වෙබ් ලිපිනය:

Saturday, March 31, 2018

සිංහල අනන්‍යතාවය (දෙවන කොටස)


සිංහල අනන්‍යතාවය වූ කලී සිංහල නම් වූ වත්මන් බස හා සම්බන්ධ වූවකි. ඉන්දු-ආර්ය මූලයක් ඇති සිංහල බස පරිණාමය වී ඇති බව පෙනෙන්නේ වත්මන් නැගෙනහිර ඉන්දියාවේ ආසන්න වශයෙන් සියවස් විසිපහකට පමණ පෙර කාලයේ භාවිතා වූ ප්‍රාකෘත බසකිනි. එසේනම්, අනිවාර්යයෙන්ම අදාළ කාලයේ ප්‍රාකෘත බසෙහි නැගෙනහිර ප්‍රභේදය කතා කළ කණ්ඩායමක් හෝ කණ්ඩායම් ලංකාවට සංක්‍රමණය වූවා විය යුතුය. මෙය වංශ කතා වල ඇති තොරතුරු සමඟ මෙන්ම සිංහලයින්ගේ ජාන වල ඇති තොරතුරු සමඟද ලොකු අපහසුවක් නැතිව ගැලපිය හැකි කතාවකි.

ඉන්දියාවේ ආර්ය අනාර්ය මිශ්‍රණය ඉතා සංකීර්ණ එකකි. උතුරු ඉන්දියාවේ ආර්යයන් සිටින බව හා දකුණු ඉන්දියාවේ අනාර්යයන් සිටින බව ඕනෑවට වඩා සරල කතාවකි. පසුගිය සියවසේ මැද දක්වා තිබුණු බ්‍රිතාන්‍ය ඉන්දියාවේ මෙන්ම ලංකාවේද ජීවත් වූ හා දැනට ජීවත් වන මිනිසුන් බොහෝ දෙනෙක්ගේ පරම්පරා යනු කිසියම් ආකාරයක ආර්ය අනාර්ය සම්මිශ්‍රණයකි. උතුරු ඉන්දියාවේ මැද හරියේ වුවත් සිටින්නේ මධ්‍යම ආසියාවෙන් සංක්‍රමණය වූ ආර්ය කණ්ඩායම් වලින් තනිකරම පැවත එන්නෝ නොවෙති.

උතුරු ඉන්දියාවේ මැද හා බටහිර කොටසට සාපේක්ෂව නැගෙනහිර කොටසට (ප්‍රධාන වශයෙන්ම වත්මන් බටහිර බෙංගාලය හා බංග්ලා දේශය අයත්වන බෙංගාලයට) යන විට මැද හා බටහිරදී හමුවන තරමටම පැහැපත් ඡවි වර්ණයක් ඇති මිනිසුන් හමු නොවේ. ඡවි වර්ණයෙන් හෝ වෙනත් ශරීර ලක්ෂණ වලින් බංගලියෙකු හා තලෙළු සමැති සිංහලයෙකු වෙන් කර හඳුනා ගැනීම ඉතා අසීරුය. බෙංගාලි බසෙහි වචනද සිංහල වචන මෙන්ම සකු බසෙහි හෝ හින්දි බසෙහි වචන වලට වඩා සරලය. එහෙත්, සිංහල හෝ වංග බස් වහරන්නෙකුට වෙසෙස් පුහුණුවක් නොලැබ අනෙකාගේ බස තේරුම් ගත නොහැකි තරමට මේ බස් වෙනස්ය. මෙයින් වෙනස්ව වංග බස වහරන්නෙකුට අමුතු පුහුණුවක් නොලැබ හින්දි හෝ වෙනත් උතුරු ඉන්දීය බසක් දළ වශයෙන් හෝ තේරුම් ගත හැකිය.

දෙවන පෑතිස් රජුගේ මුතුන් මිත්තන් ලංකාවට සංක්‍රමණය වූ කාලයේ මෙන්ම ඊට පෙරද වරින් වර ආර්ය සංක්‍රමණිකයින් ලංකාවට පැමිණෙන්නට ඇත. මොවුන් ආර්යයන් වන්නේ ආර්ය සංස්කෘතිය තුළ ජීවත් වූ බැවින් මිස 'ශුද්ධ ආර්ය ලේ' තිබීම නිසා නොවේ.

ඉතිහාසය පිරික්සන විට අපට පැහැදිලි වන්නේ ආර්ය සංස්කෘතියට වෙනත් බොහෝ සංස්කෘතීන් හමුවේ පරිණාමික වාසියක් තිබී ඇති බවයි. මෙහිදී මා කතා කරන්නේ සංස්කෘතික පරිණාමය පිළිබඳව මිස ජීව විද්‍යාත්මක පරිණාමය ගැන නොවේ.

ආර්ය සංස්කෘතියට ඉහත පරිණාමික වාසිය ලැබෙන්නට ඇත්තේ එම සංස්කෘතියේ සුවිසෙස් ලකුණු කිහිපයක් නිසාය. ආර්ය සංස්කෘතියට මධ්‍යස්ථ අවදානම් ගැනීමට, අළුත් දේ සොයා බැලීමට හා පරිසරයට අනුව වෙනස් වීමට පහසුය. එක තැන නොරැඳී තැනින් තැනට සංක්‍රමණය වීමට ඇති කැමැත්තට හා වෙළඳාමෙහි දක්වන දක්ෂතාවයට හේතු වන්නේ මේ මූලික ලක්ෂණයි. ලංකාවේ ජීවත්ව සිට ඇති ප්‍රාග්-සිංහල නාගයින්ගේ සංස්කෘතික ලක්ෂණද මීට සමානය.

ලංකාවට පැමිණි දෙවන පෑතිස් රජුගේ පරම්පරාවේ පළමුවැන්නාට පෙර ඉන්දියාවේ නැගෙනහිර හා බටහිර වෙරළබඩ ප්‍රදේශ වලින් ආර්ය සංස්කෘතියෙහි සිටි විවිධ කණ්ඩායම් වරින් වර ලංකාවට පැමිණ ස්ථිර ජනාවාස තනාගන්නට ඇති අතර ඔවුන් විසින් ඊටත් පෙර දකුණු ඉන්දියාවේ බටහිර වෙරළබඩ ප්‍රදේශ වලට සංක්‍රමණය වන්නට ඇත. ඒ නිසා, වත්මන් ඉන්දියානු බිමේ මෙන්ම ලංකාවේද රටවල් මැද කෙසේ වුවත් වෙරළ තීරු දිගටම තැනින් තැන කලෙක නාග ජනාවාස බිහිව තිබෙන්නට ඇත.

මහා වංශයෙහි ඇති සීමිත තොරතුරු වලින් වුවත් විජයාවතරණයට පෙර ලංකාවේ වූ නාග ජනාවාස ගැන අදහසක් ගන්නට පුළුවන. බුදුන්ගේ ලංකා ගමන් හා අදාළව මේ ජනාවාස ගැන තොරතුරු සඳහන්ව තිබේ. උතුරේ මහෝදරගේ ජනාවාසය හා කැලණියේ මණිඅක්ඛිකගේ ජනාවාසය වැනි ජනාවාස ගණනාවක් වෙරළ තීරය දිගේ තිබෙන්නට ඇති අතර ගංගා දිගේ මේ ජනාවාස රට ඇතුළට ව්‍යාප්ත වෙමින් තිබෙන්නට ඇත.

පසුගිය දෙසියවසක පමණ කාලය වන තුරුම කිසියම් රටකට වෙනත් රටකින් සංක්‍රමණය වූවන් බොහෝ විට මුලින්ම සිය ජනාවාස පිහිටුවාගෙන තිබෙන්නේ වෙරළට ආසන්නවය. ඉන්පසුව, ගං ඉවුරු දිගේ රට ඇතුළට ක්‍රමයෙන් ව්‍යාප්ත වීම බොහෝ තැන් වල සුලභව දැකිය හැකි රටාවයි. ආගන්තුක බිමක අවිනිශ්චිතතා රැසකට මුහුණ දෙමින් ජීවත්වන සංක්‍රමණික කණ්ඩායමකට හැකි ඉක්මණින් වඩා සුරක්ෂිත මුහුදට පසු බසින්නට මෙන්ම තමන්ගේ මුල් රට සමඟ සම්බන්ධතා දිගටම පවත්වා ගන්නටද මෙයින් ඉඩ සැලසේ.

ලංකාවේ ජීවත් වූ නාගයින්ගේ මුල් සියවස් ගෙවී ඇති බව පෙනෙන්නේද එක් අඩියක් ගොඩබිම හා අනෙක් අඩිය මුහුදේ තබා ගනිමිනි. රටේ මුහුදු තීරය වටේම නාග ජනාවාස පැතිර තිබී ඇති බව පෙනුණත් මේ ජනාවාස අතර ඉතා හොඳ මට්ටමේ සන්නිවේදන සම්බන්ධතාද තිබී ඇති බව පෙනේ. කන්වඩමන් පවුවේ හා නාගදීප මුහුදුකරයේ නාග කණ්ඩායම් අතර සටනට කැළණියේ නාග කණ්ඩායම්ද සම්බන්ධ වන්නේ එබැවිණි. එපමණක් නොව සමන්ත කූඨවාසී දේව කණ්ඩායම් පවා මේ නාග කණ්ඩායම් සමඟ ජාලගතව සිට ඇත. කැළණියේ මණිඅක්ඛික ඇතැම් විට නිල් ඇස් තිබුණු ආර්ය සංක්‍රමණිකයෙකු හෝ එවැන්නෙකුගෙන් පැවතෙන්නෙකු වන්නටද පුළුවන.

නාග හා දේව කණ්ඩායම් අතර එවැනි සම්බන්ධතා තිබුණත් මුල් කාලයේදී යක්ෂයින් සමඟ මේ කණ්ඩායම් විසින් සංස්කෘතික සබඳතා පවත්වා ගත් බවක් නොපෙනේ. නාග කණ්ඩායම් වලට ගංගා නිම්න දිගේ රට තුළට ව්‍යාප්ත වීම පහසු නොවන්නට ඇත්තේ රට තුළ ජීවත් වූ යක්ෂ කණ්ඩායම් එයට පහසුවෙන් ඉඩ නොදුන් බැවිනි. එසේ වුවත්, නාග සංක්‍රමණිකයින් යක්ෂයින් අභිබවමින් ක්‍රමයෙන් රට තුළට ව්‍යාප්ත වන්නට ඇත.

බුදුන්ගේ පළමු ලංකා ගමන ලෙස වාර්තා වන්නේ මහවැලි ගඟ දිගේ ත්‍රිකුණාමලයේ සිට රට තුළට ව්‍යාප්ත වන නාග සංක්‍රමණිකයින් විසින් යක්ෂයින්ගේ ජනාවාසයක් ඉතා අසීරුවෙන් අත් පත් කර ගන්නා සිදුවීමක් බව පෙනේ. මහා වංශය විසින් "මහා නාග වන" ලෙස හඳුන්වන මේ ස්ථානය එනමින් නම් කෙරෙන්නට ඇත්තේ නාගයින් විසින් යක්ෂයින්ව "ගිරි දිවයිනට" එළවා දමා එහි බලය තහවුරු කර ගැනීමෙන් පසුවය. එතෙක්, නිතර යකුන් ගැවසුණු හා නිශාචර සමාගම් පැවැත්වූ මේ භූමිය අත්පත් කර ගැනීම නාගයින්ට (හා දේවයින්ට) පහසු කටයුත්තක් නොවන්නට ඇත.

නාගයින් විසින් යකුන් මඬිමින් ලංකාවේ සිය ජනාවාස ව්‍යාප්ත කරන අතරම නැගෙනහිර ඉන්දියාවේ තමන්ගේ මුල් රටවැසියන් සමඟ මෙන්ම හා දකුණු ඉන්දියාවේ වෙරළ තීරය දිගේ වූ නාග ජනාවාස වල ජීවත් වූවන් සමඟද දිගටම සබඳතා පවත්වා ගන්නට ඇත. මේ ජනාවාස වල ජීවත් වූ නාගයින්ට නායකත්වය දෙන්නට නැගෙනහිර ඉන්දියාවේ සිට රජෙක් එන්නට ඇත්තේ රජෙක්ට පාලනය කරන්නට ප්‍රමාණවත් තරම් ජනතාවක්, භූමි ප්‍රදේශයක් හා ආර්ථිකයක් ලංකාවේ තිබෙන බව පැහැදිලි වීමෙන් පසුවය.

විජය සමඟ පැමිණි නාවික කණ්ඩායම සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු නැගෙනහිර ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි පළමු සංක්‍රමණික කණ්ඩායම වන්නට ඇත. බුදුන් ගැන දැන සිටි ලංකාවේ නාග සංක්‍රමණිකයින් සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ පුවත මුලින්ම දැනගන්නට ඇත්තේ මේ කණ්ඩායමේ අයගෙනි.

විජයගේ කණ්ඩායමේ සාමාජිකයින්ද ලංකාවට අඩිය තබා තිබෙන්නේ බියෙන් සැකෙන් තොරව නොවේ. ඔවුන් විසින් ලංකාවේ ස්ථිර ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසුවද මේ බිය එක්වර පහවන්නට හේතුවක් නැත.

රට ඇතුළේ සිටි යක්ෂයින්ගෙන් හෝ වෙනත් බාහිර සංක්‍රමණික කණ්ඩායම් වල තර්ජනයකට ලක් වූ විටෙක මේ සංක්‍රමණිකයින්ට නැගෙනහිර ඉන්දියාවෙන් උදවු පැතිය නොහැකිය. එවැනි උදවුවක් ලැබිය හැක්කේ වඩා ආසන්නව සිටින අයෙකුගෙනි. විජයට දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය​ රාජ්‍යය සමඟ ගිවිසුම් ගහන්නට වෙන්නේ එබැවිණි. ඒ අනුව, විජයට පඬි රජ දියණිය සමඟ සිය ජනාවාස වල ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබේ. පඬි රජුට එහි හිලවුවට වාර්ෂිකව දෙලක්ෂයක් වටිනා සක්මුතු ලැබේ.

මේ කාලයේදී ලංකාවේ නාග සංක්‍රමණිකයින්ට දකුණු ඉන්දියාවේ පඬි රටෙහි පාලකයින් ලංකාවේ විසූ යක්ෂයින්ට වඩා සංස්කෘතිකව සමීපව සිට ඇති බව පෙනේ. ඇතැම් විට මේ කණ්ඩායම් දෙකටම මේ කාලයේදී පොදු නාග අනන්‍යතාවයක් තිබුණා විය හැකිය. ඇතැම් විට කතා කළ භාෂාවන්හි පවා සමීපත්වයක් තිබුණා විය හැකිය. මණිමේකලෛ අනුව, කාලයක් තිස්සේ දකුණු ඉන්දියාවේ නැගෙනහිර කොටසේ බලය හෙබවූ පල්ලවයන්ගේ ආරම්භකයා මණිපල්ලව නාරජුගේ දියණියකි. මුල් කාලයේදී පල්ලවයන්ගේ රාජ්‍ය භාෂාව වී තිබෙන්නේද ප්‍රාකෘත හෝ සංස්කෘත බස් මිස ද්‍රවිඩ භාෂාවන් නොවේ.

ලංකාවේ විසූ නාග සංක්‍රමණිකයින් රට මැද ජීවත් වූ යක්ෂයින් සමඟ සංස්කෘතික සබඳතා ඇති කර ගන්නට පෙර ඉන්දියාවේ වෙරළ තීරයේ නැගෙනහිර, දකුණේ හා බටහිර වෙනත් නාග ජනාවාස ගණනාවක් සමඟම සංස්කෘතික සබඳතා පවත්වා ගන්නට ඇත. සිංහලයට පාදක වූ නැගෙනහිර ප්‍රාකෘත බසට මුල් කාලයේදීම බටහිර ප්‍රාකෘත වචනද මුසුව තිබීමෙන් පැහැදිලි වන්නේ මේ කරුණයි. ප්‍රකට උදාහරණයක් ගන්නවානම් සිංහල අනන්‍යතාවය තුළ මැස්සන් මෙන්ම මැක්කන්ද හමු වන්නේ ලංකාවට නැගෙනහිර ඉන්දියාවෙන් පැමිණි ආර්ය සංක්‍රමණිකයින් සමඟ බටහිර ඉන්දියාවෙන් පැමිණි ආර්ය සංක්‍රමණිකයින්ද මුල සිටම මිශ්‍ර වී ඇති බැවිනි.

ඉන්දියානු කලාපයේ භාෂා ආර්ය භාෂා හා ද්‍රවිඩ භාෂා ලෙස ඒවායේ මූලය අනුව වර්ග කෙරුණත් මේ භාෂා කාණ්ඩ දෙකේම අක්ෂර මාලා වලට තිබෙන්නේ එකම මූලයකි. බ්‍රාහ්මී අක්ෂර මාලාවෙන් බිඳී ගොස් ඇති මේ අක්ෂර මාලා අතරින් සිංහල අක්ෂර මාලාව වඩා සමීප වන්නේ උතුරු ඉන්දීය භාෂාවන්හි අක්ෂර මාලා වලට නොව දකුණු ඉන්දීය භාෂාවන්හි අක්ෂර මාලා වලටය. මෙයින් පෙනෙන්නේ සිංහල භාෂාවේ මුල නැගෙනහිර ඉන්දියාවේ බව පෙනෙන නමුත් සිංහල අක්ෂර මාලාව සංවර්ධනය වන විට ලංකාවට වැඩි සංස්කෘතික සබඳතා තිබී ඇත්තේ දකුණු ඉන්දියාව සමඟ බවයි. මගේ අදහස පරිදි සිංහල අක්ෂර මාලාවට වඩාත්ම කිට්ටු අක්ෂර මාලාව කේරළයේ බස වන මලයාලම් බසෙහි අක්ෂර මාලාවයි.


සිංහල බසෙහි මුල් තිබෙන්නේ නැගෙනහිර ඉන්දියාවේ වන්නට බොහෝ ඉඩකඩ ඇතත් මේ වන විට සිංහල බස නැගෙනහිර ඉන්දීය භාෂාවන්ගෙන් බොහෝ දුරස් වී අවසන්ය. මුල් මාගධී ප්‍රාකෘතයෙහි වූ "ව" ශබ්දය සිංහලයෙහි ඇතත් මේ වන විට නැගෙනහිර ඉන්දීය භාෂා වල "ව" ශබ්දය නැත. මෙය නැගෙනහිර ඉන්දීය භාෂාවන්හි පසුකාලීනව සිදු වී ඇති වෙනසකි. සමස්තයක් ලෙස උතුරු ඉන්දීය භාෂාවල මේ වන විට වචනයක අවසන් "අ" ශබ්දය උච්චාරණය නොකෙරෙන නමුත් සිංහලයෙහි මේ වෙනස සිදුව නැත. ඒ නිසා, උතුරු ඉන්දියාවේ රාම්ලා ලංකාවේදී තවමත් මුල් සකු බසෙහි මෙන් රාමලාම වෙති. එහෙත්, සිංහලයෝ මේ වන විට උතුරු ඉන්දියානුවන් මෙන් මහාප්‍රාණ ශබ්ද බර තබා උච්ඡාරණය නොකරති. එමෙන්ම සිංහල වාක්‍ය ආකෘති මේ වන විට වඩා සමීප දකුණු ඉන්දීය වාක්‍ය ආකෘතීන්ටය.

විජයගේ මෙන්ම පඬුවස්දෙව්ගේ කුඩා ජනපද රාජ්‍ය වල වැඩිපුරම සිටින්නට ඇත්තේ මාගධී ප්‍රාකෘත බස වැහැරූ සංක්‍රමණික හෝ සංක්‍රමණිකයින්ගෙන් පැවැත එන නාගයින්ය. ඒ අතර, අතරින් පතර වෙනත් ප්‍රාකෘත ප්‍රභේදයන් කතා කළ අය මෙන්ම මූල-ද්‍රවිඩ භාෂා කතා කළ අයද අතරින් පතර සිටින්නට ඇත. එහෙත් මේ රාජ්‍යයෙන් පිටත සිටි යක්ෂයින් විසින් කතා කරන්නට ඇත්තේ වෙනත් බසක් හෝ භාෂා ගණනාවකි.

ගම් නගර ගොඩ නගමින් සිය රාජ්‍යය ව්‍යාප්ත කළ නාගයින් මුලින්ම යක්ෂයින් සමඟ සංහිඳියාවක් ඇති කරගෙන තිබෙන බවක් පෙනෙන්නේ පණ්ඩුකාභය සමයේය.

පණ්ඩුකාභයට මුල් කාලයේදී සිය මාමලාගෙන් බේරෙන්නට මෙන්ම පසුව රාජ්‍ය බලය ලබාගන්නටද යක්ෂයින්ගේ උදවු ලැබී ඇති අතර ඇතැම් යකුන්ට ඔහුගේ රජයේ ඉහළ තනතුරුද හිමි වී ඇති බව පෙනේ. එහෙත්, එසේ වූ පමණින් පණ්ඩුකාභය යුගයේදී එක් වරම යකුන්ට නාගයින්ගේ රාජ්‍යයේ සම අයිතිවාසිකම් හිමි වූ බව සිතිය නොහැකිය.

පණ්ඩුකාභය රජ වන්නට පෙරම රජවාසල ඇතැම් තනතුරු යකුන්ට හිමිවී ඇතත් එසේ ලැබී තිබෙන්නේ ඉහළ තනතුරු නොවේ. පණ්ඩුකාභය සමයේදී යකුන්ගේ නායකයින් කිහිප දෙනෙකුට ඉහළ තනතුරු ලැබෙන්නට ඇතත් ඒ හේතුව නිසා රටේ ජීවත් වූ සාමාන්‍ය යකුන්ට තිබුණු පිළිගැනීම විශාල ලෙස වැඩි වූ බවක් පිළිගන්නට තරම් කරුණු නොපෙනේ.

මහා වංශය අනුව, පණ්ඩුකාභය සමයේ තවත් සුවිශේෂී දෙයක් සිදු වී තිබේ. ඒ පණ්ඩුකාභය අභිෂේකයෙන් දසවසක් ගත වෙද්දී පණ්ඩුකාභය රජය විසින් මුළු ලක්දිව ග්‍රාම සීමා ලකුණු කර අවසන් කිරීමයි.

යුරෝපීයයන් පැමිණෙන්නට පෙර ඇමරිකාවේ ජීවත් වූ ස්වදේශිකයින් මෙන්ම පණ්ඩුකාභය සමයට පෙර ලංකාවේ ජීවත් වූ යක්ෂයින්ද රටේ ඉඩම් පොදුවේ භුක්ති විඳිනු මිස වැටවල් ගසා වෙන් කරගෙන නොසිටින්නට ඇත. ලංකාවට මුලින්ම දේපොළ අයිතිවාසිකම් හඳුන්වා දෙන්නට ඇත්තේ ආර්ය සංක්‍රමණිකයින් විසිනි. පණ්ඩුකාභය සමයට පෙර යකුන් විසින් පොදු දේපොලක් සේ සැලකූ රටේ ඉඩම් ගම් නියම් ගම් ලෙස බෙදා සංක්‍රමනික නාගයින් විසින් රජයේ අයිතිය යටතට ගන්නට ඇත්තේ පණ්ඩුකාභය සමයේදීය. චිත්‍රරාජ හා කාලවේල වැනි තෝරාගත් යක්ෂ ප්‍රධානීන් කිහිප දෙනෙකු හට රජයේ තනතුරු පිරිනමා ඔවුන්ගේ සහාය මත රටේ බහුතරය වූ යකුන්ගේ විරෝධතා වලක්වා ගනිමින් පණ්ඩුකාභය රජය විසින් වසර දහයක පමණ කාලයක් තුළ මේ සීමා නිර්ණය කටයුත්ත අවසන් කරන්නට ඇත.

පණ්ඩුකාභය සමයේ යකුන්ද නාගයින්ගේ රාජ්‍යය තුළට ඇතුළු කර ගත්තත්, රටේ ආර්ථිකය මෙහෙයවූ හා රාජ්‍ය බලය දැරූ නාගයින් සමඟ සැසඳූ විට ඉතිහාසයේ කවර කලෙකවත් යක්ෂයින්ට රටේ ලොකු තැනක් ලැබුණේද යන්න සැක සහිතය. යකුන්ගෙන් වැඩ ගත් කතා මිස යකුන්ට වැඩක් කළ කතා අපට අහන්නට නොලැබෙන්නේ එබැවිනි.

ලංකාව තුළ සිංහල අනන්‍යතාවය හැදී වර්ධනය වෙද්දී බොහෝ දුරට සිදුවී ඇති බව පෙනෙන්නේ සංක්‍රමණික නාගයින්ගේ සංස්කෘතිය තුළ බහුතර යක්ෂයින්ගේ සංස්කෘතිය ක්‍රමයෙන් දිය වී යාමයි. පොදුවේ යක්ෂයින්ගේ සංස්කෘතිය ලෙස හැඳින්වුවත් ප්‍රාග්-යුරෝපීය ඇමරිකාවේ හා අප්‍රිකානු රටවල මෙන්ම බොහෝ විට ලංකාවේද තිබෙන්නට ඇත්තේ එකිනෙකට සම්බන්ධයක් නැති යක්ෂ සංස්කෘති ගණනාවක් වන්නටද පුළුවන. විශේෂයෙන්ම සංස්කෘතියේ භාෂා සංරචකය සැලකූ විට, එකිනෙකට සම්බන්ධයක් නැති ගෝත්‍රික භාෂා ගණනක් සංක්‍රමනිකයින්ගේ භාෂාවකින් විස්ථාපනය වී යන්නට තිබෙන ඉඩකඩ තනි භාෂාවක් එසේ විස්ථාපනය වී යන්නට තිබෙන ඉඩකඩට වඩා වැඩිය.

රට පුරා විසිරී සිටි යකුන් ක්‍රමයෙන් සංක්‍රමණික නාගයින්ගේ සංස්කෘතිය තුළට ඇතුළු වෙද්දී තමන්ගේ මුල් භාෂාවන් අතහැර නාගයින්ගේ භාෂාව කතා කරන්නට පටන් ගන්නට ඇත. එහෙත්, එසේ යකුන් ක්‍රමයෙන් සිංහලයින් වන විට ඔවුන්ගේ මුල් භාෂා වල වූ ඇතැම් වචන හා ශබ්ද සිංහලයට එකතු වීමද නොවැලැක්විය හැකි දෙයකි. උතුරු හෝ දකුණු ඉන්දීය භාෂා කිසිවක නැති ඇකාරය හා එම භාෂා වලින් බිඳී පැමිණ නැති සිංහල වචන ගණනාවක් සිංහලයට එකතු වී තිබෙන්නේ මේ මුල් යක් බස් වලින් විය හැකිය.

සිංහල අනන්‍යතාවය යටතේ එක් වීමෙන් පසුවද සෑහෙන කලක් යන තුරු ඒ අනන්‍යතාවය දැරූ යකුන් හා නාගයින් අතර සමාජ ධුරාවලියේ වෙනසක් තිබෙන්නට ඇත. රටේ ආර්ථිකය හැසිරවූ හා රාජ්‍ය බලය දැරූ නාගයින් දිගටම වරප්‍රසාද ලත් පන්තියක් ලෙස (එලීට්ලා ලෙස) වැජඹෙන්නට ඇත.

ලංකාවේ රාජාවලියේ "නාග" නම දරන රජුන් ගණනාවක් සිටිති. එම රජුන් රජ කල වකවානු වල මේ නාග අනන්‍යතාවයට රටේ විශාල වටිනාකමක් තිබුණා විය හැකිය. නාග සංක්‍රමණිකයින් පමණක් සිටි කුඩා ජනපද පාලනය කළ විජයට හෝ පඬුවස්දෙවුට මේ අනන්‍යතාවයේ විශේෂ වැදගත්කමක් නොතිබුණත් යක්ෂයින් බහුතරයක්ද සහිත රටක් පාලනය කරන විට නාග අනන්‍යතාවයට වැඩි වැදගත්කමක් ලැබෙන්නට ඇත. එයින්ද කලකට පසුව මේ නාග අනන්‍යතාවය මෙන්ම යක්ෂ අනන්‍යතාවයද සිංහල අනන්‍යතාවය තුළ ක්‍රමයෙන් දිය වී යන්නට ඇත.

(මතු සම්බන්ධයි)

Friday, March 23, 2018

සිංහල අනන්‍යතාවය (පළමු කොටස)


ලංකාවේ ජීවත් වන මිලියන පහළොවකට අධික පිරිසක් සිංහල අනන්‍යතාවයක් ඇති අයයි. මේ වන විට ලොව පුරා විසිරී සිටින මිලියන තුනක් පමණ වන ශ්‍රී ලාංකික ඩයස්පෝරිකයන් අතර සිංහල අනන්‍යතාවයක් ඇති අය අඩු වශයෙන් තවත් මිලියනයක්වත් සිටිය යුතුය.

සිංහල අනන්‍යතාවය ප්‍රධාන වශයෙන්ම සිංහල භාෂාව හා සම්බන්ධ වූවකි. එහෙත්, එයින් අදහස් වන්නේ සිංහල අනන්‍යතාවය ඇති සියල්ලන්ටම සිංහල භාෂාව කතා කළ හැකි බව නොවේ. පසුගිය වරෙක ලංකාවට පැමිණි විටෙක රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා මිතුරෙකුගේ ඇරයුම් ලැබ දරුවන්ද සමඟ එහි යාමෙන් පසු මගේ දරුවන්ට හමු වූයේ කුඩා කළ සිට ඉංග්‍රීසි කතාව හුරු කරනු ලැබ තිබුණු, ජාත්‍යන්තර පාසැලක ඉගෙන ගන්නා දැඩි ආයාසයක් නොදරා සිංහල කතා කළ නොහැකි දරුවන් දෙදෙනෙකි. මගේ මිතුරා දැඩි ජාතිකවාදියෙකුද වීම විශේෂත්වයකි. (මෙය මගේ මිතුරාගේ කැමැත්තයි. මා එහි වරදක් දකින්නේ නැත.) නිල ලේඛණ වල මේ දරුවන්ගේ අනන්‍යතාවය සටහන් වනු ඇත්තේ සිංහල වශයෙනි.

හොඳින් සිංහල කතා කළ හැකි සියල්ලෝම සිංහල අනන්‍යතාවයක් දරන්නෝද නොවෙති. විශේෂයෙන්ම පළමු හෝ දෙවන බසක් ලෙස සිංහල මැනැවින් වැහැරිය හැකි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමළුන් හා මුස්ලිමුන් ලංකාවේ මෙන්ම ලංකාවෙන් පිටතද ඕනෑ තරම් සිටිති. එමෙන්ම, රුසියන් විදේශ ඇමති සර්ජේයි ලැව්රොව් වැනි සිංහල තබා ශ්‍රී ලාංකික සම්භවයක් හෝ නැති, එහෙත් සිංහල කතා කළ හැකි අයද සිටිති.

සිංහල අනන්‍යතාවය ප්‍රධාන වශයෙන්ම සිංහල භාෂාව හා සම්බන්ධ වූවක්ය යන්න ඉහත හේතු නිසා බැහැර නොවේ. මෙයින් වෙනස්ව ලොව පුරා විසිරී සිටි යුදෙව් ඩයස්පෝරිකයින් සහශ්‍ර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ අනන්‍යතාවය පවත්වා ගත්තේ ආගමික විශ්වාස හරහා මිස එකම භාෂාවක් කතා කිරීම මඟින් නොවේ. ප්‍රධාන වශයෙන්ම කතා කරන භාෂාව මත පදනම් වූ අනන්‍යතාවයකට එම බස වැහැරීමට ලොකු ඉඩක් නොලැබෙන බිමක වැඩි කල් පැවැතිය නොහැකිය. ඒ නිසා, සාමාන්‍යයෙන් ලංකාවෙන් බැහැර සිටින සංක්‍රමණික සිංහලයන්ගේ සිංහල අනන්‍යතාවය පරම්පරා දෙක තුනකින් ඔබ්බට සම්ප්‍රේෂනය වන්නේ නැත. සිංහල වැහැරිය නොහැකි බොහෝ සංක්‍රමණික සිංහලයින්ගේ දරුවන්ට තිබෙන්නේ ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් උරුම වූ නාමික සිංහල අනන්‍යතාවයක් පමණි.

ඉන්දු-ආර්ය භාෂාවක් සේ සැලකෙන සිංහල භාෂාවේ මූලය බුද්ධ කාලයේ සිට අශෝක කාලය පමණ දක්වා නැගෙනහිර ඉන්දියාවේ කතා කර ඇති ප්‍රාකෘත විශේෂයයි. මේ කාලය තුළ වත්මන් නැගෙනහිර ඉන්දියාවේ සිට වරින් වර ලංකාවට සංක්‍රමණය වූ නාවික කණ්ඩායම් (නාගයින්) විසින් ලංකාවේ වෙරළ තීරයේ ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසුව දිගටම තමන්ගේ මුල් භාෂාවම කතා කරන්නට ඇත. මේ සංක්‍රමණික නාගයින් විසින් මුල් කාලයේදී ස්වදේශිකයින් සමඟ වැඩිපුර සංස්කෘතික සම්බන්ධතා පවත්වාගත් බවක් නොපෙනෙන නමුත් තමන්ගේ මුල් රට සමඟ වූ සංස්කෘතික සම්බන්ධතා දිගටම පවත්වාගෙන තිබේ.

මහා වංශයෙහි සියවස් විසිපහක ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව ලියැවී නැත. එසේ සිදු වී ඇත්තේ අවසන් සියවස් පහළොවක පමණ කාලය තුළදී පමණි. මුල් සියවස් දහය හා අදාළව ලියැවී තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ හතරවන හෝ පස්වන සියවසෙහිදී මහා වංශ කතු වරයාට පරිශීලනය කළ හැකි වූ ලිඛිත හෝ අලිඛිත මූලාශ්‍ර වල වූ කරුණු ඔහු විසින් අර්ථකථනය කරගත් ගත් ආකාරය පමණි. ඒ නිසා, මහා වංශයෙහි ලියැවී ඇති දේ කියවා අපට නිගමනය කළ හැක්කේ එය ලියැවෙන කාලය වන විට ලංකාවේ සිංහල අනන්‍යතාවයක් වූ බව පමණි. (ඊට පෙර එවැන්නක් නොවූ බව එයින් අදහස් වන්නේ නැත.)

මහා වංශය ලියා ඇත්තේ සියවස් පහළොවකට පමණ පෙර වුවත් එයට පාදක කරගත් ඉතිහාස තොරතුරු තවත් සියවස් අටක පමණ කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වී තිබේ. එසේ කර ඇත්තේද එම ඉතිහාසය තත්කාලීනව සියැසින් දුටු අයයි. එහෙත් මේ වාර්තාකරුවන් විසින් මහින්දාගමනයට පෙර ලංකාවේ ඉතිහාසය එසේ සියැසින් දැක නැත. ඒ ඔවුන් නැගෙනහිර ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වී ඇත්තේ අශෝක කාලයේදී බැවිනි. බුද්ධ කාලයේ සිට අශෝක කාලය දක්වා මහා වංශ තොරතුරු වල වාර්තා කරුවන් විසින් ඇසින් දුටු මගධයේ ඉතිහාසය ලියැවී ඇතත් ලංකාව හා අදාළව ඇත්තේ ඇසින් නොදුටු, වෙනත් අයගෙන් අසා දැනගෙන වාර්තා කළ දෑය. මේ 'වෙනත් අය' යනු ලංකාවට සියවස් කිහිපයකට පෙර සංක්‍රමණය වූ නාගයින් නිසා මහා වංශයේ මුල් සියවස් තුනෙහි විස්තර කෙරෙන්නේ ලංකාවට සංක්‍රමණය වූ තැන් සිට නාගයින්ගේ ඉතිහාසයයි. වඩා පැරණි යක්ෂ ඉතිහාසය පිළිබඳ තොරතුරු එහි නැත.

සම්බුද්ධ පරිනිර්වාණයේ පටන් මගධයේ බෞද්ධ ශාසනයේ හා රාජ්‍යයේ ඉතිහාසයද රැගෙන දෙවනපෑතිස් සමයේ ලංකාවට පැමිණෙන බෞද්ධ භික්ෂූන්ට තමන් දන්නා මගධ ඉතිහාසය සමඟ තමන් නොදන්නා ලංකාවේ ඉතිහාසය පාහන්නට සිදු වේ. ඔවුන් මේ කාර්යය පටන් ගන්නේ ඔවුන්ට වඩාත්ම වැදගත් ලාංකිකයා වන දෙවනපෑතිස්ගෙන් පටන් ගෙන ආපස්සට යාමෙනි. දෙවනපෑතිස් යනු පණ්ඩුකාභයගේ මුණුපුරාය. පණ්ඩුකාභය පණ්ඩුවාසදේවගේ මුණුපුරාය. පණ්ඩුවාසදේව යනු උපතිස්ස නුවර රාජ්‍යය භාර ගැනීම සඳහා නැගෙනහිර ඉන්දියාවෙන් ආනයනය කෙරෙන රජෙක් මිස ලංකාවේ උපන් අයෙක් නොවේ.

පණ්ඩුවාසදේවට ලංකාවට සංක්‍රමණය වීම සඳහා පෙරමඟ තනන්නේ ඔහුට පෙර ලංකාවට සංක්‍රමණය වූ ඔහුගේ පියාගේ වැඩිමල් සොහොයුරා වූ විජය විසිනි. විජය යනු ලංකාවට සංක්‍රමණය වූ දේවානම්තිස්සගේ පරම්පරාවේ පළමුවැන්නාය. සැබෑ ඓතිහාසික චරිතයක්දැයි විමසන්නට අප නොවෙහෙසෙන විජයගෙන් පටන් ගන්නේ ලංකාව තුළ දේවානම්තිස්සගේ පරම්පරාවේ ඉතිහාසයයි. මේ ඉතිහාස කතාවේ මුල්ම කොටස ඉතිහාසයේ හරියටම සිදුවූ දෙය නොවන්නට පුළුවන.

විජයගේ තම්බපන්නි රාජ්‍යය මෙන්ම පඬුවස්දෙව්ගේ උපතිස්සනුවර රාජ්‍යයද එවක ලංකාවේ තිබුණු එවැනි සංක්‍රමණිකයන්ගේ කොළණි ගණනාවකින් දෙකක් පමණක් මිස පුළුල් භූගෝලීය ආවරණයක් තිබුණු ප්‍රබල රාජ්‍ය ලෙස සැලකිය නොහැකිය. මෙවැනි කොළණි ගණනාවක් අතරින් තම්බපන්නිය සුවිශේෂී වීමට එකම හේතුව වන්නේ පසුකාලීනව අනුරාධපුරය කේන්ද්‍ර කරගත් ප්‍රබල රාජ්‍යයක් බිහිකළ පරම්පරාවන් පැවතෙන්නේ මුලින්ම තම්බපන්නියෙහි ජනපදයක් බිහිකරගත් සංක්‍රමනික කණ්ඩායමකින් වීම නිසා පමණි.

පඬුවස්දෙව්ට පරිබ්‍රාජක වෙස් ගෙන පැමිණෙන්නට සිදුවන්නේත්, ඔහුගේ මෙහෙසිය වන්නට පසුව ආනයනය කෙරෙන භද්‍රකත්‍යානා කුමරිය ඇතුළු පිරිසට පැවිදි වෙස් ගෙන පැමිණෙන්නට සිදුවන්නේත් තමන්ගේ ආරාධිත "රාජ්‍යතාන්ත්‍රිකයනට" නැව්තොටෙහි සිට රට මැද පිහිටි උපතිස්සනුවරට පැමිණෙන තුරු ආරක්ෂාව හා පහසුකම් සපයන්නට තරම් ශක්තියක් මේ සංක්‍රමණික ජානපදිකයින්ට තිබී නැති බැවිනි. එමෙන්ම, පැවිදි වෙස් ගත්තෙකුට ආරක්ෂාව හා පහසුකම් ලැබෙන සංස්කෘතික වටපිටාවක් එවකටද ලංකාවේ තිබී ඇති බැවිනි.

නැගෙනහිර ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වී ජනපදයක් පිහිටුවාගත් දෙවනපෑතිස් පරම්පරාවේ පළමුවැන්නා විජය විය හැකි වුවත් ඔහු අයත් වන්නේ එසේ පැමිණ ජනපද පිහිටුවාගත් පළමු කණ්ඩායමට නොවේ. ඊට පෙරද රටේ වෙරළ තීරයේ තැනින් තැන මෙවැනි ජනපද ගණනාවක් පිහිටුවා තිබී ඇති බවට වංශ කතා වල ඇති සීමිත තොරතුරු වුවද සාක්ෂි දරයි. බුදුන්ගේ ලංකා ගමන් හා සම්බන්ධ කෙරෙමින් විස්තර වන නාගයින්ගේ රාජ්‍ය යනු මුලින්ම වෙළඳාම් පිණිස පැමිණ පසුව ලංකාවේ ස්ථිර ජනාවාස හදාගත් සංක්‍රමණිකයින්ගේ කොළණි විය යුතුය. ලංකාවේ මෙසේ ස්ථිර ජනාවාස හදාගෙන සිටි විවිධ නාග කණ්ඩායම් මුල් කාලයේදී ඔවුනොවුන් අතර හා ඉන්දියාවේ වෙරළ තීරය දිගේ ජීවත් වූ මෙවැනිම නාග කණ්ඩායම් සමඟ ඉහළ මට්ටමකින් සංස්කෘතික හා වෙළඳ සම්බන්ධතා පවත්වා ඇතත් රට ඇතුළේ සිටි යක්ෂයින් සමඟ වැඩි පයුරුපාසනමක් තිබී ඇති බවක් නොපෙනේ.

(මතු සම්බන්ධයි)

Tuesday, March 20, 2018

මගේ දරුවන්ගේ අනන්‍යතා


මගෙන් මගේ දරුවන් වෙත ලැබෙන දෑ අතර "සිංහල", "බෞද්ධ" හා "ශ්‍රී ලාංකික" වැනි අනන්‍යතාද වේ. එහෙත්, එයින් අදහස් වන්නේ මේ අනන්‍යතාවන්ට ඔවුන් තබන බර මා ඒවාට තබන බරට සමාන වන බව නොවේ. මා උගත් ලංකාවේ පාසැල් හෝ ලංකාවේ සරසවි හා අදාළ අනන්‍යතාවයන් වල ඔවුන්ට කිසිදු වැදගම්මක් නැත. ලංකාවේ මගේ (මගේ පියාගේ) මුල් ගම් ප්‍රදේශය හෝ කුලය වැනි දෙයක් සම්බන්ධ වූ අනන්‍යතාවන් ඔවුන්ට අඩු වශයෙන් අවබෝධ කර ගත හැකි වේද යන්නත් සැක සහිතය. පියෙකුට වුවත් දරුවෙකු හිතන පතන ආකාරය හරියටම දැනගත හැකි ක්‍රමයක් නැත. දරුවන්ද ඇතුළු වෙනකෙකු සිතන ආකාරය ගැන තවෙකෙකුට තිබෙන්නේ දළ අදහසක් පමණි.

මා හිතන හැටියට "සිංහල", "බෞද්ධ" හෝ "ශ්‍රී ලාංකික" වැනි අනන්‍යතාවයකට මගේ දරුවෝ මා තරම් බරක් නොතබති. එයට හේතු අපැහැදිලි නැත. මේ අනන්‍යතා ඔවුන්ගෙන් ඔවුන්ගේ දරුවන්ටද උරුම වනු ඇති නමුත් ඔවුන් ඒ අනන්‍යතා වෙනුවෙන් බර තබනු ඇත්තේ ඊටත් අඩුවෙනි. ඇතැම් විට මේ අනන්‍යතා ඔවුන්ට කිසිදු වැදගම්මක් නැති දේ වන්නටත් පුළුවන.

බොහෝ සංක්‍රමණිකයින් විසින් තමන්ගේ මුල් රටවලින් ඇමරිකාවට රැගෙන එන ජාතික, ආගමික හෝ වෙනත් අනන්‍යතාවන් වලට ඇති වැදගත්කම පරම්පරා දෙක තුනක් යද්දී ක්‍රමයෙන් ක්ෂය වී යයි. එය එසේ වතුදු, ඇමරිකාව තුළ "සිංහල" හෝ "ශ්‍රී ලාංකික" වැනි අනන්‍යතාවයක අඛණ්ඩ පැවැත්ම සඳහා ඉහත කරුණ අනිවාර්ය බාධාවක් නොවේ. ඇමරිකාවට සංක්‍රමණය වන "සිංහල" හෝ "ශ්‍රී ලාංකික" අනන්‍යතා ඇති අයගේ දරු පරම්පරා තුළ එවැනි අනන්‍යතා දියාරු වී ගියත්, සංක්‍රමණික ප්‍රවාහ දිගින් දිගටම පවතින්නේනම් ඇමරිකාව තුළ "සිංහල" හෝ "ශ්‍රී ලාංකික" වැනි අනන්‍යතා වලට කාලයක් අඛණ්ඩව පැවතිය හැකිය. එහෙත්, එවැනි සංක්‍රමණික ප්‍රවාහ නැවතුනොත් එවැනි අනන්‍යතාවකට පරම්පරා දෙක තුනකින් පසු ලැබෙන්නේ නොවැදගත් තැනකි.

"ඇමරිකන්" අනන්‍යතාවයට තිබෙන්නේ සියවස් දෙකහමාරක පමණ ඉතිහාසයකි. ඊට පෙර "ඇමරිකන්" අනන්‍යතාවයක් කියා දෙයක් තිබුණේ නැත. ඇමරිකාවට "ඉංග්‍රීසි", "ප්‍රංශ", "ජර්මන්", "ඉතාලි" ආදී අනන්‍යතා තිබුණු අය මිස "ඇමරිකන්" අනන්‍යතාවයක් තිබුණු අය වෙනත් කොහෙන්වත් පැමිණියේ නැත. "ඇමරිකන්" අන්‍යතාවය වත්මන් ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වල බිහි වී ක්‍රමයෙන් ව්‍යාප්ත වූවකි.

"ඇමරිකන්" අන්‍යතාවයට පසුකාලීනව තනිකරම "ඇමරිකන්" ලෙස සැලකිය හැකි විවිධ අංග එකතු වී ඇතත් අඩු වශයෙන් ආරම්භයේදී එය "ඉංග්‍රීසි", "ප්‍රංශ", "ජර්මන්", "ඉතාලි" ආදී වෙනත් අනන්‍යතා වල මුසුවක් වන්නට ඇත. මුල් කාලයේදී ජර්මනිය වැනි වෙනත් යුරෝපීය රටකින් පැමිණි අයෙකු සිය "ඇමරිකන්" හා "ජර්මන්" අනන්‍යතාවන් එක වර දරන්නට ඇති අතර "ජර්මන්" අනන්‍යතාව සඳහා ඔවුන් තැබූ බර ක්‍රමයෙන් අඩු වී  "ඇමරිකන්" අනන්‍යතාව සඳහා වූ බර වැඩි වන්නට ඇත. එය එසේ සිදුවෙද්දී මුලින් "ජර්මානුවන්" වූ බොහෝ අය පසුව "ජර්මන් ඇමරිකානුවන්" වන්නට ඇති අතර "ජර්මන් ඇමරිකානුවන්" ලෙස ඉපදුණු අය හෝ ඔවුන්ගේ දරුවන් පසුව "ඇමරිකානුවන්" බවට පත් වන්නට ඇත. මේ වන විට, යුරෝපයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූවන්ගෙන් පැවතෙන්නන් ඉතා විශේෂ අවස්ථාවකදී හැර තමන් "ජර්මානු ඇමරිකානුවෙකු" හෝ "අයිරිෂ් ඇමරිකානුවෙකු" බව කියන්නේ නැත.

"ඇමරිකන්" අනන්‍යතාවය මුලින්ම හැදුණේ වෙනත් සංස්කෘතීන් ගණනාවක් මිශ්‍ර වීමෙන් වුවත් මේ "වෙනත්" සංස්කෘතීන් අතර ආසියානු සංස්කෘතීන් නොතිබුණු තරම්ය. එහෙත්, මේ වන විට "ඇමරිකන්" සංස්කෘතියට "චීන", "ජපන්", "ඉන්දියන්", "තායි", "වියට්නාම්", "පිලිපීන" ආදී වෙනත් ආසියානු අනන්‍යතාවන්ගේ ලක්ෂණ මෙන්ම "ශ්‍රී ලාංකික" හා "සිංහල" වැනි අනන්‍යතාවන්ගේ ලක්ෂණ පවා එකතු වෙමින් පවතී. බුද්ධ කාලයේ ඊසානදිග ඉන්දියාවේ වැසි කාලයට ඇමරිකාවේ පිහිටි සිංහල බෞද්ධ පන්සල් වල පැවැත්වෙන වස් පින්කම් වලදී ජාතික ඇඳුම් ඇඳ, කුරහන් සාටක පැළඳගෙන හෝ ඔසරි ඇඳගෙන පෙරහැර වල ගමන් කරනු දැකිය හැක්කේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඇමරිකානුවන් පමණක් නොවේ. අමාරුවෙන් වචන එකතු කරමින් සිංහල කතා කරන සුදු ඇමරිකානුවෙකු ඇමරිකාවේ පිහිටි ලංකාවේ පන්සලකදී ඉඳහිට හෝ හමුවිය හැකිය.

ඉහත කී ආකාරයේ දේ ඉඳහිට සිදුවන අහඹු සිදුවීම් පමණක් බවත්, බොහෝ විට සිදුවන්නේ ලංකාවෙන් ඇමරිකාවට සංක්‍රමණය වන සිංහලයින් ඇමරිකානුවන් වීම බවත් කෙනෙකුට කියන්නට පුළුවන. මිලියන තුන්සිය විස්සක ඇමරිකානුවන් අතරට සිංහලයින් දහ පහළොස් දාහක් පැමිණියා කියා ඇමරිකාව සිංහල වෙන්නේ නැති බව අමුතුවෙන් කියන්නට දෙයක් නොවේ. එහෙත්, මෙවැනි සාපේක්ෂව සුළු සංක්‍රමණික පිරිසක් නිසා වුවත් ඇමරිකන් අනන්‍යතාවයෙහි ඉතා සුළු හෝ වෙනසක් සිදු වේ. මා හිතන පරිදි, සාපේක්ෂව වැඩි සිංහල සංක්‍රමණිකයින් පිරිසක් ජීවත් වන මෙල්බර්න් වැනි නගරයකදී සිංහලයින් විසින් සිදුකරන සංස්කෘතික බලපෑම වඩා ප්‍රබලය.

සිංහල අනන්‍යතාවය බිහිවුණු හා විකාශනය වුනු ආකාරයද ඇමරිකන් අනන්‍යතාවය බිහිවුණු හා විකාශනය වුනු ආකාරයට බොහෝ සෙයින් වෙනස් නැත. මුල්ම කාලයේදී "සිංහල" අනන්‍යතාවය දැරූවන්ට තමන්ගේ "යක්ෂ" හෝ "නාග" වැනි වෙනත් අනන්‍යතාද එක සේ හෝ වඩා වැදගත් වන්නට ඇති අතර එවැනි අනන්‍යතා වලට වූ සාපේක්ෂ වැදගත්කම ක්‍රමයෙන් ක්ෂය වී යන්නට ඇත.

මූලාශ්‍ර මත පදනම් නොවූ මගේම "හිතළුවක්" පමණක් වුවත් මට අවබෝධ වන ආකාරයටනම් ලංකාවේ සිටි ප්‍රාග්-සිංහල "නාගයින්" යනු සංක්‍රමණිකයින් පිරිසකි. මා මෙසේ "නාගයින්" යනු සංක්‍රමණිකයින් බව හඳුන්වන්නේ ඒ වන විටද විශාල කාලයක් ලංකාවේ ස්ථිරව පදිංචිව සිටියේයැයි සැලකිය හැකි "යක්ෂයන්ට" සාපේක්ෂවය.

"නාග" අනන්‍යතාව මා විසින් තේරුම් ගන්නා ආකාරයට ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ වූවකි. වත්මන් ඉන්දියාවේ මෙන්ම ලංකාවේද මේ නාගයින්ගේ ජනාවාස බිහිවී තිබෙන්නේ වෙරළ තීරය දිගේය. ඒ හැරුනු විට මේ නාගයින් අද අර්ථයෙන් එකම ජනවාර්ගික කණ්ඩායමක් හෝ එකම භාෂාවක් කතා කළ පිරිසක් නොවූවා විය හැකිය. ඒ නිසා, විවිධ නාග කණ්ඩායම් අතර වරින් වර ගැටුම් ඇති වන්නට ඇත.

යක්ෂ, රාක්ෂ, දේව හා නාග යන අනන්‍යතා හතරේ එකතුවෙන් සිංහල අනන්‍යතාවය හැදුණු බව බොහෝ තැන් වල පැවසුනත් බුද්ධ කාලය හා අශෝක කාලය අතර බොහෝ දුරට සිදු වී ඇත්තේ යක්ෂ හා නාග අනන්‍යතා සම්මිශ්‍රණය වීමයි. රාක්ෂයින් ඒ වන විටද යක්ෂයින් සමඟ මිශ්‍ර වී තමන්ගේ අනන්‍යතාවය බොහෝ දුරට නැති කරගෙන සිටියා විය හැකිය. එමෙන්ම, දේවයින්ද සංස්කෘතික ලෙස නාගයින්ගෙන් බොහෝ වෙනස්ව සිටි බවක් නොපෙනේ. ඔවුන්ගේ වෙනස් අනන්‍යතාවය ඔවුන් නියැලී සිටි රැකියාව හා අදාළ වූවකි. විශාල සංස්කෘතික වෙනස්කම් තිබුණු ප්‍රධාන කණ්ඩායම් දෙක වන්නට ඇත්තේ ඇත්තේ යක්ෂයින් හා නාගයින්ය.

නාගයින් යනු එවක ජාත්‍යන්තර වෙළඳාමේ යෙදුණු අයයි. ඒ කාලයේ පමණක් නොව දහඅට වන සියවස පමණ දක්වාම ජාත්‍යන්තර වෙළඳාම, සංක්‍රමණය හා ආක්‍රමණය යනු එකම පැකේජයක කොටස් නිසා ඉතිහාසයේ මේ යුගයේ වෙළෙන්දන්, ආක්‍රමණිකයින් හා සංක්‍රමණිකයින් වෙන් කර හඳුනාගැනීම තේරුමක් නැති තරමටම අපහසු කටයුත්තකි. යෙදුණු රැකියාව අනුව පොදුවේ නාගයින් ලෙස වර්ග කළත්, මේ නාගයින් අතර කතා කළ භාෂාව, සමේ පැහැය හා ගෝත්‍ර මත පදනම් වූ වෙනස් අනන්‍යතා තිබුණු කණ්ඩායම් සිටින්නට ඇත. මේ විවිධ කණ්ඩායම් අතරින්  ඊසානදිග ඉන්දියාවේ සිට පැමිණි නාගයින් යක්ෂයින් සමඟ සම්මිශ්‍රණය වීමෙන් පසු යක්ෂයින් මත සිය භාෂාව ඇතුළු සංස්කෘතිය පතුරුවා හරින්නට ඇත. පොදුවේ නාගයින්ට ජාත්‍යන්තර වෙළඳාමෙහි මෙන්ම, නාවික ගමනාගමනයෙහි, නැව් තැනීමේ කර්මාන්තයෙහි මෙන්ම මූලික ජ්‍යෝතිෂයෙහිද නිපුණතාවක් තිබෙන්නට ඇත.

දේව යන වචනය අදටත් ලෝහ භාවිතය හා අවි දැරීම හා සම්බන්ධ වූවකි. දහඅටවන සියවසේ මුල් කාලය පමණ වන තුරුම අවි බලයක් නැතිව ජාත්‍යන්තර වෙළඳාමෙහි නියැලීමේ හැකියාවක් තිබුණේ නැත. අවි තැනීමේ හා සටන් කිරීමේ සුරුවන් වූ දේව කණ්ඩායම් තමන්ගේ වෙළඳ කණ්ඩායම් වලට එකතු කර ගැනීමෙන් නාගයින්ට තමන්ගේ මූලික කාර්යය වූ වෙළඳාමට වැඩි අවධානයක් යොමු කරන්නට ඉඩ ලැබෙන්නට ඇත. ඒ නිසා, නාගයින් හා දේවයින් අතර තිබෙන්නට ඇත්තේ සමීප සම්බන්ධයකි. බොහෝ විට කිසියම් නාග කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කළ දේව කණ්ඩායමකට කතා කළ භාෂාව, සමේ පැහැය හා ප්‍රධාන ආහාර වැනි දෑ හා අදාළව තිබෙන්නට ඇත්තේ එකම අනන්‍යතාවයකි.

ඇතැම් නාගයින් තොටෙන් තොටට කලින් කළ සංක්‍රමණය වෙමින් තමන්ගේ ජීවිතවල වැඩි කාලයක් මුහුදේම ගෙවද්දී තවත් පිරිසක් එසේ මුහුදු නොයමින් කිසියම් තැනක ස්ථිර ජනාවාස පිහිටුවාගෙන රට ඇතුළෙන් වෙළඳ භාණ්ඩ එකතු කර මුහුදු නාගයින්ට විකිණීමේ නියැලෙන්නට ඇත. චූලෝදර-මහෝදර සටන ලෙස සටහන්ව තිබෙන්නේ මේ අයුරින් වත්මන් ලංකාවේ පැලපදියම් වී සිටි පර්වත නාගයින් කණ්ඩායමක් හා වැඩි කලක් මුහුදේම දිවි ගෙවූ මුහුදු නාගයින් කණ්ඩායමක් අතර වූ ගැටුමක් බව පෙනේ.   

කන්වඩමන් පවුවෙහි පැලපදියම්ව සිටි පර්වත නාග කණ්ඩායමේ ප්‍රධානියා වෙත සිය සොහොයුරිය ආවාහ කර දීමෙන් මුහුදු නාග කණ්ඩායමක ප්‍රධානියා වූ මහෝදර විසින් වෙළඳ ගිවිසුමක් හරහා ඇති කර ගත් සංහිඳියාව එම පර්වත නාග ප්‍රධානියාගේ මරණයෙන් පසු චූලෝදර බලයට පත් වීමත් සමඟ බිඳ වැටෙන්නට ඇත. ඇතැම් විට පර්වත නාගයින් යනු දකුණු ඉන්දීය සම්භවයක් තිබුණු නාගයින් වූවා වන්නටද පුළුවන. දකුණු ඉන්දියානු වෙරළ ප්‍රදේශ වලින් පැමිණි නාග කණ්ඩායම් ඊසානදිග ඉන්දියාවේ සිට පැමිණෙන නාග කණ්ඩායම් වලට කලින් ලංකාවේ ස්ථිර ලෙස පදිංචි වන්නට වැඩි ඉඩක් තිබේ.

පර්වත නාගයෙකුගේ පුතෙකු වූ චූලෝදර හා මුහුදු නාගයෙකු වූ ඔහුගේ මාමණ්ඩිය අතර වූ සටනට තවත් පාර්ශ්ව එක් වී ඇති බව පෙනේ. රට ඇතුලේ සිටි දේවයින් චූලෝදරගේ සහායට පැමිණෙද්දී මහෝදරගේ සහායට කැළණියේ මුහුදු නාගයින් පැමිණියා විය හැකිය. කෙසේවුවත්, මේ සටන මහා විනාශයකින් අවසන් නොවී සංහිඳියාවකින් කෙළවර වී තිබෙන්නේ මේ දේව හා නාග කණ්ඩායම් සියල්ලටම කිසියම් ආකාරයක බෞද්ධ අනන්‍යතාවයක්ද තිබී ඇති බැවිණි.

බෞද්ධ අනන්‍යතාවය ලංකාවට මුලින්ම රැගෙන එන්නට ඇත්තේ නාග සංක්‍රමණිකයින් විසිනි. එය බොහෝ විට බුද්ධ කාලයේදීම හෝ ඉතා ආසන්න කාලයක සිදු වන්නට ඇත. එහෙත්, ඒ කාලයේ නාගයින් හා දේවයින් අතර මිස යක්ෂයින් අතර බෞද්ධ අනන්‍යතාවයක් තිබී ඇති බවක් නොපෙනේ.

මහින්දාගමනය සිදුවන විට ලංකාවේ බෞද්ධයින් නොසිටින්නට හේතුවක් නැත. මහින්දාගමනයෙන් සිදුවන්නට ඇත්තේ ලංකාවේ රජු හා රජුට සම්බන්ධව සිටි පිරිස් බෞද්ධයින් වීමයි. එහෙත්, ඒ සමඟම ලංකාවේ බෞද්ධ අනන්‍යතාවයට වැඩි වටිනාකමක් ලැබී දෙමවුපියන් විසින් මේ අනන්‍යතාවය සිය දරුවන් වෙත සම්ප්‍රේෂණය කිරීම වේගවත් වන්නට ඇත. විශේෂයෙන්ම නාගයින් හා යක්ෂයින් අතර සිදු වූ මිශ්‍ර විවාහ හරහා බෞද්ධ අනන්‍යතාවය යක්ෂයින් වෙත සම්ප්‍රේෂණය වන්නට ඇත. මගේ පියාගෙන් මට ලැබුණේත් මගෙන් මගේ දරුවන්ට ලැබුණේත් පරම්පරා ගණනක් තිස්සේ අඛණ්ඩව හෝ ඛණ්ඩව සම්ප්‍රේෂණය වූ මේ බෞද්ධ අනන්‍යතාවයයි.

Saturday, March 17, 2018

මගේ අනන්‍යතා


පෞද්ගලිකව මට "මම" යන අනන්‍යතාවය හා "මිනිසෙකු" යන අනන්‍යතාවය අතර තවත් අනන්‍යතා ගණනාවක් තිබේ. "සිංහල" හා "බෞද්ධ" යන අනන්‍යතා මේ අතරින් දෙකකි. ලංකාවේදී රැකියාවක් සඳහා හෝ අධ්‍යයන පාඨමාලාවක් සඳහා අයදුම් කරන අවස්ථා සෑම එකකදීම වාගේ ඇතැම් විට අනිවාර්යයෙන්ම කළ යුතු නිසාත්, අනෙකුත් අවස්ථා වලදී පුරුද්ද නිසාත් ජාතිය "සිංහල" හා ආගම "බෞද්ධ" ලෙස මා බොහෝ තැන් වල සටහන් කර තිබේ. 

ඉහත අනන්‍යතා දෙකම මට ලැබුණේ මගේ දෙමවුපියන්ගෙනි. එහෙත්, ඔවුන් විසින් කිසිදු දවසක "හොඳට මතක තියාගනින් උඹ   සිංහලයෙක්!" කියා හෝ "පුතේ අපි බෞද්ධයෝ!" කියා උගන්වා හෝ නැවත නැවත මතක් කර දී නැත. මේ දේවල් කුඩා දරුවෙකු ලෙස සිට ලොකු මහත් වෙද්දී ස්වභාවික ලෙසම අවබෝධ වූ දේවල්ය. මෙයින් දෙවැන්න ගැන විශේෂයෙන්ම කියනවානම් මගේ "බෞද්ධ" යන අනන්‍යතාවය නිතිපතා පන්සිල් රැකීම නිසා, නිවන් දැකීම ජීවිතයේ අවසන් ඉලක්කය වූ නිසා හෝ බුද්ධාදී අට තැන පිළිබඳ සැක දුරුවීම නිසා ලැබුණු දෙයක් හෝ අඩු වශයෙන් විශ්වාස මත පදනම්ව ලැබුණු දෙයක් හෝ නොව මේ කිසිදෙයක් නොදත් කුඩා අවදියකදීම ලැබුණු දෙයකි.

මා හිතන පරිදි, මෙය කියවන තවත් බොහෝ දෙනෙකුට තමන්ගේ ජාතික හා ආගමික අනන්‍යතා ලැබී ඇත්තේ මේ ආකාරයෙනි. එය එසේ නොවූ අයද කියවන්නන් අතර ඕනෑ තරම් සිටින්නට පුළුවන.

මගේ සිංහල අනන්‍යතාවය ම පහසුවෙන්ම අර්ථ දක්වා ගත හැකි වුණේ මා කුඩා කාලයේ ඇසුරු කළ අය අතර දෙමළ, මුස්ලිම්, මැලේ වැනි වෙනත් ජාතික අනන්‍යතා තිබුණු අයද සිටි බැවිනි. මා ඇතුළු සිංහලයින් හා මේ වෙනත් අය අතර පැහැදිලිව හඳුනාගත හැකි සංස්කෘතික වෙනස්කම් තිබුණේය. මේ අයුරින්ම, මා කුඩා කාලයේ ඇසුරු කළ අය අතර කතෝලික, ඉස්ලාම්, හින්දු වැනි වෙනත් ආගමික අනන්‍යතා තිබුණු අයද සිටියහ. මේ කණ්ඩායම් අතර වූ විශ්වාස හෝ ඇදහීම් පිළිබඳ වෙනස්කම් කෙසේවුවත්, අනෙකුත් ආගමිකයින් හා මා ඇතුළු බෞද්ධයින් අතර පැහැදිලිව හඳුනාගත හැකි සංස්කෘතික වෙනස්කම් මට පැහැදිලිව හෝ ඇතැම් විට අපැහැදිලිව දකින්නට ලැබුණේය. විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් හා සිංහල කතෝලිකයින් අතර වූ සංස්කෘතික වෙනස්කම් පැහැදිලි ලෙස මතු වී පෙනුණේ නැත.

"සිංහල" හා "බෞද්ධ" යන අනන්‍යතා තිබුණත් "ශ්‍රී ලාංකික" යන ජාතිකත්ව අනන්‍යතාවයක් කුඩා කාලයේදී හෝ අඩු වශයෙන් තරුණයෙකු වන තුරු මට නොතිබුණේය. ඒ මගේ දෙමවුපියන් ශ්‍රී ලාංකිකයින් නොවූ නිසා හෝ ඔවුන්ගේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය වක්‍ර ලෙස මා වෙත සම්ප්‍රේෂණය නොකළ නිසා නොවේ. මේ අනන්‍යතාවය විසින් සිදු කෙරුණු විශේෂ කර්තව්‍යයක් නොවූ බැවිනි.

මගේ දෙමවුපියන් හෝ ළඟම ඥාතීන් බොහොමයක්ම ලංකාවෙන් පිට සංචාරය කර තිබුණු අය නොවූ අතර මා කුඩා කාලයේදී "ඩුබායි රැල්ල" ලංකාවේ ගම් වලට හමා තිබුණේද නැත. අපේ පැත්ත සංචාරකයින් නිතර පැමිණි පැත්තක්ද නොවේ. ඒ නිසා, එදිනෙදා ජීවිතයේදී මට හැමවිටම වගේ හමු වුණේ "ශ්‍රී ලාංකික" ජාතිකත්වයක් තිබුණු අයයි. එවැනි වටපිටාවක "ශ්‍රී ලාංකික" අනන්‍යතාවයකින් කෙරෙන කාර්යයක් නැත.

ජාතික හා ආගමික අනන්‍යතාවයන්ට අමතරව මා කුඩා කාලයේදී මට කුල අනන්‍යතාවයක්ද තිබුණේය. ඒ, කුල අනන්‍යතාවයට වැදගත් කමක් ලබා දුන් වෙනත් කුල අනන්‍යතා තිබුණු අයද මා අවට දකින්නට සිටි අතර මේ වෙනස් කුල වලට අයත් මිනිසුන් අතර පැහැදිලිව හෝ අපැහැදිලිව හඳුනාගත හැකි සංස්කෘතික හා සමාජ ආර්ථික වෙනස්කම්ද තිබුණේය. එහෙත්, දළ වශයෙන් හැත්තෑ හතෙන් පසුව ඉහත කී පරිදි විවිධ කුල අනන්‍යතා තිබුණු මිනිසුන් අතර වූ සංස්කෘතික හා සමාජ ආර්ථික වෙනස්කම් හඳුනාගැනීම අසීරු වන තරමටම අපැහැදිලි වී ගියේය. ඒ නිසා, මගේ කුල අනන්‍යතාවයේ වූ වැදගත්කමද ඉතා ඉක්මණින්ම දියාරු වී ගියේය.

සරසවියට ඇතුළු වීමෙන් පසුව, එතෙක් වැඩි වැදගත්කමක් නොතිබුණු තවත් අනන්‍යතාවයකට වැඩි වැදගත්කමක් ලැබෙන්නට විය. ඒ ප්‍රාදේශීය අනන්‍යතාවයි. වෙනත් ප්‍රදේශයකින් අපේ ප්‍රදේශයට ආවාහ විවාහ හරහා හෝ වෙනත් හේතුවක් නිසා සංක්‍රමණය වූ අය කුඩා කාලයේ සිටම මා දැන සිටි අතර මේ බොහෝ දෙනෙක් හැඳින්වුණේ "රිටිගලයා", "දික්වැල්ලා" හෝ "මාතලේ නංගී" වැනි ඔවුන්ගේ මුල් ප්‍රාදේශීය අනන්‍යතාවය සළකුණු වූ නමකින් වුවත් අප අවට සිටි වැඩි දෙනෙකු මේ පැත්තේම ඉපදී, හැදී වැඩී, පවුල් පන්සල් වී, මිය යන්නට නියමිතව සිටි අයයි. මෙයින් වෙනස්ව, සරසවියේදී දක්නට හැකි වූයේ ලංකාවේ හතරදිග් භාගයෙන්ම පැමිණි අයගේ මුසුවකි. එවැනි වටපිටාවකදී, ප්‍රාදේශීය අනන්‍යතාවයක ඇති වැදගත්කම ඉහළ යයි. මීට අමතරව සරසවියේදී පාසැල් අනන්‍යතාවයටද වැදගත් තැනක් ලැබෙයි.

ලංකාවෙන් පිටතට තාවකාලික සංචාරයක් සඳහා හෝ ස්ථිර පදිංචිය සඳහා පැමිණි වහාම ලංකාව තුළදී ඇතැම් අනන්‍යතා වලට වූ වැදගත්කම ගිලිහී වෙනත් ඒවාට වැඩි වැදගත්කමක් ලැබේ. රටින් පිටතදීද ලංකාවෙන් පැමිණි සංක්‍රමණිකයින් අතර ලංකාවේදී වැදගත් සේ සැලකුණු (පාසැල් හෝ ප්‍රාදේශීය අනන්‍යතා වැනි) අනන්‍යතාවන්ට වැදගත්කමක් තිබුණත් එයින් පරිබාහිර පොදු සමාජයේදී ප්‍රමුඛ වන්නේ "ශ්‍රී ලාංකික" අනන්‍යතාවයයි. අඩු වශයෙන් ඇමරිකාවේදී, "සිංහල" හෝ "බෞද්ධ" ආදී අනෙකුත් අනන්‍යතාවයන්ට ලැබෙන්නේ ඊට වඩා අඩු වැදගත්කමකි.

"සිංහල" අනන්‍යතාවය ඇති සෑම කෙනෙකුටම වාගේ ප්‍රමුඛව හෝ නැතිව "ශ්‍රී ලාංකික" අනන්‍යතාවයක්ද තිබේ. "ශ්‍රී ලංකාව" ලෙස දැන් හැඳින්වෙන බිම්කඩ ඇතුළත සියවස් ගණනාවකට පෙර "සිංහල" යන අනන්‍යතාවය ඇති වීමෙන් පසු එම අනන්‍යතාවය අඛණ්ඩව දිගින් දිගටම පවත්වාගෙන තිබෙන්නේ "ශ්‍රී ලංකාව" නම් වූ දිවයින තුළ ජීවත්ව සිටි අයයි.

සියවස් ගණනාවක් තිස්සේ සිංහලයින්ට මෙසේ සිය අනන්‍යතාවය ගිලිහෙන්නට නොදී පවත්වාගන්නට හැකි වී තිබෙන්නේ සිංහල නොවන වෙනත් අනුරූපී අනන්‍යතා තිබුණු අයද දිවයින තුළ සියවස් ගණනක් තිස්සේ අඛණ්ඩව ජීවත්ව සිටි බැවිනි. මේ බොහෝ දෙනෙක් වෙළඳාම හෝ වෙනත් ආර්ථික වාසි පිණිස, යුද පිණිස, ඉගෙනීම සඳහා හෝ ආවාහ විවාහ හරහා ලංකාවට සංක්‍රමණය වූ හෝ තාවකාලික පදිංචිය පිණිස පැමිණි විදේශිකයෝය. ලංකාවට ආසන්නවම පිහිටි දකුණු ඉන්දියාවෙන් හෙවත් "දෙමළෙන්" "සිංහලයට" පැමිණි විදේශිකයින් ඒ අතර වැඩියෙන් සිටින්නට ඇත.

සහශ්‍ර දෙකකටත් පෙර සිට ලංකාව විවිධ ජාතීන් ආකර්ශනය කර ගත් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවැතී ඇති බව ඕනෑ තරම් සාධක ඇති කරුණකි. එවැනි තැනක විවිධ සංස්කෘතික අනන්‍යතා ඇති මිනිසුන් නිතර දකින්නට ලැබීම සාමාන්‍ය දෙයකි. තාවකාලික සංචාර බොහෝ විට ස්ථිර සංක්‍රමණයන්ටද මුල පුරයි. මෙසේ වෙනත් රටකට සංක්‍රමණය වන්නන් ගමනාන්ත සංස්කෘතිය උකහා ගන්නා තුරු තමන්ගේ මුල් සංස්කෘතිය හැකි තරමින් පවත්වා ගන්නා බව රහසක් නොවේ. එකම රටකින් තවත් රටකට කෙටි කාලයක් තුළ විශාල පිරිසක් පැමිණි විට මුල් රටේ සංස්කෘතියට බොහෝ සමාන සංස්කෘතියක් ගමනාන්ත රටේ ස්ථිර ලෙස ඇති වන්නට පුළුවන් වුවත් මේ සඳහා සාධක ගණනාවක දායකත්වය අවශ්‍ය වේ.

පසුගිය සියවසේ අගභාගය දක්වාම ඉතිහාසය පුරා කවර කලෙක හෝ සිංහලයින් විසින් සාර්ථක ලෙස තමන්ගේ සංස්කෘතිය ශ්‍රී ලංකා දිවයිනෙන් ඔබ්බට ව්‍යාප්ත කර නැත. එහෙත්, කිසිදු සිංහලයෙකු සියවස් ගණනක ඉතිහාසය පුරා ආර්ථික වාසි සොයමින් හෝ වෙනත් හේතු මත අඩු වශයෙන් ආසන්නයේ ඇති තමිල්නාඩුවට හෙවත් "දෙමළෙට" හෝ සංක්‍රමණය නුවූවායැයි සිතිය නොහැකිය. ඇතැම් සිංහලයින් විසින් කලින් කලට එසේ වත්මන් දකුණු ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලට සංක්‍රමණය වන්නට ඇත. එහෙත්, එසේ සංක්‍රමණය වූවන් "නොදන්නා දෙමළෙට ගොස් වරිගෙ නහගත්තා" මිස එහි සිංහල සංස්කෘතියක් ස්ථාපිත කරන්නට සමත්ව නැත. අතරින් පතර දකුණු ඉන්දියාවට සංක්‍රමණය වූ සිංහලයෙකුගේ සිංහල අනන්‍යතාවය ඇතුළු අනෙකුත්  අනන්‍යතා, එසේත් නැත්නම් ඔහුගේ "වරිගෙ", ප්‍රබල දෙමළ සංස්කෘතිය තුළ දියාරු වී යන්නට ඇත.

පසුගිය සියවසේ අගභාගයේ සිට ඉහත තත්ත්වය යම් තරමකින් වෙනස් වෙමින් තිබේ. මේ වන විට සිංහල සංස්කෘතිය සමුදුරු තරණය කර යම් තරමකින් හෝ ලෝකයේ සියළුම මහාද්වීප කරා ව්‍යාප්තව නැතැයි කිසිවකු කියන්නේනම් එය නිවැරදි නැත.

(මතු සම්බන්ධයි)

Thursday, March 15, 2018

අපේ අනන්‍යතා


මුස්ලිමුන් ලංකාවේ බහුතරය වේද යන ප්‍රශ්නය ගැන කතා කරන්නට පෙර පැහැදිලි කරගත යුත්තේ සිංහල හෝ මුස්ලිම් ලෙස ලාංකිකයින්ව වෙන් කරන බෙදුම් ඉර කුමක්ද යන්නයි. සිංහලයෙකු හා ශ්‍රී ලාංකික මුස්ලිමෙකු ඔවුන්ගේ ශරීර වල බාහිර පෙනුමෙන් තබා අඩු වශයෙන් ජාන පරීක්ෂාවකින් හෝ පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකියැයි මා සිතන්නේ නැත. සිංහලයින් හා ශ්‍රී ලාංකික මුස්ලිමුන් අතර තිබෙන්නේ සංස්කෘතික වෙනස්කම් පමණි. ඒ නිසා, බිළිඳු වියේ සිටම සිංහල පවුලක හැදෙන මුස්ලිම් දෙමවුපිය යුවලකගේ දරුවෙකුට (හෝ බිළිඳු වියේ සිටම මුස්ලිම් පවුලක හැදෙන සිංහල දෙමවුපිය යුවලකගේ දරුවෙකුට) ඒ බව නොදන්නේනම් වැඩිවිය පත් වෙද්දී කිසිදු අමුත්තක් දැනෙන්නේ නැත.

මෙයින් වෙනස්ව යුරෝපීය (සුදු) දෙමවුපිය යුවලක් විසින් කුඩා කාලයේ සිට හදා වඩා ගන්නා සිංහල (හෝ ශ්‍රී ලාංකික මුස්ලිම්) දරුවෙක්ට කලක් යද්දී තමන් තමන්ගේ පවුලේ අනෙක් අයගෙන් වෙනස් "අමුතු සතෙක්" බව ස්වභාවිකවම දැනෙන්නට පටන් ගනී.

සිංහල හෝ මුස්ලිම් යනු ලාංකිකයෙකුගේ මනසේ ඇති අනන්‍යතාවන් ගණනාවකින් එකකි. යමෙක් සිංහල හෝ මුස්ලිම් වන්නේ එවැන්නෙකු එසේ සිතන බැවිනි. යමෙක් එසේ සිතන්නේ ඔවුන්ට කුඩා කාලයේ සිට, බොහෝ විට ඔවුන්ගේ දෙමවුපියන් විසින්, එසේ සිතන්නට පුරුදු කරන බැවිනි. දෙමවුපියන් සිය දරුවන්ට මෙසේ සිතන්නට පුරුදු කරන්නේ ඔවුන් මෙවැනි සාමූහික අනන්‍යතාවයකට ඉහළ වටිනාකමක් දෙන බැවිනි. වෙනත් අයුරකින් කියනවානම්, ඔවුන්ගේ අනන්‍යතා පෙළ ගැස්මෙහි "සිංහල" එසේ නැත්නම් "මුස්ලිම්" යන අනන්‍යතාවය ඉහළින් ශ්‍රේණිගතව ඇති බැවිනි.

ජන සංගණනයකදී හෝ වෙනත් අවස්ථාවකදී යමෙක් තමන් සිංහලයෙකු ලෙස කැමැත්තෙන්ම හඳුන්වාදෙන්නේ එය එවැන්නෙකුගේ අනන්‍යතාවයන්ගෙන් එකක් වන බැවිනි. මෙසේ තමන්ව හඳුන්වා ගන්නා කණ්ඩායම අපි පොදුවේ සිංහලයින් වශයෙන් ගණන් ගන්නෙමු. එහෙත්, එය එසේ වූ පමණින් මේ සියලු දෙනාටම සිංහල යන අනන්‍යතාවය එක තරමට වැදගත් බව අදහස් නොවේ.

උදාහරණයක් ලෙස කිසියම් පුද්ගලයෙකුට "සිංහල" යන අනන්‍යතාවයට අමතරව "බෞද්ධ", "ශ්‍රී ලාංකික", "දකුණේ", "ගොවිගම", "සමරවික්‍රමලා", "විශාකියන්", "යූඑන්පී" වැනි තවත් අනන්‍යතා ගණනාවක් තිබෙන්නට පුළුවන. මේ අනන්‍යතා වලින් ඇතැම් ඒවා "සිංහල" යන අනන්‍යතාවයට ඉහළින්ද තවත් ඒවා ඊට පහළින්ද තිබිය හැකිය. බොහෝ දෙමවුපියන් විසින් තමන්ගේ අනන්‍යතා ලැයිස්තුවේ ඉහළින් ඇති, තමන් විසින් වඩා වැදගත්යැයි සිතන අනන්‍යතාවන් සිය දරුවන් මත සම්ප්‍රේෂණය කරන්නට උත්සුක වන නමුත් ලැයිස්තුවේ පහළින් ඇති තමන්ට එතරම් නොවැදගත් අනන්‍යතා එසේ සම්ප්‍රේෂණය කරන්නට මහන්සි වන්නේ නැත. එවැනි අනන්‍යතා පරම්පරාවෙන් පරම්පරාවට මුළුමනින්ම සම්ප්‍රේෂණය නොවී කාලයත් සමඟ නැති වී යා හැකිය.

"සිංහල" යන අනන්‍යතාවයේ ආරම්භය ගැන අප කුඩා කාලයේ අසා ඇති, මෙය කියවන කවුරුත් වාගේ දන්නා, කතාවක් තිබේ. ඒ විජයාවතරණයෙන් පටන්ගන්නා මහා වංශ කතාවයි. මේ කතාව කතාවක් පමණක් විය හැකි වුවත් අදාළ කාලයේදී මේ කතාවෙන් කියවෙන ආකාරයේ විවිධ කණ්ඩායම් වත්මන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් ලංකාවට සංක්‍රමණය වූ බව සිතන්නට සාධක තිබේ. මෙය කියවන අය අතර වෙනස් මත තිබෙන අය සිටිය හැකි වුවත්, එසේ පැමිණි සංක්‍රමණිකයින් තාක්ෂනය අතින් (විශේෂයෙන්ම යුද තාක්ෂනය අතින්) එවකට ලංකාවේ සිටි පිරිස් වලට වඩා ඉදිරියෙන් සිට ඇති බව වැඩි ඉඩකඩක් ඇති කරුණකි.

විජයාවතරණයෙන් සංකේතවත් වන සංක්‍රමණ රැල්ලකින් පටන් ගත්තේයැයි සිතිය හැක්කේ දැන් අප ලංකාව ලෙස හඳුනාගන්නා භූමි භාගය තුළ අප දන්නා ඉතිහාසය තුළ සිදු වී ඇති විශාලතම සංස්කෘතික පරිවර්තනයි. අශෝක-දේවානම්පිතිස්ස කාලයේදී මේ සංස්කෘතික පරිවර්තනය බොහෝ දුරට සම්පූර්ණ වූ සේ සැලකිය හැකිය.

මහා වංශ ඉතිහාසයේ මුල් සියවස් තුන තුළ දිගින් දිගටම වත්මන් ඉන්දියානු අර්ධද්වීපයෙන් ලංකාවට සංක්‍රමණිකයින් පැමිණීම නිසා සිදුවූ පරිවර්තනය ඇමරිකානු මහාද්වීපයට යුරෝපීයයන් පැමිණීමෙන් පසුව උතුරු ඇමරිකාවේ සිදුවූ දෙයට වඩා දකුණු ඇමරිකාවේ සිදු වූ දෙයට සමාන වන්නට පුළුවන. දකුණු ඇමරිකාවේදී උතුරු ඇමරිකාවේදී තරමටම ස්වදේශිකයින් මිය ගියේ නැති අතර යුරෝපීයයන්ගේ සංස්කෘතිය තුළට ස්වදේශික සංස්කෘතීන් පහසුවෙන් අවශෝෂණය විය.

ලංකාවට වත්මන් ඉන්දියාවෙන් හෝ වෙනත් කිසිදු රටකින් සංක්‍රමණය වූවෙකු සිංහල අනන්‍යතාවයක් රැගෙන ආවේ නැත. එසේ ගෙන එන්නට එවැනි අනන්‍යතාවයක් ලෝකයේ කොහේවත් තිබුණේද නැත. සිංහල අනන්‍යතාවය ලංකාව ඇතුළෙන්ම බිහි වූවකි. බොහෝ විට මෙය සිදුවන්නට ඇත්තේ මහා වංශ ඉතිහාසයේ මුල් සියවස් තුන ඇතුළතදීය.

සිංහල අනන්‍යතාවය බිහි වුණේ ලංකාව ඇතුළේම වුවත් ඒ අනන්‍යතාවය බිහිවීමට පාදක වූ දේවල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රැගෙන ආවේ විජයාවතරණයේ සිට මහින්දාගමනය දක්වා කාලය තුළ වත්මන් ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශ වලින් ලංකාවට සංක්‍රමණය වූ අයයි. සිංහල භාෂාව විකාශනය වන්නේ මේ කාලයේදී ඊසානදිග ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයින් විසින් කතා කළ භාෂාවෙන්යැයි සිතන්නට සාධක තිබේ. ලංකාවේ දැනට ප්‍රචලිතව ඇති බුද්ධාගමේ ප්‍රභවය ඒ කාලයේ ඊසානදිග ඉන්දියාවේ වූ බුද්ධාගම බව පැහැදිලි කරුණකි.

ලංකාවේ බුද්ධාගම ප්‍රචලිත වීමෙන් පසු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ බෞද්ධ අනන්‍යතාවයද පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නට තරම් වැදගත් දෙයක් විය. ඒ අතර, කෘෂි ආර්ථිකයක් තුළ ලංකාවේ සමාජ ක්‍රමය සකස්වෙද්දී කුල අනන්‍යතාවයද පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නට තරම් වැදගත් දෙයක් බවට පත් විය.

කිසියම් අනන්‍යතාවයකට වැදගත් තැනක් ලැබෙන්නටනම් අදාළ අනන්‍යතාවයෙන් බාහිර වෙනත් අනන්‍යතාද දෘශ්‍යමානව තිබිය යුතුය. ඉතිහාසය පුරා දිගින් දිගටම ලංකාවට පැමිණි සංක්‍රමණිකයින් හා තාවකාලික සංචාරකයින් විසින් මේ අවශ්‍යතාවය සැපිරුවේය. ඉතිහාසයේ බොහෝ යුග වලදී සිංහලයින් නොවන වෙනත් ජාතීන්ද, බෞද්ධයින් නොවන වෙනත් ආගමිකයින්ද තාවකාලිකව හෝ ස්ථිරව ලංකාවේ ජීවත් වී තිබේ.

විවිධ කුල වලට අයත් පිරිස්නම් සියවස් ගණනක් තිස්සේ අඛණ්ඩව, එකිනෙකින් වෙනස් උප සංස්කෘතික කණ්ඩායම් (අනන්‍යතා) ලෙස, ලංකාව තුළම සිටියේය. ඒ නිසා, "සිංහල" හා "බෞද්ධ" යන අනන්‍යතා මෙන්ම ලංකාවේ සිංහලයින් අතර ප්‍රචලිත විවිධ කුල අනන්‍යතාද සියවස් ගණනක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය විය. එයින් අදහස් වන්නේ මේ අනන්‍යතා දැරූ පුද්ගලයින් සියල්ලන්ම විසින් යම් අනන්‍යතාවයක් එක් අයුරින්ම අර්ථකථනය කරගත් බව හෝ එවැනි අනන්‍යතාවන්ගේ ලක්ෂණ කාලයත් සමඟ පරිණාමය නොවූ බව නොවේ. "සිංහල" හා "බෞද්ධ" ආදී අනන්‍යතාවයන්ගේ ලක්ෂණ කාලයත් සමඟ දිගටම පරිණාමය විය.

මෙවැනි අනන්‍යතාවයකට අනුරූප වූ ඇඳුම් පැළඳුම්, කෑම බීම, සිරිත් විරිත් ආදිය මේ අයුරින් කාලයත් සමඟ සෙමින් හා වෙනස් වෙමින් ගොඩ නැගෙද්දී ආවාහ විවාහ ආදියේදී මේ අනන්‍යතා වලට වැදගත් තැනක් ලැබුණේය. දෙමෙලන්ට රට නා තැන් (ප්‍රාදේශීය නායක තනතුරු) හෝ දරු අවා (දරුවන් ආවාහ කර) නොදෙනුයි ටැම් ලිපි වල ලියැවී තිබෙන්නේ (බදුලු ටැම් ලිපිය) අනුරාධපුර යුගය අවසන් වෙන්නටත් පෙර තෙවන උදය රජුගේ කාලයේදීමය. ලංකාවේ ආවාහ විවාහ වලදී ජාතික, ආගමික මෙන්ම කුල අනන්‍යතාවයද මේ වන විටත් වැදගත් සාධකයකි.

කිසියම් අනන්‍යතාවයක් වැදගත් සේ සලකන බොහෝ අය බොහෝ විට එයට අනුරූප අනන්‍යතා වලට වෙනත් අයත් අඩුවැඩි නැතිව තමන් තරමටම බර තබන්නේයැයි (හෝ එසේ බර තැබිය යුතුයැයි) සිතති. එහෙත්, එවැනි ඇතැම් අනුරූප අනන්‍යතා ඇතැම් අයට කිසිසේත්ම වැදගත් නොවනවා පමණක් නොව එවැන්නක් තමන්ගේ අනන්‍යතාවක් සේ නොසලකන්නටද පුළුවන.

තමන්ගේ ජාතික අනන්‍යතාවයට වැඩි බරක් තබන බොහෝ දෙනෙකු බොහෝ විට සිතන්නේ වෙනත් අයටත් ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය තමන්ට තරමටම වැදගත් බවයි. මේ අයුරින්ම, තමන්ගේ ආගමික අනන්‍යතාවයට වැඩි බරක් තබන බොහෝ දෙනෙකු බොහෝ විට සිතන්නේ වෙනත් අයටත් ඔවුන්ගේ ආගමික අනන්‍යතාවය තමන්ට තරමටම වැදගත් බවයි. එහෙත්, ඇතැම් අයට මෙවැනි අනන්‍යතාවයක් කිසිසේත්ම නොවැදගත් විය හැකිය.

ජාතික, ආගමික, ප්‍රාදේශික හෝ කුල අනන්‍යතාවයන් වැදගත් සේ නොසලකන අයගේද මෙවැනිම අවුලක් තිබේ. ඒ, වෙනත් අයට එවැනි අනන්‍යතා කොතරම් වැදගත්ද යන්න තේරුම් ගන්නට අපහසු වීමයි.

කිසියම් අනන්‍යතාවයක් වැදගත් සේ සලකන අයෙකු බොහෝ විට කරන දෙයක් වන්නේ අනුරූප අනන්‍යතාවයක් පෙනෙන්නට නැති අයටද එවැනි අනන්‍යතාවයක් බලහත්කාරයෙන් හෝ කෘතීම ලෙස ආරෝපණය කිරීමයි. උදාහරණයක් ලෙස හින්දු ආගමිකයින් බොහෝ දෙනෙකුට ඔවුන් අදහන විෂ්ණු, ශිව හෝ කාලි වැනි ප්‍රධාන දෙවි කෙනෙකු සිටී. මේ ප්‍රධාන දෙවියා ඇදහීම එවැන්නෙකුගේ අනන්‍යතාවයකි. එවැනි ඇතැම් අය බෞද්ධාගමිකයින් තේරුම් ගන්නේද බුද්ධ නම් වූ එවැනිම දෙවි කෙනෙකු අදහන්නන් පිරිසක් ලෙසිනි.

මේ අයුරින්ම, කුල භේද නොසලකන කිසියම් මුස්ලිම් සංස්කෘතියක හෝ යුරෝපීය සංස්කෘතියක සිටින්නෙකු තමන්ගේ කුල ධුරාවලියේ නිශ්චිත තැනක ස්ථානගත කරන්නට සිංහලයන්ට අවශ්‍ය වෙයි. ඒ, කුල අනන්‍යතාවයට ලොකු බරක් තබන අයෙකුට "ජම්මයක් නැති" (කුලයක් නැති) පුද්ගලයෙක් ගැන සිතා ගැනීම අපහසු බැවිනි. යුරෝපීයයන් පැමිණෙන විට ලංකාවේ පැවති ව්‍යවහාර නීතිය ලේඛනගත කර ඇති නීති නිඝන්ඩුවෙහි "මෑත කාලවලදී ජම්මභේද නැත්තා වූ නානා දේශ වලින් මේ රටට පැමිණ පදිඤචිව සිටිනා මනුෂ්‍ය වර්ගයයන්ගෙන් කවිසිද, ජාවෝද, යොන්නුද යන මේ තුන්ගොල්ලම ගොවිවංශයේ මුදලිපේරුවේ අයවලට අධම වූයයි ව්‍යවහාරව පවතිනා බව දතයුතු" බව කියන්නේ මේ රීතිය අනුවය.

සංගණනයකදී සිංහල යන පොදු කුලකය තුළට ගොනු කෙරෙන කණ්ඩායමේ සියල්ලන්ම සිංහල යන අනන්‍යතාවයට යම් බරක් තබන්නන් වුවත්, මේ බර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නකි. ඇතැම් අයට ඇතැම් අවස්ථා වලදී එය තමන්ගේ "මම" යන අනන්‍යතාවයටද වඩා වැදගත් වේ. ජාතිය වෙනුවෙන් මැරෙන්නට හිතන්නේ එසේ වූ විටය. බොහෝ සිංහලයින්ට තමන්ගේ ජාතික අනන්‍යතාවය ආගමික අනන්‍යතාවයට වඩා වැදගත් වුවත් (මා ලියන මෙවැනි ඇතැම් දේ මගේ පෞද්ගලික නිරීක්ෂණ මිස වෙනත් මූලාශ්‍ර වලින් ලබාගත් දේ නොවේ. ඒ නිසා, එකඟ නොවන කෙනෙකුට මා සමඟ එකඟ නොවී සිටිය හැකිය.) ජාතික අනන්‍යතාවය ආගමික අනන්‍යතාවය තරම් වැදගත් සේ නොසලකන සිංහලයෝද සිටිති. ජාත්‍යන්තර බෞද්ධයින් මෙවැනි අයයි.

ජාතික හෝ ආගමික අනන්‍යතාවයයට වැඩි බරක් තබන අයට තේරුම් ගන්නට අපහසු වුවත් ජාතිකත්ව අනන්‍යතාවයට වැඩි බරක් තබන ශ්‍රී ලාංකිකයෝද සිටිති. එමෙන්ම, ජාතිකත්වය පවා වැදගත් සේ නොසලකන ජාත්‍යන්තරවාදීහුද සිටිති. ජාතික හෝ ආගමික අනන්‍යතාවයට වැඩි බරක් තබන බොහෝ දෙනෙකුට මෙසේ එවැනි අනන්‍යතාවයන්ට වැඩි බරක් නොතබන අය අවබෝධ කර ගැනීම අපහසු නිසා ඔවුන් කරන්නේ එවැන්නන් මත කවර හෝ ජාතික (හෝ ආගමික) අනන්‍යතාවයක් පැටවීමයි. උදාහරණයක් වශයෙන් සිංහල අනන්‍යතාවයට වැඩි බරක් පටවන සිංහලයකු එසේ නොකරන සිංහලයෙකු දෙමළෙකු සේ දකින අවස්ථා තිබේ. බෞද්ධ අනන්‍යතාවයට වැඩි බරක් පටවන බෞද්ධයෙකු එසේ නොකරන බෞද්ධයෙකු ක්‍රිස්තියානුවෙකු සේ දකින අවස්ථා තිබේ. සියවස් ගණනකට පෙර සිංහලයින් විසින් කුල භේද නොසලකන ඉස්ලාම් භක්තික සංක්‍රමණිකයින් තමන්ගේ කුල ධුරාවලිය තුල ස්ථානගත කර ඇත්තේද මේ අයුරිනි.

සිංහල අනන්‍යතාවයට තමන්ගේ දේශපාලන අනන්‍යතාවයට (අපි යූඑන්පී, අපි වමේ) වඩා වැඩිබරක් තබන ඇතැම් අය සිතන්නේ අනෙකුත් සිංහලයින් විසින්ද එසේ කළ යුතු බවයි. ඔවුන් අවබෝධ කර නොගන්නේ ඇතැම් අයගේ ජාතික අනන්‍යතාවය ඔවුන්ගේ දේශපාලන අනන්‍යතාවයට වඩා පහළින් තිබීම එහි විලෝමය මෙන්ම ස්වභාවික දෙයක් බවයි. සංක්ෂිප්තව කියනවානම් පුද්ගලයෙකුගේ අනන්‍යතාවයන් පමණක් නොව පුද්ගලයෙකු විසින් අනන්‍යතාවයන් නිර්ණය කරගන්නා පදනම්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එහෙත්, මෙවැනි අනන්‍යතා බෙදීම් සංගණනයක, ජනමත සමීක්ෂණයක හෝ නීතියක කොටසක් වූ විට සිදුවන්නේ ඉහත දෙවන කරුණ නොසලකා හරිමින් පුද්ගයින්ගේ අනන්‍යතාවන් වෙනස් වූවත් ඒ අනන්‍යතා නිර්ණය කෙරෙන පදනම නිශ්චිත දෙයක් සේ සලකනු ලැබීමයි.

(මතු සම්බන්ධයි)

Tuesday, March 13, 2018

හතරේ සීමා, හයේ සීමා හා යාර තිහේ සීමා


මෙය කියවන සියලු දෙනාම වගේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නා අයයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී ලකුණක් ලබා ගැනීම සඳහා ක්‍රීඩකයින් දෙදෙනා කඩුළු අතර අනෙක් අන්තයට දිව යා යුතුය. ලකුණු දෙකක් හෝ තුනක් ගැනීමටනම් මේ අයුරින් පිළිවෙලින් දෙවරක් හෝ තෙවරක් කඩුළු අතර මාරු විය යුතුය. එහෙත්, ලකුණු හතරක් ගැනීම සඳහා එසේ කඩුළු අතර දිවීම අවශ්‍යම නොවන අතර හතරේ සීමාව නම් වූ පිට්ටනියේ ලකුණු කර ඇති මායිමෙන් ඔබ්බට පන්දුව යන්නට සැලැස්වීම ප්‍රමාණවත්ය.

ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුළු අතර දිව නොයමින් එකවර ලකුණු හතරක් ලබාගත හැකි අයුරින්ම එකවර ලකුණු හයක් ලබා ගැනීමටද හැකියාවක් තිබේ. ඒ සඳහා හතරේ සීමාවෙන් ඔබ්බේ ඇති වඩා පුළුල් තවත් මායිමකින් ඔබ්බට පන්දුව යැවිය යුතු නැත. කළ යුත්තේ අර හතරේ සීමාවෙන් ඔබ්බටම බිම නොගැටී පන්දුව යන්නට සැලැස්වීමයි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ හතරේ සීමාවක් මිස හයේ සීමාවක් කියා වෙනම සීමාවක් නැත.

ක්‍රිකට් ක්‍රීඩාවේදී හතරේ සීමාව ඉතා වැදගත් සීමාවකි. ඒ සීමාව කාටත් පැහැදිලිව දැකගත හැකි පරිදි පිට්ටනියේ පැහැදිලිව ලකුණු කර තිබේ. හයේ සීමාවක් කියා වෙනම සීමාවක් නැතත් හතරේ සීමාවට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් සීමා තිබේ. යාර තිහේ සීමාව එවැනි සීමාවකි. යාර තිහේ සීමාව ලකුණු කෙරෙන්නේ හතරේ සීමාව ඇතුළෙනි.

යාර තිහේ සීමාව ක්‍රිකට් ක්‍රීඩාවේදී හතරේ සීමාව තරම් වැදගත් නැති වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවන සීමාවකි. පන්දුව මේ සීමාවෙන් ඔබ්බට යැවූ පමණින් පිතිකරුවෙකු ඉදිරියේ කිසිදු ලකුණක් සටහන් වන්නේ නැත. පන්දුව මේ සීමාවෙන් ඔබ්බට ගියත් නොගියත් ලකුණක් ලබාගැනීමටනම් කඩුළු අතර දිව යා යුතුය.

අප බොහෝ දෙනෙකු තුළත් මේ ආකාරයේ හතරේ සීමා, හයේ සීමා හා යාර තිහේ සීමා තිබේ. ඒවායින් ඇතැම් සීමා හතරේ සීමාව හා හයේ සීමාව මෙන් එකිනෙක මත අතිපිහිත වී තිබේ. තවත් ඒවාට තිබෙන්නේ යාර තිහේ සීමාවට මෙන් අඩු වැදගත් කමකි. මේ සීමා යනු අපේ මනසේ ඇති අනන්‍යතාවන්ය.

අතළොස්සක් හැර බොහෝ දෙනෙකුට මේ සීමාවන්ගෙන් දෙකක් පොදුය. එයින්, පළමුවැන්න "මම" යන සීමාවයි. දෙවැන්න මිනිසෙකු යන සීමාවයි. පැහැදිලිව හඳුනාගත හැකි ඉහත සීමා දෙක අතර ජාතිය, ආගම, ජනවර්ගය, ජාතිකත්වය, කුලය, ගෝත්‍රය, පවුල, උගත් පාසැල (අපි නාලන්දෙ) හෝ සරසවිය (අපි පේරා) ආදී තවත් සීමා අටෝරාසියක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන.

"මම" යන සීමාව සෑහෙන තරම් පැහැදිලි සීමාවකි. සිතුවිලි මාත්‍රයකින් අපේ කැමැත්ත පරිදි පාලනය කළ හැකි අපේ ශරීරාංග අපි "මම" ලෙස හඳුනාගන්නෙමු. ඉතිරි සියල්ල මගෙන් බාහිර ලෝකයයි. මේ අයුරින්ම, අපට බොහෝ ආකාරයන්ගෙන් සමාන වන සරීර කූඩු ඇති වෙනත් අය අපට පහසුවෙන්ම මිනිසුන් ලෙස වෙන්කර හඳුනාගත හැකිය. එහෙත්, මේ සීමා දෙක අතර ඇති අනෙකුත් සීමාවන් ඒ තරම්ම පැහැදිලි නැති අතර බොහෝ විට අපේ දැනුම මත මිස බාහිර පෙනුම අනුව "ස්වභාවික ලෙස" හඳුනා ගැනීමටද නොහැකිය. මේ අතරමැදි සීමාවන්ට ඇති වැදගත්කම සෑහෙන දුරකට එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයකි.

විවිධාකාරයේ විධිමත් හා අවිධිමත් සංස්ථාපිත ආයතන මඟින් ඉහත කී ආකාරයේ ඇතැම් අතරමැදි සීමාවන් ප්‍රවර්ධනය කරන අතර තවත් ඇතැම් සීමා ඉරි මකා දැමීම ප්‍රවර්ධනය කරයි. අද වන විට ලෝකයේ ප්‍රබලම සංස්ථාපිත ආයතන වන්නේ රාජ්‍යයන්ය. මේ බොහෝ රාජ්‍යයන් විසින් ආසන්න වශයෙන් දෙසියවසක පමණ කාලයක සිට විධිමත් හා අවිධිමත් දැනුම් පද්ධති සෘජුව හෝ වක්‍රව පාලනය කිරීම මඟින් පුද්ගලයින් නිශ්චිත රාජ්‍යයන් සංඛ්‍යාවක් අතර බෙදා හරින සීමා ඉරි ප්‍රවර්ධනය කරන අතර ජාතිකත්ව බෙදීම් දළ වශයෙන් මේ සීමා ඉරි වලට අනුරූපය. රාජ්‍යයන්ගේ පැවැත්ම සඳහා මේ ජාතිකත්ව සීමා ඉරි නැතුවම බැරි බැවින් සියලුම රාජ්‍යයන් පවත්වාගෙන යන රජයයන් විසින් එවැනි සීමා ඉරි දිගින් දිගටම ප්‍රවර්ධනය කිරීම තේරුම් ගත හැකි දෙයකි. මේ කටයුත්ත විධිමත් දැනුම් පද්ධතිය හරහා ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට බොහෝ දෙනෙකු මේ ජාතිකත්ව සීමා ඉරි තිබීම ගැටළුවක් හෝ නරක දෙයක් සේ සලකන්නේ නැත.

දළ වශයෙන් කිසියම් පුද්ගලයෙකුගේ ජාතිකත්වය යනු එවැන්නෙකුගේ පුරවැසිකම හා කිට්ටුවෙන් යන නෛතික සංකල්පයකි. ඇමරිකා එක්සත් ජනපදය ගත් කළ, සියළුම ඇමරිකානු පුරවැසියන් ඇමරිකානු ජාතිකයින් වන නමුත් සියළුම ඇමරිකානු ජාතිකයෝ ඇමරිකානු පුරවැසියෝ නොවෙති. ඇමරිකානු පුරවැසි සීමා ඉර ඇමරිකානු ජාතිකත්ව සීමා ඉරට ඇතුළෙන් ඇති එකකි. ජාතිකත්වය යන සංකල්පය වෙනත් තැන් වල වෙනත් ආකාර වලින් අර්ථ දැක්වෙන්නට පුළුවන.

ජාතිය, ආගම, ජනවර්ගය, කුලය, ගෝත්‍රය, පවුල, උගත් පාසැල හෝ සරසවිය ආදී වෙනත් සීමා ඉරි හා අදාළවද සියළු දෙනාටම එකඟ විය හැකි සම්මත අර්ථකථන නැත. ඇමරිකා එක්සත් ජනපදයේදී ජනවර්ගය යන සංකල්පය පාදක වන්නේ පුද්ගලයෙකුගේ ශරීර ස්වභාවය හා අදාළ වූ පහසුවෙන් හඳුනාගත හැකි සාධක මතය. සුදු, කළු හෝ ආසියානු ජනවර්ගයකට අයත් වූවෙකු බාහිර ශරීර ස්වභාවය අනුව වෙන්කර හඳුනාගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. වෙනස් ජනවර්ග අතර මිශ්‍ර විවාහ වලින් බිහිවන දරුවන් "මිශ්‍ර" නම් වූ වෙනම කැටගරියක් යටතේ හඳුනාගැනේ.

ඇමරිකානු අර්ථදැක්වීම අනුව සැලකුවොත් ලංකාවේ වෙනස් ජනවර්ග නැත. ශ්‍රී ලාංකික සිංහලයින්, දෙමළුන් හා මුස්ලිමුන් ඔවුන්ගේ සංස්කෘතික සංකේත නොවේනම් ශරීර ස්වභාවයෙන් පමණක් වෙන් කර හඳුනා ගැනීම පහසු කටයුත්තක් නොවේ. මා දන්නා තරමින් ජාන විශ්ලේෂණයකින් පවා මේ කටයුත්ත කිරීම අසීරු දෙයකි. ඒ තබා, චීන හා මැලේ සම්භවයක් ඇති ශ්‍රී ලාංකිකයින් පවා මේ වන විට බාහිර ස්වරූපයෙන් සෑහෙන තරමින් සිංහලයින්ට සමානය. ලංකාවේදී ජාති හෝ ජනවර්ග ලෙස පුද්ගලයින් වෙන් කරන්නේ සංස්කෘතික වෙනස්කම් පදනම් කර ගනිමිනි.

ජාති හෝ ජනවර්ග ආදී බෙදීම් වලට සියලු දෙනාට එකඟ විය හැකි නිශ්චිත අර්ථකතන නැති බැවින් මා මේ වචන භාවිතා කරන්නේ සැහැල්ලු ආකාරයකිනි. ඒ නිසා, "ශ්‍රී ලාංකික මුස්ලිම්" හෝ "ශ්‍රී ලාංකික දෙමළ" යනු ජාතියක්ද නැත්නම් ජනවර්ගයක්ද යන්න ගැන මා එතරම් වද වෙන්නේ නැත.

කිසියම් පුද්ගලයෙකුගේ ජාතිය, ආගම, ජනවර්ගය, කුලය, ගෝත්‍රය, පවුල, උගත් පාසැල හෝ සරසවිය ආදිය බොහෝ විට තීරණය වන්නේ අදාළ පුද්ගලයා විසින් තමන්ව හඳුන්වා ගන්නා ආකාරය අනුවය. කිසියම් නිශ්චිත පුද්ගලයෙකුට "මම" හා "මිනිසෙකු" යන සීමා ඉරි අතර මෙවැනි අනන්‍යතා ඉරි ගණනාවක් තිබෙන්නට පුළුවන. එමෙන්ම, එවැන්නෙකුගේ ජීවිත කාලය තුළ එවැනි සීමා ඉරි මැකී යන්නට හෝ වෙනස් වන්නටද පුළුවන. ඉහත ආකාරයේ සාමූහික අනන්‍යතා බොහොමයටම තිබෙන්නේ සාපේක්ෂ තේරුමක් නිසා ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, ගෝත්‍රවාදය, පවුල්වාදය, පාසැල් වාදය ආදී සංකල්ප වලටද තිබෙන්නේ සාපේක්ෂ තේරුම්ය.

ඇතැම් අය සිතන පරිදි ආගම යනු ඕනෑම මොහොතක වෙනස් විය හැකි දෙයක් වන අතර ජාතිය යනු එසේ නොවන නිශ්චිත දෙයකි. මා එසේ සිතන්නේ නැත. ආගමක් යනු කිසියම් පුද්ගලයෙකුගේ විශ්වාස පමණක්ම නොවේ. යමෙක් හැදෙන වැඩෙන පවුල හා බාහිර පරිසරය නිසා ලැබෙන වෙනත් දේවල්ද යමෙකුගේ ආගමේ කොටසකි. පසු කලෙක විශ්වාස වෙනස්වූ පමණින් මේ වෙනත් දෑ සියල්ල වෙනස් නොවේ.

අනෙක් අතට ජාතිය යනුද පුද්ගලයෙකුගේ මනසේ ඇති දෙයක් නිසා එය පසුකාලීනව වෙනස් වන්නට පුළුවන. ඇමරිකානු අර්ථයෙන් ගත් කළ ජනවර්ගයනම් එසේ පහසුවෙන් වෙනස් නොවේ.

ලංකාව ගත්තත්, ඉතිහාසය පුරා බොහෝ මිනිසුන්ගේ ආගම මෙන්ම ජාතියද වරින් වර වෙනස් වී තිබේ. එහෙත්, මේ වන විට රාජ්‍යයන් විසින් නීති පද්ධතීන් උපයෝගී කර ගනිමින් කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය වූ විට තමන්ගේ අනන්‍යතාවයන්ගෙන් එකක් හෝ කිහිපයක් වෙනස් කර ගැනීම වඩා අපහසු හෝ කළ නොහැකි දෙයක් බවට පත් කර තිබේ. මේ නිසා සිදුවී ඇත්තේ මා මුලින් කී ඇතැම් සීමා ඉරි වඩාත් පැහැදිලි ලෙස දෘශ්‍යමාන වීමයි. මේ ඇතැම් සීමා ඉරි පහසුවෙන් පැනිය නොහැකි උස් තාප්ප බවට පත් වී තිබේ.

ඔබට අනන්‍යතා කොපමණ තිබේද? ඔබට දැනෙන පරිදි වැදගත්කම අනුව ඔබ ඔබේ අනන්‍යතා පෙළගස්වන්නේ කෙසේද?

Sunday, March 11, 2018

සිංහලයින් සුළුතරය වන දිනය?


ලංකාවේ ජීවත්වන බහුතරය තමන් සිංහලයින් ලෙස හඳුන්වාගන්නෝය. ඊට අමතරව තමන් දෙමළ, මුස්ලිම්, මැලේ හෝ බර්ගර් වැනි වෙනත් ජනවර්ගයකට අයත් බව හඳුනා ගන්නෝද සැලකිය යුතු පිරිසක් සිටිති. අවසන් වරට සංගණනයක් පැවැත්වුණු 2012දී ගණන් ගැනුණු 20,359,400ක ශ්‍රී ලාංකික ජනගහණයෙන් (ආසන්නම 100ට) 15,250,100ක් තමන්ව හඳුන්වා ගත්තේ සිංහලයින් වශයෙනි (වගුව 2.4). මේ අනුව, 2012දී ප්‍රතිශතයක් ලෙස ලංකාවේ ජීවත් වූවන් අතරින් 74.9%ක් සිංහලයෝ වූහ.

සිංහලයින් ලංකාවේ පැහැදිලි බහුතරය වූවත් බොහෝ සිංහලයින්ට තිබෙන්නේ සුළුතර මානසිකත්වයකි. එයට සියවස් ගණනක් අතීතයට දිවෙන ඓතිහාසික හේතු තිබේ. තමන් ලංකාවේ බහුතරය බව බොහෝ සිංහලයින්ට ඇඟට නොදැනීමේ ප්‍රතිඵලය ලෙස ඔවුහු ඇතැම් විට තමන් රටේ බහුතරය බව ප්‍රදර්ශනය කරන්නට පෙළඹෙති. වෙනත් බොහෝ රටවල බහුතර ජනවර්ගය තුළින් මෙවැනි චර්යාවන් දකින්නට ලැබෙන්නේ මීට වඩා අඩුවෙනි.

සිංහලයෙන් අතර කලක සිට මුස්ලිම් භීතිකාවක් වර්ධනය වෙමින් පවතී. මෙයට සමාන්තරව බටහිර රටවල් ඇතුළු ලෝකයේ වෙනත් රටවලද කලක සිට මුස්ලිම් භීතිකාවක් වර්ධනය වෙයි.

ලංකාවේ මුස්ලිම් භීතිකාවේ විවිධ මාන තිබේ. එයින් එක් මානයක් වන්නේ නුදුරු දිනක මුස්ලිමුන් ලංකාවේ බහුතරය වී සිංහලයින් දෙවන තැනට පත් වේය යන අදහසයි. මෑත වසර වලදී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණයට වඩා කිහිප ගුණයක වේගයකින් වර්ධනය වෙමින් පැවතීම මේ අදහසේ මූලයයි. කිසියම් ගහණයක් තවත් ගහණයකට වඩා  සුළු වශයෙන් හෝ වැඩි වේගයකින් වර්ධනය වේනම් එම ගහණයේ වත්මන් ප්‍රමාණය කෙතරම් අඩු වුවත් කවර හෝ දිනක වැඩි වේගයකින් වර්ධනය වන ගහණය අනෙකුත් ගහණයන් සංඛ්‍යාත්මකව අභිබවන බව ගණිතමය යථාර්තයකි.

කෙසේවුවත්, ඉහත කරුණ එසේ සිදුවන්නේ අදාළ ගහණයන්හි වර්ධන වේගයන් ඉතා දිගු කාලයක් නොවෙනස්ව පැවතුණහොත් පමණි. විවිධ පාරිසරික සාධක නිසා සාමාන්‍යයෙන් එය එසේ සිදුවන්නේ නැත.

ලංකාවේ මුස්ලිම් ජනගහණය කිසියම් දිනක සිංහල ජනගහණය අභිබවනු ඇතිය යන අදහස වසර කිහිපයකට පෙර ප්‍රචලිත කළේ එක්තරා දේශපාලනඥයෙකි. කලකට පෙර අපවත් වූ හිමිනමක්ද ඊට පෙර මේ අදහස ව්‍යාප්ත කළේය. මේ වියුණුව ආරම්භ කළ වසරට ආසන්න පෙර වසරකදී චානුක වත්තේගම විසින් ඉහත අදහස අභියෝගයට ලක් කර තිබුණු අතර මහා කළු ලාංකිකයා නම් වූ අයෙක් විසින් චානුකගේ ලිපිය අභියෝගයට ලක් කර තිබුණේය. ඉහත ලිපි දෙක ගැන මා දැනගත්තේ 2016 සැප්තැම්බරයේදී රසිකොලොජියේ පළ වූ ලිපියකට ලක්ෂාන් විසින් දමා තිබුණු ප්‍රතිචාරයක් හරහාය. ඒ අවස්ථාවේදී මා කළ ඉල්ලීමක් අනුව, ලක්ෂාන් විසින් මෙන්ම තිසර විසින්ද ඉහත ලිපි වල සබැඳි පළ කර තිබුණේ  "ඉකොනොමැට්ටා මේ ගැන ඉදිරියේදි යම් අදහසක් පළකරාවිය" යන අපේක්ෂාවද ප්‍රතිචාරයට එකතු කරමිනි.

චානුකගේ හා මහා කළු ලාංකිකයාගේ ලිපි වල කතා කරන්නට තරම් දෙයක් තිබුණත් ඒ හා අදාළව ලිපියක් ලිවීම දිගින් දිගටම අතපසු වෙද්දී වෙනත් මිතුරන් කිහිප දෙනෙක්ගෙන්ම වරින් වර පෞද්ගලිකවද මීට සමාන ඉල්ලීම් ඉදිරිපත් විය. ඉතාම ආසන්නව මීට සමාන ඉල්ලීමක් කළේ ලංකාවේ පදිංචි විශේෂඥ වෛද්‍යවරයෙකු වන මිතුරෙකි. ඔහුට අනුව, මෙය මේ වෙද්දී බොහෝ දෙනෙකු සාකච්ඡා කරන මාතෘකාවකි. ඔහුගේම වචන වලින් ප්‍රශ්නය මෙසේය.

"මේක අද මගේ බැචියක් අහපු ප්‍රශ්ණයක්. මුස්ලිම් ජනගහනය අපේ ජනගහනයට වඩා වැඩි වෙන්ඩ අවුරුදු කීයක් යනවද කියලා. පල්ලෙහා තියෙන්නේ සමීකරණ දෙකක link එකක්.දෙකම ඩොකාලා කියන්නේ. එක්කෙනෙක් කියනවා අවුරුදු 124 යි කියලා. අනිත් එක්කනා කියන්නේ අවුරුදු 420යි. කෝකද හරි? දෙකම වැරදිද?"

ඉහත ප්‍රශ්නය විමසමින් මගේ මිතුරා වෙනත් දෙදෙනෙකුගේ ගණනය කිරීම් සඳහා යොදාගෙන තිබුණු සමීකරණ ඇතුළු අදාළ තොරතුරුද පිටපත් කර තිබුණේය. එක් සමීකරණයක් ඉදිරිපත් කර තිබුණේ විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම වත්පොතෙහි සක්‍රියව අදහස් දක්වන්නෙකුද වන රංග වීරක්කොඩි විසිනි. දෙවැන්න දුලාන් චිරන්තක නම් වූ අයෙකු විසිනි. වත්පොතේ දක්වා ඇති තොරතුරු අනුව ව්‍යවහාරික විද්‍යා උපාධිධාරියෙකු බව පෙනෙන දුලාන් චිරන්තකද වත්පොත හරහා සිදුවන සංවාද තුළ සක්‍රියව සිටින්නෙකු බව පෙනේ.

මා හිතන පරිදි මගේ මිතුරාගේ පණිවුඩයේ ඇති පහත කොටස රංග වීරක්කොඩි විසින් ලියූවක් විය යුතුය.

"ඝාතීය වර්ධනය ගැන සමීකරණයක් තියෙනව. ඒක දැම්මම අවුරුදු 79කින් මුස්ලිම් ජනගහනය 25% වෙන බවත් අවුරුදු 124කින් 50% වෙන බවත් පෙනෙයි. මේව තනිකර නොම්මර. නොම්මර ජාති, වර්ග අඳුනන්නේ නෑ. ඔප්පු කරලත් පෙන්වන්න ඕනද?  x(1+a)^n = y(1+b)^n කියන එක n වලට විසඳන්න තියෙන්ලේ. x = සිංහල ජනගහනය, a=සිංහල ජනගහනය වර්ධන අනුපාතය, y=මුස්ලිම් ජනගහණය, b=මුස්ලිම් ජනගහණ වර්ධන අනුපාතය."

ඒ සමඟම ඔහු ඉදිරිපත් කරන සමීකරණය ඔහු විසින්ම විසඳා තිබේ. පහත රූපයේ තිබෙන්නේ රංගගේ විසඳුමයි.


ගණිතමය ලෙස රංග විසින් ඉදිරිපත් කර තිබෙන සමීකරණයේ වරදක් නැත. ඔහුගේ විසඳුමේද වරදක් නැත. කිසියම් ගහණ දෙකක ආරම්භක ප්‍රමාණ හා වර්ධන වේගයන් දන්නේනම් අදාළ ගහණ දෙකේ ප්‍රමාණ සමාන වීමට ගත වන කාලය එමඟින් අපට සොයාගන්නට පුළුවන.

උදාහරණයක් ලෙස අපි පහත සංඛ්‍යා යොදාගනිමු.

ආරම්භක හාගහණය = 1000
ආරම්භක ඉබිගහණය = 9000
හාවන්ගේ වර්ධන වේගය = 3%
ඉබ්බන්ගේ වර්ධන වේගය = 1%

ගහණ සමාන වීමට ගතවන කාලය = (ලඝු (1000) - ලඝු (9000)) / (ලඝු (1.01) - ලඝු(1.03)) = වර්ෂ 112.055ක් යයි.

දුලාන් චිරන්තක විසින් බැලූ බැල්මටම වෙනස් ලෙස පෙනෙන තවත් සමීකරණයක් ඉදිරිපත් කර තිබේ. ඔහු මෙසේ ලියයි.

"Sir මම අහල තියන equation එක නම් මේක . මේකට දැම්මාම නම් අවුරුදු 420 ට වඩා යනව පහු කරන්න, හැබැයි එතකොට ආගම් ඇදහීමේ සංකල්පෙ තියෙයි ද, ලෝකෙ ඉතුරු වෙල තියෙයි ද නම් දන්නෙ නැහැ."

පහත රූපයේ තිබෙන්නේ පිළිතුර සොයාගැනීම සඳහා දුලාන් චිරන්තක විසින් යොදාගෙන තිබෙන සමීකරණයයි.


රංගගේ සමීකරණය මෙන්ම දුලාන් චිරන්තකගේ සමීකරණයද නිවැරදිය. එහෙත්, එමඟින් කළ හැක්කේ කිසියම් ගහණයක ආරම්භක ප්‍රමාණය හා වර්ධන වේගය දන්නේනම් කිසියම් නිශ්චිත කාලයකට පසු අදාළ ගහණයේ ප්‍රමාණය සොයා ගැනීමයි. ගහණ දෙකක් සමාන වීමට ගතවන කාලය සොයාගැනීමටනම් එක් එක් ගහණයට අදාළ සමීකරණය වෙන වෙනම යොදා පිළිතුරු සමාන වන්නේ වර්ෂ කීයකට පසුවදැයි සොයාගන්නට සිදුවේ. එසේ නැත්නම්, අදාළ සමීකරණ දෙක පහත පරිදි විසඳිය හැකිය.


ඉහත විසඳුම රංගගේ විසඳුමට හරියටම සමාන නොවූවත් ආසන්න වශයෙන් සමානය. ඒ, a යනු කුඩා දශම සංඛ්‍යාවක් වූ විට ලඝු(1+a) ≈ a (ආසන්න වශයෙන් සමාන) බැවිනි. ඒ නිසා, දුලාන් චිරන්තකගේ සමීකරණය යොදාගත්තද ආසන්න වශයෙන් රංගගේ සමීකරණයෙන් ලැබුණු පිළිතුරට සමාන පිළිතුරක් ලැබිය යුතුය.

ඉහත ඉබි හා හා ගහණ සමාන වන්නට දුලාන් චිරන්තකගේ සමීකරණය අනුව වර්ෂ 109.861ක් යයි. මෙය රංගගේ සමීකරණයෙන් ලැබුණු වර්ෂ 112.055ට ආසන්නව සමාන වුවත් මඳක් අඩු කාලයකි. එසේ වුණේ ඇයි?

රංගගේ හා දුලාන්ගේ සමීකරණ දෙකම මේ ගණනය කිරීම සඳහා යොදාගැනීමට හැකි වුවත් ඒ දෙකේ සුළු වෙනසක් තිබේ. රංගගේ සමීකරණය යොදාගන්නා විට කාලය අඛණ්ඩව ගලා යන දෙයක් ලෙස නොව කුඩා කාලාන්තර වල එකතුවක් ලෙස (discrete-time model) උපකල්පනය කෙරේ. එහෙත්, දුලාන්ගේ සමීකරණයේදී කාලය අඛණ්ඩව ගලාගෙන යන දෙයක් ලෙස (continuous-time model) සැලකේ. එය කාලය ලෙස අප දන්නා දෙයට වඩා කිට්ටු උපකල්පනයකි. ඉතා දිගු කාලයක් සැලකීමේදී මේ දෙකේ විශාල වෙනසක් නැති නිසා රංගගේ සමීකරණය තුළ පවතින උපකල්පනයෙහි ලොකු ප්‍රශ්නයක් නැත. සමීකරණය විසඳීම සඳහා ලඝු වලට පරිවර්තනය කිරීමේදීද රංග සිය මුල් උපකල්පනය නොසලකා හරිමින් කාලය අඛණ්ඩව ගලායන්නක් සේ සලකයි.  රංගගේ සමීකරණය ගණිතය වැඩිපුර හදාරා නැති කෙනෙකුට තේරුම් ගැනීම පහසුය.

රංගගේ සමීකරණය අනුව වසරක් අවසානයේ හාගහණය එකවර ක්ෂණිකව 3%කින් ඉහළ යයි. ඉන්පසුව එය ස්ථාවරව තිබී දෙවසරකට පසුව නැවතත් එකවර ක්ෂණිකව 3%කින් ඉහළ යයි. දුලාන්ගේ සමීකරණය අනුව හාගහණය වසර පුරා එකම වේගයෙන් ක්‍රමයෙන් වැඩිවී වසරකදී 3%ක වර්ධනයක් පෙන්වයි. මේ දෙක එකක් මෙන් පෙනුණත් ගණිතමය වශයෙන් මෙහි වෙනසක් තිබේ. සාමාන්‍යයෙන් ගහණයක් වසර පුරා අඛණ්ඩව වර්ධනය වන නිසා රංගගේ සමීකරණය යොදාගත් විට පෙනෙන්නේ නියම වර්ධනයට වඩා ඉතා සුළුවෙන් වුවත් අඩු වර්ධනයකි.

කෙසේවුවත්, රංගට හා දුලාන්ට වෙනස් පිළිතුරු ලැබී තිබෙන්නේ ඔවුන් යොදාගත් සමීකරණ වෙනස් නිසා නොව ඔවුන්ගේ උපකල්පන වල වෙනස්කම් හෝ ගණනය කිරීමේ අඩුපාඩු නිසා වියයුතුය. එසේ නැත්නම් කවර සමීකරණය යොදාගත්තද ලැබිය යුත්තේ ආසන්නව සමාන පිළිතුරකි.

ආරම්භයේදීම සඳහන් කළ පරිදි, ඉහත සමීකරණ දෙකෙහිම ඇති මූලික උපකල්පනයක් වන්නේ අදාළ ගහණයන් විශාල කාලයක් තිස්සේ නිශ්චිත වේගයන්ගෙන් වර්ධනය වන බවයි. එහෙත්, කිසියම් ගහණයක් හා අදාළව එය එසේම වන්නේයැයි උපකල්පනය කළ නොහැකිය. විවිධ සාධක මත ගහණයන්ගේ වර්ධන වේගයන් කලින් කලට වෙනස් වේ.

Friday, March 9, 2018

කටුනායක සිට පැය එකහමාරක්...

පසුගිය කාලයේ තොරතුරු තාක්ෂණයේ හා සන්නිවේදන තාක්ෂණයේ සිදුවී ඇති වේගවත් දියුණුව නිසා ලෝකය බොහෝ සේ කුඩා වී ඇති බව නිතර කියැවෙන දෙයකි. මේ දියුණුවේ උදවුවෙන් ලෝක ගෝලයේ ලංකාවෙන් හරියටම අනිත් පැත්තේ සිටින මා වැනි අයෙකුට ලංකාවේ හිත මිතුරන් සමඟ මෙන්ම සමාජය සමඟද නිරන්තරව සම්බන්ධව සිටීම ඉතා පහසු කටයුත්තක් වී තිබේ. බොහෝ කරුණු හා අදාළව කොළඹින් බැහැරව ජීවත් වන මගේ මුල් පවුලේ සාමාජිකයින්ට මා සිටින්නේ කොළඹද නැත්නම් ඇමරිකාවේද යන්න එතරම් ලොකුවට බල නොපායි.

ඇමරිකාවේ හෝ වෙනත් රටක සිට ගිණිකූරක් ගසා ලංකාවේ පිදුරු ගොඩක් දැල්විය හැකි තරමට තොරතුරු තාක්ෂනය දියුණුව ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ප්‍රවාහන තාක්ෂණයේ ඇති වී තිබෙන දියුණුව ඒ තරමටම වේගවත් නැති නිසා ලංකාව හා ඇමරිකාව අතර භෞතික දුර ඇඟටම දැනෙන වෙලාවල්ද තිබේ.

ඇමරිකාවේ මගේ නිවසේ සිට ලංකාවේ මගේ නිවසට යන එක එපාවන තරමටම වෙහෙසකර කටයුත්තකි. බොහෝ විට මේ ගමනට පැය තිස්පහකට හෝ හතළිහකට ආසන්න වෙලාවක් ගත වේ. හදිසි අවස්ථාවකදී මේ සීමාකාරී සාධකය විසින් නැවත මතක් කර දෙන්නේ ලෝකය තවමත් එතරම්ම කුඩා නැති බවයි. ගුවන් යානයකින් තවත් එකකට මාරු වීමට ඇති කාලය හැකි අවමය දක්වා අඩු කර ගත්තද ඉහත ගමනට පැය තිහක්වත් ගත වේ. මේ කාලය මීට වඩා අඩු කර ගත හැක්කේ නිවුයෝර්ක්, වොෂින්ටන් ඩීසී වැනි ප්‍රධාන නගරයක් ආසන්නයේ ජීවත් වන අයෙකුට පමණි.

අවම වශයෙන් ගුවන් යානා තුනකට මාරු වෙමින් දිනක් හෝ දෙකක් නිදිවරා කටුනායකට ගොඩ බැසීමෙන් පසු ඇවැසි වන්නේ හැකි ඉක්මණින් ගමනාන්තයට ලඟා වන්නටය. ගමනේ මේ අවසන් අදියර වෙනුවෙන් මා බොහෝ විට තෝරාගන්නේ ගුවන් තොටුපොළ කුලීරථ සේවාවයි. මේ සේවා සැපයුම්කරුවන් අප වෙනුවෙන් දින දෙකක් හෝ තුනක් රස්තියාදු වන නිසා, අපේ රස්තියාදුව අඩු කරගැනීමේ වටිනාකම ඔවුන්ට ගෙවා රස්තියාදු කාලයෙන් යම් කොටසක් අඩු කර ගන්නට පුළුවන.

මගේ පියාගේ පියා මිය ගිය වසරට ආසන්න කාලයකදී මගේ මවගේ සොහොයුරෙකු විසින් වරක් පැවසූ පරිදි ඒ කාලයේදී රුසියාවේ සිට පැය අටකින් කටුනායකට එන්නට හැකි වුවත්, කටුනායක සිට ඌව පළාතේ පිහිටි ඔහුගේ නිවසට යන්නට ඊට වඩා වැඩි කාලයක් ගත වී තිබේ. හැත්තෑ හතෙන් පසු වසරක් වුවත්, ඒ වන විටද ඌව පළාතේ ප්‍රත්‍යන්ත නගරයකට වඩා කොළඹ සෝවියට් දේශයට සමීපව තිබුණා වන්නට ඇත.

පසුගිය දශකයක හෝ ඊට තරමක් වැඩි කාලයේ ලංකාවේ මාර්ග සංවර්ධනයේ සිදුවූ දියුණුව නිසා දැන් කටුනායක සිට ලංකාවේ පිහිටි අපේ මුල් නිවසට යන්නට පැය එකහමාරක් ප්‍රමාණවත්ය. මේ ගමන සඳහා ලබාගන්නා ගුවන් තොටුපොළ කුලීරථ සේවා පැකේජයට අවසන් වරට ලංකාවට පැමිණීමෙන් පසු ලංකාවේ සිදුවී ඇති වෙනස්කම් ගැන මෙන්ම කාලීන සිදුවීම් ගැනද සිදුකෙරෙන යාවත්කාලීන කිරීම්ද ඇතුළත් වන අතර බොහෝ විට පුළුල් දේශපාලන විග්‍රහයකටද නොමිලේ සවන් දෙන්නට ඉඩ ලැබේ. මෙවැනි කුලී රථ රියැදුරන්ට වඩා හොඳ දේශපාලන විශ්ලේෂකයෝ ලංකාවේ සිටිත්නම් ඒ ත්‍රිරෝද රථ රියදුරන් අතර පමණක් විය හැකිය.

කෙසේවුවත්, මෙවර පැකේජයට අයත් වූ දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ වූයේ දේශපාලන විග්‍රහයකින් නොවේ.

"මහත්තය ඔය xxx පැත්තෙත් හරියට මුස්ලිම් අය ඉන්නව නේද?"

"හ්ම්!"

සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථා වල හූමිටි තබනු හැර වැඩි කතා වලට යාම මගේ පුරුද්ද නොවේ. ඇසෙන දේ මගේ අදහස් සමඟ නොගැලපුනත් වාද කරන්නට යනවාට වඩා නිහඬව සිටීම තෝරාගන්නේ එවැනි වාද කිරීමකින් අවසාන වශයෙන් ලැබෙන දෙයක් නැති බැවිනි.

ගුවන් තොටුපොළ කුලී රථ රියදුරෙකු බොහෝවිට මේ ආකාරයේ කතාවක් අරඹන්නේ තමන්ගේ දේශපාලනික හෝ වෙනත් අදහස් නිසාම නොවේ. සිය පාරිභෝගිකයා සතුටු කර සන්තෝෂමක් ලබාගැනීමේ අරමුණෙනි. ඒ වෙනුවෙන් එවැන්නෙකු විසින් බොහෝ විට පළ කරන්නේ සිය පාරිභෝගිකයා අසන්නට සතුටු වනු ඇතැයි ඔහු සිතන අදහසකි.

ලංකාවේදී මේ ආකාරයේ සේවා සපයන්නෙකුට අත දිගහැර සන්තෝෂම් මුදලක් දීමට මා බොහෝ විට පැකිලෙන්නේ නැත. එයට එක් හේතුවක් වන්නේ සේවා සපයන්නන්ට අවම වශයෙන් 15%ක සන්තෝෂමක් දීමට ඇමරිකාවේදී පුරුදුව සිටීමයි. දෙවන හේතුව දේශපාලනිකය. ලංකාවේ ශ්‍රම බලකාය තුළ සිටින්නන් අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයේ දැතිරෝදයක් නොවී කිසියම් ස්වයං රැකියාවක් කිරීම සුළුවෙන් හෝ දිරිමත් කරන්නට මා කැමතිය.

කෙසේවුවත්, ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නෝ යනු ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් වියුක්ත වූ කොටසක් නොවෙති. මේ සේවාව සැපයීමේ අවස්ථාව ලැබෙන්නේම විෂය භාර ඇමතිවරයාගේ නිර්දේශයෙනි. ඒ නිසා, බොහෝ විට ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන් අතර පවතින ආණ්ඩුවට පක්ෂපාතී වූවන් වැඩිපුර දකින්නට පුළුවන.

ඉහත කී රියදුරාද බොහෝ විට එජාප පාක්ෂිකයෙකු වන්නට ඉඩ තිබේ. පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන්ද පෙන්නුම් කළ පරිදි, පවතින ආණ්ඩුවට පක්ෂව අදහස් පළ කිරීම මේ වෙලාවේදී සිය පාරිභෝගිකයින් සතුටු කළ හැකි දෙයක් නොවන බව ඔහු නිගමනය කළා විය හැකිය. අනෙක් අතට, තමන්ගේ බඩ රස්සාව ලබාගන්නට උදවු කළ ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නටද ඔහුට හිත නුදුන්නා වන්නට ඇත. දේශපාලනය වෙනුවට පාරිභෝගිකයින් සතුටු කළ හැකි වෙනත් මාතෘකාවක් තෝරා ගන්නට ඔහු පෙළඹෙන්නට ඇත්තේ එබැවිනි.

"මුස්ලිම් අය ටවුමකට එනවා කියන්නෙ ඉතිං පුදුම වදයක් තමයි. නැද්ද මහත්තයා? පොඩ්ඩක් ඉඩ දුන්නොත් නවතින්නෙ මුළු ටවුමම අල්ලලා..."

එනපොට දැන් පැහැදිලිය. නිහඬව නොසිට, ඔලුව දමන්නට පෙරම මුට්ටියට පොලු පහරක් ගහන්නට මට හිතුණේය.

"අපිටනම් එහෙම විශේෂ කරදරයක් නැහැ. අනිත් එක ඔය xxx ටවුමට මුස්ලිම් අය අද ඊයේ ආව නෙමෙයි. අපි පොඩි කාලෙ ඔය ටවුමෙ වැඩිපුර තිබුණෙ දෙමළ මුස්ලිම් කඩ. සිංහල කඩ තිබුණේ කීපයයි. ඒත් හැත්තෑ ගණන් වල ඉඳන් අවුරුදු දෙකෙන් දෙකට වගේ සිදුවුණු ජාතිවාදී කෝලාහල නිසා දෙමළ කඩ එකින් එක අඩු වෙලා ගියා. ගොඩක් දෙමළ කඩ පිච්චුවේ අසූ තුනටත් කලින්. සමහර ඒවා මිනිස්සුත් ඇතුළෙ ඉඳිද්දී..."

"දෙමළ කඩ වැහුනට පස්සේ ටවුමේ වැඩිපුරම තිබුණේ මුස්ලිම් කඩ. පහුගිය කාලෙ වුණේ ඔය මුස්ලිම් විරෝධය පිට දාල සිංහල මුදලාලිලා දෙන්නෙක් ටවුමෙ කඩ ටික අල්ලගන්න එකයි. දැන්නම් ටවුමම වගෙ අයිති ඒ දෙමස්සිනාලටයි..."

"මුස්ලිම් අය අතරේ අන්තවාදී සුළු පිරිසක් ඉන්නවා. ඒ හැර, හැම මුස්ලිම් මිනිහම නරක නැහැ."

මගේ සංවාද පාර්ශ්වකරුවාට ඔලුව දමාගන්නට නැවතත් ඉඩක් පෑදුණේය.

"ඒක තමයි, අන්තවාදී පිරිසක් ඉන්නවා. ඒ අය තමයි මේවා කරන්නේ..."

"දැන් බලන්නකෝ අම්පාරේ හෝටලේක සිංහල අයට දිගටම වඳ පෙති දීල අහුවෙලානේ. දැන් අපිනම් ඉඳහිට දෙමළ මුස්ලිම් මිනිහෙක්ට මොනව හරි කළත් එහෙම ජාතියක්ම නැති කරන්න හදන්නෙ නෑනේ. බලන්ඩකො කොයි තරම් නරකද කියල. සිංහල වුනා කියල එහෙම කරන එක කොයි තරම් නරකද?"

"ඕකනම් හැබැයි බොරු කතාවක්. එහෙම කෑම වලට පෙත්තක් කලවම් කරල මිනිහෙක්ව වඳ කරන්න බැහැ. මිනිස්සු ගොඩක් අය ඔය වගෙ කතාවක් ඇහුවම ඕනෑවට වඩා කලබල වෙනවනෙ..."

ටික වෙලාවක් යන තුරු පැවතුණේ නිහඬතාවයක් පමණි. වේයන්ගොඩ හා නිට්ටඹුව නගර පසු විය. තවත් සෑහෙන දුරක් යා යුතුය. රියදුරාට නිදිමත හැදීමේ අවදානමද ඇති නිසා මේ නිහඬතාවය එතරම් හොඳ නැත.

"කොහෙද පදිංචිය කටුනායක කිට්ටුවමද?"

රියදුරා නැවතත් දොඩමළු විය. ඔහුගේ පදිංචිය ගැන පමණක් නොව දරුවන් ගැනද මට දැනගන්නට ලැබුණේය.

"මොන ඉස්කෝලෙටද යන්නෙ?"

"xxx එකට. අපි ආගමේනෙ මහත්තය. ඒ නිසා පල්ලියෙ ඉස්කෝලෙට යවනව."

අවසාන වශයෙන් මේ රියදුරාද එක්තරා ආකාරයක සුළුතරයකට අයත් වූවෙකි. එක් සුළුතරයකට එරෙහිව ඇතිවන විරෝධයක් ඉතා පහසුවෙන් වෙනත් සුළුතරයකට එරෙහිවද ක්‍රියාත්මක විය හැකි බව ඔහු නොදන්නවාදැයි මා දන්නේ නැත. අඩු වශයෙන් ඔහුගේ මුස්ලිම් විරෝධය සැබෑ විරෝධයක්ද එසේ නැත්නම් සිය පාරිභෝගිකයින් සතුටු කරන්නට කරන දෙයක්ද යන්නවත් මට නිශ්චිතව පැවසිය නොහැකිය. එය දෙවැන්න වුවත් ඔහු එසේ කළේ ඔහුගේ පාරිභෝගිකයින් අතර මුස්ලිම් විරෝධයට ඉහළ ඉල්ලුමක් තිබුණු බැවිනි.

ජාතිවාදයට ඉල්ලුමක් පවතින පසුබිමක සැපයුම පාලනය කිරීම පහසු කටයුත්තක් නොවේ. ඉහත කී ආකාරයේ කුලී රථ රියදුරන් හා ත්‍රිරෝද රථ රියදුරන් වැනි අයට ඇතැම් විට සමාජ ජාලා වලටත් වඩා කාර්යක්ෂමව අදහස් සම්ප්‍රේෂණය කළ හැකිය.

මේ පැය එකහමාරේ ගමන තුළ මට තේරුම් ගියේ එක ගිණිකූරකින් ලංකාවේ සමාජය මුළුමනින්ම දවා අළු කළ හැකි වියලි පිදුරු ගොඩක් රට ඇතුළේ කාලයක් තිස්සේ එකතු වී ඇති බවයි. දින දෙකක් ලංකාවේ ගත කර, රටින් පිටවී ඇමරිකාවට ගොඩ බසිද්දී දැන ගන්නට ලැබුණේ ඒ පිදුරු ගොඩට කොහෙන් හෝ ගිණි පුලිඟුවක් වැටී ඇති බවයි.

ජාතිවාදය පැත්තකින් තිබ්බත් සියළු රටවැසියන්ගේ ජීවිත හා දේපොළ අයිතිය සුරැකීම රජයක මූලික කාර්යයකි. රටේ ආර්ථික හා සමාජ ජීවිතයේ සෑම අහුමුල්ලකටම අත පොවන, රටේ තරමට සාපේක්ෂව විශාල ආරක්ෂක බලඇණියක් නඩත්තු කරන දැවැන්ත රජයකට එහි වගකීමෙන් කෙසේවත් ගැලවෙන්නට නුපුළුවන. වියලි පිදුරු කන්දක් ගොඩ ගැසී ඇති තැනක වරින් වර ගිණි දළු මතු වීම නොවැලැක්විය හැකි වුවත් එවැනි ගිණි දළු හාත්පස පැතිරී මුළු මහත් සමාජයම දවා අළු කරන්නට පෙර වහා නිවා දැමීමට රජය අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුය.

Wednesday, March 7, 2018

පිය සමර


ඒ නමසිය අසූ දෙකේ අවුරුද්දේ අන්තිම සතියේ දවසකි. මගේ පියාගේ මුල් ගමේම ජීවත් වූ ඔහුගේ බාල සොයුරෙකුත්, ඔහුගේ තවත් ඥාති සොහොයුරෙකුත් හදිසියේම අපේ ගෙදර ආවේ තරමක කලබල ස්වභාවයක් පෙන්වමිනි.

"අක්කෙ, අයිය ගෙදරද?"

සාමාන්‍යයෙන් සතියේ දිනක දවල් වරුවේ මගේ පියා ගෙදර සිටින්නට ඉඩක් නොතිබුණු තරම්ය.

"ඇයි, මල්ලි? මොකුත් කරදරයක්ද?"

"පොඩි කරදරයක්නම් තමයි! අයිය ගෙදර නැද්ද?"

"අයියනම් ගෙදර නෑ..."

ජංගම දුරකථන භාවිතයක් නොතිබුණු මේ කාලයේ සාමාන්‍ය දුරකථනයක් සුඛෝපභෝගී භාණ්ඩයක් වූ අතර එවැන්නක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු අධික මිල ගෙවීමේ හැකියාව තිබුණු අයෙකුට වුවද ඒ සඳහා වසර ගණනාවක් පොරොත්තු ලේඛණයක රැඳී සිටින්නට සිදුව තිබුණේය. හදිසි පණිවිඩයක් යැවිය හැකිව තිබුණු වේගවත්ම ක්‍රමය වූයේ විදුලි පණිවුඩයක් යැවීමයි. බොහෝ විට විදුලි පණිවුඩයකට වඩා වේගයෙන් පණිවුඩකරුවෙකුට අවශ්‍ය තැනට ළඟා විය හැකිව තිබුණේය.

බාප්පා පැමිණ තිබුණේ නරක පණිවුඩයක්ද සමඟිනි. මේ නරක පණිවුඩය හැකි ඉක්මණින් මගේ පියා වෙත සන්නිවේදනය කළ යුතු විය.

වාසනාවට මගේ පියා එදින සිටියේ විශාල දුරක නොවේ. අපේ එවක නිවසේ සිට සැතපුම් තුන හතරකට නොවැඩි දුරක වූ රජයේ දෙපාර්තමේන්තුවකට අයත් පුහුණු මධ්‍යස්ථානයකය. පණිවුඩකරුවන් දෙදෙනා සමඟ එහි යන්නට මමද එක් වුනෙමි.

දේශන ශාලාවේ පණහක හෝ සියයක පමණ පිරිසක් රැඳී සිටි අතර මගේ පියා දේශනයක් පවත්වමින් සිටියේය. ශාලාවේ කොට බිත්ති වලට උඩින් අප පැමිණෙනු මගේ පියාට දර්ශනය වන්නට ඇත. අප දේශන ශාලාවේ කොට බිත්තිය අයිනේ රැඳී සිටියෙමු.

දේශනය මඳකට නැවැත්වූ මගේ පියා අප සිටින තැනට පැමිණියේය.

"ඇයි, මල්ලි?"

"අයියේ කියන්ඩ ආවේනම් නරක ආරංචියක්!"

"මොකක්ද?"

මගේ පියා ඇසුවේ ඉන් පසුව අසන්නට ලැබෙන දෙය ගැන අදහසක් ඇතුව විය යුතුය.

ඔහුට එය අසන්නට ලැබුණේය. ඒ ඔහුගේ පියාගේ මරණය පිළිබඳ පුවතයි. පසුගිය සියවසේ මුල් අවුරුද්දේ ඉපදී තිබුණු මගේ පියාගේ පියා ඒ වන විට සිය අසූ දෙවසරක දිවි සැරිය නිමා කර තිබුණේය.

"ඔහොම පොඩ්ඩක් ඔතැන ඉන්න!"

ආපසු වේදිකාව මතට ගිය මගේ පියා කිසිදු කලබලයක් නැතිව සිය දේශනය නැවතත් ආරම්භ කළේය. විනාඩි දහයකින් පමණ පසුව නියමිත වේලාවටම දේශනය අවසන් කළේය. දේශනය අවසානයේ තවත් කෙටි නිවේදනයක් කරමින් ඔහු වේදිකාවෙන් බැස්සේය.

"මීට මොහොතකට පෙර මට අසන්නට ලැබුණේ මගේ ආදරණීය පියාගේ මරණය පිළිබඳ ශෝකදායක ආරංචියයි. ඒ නිසා, මට මෙහි දිගටම රැඳී සිටින්න හැකියාවක් නැහැ. ඒ ගැන සමාවන්න. කරුණාකර රැස්වීමේ කටයුතු දිගටම කරගෙන යන්න."

මගේ පියා අප අසලට පැමිණියේය.

"යමු!"

එසේ වුවත්, රැස්වීමේ කටයුතු බාධාවකින් තොරව දිගටම පැවැත්වුණේ නැත.

එක් අයෙක් නැඟිට එළියට ආවේය. තවත් අයෙක් ආවේය. තවත් අය ආවේය. දැන් අප වටා මිනිස් වළල්ලකි.

"මහත්තය අපෙන් මොනවද කෙරෙන්න ඕනෑ?"

මගේ පියා කවර කලෙකවත් ධන සම්පත් ගොඩ ගසා තිබුණු අයෙකු නොවේ. කිසියම් මුදලක් අතට ලැබෙන පරක්කුවෙන් එය වියදම් කර දැමීමේ මනා කුසලතාවයක් ඔහු සතු විය. එහෙත්, පරිවාර සම්පත්තියෙන්නම් ඔහුට කිසිදු අඩුවක් නොවීය.

"ඕගොල්ලො කවුරුවත් කරදර වෙන්න අවශ්‍ය නැහැ. දැන් මේ කරගෙන ගිය වැඩේ දිගටම කරගෙන යන්න."

මගේ පියාට එදා ඔහුගේ පියාගේ මරණය කවර ආකාරයකට දැනුණාදැයි මට අවබෝධයක් තිබුණේ නැත. ඉන් පසුව ගෙවුණු වසර තිස්හයක කාලය තුළ බොහෝ දේ වෙනස් වී තිබේ. විදුලි පණිවුඩ ක්‍රමය මියගොස් දැන් වසර ගණනාවකි. අද වන විට ජංගම දුරකථනයක් අතේ නැති කෙනෙක් නැත. මගේ පියාගේ පියා සිය දෙඅසූ වස් ජීවිත කාලය තුළ කිසිදා ඇසින් නොදුටු ජංගම දුරකථනය දෙඅසූ විය ආසන්නයේ සිටි මගේ පියාගේ හොඳම හිතමිතුරෙක් හා සේවකයෙක් වී සිටියේය. පියාගේ ජංගම දුරකථනයෙන් මගේ ජංගම දුරකථනයටද වරින් වර නොයෙක් ආකාරයේ විද්‍යුත් පණිවුඩ පැමිනුණේය. මේවා බොහෝ විට කිසියම් විද්‍යුත් ලේඛණයක් සොයාදෙන මෙන් කෙරුණු ඉල්ලීම්ය. එහෙත්, දේශනයක්, හමුවක් හෝ රැස්වීමක් අතරතුර ජංගම දුරකථනය වෙත එබී බැලීම මගේ ක්‍රමය නොවේ. ඒ නිසා, දේශනයක් අතරතුර ලැබෙන පණිවුඩයක් මා දැනගන්නේ දේශනය අවසන් වීමෙන් පසුවය. ඉතිහාසය පුනරාවර්තනය වූවත් ඒ හරියටම එකම ආකාරයටම නොවේ.

සන්නිවේදන තාක්ෂනය වැනි දේ වසර තිස් හයක් තුළ ඇදහිය නොහැකි වේගයෙන් වෙනස් වී ඇත. තවත් බොහෝ දේවල්ද එසේ වෙනස් වී ඇත. එහෙත්, පිය පුතු සම්බන්ධතා වැනි මානුෂික සම්බන්ධතා වල ස්වභාවය පරම්පරා දෙක තුනක් තුළ එසේ වෙනස් වන්නේ නැත. ඒ නිසා වසර තිස් හයකට පෙර මගේ පියාගේ පියා මිය ගිය දින මගේ පියාට ඇති වුනු හැඟීම අනාගතයේ දිනෙක මගේ පුතුද ඊට බොහෝ සමාන අයුරකින් අත් විඳින්නට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: