Friday, August 26, 2016

කිකිළිද? බිත්තරේද?


පිරුණු කළේ දිය නොසැලෙන බව සිංහල ප්‍රස්තා පිරුළකින් කියවේ. මෙයින් මතු කරන මුඛ්‍ය අදහස වෙනකක් වුවත් දැනුම එකතු කරගෙන, දැනුමෙන් පිරිපුන් වූවන් අගය කිරීමක්ද මේ ප්‍රස්තා පිරුළේ තිබේ. තවත් ප්‍රස්තා පිරුළකින් කියවෙන්නේ පෙරළෙන ගලේ පාසි නොබැඳෙන බවයි. මෙහි අදහස වෙනස් නොවන දැනුමෙහි අගය කාලයත් සමඟ ක්ෂය වන බවයි.

අපේ කළගෙඩි හිස්ව තබා ගන්නවාට වඩා වැඩි වැඩියෙන් පුරවා ගැනීම හැම අතින්ම හොඳය. එහෙත්, කළේ කටටම පුරවාගෙන එලෙසම තබා ගැනීමේද ලොකු අවුලක් තිබේ. එසේ කළ විට, එහි අළුතින් තවත් යමක් දමන්නට ඇති ඇති අවස්ථාව අපට අහිමි වේ. මෙසේ ඉඳහිටවත් වතුර මාරු කරගත්තේ නැත්නම් කළේ වතුර පල් වී ගඳ ගසන්නට ගනී. ඇතැම් විට ඒ ගඳ අහල පහළින් යන අයටත් දැනෙන්නට පුළුවන.

අපට ඉගෙන ගන්නට ඇති ලොකුම බාධාවක් වන්නේ අළුත් දැනුම ලබා ගැනීමට ඇති ඉඩ ප්‍රස්තා නැති කමට වඩා අප දැනටමත් 'දන්නා' දේ වලින් අපේ ඔළු ගෙඩි පිරී තිබීමයි. ඒ නිසා මෙසේ අප දන්නා දේ ගැනද ඉඳහිට හෝ පසු විපරමක් කිරීම වැදගත්ය. එසේම, කලින් කලට අපේ පවතින දැනුමෙන් කොටසක් ඉවත් කිරීමද (unlearning) දැනුම එකතු කරගැනීම මෙන්ම වැදගත් දෙයකි. කුඩා කාලයේදී (අපේ මනස විසින් 'මා' නමැති ඉපදෙන හා මැරෙන පුද්ගලයා මැවීම සම්පූර්ණ කරන තුරු) මෙය සැලකිය යුතු ගැටළුවක් නොවේ. මේ කාලයේදී, අපේ කළයේ මැටි වේලී නැති නිසා වැඩිපුර වතුර වැටෙන කොට කලයේ පරිමාව තරමක් ලොකු කරගන්නට වුවත් බැරි නැත. එහෙත්, මේ අයුරින් ටික ටික වතුර පුරවා ගනිමින් කාලය ගෙවද්දී, එක්තරා අවස්ථාවක අපට 'කළය පිරී ඇති බව' දැනෙන්නට පුළුවන. අවුල පටන් ගන්නේ එදාය!

බොහෝ කලක් තිස්සේ මා මෙසේ 'දැනගෙන සිටි' බව සිතා සිටි දෙයක් වූයේ පහත ප්‍රශ්නය හා ඒ ප්‍රශ්නයට පැවති සම්මත විසඳුමයි.

"ඉස්සෙල්ල හැදුනේ කිකිළිද? බිත්තරේද?"

මෙතැන බිත්තරේ යන්නෙන් අදහස් වෙන්නේ කටුසු බිත්තරයක් හෝ වටු බිත්තරයක් වැනි ඕනෑම බිත්තරයක් නොවේ. කිකිළියක විසින් දමන බිත්තරයකි.

බිත්තරයක් දමන්නට කිකිළියක සිටිය යුතුය. එහෙත්, ඒ කිකිළිය හැදෙන්නටනම් බිත්තරයක් තිබිය යුතුය. මේකේ කෙළවරක් නැත. අගක් මුලක් නැත. ඒ නිසා, මේ ප්‍රශ්නයට තර්කානුකුල උත්තරයක් නැත. මේ ප්‍රශ්නය හා මේ ප්‍රශ්නයට උත්තරයක් නැති බව මා 'දැන ගත්තේ' වයස අවුරුදු හතරක් හෝ පහක් වන කාලයේදී විය යුතුය. ලෝකයේ සිදුවන බොහෝ දේ මට 'හරියටම' 'දැනගතහැකි බව' මම ඒ කාලයේදී විශ්වාස කළෙමි. දැනුමෙහි ඇති සාපේක්ෂ බව හා ඒ නිසාම දැනුමෙහි ඇති අවිනිශ්චිත බවත්, දැනුම හා විශ්වාස අතර ඇති වෙනස හා සම්බන්ධතාවය ගැන මා අද 'දන්නා' හා විශ්වාස කරන දේ ඒ කාලයේදී දැන නොසිටියෙමි. 

ඇතැම් ආකෘතීන්හි ප්‍රශ්න වලට උත්තර නොමැති බවට මා දැන සිටි හොඳම උදාහරණයක් වූයේ "ඉස්සෙල්ල හැදුනේ කිකිළිද? බිත්තරේද?" යන්නයි. මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර 'කිකිළිය' හෝ 'බිත්තරය' යන්න නොවන බව මම ඉතා මෑතක් වන තුරුම විශ්වාස කළෙමි.

මගේ ඉහත විශ්වාසය මත පදනම්ව, ඉතා මෑත දිනක මගේ දරුවෙකුගේ ගැටළුවකට මගේ පිළිතුර ඔහුට විස්තර කිරීමේ ප්‍රවේශයක් ලෙස මම ඔහුගෙන් මේ ප්‍රශ්නය ඇසුවෙමි.

"ඔයාට පුළුවන්නනම් කියන්න ඉස්සෙල්ල හැදුනේ කිකිළිද? බිත්තරේද?"

කොල්ලා කල්පනාවට වැටෙනු ඇතැයි මම සිතුවෙමි. එහෙත්, එය එසේ සිදු නොවීය.

"බිත්තරේ!"

උත්තරය ප්‍රශ්නය ඇසූ පමණින්ම ඇවිත් ඉවරය. මා එක්වරම හිතුවේ මේ පිළිතුර දුරදිග නොසිතා දුන් පිළිතුරක් බවයි.

"කොහොමද ඔයා එහෙම කියන්නේ?"

"කාලෙකට කලින් කුකුළෝ හිටියේ නැහැ. හිටියේ කුකුළන්ගේ පූර්වජයින් වන මූල-කුකුළන් (proto-roosters) විතරයි. මූල-කිකිළියකගේ බඩේ බිත්තරයක් හැදුණා. ඒක මූල-කුකුළෙකු විසින් සංසේචනය කළා. කෙසේ වුවත්, අළුත් ජනිතයෙක් බිහිකිරීම සඳහා මේ මූල-කුකුළාගේත් මූල-කිකිළියගේත් ජාන එක් වීමේදී කිසියම් විකෘතියක් (mutation) සිදුවුනා. ඒ නිසා, මේ මූල-කිකිළිය දැමූ බිත්තරයෙන් එළියට ආවේ දැන් අප දකින විදිහේ කිකිළියක්!"

මෙය මා ඔහුගෙන් බලාපොරොත්තු වූ පිළිතුරක් නොවීය. ඔහුගේ විශ්ලේෂණ හැකියාව ඒ වෙලාවේ මාව විමතියට පත් කළේය. කෙසේ වුවද, මේ ලිපිය ලිවීම පටන් ගැනීමට මොහොතකට පෙර අන්තර්ජාලය පිරික්සීමේදී මා දුටුවේ මේ පිළිතුර අන්තර්ජාලයේ සටහන්ව ඇති පිළිතුරක් බවයි. ඇතැම් විට ඔහු මෙය අන්තර්ජාලයෙන් දැක තිබුණා විය හැකිය.

කෙසේවුවද, වැදගත් කරුණනම් කිකිළිද බිත්තරයද ප්‍රශ්නයට විකල්ප පිළිතුරක් සොයන්නට මා මෙතෙක් නොපෙළඹුනේ ප්‍රශ්නයට පිළිතුර මා දැන සිටි බව මා විශ්වාස කළ නිසාය.

***
මගේ ඉහත ප්‍රශ්නයට මගේ දරුවා දුන් පිළිතුර අඩු වශයෙන් ඒ මොහොතේ මා අමන්දානන්දයට පත් කළ 'නිවැරදි' පිළිතුරකි. කෙසේවුවද, මේ පිළිතුර නිවැරදි පිළිතුරක් වන්නේ ඔහුගේ දැනුමට සාපේක්ෂවය. ඔහු 'දන්නා' හා විශ්වාස කරන පරිණාමවාදයට අනුව, එක්වරම මූල-කිකිළියක විසින් දමන බිත්තරයකින් ඒ මූල-කිකිළියට මෙන්ම බිත්තරය සංසේචනය කළ මූල-කුකුළාටද වඩා වෙනස් අළුත් සතෙකු වන අප දන්නා කුකුළෙකු බිහි විය හැකිය.

මගේ දරුවා පරිණාමවාදය විශ්වාස කරයි. ඔහු මේ වන තුරු පාසැලේදී පරිණාමවාදය ඉගෙනගෙන නැත. ඒ පිලිබඳ ඔහුගේ දැනුම ඔහුගේ ස්ව-කැමැත්තෙන් බාහිරව ලබාගත් දැනුමකි. පරිණාමවාදය විශ්වාස කරන්නට ඔහුට පාසැලේදී හෝ නිවසේදී කිසිවකු කිසිම බලකිරීමක් කර නැත. පරිණාමවාදය ගැන මෙන්ම ලෝකයේ ප්‍රධාන ආගම් හා දර්ශන ගැනද ඔහු කියවා ඇත. ඒ කියවා ඇත්තේද විෂය බාහිර කියවීම් වශයෙනි. එහෙත්, මේ ආගම් හා දර්ශන වල කියැවෙන පරිණාමවාදය හා ගැටෙන්නේයැයි ඔහු සිතන ඇතැම් දේ වෙනත් බොහෝ අය විශ්වාස කරන බව ඔහු දන්නා නමුත් ඔහු විශ්වාස නොකරයි. එය තනිකරම ඔහුගේ තෝරා ගැනීමකි.

මෙහි යම් දුරකට මාධ්‍ය මඟින් පතුරුවන දැනුම් ආධිපත්‍යයේ බලපෑම තිබීමේ ඉඩක් ඇතත්, මාධ්‍ය වල ඇති තොරතුරු වලින් තමන්ට අවශ්‍ය දේ නිදහසේ තෝරාගැනීමට ඔහුට පුළුල් ඉඩකඩක් තිබීමත්, ඔහු එසේ කිරීමත් සැලකූ විට මේ ඉඩකඩ විශාල නැත. මා මගේ වයස දහයක් හෝ එකොළහක් වූ කාලයේදී කොවූර්ගේ පොත් දෙකක් කියවූ පමණින් 'බොක්කෙන්ම' හේතුවාදියෙක් වූයේත්, අඥෙයවාදියෙකු ලෙස වෙනස් වන තුරු එතැන් සිට වසර හයක් පමණ සමාජ ක්‍රියාකාරකම් වලදී කෙසේ වුවත් මගේ පෞද්ගලික විශ්වාස තුළ හේතුවාදියෙක් ලෙස සිටියේත්, නිවසේදීත්, පාසලේදීත්, දහම් පාසලේදීත් කොවූර් ඉදිරිපත් කළ හේතුවාදය සමඟ දැඩිව ගැටෙන මතවාදී, සංස්කෘතික හා දැනුම් ආධිපත්‍යයකට යටත්ව සිටියදීය.

පරිණාමවාදය අනුව ඇත්තටම මූල-කිකිළියක විසින් දමන බිත්තරයකින් එක පාරටම වෙනස්ම සතෙක් බිහි වෙන්නේ නැත. ජාන විකෘතියක් නිසා කිසියම් වෙනස්කමක් ඇති සතෙක් බිහි වී ඒ වෙනස්කම පරම්පරාවෙන් පරම්පරාවට යාමත්, මෙවැනි වෙනස්කම් ගණනාවක් වරින් වර සිදු වීමත් හේතුවෙන් අන්තිමේදී සිය පූර්වජයාගේ ලක්ෂණ ඒ විදිහටම ඇති සතෙකු සමඟ එක් වී සරු ජනිතයෙකු බිහි කළ නොහැකි වෙනස් සතෙක් බිහි විය හැකි බව පරිණාමවාදයෙන් විස්තර කෙරේ.

යුරෝපයේ කෙසේ වෙතත් ඇමරිකාව තුළ අදටත් පරිණාමවාදය ප්‍රමුඛ මතවාදය නොවේ. පසුගිය 2014දී සිදු කළ අවසන් ගැලප් ජනමත සමීක්ෂණය අනුව ඇමරිකානුවන්ගෙන් 42%ක් තවමත් සිතන්නේ වසර 10,000කට පමණ පෙර දෙවියන් විසින් වත්මන් ස්වරූපයෙන් මිනිසා මැවූ බවයි. ඇමරිකානුවන්ගෙන් තවත් 31%ක් වසර මිලියන ගණනක් තිස්සේ මිහිමත ජීවය පරිණාමය වූ ආකාරය ගැන ඩාවින්ගේ සිට වැඩිදියුණු වූ ප්‍රවාදය පිළිගන්නා නමුත් ජීවී පරිණාමය මෙසේ සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුවයැයි සිතති. පරිණාමය සිදුවන්නේ දෙවි කෙනෙකුගේ සම්බන්ධයකින් තොරව බව සිතන්නේ ඇමරිකානුවන්ගෙන් 19%ක් පමණි. (ඉතිරි 8% පිළිතුරු නොදුන් අය විය හැකිය.)

මා ඉහතින් ඉදිරිපත් කළ මගේ දරුවාගේ පිළිතුර නිවැරදි පිළිතුරක් වන්නේ පරිණාමවාදය 'දේව කැමැත්තට යටත්ව' යන සංශෝධනය සහිතව හෝ විශ්වාස කළ හැකි පදනමකදී පමණි. දෙවියන් විසින් වසර දසදහසකට පෙර එක් වර (දින හතක් ඇතුළත) ලෝකයත්, මිනිසා ඇතුළු අනෙකුත් සියළු සතුනුත් මැවුවේය යන මැවුම්වාදය විශ්වාස කළ හැකි පදනමකදී ඉහත ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වන්නේ බිත්තරය නොව කිකිළිය යන්නයි. (අවශ්‍යනම් චක්‍රීය චින්තනයක මේ ප්‍රශ්නයට පිළිතුරක් නැති බව හෝ මෙහි අඩු වශයෙන් ප්‍රශ්නයක්වත් නැති බව කෙනෙකුට කියන්නට පුළුවන.)

ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරක් පවතින්නේ කිසියම් දැනුම් පද්ධතියක් (knowledge system) හා විශ්වාස පද්ධතියක් (belief system) තුළය. ඒ නිසා, එක් දැනුම් හා විශ්වාස පද්ධතියක් තුළ නිවැරදි වන දෙය වෙනත් දැනුම් හා විශ්වාස පද්ධතියක් තුළ නිවැරදි නොවිය හැකිය. ඇතැම් විට වැරදි විය හැකිය.

මගේ දැනුම සාපේක්ෂ දැනුමක් බව මා දන්නා නිසා කිසියම් ප්‍රශ්නයකට මා 'දන්නා' පිළිතුර නිවැරදි වීමේ සම්භාවිතාව එකට වඩා අඩු බව මගේ විශ්වාසයයි. ඒ බව මා 'දන්නා' නමුත්  ප්‍රායෝගිකව ක්‍රියාකිරීමේදී බොහෝ විට මා උපකල්පනය කරන මේ සම්භාවිතාව මත කිසියම් 'ඔට්ටු ඇල්ලීමක්' කිරීමට මට සිදුවේ. එහිදී, යමක් නිවැරදි වීමේ සම්භාවිතාව ලෙස මා විශ්වාස කරන අගය ඉතා අඩුනම් මා ප්‍රායෝගිකව කරන්නේ එම සම්භාවිතාව නොසලකා හැරීමයි.

දැනුම බොහෝ දුරට බාහිරින් ලැබෙන දෙයක් වුනත් විශ්වාස යනු අපේ 'ඇඟේම තියෙන' දේවල් බව මගේ අදහසයි. ඒ නිසා, දැනුම ලබාගත් පමණින් විශ්වාස වෙනස් නොවේ. එහෙත්, දැනුම පුළුල් වූ තරමට විශ්වාස යාවත්කාලීන කරගැනීම සඳහා ඇති වන අභ්‍යන්තර තෙරපුම වැඩි වේ.


(Image: www.headlinesciencenow.com)

45 comments:

  1. මට නම් හිතෙන්නෙ හැම දෙයක්ම තීරණය වෙන්නෙ කේන්දරේ ග්‍රහ පිහිටීම් මතයි.මොන නව දැනුම් පද්ධතියක් බිහි උනත් ජෝතිෂ්‍යයට එහා දෙයක් නැහැ.බොරු නම් අහන්න අපේ මාමගෙන් නාස එකත් ග්‍රහයොත් එක්ක ඩීල් කලේ එයාගෙන් අහල.

    ReplyDelete
    Replies
    1. නාසා එක රොකට් එකක් ලෝන්ච් කරන එක කරන්නේනම් ග්‍රහ පිහිටීම් අධ්‍යයනය කර 'නැකතක්' බලල තමයි, ඇනෝ.

      http://www.nasa.gov/centers/kennedy/launchingrockets/launchwindows.html

      http://spaceplace.nasa.gov/launch-windows/en/

      Delete
  2. මිනිස්සු විශ්වාස කරන්නේ තමන්ට ඕනා දේ තමා කියලයි මට නම් අවසාන වශයෙන් තේරුනේ...

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට වෙන්නේ එවැනි දෙයක් තමයි. දැනුම වැඩි වූ හෝ වෙනස් වූ තරමින් හෝ ඒ වේගයෙන් මිනිස්සුන්ගේ විශ්වාස වෙනස් වෙන්නේ නැහැ. ගොඩක් අය උත්සාහ කරන්නේ අළුතින් ලැබෙන දැනුම තමන්ගේ දැනට තියෙන විශ්වාස සමඟ කොහොම හරි ගලපා ගන්නයි. දැන් මා උඩින් සඳහන් කළ 'දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව සිදුවන පරිණාමය' කියන තර්කානුකූලව වැරදියි කියා බිඳ හෙලීම අසීරු අදහස දරන විශාල පිරිස කරන්නේත් එවැනි දෙයක්. මා හිතන හැටියට බුද්ධාගම විද්‍යාත්මක බව පෙන්වන්න කරන උත්සාහයකදී වෙන්නෙත් එවැනි දෙයක්.

      Delete
    2. උගත්තු බුද්ධාගම විද්‍යාත්මකයි කියලා ඔප්පුකරන උත්සහ ගන්න අතරේ, වෘත්තිකයෝ විද්‍යාව බුද්ධාගමිකයි යන නිගමනයෙන් වැඩ කරනවා.

      Delete
    3. //බුදුවරු පවා සංසාරය ගැන කිව්වට සංසාරය පටන් ගත්ත තැන හොයාගන්න බුද්ධ ඥාණයත් මදි කියන එක නේද හරි? //
      ඉයන්ගේ මේ මතය වැරදී.බුදුරජාණන් වහන්සේ දේශණා කලේ "සංසාරයේ කෙළවර පැනවිය නොහැකිය" කියලයි. ඒකෙන් අදහස් වෙන්නෙ දන්නෑ කියන එක නෙවෙයි.පෙන්වාදෙන්න බෑ කියන එක.අනික් කාරණය තමයි"ලෝක විෂය බුද්ධ විෂයක්" කියන එක.ඒ කරුණ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණක් අවබෝධ වන කරුණක් කියන එක.

      Delete
  3. Econ, සමහර ප්‍රශ්ණ වලට නිශ්චිත පිළිතුරු හොයාගන්න අපේ හැකියාව මදි කියල හිතන එකත් පිළිතුරක් නේද? බුදුවරු පවා සංසාරය ගැන කිව්වට සංසාරය පටන් ගත්ත තැන හොයාගන්න බුද්ධ ඥාණයත් මදි කියන එක නේද හරි? එහෙම හිතුවොත් අපිට උත්තර සොයන්නම් වාලේ නොසොයා පැවැත්මට අවශ්‍ය පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්ණ ගැන පමණක් වෙහෙසීම හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. ඉයන්, ඔබ සමඟ දළ වශයෙන් එකඟ විය හැකි වුවත් සම්පූර්ණයෙන්ම නෙමෙයි. පැහැදිලිවම අපට ලෝකය තේරුම් ගත හැකි සීමාවක් තියෙනවා. එය තේරුම් ගැනීම වැදගත් තමයි. ඒ වුනත්, එයින් අදහස් වෙන්නේ නැහැ ඒ සීමාව අපට පුළුල් කරගත නොහැකි බව. උදාහරණයක් ලෙස මගේ මේසය උඩ තියෙන තේ කෝප්පයට මැස්සෙක් වැටුණොත් මට ඌව පේනවා. එතකොට මම ඌව අයින් කරනවා. නැත්නම් තේ එකම අයින් කරනවා. ඒ තේ එකටම එතැන කැරකි කැරකී ඉන්න බැක්ටීරියා ගොඩක් වැටෙනවා. ඒත් ඒ බව මට පෙන්නේ නැහැ. ඒ නිසා (බොහෝ විට) මම දන්නෙත් නැහැ. ඒ මගේ ඉන්ද්‍රිය වල තියෙන සීමාවන් නිසා. නමුත්, අන්වීක්ෂයකින් බැලුවොත් මට මේ කුඩා සත්තු පේනවා. එතැනදී වෙන්නේ මා විසින් මගේ ඉන්ද්‍රිය හරහා ලෝකය තේරුම් ගත හැකි සීමාව පුළුල් කර ගැනීමක්. ඇතැම් විට මෙය වෙන විදිහකට වෙන්නත් පුළුවන්. වෙනත් අයෙකු මට පැහැදිලි කරදුන් නිසා හෝ මා කොහෙන් හෝ ඉගෙනගෙන ඇති නිසා මගේ තේ කෝප්පයට බැක්ටීරියා වැටෙන බව මම 'දන්නවා'. එය මට දැනගැනීමට හැකි වන්නේ මගේ දැනුම ගැන මට ඇති විශ්වාසය මත. එහෙත් ඇත්තටම තේ කෝප්පයේ බැක්ටීරියා නොතිබෙන්නත් පුළුවන්. ඒ නිසා මගේ ඒ විශ්වාසය මත තේ කෝප්පය වීසි කළ යුතුද කියන එක මා විසින් ගත යුතු මගේ පුද්ගලික තීරණයක්. මිනිසා ස්වභාවයෙන්ම විශාල කුතුහලයක් තියෙන සතෙක්. ඒ නිසා, අපේ සීමාව මෙයයි කියා සෑහීමකට පත් වෙන්න නොහැකි අය ගොඩක් ඉන්නවා. ඉතිරි අය දකින ලෝකයේ සීමාවන් පුළුල් වෙන්නෙත් ඒ අය නිසා. මා හිතන හැටියට බුදු කෙනෙක් කියා අදහස් කරන්නෙත් මෙසේ ලෝකයේ අපට තේරුම් ගත හැකි දේ ඇතුළත් සීමාව පුළුල් කරන කෙනෙක්. අන්තිම කරුණට ආවොත් මගේ පැවැත්මට අවශ්‍ය පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්ණ සහ ඔබේ පැවැත්මට අවශ්‍ය පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්ණ එකම ප්‍රශ්න නොවෙන්න පුළුවන්. එය තීරණය වන්නේත් අප එකිනෙකාගේ ලෝක දැක්ම මතයි.

      Delete
    2. සිද්ධ වෙන්නේ ආගමික ශාස්තෘවරුන් අතීතයේ කියා ඇති දෙයක්, පසුව අනුගාමිකයන් විසින් එ් එ් කාලයේදී පවතින දැණුම අනුව විග්‍රහකිරිමක් නේද? (මට නං ඒක පෙන්නේ සවයංවින්දනයක් ගන්නවා වගේ). එයා කීවේ මොකද්ද කියන එක එයාගෙම සපතුවට බැහැලා බලන්න ඕන නේද?

      Delete
    3. //ආගමික ශාස්තෘවරුන් අතීතයේ කියා ඇති දෙයක්//
      ආගමික ශාස්තෘවරුන් විසින් අතීතයේ කියා ඇති බව එක් එක් පුද්ගලයා විසින් විශ්වාස කරන දෙය ලෙස නිවැරදි විය යුතුයි.
      ක්‍රිස්තියානි බයිබල් කීයක් තියෙනවද? ත්‍රිපිටක වර්ෂන් කීයක් තියෙනවද? ඒ නිසා එයාගෙම සපත්තුව කියල අපිට අන්තිමට බහින්න වෙන්නෙත් එයාගේ සපත්තුව කියල අපි හිතාගෙන ඉන්න සපත්තුවකට.

      Delete
    4. ඇණයා,
      ඔබ මේ කියන කාරණය තමයි බුද් හාමුදුරුවෝ කිව්වේ යෝ ධම්ම පස්සති සෝ මං පස්සති කියලා. ධර්මය දකින්න මා දකියි කියලා
      ඒ කියන්නේ යම් දර්ම කණ්ඩයක් කියැවීමෙන් අපි බුදු හිමියන් එසේ කීවේ මන්දැයි කියා වටහා ගැනීමයි ඉතාම වැදගත් කියලා මම හිතනවා.
      හැබැයි මේ මගේ අදහසත් ඉකොන් ගේ අපූරු අදහසට යටත් වෙනවා.

      Delete
    5. Econ,

      / අන්තිම කරුණට ආවොත් මගේ පැවැත්මට අවශ්‍ය පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්ණ සහ ඔබේ පැවැත්මට අවශ්‍ය පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්ණ එකම ප්‍රශ්න නොවෙන්න පුළුවන්. එය තීරණය වන්නේත් අප එකිනෙකාගේ ලෝක දැක්ම මතයි./

      100 % ඔබ හා එකඟයි....

      Delete
  4. "..මගේ දැනුම සාපේක්ෂ දැනුමක් බව මා දන්නා.."

    අනේ ඉකොනෝ අය්ය ඔයා දන්නේ ටිකයිනෙ, ඒකට අපේ සළුවඩන අය්ය, කැලණිය ජෝතිලං අය්ය, මතුගම නිදිකුම්බා අය්ය, හම්බන්තොට ඕටී අය්ය වගේ අයගේ දැනුම! මේවා තනිකරම ඇවිදින විශ්වකෝෂ (විෂ කෝෂ නෙමෙයි හොඳේ )

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් දන්නා ටික නොදන්නා ගොඩට වඩා ගොඩක් පොඩියිනේ, ඇනෝ. ඒ නිසා, ඔය එක එක්කෙනා දන්නා ටිකේ ලොකු පොඩිකම් කොච්චර තිබුණත් අර නොදන්නා ගොඩ එක්ක බැලුවම අලියයි කූඹි රංචුවකුයි වගේ තමයි.

      Delete
  5. හොඳ විග්‍රහයක්. මමත් ඔබේ දරුවා දුන් අපූරු උත්තරෙන් මේ ප්‍රශ්නේ විසඳුනා කියල සතුටු උනා. ඒත් දැන් මට ආයෙමත් අර ප්‍රශ්නේ තියෙනවා. ඉස්සෙල්ලා ආවේ කිකිලිද බිත්තරේද ?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයකට පිළිතුරක් හොයන්න පුළුවන් වෙන්නේ කිසියම් විශ්වාස ගොඩක් මතයි. විශ්වාස කියන වචනයට වැඩිය 'අපිට' වඩා පුරුදු උපකල්පන කියන වචනය ගැලපෙනවා. කොයි වචනය පාවිච්චි කළත් ඇතැම් තීරණ ගැනීමේදී සම්භාවිතාව 1 නොවන දේ වල සම්භාවිතාව එක ලෙස සැලකීම තමයි මම අදහස් කරන්නේ. එවැනි විශ්වාසයක් නැතුව අපට කිසිම දෙයක් කරන්න බැහැ. වෛද්‍යවරයෙක් රෝග නිශ්චයේදී දකින්නේ රෝගය X නමැති රෝගය වෙන්න සම්භාවිතාව 0.9 බව වුණත් ඔහු මෙය 1 ලෙස සලකා බෙහෙත් නියම කරනවා. මෙය උපකල්පනයක් හෝ විශ්වාසයක් ලෙස සැලකිය හැකියි. එහෙත් මෙය Y නම් රෝගය වෙන්න 0.1 ක ඉඩක් තියෙනවා. සම්භාවිතාව 0.1 වන රෝගයකට බෙහෙත් දෙනවට වඩා එය 0.9 වන රෝගයකට බෙහෙත් දීම හොඳ තීරණයක්. ඒත් X රෝගය එතරම් හානිකර එකක් නෙමෙයිනම් සහ Y රෝගය මහා භයානක එකක්නම් මේ තත්ත්වය වෙනස්. දැන් වෛද්‍යවරයා විසින් රුධිර පරීක්ෂාවක් නියම කරනවා. එයින් තහවුරු වෙනවා රෝගය Y බව. එවිට මේ ලැබුණු අළුත් දැනුම මත ඔහුගේ පෙර තිබූ විශ්වාසය වෙනස් වෙනවා දැන් දෙන්නේ වෙනස් බෙහෙතක්. කෙසේවුවත් මේ රුධිර පරීක්ෂාව නිවැරදි වීමේ සම්භාවිතාවත් 1 නෙමෙයි. එය 0.95ක් පමණයි. යම් හෙයකින් Y රෝගයට දෙන බෙහෙතේ අහිතකර ප්‍රතිපල ඉතා වැඩිනම් දෙවන රුධිර පරීක්ෂාවක් කරන්න වෙනවා. එයින් රෝගය Y නොවන බව පෙන්වන්න පුළුවන්.

      ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරක් තියෙන්නේ අපේ විශ්වාස රාමුව ඇතුළත. විශ්වාස රාමුව (උපකල්පන) වෙනස් වුනොත් නිවැරදි පිළිතුර වෙනස් විය හැකියි. දැනුම එකතු වන තරමට අපට අපේ විශ්වාස රාමු අවස්ථාවට උචිත ලෙස මාරු කරගන්න පහසුයි. ඒත් සමහර වෙලාවට අපි කරන්නේ අපේ විශ්වාස රාමුවට නොගැලපෙන දැනුම අමාරුවෙන් කොහොම හරි ඒකට ඔබා ගන්න උත්සාහ කිරීමයි.

      Delete
  6. කෙලින්ද සිල්වා ගැන කියනකොට උයිය වෙනවා වගේ .

    ReplyDelete
    Replies
    1. මම කාගෙවත් අනුගාමිකයෙක් නොවන නිසා කිසිම උයියා වීමක් නැහැ, ඇනෝ.

      Delete
  7. "ඉඳහිටවත් වතුර මාරු කරගත්තේ නැත්නම්"
    ඒකනම් හොඳ අදහස.

    ReplyDelete
    Replies
    1. වැඩිය පරක්කු කරන්න එපා, ජපන් ඇනෝ! :)

      Delete
  8. අප්පට සිරි. දැං එතකොට ඉස්සෙල්ල ආවෙ කිකිලිද බිත්තරේද?

    ReplyDelete
  9. අප්පට සිරි. දැං එතකොට ඉස්සෙල්ල ආවෙ කිකිලිද බිත්තරේද?

    ReplyDelete
    Replies
    1. කිකිළි. (හොඳ වෙලාවට දෙපාරක් ඇහුවේ!)

      Delete
    2. දැන් මේ සරල (හෝ සරල ලෙස පෙනෙන) ප්‍රශ්නය සඳහා වන යමෙකුගේ නිවැරදි පිළිතුර තීරණය වන්නේ මා ලිපියේ කියූ පරිදි ඔබ පිළිගන්නේ මැවුම්වාදයද නැත්නම් පරිණාමවාදයද කියන එක මතයි. මැවුම්වාදය හා පරිණාමවාදය පිළිබඳව දරන මතය අනුව (ඇමරිකාවේ ජීවත්වන) පුද්ගලයින් පුළුල් කාණ්ඩ තුනකට බෙදිය හැකියි. (අනු කාණ්ඩ කොපමණද කිව නොහැකියි. ඒ වගේම මේ කාණ්ඩ තුනටම අයත් නැති අයත් ඉන්නවා.)
      1. පරිනාමවාදය බොරු. මැවුම්වාදයයි හරි.
      2. පරිනාමවාදය හරි. එහෙත් එයින් මැවුම්වාදය බිඳෙන්නේ නැහැ. එය තවත් තහවුරු වීම පමණයි වෙන්නේ.
      3. පරිනාමවාදය හරි. මැවුම්වාදය බොරු.

      කිකිළිද බිත්තරේද ප්‍රශ්නයට පිළිතුරක් නැති බව හිතාගෙන ඉන්න අයට එයට පිළිතුරක් තිබේය යන 'දැනුම' මට දෙන්න පුළුවන්. මා එසේ ලබා දෙන දැනුම මගේ ලිපියේ මුල් කොටසේ ඇති කතාව කියා අපි හිතමු. ඒත් මේ පිළිතුර නිවැරදි පිළිතුරක් වන්නේ මේ දැනුම ලබා ගන්නා පුද්ගලයා ඉන්නේ දෙවන හෝ තෙවන කාණ්ඩයේනම් පමණයි.

      ඉහත කාණ්ඩ තුනෙන් මගේ පෞද්ගලික විශ්වාස වඩා සම්පාත වන්නේ තෙවන කාණ්ඩය සමඟයි. එය බොහෝවිට මා හැදුණු, වැඩුණු සහ අධ්‍යාපනය ලැබූ (අද සිටින මා යන පුද්ගලයාව ගොඩනැඟුණු) සංස්කෘතික පරිසරය හේතුවෙන් සිදුවන දෙයක් විය හැකියි. එහෙත්, මෙයත් විශ්වාසයක් පමණයි. පරිණාමවාදය දැනට මට පිළිගත හැකි ප්‍රවාදයක් වුවත් එය පරම සත්‍යයක් නෙමෙයි. කිසියම් කලෙක එයට වඩා හොඳ ප්‍රවාදයකින් එය ප්‍රතිස්ථාපනය වෙන්න පුළුවන්. ඒ අවිනිශ්චිත බව මගේ දැනුමේ කොටසක් වශයෙන් තබා ගනිමින්ම මම දැනට පරිණාමවාදය විශ්වාස කරනවා. පරිණාමවාදය විශ්වාස කිරීම දැනට මට අසීරු කටයුත්තක් නෙමෙයි.

      ඉහත දෙවන මතවාදය වැරදි බව කිවහැකි පදනමක් නැති බවත් මගේ දැනුමේ කොටසක්. පරිණාමයත්, මා දන්නා මුළු විශ්වයේ සිදුවන අනෙක් සියළු දේත් එසේ සිදුවන්නේ කිසියම් සැලසුමකට අනුව කියන අදහස තර්කානුකූලව ප්‍රතික්ෂේප කරන්න බැරි අදහසක්. එය මා දන්නවා. එහෙත් මා ඒ අදහස දැනට විශ්වාස කරන්නේ නැහැ. මේ අදහස මගේ දැනුමේ කොටසක් මෙන්ම විය හැකි දෙයක්ද වුනත් දැනට මට එය විශ්වාස කිරීම අසීරුයි. එය මා නමැති පුද්ගලයාගේ පුද්ගල ස්වභාවය අනුව සිදුවන දෙයක්.

      පළමු අදහස, එනම් වසර දසදහසකට පෙර පොළොව මත එක් වර ජීවය මවනු ලැබුවේය යන ප්‍රවාදය මගේ දැනුමේ කොටසක්වත් නෙමෙයි. ඒ නිසා ඒ අදහස මට කොහෙත්ම විශ්වාස කරන්න අමාරුයි. පරිණාමවාදය පිළිගැනීමටත් මැවුම්වාදයේ මේ වර්ෂන් එක ප්‍රතික්ෂේප කිරීමටත් සාධක මා ඕනෑ තරම් දකිනවා. එහෙත්, ඒවා මැවුම්වාදයේ මේ වර්ෂන් එක ප්‍රතික්ෂේප කළ හැකි සාධකය යන කරුණත් මගේ විශ්වාසයක්. ඩයිනෝසරයින් පොළොව මත කවදාවත් නොසිටි බවත්, දෙවියන් විසින් ඩයිනෝසර පොසිල මවා ඇත්තේ මිනිසුන්ගේ විශ්වාසය පරික්ෂා කිරීමට බවත් අර පළමු කාණ්ඩයේ කෙනෙක්ට කියන්න පුළුවන්.

      මිනිසුන්ගේ දැනුම් වෙනස්. දැනුම් සමාන වන විට පවා විශ්වාස සමාන වෙන්නේ නැහැ. විශ්වාස පදනම් වන්නේ ප්‍රශ්නයකට තමන් දන්නා නිවැරදි විය හැකි වෙනස් පිළිතුරු වලට තබන බර අනුවයි. මිනිසුන්ගේ නිදහස් අදහස් වලට එළියට එන්න බාධාවක් නැති පරිසරයකදී මේ විශ්වාස එළියට එනවා.

      දැන් ඉහත තෝරාගැනීම් තුනෙන් එකක් නිදහසේ තෝරාගැනීමට මට සිදු වුනොත් මා කැමැත්තෙන් වැටෙන්නේ තෙවන කාණ්ඩයටයි. මට දෙවන කාණ්ඩය සමඟ ගැලපෙන්නත් ලොකු අමාරුවක් නැහැ. එහෙත් පළමු කාණ්ඩයට වැටෙන්න මම කැමති නැහැ. මා මෙන්ම වෙනත් අයටත් මෙවැනි නිවැරදි පිළිතුරු ශ්‍රේණිගත කිරීමක් තියෙනවා. එය සිදුවන්නේ තමතමන්ගේ දැනුම හා විශ්වාස මත නිසා මගේ නිවැරදි පිළිතුර වෙනත් අයෙකුගේ නිවැරදි පිළිතුරම විය යුතු නැහැ. එවැනි නිරපේක්ෂ නිවැරදි පිළිතුරක් ඇත්තේත් නැහැ.

      Delete
    3. මමත් ඉන්නෙ තුන්වෙනි කාණ්ඩයේ.. ඒ එක්කම මම බුද්ධාගම විද්‍යාත්මකයයි කියන මතයෙත් එල්ලීගෙන හිටියා... ඒත් මේ ළඟදි දවසක ලන්ච් ටයිම් සංවාදයකදී මගේ කාර්යාල සගයෙක් කිවා අග්ගඤ්ඤ සූත්‍රය ට අනුවත් පරිණාමවාදය බොරු කියලා...මට දැනට ඇති දැනුමට හා විශ්වාසයන්ට අග්ගඤ්ඤ සූත්‍රය නොගැලපෙන නිසා මම තාමත් කැමතියි පරිණාමවාදය සත්‍යයි කියලා පිළිගන්න... එතකොට බුද්ධාගමේ විද්‍යාත්මකභාවය මගේම විශ්වාසයන් එක්ක අභියෝගයකට ලක්වෙනවා..

      Delete
    4. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පරිනාම වාදය ගැලපෙන්නේ නැහැ තමයි. හැබැයි මේ භෞතික ලෝකය හැදුනේ මෙහෙමයි සත්තු හැදුනේ මෙහෙමයි කියලා බුදු හිමියන් අග්ගඤ්ඤ සූත්‍රයෙන් කියන්නෙත් නැහැ. පැරණි බමුණු දහමේ එන ලෝකය හැදුනු හැටි ගැන කථාවක් "ලෝකෝත්පත්තිචර්‍යාවංශය" (කියවන්න අමාරු නමක්) කියන එක බුදු හිමියන් උපුටා දක්වන්නේ වත්මන් බමුණු දහමේ එන හරසුන් මතවාද බිඳහෙලන්නට එනම් බමුනන් උපන්නේ බ්‍රහ්ඃමයාගේ මුඛයෙන් හා ශුද්‍රයන් යටිපතුලෙන් උපන් බව කියන හිස් මතවාදය පෙර බමුණු දහමින්ම පහදන්නට. එහෙත් ඒ තුළින් බුදු හිමියන් ලෝකෝත්පත්තිචර්‍යාවංශය පිළිබඳ සහතිකයක් දෙන්නේ නැහැ. එය උපුටා දැක්වීමක් පමණයි.
      ඒක නිසා සෙන්නාගේ පරිනාම වාදය පිළිගැනීමට හෝ නොගැනීමට බුදු දහමින් බාධාවක් හෝ සහයක් නැහැ.

      Delete
    5. මේ "ලෝකෝත්පත්තිචර්‍යාවංශය" සඳහන්වන තැන ත්‍රිපිටකයේ කොතනද? ස්තූතියි.

      Delete
    6. උමෙශ් එය අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා.
      සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ.

      Delete
    7. @නයනේ සිතුවිලි - අග්ගඤ්ඤ සූත්‍රය කියවා ඇත්තෙමි. ඒ දීඝ නිකායේ පාඨිකවග්ග පාළියෙහි 4 වන සූත්‍ර දේශණාව බවයි මාගේ දැනුම. ඔබ සඳහන්කරන "ලෝකෝත්පත්තිචර්‍යාවංශය" කියවන්න පුළුවන් කොහෙන්ද? ඒ වගේම අංගුත්තර නිකායේ අග්ග්ඤ්ඤ නමින් තවත් සූත්‍ර දේශණාවක් ඇත්නම් ඒ කොතැනද? අංගුත්තර නිකායේ සුත්‍ර දේශණා දහස් ගණනක් ඇති බැවින් සොයාගැනීමේ පහසුව සහ කියවීම පිණිස අසමි.
      ස්තූතියි.

      Delete
    8. ඔව් සමා වන්න වැරදීමකි
      එය දීග නිකායෙහි එන අග්ගඤ්ඤ සූත්‍රයයි.

      Delete
  10. දැනුමෙහි සාපේක්ෂ බවත්, විශ්වාස නැතහොත් පිළිගැනීම් වැනි පූර්ව නිගමන දැනුමට කරන බල පෑම් ගැනත් කර ඇති මේ අපූරු විග්‍රහය ඉතා දීර්ඝ කාලයකට පසු බ්ලොග් අඩවියකින් කියැවූ ගැඹුරු හරයක් සහිත කිහිප විටක් කියවා වටහා ගත යුතු අපූරු ලිපියක්.
    ඔබ කියා ඇති පරිදි මමත් කලකට පෙර එක් වරක් කියැවීමෙන්ම දැඩි කොවුර් අනුගාමික හෙතුවාදියෙකු වූ පසුව ක්‍රමයෙන් නැවත ධර්මයේ හරය දකිමින් හේතුවාදය යනු අපට ප්‍රෂ්ණයක් විග්‍රහ කල හැකි එක් ආකාරයක් පමණක් බවත් දුටු කෙනෙක්.
    ඔබ ඉතාම සංයමයකින් මේ ලිපියේ සමබර තාවය මෙන්ම මැදිහත් බවත් පවත්වා ගැනීමට සමත් වී තියෙනවා.
    ඇත්තටම මේ ලිපිය ගැන ප්‍රෂ්ණ කරන්න හෝ වාද කරන්නට නෙවෙයි ඔබ කියන දෙය නිවැරදිව වටහා ගැනීමම අභියෝගයක්.
    හිතන්නට කාරනා සපයන බට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හේතුවාදයත් අන්තිමට ආගමක් වගේ වෙන්න පුළුවන්. දෙවියන් හෝ පුනරුප්පත්තිය වැනි දේ පිළිගැනීම වගේම නොපවතින බව පිළිගැනීමත් තවත් විශ්වාසයක් පමණයි.

      ප්‍රශ්න කිරීමේ හෝ වාද කිරීමේ කිසිම වැරැද්දක් නැහැ. හැබැයි එය කළ යුත්තේ අපට අපැහැදිලි දේ පැහැදිලි කර ගැනීමේ අරමුණිනුයි. ඒත් තර්කයෙන් කෙනෙකුගේ අදහස වෙන අයෙකු මත පටවන එකනම් කිසිම තේරුමක් නැති වැඩක්. තර්ක කර කෙනෙකුට ජය ගත හැකි වූ පමණින් අනෙකාගේ විශ්වාසයන් වෙනස් වෙන්නේ නැහැ.

      Delete
    2. ඔව් ඔබ හරි, අපි දෘශ්ඨි වාදීව යමක් ග්‍රහනය කරගැනීම කියන්නේ යම් දෙයක් නිවැරදි මෙයයැයි පිළිගැනීමට ලක් වීම.
      බුදු දහම තුල මූලිකවම ප්‍රතික්ශේප කරනාවූ කාරනය දෘශ්ඨීන්ට නතු වීම. දෘශ්ඨීන්ගෙන් බැහැර වීම මගින් කෙනෙකුට මධ්‍යම ප්‍රථිපදාවෙහි රැඳිය හැකි වනවා.

      අන්න එසේ දෘෂ්ඨීන්ගෙන් බැහැරව විමසීම ඔබ ඉතාම අපූරුවට දහම යොදා නොගෙන පැහැදිලි කිරීමක් කර තියෙනවා.
      හැබැයි බුදු දහම ගාවා ගත් සැනින් මෙවන් වූ මතවාදයක් කෙරෙහි ඇතැමුන් තුල ප්‍රභල විරෝධයක් මතුවන නිසා, මෙවන් කාරනා දහම් ගැන සඳහනකින් තොරව ලිවීමට හැකිදැයි මා කිහිප විටක් සිතා බලා තියෙනවා.
      ඔබ බොහෝ විට දහම ගැන නොසිතාම මෙය ලීවා විය හැකියි. කෙසේ වෙතත් ඔබේ ලිපිය ඉතාම සාර්ථකයි.

      Delete
  11. ඉයන් කොච්චර අවශ්‍ය නෑ කිව්වත් මම නම් කියන්නෙ ඉස්සෙල්ල ආවෙ කිකිළිද බිත්තරේද වගෙ ප්‍රශ්ණ ගැන හොයන එක අපේ පැවැත්මට අත්‍යාවශ්‍යයයි කියලයි...:)

    අපූරු ලිපියක් ඉකෝන්, මොළයේ නියුරෝන අධික්‍රියාකාරිත්වයට (Overdrive) පත්කරනා සුලු සටහනක්...:)

    ReplyDelete
  12. විශ්වයේ වයස අවුරුදු බිලියන ගානක් වෙද්දී, අවුරුදු බිලියන ගානක් තිස්සේ වෙනස් වූ පරිසරයක්, විශ්වයක්,. තවමත් වෙනස් වීම් සොයාගත නොහැකි අපගේ අව තාක්ෂණයන් හේතුවෙන් විවිධ මති මතාන්තර ඇති වේ. එය සාමාන්‍ය ස්වභාවයයි.

    එහෙත් පරිනාමවාදය විශ්වාස කළ යුතු දෙයක් යැයි මා විස්වාස කරන්නේ නැත. එය ස්වභාවයෙන්ම හඳනාගත යුතු තත්වයකි. අප (පාථිවිය) තවමත් සිටින්නේ හරියට තමන් වත් හඳුනාගෙන නොමැති මට්ටමකය. කාර්ඩෂෙව් පරිමානය අනුවත් එය එසේමය..

    ඉතිං කිකිළිය සහ කුකුලා බිත්තරය සමග කාලයක් තිස්සේ ඔට්ටු වූ අය විය හැක..

    ReplyDelete
    Replies
    1. http://futurism.com/the-kardashev-scale-type-i-ii-iii-iv-v-civilization/

      Delete
  13. මචන් උඹ හෙන කැ###ක්ලු නේද? මම නම් නෙමෙයි කියන්නේ ගෝතලන් තමයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙය ප්‍රා ජේ විසින් ඇනෝ දමන ලද කොමන්ටුවක් බව ඉස්තිර කරගෙන ඇත..

      Delete
    2. "මචං උඹේ කොමෙන්ට් එකක්තාමත් මම මකන්නේ නැතිව ඉන්න්වා නම් කරුණාකරලා ඒක එවපන්.. ඇනෝ කොමෙන්ට්ස් ගැන එක එක කාලේට එක එක මත වල අපි හිටියා.. තාමත් ඒක තියෙනවා නම් ලින්ක් එවන්න ඩිලීට් කරන්න. මොකෝ ඒක මගේ ප්‍රතිපත්තිය නෙමෙයි. අනික මට පේන විදියට ඉකොනොමැට්ටා කියන එකත් සක්කිලි වැඩ කරනවා වගේ."
      ගෝතලන්ගේ කමෙන්ටුවකි

      Delete
    3. දැනුම්දීම ගැන බොහොම ස්තුතියි, ඇනෝ! මේ මා එහි දැමූ කමෙන්ට් එක.

      //අනික මට පේන විදියට ඉකොනොමැට්ටා කියන එකත් සක්කිලි වැඩ කරනවා වගේ.//
      මාතලන් ඔබ මේ කියන සක්කිලි වැඩ මොනවාද කියල මම දන්නේ නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් හරි සැකයක් හරි තියෙනවනම් මෙතන හෝ මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් ලෙස හෝ පෞද්ගලිකව (economatta@gmail.com) වෙත ඊ-මේලයකින් පැහැදිලි කළොත් මට ඒ ගැන අදහස් දක්වන්න පුළුවන්. ඉකොනොමැට්ටා බ්ලොග් එකේ විචාරක ලෙස කමෙන්ට් කළේ රසික නොවන බව මම කිවුවේ එය දමා තිබුණු තැනැත්තා එය දමා තිබුණු රටේ ඒ වෙලාවේ රසික ඉන්න ඉඩක් නැති නිසා. එය දැනුම් දුන්නේ ඔබේ කිසියම් සැකයක් ඇත්නම් දුරු කර ගැනීමට කරන උදවුවක් වශයෙන්. ඒ ඇර මගේ බ්ලොග් එකට සම්බන්ධ නැති අනෙක් දේවල් ගැන මම දන්නේ නැහැ. ඔබ සමහර විට කියන්නේ මගේ බ්ලොග් එකේ වෙනත් අය විසින් අතරින් අතරින් පතර දමා ඇති අපහාසාත්මක කමෙන්ට් ගැන වෙන්න පුළුවන්. මගේ බ්ලොග් එකේ වෙනත් අයෙකු දැමූ කිසිම කමෙන්ට් එකක් මම මෙතෙක් මකලා නැහැ. කලකට පෙර රසික දැමූ එක කමෙන්ට් එකක් වැරදීමකින් ඩිලීට් වී එයත් ඊමේල් එකෙන් හොයලා වහාම නැවත දැම්මා. ඇතැම් කමෙන්ට් ඒවා දැමූ අය විසින්ම පසුව ඩිලීට් කර තිබෙනවා. (දැමූ අය කවුද කියා මම දන්නේ නැහැ) කමෙන්ට් එකකින් එක එක පුද්ගලයාට ප්‍රශ්නයක් වෙන සීමාව මම හරියටම දන්නේ නැහැ. එය මට තීරණය කරන්න අමාරුයි. ඒ නිසා දැනට මම කිසිම කමෙන්ට් එකක් මකලා නැහැ. හැබැයි ඕනෑම කෙනෙක් කිසියම් කමෙන්ට් එකක් මේ හේතුව මත ඩිලීට් කරන්න කියා ඉල්ලීමක් කළොත් එය මා දුටු වහාම ඒ ගැන සලකා බලන්න සූදානම්. බ්ලොග් එකේම ඒ ගැන කිවුවොත් ඉක්මනින් අවධානයට ලක්වෙන්න තියෙන ඉඩ වැඩියි.

      Delete
    4. ඕවට උඹ ගොතලන්ට උත්තර බඳින්නත් ගියාද. ගොනේක්නේ බන් ගෝතලන් කියන්නේ. නමත් ගෝ අකුරෙන් පටන් ගන්නේ නිකන්යැ

      Delete
    5. ඒක නෙමෙයි. මොකක්ද ඔය කියන විචාරකගේ කමෙන්ට්ස් කතාව? කොයි ලිපියේද තියෙන්නේ?

      Delete
  14. හොඳ ලිපියක්... unlearning කරන්න ඉගෙන ගත්තම සෑහෙන අලුත් දේවල් වලට ඉඩ ලැබෙනවා.. අපේ ඔලු කාලයක් තිස්සේ පල් වෙච්ච සංකල්ප ටිකකින් පිරිලා තියෙන්නේ... විශේෂයෙන් ම ආගම ගැන.. මේ විදියට unlearn කරන්න ඉගෙන ගත්තම අපිට ලෝකය දකින විදිය සම්පුර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන්..

    දෙයක් විශ්වාස කිරීම හෝ නොකිරීම එතරම් වැදගත් දෙයක් නෙවෙයි.. වැදගත් වෙන්නේ අලුත් සංකල්ප වලට ඉඩ දෙන එක.. හරි හෝ වැරදි කියන දේ තීරණය බොහෝ වෙලාවට කාලයට බාර දෙන්න පුළුවන්..

    කිකිළි සහ බිත්තරේ ගැන අලුත් විදියට හිතල හොයපු මිනිස්සු නිසානේ අර දැරුවා කියපු උත්තරේ හරි අපිට ලැබුනේ.. හෙහ් හෙහ්


    විශ්වයේ නිර්මාණය ගැන පුරාණ වේද ග්‍රන්ථ වල තියෙන්නේ මෙන්න මෙහෙමයි.. මේක මම කාලෙකට කලින් කොළඹ ගමයාගේ බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එකක්.. මෙතනත් ඒ සම්බන්ධව කතා බහ වෙලා තියෙනවා දැක්ක නිසා දාන්නේ..

    බිග් බෑන් එකකින් විශ්වය බිහිවුණා කියන මතය පුරාණ වේදයේත් සඳහන් වෙනවා කියල මා අසා තිබෙනවා . එහි සඳහන් වන්නේ මෙහෙමයි .

    සෘග් වේදයේ එන නාසාදිය කියන සුත්‍රයේ මෙන්න මෙහෙමයි විශ්ව නිර්මාණය ගැන කියවෙන්නේ ..

    මුලාරම්භයේදී පැවැත්මද නොපැවත්මද නොවූයේය ...
    පෘථිවිය නොවිය . අහසද නොවීය . ඒවා ඉක්මවුවක් ද නොවීය ..
    එහිදී ජීවනය නොවීය .. මරණය ද නොවීය ...
    දවසද නොවීය ... රාත්‍රිය ද නොවීය ...
    බ්‍රහ්ම විනා එහි කිසිවක් නොවීය ..
    ආරම්භයේදී සැමතැනම වුයේ අන්ධකාරයයි....
    තීව්‍ර අන්ධකාරයයි ..
    සියල්ල මූල බීජය තුල හැකිලී තිබිණි .
    ආරම්භයේදී හිරණ්‍ය ගර්භය පැවතුණේය ...
    හිරණ්‍ය ගර්භය තුල විශ්වයේ දැනට ඇති සියල්ල හැකිලී තිබිණි ..

    මෙහි හිරණ්‍ය ගර්භය යනු ඉතා කුඩා අල්පෙන්ති හිසක් බඳු බිජුවක් ලෙසයි එහි සඳහන් වෙන්නේ . මේ හිරණ්‍ය ගර්භය එහි ඇතුලතින් නැගුනු රත්වීම නිසා පුපුරා ගොස් විශ්වය නිර්මාණය වුනා යැයි වේදයේ සඳහන් .

    එසේම හිරණ්‍යය ගර්භයක් ඇති වන්නේ ඊට පෙර පැවති විශ්වයක් හැකිලී යාමෙන් බවත් එහි සඳහන් ..

    දැනට විද්‍යාවෙන් හොයාගෙන තියෙන විශ්වයේ ප්‍රසාරණය සහ හැකිලීම යන්න පුරාණ වේදයේ සඳහන් වන්නේ මේ විදියට කියලයි මම අසා තිබෙන්නේ

    ReplyDelete
    Replies
    1. සංවට්ඨ කල්ප සහ විවට්ඨ කල්ප (හැකිලෙමින් තිබෙන අති දීර්ඝ කාලය සහ දිගහැරෙමින් තිබෙන අති දීර්ඝ කාලය)

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.