Monday, August 1, 2016

අරමණ යුදවිරුවන් ඇගයීම



පෙර ලිපි වලින් කතා කළ පැරකුම්බාවන්ගේ අරමණ ආක්‍රමණය සඳහා මුල් වූයේ ආර්ථික හේතූන්ය. මේ යුද මෙහෙයුම වියදම් අධික එකක් විය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස ලක් රජයේ ආදායම් වැඩි වන්නට ඇතැයි සිතිය හැකි වුවත් ඒ වැඩි වූ ආදායම වැය කළ යුද වියදමට තරම් වීද යන්න එතරම් පැහැදිලි නැත. වත්මන් නිදසුන් අනුව බැලූ විට බොහෝ විට පෙනෙන දෙයනම් බාහිර යුද මෙහෙයුම් වල මෙවැනි ශුද්ධ මූල්‍යමය වාසියක් නොමැති බවයි. කෙසේ වුවද, ප්‍රබල රාජ්‍යයන්හි නායකයින් මෙවැනි බාහිර යුද මෙහෙයුම් වලට නිරන්තරයෙන් යොමු වීමෙන් පෙනෙන්නේ එහි කවර හෝ වාසියක් තිබිය යුතු බවයි.

මහ පැරකුම්බාවන් අරමණ ආක්‍රමණයට යොමු වන්නේ ගජබාහු හා මානාභරණ ඇතුළු රජුන් සමඟ යුද වැද ලංකාව එක් සේසත් කර රට තුළ සිය දේශපාලන ස්ථාවරත්වය තහවුරු කරගෙන සිටින පසුබිමකය. අරමණ ආක්‍රමණයෙන් අනතුරුව මහ පැරකුම් අණ අනුව ක්‍රියා කරන ලංකා හමුදා දකුණු ඉන්දියාවේ යුද්ධයකටද මැදිහත් වී එහි කොටසකද සිය ආධිපත්‍යය කෙටි කලක් පතුරුවයි.

මෙසේ සිය බලය රටින් පිටතට පැතිරවීම මඟින් රටක පාලකයන්ට ලැබෙන ප්‍රධානම වාසියක් වන්නේ රට තුළ ජීවත් වන වැසියන් රාජ්‍යයේ ග්‍රහණයට වඩා පහසුවෙන් නතු කර ගත හැකි වීමයි. යුද ජයග්‍රහණ වලින් උත්කර්ෂයට පත් වන රටේ ජනතාව නොපැකිළ රජයට බදු ගෙවීමටත්, රාජ්‍ය විරෝධී කැරලි වලට එක් නොවීමටත් පෙළඹෙති.

රජයක් විසින් ඉහත වාසි ලබා ගැනීම සඳහා බාහිර යුද ජයග්‍රහණයට රට තුළ විශාල ප්‍රචාරයක් දීම මඟින් එය උත්කර්ෂයට නැංවිය යුතුය. අරමණ ජයෙන් පසුව පැරකුම්බාවන්ගේ රජයද මෙවැනි විජයග්‍රහණ සැමරුම් පවත්වන්නට ඇත. යුද ජයග්‍රහණයේ නියමුවන්ට රාජ්‍ය සම්මාන සමඟ ගම්වර ආදියද ලබා දෙන්නට ඇත.

මාවනැල්ල නගරයට සැතපුම් තුනක් පමණ ආසන්නව පිහිටි දෙවනගලින් හමුවන දෙවනගල සෙල්ලිපියෙන් අරමණ ආක්‍රමණයේ නියමුවකු වූ කීර්ති නගරගිරි හෙවත් කිත් නුවරගල් වෙත සිදු කළ මෙවැනි ගම්වර ප්‍රදානයක් ගැන තොරතුරු හමු වේ. මහ පැරකුම්බාවන්ගේ තේජස වනන සෙල්ලිපියේ මුල් කොටසින් පසු අදාළ කොටස මෙසේය.

"...සිංහ පරාක්‍රම ඇති පරාක්‍රමබාහු වත් හිමියන් වහන්සේ තමන් මුතුන් විජයරජපා ස්වර්ගස්ථභූත තැනැ සිටැ දෙසාලිස් හවුරුද්දක් නැසී තුබූ ලොසසුන් ඇති කරවමි යන සිතින් ගජබාහු මානාභරණ යන දෙදෙනා සමඟ යුධ කොට ලංකාජීපයෙහි එකච්චත්ර කොට පුලස්ති පුරවරෙහි රජ ශ්‍රී වළන්දන සමාහි දොළොස්වනු පොසොනැ පුර දසවකැ අරමණධිපති භුවනාදිත්තනම් කෙනෙකුන් රජ කරන කලැ ලක්දිවු සන්තාන නොකරම්හයි කී හෙයින් නැවු දහස් ගණනකට පිරිස් නඟා යවා අරමණය පාරනේ වදාළ කලැ කිත් නුවරගලුන් කුසුමිය යැයි යන නුවරක් පැහරැ පස් මසක් ර... ...... ... ගත් කලැ අරමණයන් සන්තාන කරම්හයි දූතයන් එවූ හෙයින් කිත් නුවරගලුන්ට හිරිසන්ද පවත්නා තෙක් සිටින පරිද්දෙන් මෙ ගලැ කොටා දුන් මලබටුව හා ... ... ... ... කිත්සෙන්පවුයෙන් බිජුවට දොළොසමුනු දෙ පෑළක් ඇතුළුවැ දෙයාලක් පමුණු කොට දුන්නේයි."

පැරකුම්බාවන් අරමණ ආක්‍රමණයට හමුදා යොදවන විට එහි පාලකයා වූයේ (භුවනාදිත්ත) අලවුන්සිතු රජුය. ඔහු බුරුමය පාලනය කළ ප්‍රබල රජෙකු වුවත් මේ කාලය වන විට ඔහු ඉතා වයස්ගතව මෙන්ම ඔහුගේ පුතුන් නිසා අභ්‍යන්තර ආරවුල් වලට මැදිවද හුන්නේය. පරණවිතානයන්ගේ ලිපියකට අනුව, අලවුන්සිතු රජු සිය පාලනයේ මුල් කාලයේදී ලංකාවට පැමිණ කාල නම් වූ සිය තානාපතියෙකු ලංකාවේ නවත්වා ගොස් තිබේ. කෙසේවුවද, මහාවංශයේ සඳහන් පරිදි ලංකා හමුදාවන් විසින් භුවනාදිත්ත අලවුන්සිතු මරා දමනු ලැබීම විශ්වසනීය නොවන කරුණකි. බුරුම මූලාශ්‍ර අනුව, ඔහු මේ සිදුවීමෙන් පසුවද ජීවත් වී වෙනත් අයුරකින් මිය ගොස් තිබේ. අරමණ රජු මරා දැමීමද, දහයක හෝ පහළොවක නැවු කණ්ඩායමක් නොකියා 'නැවු දහස් ගණනකට පිරිස් නඟා' යැවූ බව කීම වැනිම අතිශයෝක්තියක් විය හැකිය. සැබෑවටම මරා දමනු ලැබුවේ කුසුම්තොට පාලනය කළ ප්‍රදේශාධිපතියෙකු වන්නට පුළුවන.

විජයග්‍රහණ සැමරුමකදී එහි අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙවැනි අතිශයෝක්තීන්ද අවශ්‍ය වේ. ඒ කාලයේදී අඬබෙර ආදිය මඟින් යම් තරමකට මෙවැනි මාධ්‍ය මවාපෑම්ද සිදු කරන්නට ඇත. ඒ අනුව, අරමණ රජු මරා දැමූ පුවත මෙන්ම මේ යුද මෙහෙයුම සඳහා නැවු දහස් ගණනක් යෙදවුණු බවද ඒ කාලයේ ලංකාවේ ජීවත් වූ බොහෝ දෙනෙක්ද විශ්වාස කරන්නට ඇත. එසේ විශ්වාස කළ නිසා ලොකු පැකිලීමකින් තොරව රජයේ බදු මුදල් හා නොමිලේ ලබා දෙන ශ්‍රමය ආදිය ලබා දෙන්නටද ඇත.


කෙසේවුවද, මේ අතිශයෝක්තීන් විය හැකි කරුණු නොසලකා හැරියද අරමණ ආක්‍රමණය ලංකා ඉතිහාසයේ විශාලම යුද මෙහෙයුමකි.


(Image: mazinglanka.com)

16 comments:

  1. සෙල්ලිපිය නම් නොතේරේ. ඉකොන් පුරාවිද්‍යාවත් හදාරා ඇති හැඩයි.

    ReplyDelete
    Replies
    1. කැමති විෂයයක්. ඒ වුණත්, විධිමත් ලෙස හදාරලනම් නැහැ.

      Delete
  2. //රජයක් විසින් ඉහත වාසි ලබා ගැනීම සඳහා බාහිර යුද ජයග්‍රහණයට රට තුළ විශාල ප්‍රචාරයක් දීම මඟින් එය උත්කර්ෂයට නැංවිය යුතුය.//

    හරියට 'අපි වෙනුවෙන් අපි' වගේ!

    ReplyDelete
    Replies
    1. නෑ, 'තවලම', 'පොතයි ගඩොලයි' වගේ!

      Delete
    2. යුද්ධයට ඉල්ලුම වැඩි වෙනකොට යුද්ධය විකිණෙනවා. සාමයට ඉල්ලුම වැඩි වෙනකොට සාමයත් විකිණෙනවා.

      Delete
    3. "යුද්ධයට ඉල්ලුම වැඩි වෙනකොට යුද්ධය විකිණෙනවා. සාමයට ඉල්ලුම වැඩි වෙනකොට සාමයත් විකිණෙනවා."

      මගේ අදහස අනුව නම් 'යුද්ධයේ' හෝ 'සාමයේ' ඉල්ලුම ජනතාව වෙත් පටවන්නේ දේශපාලුවන් විසිනි

      Delete
  3. යුද්ධෙ හිඟන්නාගෙ තුවාලෙ වගේ ඇදගන යන එකේ පාඩුවකුත් නෑ පාලකයන්ගෙ පැත්තෙන් බලපුවාම... එතකොට හැමදේටම පෙන්නන්න හේතුවකුත් තියනවානෙ.මේ ක්‍රීඩාවෙදී 'පෝන්ස්' ලාට වැඩි බලයක් ලබාගෙන 'ක්වීන්' වත් කොටු කරගන්න තරම් හුදීජන 'පෝන්ස්' ලාම දැනගන්න ඕනෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එක්තරා සීමාවකට යනකම් ඇදගෙන යන එකෙන් වාසි ගන්න පුළුවන්.

      Delete
  4. කිව්වත් වගේ රනිල්තුමා වහාම් කථාවට යොදාගෙන තිබුනා තොරතුරු!

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල රනිල් තුමාගේ කතා ලියන්නේ කවුද දන්නේ නැහැ.

      Delete
  5. මහාවංශය දුටුගැමුණුසෙන්ට්‍රික් වගේ නිසා අන් අය ඒ තරම් පේන්නෙ නෑ ඒත් වැඩියම ක්‍රියාදාම හා fascinating වැඩ තියෙන්නෙ පරාක්‍රමබාහුගෙ කියල හිතෙනව. Ambushes, Guerilla warfare, Set pieces, battle tactics, war strategy, weapons, diplomatic campaigns, foreign relations, civil war, politics, invasions, surrenders, conquests ඔක්කොම තියනව

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔය ඔක්කොම තියෙනවා. මහාවංශය සැලකිල්ලෙන් කියෙවුවොත් කතෘට කියන්න ඕනෑ නොවන දේත් සැඟවිලා තියෙනවා.

      Delete
  6. //මෙසේ සිය බලය රටින් පිටතට පැතිරවීම මඟින් රටක පාලකයන්ට ලැබෙන ප්‍රධානම වාසියක් වන්නේ රට තුළ ජීවත් වන වැසියන් රාජ්‍යයේ ග්‍රහණයට වඩා පහසුවෙන් නතු කර ගත හැකි වීමයි.//

    අනිත් පැත්තත් පුලුවන් - විදේශීය කුමණ්ත්‍රන හා සතුරන් පෙන්වලා තම බලය තියා ගන්න එක

    ReplyDelete
    Replies
    1. මිනිස්සු රජයක ක්‍රියා දකින්නේ සාපේක්ෂ පදනමක. ඒ නිසා, පවතින තත්ත්වය වෙනස් කරනවට වඩා පහසුවෙන්, මිනිස්සු සසඳන බේස් එක වෙනස් කරලා රජයකට ජනප්‍රියත්වය තියාගන්න පුළුවන්.

      Delete
  7. රජයක් විසින් කරන වැඩ අතිශයෝක්තීයට නැංවීම අද වගේම එදාත් අඩු නැතුව වෙලා තියෙන හැඩයි.
    "අරමණ ආක්‍රමණය" කරන විට වෙනත් විදේශයන්ගෙන් ලක් රජයට බලපෑම් ආවේ නැතිද?

    ReplyDelete
    Replies
    1. විදේශයන්ගෙන් (දකුණු ඉන්දියාවෙන්) බලපෑම් ආවේ මේ මෙහෙයුම නවත්වන්න කියල නෙමෙයි. අනේ කරුණාකරලා අපේ යුද මෙහෙයුම් වලටත් මැදිහත් වෙන්න කියලයි. පසුව එයත් කළා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.