වෙබ් ලිපිනය:

Showing posts with label භාණ්ඩාගාර බැඳුම්කර. Show all posts
Showing posts with label භාණ්ඩාගාර බැඳුම්කර. Show all posts

Friday, November 29, 2024

උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට!


නොවැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය -2.1% ලෙස, එනම් 2.1%ක අවධමනයක් ලෙස, වාර්තා වී තිබෙනවා. මේ අනුව, 2024 වසර අවසන් වනු ඇත්තේ සමස්තයක් ලෙස අවධමනයක් වාර්තා කරමින් බව පැහැදිලියි. අපගේ ඇස්තමේන්තු අනුව, අවධමන තත්ත්වය ඉදිරි වසරේ මැද භාගය දක්වා පැවතිය හැකි අතර, ජනවාරි මාසය වන විට -5% පමණ මට්ටමකට යා හැකියි.

අවධමන තත්ත්වයක් පවතිද්දී මූර්ත පොලී අනුපාතික නාමික පොලී අනුපාතික ඉක්මවා යනවා. මූර්ත පොලී අනුපාතික යනු නාමික පොලී අනුපාතිකයෙන් උද්ධමනය අඩු කළ විට අගයයි. උද්ධමනය සෘණ අගයක් වූ විට මෙම අගය නාමික පොලී අනුපාතික ඉක්මවා යනවා. නාමික පොලී අනුපාතික 8.5% හා උද්ධමනය -2.0% යන්නෙන් අදහස් වන්නේ මූර්ත පොලී අනුපාතිකය 10.5%ක් බවයි.

ඉහළ මූර්ත පොලී අනුපාතිකයක් තිබීම ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. එවැනි තත්ත්වයක් යටතේදී සාමාන්‍යයෙන් මහ බැංකුවක් විසින් කරන්නේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් පොලී අනුපාතික පහතට ගැනීමයි. මේ සඳහා වෙළඳපොළට මුදල් මුදා හැරීමක් කරන්නට සිදු වෙනවා. එය කරන්නේ විවට වෙළඳපොළ කටයුතු හරහායි.

මේ වන විට මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ලෙස යොදා ගන්නේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයයි. එම අනුපාතිකය 8.0% ලෙස මහ බැංකුව විසින් නිර්ණය කර තිබෙනවා. ඒ අනුව, ඒක්ෂණ මුදල් වෙළඳපොළේ පොලී අනුපාතිකය 8.0% මට්ටමේ පවත්වා ගත හැකි පරිදි විවට වෙළඳපොළ මෙහෙයුම් කටයුතු කිරීමට මහ බැංකුවට සිදු වෙනවා.

අද දින සිදු වූ ඒක්ෂණ මුදල් වෙළඳපොළ ගනුදෙනු වල බරිත සාමාන්‍ය අගය 8.15% මට්ටමේ පැවතුනු අතර ප්‍රතිමිලදී ගැනීම් (රිපෝ) වෙළඳපොල බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය 8.20% මට්ටමේ පැවතුනා. මෙම අගයයන් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා මඳක් වැඩියි.

පොලී අනුපාතික ඉලක්ක මට්ටමට වඩා ඉහළින් ඇති විට මහ බැංකුවට වෙළඳපොළට මුදල් මුදා හැරීම මගින් එම සමතුලිතතාවය වෙනස් කරගන්නට සිදු වෙනවා. මේ අයුරින් මුදල් මුදා හැරීම ස්ථිර පදනමකින් හෝ තාවකාලික පදනමකින් කළ හැකියි. දැනට මහ බැංකුව විසින් අනුගමනය කරන්නේ පළමු ක්‍රමයයි.

ඊයේ දිනයේ මහ බැංකුව විසින් එක් දින ප්‍රති විකුණුම් (රිවර්ස් රිපෝ) ලෙස රුපියල් බිලියන 40ක මුදලක් වෙළඳපොළට මුදා හැර ඇති අතර එම මුදල් වෙන්දේසි වී තිබෙන්නේ 8.00-8.20% පරාසය තුළයි. ඊට අමතරව තවත් රුපියල් බිලියන 4.4ක මුදලක් 8.50%ක පොලියක් ගෙවා එක් දින ප්‍රති විකුණුම් ක්‍රමයට මහ බැංකුවෙන් ලබා ගෙන තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ ඇතැම් බැංකු සැලකිය යුතු ද්‍රවශීලතා හිඟයකින් පෙලෙන බවයි. එය වෙළඳපොළ පොලී අනුපාතික පහත වැටීමට බාධාවක්ව පවතිනවා.

කෙසේ වුවත්, රුපියල් බිලියන 210 ඉක්මවන මුදලක්  ඊයේ දිනම 7.5% පොලියට මහ බැංකුවේ තැන්පත් කර තිබෙනවා. එම මුදල ඉහත සඳහන් කළ රුපියල් බිලියන 44ක ප්‍රති විකුණුම් ගනුදෙනු ප්‍රමාණයට වඩා බෙහෙවින්ම වැඩි මුදලක්. මේ අනුව පෙනී යන්නේ වෙළඳපොළ තුළ 8.0-8.5% පොලියකට ණය දීමේ අවස්ථාව තිබියදී ඇතැම් බැංකු විසින් ඊට වඩා අඩු 7.5% පොලියට මහ බැංකුවේ මුදල් තැන්පත් කිරීමට පෙලැඹී ඇති බවයි. 

පොලී අනුපාතික යනු මුදල් වෙළඳපොළ ගනුදෙනු සිදු කරද්දී සලකා බලනු ලබන එකම සාධකය නෙමෙයි. මුදල් ණයට දීමේ අවදානමද එහිදී සලකා බැලෙනවා. ශ්‍රී ලංකා රජය ණය පැහැර හැර ඇති තත්ත්වයක් තුළ බොහොමයක් දේශීය බැංකු වලට ණය දීම සැලකෙන්නේද ඉහළ අවදානමක් ඇති කටයුත්තක් ලෙසයි. ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමෙන් පසුව මේ තත්ත්වය වෙනස් වේයැයි අපේක්ෂා කළ හැකියි.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ වලට ප්‍රතිචාර දක්වමින් නොවැම්බර් 27 දින පැවති භාණ්ඩගාර බිල්පත් වෙන්දේසියේදී දින-91 බිල්පත් වල ඵලදා අනුපාතික පෙර සතියට සාපේක්ෂව 0.57%කින් පහත වැටී ඇති අතර, දින 182 ඵලදා අනුපාතික 0.63%කිනුත්, දින-364 ඵලදා අනුපාතික 0.70%කිනුත් පහත වැටී තිබෙනවා. මේ අනුව, පෙනී යන්නේ පොලී අනුපාතික වල මැදිකාලීන හැසිරීම පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවන් පහත වැටෙමින් ඇති ආකාරයයි. 

භාණ්ඩාගාර බැඳුම්කර ඵලදා අනුපාතික වලද මෙම පහත වැටීම නිරූපනය වී තිබෙනු දැකිය හැකියි. නොවැම්බර් 28 දින (ඊයේ) පැවති වෙන්දේසියේදී 2028 ඔක්තෝබර්හිදී කල් පිරෙන බැඳුම්කර වෙන්දේසි වූයේ 10.62% අනුපාතිකයටයි. 

Sunday, October 20, 2024

පසුගිය මාසයේ රජය කොයි තරම් ණය වුනාද?


මේ වන වට ජනාධිපතිවරණය පැවැත්වී මාසයක් ගත වී තිබෙනවා. එම මාසයක කාලය තුළ රජය විසින් අලුතෙන් කොපමණ ණය ලබා ගෙන තිබේද?

රජය විසින් ලබා ගන්නා සියලු ණය වර්ග පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නැතත් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබා ගත් ණය පිළිබඳ නිශ්චිත තොරතුරු මහ බැංකු වෙබ් අඩවියෙන් බලා ගන්න පුළුවන්. පහත තිබෙන්නේ පසුගිය මාසයක කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජය විසින් ලබා ගෙන තිබෙන ණය ප්‍රමාණයයි.

සැප්තැම්බර් 25 - රුපියල් මිලියන 132,000

ඔක්තෝබර් 2 - රුපියල් මිලියන 156,750

ඔක්තෝබර් 9 - රුපියල් මිලියන 93,500

ඔක්තෝබර් 16 - රුපියල් මිලියන 106,700

එකතුව - රුපියල් මිලියන 488,950

කෙසේ වුවත්, මෙම කාලය තුළ කල් පිරුණු (ආපසු ගෙවිය යුතු) භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් මෙම අරමුදල් වලින් වැඩි කොටසක් වැය වී තිබෙනවා. පහත තිබෙන්නේ එසේ ආපසු ගෙවූ ණය ප්‍රමාණයි. 

සැප්තැම්බර් 27 - රුපියල් මිලියන 114,666

ඔක්තෝබර් 4 - රුපියල් මිලියන 135,344

ඔක්තෝබර් 11 - රුපියල් මිලියන 64,766

ඔක්තෝබර් 18 - රුපියල් මිලියන 76,138

එකතුව - රුපියල් මිලියන 390,914

මේ අනුව, භාණ්ඩාගාර බිල්පත් ණය ආපසු ගෙවූ ප්‍රමාණයට වඩා රුපියල් මිලියන 98,036ක් වැඩියෙන් අලුත් භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගෙන තිබෙනවා. 

මීට අමතරව, ඔක්තෝබර් 11 දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීම මගින් තවත් රුපියල් මිලියන 104,500ක ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව, මාසයක කාලය තුළ රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ප්‍රමාණය රුපියල් මිලියන 203,536කින් ඉහළ ගොස් තිබිය යුතුයි. 

සැප්තැම්බර් 26 දින වන විට ශ්‍රී ලංකා රජය විසින් ලබා ගෙන තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ප්‍රමාණය රුපියල් මිලියන 17,154,456ක්. මේ වන විට මෙම ප්‍රමාණය රුපියල් මිලියන 17,356,992 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඔක්තෝබර් 23 දින නැවතත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන අතර එහිදී සහ ඉන් අනතුරුව තවත් රුපියල් මිලියන 137,500ක භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගැනීමට ඉඩ තිබෙනවා. ඔක්තෝබර් 25 දින රුපියල් මිලියන 107,017ක භාණ්ඩාගාර බිල්පත් ණය ආපසු ගෙවිය යුතුයි. ඒ අනුව, මේ සතියේ ඉහත ණය ප්‍රමාණයද  ලබාගතහොත් භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණය තවත් රුපියල් මිලියන 30,483කින් ඉහළ යා හැකියි. 

මේ අයුරින් ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණයට වඩා වැඩියෙන් අලුතෙන් ණය ලබා ගැනීමට අවශ්‍ය වන ප්‍රධානම හේතුව ආපසු ගෙවද්දී ණය මෙන්ම පොලියද ගෙවිය යුතු වීමයි. භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගනිද්දී පොලිය මුලින්ම ගෙවන බැවීන් රජයට ඇත්තටම ලැබෙන්නේ ණය ප්‍රමාණයෙන් පොලිය අඩු වූ විට කොටසයි. 

කෙසේ වුවද ඉහත ණය ප්‍රමාණ පසුගිය මාසය තුළ ආපසු ගෙවා ඇති භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය වල සහ පොලියේ එකතුවටද වඩා වැඩියි. පෙර සැලසුම් කළාට වඩා රජයේ වියදම් වැඩි වී තිබීමට හෝ ආදායම් අඩු වී තිබීමට විශේෂ හේතුවක් නොපෙනෙන බැවින් මෙම අමතර අරමුදල් ප්‍රමාණය සංචිතයක් සේ තබා ගන්නවා විය හැකියි. 

Tuesday, September 26, 2023

ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යයි!


ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන රුපියල් ණය වල, එනම් භාණ්ඩාගාර බැඳුම්කර වල, අවදානම් ශ්‍රේණිය CCC+ කාණ්ඩය දක්වා ඉහළ දමා තිබෙනවා. මෙම තීරණයට හේතු වී තිබෙන්නේ සාර්ථක ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා ණය තිරසාරත්වය ඇති වීමයි. 

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම වර්ගීකරණය "තෝරාගත් ණය පැහැර හරිනු ලැබූ (selective default)" යටතට දමනු ලැබූ අතර ඊට පෙරද වර්ගීකරණය වී තිබුණේ CC කාණ්ඩය යටතේයි. දැන් ලංකාව තබා තිබෙන්නේ ඊට කට්ට තුනක් උඩිනුයි. 

ශ්‍රී ලංකා රජයේ විදේශ ණය තවමත් තිබෙන්නේ "තෝරාගත් ණය පැහැර හරිනු ලැබූ (selective default)" වර්ගීකරණය තුළයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වන ආකාරය අනුව, එයින් පසුව ලංකාව CCC හෝ B- කාණ්ඩයක තැබීමට ඉඩ තිබෙන බවද ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආයතනය විසින් සඳහන් කර තිබෙනවා. 

බැඳුම්කර ගනුදෙනු


භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික හා ඵලදා අනුපාතය අතර වෙනස ගැන කිහිප වරක්ම පැහැදිලි කර ඇතත්, ගොඩක් අයට තවමත් හරි අවබෝධයක් නැති නිසා උදාහරණයක් අරගෙන පුලුවන් තරම් සරලව පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්නම්. මේ ලිපිය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන හෝ සේවක අර්ථ සාධක අරමුදල ගැන කතා කරන ලිපියක් නෙමෙයි.

මේ වන විට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග අතරින් වැඩිම කූපන් පොලියක් සහිත බැඳුම්කර නිකුත් කළේ පසුගිය වසර මුල. එම කූපන් පොලිය 22.5%ක්. මෙවැනි එක් කූපන් බැඳුම්කරයක් 2023 ජනවාරි 12 දින වෙන්දේසි කළා. එය කල් පිරෙන්නේ 2026 මැයි 15 දින. 

ප්‍රාථමික වෙන්දේසියෙන් මේ බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත අගයක් මිල දී ගත් අයෙකුට 2023 ජනවාරි 12 දින බැඳුම්කරය කල් පිරෙන තුරු රුපියල් 22.50ක වාර්ෂික පොලියක් ලැබෙනවා. නමුත්, බැඳුම්කරයක් කියන්නේ ස්ථිර තැන්පතුවක් වැනි දෙයක් නොවන නිසා මෙම කූපන් පොලිය 22.5% වාර්ෂික පොලියක් ලැබෙන ස්ථිර තැන්පතුවකට සමාන කරන්න බැහැ. 

රුපියල් 100ක ස්ථිර තැන්පතුවක් දමන කෙනෙක් ඒ වෙනුවෙන් රුපියල් 100ක මුදලක් වැය කළ යුතුයි. ස්ථිර තැන්පතු පොලිය 22.50%නම් වාර්ෂිකව රුපියල් 22.50ක් ලැබෙන්නේ ඒ විදිහට රුපියල් 100ක් යට කළාට පස්සේ. නමුත් බැඳුම්කර ආයෝජන ඊට වඩා වෙනස්. වෙන්දේසියෙන් බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත් අගයක් මිල දී ගැනීම සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ට සහ බැංකු වලට ලන්සු තියන්න පුළුවන්. මහ බැංකුව විසින් ලංසුව පිළිගත්තොත්, තමන් ලන්සු තැබූ මුදලට බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත වටිනාකමක් මිල දී ගන්න ඉඩ ලැබෙනවා. ඒ ගණන රුපියල් 100ට අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. 

ඉහත හේතුව නිසා, බැඳුම්කර ආයෝජනයක් කරද්දී එහි කූපන් පොලිය කියන්නේ නිකම්ම අංකයක් පමණයි. තමන්ට ලැබෙන ප්‍රතිලාභය තීරණය වෙන්නේ බැඳුම්කරය මිල දී ගැනීම සඳහා යට කළ මුදල අනුවයි. හරියටම රුපියල් 100ක් ගෙවලා බැඳුම්කරය ගත්තානම් පමණක් ලැබෙන ප්‍රතිලාභය කූපන් පොලියට සමානයි. නමුත් කලාතුරකින් හැර බැඳුම්කරයක මිල හරියටම කූපන් පොලියට සමාන වෙන්නේ නැහැ.

බැංකු, ප්‍රාථමික අලෙවිකරුවෝ හෝ වෙනත් අය වෙන්දේසියෙන් මිල දී ගන්න බැඳුම්කර කල් පිරෙන තුරු අතේ තියාගෙන ඉන්නේ නැහැ. අනෙක් පැත්තට වෙනත් අයට විකුණනවා. මේ විදිහට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කරයක් මිල දී ගනිද්දී වුනත් කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභය තීරණය වෙන්නේ එය මිල දී ගැනීම සඳහා යෙදවූ මුදල අනුවයි. කූපන් පොලිය කීයද කියන එක වැඩක්ම නැති දෙයක්. 

දැන් මේ 2023 ජනවාරි 12 දින වෙන්දේසි කළ, 2026 මැයි 15 දින කල් පිරෙන, 22.5% කූපන් පොලියක් සහිත, එකම බැඳුම්කරය ප්‍රාථමික වෙන්දේසියෙන් විවිධ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් විසින් මිල දී ගන්නේ වෙනස් මිල ගණන් වලට. ඒ අනුව, ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභයද වෙනස් වෙනවා. සාමාන්‍ය අගයක් ලෙස ගත්තොත් එදින බැඳුම්කරයක් විකිණී තියෙන්නේ රුපියල් 88.10ක් පමණ මිලකට. ඒ මිලට, මේ බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත අගයක් මිල දී ගත් අයෙකුට මාස හයකට වරක් ලැබෙන රුපියල් 11.25ක කූපන් පොලියට අමතරව කල් පිරීමේදී අමතර රුපියල් 11.90ක වාසියකුත් ලැබෙනවා. ඒ බැඳුම්කරය ගත් මිල සහ එහි මුහුණත අගය අතර වෙනස. මේ සියලු ලැබීම් සැලකූ විට එය යට කළ මුදල වෙනුවෙන් කල් පිරෙන තුරු 30.85%ක පොලියක් ලැබෙන එකට සමානයි. සාමාන්‍ය මිලට වඩා අඩු මිලකට වෙන්දේසියෙන් මෙම බැඳුම්කරය මිල දී ගත් කෙනෙකුගේ ප්‍රතිලාභය මීටත් වඩා වැඩියි. සාමාන්‍ය මිලට වඩා වැඩියෙන් ගෙවුවානම් ප්‍රතිලාභය අඩුයි. 

මාස හයකට පස්සේ මේ බැඳුම්කරයේ වටිනාකම රුපියල් 108.63ක් දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ, ඒ මිලට ද්වීතියික වෙළඳපොළේ විකිණිය හැකි පරිදි අර්පණ ඉදිරිපත් වෙනවා. ඒ අනුව, මාස හයකට කලින් වෙන්දේසියෙන් මේ බැඳුම්කරය රුපියල් 88.10කට මිල දී ගත් කෙනෙකුට එය රුපියල් 108.63කට විකුණා රුපියල් 20.53ක ප්‍රාග්ධන ලාබයක් ලබන්න පුළුවන්. ඊට අමතරව ඔය කාලය ඇතුළත කූපන් පොලී විදිහට තවත් රුපියල් 11.25ක් ලැබිලා. එකතුව රුපියල් 31.78ක්. 

දැන් මේ රුපියල් 31.78ක මුදල ලැබෙන්නේ රුපියල් 88.10ක ආයෝජනයක් වෙනුවෙන් මාස හයක කාලයකදී. ඒ කියන්නේ මාස හයකට 36.07%ක ප්‍රතිලාභයක්. මෙය 85.16%ක වාර්ෂික ප්‍රතිලාභයකට සමානයි!

වසරකට 85% ඉක්මවන ප්‍රතිලාභයකට සමාන මේ තරම් විශාල ප්‍රතිලාභයක් බැඳුම්කර ආයෝජකයින්ට ලබාගත හැකි වුනේ බැඳුම්කරයේ කූපන් පොලිය 22.5%ක් වූ නිසාද? කොහෙත්ම නැහැ. ආයෝජකයෙකුට ඔය මාස හය ඇතුළත මේ තරම් විශාල ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වුනේ පොලී අනුපාතික විශාල ලෙස පහළ ගිය නිසා.

අපි හිතමු ඔය 22.5% කූපන් පොලී බැඳුම්කරය වෙනුවට ඔය දවසේම ද්වීතියික වෙළඳපොළෙන් අඩු කූපන් පොලියක් සහිත බැඳුම්කරයක් මිල දී ගත්තා කියලා. 2027 කල් පිරෙන 7.8% කූපන් පොලී බැඳුම්කරයක් ඔය දවසේදී අලෙවි වුනේ රුපියල් 49.91කට. මාස හයක් යද්දී එය රුපියල් 76.36ක් වෙලා. එතකොට මාස හයට ප්‍රාග්ධන ලාබය රුපියල් 26.45ක්. කූපන් පොලිය රුපියල් 3.90ක්. එකතුව රුපියල් 30.35ක්. රුපියල් 49.91ක ආයෝජනයකට මාස හයකට රුපියල් 30.35ක් කියන්නේ 60.88%ක්. එය 158.60%ක වාර්ෂික ප්‍රතිලාභයකට සමානයි. 

මේ උදාහරණ වල තියෙන්නේ ඇත්තම ගණන්. ඒ කියන්නේ ඔය මාස හයක කාලය ඇතුළත බැඳුම්කර ආයෝජකයෙකුගේ ඇත්තම ලාබය. ලාබය තීරණය වී තියෙන්නේ කූපන් පොලිය මත නොවන බව ඔය ගණන් දෙක සංසන්දනය කළත් අනිවාර්යයෙන්ම පැහැදිලි විය යුතුයි. 7.8% කූපන් බැඳුම්කරයෙන් ලබා ගත හැකි වූ ප්‍රතිලාභය 22.5% කූපන් බැඳුම්කරයේ ප්‍රතිලාභය වගේ දෙගුණයකට ආසන්නයි.

ඒ වගේම, ඔය දෙකෙන් කොයි එක ගත්තත්, බැඳුම්කර මිල දී ගනිද්දී පෙනෙන්න තිබුණු ඵලදා අනුපාතික සහ මාස හයකට පසුව ඇත්තටම ලැබුණු ප්‍රතිලාභ අනුපාතික අතරත් සම්බන්ධයක් නැහැ. ජනවාරි මාසයේදී 22.5% කූපන් බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 31%ක් පමණ. 7.8% කූපන් බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 28%කට ආසන්නයි. ඇත්තටම ලැබුණු ප්‍රතිලාභය ඒ වගේ කිහිප ගුණයක්. 

නැවත 22.5% කූපන් බැඳුම්කරය වෙත ගියොත්, රුපියල් 88.10ක් වූ එහි මිල මාස හයකට පසුව රුපියල් 108.63ක් දක්වා ඉහළ යනවා කියන්නේ ඒ මිල ගෙවා එය මිල දී ගන්නා අයෙකුගේ ඵලදා අනුපාතිකයද මුල් අනුපාතයට වඩා ගොඩක් අඩු වෙනවා කියන එක. එය 31.25% සිට 16.78%ක් දක්වා පහත වැටෙනවා. 

බැඳුම්කරය අලුතෙන් මිල දී නොගත්, මුල සිටම තමන් සතු වූ අයෙකුගේ ඵලදා අනුපාතය වුවත් ඕකම තමයි. මොකද එහි මිල රුපියල් 108.63 දක්වා ඉහළ යාමේ ලාබය දැනටමත් අතේ තියෙන එකක්. ඉදිරි කාලයේදී ලැබෙන්න තියෙන්නේ ඔය 16.78%. මෙයින් පැහැදිලිව පෙනෙන පරිදි බැඳුම්කරයක් මිල දී ගනිද්දී පෙනෙන ඵලදා අනුපාතිකය බැඳුම්කරය කල් පිරෙන තුරුම දවසින් දවස වෙනස් වෙනවා. එය වෙන්නේ වෙළඳපොළ තත්ත්වයන් අනුව මිසක් ආරම්භයේදී පැවති ඵලදා අනුපාතය හෝ කූපන් පොලී අනුපාතය අනුව නෙමෙයි. 

සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම පාරිතෝෂික අරමුදල් විසින් කළ බැඳුම්කර හුවමාරුවේ ලාබ පාඩු සලකා බැලිය හැක්කේත් ඔය පදනමේ සිටයි. බැඳුම්කර වල කූපන් පොලිය හෝ ආරම්භක ඵලදා අනුපාතය ඒ තරම් අදාළ දෙයක් නෙමෙයි. බැලිය යුත්තේ හුවමාරුව සිදු වූ දින අදාළ බැඳුම්කර වල ඵලදා අනුපාතික කොපමණ වීද කියන එකයි. එහෙම නැත්නම් අලුතෙන් ලැබුණු බැඳුම්කර වල ඵලදා අනුපාතික සමඟ කරන සංසන්දනය නිවැරදි සංසන්දනයක් නෙමෙයි. ඒවායේ කූපන් පොලී අනුපාතික එක්ක ආරම්භක ඵලදා අනුපාතික සංසන්දනය කරන එකනම් කොහොමටවත්ම නිවැරදි නැහැ. 

ඉහත උදාහරණ දෙස බැලූ විට කෙනෙකුට පෙනෙනවා ඇති බැඳුම්කර ආයෝජන කරන අයට කොයි තරම් විශාල ලාබ ගන්න පුලුවන්ද කියන එක. නිකමට හිතන්නකෝ මාස හයකට 61%ක ප්‍රතිලාභයක් කියන්නේ කොයි තරම් විශාල ප්‍රතිලාභයක්ද කියලා. නමුත්, පාඩු වෙද්දී පාඩු වෙන්නෙත් ඔය විදිහටම තමයි. 

මෙතැනින් එහාට මෙය සරල ලෙස පැහැදිලි කිරීම සඳහා පමණක් මම තාක්ෂණික ලෙස සියයට සියයක් නිවැරදි නැති උදාහරණයක් ගන්නම්. අපි හිතමු යම් කෙනෙක් වසර 10කින් කල් පිරෙන බැඳුම්කරයක් මිල දී ගනිද්දී එහි ඵලදා අනුපාතිකය 15%ක් කියලා. දැන් මේ ඵලදා අනුපාතිකය 15% වෙද්දී එහි කූපන් පොලිය 25% හෝ 5% වැනි ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. එය අදාළ නැහැ. මොකද කූපන් පොලිය කීය වුනත් ඵලදා අනුපාතිකය වෙළඳපොළ ඵලදා අනුපාතිකයට සමාන වෙන විදිහට මිල සකස් වෙනවා. 

දැන් මේ බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 15%ක් කියන එකෙන් අදහස් වෙන්නේ ස්ථිර තැන්පතුවකට වගේ වාර්ෂිකව 15%ක පොලියක් ලැබෙනවා කියන එක නෙමෙයි. වාර්ෂිකව ලැබෙන ප්‍රතිලාභය එහි කූපන් පොලිය අනුව වෙනස් වෙනවා. නමුත් වසර 10ක කාලය අවසානයේදී ලැබෙන මුළු ප්‍රතිලාභය සාමාන්‍ය අගයක් විදිහට ගත්තහම 15%ක ස්ථිර තැන්පතුවකට සමානයි. 

ඔය විදිහේ වසර 10ක බැඳුම්කරයක් කල් පිරෙන තුරු එක් අයෙක් අතේම තියෙන්න අවශ්‍ය නැහැ. බැඳුම්කරය අතින් අත මාරු වෙනවා. එසේ මාරු වෙද්දී එහි ප්‍රතිලාභද පුද්ගලයින් හෝ ආයතන අතර බෙදී යනවා. ඒ සියල්ල එකතු කළ විට සාමාන්‍ය අගයක් ලෙස 15% වුනත් ඇතැම් අයට ඊට වඩා අඩුවෙනුත් තවත් අයට වැඩියෙනුත් ලැබෙනවා. ඒක වෙන්නේ වෙළඳපොළ පොලී අනුපාතික (ඵලදා අනුපාතික) අඩු වැඩි වෙන ආකාරය අනුව.

බැඳුම්කරය මිල දී ගනිද්දී වසර-10 කල් පිරීමක ඵලදා අනුපාතිකය 15%යි. වසරකට පසුව මේ බැඳුම්කරය සමාන වෙන්නේ වසර-9ක කල් පිරීමකට. අපි හිතමු ඒ වෙද්දී වසර-9 කල් පිරීමක ඵලදා අනුපාතය 14% දක්වා අඩු වෙලා කියලා. එහෙම වෙද්දී, මේ බැඳුම්කරයේ ඵලදා අනුපාතයද 14% වෙන විදිහට එහි මිල ඉහළ යනවා. ඒ කියන්නේ, එහි අනාගත ප්‍රතිලාභ වසරකට 1% බැගින් අඩු වෙනවා. මෙම අඩු වීම 9%ක්. (තාක්ෂණිකව මෙය මීට වඩා සංකීර්ණයි. ඒ නිසා මේ ගණන මීට වඩා වෙනස් වෙනවා. මෙහෙම කියන්නේ පැහැදිලි කිරීමේ පහසුවට). මෙසේ වෙද්දී බැඳුම්කරයේ අනාගත ප්‍රතිලාභ වලින් අඩු වෙන කොටස වන 9% එහි වෙළඳපොළ මිලට එකතු වී මිල 9%කින් ඉහළ යනවා. මේ අනුව, පළමු වසර අවසානයේදී බැඳුම්කරය විකුණන කෙනෙකුගේ ප්‍රතිලාභය 15% + 9% = 24%ක් දක්වා ඉහළ යනවා. කල් පිරීමේ කාලය දිගු වෙන තරමට සහ පොලී අනුපාතික අඩු වෙන තරමට මේ ලාබය ඉහළ යනවා. 

ඉහත උදාහරණයෙන් පැහැදිලිව පෙනෙන පරිදි දිගුකාලීන ආයෝජනයක් කරන කෙනෙක් එහි ප්‍රතිලාභ ලබා ගන්න කල් පිරෙන තුරු ඉන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම පොලී අනුපාතික අඩු වෙන කාල වකවානු වලදී, දිගුකාලීන කල් පිරීම් සහිත බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් කෙටිකාලයකින් විශාල ලාබයක් ලබා ගන්න පුළුවන්. පර්පෙචුවල් ට්‍රෙෂරීස් වැනි සමාගම් කෙටි කාලයකින් විශාල ලාබ ලැබුවේ මේ ක්‍රමයට. පැහැදිලි කිරීම සඳහා පමණක් කරන දළ ගණනයක් ලෙස, වෙළඳපොළ ඵලදා අනුපාතික 1%කින් පහළ යද්දී වසර 30ක බැඳුම්කරයක මිල 29%කින් පමණ ඉහළ යනවා. ඔය මිල ඉහළ යාම සතියක් වගේ කාලයක් ඇතුළත වුනත් වෙන්න පුළුවන්. 

හැබැයි මේ ඉහළ ප්‍රතිලාභ වගේම මෙහි ඉහළ අවදානමකුත් තියෙනවා. වෙළඳපොළ ඵලදා අනුපාතික 1%කින් ඉහළ ගියොත්, ඔය ක්‍රමයටම වසර 30ක බැඳුම්කරයක මිල 29%කින් පමණ පහළ යනවා. එවිට, 15% වාර්ෂික ප්‍රතිලාභයෙන් පසුවත් 14%ක් පාඩු වෙලා. ඒ නිසා, මෙය අවදානමක් නැති ලාබයක් නෙමෙයි. 

මේ විදිහට ඵලදා අනුපාතික ඉහළ ගොස් මිල අඩු වෙද්දී ඔය විදිහේ පාඩුවක් වෙන්නේ මිල අඩු වූ වෙලාවේ බැඳුම්කරය විකුණුවොත්නේ. එහෙම නොවිකුණා තියා ගන්න බැරිද?

බැරිකමක් නැහැ. නමුත් එහෙම තියාගත යුතුද නැත්නම් පාඩුවට විකිණිය යුතුද කියන එක තීරණය වෙන්නේ තමන් හිතන විදිහට ඉදිරියේදී පොලී අනුපාතික වලට කුමක් වෙයිද කියන එක මත. අපි හිතමු දැනට පාඩුව 14%ක් කියලා. ඉදිරි සතියේ පොලී අනුපාතික තවත් 1%කින් වැඩි විය හැකි බවයි පේන්න තියෙන්නේ. එහෙම වුනොත් මිල තවත් 29%කින් පහළ ගොස් පාඩුව 43%ක් වෙනවා. දැන්ම බැඳුම්කරය විකිණුවොත් 29%ක පාඩුවක් බේරගන්න පුළුවන්. ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවේදී වුනේ ඔය වගේ වැඩක්. වඩා වැඩි පාඩුවක් වලක්වා ගැනීම සඳහා මහ බැංකුව ග්‍රීක බැඳුම්කර පාඩුවට විකිණුවා. මේක ඕනෑම ආයෝජකයෙක් විසින් කරන දෙයක්. 

අනෙක් අතට ඵලදා අනුපාතික පහළ ගිහින් පළමු වසරේ ලාබය විශාල ලෙස ඉහළ ගිය පමණින්ම ආයෝජකයෙක් විසින් එම බැඳුම්කරය විකුණා ලාබය මුදල් කර ගන්නේ නැහැ. ඒක තීරණය කරන්නෙත් අනාගතයේ පොලී අනුපාතික වලට කුමක් වෙයිද කියන එක අනුව. ඵලදා අනුපාතික තවත් පහළ යා හැකි බව පෙනේනම් බැඳුම්කරය විකුණන්නේ නැතිව තියාගෙන ඉන්න එකෙන් දැනටම එකතු වී තිබෙන විශාල ලාබය තවත් වැඩි කරගන්න පුළුවන්. දැනට ලොකු ලාබයක් එකතු වී තිබුණත්, පාඩුවක් එකතු වී තිබුණත්, බැඳුම්කරය විකිණිය යුත්තේ ඒ මත පදනම්ව නෙමෙයි. ඉදිරියේදී ඵලදා අනුපාතික වලට වෙන්න ඉඩ තියෙන දේ අනුව. 

ඵලදා අනුපාතික අඩු වෙන බව පේනවානම් විකුණන එක පාඩුයි. තවත් මිල දී ගන්න එක ලාබයි. ඵලදා අනුපාතික වැඩි වෙන බව පේනවානම් විකුණන එක ලාබයි. මොකද දැන් අතේ තියෙන බැඳුම්කර පාඩුවට හෝ ලාබයට විකුණා මුදල් කර ගත්තොත් ඒ බැඳුම්කරම වුනත් වඩා අඩු මිලකට මිල දී ගන්න පුළුවන්. මේ කිසිම දේකට කූපන් පොලී අනුපාතික හෝ බැඳුම්කර මිල දී ගනිද්දී තිබුණු ඵලදා අනුපාතික අදාළ නැහැ. අදාළ වෙන්නේ ඵලදා අනුපාතික වල අපේක්ෂිත වෙනස. මේ වෙනස නිවැරදිව පුරෝකථනය කර ගන්න පුළුවන් අයට බැඳුම්කර ගනුදෙනු කිරීමෙන් විශාල ලාබ ලබන්න පුළුවන්. හැබැයි අවදානමක් ගන්න වෙනවා. 

මේ අවදානම ගන්න සූදානම් නැති කෙනෙකුට අතරමැද ගනුදෙනු නොකර කල් පිරෙන තුරු බලා සිට මුලින් අපේක්ෂා කළ ඵලදා අනුපාතය ලබා ගන්න පුළුවන්. හැබැයි එවැනි අයෙකුට කල් පිරෙන තුරු වරින් වර මිල ඉහළ පහළ යද්දී ඉවසිල්ලෙන් බලා ඉන්න වෙනවා. එහෙම දිගු කාලයක් බලා සිටිය හැක්කේ විශ්‍රාම වැටුප් අරමුදල් වැනි කිසිම සල්ලි හදිස්සියක් නැති ආයෝජකයෙකුට පමණයි.

Sunday, September 17, 2023

බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ කුමක්ද?


මෙය පාඨකයින් කිහිප දෙනෙකුගේම ඉල්ලීම් අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළ සිදු වූ දේ පිළිබඳව කරන සරල පැහැදිලි කිරීමක්. මෙම කරුණු මීට පෙර වරින් වර පැහැදිලි කර ඇතත්, අප හා පසුව එක් වූ බොහෝ දෙනෙකු සතුව තවමත් මේ හා අදාළ මූලික තාක්ෂණික දැනුම නැති නිසා, ඔවුන්ට මෙම ලිපිය උදවුවක් වේයැයි සිතනවා. 

බැඳුම්කරයක් කියන්නේ කුමක්ද?

බැඳුම්කරයක් කියන්නේ කිසියම් රජයක් හෝ සමාගමක් විසින් නිකුත් කරන ණය උපකරණයක්. මෙවැන්නක් වෙළඳපොළේ විකිණීම මගින් රජයක් හෝ සමාගමක් විසින් තමන්ගේ අරමුදල් හිඟ පියවා ගන්නවා. ඕනෑම බැඳුම්කරයක "මුහුණත අගයක්" සහ "කල් පිරෙන දිනයක් තිබෙනවා".

මුහුණත අගය - කල් පිරෙන දිනයේදී බැඳුම්කරයේ අයිතිකරුට ලැබෙන මුදලක් 

කල් පිරෙන දිනය - බැඳුම්කරකරයේ අයිතිකරුට එහි මුහුණත අගයට සමාන මුදලක් ආපසු ලැබෙන අනාගත දිනයක්.

කූපන් බැඳුම්කරයක් කියන්නේ කුමක්ද?

කූපන් රහිත බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට අනාගතයේදී ලැබෙන්නේ එහි මුහුණත වටිනාකම පමණයි. එහෙත්, කූපන් බැඳුම්කර සඳහා කල් පිරෙන දිනය දක්වා කිසියම් "කූපන් පොලියක්" ලැබෙනවා. මෙම කූපන් පොලිය බැඳුම්කරයක මුහුණත වටිනාකමේ ප්‍රතිශතයක්. සාමාන්‍යයෙන් වසරකට දෙවරක් කූපන් පොලී ගෙවනවා. මෑතකදී සිදු වූ බැඳුම්කර හුවමාරුවට පෙර ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර තිබුණු ස්වෛරිත්ව බැඳුම්කර හා භාණ්ඩාගාර බැඳුම්කර සියල්ලද, සංවර්ධන බැඳුම්කර වලින් වැඩි ප්‍රමාණයක්ද නිකුත් කර තිබුණේ ස්ථාවර හා කාලයත් සමඟ වෙනස් නොවන කූපන් පොලියක් යටතේයි. 

උදාහරණයක් ලෙස, 2015 මාර්තු 1 දින රුපියල් මිලියන 10,058ක මුහුණත වටිනාකමැති භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනු ලැබුවා. මෙම බැඳුම්කර කල් පිරෙන්නේ වසර 30කට පසුව 2045 මාර්තු 1 දිනයි. එම කාලය අතරතුර බැඳුම්කරහිමියන්ට 12.5%ක වාර්ෂික කූපන් පොලියක් ලැබෙනවා. රුපියල් සියයක මුහුණත් අගයක් සඳහා වරකට රුපියල් 6.25 බැගින් වසරකට දෙවරක් මෙම කූපන් පොලී ආදායම ඔවුන්ට ලැබෙනවා. බැඳුම්කරයක් නිකුත් කිරීමෙන් පසුව එහි මුහුණත අගය, කල් පිරෙන දිනය හෝ කූපන් පොලිය ගෙවන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. 

ඇතැම් බැඳුම්කර සඳහා ලබා දෙන කූපන් පොලිය කල් පිරෙන කාලය තුළ වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස හුවමාරු පදනම මත පසුගිය සතියේදී නිකුත් කළ 2027 මාර්තු 15 දින කල් පිරෙන බැඳුම්කර සඳහා වසර තුනක් යන තුරු 12%ක කූපන් පොලියක්ද අවසන් වසරේදී 9%ක කූපන් පොලියක්ද හිමිවෙනවා. මෙය ස්ථාවර, එහෙත් කාලයත් සමඟ වෙනස් (අඩු) වන කූපන් පොලී ක්‍රමයක්. 

ඇතැම් විට විචල්‍ය කූපන් පොලී යටතේද බැඳුම්කර නිකුත් කරනවා. ඇතැම් සංවර්ධන බැඳුම්කර නිකුත් කර තිබුණේ මෙම ක්‍රමයටයි. සංවර්ධන බැඳුම්කර සමඟ හුවමාරුවට මෑතකදී නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළේද විචල්‍ය කූපන් පොලියක් යටතේයි. එම බැඳුම්කර වෙනුවෙන් ලැබෙන කූපන් පොලිය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් වන ආකාරය අනුව වෙනස් වෙනවා. 

භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගත හැක්කේ කෙසේද?

වාණිජ බැංකු වලට, ප්‍රාථමික අලෙවිකරුවන්ට හා සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන වලට භාණ්ඩාගාර බැඳුම්කර මුලින්ම වෙළඳපොළට නිකුත් කරන විට තරඟකාරී මිලකට වෙන්දේසියෙන් ඒවා මිල දී ගත හැකියි. මෙය භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා. වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවශ්‍යනම් බැංකුවක් හෝ ප්‍රාථමික අලෙවිකරුවෙකු හරහා ප්‍රාථමික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගත හැකියි. ඉදිරියේදී වෙනස් වීමට නියමිතව ඇතත්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මේ අයුරින් භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපොළට නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ඇති රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි.

අයුරින් කවුරු හෝ විසින් මිල දී ගන්නා භාණ්ඩාගාර බැඳුම්කරයක් අවශ්‍යනම් කල් පිරෙන තුරු තියා ගන්න පුළුවන්. එසේ නැත්නම්, කල් පිරෙන්නට පෙර වෙනත් අයෙකුට විකුණන්න පුළුවන්. බැඳුම්කරයක් කල් පිරෙද්දී එහි මුහුණත අගය ලැබෙන්නේ අවසන් අයිතිකරුටයි. මෙසේ කලින් මිල දී ගත් බැඳුම්කර ගනුදෙනු වන වෙළඳපොළ භාණ්ඩාගාර බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා. මෙය වාහන වල "සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක" වැනි ඉතා සක්‍රිය වෙළඳපොළක්. කෙසේ වුවද, මෙවැනි ද්වීතියික වෙළඳපොළ ගනුදෙනු සිදුවන්නේද බැංකු හෝ ප්‍රාථමික අලෙවිකරුවන් හරහායි. එම ගනුදෙනු සියල්ල එසැණින් මහ බැංකුවේ සටහන් වන නිසා අයිතිය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයන් ඇති වන්නේ නැහැ. කූපන් පොලී ගෙවන කිසියම් දිනයක බැඳුම්කරයක නීත්‍යනුකූල අයිතිකරුට එහි කූපන් පොලී ආදායම ලැබෙනවා. 

භාණ්ඩාගාර බැඳුම්කරයක ප්‍රතිලාභය එහි කූපන් පොලියද?

ස්ථිර තැන්පතු ගිණුමක ප්‍රතිලාභය එහි පොලී අනුපාතයට සමානයි. එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කරයක අයිතිකරුට ලැබෙන ප්‍රතිලාභය එහි කූපන් පොලියට සමාන නැහැ. ප්‍රතිලාභය තීරණය වන්නේ යම් කිසි පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගැනීම සඳහා ගෙවූ මුදල මතයි. 12%ක වාර්ෂික කූපන් පොලියක් ගෙවන බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත් අගයක් රුපියල් 100 බැගින්ම මිල දී ගත් අයෙකුට හරියටම 12%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙත්, බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත අගයක වෙළඳපොළ මිල හරියටම රුපියල් 100ක් වීම ඉතා කලාතුරකින් පමණක් සිදු වන දෙයක්.

බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත අගයක් රුපියල් 80කට (අවමිලට) මිල දී ගත් අයෙකුට මෙන්ම එයම රුපියල් 120කට (අධිමිලට) මිල දී ගත් අයෙකුටද කූපන් පොලී ලෙස වසරකට ලැබෙන්නේ රුපියල් 12ක එක සමාන මුදලක්. පළමුවැන්නාට මෙහි 15%ක ප්‍රතිලාභයක් ඇති නමුත් දෙවැන්නාගේ ප්‍රතිලාභය 10%ක් පමණයි. 

භාණ්ඩාගාර බැඳුම්කරයක ප්‍රතිලාභ ලබා ගැනීමට එය කල් පිරෙන තුරු සිටිය යුතුද?

ඉහත පැහැදිලි කළ පරිදි කූපන් සහිත භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගත් දින සිටම මාස හයකට වරක් කූපන් පොලී ආදායම් ලැබෙනවා. එහෙත්, එහි මුහුණත අගය ලැබෙන්නේ කල් පිරුණු විටයි. බැඳුම්කරය මිල දී ගෙන තිබෙන්නේ අධිමිලටනම් එහිදී ආපසු ලැබෙන්නේ යට කළ මුදලට වඩා අඩු මුදලක්. අවමිලට මිල දී ගත් අයෙකුට එහිදී වැඩි මුදලක් ආපසු ලැබෙනවා. කෙසේ වුවත්, බැඳුම්කර හිමිකරුවෙකුට බැඳුම්කරයක් කල් පිරෙන්නට පෙර ඕනෑම වෙලාවක එය ද්වීතියික වෙළඳපොළේ විකුණා මුදල් කළ හැකියි. එහිදී සිදුවන ලාබය හෝ අලාබය තීරණය වන්නේ ඒ මොහොතේ වෙළඳපොළ මිල සහ තමන් මිල දී ගත් මිල මතයි. මෙය අලුත් හෝ පරණ වාහනයක් මිල දී ගෙන නැවත විකිණීමට සමාන දෙයක්. 

භාණ්ඩාගාර බැඳුම්කර වල වෙළඳපොළ මිල වෙනස් වෙන්නේ කොහොමද?

සාමාන්‍ය මූලධර්මයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන විට භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාතික අඩු වන විට බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ඉහළ යනවා. මෙය තේරුම් ගන්න අපහසු නැහැ. භාණ්ඩාගාර බැඳුම්කරයක් සඳහා ලැබෙන කූපන් පොලිය 12%ක් කියා අපි හිතමු. වෙළඳපොළ පොලී අනුපාතික 10% දක්වා අඩු වුනොත්, ඊට වඩා වැඩි කූපන් පොලියක් ගෙවන 12% බැඳුම්කර සඳහා ඉල්ලුම වැඩි වෙනවා. ඒ අනුව, එහි මිල ඉහළ යනවා. වෙළඳපොළ පොලී අනුපාතික 15% දක්වා වැඩි වුනොත්, 12% කූපන් බැඳුම්කර වලට තිබෙන ඉල්ලුම අඩු වී මිල පහළ යනවා. 

බැඳුම්කරයක කූපන් පොලිය කීයක් වුනත් ඉහත සංසිද්ධියේ වෙනසක් නැහැ. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන විට භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාතික අඩු වන විට බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ඉහළ යනවා. කෙටි කාලයක් තුළ විශාල ලෙස පොලී අනුපාතික ඉහළ ගිය නිසා 2022 වසර අවසන් වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් මිල දී ගෙන තිබුණු මුළු භාණ්ඩාගාර බැඳුම්කර තොගයේ වටිනාකම 40%කින් අඩු වී තිබුණා. බැංකු ඇතුළු අනෙකුත් ආයතන සතු වූ බැඳුම්කර වල මිලද මේ අයුරින්ම පහත වැටී තිබුණා. එය වාහන මිල අඩු වෙද්දී කොයි වාහනයේ මිලත් අඩු වෙනවා වගේ වැඩක්. කෙසේ වුවත්, උද්ධමනය අඩු වෙද්දී සහ දේශීය ණය ප්‍රසස්ථකරණ යෝජනා ප්‍රකාශයට පත් වෙද්දී ද්වීතියික වෙළඳපොළෙහි බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ ගියා. 

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රසස්ථකරණයේදී සිදු වුනේ කුමක්ද?

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රසස්ථකරණයේදී දැනට නිකුත් කර තිබෙන කිසිදු භාණ්ඩාගාර බැඳුම්කරයක මුහුණත අගය කප්පාදු කරනු ලැබුවේ නැහැ. එමෙන්ම, දැනට නිකුත් කර තිබෙන කිසිදු භාණ්ඩාගාර බැඳුම්කරයක කූපන් පොලී කප්පාදු කරනු ලැබුවේද නැහැ. කවුරු හෝ එසේ කියනවානම් එය දැන හෝ නොදැන ප්‍රචාරය කරන වැරදි තොරතුරක්. මෙහිදී ඇත්තටම සිදු වුනේ දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර ස්වේච්ඡාවෙන් අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමක්. මේ වන විට මෙම හුවමාරුව අවසන් වී තිබෙනවා. 

මෙම හුවමාරුව සිදු කිරීම නිසා එසේ කළ අයට පාඩුවක් වී තිබේද?

හුවමාරු කර ගැනීමේදී රජයට ආපසු භාර දුන් සියලුම බැඳුම්කර වල මේ මොහොතේ (පසුගිය සිකුරාදා දින) වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,002.7ක්. නිකුත් කර තිබූ බැඳුම්කර සියල්ලම රජය විසින් ආපසු ලබාගත්තේනම් අපට හුවමාරුවෙන් පසුව එම බැඳුම්කර වල වටිනාකම හරියටම දැනගන්න ලැබෙන්නේ නැහැ. කළ හැක්කේ උපකල්පන කිරීම පමණයි. සංවර්ධන බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ එවැන්නක්. නමුත්, මෙහිදී හුවමාරු කර ගැනුණේ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 37%ක් පමණක් නිසා එසේ හුවමාරු කර ගැනුණු බැඳුම්කර සියල්ලෙන්ම යම් ප්‍රමාණයක් (සමස්තයක් ලෙස බැඳුම්කර වලින් 63%ක්) තවමත් වෙළඳපොළේ තිබෙනවා. ඒ නිසා, අපට පහසුවෙන්ම මේ අයුරින් රජය විසින් ආපසු ලබාගත් බැඳුම්කර වල වටිනාකම හරියටම දැනගන්න පුළුවන්. එම වටිනාකම (හුවමාරුව සිදුවීමෙන් පසුව) රුපියල් බිලියන 3,002.7ක්. ඒ වෙනුවට, අලුතෙන් ලැබුණු බැඳුම්කර වල මේ මොහොතේ (පසුගිය සිකුරාදා දින) වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,007.1ක්. ඒ අනුව, මෙම හුවමාරුවෙන් එම හුවමාරුවට එකඟ වූ පාර්ශ්ව වලට කිසිදු පාඩුවක් වී නැති බව ඉතාම පැහැදිලියි.

සරල උදාහරණයක් ගත්තොත් රජය විසින් කළේ වෙළඳපොළේ තිබුණු තැඹිලි අරගෙන ඒ වෙනුවට කුරුම්බා දෙනවා වගේ වැඩක්. රජය විසින් වෙළඳපොළේ තිබුණු තැඹිලි සියල්ලම එකතු කරගත්තානම් එම තැඹිලි වල දැන් මිල කීයක් විය හැකිව තිබුණාද යන්න ගැන උපකල්පන කරමින් විවිධ අයට පාඩුව ගණන් හැදිය හැකිව තිබුණා. විගණකාධිපති විසින් 2015 බැඳුම්කර නිකුතුවේ පාඩුව ගණන් හැදුවේ මේ විදිහට. මේ වගේ අවස්ථාවක කවුරු හෝ විසින් කරන උපකල්පන වැරදි බව ඉතා පැහැදිලි වුනත් එය ඔප්පු කරන්න අමාරුයි. නමුත් බැඳුම්කර හුවමාරුවේදී රජය විසින් වෙළඳපොළේ තිබුණු තැඹිලි සියල්ලම එකතු කර නොගත් නිසා දැන් අපට තැඹිලි මිල මෙන්ම කුරුම්බා මිලද පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව, ලාබ පාඩු බලා ගත හැකියි. ඒ සඳහා, තැඹිලි මිල කීයක් විය හැකිව තිබුනාද කියා උපකල්පනය කරන්න අවශ්‍ය නැහැ. 

හුවමාරුවෙන් පාඩුවක් වුනේ නැත්නම් බැංකු හා අනෙකුත් ආයතන තමන්ගේ බැඳුම්කර හුවමාරු කරගන්න ඉල්ලුම් නොකළේ ඇයි?

බැඳුම්කර ලෙස පොදුවේ කතා කළත් සියලුම බැඳුම්කර සමාන නැහැ. ලිපියේ මුලින්ම විස්තර කළ පරිදි, බැඳුම්කර ඒවායේ කල් පිරීමේ කාලය අනුව එකිනෙකට වෙනස් වෙනවා. වෙළඳපොළේ වූ බැඳුම්කර 2023 සිට 2045 දක්වා කල් පිරෙන ඒවා. 

ඕනෑම විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් විසින් බැඳුම්කර මිල දී ගන්නේ දිගුකාලීන ආයෝජනයක් ලෙසයි. ඒ නිසා, ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ හැකි තරම් දිගු කාලයකට ආයෝජනය කරන්නයි. එයින් වෙනස්ව, බැංකු විසින් කරන්නේ හදිසියකට මුදල් කිරීම සඳහා වසර කිහිපයකට බැඳුම්කර වල ආයෝජනය කරන එකයි. හුවමාරුවේදී අලුතෙන් නිකුත් කෙරුණු බැඳුම්කර වර්ග 12 කල් පිරෙන්නේ 2027 සිට 2038 දක්වා කාලය තුළයි. එම කාලය රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව ආදායම් වැඩි කරගෙන ණය ආපසු ගෙවිය හැකි කාලයයි. 

තමන්ගේ අරමුදල් ආපසු ලබා ගැනීම සඳහා වසර 3 සිට වසර 15 දක්වා කාලයක් (සාමාන්‍ය වශයෙන් වසර 9ක කාලයක්) බලා සිටීම විශ්‍රාම පාරිතෝෂික අරමුදලකට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, බැංකු වලට හා අනෙකුත් ව්‍යාපාරික ආයතන වලට කොයි තරම් ඉහළ ප්‍රතිලාභයක් ලැබුනත් තමන්ගේ මුදල් එවැනි දීර්ඝ කාලයකට හිර කිරීමේ හැකියාවක් නැහැ. ඊට අමතරව, මෙම හුවමාරුවෙන් පාඩුවක් වේද නොවේද යන්න පිළිබඳව හුවමාරුවට පෙර හරියටම දැනගත හැකි ක්‍රමයක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ යමෙක් අවදානමක් ගන්නේ කලාතුරකින්. දැන් තත්ත්වය අනුව බැලුවත්, පාඩුවක් සිදු වී නැතත් ගිණිය හැකි තරමේ ලාබයක්ද සිදු වී නැහැ.

ගහේ තැඹිලි වල්ල මෝරන තුරු සිට තැඹිලි-පොල් පොල් විදිහට ප්‍රයෝජනයට ගන්න ඉන්න කෙනෙක් අකැමැත්තක් නැතුවම තමන්ගේ තැඹිලි වල්ල පොල් වෙනුවට හුවමාරු කර ගන්නවා. නමුත්, තැඹිලි වල්ල මෝරන්න කලින් බාගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට තැඹිලි වෙනුවට මෝරපු පොල් වැඩක් නැහැ. 

පාඩුවක් නැතිව හුවමාරුව කළ හැකි වීනම් රජය විසින් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් මත 30% බද්දක් පැනවූයේ ඇයි?

මෙය ඔවුන්ව පොළඹවා ගැනීම සඳහා කළ දෙයක් බව ඉතාම පැහැදිලියි. මෙම බද්ද පැනවුයේ නැතත් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් විසින් යම් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කරනවා. බද්ද පැනවීමෙන් පසුවද බදු සහනය ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම හුවමාරු කළ යුතු නැති බැඳුම්කර වර්ග ගණනාවක්ද හුවමාරු කර ගැනීම සඳහා විශ්‍රාම වැටුප් අරමුදල් හා වෙනත් අය විසින් අයැදුම් කර තිබීමෙන් එය පැහැදිලි වෙනවා. එසේ වුනානම් ඔවුන් කරන්නේ වැඩි වෙළදපොළ මිලක් තිබෙන බැඳුම්කර ඉතිරි කරගෙන අඩු මිලක් ඇති ඒවා පමණක් හුවමාරු කර ගැනීම සඳහා අයැදුම් කරන එකයි. එය ලොකු තැඹිලි තියාගෙන පොඩි තැඹිලි පමණක් කුරුම්බා සමඟ හුවමාරු කරගන්නවා වගේ වැඩක්. එවැන්නක් වුනානම්, එයින් රජයට විශාල පාඩුවක් වෙනවා. 30% බද්ද පැනවීම මගින් රජය කළේ අයැදුම් කිරීමට පෙර එසේ "බැඳුම්කර තේරීම" පාලනය කරන එකයි. 

අනාගතයේ පොලී අනුපාතික ඉහළ ගියොත් මේ හුවමාරුව කළ අයට පාඩුවක් වෙන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා. නමුත්, එය දිගුකාලීන ආයෝජන කිරීමේදී ගන්න වෙන සාමාන්‍ය අවදානමක් මිසක් බැඳුම්කර හුවමාරුව නිසා සිදු වන පාඩුවක් නෙමෙයි. දැනට පවතින වෙළඳපොළ මිල කියන්නේ අනාගතයේ සිදු විය හැකි ලාබ පාඩු සියල්ල පිළිබඳ මේ මොහොතේ තිබෙන නිවැරදිම පිළිබිඹුවයි. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගියහොත් හුවමාරුවට ලැබුණු බැඳුම්කර වල මිල පහත වැටිය හැකියි. වෙළඳපොළ පොලී අනුපාතික පහළ ගියහොත් එම මිල ඉහළ යා හැකියි. පොලී අනුපාතික ඉහළ යා හැකි බව පෙනේනම් මේ අවස්ථාවේදී මෙම බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණා මුදල් කිරීම මගින් අනාගතයේ සිදු විය හැකි පාඩුව වලක්වා ගත හැකියි. නමුත් යම් හෙයකින් පොලී අනුපාතික අඩු වුවහොත් ලැබෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයයි. 

විශ්‍රාම පාරිතෝෂික අරමුදල් වලට පාඩුවක් වී නැත්නම් රජයේ ණය අඩු වුනේ කොහොමද?

බැඳුම්කර හුවමාරුව නිසා රජයේ ණය අඩු වෙන්නේ නැහැ. එය වැරදි අවබෝධයක් හෝ බොරු කතාවක්. සිදු වෙන්නේ ණය බර අඩුවීමක් මිසක් ණය අඩු වීමක් නෙමෙයි. ඔබේ වැටුප රුපියල් 25,000ක්නම්, නිවාස ණය වාරිකය රුපියල් 10,000ක් නම්, බැංකුව සමඟ කතා කර එම ණය වාරිකය රුපියල් 8,000ක් කර ගත් විට ඔබේ ණය බර අඩු වෙනවා. නමුත්, එයින් ඔබේ ණය අඩු වෙන්නේ නැහැ. ඔබට එම වාරිකය වැඩි කාලයක් ගෙවන්න සිදු වෙනවා. ඒ නිසාම, බැංකුවට පාඩුවක් වෙන්නෙත් නැහැ. 

මේ වැඩේට සේවක අර්ථසාධක අරමුදල පමණක් ගාව ගත්තේ ඇයි?

අසත්‍ය ප්‍රකාශයක්. හුවමාරු කෙරුණු රුපියල් බිලියන 3,264.5ක බැඳුම්කර ප්‍රමාණයෙන් සේවක අර්ථසාධක අරමුදලේ කොටස රුපියල් බිලියන 2,667.5ක් පමණයි.

මීට අමතරව ඉදිරියේදී වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් කපනවද?

පට්ටපල් බොරුවක්. දැන් භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුව සිදු කර අවසානයි. මීට අමතරව, අනාගතයේදී අරමුදලින් එක සතයක්වත් කැපීමේ සැලසුමක් නැහැ. 

ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල් ටිකෙන් ටික අඩු වී යනවාද?

කිසිසේත්ම නැහැ. සේවක අර්ථසාධක අරමුදල අඩු වශයෙන් තව වසර 20-30ක්වත් යන තුරු වසරින් වසර වර්ධනය වෙනවා. අලුතෙන් ලැබෙන දායක මුදල් එයට එක හේතුවක් වුනත්, එම දායක මුදල් කොටස ඉවත් කළත් අරමුදල වර්ධනය වෙනවා. හුවාමාරු කළ බැඳුම්කර කොටස පමණක් සැලකුවත්, 2023, 2024, 2025 හා 2026 පළමු අර්ධය තුළ 12%ක කූපන් පොලියක් අරමුදලට ලැබෙනවා. එයින් පසුව 9%ක් ලැබෙනවා. මේ අනුව, අරමුදල දිගින් දිගටම ක්‍රමයෙන් වර්ධනය වෙනවා.

සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ වලට කුමක් වෙයිද?

සේවක අර්ථසාධක අරමුදලේ සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ තීරණය වන්නේ අරමුදලේ ආයෝජන වලට ලැබෙන ප්‍රතිලාභ අනුවයි. 2026 දක්වා හුවමාරු කළ බැඳුම්කර වෙනුවෙන් 12%ක කූපන් පොලියක් ලැබෙනවා. මුලින් පැහැදිලි කළ පරිදි මෙම කූපන් පොලිය ගණනය කරන්නේ බැඳුම්කර වල මුහුණත අගය මතයි. හරියටම ගණන් දන්නේ නැතත්, සේවක අර්ථසාධක අරමුදල විසින් බැඳුම්කර බොහොමයක් මිල දී ගෙන තිබෙන්නේ අවමිලට නිසා අරමුදලට ලැබෙන සැබෑ ප්‍රතිලාභය 12%ට වඩා වැඩියි. 2026න් පසු කාලය සැලකුවද 9%ට වඩා වැඩියි. එහෙත්, සාමාජිකයින්ට ප්‍රතිලාභ ගෙවන්නට පෙර රජයට 14%ක් බද්දක් ගෙවිය යුතුයි. මෙම කරුණු සැලකිල්ලට ගත් විට 2027 වසර පමණ දක්වා සාමාජික ශේෂ මත 9%ක ප්‍රතිලාභ ලබා දීමේ ඉඩක් තිබෙන නමුත් ඉන් පසුව එම අනුපාතය තරමක් අඩු විය හැකියි. මෙය තීරණය වන්නේ රටේ පවතින උද්ධමනය හා පොලී අනුපාතික මතයි. උද්ධමනය අඩු වෙද්දී පොලී අනුපාතික අඩු වෙනවා. පොලී අනුපාතික විශාල ලෙස අඩු වුවහොත් අලුතෙන් එකතු වන දායක මුදල් සහ ආයෝජන ආදායම් නැවත ආයෝජනය කරන්න වෙන්නේ අඩු පොලියකටයි. ඒ අනුව, සාමාජික ප්‍රතිලාභද අඩු විය හැකියි. උද්ධමනය හා පොලී අනුපාතික ඉහළ මට්ටමක තිබුණොත් ලැබෙන ප්‍රතිලාභයද ඉහළ යයි. එහෙත්, එය අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන සැබෑ වාසියක් නෙමෙයි. සැබෑ වාසිය වන්නේ උද්ධමනයට වඩා වැඩියෙන් ලැබෙන ප්‍රමාණයයි. උද්ධමනය 5% ලෙස තිබියදී 8%ක ප්‍රතිලාභයක් ලැබිය හැකිනම් එය උද්ධමනය 13% මට්ටමේ තිබියදී 15%ක ප්‍රතිලාභයක් ලැබෙනවාට වඩා වාසිදායකයි. 

Friday, September 15, 2023

"පාඩුව" හරියටම මෙන්න!


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර යටතේ මේ වන විට නිකුත් කර ඇති සහ වෙළඳපොළ තුළ හුවමාරු වන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 61ක් අලුත් බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබූ අතර ඒ සඳහා ලැබුණු අයැදුම්පත් අනුව එම බැඳුම්කර වර්ග 61න් වර්ග 49කින් යම් කොටසක් බැගින් අලුත් බැඳුම්කර වර්ග 12 සමඟ හුවමාරු කෙරුණා. මෙම අලුත් බැඳුම්කර වර්ග 12 මෙන්ම ඒ වෙනුවෙන් හුවමාරු කෙරුණු බැඳුම්කර වර්ග 49හි හුවමාරු නොකළ කොටසද මේ වන විට ද්වීතියික වෙළඳපොළෙහි සක්‍රිය ලෙස අලෙවි වනවා.

කිසියම් භාණ්ඩයක "නියම" මිල සේ සැලකිය හැක්කේ එම භාණ්ඩය වෙළඳපොළ තුළ විකිණිය හැකි මිලයි. මෙම නියමය භාණ්ඩාගාර බැඳුම්කර වලටද වලංගුයි. එම පදනම මත, හුවමාරු කිරීමේදී රජයට ආපසු ලබාදුන් බැඳුම්කර වල නියම වටිනාකම මෙන්ම ඒ වෙනුවෙන් ආපසු ලැබුණු බැඳුම්කර වල නියම වටිනාකමද දැන් අපට පහසුවෙන්ම ගණනය කළ හැකියි. මෙම මිල ගණන් අතර වෙනස හුවමාරුව නිසා සිදු වූ ලාබය හෝ පාඩුවයි.

අලුත් බැඳුම්කර නිකුත් කරනු ලැබ වෙළඳපොළ තුළ ඒවා හුවමාරු වන තුරු මෙම හුවමාරුවේ ලාබ හෝ පාඩු පිළිබඳව කිසිවකුට නිවැරදිව කිව හැකි වූයේ නැහැ. වෙළඳපොළ මිල කියන්නේ නිරීක්ෂණය කළ යුතු දෙයක් මිස කලින් හරියටම පුරෝකථනය කළ හැකි දෙයක් නෙමෙයි. 

මෙම හුවමාරුව සිදු වීමට පෙර මහ බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබුණේ එයින් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් වලට 4.8%ක අපේක්ෂිත පාඩුවක් සිදු විය හැකි බවයි. වෙනත් අය මෙය 47% දක්වා වන අපේක්ෂිත පාඩුවක් ලෙස ගණන් බලා තිබුණා. අපගේ පෞද්ගලික අදහස වූයේද මහ බැංකුවේ ඇස්තමේන්තුව ඉක්මවන  7%-15% පරාසයේ අපේක්ෂිත පාඩුවක් සිදු විය හැකි බවයි. 

කෙසේ වුවද, අලුත් බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ තුළ හුවමාරු වීමෙන් පසුව පෙනී යන පරිදි මෙම හුවමාරුවෙන් ඒ සඳහා අයැදුම් කළ පාර්ශ්ව වලට කිසිදු අලාබයක් සිදු වී නැහැ. සමස්තයක් ලෙස මෙම හුවමාරුව නිසා එයට සහභාගී වූ අයගේ වත්කම් සුළු වශයෙන් (රුපියල් බිලියන 4.9කින් හෙවත් 0.16%කින්) ඉහළ ගොස් තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදල හා අදාළව වෙනම ගණන් බැලීමක් කිරීම සඳහා ප්‍රමාණවත් තොරතුරු නැතත්, එම අරමුදලේ ලාබ පාඩු පිළිබඳ තත්ත්වයද මීට වඩා ලොකුවට වෙනස් වීමේ ඉඩක් නැහැ. 

හුවමාරු කළ බැඳුම්කර එසේ හුවමාරු නොකළේනම්, ඒවා අතරින් වැඩි කූපන් පොලියක් සහිත බැඳුම්කර මේ වන විට රුපියල් 123.45 දක්වා වන මිලකට විකිණිය හැකිව තිබුණත්, අඩු කූපන් පොලී සහිත බැඳුම්කර රුපියල් 74.18 දක්වා වන අඩු පොලියකට විකුණන්නට සිදු වෙනවා. සමස්තයක් ලෙස මෙසේ හුවමාරු කළ බැඳුම්කර සියල්ලම "තොගයක් ලෙස" විකිණුවේනම් විකුණන්නට වෙන්නේ රුපියල් 93.69ක මිලකටයි. මේ වෙනුවෙන් ලැබුණු අලුත් බැඳුම්කර "තොගයක් ලෙස" රුපියල් 93.84කට විකිණිය හැකියි. වෙනත් විදිහකින් කියනවානම්, හුවමාරුවට සහභාගී වූ අයෙකුට අවශ්‍යනම් හුවමාරුවේදී අලුතින් ලැබුණු බැඳුම්කර වෙළඳපොළෙහි විකුණා කලින් තමන් සතු වූ බැඳුම්කර වර්ග වලින් එම ප්‍රමාණ මිල දී ගන්න පුළුවන්. 

මේ සමඟම, බැංකු කඩා වැටීමේ කතාව වගේම, මේ හා අදාළව ප්‍රචාරය වූ ප්‍රවාද, දුස්තොරතුරු මෙන්ම අපගේ පූර්ව ඇස්තමේන්තුද ඇතුළු ඇස්තමේන්තු සියල්ල තේරුමක් නැති දේවල් බවට පත් වෙනවා. කතාව සංකීර්ණ වැඩිනම්, සරලව, මෙම හුවමාරුව නිසා සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වල කිසිම දැනෙන වෙනසක් සිදු වී නැහැ. ඒ කතාවත් මෙතැනින් සමාප්තයි!

Thursday, September 14, 2023

සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව?


මහ බැංකුව විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර දැනුම් දී ඇති පරිදි සේවක අර්ථසාධක අරමුදල සතු වූ රුපියල් බිලියන 3,220ක භාණ්ඩාගාර බැඳුම්කර වලින් රුපියල් බිලියන 2,667.5ක ප්‍රමාණයක් අලුතෙන් නිකුත් කර තිබෙන බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. එම ප්‍රමාණයට 14% බදු සහනය දිගටම පවත්වා ගැනීම සඳහා හුවමාරු කළ යුතු වූ අවම ප්‍රමාණය (78%ක්) මෙන්ම ඊට අමතරව රුපියල් බිලියන 149.9ක බැඳුම්කර ප්‍රමාණයක්ද ඇතුළත්. අමතර ප්‍රමාණයද සමඟ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 83%ක් අලුත් බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. 

මීට දින දෙකකට පෙර නිකුත් කළ මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති නිවේදනය අනුව, සමස්තයක් ලෙස විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු වූ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් 84%ක් හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කරනු ලැබ එම අයැදුම්පත් පිළිගෙන තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ අනෙකුත් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් බොහොමයක්ද සේවක අර්ථසාධක අරමුදල විසින් හුවමාරු කරගත් බැඳුම්කර ප්‍රතිශතයට නොඅඩු ප්‍රතිශතයක් අලුත් බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන ඇති බවයි. ඊට අමතරව, විශ්‍රාම පාරිතෝෂික අරමුදල් නොවන අනෙකුත් ආයතන විසින්ද යම් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කරගෙන තිබෙනවා විය හැකි වුවත්, එසේ කර ඇත්නම් එම ප්‍රමාණය සාපේක්ෂව සුළු ප්‍රමාණයක් විය යුතුයි.

මේ සමඟ පළ කර තිබෙන වගුවෙහි පෙන්වා තිබෙන්නේ බැඳුම්කර හුවමාරුවෙන් පසු රජයේ මුදල් ප්‍රවාහ වෙනස් වන ආකාරයයි. රජය විසින් 2023-2043 කාලය තුළ ආපසු ගෙවිය යුතුව තිබුණු ආපසු ලබාගත් බැඳුම්කර වල මුහුණත අගය වන වන රුපියල් බිලියන 3,204.5ක මුදල, අලුත් බැඳුම්කර වල මුහුණත අගය ලෙස එලෙසම ආපසු ගෙවිය යුතු වුවත්, එම මුදල් ප්‍රමාණය දැන් ආපසු ගෙවන්නට වෙන්නේ 2027-2038 කාලය තුළ සමාන වාරික වලින් බැවින් එහි සහනය රජයට ලැබෙනවා. 

ආපසු ලබාගත් බැඳුම්කර වෙනුවෙන් රජය විසින් කූපන් පොලී ලෙස රුපියල් බිලියන 2,055.8ක් ගෙවිය යුතුව තිබුණා. හුවමාරුවෙන් පසුව, රජයට අලුත් බැඳුම්කර වල කූපන් පොලිය ලෙස ඊට වඩා රුපියල් බිලියන 771.7ක් වැඩියෙන් ගෙවන්නට සිදු වෙනවා. එහෙත්, ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ වීමට සාපේක්ෂව මෙම අමතර කූපන් පොලිය ගෙවීම රජයට වාසියක්. හරියටම කිවුවොත් අපේක්ෂිත වාසියක්. එම අපේක්ෂිත වාසිය කුමක්ද යන්න තීරණය වන්නේ බැඳුම්කර හුවමාරුව නිසා ශුද්ධ මුදල් ප්‍රවාහයන්හි (net cashflow) සිදුව ඇති වෙනස මතයි. එම වෙනස වගුවෙහි අවසාන සිරස් තීරුවේ පෙන්වා තිබෙනවා. 

ඉහත ශුද්ධ මුදල් ප්‍රවාහයේ වත්මන් අගය (present value) ශුන්‍ය වීමටනම් 5.5% වැනි වට්ටම් අනුපාතිකයක් (discount factor) යොදා ගෙන මුදල් ප්‍රවාහ වට්ටම් කළ යුතුයි. එහෙත්, එම අගය ලංකාවේ කිසිවෙකු විසින් ප්‍රමාණවත් සේ සලකන ප්‍රතිලාභ අනුපාතයක් නොවන නිසා හුවමාරුවට සම්බන්ධ වූ අරමුදල් වල වත්මන් වටිනාකමෙහි අපේක්ෂිත වෙනස අඩු වීමක් මිස වැඩි වීමක් අපේක්ෂා කළ නොහැකියි. වට්ටම් අනුපාතිකය 9% ලෙස සැලකුවහොත්, අරමුදල් වල වත්මන් අගය 7.8%කින් පමණ අඩු වෙනවා.

සේවක අර්ථසාධක අරමුදලේ අපේක්ෂිත ප්‍රතිලාභ සම්බන්ධව මහ බැංකුව විසින් අද (සැප්තැම්බර් 14) දින ඉදිරිපත් කර තිබෙන තොරතුරු මත පදනම්ව අප විසින් සිදු කළ ගණනය කිරීම් වලට අනුව, 2038 දක්වා කාලය තුළ අරමුදලට සිදු වන සමස්ත අලාභය 7.8%ක්. හුවමාරුව නොකර 30% අනුපාතයෙන් බදු ගෙවීමට තීරණය කළේනම් මෙම අලාභය 20.8%ක්. මුදලින් රුපියල් බිලියන 209ක් පමණ වන ඉහත 7.8% අලාභය ගැලපෙන්නේ 9%ක වට්ටම් අනුපාතයක් සමඟයි. එහෙත්, මේ වන විට වෙළඳපොල විසින් අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය 13% තරම් විශාල විය හැකියි. 

අලුතෙන් නිකුත් කළ බැඳුම්කර වෙළඳපොළ තුළ හුවමාරු වෙද්දී එම බැඳුම්කර වල වත්මන් වෙළඳපොළ වටිනාකම හරියටම දැනගන්නට ලැබෙනවා. මේ අනුව, අපට අපේක්ෂිත අලාභය පිළිබඳව වෙළඳපොළ මත පදනම් වූ ඇස්තමේන්තුවක් සකස් කිරීමට ඉඩ ලැබෙනවා. වෙළඳපොළ අපේක්ෂාවන් කිසිසේත්ම සියයට සියයක් නිවැරදි නැතත්, තනි පුද්ගලයෙකුගේ හෝ ආයතනයක ඇස්තමේන්තු විශ්වාස කරනවාට වඩා වෙළඳපොළ විශ්වාස කිරීම වඩා සාර්ථක ප්‍රවේශයක්. අපගේ අදහස වනුයේ වෙළඳපොළ මත පදනම් වන සේවක අර්ථසාධක අරමුදල ඇතුළු බැඳුම්කර හුවමාරුවට සම්බන්ධ වූ අයගේ අලාභය මහ බැංකුවේ ඇස්තමේන්තුවට වඩා වැඩි විය යුතු බවයි. 

පවතින වෙළඳපොළ අපේක්ෂාවන් අනුව, මෙම අපේක්ෂිත අලාභය 12%කට ආසන්න අලාභයක් විය හැකියි. වැඩි දවසක් නොගොස් හරියටම බලා ගන්නට ඉඩ ලැබෙන නිසා මෙම අපේක්ෂිත අලාභය ඇස්තමේන්තු කිරීමට හදිසි විය යුතු නැහැ.

Tuesday, September 12, 2023

හුවමාරු කළ බැඳුම්කර ආපසු ගෙවන හැටි!



කලින්ම හිතාගත හැකි වූ පරිදිම, භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයැදුම් කර තිබෙන්නේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් බව පෙනී යනවා. අනෙකුත් ආයතන විසින් අයදුම් කර ඇත්නම් එම ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයක් විය යුතුයි. විශ්‍රාම පාරිතෝෂික අරමුදල් මේ සඳහා පෙළැඹී තිබෙන්නේ 14% බදු සහනය වෙනුවෙන් බවද පෙනී යනවා. කෙසේ වුවත්, ණය හුවමාරුවට අයැදුම් කළ ආයතන සම්බන්ධ නිශ්චිත තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නැහැ. 

මේ සමඟ පළ කෙරෙන ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කර තිබෙන්නේ හුවමාරුවට පෙර හා හුවමාරුවෙන් පසු අදාළ මුදල ආපසු ලැබෙන ආකාරයයි. මෙහිදී ණය කප්පාදුවක් සිදු වී නැති නිසා, රුපියල් බිලියන 3,204.5ක් වන හුවමාරු කළ බැඳුම්කර වෙනුවෙන් ලැබිය යුතු මුදල සතයක්වත් අඩු නැතුව ආපසු ලැබෙන නමුත් එසේ ලැබෙන්නේ මුලින් මුදල් ආපසු ලැබිය යුතුව තිබුණු දවස් වලදීම නෙමෙයි.

බැඳුම්කර හුවමාරුව සිදු නොවුනානම්, 2025-2028 වසර වලදී රජයට විශාල මුදලක් ආපසු ගෙවන්නට සිදු වෙනවා. පැවති තත්ත්වය තුළ රජයට එම මුදල් ආපසු ගෙවාගත නොහැකි වී ණය පැහැර හරින්නට සිදු වීමේ අවදානමක් තිබුණා. ණය තිරසාරත්වය නැති වීම යන්නෙන් අදහස් වන්නේ එයයි. එසේ වීනම්, මේ වන විට සිය බැඳුම්කර හුවමාරු කරගැනීම සඳහා ඉල්ලා ඇති අයට මෙන්ම අනෙකුත් අයටද තමන්ගේ මුදල් ආපසු නොලැබිය හැකිව තිබුණා.

හුවමාරුව සිදු වීමෙන් පසුව එක් එක් වසර තුළ රජයට ආපසු ගෙවන්නට සිදු වන්නේ දරාගත හැකි ණය ප්‍රමාණයක්. ඒ වගේම, එසේ ණය ආපසු ගෙවීම සඳහා අරමුදල් සොයා ගැනීමට ප්‍රමාණවත් කාලයක් රජයට ලැබෙනවා. මෙම කාලයේ වාසිය අරගෙන පැහැර හැරි බදු අය කර ගැනීම, හොරකම් කළ සල්ලි එකතු කර ගැනීම, පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන ආයතන බවට පත් කිරීම, එම ආයතන විකිණීම වැනි මේ ආණ්ඩුවේ හා ඉදිරි ආණ්ඩු වල ප්‍රතිපත්ති වලට ගැලපෙන ඕනෑම දෙයක් කරන්න පුළුවන්. 

මෙන්න තවත් ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිඵලයක්!


රුපියල් බිලියන 3,208.1ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කර ගැනීම සඳහා එම බැඳුම්කරහිමියන් විසින් අර්පණය කර ඇති අතර එම අර්පණ වලින් රුපියල් බිලියන 3,204.5ක ප්‍රමාණයක් පිළීගෙන තිබෙනවා. මෙම ප්‍රමාණය හුවමාරුව සඳහා සුදුසුකම් ලත් බැඳුම්කර ප්‍රමාණයෙන් 37%ක් වන අතර, විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු වූ සුදුසුකම් ලත් බැඳුම්කර වලින් 84%ක් සඳහා අර්පණයන් පිළිගෙන තිබෙනවා. අදාළ හුවමාරුව අනිද්දා (සැප්තැම්බර් 14) සිදු චෙනවා.

වැඩි විස්තර පසුවට.

Monday, August 28, 2023

බැඳුම්කර කූපන් පොලිය EPF ප්‍රතිලාභ වෙන හැටි...

මෙය භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික වල සිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ දක්වා කරුණු කිහිපයක් සම්බන්ධව තාක්ෂනික පැහැදිලි කිරීමක්. ඒ හැර විග්‍රහයන් කිසිවක් නැහැ.

භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වාර්ෂිකව කූපන් පොලී ගෙවනවා. කූපන් පොලිය කියන්නේ බැඳුම්කරයේ "මුහුණත වටිනාකමින්" ප්‍රතිශතයක් ලෙස වාර්ෂිකව ගෙවන පොලී මුදල. කූපන් පොලී ගෙවන ක්‍රමය ගැන භාණ්ඩාගාර බැඳුම්කරයක් මුලින්ම නිකුත් කරන අවස්ථාවේදී දැනුම් දෙනවා. ඉන් පසු බැඳුම්කරය කල් පිරෙන තුරු එය වෙනස් වෙන්නේ නැහැ. 

දෙසතියකට පෙර සංවර්ධන බැඳුම්කර සමඟ හුවමාරු කෙරුණු භාණ්ඩාගාර බැඳුම්කර වර්ග පහ හැරුණු විට මේ වන විට නිකුත් කර ඇති හා කල් නොපිරුණු භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 63ක් වෙළඳපොළේ තිබෙනවා. එම වර්ග 63ම නිකුත් කර තිබෙන්නේ ස්ථිර වාර්ෂික කූපන් පොලියක් ගෙවීමේ පොරොන්දුව මතයි. එම කූපන් පොලිය 5% සිට 22.5% දක්වා පරාසයක විචලනය වෙනවා.

මීට අමතරව දෙසතියකට පෙර සංවර්ධන බැඳුම්කර සමඟ හුවමාරුවට නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර වර්ග පහක්ද දැන් වෙළඳපොළේ තිබෙනවා. එම වර්ග පහ නිකුත් කර තිබෙන්නේ විචල්‍ය කූපන් පොලියක් ගෙවීමේ පොරොන්දුව මතයි. එම පොලිය මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය මත වෙනස් වෙන, එම පොලී අනුපාතයට වඩා 1%කින් වැඩි කූපන් පොලියක්. යෝජිත භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුවේදී ලබා දෙන අලුත් භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 12ක් සඳහා 2025 වසර අවසන් වන තුරු 12%ක ස්ථිර වාර්ෂික කූපන් පොලියක්ද ඉන් පසුව කල් පිරෙන තුරු 9%ක ස්ථිර වාර්ෂික කූපන් පොලියක්ද ලබා දීමට නියමිතයි.

භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජකයෙකුට ලැබෙන සැබෑ ප්‍රතිලාභය මෙම කූපන් පොලී අනුපාතයමද?

කිසියම් භාණ්ඩාගාර බිල්පතක් එහි මුහුණත වටිනාකම ගෙවා මිල දී ගන්නා ආයෝජකයෙකුට ලැබෙන සැබෑ ප්‍රතිලාභය එහි කූපන් පොලී අනුපාතයට සමානයි. එහෙත් භාණ්ඩාගාර බිල්පතක් හරියටම එහි මුහුණත වටිනාකමට අලෙවි වීම ඉතා විරල සිදුවීමක්. මේ වන විට වෙළඳපොළේ ඇති භාණ්ඩාගාර බැඳුම්කර වර්ග වල සාමාන්‍ය විකුණුම් මිල ගණන් රුපියල් 100ක මුහුණත අගයක් සඳහා රුපියල් 77.84 සිට රුපියල් 128.06 දක්වා වන පරාසයක විචලනය වෙනවා. 

මුහුණත අගයට වඩා අඩු මිලකට (අවමිලට) බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට එහි කූපන් පොලිය ඉක්මවන වාර්ෂික ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙත්, මුහුණත අගයට වඩා වැඩි මිලකට (අධිමිලට) බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට ලැබෙන්නේ එහි කූපන් පොලියට වඩා අඩු ප්‍රතිලාභයක්. ඒ නිසා, කූපන් පොලිය දෙස පමණක් බලා ආයෝජකයෙකුට ලැබෙන ප්‍රතිලාභ ගැන යමක් කියන්න බැහැ. 

බැඳුම්කරයක් මිල දී ගැනීමේදී ගෙවූ මුදල අනුව ලැබෙන සැබෑ ප්‍රතිලාභය ඵලදා අනුපාතය ලෙස හැඳින්වෙනවා. එය කූපන් පොලී අනුපාතය මෙන් ස්ථිර අනුපාතයක් නෙමෙයි. කූපන් පොලී අනුපාතයට වඩා අඩු හෝ වැඩි විය හැකි, ආයෝජකයාගෙන් ආයෝජකයාට වෙනස් වන අනුපාතයක්. 

පහත තිබෙන්නේ පසුගිය සතියේදී ද්වීතියික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගන්නා අයෙකුට එසේ මිල දී ගත හැකි වූ භාණ්ඩාගාර බැඳුම්කර වර්ග දෙකක තොරතුරු.

කල් පිරෙන දිනය: 2026 මාර්තු 1

මිල (රුපියල් 100ක මුහුණත් අගයක්): රුපියල් 83.07

කූපන් පොලී අනුපාතය: 5.35%

ඵලදා අනුපාතය: 13.50%


කල් පිරෙන දිනය: 2026 මැයි 15

මිල (රුපියල් 100ක මුහුණත් අගයක්): රුපියල් 117.83

කූපන් පොලී අනුපාතය: 22.50%

ඵලදා අනුපාතය: 13.77%

ඉහත භාණ්ඩාගාර බැඳුම්කර දෙකේම කල් පිරෙන්නේ ආසන්නව එකම කාලයකදීයි. ඒ කියන්නේ දැන් මුදල් ආයෝජනය කරන කෙනෙක් තමන්ගේ මුදල් හිර කරන්නේ ආසන්නව එකම කාලයකට. එහෙත්, මේ බැඳුම්කර දෙකෙන් එකක් වෙනුවෙන් 22.50%ක වාර්ෂික කූපන් පොලියක් ලැබෙද්දී අනෙක් එකට ලැබෙන්නේ 5.35%ක වාර්ෂික කූපන් පොලියක් පමණයි. ඒ කියන්නේ 5.35% බැඳුම්කරයේ ආයෝජනය කරන එක 22.5% බැඳුම්කරයේ ආයෝජනය කරනවාට වඩා හොඳටම පාඩුද?

මේ දෙකෙන් ඕනෑම එකක් මිල දී ගන්න වෙන්නේ හරියටම ඒවායේ මුහුණත අගයටනම් 5.35% බැඳුම්කරය 13.77% බැඳුම්කරයට වඩා හොඳටම පාඩුයි. එහෙමනම් කිසිම කෙනෙක් 5.35% බැඳුම්කරය මිල දී ගන්න එකක් නැහැ. එහෙත්, බැඳුම්කර වල මිල ඉල්ලුම හා සැපයුම අනුව වෙනස් වන නිසා ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. කූපන් පොලිය වැඩිනම් වෙළදපොළ මිලද වැඩි වෙනවා. කූපන් පොලිය අඩුනම් වෙළඳපොළ මිලද අඩු වෙනවා. ඒ නිසා, කූපන් පොලී අනුපාතය කීය වුනත්, එක සමාන කාලයකදී කල් පිරෙන බැඳුම්කර දෙකකින් ලැබෙන ප්‍රතිලාභ ආසන්නව සමානයි. ඉහත බැඳුම්කර දෙකේ ඵලදා අනුපාතික සංසන්දනය කළ විට මේ බව පැහැදිලි විය යුතුයි. 

ඉහත විස්තර කළේ, කූපන් පොලිය කීය වුනත්, වෙනස් වර්ග දෙකක බැඳුම්කර වල ප්‍රතිලාභ තුලනය වන ආකාරයයි. එහෙත්, ඉහත කී "වෙළඳපොළ මිල" නිශ්චිත මිලක් නෙමෙයි. එය ගනුදෙනුවකදී තීරණය වන මිලක්. ඒ නිසා, එකම බැඳුම්කරයම සැලකුවත්, ලැබෙන ප්‍රතිලාභය එය මිල දී ගැනීම සඳහා ගෙවූ මුදල අනුව වෙනස් වෙනවා. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළඳපොළ (වෙන්දේසිය) සැලකුවත් එක් එක් ගැනුම්කරු විසින් තබන ලන්සුව අනුව මිල වෙනස් වෙනවා. ඒ අනුව, ලැබෙන ප්‍රතිලාභයද වෙනස් වෙනවා.

සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකදී එක් එක් ගැනුම්කරු විසින් ගෙවූ මිල ගණන් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කරන්නේ ගැනුම්කරුවන්ගේ ඵලදා අනුපාතික වල සාමාන්‍ය අගයක් පමණයි. එහෙත්, 2015 පෙබරවාරි 27 දින පැවැත්වුණු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය හා අදාළව මෙම තොරතුරු පසුව ප්‍රසිද්ධ වුනා. මේ ගැන අදහසක් ගැනීම සඳහා එම තොරතුරු ප්‍රයෝජනවත් වෙයි. 

අදාළ වෙන්දේසියේදී රුපියල් 100ක මුහුණත් අගයක් සඳහා රුපියල් 119.33 (ලංකා බැංකුව) සිට රුපියල් 62.62 (සෙලාන් බැංකුව) දක්වා පරාසයක ලන්සු ඉදිරිපත් වුනා. රුපියල් 90.17ට වඩා වැඩි ලන්සු පිළිගනු ලැබුවා. මේ අනුව, එක් එක් ලන්සුකරු විසින් අපේක්ෂා කළ ඵලදා අනුපාතය (එවකට ක්‍රියාත්මකව පැවති 10%ක රඳවා ගැනීමේ බද්ද කපා ගැනීමෙන් පසුව) 9.35% සිට 18.00% දක්වා පරාසයක පැතිරී තිබුණු අතර 12.5% නොඉක්මවන ප්‍රතිලාභයක් අපේක්ෂා කළ අයට ඒ සඳහා අවස්ථාව ලැබුණා. ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කළ අයගේ ලන්සු පිළිගැනුණේ නැහැ.

ඉහත වෙන්දේසියෙන් බැඳුම්කර ලබාගත් කාටත් ලැබුණේ 12.5%ක කූපන් පොලියකින් 10%ක් කපා ගැනීමෙන් පසුව 11.25%කට සමාන කූපන් පොලියක්. එහෙත්, තමන් ගෙවූ මුදල අනුව ඵලදා අනුපාතය 9.35% සිට 12.5% දක්වා වෙනස් වුනා. අදාළ තොරතුරු මේ සමඟ තිබෙන වගුවෙන් බලා ගන්න පුළුවන්. අද පැවැත්වුණු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය දක්වා සෑම වෙන්දේසියකදීම සිදු වී තිබෙන්නේ මෙවැනි දෙයක්. ඒ නිසා, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයකට ඔවුන්ගේ ආයෝජන වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ කොපමණද යන්න තීරණය වෙන්නේ බැඳුම්කර මිල දී ගැනීමේදී ගෙවූ මුදල මත මිස කූපන් පොලී අනුපාතිකය අනුව පමණක් නෙමෙයි. 


සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභය තීරණය වන්නේ කෙසේද?

සේවක අර්ථසාධක අරමුදල සතු අරමුදල් වලින් වැඩි කොටසක් භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කර තිබෙනවා. එහෙත්, භාණ්ඩාගාර බිල්පත්, සමාගම් කොටස් ඇතුළු වෙනත් ආයෝජනද යම් ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදල සතුව තිබෙනවා. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභය තීරණය වන්නේ මේ සියලු ආයෝජන වලින් ලැබෙන ප්‍රතිලාභ මතයි. එහෙත්, එහිදී භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ වල බලපෑම වඩා වැඩියි.

පහත තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලේ 2022 අවසානය වන විට පැවති සාමාජික ගිණුම් ශේෂ ආයෝජනය කර තිබුණු ආකාරයයි. 

සාමාජික ශේෂ එකතුව - රුපියල් බිලියන 3,380.6 (100.00%)

භාණ්ඩාගාර බැඳුම්කර - රුපියල් බිලියන 3,068.7 (90.77%)

භාණ්ඩාගාර බිල්පත් - රුපියල් බිලියන 166.7 (4.93%)

සමාගම් බැඳුම්කර - රුපියල් බිලියන 22.8 (0.67%)

ප්‍රති විකුණුම් - රුපියල් බිලියන 3.4 (0.10%)

ලැයිස්තුගත සමාගම් කොටස් - රුපියල් බිලියන 84.9 (2.51%)

ලැයිස්තුගත නැති සමාගම් කොටස් - රුපියල් බිලියන 9.6 (0.28%)

ආයෝජන එකතුව - රුපියල් බිලියන 3,356.3 (99.28%)

දැන් මේ අනුව, සාමාජික ශේෂ වලින් 99.3%ක්ම කවර හෝ ආකාරයකින් ආයෝජනය කර තිබෙන අතර 90.8%ක්ම ආයෝජනය කර තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වලයි. මෙහිදී, රුපියල් බිලියන 3,068.7ක මුදලක් භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කර ඇතැයි යන්නෙන් අදහස් කරන්නේ භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීම වෙනුවෙන් එපමණ මුදලක් වැය කර තිබෙන බවයි. එසේ මිල දී ගෙන තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර වල මුහුණත අගය රුපියල් බිලියන 3,174.4ක්. 

මේ අනුව, සාමාන්‍ය අගයයක් ලෙස, සේවක අර්ථසාධක අරමුදල විසින් රුපියල් 100ක මුහුණත් අගයක් තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීම සඳහා වැය කර තිබෙන්නේ රුපියල් 96.67ක මුදලක් පමණයි. එහෙත්, මෙම භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරෙන විට ඒවායේ මුහුණත අගයම ආපසු ලැබෙනවා. මේ ගැන ලොකු අදහසක් නැති අයට අදහසක් ගන්න අවශ්‍යනම් මෙහිදී වෙන්නේ ගම් වල වෙන්දේසි සීට්ටු දමද්දී සිදුවන ආකාරයේ දෙයක්. ඒ වගේම, කූපන් පොලී ගෙවන්නේත් මුහුණත අගයට නිසා, සේවක අර්ථසාධක අරමුදලට භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන වලින් ලැබෙන සැබෑ ප්‍රතිලාභය (සාමාන්‍ය අගයයක් ලෙස) කූපන් පොලී අනුපාතයට වඩා වැඩියි. 

උදාහරණයක් ලෙස රුපියල් 100ක මුහුණත අගයකට 12.00%ක වාර්ෂික කූපන් පොලියක් ලැබෙනවානම්, එවැන්නක් මිල දී ගෙන තිබෙන්නේ රුපියල් 96.67කටනම්, ලැබෙන කූපන් පොලිය පමණක් සැලකුවත් එය 12.41%ක ප්‍රතිලාභයක්. කූපන් පොලියට අමතරව, කල් පිරුණු විට අමතර රුපියල් 3.33ක ලාබයක්ද ලැබෙන නිසා මෙම ප්‍රතිලාභය මීටත් වඩා වැඩියි.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන වාර්ෂික ප්‍රතිලාභ තීරණය වන්නේ කෙසේද?

මෙය තීරණය වන්නේ සේවක අර්ථසාධක අරමුදලේ ලාභය මතයි. සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රධාන ආදායම් මාර්ගය එහි ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභයි. මෙම ආදායමෙන් පළමුව අරමුදලේ පරිපාලන වියදම් ආවරණය කරගත යුතුයි. ඉන් පසුව, රජයට ගෙවිය යුතු බදු ගෙවිය යුතුයි. සාමාජිකයින්ට ප්‍රතිලාභ ගෙවීම සිදු කරන්නේ ඉතිරි වන ශුද්ධ ලාභය මත පදනම්වයි. මෙම අනුපාතය සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සඳහා ලැබෙන ප්‍රතිලාභ අනුපාතය මත තීරණය වන්නක් වුවත්, එයට සමාන නැහැ. 

පහත තිබෙන්නේ 2020 හා 2021 වසර වලදී සේවක අර්ථසාධක අරමුදල විසින් ලැබූ ආයෝජන ආදායම් සහ එම ආයෝජන ආදායම් සාමාජික ගිණුම් වෙත බැර වූ ආකාරයයි.

2020 වර්ෂය:

ආයෝජන ආදායම - රුපියල් බිලියන 285.6යි 

(එයින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ආයෝජන ආදායම - රුපියල් බිලියන 266.5යි)

පරිපාලන වියදම් - රුපියල් බිලියන 1.6යි 

බදු වලට පෙර ශුද්ධ ආදායම - රුපියල් බිලියන 283.9යි 

ආදායම් බදු - රුපියල් බිලියන 39.1යි 

බදු වලින් පසු ආදායම - රුපියල් බිලියන 244.9යි 

සාමාජිකයින්ට ගෙවූ පොලිය (9.00%) - රුපියල් බිලියන 227.3යි 


2021 වර්ෂය:

ආයෝජන ආදායම - රුපියල් බිලියන 342.4යි 

(එයින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ආයෝජන ආදායම - රුපියල් බිලියන 285.3යි)

පරිපාලන වියදම් - රුපියල් බිලියන 1.6යි 

බදු වලට පෙර ශුද්ධ ආදායම - රුපියල් බිලියන 340.7යි

ආදායම් බදු - රුපියල් බිලියන 41.7යි 

බදු වලින් පසු ආදායම - රුපියල් බිලියන 299.1යි 

සාමාජිකයින්ට ගෙවූ පොලිය (9.00%) - රුපියල් බිලියන 251.8යි.

ඉහත විස්තර කර තිබෙන්නේ එකිනෙකට සම්බන්ධ නමුත් වෙනස් කරුණු හතරක්. මේ පැහැදිලි කිරීම කරන්නේ බොහෝ දෙනෙකුට මේ කරුණු හතර හතරක් බව පැහැදිලි නැති නිසයි. මෙම ලිපියේ අඩංගු වන්නේ තාක්ෂනික පැහැදිලි කිරීම් හා කරුණු පමණයි. විග්‍රහ, විශ්ලේෂණ හෝ පෞද්ගලික අදහස් කිසිවක් නැහැ. 


Sunday, August 27, 2023

හෙට EPF සල්ලි වලට වෙන්න යන දේ...


සේවක අර්ථසාධක අරමුදල, අනෙකුත් විශ්‍රාම වැටුප් අරමුදල්, වාණිජ බැංකු, අනෙකුත් බැංකු, රක්ෂණ සමාගම්, ප්‍රාථමික අලෙවිකරුවන් ඇතුළු තමන්ගේ අරමුදල් රජයේ භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන ඕනෑම ආයතනයකට එම බැඳුම්කර දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කර හා හුවමාරු කර ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට ලබා දී තිබුණු කාලය දෙවරක්ම දිගු කිරීමෙන් පසුව මෙසේ ඉල්ලීම් කළ හැකි අවසන් දිනය අගෝස්තු 28 දක්වා කල් ගියා. දැන් මෙම දිනය නැවත තෙවන වරටද කල් දමා තිබෙනවා. ඒ අනුව, එසේ ඉල්ලීම් කිරීම සඳහා සැප්තැම්බර් 11 දින දක්වා කාලය ලැබෙනවා. අයදුම් කිරීමෙන් අනතුරුව රජය විසින් පිළිගත් ඉල්ලීම් පිළිබඳව දැනුම් දෙන දිනය සැප්තැම්බර් 12 දක්වාත්, අදාළ හුවමාරුව සිදු කරන දිනය සැප්තැම්බර් 14 දක්වාත්, කල් දමා තිබෙනවා.

කරුණු සිදුවන පිළිවෙළ අනුව, මෙය සැප්තැම්බර් 11 දින හතරවන වරටද කල් දමන්නට සිදුවීමේ ඉඩකඩ බැහැර කළ නොහැකියි. ඒ අනුව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු දිග්ගැසෙමින් ඇති අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමද මීට අනුරූප ලෙස පස්සට යනවා. 

මෙසේ තෙවන වරටද දිනය කල් දැමීම නිසා, එම අලුත් අවසන් දිනයට පෙර සැප්තැම්බර් 1 දින දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග දෙකක් කල් පිරෙනවා. ඒ අනුව, දැනටම එම බැඳුම්කර හුවමාරු කරන මෙන් ඉල්ලා ඇති අයගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වන අතර අදාළ බැඳුම්කර වෙනුවෙන් ඒවායේ ආයෝජනය කර ඇති අයට මුලින් එකඟ වූ පරිදි මුදල් ආපසු ලැබෙනවා.

අලුත් අවසන් දිනයෙන් පසුව කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග හුවමාරුව සඳහා තවදුරටත් සුදුසුකම් ලබනවා. ඒ අතරින් මුලින්ම කල් පිරෙන්නේ ඔක්තෝබර් 1 දින කල් පිරෙන 7% කූපන් බැඳුම්කරයයි. ඉන් පසුව, නොවැම්බර් 15 දින 6.3% කූපන් බැඳුම්කරයක් කල් පිරෙනවා. ණය හුවමාරු වැඩසටහන දිගින් දිගටම කල් ගියහොත් මේ බැඳුම්කරද හුවමාරු වැඩ සටහනෙන් ඉවත් වී යා හැකියි. 

ණය හුවමාරුවේදී නිකුත් කරන බැඳුම්කර වෙනුවෙන් 2025 දක්වා 12%ක කූපන් පොලියක්ද, ඉන්පසුව 2038 හෝ කල් පිරෙන වසර දක්වා 9%ක කූපන් පොලියක්ද හිමිවෙනවා. හෙට (අගෝස්තු 28) වෙන්දේසි කරන 2028 කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලබා දෙන්නේද 9%ක කූපන් පොලියක් පමණයි. 2026දී කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා 11.5%ක කූපන් පොලියක් ගෙවනවා. සැප්තැම්බර් 1 දින කල් පිරෙන, ණය හුවමාරුව සඳහා තවදුරටත් සුදුසුකම් නොලබන, භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීමේදී නිදහස් වන අරමුදල් නැවත ආයෝජනය කරන්නට සිදු වන්නේ මෙවැනි කූපන් පොලියක් ලැබෙන බැඳුම්කර වලයි. එහෙත්, මෙම බැඳුම්කර වල ඵලදා අනුපාතික මේ වන විට තිබෙන්නේ, කූපන් පොලියට වඩා වැඩි, 13% ආසන්න මට්ටමකයි. හරිම ගණන හෙට වෙන්දේසියෙන් පසුව බලාගන්න පුළුවන්. 

Tuesday, August 15, 2023

සංවර්ධන බැඳුම්කර හුවමාරුව අවසන්!


අද දිනයේදී (අගෝස්තු 15) දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු අදියර මුළුමනින්ම අවසන් කර තිබෙනවා. මේ අනුව, ආපසු ගෙවිය යුතුව තිබුණු සංවර්ධන බැඳුම්කර වෙනුවට වර්ග පහක භාණ්ඩාගාර බැඳුම්කර මිශ්‍රණයක් ලබා දීම අද දිනයේදී සිදු වී තිබෙනවා. මෙම එක් භාණ්ඩාගාර බැඳුම්කරයකින් රුපියල් මිලියන 50,444.3ක මුහුණත අගයක් ලෙස රුපියල් මිලියන 252,221.5ක භාණ්ඩාගාර බැඳුම්කර අළුතෙන් නිකුත් කර තිබෙනවා. 

සංවර්ධන බැඳුම්කර වෙනුවට භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරු කර ඇත්තේ කවර විණිමය අනුපාතය යටතේද යන්න ප්‍රකාශයට පත් කර නැහැ. අද අන්තර් බැංකු වෙළදපොළේ ඩොලරයක මැදි මිල රුපියල් 320.94ක්. එම විණිමය අනුපාතිකය අනුව ඉහත මුදල සමාන වන්නේ ඩොලර් 795,891,890ක මුදලකටයි. ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා භාර ගත් සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය ඩොලර් මිලියන 791,446,221ක්. මේ අනුව, ඩොලරයක මැදි මිලට වඩා තරමක් අඩු රුපියල් 318.68 වැනි අනුපාතයකට මෙම හුවමාරුව සිදු කර ඇති බවත්, සංවර්ධන බැඳුම්කර සියල්ලම මෙන් භාණ්ඩාගාර බැඳුම්කර සමඟ හුවමාරු කර ඇති බවත් පැහැදිලියි. 

සංවර්ධන බැඳුම්කරහිමියන්ට හුවමාරුව සිදු කිරීම සඳහා විකල්ප තුනක් ලැබුණා. අදාළ විකල්ප තුනෙන් පළමු විකල්ප දෙකෙන් එකක් තෝරා ගත්තේනම් හුවමාරුව සිදු වන්නේ ඩොලර් බැඳුම්කර සමඟයි. තෙවන විකල්පයේදී ඩොලර් බැඳුම්කර රුපියල් බැඳුම්කර හා හුවමාරු වෙනවා. බැඳුම්කරහිමියන් සියලු දෙනාම වාගේ තෝරාගෙන තිබෙන්නේ තෙවන විකල්පයයි. 

මේ තේරීම තේරුම් ගැනීම අපහසු නැහැ. පළමු තේරීම විකල්පය වීනම් ආපසු ලැබෙන්නේ මුල් මුදලින් 70%ක් පමණයි. දෙවන විකල්පය තෝරාගත්තේනම් වසර 9ක් යන තුරු කිසිදු මුදලක් ආපසු ලැබෙන්නේ නැහැ. මේ විකල්ප දෙකෙන් එකක් වඩා හොඳ තේරීම විය හැකිව තිබුණේ ඩොලර් හොයා ගැනීම විශාල ප්‍රශ්නයක් වී තිබුණු පසුබිමක පමණයි. පවතින තත්ත්වය තුළ, රුපියල් ආපසු ලැබේනම් ඒ රුපියල් ඩොලර් කිරීම ප්‍රශ්නයක් නොවන බව සංවර්ධන බැඳුම්කරහිමියන් විසින් නිගමනය කර තිබෙනවා. 

Saturday, August 12, 2023

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය තවත් කල් යයි!


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර ලෙස භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කරනු ලැබීම තව දුරටත් කල් යන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. දැනට නිකුත් ඇති භාණ්ඩාගාර බැඳුම්කර දිගුකාලීන බැඳුම්කර හා හුවමාරු කර ගැනීමට අවශ්‍ය අයට ඒ සඳහා අයදුම් කිරීම සඳහා ලබා දී තිබුණු කාලය මේ වන විට දෙවන වරටද දීර්ඝ කරනු ලැබ ඇති අතර මේ අනුව එම අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අගෝස්තු 28 දින දක්වා කාලය ලැබෙනවා. අගෝස්තු 29 දින ප්‍රතිඵල නිවේදනය කෙරෙනු ඇති අතර අගෝස්තු 31 දින බැඳුම්කර හුවමාරුව සිදු වීමට නියමිතයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු අදියර ලෙස සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබුණු අතර ඒ අනුව මුළු සංවර්ධන බැඳුම්කර ප්‍රමාණයෙන් 94%ක් අගෝස්තු 15 දින හුවමාරු වීමට නියමිතයි. මුල් නිවේදනය අනුව මෙය සිදු විය යුතුව තිබුණේ ජූලි 31 දින වුවත් පසුව එම දිනය අගෝස්තු 15 දක්වා කල් දමනු ලැබුවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියරේදී නම් කර ඇති නිශ්චිත භාණ්ඩාගාර බැඳුම්කර වලට හිමිකම් කියන ඕනෑම ආයතනයකට එම බැඳුම්කර හුවමාරු කරගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි වුවත්, මෙහිදී ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කර තිබෙන්නේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු බැඳුම්කරයි. අනෙක් බොහෝ බැඳුම්කරහිමියන්ට විශ්‍රාම පාරිතෝෂික අරමුදලකට මෙන් දීර්ඝ කාලයක් තමන්ගේ මුදල් හිර කර තැබීමට අපහසු බැවින් ඔවුන් මේ හුවමාරුව සඳහා ඉල්ලුම් කිරීමට විශාල උනන්දුවක් දැක්වීමේ ඉඩක් නැහැ.

විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් විසින් ඉල්ලා සිටිනු ලැබුවහොත් අදාළ බැඳුම්කර අනිවාර්යයෙන්ම හුවමාරු කෙරෙනවා. එහෙත්, අනෙකුත් බැඳුම්කර හිමියන්ගේ ඉල්ලීම් හා අදාළව එවැනි සහතිකයක් නැහැ. එම ඉල්ලීම් පිළිගන්නේද යන්න එකින් එක වෙන වෙනම සලකා බැලීමට නියමිතයි. 

ඉහත අයදුම් කිරීම් සඳහා මුලින්ම ජුලි 25 දින දක්වා කාලය ලබා දුන් අතර පසුව එම දිනය අගෝස්තු 11 දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඊයේ (අගෝස්තු 11) මෙම දිනය දෙවන වරටද දීර්ඝ කර තිබෙනවා. මෙයට හේතුව ලෙස සඳහන්ව ඇත්තේ ණයහිමියන් විසින් එසේ කරන මෙන් ඉල්ලා සිටීමයි. ඇතැම් විට අදාළ බදු සංශෝධන සිදු වීමේදී වූ ප්‍රමාදය මෙම කල් යාමට හේතු වූවා විය හැකියි. 

Thursday, July 13, 2023

තවත් අවදානම් අධිභාරයක් එකතු වෙලාද?


කාලෙකට පස්සේ අද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වුණා. ඊට පෙර, පසුගිය මාස හතරේම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි පැවැත්වුණේ නැහැ. මාර්තු 13 දින පැවති අන්තිම වෙන්දේසියේදී 18% හා 22% කූපන් පොලී ගෙවන භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කෙරුණා. එම වෙන්දේසියේදී අලෙවි වූ මිල ගණන් අනුව, ඵලදා අනුපාතික 29.99% හා 28.11% තරම් ඉහළ මට්ටමක පැවතුණා. 22.99%ක් ගෙවලත් 22% කූපන් බැඳුම්කරයෙන් ඉතා සුළු කොටසක් පමණයි විකිණුනේ. 

ඒ අන්තිම වෙන්දේසියට සාපේක්ෂව බැලුවොත්, මේ වන විට ඵලදා අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. අද වෙන්දේසියට දැම්මේ 9% හා 11% කූපන් පොලී ගෙවන බැඳුම්කර. ඒවා පිළිවෙළින් 15.74%ට හා 15.67%ට අලෙවි වුනා. ඕනෑනම් මාස හතරකට පෙර පැවති තත්ත්වය එක්ක සංසන්දනය කරලා බාගෙට බාගයක් අඩුවෙලා කියන්න පුලුවන්. හැබැයි ඔය මාස හතරේ සිදු වූ දේවල් සහ රජය හා මහ බැංකුවේ අපේක්ෂාවන් එක්ක බැලුවහම මේ අනුපාතික ඒ තරම්ම අඩු නැහැ. 

පසුගිය මාර්තු වෙද්දී උද්ධමනය තිබුණේ 50% මට්ටමටත් ඉහළින්. මේ වෙද්දී උද්ධමනය 12% දක්වා අඩු වෙලා. ඔය අතර මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 4.5%කින් අඩු කළා. දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය හා අදාළ කළු පෙට්ටිය විවෘත කෙරුණා. වෙන්දේසියට දැමූ බැඳුම්කර වෙනුවෙන් ගෙවන 9% හා 11% කූපන් පොලී අනුපාතික වලින් පොලී අනුපාතික හා අදාළව මහ බැංකුවේ හා රජයේ අපේක්ෂාව තියෙන්නේ කොයි වගේ තැනකද කියලා හිතාගන්න අමාරු නැහැ. නමුත් වෙළඳපොළ තවමත් ඒ පොලී අනුපාතික භාර ගන්න සූදානම් නැහැ. ඒ ඇයි?

මේ කරුණට තවත් එකතු කිරීමක් විදිහට ඊයේ පැවැත්වුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියද සාර්ථක එකක් නොවූ බව කියන්න පුළුවන්. රුපියල් බිලියන 160ක් වෙන්දේසියට දැම්මත් විකුණගන්න පුළුවන් වුනේ එයින් රුපියල් බිලියන 99.7ක් පමණයි. ඒ කෙටිකාලීන පොලී අනුපාතික 1.29%කින් ඉහළ යන්න ඉඩ දුන්නටත් පස්සේ. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කළු පෙට්ටිය ඇරුණු පෙර සතියේ දැකිය හැකි වූයේ වෙනස් තත්ත්වයක්. පසුගිය සතියේදී මාස-3 පොලී අනුපාතික 5.21%කින්ද, මාස-6 පොලී අනුපාතික 3.56%කින්ද, මාස-12 පොලී අනුපාතික 3.13%කින්ද පහළ ගියා. සතියකට පසුව එම හැරවුමෙන් යම් කොටසක් ආපහු හැරිලා. ඊට අමතරව ද්වීතියික වෙළඳපොළේ බැඳුම්කර වල ඵලදා අනුපාතික 9.57% ප්‍රමාණයේ අඩුවීමක් දක්වා විශාල ලෙස පහළ ගියා. අද බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිඵල අනුව පෙනෙන්නේ එම හැරවුමෙන් යම් කොටසක්ද ආපසු හැරී ඇති බවයි. 

සතියක් ඇතුළත මේ ආකාරයෙන් වෙළදපොළ මනෝගතීන් (market sentiment) වෙනස් වුනේ කොහොමද?

දිගුකාලීන ආයෝජන වලදී ආයෝජකයෙකු සැලකිය යුතු අවදානමකට මුහුණ දෙනවා. අවුරුදු ගණනක් ඉස්සරහට මොනවා වෙයිද කියලා දන්නේ කවුද? එකම ආණ්ඩුව අවුරුදු විස්සක් තිහක් තියෙන්නේ නැහැ. ආණ්ඩු වෙනස් වෙද්දී ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඊට අමතරව, නොහිතන දේවල් වෙන්න පුළුවන්. කෝවිඩ්, සුනාමි එයි කියලා කලින් හිතුවේ කවුද? මේ සියලුම අවදානම් අවදානම් අධිභාරයක් විදිහට ඵලදා අනුපාතිකයට එකතු වෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවදානම අවදානම් අධිභාරයක් ලෙස බැඳුම්කර ඵලදා අනුපාතික වලට එකතු වී තිබුණා. දැන් එය ඉවත් වෙලා. එහෙත් මෙය ආයෝජකයින් විසින් මුහුණ දුන් අවදානම් අධිභාරයෙන් එක් කොටසක් පමණයි. රටේ ඉදිරි දේශපාලන ප්‍රවණතා මොන වගේ වෙයිද, දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ කොයි තරම් කාලයක් ඔය විදිහට යයිද වගේ දේවල් ගැන කාටවත්ම හරියටම හිතා ගන්න බැහැ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා සේවක අර්ථසාධක අරමුදලට කොපමණ පාඩුවක් වෙයිද කියලා මගෙන් අහපු සමහර අයට මම කිවුවේ රුපියල් බිලියන 100-300 පරාසයේ පාඩුවක් විය හැකි බවයි. මම එහෙම කිවුවේ ඉදිරි කාලයේදී පොලී අනුපාතික තිබිය හැකි මට්ටම ගැන මම හිතන දේ අනුව. මේ හා අදාළ ගණනයන් කර ගත හැකි එක්සෙල් ශීට් එකක් මම කලින් ඉදිරිපත් කළානේ. එහි ගොස් ඕනෑම අයෙකුට බලාගත හැකි පරිදි, ඉදිරි වසර 16ක කාලය තුළ සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකය 11.13% මට්ටමේ තිබුණොත් සේවක අර්ථසාධක අරමුදලට පාඩුවක් හෝ ලාබයක් වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි වුනොත් පාඩුවක් වෙනවා. 11.67%-13.15% පරාසයේ තිබුණොත් රුපියල් බිලියන 100-300 පරාසයේ පාඩුවක් වෙනවා. ඊටත් ඉහළ මට්ටමකට ගියොත් පාඩුව තවත් ඉහළ යනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පැත්තකින්ම තිබ්බත් ආයෝජනයක් කරද්දී අනාගත පොලී අනුපාතික වෙනස් වන ආකාරය අනුව තමන්ගේ ලාබ අලාබ වෙනස් වීමේ අවදානම ආයෝජකයෙකුට ගන්න වෙනවා. බැඳුම්කර හෝ බිල්පත් වෙන්දේසියක ප්‍රතිඵල වලින් පෙන්නුම් කරන්නේ මෙම අවදානම පිළිබඳ වෙළඳපොළ මනෝගතීන් මොන වගේද කියන එකයි. 

පසුගිය සතියේ වෙළඳපොළ ප්‍රතිචාර වලින් පෙනුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හිතපු තරම් කළු නැති යකෙකු ලෙස වෙළඳපොළ විසින් හඳුනාගෙන තිබුණු බවයි. ඒ අනුව, අවදානම් අධිභාරය සැලකිය යුතු ලෙස අඩු වුනා. නමුත් මේ හා අදාළ මහජන මතය පසුගිය සතිය තුළ වෙනස් වුනේ කොහොමද කියන එක කාටවත් රහසක් කියලා මම හිතන්නේ නැහැ. කලින් බැංකු කඩා වැටෙන එක ගැන කිඹුල් කඳුළු හෙලපු ගොඩක් අයට එක පාරටම බැංකු වලට බර නොපැටවීම ප්‍රශ්නයක් වුනා. මේ තත්ත්වය බැංකුකරුවන් විසින් හා අනෙකුත් විභව ආයෝජකයින් විසින් තේරුම් ගන්නේ කොහොමද කියන එක අමුතුවෙන් පැහැදිලි කළ යුතුද?

අනෙක් පැත්තෙන් සේවක අර්ථසාධක අරමුදලට විශාල පීඩනයක් එල්ල වෙමින් තිබෙනවා. අපේ ලිපියෙන් පෙන්වූ අඩුපාඩු ගණනාවක් නිවැරදි කර වෙරිටේ රිසර්ච් විසින් ඉදිරිපත් කර තිබෙන අලුත් ඇස්තමේන්තුව හදා තිබෙන්නේද ප්‍රධානම වැරැද්ද නිවැරදි කර නොවන නිසා එම අලුත් ඇස්තමේන්තුවද වැරදි වුවත්, වෙරිටේ රිසර්ච් විසින් සේවක අර්ථසාධක අරමුදලට හා මහ බැංකුවට කරන විවේචනය ඉතාම වලංගු විවේචනයක්. සේවක අර්ථසාධක අරමුදල විසින් බැඳුම්කර ආයෝජන වලින් වෙළඳපොළ සාමාන්‍ය ප්‍රතිලාභ තරමට ප්‍රතිලාභ ලබා ගන්නවාද? මේ විවේචනයට පිළිතුරු දීම මහ බැංකුවේ වැඩක්.

කොහොම වුනත්, ඔය විවේචනය ඉදිරිපත්ව තිබෙන පසුබිමක, ඒ වගේම ගණන කීය වුනත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පාඩුවක් විඳින්න වී තිබෙන පසුබිමක සේවක අර්ථසාධක අරමුදලට බැඳුම්කර හෝ බිල්පත් වෙන්දේසියකට ලන්සු තියද්දී කලින්ට වඩා සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. අනෙක් පැත්තෙන් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අසු නොවුණු අනෙක් සියල්ලන්ටම අනාගතයේ තමන්ගේ ණයද ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ යම් අවදානමක් පෙනෙන්න තිබෙනවා. සතියකට කලින් අනෙක් පැත්තේ තිබුණු මහජන මතය දැන් තියෙන්නේ අනෙක් අයගේ ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න කියන පැත්තේ. මේ ආකාරයෙන් මහජන මතය වෙනස් වීමේ අවදානම ආයෝජකයෙක්ට නොසලකා හරින්න බැහැ. ඒ නිසා, ඒ අවදානම පොලී අනුපාතික වලට එකතු කරන්න වෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ තමන්ගේ යෝජනා ඉදිරිපත් කර ඇතත් මේ යෝජනා සඳහා විදේශ ණයහිමියන්ගේ එකඟත්වය තවමත් ලැබී නැහැ. ඒ වගේම, රාජ්‍යමූල්‍ය ඉලක්ක ලඟා කර ගැනීම හා පවත්වා ගැනීම සෑහෙන්න අසීරු වැඩක්. මේ අවදානම් එක්ක ඉදිරි කාලයේදී දෙවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වීමේ අවදානම මුළුමනින්ම ඉවත් වෙන්නේ නැහැ. යම් හෙයකින් එවැන්නක් කරන්න සිදු වුනොත්, නැවත වරක් එහි බර විශ්‍රාම වැටුප් අරමුදල් මත පමණක් පටවන්න බැරි බව කාට වුනත් තේරෙනවා. ඒ නිසා, ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන දේශීය හෝ විදේශ ආයෝජකයෙකුට තව දුරටත් තමන්ගේ ආයෝජනය ණය පැහැර හැරීමේ අවදානමෙන් නිදහස් ආයෝජනයක් විදිහට සලකන්න බැහැ. මේ හේතුව නිසා, රාජ්‍ය සුරැකුම්පත් ණය පොලී මත කිසියම් ස්ථිර අවදානම් අධිභාරයක් එකතු වී තිබෙනවා වෙන්න පුළුවන්.

මෙයින් කියන්නේ ඉදිරියේදී පොලී අනුපාතික අඩු නොවන බව නෙමෙයි. පොලී අනුපාතික අඩු නොවේනම් මහ බැංකුවට කළ හැකි තවත් විවිධ දේ තිබෙනවා. නමුත් පොලී අනුපාතික ගොඩක්ම පහළට ගන්න එක ලේසි නැහැ. උද්ධමනය හා නාමික පොලී අනුපාතික අතර දිගුකාලීනව වුවත් අර්බුදයට පෙර නොතිබුණු පරතරයක් ඉතිරි වෙන්න පුළුවන්. 

Monday, July 10, 2023

ට්‍රිලියන 12 ඇස්තමේන්තුව වැරදි ඇයි?


කලින් සටහනෙන් පැහැදිලි කළේ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසා සේවක අර්ථසාධක අරමුදලට විය හැකි පාඩුව මහ බැංකුව විසින් හා වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ගණන් බලා ඇති ආකාරයයි. මෙම ඇස්තමේන්තු වෙනස් වීමට ප්‍රධාන ලෙසම හේතු වී තිබෙන්නේ යොදාගෙන තිබෙන අනාගත අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතික වෙනස් වීමයි. 

මහ බැංකුව විසින් 9.4%ක ප්‍රතිලාභ අනුපාතිකයකට සාපේක්ෂව පාඩුව ගණන් හදා ඇති අතර වෙරිටේ රිසර්ච් ආයතනය විසින් 13.52%ක ප්‍රතිලාභ අනුපාතිකයක් යොදා ගෙන තිබෙනවා. මේ ගණන් දෙකෙක් එකකවත් පදනම පැහැදිලිව පෙන්වා දී නැහැ.  වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ගණනය සිදු කරද්දී බදු වල බලපෑම සලකා බැලීම මග හැරී තිබෙනවා විය හැකියි. 14%ක බදු ගෙවීමෙන් පසුව 13.52%ක ප්‍රතිලාභ ලැබීමටනම් බදු වලට පෙර 15.72%ක ප්‍රතිලාභයක් ලැබිය යුතුයි. බදු අනුපාතය 30%නම්, මේ සඳහා 19.31%ක සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකයක් පවත්වා ගත යුතු වෙනවා. මෙම ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගණන්.

කෙසේ වුවද, ඉහත අනුපාතය 13.52% සේ සැලකුවද අදාළ ගණනය කිරීම් කර ඇති ආකාරය වැරදියි. මෙම වැරදි පෙන්වා දීම අපහසු වැඩක් නෙමෙයි.

පසුගිය සටහනෙන් පෙන්වා ඇති පරිදි, සේවක අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ආයෝජන රුපියල් ට්‍රිලියන 25.7 දක්වා වර්ධනය විය හැක්කේ රුපියල් 3,378ක මුදලක් එක දිගට වසර 16ක් 13.52%ක වේගයෙන් වර්ධනය වීම මගිනුයි. රුපියල් ට්‍රිලියන 12.7ක පාඩුව ගණන් හදා තිබෙන්නේ ඉහත උපකල්පනය මත පදනම්වයි.

රුපියල් 3,378*(1.1352)^16 = රුපියල් බිලියන 25,693යි.

නමුත්, ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව අදාළ මුදල් වසර 16කට හිර වෙන්නේ නැහැ. 2038 පෙබරවාරි 15 වන විට මුළු මුදලම ආපසු ලැබෙනවා. ඒ කියන්නේ උපරිම වශයෙන් සල්ලි හිරවෙන්නේ වසර 14කුත් මාස 6.5ක කාලයක් පමණයි.

අපි රුපියල් බිලියන 1000ක මුදලක් ගැන හිතුවොත් එම මුදල වෙනුවෙන් පහත ආකාරයෙන් මුදල් ආපසු ලැබෙනවා.

2027 මාර්තු 15 - රුපියල් බිලියන 83.3ක්.

2028 අප්‍රේල් 15 - රුපියල් බිලියන 83.3ක්

2029 මැයි 15 - රුපියල් බිලියන 83.3ක්

2030 ජූනි 15 - රුපියල් බිලියන 83.3ක්.

2031 ජනවාරි 15 - රුපියල් බිලියන 83.3ක්

2032 පෙබරවාරි 15 - රුපියල් බිලියන 83.3ක්

2033 මාර්තු 15 - රුපියල් බිලියන 83.3ක්.

2034 අප්‍රේල් 15 - රුපියල් බිලියන 83.3ක්

2035 මැයි 15 - රුපියල් බිලියන 83.3ක්

2036 ජූනි 15 - රුපියල් බිලියන 83.3ක්.

2037 ජනවාරි 15 - රුපියල් බිලියන 83.3ක්

2038 පෙබරවාරි 15 - රුපියල් බිලියන 83.3ක්

මේ අනුව, වසර 3කුත් මාස 7.5ක සිට මුදල් ආපසු ලැබෙන්නට පටන් ගන්නා අතර එතැන් සිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා හිරවෙන මුදල ක්‍රමයෙන් අඩු වෙනවා.

2027 මාර්තු 15 සිට- රුපියල් බිලියන 917.7යි

2028 අප්‍රේල් 15 සිට - රුපියල් බිලියන 833.3යි 

2029 මැයි 15 සිට - රුපියල් බිලියන 750යි 

2030 ජූනි 15 සිට - රුපියල් බිලියන 667.7යි 

2031 ජනවාරි 15 සිට - රුපියල් බිලියන 583.3යි 

2032 පෙබරවාරි 15 සිට - රුපියල් බිලියන 500යි 

2033 මාර්තු 15 සිට - රුපියල් බිලියන 417.7යි .

2034 අප්‍රේල් 15 සිට - රුපියල් බිලියන 333.3යි

2035 මැයි 15 සිට - රුපියල් බිලියන 250යි

2036 ජූනි 15 සිට - රුපියල් බිලියන 167.7යි

2037 ජනවාරි 15 සිට - රුපියල් බිලියන 83.3යි

2038 පෙබරවාරි 15 සිට - කිසිවක් නැත.

මේ ආකාරයෙන් මුල් මුදල 2027 මාර්තු 15 සිට කොටස් වශයෙන් ආපසු ලැබෙද්දී 2023 අගෝස්තු 15 සිට සෑම මාසයකදීම කූපන් පොලී ආපසු ලැබෙනවා. ඒ විදිහට ආපහු ලැබෙන මුදල් වසර 16ක් හිර වෙන්නේ නැහැ. නමුත් වෙරිටේ රිසර්ච් ගණනය කිරීමේ පදනම මුළු මුදල වගේම කූපන් ගෙවීම්ද වසර 16ක් යන තුරු, ඒ කියන්නේ 2039 ජූලි 31 දක්වා, හිර වෙනවා කියන එකයි. මේ අනුව, වෙරිටේ රිසර්ච් විසින් යොදාගෙන තිබෙන 13.52% ප්‍රතිලාභ උපකල්පනය යටතේම වුනත් අදාළ ඇස්තමේන්තුව වැරදියි. මේ වැරැද්ද සුළුපටු වැරැද්දක් නෙමෙයි.

අපි වසර 16ක ආයෝජන කාල රාමුවක් සලකා බැලුවොත්, වෙරිටේ රිසර්ච් විසින් අරගෙන තිබෙන විදිහටම 13.52%ක සාමාන්‍ය ප්‍රතිලාභයක් ඔය අවුරුදු 16 තිස්සේම ගන්න පුළුවන් කියලත් හිතුවොත්, ඔය අතරවාරයේ කූපන් පොලී විදිහට සහ මුල් මුදලේ වාරික විදිහට අතට ලැබෙන මුදල් වෙනුවෙන් එසේ මුදල් ලැබෙන දවසේ ඉඳලා 2039 ජූලි 31 දක්වා 13.52%ක වාර්ෂික ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවකුත් තිබෙනවා. ඒ නිසා, ප්‍රතිව්‍යුහගත කිරීමෙන් වසර 16කින් පසුව අරමුදල රුපියල් ට්‍රිලියන 13.6කට සීමා වෙන්නේ නැහැ. මොකද හිර වෙලා තිබෙන සල්ලි වලට ලැබෙන්නේ 9.1%ක ප්‍රතිලාභයක් පමණක් වුනත්, නිදහස් වෙන හැම රුපියලක් වෙනුවෙන්ම නිදහස් වූ මොහොතේ සිට 13.52%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ නිසා, වසර 16ක් යද්දී අරමුදල රුපියල් ට්‍රිලියන 22.96 ඉක්මවා වර්ධනය වෙනවා. ඒ අනුව, පාඩුව 10.6%ක් පමණයි. මෙය මහ බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබෙන 4.8%ක පාඩුව මෙන් දෙගුණයකටත් වඩා වැඩි වුනත්, වෙරිටේ රිසර්ච් විසින් කියා තිබෙන 47%ක පාඩුවට කිට්ටු වෙන්නෙවත් නැහැ.

මේ ගණන් ඕනෑම කෙනෙකුට පහසුවෙන් හදා බලන්න පුළුවන්. මෙහි රොකට් සයන්ස් එකක් නැහැ. අපි 13.52% කියන අගය නිවැරදියි කියා සැලකුවත් රුපියල් ට්‍රිලියන 12.1ක පාඩුවක් වෙලා කියන එක පැහැදිලි ලෙසම වැරදියි. මේ වගේ වැරැද්දක් අතපසු වීමකින් හෝ සිදු වී තිබෙන පසුබිමක 13.52% ප්‍රතිලාභ අනුපාතය ගණන් හදද්දී එය නිවැරදිව කළාද කියන එක පරීක්ෂාවට ලක් නොකර විශ්වාස කරන්න පුළුවන්කමක් නැහැ. මෙම ගණනයේදී බොහෝ විට බදු නොසලකා හැර තිබෙනවා වෙන්න පුළුවන්.

Saturday, July 8, 2023

ට්‍රිලියන 12ක පාඩුවක් වෙන හැටි!

වෙරිටේ රිසර්ච් ආයතනයේ ඇස්තමේන්තුවකට අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා සේවක අර්ථසාධක අරමුදලට රුපියල් ට්‍රිලියන 12ක පාඩුවක් වෙනවා. කිහිප දෙනෙක්ම මේ ගැන නැවත නැවත අසා තිබුණු නිසා, මේ ඒ ගැන කරන පැහැදිලි කිරීමක්. මෙහිදී මම කරන්නේ එම ආයතනය විසින් මේ පාඩුව ගණනය කර තිබෙන ක්‍රමය ගැන පැහැදිලි කරන එක. හරියටම කිවුවොත්, එම ක්‍රමය කියා මම හිතන විදිහ. 

මම මේ ක්‍රමවේදය තේරුම් ගන්නේ නිශාන් ඩි මෙල්ගේ ඩේලි මිරර් ලිපියක තිබෙන පහත කොටස මත පදනම්වයි.

"At this 13.52% compounded rate of return, the present EPF portfolio would grow to 25.7 trillion. But at the offered average return of 9.1% the present EPF portfolio would grow to only 13.6 trillion. The difference between these two growth paths on the current balance alone, is LKR 12.1 trillion by 2038. Discounting that by 13.52% gives a present value of 1.6 trillion, which is 47% of the present value of the EPF."

ඔහු මෙම ගණනය කර තිබෙන්නේ ඒ වන විට ප්‍රසිද්ධ අවකාශයේ තිබුණු තොරතුරු මත පදනම්ව. ඉන් පසුව, අමතර තොරතුරු ප්‍රකාශයට පත් වී ඇතත්, මම ඒ අමතර තොරතුරු නොසලකා හරිනවා.

මෙවැනි ගණනය කිරීමක් කිරීම සඳහා සේවක අර්ථසාධක මුදලේ බැඳුම්කර ආයෝජන පිළිබඳ විස්තරාත්මක තොරතුරු අවශ්‍ය වුවත්, එම තොරතුරු ප්‍රසිද්ධ අවකාශයේ නැහැ. ඒ නිසා, පළමුව මේ පිළිබඳ ඇස්තමේන්තුවක් අවශ්‍ය වෙනවා. මේ සඳහා ඔහු පහත උපකල්පන දෙක සිදු කරනවා.

- ඒ වන විට නිකුත් කළ තිබුණු බැඳුම්කර වර්ග සියල්ලෙන්ම සමානුපාතික කොටසක් සේවක අර්ථසාධක අරමුදල සතුව ඇති බව.

- එම ප්‍රතිශතය 2022 දෙසැම්බර් අවසානයේදී මුළු බැඳුම්කර ප්‍රමාණයෙන්  එම අරමුදල සතු වූ ප්‍රතිශතයට සමාන බව.

සේවක අර්ථසාධක සතුව ඇති නිශ්චිත තොරතුරු වලට ප්‍රවේශ විය නොහැකි බාහිර පර්යේෂකයෙකුට මීට වඩා හොඳ උපකල්පනයක් කළ හැකි වීයැයි මා හිතන්නේ නැහැ. මෙවැනි ගණනයකදී මා කළේද මෙයයි.

2023 මැයි 30 වන විට නිකුත් කළ තිබුණු මුළු බැඳුම්කර ප්‍රමාණය = රුපියල් බිලියන 9,032යි 

2022 දෙසැම්බර් අවසානයේදී මුළු බැඳුම්කර ප්‍රමාණයෙන්  සේ.අ.අරමුදල සතු වූ ප්‍රතිශතය = 36.4%

ඒ අනුව, සේ.අ.අරමුදල සතු වූ මුළු බැඳුම්කර ප්‍රමාණය = රුපියල් බිලියන 9,032*36.4% = රුපියල් බිලියන 3,288යි.

කෙසේ වුවද, ප්‍රසිද්ධ කර ඇති "පිළිතුරු" අනුව පෙනී යන්නේ මීට වඩා තරමක් වැඩි බැඳුම්කර ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදල සතුව තිබූ බව සලකා මෙම ගණනය සිදු කර ඇති බවයි. එසේ නැත්නම්, ඉහත විස්තර කර තිබෙන ක්‍රමවේදය අනුව ලැබෙන පිළිතුර තරමක් අඩු එකක්. මෙම ආරම්භක ඇස්තමේන්තුව රුපියල් බිලියන 3,378කට ආසන්න එකක් විය යුතුයි. එනම්, 2.78%කින් පමණ වැඩි ඇස්තමේන්තුවක්. 

ඉන් පසුව සිදු කර තිබෙන ගණනය කිරීම එතරම් සංකීර්ණ එකක් නෙමෙයි. මෙහිදී, ඔහු පහත අවස්ථා දෙක සංසන්දනය කරනවා.

1. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 16ක් එක දිගට 9.1% වේගයකින් වර්ධනය වීම 

2. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 16ක් එක දිගට 13.52% වේගයකින් වර්ධනය වීම 

මෙම උපකල්පන දෙකෙන් පළමුවැන්න ණය ප්‍රතිව්‍යුගත කිරීමෙන් පසු තත්ත්වය පිළිබඳ මහ බැංකුවේ ඇස්තමේන්තුවයි. දෙවැන්න, ණය ප්‍රතිව්‍යුහගත නොකළේනම් තත්ත්වය පිළිබඳ වෙරිටේ රිසර්ච් උපකල්පනයයි. ඉහත උපකල්පන මත පදනම්ව අපට වෙරිටේ රිසර්ච් පිළිතුරු ලබා ගන්නට පුළුවන්. 

1. රුපියල් 3,378*(1.091)^16 = රුපියල් බිලියන 13,610යි 

2. රුපියල් 3,378*(1.1352)^16 = රුපියල් බිලියන 25,693යි 

වෙනස = රුපියල් බිලියන 12,083යි.

වත්කම් අඩු වන ප්‍රතිශතය = 47%යි 

අඩු වන වත්කම් ප්‍රමාණයේ අද වටිනාකම = රුපියල් බිලියන 1,589යි.

මෙම පිළිතුරු ඉහත උපුටා දක්වා ඇති කොටසේ ඇති රුපියල් ට්‍රිලියන 13.6, රුපියල් ට්‍රිලියන 25.7, රුපියල් ට්‍රිලියන 12.1, රුපියල් ට්‍රිලියන 1.6 හා 47% යන සියළුම ගණන් සමඟ සැසඳෙන බැවින් ගණනය සිදු කර ඇත්තේ මීට සමාන ආකාරයකින් බව පැහැදිලි වෙනවා. මෙහිදී වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කර ඇති උපකල්පන නිවැරදිනම් ඇස්තමේන්තුද නිවැරදියි.

දැන් අපි මේ පිළිබඳව මහ බංකුව කියන දෙය දෙසත් බලමු.

මහ බැංකුව විසින් මේ වන විට සේවක අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ආයෝජන ප්‍රමාණය පිලිබඳව නිශ්චිත ලෙස ප්‍රකාශ කර නැහැ. ඒ නිසා, අපි මෙම අගය x ලෙස සලකමු.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව වසරකට 9.1%ක සාමාන්‍ය ප්‍රතිලාභ ලැබෙන බව මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත නොකළේනම් එම වර්ධනය 9.4%ක් විය යුතුව තිබුණු බව මහ බැංකුවේ ඇස්තමේන්තුවයි. එමෙන්ම, මෙම වෙනස වසර 15ක කාලයක් පවතිනු ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස වත්කම් ප්‍රමාණයෙන් 4%ක අඩුවක් සිදුවීමට නියමිත බවත් මහ බැංකුවේ ඇස්තමේන්තුවයි. මීට අමතරව, ණය ප්‍රතිව්‍යුහගත නොකර 14% සහන ආදායම් බද්ද වෙනුවට 30% ආදායම් බද්ද ගෙවන්නට සිදු වුවහොත් ඉහත ප්‍රතිලාභය 7.7% දක්වා අඩු වන බව මහ බැංකුවේ ඇස්තමේන්තුවයි. මෙය ගණනය කර ගැනීම අපහසු නැහැ.

9.4%*(1-30%)/(1-14%) = 7.7%

දැන් අපට පහත අවස්ථා තුන සංසන්දනය කළ හැකියි.

1. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 15ක් එක දිගට 9.1% වේගයකින් වර්ධනය වීම 

2. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 15ක් එක දිගට 7.7% වේගයකින් වර්ධනය වීම 

3. ඉහත බැඳුම්කර ආයෝජනය වසර 15ක් එක දිගට 9.4% වේගයකින් වර්ධනය වීම


ආරම්භක ආයෝජන ප්‍රමාණය x ලෙස සලකමින්ම අපි මෙම ගණනය කිරීම කරමු.

1. රුපියල් x*(1.091)^15 = රුපියල් බිලියන 3.693x 

2. රුපියල් x*(1.077)^15 = රුපියල් බිලියන 3.043x 

3. රුපියල් x*(1.094)^15 = රුපියල් බිලියන 3.8482x 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් වත්කම් අඩුවන ප්‍රතිශතය = 4.04%

30% බදු මුදල ගෙවීමෙන් වත්කම් අඩුවන ප්‍රතිශතය = 20.94%

මේ අනුව, අප විසින් x ලෙස සැලකු අගය කුමක් වුවත්, ණය ප්‍රතිව්‍යුහගත නොකිරීමෙන් සිදු වන අලාභය එසේ කිරීම නිසා සිදුවන අලාභය මෙන් පස් ගුණයකටත් වඩා වැඩියි. 

ඉහත x අගය කොපමණද? 

මේ ගැන, මහ බැංකුව විසින් කිසිවක් සඳහන් කර නැති නිසා අපට වෙරිටේ රිසර්ච් ආයතනය මෙන්ම මෙම අගය ඇස්තමේන්තු කරන්නට සිදු වෙනවා. මේ වන විට දන්නා පරිදි ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 85.7%ක් පමණයි. එම ප්‍රමාණයෙන් 36.4%ක් සේවක අර්ථසාධක අරමුදල සතු සේ සැලකුවහොත් x අගය රුපියල් බිලියන 2,818ක් පමණ විය යුතුයි. ඒ අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 114ක පමණ අලාභයක් සිදු වන අතර එසේ නොකිරීමෙන් රුපියල් බිලියන 590ක අලාභයක් සිදු වෙනවා. 

මහ බැංකුවේ ගණනය කිරීම් හා ගැලපෙන ඉහත ඇස්තමේන්තුව අප විසින් ජූලි 4 දින ලිපියේ ඉදිරිපත් කළ රුපියල් බිලියන 113.9 ඇස්තමේන්තුවට සමානයි.

එක් පාඨකයෙකු විසින් සඳහන් කළ පරිදි වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ණය ප්‍රතිව්‍යුහගත නොකර 30% බද්ද ගෙවීම වඩා වාසිදායක බව පෙන්වා තිබෙනවා. ඔවුන්ගේ උපකල්පන යටතේ එය එසේ වන බව පෙන්වා දිය හැකියි.

ඉදිරි වසර 16ක කාලය තුළ 13.52%ක ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අවස්‌ථාව ඇත්නම් 30%ක ඉහළ බද්දක් ගෙවීමෙන් පසුවද 11.00%ක ප්‍රතිලාභයක් ලැබිය හැකියි. එම ප්‍රතිලාභය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ලැබෙන 9.1% ප්‍රතිලාභයට වඩා වැඩි නිසා වෙරිටේ රිසර්ච් උපකල්පන යටතේ අදාළ ප්‍රකාශය නිවැරදියි. 

13.52%*(1-30%)/(1-14%) = 11.0% > 9.1%

මේ අනුව, වෙරිටේ රිසර්ච් ඇස්තමේන්තු හා මහ බැංකුවේ ඇස්තමේන්තු වෙනස් වන්නේ ඇයි කියා ඔබට පැහැදිලි විය යුතුයි. මේ ඇස්තමේන්තු දෙකම පදනම් වන්නේ උපකල්පන මතයි. එම උපකල්පන දෙකෙන් කවර උපකල්පනය නිවැරදි වේද යන්න අනාගතයට භාර දෙයක්. 

කෙසේ වුවත්, එක් දෙයක්නම් පැහැදිලිව කියන්න පුළුවන්. ඒ වෙරිටේ රිසර්ච් විසින් උපකල්පනය කර තිබෙන ඉහළ පොලී අනුපාතික දිගටම පැවතුණහොත් වසර කිහිපයකට පසු රජයට ණය ආපසු ගෙවිය නොහැකි වී විශාල ණය අර්බුදයක් ඇති වන බවයි. 14%ක බදු ගෙවීමෙන් පසුව 13.52ක ප්‍රතිලාභයක් ලබන්නටනම් බදු වලට පෙර 15.72%ක ප්‍රතිලාභයක් ලබන්නට වෙනවා. රජය විසින් එවැනි විශාල පොලියක් එක දිගට වසර 16ක් බැඳුම්කර වෙනුවෙන් ගෙවන තත්ත්වයක් යනු සිදු විය නොහැකි දෙයක් නොවුනත් භයංකර තත්ත්වයක්.

දැනටමත් බැඳුම්කර පොලී අනුපාතික මීට වඩා පහළ මට්මකට පැමිණ අවසන් නිසා මෙවැන්නක් සිදු වීමටනම් නැවත තත්ත්වය අයහපත් අතට හැරිය යුතුයි. ඊට සාපේක්ෂව, බදු වලින් පසුව 9.1% ප්‍රතිලාභයක් ලැබීම සඳහා අවශ්‍ය වන්නේ 10.58%ක සාමාන්‍ය ප්‍රතිලාභයක් පමණයි. එය දිගුකාලීනව පැවති තත්ත්වයන් අනුව ප්‍රායෝගිකව සිදු විය හැකි දෙයක්.

Thursday, July 6, 2023

EPF සල්ලි දමන්න වෙන තැන් නැද්ද?


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡාව අස්සේ සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි වලින් විශාල කොටසක් බැඳුම්කර වල ආයෝජනය කර තිබීම ගැන කතාබහක් මතු වුනා. මේ ඊට අදාළ කරුණු කිහිපයක්.

මෙහිදී මතු වුනු ප්‍රධාන ප්‍රශ්නයක් වුනේ බැඳුම්කර වලට වඩා වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි වෙනත් ආයෝජන නැද්ද කියන එක. වෙනත් රටවල, විශ්‍රාම ඉතිරි කිරීම් වලින් සැලකිය යුතු කොටසක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනවා.

කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය එහි පාදක වර්ෂය වූ 1985 සිට 2022 අවසානය වන තෙක් වැඩි වී ඇති ප්‍රමාණය අනුව, කොළඹ කොටස් වෙළඳපොළේ දිගුකාලීන සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ අනුපාතිකය 12.75%ක්. ඇමරිකාවේ S&P500 කොටස් මිල දර්ශකය ඔය වර්ෂ 37 තුළ ඉහළ ගිහින් තියෙන්නේ 8.51%ක සාමාන්‍ය වර්ධන වේගයකින්. මේ අනුව, ලංකාවේ කොටස් වෙළඳපොළ ප්‍රතිලාභ 4.24%කින් වැඩියි. 

ඉහත වර්ධනය ඇමරිකාවේ එම වර්ධනයට වඩා වැඩි වුවත් මෙයට ප්‍රධාන හේතුව ලංකාවේ ඉහළ උද්ධමනය මිසක් මූර්ත ප්‍රතිලාභ නෙමෙයි. අදාළ කාලයේ ලංකාවේ සාමාන්‍ය උද්ධමනය 9.75%ක්. ඒ අනුව, කොළඹ කොටස් වෙළඳපොළ දිගුකාලීන මූර්ත ප්‍රතිලාභ 3.00%ක් පමණයි. නමුත්, ඔය කාලයේදී ඇමරිකාවේ සාමාන්‍ය උද්ධමනය 2.74%ක් පමණක් වූ නිසා කොටස් වෙළඳපොළ මූර්ත ප්‍රතිලාභ 5.78%ක් තරම් ඉහළයි. ලංකාවේ මෙන් දෙගුණයකට ආසන්නයි.

ඔය කාලය තුළ ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන වල මූර්ත ප්‍රතිලාභත් බොහෝ විට කොටස් වෙළඳපොළ මූර්ත ප්‍රතිලාභ අනුපාතයට කිට්ටුයි. ඒ නිසා, අවදානමක් අරගෙන සල්ලි කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනවාට වැඩිය රාජ්‍ය සුරැකුම්පත් වලම දමන එක වාසිදායකයි. 1991-2020 වසර තිහක කාලය තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් සාමාන්‍ය වශයෙන් උද්ධමනයට වඩා 2.93%කින් වැඩි ප්‍රතිලාභ ගෙවලා තියෙනවා. එසේ කර තිබෙන්නේ, ප්‍රධාන වශයෙන්ම, රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරලා. 

නමුත් ඇමරිකාවේ තත්ත්වය වෙනස්. ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන වලින් ලැබෙන මූර්ත ප්‍රතිලාභය ලංකාවේ එම ප්‍රමාණයට වඩා අඩු මිසක් වැඩි නැහැ. නමුත් කොටස් වෙළඳපොළ මූර්ත ප්‍රතිලාභ අඩු වශයෙන් එමෙන් දෙගුණයක්. ඒ නිසා, ඇමරිකාවේ දිගුකාලීන ආයෝජන කරන අයෙක් කොටස් වෙළඳපොළ ඉහළ අවදානමට මුහුණ දුන්නා කියලා පාඩුවක් නැහැ. ලංකාවේ තත්ත්වය වෙනස්.

මීට අමතරව සේවක අර්ථසාධක අරමුදලට කොටස් වෙළඳපොළ ආයෝජන කළ හැකි ප්‍රමාණය සීමාවන තවත් වැදගත් හේතුවක් තිබෙනවා. පසුගිය 2022 වර්ෂය අවසාන වෙද්දී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ගිණුම් වල ශේෂ රුපියල් බිලියන 3,381ක්. අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 3,492ක්. මීට සාපේක්ෂව, කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර තිබුණු මුළු කොටස් ප්‍රමාණයේම වටිනාකම රුපියල් බිලියන 3,847ක් පමණයි. ඔය ගණනට සේවක අර්ථසාධක අරමුදලට අයිති සමාගම් කොටස් ටිකත් ඇතුළත්. 

මෙයින් කියැවෙන්නේ කුමක්ද?

සේවක අර්ථසාධක අරමුදලට අවශ්‍යනම් මුළු කොළඹ කොටස් වෙළඳපොළම සල්ලි වලට ගන්න පුළුවන්. කොටස් වෙළඳපොළෙන් හතරෙන් එකක් සේවක අර්ථසාධක අරමුදල විසින් මිල දී ගත්තත් ඊට පස්සේ වෙන්නේ නැට්ටට ඕනෑ විදිහට බල්ලා නැටවෙනවා වගේ වැඩක්. කොටස් වෙළඳපොළ වටිනාකම, මිල ඔක්කොම තීරණය වෙන්නේ සේවක අර්ථසාධක අරමුදලට අවශ්‍ය විදිහට. ඔය වගේ තත්ත්වයක් ඇති වෙනවා කියන්නේ කොටස් වෙළඳපොළක් තවදුරටත් නැහැ කියන එක. 

කොටස් වෙළඳපොළක් වර්ධනය වෙන්නේ එහි තිබෙන තරඟය නිසා. කොටස් වෙළඳපොළක් කියන්නේ ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකි, කාටවත් ඒකාධිකාරී බලයක් නැති තැනක්. ලංකාවේනම් ඒක තවමත් එහෙමම නැහැ. කොහොම වුනත් ඔය තරඟය නැති වෙනවා කියන්නේ එතැන ඇති කොටස් වෙළඳපොළකුත් නැහැ. ඒ නිසා, දියුණු වෙමින් පවතින සාපේක්ෂව කුඩා කොටස් වෙළඳපොළක් වන කොළඹ කොටස් වෙළඳපොලට සේවක අර්ථසාධක අරමුදල මීට වඩා ලොකුවට සම්බන්ධ වෙනවා කියන්නේ කොටස් වෙළඳපොළ වර්ධනය වෙන්න තිබෙන අවකාශය නැති වෙනවා කියන එක. ඒ හැර, සේවක අර්ථසාධක අරමුදලට ලොකු වාසියක් ලැබෙන්නේ නැහැ.

සේවක අර්ථසාධක අරමුදල සතු දැවැන්ත අරමුදල් ප්‍රමාණය ආයෝජනය කරන්න වෙන්නේ රාජ්‍ය සුරැකුම්පත් වලම තමයි. වෙන දේවල් වල යම් සුළු කොටසක් ආයෝජනය කළ හැකි වුවත් වැඩි කොටස ආයෝජනය කළ හැකි වෙනත් තැනක් නැහැ. ඒ නිසාම සේවක අර්ථසාධක අරමුදලට ලබාගත හැකි ප්‍රතිලාභ කොපමණද කියන එක රජය විසින් ගෙවන පොලිය මත තීන්දු වෙනවා. රජය ණය වුනේ නැත්නම් සේවක අර්ථසාධක අරමුදල යම් ආකාරයක අමාරුවක වැටෙනවා.

රජය විසින් රාජ්‍ය සුරැකුම්පත් සඳහා ගෙවන පොලී අනුපාතිකය උද්ධමනය අනුව අඩු වැඩි වුනත්, උද්ධමනය ගොඩක් වැඩි වෙද්දී රජය ඒ තරමටම පොලී අනුපාතික වැඩි කරන්නේ නැහැ. ඒ නිසා, උද්ධමනය ඉහළ යන හැම අවස්ථාවකම වගේ සේවක අර්ථසාධක අරමුදලේ මූර්ත ප්‍රතිලාභ පහළ යනවා. හොඳම උදාහරණය පසුගිය අවුරුද්ද. වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 46% වගේ මට්ටමකට ගියත් පොලී අනුපාතික පවත්වා ගනු ලැබුනේ ඊට ගොඩක් පහළින්. 

අපි හිතමු උද්ධමනය 46%ක් වෙද්දී රජය විසින් භාණ්ඩාගාර බැඳුම්කර පොලිය 50% කළා කියලා. යම් හෙයකින් රජය විසින් පොලී අනුපාතික උද්ධමනය හා ගලපමින් එපමණ වැඩි කළත් සේවක අර්ථසාධක අරමුදල වැනි විශ්‍රාම පාරිතෝෂික අරමුදලකට එහි වාසිය ගන්න බැහැ. මොකද අරමුදල් වලින් විශාල කොටසක් ඒ වන විටත් දිගුකාලීන බැඳුම්කර වල ආයෝජනය කරලා නිසා ඒවා කල් පිරෙන තුරු සල්ලි අතට ලැබෙන්නේ නැහැ. ඒ නිසා, අලුතෙන් එකතු වන සාමාජික මුදල් වගේ යම් අරමුදල් ප්‍රමාණයක් පමණයි ඔය ඉහළ පොලියට ආයෝජනය කරන්න අවස්ථාව ලැබෙන්නේ.

පසුගිය අවුරුද්දී 22.5% දක්වා වන කූපන් පොලී යටතේ බැඳුම්කර නිකුත් කළ බව අපි දන්නවනේ. නමුත්, 20%ට වඩා වැඩි කූපන් පොලියකට නිකුත් කරපු මුළු බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 762ක් පමණයි. නිකුත් කරන බැඳුම්කර සියල්ල සේවක අර්ථසාධක අරමුදලට තනියම මිල දී ගන්න බැහැ. ඒ සඳහා අනෙක් බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවක් එක්ක තරඟ කළ යුතුයි. එහෙම තරඟ කරලා ඔය ගොඩෙන් තුනෙන් පංගුවක් පමණ මිල දී ගත්තත් අරමුදලේ මුළු වත්කම් වලින් 10%ක්වත් ආයෝජනය කරන්න වෙන්නේ නැහැ. කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න යද්දී මතුවෙන ප්‍රශ්නය මෙහිදීත් මතු වෙනවා. ඔය හේතුව නිසා පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගියත් සමස්තයක් ලෙස සේවක අර්ථසාධක අරමුදලට ලැබෙන ප්‍රතිලාභය වැඩි වෙන්නේ සුළු වශයෙන්. 

හැබැයි අනෙක් පැත්තට ඕකේ වාසියත් තියෙනවා. උද්ධමනය අඩු වෙලා පොලී අඩු වෙද්දී ඊට අනුරූපව අරමුදලේ ප්‍රතිලාභ අඩු වෙන්නේ නැහැ. මොකද එම පොලී අඩු වීමේ බලපෑම තියෙන්නේ අලුතෙන් ආයෝජනය කරන අරමුදල් කොටසට පමණයි.

මේ හේතුව නිසා වෙළඳපොළ පොලී අනුපාතික අඩු වුනත්, වැඩි වුනත් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. පොලී අනුපාතික ඉහළ යද්දී අරමුදලට ලැබෙන්නේ ඊට වඩා බෙහෙවින්ම අඩු ප්‍රතිලාභයක්. පොලී අනුපාතික පහළ යද්දී අරමුදලට ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා.

සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි ආයෝජනය කරලා ලැබිය හැකි ප්‍රතිලාභ මේ ආකාරයෙන් සීමා වීමට, අනෙක් හේතු අතර, අරමුදලේ විශාලත්වය ප්‍රධාන හේතුවක් බව පැහැදිලි ඇති. අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය 2022 රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 14.5%ක්. පෙර අවුරුදු වල ඔය අගය තවත් වැඩියි. කොටස් වෙළඳපොළ මුළු වටිනාකමින් 90.8%ක්. 2018-2022 වසර පහ ඇතුළත කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු වූ මුළු කොටස් ප්‍රමාණය (නැවත නැවත ගනුදෙනු වූ කොටස් සහ සේවක අර්ථසාධක අරමුදලේම ගනුදෙනුද ඇතුළත්ව) මෙන් 133%ක්. පසුගිය වසරේ දායක මුදල් හා ආයෝජන ආදායම් වලින් එකතු වූ මුදල එම වසරේ රජය විසින් එකතු කරගත් මුළු ආදායම් බදු ප්‍රමාණයෙන් 89.3%කට සමාන මුදලක්. ප්‍රායෝගිකව මේ වගේ දැවැන්ත අරමුදලක වත්කම් වලින් වැඩි කොටසක් ආයෝජනය කරන්න වෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වලම තමයි.

සේවක අර්ථසාධක අරමුදලට සාපේක්ෂව කුඩා වෙනත් විශ්‍රාම වැටුප් අරමුදල් වලට ඔය ප්‍රශ්නය නැහැ. හරියටම සීමාව දන්නේ නැතත් කිසියම් අවම සේවක පිරිසක් ඉන්න විශාල ආයතයකට එම ආයතනයේ සේවකයින් වෙනුවෙන් තමන් විසින්ම සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය කරන්න පුළුවන්. පෞද්ගලිකව මම සේවය කර තිබෙන ආයතන වලින් දෙකක්ම ඒ විදිහට එම ආයතන විසින්ම අර්ථසාධක අරමුදල් කළමනාකරණය කළා. මම හිතන්නේ අඩු වශයෙන් මෙවැනි අරමුදල් පණහක්වත් තිබෙනවා කියලයි. 

රාජ්‍ය අංශයේම ලංකා බැංකුව, මහජන බැංකුව, විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් ආදී ආයතන මෙන්ම මහ බැංකුව විසින්ද  එවැනි ආයතන වල සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් තමන් විසින්ම වෙනම කළමනාකරණය කර ගන්නවා. මගේ අදහස ජෝන් කීල්ස්, හේලීස් වැනි පෞද්ගලික සමාගම් සතුවද ඔවුන්ගේම විශ්‍රාම වැටුප් අරමුදල් තිබෙනවා කියන එකයි. මම වැරදි වෙන්න පුළුවන්. සේවක අර්ථසාධක අරමුදලට වගේම මේ අනෙකුත් විශ්‍රාම වැටුප් අරමුදල් වලටද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම බලපානවා.

ඔය වගේ සාපේක්ෂව කුඩා විශ්‍රාම වැටුප් අරමුදලකට සේවක අර්ථසාධක අරමුදල විසින් නොගන්නා ආකාරයේ අවදානම් ගන්න පුළුවන්. එසේ කරමින් වැඩි ප්‍රතිලාභ ලබා ගන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි එසේ කිරීමෙන් පාඩු වීමේ අවදානමකුත් තිබෙනවා. හරිනම් සේවක අර්ථසාධක අරමුදල විසින් මෙවැනි වෙනත් අරමුදල් වල ප්‍රතිලාභ හා සසඳමින් තමන්ගේ කාර්යක්ෂමතාවය මැන බැලිය යුතු අතර එය පාරදෘශ්‍ය ආකාරයකින් කළ යුතුයි. ඇතැම් විට, මම දන්නේ නැතත්, එවැන්නක් වෙනවා විය හැකියි. 

Tuesday, July 4, 2023

දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය - ඉදිරි පියවර


මේ වන විට මුදල් අමාත්‍යාංශය විසින් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට සිය ණය හුවමාරු කරගැනීම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මේ සඳහා 2023 ජූලි 25 දින පස්වරු 4 වන තුරු අයදුම් කළ හැකියි. මෙම ඉල්ලීම් පිලිබඳව සලකා බැලීමෙන් පසු ඒ පිළිබඳ තීරණ ජූලි 31 වන දින දැනුම් දෙනු ලැබෙන අතර ජූලි 31 වන දින අදාළ හුවමාරු සිදු වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර 

ඩොලර් මිලියන 837.6ක පමණ වටිනාකමැති, 2027 වසර දක්වා කාලය තුළ කල් පිරෙන, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වර්ග 32ක් හුවමාරු කර ගැනීම සඳහා මෙම කාලය තුළ අයැදුම් කළ හැකියි. හුවමාරුව කර ගත හැකි විකල්ප ක්‍රම තුනක් ඇති අතර එයින් පළමු ක්‍රමය සෑම ඩොලර් 100ක් වෙනුවෙන්ම ඩොලර් 70ක් ලබා ගැනීමයි. මේ අනුව, මෙම විකල්පය යටතේ රජයට ලැබෙන වාසිය ඩොලර් මිලියන 251.3ක්. මෙය, ජූනි මස අවසානයේ පැවති විණිමය අනුපාතිකය අනුව (ඩොලර් 1 = රුපියල් 308.93) රුපියල් බිලියන බිලියන 77.6ක වාසියක්. 

රජයට ලැබෙන ඉහත වාසිය මුළුමනින්ම මෙන් දේශීය බැංකු වලට හා වෙනත් දේශීය ආයෝජකයින්ට සිදු වන පාඩුවක්. නිවැරදිම ගණන් නිශ්චිතව නොදන්නා නමුත් දේශීය බැංකු වලින් විදේශ ව්‍යවහාර මුදලින් දේශීය නීතිය යටතේ ලබා ගෙන ඇති ණය සහ ස්වෛරිත්ව බැඳුම්කර ආයෝජනද හුවමාරු වන්නේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හුවමාරු වන ආකාරයයි.

මේ වන විට වෙනස් වී තිබිය හැකි වුවත්, පසුගිය වසර අවසාන වන විට විදේශ ව්‍යවහාර මුදලින් දේශීය නීතිය යටතේ ලබා ගෙන තිබුණු ණය ප්‍රමාණයේ එකතුව ඩොලර් මිලියන 2,604ක්ද, රජයේ ඇපය මත රාජ්‍ය සංස්ථා විසින් එසේ ලබා ගෙන තිබුණු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 361ක්ද වුනා. මෙයින් 30%ක් යනු ඩොලර් මිලියන 889.5ක් වන අතර රුපියල් බිලියන 274.8ක්.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල දේශීය අයිතිය ඩොලර් මිලියන 1,750ක් පමණ බව ඇස්තමේන්තු කර තිබුණා. මෙයින් 30%ක් යනු ඩොලර් මිලියන 525ක් වන අතර රුපියල් බිලියන 162.2ක් පමණ විය හැකියි. මේ අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් දේශීය වාණිජ බැංකු ප්‍රධාන අනෙකුත් ආයෝජකයින්ට රුපියල් බිලියන 515ක් පමණ දක්වා වන අලාභයක් සිදු විය හැකියි. එහෙත්, එවැනි අලාභයක් නොලබා රුපියල් වලින් ණය ආපසු ලබා ගැනීමේ විකල්පයද ඔවුන් සතුව තිබෙනවා. 

රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව විසින් පසුගිය වසර අවසාන වන විට රුපියල් බිලියන 196.9ක් ස්වෛරිත්ව බැඳුම්කර වලත්, තවත් රුපියල් බිලියන 28.3ක් සංවර්ධන බැඳුම්කර වලත් ආයෝජනය කර තිබුණා. මෙම ප්‍රමාණයෙන් 30%ක් අඩු වෙද්දී සිදුවන පාඩුව රුපියල් බිලියන 67.6ක්. 

දේශීය පෞද්ගලික බැංකුවක් වන කොමර්ෂල් බැංකුව සතුව පසුගිය වසර අවසාන වන විට රුපියල් බිලියන 92.3ක ස්වෛරිත්ව බැඳුම්කර සහ තවත් රුපියල් බිලියන 193.6ක සංවර්ධන බැඳුම්කර තිබුණා. මෙම ප්‍රමාණයෙන් 30%ක් අඩු වෙද්දී සිදුවන පාඩුව රුපියල් බිලියන 85.8ක්. 

මීට අමතරව මෙම බැංකු වලින් රජයට විදේශ ව්‍යවහාර මුදලින් ලබා දී ඇති අනෙකුත් ණය කොපමණද යන්න හරියටම දන්නේ නැහැ. අනෙකුත් ප්‍රධාන බැංකු වලටද මේ ආකාරයේ යම් අලාභයක් සිදු වනවා විය යුතුයි. කෙසේ වුවද, වාණිජ බැංකු විසින් මෙම ණය කපා හරිනු ලැබීමේ අවදානම සැලකිල්ලට ගනිමින් කලින්ම ඒ සඳහා සෑහෙන තරමකින් ප්‍රතිපාදන වෙන් කර තිබූ බැවින් මෙයින් බැංකු වල ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. 

අද නිකුත් කර ඇති ෆිච් රේටින් ආයතනයේ නිවේදනයකට අනුව, ලංකාවේ වාණිජ බැංකු විසින් ඔවුන් සතු ස්වෛරිත්ව බැඳුම්කර වල වටිනාකමෙන් 35%ක් හෝ වැඩි ප්‍රමාණයක් ණය කපා හැරීමේ අවදානම වෙනුවෙන් වෙන් කර තිබෙනවා. අනෙකුත් ණය වලින් වෙන් කර තිබෙන්නේ අඩු කොටසක් වුවත් එම ණය ඩොලර් වලින් ආපසු ලබා නොගෙන රුපියල් වලින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එහිදී ණය කපා හැරීමක් සිදු වන්නේ නැහැ. එම ආයතනයට අනුව, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය කපා හැරියේනම් බැංකු වලට වැඩි අවදානමකට මුහුණ දෙන්නට සිදු වෙනවා.

භාණ්ඩාගාර බැඳුම්කර

මේ වන විට ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව බදු සහනය දිගටම ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන් ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ මේ වසරේ අවසන් මාස තුනේදී කල් පිරෙන බැඳුම්කර වලින් 50%ක් සහ 2032 වසර දක්වා කල් පිරෙන බැඳුම්කර පමණයි. 2033-2045 අතර කල් පිරෙන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත නොකළද බදු සහනය ලැබෙනවා. 

මෙම බැඳුම්කර ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 85.7%ක් පමණයි. ඒ අනුව, එම ප්‍රමාණය පමණක් සැලකූ විට, බරිත සාමාන්‍ය පරිණත කාලය වසර 3.5ක් හා බරිත සාමාන්‍ය කූපන් පොලිය 12.23%ක් වෙනවා. මේ අනුව, ප්‍රතිව්‍යුහගත කිරීම නිසා වසර 2.25කදී 0.25%ක අලාභයක්ද, ඊළඟ වසර 1.25 තුළ 3.23%ක අලාභයක්ද සිදු වෙනවා. මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 36.4%ක් සේවක අර්ථසාධක අරමුදල සතුව ඇති සේ සැලකුවහොත්, සේවක අර්ථ සාධක අරමුදලට සිදු වන සෘජු අලාභය රුපියල් බිලියන 113.9ක් ලෙස ඇස්තමේන්තු කළ හැකියි. 

මීට අමතරව, ඉදිරි කාලයේදී අලුතෙන් නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවන කූපන් පොලිය 9% ඉක්මවීම මත මෙම අලාභය තවත් ඉහළ යනවා. එය වැඩිවන 1%කට වසරකට රුපියල් බිලියන 28.2ක පමණ අලාභයක්. එහෙත්, පොලී අනුපාතික ඉහත ගණන් වලට වඩා අඩු වුවහොත් අලාබයක් වෙනුවට අඩුවන 1%කට වසරකට රුපියල් බිලියන 28.2ක ලාබයක් සිදු වෙනවා. පරිණත කාලය වසර හයකින් දිගුවීම සැලකූ විට අදාළ කාලය තුළ බරිත සාමාන්‍ය කූපන් පොලිය 10% වුවහොත් ඒ නිසා සිදුවන අලාභය රුපියල් බිලියන 169.1ක් වන අතර ඒ අනුව මුළු අලාභය රුපියල් බිලියන 283.0ක් බවට පත් වෙනවා. 

වෙබ් ලිපිනය: