Friday, September 11, 2015

පොත් ප්‍රකාශනයේදී අතරමැදියා ගසා කනවාද?



සිංහල ලේඛකයින් පොත් ලිවීම අධෛර්යය වීමට එක් හේතුවක් වන්නේ පොත් ලිවීමෙන් ලාභයක් නොමැති වීම බවට බොහෝ තැන් වල අදහස් පල වී ඇත. මේ සම්බන්ධ ජනප්‍රිය අදහසක් වන්නේ සිංහල පොත් වෙළඳපලේ ලාභය ගන්නේ අතරමැදි පොත් අලෙවිකරුවන් බවයි.

මේ සම්බන්ධව මටනම් පළමෝත අත්දැකීම් නැත. එහෙත්, කිහිප තැනකින් දැකගත හැකි පරිදි පොතක් අලෙවි කිරීමෙන් ලැබෙන මුදල සාමාන්‍යයෙන් බෙදීයන්නේ පහත පරිදිය.

ලේඛකයා 10%
ප්‍රකාශකයා 50%
අතරමැදි අලෙවිකරුවා 40%

මේ විග්‍රහය තුළ පාඨකයා නැත. කෙසේ වුවද, පාඨකයාද මේ සමස්ත ව්‍යාපෘතියේ කොටස්කරුවෙකි.

පළමුව අපි පොත් ප්‍රකාශනයේදී පොතක් වෙළඳපොලට සැපයීම සඳහා දායක වන පාර්ශ්ව තුනම එක් ඒකකයක් ලෙස සලකමින් මේ තිදෙනාටම ලබා ගත හැකි මුළු මුල්‍ය ලාභය ගැන සලකමු. ගොඩවල් තුනට කුමන අයුරින් හෝ බෙදෙන්නේ මේ ලාභයයි.

සැපයුම් පාර්ශ්වකරුවන්ගේ ශ්‍රමය හා වක්‍ර වියදම් ඉවත් කළත් පොත මුද්‍රණය කිරීමට සෘජුව වැයවෙන කඩදාසි, තීන්ත, මුද්‍රණ යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය බලශක්තිය ආදිය මුද්‍රණය කරන පිටපත් ගණන අනුව වෙනස් වන විචල්‍ය පිරිවැයකි. එක් පොතක් 'නිෂ්පාදනය කිරීම' සඳහා මෙසේ වැයවෙන විචල්‍ය පිරිවැයට වඩා අඩුවෙන් පොතක් විකිණිය නොහැක.

අනෙක් අතට පොතක අවසාන වටිනාකම තීරණය කරන්නේ එය 'පරිභෝජනය කරන' පාඨකයාය. එක් එක් පාඨකයාට එකම පොතේ ඇත්තේ වෙනස් වටිනාකම්ය. මේ වටිනාකම පොතේ මිලට වඩා වැඩිනම් යමෙක් පොතක් මිලදී ගනු ඇත. මේ අනුව, පොතක් විකිණිය හැකි උපරිම මිල ඒ සඳහා කිසියම් පාඨකයෙකු ලබා දෙන වැඩිම වටිනාකමයි.

මේ අනුව පොතක මිල වියයුත්තේ එහි විචල්‍ය නිෂ්පාදන පිරිවැය සහ පාඨකයකුගෙන් ඒ සඳහා ලැබෙන වටිනාකම අතර අගයකි.

තිලකසිතේ මිල ලංකාවේදීනම් රුපියල් 400කි. මේ පොතට මා ලබාදෙන වටිනාකම මෙයට වඩා වැඩිය. මේ පොතම කප්රුකේ විකිණෙන්නේ ඇමරිකානු ඩොලර් 4.73ක මුදලකටය. මෙය රුපියල් 650ක පමණ මුදලකි. තිලකසිත අයිති කර ගැනීම සඳහා මේ මුදල ගෙවීමටද මා සූදානම්ය. එහෙත් මේ පොත අන්තර්ජාලය හරහා ගෙන්වා ගැනීමට යන තැපැල් ගාස්තුව එක් වූ විට පොතේ මිල රුපියල් දෙදහස ඉක්මවයි. මේ මිල මා අධෛර්යය කරවන්නකි.

මා තිලකසිත වැනි සාහිත්‍ය කෘතීන් සඳහා දායක වී නැති නමුත් පොත් දෙකක් සඳහා දායකත්වය සපයා තිබේ. මේ පොත් දෙකෙන් එකකවත් මුද්‍රිත පිටපත් මා සතුව නැත්තේ ඒ පොත් මිල දී ගැනීමට මා වැය කළ යුතු වූ මුදල පොතක මුද්‍රිත පිටපතක් සඳහා මා ලබාදුන් වටිනාකමට වඩා වැඩි වූ නිසාය. එක්තරා ආයතනයක සේවය කරද්දී තවත් ලේඛිකාවන් දෙදෙනෙකු සමඟ ලියා, සෝදුපත් බලා අවසන් කළ මෙයින් එක් පොතක් මුද්‍රණයෙන් පිටවී ඇති බව අහම්බෙන් මා දැනගත්තේ ශ්‍රී ලංකාව හා අදාලව ලියවුනු පොත් පිළිබඳව ඇමරිකානු විශ්ව විද්‍යාලයක පුස්තකාල වෙබ් අඩවියේ අන්තර්ජාල සෙවීමක් කරද්දීය. රුපියල් 300කට මිල කර තිබුණු මේ පොත ඇමරිකානු ඩොලර් තුනකට අන්තර්ජාලය හරහා මිලදී ගැනීම සඳහා තැපැල් ගාස්තු ලෙස තවත් ඩොලර් පහළොවක් ගෙවිය යුතු වීම නිසා ලංකාවෙන්ම පොත ගැනීමට සිතා වැඩේ අතහැරියත් මා ලංකාවට යනවිට එහි එක් පිටපතක් හෝ නොවිකිණී ඉතිරිව තිබුණේ නැත.

තිලකසිතේ විචල්‍ය පිරිවැය රුපියල් 200ක් යැයි අපි සිතමු. රුපියල් 400කට මේ පොත විකිණීමෙන් රුපියල් 200ක ලාභයක් ලැබේ. (ඇත්තටම මෙය නියම 'ආර්ථික' ලාභය නොවේ. අපි දැනට එසේ සිතමු.) පොත් 1000ක් විකිණුවහොත් මුළු ලාභය රුපියල් 200*1000 = 200,000කි.

රුපියල් 400 පොතේ 'නියම' මිලයැයි අපි සිතමු. තිලකසිතට රුපියල් 500ක් ගෙවීමට වුවද කැමති මා වැනි අය සිටිති. එසේනම්, පොතේ මිල ඉහළ නංවා ලාභය වැඩි කර ගත නොහැකිද?

මෙය කළ නොහැක්කේ ලාභය නිෂ්පාදකයාට තනිව තීරණය කළ නොහැකි දෙයක් බැවිනි. තිලකසිතේ වටිනාකම රුපියල් 400ට වැඩියැයි සිතන අය 1000ක් සිටිති. ඒ නිසා ඒ මිලට පිටපත් 1000ක් විකිණිය හැකිය. එහෙත් මේ පාඨකයෝ සියළු දෙනාම පොතේ වටිනාකම රුපියල් 500කට වඩා වැඩියැයි නොසිතති. එසේ සිතන පිරිස 600ක් යැයි සිතමු. දැන් එක් පොතකින් ලාභය රුපියල් 300ක් වුවත් මුළු ලාභය රුපියල් 300*600 = 180,000ක් පමණි. ඒ නිසා පොතේ මිල වැඩිකිරීමෙන් ලාභය වැඩි කරගත නොහැක.

එතකොට අඩුවට දුන්නොත්? පොත රුපියල් 300කට විකිණුවහොත් එක් පොතකින් ලාභය රුපියල් 100ක් පමණි. එහෙත් පොත් වැඩි ප්‍රමාණයක් අලෙවි කර ගත හැකිය. මිල රුපියල් 300ක් දක්වා අඩු කළ විට පොතේ වටිනාකම රුපියල් 300 සිට 400 දක්වා වූ  මුදලක් ලෙස සිතන පාඨකයින්ද තිලකසිත මිල දී ගනු ඇත. මේ පිරිස අඩුවශයෙන් 1000ක්නම් මිල අඩුකිරීමෙන් ලාභය වැඩි වේ. එසේ නැත්නම් මිල අඩුකිරීම අවාසිදායකය. පොතේ මිල රුපියල් සියයකින් අඩුකළ විට එය මිල දී ගැනීමට සූදානම් පිරිස දෙගුණයක් වේයැයි සිතීම අපහසුය. ඒ නිසා ලාභය අඩුවනු ඇත.

රුපියලක් වැනි සුළු ගණනකින් මෙසේ මිල වැඩි කළත්, අඩු කළත් ලාභය වැඩි නොවේනම් ඒ මේ පොතේ 'නියම' මිලයි.

මෙතෙක් සරලව කතා කළත් පොතේ 'ලාභය' පාර්ශ්ව තුනක් අතර බෙදේ. මේ මුළු ලාභය තීරණය වන්නේ පොතට වටිනාකමක් දීමට සිටින පාඨකයින් ගණන අනුවය. සිංහල නොදන්නා අයෙකුට සිංහල පොතක වටිනාකමක් ඇත්තේම නැති තරම්ය. ඒ නිසා සිංහල පොතකට වටිනාකමක් දිය හැකි අය සොයන්නට වෙන්නේ සිංහල කියවන පිරිස් අතරෙනි. මේ අය පොතේ අන්තර්ගතයටද කැමති විය යුතුය.

පොතක අන්තර්ගතය එකම වුවත් ඉංග්‍රීසියෙන් ලියවුනු පොතකට වටිනාකමක් දීමට සූදානම් පිරිස එවැනිම සිංහල පොතකට වටිනාකමක් දෙන පිරිසට වඩා බොහෝ වැඩි නිසා ඉංග්‍රීසියෙන් ලියන කෙනෙකුට ලාභ ලැබීමට වැඩි ඉඩකඩක් ඇත. සිංහල භාෂාවට වඩාත්ම සමාන උතුරු ඉන්දීය බස සේ මා සලකන වංග බසින් ලියවෙන පොත් කියවන්නට සිටින පිරිස සිංහල පාඨක පිරිස මෙන් 13 ගුණයකි. වංග සාහිත්‍යය සිංහල සාහිත්‍යය අභිබවා ඉදිරියට යාමට ප්‍රධානම හේතුව මේ සාධකයයි. පාර්ශ්වකරුවන් අතර කවර ආකාරයෙන් බෙදාගන්නට හෝ සිංහල පොතකින් ලැබෙන්නේ සීමිත ලාභයකි.

පොත් ප්‍රකාශකයෙකු කරන්නේ සාපේක්ෂව සරල නිෂ්පාදන කාර්යයකි. එමෙන්ම, මූලිකවම මුද්‍රණ කරුවෙකු වන 'අත්පිටපත් අමුද්‍රව්‍ය ලෙස ගන්නා මුද්‍රිත පොත් නිෂ්පාදකයෙකුට' කළ හැකි එකම කටයුත්ත පොත් නිෂ්පාදනය නොවේ. පෝස්ටර්, ප්‍රචාරක පත්‍රිකා වැනි බොහෝ මුද්‍රණ විකල්ප ඔහු සතුය. මුද්‍රණ තාක්ෂනය ඉගෙන ගැනීමට බොහෝ සේ අපහසු තාක්ෂණයක්ද නොවේ. මේ නිසා අවශ්‍ය ප්‍රාග්ධනය ඇති අයෙකුට මුද්‍රණ කර්මාන්තයට ඇතුළු වීමට විශාල බාධකයක් නැත. මුද්‍රණ කර්මාන්තයෙන් විශාල ලාභ ලැබිය හැකිනම් බොහෝ දෙනා මේ කර්මාන්තයට අලුතින් එක් වනු ඇත. එසේ එක් නොවන්නේ එවැනි අධික ලාභ මෙහි නොමැති නිසාය. අනෙක් අතට මුද්‍රණකරුවෙකුට කියවීම ප්‍රවර්ධනය කිරීම සඳහා පාඩුවට පොත් මුද්‍රණය කර දී සතුටක් ලබන්නට තර්කානුකූල හේතුවක්ද නැත. මේ නිසා මගේ අදහස පරිදි ලංකාවේ පොත් ප්‍රකාශකයෙකු ලබන්නේ කර්මාන්තය සඳහා යොදවන සම්පත් වෙනුවෙන් ලැබිය යුතු 'නියම' ලාභයයි.

නලින් සඳහන් කර ඇති පරිදි පොතක මිලෙන් 50%ක් ලබා ගන්නා පොත් ප්‍රකාශකයෙකුගේ මුද්‍රණ වියදම පොතේ මිලෙන් 40%ක් පමණ වේ. මෙය එපමණ  වියයුතු බව මගේද අදහසයි. මේ අනුව, රුපියල් 400කට මිල කෙරෙන පොතක විචල්‍ය පිරිවැය ඉවත් කළ විට ප්‍රකාශකයාට රුපියල් 40ක්, එනම් පොතේ මිලෙන් 10%ක්, ඉතිරි වේ. පොත් මුද්‍රණයේදී ප්‍රකාශකයා විශේෂ අවදානමක් නොගනී. බොහෝ විට පොත් මුද්‍රණයට පෙර ප්‍රකාශකයා අත්තිකාරම් මුදලක් ලබා ගනු ඇති බවත්, මුද්‍රිත පොත් බැහැර දීමට පෙර ඉතිරි මුදලද අය කර ගනු ඇති බවත් මගේ උපකල්පනයයි. එසේනම්, මේ රුපියල් 40 ප්‍රකාශකයාගේ ලාභයද?

මෙය ප්‍රකාශකයාගේ ගිණුම්කරණ ලාභය විය හැකිය. එහෙත්, මෙය ඔහුගේ හෝ ඇයගේ ආර්ථික ලාභයනම් නොවේ.

විචල්‍ය පිරිවැය හැරුණු විට ප්‍රකාශකයා දරන ස්ථිර පිරිවැය තිබේ. මුද්‍රණාලය පිහිටි ගොඩනැගිල්ලේ කුලිය, විදුලි බිල්, දුරකථන බිල් ආදිය ගෙවිය යුතුය. මුද්‍රණ යන්ත්‍ර ගැනීමේදී බැංකු ණය ලබාගෙන ඇත්නම් ඒ සඳහා පොලිය ගෙවිය යුතුය. මුද්‍රණ කාර්යයට කෙලින්ම සම්බන්ධ නොවන පිළිගැනීමේ නිලධාරිනියන් වැනි අයගේ වේතනද ඇතුළුව සියළු වේතනද ගෙවිය යුතුය. මේ සියළු වියදම් වලට අමතරව ඔහු හෝ ඇය වැය කරන තමන්ගේ ශ්‍රමයේ වටිනාකම සඳහාද කිසිවක් ඉතිරි නොවේනම් මේ බිස්නස් එක කිරීමෙන් වැඩක් නැත. විචල්‍ය පිරිවැය ඉවත් කළ විට ඉතිරිවන රුපියල් 40 ප්‍රමාණවත් වන්නේ යන්තමින් මේ වියදම් පියවා ගැනීමට පමණි. ඉතිරි වන යම් මුදලක් ඇත්නම් ඒ තමන්ගේ ශ්‍රමයේ වටිනාකමයි. මේ අනුව ගිණුම්කරණ ලාභය කෙසේ වෙතත් ප්‍රකාශකයා ආර්ථික ලාභයක් නොලබයි.

තරඟකාරී වෙළඳපොලක ව්‍යාපාරයක් කිරීමෙන් ආර්ථික ලාභයක් ලැබිය නොහැක. ව්‍යාපාරයෙන් අතට කිසිම මුදලක් නොලැබෙන බව එයින් අදහස් නොකෙරේ. මුදලක් ලැබේ. එහෙත් ඒ මුදල දීර්ඝකාලීනව තමන්ට වෙනත් තැනක වැඩකර ලබාගත හැකි වැටුපේත්, ආයෝජනය කර ඇති මුදල වෙනත් තැනක ආයෝජනය කර ලබා ගත හැකි පොලියේත්, ගොඩනැඟිල්ල තමාගේමනම් එය වෙනත් අයෙකුට කුලියට දීමෙන් ලබාගත හැකි කුලියේත් එකතුවට වඩා විශාල ලෙස වෙනස් විය නොහැක.

කෙසේ වුවද, කෙටිකාලීනව යම් කර්මාන්තයකින් මෙවැනි 'සුපිරි' ලාභයක් ලැබීමට බැරිකමක් නැත. මේ කර්මාන්තය රජයේ නියාමනයට යටත් නැත්නම් සහ වෙනත් කෙනෙකුට ඉගෙන ගත නොහැකි තරමට මෙහි තාක්ෂනය සංකීර්ණ නැත්නම් (සහ වෙනත් එවැනි කරුණු සමහරක් නිසා නොවේනම්) මේ  'සුපිරි' ලාභය දකින වෙනත් අය මේ කර්මාන්තයට ආකර්ශනය වනු ඇත. එවිට තරඟකාරීත්වය වැඩිවී ලාභය අඩුවනු ඇත. අවසානයේදී, මේ කර්මාන්තය අලුතෙන් පිවිසෙන්නෙකුට ආකර්ෂණීය නොවී යනු ඇත.

ඇතැම් කාල වල රැල්ලට සිදු වූ පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ, චීන අවන්හල් සහ කමියුනිකේෂන් ආයෝජනයන් ටික කලකින් නැවතී ගියේ මේ අනුවය.

ප්‍රකාශකයා සුපිරි ලාභයක් නොලබයි. එසේනම් ලේඛකයා?

ලංකාවේ සාමාන්‍යයෙන් ලේඛකයින් ලාභ නොලබන බව පොදු මතයයි. මෙය වැරදි අදහසක් නොවන බවට හොඳම නිදසුන බොහෝ සිංහල ලේඛකයින් වෘත්තීය ලේඛකයින් නොවීමයි.

රසිකගේ සිවු වසරක් මරදානේ පොත අලෙවිකර ඇත්තේ රුපියල් දෙසීයකටය. (මේ ගණන් නිවැරදි නොවූවත් එයින් මා කියන කරුණ වෙනස් වන්නේ නැත.) ඉහත සුත්‍රය අනුව පොතකින් රසිකට රුපියල් 20ක් ලැබේ. පොත් 1000ක් විකිණුවහොත් රුපියල් 20,000කි. මේ රසිකගේ ලාභයද?

මෙය රසික බදු ගෙවීමේදී පෙන්විය යුතු ඔහුගේ ගිණුම්කරණ ලාභය විය හැකිය. එහෙත්, මේ ඔහුගේ ආර්ථික ලාභය නොවේ.  ආර්ථික ලාභය ගණනය කිරීමට මේ ලාභයෙන් ඔහුගේ ආවස්ථික පිරිවැය අඩු කළ යුතුය. මේ පොත ලිවීම සඳහා ගත කළ කාලය වෙනත් වැඩකට යෙදවූවානම් ඔහුට උපයාගත හැකිව තිබුණු වැඩිම මුදල කීයද?

පොත් ලියා, පුත්තු හැදුවාට ගස් හිටවා නැති රසික මේ කාලය ඇපල් ගස් කිහිපයක් හිටවීමට යෙදවූවානම් ඔහුට නොමිලේ ශාරීරික ව්‍යායාම සමඟ ඇපල් විකුණා ගාණක් හොයා ගැනීමට හැකිවනු ඇත. මේ ගණන රුපියල් 20,000ට වැඩිදැයි මා දන්නේ නැත. මේ කාලය උපදේශන සේවා සැපයීමක් වැනි වෙනත් කටයුත්තකට යෙදවූවානම් ඔහුට ඉහත මුදලට වඩා මුදලක් උපයා ගැනීමට තිබිණි. මෙය රසිකට පමණක් නොව පොත් ලියා ඇති තිලකේ, කුරුටු වැනි වෙනත් අයටත් මේ ආවස්ථික පිරිවැය සහ එයින් වන පාඩුව සලකා වැඩේ අතහැර දමන මාතලන් වැනි අයටත් පොදුය. මේ අනුව, බොහෝ ලේඛකයින් පොත් ලියන්නේ අතින් කයිට් කරගෙනය. ඒ ඇයි?

ලේඛකයෙකු පොත් ලියන්නේ පොත විකිණීමෙන් ලැබෙන මුදල් ලාභය පමණක්ම බලාගෙනනම් ඔහු හෝ ඇය කළ යුත්තේ වැඩිම ඉල්ලුමක් ඇති වර්ගයක පොතක් ලිවීමයි. එසේ කරන ලේඛකයෝද සිටිති. උදාහරණයක් ලෙස 'මල්' පොත් වලට පසුගිය දශක කිහිපයේම හොඳ ඉල්ලුමක් තිබුණේය. මේ පොත් විකිණීමෙන්නම් ලේඛකයින් පාඩුවක් නොලබන්නට ඇත.

කෙසේ වුවද, තිලකේ හෝ රසික ලියා ඇත්තේ මල් පොත් නොවේ. ඒ ඇයි?

මෙතැනදී වෙන්නේ තරමක් සංකීර්ණ දෙයකි. තිලකේ සහ රසික වැනි අය එකවරම නිෂ්පාදකයෝද, පාරිභෝගිකයෝද වෙති. ඔවුහු පොත් විකිණීමෙන් කිසියම් මුදල් ලාභයක් බලාපොරොත්තු වෙති. එමෙන්ම, තමන් කැමති දෙයක් ලිවීමෙන් සහ එය වෙනත් අය කියවනු සහ අගය කරනු දැකීමෙන් ලබන සතුට තුලින් පාරිභෝගිකයෝද වෙති. මෙසේ තමාගේම නිෂ්පාදනයට වටිනාකමක් දෙමින් ඔවුහු එහි 'මිල' ගෙවති. මෙහිදී පොත් ලියා විකිණීමේ සමස්ත ක්‍රියාදාමය තුල ලබන මුල්‍ය පාඩුවට වඩා ඔවුන් පාරිභෝගිකයින් ලෙස ලබන තෘප්තිය ඉහළය. ඔවුන් දන්නා කියන අයට පාඩුපිට පොත් නොමිලේ බෙදන්නේත්, ඒ පොත් නොකියවා පැත්තකට විසි කර තිබෙනු දැක පසුතැවෙන්නේත් ඒ නිසාය. නොකියවන එකා සල්ලි එක්ක දුන්නත් නොකියවන බව කණගාටුවෙන් කියන්නේ ඒ නිසාය.


ඇත්තටම සල්ලි එක්ක පොත් දීමෙන් පොත් නොකියවන අය පොත් කියවීමට පෙළඹවීම බැරි දෙයක් නොවේ. හැබැයි ටිකක් වැඩිපුර දිය යුතුය. කිසියම් පොතක් විභාගයක් සඳහා නිර්දිෂ්ඨ ග්‍රන්ථයක් වූ විට එය මිලදී ගැනීම මෙන්ම කියවීමද විශාල ලෙස වැඩි වන්නේ ඒ නිසාය. මෙහිදී ලැබෙන මුදල විභාගය සමත් වූ පසු හොඳ රැකියාවක් ලැබීමෙන් ඉහළ යන අනාගත ආදායමයි. විභාග වලට පොත් නිර්දේශකර ගැනීම සඳහා අතයටින් මුදල් මාරු වීමද මෙයට සම්බන්ධ දෙයකි.


මෙසේ තමාගේ සතුට වෙනුවෙන් ලිවීම දුලභ දෙයක් නොවේ. බැක් ටු ද ෆියුචර් චිත්‍රපටියේ ජෝජ් මැක්ෆ්ලයි විද්‍යා ප්‍රබන්ධ ලියා ඒවා කිසිවෙකුට නොපෙන්වන්නේ ඔහු මෙහිදී පාරිභෝගිකයෙකු පමණක් වන නිසාය. ඔහුට නිෂ්පාදකයෙකුද විය හැකි බව කියාදෙන්නට ඔහුගේ අනාගත පුතු වන මාටිට කාලය හරහා පැමිණීමටම සිදුවන්නේ පාරිභෝගිකයෙකු ලෙස ඔහු ලබන සතුට ඉතා විශාල නිසාය. ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිධරයෙකු වන හඳගම පාඩුවට චිත්‍රපට හදන්නේ මේ නිසාය. බොහෝ දෙනා බ්ලොග් ලියන්න්නේත් මේ නිසාය.

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු මූලික උපාධියක් හෝ පශ්චාත් උපාධියක් හැදෑරීම වෙනුවෙන් කාලය සහ මුදල් යොදවන්නේ අනාගතයේදී ආදායම වැඩිකර ගැනීමේ අරමුණින් ආයෝජනයක් වශයෙනි. එහෙත්, පශ්චාත් උපාධි තුන හතරක් ඇති කෙනෙකු තවත් එකක් කිරීමෙන් එවැනි වාසියක් නොලැබේ. මෙහිදීද සිදුවන්නේ අධ්‍යාපනය ලැබීම පරිභෝජන භාණ්ඩයක් වීමයි.

අවසාන වශයෙන් සිටින්නේ පොතේ මිලෙන් 40%ක් ඩැහැගන්නා අතරමැදියාය. මේ අතරමැදියා සුපිරි ලාභයක් ලබනවාද?

අතරමැදියන්  'අයුතු' හෝ 'අසාධාරණ' ලාභයක් ලබන්නේය යන්න ජනප්‍රිය අදහසකි. මෙයට එක් හේතුවක් වන්නේ අතරමැදියෙකුගේ 'ලාභය' නිෂ්පාදකයෙකුගේ හෝ පාරිභෝගිකයෙකුගේ ලාභයට වඩා පාරදෘශ්‍ය වීමයි. අතරමැදියාගේ කාර්යය වන්නේම නිෂ්පාදකයකුගෙන් අඩුමිලට ලබා ගන්නා භාණ්ඩයක් වැඩිමිලට විකිණීම නිසා මේ දෙක අතර වෙනස පැහැදිලි වුවත් අතරමැදියෙකුගේ වියදම් ඒ තරමටම පැහැදිලි නැත.

පොත් වෙළඳාමේදී අතරමැදියා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මට ඇත්තේ දළ අදහසක් නිසා පහත ඇතැම් වියදම් අදාළ නැති විය හැකි වුවත් මා සිතන පරිදි ලේඛකයාට සහ ප්‍රකාශකයාට සාපේක්ෂව සාමාන්‍යයෙන් අතරමැදියෙකුගේ වියදම් සකස් වනු ඇත්තේ මෙසේය.


-අතරමැදියෙකු භාණ්ඩයක් මිලදී ගැනීමේදී මුදලක් ආයෝජනය කළ යුතුය. රුපියල් 200කට මිල කෙරෙන පොතක් වෙනුවෙන් මේ ආයෝජනය ප්‍රකාශකයාට ගෙවන මුදල රුපියල් 100ක් යැයි සිතමු. පොත විකිණුනොත් ලේඛකයාට රුපියල් 20ක් ගෙවා ඉතිරිය අතරමැදියාට ළඟ තබා ගත හැකිය. නොවිකිණුනොත්? එවිට අතරමැදියාට තමා අපේක්ෂා කළ ලාභය පමණක් නොව ආයෝජනය කළ මුදලද ආපසු නොලැබේ. සාපේක්ෂව, ප්‍රකාශකයාට සහ ලේඛකයාට සාමාන්‍යයෙන් මෙවැනි ආයෝජනය අහිමිවීමේ අවදානමක් නැත.

-භාණ්ඩය විකිණෙන තුරු මෙසේ ආයෝජනය කර ඇති මුදල වියදමකි. ඒ මුදල බැංකු ගිනුමක තබා ගැනීමෙන් ලැබෙන පොලිය අතරමැදියා නැති කර ගනී.

-භාණ්ඩයක් ගබඩා කර තබා ගැනීම වියදම් යන වැඩකි. නොවිකිණෙන පොත් වට්ටම් දී 'කීයකට හෝ' විකුණා දමන්නේ ඒ නිසාය.

-මෙයට අමතරව අතරමැදියා දරන ස්ථිර වියදම් බොහෝය. මෙය ප්‍රකාශකයාගේ වියදම් ගැන කතා කරද්දී විස්තර කළ දේවලට සමානය.


කෙසේ වුවද, මේ සියළු වියදම් පියවා ගැනීමට පොතක මිලෙන් 40%ක් අවශ්‍යද යන ප්‍රශ්නයට පිළිතුරක් මෙහි නොමැති බැවින් ඒ පිළිතුර සොයා ගත යුතු වන්නේ වෙනත් නිරීක්ෂණ තුලිනි.

පොත් වෙළඳාමේ අතරමැදියකු වීමට සුවිශේෂී හැකියාවක් අවශ්‍ය නොවේ. ආයෝජනය සඳහා අවශ්‍ය මුදල් තිබීම ප්‍රමාණවත්ය. එමෙන්ම, එවැනි මුදලක් ඇති අයෙකුට පොත්ම විකුණන්නට අවශ්‍යතාවක් නැත. ගෘහ විද්‍යුත් උපකරණ, නිමි ඇඳුම් වැනි වෙනත් දෙයක්ද විකිණීමට පුළුවන. පොත් වෙළඳාමෙන් සුපිරි ලාභයක් ලැබිය හැකිනම් බොහෝ දෙනා මේ ව්‍යාපාරයට අළුතින් එකතු විය යුතුය. එහෙත්, පොත් වෙළඳාමේ අතරමැදියන් අතර පසුගිය දශක කිහිපය තුළ බිහිවුණු එවැනි 'වීර චරිත' නැත.

පොත් වෙළඳාමෙන් පසුගිය කාලයේදී ව්‍යාපාරික දැවැන්තයින් බිහි වී නැතත්, එවැනිම වෙනත් අංශ වල අතරමැදියන් වූ ව්‍යාපාරික දැවැන්තයින් පසුගිය කාලයේ බිහිවී තිබේ. හොඳම උදාහරණය නිමි ඇඳුම් වෙළඳාමයි.

මැද පෙරදිග සුළු රැකියාවක් කර ඉතිරි කරගන්නා මුදලක් ආයෝජනය කර නුවරඑළිය පොළේ බඩු විකුණන මුබාරක්ට ප්‍රංශ මුළු වලින් එළියට පැමිණ සීමා අතික්‍රමණය කරන්නට පුළුවන. ගෙදර ඉස්තෝප්පුවෙන් එළියට බහින සුමනපාලට සහ ධර්මලතාට ගාලු කොටුවේ බැම්ම උඩින් පියඹා කොළොම්තොට කූඩු හදන්නට පුළුවන. වැල්ලවත්තේ පදික වේදිකා පියමං කර ඩුප්ලිකේෂන් පාර හරහා පැමිණෙන ප්‍රීතිට සහ නීලාට දකුණු ආසියාවේම ලොක්කෙකු වන්නට පුළුවන. මෝටර් රථයේ ඩිකියෙන් එළියට බහින ඔටාරාගේ අයියා ඒ වන විටත් දැවැන්තයෙකු වී සිටීම නිසා ඇගේ කතාව වීර කාව්‍යයක් නොවන්නේ නැත. තිලකවර්ධනලා සහ සුබියාන්ලා ඇතුළු මේ ගොඩට දැමිය හැකි වීරයෝ තවත් බොහෝ සිටිති.


මේ අය මෙසේ ඉහළට මතුවුණේ ඔවුන්ගේ ව්‍යාපාරික දක්ෂතාවය නිසායැයි යමෙකු කිවහොත් එය බොරුවක් නොවේ. ඔවුන් සියළු දෙනාටම 'සුපිරි ලාභ' ඇති තැන අනිත් අයට කලින් අල්ලා ගැනීමේ 'ඉව' තිබුණේය. මේ අය පොත් විකිණීමට නොසිතා ඇඳුම් වැඩේට බහින්නේ ඒ නිසාය. එමෙන්ම, තමන්ගේ පාරිභෝගිකයන් හඳුනාගැනීමේ හැකියාවද මේ අය සතු විය. ප්‍රීති, නීලමනී සහ සුජීව වැල්ලවත්තෙන් ඩුප්ලිකේෂන් පාරට එන විටත් තමන්ගේ පාරිභෝගිකයින්ට ෆිටෝන් කාමරයකින් නිසි ප්‍රයෝජනය පමණක් ගැනීමට ඇති සංයමය පිළිබඳව නිවැරදි තක්සේරුවක් ඔවුන්ට තිබුණේය. එහෙත්, මූලික කරුණනම් නිමි ඇඳුම් වෙළඳාමේ අතරමැදියෙකුට ලබා ගත හැකි  'සුපිරි ලාභ' තිබීමයි. මේ ක්ෂේත්‍රයේ සුපිරි ලාභ තවමත් පිරිහී නොමැති බව මගේ අදහසයි.

පොත් ක්ෂේත්‍රයේනම් මෙවැනි තත්ත්වයක් යාන්තමින්වත් පෙනෙන්නට නැත. ඒ පොත් වෙළඳාමෙන් අතරමැදියා සුපිරි ලාභයක් නොලබන බැවිනි. එසේ වුවද ඔවුන් පාඩුවක්ද නොවිඳ නිසි ලාභයක් ලබති. දිගුකාලීනව ව්‍යාපාරය අත් හැර නොයන්නේ ඒ නිසාය.

සිංහල කියවන්නන්ගේ ප්‍රමාණය විශාල නොවීමේ පාඩුව ප්‍රකාශකයා හෝ අතරමැදියා නොදරන බැවින් අවසාන වශයෙන් එය දරන්නට වෙන්නේ ලේඛකයින්ටය. කෙටිකාලීනව මේ වෙළඳපොළ පුළුල් වන බවක් පෙනෙන්නට නොමැති නිසා මුදල් ලාභයම සලකා 'විකිණෙන පොත්' ලිවීමට නොසිතන ලේඛකයින්ට තවත් කාලයකට මේ කටයුත්තට දායක වීමට සිදුවනු ඇත්තේ මුදල් ලාභ ගැන ලොකු බලාපොරොත්තුවකින් තොරව තමන්ගේම සතුට වෙනුවෙනි.

(මෙයට පෙර මා ලියූ සටහන කිසියම් තාක්ෂණික හේතුවක් නිසා සින්ඩි වල සහ රෝල් වල අප්ඩේට් වුණේ නැත.)

(Photo credit: archives.dailynews.lk)

24 comments:

  1. http://arunishapiro.wordpress.com/2010/07/12/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7-%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, හරී! අනෙකුත් කරුණු වල ලොකු වෙනසක් නැතත්, ඇය කියා ඇති පරිදි පොත් වෙළඳාමෙන් අතරමැදියා විශාල ලාභයක් ලබන බව මතුපිටින් පෙනෙන කරුණු අනුව මට නොපෙනේ. මෙවැනි මාෆියාවක් දීර්ඝකාලීනව පවත්වාගැනීම පහසු නැත. එහෙත් සිදු නොවනවා කියන්නත් බැරිය. කොටස් වෙළඳපොළ උදාහරණයකි. මේ සම්බන්ධ සෘජු අත්දැකීම් ඇති බව පෙනෙන ඇය මා නොදන්නා අභ්‍යන්තර කරුණු දන්නවා විය හැකිය.

      Delete
  2. තමන් ලියු පොත තමන්ම පළ කරවා ලාබයක් ලැබුවෙක් ඇත්දැයි මා මතු කරන්නට සිටි ගැටලුවට පිළිතුරක් ලැබුනේ හරී විසින් ඉහතින් සඳන් කර තිබූ ලින්ක් එක දිගේ ගොස් අරුණි ෂපිරෝගේ ලිපිය කියවීමෙනි. මට තේරෙන හැටියටනම් ශ්‍රී ලංකාවේ පොත් වෙළඳපොල මේ වනවිට ප්‍රසාරණය වී තිබේ. දොරට වඩින දවසේ විතරක් පිටපත් කීපයක් විකුණා ගත හැකිව තිබූ කවිපොත් පවා දැන් හොඳින් අලෙවි වන බව පෙනෙන්ට තිබේ. මේ ප්‍රසාරණය වූ වෙළඳපොල තුල පොතක් ලියන්නා තුල එක්කෝ නිර්මාණශීලී මාකටිං හැකියාවක් හා ඒ සඳහා කැපවීමක් තිබුනානම් හොඳ කර්තෘ ප්‍රකාශනයකින් වුවත් ලාබ ලැබිය හැකි බව පසක් වී තිබේ. තමන් වෙළඳාමට අකමැති ඊට යෙදෙන්නට කාලයක් නොමැති අයෙක්නම් අනිවාර්යයෙන්ම හොඳ ප්‍රකාශකයෙක්ට වැඩේ බාර දීම නුවණට හුරුය. කර්තෘ බාගය ලෙස 15% හෝ 20% වැනි ගණන් ගෙවන ප්‍රකාශකයන්ද සිටිති. මා මේ කතා කළේ 'මල් පොත්' වෙළඳපොල ගැන නොවේ. හොඳ වාගේම කියවන්නට හිතෙන රස පොත් ගැනය. මේ වගේ මාතෘකාවක් සංවාදයට ලක් කරන ඉකොනොමැට්ටාගේ ලිපි පෙළ ඉහළින් අගයමි. ඒ කතාබහ අස්සේ මාද ඉන්නා නිසා වැඩිපුර සතුටු වෙමි.

    ReplyDelete
    Replies
    1. මෙය ඉතා වැදගත් කරුණකි. ඇත්තටම කියනවානම් වෙළඳපොළ ප්‍රසාරණය වීමේදී මෙය සිදුවිය යුතු බවත් එය සිදුනොවන්නේ තවමත් සුපිරි ලාභ නැති නිසා බවත් දෙවැනි නිරීක්ෂණයක් ලෙස මා ලිවුවත් එවැන්නක් ගැන නොදන්නා නිසා පසුව ඒ කොටස ඉවත් කළෙමි. පොත් වෙළඳාමෙන් අතරමැදියන්ට යම් 'සුපිරි' ලාභයක් ඇත්නම් එයින් කොටසක් ලේඛකයාට දීම අවසාන වශයෙන් ඔවුන්ටම වාසිදායකය. එක් පොතක ලාභය අඩුවීම පොත් ගණන වැඩි වීමේ වාසිය සැලකූ විට ප්‍රශ්නයක් නොවන බැවිනි. සිංහල කතා කරන්නන්ගේ සාක්ෂරතාව සහ පොත් රුචිය මුල සිටම නරක මට්ටමක තිබුණේ නැත. ඔවුහු පුස්තකාල වලින් හෝ අනුන්ගෙන් ඉල්ලා පොත් කියවූවෝ ඒ නිසාය. ප්‍රශ්නය තිබුණේ ආදායම් මට්ටමේය. මේ අනුව පසුගිය කාලයේ ආදායම් ඉහළ යාම සැලකූ විට වෙළඳපොල ප්‍රසාරණය වීමක් සිදු විය යුතුය. අනෙක් අතට විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාල නිසා මෙය වැළකීමේ ඉඩකඩද නොසලකා හැරිය නොහැකිය. ඔබ කියන කරුණු අනුවනම් ඉදිරියට එන්නේ 'ලේඛකයින්ගේ කාලයකි'. මේ අනුව වෙළඳපොල පුළුල් වී ලේඛක වට්ටම හෙට්ටු කළ හැකි දෙයක් වන්නේනම් 'හොඳ ලේඛකයින්ට පමණක්' වැඩි වට්ටමක් ලබා ගත හැකි වනු ඇත. ඒ සමඟ 'නරක ලේඛකයින්' විසිවනු ඇත. අතරමැදියන් ලබන සුපිරි ලාභයක් ඇත්නම් එය නැති වී ලේඛකයින්ගේ ආවස්ථික පිරිවැය පියවෙන තුරු මෙය සිදුවිය යුතුය. කෙසේ වුවද ලේඛකයින්ගේ මේ හොඳ නරක අවසාන වශයෙන් තෝරන්නේ පාඨකයින්ය. ඒ අතර පොත් මිලදී ගෙන නොකියවා රාක්ක පුරවන්නන්ද සිටිය හැකිය.

      Delete
    2. තවත් මෙයට අදාල කරුණක් ලෙස යම් හෙයකින් ඔබේ ආවස්ථික පිරිවැය ඇතුළු අනෙකුත් සියළු වියදම් ඉක්මවූ පසුවත් ඔබේ අතේ 'විශාල' මුදලක් ඉතිරි වුනේයැයි සිතමු. මෙය කිසිසේත්ම 'අසාධාරණ' ලාභයක් නොවේ. පොතක් යනු ආවේණික (unique) නිෂ්පාදනයකි. මට පොතක් ලිවිය හැකි වුවත් ඔබ ලියන පොත මට ලියන්නට නොහැක. ඒ නිසා ඔබට 'ලොකු' මුදලක් ලැබේනම් ඒ මේ පොත ලිවීමෙන් රටේ සමස්ථ නිෂ්පාදනයට ඔබ එකතු කර ඇති අගයයි. මෙය යම් හෙයකින් ඔබේ ආවස්ථික පිරිවැය බොහෝ සේ ඉක්මවයිනම් එයින් අදහස් වන්නේ ඔබ දැනට කරන රැකියාවට වඩා පොත් ලිවීමේදී බොහෝ කාර්යක්ෂම බවයි.

      Delete
  3. තමන් ලියන පොත්වලින් පොහොසත් වන්නේ අතරමැදියා බව, බොහොමයක් පොත් කර්තෘ වරුන් කරන පොදු පැමිණිල්ලක්. මහාචාර්ය සරත් විජේසූරිය වෙනම පොත් ප්‍රකාශන ආයතනය ආරම්භ කලෙත්, ඔය හේතුව නිසා නේද? සෑහෙන්න පොත් ගානක් ලියා ඇති, වෛද්‍ය රුවන් එම් ජයතුංග ට මේ ගැන අද්දැකීම් රාහියක් ඇති. මේ ලිපිය ඔහුගේ අවධානයට ලක්වුනොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව්, විචාරක. පොත් ලියා පළ කර ඇති ගොඩක් අයට මේ ගැන පුළුල් ඇතිදැකීම් ඇති. මටනම් එවැනි අත්දැකීම් නැහැ.

      Delete
    2. සරත් විජේසුරිය පොත් ප්‍රකාශනය ඇරඹුවේ වැඩ තහනමට ලක් වී සිටියදී බවයි මා නම් හිතන්නේ. ඔහු ලිවූ "මගේ නඩුව ඉවරයි" කියවන්න.

      Delete
  4. ලාභයක් ලැබුවත් නැතත් වැදගත් පොතක් ලියනවා කියන්නෙ සමාජ සේවයක්...... ඒත් ඉතින් ඒකෙන් වෙනත් කෙනෙක් වැඩි ලාභයක් ලබනකොට ලේඛකයට අසාධාරණයක් වෙනවනං ඒකත් වැරදියි............
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන ප්‍රශ්නය ආර්යන් ඔය සමාජ සේවය කියන දෙයම සාපේක්ෂ දෙයක්. සරල උදාහරණයක් ගත්තොත් යමෙක් තමන් විශ්වාස කරන ආගම ප්‍රචාරය කරන කෙනෙක් ඔහු හෝ ඇය සිතන හැටියට සමාජ සේවයක් කරනවා. තවත් කෙනෙක් බලෙන් ආගම් වලට හරවා ගැනීමට එරෙහිව සටන් කරලා සමාජ සේවයක් කරනවා. කෙනෙක්ට රොබින් හුඩ් කරන දෙය සමාජ සේවයක්. තවත් කෙනෙකුට අනුව රොබින් හුඩ්ව අත් අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියා කරන්නේ සමාජ සේවයක්.

      Delete
    2. ඔබේ බ්ලොග් එකට සුබපැතුම්!

      Delete
  5. ලංකාවේ පොත් ලිවීමෙන් ලේඛකයෙකුට මුදල් සෙවිය නොහැක​. බොහෝ ලේඛකයන් පොත් ලියන්නේ ආත්ම තෘප්තිය සඳහාය

    ReplyDelete
  6. මා "සිව් සිත් කව්" කවි පොතත්, "සිව් වසරක් මරදානේ" කතා පොතත් කතෘ ප්‍රකාශන ලෙස කලේ ආත්ම තෘප්තිය සඳහායි. ඇත්තටම මේවා Vanity Publications.
    https://en.wikipedia.org/wiki/Vanity_press

    කවි පොතේ පිටපතකට රුපියල් 100 ක් වැයවුණා. විකුණුම් මිල රුපිය 150 යි. එකක් විකිනෙන විට මට රුපියල් දහයක් පාඩුයි.

    කවි පොතේ පිටපතකට රුපියල් 60 ක් වැයවුණා. විකුණුම් මිල රුපිය 200 යි. එකක් විකිනෙන විට මට රුපියල් 60 ක් ලාබයි.

    ReplyDelete
  7. අපි කිහිප දෙනෙක් දැනට විසර තුනකට පෙර ශ්‍රාස්ත්‍රය ග්‍රන්ථයක් කලා.පිටු 250 පොතට මුද්‍රණ වියදම වුනේ රැපියල් 90.සමහර මුද්‍රණාල වලදි මෙ ගනන පුංචි වෙනසක් වෙන්න පුලුවන්.ඒ වගේම පේපර් එක අනුවත් වෙනස් වෙනවා.මෙම පොතේ ප්‍රකාශන අයිතිය අපි තියාගත්ත ඒ වගේම රැපියල් 100 ක මුදලකට පොත දුන්නේ.අපි ලාභයක් අපෙක්ෂා කලේ නැ.

    පොතක ප්‍රකාශන අයිතිය යමි සමගාමකට ලබා දීලා පොත වෙළද පලට නිකුත් කලානමි ප්‍රකාශකයන්ටත් අතරමැදියන්ටත් තමයි මුදලින් වැඩි 90 %ක්ම යන්නේ.සමහර ප්‍රකාශකයෝ ලේඛකයන්ට වංචා කරන අවස්ථා තියනවා.

    එන වෙලාවක මෙ ලිපියත් කියවලා බලන්න
    අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ

    ReplyDelete
    Replies
    1. අයියා ඔයා ටයිප් කරන්නෙම විකාර සිංහලනේ

      Delete
    2. කී බොඩි එකේ පොඩි අවුලක් එනවා මල්ලි.අනික හල් අකුරැ ටයිප් වෙන්නේ නැ.ඉතින් එහෙම ගැටලුවකුත් තියනවා.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. සූත්‍රෙය්,ආවෙීෂ,..සමහර වචන ටයිප් කරනකොට ඔන්න ඔය වගේ දෝෂයක් එනවා.

      Delete
    5. මා ඔබේ ලිපිය කියෙව්වා මනෝ. ඉදිරියත් කියවන්නම්.

      Delete
  8. කිසිදවසක ආර්ථික විද්‍යාව හදාරා නැති මට ඔබේ මේ ලිපි මගින් ආර්ථික විද්‍යාෙව් ඇති වැදගත්ම ඉතා හොඳින් වැටහෙනවා පමණක් නොව ඒ කෙරෙහි විශේෂ ආශාවක්ද ඇති වෙලා තියනවා මේ වන විට.
    පොත් වෙළදාමේ අතරමැදියා ගැන කියද්දි ඔබට අහු නොවුණු එක් තැනක් තමා බොහෝ පොත් වෙළෙන්දන් කර්තෘ ප්‍රකාශන අලවි කිරිම සදහා තම සාප්පුවට භාර ගන්නේ කිසිම මුදලක් නොගෙවා. විකිණුණොත් සල්ලි දෙන්නම් කියන න්‍යයට අනුවයි. ඉතින් කතෘවරයට වෙනවා පොතට ප්‍රචාරයක් අගනන්නත්. ඇතැම් පොත් සාප්පුවලට පොත් දාලා මාස ගණන් ගියත් එකක්වත් නොවිකුණු අවස්ථාවලට කතෘවරු මුහුණ දෙනවා.
    කෙසේ වෙතත් ඔබේ මේ නිර්ණායක මගින් ඉතාමත් ලස්සනට හොද පාඩමක් අපට කියා දි තිබෙනවා

    ReplyDelete
    Replies
    1. කතෘ ප්‍රකාශන අත ඇරියේ වැඩේ සිදුවන ආකාරය ගැන හරියටම දන්නේ නැති නිසා. ඔබ කියන කරුණු අනුව පොඩි උත්සාහයක් දරන්නම්.

      Delete
  9. ඔබ විසින් රචිත වතුරෙන් දුවන කාර් ලිපිය අද දින කියවුවෙමි. අද දිනම FB හි සුළං බලෙන් දුවනා මෝටර් රථයක් පිලිබඳ විස්තරයක් පලවී ඇත එම රථයේ ක්‍රියාකාරිත්වය විද්‍යාත්මකව පහදන ලෙඩ මා විසින් කල ආරාධනය කියවීම සඳහා http://dampatadedunna.blogspot.com/2015/09/blog-post_14.html වෙතින් පිවිසෙන ලෙස ඔබටද ආරාධනය කරමි.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා, ජීවන්. මේ වගේ දේවල් මාධ්‍ය වල දාන කොට ඒ ගැන විද්වත් අදහස් කිහිපයකුත් එකතු වෙනවනම් වඩා හොඳයි.

      Delete
    2. ජලය යනු යම් කිසි රසායනික ප්‍රතික්‍රියාවකට පසු ලැබෙන අතුරු ඵලයකි. එය සම කළ හැක්කේ යමක් පිළිස්සූ පසු ඉතිරි වන අළුවලට ය. අළු ඉන්ධනයක් වශයෙන් භාවිතා කළ නොහැකි බව අපි සියළු දෙනා ම දනිමු. ඒ ආකාරයෙන් ම, ජලය ද ඉන්ධනයක් වශයෙන් භාවිතා කළ හැක්කක් නොවේ. ජලයෙන් දිවෙන වාහනයක් කිසිදා නිෂ්පාදනය කළ නොහැක. එය සියළු ම රසායනික සහ භෞතික න්‍යායයන්ට පටහැණි ය. විද්‍යුත් විච්ඡේදනය මාර්ගයෙන් ජලය එහි සංඝටක මූලද්‍රව්‍ය වන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලට වෙන් කොට, හයිඩ්‍රජන් ඉන්ධනයක් වශයෙන් භාවිතා කිරීමේ හැකියාවක් පැවතිය ද, ජලය විච්ඡේදනය කිරීමට යම් කිසි ශක්ති ප්‍රමාණයක් වැය වේ. එවිට හයිඩ්‍රජන් දහනය කිරීමෙන් ලැබෙන ශක්තියෙන් වාසියක් අත් නොවේ. තව ද, හයිඩ්‍රජන් ඉන්ධනයක් වශයෙන් භාවිතා කිරීම අන්තරාකාරී වේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.