Tuesday, September 8, 2015

මා ප්‍රාග්ධනය උපයාගත් හැටි...

සරල, නිහතමානී පුද්ගලයෙකු ලෙස හැඳින්විය හැකි මගේ පියාගේ මට වැඩිපුර ඇල්ලුවේ නැති එක් දෙයක් වූයේ වරින් වර දාන ලොකු ටෝක්ය. මෙවැනි සමහර ප්‍රකාශ ලොකු ටෝක් ලෙස තීරණය කර තිබීම ඇත්තටම මගේ අවබෝධයේ අඩුකමක් බව මට තේරුණේ බොහෝ කලකට පසුවය.

මා කුඩා කළ මෙසේ ඔහු නිතර නිතර දැමූ එක් ලොකු ටෝක් එකක් වූයේ මහා ගොඩක් නොවූ  සිය දෙමවුපියන්ගේ ඉඩකඩම් දේපොළ ඔහුගේ පවුලේ දරුවන් අටදෙනෙකු අතර බෙදන සුවිශේෂී අවස්ථාවේදී ඔහුට වඩා වැඩිමහළු සොයුරන් අසාධාරණ හා ආත්මාර්ථකාමී ඉල්ලීම් වෙනුවෙන් සටන් කරද්දී මගේ පියා වීරයෙකු මෙන් සිදුකළ "අයියණ්ඩිය, බිය නොවන්න!" මාදිලියේ ප්‍රකාශයයි. ඔහු නිතර නිතර කියූ පරිදි "දෙමවුපියන්ගේ දේපොළ සත පහක්වත් එපා!" කියමින් ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන් සමඟ වූ කිසියම් නොමනාපයක් නිසා නොවේ. ඔහු කිසිදා මේ තීරණයට හේතුව පැහැදිලි කළේ නැතත් සැබෑ හේතුව සිය දෙමවුපියන්ගෙන් මූල්‍ය ස්වාධීනත්වය ලබා ගැනීමට වූ අවශ්‍යතාව බව මගේ අදහසයි.

කෙසේ හෝ මේ කතාව නිතර ඇහෙද්දී, කාටවත් නොකිවුවත්, මාත් හිතාගත්තේ මගේ පියාගේ දේපොළ බෙදන දවසට මාද මෙවැනි ප්‍රකාශයක් කර වීරයෙකු වන බවයි. ඒත් පොඩි පරහකුත් තිබුණේය.

මගේ පියා දඬුවම් මාරු සහ එසේ නොවන සාමාන්‍ය ස්ථාන මාරු ලබමින් මා ඔහුත් සමඟ ගතකළ වසර දහඅට තුළ පදිංචිය වෙනස් කළ අවස්ථා දහතුනෙන් මට මතක නැති මුල් අවස්ථා තුන ඉවත් කළ විට ඉතිරි අවස්ථා වලදී වඩාත්ම සැලකිල්ලෙන් ප්‍රවාහනය කළ ලොකු තොම්සන් බිත්ති ඔරලෝසුව, පියාගේ දේපොළ එපා කිවුවත් ඔහුගේ පියාගෙන් ලබා ගෙන තිබුණු කැටයම් දැමූ පතරොම් තුවක්කුව වගේම යුනික් රේඩියෝව වැනි වටිනා වස්තු අමාරුවෙන් වුවත් අමතක කළ හැකි විය. එහෙත් ඔහුගේ පොත් රාක්කයේ ඇති පොත් වලින් ලොකු පොත් කිහිපයක්නම් නොගෙන ඉන්නට හිත හදා ගැනීම පහසු කටයුත්තක් වුනේ නැත.

මගේ පියා සතුව තිබුණු වටිනාම ද්‍රව්‍යමය දේපොළ වූයේ ඔහුගේ මේ ප්‍රකාශන එකතුවයි. මෙය පුළුල් විෂය පරාසයක පැතිරුණු පොත් එකතුවක් නොවූ අතර බොහෝ දුරට ඔහු විසින් උනන්දුවක් දැක්වූ විෂය ක්ෂේත්‍ර කිහිපයකට සීමා විය. මේ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අළුත් හෝ පැරණි පොතක් ගැන දැනගත් විට එය කෙසේ හෝ අයිති කරගන්නා තුරු ඔහුට ඉවසිල්ලක් තිබුණේ නැත.

පඩි දිනයේ දියර වර්ග රැගෙන නොආවත් පොත් කිහිපයක්නම් ඔහු නොවරදවා රැගෙන ආවේය. මෙයට අමතරව සෑම සතියකම ඉරිදා පත්තර කිහිපයක් සහ සතිපතා පත්තර කිහිපයක්ම මිල දී ගැනීමට ඔහු වැය කළ මුදල අපේ පවුලේ මුළු ආදායම සැලකූ විට විශාල මුදලකි. ඇතැම් පුවත්පත් වල මංගල කලාපයේ සිට සියළුම කලාප ඔහු සතුව තිබුණේය.

ටික ටික ලොකු වෙන විට පොඩි කාලේ ඇති පොඩි තණ්හාවල් ලොකු තණ්හාවල් බවට පත් වේ. මේ ධර්මතාවය අනුව මට ලොකු වී මගේ පියාට වඩා ලොකු පෝසතෙක් වීමටත් අවශ්‍ය විය. ඒ සඳහා ඔහු සතු පොත් ගොඩ පරදවන ලොකු පොත් ගොඩක් අවශ්‍ය වේ. ඒ පොත් තියන්නට ලොකු පොත් රාක්කයක්ද අවශ්‍ය වේ. එවිට මටත් පොර සේ ඔහුගේ දේපොළ කිසිවක් අවශ්‍ය නැති බව කියන්නට පුළුවන. මේ වැඩේ කළ යුත්තේ පියාගේ උදවු නොලබමිනි.

රොබට් කියෝසාකි කියා ඇති විදිහට ආයෝජනය පටන් ගත යුත්තේ හැකි තරම් කුඩා කාලයේදීය. පොඩි පරහකට තියෙන්නේ ආයෝජනය කිරීමට මුදල් අවශ්‍ය වීමයි. වයස අවුරුදු එකොළහක් වෙන තුරු එවැනි ස්ථිර ආදායම් මාර්ගයක් මට තිබුණේ නැත. කළ හැකි වූ එකම දෙය නිවසට එන නෑදෑයෙකු "ටොපී කෑමට" අතේ මිට මොළවන මුදල් එකතු කර පොතක් මිල දී ගැනීමයි.

එසේ වුවත්, මගේ වයස අවුරුදු නවයකට ආසන්න වෙද්දී සිදුවූ පදිංචිය වෙනස් වීමක් සමඟ අර්ධ කාලීන රැකියා කර කිසියම් මුදලක් සොයා ගැනීම සඳහා අවස්ථා කිහිපයක් උදාවිය. මෙවැනි එක් රැකියාවක් වූයේ පොල්කටු ගණන් කිරීමයි. ඒ දිනවල අපි සිටි නාගරික ප්‍රදේශයක පාරක් අයිනේ පිහිටි නිවසට නිවෙස් දෙකක් එහායින් සිල්ලර කඩයක් තිබුණේය. අපේ අසල්වාසීන් සහ පවුලේ හිතවතුන් වූ මේ අය පොල්කටු ව්‍යාපාරයක්ද කළේය. ගෙවල් වලින් පොල්කටු මිල දී ගැනේ. පිරිමි පොල්කට්ටක් සතයකි. ගෑණු පොල්කට්ටක් සත බාගයකි. පිරිමි පොල්කටු රබර් වතු වලටත් ගෑණු පොල්කටු අඟුරු සෑදීම සඳහා ලංගම ඩිපෝව ඇතුළු කම්මල් වැඩ කරන තැන් වලට විකිණේ. ඔවුන්ට මගේ සේවය අවශ්‍ය වූයේ ලොකු ඕඩරයක් පැමිණි විට එය නිසි පරිදි පිළියෙළ කිරීමටය. මා පරීක්ෂාවෙන් සිටින විට ගණන් නොවරදින බව ඔවුන්ගේ විශ්වාසය විය.

පොල්කට්ටෙන් පටන් ගත් වැඩේ ටික දවසකින් කඩේ වැඩ කිරීම දක්වා ව්‍යාප්ත විය. එහෙත් මට කරන්නට තිබුණේ සීනි කිරීම වැනි සරල කටයුත්තක් නොවේ. සීනි කිරන්නට ඇති පදං කට්ටිය කඩේ සිටියේය. කර ගන්නට අමාරුව තිබුණු කාරිය ගාණ හදා ගැනීමය. කඩය කළ මව සහ සොයුරු සොයුරියෝ කිසිවෙකුට මේ වැඩේ සීනි කිරන තරමට පහසු වුනේ නැත. ගණක යන්ත්‍ර නොතිබුණු මේ යුගයේ මගේ රාජකාරිය වුණේ ගණක යන්ත්‍රයක කාර්යයයි. බඩු ටික කිරා අවසන් වන විට මා හිතින් ගාණ හදා අවසානය.

මේ ගණන් කවදාවත් වැරදුණේ නැති බැවින් මේ රැකියාවට තිබුණු ඉල්ලුම අඩු නොවුණත් මේ සඳහා මේ අසල්වැසියන්ට අපේ ගෙදරින් අවසර ලබා ගත හැකි වුණේ අතරින් පතර දවසක නිසා මට ලබා ගත හැකි වූයේ සීමිත ආදායමක් පමණි. මේ වැඩෙන් සහ වෙනත් මෙවැනි 'රැකියා' කිහිපයකින් මට යම් මුදලක් උපයාගත හැකි වූ අතර මෙමඟින් ඉඳහිට පොතක් මිලදී ගෙන හෙමින් හෙමින් වුවත් මගේ ඉලක්කය කරා ගමන ඇරඹිය හැකි විය.

ඔය අතර එක්වර වැඩි මුදලක් උපයාගත හැකි වන අවස්ථාද පැමිණුනේය. අවුරුදු කාලයේ වැඩිහිටියන්ට බුලත් දී වැඳීම හොඳ ආදායම් මාර්ගයකි. බුලත්අත ආපහු ලැබෙන්නේ රුපියලක් හෝ දෙකක් සමඟය. අපේ ගෙදරට අමුත්තන්ගෙන් අඩුවක් නොතිබුණු නිසා මේ වැඩේ කිසිම අමාරුවක් තිබුණේ නැත. අවුරුදු කාලයෙන් පසුව වුවද ඉඳහිට මෙවැනි අවස්ථා හිමිවේ. පාසැලට හෝ දහම් පාසැලට ආධාර පිණිස ලැබෙන 'කොටු කොළ' මහඟු ආදායම් මාර්ගයකි. ගෙදරට එන සමහර අමුත්තන්ට මගෙන් මේ කොටුකොළය සමඟ මුලින්ම පෑනක් වෙනුවට ලැබෙන්නේ අල්පෙනිත්තකි. සත පනහක් දී කොටුවක් හිල් කළ හැකිය. සතපනහ ගෙන කොටු කොළය අනෙක් පස හරවා නියපොත්ත ඇතිල්ලූ විට හිල නොපෙනී යයි.

මගේ සම්පත් දායකයින්ට පැන්සලක් ලැබෙන්නේ මෙසේ කොටුවකට හිල් දෙක තුනක් වැදුණු පසුවය. කොටු කොළයේ ඉටිපන්දමක් අතුල්ලා ඇති නිසා කතිරය වැදෙන්නේ යන්තමිනි. එය නියපොත්තෙන් සූරාදැමීම අපහසු නැත. අපේ ගෙදරට අමුත්තන්ගෙන් අඩුවක් නොවූ නිසා මෙවැනි කොටුකොළයකින් සෑහෙන ආදායමක් උපයා ගත හැකිය.

පොල්කටු ව්‍යාපාරය තිබුණු ප්‍රදේශයේද අප සිටියේ වසර දෙකකට අඩු කාලයකි. යූඇන්පී කාරයෙකු වීම නිසා සමඟි පෙරමුණු රජය කාලයේ ළඟ ළඟ ස්ථාන මාරු ලැබූ මගේ පියාගේ දේශ සංචරණය ආණ්ඩුව මාරු වූ පසු වෙනස් වූයේ නැත. ආණ්ඩු මාරුවෙන් පසු මාරුවීම් ලැබුණේ ශ්‍රී ලංකා කාරයෙකු වී සිටීම නිසාය.

ඇත්තටම ඔහු මේ කාලයේදී මේ මොන කාරයෙක්වත් වී නොසිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇරඹුණු කාලයේදී සිය යූඑන්පී ඥාති සමූහයෙන් පිටමං වී සක්‍රිය ශ්‍රී ලංකා ක්‍රියාකාරිකයෙකුව සිට තිබුණේ වුවද රජයේ නිලධාරියෙකු වූ පසු ඔහු ක්‍රියා කළේ මනුතාපයේ ජන්තුටත් වඩා අකුරටම නීතිය ක්‍රියාත්මක කරන්නෙකු ලෙසිනි. ප්‍රදේශයේ ස්වභාවික ආපදාවකට ලක්වූ පිරිසකට බෙදීම සඳහා බේකරියකින් උණු උණුවේ බෑ පාන් රාත්තල් පන්සීයක් නිවසේ ඉදිරිපස කොටසේ ගොඩ ගැහෙද්දී ඒ කටයුත්ත වෙනුවෙන්ම මුළුතැන්ගෙයි පිසෙන ලොකු පරිප්පු හොද්ද හැඳිගාමින් සිටි සිය ගැබ්බර බිරිඳට උණු උණුවේ පාන් කෑල්ලක් කන්නට ඇති වුණු දොළදුක සංසිඳුවා ගැනීමට ඔහුගෙන් අවසරයක් නොලැබුණු බව ඇය නිතර නිතර මතක් කරයි.

ඔහුව මුලින්ම යූඑන්පී කාරයෙකු ලෙස නම් කර රටවටේ යවා තිබුණේ හැත්තෑ එකේදී චේගුවේරා ලේබලය ගසා යූඑන්පී තරුණයන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ මන්ත්‍රී වරයෙකු වූ, ප්‍රගතිශීලී දේශපාලනඥයෙකු කළ ඉල්ලීම නොසලකා හැරීම නිසාය. මගේ පියාගේ ඥාතියෙකුද වූ මේ ප්‍රසිද්ධ දේශපාලනඥයා ආණ්ඩුව මාරුවන තුරුම මේ වාඩුව අත ඇරියේ නැත.

ධුරාවලිය අනුව වැඩි වැදගත් කමක් නැති තනතුරක් දැරු මගේ පියා අවශ්‍ය අවස්ථා වලදී හැමවිටම තමාගේ රැකියාවේ ධාරිතාවට වඩා විශාල පරාසයක වැඩ කළ අයෙකි. "කැපවීමෙන් අකුරටම වැඩ කරන අවංක නිලධාරියෙකු" ලෙස ඉහළ නිලධාරීන්ගේ ඇගයීමට ලක්ව සිටීම නිසා මගේ පියාට දුෂ්කර පළාතකට මාරුවක් ලබා වැඩි කල් සිටීමට ඉඩ ලැබුණේද නැත. ඔහුගේ "වැඩ වලින්" ලකුණු දමාගෙන රැකියා බේරාගත් සහ උසස්වීම් ලබාගත් බොහෝ ඉහළ නිලධාරීන් සිටි නිසා ඉතා ඉක්මණින් ඔහුට නැවත කැඳවීමක් ලැබේ. එහෙත්, පෙර කී දේශපාලඥයා මෙය දැනගත් වහාම ඔහුට නැවතත් දුර බැහැරක යාමේ අවස්ථාව උදාවේ. සමඟි පෙරමුණු රජය පෙරළෙන තුරුම මෙය සිදුවිය.

කෙසේ වුවද හැත්තෑ හතේ පෙරළියෙන් අනතුරුව ශ්‍රී ලංකා කාරයින්ගෙන් පලිගැනීම වැලැක්වූ නිසා ඔහුට ශ්‍රී ලංකා කාරයින්ට ලැබෙන පලිගැනීම් මාරුද හිමි වුණේය. තමන්ගේ සේවා කොන්ත්‍රාත්තුව අනුව "ලංකාවේ හතර දිග් බාගේ ඕනෑම කියන තැනකට" යාමට සූදානමින් සිටි ඔහු හැමවිටම කළේ ඔහු සිතූ පරිදි නිවැරදි දෙයයි. කවර දුෂ්කරතා තිබුණත් ඔහු "මාරුව හදා ගැනීම" සඳහා දේශපාලඥයින් හෝ ඉහළ නිලධාරීන් පසු පස ගියේ නැත.

කෙසේ වුවද, හැත්තෑ හතේදී යූඑන්පියෙන් ඉල්ලා රැල්ලට ගොඩගිය පෙර කී වාමාංශික දේශපාලනඥයාගේ හිටපු පුද්ගලික ලේකම් වරයා මගේ පියාව හොඳින් දැන සිටි කෙනෙකි. මගේ පියා එවකට රජරට-උතුරු පළාත් මායිමේ දුෂ්කර ප්‍රදේශයක අඹු සුතනුවන්ගෙන් දුරස්ථව "දුක් විඳින" බව කෙසේ හෝ දැනගත් ඔහු මගේ පියාව තමාගේ ප්‍රදේශයට කැඳවා ගත්තේය. මේ දේශපාලනඥයා වෙනත් වැරදි කර තිබුණත් මගේ පියාගෙන්නම් කිසිදු ප්‍රතිඋපකාරයක් ඉල්ලා නැත. බොහෝ දෙනා යෝජනා කළත්, හිතා ගත හැකි පරිදිම, මගේ පියා මේ දේශපාලනඥයාට ස්තුති කරන්නට ගියේත් නැත.

අකුරටම වැඩකළ මගේ පියා ඔහුගේ මේ ප්‍රතිපත්තියෙන් බැහැරව "හොර වැඩ" කළ වෙලාවල්ද තිබුණේය. මගේ වයස යාන්තම් එකොළහක් වෙද්දී වයස දහසයක් සේ "හොරට කොළ පුරවා" අවට තිබූ පුස්තකාල කිහිපයකම සාමාජිකත්වය රැගෙන දීම මෙවැනි හොර වැඩකි. මේ හොරකම පේනවාටත් වඩා ලොකු හොරකමක් වන්නේ ඒ වන විට මේ පුස්තකාල තිබුණේ ඔහුගේම අධීක්ෂණය යටතේ බැවිනි. කෙසේ හෝ, මේ නිසා සතියකට පොත් දහයක් දොළහක් කියවීමේ අවස්ථාව මට ලැබුණේය. ඇත්තටම මේ කාලයේදී මා කළ ප්‍රධානම කටයුත්ත පොත් කියවීමයි.

සමහර පොත් කියවූ පසු ඒවා අයිති කර ගැනීමේ ආශාවක්ද ඇතිවේ. ආතර් සී ක්ලාක්ගේ පොත් වල පරිවර්තන, කොවූර්ගේ පොත් සහ සරච්චන්ද්‍රගේ සහ නවගත්තේගමගේ නවකතා මෙසේ මුල් කාලයේදී මට "කෙසේ හෝ" අයිති කර ගැනීමට අවශ්‍ය වූ පොත් අතර තිබුණේය. මේ අනුව, මේ කාලයේදී මගේ පොත් එකතුව ටික ටික ලොකු විය.

පොත් ගොඩක් තිබුණු පලියටම හෝ පොත් ගොඩක් කියවා තිබුණු පලියටම කෙනෙක් උගතෙක්, බුද්ධිමතෙක් හෝ "පොරක්" වන්නේ නැත. ඒ සඳහා කාටත් පේන්නට මේ පොත් තැබිය හැකි ලොකු පොත් රාක්කයක්ද අවශ්‍යය.

අපේ මීළඟ වාසස්ථානය පිහිටියේ පාසැලක් ඉදිරිපිටය. මේ කාලයේදී මේ පාසැලේ මහපොළ ප්‍රදර්ශනයක් පැවැත්වුනේය. මෙය ආදායම් උපයාගැනීම සඳහා තවත් අනගි අවස්ථාවක් විය. අපේ නිවසේ මිදුලේ වාහන නැවැත්වීමට ඉඩදීමෙන් යම් මුදලක් සොයා ගත හැකි විය. එහෙත් මේ මුදල අපේ නිවසේ නැවතී පාසැල් ගිය මගේ පියාගේ මිතුරෙකුගේ දරුවකු වූ "පන්ති සගයෙකු" සහ මගේ බාල සොයුරා සමඟ බෙදාගත යුතුවිය.

ප්‍රදර්ශනය සඳහා පාර හරහට ලොකු තොරණක් ඉදි වුණේය. එහි ජේආර්ගේ, ප්‍රේමදාසගේ සහ ඇතුලත්මුදලිගේ රූප තිබුණේය. ප්‍රදර්ශනය අවසානයේදී මේ තොරණ ඉවත් කරන විට එය සෑදීමට යොදාගත් ඇල්බීසියා ලෑලි ප්‍රදර්ශනය සඳහා ගෙනැවිත් තිබුණු අසල වූ ලොකු කුණු බක්කියකට දැමීමට සූදානම් වනු දුටු මා වහාම ඉදිරිපත් වී මේ ලෑලි ඉල්ලා සිටියෙමි. ලොකු පොත් රාක්කයක් සාදාගැනීමට මේ ලෑලි ප්‍රමාණවත් විය.

යකඩ ඇණ සහ ලැකර් මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රාග්ධනය මා සතුව ඒ වන විටත් තිබුණේය. යාබද නිවසින් කියතක් ඉල්ලාගත් මා ඇල්බීසියා ලෑලි වල පැන්සලකින් කැපුම් ලකුණු කර ඒවා නිසි පරිදි කපා ගැනීමට හැදුවත් මේ කාර්යය හිතූ තරම් පහසු වූයේ නැත. කෙසේ වුවද, කිසියම් කාර්යයකට මගේ පියා හමුවීමට පැමිණ ඔහු එනතුරු බලා සිටි වඩු වැඩ දත් වැඩිහිටියෙකුගේ උදවුව ලැබුණු නිසා වැඩි අපහසුවකින් තොරව මගේ පියාගේ පොත් රාක්කය තරම්ම විශාල තට්ටු පහක ලොකු පොත් රාක්කයක අයිතිකරුවා වීමට මට හැකිවිය.

මීළඟ ප්‍රශ්නය මතුවූයේ රාක්කයේ පොත් ඇහිරීමෙන් පසුවය. මා ඒ වන විට එක් රැස් කරගෙන සිටි මහා වස්තු සම්භාරයම මේ විශාල රාක්කයේ තට්ටුවකින් අඩකට වඩා පිරවීමට ප්‍රමාණවත් නොවීය.

එක් එක් පුද්ගලයා ජීවිතයේ එක් එක් කාලයේදී "පීක්" වන බව කොහේ හෝ ලියවී තිබුණේය. මතක හැටියටනම් දැනට විවෘතව නොපවතින චානුක වත්තේගමගේ සිහි සටහන් බ්ලොගයේ විය යුතුය. මේ කාලය සාමාන්‍ය පෙළ, උසස් පෙළ, පහේ ශිෂ්‍යත්වය හෝ වෙනත් අවස්ථාවක් විය හැකිය. මා සම්බන්ධව මෙය ඇතැම් විටෙක සිළුමිණ වැනි "ලොකු පත්තර" කියවීම ඇරඹු වයස තුනක පමණ කාලය හෝ පහේ ශිෂ්‍යත්වය ලියූ වයස දහයේ කාලය විය යුතුය.

ශිෂ්‍යත්වයෙන් ලබා ගත හැකි මුළු ලකුණු ගණනට ඉතා කිට්ටු ගණනක් ගෙන දිවයිනේ ඕනෑම පාසැලකට පහසුවෙන් ඇතුළත් වීමේ අවස්ථාව ලබා ගත්තත් කොළඹ බෝඩිමකට වැයවෙන අමතර පිරිවැය දැරීමේ හැකියාවක් මගේ පියාට නොවූ නිසාත්, මුදල් ආධාරයක් ලබා ගැනීමට නොහැකි තරමට ඔහුගේ ආදායම ලොකු වැඩි වූ නිසාත් ශිෂ්‍යත්වය සමත් වීමට මා දැරූ (ඇත්තටම මහ ලොකුවට නොදැරූ) උත්සාහය වතුරේ ගියේ නැත. මගේ වයස අවුරුදු එකොළහක් වන විට, මා හය වන ශ්‍රේණියට ඇතුළත් වන විට, පුද්ගලික උපකාරක සේවා ලබා දීම සඳහා ලැබුණු ඉල්ලුම ඉන්පසු අඩු වුණේම නැත.

මේ අනුව පසු කාලයේදී ස්වේච්ඡා, අර්ධ කාලීන මෙන්ම ස්ථිර හා පූර්ණ කාලීන පදනමින් මා කලින් කලට කළ මගේ මුල්ම "ස්ථිර" රැකියාවට පදනම වැටුණේය. මෙයින් ලැබුණු ආදායම ගෙවත්තේ ලිඳ අසල ලොකු කංකුන් පාත්තියක් දමා කන්කුන් මිටි විකිණීමෙන් හෝ බුලත් අතක් සමඟ තුටුපඬුරක් ගෙන මගේ පියාගෙන් අකුරු කියවා ගැනීමට ළමුන් ගෙන එන පාරිභෝගිකයින්ගෙන් කොටසක් "කඩා ගැනීමෙන්" ලැබුණු ආදායම මෙන් නොව, මාස්පතා ලැබුණු ස්ථිර ආදායමකි.

දෙමවුපියන්ගේ උපකාරයකින් තොරව වෙනත් පුද්ගලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහාද කිසියම් මුදලක් වැය කළත්, මේ මුදල් මා ප්‍රධාන වශයෙන්ම වැය කළේ පොත් ගැනීම සඳහාය. එහෙත්, රාක්කයනම් පිරෙන පාටක්වත් පේන්නට තිබුණේ නැත.

රාක්කය පුරවා ගැනීම සඳහා තරමක් පහසු ක්‍රමයක් වූයේ ලොකු කැමැත්තක් නැතත් නොමිලේ හෝ අඩු මිලට ලැබෙන පොත් හෝ ප්‍රකාශන ලබා ගැනීමයි. නොමිලේ රාක්කය පුරවා ගැනීමට ප්‍රධාන මාර්ග දෙකක් තිබුණේය.

පළමුවැන්න, නොමිලේ ලැබෙන සෝවියට් දේශය සඟරාවන්ය. මට වඩා වසර ගණනක් වැඩිමල් දුරින් ඥාතියෙකු වූ තරුණයෙකු ගෙන්වා ගත් මේ සඟරාවක අවසාන පිටුවේ ඇති ෆෝරමයක් පුරවා යැවූ විට මාස දොළහක් තුල මේ සඟරාවේ කලාප දොළහක් නොමිලේ ලැබුණේය. මෙය දිගටම ලබා ගැනීම සඳහා කළ යුතු වූයේ වසරකට වරක් මෙසේ ෆෝරමයක් පුරවා යැවීම පමණි.

අනෙක් මාර්ගය වූයේ නොමිලේ ලැබෙන බයිබල් කොටස් ඇතුළු ක්‍රිස්තියානි ප්‍රකාශන ලබා ගැනීමයි. රසික කළාක් මෙන් මා කෙතරම් අකැමැති පොතක වුවද පිට කවරය ඉරීමට තබා පාඩම් පොතක ඉරක් ඇඳීමට තරම්වත් ධෛර්යයක් නැති මට මේ ප්‍රකාශන වල අන්තර්ගතය ප්‍රශ්නයක් වුනේ නැත.

පොත් මිලදී ගැනීමේදී මා කැමති පොත් බොහෝ තිබුණත් අතේ වූ සීමිත මුදලට වැඩිම පොත් ගණනක් ගැනීමටනම් මිලදී ගත යුතු වූයේ ලාබෙට තිබුණු සෝවියට් පොත්ය. වෙනත් එවැනි ප්‍රමාණයේම පොතක මිලට වඩා බාගයක හෝ තුනෙන් එකක මිලට කියවන්නට ආසා හිතෙන සෝවියට් පොතක් මිල දී ගත හැකි විය. ප්‍රගති ප්‍රකාශක මන්දිරයේ පොත් සමඟ මහජන ප්‍රකාශකයින් ප්‍රදර්ශන තබමින් රට වටා යද්දී මා උපයාගන්නා මුදල් ඔවුන්ට දෙමින් මම මගේ පොත් රාක්කය ලස්සන කර ගත්තෙමි.

සෝවියට් පොත් අතරත් කතා පොත් වලට වඩා විශාල ලෙසින් මිල අඩු, ඉතාම සුළු මුදලකට අලෙවි කළ පොත් කිහිපයක්ද තිබුණේය. මාක්ස්, එංගල්ස්, සහ ලෙනින් පොත් ත්‍රිත්වය විකිණුනේ එකක් රුපියල බැගිනි. ඒ වන විට වෙනත් සෝවියට් පොතක් වුවද අඩුම වශයෙන් තුනයි පනහක්වත් විය. කැමති පොතක් මිලදී ගැනීමටනම් රුපියල් පහක්වත් වැය කළ විය යුතුය. සෝවියට් දේශයේ පස් අවුරුදු සැලසුම් ගැන පොතක්ද මෙසේ අඩු මිලට විකුනුණේය. මෙසේ වයස අවුරුදු එකොළහක කාලයේදී රුපියලක් ගෙවා මා ලාබෙට මිලදී ගත් එක් පොතක් 'ප්‍රාග්ධනය යනු කුමක්ද?' නම් වූවකි. මෙය ප්‍රාග්ධනය පොතේ සංක්ෂිප්ත අනුවාදයක් හෝ එක් වෙළුමක් විය යුතුය.


විශාල ආශාවක් නොතිබුණත් මෙසේ අමාරුවෙන් උපයාගත් මුදල් වැය කර මිලදීගත් මේ පොත් මා අමාරුවෙන් හෝ කියවා දැම්මෙමි. එහෙත්, ප්‍රාග්ධනය පොතනම් කියවන්නට ගත් නමුත් ඒ වයසේදී කියවන්නට කිසිම ආසාවක් ඇතිවුණේ නැත. ලාබෙට ලැබුණු නිසා මගේ පොත් රාක්කය ලස්සන කරන්නට මිල දී ගත් මේ පොත මා තවමත් සම්පූර්ණයෙන් කියවා අවසන් කර කියවා නැත.

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

20 comments:

  1. පෙර කල මටත් ඔවැනි ආසාවන් තිබුණා. දැන් නැහැ. අද, කලින් ගත්තු පොත් පවා තියෙන්නේ පෙට්ටි වල. ඒවා නැවත කියවන එකකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රයිගම් මං ගැන කියන්න තියෙන්නෙත් ඔය කතාවම තමයි. ඔය තරම් ආසාවෙන් එකතු කරපු පොත් රාක්කය සමඟ අවුරුදු විස්සකින් විතර ලොකු සම්බන්ධයක් නැහැ. දහයකින් කිසිම සම්බන්ධයක් නැහැ. බොහොම කණගාටුවෙන්, ඒත් හිත හදාගෙන, ලොකු පොත් ගොඩක් හීත්රෝ ගුවන් තොටුපලේ කුණු බක්කියකට දාපු අවස්ථාවකුත් තියෙනවා. කීප වරක්ම ලොකු ට්‍රැවලින් බෑග් එකකින් ජීවිතේ අළුතින් පටන් ගත්තා. (දැන් අන්තර්ජාලයේ වස්තු සම්පත් ගොඩගහනවා. :) )

      Delete
  2. මම හරි ආසයි ඔයාගේ ජීවිතය ගැන කියන පොස්ට් වලට ... ඒවල අමුතු ගතියක් තියෙනවා ...ඔහොම යන්..

    ReplyDelete
    Replies
    1. හේතු කිහිපයක් නිසා මගේ පෞද්ගලික තොරතුරු සීමිතවයි ලියන්නේ, අනුර. මේ සමහර දේවල් ලිවුවේ පසුව එන වෙනත් කරුණු වලට අදාල නිසා.

      Delete
  3. අව්‍යාජ සටහනක්.... බොහෝ පොත් ලැදියන්ගේ මූලාරම්භය වෙනස් වන්නේ නම් ඔබේ ක්‍රමවලට වඩා බොහොම සුළු වෙනසකින් පමණි. සෝවියට් දේශය වගේම චින ප්‍රකාශණත් නොමිලේ මා ගෙන්වාගන තිබෙනවා. ඒ වගේම එෆ්ටා බුලටින් නම් පොත ද මා වෙත නොමිලේම වසර ගණනාවක්ම ලැබිණි. එකල පොත් රාක්ක අවශ්‍යතාවක් මට නොතිබිණි. හේතුව අත්තම්මලා දෙදෙනකුගෙන්ම උරුම වු විශාල පෙට්ටගං දෙකක්ම නිවසේ තිබීමත් ඒවා මගේ අයිතියට පොඩි සන්දියේ සිටන්ම ලියැවී තිබිමත් ය. එසේ ඇරැඹි පොත් එකතුව දැන් දකිනවිට ඇත්තටම හිතට දැනෙන්නේ සතුටකි සොම්නසකි. එසේම ඔය ප්‍රාග්ධනය වගේම සමාජවාදී ලේබලය සහිත මගේ පොත් ගොන්නක්ම ජවිපේ ඇතිකළ භිෂණ සමයේ මා නැති අතර වෙලාවක අපේ ගෙදරින් අන්තරස්ධාන කර ඇත. ඒ පොත් ගොන්න ට වූයේ කුමක්දැයි අදටද මා දන්නේ නැත අදටද අම්මා කියන්නේ ද නැත. එය එක්කෝ පළුස්සා දමලාය නැතිනම් වත්තේ කෙළවර ඇති අතහැර දමන ලද පතලකින් එකකය. එවන් පොතක් ළග තබා ගැන්මත් ටයර් සෑයක යන්න වනු ඒ යුගය සිහිවෙන විටත් ඇඟ කිළිපොළා යයි තවමත්.

    ReplyDelete
    Replies
    1. ඔව්, ගම්පෙරළියත් ප්‍රශ්නයක් වුන කාලයක්නේ. මගේ පොත් කිහිපයකුත් ඔය විදිහට ගෙදරින් අතුරුදහන් කරලා තිබුණා. තවත් ඒවා අතුරුදහන් කරන්න කලින් ස්වේච්ඡාවෙන්ම ගෙදරට පේන්න අතුරුදහන් කළා. මම ලියපු සටහන් ෆයිල් එකක් ගෙදරට පේන්න පුච්චලා (ඒ වගේ වෙන එකක්) හොරෙන් සොල්දරේ හංගලා බේරාගත්තා.

      Delete
  4. ඔබගේ මේ ලිපිය සහිත ලින්කුව මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වී නොමැත. මෙය මා දුටුවේ ජී + වලිනි. ඔය ලෙඩේ මටද ඊයේ දින ඇතිවිය.

    ReplyDelete
    Replies
    1. ඔව්, නලින්. මේක කොතැනකවත් රෝල්, සින්ඩි වල අප්ඩේට් වෙලා නැහැ. කිහිප වරක් රීපෝස්ට් කළා ඒත් හරියන්නේ නැහැ.

      Delete
  5. සමගි පෙරමුණු දේශපාලන පලිගැනීම් නිසා, අපේ පවුල සීසීකඩ නොගොස් බේරුනේ අනූනවයෙන්. නමුත් අපි දීර්ඝ කාලයක් ජීවත්ව සිටි කෑගල්ල ප්‍රදේශය අතහැර යන්නට සිදුවීමේ අනිටු ප්‍රතිඵල, අද දක්වාම විඳිනවා.

    පොත් එකතුකිරීම අතින් ඔබත් මමත් බොහොම දුරට එක සමානයි. මගේ පියාත් කිසිදිනක මත්පැන් බිව්වේ නැහැ. නමුත් පයිප්පය හැම වෙලාවේම කටේ. හෘදයාබාධයකින් ඔහු මියගිය අවස්ථාවේ, කටින් ගිලිහුන, අඩක් දුම්කල දැවුණු පයිප්පය, අපේ පවුලේ සිහිවටනයක්.

    ReplyDelete
    Replies
    1. තට්ටුමාරුව අවසන් වීමේ එක් හොඳක් වුනේ දේශපාලන පලිගැනීම් තරමක් දුරට අඩුවීම. ජේආර් මුලින්ම මේ වැඩේ කළත් එකදිගට කාලයක් බලයේ ඉන්නකොට ඒ සඳහා තිබුණු අවශ්‍යතාව නැති වුනා.

      Delete
  6. අන්තිම වෙනකම් බලාගෙන හිටියේ මේ ප්‍රාග්ධනය හොයා ගත්ත හැටි කියවන්නනේ. දඬුවම් මාරුවලින් තැනින් තැනට යන්න වුනත් තාත්තගේ කොන්ද ගැන ආඩම්බර වෙන්න පුළුවන්නේ. එක අතකට ඒ කාපු කට්ට හොඳ ප්‍රාග්ධනයකුත් වෙලා නේද කියල හිතෙනවා මේවා කියවනකොට

    ReplyDelete
    Replies
    1. අනිත් හැමදේම වගේ ආසාවෙන් එකතු කරන පොතුත් අතහරින්න වෙලාවක් එනවා. (මරණය ගැන නෙමෙයි මම කියන්නේ). ඒත් පොත් කියවලා ගත්ත දේවල් තවත් ටික කාලයක් ඉතුරුවෙනවා. අන්තිමට එකතු කරපු ප්‍රාග්ධනය වෙන්නේ දැනුම සහ අත්දැකීම්.

      Delete
  7. මම සමනය පෙළ කරලා ඊට පස්සේ ටියුෂන් දුන්න. ..පොත ගණන් තමා ඒ සල්ලි ගොඩක්ම .වැය කලේ. අපි ඔක්කොම සෝවියට් පොත් ගන්න ගිය අය ??නේද? මිල අඩු කමත් එක ..හේතුවක්. මගේ "අම්මා ,,, වානේ පන්නරය ලැබූ හැටි " වගේ පොත් ගෙදරින් විසික් කරලා තිබුණා ඒ තිබුනේ කාලේ.කලේ..
    http://nelumyaya.com/?p=4203

    ReplyDelete
    Replies
    1. සෝවියට් පොත් ලාබෙට ලැබීම මට පෞද්ගලිකව වාසියක්. ඒත් මේ වගේ දේවල් වල වෙන පැතිත් තියෙනවා.

      Delete
  8. ගූගල් ටයිප් කරන කොට දෙපාර ගානේ ප්‍රින්ට් වෙනවා ..දැන්.

    ReplyDelete
  9. ඒ කාලේ මහණ කමේ අගේ ඈතිම ලොකුම වෑඩේ (සාමඤ්ඤ ඵලය) පොත් කියවන්නට ලෑබුණු 'චාන්ස් එක තමා'.

    මේ තාත්තා නං රටක් වටින තාත්තෙක්.

    ReplyDelete
    Replies
    1. සාමඤ්ඤ ඵලයක් ලෙස නොවුණත් ඔය ප්‍රයෝජනය මමත් හොඳට ගත්තා. පුස්තකාල හැර මම පොත් ලබාගත් අනිත් ප්‍රධානම තැන් වුනේ පන්සල් කිහිපයක්. කිහිප දෙනෙකුගේ පෞද්ගලික පුස්තකාලත් පරිශීලනය කළා.

      Delete
  10. /* පාසැලට හෝ දහම් පාසැලට ආධාර පිණිස ලැබෙන 'කොටු කොළ' මහඟු ආදායම් මාර්ගයකි. */

    මූ මහා හොරෙක්නේ!

    ReplyDelete
    Replies
    1. ඔය පොඩි හොරකම්. පස්සේ කළේ 'වන් ටු වන්' වගේ ලොකු හොරකම්.

      Delete
  11. සල්ලි එකතු කිරීම, පොත් එකතු කිරීම, පාඩම් නොකර විභාග සමත් වීම ( සාමන්‍ය පෙළ තෙක්), පරණ ලී වලින් රාක්ක සෑදීම, මටත් පොදියි. මීට අමතර කළ පිස්සු වැඩක් වන්නේ පාවිච්චි කර ඉතිරි වී තිබු පේන්ට් පාව්ච්චි කර මගේ කාමරයේ පාට නිතර වෙනස් කිරීමයි. ඔබගේ විස්තර පරණ කාළයට සිත අරන් ගියා. ස්තූතියි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.