Tuesday, August 23, 2016

හැන්ඩියන්ට බඩු නැත්තේ ඇයි?

"ක්රෑමන්ට ක්ලාස් නැත. හැන්ඩියන්ට බඩු නැත."

ඉහතින් ඇත්තේ ජනප්‍රිය සරසවි ප්‍රස්තා පිරුළකි. මෙහි ප්‍රභවය ගැන මා නොදන්නා නමුත් එය මගේ සරසවි කාලයට වඩා බොහෝ පැරණි බවනම් ස්ථිරය. අඩු වශයෙන් පස්වන ශ්‍රේණියේදී පමණ මම මේ කියමන දැන සිටියෙමි. මතක හැටියට මුලින්ම මේ කෑල්ල දැක්කේ කිසියම් නවකතාවකය.

'ක්රෑමෝ' යනු හැම වෙලාවේම අධ්‍යයන කටයුතු වල ඇලී ගැලී සිටින, වෙනත් බාහිර සමාජ ක්‍රියාකාරකම් වලට අඩුවෙන් සම්බන්ධ වන සිසුන්ය. මා සරසවියේ සිටි කාලයේදී මේ වචනය වෙනුවට ජනප්‍රියව තිබුණේ 'බොගාලා' යන වචනයයි. හැම වෙලාවේම අධ්‍යයන කටයුතු වල ඇලී ගැලී සිටින සිසුවෙකු එසේ කරන්නේ එසේ මහන්සි වී වැඩ කිරීමෙන් විභාගය වඩා හොඳින් සමත් වීමට හැකි වේය යන අපේක්ෂාවෙනි. ක්ලාස් එකක් හෙවත් පන්ති සාමාර්ථයක් ගත හැකි වන්නේ එවිටය. කෙසේ වුවද, දවස තිස්සේම ක්රෑම දැමීමෙන්, බොග දැමීමෙන් හෙවත් පොතපතෙහි ඇලී ගැලී සිටීමෙන් පසුවත් සිසුවෙකුට පන්ති සාමාර්ථයක් නොලැබේනම් එහි ඇත්තේ විසංවාදයකි.

'හැන්ඩියන්' යනු කඩවසම් පුද්ගලයින්ය. කාන්තා පාර්ශ්වයේ ආකර්
ශනය දිනා ගැනීම සඳහා අනෙක් පිරිමින් සමඟ තරඟ කිරීමේදී හැන්ඩියන්ට එසේ නොවන අයට වඩා වැඩි වාසියක් ඇති බව කිව යුතු නොවේ. මේ අයුරින්ම, කාන්තා පාර්ශ්වයේ 'කිරි ටොයියන්ට' පිරිමි පාර්ශ්වයේ ආකර්ශනය වැඩිය. ඒ අනුව, සරසවියක් වැනි විශාල තරුණ තරුණියන් රැසක් ඉන්නා ස්ථානයක අනෙක් අයට පෙර 'හැන්ඩියන්ට බඩු සෙට් වීමත්' 'කිරි ටොයියන්ට පොරවල් සෙට් වීමත්' සිදු විය යුතු සාමාන්‍ය දෙයයි. සිදු විය යුතුයැයි පෙනෙන දෙය එසේ වුවත්, ඇතැම් විට දිගු කලක් පෙම්වතෙකු හෝ පෙම්වතියක නොමැතිව සිටින, ප්‍රසිද්ධියේ නොපෙන්වුවත් ඒ සම්බන්ධව සිත් තැවුලෙන් පෙළෙන කඩවසම් තරුණයින් මෙන්ම රූ සපුවෙන් නොඅඩු තරුණියන්ද සරසවි වල මෙන්ම වෙනත් තැන් වලද සිටිනු පෙනේ. 'කබ්බන්' හා 'යක්කු' හිච් වෙද්දී 'හැන්ඩියන්ට' හා 'කිරි ටොයි කෑලි වලට' මෙසේ වේලෙන්නට වීම විසංවාදයකි.

ඉහත සරසවි ප්‍රස්තා පිරුළෙහි අදහස වන්නේ මෙසේ බැලූ බැල්මටම සිදුවිය යුතුයැයි පෙනෙන දේ සිදු නොවන අවස්ථා තිබීමයි. ඇතැම් වෙළදපොළවල් වල මේ අයුරින් තත්ත්වයෙන් හොඳ භාණ්ඩ නොවිකිණී බාල බඩු විකිණෙන්නේ, එසේත් නැත්නම් මිණිකැට යට වී ගොමරිටි මතු වන්නේ ඇයි?

1970දී එවකට කැලිෆෝර්නියාවේ බර්ක්ලි සරසවියේ සහකාර මහාචාර්යවරයෙකු වූ ජෝජ් අකර්ලොෆ් විසින් මේ සංසිද්ධිය විධිමත් ලෙස පැහැදිලි කරමින් පර්යේෂණ පත්‍රිකාවක් පළ කළේය. "The Market for `Lemons': Quality Uncertainty and the Market Mechanism" නම් වූ මේ පර්යේෂණ පත්‍රිකාවෙහි ඔහු විසින් කළ පැහැදිලි කිරීම හේතුවෙන් 2001 වසරේදී ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය අකර්ලොෆ්ට හිමි විය. ඔහු මේ වන විට ජෝජ්ටවුන් සරසවියේ මහාචාර්ය වරයෙකු ලෙස සේවය කරන අතර, දැනට ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ (මහ බැංකුවේ) සභාපතිනිය (අධිපතිනිය) වන හා බර්ක්ලි, හාර්වඩ් ආදී සරසවි වල මහාචාර්යවරියක ලෙසද සේවය කළ ජැනට් යෙලන් ඔහුගේ බිරිඳයි.

ඉහත පර්යේෂණ පත්‍රිකාවේ 'ලෙමන්' යනුවෙන් අදහස් වන්නේ තත්ත්වයෙන් බාල, පාවිච්චි කළ මෝටර් රථයි. මෙය සාමාන්‍ය ජන වහරේ ඇති වචනයකි. 'සෙකන්ඩ් හෑන්ඩ්' වාහන සඳහා වන වෙළඳපොළෙහි හොඳ වාහනයක් ලේසියකට විකිණෙන්නේ නැත. එහෙත්, 'ලෙමන්' ඉතා ඉක්මණින් විකිණේ. ඒ ඇයි?

අකර්ලොෆ් පැහැදිලි කළ පරිදි මෙයට හේතුව විකුණන්නා සහ මිලදී ගන්නා යන ගනුදෙනුවේ පාර්ශ්ව දෙක අතර පවතින තොරතුරු අසමමිතියයි. ඉංග්‍රීසියෙන් adverse selection problem ලෙස හැඳින්වෙන මේ ප්‍රශ්නය විස්තර කිරීමට වචනයෙන් වචනය කරන පරිවර්තනයකට වඩා 'ගොමරිටි මතුවීම' වැනි පරිවර්තනයක් වඩා ගැලපෙන අතර අදහස තේරුම් ගැනීම පහසු කරයි. (දන්න කෙනෙක් සිටීනම් කරුණාකර විධිමත් සිංහල වචනය කියන්න.)

අකර්ලොෆ්ගේ කතන්දරය මෙවැන්නකි. කම්හලෙන් නිපදවා විකුණන්නට ඇති, එකම මාදිලියේ අළුත් මෝටර් රථ වල මිල සමානය. උදාහරණයක් ලෙස මේ මිල රුපියල් ලක්ෂ විස්සක් කියා අපි සිතමු. එමෙන්ම මේ මෝටර් රථ එකිනෙක අතර වෙනසක් සොයාගැනීම අපහසු නිසා ගැනුම්කරුවෙකුට අමුතුවෙන් තෝරන්නට දෙයක් නැත. එසේ වුවත්, එයින් අදහස් වන්නේ සියළුම මෝටර් රථ තත්ත්වයෙන් සමාන බව නොවේ. මේවා අතර යම් යම් ප්‍රශ්න තිබෙන ඒවා තිබිය හැකිය. එහෙත්, මේ ප්‍රශ්න එළියට එන්නේ පාවිච්චියට ගත් විටය. ගැනුම්කරුවෝ මේ බව දනිති.




පාරිභෝගිකයෙකු වාහනයකට ගෙවන්නට කැමති මිල එහි තත්ත්වය මත තීරණය වේ. එහෙත්, මෙහිදී පාරිභෝගිකයා මිල දී ගැනීමට පෙර වාහනයේ තත්ත්වය හරියටම නොදනී. මෙහි ඇත්තටම ඇත්තේ විෂමජාතීය වෙළඳපොළක් වුවත්, තත්ත්වයෙහි වෙනස්කම් නොදකින පාරිභෝගිකයාට කොයි වාහනයත් පෙනෙන්නේ එක වගේ නිසා, ඔහු දකින වෙළඳපොළෙහි විකුණන්නට ඇත්තේ සමජාතීය භාණ්ඩයකි. දැන් මේ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වී රුපියල් ලක්ෂ විස්සක් ලෙස මිල තීරණය වුනේ කොහොමද?

මිල දී ගන්නා වාහනයේ කිසිම අවුලක් නැත්නම් පාරිභෝගිකයාට එහි වටිනාකම රුපියල් ලක්ෂ විසි එකක් ලෙස සලකමු. එහෙත්, එහි ඇති 'ලෙඩ' (manufacturing defects) ප්‍රමාණය අනුව මේ මිල රුපියල් ලක්ෂ දහනමයක් දක්වා ඕනෑම ගණනක් විය හැකිය. මේ අනුව, පාරිභෝගිකයා ලක්ෂ විසි එකක් ගෙවන්නට කැමති වෙන්නේ නැත. එහෙත්, ලක්ෂ දහනමයක් දක්වා පහළට යන්නේත් නැත. මේ අනුව, තත්ත්වයෙන් සාමාන්‍ය (average) මෝටර් රථයක්, ලෙඩ කිහිපයක් තිබුණත් ලෙඩ වාට්ටුවක් නොවන එකක්, වෙනුවෙන් ඔහු ගෙවන්නට කැමති මිල වන රුපියල් ලක්ෂ විස්ස ලෙස ආරම්භක මිල තීරණය වේ.


අළුත් නිෂ්පාදන කාණ්ඩයක (බැච් එකක) මෝටර් රථ සියයක් විකිණුනේයැයි අපි සිතමු. මේවායින් පණහක සාමාන්‍ය මෝටර් රථයක තරම් අවුල් නැති නිසා ඇත්ත වටිනාකම රුපියල් ලක්ෂ විස්සට වඩා වැඩි බව ඒවා මිලදී ගැනීමට වාසනාවන්ත වූ පාරිභෝගිකයෝ දැන ගනිති. ඒ වගේම, ඉතිරි පණහේ ඇති අවුල් සාමාන්‍ය මෝටර් රථයක ඇති අවුල් ප්‍රමාණයට වඩා වැඩි නිසා සැබෑ වටිනාකම ලක්ෂ විස්සකට අඩුය. මිලදී ගත් වහාම 'සෙකන්ඩ් හෑන්ඩ්' වාහනයක මිලද අළුත් වාහනයක මිලට වඩා වෙනස් නැතැයි මොහොතකට සිතමු. දැන්, තමන් මිලදී ගත් වාහනය අනික් අතට විකුණන්නට හදන්නේ කවුද?

සාමාන්‍ය තත්ත්වයට වඩා හොඳ වාහනයක් අහුවුණු කෙනා එය එහි වටිනාකමට වඩා අඩුවෙන්, ලක්ෂ විස්සට විකුණන්නේ නැත. එහෙත්, බාල වාහනයක් හිමි වූ අය උත්සාහ කරන්නේ තමන් සතු වාහනය හැකි ඉක්මණින් වෙන කෙනෙකුගේ ඇඟේ ගැසීමටය. මේ නිසා, සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළට එන අළුත් වාහන සියල්ලම සාමාන්‍ය මට්ටමට වඩා තත්ත්වයෙන් බාල වාහනයි. ඒ වාහනයක වටිනාකම ලක්ෂ දහනමයත් විස්සත් අතර වන අතර සාමාන්‍ය අගය ලක්ෂ දහනමය හමාරකි.

කෙසේ වුවද, සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළට එන්නේ අළුත්ම වාහන වලට වඩා බාල වාහන බව ඉතා ඉක්මණින් පාරිභෝගිකයෝ දැන ගනිති. ඒ නිසා, මේ වෙළඳපොළෙහි වාහනයක මිල එවැනි වාහනයක සාමාන්‍ය අගය වන ලක්ෂ 19.5 දක්වා අඩුවේ.

දැන් වෙන්නේ කුමක්ද? අර කලින් වෙළඳපොළට ආ වටිනාකම ලක්ෂ 19.5-20 අතර වූ වාහනත් වෙළඳපොළට පැමිණීම නැවතීමයි. එවිට විකිණීමට ඇති වාහනයක සාමාන්‍ය තත්ත්වය හා සාමාන්‍ය වටිනාකම තවත් අඩුවී මිල රුපියල් ලක්ෂ 19.25 දක්වා අඩුවේ. මෙය දිගින් දිගටම මෙසේ සිදුවන නිසා අන්තිමේදී මිල ලක්ෂ 19 දක්වාම අඩුවී සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළක් නැති වන්නට සෛද්ධාන්තිකව ඉඩ ඇතත් එය එසේම වෙන්නේ නැත. මුදල් හදිස්සියට සිය වාහනය අඩුවට හෝ විකුණන ටික දෙනෙක් හෝ සිටින නිසා මේ වෙළඳපොළෙහි මිල ලක්ෂ 19ට මඳක් වැඩියෙන් තීරණය වේ.

දැන් මේ වෙළඳපොළෙහි අලෙවි වන වාහන මොනවාද? වැඩිපුරම විකිණෙන්නේ වටිනාකම මේ මිලට වඩා අඩු 'ලෙඩ ගොඩවල්ය'. අතරින් පතර හදිස්සිකාරයෙකු අතින් තරමක් හොඳ වාහනයක්ද අඩුවට විකිණෙන්නට පුළුවන. මේ වෙළඳපොළට එන තරමක් එන්නේම ගොමරිටිය. මැණිකක් ආවොත් ඒ ඉතාම කලාතුරකිනි.

දැන් මෙහි ඇති අවුල කුමක්ද? යම් කිසිවෙකුට තමන් සතු කිසිම ලෙඩක් නැති, ඒ නිසාම ලක්ෂ 21ක් වටින වාහනය විකුණන්නට අවශ්‍යයයි සිතමු. ඇය වාහනය මිලදී ගෙන ඇත්තේ ලක්ෂ 20කට නිසා ඇය මෙය ලක්ෂ 20.5කට විකුණන්නට කැමතිය. එහෙත්, ඇයට සිය වාහනය ලක්ෂ 21ක් වටින කිසි ලෙඩක් නැති එකක් බව තහවුරු කළ නොහැකිය.

"ඔය තරං හොඳ වාහනයක්නම් විකුණයියැ? ලෙඩ ගොඩක් වෙන්න ඇති!"

පාරිභෝගිකයින් කවුරුත් හිතන්නේ එහෙමය. ඒ නිසා, ඔවුන් ගෙවන්නට කැමති වන්නේ වැඩිම වුනොත් ලක්ෂ 19කට පොඩ්ඩක් වැඩියෙනි. එහෙත්, මේ වාහනය ඇත්තටම ලක්ෂ 21ක් වටින බව දන්නවානම් ලක්ෂ 20.5ක් ගෙවා එය මිල දී ගන්නට ඉදිරිපත් වන්නේ එක පයිනි. එවැනි ගණුදෙනුවක් වූයේනම් දෙදෙනාටම වන්නේ වාසියකි. එහෙත්, තොරතුරු අසමමිතිය හේතුවෙන් ඇති වන අවිශ්වාසය නිසා මේ ගණුදෙනුව වැළකේ.

මෙය වෙනත් බොහෝ දේ වලටද අදාළය. පිරිමියෙකුගේ සිහිනය වන චරිතවත් තරුණියක් තමන්ව මාකට් කර ගැනීමට උත්සාහ කළ වහාම 'ගොනෙක්' ලෙස ලේබල් වීමේ අනතුරට මුහුණ දෙයි. ඒ නිසා, බොහෝ විට තමන්ව මාකට් කර ගැනීමට පැකිලීමක් නැතිව ඉදිරියට එන්නේ ඒ ලේබලය එතරම් අවුලක් නැති තැනැත්තියකි. දේශපාලනයේ සිටින බොහෝ දෙනා ලැජ්ජා නහරය කපාගත් අයයි. කොතරම් හොඳ කෙනෙක් වුවත්, දේශපාලනයට පිවිසි වහාම හොරෙක්, වංචා කාරයෙක් ආදී ලේබල් සියල්ල වදී. මේ නිසා, එසේ නොවන 'කොලිටියෙන් වැඩි' කෙනෙක් දේශපාලනයට පැමිණීමට පැකිලේ. එහි ප්‍රතිපලය ලෙස අන්තිමේදී වෙන්නේ ඒ ලේබලය අවුලක් නැති හොරුන්, වංචා කාරයින් ආදීන්ම වැඩි වශයෙන් දේශපාලනයට පැමිණීමයි.

49 comments:

  1. //"ක්රෑමන්ට ක්ලාස් නැත. හැන්ඩියන්ට බඩු නැත."// ඔහොම කිව්වට ක්රෑමුත් කරපු හැන්ඩියෝ වෙච්ච කට්ටියටත් බඩු නැතිවුණා අත්දැකීමෙන් කියන්නේ..

    ReplyDelete
    Replies
    1. මමනම් අත්දැකීමෙන් දන්නේ ඔය දෙකේම විලෝමය සත්‍ය නොවන බව පමණයි.

      Delete
    2. මගේ අත්දැකීම නම් හැන්ඩියන්ට බඩු ඇත සහ ක්‍රෑම් නොකර ක්ලාස් ගැසිය හැකි බවයි.

      මෙන්න විස්තරය-
      http://rasikalogy.blogspot.com/2015/06/what-did-you-do-at-peradeniya-university.html

      එසේම තමන් ගැන ඇත්ත කියන්නට, ඒවා පම්පෝරි ලෙස සැලකේ යැයි සිතා, සමහරු බිය වෙති. මා නම් එසේ නැත!

      Delete
    3. එසේම තමන් ගැන ඇත්ත කියන්නට, ඒවා පම්පෝරි ලෙස සැලකේ යැයි සිතා, සමහරු බිය වෙති. මා නම් එසේ නැත!

      :-)

      Delete
    4. මම නම් ක්ලාස් එකකටමයි පාඩම් කලේ මගේ මිතුරාත් එහෙමමයි . ඒ උනත් අපි දෙන්නාටම ක්ලාස් නැහැ. අදමෙන්ඒ නොව කාලේ ක්ලාස් කියන ඒවා හරිම දුර්ලභ දේවල්. අපේ බැජ් එකටම තිබුනේ ක්ලාස් තුනක් විතරයි

      Delete
    5. සමර අංකල්,

      ඒ ක්ලාස් ගත්තු හැමෝටම බැජ් එක ගානේ දුන්නාද උපාධි ප්‍රදානෝත්සවයේ දී?

      මට හෙම බැජ් එකක් ලැබුණා නම් පහුවදා ම ගැටඹේට පූජා කරනවා. අබලං වාහනවල පොලීසියට අහු නොවී යන්න හැකියි නේ එතකොට.

      Delete
    6. /මා නම් එසේ නැත!/
      ඔබට ඒ සඳහා ඇති දිරිය අගය කරමි.

      Delete
    7. රසික, ඒ කාලේ උපාධි ප්‍රදානෝත්සව තිබුනේ නැහැ. සහතික දුන්නෙ තැපෑලෙන්.

      Delete
    8. "...එසේත් නැත්නම් මිණිකැට යට වී ගොමරිටි මතු වන්නේ ඇයි?..."

      එසේම තමන් ගැන ඇත්ත කියන්නට, ඒවා පම්පෝරි ලෙස සැලකේ යැයි සිතා, මිණිකැට බිය වෙති. ගොමරිටි නම් එසේ නැත!

      Delete
    9. "...එසේත් නැත්නම් මිණිකැට යට වී ගොමරිටි මතු වන්නේ ඇයි?..."

      එසේම තමන් ගැන තම ගැන අතිශෝක්තියෙන් වැනීමටත්, ඒවා පම්පෝරි ලෙස සැලකේ යැයි සිතා, මිණිකැට බිය වෙති. ගොමරිටි නම් එසේ නැත!

      Delete
    10. "...එසේම තමන් ගැනම පමණක් කියන්නට, ඒවා පම්පෝරි ලෙස සැලකේ යැයි සිතා, සමහරු බිය වෙති. මා නම් එසේ නැත!..."

      මනෝ වෛද්‍ය විද්‍යාවේ මේකට සිංහලෙන් කියන්නේ Narcissistic personality disorder කියල.

      - වෛද්‍ය මැණික් න. දේවතුංග.

      Reply

      Delete
  2. හැන්ඩියන්ට බඩු නැත්තේ ඇයි? ඔවුන් වෙත කාන්තා ආකර්ශනය වැඩි නිසා කාන්තාවෝ ඔවුනට බිය වෙති

    ReplyDelete
    Replies
    1. එය හොඳ පැහැදිලි කිරීමක්! දිගුකාලීනව අවදානම අඩුකරගැනීම.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඇත්ත. සමහර කෙල්ලො හිතනවා කොල්ලා ලස්සන අඩුනම් තියා ගන්න එක ලේසියි කියල.
      ඒවගේම ලස්සන කෙල්ලන්ට ට්‍රයි කරන්න සමහරු බයයි

      Delete
    4. /* ලස්සන කෙල්ලන්ට ට්‍රයි කරන්න සමහරු බයයි */

      ඒකට මං කියන්නේ ඇන්ටිපා සින්ඩ්‍රෝමය කියායි

      Delete
  3. indumathie adikariAugust 23, 2016 at 8:31 PM

    මේ අදහස ගොඩක් පැරණියි තමයි . 60 දශකයේ අග පේරාදෙණියේ එහෙම වේලෙන හැන්ඩි යන්ට කීවේ වුඩ් රෝසස් කියල. මතක ඇති පේරාදෙණියේ තිබුණා මල් වර්ගයක්. වේලෙන්න වේලෙන්න ලස්සනයි .

    ReplyDelete
    Replies
    1. කලක් අපේ ගෙදරත් වුඩ් රෝසස් වැලක් තිබුණා. මම හිතන්නේ මේ වුඩ් රෝස් මල කියා කියන එක ඇත්තටම එහි ගෙඩිය. වෙනම කහපාට මලක් තියෙනවා.

      Delete
  4. ක්රෑමත් නැති හැන්ඩිත් නැති එත් හැම රෙද්දටම හොම්බ දාන සදාකල් ඔටුවොත් අඩුවක් නැතුව හිටිය .

    මේ වාහන කතාව මටනම් ටිකක් අවුල් , ලංකාවේ වාහනවල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තීරණය වෙන්න වාහනයේ වර්ගයත් බලපානවා , උදාහරණයක් හැටියට ඩබල් කැබ් එකක් ගමු . එකම නිෂ්පආන වර්ෂයේ, එකම ධාරිතාවයේ ,එකම පහසුකම් සහිත බ්‍රෑන්ඩ් නිව් වාහන දෙකක් ගත්තොත් ටොයෝටා සහ මිට්සුබිෂි අවුරුදු දෙකකට පස්සේ මිට්සුබිෂි කැබ් එකට වඩා ඉතාම වැඩි මිලට ඇතැම් විට මිලදී ගත මිලටත් වඩා වැඩි වටිනාකමක් ටොයෝටා රථයට හිමිවෙනවා . හැබැයි එතකොට මේක පැහැදිලි කරන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. //හැබැයි එතකොට මේක පැහැදිලි කරන්නේ කොහොමද? //

      ලන්කාවේ අපි වෙනස්... ඒ වෙනසට ගරු කොරන්න ඔනේ අයිවන්!

      Delete
    2. ප්‍රශ්නයේ ම පිළිතුර ඇත!
      ඇපල් නම් ඇපල් ය. දොඩම් නම් දොඩම් ය.
      මේ දෙගොඩේම ලෙමන් තිබීම වෙනම කතා කළ යුතුයි.

      Delete
    3. //වෛද්‍යවරියක් විසින් පාවිච්චි කළ ටොයෝටා XXX රථයක් විකිණීමට ඇත//

      ඔන්න ඔහොම කෑල්ලක් එද්දි දොඩං පැණිදොඩං වෙනවා.. :D

      Delete
    4. මගේ යාලුවෙක් ට්‍රිබල් එක්ස් රථයක් පැදලා මලා

      Delete
    5. ඉවාන්ගේ ප්‍රශ්නයට නිවැරදි හා කෙටි පිළිතුරක් රසික විසින් දී තිබෙනවා. මෙතැන ඉවාන්ට තියෙන ප්‍රශ්නය මේ කියන කතාව ටොයෝටා සහ මිට්සුබිෂි වෙළඳපොළවල් දෙකේ මෙය සිදුවන ආකාර අතර වෙනසට හේතුව කුමක්ද කියන එකයි. එයත් පැහැදිලි කළ හැකියි. මෙයට හේතුව අළුත් මිට්සුබිෂි වාහනයක් මිලදී ගත් විට ලෙඩ වාහනයක් අහුවෙන්න තියෙන ඉඩකඩ, අළුත් ටොයෝටා වාහනයක් ගත් විට ඇති එම ඉඩකඩට වඩා වැඩි වීමයි. ඒ නිසා, වෙළඳපොළට එන මෙවැනි 'ලෙඩ සහිත' ටොයෝටා වාහන ප්‍රමාණය, එවැනිම ලෙඩ සහිත මිට්සුබිෂි වාහන ප්‍රමාණයට වඩා අඩුයි. හොඳ වාහනයක් අඩුවට විකුණන්න තියෙන ඉඩකඩ ටොයෝටා හා මිට්සුබිෂි කියා වෙනස් නොවන නිසා එවැනි වෙළඳපොළට එන එවැනි හොඳ වාහන ප්‍රමාණයේ වෙනසක් නැහැ. මේ නිසා, සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළෙන් ටොයෝටා වාහනයක් ගත් විට ලෙඩ නැති වාහනයක් අහුවෙන්න ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසා එහි මිල මිට්සුබිෂි වාහනයකට වඩා වැඩියි. (මේ ලිපියට අදාළව පැහැදිළි කළත් මෙයට හේතු වෙන තවත් බොහෝ කරුණු තිබිය හැකියි.)

      Delete
    6. පත්තර මල්ලි මතක් කරන දෙය ඉතා වැදගත් කරුණක්. මේ සංසිද්ධියට හේතු වෙන්නේ ගැනුම්කරු සහ විකිණුම්කරු අතර ඇති තොරතුරු අසමමිතිය. වාහනයේ ඇත්ත තත්ත්වය ගැන විකිණුම්කරු දන්න සියළුම දේ ගැනුම්කරු දන්නේ නැහැ. ඒ නිසා ඔහු වාහනය තක්සේරු කරන්නේ නියම මිලට වඩා අඩුවෙන් . ඒ නිසා විකිනුම්කරුට වෙන්නේ අවාසියක්. වාහනය හොඳ එකක් බව මොන විදිහකින් හරි ගැනුම්කරුට ඒත්තු ගන්වන්න පුළුවන්නම් විකිණුම්කරු ගොඩ. මෙතැනදී, 'වෛද්‍යවරියක් විසින් පාවිච්චි කළ' කියන එකෙන් පෙන්වන්න හදන්නේ මෙය හොඳින් නඩත්තු කළ වාහනයක් බවයි. වැඩේ තවත් තහවුරු කරන්න ඕකේ වීදුරුවේ අර කුරුස ස්ටිකර් එකකුත් අලවනවා. කාර් සේල් වල වාහන නුගේගොඩ, මහරගම වගේ පැතිවල ගෙවල් වල දාල ඇඩ්වටයිස් කරන්නෙත් මේ හේතුව නිසයි.

      Delete
    7. ඇ ඉවාන් මේ කතාව ඇත්තද

      Delete
  5. වැදගත් කරුණක් සහ හොඳ පැහැදිලි කිරීමක්. මීට අමතරව අත්පත් කර ගැනීමට ගන්න්න තීරණයේදී සියළු විස්තර නොදත් නිසා වැරදුණොත් නැවත විකිණීමට ඇති හැකියාවත් බලපානවා නේද? සමහර වාහන ඉක්මනින් විකුණා ගැලවන්න පුළුවන්. ගැහැණු පිරිමි සම්බන්ධයකදී ආසියානු රටවල ඇති අන්තිමේදී විවාහ විය හැකි අය සමඟ සම්බන්ධ වීමට පෙලඹීමත්, වැඩේ වැරදුණොත් 'වාහනය' වෙන කෙනෙකුගේ ඇඟේ ගසා ගැලවීමට ඇති නීතිමය බාධකත් බලපානවා නේද?

    බොහොම ස්තූතියි මෙම පැහැදිලි කිරීමට

    ReplyDelete
    Replies
    1. /වැඩේ වැරදුණොත් 'වාහනය' වෙන කෙනෙකුගේ ඇඟේ ගසා ගැලවීමට ඇති නීතිමය බාධකත් බලපානවා නේද?/
      ඔව්. ඔබ හරි. එතැන තියෙන්නේ තවත් අසමමිතික තොරතුරු හේතුවෙන් ඇතිවන ප්‍රශ්නයක් වන 'moral hazard' කියන එකයි. ගණුදෙනුවට එළැඹීමෙන් පසු එය ආපසු හරවන්න අමාරු වීම. මෙය දන්න නිසා මුලින්ම වැඩේ අතාරිනවා. වැඩේට අතගහන්නේ ඕ.පු. කියා හිතන්න පුළුවන් අය පමණයි.

      Delete
  6. ඔය හැන්ඩි කතාව අදාල වෙන්නේ ලංකාව වගේ පසුගාමී රටවලට විතරයි. දියුණු රටාවට ගැනුන්ගේ පෙට්ටි හොයන්නේ නැහැ නොවැ. කාර් කතාවත් ඒ වගේමයි. ජපානේ නම් සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳ පොළත් ඉතාම හොඳ කාර් 99% තියෙන්නේ. කලාතුරකින් තමයි ලෙඩක් දෙන වාහනයක් විකුනන්නේ.

    ReplyDelete
    Replies
    1. මතුපිටින් තියෙන කතාව හැම තැනටම එකසේ ආදේශ කරන්න බැහැ තමයි, ඇනෝ. ඒත්, වෙනස් තත්ත්වයන් යටතේත් මෙය මෙලෙස වෙනවා. දැන් බටහිර රටක් ගත්තත් කෙනෙක් හොයන මොනවා හෝ ගුණාංගයක් ඇසුරු කරන තුරු හරියටම දැනගත හැකි ක්‍රමයක් නැත්නම් මෙවැනි ප්‍රශ්නයක් මතු විය හැකියි. මුලින් එකට ජීවත් වී පසුව විවාහ වීම ජනප්‍රිය වී ඇත්තේ ඒ නිසයි. වාහන වල ලොකු ලෙඩ නැති වුනත් අළුතින්ම හදන වාහන නිෂ්පාදන කාණ්ඩ වලත් 'රිකෝල්' සෑහෙන්න තියෙනව නේද? දැන් මේවට ෆැක්ටරි වොරන්ටි දෙන එක කරන්නේ ඉහත ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි. පෙනෙන්න තියෙන දෙයක් විශ්ලේෂණය කර තේරුම් ගත් පසු එයට විසඳුමක් දීම පහසුයි. අකර්ලොෆ්ට නොබෙල් ත්‍යාගය ලැබුණේ ඒ නිසයි.

      Delete
  7. මට මතකයි අපේ යාලුවෙක් නිතරම කියනවා හොඳ අඹ කන්නේ පණුවෝ !! මාල ගිරවුන්ට හොඳ අඹ නෑ !! කියල.

    ඔය කතාව දැනට අවුරුදු 10ක කාලෙකට කලින් මම හිටපු කැම්පස් එකේ කියවුනේ බ්‍ර්යිටන්ට ක්ලාස් නැත. හැන්ඩින්ට බඩු නැත කියලා.

    ReplyDelete
    Replies
    1. ක්රෑමන්ට කියන වචනය හැම පීඨයකටම ගැලපෙන්නේ නැහැ. සමහර පීඨ වලට බ්‍රයිටන්ට කියන එක වඩා හොඳින් ගැලපෙනවා.

      Delete
    2. හොද ගෙඩි කන්නේ පනුවෝ තමා බං

      Delete
  8. /* අර කලින් වෙළඳපොළට ආ වටිනාකම ලක්ෂ 19.5-20 අතර වූ වාහනත් වෙළඳපොළට පැමිණීම නැවතීමයි. එවිට වාහනයක සාමාන්‍ය තත්ත්වය හා සාමාන්‍ය වටිනාකම තවත් අඩුවී මිල රුපියල් ලක්ෂ 19.25 දක්වා අඩුවේ. */

    වැරදියි නේද?
    කාර් වැනි සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් සැපයුම අඩු වූ විට මිල ඉහළ යා යුතුයි!
    නැතිනම්, මේ කියන්නේ විකිණීමට ඇති වාහන උප කුලකය සම්බන්ධයෙන් පමණක් වූ සාමන්‍යය අගයන් ගැනද?
    අපැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. දෙවන එක. එනම්, විකිණීමට ඇති වාහන උප කුලකය සම්බන්ධයෙන් පමණක් වූ සාමාන්‍ය අගය. මෙය අපැහැදිලි නිසා මම 'විකිණීමට ඇති' කියන වචන දෙක සටහනට එකතු කරන්නම්.

      Delete
  9. /* කොතරම් හොඳ කෙනෙක් වුවත්, දේශපාලනයට පිවිසි වහාම හොරෙක්, වංචා කාරයෙක් ආදී ලේබල් සියල්ල වදී. මේ නිසා, එසේ නොවන 'කොලිටියෙන් වැඩි' කෙනෙක් දේශපාලනයට පැමිණීමට පැකිලේ. එහි ප්‍රතිපලය ලෙස අන්තිමේදී වෙන්නේ ඒ ලේබලය අවුලක් නැති හොරුන්, වංචා කාරයින් ආදීන්ම වැඩි වශයෙන් දේශපාලනයට පැමිණීමයි. */

    මේ පිළිබඳ මගේ කියවීම මා ලියූ පොතක විචාරයකින් උපුටා දක්වන්නේ නම් මෙසේ ය.

    "ජගත් ජේ. එදිරිසිංහ ගේ "ගිම්හාන සුළඟ" නිර්මාණය පිළිබඳව මා පාඨක අවධානය යොමු කිරීමට කැමති තෙවන කරුණ නම් දශක කීපයක් ඔස්සේ ශී‍්‍ර ලංකාව වෙලාගෙන පිළිලයක් ලෙසින් ඔඩු දුවමින් රටත්, එහි ආර්ථිකයත්, සාරධර්මත්, සංස්කෘතියත් විනාශ කරන දුෂිත පක්‍ෂ දේශපාලන කසල ගොඩ පිළිබඳව එයින් කෙරෙන හෙලිදරව්වයි. සම්පත් සුරා කෑම, ඤාති මිත‍්‍ර සේවනය සහ කොමිස් පගා ගැසීම අද ශී‍්‍ර ලංකා දේශපාලනයේ අනිවාර්ය කොටසක් බවට පත් වී තිබේ. මෙයින් පරිබාහිරව දේශපාලකයෙකුට පැවැත්මක් නැත. එවැන්නන් ඇත්නම් එක්කෝ ඔවුන් අන් අය හා එක්විය යුතුය; නැතහොත් ඒ යාන්ත‍්‍රණය මගින් නිරායාසයෙන් ම ඔවුන් ඉවත් කෙරෙනු ලැබේ. මේ කටුක සත්‍යය ගිම්හාන සුළඟ නවකතාවෙන් පාඨකයා ට ඉදිරිපත් කිරීම විශේෂයෙන් ම පැසසිය යුතු කරුණකි."

    ReplyDelete
    Replies
    1. මේ කතාවම තමයි. මෙවැනි 'නරක' එහෙත් ස්ථායී සමතුලිතතාවයකට පැමිණි විට එයින් ගැලවෙන එක ලේසි නැහැ. ඒ සඳහා තොරතුරු අසමමිතිය නැති විය යුතුයි. තොරතුරු දැනගැනීම් අයිතිය පිලිබඳ පණත මේ වෙනුවෙන් තැබූ ඉතා වටිනා පියවරක්. එහෙත්, එහි ප්‍රයෝජන ගැනීමටනම් මහජනයා ඒ ගැන දැනුවත් වී, එහි ඇති නෛතික අයිතිවාසිකම් භුක්ති විඳීමට සක්‍රිය ලෙස මැදිහත් විය යුතුයි.

      Delete
  10. හැන්ඩියා යනු පිරීමි සතාගේ නමයි. ගෑණු සතාට අපේ කාලේ කිව්වේ ටොයියා කියායි.

    ටොයියෙකුට නම් ට්‍රයි කරන පොරවල් සංඛ්‍යාවෙන් අඩුවක් තිබුණේ නැත. මා දන්නා එක් ටොයි කෙල්ලෙකුට හය දෙනෙක් එක්වර ට්‍රයි කළහ. කෙල්ලට තිබුණේ හොඳම හැණ්ඩියා සොයා ඕකේ එක දීම පමණි!

    ReplyDelete
    Replies
    1. ටොයි ස්කේල් එක අනුව කිරි ටොයියා ටොයියාට ඉහළින් සිටියේය.

      Delete
  11. හොඳ ගෙඩි කන්නෙම පණුවො කියලත් කතාවක් තියනව.

    ReplyDelete
    Replies
    1. මට ඕක මතක් වුනේ නැහැ. උඩින් කෙන්කියුෂාත් මතක් කරල තිබුණ.

      Delete
  12. Adverse selection problem = ප්‍රතිකූල වරණාත්මක අර්බුදය.....Just joking...ගොමරිටි මතුවීම වගෙ යෙදුමක් හැම අතින්ම ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. සමහර විට නියමම පාරිභාෂික වචනය ඔය වගේ එකක් වෙන්න ඇති.

      Delete
  13. හැන්ඩියෝ ටොයි කෑලි වලින් අහන්න බයයි අනිත් උන් ඉස්සරහා නෝන්ඩි වෙයිද කියලා. එහෙම උනොත් උන්ගේ හැන්ඩි ලුක් එකටත් නිග්‍රහයක්නේහ්. ඒක නිසා හැන්ඩියෝ ගිහින් ටොයියෝ නොවන ඒවට ටෝක් කරපු ගමන් බඩු බනිස්. සමහරවිට හැන්ඩියා නිකම් ජොලියට යකෙක්ගෙන් ඇහුවා වෙන්නත් පුලුවන් .. පස්සේ ගැලවෙල්ලක් නැතිකමට යකා බැඳගෙන ඉන්නවා.

    ටොයියෝ හැන්ඩියන්ට රබර් ඇහැ නොදාන්නෙත් අර කිව්ව වගේ උන් ගනන් ගන්නේ නැති උනොත් චාටර් වෙන්න වෙයි කියලාඅ සහ මේ තරම් හැන්ඩියෙක්ට බඩුවක් නැතිවෙන්න බෑනේහ් කියන පූර්ව උපකල්පනය නිසා. (මේ පූර්ව උපකල්පනය හැන්ඩියෝ ටොයියෝ සම්බන්ධයෙනුත් එහෙම්මයි )

    හැන්ඩියෝ අහන්න බයේ ඉන්න ටොයියන්ගෙන් අහන පලවෙනි ම කබ්බෝ එක්ක ටොයියෝ සෙට් වෙනවා.

    ඇපල් කන්නෙම පනුවෝ කියන්නේ ඒකනේ . . he he he

    ReplyDelete
  14. සල්ලි ගස් වල හැදේ නම් - කෙල්ලෝ වඳුරන්ටත් ආදරය කරති

    කියල ත්‍රීවිල් එහෙක ගහල තිබ්බා :D

    ReplyDelete
  15. අපේ කන්තෝරුවේ වැඩකරන යොවුන් වියේ පියන් මහත්මයෙක් සිටිනවා..ඔහු ඉතාම යාන්තමින් සාමාන්‍ය පෙල සමත් අයෙක්.. ඔහුට දේශපාලනය හැර වෙනත් කිසිම සුදුසුකමක් නෑ ඒ තනතුරට පත් වෙන්න..ඉංගිරිසි පරිඝනක ගැන මූලික දැනුමක් වත් ඔහුට නෑ..

    ඔහුට ඒ සියල්ලම නොමැති නිසා ඔහු දැඩි ලෙස පක්ෂ දේශපාලනය සහ ගම්බද දේශපාලනයේ නිරත වෙනවා..ගමෙ ්ෙයාවුන් සමිති මරණාදාර සමිති පිංකම් මලගෙවල් වල ඔහු බලෙන් හෝ ගොස් දේසපාලනය කරනවා..සැබැවින්ම ඔහු මහින්ද ජනප්රිය සමයේ මහින්දටත් දැන් කනපිට ඇති නිසා කොල පැත්තටත් රෙදි නැතිවම කඩේ යනවා..

    සත්‍ය වශයෙන්ම ඔහුට පුද්ගලිකව දැන් රැකියාව ලැබී අවසානයි..නමුත් මේ දේහපාලන වැඩවලින් ලැබෙන කීර්ථිය ඔහුට පියන් ජීවිතයේ කවදාවත් වෙනත් වැඩකින් ලබාගන්න අමාරුයි.. ඔහු සමිති සමාගම් යොවුන් පාර්ලිමේන්තු ආදියෙන් ඉස්සරහින් ඉන්නවා.. මම හිතන්නේ සමාජයේ ඉගනීමෙන් අසමත් වෙන අය බිස්නස් වලින් අසමත් වෙන අය දේශපාලනයට එන්න එක හේතුවක් එමගින් යම්කිසි සමාජ තත්වයක් ලබාගැන්ම..

    අපේ සමාජයේ මනුස්සයෙක් තමුන්ගේ පාඩුවේ කූල් එකේ ජීවත් වීමට වඩා යම්කිසි සමාජ තත්වයක් ආරෝපනය කරගන්න හඹායනවා.. ඒ නිසා සත්‍ය වශයෙන්ම දේහපාලන මඩ ගොහොරුවේ සමාජයෙන් තත්වයක් සාමාන්‍යයෙන් ලබාගත නොහැකි අයගෙන් සැලකිය යුතු ලෙසම පිරී තිබෙනවා..

    මට එහෙමත් හිතුනා..

    ReplyDelete
  16. බොහොම හොඳ ලිපියක් ඉකොන්, මේ වගේ ලිපි, අර එක එක කුණු ගොඩවල් වලින් පිරිච්ච සති අන්ත පත්තරවල පලකරන්න වටිනවා.

    ReplyDelete
  17. ඇත්ත කතාව හැන්ඩියෝ කීප දෙනෙක් හැන්ඩ්ල් කරන අතර එකකට සෙට් වී අනෙක් අයගේ අවදානය අඩු කරගැනීමට අකමැති වීමයි. ටොයියෝ ලෙල්ලම් වූ විට කබ්බොන්ට සෙට් වී ස්ථාවර වේ. ඔනෙම කිරි ටොයියෙක් හැන්ඩියෙක් ලවා මල් පෙති තලා ගෙන ඇති බව බොහො විට අසා ඇත. කබ්බොනි ඔබට ලැබී ඇති කිරි ටොයියා නොකියන දෙයක් ඇත.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.