වෙබ් ලිපිනය:

Friday, September 4, 2015

හතරේ සීමාව සහ හයේ සීමාව

ඒ ලංකාවේ ක්‍රිකට් වංශ කතාවේ ලොකුම ශිඛර දෙකක අතරමැද වූ කාලයකි. පළමු ශිඛරය වූයේ ලංකාවට 1981දී ටෙස්ට් තත්ත්වය හිමි වීමයි. දෙවැන්න 1996 ලෝක කුසලාන ජයග්‍රහණයයි.

විප්ලවකාරී ව්‍යාපාරයේ නායකයින් වැඩි දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබ හෝ මරා දමනු ලැබ තිබුණත් භීෂණයේ ගිණිදළු සම්පූර්ණයෙන් නිවී ගොස් නොතිබුණේය. අපි අපේ විදුහලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය සඳහා සූදානම් වෙමින් සිටියෙමු.

බස්නාහිර පළාතේ වැට අද්දරම දුෂ්කර පාසැලක් තිබීම කිසියම් පරිපාලන වරදක් විය හැකියැයි සිතා සිටි මගේ ඒ අදහස නිවැරදි නොවන බව වැටහුණේ සේවයට වාර්තා කළ මුල් දිනයේදීමය.

මා වැනි තරුණ ගුරුවරයෙකුගේ පැමිණීම විශ්‍රාම යාමට ආසන්නව සිටි විදුහල්පති මෙනෙවියට මෙන්ම එවැනිම වයසක සිටි උප විදුහල්පති වරයාටත් (ශ්‍රේණිය අනුව නොවූවත් තනතුරේ වැඩ බැලීම අනුව), විශ්‍රාම යාමට තරම්ම වයසක නොසිටි අනෙකුත් ගුරු මෙනෙවියන් හතර පස් දෙනාටත් විශාල ආශ්වාදයක් ගෙන දුන්නේය. අධ්‍යාපන කන්තෝරුවට ගොස් වැඩක් කර ගැනීමට හැකි තරම් පණ ඇති කෙනෙකු සිටීම ලොකු වාසියකි. කෙසේ වුවද, මගේ පැමිණීමෙන් වඩාත්ම ආශ්වාදයට පත් වුනේ මා සේවයට පැමිණීමට වසර දෙක තුනකට පමණ පෙර මේ විදුහලට පැමිණ සිටි තරුණ ගුරු යුවලයි. ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි ප්‍රතිසංස්කරණ යෝජනා සඳහා තවත් ඡන්දයක් වැඩි වීම ඔවුන්ගේ අමන්දානන්දයට හේතු විය.

මා ඉහළ පන්තියකට අළුතින් පැමිණුනු සිසුවෙකු නොවන බව පැහැදිලි කිරීමට තරමක වේලාවක් ගත වුණත්, සේවයට වාර්තා කළ දිනම මට ලැබුණේ ඉතා ඉහළ පිළිගැනීමකි. හතේ අටේ පන්තියක කොළු ගැටයෙකු ඉස්කෝල වත්තේ පොල් ගසකට යවා සංග්‍රහය සඳහා කුරුම්බා සපයා ගැනීම කිසිවෙකුට විශේෂ දෙයක් වුණේ නැත. විදුහල්පතිනියගේ මේ පුරුද්ද ගැන සිය නොමනාපය පසු දිනෙක හොරෙන් මෙන් මට ප්‍රකාශ කළ පෙර කී යුවලේ තරුණ විද්‍යා ගුරුවරයාද වඩාත්ම විවේචනය කළේ පොඩි ළමයින් යොදවා පාසල් වත්තේ කොස් පොල් කඩා ගැනීම නොවේ. ඇගේ ගෙදර වත්තේ පොල් කැඩීම සඳහා පාසැල් එන සිසුන්ව පිටත් කර හැරීමයි.

මගේ පැමිණීම කාගේත් සතුටට හේතු වූ ප්‍රධාන කරුණු අතර දෙවැන්න වූයේ මගේ පත්වීම් කඩදාසියේ වූ ඉංග්‍රීසි විෂය හැරුණු විට ගණිතය සහ විද්‍යාව වැනි කවුරුත් උගන්වන්නට බය වූ වෙනත් විෂයයන්ද ඉගැන්වීමට මගේ වූ කැමැත්තයි. ඇත්තටම මේ පාසැලේ ඉංග්‍රීසි විෂය ඉගැන්වීමනම් එතරම් සංකීර්ණ කාර්යයක් වූයේ නැත. තුනේ පන්තියේ සිට දහවන ශ්‍රේණිය දක්වා සියල්ලන්ටම උගන්වන්නට තිබුණේ එකම මට්ටමින් නිසා වෙන වෙනම සූදානම් වීමක් අවශ්‍ය වූයේ නැත.

හයවන ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල කොහොමටත් හිටියේ ළමුන් දෙදෙනෙකු නැත්නම් තිදෙනෙකි. ගොයම් කැපූ පසු ටික කාලයක් මේ පන්ති හිස් නිසා නොමිලේ ඕෆ් පීරියඩ් ලැබේ. එය එසේ වන්නේ මේ කාලයේදී පුරන්වන කුඹුරු වල මැණික් ගැරීම ජයටම සිදුවන නිසාය.

සිසුවෙකු ලේසියෙන් සාපෙළ සමත් නොවූ නිසා දහවන ශ්‍රේණියේනම් විවිධ වයස් වල ළමයින් හත් අට දෙනෙකු සිටියහ. වෙනත් විදුහල් වලින් ඉගෙන දෙවරක් සාපෙළ අසමත් වූ අයද මේ පාසැලට ඇතුළත්ව මේ අයුරින් දහවන ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටියේය. මේ ඇතැම් සිසුන් මගේ වයසට ආසන්නව සිටි නිසාත්, සේවයට වාර්තා කළ පළමු දින මා ඇඳ සිටියේ සුදු කමිසයක් සහ ඉතා ලා පැහැති කලිසමක්ද නිසාත් විදුහල්පතිවරිය සිතා සිටියේ මාද වෙනත් විදුහලකින් එසේ පැමිණි සිසුවෙකු බවයි.

ගුරු මණ්ඩලයේ කවුරුත් මුලින්ම මට පැහැදිලි කර දුන් වැදගත්ම කරුණ වූයේ උගන්වන්නට ඒ හැටි මැරෙන්නට අවශ්‍ය නොවන බවයි. තරුණ විය ඉක්මවමින් සිටි ගුරුවරියන් කණ්ඩායමට අවශ්‍ය වූයේ පාසැල් කාලය තුළ මගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නටය. සිසුන්ට වතුවැඩ විෂය ඉගෙනගැනීමට ඉඩ සලසා මේ ගුරුවරියන්ට මෙන්ම මටත් ඉංග්‍රීසි පන්තිය සඳහා කාලය වෙන්කර දීමට තරම් විදුහල්පතිනිය කාරුණික වුවත් මා ඒ සඳහා කැමැත්තක් නොදැක්වූ හෙයින් මේ නොමිලේ ඉංග්‍රීසි පංතිය පැවැත්වුණේ හවස් වරුවේදීය. ඔවුන්ට අමතරව පන්සලේ හාමුදුරුවන්ද මේ පන්තියට එක් විය.

විදුහල්පතිනිය පාසැල් වත්තේත්, ඇගේ ගෙදර වත්තේත් එළවළු කොටු හැදීම වැනි කටයුතු සඳහා පාසැල් සිසුන්ව පාසැල් කාලය තුළ යොදා ගැනීමට තමාගේ ඇති විරුද්ධත්වය ප්‍රසිද්ධියේ නොවූවත්, රහසින් හෝ මට ප්‍රකාශ කළ තරුණ විද්‍යා ගුරුවරයාද එසේ පවසා ඇත්තේ අවංකව නොවන බව වටහා ගැනීමට මට වැඩි කාලයක් නොගියේය.

අනෙකුත් ගුරුවරුන් දැන සිටි පරිදි අධ්‍යාපන කන්තෝරුවේ මා දන්නා හඳුනන 'ලොක්කන්' සිටියේය. මේ උසස්වීම් ලබා සිටි මගේ පැරණි ගුරුවරුන් සහ මගේ පියාගේ පාසැල් මිතුරන් හෝ සමකාලීනයන්ය. මේ නිසා ඔවුන්ට වසර ගණනාවක් තිස්සේ කර ගැනීමට නොහැකිව තිබුණු ඇතැම් වැඩ ඔවුන්ගේ ඉල්ලීම් පරිදි දවසින් කර දීමට මට හැකි විය. ඇත්තටම මා එවැනි ඇතැම් දේ කළේ මේ දැනහැඳුනුම් කම් උපයෝගී කරගෙනම නොවේ. නිවැරදි ක්‍රමවේදය අනුගමනය කිරීමෙනි. මා මේ ලොක්කන්ට කේලම් කියා විදුහල්පතිනිය ඇතුළු අනෙකුත් ගුරුවරුන් අමාරුවේ වැටෙන විට තමන් පමණක් ඇඟ බේරාගැනීමට විද්‍යා ගුරුවරයා කලින්ම උපාය මාර්ගයක් ගෙන තිබුණේය.

මා ලොක්කන්ට කේලම් කියන්නට ලෑස්ති වී සිටින ඔත්තු කාරයෙක් නොවන බව වැඩි කල් නොගොස්ම මේ විද්‍යා ගුරුවරයා ඇතුළු ගුරු මණ්ඩලයටම අවබෝධ විය. අමතර ආදායමක් ලබා ගත හැකි ක්‍රමයක් පිලිබඳව මා දැනුවත් කර ඒ සඳහා මට උදවු කිරීමට ඇති කැමැත්ත මේ ගුරුවරයාගෙන් ප්‍රකාශ වුනේ ඉන් පසුවය. පාසැල් සිසුන් පුරන් වූ කුඹුරු වල මැණික් ගැරීම සඳහා යෙදවීම ඉතාමත්ම වාසිදායක කටයුත්තකි. ඔහුට අනුව පාසැලේ නාමලේඛනයේ එක වැටීමද සිදුවන නිසා මේ සිසුන්ගේ දෙමවුපියන්ද ගුරුවරුන් සමඟ හවුලේ මේ කටයුත්ත කිරීමට දැක්වූයේ විශාල කැමැත්තකි.

පාසැලේ සිටි පිරිමි ළමුන් ටික දෙනාට වතු වැඩ සහ පතල් වැඩ විෂයයන් ඉගැන්වීම සම්බන්ධව විදුහල්පතිවරිය සහ මේ ගුරුවරයා අතර තරඟයක් පැවතී ඇති බව මේ අනුව මට පැහැදිලි විය. කෙසේ වුවද, මේ ගුරු මණ්ඩලයේ මට සිටි ළඟම මිතුරා මේ විද්‍යා ගුරුවරයාය. ඔහුගේ තරුණ බිරිඳ හැරුණු විට ගුරු මණ්ඩලයේ අනෙකුත් ගුරුවරුන් සහ මා අතර වයසින් මෙන්ම අදහස් අතින්ද තිබුණේ විශාල පරතරයකි.

මේ සිසුන් මේ කාලයේදී සැතපුම් හත අටක් දුර පාසැල් වල සිසුන් කළාක් මෙන් 'කොළඹට කිරි- අපිට කැකිරි' කියා සටන් පාඨ කියමින් කෑගැසුවේ නැත. එසේ කළේ සාපේක්ෂව මීට වඩා හොඳ සමාජ තත්ත්වයක් තිබුණු නිවෙස් වල හැදුණු දරුවන් ඉගෙනගත් පාසැල් වල සිසුන්ය. මේ සිසුන් තමන්ට ලැබෙන්නේ කැකිරි බව හෝ වෙනත් අයට ලැබෙන කිරි ගැන හාන්කවිසියක්වත් දැනගෙන හිටියේ නැත.

ක්‍රිකට් උණ ලංකාවේ ගම් දනවු සිසාරා වසංගතයක් මෙන් පැතිරෙමින් තිබුණු මේ කාලයේ බස්නාහිර පළාතේ වැට අද්දර තිබුණු මේ පාසැලේ සිසුන් අඩුගානේ ක්‍රිකට් ගැනවත් දැන සිටියේ නැත. මෙවර පාසැලේ වාර්ෂික ක්‍රීඩා උත්සවයේ තරඟ ඉසවුවක් ලෙස අළුතින් ක්‍රිකට් එකතු කරන්නට විද්‍යා ගුරුවරයා යෝජනා කළේ ඒ සඳහා මගේ සහයෝගයද ලැබෙන බැවින් බය වෙන්නට දෙයක් නැති බවට විශ්වාසය තහවුරු කරමිනි. අපි ක්‍රීඩාවේ මූලික කරුණු සහ තරඟ නීති පිළිබඳව ඒ ගැන තරමක උනන්දුවක් දැක්වූ උප විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයට විස්තර කළෙමු. (මා ක්‍රිකට් කාරයෙක් නොවුණත් තරඟ නීති වගේම තරඟ වාර්තා ආදියත් ඔය කාලයේ කට පාඩම්ය.)

පිට්ටනිය විශාල හෝ සමමිතික නොවූ නිසා සීමා ලකුණු කිරීම පහසු කටයුත්තක් නොවීය. දෙපැත්තකින්ම ළඟ ළඟ තිබුණු රබර් ගස් නිසා 'ගස් කැච්' ආදිය සම්බන්ධව තරඟ නීති අළුතින් සාදා ගත යුතු විය. ඒ මදිවට එක පැත්තක කණ්ඩියකි. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට මේ කණ්ඩිය උඩද සිටීමට සිදුවනු ඇත.

ක්‍රීඩා කිරීම සඳහා මූලික උපකරණ හෝ සපයාගත යුතුවිය. පාසැල් වත්තේ අඹ, පොල් සහ සිසුන් යොදවා වගා කර තිබුණු එළවළු සහ බුලත් විකිණීමෙන් යම් මුදලක් එකතු කර ගත හැකිවිය. මේ කටයුත්තේදී මමත්, විද්‍යා ගුරුවරයාත් දෙදෙනා අපේ නොමසුරු දායකත්වයද  ලබා දුන් නිසා ගැටළුව පහසුවෙන් විසඳා ගත හැකි විය.

විද්‍යා ගුරුවරයා සිසුන් යොදවා තණ තිල්ල සකස් කර විකට් සිටවීය. අටේ පන්තියේ සිසුවෙකුද සමඟ තණතිල්ලේ දිග මැන පරීක්ෂා කරමින් අපේ උපවිදුහල්පති වරයාත් මේ අළුත් වැඩේට දායකත්වය සැපයූවේ විශාල උනන්දුවකිනි.

ලොකු ගල් ඉවත් කළ නොහැකි වුවත් තල්ලු කළ හැකි ප්‍රමාණයේ ගල් සිසුන් යොදවා තරමක් ඈත් කර පිට්ටනිය සකස් කෙරිණි. මේ අළුත් ක්‍රීඩාව ඉගෙන ගැනීමට සිසුන්ගේ වූයේ විශාල උනන්දුවකි. දැන් අපි සිසුන් කිහිප දෙනෙකු සමඟ පිට්ටනිය වටේ හතරේ සීමාව ලකුණු කරමින් සිටිමු.

හිස ඔසවා බලන විට අපේ උප විදුහල්පතිවරයා සිසුන් කිහිප දෙනෙක්ද සමඟ අප ලකුණු කරන මායිමට පිටින්, රබර් වත්තේ තරමක් ඈතින් වෙනම කූඤ්ඤ පේලියක් හිටවමින් යයි. විද්‍යා සර්ට මළ පැන්නේය.

"අර බලන්ඩකෝ, සර්. අර දෙවෙනි සර් මොකක්ද කරන්නේ? මෙතන බවුන්ඩරිය නියම ගාණටම ලකුණු කරන්න ඉඩ නෑ කියල තේරෙන්නේ නැද්ද?"

හෙමින් පැවසූ ඔහු තරමක් හඬින් කෑගසා මෙසේ අසයි.

"දෙවෙනි සර්, ඔය මොකද කරන්නේ? අපි මේ මෙහේ හතරේ සීමාව ලකුණු කරනවා."

ඔහුගේ පිළිතුරත් එවැනිම හඬකින් දැන් ඇසේ.

"හරි හරි, සර්ලා ඔය වැඩේ කරගෙන යන්න. මම මේ හයේ සීමාව ලකුණු කරනවා."

හතරේ සීමා, හයේ සීමා වගේ කොයි සීමාත් තියෙන්නේ අපෙන් බාහිරව පිට්ටනි වලම නොවන බව මේ කාලයේදී මා හරියටම අවබෝධ කරගෙන හිටියේ නැත.

(මෙය යථාර්තයට කිට්ටු නැති ප්‍රබන්ධයක්යැයි ඔබට සිතේනම් එසේ සිතාගත්තාට මගේ අකැමැත්තක් නැත. ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

15 comments:

  1. මුලින් එල්ලේ ගහලා පස්සේ කිරිකට් වලට එන්න තිබ්බේ

    ReplyDelete
    Replies
    1. ඔව්, බණ්ඩා. ඒක සමහර විට වඩා ප්‍රායෝගික විය හැකිව තිබුණා.

      Delete
  2. මේ පාසල දැරණියගල පැත්තට වෙන්නද මතුගම බුලත්සිංහල කොණට වෙන්නද? කොයි සීමාත් තියෙන්නේ අපෙන් බාහිරව පිට්ටනිවලම නොවන බව ...... අපූරු ම කියමනනක්.....
    81 වසර වන විට මම ද ඔබ කියූ ආකාරයේ තරම්ම නොවුණත් එයිට ටිකක් සමාන ආකාරයේ ම බස්නාහිර පළාතේ පාසලක ඉගනුම ලබා අගනුවර පාසලකට සේන්දු වී යන්තම් වසරක් පිරුණා විතරය. අර ගමේ පාසලේ සිටිද්දි ක්‍රිකට් කියා දෙයක් තිබ්බාද කියාවත් මා දැන සිටියේ නැත. අග නුවරට සේන්දු වි ගත වුණු වසර ඇතුළත ඒ ගැන බොහෝ දේ දැනගත්තා පමණක් නොව මහත් උද්දාමයකින්ද පසුවුණෙමි. ඒ උද්දාමය ලැබුණේ 81 ටේස්ට් වරම් ලැබු කණ්ඩායමේ නායකයා වූයේ මා එවකට උගත් පාසලේ ආදි සිසුවෙක් වීමය.
    අපේ ගමේ පාසලේත් වතු වැඩ තිබිණි පතල්වැඩ නොතිබිණි. හේතුව එය ගම්පහ දිස්ත්‍රික්කයේ කෙළවරකට වන්නට පිහිටිම ය. එසේ නොවුණා නම් අපටද එදා පතල් වැඩ ඉගන ගන්නට හැකිවන්නට තිබිණි. එහෙත් එදා අපේ ගමේ පාසලේ ගුරු දෙවිවරුද සිටියහ. මේ එවන් ගුරු පියෙකු ගැන මා ලියු සටහනකි ගුරු ගිතයට නව අරුතක්

    ReplyDelete
    Replies
    1. නලින්ගේ ගෙස් එකනම් සෑහෙන්න හරි. ඔය දෙපැත්තම ගැන මට ටික ටික අත්දැකීම් තියෙනවා. දෙපැත්තේම ඔය වගේ ඉස්කෝල තිබුණා ඔය කියන දවස්වල.

      ඔබේ සටහනත් කියෙව්වා. හරිම සංවේදී එකක්. "යමක් තේරෙන වයසට ආවට පස්සේ කාටවත් පේන්න මම අඬලා නෑ. ඒත් සංවේදි හැම සිද්ධියකදීම ලෝකෙටම හොරෙන් මගේ ඇස් කෙවෙනිවල කඳුළු පිරිලා. ඒ කඳුළු කව්රුවත් දකින්නේ නෑ" කියලා ඔබ කියනවා වගේ අවස්ථා මටත් පොදුයි.

      මගේ සටහනේ කියපු තැනනම් කතාව ටිකක් වෙනස් එකක්. මේ අවට මීට වඩා 'හොඳ' ඉස්කෝලත් තිබුණා. මෙතන හිටියේ ඉගෙන ගන්න කිසිම උවමනාවක් නොතිබුණු තේරිච්ච ළමයි. එතන ගුරුවරු ගුරුදෙවිවරු නොවුණට ගුරුහොරුමත් නෙමෙයි. සමහර විට මේ ළමයි මේ වගේ අමතර දේවල් නිසා නෙමෙයිනම් කොහොමටවත් ඉස්කෝලේ නොඑන්නත් තිබුණු අය. පහළම පන්තිවලනම් උනන්දුවක් තිබුණු ළමයි ටිකක් හරි හිටියා.

      Delete
  3. නෑ බං මේක තමා යථාර්තය.. ලංකාවේ හැම තැනම මේ විදිහට නෑ තමයි.... ඒත් බොහොමයක් තැන් මෙහෙමයි.. මේ ලක්ෂණ තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ප්‍රදේශය අනුව සිද්ධි වෙනස් වුනත් ගොඩක් තැන්වල සිදුවෙන මූලික දේ මේ වගේ වෙන්න ඇති.

      Delete
  4. ඉකොනොමැට්ටට වඩා අවුරුදු 7-8 කට කලින් මයේ හිතේ.. අපේ ලොකු අයිය ගුරුවරයෙක් වෙලා ගිය පලවෙනි පත්වීම මතක් උනා.. දැන් රන්ටඹේ ජලාශයට යටවෙලා තියෙන හරියේ තිබ්බ කැලෑ ගමක් වුනු බණ්ඩාරකැටිය ඉස්කෝලේ. ළමයි ගුරුවරයාට කතා කරන්නේ 'අඩා සේර්' කියල.. :) ඔය වගේ තමයි.. ගෙවල් වල වැඩ නැති දවස් වලට ඇවිල්ල ඉස්කෝලේ වතු වැඩ කරනවා.. අපේ අයිය බොහොම තරුණ කාලේ තමයි ඒ ඉස්කෝලේ 'විද්‍යා ගුරුවරයා' විදියට වැඩ බාර ගත්තේ.. හරිම ලස්සන මතක ගොඩක් අරන් ඇවිත් ඉස්සර අපිට කියනවා..
    සිමා වල් තියෙන්නේ අපෙන් පිට පිට්ටනි වලම නෙවෙයි.. කතාවේ මොරල් එක සුපර්..

    ReplyDelete
    Replies
    1. බණ්ඩාරකැටිය පැත්තේ සිදුවීම් වල අනිවාර්යයෙන්ම මීටත් වඩා කතා කරන්න දේවල් ඇති.

      Delete
  5. ඉකොනොමැට් සහෝට සැහෙන්න සිරා අත්දැකීම් තියෙනවා වගේ , තව අහන්න ආසයි උඹේ කතා. ජය වේවා මචෝ!

    ReplyDelete
    Replies
    1. අත්දැකීම්නම් සෑහෙන්න තියෙනවා, ගබා. ඒත් ඒ ගොඩක් ඒවා ලිවුවොත් 'පොර ටෝක්' වගේ පේන ඒවා. නැත්නම් ජීවත්ව ඉන්න අයට සම්බන්ධ දේවල්.

      Delete
  6. em,
    රසයි, 3-5 ගානට.

    ReplyDelete
    Replies
    1. em,
      සමාවෙන්න, ලයිෆ් සැලඩ් එක දැක්කේ පස්සේ්
      රසයි, නියම කලවම

      Delete
  7. වාමාංශික දේශපාලන පක්ෂ ඇතුලූ සියලූ දේශපාලන ප්‍රවාහයන් හා 56 දරුවන් ඇතුළු ඊනියා දේශප්‍රේමීන් ලංකාවේ සලකුනු කරපු හතරේ සීමා, හයේ සීමා ගැන ඉකොනොමැට්ටෝ අපි කතාකරමු.
    ඔටෝ අප්ඩේටඩ් නොවන නාගරික ගැමි මුග්ධත්වය හා සුවකලනොහැකි හීනමානයට මෙය ප්‍රත්‍යක්ෂ ඔසුවකි.
    අපි ගැන අපිම කතාකරමු. කතා අස්සේ එන පම්පෝරිය රම්පේ කරපිංචා වගේ ඉවතලමු.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: