Sunday, September 20, 2015

කතෘ ප්‍රකාශන රාක්ක වල යට තට්ටුවට යන්නේ ඇයි?

පෙර ලිපියකට ප්‍රතිචාර දක්වමින්, කතෘ ප්‍රකාශන වලට පොත් වෙළෙන්දන්ගෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි ගැන නලින් මගේ අවධානය යොමුකරවූවේය. හරී විසින් පෙන්වූ පාරක ගොස් කියවූ අරුණිගේ පැරණි ලිපියක් අනුව "අළුත් කර්තෘවරයෙක් විසින් ලියන ලද අළුත් පොතක් නම් කල පොත් කඩයට බාරදුන් පොත හොයා ගන්නට සර්ච් පාටියක් ද රැගෙන යා යුතු වන්නේය. අහවල් කඩ‍යට පොත් දැම්මා එතැනින් ගන්න කියා සල්ලි රැගෙන පොතක් ලබාගන්න යවන අයව එහෙම පොතක් මෙහෙ නැහැ කියා හරවා යවන කඩ සේවකයෝ සිටිති"

පොතක් ලිවීමේ සිට එය පාඨකයකුගේ අතට ලැබෙන තුරු සිදුවන ක්‍රියාදාමය පිළිබඳව මගේ දැනුම පරිපුර්ණ එකක් නොවේ. මා මෙහිදී බොහෝ දුරට උපයෝගී කරගත්තේ අරුණිගේ හා රසිකගේ ලිපිවලත් නලින්ගේ කොමෙන්ටුවේත් ඇති කරුණුය. කෙසේවුවද, විශ්ලේෂණයක් කිරීමට මේ කරුණු ප්‍රමාණවත්ය.

කතාව පටන්ගන්නට පෙර නොදන්නා අය සඳහා නිදන්ගත පිරිවැය (sunk cost) යන සංකල්පය පහදා දීමට සිදුවේ. රසිකගේ කොමෙන්ටුවක්ට අනුව ඔහුගේ කවිපොත නිෂ්පාදනය කිරීමේ විචල්‍ය පිරිවැය රුපියල් 100කි. රුපියල් 150කට මිල කර ඇති මේ පොත පොත් වෙළෙන්දෙකුට 40%ක වට්ටමක් සහිතව රුපියල් 90කට ලබා දිය යුතුය. මේ අනුව, විකිණෙන පොතකින් රසිකට රුපියල් 10ක් පාඩු වේ.

එසේනම් රසික විසින් මේ පොත් නොවිකිණිය යුතුද?

පොත මුද්‍රණය කිරීමෙන් පසුව ඒ සඳහා වැයකළ රුපියල් 100 නිදන්ගත පිරිවැයකි. පොත නොවිකුණුවත් ඒ මුදල ආපසු නොලැබේ. එවිට සිදුවන්නේ පාඩුව රුපියල් 100ක් වීමයි. පොත විකිණීමෙන් මේ පාඩුව රුපියල් 10ක් දක්වා අඩුකර ගත හැකි බැවින් අනෙක් විකල්පයට සාපේක්ෂව පොත විකිණීමෙන් රුපියල් 90ක වාසියක් සැලසේ.

දැන් අපි පොත් වෙළෙන්දෙකු සතු විකල්ප දෙකක් සසඳමු.

a . ලේඛකයෙකු ඔහුගේ පොතක් කිසිදු අත්තිකාරමක් නොලබා පොත් වෙළෙන්දාට දෙයි. පොතේ මිල රුපියල් 150කි. එය විකිනුණහොත් වෙළෙන්දාට රුපියල් 60ක ලාභයක් ලැබිය හැකිය. නොවිකුණහොත් සෘජු පාඩුවක් සිදු නොවේ. පොත විකිණූ විට එය නොවිකිණීමට සාපේක්ෂව ලැබෙන වාසිය රුපියල් 60කි.

b. පොත් ප්‍රකාශකයකුගෙන් මේ වෙළෙන්දාම රුපියල් 90ක් ගෙවා පොතක් මිලදී ගනී. පොතේ මිල රුපියල් 150කි. එය විකිනුණහොත් වෙළෙන්දාට රුපියල් 60ක ලාභයක් ලැබිය හැකිය. නොවිකුණහොත් රුපියල් 90ක පාඩුවක් සිදුවේ. රුපියල් 90 නිදන්ගත පිරිවැයක් වී අවසාන නිසා පොත විකිණූ විට එය නොවිකිණීමට සාපේක්ෂව ලැබෙන වාසිය රුපියල් 150කි.

දැන් මේ විකල්ප දෙක අතරින් වඩා වාසිදායක විකල්පය b බව පැහැදිලිය.

පොතක් පේන්නට තැබූ විට විකිණීමට ඇති ඉඩකඩ වැඩිය. ප්‍රකාශකයාගේ පොත විකිණීම වඩා වාසිදායක නිසා එය රාක්කයේ උඩට යයි. කතෘ ප්‍රකාශනය යටට යයි.

යම් ලේඛකයෙක් තමන් විසින්ම පොතක් ප්‍රකාශ කිරීමට පෙළඹෙන්නේ ඇයි?

මේ සඳහා විවිධ හේතු තිබිය හැකිය.

- ප්‍රකාශකයෙකු අදාළ පොත භාරගැනීමට ඉදිරිපත් නොවීම එක් හේතුවකි. මෙසේ වන්නේ ප්‍රකාශකයාට අනුව මේ පොත අලෙවි කිරීම අපහසු පොතක් බැවිනි. කතෘ ප්‍රකාශන අතර මෙවැනි පොත් යම් ප්‍රමාණයක් ඇති බව පොත් වෙළෙන්දා දනී. ප්‍රකාශකයෙකුගේ පොතක්නම් සාමාන්‍යයෙන් විකිණිය හැකි එකක් විය යුතුය. රාක්කයේ උඩ තට්ටුවේ විකිණෙන පොතක් තැබූ විට ඉතා ඉක්මණින් තවත් පොතකට ඒ ඉඩ හිමිවේ. නොවිකිණෙන පොතක් තැබූ විට එය සිදු නොවේ. මෙවැනි 'නොවිකිණෙන' පොතකට අත්තිකාරමක් ගෙවීමට පොත් වෙළෙන්දා සූදානම් නැත.

- ලේඛකයාට තමන්ගේ හිත මිතුරන්ට පිටපත් නොමිලයේ දීමට අවශ්‍ය විය හැකිය. මෙවැන්නෙකු පොත විකිණීමෙන් ලැබෙන මුදල් ලාභය වැඩිපුර නොතකයි.  මෙවැනි ලේඛකයෙකු අත්තිකාරම් නොලබා පොත පොත් හලට දැමීමට අකැමැත්තක් නොදක්වයි.

- ලේඛකයාට තමාගේ පොත විකිණිය හැකි බව හොඳටම සහතික නිසා එයින් වැඩිම ලාභයක් ගැනීමට උත්සාහ දරනවා විය හැකිය. මගේ අදහස අනුව, අරුණිගේ පියා සිටින්නේ මේ ගොඩේය. ඇත්තටම, ඔහු අරුණි සඳහන් කර ඇති පරිදි ලාභ ලබා ඇත්තේ ලේඛකයෙකු වශයෙන්ම නොවේ. පොත් නිෂ්පාදන සහ බෙදාහැරීම් ක්‍රියාවලියේ ඉදිරි පියවර සියල්ල අතට ගැනීම මඟින් 'සිරස් අනුකලනය' (vertical integration) කිරීම මඟිනි. ඔහු ලබන ලාභය ඔහු ලේඛකයෙකු වශයෙන් ලබන ලාභයේත්, ආයෝජකයෙකු, අතරමැදියෙකු සහ ව්‍යවසායකයෙකු ලෙස ලබන ලාභයේත් එකතුවයි.

අරුණිගේ පියාගේ කෘති මාද කලෙක කියවූ ඉතා ජනප්‍රිය පොත් වූ බව අවිවාදිතය. එසේ වුවද, මේ පොත් මිලදී ගැනීමට සමඟි පෙරමුණු රජය කාලයේ පාන් ගැනීමට සිටියාක් මෙන් පොත් සාප්පු ඉදිරිපිට පාඨකයින් පෝලිම් ගැසී සිටියේ නැත. ඒ පොත් විකිණීමටද යම් කාලයක් ගතවන බැවින් අතරමැදියා ලබන 40% ශුද්ධ ලාභයක් නොවේ.

අනෙක් පොත් වලින් නොලැබෙන විශාල ලාභයක් මේ පොත් වලින් අතරමැදියාට ලැබුනේනම් ඔහුට යම් අත්තිකාරමක් ලබාගැනීමට හෝ 40% වට්ටම අඩු කර ගැනීමට පොත් වෙළෙන්දන් සමඟ එකඟතාවකට පැමිණීමේ අවස්ථාව පැවත තිබේ.

13 comments:

  1. කොහොමටත් පොත් ප්‍රකාශක සමාගම් පමණයි ශුද්ධ ලාභයක් ලබන්නේ. a. උදාහරණයේදී අත්තිකාරමක් නොගෙන වෙළෙන්දා පොත් ලබාගත්තත්, ඒවා නොවිකිණී තිබුණත්, ගබඩාකර තැබීම සඳහා ඉඩකඩ වෙන් කිරීමත් පාඩුවක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, විචාරක. නොවිකිණෙන කර්තෘ ප්‍රකාශන ගබඩා කර තබා ගැනීමේ වියදම පාඩුවක්. එයත් ආවරණය කර ගැනීමට වෙන්නේ විකිණෙන පොත් වලින් ලැබෙන 40%න්. මේ සියළුම වියදම් ඉවත් කළ විට බොහෝ විට ඔවුන්ට ලැබෙනවා ඇත්තේ ව්‍යාපාරයේ රැදී සිටීමට අවශ්‍ය තරමේ, ආයෝජනය කළ මුදලට සහ ගන්නා අවදානමට සරිලන තරමේ ලාභයක් මිස සුපිරි ලාභයක් නෙමෙයි.

      Delete
  2. /* එසේනම් රසික විසින් මේ පොත් නොවිකිණිය යුතුද? */
    මා අත තබා ගත් පොත් සියල්ලම අවසාන නිසා ලංකාවට ගිය විට ජනක ඉණිමංකඩ හමුවී ඔහූ ලඟ ඇති පොත් ලබා ගැනීමට අදහස් කරමි.

    ඇත්තටම කියනවා නම්, මා පසුගිය 2014 අප්‍රියෙල් මාසයේ එවකට නුගේගොඩ පිහිටි විදර්ශන කඩයෙන් ඔය පොතක් මුලු මුදලම ගෙවා මිලට ගතිමි!

    ReplyDelete
    Replies
    1. ඔබේ පොත මිල කර ඇත්තේ 'නියම' මිලට වඩා අඩුවෙන් විය යුතුය.

      Delete
    2. අනෙත් කරුණ කතෘ ප්‍රකාශන අතර 'විකිණෙන පොත්' සැලකිය යුතු ප්‍රමානයක් තිබීම මෙවැනි සමතුලිතතාවකට බාධාවක් නෙමෙයි. අවශ්‍ය වන්නේ ප්‍රකාශකයෙකුගේ පොතක් විකිණෙන පොතක් වීමට තියෙන සම්භාවිතාව කතෘ ප්‍රකාශනයක එම සම්භාවිතාවට වඩා වැඩි වීම පමණයි. මුද්‍රණයෙන් පිටවන ඕනෑම පොතක් (සාමාන්‍යයෙන්) ලේඛකයා විසින් විකිණෙන පොතක් ලෙස තීරණය කළ එකක්. ප්‍රකාශකයෙක් විසින් භාර ගන්නා පොතක් මේ දෙයම දෙදෙනෙකු විසින් තහවුරු කළ පොතක්. එක් වරක් පෙරන ලද තීරණයකට වඩා දෙවරක් පෙරන ලද තීරණයක් නිවැරදි වීමට ඇති ඉඩකඩ වැඩියි.

      Delete
  3. ඔන්න ඔබ ට දෙන ඉගි මගින් ඔබ අපුරුතම සංකල්ප අප වෙත ලබා දෙනවා. ඉතාමත් කදිමයි. රසික මතු කරන කාරණයත් හරි තමා. එහෙම නං ඔබ නොහිතුව තවත් පැත්තක් මේ ව්‍යාපාරයේ තියනවා එයත් මං දැන් කියන්නං.
    කර්තෘවරයෙකු ප්‍රකාශකයෙකු හරහා පොතක් එළි දක්වනවා. ඉතාම කැමැත්තෙන්ම කර්තෘවරයාගේ නම අනුව ප්‍රකාශකයාත් භාර ගන්නවා. මුල් ගිවිසුම පොත් 1000යි. කර්තෘවරයාගේ නම හේතුවෙන්ම ප්‍රකාශකයා අත්ති කරම් මුදලක්ද ගෛවනවා. ගිවිසුමකුත් ඇතිකරගන අත්සන් කරනවා.
    හරිම සතුටුයි කර්තෘවරයාට. දන්නවද යටින් වෙන දේ පොත් 1000ට දෙදාහක් මද්‍රණය කෙරෙනවා. මේවා ජාල ගත ව්‍යාපාර. මුද්‍රණාලය පරික්ෂාවට ගියත් හොයාගන්න ලැබෙන්නේ 1000යි. අවසානයේ කර්තෘවරයාට ප්ලේට් ටිකත් දෙනවා පරිස්සම් කරලා තියාගන්න කියලා.
    අද දවසේ ක්ෂේත්‍රය අල්ලාගත් පොත් ප්‍රකාශකයෙකුට පොත් 2000ක් විකිණිම යනු අති සරල ක්‍රියාදාමයක්. ඔවුන්ගේ පොත් ගන්නට පුස්ථකාල වැනි ආයතනම බැදි සිටිනවා. කර්තෘට පොත් 1000ක ට හිමි සම්පුර්ණ මුදල මාස ගණනාවකින් ලැබෙනවා හෝ පොත් ඉතිරියි තාම විකිණුණේ නැ වැනි දේ අහන්න ලැබෙනවා. නමුත් අත යට පොත් 1000ක් හෝ එයිටත් වැඩිය අලවි කොට හමාරයි ඒ වන විට.

    ReplyDelete
    Replies
    1. මෙය සැබවින්ම හොරකමක්. තුච්ඡ හොරකමක්!

      නමුත් නලීන් මේ හොර ප්‍රකාශකයාට හොරකමෙන් ලැබෙන්නේ නියමිත මිලෙන් 10% මුදලක් පමණක් නේද? නිෂ්පාදන වියදම වෙනුවෙන් ලැබෙන 60% එලෙසම ළැබෙනවා. සිල්ලර විකිණීමට ලැබෙන 40% වෙනසකුත් නෑ.

      ලේඛකයාගේ කතෘ භාගය විතරයි නේද හොරා කෑ හැකි දෙයක් තියෙන්නේ.

      Delete
    2. මතුපිටින් පෙනෙන්නේ එහෙම තමයි. කෙළින්ම ලේඛකයාගේ කොටස හිමිවෙනවා. සාමාන්‍ය ක්‍රමයට ඔහුගේ ලාභයත් ලැබෙනවා. පොත් 1000ක් සදහා යන වියදමට වඩා ඉතාම සුළු මුදලයි පොත් දෙදාහක් මුද්‍රණයේදි වැය වන්නේ. උදා හරණ කොළ හා තින්ත වියදම හා පොඩි වේස්ටේජ් එකක් විතරයි වියදම. අන්න එතැනින් තමා වැඩිම ලාභය ගන්නේ රසික.

      Delete
    3. අනෙක් කරුණ මේ අය අතර සිල්ලර වෙළදාමක් නෑ තියෙන්නේ කෙළින්ම ඕඩඒ එකට බඩු ටික යැවීම විතරයි. එවන් සංකීර්ණ අලෙවි ජාලයක් ඒ අය සතුයි. අලුතින් එන කෙනකුට මේ ව්‍යපාරයට ඇතුළුවන්න අසීරු මේ අලවි ජාලය නොමැති කමයි.

      Delete
    4. ඇත්තටම මම ඉදිරිපත් කළ සරල කරුණු වලට අමතර තවත් බොහෝ දේවල් තියෙනවා. විචල්‍ය පිරිවැය වෙනස්වීම් හරහා හැදෙන ඒකාධිකාරය සාමාන්‍යයෙන් බොහෝ විට නරකම එකක් නෙමෙයි. අලෙවි ජාලයේ ඒකාධිකාරය අළුතින් එකතු වීමට සිතන කෙනෙක්ව අධෛර්යය කරවනවා.

      මෙතැන ඔබ කියන පිටපත් වැඩිපුර මුද්‍රණය වැනි දේ තමයි සැබෑ ප්‍රශ්න. මෙවැනි දේවල් මඟින් නිදහස් වෙළඳපොලක තියෙන කාර්යක්ෂමතාවය නැති වෙනවා. ලංකාවේ තියෙන තත්ත්වය අනුව මේ වගේ දෙයක් අල්ලන්න හරිම අමාරුයි. අල්ලන්න පහසුම ක්‍රමය තමයි හොඳ බදු ක්‍රමයක් හඳුන්වා දීම. බදු ගෙවුවත්, නොගෙවුවත් සියළු දෙනාම බදු වාර්තා කළ යුතුනම් එක තැනකින් හංගන එක තව තැනකින් අහුවෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ නීතිඥයෙකුගේ ගාස්තු ආදායම් බදු වලට අල්ලන්න අමාරුයි. සාමාන්‍ය පුරවැසියෙකුට තමන් බදු ගෙවිය යුතු අදායමෙන් ඔහු ගෙවූ නීතිඥ ගාස්තු වලින් කොටසක් අඩු කරන්න දුන්නොත් ඔවුන් ඒවා වාර්තා කරනවා. එවිට, අදාල නීතිඥයින් ඒ ආදායම් වාර්තා කර තිබේද කියා පහසුවෙන් අල්ලා ගතහැකියි.

      මම මේ විදිහට කිවුවට ක්‍රියාත්මක කරන්න බැරිනම් බොරුවට සංකීර්ණ නීති, බදු ක්‍රම දාල වැඩක් වෙන්නෙත් නැහැ. කරනවානම් ඕවා අල්ලන්න උපයන විට ගෙවීමේ බදු තොරතුරු ප්‍රමාණවත්. මෙවැනි බද්දක එක පරමාර්ථයක් වන්නේ බදු ගෙවීම විධිමත් කිරීම. ඒත් වෙන විදිහ මම කියන්න අවශ්‍ය නැහැනේ. අන්තිමට ලංකාවේ ආදායම් බදු හරියට ගෙවන්නේ නිශ්චිත වැටුපක් ලබන සේවකයින් විතරයිනේ. ඒ නිසා භාණ්ඩ මත එකතු කරන බදු හරහා බදු බර අන්තිමට වැටෙන්නේ පහළම ස්ථර වල ඉන්න පරිභෝජනය කරන්නන්ට.

      Delete
  4. එකක් හිතා ගත්තා.. කවද හරි පොතක් ලියනවනම් ප්‍රකාශන වියදම සම්පුර්ණයෙන්ම දරන්න, ඒ කියන්නේ ඒ වියදම අමතක කරන්න පුළුවන් නම් විතරයි ලියල ප්‍රකාශ කරන්නේ.. මොන මඟුලක්ද යකෝ නැත්නම් මේක? සක්.. අර අරුණිගේ ලිපිය කියෙව්වම ඇඩෙනවා.. ඇමෙරිකාවේ වෙන විදිය ගැන හිතෙනකොට..

    ReplyDelete
  5. මෙ ගැන වෙනම පොතක් ලියන්න තරමි කරැනු තියනවා.ලිවිට වැඩක් නැ.ආයෙත් ඒක උස්සන් යන්න වෙන්නෙත් පොත් ප්‍රකාශකයෙක් ලගටනේ

    ReplyDelete
  6. ලංකාවේ පොත් ලිවීමෙන් කතෘට මුදල් උපයා ගැනීම අපහසුයි. ඔහුව සියළුදෙනාම ගසා කනවා

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.