෙහි ඉතිරි රටවල හා ආසන්න වසර වල සංඛ්‍යාලේඛණ ඇතුළත්ව තිබෙනවා.

ආජන්ටිනාව - 33.1%

බ්‍රසීලය - 39.2%

චීනය - 25.1%

හංගේරියාව - 42.2%

ඉරානය - 9.5%

කුවේට් - 75.8%

මැලේසියාව - 19.7%

මෙක්සිකෝව - 25.0%

පකිස්ථානය - 15.9%

පිලිපීනය - 20.2%

රුසියාව - 36.6%

තායිලන්තය - 20.9%

යුක්‍රේනය - 39.1%

වියට්නාමය - 18.7%

තුර්කිය - 28.9% 

3 comments:

  1. දියුණුව

    ReplyDelete
  2. මේ විදියට ගියොත් බංකොලොත් බවෙන් ගොඩ එන්න තව දශක කීයක් යාවි ද?

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා

    ඔබ පෙන්වා දෙන අන්දමට ලංකාව මුහුණ දෙන අතිශය දරුණු ආර්ථික අභියෝගය වන්නේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 15%ක් පමණ වන අඩු රාජ්‍ය ආදායම් ප්‍රතිශතයයි. මෙම ගෝලීය වශයෙන් අවම අගයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, රටේ අධික ලෙස මුදල් සහ දේපළ හිමි පිරිස් ක්‍රමානුකූලව බදු පැහැර හැරීම බවට ප්‍රබල සමාජ විවේචනයක් පවතී. මෙම ගැටලුව වඩාත් උග්‍ර වී ඇත්තේ, මෙතෙක් කලක් "අපි දුප්පත්, අපි නිර්ධන පංතියේ" යන සටන් පාඨය රැගෙන වේදිකාවට පැමිණි දේශපාලන නායකයන්ගේ වත්කම් ප්‍රකාශනවලින් ඔවුන්ගේ සැබෑ ධනවත්කම හෙළි වීමත් සමඟයි. සමාජ මාධ්‍ය තුළ විචාරයට ලක්වන පරිදි, "ලංකාවේ දේශපාලන වේදිකාව මත බොහෝ කලක් තිස්සේ නාද වූයේ එකම හඬකි. ඒ, 'හොරු' යන හඬයි... එහෙත්, ඔවුන්ගේ වත්කම් ප්‍රකාශයන් එළිදැක්වීමත් සමඟම, ඒ මිත්‍යාව බිඳී ගොස්, වෙනස්ම කතාවක් අප ඉදිරියේ දිග හැරෙමින් තිබේ." මෙම ප්‍රකාශනවලින් අනාවරණය වූයේ, "අද අප දකින්නේ, මෙතෙක් කල් 'හොරු' යැයි චෝදනා කළ දේශපාලකයන්ටත් වඩා වෙනස් ආකාරයකින්, රහසිගතව වත්කම් ගොඩනගා ගත් පිරිසක් බවයි." නිදසුනක් ලෙස, වත්මන් ජාජබ ඇමතිවරයකු වන වසන්ත සමරසිංහ මහතාගේ නිල වත්කම රුපියල් මිලියන 270ක් (පවුම් 675,000ක් පමණ) ලෙස සඳහන් වුවත්, ඔහු "ජීවිත කාලය පුරාම ආදායම් බදු ගෙවා නැති බවත්, TIN අංක පවා ලබාගෙන ඇත්තේ මීට මාස කිහිපයකට පෙර ඉතාම මෑතකදී බවත් පෙනී යයි." එසේම, කිසිදු බැංකු ණයක් නොගෙන කෝටි ගණන් ව්‍යාපාර කරමින් මහා ධනපතියන් වී සිටින මෙම "නිර්ධන පංති නායකයන්", කිසිදු ලියාපදිංචි ව්‍යාපාරයක් නොපෙන්වා සහ කිසිදු සේවකයෙකු (ETF/EPF ගෙවීම් සහිත) යොදා නොගෙන මෙම වත්කම් උපයාගත්තේ කෙසේද යන්න, "රවී කරුණානායකගේ සම්පූර්ණ වත්කම් රුපියල් මිලියන 191ක් පමණ වන විට, කිසිදු ව්‍යාපාරයක් නැති බව කියන වසන්ත සමරසිංහට රුපියල් මිලියන 270ක වත්කම් ලැබුණේ කෙසේද යන්න, ජනතාව තුළ බරපතල ප්‍රශ්නයක් නිර්මාණය කර ඇත." තවද, සමන්ත විද්‍යාරත්න වැනි අය ඉඩම් නොමැතිව වගාවෙන් මිලියන ගණන් ආදායම් පෙන්වීම සහ "කොවිඩ් වසංගතය සමයේදී රටේ ජනතාවට රත්තරන් උකස් කර ජීවිතය ගැටගසා ගැනීමට සිදු වූ විට, මෙම 'නායක සහෝදරවරු' කෝටි ගණන් වටිනා රන් ආභරණ සංචිත එකතුකරගනිමින් තම පවුල් ආරක්ෂා කරගෙන ඇත්තේ කෙසේද යන්න පුදුම සහගතය." රාජ්‍ය අංශයේ ඉහළම නිලධාරියා වන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නිල වත්කම වන රුපියල් මිලියන 420 (ඩොලර් මිලියන 1.4ක් පමණ) පිළිබඳව පවතින සංවාදයේ දී, "එහි සඳහන් 2003 නිෂ්පාදිත රුපියල් ලක්ෂ හයහමාරක මෝටර් රථය සහ ලක්ෂ කීපයක ඉඩම් කිහිපය වැනි කරුණු, දේශපාලනඥයන්ගේ වත්කම් ප්‍රකාශවලට සමාන වූ ව්‍යාජ ස්වභාවයක් පෙන්නුම් කරන බව පැහැදිලියි. ඔහුගේ සැබෑ වත්කම් ඊට වඩා වැඩි, සමහර විට රුපියල් කෝටි 100 ඉක්මවන බවට ඇතැමුන් පවසන අදහස ද මෙහිදී වැදගත්" බව සමාජය අවධාරණය කරයි.

    ​මෙම අධික වත්කම්වල සැබෑ විශාලත්වය වඩාත් පැහැදිලි වන්නේ, ඒවා දියුණු රටවල සාමාන්‍ය පුරවැසියන්ගේ වත්කම් සමඟ සසඳන විටය; වසන්ත සමරසිංහ මහතාගේ මෙම වත්කම, බ්‍රිතාන්‍යයේ ජනගහනයෙන් 96%ක් එනම්, මිලියන 67න් මිලියන 64ක් පමණ සතුව ඇති, පවුම් ලක්ෂ පහකට (£ 500,000) වඩා අඩු මුළු වත්කම් ප්‍රමාණයකට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතී. එසේම, නන්දලාල් වීරසිංහ මහතාගේ වත්කම, සාමාන්‍ය ඇමරිකානු පවුලක ශුද්ධ වත්කමට වඩා 7 ගුණයකින් පමණ ඉහළය. මෙම දත්ත මගින් පැහැදිලි වන්නේ, ශ්‍රී ලංකාවේ ඉහළ දේශපාලන සහ රාජ්‍ය තනතුරු දරන මෙම පුද්ගලයන්, දියුණු යැයි සම්මත රටවල සාමාන්‍ය පුරවැසියෙකුට සාපේක්ෂව පවා මහා විශාල ධනවතුන් වන අතර, ඔවුන්ට කිසිදු බැංකු ණයක් හෝ බදු ගෙවීමකින් තොරව මෙතරම් ධනයක් රැස් කිරීමට ඉඩ ලැබුණේ කෙසේද යන්න පිළිබඳව ජනතාව විශාල ලෙස අවධානය යොමු කර ඇති බවයි. අවසාන වශයෙන්, "වසන්ත සමරසිංහට වඩා වත්කම් ඇති අය ලංකාවේ සිටින්නේ 13,000 ක් පමණක් බවත් මිලියන 22 (22,000,000) කට අධික අතිශය බහුතර ලාංකිකයන් ඊට වඩා බොහෝ දිළින්දන් බවත් මාධ්‍ය වලීන් අනාවරණය වී තිබෙනවා." මෙම ආර්ථික විෂමතාවය මධ්‍යයේ, රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට ඇති එකම විසඳුම ලෙස, දැනටමත් අධික බදු බරින් පීඩා විඳින මධ්‍යම පාන්තික සේවකයන්ට බදු පැටවීම වෙනුවට, "අයථා ලෙස උපයාගෙන තිබෙන වත්කම්වලට සාධාරණ බදු අය කිරීමට රජයට බල කිරීමට සමස්ත ජනතාවම පෙරමුණ ගත යුතුයි නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: