මෙම ලිපි මාලාවෙහි පෙර ලිපි තුනෙහි විස්තර කළ වැදගත් කරුණු කිහිපයක් සාරාංශගත කළහොත්, පළමුව, මුදල් සැපයුම, ඉතා පැහැදිලි ලෙසම, උද්ධමනය හෝ අවධමනය කෙරෙහි බලපාන නමුත් එම සම්බන්ධය නිශ්චිත ගණිතමය සම්බන්ධයක් ලෙස ඉදිරිපත් කිරීම සියයට සියයක්ම සාර්ථක කාර්යයක් නෙමෙයි. මේ සම්බන්ධය ආකෘතිගත කිරීම පිණිස කාලයක් තිස්සේ මුදල් ප්‍රමාණ සමීකරණය ප්‍රචලිතව උපයෝගී කරගෙන ඇති නමුත් ප්‍රායෝගිකව එහි සීමාවන් ගණනාවක් තිබෙනවා.
දෙවනුව, මුදල් සැපයුම යන සංකල්පය ප්‍රායෝගිකව අර්ථදැක්වීම එන්න එන්නම වඩා අසීරු වෙමින් තිබෙනවා. ඊට හේතුව, ගෙවීම් සිදු කරන ක්‍රමවේදයන්හි මෑතකාලීනව වේගවත් පරිවර්තනයන් සිදු වී තිබීමයි. මේ තත්ත්වය තුළ ඉහත සම්බන්ධය තවත් දුර්වල වී තිබෙනවා. ජාත්‍යන්තර ගනුදෙනු ඉහළ යාම මේ තත්ත්වය තවත් සංකීර්ණ කර තිබෙනවා.
තෙවනුව, මුදල් සැපයුම කෙරෙහි මහ බැංකුවේ සෘජු බලපෑම කාලයත් සමඟ ක්‍රමක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතිනවා. වත්මන් සන්දර්භයෙහි මුදල් සැපයුම බොහෝ දුරට තීරණය වන්නේ මහ බැංකුවෙන් බැහැර වෙළඳපොළ තුළයි.
පහත තිබෙන්නේ පසුගිය (2024) වසර අවසානයේදී ලංකාවේ පුළුල් මුදල් සැපයුමෙහි (M2b) සංයුතියයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කිරීම පිණිස ඉලක්ක කිරීමට උත්සාහ කරන මුදල් සැපයුම පිළිබඳ නිර්ණායකය වන්නේද, නාමික දළ දේශීය නිෂ්පාදිතයේ විචලනයන් හා වැඩිම සම්බන්ධයක් පෙන්වන්නේද මෙම M2b පුළුල් මුදල් සැපයුමයි. සියලුම අගයන් රුපියල් බිලියන වලින්.
ව්‍යවහාර මුදල් - 1,051.3 (7.3%)
ජංගම ගිණුම් තැන්පතු - 874.5 (6.1%)
ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු - 12,396.1 (86.6%)
එකතුව - 14,321.7 (100.0%)
වත්මන් සන්දර්භයේදී මේ ඕනෑම වර්ගයක මුදල් ගනුදෙනු සඳහා භාවිතා කළ හැකියි. මෙම මුදල් වර්ග අතරින් මහ බැංකුවට ඒකාධිකාරයක් තිබෙන්නේත්, මහ බැංකුව විසින් සෘජුව නිකුත් කර තිබෙන්නේත්, ව්‍යවහාර මුදල් පමණයි. එහෙත් එම ප්‍රමාණය පුළුල් මුදල් සැපයුමෙන් 7.3%ක් පමණයි. මුදල් සැපයුමෙන් 92.7%ක්ම ගොඩ නැගී තිබෙන්නේ බැංකු පද්ධතිය හා ඔවුන්ගේ පාරිභෝගිකයින් අතර සිදු වන අන්තර්ක්‍රියා වලින්.
ලෝකයේ බොහෝ රටවල මෙන්ම ඇමරිකාව තුළද ව්‍යවහාර මුදල් භාවිතය බෙහෙවින්ම අඩු වී ඇතත්, ඩොලර් නෝට්ටු ලෝකය පුරාම ගනුදෙනු සඳහා භාවිතා කෙරෙන බැවින්, ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ මෙම අනුපාතය තරමක් වැඩියි. ව්‍යවහාර මුදල් ප්‍රමාණය (2024 අවසානයේදී) ඇමරිකාවේ M1 මුදල් සැපයුමෙන් 12.8%ක් වූ අතර, M2 මුදල් සැපයුමෙන් 10.9%ක්ව පැවතුණා.
චීනය මේ වන විට ව්‍යවහාර මුදල් භාවිතයෙන් බොහෝ දුරට ඈත්ව සිටින රටක්. එරට ඉහත අනුපාතය 4.1%ක් පමණයි. ව්‍යවහාර මුදල් භාවිතයෙන් මුළුමනින්ම මෙන් ඈත් වී ඇති ස්වීඩනයේ මෙම අනුපාතය 1.1%ක් පමණයි. තවමත් ව්‍යවහාර මුදල් ගණුදෙනු වැඩිපුර සිදු වන ඉන්දියාවේ වුවද මෙම අනුපාතය 13.6%ක්. මේ අනුව, ලංකාවේ මෙන්ම ලෝකයේද, ව්‍යවහාර මුදල් භාවිතය පිළිබඳ වත්මන් තත්ත්වය අවබෝධ කර ගැනීම අපහසු කරුණක් නෙමෙයි.
මහ බැංකුව විසින් සංසරණයට එකතු කර තිබෙන මුදල් ප්‍රමාණය ලංකාවේ පුළුල් මුදල් සැපයුමෙන් 7.3%ක් පමණක්නම්, ඉතිරි 92.7% නිර්මාණය වූයේ කෙසේද? මෙය සිදුව තිබෙන්නේ වාණිජ බැංකු සහ ඔවුන්ගේ පාරිභෝගිකයින් අතර සිදු වන ගනුදෙනු හරහා සිදුව තිබෙන මුදල් මැවීමේ ක්‍රියාවලිය තුළිනුයි. වෙනත් රටක් සැලකුවද තත්ත්වය මෙවැන්නක්. මහ බැංකු මැදිහත් වී නියාමනයක් සිදු නොකරන්නේනම් මේ මුදල් මැවීමේ ක්‍රියාවලිය හරහා මුදල් සැපයුම අසීමිත ලෙස ඉහළ යා හැකියි. ඊට අනුරූපව උද්ධමනයද ඉහළ යා හැකියි.
මුදල් ප්‍රමාණ සමීකරණය වෙත නැවත පිවිසියහොත්, අදාළ සම්බන්ධය මෙවැන්නක් බව අප දන්නවා.
උද්ධමනය = මුදල් සැපයුමේ වර්ධන වේගය - අපේක්ෂිත මූර්ත ආර්ථික වර්ධන වේගය
කිසියම් රටක උද්ධමනය 10%ක් හෝ ඊට වඩා අඩු මට්ටමක තිබේනම්, එයට මුදල් සැපයුම වර්ධනය වීමේ බලපෑම මෙන්ම මූර්ත ආර්ථික වර්ධනයේ බලපෑමද දායක වන ආකාරය පැහැදිලිව පෙනෙනවා. එමෙන්ම, එම මට්ටම නොඉක්මවන උද්ධමනයකට මුදල් ප්‍රවේගය වෙනස් වීම වැනි කරුණුද බලපෑ හැකියි. එහෙත්, රටක මූර්ත ආර්ථික වර්ධන වේගය 10% මට්ටම ඉක්මවන්නේ කලාතුරකින්. මුදල් ප්‍රවේගය විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, කිසියම් රටක අධි උද්ධමන තත්ත්වයක් ඇත්නම් එයට මුළුමනින්ම මෙන් හේතු වී තිබෙන්නේ මුදල් සැපයුමේ වර්ධනය බව තේරුම් ගන්න අපහසු නැහැ.
අධි උද්ධමනයක් (hyper inflation) සේ සැලකෙන්නේ සාමාන්‍ය මිල මට්ටම මාසයක් තුළ 50% ඉක්මවා යන තත්ත්වයක්. මෙය 12875%ක වාර්ෂික උද්ධමනයකට සමානයි. ශ්‍රී ලංකාව මුහුණ දුන් 70% මට්ටමේ උද්ධමනය ඉහළ උද්ධමනයක් වුවත් අධි උද්ධමනයක් නෙමෙයි. එය 12875% සීමාවට කිට්ටුවෙන්වත් යන්නේ නැහැ.
උද්ධමනය මෙවැනි අධි උද්ධමන මට්ටමකට යාමේදී මූර්ත ආර්ථික වර්ධන වේගය හෝ මුදල් ප්‍රවේගයේ වෙනස්වීම වැනි කරුණු වලින් ඒ සඳහා සිදු කෙරෙන බලපෑම නොසලකා හැරිය හැකි තරම් අඩුයි. ඒ නිසා, උද්ධමනය පාලනය කිරීමේදී අවධානය යෙදිය යුතු එකම සාධකය මුදල් සැපයුමේ වර්ධනයයි. එහෙත්, උද්ධමනය තනි අංකයක පවත්වා ගැනීමේ උත්සාහයකදී මුදල් සැපයුමේ වර්ධනය දෙස පමණක් බලමින් එය කළ නොහැකියි.
සිම්බාබ්වේ හා වෙනිසියුලාව වැනි රටවල මෑත වකවානු වලදී අධි උද්ධමන තත්ත්වයන් ඇති වූයේ එම රටවල මහ බැංකු තිබියදීයි. එහෙත්, මහ බැංකු විසින් සිය වගකීම නිසි ලෙස ඉටු නොකිරීම මහ බැංකු ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයේ බොහොමයක් මහ බැංකු විසින් උද්ධමනය සාර්ථක ලෙස පාලනය කරමින් තමන්ගේ මුදල් ඒකක පිළිබඳ විශ්වාසය නඩත්තු කිරීමට සමත්ව තිබෙනවා.
පුළුල් මුදල් සැපයුමෙහි සංයුතිය දෙස බැලූ විට, පහසුවෙන්ම, උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩු වන්නේය යන තර්කය බිඳ දමන්න පුළුවන්. උද්ධමනයක් ඇත්නම්, පුළුල් මුදල් සැපයුමෙහි ව්‍යවහාර මුදල් කොටසේ මූර්ත වටිනාකම අඩු වෙනවා. එහෙත් එම කොටස පුළුල් මුදල් සැපයුමෙන් 7.3%ක් පමණයි. මෙම පංගුවද ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා. ව්‍යවහාර මුදල් භාවිතය නුදුරු කලකින් ලෝකයෙන් අතුරුදහන් වීමට නියමිතව ඇති දෙයක්. ස්වීඩනය වැනි ඇතැම් රටවල ව්‍යවහාර මුදල් භාවිතයක් ඇත්තේම නැහැ.
ලංකාවේ පුළුල් මුදල් සැපයුමෙන් 86.6%ක්ම පවතින්නේ ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු ලෙසයි. ජංගම ගිණුම් කොටස 6.1%ක්. මා දන්නා තරමින් ලංකාවේ බැංකු ජංගම ගිණුම් වෙනුවෙන් පොලී ගෙවීමක් සිදු කරන්නේ නැහැ. එහෙත් ලෝකයේ වෙනත් රටවල් වල මේ වන විට මේ තත්ත්වයද වෙනස් වී තිබෙනවා. ජංගම ගිණුම් ශේෂද ඇතුළුව, ලංකාවේ පුළුල් මුදල් සැපයුමෙන් 12.4%ක වටිනාකම උද්ධමනය හේතුවෙන් අඩු වන්නේයැයි සැලකුවද, ඉතිරි 86.6% කොටසට මේ තර්කය අදාළ වන්නේ නැහැ. එය තීරණය වන්නේ උද්ධමනය ඉක්මවන පොලී අනුපාතයක් මෙම තැන්පතු වෙනුවෙන් ලැබෙන්නේද යන්න මතයි.
ඉතිරි කිරීම් වෙනුවෙන් උද්ධමනය ඉක්මවන පොලී අනුපාතයක් ලැබේනම්, උද්ධමනය කොපමණ වුවද, අවසාන වශයෙන් සිදු වන්නේ මුදල් වල වටිනාකම ඉහළ යාමයි. ලංකාවේ මුදල් සැපයුමෙන් 86.6%ක් හා අදාළවම තත්ත්වය මෙයයි. ඕනෑම අයෙකුට තමන්ගේ ද්‍රවශීල වත්කම් වලින් ව්‍යවහාර මුදල් ලෙස තබා ගන්නා කොටස ස්වාධීනව තීරණය කළ හැකි බැවින් උද්ධමනයේ හානිය පහසුවෙන්ම වලක්වා ගන්න පුළුවන්.
උදාහරණයක් ලෙස මේ වන විට ලංකාවේ උද්ධමනය 1.2%ක්. එයින් අදහස් වන්නේ ව්‍යවහාර මුදල් වල හා ජංගම ගිණුම් තැන්පතු වල වටිනාකම වසරකට 1.2%කින් අඩු වන බවයි. එහෙත්, සාමාන්‍ය අගයක් ලෙස, තැන්පතු පොලිය 6.24%ක්. ඒ කියන්නේ පුළුල් මුදල් සැපයුමේ එම කොටසේ වටිනාකම 5.04%කින් ඉහළ යන බවයි. මේ අනුව, සමස්ත ප්‍රතිඵලය කුමක්ද?
මුදලේ වටිනාකම වෙනස් වීම = 5.04%*86.6% - 1.2%*13.4% = 4.2%
කෙසේ වුවද, මේ තර්කය මගින්, උද්ධමනය හමුවේ ඕනෑම අවස්ථාවක මුදලේ වටිනාකම ඉහළ යන බවක් අදහස් කෙරෙන්නේ නැහැ. එය තීරණය වන්නේ මූර්ත පොලී අනුපාතිකය මතයි. මූර්ත පොලී අනුපාතිකය යනු පොලී අනුපාතික සහ උද්ධමනය අතර වෙනසයි.
මූර්ත පොලී අනුපාතිකය සෘණ අගයක්නම්, ඒ කියන්නේ, පොලී අනුපාතිකය උද්ධමනයට වඩා අඩුනම්, උද්ධමනය නිසා සිදු වන හානිය ප්‍රතිපූරණය කර ගැනීමේ හැකියාවක් පුද්ගලයෙකුට නැහැ. ඒ නිසා, මුදලේ වටිනාකම පවත්වා ගැනීම සඳහා, වත්මන් මහ බැංකුවක් විසින් කළ යුත්තේ මූර්ත පොලී අනුපාතික අවශ්‍ය තරම් ඉහළ මට්ටමක පවත්වා ගැනීමයි. මහ බැංකු විසින් ඇත්තටම කරන්නේද එයයි.
මුදල් සැපයුම සීමා කිරීම මගින් මහ බැංකුවකට මූර්ත පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ සැලැස්විය හැකියි. කෙසේ වුවද, නාමික පොලී අනුපාතික මෙන්ම උද්ධමනයද තීරණය වන්නේ මහ බැංකුවෙන් පිටත වෙළඳපොළ තුළයි. මහ බැංකුවකට කළ හැක්කේ නියාමකයෙකු හා මැදිහත්කරුවෙකු ලෙස ඒ මත බලපෑමක් කිරීම පමණයි.
උද්ධමනය තීරණය වන්නේ මුදල් ඉල්ලුම හා මුදල් සැපයුම මතයි. මුදල් ඉල්ලුම තීරණය කරන්නේ සමස්තයක් ලෙස රටේ සියලුම පුද්ගලයින් හා ආයතන විසිනුයි. මුදල් සැපයුමෙන් වැඩි කොටසක් තීරණය කරන්නේද වාණිජ බැංකු විසිනුයි. මහ බැංකුවට සෘජුව පාලනය කළ හැක්කේ ව්‍යවහාර මුදල් කොටසයි. ඊට අමතරව ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට මුදල් සැපයුමෙහි තවත් කොටසක් පාලනය කළ හැකියි. මෙම දෙවන ක්‍රමයද ලෝකය විසින් ක්‍රමයෙන් බැහැර කරමින් යන, වෙළඳපොළ මත පදනම් නොවන, දැඩි නියාමන ක්‍රමයක්. ඇමරිකාව මේ වන විට සංචිත අවශ්‍යතාවය මුළුමනින්ම ඉවත් කර ඇති අතර, ලංකාවේ වුවද මෙම අනුපාතය 2%ක් පමණයි.
සංචිත මුදල් ලෙස හැඳින්වෙන්නේ මහ බැංකුව විසින් නිකුත් කර ඇති ව්‍යවහාර මුදල් ප්‍රමාණයේ සහ මහ බැංකුව විසින් තබා ගෙන ඇති වාණිජ බැංකු වල අරමුදල් ප්‍රමාණයේ එකතුවයි. 2024 අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණයම M2b පුළුල් මුදල් සැපයුමෙන් 10.7%ක් පමණයි.
මුදල් ඉල්ලුම තීරණය වන්නේ මහ බැංකුවෙන් පිටතදීනම් සහ මුදල් සැපයුමෙන් 90%ක් පමණම තීරණය වන්නේද මහ බැංකුවෙන් පිටතදීනම්, පොලී අනුපාතික තීරණය වන්නේද මහ බැංකුවෙන් පිටත වෙළඳපොළ තුළ බව පැහැදිලි විය යුතුයි. මහ බැංකුවට සිදු කළ හැක්කේ එක් සැපයුම්කරුවෙකු ලෙස මෙම වෙළඳපොළ මිල මත බලපෑම් කිරීම පමණයි.
මෙය සමාන කළ හැක්කේ වී සංචිතයක් තබා ගෙන එහි උදවුවෙන් රජය විසින් සහල් මිල මත බලපෑම් කිරීම වැනි දෙයකටයි. රජයට බලපෑමක් කළ හැකි වුවත්, අවසාන වශයෙන් මිල තීරණය වන්නේ වෙළඳපොළ තුළයි. කෙසේ වුවද, වී සංචිතය අවසන් වෙද්දී රජයට මෙසේ වෙළඳපොළට බලපෑම් කිරීමේ හැකියාව නැති වෙනවා. එහෙත්, මහ බැංකුවට පහසුවෙන්ම අලුතෙන් මුදල් සංසරණයට එකතු කළ හැකි බැවින් මෙවැනි සීමාවක් නැහැ.
මුදල් සංසරණයට එකතු කිරීම මගින් මහ බැංකුවට මුදල් සැපයුම මත කොපමණ බලපෑමක් කළ හැකිද?
මුදල් ඉල්ලුම අනුව, මහ බැංකුවෙන් පිටත පාර්ශ්වයන් විසින් මුදල් සැපයුමෙහි ඔවුන්ගේ පංගුව 20%කින් වැඩි කිරීමට දායක වන්නේයයි සිතමු. ඔවුන්ගේ මෙම පංගුව 90%ක් සේ සැලකුවහොත්, මේ හේතුවෙන් මුදල් සැපයුම 18%කින් ඉහළ යනවා. මහ බැංකුව විසින් මහ බැංකුවේ කොටසද 20%කින් වැඩි කළහොත්, මුදල් සැපයුම 20%කින් ඉහළ යනවා. ඒ කියන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ මහ බැංකුවට කළ හැක්කේ සංචිත මුදල් සැපයුම පාලනය කර ගැනීම මගින් මුදල් සැපයුම වර්ධනය වන වේගය 20% සිට 18% දක්වා අඩු කිරීම පමණයි. මේ අනුව, සංචිත මුදල් සැපයුම පාලනය කර ගැනීම මගින් පමණක් මහ බැංකුවට උද්ධමනය පාලනය කිරීම සඳහා ඇති හැකියාවේ සීමාවද හඳුනා ගන්න පුළුවන්.
අනෙක් අතට රටේ මුදල් ඉල්ලුම වෙනස් නොවන සහ මහ බැංකුවෙන් පිටත පාර්ශ්වයන් විසින් මුදල් සැපයුමෙහි ඔවුන්ගේ පංගුව නොවෙනස්ව තබා ගන්නා තත්ත්වයක් සලකා බලමු. මෙවැනි තත්ත්වයක් තුළ, මහ බැංකුව විසින් සංචිත මුදල් ප්‍රමාණය 40%කින් වැඩි කළහොත්, පුළුල් මුදල් සැපයුම මත එයින් සිදුවන බලපෑම කුමක්ද? එය 4%ක් පමණයි. ඒ නිසා, මෙවැනි තත්ත්වයක් යටතේ සංචිත මුදල් සැපයුම 40%කින් ඉහළ ගියද, එයින් උද්ධමන තත්වයක් අනිවාර්යයෙන්ම ඇති වන්නේ නැහැ.
ඇමරිකාව වෙත ගියොත්, 2008 ජූනි මාසය අවසන් වන විට සංචිත මුදල් සැපයුම ඩොලර් බිලියන 840.2ක්. 2021 දෙසැම්බර් වන විට මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 6,413.1 දක්වා ඉහළ ගිහින්. වසර 13.5ක කාලයක් තුළ 7.63 ගුණයක වර්ධනයක්. සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 16.24%ක්. එහෙත් මෙම කාලය තුළ පුළුල් මුදල් සැපයුම වර්ධනය වී තිබෙන්නේ 2.82 ගුණයකින් පමණයි. මෙය 8.0ක වාර්ෂික වර්ධන වේගයක්.
ඉහත වසර 13.5ක කාලය තුළ ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගොස් තිබෙන්නේ, සමස්තයක් ලෙසම, 29.1%කින් පමණයි. මෙය 1.91%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක්. ඇමරිකාවේ මහ බැංකුව එරට හා රටින් පිටත ඩොලර් භාවිතා කරන පුද්ගලයින්ට දැනුම් දී තිබෙන්නේ උද්ධමනය සාමාන්‍ය අගයක් ලෙස 2% ආසන්නව පවත්වා ගන්නා බවයි. සංචිත මුදල් සැපයුමේ සාමාන්‍ය වර්ධන වේගය 16.24%ක් වුවද, ෆෙඩරල් සංචිත බැංකුව විසින් අදාළ කාලය තුළ උද්ධමනය සාමාන්‍ය අගයක් ලෙස පොරොන්දු වූ මට්ටම ආසන්නයේ පවත්වාගෙන ගොස් තිබෙනවා. අවසාන වශයෙන් අවශ්‍ය වන්නේ එයයි.
මෙසේ මුදල් සැපයුමේ සාමාන්‍ය වර්ධන වේගය සහ සාමාන්‍ය උද්ධමනය අතර විශාල වෙනසක් තිබීමෙන් පැහැදිලිව පෙනෙන්නේ උද්ධමනය තීරණය කරන එකම නිර්ණායකය සංචිත මුදල් සැපයුමේ වර්ධනය නොවන්නාක් මෙන්ම මුදල් සැපයුමේ වර්ධනයද නොවන බවයි. මෙය විචල්‍ය ගණනාවක් මත තීරණය වන්නක්.
සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳව සාමාන්‍ය ජනයා දැනුවත්ව සිටිය යුතු වුවත්, ප්‍රායෝගිකව ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී එවැනි දැනුවත් භාවයන් ඉක්මවා යන විශේෂඥ දැනුමක් අවශ්‍ය වෙනවා. එසේ නොවන අවස්ථාද තිබුණත්, සාමාන්‍යයෙන් මහ බැංකු වල තීරණ ගන්නා අය එවැනි විශේෂඥ දැනුමක් හා පළපුරුද්දක් ඇති අයයි. ඇමරිකාවේ සංචිත මුදල් සැපයුමේ සාමාන්‍ය වර්ධන වේගය 16.24%ක් වුවද, උද්ධමනය ඉලක්ක මට්ටම වන 2% ආසන්නව පවත්වා ගැනීමට සමත්වීම මගින් ෆෙඩරල් සංචිත බැංකුව විසින් ප්‍රදර්ශනය කර තිබෙන්නේ එම විශේෂඥ දැනුමේ වටිනාකමයි.
පුළුල් මුදල් සැපයුමෙන් විශාල පංගුවක් තීරණය වන්නේ මහ බැංකුවේ පාලනයෙන් තොරවනම්, මහ බැංකුවකට උද්ධමනය අඩු කර ගත හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි. උද්ධමනය හැදෙන්නේ වෙළඳපොළ තත්වයන් තුළයි. වෙනත් විදිහකින් කිවුවොත්, එය හොඳ නියාමනයක් නැති ධනවාදී ක්‍රමයක් තුළ නෛසර්ගිකව සිදු වන දෙයක්. මෙහිදී ධනවාදී ක්‍රමයක් යන අර්ථදැක්වීමට සීමිත හෝ නිදහස් මූල්‍ය වෙළඳපොළක් ඇති ඕනෑම ක්‍රමයක් ඇතුළත්.
මෙම අර්ථකථනයෙන් බැහැර වන්නේ ණය දීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම එක් මධ්‍යගත ආයතනයක් හරහා පමණක් සිදු වන සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය පමණයි. කොමියුනිස්ට් ප්‍රකාශනයේ කියවුනේත්, පැරණි සෝවියට් දේශයේ තිබුණේත්, චීනය වැනි සමාජවාදී රටවල කලකට පෙර තිබුණේත් එවැනි ක්‍රමයක්. දැනට මෙවැනි ක්‍රමයක් තිබෙන්නේ උතුරු කොරියාවේ පමණයි. මේ අර්ථයෙන්, චීනයේ දැන් තිබෙන්නේද ධනවාදී ක්‍රමයක්.
ධනවාදී වෙළදපොළක් ප්‍රසාරණය වෙද්දී එයට අනුරූපව මුදල් ඉල්ලුමද ඉහළ යනවා. මේ ඉල්ලුම සපුරමින් ණය දීමේ ක්‍රියාවලිය හරහා මුදල් සැපයුම ප්‍රසාරණය කිරීමට පෞද්ගලික වාණිජ බැංකු කටයුතු කරනවා. අරමුණ ලාභ ලැබීමනම්, රජයට අයත් වාණිජ බැංකු විසින්ද මේ කටයුත්තට දායක වෙනවා. නියාමනයක් නොමැතිනම්, මේ ක්‍රියාවලියේ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ඇති වීම නොවැලැක්විය හැකියි.
කාලයකට පෙර මුදලේ වටිනාකම රන් වටිනාකම හා ගැලපීම මගින් රජයයන් විසින් මේ නියාමනය සිදු කළා. මේ වන විට මහ බැංකු ක්‍රමය තුළ එය වඩා සාර්ථක ආකාරයකින් සිදු වෙනවා. අතරින් පතර අධි උද්ධමන තත්ත්වයන් ඇති වුවත්, සමස්තයක් ලෙස ලෝකයේ මහ බැංකු විසින් උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගනිමින් සිටිනවා.
ඉහත විස්තර කළ පරිදි, මුදල් සැපයුමෙන් වැඩි කොටසක් තීරණය වන්නේ මහ බැංකුවෙන් පිටත බැවින් එසේ මුදල් සැපයුම වර්ධනය වන සාමාන්‍ය වේගයට වඩා ගොඩක් අඩු වේගයක් ඉලක්ක කිරීම මහ බැංකුවකට ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ඒ නිසාම, උද්ධමනය හා අදාළවද, පවත්වා ගත හැකි ඉලක්කයට යම් සීමාවක් තිබෙනවා. මේ ඉලක්කය පහතට ගැනීම කාලයක් තිස්සේ ක්‍රමානුකූලව සිදු කළ යුතු දෙයක්. ඒ සඳහා දිගු කාලයක් උද්ධමනය ස්ථාවරව පවත්වා ගැනීම මගින් මුදල් පිළිබඳ විශ්වාසය ගොඩ නැගිය යුතු වෙනවා.
මුදල් සැපයුමෙන් වැඩි කොටසක් තීරණය වන්නේ මහ බැංකුවෙන් පිටත බැවින්, මේ තත්ත්වය තුළ අවධමනයක් වුවද ඇති විය හැකියි. උද්ධමනය මෙන් නොව, අවධමනය මහ බැංකුවකට පහසුවෙන් පාලනය කළ හැකියි. ඊට හේතුව, මුදල් සැපයුම අඩු කිරීම අපහසු කාර්යයක් වුවත්, මුදල් අලුතෙන් සංසරණයට එකතු කිරීම මගින් මුදල් සැපයුම ඉහළ දැමීම පහසු කාර්යයක් වීමයි. මහ බැංකුව ස්වාධීනනම්, රජය මගින් මහ බැංකුවක මේ හැකියාව අපහරණය නොකරන්නේනම්, උද්ධමනය ඉලක්ක මට්ටමේ පවත්වා ගැනීම පිණිස මහ බැංකුව විසින් සංචිත මුදල් වැඩි කිරීම ප්‍රශ්නයක් වන්නේ නැහැ.
ශුන්‍ය උද්ධමන ඉලක්කයක් වෙනුවට කිසියම් පහළ තනි අංකයක උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීමේ වැදගත්කම වනුයේ, එසේ කිරීම මගින් උද්ධමනය ඉලක්ක මට්ටම ඉක්මවන විට එය පාලනය කර ගැනීමේ යම් හැකියාවක් මහ බැංකුවකට ලැබීමයි. මෙහිදී උද්ධමනය අවශ්‍ය මට්ටමේ පවතීනම් මහ බැංකුව විසින් සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු කරනවා. උද්ධමනය ඊට වඩා අඩුනම් වැඩි මුදල් ප්‍රමාණයක් එකතු කරනවා. උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා අඩුනම්, එසේ එකතු කරන මුදල් ප්‍රමාණය අඩු කරනවා.
නමුත්, අවශ්‍ය අවස්ථාවකදී මෙසේ අලුතෙන් එකතු කරන මුදල් ප්‍රමාණය අඩු කළ හැකි වන්නේ සාමාන්‍ය වශයෙන් වාර්ෂිකව මහ බැංකුව විසින් මුදල් සැපයුමට කිසියම් එකතු කිරීමක් කරන්නේනම් පමණයි. ඒ කියන්නේ, යම් මට්ටමක උද්ධමනයක් පවත්වා ගන්නේනම් පමණයි.
සංවර්ධිත රටකට 2% වැනි උද්ධමන මට්ටමක් මේ ආකාරයෙන් නඩත්තු කළ හැකි වුවත්, ලංකාව වැනි වේගවත් ආර්ථික වර්ධනයක් ඉලක්ක කරන රටකට එවැනි පහළ ඉලක්කයක් නඩත්තු කිරීමේ හැකියාවක් නැහැ. මෙහිදී මතක් කළ යුත්තේ මුදලේ වටිනාකම පවත්වා ගත හැකි පරිදි මූර්ත පොලී අනුපාතික ප්‍රමාණවත් මට්ටමක තබා ගත යුතු වුවත්, මූර්ත පොලී අනුපාතික සීමාව ඉක්මවා වැඩි වුවහොත්, ණය වර්ධනය සීමා වීමේ බලපෑමෙන් අවසාන වශයෙන් ආර්ථික වර්ධනයද සීමා වන බවයි.
උද්ධමන ඉලක්කය 2% වුනත්, 10% වුනත්, මහ බැංකුව විසින් එම ඉලක්කය පවත්වා ගනු ලබන්නේනම් සහ මූර්ත පොලී අනුපාතික නිවැරදිව කළමනාකරණය කරන්නේනම් එයින් මුදලේ වටිනාකම අඩු වීමක් හෝ හානියක් සිදු වන්නේ නැහැ. ඊට හේතුව, පොලී අනුපාතික මගින් මුදලේ වටිනාකම අඩුවීම ප්‍රතිපූරණය වීමයි. එහෙත්, මහ බැංකුවට ප්‍රකාශිත උද්ධමන ඉලක්කය පවත්වා ගත නොහැකි වන අවස්ථා වලදී පොලී අනුපාතික මගින් මුදලේ වටිනාකම අඩුවීම ප්‍රතිපූරණය නොවෙන්න පුළුවන්. එය එසේ වේනම්, එය මහ බැංකුවේ කාර්ය භාරය නිසි සේ සිදු නොවීමක්.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.