මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, මෙම (2025) වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සඳහා නැවත අවසර ලැබීමෙන් පසුව, වාහන ආනයනය වෙනුවෙන් විදේශ විණිමය වැය වී තිබෙන්නේ පහත ආකාරයෙනුයි.
ජනවාරි සිට මාර්තු දක්වා - ඩොලර් මිලියන 60
අප්‍රේල් - ඩොලර් මිලියන 134
මැයි - ඩොලර් මිලියන 118
ජූනි - ඩොලර් මිලියන 163
ජූලි - ඩොලර් මිලියන 193
එකතුව - ඩොලර් මිලියන 668
ඉහත සඳහන් ඩොලර් මිලියන 668ක මුදලින් ඩොලර් මිලියන 506ක් පුද්ගලික පාවිච්චිය සඳහා වන වාහන ආනයනය වෙනුවෙන් වැය වී ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 162 වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන වෙනුවෙන් වැය වී තිබෙනවා.
මෙම සංඛ්‍යාලේඛණ වල තිබෙන්නේ වාහන මිල දී ගැනීම සඳහා ගෙවූ මුදල් ප්‍රමාණයයි. මිල දී ගන්නා වාහන රටට රැගෙන ඒම සඳහා ප්‍රවාහන ගාස්තු හා රක්ෂණ ගාස්තුද ගෙවන්නට සිදු වෙනවා. මෙම සේවාවන් ලබා ගන්නේ විදේශික සමාගම් වලින්නම්, අදාළ වියදම් සටහන් වන්නේ සේවා ආනයන යටතේයි. ඒ නිසා, වාහන ආනයනය සඳහා වැය වී තිබෙන විදේශ විණිමය ප්‍රමාණය ඉහත ගණනට වඩා තරමක් වැඩියි.
මාධ්‍ය වාර්තා අනුව, පසුගිය සැප්තැම්බර් 9 දින වන විට රේගුවෙන් නිදහස් කරගෙන ඇති වාහන 154,537ක මිල දී ගැනීමේ පිරිවැය, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු වල එකතුව (CIF අගය) ඩොලර් මිලියන 911ක් වන අතර රේගුව විසින් එම ආනයන වලින් රුපියල් බිලියන 429ක බදු ප්‍රමාණයක් අය කරගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් බදු අය කරන්නේ මෙම CIF අගය මතයි.
තව දුරටත් වාර්තා වී ඇති පරිදි, සැප්තැම්බර් 3 දින වන විට, වාහන 220,026ක් ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන 1,491 ණයවර ලිපි විවෘත කර තිබෙනවා. මෙයින් ඉතිරි වාහන ප්‍රමාණය වසරේ අවසන් මාස හතර තුළ රටට පැමිණීම සහ රේගුවෙන් නිදහස් කර ගැනීම සිදු වනු ඇතැයි සිතිය හැකි බැවින් වසරේ වාහන ආනයන වියදම, රක්ෂණ ගාස්තු හා නැව් ගාස්තුද ඇතුළත්ව, ඩොලර් බිලියන 1.5 ඉක්මවිය හැකි බව පෙනෙන්නට තිබෙනවා. එමෙන්ම මෙමගින් රජයට ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 650 ඉක්මවිය හැකියි.
වාහන ආනයන සඳහා නැවත අවස්ථාව ලබා දීම මගින් රජය ඉලක්ක කළේ රුපියල් බිලියන 450ක පමණ බදු ආදායමක් එකතු කර ගැනීමටයි. මේ අනුව මෙන්ම මහ බැංකු අධිපතිවරයා විසින් සිදු කර තිබුණු ප්‍රකාශ අනුවද පෙනී ගියේ ඩොලර් බිලියනයක පමණ වාහන ආනයන ප්‍රමාණයක් ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් අපේක්ෂා කළ බවයි. දැන් පෙනී යන පරිදි, වාහන ආනයන ප්‍රමාණය 50%කින් පමණ ඉහත ඇස්තමේන්තු ඉක්මවා යාමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා.
ඉහත තත්ත්වය සාර්ව ආර්ථික තුලනය කෙරෙහි අංශ දෙකකින් බලපෑම් කරනවා. පළමුවැන්න, අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 200කින් පමණ ඉහළ යාමයි. මෙය ප්‍රාථමික අතිරික්තය ඉහළ දමන අතර සමස්ත අයවැය හිඟය පහත හෙළනවා. දෙවැන්න ආනයන වියදම් ඩොලර් මිලියන 500කින් පමණ ඉහළ යාමයි. එමගින් ජංගම ගිණුමේ අපේක්ෂිත අතිරික්තය එපමණකින් පහත හෙලන අතර සංචිත වැඩි කර ගැනීමේ හැකියාවද සීමා කරනවා. මීට අමතරව ඉහළ යන වාහන ආනයන හේතුවෙන් ආර්ථික වර්ධනය කෙරෙහි ධනාත්මක බලපෑමක් සිදු වනවා.
වාහන ආනයන නැවත විවෘත කෙරෙද්දී ඒ කෙරෙහි දෙආකාරයක විවේචන එල්ල වුනා. ආරක්ෂණවාදීන් විසින් මෙය දුටුවේ විදේශ අංශය නැවත අවදානමේ හෙළීමක් ලෙසයි. අනෙක් අන්තයෙහි සිටි ඇතැමුන් විසින් තර්ක කළේ ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගොස් තිබීම, බදු අනුපාතික ඉතා ඉහළ මට්ටමක තිබීම සහ රටේ ආර්ථිකය හැකිළී තිබීම යන තත්ත්වයන් තුළ වාහන ආනයන වලට ඉඩ දුන්නද අපේක්ෂිත පරිදි වාහන ආනයන සිදු නොවනු ඇති බවයි. ඒ නිසාම, රාජ්‍ය ආදායම් ඉලක්ක වලටද යා නොහැකි වනු ඇති බවයි.
විවිධ පුද්ගලයින්ට මතවාදී ලෙස විවිධ තර්ක ගෙන හැර දැක්විය හැකි වුවත්, ප්‍රායෝගිකව ඕනෑම ප්‍රතිපත්ති තීරණයක දෙපැත්තක් තිබෙනවා. එම දෙපැත්තම සලකා බලමින් ප්‍රශස්ත තුලනයක් පවත්වා ගැනීම ප්‍රතිපත්ති සම්පාදකයෙකුගේ කාර්ය භාරයයි. මෙහිදී යම් අවදානමක් ගන්නට සිදු වෙනවා.
සැලකිය යුතු කාලයක් වාහන ආනයන සඳහා ඉඩ නොදී තිබීම, ආර්ථිකයේ පසුබෑම හා ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගොස් තිබීම සිදුව ඇති පසුබිමක වාහන නැවත ආනයනය කිරීම සඳහා ඉඩ දීමෙන් පසුව එයට වෙළඳපොළ දක්වන ප්‍රතිචාරය කලින් පුරෝකථනය කිරීම අසීරු කාර්යයක්. එහෙත්, මේ හා අදාළ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ තක්සේරුව සෑහෙන තරම් නිවැරදි බව මේ වන විට පැහැදිලිව පෙනෙනවා. එමෙන්ම, අවශ්‍ය අයෙකුට මේ හා අදාළව අපගේ පුරෝකථන දෙසද පසු විපරමක් කළ හැකියි.
වාහන ආනයන අපේක්ෂා කළ මට්ටම ඉක්මවා ඉහළ ගොස් තිබීම තුළ වර්ෂවාසන විදේශ සංචිත ප්‍රමාණය කලින් ඇස්තමේන්තු කළ මට්ටමටම වැඩි නොවෙන්න පුළුවන්. එහෙත්, රාජ්‍ය අයවැය තුලනයෙහි සාධනීය වෙනස සහ අපේක්ෂිත ආර්ථික වර්ධනය ඉහළ යාම හේතුවෙන් එමගින් ඉහළ යන අවදානම නිශේධනය කෙරෙනවා.
ජූලි මාසය දක්වා කාලය තුළ විදේශ අංශය තුලනය වී තිබෙන්නේ පහත පරිදියි.
විදේශ විණිමය ලැබීම්:
අපනයන ආදායම් - ඩොලර් මිලියන 7,794
සේවා ආදායම් - ඩොලර් මිලියන 4,228
ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 422
ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) - ඩොලර් මිලියන 4,439
එකතුව - ඩොලර් මිලියන 16,883
විදේශ විණිමය ගෙවීම්:
වාහන ආනයන වියදම් - ඩොලර් මිලියන 668
අනෙකුත් ආනයන වියදම් - ඩොලර් මිලියන 10,976
සේවා වියදම් - ඩොලර් මිලියන 1,852
ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 1,565
ද්වීතියික වියදම් - ඩොලර් මිලියන 82
එකතුව - ඩොලර් මිලියන 15,143
ඉතිරිය = ජංගම ගිණුමේ ශේෂය = ඩොලර් මිලියන 1,740
කෙටියෙන් කිවුවොත්, ඇස්තමේන්තු ඉක්මවා ඉහළ ගොස් ඇති වාහන ආනයන වලින් පසුවද, ඉපැයූ ඩොලර් වලින් ඩොලර් මිලියන 1,740ක් රටේ ඉතිරි වී තිබෙනවා. එහෙමනම්, මේ ඩොලර් ප්‍රමාණයට සිදු වුනේ කුමක්ද?
මෙම අතිරික්තයෙන් ඩොලර් මිලියන 1,096.1ක් මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. ඇත්ත වශයෙන්ම එම මිල දී ගැනීම් වලින් වැඩි ප්‍රමාණයක් සිදුව තිබෙන්නේ වාහන ආනයන සඳහා ඉඩ දීමෙන් පසුවයි.
ජනවාරි - ඩොලර් මිලියන 12.3
පෙබරවාරි - ඩොලර් මිලියන 70.3
මාර්තු - ඩොලර් මිලියන 401.9
අප්‍රේල් - ඩොලර් මිලියන 160.8
මැයි - ඩොලර් මිලියන 256.8
ජූනි - ඩොලර් මිලියන 112.2
ජූලි - ඩොලර් මිලියන 81.8
එකතුව - ඩොලර් මිලියන 1,096.1
එසේනම්, විදේශ සංචිත එපමණකින් වැඩි නොවූයේ ඇයි?
මෙම මාස හතක කාලය තුළ මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 25කින් පමණයි. එසේනම්, ඉතිරි ඩොලර් මිලියන 1,071ට සිදු වුනේ කුමක්ද?
මහ බැංකුවේ දළ විදේශ සංචිත වල වෙනසක් ඇත්තේම නැති තරම් වුවත්, ශුද්ධ විදේශ සංචිත රුපියල් බිලියන 219කින් ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක් රුපියල් 300 සේ සැලකුවොත්, මෙය ඩොලර් මිලියන 731ක පමණ මුදලක්. ඒ අනුව පෙනෙන්නේ මහ බැංකුව විසින් මිල දී ගත් විදේශ විණිමය වලින් වැඩි කොටසක් මහ බැංකුවේම විදේශ ණය ආපසු ගෙවීම වෙනුවෙන් වැය කර ඇති බවයි. ඉතිරි ප්‍රමාණය රජයේ විදේශ ණය ආපසු ගෙවීම සඳහා රජයට විකිණුවා විය හැකියි.
ජංගම ගිණුමේ අතිරික්තයෙන් මහ බැංකුව විසින් මිල දී ගෙන නොමැති ඩොලර් මිලියන 644ක පමණ මුදලට සිදු වුනේ කුමක්ද?
ඉහත මාස හතක කාලය තුළ සමස්තයක් ලෙස බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් රුපියල් බිලියන 305කින් ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක් රුපියල් 300 සේ සැලකුවොත්, මෙය ඩොලර් මිලියන 1,018ක පමණ මුදලක්. ඒ අනුව, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වැඩිවීම අඩු කළ විට, වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් වලද වැඩිවීමක් සිදු වී තිබෙනවා. මෙම වැඩිවීම ඩොලර් මිලියන 300කට ආසන්නයි. මේ සියල්ල සිදු වන්නේ වාහන ආනයන සිදු වෙද්දී.
ජංගම ගිණුමේ අතිරික්තය යන්නෙන් අදහස් වන්නේ මුළු රටේම විදේශ විණිමය ලැබීම් අතිරික්තය. එයට ඇතුළත් වන්නේ රජයේ, මහ බැංකුවේ හෝ වාණිජ බැංකු වල විණිමය ලැබීම් පමණක් නෙමෙයි. ඒ නිසා, ඉතිරි ඩොලර් මිලියන 350කට ආසන්න මුදල අනෙකුත් සමාගම් වල හා පුද්ගලයින්ගේ විදේශ වත්කම් වලට එකතු වී තිබිය යුතුයි. එසේ නැත්නම් ඔවුන්ගේ විදේශ ණය පියැවීම පිණිස වැය කර තිබිය යුතුයි.
වාහන ආනයන ඉලක්ක ඉක්මවා වැඩි වී තිබියදීද විදේශ අංශය ශක්තිමත්ව පවතින බව පැහැදිලියි. ඒ නිසා, දළ නිල සංචිත වැඩි නොවී ස්ථාවර මට්ටමක පැවතීම ඒ තරම් කණස්සල්ලට කාරණයක් නෙමෙයි. එමෙන්ම, වාහන ආනයන මේ තරමටම සිදු වීම කාලයක් වාහන ආනයන වලට ඉඩ නොලැබීම නිසා ඇති වී තිබෙන තාවකාලික සංක්‍රාන්ති තත්ත්වයක්. මෙම ඉල්ලුම ක්‍රමයෙන් පහත වැටීමට නියමිතයි. ඒ නිසාම, රජයේ බදු ආදායම් අතිරික්තයද දිගටම එලෙසම පවතින තත්ත්වයක් නෙමෙයි.
කෙසේ වුවද, දැනට රජයේ බදු ආදායම් අතිරික්තයක් තිබෙනවා. රේගුවට ලබා දී තිබෙන වාර්ෂික බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115ක් ලෙස සඳහන්ව ඇති අතර, සැප්තැම්බර් 9 දින වන විටත් රේගුව විසින් රුපියල් බිලියන 1,546ක බදු ප්‍රමාණයක් එකතු කරගෙන තිබෙනවා.
ජූලි මාසයෙන් අවසන් වූ වසරේ පළමු මාස හතක කාලය අවසන් වෙද්දී රජයේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 2,534ක් ලෙස වාර්තා වෙනවා. මෙය පෙර වසරට සාපේක්ෂව 28.2%ක වර්ධනයක්. වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,490 ලඟා කර ගැනීම සඳහා අවශ්‍ය වනුයේ 23.9%ක වර්ධන වේගයක් පවත්වා ගැනීමයි.
වසරේ පළමු මාස හතක කාලය අවසන් වෙද්දී බදු නොවන ආදායම් හා ප්‍රදානද ඇතුළුව රජයේ සමස්ත ලැබීම් රුපියල් බිලියන 2,734.9ක් වන අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 26.1%ක වර්ධනයක්. වර්ෂාවසාන රාජ්‍ය ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,990 කරා ලඟා වීම සඳහා අවශ්‍ය වනුයේ 22.0%ක වර්ධන වේගයක් පවත්වා ගැනීමයි. අවසන් මාස පහක කාලය තුල 16.9%ක ආදායම් වර්ධනයක් සිදු වුවද මේ ඉලක්කයට යා හැකියි. මෙය පහසු ඉලක්කයක් බැවින් ඉලක්කය ඉක්මවා යාමේ හැකියාව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.
පළමු මාස හතක කාලය තුළ රුපියල් බිලියන 974ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දැකිය හැකි අතර මෙම අතිරික්තය වසර අවසන් වන විට පවත්වා ගත යුතු ප්‍රාථමික අයවැය අතිරික්තය (දදේනියෙන් 2.3%) ඉක්මවා යන්නක්. මෙම මුදල ඇස්තමේන්තුගත දදේනියෙන් 3.0%කට ආසන්නයි.
වඩා වැඩි ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම සහ වඩා ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීම මගින් රජයේ ණය බර කලින් සැලසුම් කළාට වඩා වැඩි වේගයකින් අඩු කරගන්න පුළුවන්. මේ සමඟ පළ කෙරෙන වගුවේ තිබෙන්නේ මේ හා අදාළ ලෝක බැංකුවේ ගණනය කිරීමක්. 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් හා 3.0% ආර්ථික වර්ධන වේගයක් සමඟ වුවද, 2032 වන විට ණය බර දදේනියෙන් 94.8% දක්වා අඩු කරගන්න පුළුවන්. මෙය ඉලක්ක මට්ටම වන 95%ට වඩා අඩු මට්ටමක්. එහෙත්, 3.2%ක ප්‍රාථමික අතිරික්තයක් හා 5.0% ආර්ථික වර්ධන වේගයක් සමඟ මෙය දදේනියෙන් 73.0% දක්වාම වුවත් අඩු කරගන්න පුළුවන්.
ජංගම ගිණුමේ අතිරික්තයක් තියෙනවා කියව්ව නිසා, රටේ විදේශ ණය බර ගැන අමතක කරන්න පුළුවන්ද?
ReplyDeleteවාහන ආනයනයෙන් ආර්ථිකය දියුණු වෙනවා කීවට, ඒකෙන් රටේ ඇත්ත නිෂ්පාදන හැකියාවට මොකක්ද වෙන්නේ?