Wednesday, September 16, 2015

"පොඩිනම, දැන්නම් නරක දේත් හොඳවන වෙලාව!"


"පොඩිනම, දැන්නම් නරක දේත් හොඳවන වෙලාව!"

ජනවහරේ එන කතාවක ගුරු හාමුදුරුවෝ ඇතැම් දරුණු දේ කළ හැකි මන්ත්‍ර ගුරුකම් දැන සිටියත්, පවු සිදුවන බැවින් සාමාන්‍යයෙන් මේ දැනුම භාවිතයට නොගත් බව කියවේ. එහෙත් ඔහු සිය ගෝල හාමුදුරුවන්ටද මේ දැනුම ලබා දී තිබුණේය. කතාවේ කියවෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට නොගත් මේ දැනුම එහි නරක ආනිසංශ ගැන නොතකා ප්‍රයෝජනයට ගැනීමට සිදුවූ අවස්ථාවක් පිළිබඳවය. එසේ කිරීමට සිදුවන්නේ අවසාන වශයෙන් හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙනි.

අවසාන ප්‍රතිඵලය හොඳක් වේනම් ඒ වෙනුවෙන් නරක දෙයක් කළ යුතුද යන්න සංකීර්ණ ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නයට මගේ පෞද්ගලික පිළිතුර වනුයේ 'වෙනත් කිසියම් හෝ ප්‍රායෝගික විකල්පයක් ඇත්නම්' එසේ නොකළ යුතු බවයි. හොඳ හා නරක යන සංකල්ප වුවද පුද්ගලයාට, කාලයට සහ සමාජයට සාපේක්ෂ වීම ප්‍රශ්නය වඩාත් සංකීර්ණ කරයි.

මේ දිනවල මරණ දඬුවම දීම පිළිබඳව අළුතින් සංවාදයක් ඇතිවී තිබේ. මේ සම්බන්ධව ලියවී ඇති දේ කියවීමෙන් මා තේරුම් ගත් ප්‍රධානම දෙය වූයේ, මා කලින් සිතා සිටි පරිදි, මා නියෝජනය කරන්නේ සමාජයේ බොහෝ දෙනෙකුගේ මතය නොවන බවයි.

අනෙක් ඕනෑම පුද්ගලයෙකුට වඩා කිසිදු විශේෂ වැදගත් කමක් නොමැති සාමාන්‍ය පුද්ගලයෙකු වන මට වෙනත් කෙනෙකු 'හොඳ මඟට' ගැනීමට හෝ උපදේශකයෙකු වීමට අවශ්‍ය නැත. එහෙත්, මා අනෙක් අය තරමට වැදගත් නොවන අයෙකු ලෙසද මා සලකන්නේ නැත. ඒ නිසා මා සිතන ආකාරය වෙනත් 'වැදගත්' පුද්ගලයෙකු සිතන ආකාරයට වඩා නොවැදගත් වීමටත් හේතුවක් නැත.


මගේ අදහස් කිසිදා වෙනස් නොවන නිශ්චිත අදහස් නොවේ. මා කියවන, අසන, අත්දකින දේ අනුව මගේ අදහස්ද පරිණාමය වේ. මගේ අදහස් වෙනත් කෙනෙකු මත පැටවීමට මට අවශ්‍ය නොවන එක් හේතුවක් වන්නේ එයයි. බ්ලොග් වල ලියවෙන වෙනත් අයගේ අදහස් සහ තොරතුරු මගේ සිතීමේ අවකාශය පුළුල් කර ගැනීමට ඉඩ සලසයි. එය මට වඩා හොඳ තීරණ ගැනීමට යම් පිටිවහලක් සපයයි. මා සිතන ආකාරය මා ලියන්නේද වෙනත් අයෙකුට එවැනි ඉඩකඩක් සැලකීමට යම් දායකත්වයක් දීම සලකමිනි.

මරණ දඬුවම සම්බන්ධව අජිත් පැරකුම්, රසික, සහ නොදන්න මගුල් ලියන ලේඛකයා ලියා ඇති දේ සමඟ  මා සිතන ආකාරය බොහෝ දුරට සම්පාත වන නිසා මා ඒවා නැවත ලියන්නේ නැත. මේ අදහස් සමඟ ගැටෙන ලිපියක් රූපේ විසින් පළ කර තිබේ. මේ ලිපිය වටිනා ලිපියකි. එමඟින් සමාජයේ බොහෝ දෙනා සිතන ආකාරය ගැන දැන ගැනීමට කවුළුවක් විවෘත කර දී තිබේ.

මේ අවස්ථාවේදී මරණ දඬුවම දිය යුතුද යන කරුණ ගැන සිතීමට යොදවන කාලය වැදගත් දෙයක් ලෙස මට නොපෙනුණු බැවින් මා මේ ගැන අදහස් නොදැක්වූයෙමි. ඒ තක්සේරුවට හේතු වූයේ මගේ තීරණය මත මරණ දඬුවම දීම හෝ නොදීම තීරණය වීමේ ඉඩකඩක් ළඟපාතක නොපෙනුණු බැවිනි. ඇතැම් විට එවැනි අවස්ථාවක් ඉදිරියේදී මට ලැබෙන්නට වුවද පුළුවන (ඡන්දය ප්‍රකාශ කිරීමක් වැනි). නිහඬව සිටීමෙන් මධ්‍යස්ථ මතයක් පිළිබිඹු වන නිසාත්, මේ සම්බන්ධව මගේ මතය එක් අන්තයකට බරව ඇති බව පෙනෙන නිසාත් එය ප්‍රකාශ කිරීමේ වැදගත් කමක් ඇතැයි සිතේ.


මරණ දඬුවම දීමට පක්ෂව ඉදිරිපත් කෙරී තිබුණු ජනප්‍රිය අදහසක් වූයේ මෙවැනි දෙයක් තමන්ට සිදුවුවහොත් කිසිවකු මෙසේ නොකියනු ඇති බවයි. මගේ සමීපතමයෙකුට මෙවැනි දෙයක් සිදුවුවහොත් එය කළ තැනැත්තාව "කෑලි කෑලි වලට කැපීමෙන්" මට සිදු වූ පාඩුව කිසිසේත්ම සමනය වන්නේ නැත. එහෙත්, එවැනි අවස්ථාවක එසේ ක්‍රියා කිරීමට මා වුවද නොපෙළඹෙනු ඇතැයි මට සහතික විය නොහැකිය. නොදන්නා මඟුල් ලිපියේ පැහැදිලි කර ඇති පරිදි, මෙහිදී සිදුවන්නේ අපේ ආවේග මඟින් අපව පෙළඹවීමයි. මෙවැනි පළිගැනීමකට යොමුවන අයෙකු පසුකාලීනව ඒ ගැන පසුතැවීමටද ලොකු ඉඩක් තිබේ.

මරණ දඬුවම නොදිය යුත්තේ ඇයි යන කරුණ ඉහත ප්‍රතිචාරය තුළම තිබේ. තට්ට සෝමේ අහිංසක මගේ සමීපතමයෙකුට දරුණු දෙයක් කරයි. ආවේගයට පත් වන මා තට්ට සෝමේව කෑලි කෑලි වලට කපයි. දැන් මිනීමරුවා මාය. මට මරණ දඬුවම හිමි වේ. එහෙත්, ආවේගයට මිනීමැරුමක් කළත් නිදහස් වී පැමිණියහොත් මා නැවතත් මිනී නොමරනු ඇත.

මා දුටු තවත් අදහසක් වූයේ මරණයට පත් කිරීම ජීවිතාන්තය දක්වා සිර කර තැබීමට වඩා මානුෂික බවයි. තෝරාගැනීමක් ඇත්නම් යමෙකු මේ දෙකෙන් මරණ දඬුවම තෝරා ගැනීමට ඇත්තේ ඉතා අඩු ඉඩකඩක් බව මගේ අදහසයි.

ඇතැම් අය ආගමික පදනමකින් මරණ දඬුවමට එරෙහිව අදහස් දක්වා තිබේ. උදාහරණයක් ලෙස, මේ පිළිබඳව මඩිහේ පඤ්ඤාසීහ හිමිගේ මතය අතුල සිරිවර්ධන විසින් ඉදිරිපත් කර තිබේ.

ඇතැම් අය මරණ දඬුවමට එරෙහි වන්නේ කිසියම් වරදකින් නිවැරදිකරුවෙකු පෝරකයට යාමේ ඉඩකඩ ගැන සලකමිනි. මෙයින් අනියමින් අදහස් වන්නේ මිනීමරුවා හරියටම හඳුනාගත හැකිනම් මරා දැමීම සුදුසු බවද? එසේ කිරීමෙන් පොදු සමාජයට මිනීමැරීම් නොකිරීමට බලපෑමක් කෙරේද?

මරණ දඬුවම දීමෙන් අපරාධ අඩුවේද? මෙය දත්ත පරීක්ෂා කිරීමෙන්ම නිගමනය කළ යුතු දෙයකි.

ලෝකයේ රටවල් 141ක මේ වන විට මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ. මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ (2010 දත්ත අනුව) චීනය, ඉරානය, උතුරු කොරියාව, යේමනය සහ ඇමරිකා එක්සත් ජනපදයයි. විමධ්‍යගත පාලනයක් ඇති ඇමරිකාවේ ප්‍රාන්ත 31ක මරණ දඬුවම ක්‍රියාත්මක වන අතර ප්‍රාන්ත 19ක එය ක්‍රියාත්මක නොවේ. දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ මරණ දඬුවම නැති ප්‍රාන්ත වල මිනීමැරුම් සිදුවීම වඩා අඩු බවයි. ප්‍රගීත් ලියනආරච්චි විසින් මේ දත්ත ඇතුළු වෙනත් තොරතුරු රැසක් ඉදිරිපත් කර ඇති නිසා මා ඒවා නැවතත් එකතු කරන්නේ නැත.

ඇමරිකාව තුල මරණ දඬුවම ක්‍රියාත්මක වීම නීතිය තුල ක්‍රමයෙන් ඉවත්වෙමින් යන දෙයකි. මෑතකාලීනව නෙබ්‍රස්කා (2015), මේරිලන්ඩ් (2013), කනෙක්ටිකට් (2012), ඉලිනෝයි (2011), නිවු මෙක්සිකෝ (2009), නිවු ජර්සි (2007), නිවු යෝර්ක් (2007) ආදී ප්‍රාන්ත වල නීතියෙන් මරණ දඬුවම ඉවත් වූ අතර ඉදිරි වසර තුල මේ රැල්ල ඉතිරි ප්‍රාන්ත කරාද පැතිරෙනු ඇත. මා මෙසේ කියන්නේ සමීක්ෂණ ප්‍රතිඵල අනුව ඇමරිකානුවන්ගෙන් 88%ක් මරණ දඬුවමින් අපරාධ අඩු නොවන බව විශ්වාස කරන බැවිනි.

නිශ්චිත පිළිතුරක් දීම අපහසු ප්‍රශ්නයක් වන්නේ අපරාධකරුවෙකු පුනරුත්ථාපනය කිරීම සහ සිරගත කොට තබා ගැනීම සඳහා යන වියදම පිලිබඳ ප්‍රශ්නයයි. මෙවැනි දෙයක් සමාජයක් ලෙස පොදුවේ තීරණය කළ යුතු දේශපාලනික කරුණකි. යම් හෙයකින් ඉතා පහසුවෙන් පැතිරෙන, මාරාන්තික රෝගයක් පැතිරුනහොත් මේ රෝගය වැළඳුනු පිරිස් එක් තැනෙක රඳවා තබා ඔවුන්ගේ අවශ්‍යතා සැපිරීම හෝ ඉතිරි පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් මරා දැමීම විකල්ප දෙකකි.

රෝගයක් පැතිරීම මිනීමැරුමකට වඩා අහඹු දෙයක්යැයි යමෙකුට කිව හැකිය. මිනීමරුවෙකුද එක් ආකාරයක රෝගියෙකි. අනෙක් අතට, මා මිනීමරුවකු නොවන්නේ මා එවැන්නකට පෙළඹෙන අවස්ථාවකට මුහුණ නුදුන් නිසා විය හැකිය. ඕනෑම කෙනෙකු ඇතැම් තත්ත්වයන් යටතේදී පොදු සමාජයට හානිකර පුද්ගලයෙකු බවට පත් විය හැකිය. මේ හානියෙන් පොදු සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා මිලක් ගෙවීමට සිදුවේ. එය පොදු සමාජයේ දේශපාලනික තීරණයකි. කෙසේ වුවද, ඒ මිල කැමැත්තෙන්ම ගෙවීමට සුදානම් වීමට සමාජයක් පරිණාමය විය යුතුය. (ඇමරිකාව තුලදීනම් මරණ දඬුවම දීමේ සමස්ත ක්‍රියාවලිය වඩා වියදම් අධික බව පෙන්වා දී තිබේ.)

අජිත් පැරකුම්ගේ වචන වලින් කියවෙන 'පුද්ගලයින්ට මෙන් ම සමාජයට හෝ ආණ්ඩුව වැනි සමාජ සංවිධානයකට හෝ පවා මිනීමැරීමට අයිතියක් නැති බව'  යන්නට 'වෙනත් කිසියම් හෝ ප්‍රායෝගික විකල්පයක් ඇති විට' යන්නද එකතු විය යුතුය. වැඩි යහපත වෙනුවෙන් මිනී මැරීම හැර වෙනත් විකල්පයක් නැති අවස්ථා තිබිය හැකිය. උදාහරණයක් ලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු තම ඉලක්කය සපුරා ගැනීමට සැරසෙන මොහොතේ ක්ෂණිකව ඔහුව හෝ ඇයව මරා දැමීමෙන් ජීවිත ගණනක් බේරාගත හැකිනම් එයින් වෙන්නේ යහපතකි. මෙහිදී බෝම්බකරුගේ (හෝ බෝම්බකාරියගේ) ජීවිතය කොහොමටත් විනාශ වන නිසා මේ මිනීමැරුමෙන් සිදුවන වැඩි අයහපතක් නැත. එහෙත්, බොහෝ විට තත්ත්වය මේ තරම් සරල නැත.

ඇතැම් අවස්ථාවලදී ජීවිත බේරාගැනීම සඳහා වෙනත් ජීවිත විනාශ කිරීම හැර විකල්පයක් නැති විය හැකිය. මෙවැනි අවස්ථාවක කළ හැකි හොඳම දෙය සෑම ජීවිතයක්ම එක සේ වටිනා ලෙස සලකා අඩුම හානියක් සිදුවන පරිදි කටයුතු කිරීමයි. යුද අත්දැකීම් ඇති විචාරක විසින්ම පෙන්වා දී ඇති පරිදි මානව හිමිකම් සියල්ල හැමවිටම අකුරටම රකිමින් යුද්ධ කරන්නට නොහැකිය. හොඳම යුද්ධයට වඩා නරකම සාමය හොඳ වන්නේ ඒ නිසාය.

එහෙත්, මරණ දඬුවම වෙනුවටනම් ඉතා පැහැදිලි විකල්පයක් තිබේ. 

(ඡායාරූපය: එංගලන්තයේ නොටිංහැම්හි පිහිටි galleries-of-justice කෞතුකාගාරයේ ඇති එල්ලුම්ගසක්. එහි පිවිසෙන අයෙකුට ඩමියක් යොදවා මෙය ක්‍රියාත්මක කරන ආකාරය නැරඹිය හැකිය.)

22 comments:

  1. //"මගේ අදහස් කිසිදා වෙනස් නොවන නිශ්චිත අදහස් නොවේ. මා කියවන, අසන, අත්දකින දේ අනුව මගේ අදහස්ද පරිණාමය වේ"// මටත් එසේමයි

    මගේ නම් තර්කය මරණ දඬුවම ඇතිව හෝ නැතිව නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන පරිසරයක් හැදීම මූලික අවශ්‍යතාවය බවයි

    ReplyDelete
    Replies
    1. මරණ දඬුවම අනවශ්‍යයයි සිතීමට තරම් සමාජය පරිණාමය වී නැත්නම් එසේ කිරීමෙන් ලොකු වැඩක් නොවේ. එවිට සමාජය විසින් නීතිය අතට ගනු ඇත. එමෙන්ම නමට මරණ දඬුවම ඉවත් කර සුදු වෑන් වැනි වෙනත් ක්‍රම යොදා ගැනේනම් එවිටද මරණ දඬුවම ඉවත් කිරීම තේරුමක් නැති විහිළුවක් පමණි.

      Delete
  2. මට මරණ දඬුවම ගැන විරුද්ධවාදී අදහසක් තියෙන්නෙ එයින් යම් කිසි අහිංසකයෙක් දඬුවම් ලැබීමේ යම් ඉඩකඩක් තියන නිසා. මරණ දඬුවමට පක්ෂව තිබෙන මගේ සිතිවිලි වල මුල වෙන්නේ පුනරුත්ථාපනය කල නොහැකි ගණයේ සැලකෙන, තමාගේ අපරාධ සම්බන්ධව කිසිම ආකාරයේ කණගාටුවක්, පසුතැවීමක් නොපෙන්වන, නැවත කෙසේ හෝ සමාජයට එකතු වුවහොත් එම අපරාධම නැවත නැවතත් කිරීමට විශාල ඉඩකඩ සහිත පුද්ගලයන්.

    මරණ දඬුවම සම්බන්ධ මගේ මේ වැනෙන අදහස සේයා දැරිය සම්බන්ධ අපරාධය සමග එකට තබා කතා කිරීමටවත් මම කැමති නෑ. මොකද බොහෝ අය යමක් කියවා එය ඉතා සරල පිළිතුරකට ගොනු කර ගන්නවා.

    මේ ගැන හිතන්න හිතන්න මට දැනුණු දෙයක් තමයි මරණ දඬුවම ඉල්ලා හිටින සමාජ සංදර්භයම, මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට ඉතා හොඳ හේතුවක් බව. මරණ දඬුවම ඉල්ලා හිටින්නේ බොහෝ වෙලාවට යම් අපරාධයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ගැන සමාජය සෑහීමකට පත් නොවීම නිසා. ඒ කියන්නේ නීති ක්‍රියාත්මක වීමේදී සහ ඒ හා සම්බන්ධ ආයතන වල අඩුපාඩු, විෂමතා, අකාර්යක්ෂමතාවය වගේ කරුණු නිසා. ඉතින් එවන් තත්වයක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කොහොමත් නොකල යුත්තක්. අනෙක් අතින් මරණ දඬුවම ලබන්නේ මම ඉහත කී ආකාරයේ අපරාධකරුවෙක් බව කිසිදු සැකයකින් තොරවම අපට පිළිගත හැකිනම්, එනම් නීතිය ක්‍රියාත්මක වීම, ඒ හා සම්බන්ධ ආයතන වල ක්‍රියාකාරිත්වය ගැන සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි නම්, එවන් බිහිසුණු අපරාධකරුවෙක් නැවත සමාජගත වීමක් සිද්ධවෙන්නේ නෑ කියන විශ්වාසයටද අපට එළඹෙන්න පුළුවන්.

    මරණ දඬුවමට විරුද්ධව කතා කිරීමේදි ඉදිරිපත් කෙරුණු සමහර කරුණු ගැන මගේ එකඟතාවයක් නෑ. මිනිසාට තව මිනිසෙකුගේ ජීවිතයක් ගැනීමට අයිතියක් නෑ, සහ දඬුවම පුනරුත්ථාපනය සඳහා විය යුතුයි කියන අදහස් සමග මගේ 100% එකඟතාවයක් නෑ.

    ReplyDelete
    Replies
    1. //මේ ගැන හිතන්න හිතන්න මට දැනුණු දෙයක් තමයි මරණ දඬුවම ඉල්ලා හිටින සමාජ සංදර්භයම, මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට ඉතා හොඳ හේතුවක් බව.//
      අනික් අතට මෙවැනි සමාජ සංදර්භයක මරණ දඬුවම නැතත් ඔබ විස්තර කරන තත්ත්වයේ ප්‍රකාශනයන් වෙන ආකාර වලට මතු වෙනවා. දැන් මේක මම වෙන දෙයකට සම්බන්ධ කළොත් සමාජය දියුණුනම් නිදහස් ගිණිඅවි භාවිතයකට ඉඩ තිබුණු පලියට මිනිස්සු හැමෝම තුවක්කු මිලදී ගෙන එකිනෙකා මරා ගන්නේ නැහැ. හැබැයි කාව හරි මරන්න ඕනෑ එකා තුවක්කුවක් නැත්නම් පොල්ලෙන් ගහල හරි මරනවා.

      Delete
  3. ඔබ කියන ලෙසම මම දරන මතත් බොහෝ දෙනා දරන මත වලට වඩා වෙනස්. මෙතනදි බුකියයි බ්ලොග් වලයි අතර වෙනසකුත් මම දකිනවා. බුකිය ආවේගශීලී වුනත් බ්ලොග් වල එහෙම නෑ. මම නම් බුකියෙ එහෙමට නෑ. නමුත් මරණ දඩුවම ගැන ලොකු ඉල්ලුමක් බුකියෙ තියන බව කීවම ගිහින් බැලුව. ඒක බලපුවම මට හිතුනෙ ලංකාවෙ අපරාධ රැල්ලක් ඇතිවීම අහන්ඩත් දෙයක්ද කියල. බුකියෙ ඉන්නෙත් අපරාධ කරන්නෙත් ලාංකිකයොනෙ.බුකිය වාගෙම අපරාධකාරයොත් සමාජයෙ හරස්කඩක්.

    බ්ලොග් ලියන අය යම් ඉදිරිගාමී පිරිසක් කියල මට හිතෙනව. සංවාදශීලීව, තර්කානුකූලව අදහස් පෙළ ගැස්වීමක් එහි තිබෙන නිසා.

    මරණ දඩුවමට මම විරුද්ධයි. ඒ එම දඩුවම අපරාධයට වඩා බිහිසුනු නිසා. අහවල් දවසෙ මරම්නව කියල හිරකරගෙන ඉන්න එක මහ ම්ලේච්ඡ දෙයක්.ඇසට ඇසක් වගෙ දේවල් ශිෂ්ට ලෝකයට අදාල නෑ.ජාතීන් ශිෂ්ට වෙන්න වෙන්න මරණ දඩුවම ප්‍රතික්ෂේප කරන්නෙ ඒකයි. ඒත් ලංකාවෙ සමාඅජය ශිෂ්ට නෑ.මොකක් හරි හේතුවක් නිසා මෙහෙ මරණැ දඩුවම නැතත් ජනතාව ඒක ඉල්ලනව. ඇත්තටම ඔවුන් ඉල්ලන්නෙ මේ වරදට විතරක් නොවෙයි. මාර්ග නීති කැඩ්ඩීම වගෙ දේවල් වලට මරණ දඩුවම දුන්නත් ජනතාව කැමතියි. මොකද වැඩවසම් සමාජයක ඉන්නයි ඔවුන්ට ආව්ශ්‍ය. ඔවුන්ම කියනව ලංකාවට ගැලපෙන්නෙ ඒකාධිපතියො කියල.

    මරණ දඩුවම හොඳ වුනත් ඒක ලංකාවට නොගැලපෙන්නෙ මෙහෙ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන විශ්වාසයක් තියන්න බැරි නිසා.1976 ට පෙර අහිංසකයො එල්ලල තියනව. ඒ කාලෙ අන්ත වැඩවසම් යුගයක්නෙ. මානව හිමිකම් කියන වචනයවත් නෑ..රසිකගෙ බ්ලොග් එකේ මම උදාහරනත් දැම්ම. ආයෙ ටයිප් කරන්න කම්මැලියයි.

    බුකියෙ මරන දඩුවම ඉල්ලන අය කාලයක් මුස්ලිම්වරු එක්ක ගේම. ඒකත් මේ වගේමයි. කිසිම පදනමක් නෑ. ඔහෙ අධිසංවේදී වෙලා කියවනව. ටික දවසකින් ආයෙ කුනුහරප ශෙයා කරනව.සෝඩ බෝතලේ කැඩුව වගෙ.

    මේ අයට අපරාධ වළක්වාගැනීම ගැන කතා කරන්න අවශ්‍ය නෑ. අපරාධකරුවා කියන්නෙ රෝගියෙක්. අපරාධය කියන්නෙ සමාජයට වැළදෙන රෝගයක්. කළ යුත්තේ මුල් අවස්ථාවේදීම සුව කිරීම. ඒ ගැන අපරාධ විද්‍යාතමක ලිපියක් මම දාන්නයි ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබට ලිපියක් දැමිය හැකිනම් එය හොඳයි කියා මා සිතනවා. ඔබේ ලිපි වල හොඳ බ්ලෙන්ඩ් එකක් තියෙනවා.

      Delete
  4. මම මරණ දඩුවම ලබාදීම හොද දෙයක් කියල විශ්වාස කරන්නේ නැහැ. මොකද මිනිහෙක් යම් සමාජීය කාරණා කිහිපයක් නිසා තමයි මත්ද්‍රව්‍ය වෙළදාම, ළමා අපචාර ස්ත්‍රී දුෂණයන් හා මිනිමැරුම් කරන්නේ.
    උපතින් හෝ කුඩා කාලයෙදි මෙවැනි කටයුතු කිරීම පිලිබද අදහසක් මිනිස්සුන්ට නැහැ. මෙවැනි දේ කිරිමට අවශ්‍ය කරන පෙලඹවීම කරන්නේ සමාජයෙන්. සමාජයේ තියෙන අවුලක් හින්ද මිනිසෙක් සමාජයට හානියක් කරනවනම් ඔහුව පුනුරුත්තාපනය කිරීමේ වගකීමක් සමාජයකට තියෙනව. ඒ වගේම මෙවැනි ක්‍රියා පිලිබදව අධ්‍යනය කරල නැවත නැවත මෙවැනි සිද්ධින් අවම වන විදිහට වැඩපිලිවෙලක් සමාජය විසින්ම සකස් කරන්න ඕන.
    අනෙත් කරුණ තමයි මිනිහෙකුට තියෙනව නිර්මාණශිලි හැකියාවක් ඒක අපරාධයක් කරන පුද්ගලයෙක් තුලත් තියෙනව. ඒ නිසා පුනුරුත්තාපනයට යොමුකරන අපරාධ කරුවන්ගේ නිර්මාණශිලි ශ්‍රමය භාවිතා කිරීමට වැඩ පිලිවෙලක් හදන්න ඕන. ඔවුන් භාවිතා කරල යම් කර්මාන්තයක් පවත්වා ගෙන යෑම වගේ දෙයක් කරන්න ඕන
    හැබැයි ලංකාවේ තියෙන තත්වය මොකක්ද? පොල් ගෙඩියක් හොරකම් කරල බන්ධනාගාර ගත වෙන පුද්ගලය එන්නේ පාතාල කල්ලියකට සම්බන්ධ වෙල. පුනුරුත්තාපනයක් සිදුවෙන්නේ නැහැ මේ ක්‍රියාවලිය තුලින්. ඒ වගේම අපරාධ පිලිබද අධ්‍යනයක් කරල එවා අවම කිරිම වෙනුවෙන් සිදුවිය යුතු ආකල්පමය හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවෙන්නේ නැහැ

    අපි සමාජයට බලපෑම් කරන්න ඕන ලබා දෙන්නේ මොන දඩුවම්ද යන්න පිලිබදව නෙමෙයි අපරාධ කරුවාව හෝ අපරාධයක් කිරීමට සිටින පුද්ගලයකුව නිවරදි කර ගන්නේ කොහොමද? අපරාධයක් වීමට ඇති සම්භාවිතාවය අඩු කරන්නේ කොහෝමද කියන එක පිලිබදව.

    ReplyDelete
    Replies
    1. ඔබේ එකතු කිරීම් වලට මා ඉතාම කැමතියි, ඇනෝ. ඔබ බොහොම නිරවුල්ව කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

      Delete
  5. හැම සත්වයෙකුටම ජීවත්වීමේ අයිතියක් ඇත. එහෙත් අවස්ථා අනුව ආවේගශීලි අදහස්ද සිත තුළ ජනිත වේ. මේක හැම කෙනකුටම පොදුයි.

    ReplyDelete
    Replies
    1. ඔවු අපිට අපේ අවුරුදු දසදහස් ගානක, අලුතින්ම පේන හැටියට ලක්ෂ ගානක, පරිණාමික අතීතයෙන් ගැලවෙන එක හරිම අමාරුයි. මේ ආවේග එන්නේ අපේ ජාන වලින්ම.

      Delete
  6. samajaye bahuthara pirisakage suba saadanaya wenuwen marna dandaya kriyathamaka wiya yuthuya.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය තියෙන්නේ මේ විදිහට සමාජයේ බහුතරයකගේ සුබසාධනය ඇත්තටම සිදු වනවාද කියන එකයි.

      Delete
  7. //අනෙක් ඕනෑම පුද්ගලයෙකුට වඩා කිසිදු විශේෂ වැදගත් කමක් නොමැති සාමාන්‍ය පුද්ගලයෙකු වන මට වෙනත් කෙනෙකු 'හොඳ මඟට' ගැනීමට හෝ උපදේශකයෙකු වීමට අවශ්‍ය නැත. එහෙත්, මා අනෙක් අය තරමට වැදගත් නොවන අයෙකු ලෙසද මා සලකන්නේ නැත. ඒ නිසා මා සිතන ආකාරය වෙනත් 'වැදගත්' පුද්ගලයෙකු සිතන ආකාරයට වඩා නොවැදගත් වීමටත් හේතුවක් නැත.//

    මාත් හිතන්නේ මේ විදියට. :)

    ReplyDelete
    Replies
    1. ඔවු, පොඩ්ඩි. අපි කවුරුත් පොරවල් නෙමෙයි. හැබැයි අනිත් එයත් ඒ වගේම තමයි. අනිත් කරුණ සමාජය දියුණු වන බව අපිට පෙනුණත් (සමහර අයට ඒක වුනත් වෙනස්ව පෙන්න පුළුවන්) සමහර වෙලාවට වංගු ගන්නවා. සමහර වෙලාවට රවුම් වල කැරකෙනවා. ඒ නිසා නිශ්චිත මොහොතක මම ඉන්නේ අනිත් අයට වඩා ඉදිරියෙන්ද පසුපසින්ද කියන එකත් මට හරියටම සහතික කරන්න බැහැ.

      Delete
  8. කැකිල්ලේ පුඤ්ඤසෝමSeptember 17, 2015 at 5:35 AM

    මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වෙනුවෙන්,

    // උදාහරණයක් ලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු තම ඉලක්කය සපුරා ගැනීමට සැරසෙන මොහොතේ ක්ෂණිකව ඔහුව හෝ ඇයව මරා දැමීමෙන් ජීවිත ගණනක් බේරාගත හැකිනම් එයින් වෙන්නේ "යහපතකි". මෙහිදී බෝම්බකරුගේ (හෝ බෝම්බකාරියගේ) ජීවිතය කොහොමටත් විනාශ වන නිසා මේ මිනීමැරුමෙන් සිදුවන වැඩි "අයහපතක් නැත". එහෙත්, බොහෝ විට තත්ත්වය මේ තරම් සරල නැත.//

    "යහපතකි","අයහපතක් නැත" වැනි වචන යොදා em පවසන්නේ දේවධර්ම නීතීන්ට අනුව ඉහත මරාගෙන මැරෙන බෝම්බකරුගේ දෛවය සපථ කලයුතු බවද ?

    නැත්නම් , ඊට වඩා පහත යෝජනා අසීරුද, සමාජ පසුගාමිද ?

    1. ආරක්ෂක ක්‍රමවේදයන් හා සිවිල් නීතී වල වර්ධනයන් හේතුවෙන් මැරෙන බෝම්බකරු ජීව ග්‍රහනයෙන් අත් අඩංගුවට ගැනීම හා ඒ හරහා ඉදිරි අපරාධ වලක්වා ගැනීම.
    2. ඔහු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විමට අදාල වු පරිසරය ගොඩනැගීම කලින්ම හදුනාගැනීමට සමත් දියුනු දේශපාලන විඥානයක් සහිත රාජ්‍ය ආයතන,උපදේශකයින් හා පාලකයින් බෝකර ගැනීම.


    *** නීතියට ඉහලින් මුදල් නම් දේව හස්තයක් ඇති බවටත් ,අපරාධය සාපේක්ෂ බවත් මම පිලිගනිමි. මෙය පෘතුවියටම අදාලයී.

    It is not wisdom but Authority that makes a law.
    -Thomas Hobbes

    ReplyDelete
    Replies
    1. //ආරක්ෂක ක්‍රමවේදයන් හා සිවිල් නීතී වල වර්ධනයන් හේතුවෙන් මැරෙන බෝම්බකරු ජීව ග්‍රහනයෙන් අත් අඩංගුවට ගැනීම හා ඒ හරහා ඉදිරි අපරාධ වලක්වා ගැනීම.//
      පැහැදිලිවම එකඟයි. මෙතෙන්දී බෝම්බකරුගේ ජීවිතයත් බේරාගෙන අනෙක් ජීවිතත් බේරාගැනීමේ විකල්ප අවස්ථාව නැතිවෙලා නැහැ. ඒ අනුව ඔබේ දෙවන කරුණ ගැනත් මගේ කිසිදු විවාදයක් නැහැ. මම කථා කරන්නේ මෙවැනි අවස්ථාවක් කිසිසේත්ම ඉතිරිව නැති අවසන් මොහොතක් ගැන. ඔබ කියන දෙවන කරුණට අදාල තැනට යන්න දුර ගමනක් තියෙනවා.

      //"යහපතකි","අයහපතක් නැත" වැනි වචන යොදා em පවසන්නේ දේවධර්ම නීතීන්ට අනුව ඉහත මරාගෙන මැරෙන බෝම්බකරුගේ දෛවය සපථ කලයුතු බවද ?//
      නැහැ, පුඤ්ඤසෝම. මම හිතන්නේ ඉහත කරුණ අනුව එය පැහැදිලි විය යුතුයි. බෝම්බය ක්‍රියාත්මක කිරීම සඳහා අත යාමට පෙර ක්ෂණිකව වෙඩි තැබීමක් වැනි දෙයක්. එතකොට මරණ රැසකට සාපේක්ෂව එක මරණයක්. මෙතන මරණ කිසිවක් නැතිව ගොඩදාගැනීමේ විකල්පය නැහැ.

      දේවධර්ම නීතීන්ට අනුවද කියන ප්‍රශ්නය ගත්තොත් "යහපත","අයහපත" ගැන අපි එක් එක් කෙනාට තියෙන සම්පාත වීම් බොහෝ ඇති, එහෙත් හරියටම සමාන නැති අදහස් පදනම් වෙන්නේ අපේ සංස්කෘතික පරිණාමය, ජීව විද්‍යාත්මක පරිණාමය අනුව. කෙනෙක් දේව ධර්මය හදාරා ඇත්නම් මෙයින් මුල් එකට එය යම් තරමකට හෝ බොහෝ දුරට පාදක විය හැකියි. පෞද්ගලිකව මම හිතන හැටිනම් හරියටම කොහෙන් ආවද කියන එක මටවත් කියන්න බැහැ.

      Delete
    2. කැකිල්ලේ පුඤ්ඤසෝමSeptember 18, 2015 at 7:25 AM

      // ඔබ කියන දෙවන කරුණට අදාල තැනට යන්න දුර ගමනක් තියෙනවා.//

      ඇත්ත,

      em ඔබටත් දුර ගමනක් යා හැකී ආකාර තුනක් තියෙනවා.-

      1.මේ ගත වන මොහොත ගැන නිරවුල් අදහසක් තම පාඨකයාට ලබාදෙමින් අදට වඩා දියුණු , ශිෂ්ඨ හෙටක් ගැන යෝජනා කරන නිදහස් බ්ලොග් කරුවෙක් .
      2. තම ජීවිතය ගැටගසා ගන්න ජනමාධ්‍යයේ හැසිරෙන පුර්ණකාලීන හෝ අර්ධකාලීන මාධ්‍යකරුවෙක් / බ්ලොග් කරුවෙක්. (මොබ් චින්තකයෙක්)
      3. තමන් තවමත් පණ පිටින් යැයි පෙන්වීමට මාධ්‍ය වලට වැල්වටාරං ලියන පෑනේ මිතුරෙක්. (කමෙන්ට්ලෝලීයෙක්)

      -

      Delete
  9. මේ ගැන මටම කියල මතයක් නැද්ද කොහෙද? මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බුද්දියෙන් විරුද්දයි එත් සමහර වෙලාවට හදවතින් පක්ෂයි..

    ReplyDelete
    Replies
    1. මේක සංකීර්ණ ගැටළුවක් තමයි. මීට වඩා පෙනුමට හෝ සරල දෙයක් වන අධික සීනි සහ තෙල් සහිත කෑමක් දැක්කහම දියවැඩියාව සහ කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයත් මෙයට තරමක් සමානයි.

      Delete
  10. මේක ලංකානිව්ස්වෙබ් එකට කෙලින්ම දැම්ම. තව ලිපි එයි කියල හිතමු.
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/858-2015-09-20-21-55-58

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.