වෙබ් ලිපිනය:

Wednesday, May 13, 2020

ආහාර නාස්තිය නැති කරන්න බැරිද?


ඇමරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආර්ථික පර්යේෂණ සේවාවේ ඇස්තමේන්තු අනුව, 2010 වසරේදී ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණි ආහාර ප්‍රමාණය රාත්තල් බිලියන 430ක්. මේ ආහාර ප්‍රමාණයෙන් 31%ක් හෙවත් රාත්තල් බිලියන 133ක් පරිභෝජනයට නොගෙන නාස්ති වී තිබෙනවා. මේ ආහාර ප්‍රමාණය නාස්ති වී තිබෙන්නේ සිල්ලර අදියරට පැමිණීමට පෙර සිදුවන වගා හානි හා පසු අස්වනු හානි වලට අමතරවයි. ඒ හානි ගැන පසුව වෙනම කතා කරමු.

ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්. ඒ කියන්නේ මේ විදිහට නාස්ති වී තිබෙන්නේ එම වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් තුන් ගුණයකට ආසන්න වටිනාකමක් ඇති ආහාර ප්‍රමාණයක්. තවත් විදිහකට කියනවානම් කැලරි ට්‍රිලියන 141ක්. ඒ අනුව, එක් ඇමරිකානුවෙකු විසින් දවසකට කැලරි 1,249ක ශක්තියක් ජනනය කරන ආහාර නාස්ති කරනවා. ඒ කියන්නේ මුළු ලංකාවටම අවුරුදු 8කට පමණ කෑමට අවශ්‍ය ආහාර ප්‍රමාණය. එක් පුද්ගලයෙකු විසින් දවසකට ඩොලර් 1.40ක වටිනාකමක් ඇති ආහාර රාත්තල් 1.2ක් නාස්ති කිරීමක්.

මේ විදිහට නාස්ති කරන ආහාර වල වටිනාකමින් 30.0%ක් හෙවත් ඩොලර් බිලියන 48.5ක් කුකුළු මස්, මාළු හා වෙනත් මස් වර්ගයි. ලෝකයේ විශාල පිරිසකගේ සුඛෝපභෝගී ආහාර. 18.6%ක් එළවලු. 16.7%ක් කිරි නිෂ්පාදිත. 12,3%ක් පළතුරු. 8.3%ක් තෙල් හා මේද. 6.9%ක් ධාන්‍ය. 4.1%ක් සීනි හා රසකාරක. බර අනුව බැලුවොත් රාත්තල් බිලියන 25.4ක කිරි නිෂ්පාදිත. රාත්තල් බිලියන 25.2ක එළවළු. රාත්තල් බිලියන 18.5ක ධාන්‍ය. රාත්තල් බිලියන 18.4ක පළතුරු රාත්තල් බිලියන 3.9ක කුකුළු මස් හා රාත්තල් බිලියන 7.2ක වෙනත් මස් වර්ග. රාත්තල් බිලියන 1.5ක මාළු. බිලියන 25ක පමණ බිත්තර ප්‍රමාණයක්.

මේ ආහාර නාස්තිය මා හෝ ඇමරිකාවේ වෙනත් කිසිවෙකු විසින් උත්කර්ශයට නංවන දෙයක් නෙමෙයි. 2030 වන විට ආහාර නාස්තිය 50%කින් අඩු කර ගැනීම ඇමරිකාවේ ඉලක්කයක්. ඇමරිකාවේ ඔය වගේ ඉලක්ක බොහෝ විට ප්‍රායෝගික ඉලක්ක. "එක ආහාර රාත්තලක් නාස්ති නොකිරීමේ" හෝ "වසර තුනක කඩිනම් වැඩ පිළිවෙලකින්" මේ වැඩේ කිරීමේ ඉලක්කයක් ඇමරිකාවට නැත්තේ බොරු ඉලක්ක ඉදිරියට දැම්මා කියා ඒ ඉලක්ක කවදාවත් අත් පත් කර ගන්න බැරි නිසයි.

මම පෞද්ගලිකවත් ආහාර නාස්තියට සංවේදීයි. අපේ දරුවෙකු ආහාර නාස්ති කළ විට මට බොහෝ විට ඇති වන්නේ විශාල කණගාටුවක් හා කේන්තියක්. මේ ඇතැම් ආහාර වර්ග ගැන අප කොයි තරම් කෙළ හලා ඇත්ද කියන එකත් අදටත් ලෝකයේ කී දෙනෙක් ආහාර නැති කමින් කුසගින්නේ ඉන්නවාද කියන එකත් එවිට මතක් වෙනවා. ඇතැම් විට පිසූ ආහාරයක ඉතා සුළු ප්‍රමාණයක් ඉතිරි වී ඇති විට එය කුණු බක්කියට නොදා තනිකරම නාස්තිය වැළැක්වීමේ අරමුණින් ආහාරයට ගන්න පෙළඹුමක් ඇති වෙනවා. මේ පෙළඹුම ජාන වලින් එන දෙයක් වෙන්න ඇති. නමුත්, ඒ පුරුද්ද හැම අතින්ම නරක හා හානිදායක පුරුද්දක්.

මේ ටික මුලින්ම ලිවුවේ මේ ලිපියේ අරමුණ ආහාර නාස්තිය දිරිමත් කිරීම නොවන බව පැහැදිලිව කියන්නයි. එසේ වුවත්, ආහාර නාස්තිය අඩු කිරීම හැම විටම වඩාත්ම කාර්යක්ෂම දෙය නෙමෙයි. ඇතැම් විට ආහාර නාස්ති වෙන්න අරින එකයි වඩාත්ම කාර්යක්ෂම දෙය. මම උදාහරණ කිහිපයක්ම දෙන්නම්.

මේ ලිපියේ සංඛ්‍යාලේඛණ පදනම් වෙන්නේ සිල්ලර අදියරේදී හා පාරිභෝගික අදියරේදී නාස්ති වන ආහාර මතයි. එහෙත් ඊට පෙර ගොවිපලේදී හා පසු අස්වනු අවදියේදීත් ආහාර නාස්ති වෙනවා.

ගොවිපොළේදී ආහාර නාස්ති වන එක් ක්‍රමයක් වන්නේ අස්වනු නෙලාගන්නේ නැතිව ගොවිපොළේම විනාශ වෙන්න ඇරීමයි. මෙයට හේතු වෙන්නේ මිල ගොඩක් අඩු වීම හෝ අස්වනු අඩු වීම වෙන්න පුළුවන්. අස්වනු නෙලීමේ ශ්‍රමය වෙනුවෙන් ගෙවිය යුතු මිල එම අස්වනු විකුණා ලැබිය හැකි ආදායමට වඩා වැඩිනම් අස්වනු නෙලන්නේ නැතිව විනාශ වෙන්න අරින එක වඩා කාර්යක්ෂමයි. මෙහිදී විශාල ආහාර ප්‍රමාණයක් නාස්ති වනවා තමයි. නමුත්, විකල්පය වන්නේ ඊට වඩා වටිනාකමක මිනිස් හෝ යාන්ත්‍රික ශ්‍රමය නාස්ති කිරීමයි. ඒ නිසා එය නොකර ආහාර නාස්ති කිරීම වඩා කාර්යක්ෂමයි.

පසු අස්වනු අවදියේදීත් මෙවැනි තත්ත්වයන් තියෙන්න පුළුවන්. නෙලාගත් අස්වනු ගබඩා කර තබා ගැනීමට වියදමක් යනවා.  ඊළඟ කන්නයේ අස්වනු එන විට ඒ වෙලාවේ මිල දී ගන්න යන වියදමට වඩා පරණ අස්වනු එතෙක් ගබඩා කර තබා ගැනීමේ වියදම වැඩිනම් එම අස්වනු ගබඩා කර ආරක්ෂා කර ගැනීම කාර්යක්ෂම නොවන්න පුළුවන්. මේ අස්වනු වෙනුවෙන් දැනටමත් මිලක් ගෙවා තිබුණත් එය ගිලුණු පිරිවැයක්. ඒ මුදල දැනටම ගිහින් ඉවරයි. ආහාර තොගය තවත් කල් තියා ගැනීමෙන් වෙන්නේ පාඩුව තව තව වැඩි වෙන එකයි.

ඊළඟට සිල්ලර අදියරේදී කල් ඉකුත් වන ආහාර විනාශ කරන්න වෙනවා. මේ ආහාර වලින් වැඩි කොටසක් ඇත්තටම නරක් වෙලා නොතිබෙන්න පුළුවන්. එහෙත් භාවිතයට නුසුදුසු වෙන්න සැලකිය යුතු සම්භාවිතාවක් තිබෙනවා. නරක් වී තිබීමේ ඉඩක් ඇති ආහාර විකිණීමෙන් සිදු විය හැකි හානිය හා සැසඳූ විට එම ආහාර විනාශ කර දැමීමේ හානිය අඩුයි.

අවසාන වශයෙන් පාරිභෝගික අදියර. අපි අපට අවශ්‍ය තරමට වඩා ආහාර මිල දී ගන්නේ, ආහාර පිසින්නේ හා ආහාර පිඟානට බෙදා ගන්නේ ඇයි? ඇත්තටම ඉතා කලාතුරකින් හැර කෙනෙක් නාස්ති කිරීමේ අරමුණින් ආහාර පිඟානට බෙදා ගන්නේ නැහැ. බෙදාගන්නේ කන්න. ඒත් ගත්ත ආහාර ප්‍රමාණය කා ගන්න බැරි බව තේරෙන්නේ පසුවයි. මෙහිදී අවිඥානකව මිනිස්සු කරන්නේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගන්න උත්සාහ කිරීමක්. ආහාර යම් ප්‍රමාණයක් නාස්ති වීමේ හානියට සාපේක්ෂව ආහාර මදි වී කුසගින්නේ ඉන්න වීමේ හානිය වැඩියි. බොහෝ විට ඇත්ත තත්ත්වය මෙවැන්නක් නොවුණත් අප පරිණාමය වී සිටින ආකාරය අනුව අපට හිතෙන්නේ මේ විදිහටයි.

යම් තරමක් වැඩියෙන් ආහාර පිසින එකෙන් පිසූ ආහාර ප්‍රමාණවත් නොවී නැවත ආහාර උයන්න සිදු වීමේ අවදානම අඩු වෙනවා. නැවත වරක් ආහාර පිසින්න සිදු වුවහොත් ඉන්ධන, ශ්‍රමය, කාලය ගොඩක් නාස්ති වෙනවා. ආහාර නාස්තිය ඉහළ ගියත්, ආහාර නැවත පිසීමේ අවදානම අඩු වන නිසා මේ වැඩේ කාර්යක්ෂමතාවය ඉහළ යවන්නක් වෙන්න පුළුවන්. මේ විදිහට වැඩියෙන් උයන හෝ වැඩියෙන් බෙදාගන්නා ආහාර වෙනුවෙන් වැය කරන මුදල කුසගින්නේ සිටීමේ අවදානම අඩු කර ගැනීම සඳහා මිල දී ගන්නා රක්ෂණයක වාරික මුදල වගේ දෙයක්.

මේ කියපු හැම අවස්ථාවකදීම ආහාර නාස්ති කිරීම අකාර්යක්ෂම දෙයක් නොවන්න තිබෙන ඉඩකඩ ඉහළ යන්නේ මිනිසුන්ගේ කාලයේ හා ශ්‍රමයේ වටිනාකමට සාපේක්ෂව ආහාර ඉතා සුලබ හා මිල අඩු වූ විටයි. එය සිදු වන්නේ ආහාර නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම කාර්යක්ෂම වූ පසුවයි.

ඇමරිකාවේ හැම පුද්ගලයෙක්ම නිවසේ සිදුවන ආහාර නාස්තිය මුළුමනින්ම අඩු කළා කියා ඒ ආහාර ඇමරිකාවේ හෝ ලෝකයේ වෙනත් කොනක සිටින කුසගින්නේ සිටින කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒ ආහාර නිෂ්පාදනය වන්නේම මේ විදිහේ නාස්තියක් වන නිසා. මිනිස්සු තමන්ට කුසගින්නේ ඉන්න සිදුවීමේ අවදානම අඩු කර ගැනීම සඳහාත් ආහාර වෙනුවෙන් යම් මුදලක් වැය කරනවා. ඒ පරිභෝජනය සඳහා ඇත්තටම අවශ්‍ය ආහාර වලට ගෙවන මිලට අමතරවයි. මෙය කැමැත්තෙන් ගෙවන මිලක්.

මේ විදිහට බොහෝ දෙනෙක් ඇත්තටම ආහාරයට ගන්න ප්‍රමාණයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් මිල දී ගන්න නිසා ආහාර ඉල්ලුම වැඩි වී මිලත් යම් තරමකින් ඉහළ යනවා. ඒ වෙළඳපොළ ඉල්ලුම සැපයීමේදී ආහාර සැපයුමද ඉහළ යනවා. යම් හෙයකින් මේ නාස්තිය නොතිබුණානම් එම අමතර ආහාර ප්‍රමාණය නිෂ්පාදනය වන්නේම නැහැ.

සමහර වෙලාවට අපේ කුණු බක්කියට යන්නේ ලංකාවෙන් ආනයනය කළ සහල් වලින් පිසූ බත්. මේ විදිහට කුණු බක්කියට යන බත් ටික වෙනුවෙනුත් ලංකාවට අපනයන ආදායමක් හා කිසියම් විදේශ විණිමය ප්‍රමාණයක් ලැබිලා. ඒ නාස්තියත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු වෙනවා. ගෙවුම් ශේෂ හිඟයෙන් අඩු වෙනවා.

මේ ටික ලිවුවේ ආහාර නාස්තිය දිරිමත් කරන්න නෙමෙයි. එහෙත්, ඕනෑම දෙයක ප්‍රසස්ථ මට්ටමක් තිබෙනවා. අලියා සතියකට පාරක් එන්න ඉඩ තිබෙනවානම් නිදිමරාගෙන පැල් රකින එක කාර්යක්ෂම වෙන්න පුළුවන්. එහෙත්, අවුරුදු දහයකට වරක් කුඹුර පාලු කරන්න ඉඩ තිබෙන අලියෙක්ගෙන් අස්වනු රැකගන්න ඒ අවුරුදු දහයම පැල් රකින එක කාර්යක්ෂම දෙයක් නොවෙන්න පුළුවන්.

46 comments:

  1. ඒ උනාට ඔය කියන ආහාර නිශ්පාදනය කරන්න වැය වෙන අනිත් දේවල් එක්ක සසදලා බලන්නත් ඕනෙනේ. වතුර, පොහොර, කෘමි නාශක ආදිය ඔක්කොම සලකලා බැලුවොත් ආහාර නාස්තිය අඩු කරලා පස්සේ නිශ්පාදනය අඩු කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි නේද? බෙදාගන්න ඔක්කොම කන්න බැරි එකටනම් මම හිතන්නේ පොඩි කාලේ ඉඳලා පමණට බෙදාගන්න පුරුදු කළානම් හරි. මම හිතන්නේ ජපානයේ ඒ දේ වෙනවා.

    ReplyDelete
    Replies
    1. වතුර, පොහොර, කෘමි නාශක ආදිය ඔක්කොම සලකලා බැලීමෙන් පසුවත් ආහාර නාස්තියට ඉඩ හැරීම වඩා වාසිදායක වන අවස්ථා තියෙනවා. මම මනඃකල්පිත උදාහරණයක් දෙන්නම්. සැබෑ ලෝකයේ එකක් නොවෙන්න පුළුවන්. අපි වතුර, පොහොර, කෘමි නාශක ආදිය වෙනුවෙන් විශාල මුදලක් වැය කර අඹ ගහක් හදනවා. ගහ ගොඩක් උසයි.

      අ) ගහ මුදුනේ එක අඹයක් තියෙනවා. කඩා ගන්න ඉතා අසීරුයි. ඕක කඩා ගන්න ගිහින් බිම වැටිලා අතක් පයක් කඩා ගන්න වෙන අවදානමත් ගොඩක් වැඩියි. අඹ ගහ හදාගන්න වතුර, පොහොර, කෘමි නාශක, ශ්‍රමය ආදියට රුපියල් 1000ක් පමණ වැය වී තිබෙනවා. අඹ ගෙඩිය කඩන්න ගහට යන්න කෙනෙක් රුපියල් 1000ක් ඉල්ලනවා. කඩේ අඹ ගෙඩියක් රුපියල් 50යි. ඔබ අඹ ගෙඩිය කඩා ගන්නවද? නාස්ති වෙන්න අරිනවද?

      ආ) අඹ ගහ හදාගන්න වතුර, පොහොර, කෘමි නාශක, ශ්‍රමය ආදියට රුපියල් 1000ක් පමණ වැය වී තිබෙනවා. අඹ ගෙඩිය කඩන්න ගහට යන්න කෙනෙක් රුපියල් 1000ක් ඉල්ලනවා. ගහේ අඹ ගෙඩි 500ක් පමණ තියෙනවා. ඕකෙන් ගෙඩි 10ක් පමණ කුරුල්ලෝ කන්න ඉඩ තිබෙනවා. එය වලක්වන්නනම් ගහ ළඟ එක දිගටම කවුරු හරි ඉන්න ඕනෑ. ඔබ එහෙම ඉන්නවද?

      ඈ) ඔබ අඹ ගෙඩි 100ක් ගහෙන් කඩාගෙන ගෙදර ගේනවා. අඹ සතියකින් නරක් වෙනවා. ඊට පෙර මේ අඹ ටික කාලා ඉවර කරන්න බැහැ. මාසයකට පසු ඔබට ගෙදර දානයකට අඹ ගෙඩි 10ක් අවශ්‍යයි. ඒ වෙලාවේ අඹ කඩෙන් ගන්න රුපියල් 50x10 = 500ක් යනවා. ගෙදර ශීතකරණයක් තිබුණත් ඒක හිස්. විදුලි බිල වැඩි නිසා ක්‍රියා විරහිත කරලයි තියෙන්නේ. අඹ ගෙඩි දහයක් (හෝ වැඩි ගණනක්) මාසයක් ශීතකරණයේ තියා ගත්තොත් විශාල විදුලි බිලක් යනවා. ඔබ අඹ ටික එසේ තියා ගන්නවද?

      නැවතත් කියන්නේ මම ආහාර නාස්තිය අනුමත කරනවා නෙමෙයි. නමුත්, එයට ඉඩ දෙන්න සිදුවන අවස්ථා තිබෙනවා. එයයි මම පෙන්වා දෙන්නේ.

      Delete
    2. //බෙදාගන්න ඔක්කොම කන්න බැරි එකටනම් මම හිතන්නේ පොඩි කාලේ ඉඳලා පමණට බෙදාගන්න පුරුදු කළානම් හරි. මම හිතන්නේ ජපානයේ ඒ දේ වෙනවා.//

      ඇමරිකාවෙත් එය කරනවා. උඩ පත්‍රිකාවත් පාසැල් වල ආහාර නාස්තිය අවම කිරීම වෙනුවෙන් සකස් කළ එකක්. නමුත්, වෙනත් තත්ත්වයන්ද තිබෙනවා. උදාහරණයක් ලෙස ඇමරිකානුවන් සමස්තයක් ලෙස එළවලු හා පළතුරු ආහාරයට ගන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් අඩුවෙන්. ජනාධිපති ට්‍රම්ප්ගේ කෑම ගැන පොඩ්ඩක් හොයල බලන්නකෝ. ඒ නිසා එළවළු හා පළතුරු වැඩියෙන් ආහාරයට ගැනීමේ පුරුද්ද කුඩා කාලයේ සිට දිරි ගන්වන්න ඕනෑ. මේ උවමනාව මත පාසැල් වල එළවළු හා පළතුරු (පමණක්) අවශ්‍ය පමණ (අමතර මිලක් නොගෙවා) බෙදා ගැනීම දිරි ගන්වනවා. ඒ නිසා සෑහෙන ආහාර නාස්තියක් වෙනවා. ඒ වගේම ගෙවල් වල දෙමවුපියනුත් කුඩා දරුවන්ට එළවලු පළතුරු වැඩියෙන් කන්න බල කරනවා. පුරුද්ද ඇති කරන්න. මෙහිදී එළවලු පළතුරු ගොඩක් කුණු බක්කියට යනවා. නමුත්, මේ වැඩෙන් කුඩා දරුවන්ගේ එළවලු පළතුරු ආහාරයට ගැනීමේ පුරුද්ද යම් තරමකින් හෝ ඇති වීමේ වාසිය සැලකූ විට ආහාර නාස්තියකට ඉඩ හරින්න වෙනවා.

      Delete
    3. #ඉකොනොමැට්ටා Economatta

      ඉතිං මෝඩ මනුස්සයෝ එක ගෙඩියක් එන අඹ ගහක් හදන්නේ නැතුව හිටියා නං ඉවරනි පොහොර බේත් නාස්ති නොකර.

      Delete
    4. //ඉතිං මෝඩ මනුස්සයෝ එක ගෙඩියක් එන අඹ ගහක් හදන්නේ නැතුව හිටියා නං ඉවරනි පොහොර බේත් නාස්ති නොකර.//

      හොඳ ප්‍රශ්නයක්. පොහොර, බේත් දමා කෙනෙක් අඹ ගහක් හදන්නේ එක ගෙඩියක් ගන්න බලාගෙන නෙමෙයි. ගෙඩි වැඩි ප්‍රමාණයක් ගන්න බලාගෙනයි. හැදෙන ගෙඩි ගණන කලින් හරියටම දැනගත හැකි ක්‍රමයක් නැහැ. ඕනෑම වැඩක් කරන කොට ලැබෙන ප්‍රතිඵලය පිළිබඳ යම් අවදානමක් තියෙනවා.

      Delete
    5. #ඉකොනොමැට්ටා Economatta

      එහෙනං මොකද මොට්ටයෝ අඹ ගෙඩි ගොඩක් හැදුනම ඒකත් හොද නෑ කියන්නේ? මේ මිනිහට ඇත්තටම මොලේ කචල්. මේ මෝඩයෙක් එක්ක කතාකරන අපේ වෙලාවත් අපරාදේ. අනික මුල්ම කොමන්ට් එක දාපු කෙනා කියන්න අස්වැන්න වැඩියෙන් එනවා නං ඒක අතිරික්ත වෙලා නාස්ති වෙනවා ඒක මැනේජ් කරගන්න පුළුවන් ඊලග කන්නයේ ඉදලා අඩුවෙන් වගා කරලා කියලා. ඒකට අදාල නැති උත්තරයක් ඔහේ ලියනවා එක ගෙඩියක් එන ගහක් ගැනයි, ගෙඩි 1000 ක් ගැනයි. අපරාදේ වෙලාව අපේ මේ හෑලි බලන. ටටා. ආයේ නං කොමෙන්ට් දාන්නේ නැ මේකේ.

      Delete
    6. AnonymousMay 13, 2020 at 12:10 PM⁣ ගේ කොමෙන්ටුව ගැන මෙික කියවන අනිත් අය මොකද හිතන්නේ?
      මට නම් හිතෙන්නේ, සිංහල ලියන/කියන අපෙන් බොහෝ දෙනකුට confront වීමට තරමි ශක්තියක් නැහැ. ඉකොනෝගේ තර්කය මඟින් උක්ත ඇනෝගේ තර්කය බිඳ වැටෙනකොට, ඇනෝට ඉහිලුම් නැහැ. එම ඇනෝට කල්පිතය සහ සැබෑව පැටලෙනවා. අන්තිමට මුල් ලේඛකයාට බැනලා යන්න යනවා. ආයේ ඇනෝ කෙනෙක් ලෙස සමහරවිට වෙනත් IP එකකින් ආයේ එනවා. ආයේ බැනලා යනවා. විනයක් නැති නිසා කිසිවක් consistent විදියට කියා ගන්නත් බැහැ.

      ඇනෝ මිතුර, මේ ලිපි ඔබ කියවන්නේ යම් ආවස්ථික පිරිවැයක් දරාගෙනයි. මේවා කියවීමට ඔබ ⁣ඒ ⁣යොදන සම්පත් යොදා මීට වඩා තෘප්තියක්/utility vslue එකක් ලබා ගන්න පුලුවන් ටෙන දෙයක් තිබේ නම් එය සිදු කරන්න. එය වඩාත් ඔබට ආර්ථිකව ඵලදායි වේවි.
      ස්තුතියි.

      CP-C

      Delete
    7. ස්තුතියි CP-C!

      සමහර විට ඔය වගේ කමෙන්ට් එකක් දමන කෙනෙක්ගේ තෘප්තිය තිබෙන්නේ ඔය වගේ කමෙන්ට් එකක් දමන එක ඇතුළේ වෙන්නත් පුළුවන්.

      එහෙම නැත්නම් මෙයත් ඔය අඹ හිටවීම වගේම දෙයක් වෙන්නත් පුළුවන්.

      බ්ලොග් එක කියවන්න එන්නේ සතුටක් බලා ගෙන. ඒ කියන්නේ අඹ ගහට තෙල් පෝර වලට වියදම් කරන්නේ ගෙඩි බලාගෙන. නමුත්, ලැබුණු සතුට ගෙවූ මුදලට (ආවස්ථික පිරිවැයට) වඩා අඩු බව තේරෙන්නේ කියෙවුවට පසුවයි. ඒ වන විට පාඩුව වෙලා ඉවරයි. අර වියදම ගිලුණු පිරිවැයක්. එය ආපසු ගන්න බැහැ. ධම්මික පෙරේරා තැඹිලි රසනම් පමණක් මුදල් ගෙවන්න වෙළෙන්දා එක්ක ඩීල් එකක් දාගන්නෙත් ඔය අවදානම අඩු කර ගන්න. තැඹිලි රස නැත්නම් උගුරක් බීලා ඉතිරි ටික වීසි කරලා මුදල් නොගෙවා ඉන්න පුළුවන්. එවිට පාඩුවක් නැහැ. නමුත්, ඒ අවස්ථාව අපිට හැම විටම ලැබෙන්නේ නැහැ. තැඹිලි රස නැති බව දැනගන්න වෙන්නේ මුදල් ගෙවීමෙන් පසුවයි. එවිට පාඩුව වෙලා ඉවරයි. මැතිවරණ වලින් පස්සේ වෙන්නෙත් ඕකයි.

      මෙහි තිබෙන වෙනස තැඹිලි කතාවේදී මෙන් මුදල් ආපසු ඉල්ලන්න බැහැ. මොකද මම මෙය කියවනවාට මුදලක් අය කරලා නැහැ. ඔහු හෝ ඇය බ්ලොග් එක කියවන්නේ තමන්ගේම කැමැත්තෙන්. එය අවදානමක් තිබෙන ආයෝජනයක්. අවදානම අරගෙන ලිපි කියවන්නේ මේ වෙලාවේ නැති වුනත් දිගුකාලීනව කියවීමෙන් සතුටක් ලබන නිසා. ඒ කියන්නේ බොහෝ විට ලැබෙන සතුට ආවස්ථික පිරිවැයට වඩා වැඩියි. බොහෝ විට තෙල් පෝර දමා හිටවන අඹ ගහේ ගෙඩි හැදෙනවා. සමහර වෙලාවට ගෙඩි නැහැ. ඒ වෙලාවට අතෘප්තිමත්. එම ලිපියෙන් අවසාන වශයෙන් ශුද්ධ ලෙස ලැබෙන්නේ අතෘප්තියක්.

      තවත් අමතර වියදමක් දරාගෙන (කාලය, ශ්‍රමය, ඩේටා) මේ වගේ කමෙන්ට් එකක් දැම්මහම කිසියම් හෝ තෘප්තියක් ලැබෙනවා. එවිට අර පාඩුවෙන් යම් කොටසක් නිශේධනය වෙනවා. මිදී තිත්තයි කියපු නරියටත් ඔය වගේ සතුටක් (යුටිලිටි වැලියු එකක්) ලැබෙන්න ඇති. දේශපාලනඥයින්යින්ට බනින එකත් සියළුම අවස්ථා වලදී නොවූවත් බොහෝ විට ඔය වගේ දෙයක්. දේශපාලනඥයින්යින් කරන වැරැද්දක් විවේචනය කරලා වැරැද්ද නිවැරදි කර ගන්න පුළුවන්නම් එය වෙනම කරුණක්. නමුත්, බොහෝ විට වෙන්නේ තමන් ස්වයං වින්දනයක් ලබන එකයි. එහෙම විවේචනය කරන මනුස්සයාම පහුවෙනිදා තමන්ට වැඩක් කරගන්න දේශපාලනඥයෙක් පස්සේ යනවා. යාලුවෙකුට තමන් වැඩ කරන තැනින් පෝලිම පැනලා වැඩේ කරගන්න උදවු කරනවා.

      ගොඩක් අය යමක් කියවන්නේ තමන් නිවැරදියැයි කියා හිතාගෙන ඉන්න පූර්ව නිගමන නිවැරදි බව තහවුරු කරගන්න. ඒවා වැරදියි කියා හිතෙන කොට කේන්ති යනවා. ඔබ කියනවා වගේම මෙය ලංකාවේ සංස්කෘතික හෝ වෙනත් ප්‍රශ්නයක්. අනෙක් රටවලත් අඩු වැඩි වශයෙන් දැකිය හැකියි. මම මාතෘකාවක් ගැන එක දිගටම නොලියන්නේ මේ හේතුව නිසා. එවිට එක දිගටම කියවන්නේ එසේ ලියන දෙය තමන්ගේ පූර්ව නිගමන සමඟ ගැලපෙන අයයි. අනිත් අය බැහැර වෙනවා. එවිට මම ලියන දෙයින් වැඩක් නැති වෙනවා.

      ලියන එකේ වාණිජ අරමුණක් තිබෙනවානම් මගේ අරමුණ ඉටුවෙන්නේ හැකිතරම් වැඩි පිරිසක් මෙය කියවූ විටයි. පත්තරයක් හෝ රුපවාහිණී නාලිකාවක් වගේනම් එවිට ආදායම ඉහළ යනවා. නමුත්, අන්තිමට එක් එක් රූපවාහිණී නාලිකාව වටා එකතු වෙන්නේ ඒ නාලිකාවේ අදහස් වලට සමාන අදහස් තිබෙන අයයි. ඔවුන් ස්වයං වින්දනයක් ලබනවා මිසක් එයින් කාගෙවත් අදහස් වෙනස් වෙන්නේ නැහැ. බොහෝ විට එම පිරිස හිතන විදිහ තවත් පටු වෙන එකයි වෙන්නේ.

      මට එවැන්නක් අවශ්‍ය නැහැ. මෙය කියවන හැම කෙනෙක්ම මම හිතන විදිහටම හිතන අයනම් ඒ අයට ඒ දේවල් අමුතුවෙන් කියන්න මගේ කාලය යොදවන එකේ තේරුමක් නැහැ. මට වැදගත් වන්නේ ටික දෙනෙකුගේ හෝ හිතන පරාසය පුළුල් කරන එකයි. වරින් වර මාතෘකා වෙනස් කළාම සමහර අයට නොදැනීම තමන් අකමැති දේවලුත් කියවන්න වෙනවා. එයින් ඒ වෙලාවේ අසතුටක් ලැබුණත් කොයි වෙලාවක හෝ මෙහෙම දෙයක් ඉකොනොමැට්ටා කියා තිබුණා කියන එක මතක් වෙනවා.

      Delete
    8. මේකේ CP-C කියලා කොමෙන්ට් කරන්නෙත් ඉකොනෝමැට්ටාම තමයි. එයාම ප්‍රශ්නේ අහලා එයාම උත්තරේ දෙනවා. ඉකොනෝමැට්ටාට සාමානයෙන් එයාගේ සංඛ්‍යා ලේඛන වැරදියි, එයා කියන දේ නිවැරදි නැහැ පෙන්නුවම, ලියපු දේවල් නිසා නොන්ඩි උනාම දරා ගන්නට බැහැ. මිනිහා ඇමරිකාවේ කොන් වෙලා ඉන්න නිසා මිනිහට එහෙ සමාජයක් නැහැ. ඉතිං ඉන්ටර්නෙට් එකේ වර්චුවල් ලයිෆ් එකක් ගොඩනගාගෙන ඒකෙ තමයි ජීවත් වෙන්නේ. මිනිහගේ සතුට තමයි මේක. ඇමරිකාවේ ඉපදුනු කෙනෙක්ටත් වඩා ඇමරිකාවට කඩේ ගියාට එහෙ ඈයෝන්ට ඉකොනෝමැට්ටා කියන්නේ ආසියාතික මෝඩයෙක්. ඉතිං ඒක වහගන්න තමයි මේ ඔක්කොම.

      බ්ලොග් එකෙත් කවුරුහරි කොමෙන්ට් දාලා මැට්ටාට වැරදුනා කිව්වම මිනිහා කරන්නේ ෆේක් බස්සන එක. ඇනෝ කොමෙන්ට් මිනිහම දාගන්න එක. ඊට පස්සේ එව්වට ප්‍රොෆයිල් එකෙන් ඇවිත් උත්තර දීගන්නවා. අර ලාල්කාන්ත දවසක් පත්තරේකට දුන්නු ඉන්ටවිව් එකක් නිසා ඉකොනෝට රිදිච්ච පාර තාම වෙලාවකට බුහ් බුහ් ගානවා. මිනිහා ඒ වගේ දේවල් සිරියස් ගන්නවා. ළමා මානසිකත්වයක් තියෙන, සමාජයෙන් කොන් උන, මසුරු මිනිසෙක්. ලැජ්ජාව නිසා ආයෙත් ඇනෝ ඇවිත් කොමෙන්ට් කරයිද දන්නේ නෑ මේකටත්. පව් ඉතිං එක අතකින් බැලුවම. මනුස්ස ජිවිතයක්නි මෙහෙම හෑල්ලු වෙන්නේ.

      Delete
    9. ඉකොනෝ, මේ ඇනෝ කොමෙන්ටුවට ම⁣ගේ නමත් ගෑවී ඇති නිසා මට මීට පිලිතුරක්දීමට අවශ්‍යය.
      1. ඇනෝ මිතුර, මා යමක් මට වඩා දන්නා අයකුගෙන් පැහැදිලි කර ගන්නේ, අසා දැන මට පොරක් වීමට අවශ්‍ය නිසාය.ඒ පොරත්වය මම ආයෝජනය කරන්නේ මේ ලෝක රටාව තේරුම් ගැනීමටය. මට එහි අවුලක් නොපෙනේ. මගේ ප්‍රශ්නයට මගේම උත්තරය යම් පමණකින් හෝ ඉකොනෝ අනුමත කරනවා යනු ඔහු කියන දෙය මට බොහෝ දුරට වැටහෙනවා යනුයි. ඉතින් එය ඔබට අවුලක්ද?

      2. Econo ගේ virtual හෝ real හෝ මේ life එකට ඔබ ඊර්ෂ්‍යා කරන්නේ ඇයි?

      3. ලාල් කාන්ත යනු ජවිපෙ , චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලයේ හිටපු කුුුුුඩා කර්මාන්ත ඇමතිද? ඒ කාලයේ කොටුව කාර්යාලයේ දවල්ට side walk එකේ සිට කාපු බත් පැකට් මතකද කියලා අහන්න. නැත්නම් සිරිපාල අමරසිංහ අ.ස.සේ.සං. යේ ලේකම් වෙලා ඉන්නකොට අන්තරේ සභාපති වෙලා හිටපු ලාල් කාන්ත ගැනද මේ ඔබ කතා කරන්නෙ? දළුගම දාස එක ඉස්සසරාහා අන්තරේ කාර්යාලයට වැදුන බෝමිබ ප්‍රහාරය මතකද කියලා අහන්නකෝ එයාව හම්බ වුනොත්..හරිද?
      අහලා කියන්න.

      CP-C

      Delete
    10. ඔන්න දැක්කනි. කිව්වා වගේම ඇනෝ ඇවිත්. ලාල්කාන්ත ගැන මතක් කරත් ඇති. උපරිම වේදනාවේ සලකුණු. මානසික ලෙඩාට අනුකම්පා කරමු. මොනා උනත් වැඩිය කවුරුත් බ්ලොග් ලියන්නෙත් නැති කාලේ බ්ලොග් ලියලා, මිනිහම කොමෙන්ට් දාගෙන අපිට දෙන ආතල් එකත් මදෑ.

      Delete
    11. එතැන ඉහල කියලා තිබුනේ පොර තෙල් ආදියටත් වැය වෙන නිසා නාස්තිය අඩු කරගත්තොත් හොදයි කියල නේ..ඉතින් ඉකොනොමැට්ටා කිව්වා ඒක හරි ඒත් හැම වෙලාවෙම නෙමෙයි කියලා. ඒකට උදාහරණයකුත් දුන්නා.
      සාමාන්‍යයෙන් එලෝලු නෙලන අවස්තාවේදි බණ්ඩක්කා වැටකොලු වගේඑලෝලු කොටසක් මෝරනවා..කරවිල පතෝලවගේ ඒවා කොටසක් ඉදෙනවා..ඒකමොන ගොවිපලේදිත් වෙන සාමාන්‍ය දෙයක්.අපි ඕ ඉදිලා මෝරලා යන ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අඩු කරගන්න යන එක කරන්න අමාරුයි. ඒ වෙනුවෙන් කරන කැපකිරීම තේරුමක්නැහැ.. පනුවෝ කෑම ඉදිලා නරක්වීම සතුන් කෑම ආදී දේ නිසා නාස්තිවන කොටස වුනත් එක්තරා ප්‍රමාණයක් තමයි අඩුකරගන්න පුලුවන් වෙන්නේ..තෙල් ගැහුවාය පොර ගැහුවාය කියලා අවසාන සතේටම එකතු කරගන්න බැහැ නෙ..

      ඒක බොහොම සරල දෙයක්. මම හිතන්නේ කමෙන්ට් කරුවාටත් ඉකොනොමැට්ටාටත් මේක බලන සියයට 99ක් පිරිසටත් මේ සරල දේ තේරෙන්න ඇති. අර පනුවෝ කන එලොුලු සම්පූර්ණයෙන් නවත්වන්නබැහැ වෙග් මේ වගේ නොතේරෙන උදවියත් 0ක් කරන්න බැහැ.. තමුන් තේරුම් ගන්නේ නැතුව අනුන්ට බැනලා යන පිරිසත් 0ක් කරන්න බැහැ.. ඒකට උත්සාහ කරන එක තේරුමකුත් නැහැ.

      Delete
    12. ඔබ කරුණු දෙක සම්බන්ධ කර ඇති ආකාරය අනර්ඝයි!

      Delete
  2. ඉකොනෝමැට්ටා, මාගේ අදහස නං අහාර සුරක්ෂිත කරමු/ නාස්තිය අවම කරමු වගේ කතා පුකේ බයිලා. මොකද අපි කියලා අවුරුදු සිය ගනන් ඉන්න එකක් ඇයි. උපරිම අවුරුදු අසුවක් සීයක් ඉදි. ඔකෙනුත් ආතල් එකේ ඉන්න පුළුවන් අවුරුදු කියද? ඒ නිසා අනාගත පරපුර ගැන හිතලා ආහාර සුරක්ෂිත කරමු, ලෝකේ රැක ගමු වගේ අනං මනං හුත්තවල් හිතන්නේ නැතිව පුළුවන් තරං අධිපරිභෝජනවාදයෙන් ඉදලා මැරිලා යන්න තියෙන්නේ. ලෝකේ වර්තමානයේ මොකක් හරි දෙයක් ගන්න තියෙනවා නං ඒක අද අරං ෆන් ගන්න ඕනි. අපෙන් පස්සේ එන උන්ට හෙන ගැහුවත් අපිට වැඩක් නෑ. අපේ ආතල් එක අපි අරං ඉවරයි. මොකද අපි කියලා ආයේ ඉපදෙන එකක් ඇයි. අහම්භයක් විදියට ඉපදුනා, දැන් ඉතිං සැපේ ඉදලා, අවුරුදු ගාන ගෙවලා මැරිලා යනවා, එච්චරයි. අනික අපිට අපිට අපේ වැඩ වලට ප්ලාස්ටික්, පොලිතින් යුස්‌ කරන්න ඕනි නං අපි ඒක උපරිමේට භාවිතා කරලා අපේ වැඩේ කරගන්න ඕනි. අපේ ජිවිතේ අපි උපරිම අධිපරිභෝජනයෙන් ඉන්න ඕනා. අපෙන් පස්සේ එන අයට මේක රකින්න ඕනි අරක මේක පුකේ කතා, අපි හිටියා, සැප ගත්ත, මැරුණා. එච්චරයි බං. මොකද අපි මැරුණම පස්සේ අපිට පස්සේ එන උන් අපිට පුකේ අරින්නද. බොරු බයිලා වැඩක් නැහැ.ණයවෙලා හරි පුළුවන් තරම් අධිපරිභෝජනයෙන් ඉදපන්.

    ReplyDelete
    Replies
    1. මිතුර, මම නම් අධිපාරිභෝජනවාදයට නම් දැඩි ලෙස විරුද්ධයි. නිදසුනක් ලෙසට ඔබ ඔය යෝජනා කරන ලෙසට plastic භාවිතා කරනවා කියලා හිතමු.
      පසුවට ඒවා degrade වෙලා හැදෙන micro plastic particles වලට මොකද වෙන්නේ..ඒවා කොහේද නවතින්නේ කියලා හොයලා බැලුවොත් සමහරවිට ඔබ පාරිභෝජනය තුල මීට වඩා සැලකිලිමත් වේවි.

      CP-C

      Delete
    2. ඇනෝ May 13, 10.45 PM

      Well said. අමු සිංහලෙන් කියල තියෙන දේ ටිකක් අප්සෙට් වගේ වුණත් ඇත්තටම ඔබ ඉතාම වැදගත් අදහස් හා යෝජනා ගොඩක් වටින ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

      ඔබගේ මේ කමෙන්ට් එක මගේ පුරුදු රැසක් වෙනස් කරන්න සහ මගේ ජීවිතේ ප්‍රතිපත්ති සියල්ල සම්පූර්ණ වශයෙන්ම වෙනස් කරන්නට සමත් වුණා.

      ඇත්තටම නිරාගමික අදහස් තිබුණත් මමත් මේ තාක් පරිසර හිතකාමී දේශයට ආදරය කරන අනාගත පරපුරට වඩා යහපත් සමාජයක් රටක් දායාද කළ යුතුයි වගේ යල්පැන ගිය වැරදි අදහස් මත ක්‍රියා කළා. අද සිට මා දන්නා හඳුනන සහ විශ්ව විද්‍යාල කිහිපයකම දේශකයකු වශයෙන් ක්‍රියාත්මක වන අතර මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමගින් මේ සම්පූර්ණයෙන්ම වෙනස් නමුත් සැබෑ සත්‍ය පිළිබිඹු කරන අදහස් සමාජ ගත කිරීමට අවශ්‍ය සියලු දේ කිරීමට අදිටන් කරගනිමින් සෘජුව ක්‍රියාත්මක වෙනවා. ඔබට බොහොම ස්තුතියි මගේ දැක්ම පැහැදිලි කිරීම සම්බන්ධයෙන්...

      Delete
    3. මමත් CP-C සමග එකඟ වෙනවා. ඒ ගමන්ම උඩ ඇනොලා දෙන්නම ලියල තියෙන්න පැරඬි දෙකක් කියලත් හිතෙනවා.

      Delete
  3. මම හිතන විදිහට ඔය ආහාර නාස්තිය හා දුෂණය වගේ දේවල් නිකම්ම නිකම් මනස්ගාත විතරයි. කිසිම තේරුමක් නෑ. මම හිතන්නෙ මුළු ලෝකයටම ඇති තරම් භාණ්ඩ හා සේවා සියලුම දේ තම තමන් කැමති තරම් සහ ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් ඕනෑවටත් වඩා මිලදී ගන්න නිදහස ලබා දිය යුතුබවයි. මිනිස්සු තමන් කැමති දේ කාල බීල ඉඳී. ආණ්ඩුවට සහ වෙනත් ආයතන වල ඉන්න අමනයින්ට අහවල් අමාරුවක් ද? කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නාස්ති අවම කිරීම ස්වභාවික ඉල්ලුම සැපයීම සමග වෙළඳපොලට නිදහසේ වෙන්න ඉඩ දෙන්න ඕන. ඒක අවශ්‍ය නම් ඉබේම වෙයි. නොවෙනවා නම් ඒකත් අවුලක් නැහැ. නාස්ති වුණත් මොකද හැමෝටම අවශ්‍ය තරම් කැමති දේවල් ලැබෙනව නම්.

    //2030 වන විට ආහාර නාස්තිය 50%කින් අඩු කර ගැනීම ඇමරිකාවේ ඉලක්කයක්. //

    ///ඇමරිකාවෙත් එය කරනවා. උඩ පත්‍රිකාවත් පාසැල් වල ආහාර නාස්තිය අවම කිරීම වෙනුවෙන් සකස් කළ එකක්. නමුත්, වෙනත් තත්ත්වයන්ද තිබෙනවා. උදාහරණයක් ලෙස ඇමරිකානුවන් සමස්තයක් ලෙස එළවලු හා පළතුරු ආහාරයට ගන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් අඩුවෙන්. ඒ නිසා එළවළු හා පළතුරු වැඩියෙන් ආහාරයට ගැනීමේ පුරුද්ද කුඩා කාලයේ සිට දිරි ගන්වන්න ඕනෑ. මේ උවමනාව මත පාසැල් වල එළවළු හා පළතුරු (පමණක්) අවශ්‍ය පමණ (අමතර මිලක් නොගෙවා) බෙදා ගැනීම දිරි ගන්වනවා. //

    හරිම පුදුමයි.... ඔය වගේ මරිමෝඩ අමු මැටි මීහරක් වැඩ ඇමරිකන් ආණ්ඩුව විසිනුත් කරනවාද? මම නම් හිතන්නේ නෑ. හැබැයි ඇත්තටම එහෙම කරනවා නම් ඒවා ඇමරිකන් ආණ්ඩුවේ අමුම අමු ගොන් පාට්.

    මීටත් වඩා අමු පිස්සු මොංගල් වැඩ මෙන්න මේවා...

    ///ඒ වගේම ඇමරිකන් ගෙවල් වල දෙමවුපියනුත් කුඩා දරුවන්ට එළවලු පළතුරු වැඩියෙන් කන්න බල කරනවා. පුරුද්ද ඇති කරන්න. මෙහිදී එළවලු පළතුරු ගොඩක් කුණු බක්කියට යනවා. නමුත්, මේ වැඩෙන් කුඩා දරුවන්ගේ එළවලු පළතුරු ආහාරයට ගැනීමේ පුරුද්ද යම් තරමකින් හෝ ඇති වීමේ///

    යකෝ ඇමරිකන් මිනිස්සු ලංකාවේ උන්ටත් වඩා රට ගොන් මී හරක් රැලක් ද? ළමයි කන්න පුරුදු වෙන්න ඕන තම තමුන්ට කැමති ඕනෙම දෙයක් මිසක් දෙමාපියන් කැමති කුණුහරුප කරන්න පුරුදු වෙන්නෙ අහවල් ලබ්බටද?

    තම තමන්ගේ සෞඛ්‍ය, ආයුෂ ආදිය ගැන සහ ඊට අදාල ආහාර පුරුදු ගැන ළමයි පොඩි කාලෙදි ඉඳන් දැනුවත් කිරීම නම් කළාට කමක් නෑ හැබැයි මේ වගේ ගොන් විදියට බලෙන් කන බොන දේවල් ගැන මළ විකාර කරන එක නම් මහා ගොන් වැඩ තමයි අනිවාර්යයෙන්ම මොන රටේ මොන මෝඩ මී හරක් කළත්....

    මේ බලන්න මේකත්;

    නූතන වසංගත තත්ත්වය අනුව නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමය මත පදනම්ව ලංකාවේ සිද්ධ වෙන දේවල් ගැන සාකච්ඡාවක්....

    https://youtu.be/W6sRKhMs_6w

    මේක සම්පූර්ණයෙන්ම බලලා ඉකොනොමැට්ටාගේ අදහස් එක්ක පෝස්ට් එකක් ලියනවනම් විශාල පිරිසක් ඒ පෝස්ට් එක කියවන බව නම් මට 100% ෂුවර්. මමත් ෂෙයා කරලා ප්‍රසිද්ධ කරන්න කටයුතු කරනවා.

    ReplyDelete
    Replies
    1. //තම තමන්ගේ සෞඛ්‍ය, ආයුෂ ආදිය ගැන සහ ඊට අදාල ආහාර පුරුදු ගැන ළමයි පොඩි කාලෙදි ඉඳන් දැනුවත් කිරීම නම් කළාට කමක් නෑ හැබැයි මේ වගේ ගොන් විදියට බලෙන් කන බොන දේවල් ගැන මළ විකාර කරන එක නම් මහා ගොන් වැඩ තමයි අනිවාර්යයෙන්ම මොන රටේ මොන මෝඩ මී හරක් කළත්....//

      මේකත් ඔබ කියන දැනුවත් කිරීමේ කොටසක්ම තමයි. ඉතාම කුඩා කාලයේ කොහොමටත් දරුවන්ගේ ආහාර ගැන තීරණ ගන්නේ දෙමවුපියන් විසින්. මාස ගණනක හෝ අවුරුදු දෙකක පමණ වයසකදී වුවත් දරුවෙක්ට කන දේවල් හා නොකන දේවල් ගැනවත් අවබෝධයක් නැහැ.සමහර විට අහුවෙන දේවල් කටේ දාගන්නවා. ළදරු ආහාර බෝතල් දෙන කාලයේ සිට ඇඹරූ එළවලු පළතුරු නොදුන්නොත් පහු වෙන කොට රුචිකත්වය නැතුව යනවා.

      පාසැල් යන වයසක දරුවෙක්ට හොඳ ආහාර පුරුදු ගැන කියා දෙන අතරම ඒ ආහාර ලබා ගැනීම සඳහා විකල්පයකුත් දෙමවුපියන් විසින් ප්‍රායෝගිකව සැලසිය යුතුයි. එළවලු පළතුරු ගෙදර නැත්නම් ළමයාට ඒවා කන්න ක්‍රමයක් නැහැ. නමුත්, ගෙදර එළවලු පළතුරු තියෙනවානම් කන්න හිතෙන වෙලාවක හෝ කනවා. ඒ නිසා දෙමවුපියන්ගේ යුතුකම ගෙදර එළවලු පළතුරු හැම වෙලාවකම (වාගේ) තිබෙන බවට වග බලා ගැනීමයි. දෙමවුපියන් විසින් බොහෝ විට කරන්නේ එයයි. එහෙම නැතුව ළමයා එළවලු පළතුරු නොකන නිසා නාස්ති වන එක වලක්වන්න එළවලු පළතුරු ගේන්නෙම නැතුව හිටියොත් ළමයාට මේ අවස්ථාව කවදාවත් ලැබෙන්නේ නැහැ.

      පාසැල් වල කරන්නෙත් සැලඩ් බාර් එකක් විවෘත කර තියන එක. ප්‍රධාන ආහාරය මිල දී ගත යුතු වුවත් සැලඩ් බාර් එකේ තිබෙන දේවල් මුදල් නොගෙවා ආහාර වේලට එකතු කර ගන්න පුළුවන්.

      ඊට අමතරව මේ වැඩේ කරන්න වෙනත් හේතු කිහිපයක්ද තියෙනවා.

      Delete
  4. Buddy, the answer to your polemical statement actually embedded in the proposed 4 th law of thermodynamics, originaly proposed by Lotka. The stability and sustainability of macro systems cannot stand upon entrophy change, alone.

    If Econo commence a valid discussion on that ,i.e. on your comment , I will actively participate in that discussion.

    මුලු ලෝකෙටම ඇති තරම් සහ ඉල්ලුමටත් වඩා වැඩි විදියට භාණ්ඩ සහ සේවා නිපැයිය හැකි නම් ආර්ථික විද්‍යාවේ core issue එක විසඳිලා. එතකොට ප්‍රශ්නය විසඳිලා නිසා විද්‍යාවක් ඕනෙත් නැහැ.

    මාක්ස්-ලෙනින්වාදය , අරාජිකවාදය විතරක් නොවෙයි ධනවාදය මඟින් වුවත් යෝජනා කරන Garden of Eden/සුගති උද්‍යානයක් මිහිමත ඇති කරන්න බැරි ඇයි කියලා අපි තේරුම්ගත යුත්තේ සාමුහිකවයි. ඒ සඳහා පාවිච්චි කල හැකි ප්‍රබල න්‍යායයන් තියෙන්නේ බටහිර විද්‍යාව තුලමයි.

    සාකච්ඡාව දිගටම කරගෙන යමු.
    සැමට ජය!

    CP-C

    ReplyDelete
    Replies
    1. //මුලු ලෝකෙටම ඇති තරම් සහ ඉල්ලුමටත් වඩා වැඩි විදියට භාණ්ඩ සහ සේවා නිපැයිය හැකි නම් ආර්ථික විද්‍යාවේ core issue එක විසඳිලා. එතකොට ප්‍රශ්නය විසඳිලා නිසා විද්‍යාවක් ඕනෙත් නැහැ.//

      ඔබ සමඟ සෑහෙන දුරකට එකඟයි. ආර්ථික විද්‍යාව කියන විෂය හැදිලා තියෙන්නේම අවශ්‍යතා තරමට අවශ්‍යතා සැපිරීමේ මාර්ග නැති වීමේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න. ධනවාදී විසඳුම සහ සමාජවාදී විසඳුම ඒ සඳහා විකල්ප විසඳුම් දෙකක්. විසඳුමක කොටස් දෙකක් තිබෙනවා. පළමු කොටස දැනට තිබෙන සම්පත් මිනිසුන් අතර බෙදී යා යුත්තේ කොහොමද කියන එක පිළිබඳව. එය ආර්ථික විද්‍යාවට පිටින් දාර්ශනික තලයේ තිබෙන සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා, මේ පදනම මත ධනවාදය හෝ සමාජවාදය වඩා හොඳයි කියා තර්ක කරන්න බැහැ. මොකද දාර්ශනික පදනම් දෙකක්. හැම විටම එකකට සාපේක්ෂව අනිත් එක නරකයි. මෙය කෙටිකාලීන ප්‍රශ්නය හා විසඳුම කියා කියන්නත් පුළුවන්.

      දෙවන ප්‍රශ්නය දිගුකාලීන එකක්. දිගුකාලීනව (අවශ්‍යතා වලට සාපේක්ෂව) සම්පත් ප්‍රමාණය වැඩි කරන්නේ කොහොමද කියන එක. එහිදී සුගති උද්‍යාන අදහස මම හිතන්නේ බොහෝ දුරට මාක්ස්වාදී අදහසක් කියලයි. මම පෞද්ගලිකව මේ කරුණ ගැන උනන්දු නිසා මගේ ලිපිවල කතා කළත් මෙවැනි සන්තෘප්ති අවස්ථාවක් ගැන ධනවාදී ආර්ථික විද්‍යාවේ කතා කෙරෙන බවක් මම දැක නැහැ. ඇත්තටම මම ඒ ගැන හොයා බලලත් නැහැ. නමුත්, එහෙම තත්ත්වයක් ඇති වෙන්න ඉඩක් ඇතැයි මට හිතෙනවා. මේ කොටස අපි කවුරුත් හරියටම නොදන්නා ඉසවුවක්. පෞද්ගලිකව මට බුද්ධි කලම්බනයක් ඇති කරවන ඉසවුවක්. ඒ වගේ සමතුලිතතාවයකට කිට්ටු වෙද්දී දැනට වැඩ කරන ගොඩක් නියම බිඳ වැටී වෙනස්ම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සමහර විට මිනිස් වර්ගයා වඳ වී යාම වුනත්. මේ වඳ වීම විවිධ ආකාර වලින් අර්ථ දක්වන්න පුළුවන්. උදාහරණයක් ලෙස යුවාල් හරාරි අර්ථයෙන් හෝමෝ දෙයුස් කෙනෙක් ආදේශ වීම.

      පළමු ප්‍රශ්නයට ධනවාදී විසඳුම වඩා සාර්ථකයි කියා කියන්න පුළුවන් වෙන්නේ දෙවන ප්‍රශ්නයට ඇති විසඳුමට සාපේක්ෂවයි. මේ කරුණේදී අපට ක්‍රම දෙක සංසන්දනය කරන්න පුළුවන්. එය ගණිතය යොදා ගෙන කළ හැකිවාක් මෙන්ම පෙනෙන්නට තිබෙන දේවල් වලින් අනුභූතික ලෙස තහවුරු කරන්නත් පුළුවන්. මම ධනවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ මේ පදනමින්. දෙවන විසඳුමේ සාර්ථකත්වය විසින් පළමු විසඳුමේ දාර්ශනික පදනමද සාධාරණීකරණය (justify) කරනවා. මොකද සමාජවාදී ඉලක්කයට ධනවාදී ක්‍රමය හරහා වඩා කාර්යක්ෂම ලෙස ගමන් කළ හැකියි.

      ඔය දෙකටම වෙනස් විසඳුම්ද තියෙනවා. මම හිතන විදිහට බෞද්ධ විසඳුම එවැනි තෙවැනි විසඳුමක්. අමාරු වැඩක් වන සැපයුම වැඩි කරනවා වෙනුවට මිනිස්සු වෙනස් වීමෙන් ඉල්ලුම අඩු වෙනවා. ඒ වගේම සැපයුමට සරිලන සේ 100%ක්ම ඉල්ලුම වෙනස් කර ගත හැකි තරමට නම්‍යශීලී වෙනවා. ඒ නම්‍යශීලිත්වය නිසා හැම වෙලාවෙම ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. හැබැයි මේ වැඩේ වෙන කොටත් දැන් ඉන්න හෝමෝ සේපියන්ස් දිය වෙලා ගිහින් වෙනස් මිනිහෙක් හැදිලා. එහෙම නැත්නම් මිනිහෙක් කියා අර්ථ දැක්විය හැකි කෙනෙක් නැත්තටම නැති වෙලා. ඒ අතින් යුවාල් හරාරි කියන හෝමෝ දෙයුස්ට සමානයි.

      ඔබ යෝජනා කරන තාපගතික විද්‍යා නියම අනුසාරයෙන් මේ ගැන හිතන එක උනන්දුව ඇති කරවන අදහසක්. මම කලින් ඒ අදහසට ප්‍රමාණවත් තරමින් නිරාවරණය වී තිබුණේ නැහැ.

      Delete
  5. මම මට හැකි පමණින් ආහාර විතරක් නෙවෙයි, වතුර, විදුලිය වගේ දේවල් වුණත් අපතේ නොයවන කෙනෙක්. කුස්සියේ හෝදන වතුර- ඉඳුල් වතුර එහෙමත් එකතු කරලා පුංචි ඉඩක හදාගෙන තියෙන ගස් කොළන්-වැල්වලට දානවා. එක කරන එකෙන් වතුර ඉතිරි වෙනවාවගේම පසත් බුරුල් වෙනවා; ඉඳුල්වලට ඇදෙන කුඹි නිසා.

    මෙහෙම අදහස්වලින් සිදුවෙන හොඳේ තමයි කැමති අය තම- තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න එක. කැමතියි නම්.

    අනාගත පරම්පරාව වෙනුවෙන් හිතලා, කාරුණික වෙලා අධි පරිභෝජනය අඩු කරගන්න එක නේද අපේ මනුස්සකම.
    අපේ ගෙදර තේ හදන්න වතුර උණු කරන්නේ ඒ වෙලාවේ තේ බොන්න ඉන්න ගණන බලලා අවශ්‍ය තරමට විතරක් වතුර ලිපේ තියලයි. ඒ ගැන උපදෙස් දීලත් අපේ නංගිලා තවමත් කේතලේට ඔහේ වතුර දාලා උණු කරනවා.

    මට ඒ අදහස ආවේ බිත්තරයක් තැම්බීම හා හාෆ් බොයිල් කිරීම ගැන කියවූ ලිපියකින්. කියවන- බලන- අහන- දකින දේවල්වලින් නේද අපි ඉගෙන ගන්නේ?

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඉකොනොමැට්ටා කියන විදියට ඇමරිකාවෙ ස්කෝල වල දැනට අහාර නාස්තිය සාපේක්ෂව වැඩි උනත් ඒ මිනිස්සු එහෙම වෙන්න හරින්නේ අනාගතේ ලැබෙන්න නියමිත ප්‍රතිලාභ සාපේක්ෂව වැඩි නිසා නෙ. මේවා ඔක්කොම තීරනය වෙන්නේ ජීවන තත්වය මත. අපිට මේක මහාලොකු නාස්තියක් වගේ පෙනුනට ඔව්න්ට මේක පොඩි නාස්තියක් වෙන්න ඇති. හැබැයි එක කරන්නේ වෙන විකල්පයක්. නැති නිසා. නැතුව ලොකු කමකට නෙමෙයි මට හිතෙන විදියට

    ReplyDelete
  8. ඉකොනෝ මිතුර, මේ ඔබ ලියා ඇති ලිපිය ඉතාමත් විවාද සම්පන්න වාගේම නොමඟ යවන සුලු බවකුත් ඇතැයි මට හැඟෙනවා. ඉහත මහේෂ් දක්වා ඇති අදහස බලන්න. ඔහු නිගමනයකට පැමිණ සිටිනවා ආහාර නාස්තිය, එනම් අධිපාරිභෝජනවාදය, ප්‍රතිලාභ වැඩි කරන දෙයක් කියලා. ජීවන තත්ත්වය උසස් වීම ආහාර සහ බලශක්තිය නාස්ති කිරීමට හේතුවක් ලෙස මට නම් නොපෙනේ. එසේ කරන්නේ විකල්පයක් නැති නිසා නොවෙයි, නොසැලකිල්ල නිසායි. නිදසුනක් ලෙසට සීත සෘතුවේදී නිිිිිවස තුල heaters තිබුනත් සිරුර උණුසුම් කරන ඇඳුමක් දා ගත්තොත් ඇතැම් විට භාවිතා කරන BTU ගණන අඩු කර ගත හැකියි නේද?
    අනිත් අතට, නිදි තේ හදනකොට හාවිතා කරන තාප ඒකක ගණන ගැන සැලකිලිමත් වෙනවා. නිදි එසේ තාප ඒකක අඩු ප්‍රමාණයක් භාවිතා කරනකොට, තවෙකෙක් නොසැලකිල්ල නිසා වැඩි තාප ප්‍රමාණයක් භාවිතා කරන එක සාධාරණීකරණය කරන්නේ කෙසේද?

    තවත් පැත්තක් තියෙනවා: FAO අනුව ලෝක ජනගහනයෙන් 12% ට නියමිත කැලරි ප්‍රමාණය නොලැබෙනවා. මේ 12% නියමිත කැලරි ප්‍රමාණය ලබා දෙන වැඩ පිලිවෙලකට ගියොත් උතුරු ඇමරිකාව ආහාර අර්බුදයකට නොයයිද?

    අවසාන ලෙසට ඇනෝ May 13, 10.45 PM විසින් දෙන ලද කොමෙන්ටුව ඔබ එතරම් උත්කර්ෂවත් ලෙස සලකන්නේ ඇයි? මට නම් වැටහුනේ අධිපාරිභෝජනවාදය ඔබ උසස් දෙයක් ලෙස සැලකීමෙන් ආර්ථික විද්‍යාවේ අධි සංවේදී සියුම් තැනක් වන සම්පත් හිඟතාවය, එය මඟ හරවා ගැනීමට ගත යුතු මඟ සහ environment sustainability එක ඔබ දෙවැනි තැනකට ඇද දැමුවාද කියායි.

    (මහේෂ්ව සහ නිදි ව මෙහි සඳහන් කලේ අධ්‍යන පරමාර්ථයක් සඳහා පමණි.)

    CP-C

    ReplyDelete
    Replies
    1. ඔය ඔබ කියපු ඇනෝ තමා අපේ රටේ හුදීජන සාමාන්‍ය මානසිකත්වය. අනුන් ගැන, පරිසරය ගැන සිතන නිහඩ සුලුතරයක් විතරක් ඉන්නවා.වැඩි දෙනෙක්ගෙ පරමාදර්ශය ධම්මික පෙරේරා වගේ අය.

      ඊරිසියාව, කුඩුකේඩුකම, මුග්ධකම - අදටත් අපේ දූපත් මානසිකත්වය වෙනස් වෙලා නෑ. ආඬි හත්දෙනාගෙ කැඳ හැලියම තමා- හොරාකෑම සමාජගතවෙලා( social norm).
      ඒක නිසා රටේ වැඩි දෙනෙක්ගෙ කැමැත්ත, සිංගප්පූරුවෙ ලී ක්වාන් යූ, චීනෙ ෂී ජින්ග්පින් වගේ benevolent dictator කෙනෙක් ඇවිත් රට ගොඩ දානවට,

      මං උදාහරණයක් දෙන්නම්. එක හොර ගුහාව කියල හැමෝම දන්නවා. ඒ දැණගෙන නොදැක්කා වගේ ඉන්නවා. ගෝටා ඕක දන්න නිසා පැන්නා.වැඩේ නැවතුනාද?

      Oh, by the way good luck with your agricultural adventure.

      Delete
    2. කියන්න ඕන වුනේ RMV එක කියලයි, සමාවෙන්න

      Delete
    3. //ඉහත මහේෂ් දක්වා ඇති අදහස බලන්න. ඔහු නිගමනයකට පැමිණ සිටිනවා ආහාර නාස්තිය, එනම් අධිපාරිභෝජනවාදය, ප්‍රතිලාභ වැඩි කරන දෙයක් කියලා.//

      ඔහු ලියා තිබෙන දෙය මම තේරුම් ගන්නේ ඒ විදිහටම නෙමෙයි. මම හිතන්නේ ඔහු ලිපියේ ඇති කරුණු නිවැරදිව තේරුම් ගැන ඇති බවයි. මේ ගැන වැඩිපුර කතා කරන්න කලින් අපට අධිපාරිභෝජනවාදය කියන එක ගැන එකඟතාවයකට එන්න වෙනවා. මේ වචනය මගේ ශබ්දකෝෂයේ තිබෙන වචනයක් නෙමෙයි.

      //ජීවන තත්ත්වය උසස් වීම ආහාර සහ බලශක්තිය නාස්ති කිරීමට හේතුවක් ලෙස මට නම් නොපෙනේ. එසේ කරන්නේ විකල්පයක් නැති නිසා නොවෙයි, නොසැලකිල්ල නිසායි. නිදසුනක් ලෙසට සීත සෘතුවේදී නිිිිිවස තුල heaters තිබුනත් සිරුර උණුසුම් කරන ඇඳුමක් දා ගත්තොත් ඇතැම් විට භාවිතා කරන BTU ගණන අඩු කර ගත හැකියි නේද?
      අනිත් අතට, නිදි තේ හදනකොට හාවිතා කරන තාප ඒකක ගණන ගැන සැලකිලිමත් වෙනවා. නිදි එසේ තාප ඒකක අඩු ප්‍රමාණයක් භාවිතා කරනකොට, තවෙකෙක් නොසැලකිල්ල නිසා වැඩි තාප ප්‍රමාණයක් භාවිතා කරන එක සාධාරණීකරණය කරන්නේ කෙසේද?//

      මම මේ උදාහරණයම ගන්නම්. මොකද මෙය මගේ පෞද්ගලික ජීවන විලාසිතා වලටද අදාළ දෙයක් නිසා.

      1. මම ඉපදුනෙත් ජීවිතයේ වැඩි කාලයක් ගෙවුවේත් ලංකාවේ. මගේ ප්‍රියතම ඇඳුම සරම. ගොඩක් වෙලාවට මම පාවහන් නොපැළඳ උඩුකය නිරුවත්වයි ඉන්නේ. විවාහ වී සුළු කාලයක් මගුල් මුද්ද ඇඟිල්ලේ තිබුණා. ඒ හැර ආභරණ කිසිවක් පැළඳ නැහැ. මේ මොහොතේත් මම ඉන්නේ ඔය විදිහටයි. කමිසයක් ඇන්දහම මට දැන් දැනෙන සැහැල්ලුව දැනෙන්නේ නැහැ. මේක මානසික ප්‍රශ්නයක් වෙන්න ඇති. සංස්කෘතික පුරුද්දක් වෙන්න ඇති. නමුත්, මේ පුරුද්ද වෙනස් කර ගත යුතු හේතුවක් මට පෙනෙන්නේ නැහැ. [ඇමරිකාවේ ඉපදුණු සීමිත වාර ගණනක් පමණක් ලංකාවට ගොස් තිබෙන මගේ පුතාගේ ප්‍රියතම ඇඳුමත් සරම. ළඟදීත් වෝල්මර්ට් එකෙන් රෙදි ගෙනත් අපි දෙන්නටම සරම් දෙකක් මැහුවා. ඇමරිකන් කොඩියේ රටාව තිබෙන සරම්!]

      2. මෙහි ජීවත් වන මම දන්නා ලංකාවේ බහුතරය ඔබ කියන විදිහට ඇඳුම් කිහිපයක් ඇඳගෙන ගෙදර උෂ්ණත්වය අඩුවෙන් තියාගෙන ඉන්නවා. නමුත්, එහෙම කරන්නේ බිල අඩු කරගන්න මිසක් පරිසරය රැකගන්න නෙමෙයි. [එහෙම හිතන සුළු පිරිසක් ඇති]

      3. මම බොහෝ විට නිවසේ සිටයි වැඩ කරන්නේ. කාර්යාල වේලාවන් ඉරි ගසා වෙන් කරගෙන නැහැ. 24x7ම වැඩ කරනවා. ඒ අතර වෙනත් වැඩත් කරනවා.

      4. ගෙදර අවශ්‍ය උෂ්ණත්වය නැති විට වගේම ඇඳුම් අස්සේ හිර වී ඉන්න කොටත් මගේ ඵලදායීතාවය අඩු වෙනවා. මානසික ඒකාග්‍රතාවය අඩු වෙනවා.

      5. ගොඩක් අය තත්ත්ව සංකේතයක් ලෙස හා/හෝ ලෙස සලකා පුළුවන් තරම් ලොකු ගෙයක් ගන්නවා. අරගෙන එය රත් කිරීමේ වියදම වැඩි නිසා ඔබ කියන විදිහට ඇඳුම් කිහිපයක් ඇඳගෙන සීතලේ ඉන්නවා. මම මිල දී ගෙන තිබෙන්නේ මට සහ පවුලේ අයට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රමාණයට ඉඩකඩ තිබෙන ගෙයක්. ඊට වඩා තරමක් ලොකු ගෙයක් මිල දී ගන්න මට බැරිකමක් නැහැ. නමුත්, මට අවශ්‍ය නැහැ. මේ ගෙදර උෂ්ණත්වය මම සීමා කරන්නේ නැහැ. වඩා ලොකු නිවසක් වෙනුවෙන් මෝර්ගේජ් එක ගෙවමින් බිල් අඩු කරගන්න සීතලේ ඉන්න ජනප්‍රිය තේරීම වෙනුවට මගේ තේරීම වී තිබෙන්නේ නිවසේ වර්ග අඩි ගණන ඕනෑවට වඩා වැඩි කර නොගෙන උෂ්ණත්වය අවශ්‍ය මට්ටමේ තියා ගැනීමයි. ඇත්තටම අවසාන වශයෙන් මගේ BTU ගණන අඩු වෙන්නත් පුළුවන්. ඒ නැතත්, නියමිත උෂ්ණත්වය නැති විට මගේ ඵලදායීතාවය අඩු වීමේ හානියට වඩා BTU ගණන වැඩි වීමේ හානිය අඩුයි.

      6. නිවසේ සූර්ය කෝෂ සවි කිරීමේ විකල්පය ගැන මම සලකා බලමිනුයි හිටියේ. නමුත්, සියළු කරුණු සලකා බැලීමෙන් පසුව මේ මොහොත වන විට එසේ නොකිරීම වඩා කාර්යක්ෂමයි.

      7. ඔබට ඔබ අධිපරිභෝජනයක් කරනවා කියා හිතෙනවානම් එය සීමා කර ගැනීමේ නිදහස තිබෙනවා. මටත් එහෙමයි. නමුත්, මම ඔබේ පරිභෝජනය සීමා කිරීම සාධාරණීකරණය වන්නේ ඔබේ පරිභෝජනය නිසා මට (හෝ වෙනත් තෙවන පාර්ශ්වයකට) හානියක් සිදු වෙනවා කියන පදනමින් පමණයි. ඒ වගේ තත්ත්වයක් යටතේ වෙළඳපොල සමතුලිතතාවය හොඳම සමතුලිතතාවය නොවෙන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේදී externalities ලෙස හඳුන්වන්නේ මෙවැනි තත්ත්වයන්. පාරිසරික ප්‍රශ්න පිළිබඳ අධ්‍යයනයන් බොහෝ විට සිදු කෙරෙන්නේ මේ externalities නිසා සිදුවන වැරැද්ද නිවැරදි කිරීමේ පදනමකිනුයි. මගේ බිල්පත් වලට මේ externalities වෙනුවෙන්ද බද්දක් එකතු වෙනවා. ඒ වගේම මම සූර්ය කෝෂ සවි කළොත් මට මුලදක් ආපසු ලැබෙනවා.

      Delete
    4. මගේ BTU ගණන වැඩිවීම නිසා ඔබට හානියක් වෙනවානම් මම ඔබට ඒ වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතුයි. කාබන් බදු වගේ දේවල් වල මූලධර්මය එයයි. මම මගේ BTU ගණන අඩු කළ විට ඔබේ හානිය අඩු වන නමුත් එයින් ඔබේ හානිය පූරණය වන්නේ නැහැ.

      //තවත් පැත්තක් තියෙනවා: FAO අනුව ලෝක ජනගහනයෙන් 12% ට නියමිත කැලරි ප්‍රමාණය නොලැබෙනවා. මේ 12% නියමිත කැලරි ප්‍රමාණය ලබා දෙන වැඩ පිලිවෙලකට ගියොත් උතුරු ඇමරිකාව ආහාර අර්බුදයකට නොයයිද?//

      මෙයට පිළිතුරු දෙන්න කලින් ඔබ අදහස් කරන "මේ 12% නියමිත කැලරි ප්‍රමාණය ලබා දෙන වැඩ පිලිවෙල" කවර ආකාරයේ එකක්ද කියා කියන්න පුළුවන්ද?

      //අවසාන ලෙසට ඇනෝ May 13, 10.45 PM විසින් දෙන ලද කොමෙන්ටුව ඔබ එතරම් උත්කර්ෂවත් ලෙස සලකන්නේ ඇයි?//
      මම හිතන්නේ ඉහත කමෙන්ටුව වගේම AnonymousMay 13, 2020 at 4:19 PM කමෙන්ටුවත් පැරඩි කියලයි. එසේ නොවුණත් ඔය විදිහට හිතන අය ඕනෑ තරම් ඉන්නවා. මා මෙය උත්කර්ෂවත් ලෙස සලකන සේ ඔබ හැඟෙන්නේ කවර කරුණක් නිසාද කියා ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?

      [තරමක් කාර්ය බහුල නිසා පිළිතුරු දෙන්න ප්‍රමාද වෙන්න පුළුවන්. එතෙක් අලුත් පෝස්ට් එකක් නොදමා ඉන්නම්.]

      Delete
    5. තවත් කරුණක්. "2030 වන විට ආහාර නාස්තිය 50%කින් අඩු කර ගැනීම ඇමරිකාවේ ඉලක්කයක්." කියා මම උඩ ලිවුවනේ. මෙය කරන්න ප්‍රධාන හේතුවක් වන්නේත් එහි තිබෙන පාරිසරික හානියයි. මොකද මේ ආහාර වැඩි ප්‍රමාණයක් යන්නේ landfills වලටයි. ඒ නිසා, ආහාර දැන් තරමටම නාස්ති වෙද්දී වුවත් landfills වලට යන ප්‍රමාණය අඩු කර ගැනීමෙන් සමස්ත හානියෙන් සෑහෙන කොටසක් අඩු කරගන්න පුළුවන්. මේ සඳහා ආහාර පමණක් වෙනම එකතු කර කොම්පෝස්ට් කිරීම විසඳුමක්. අපේ ගෙදරත් මේ වැඩේ කරනවා. මගේ ආයතනයේත් මෙය කරනවා. මෙහි දෙවන වක්‍ර වාසියක් වන්නේ අපි කොයි තරම් ආහාර නාස්ති කරනවාද කියන එක හොඳින් පේන්න ගන්න එකයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර නාස්තිය අඩු වෙනවා. (සංඛ්‍යාලේඛණ මත පදනම්ව කියන දෙයක්). negative externalities නැත්නම් තමන්ගේ සල්ලි ගෙවා මිල දී ගන්නා දේ නාස්ති කිරීම හෝ නොකිරීම පෞද්ගලික තීරණයක්. එහෙත් negative externalities ඇති විට මෙය ප්‍රශ්නයක් වෙනවා.

      "ඊට අමතරව මේ වැඩේ කරන්න වෙනත් හේතු කිහිපයක්ද තියෙනවා." කියා උඩ කමෙන්ටුවක ප්‍රතිචාරය අවසානයේ දැම්මේ මේ කරුණ සහ තවත් අදාළ කරුණු ගණනාවක් විස්තර කරන්න සෑහෙන වෙලාවක් යන නිසයි.

      අප දෙදෙනාම දන්නා පරිදි ලෝක මට්ටමේ පාරිසරික ප්‍රශ්න ගොඩකට හේතුව වී ඇත්තේත්, විසඳුම තියෙන්නේත් බොහෝ දුරට ඇමරිකාව වැනි රටවල මිස ලංකාවේ නෙමෙයි. ලංකාවට විසඳාගත යුතු ඊට වඩා මූලික මට්ටමේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඇමරිකාව විසින් කළ යුතු දේ සිංහලෙන් ලියන මේ වගේ බ්ලොග් එකක ලිවුවා කියලා ඒ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපි වගේ "ආසියාතික මෝඩයින්ට" වුවත් බලපෑමක් කිරීමේ ශක්තියක් තිබෙන තවත් අය එක්ක එකතු වී මේ වගේ කරුණු සම්බන්ධව සක්‍රිය මැදිහත් කිරීමේ අවස්ථාව ඇමරිකාවේ තියෙනවා. මේ බ්ලොග් එක ප්‍රතිරූපයක් ප්‍රවර්ධනය කර ගැනීම සඳහා හෝ පොරටෝක් සඳහා පවත්වාගෙන යන එකක් නොවන නිසා ඒ දේවල් මෙහි ලියන එකේ තේරුමක් නැහැ. රටක් විදිහට ඇමරිකාව මුහුණ පාන ප්‍රශ්න තිබෙනවා. ඇමරිකාවට මැදිහත්වීමක් කළ හැකි ලෝක මට්ටමේ ප්‍රශ්නත් තිබෙනවා. ඒ ප්‍රශ්න වලට විසඳුම් ලෙස අපට යම් යෝජනාවක් ඇත්නම් එය කළ යුතු හා කළ හැකි තැන්ද තිබෙනවා. ඒ වගේ දේවල් මේ වගේ සිංහල බ්ලොග් එකක ලිවීමෙන් කරන්න පුළුවන් ස්වයං වින්දනයක් ලැබීම පමණයි.

      Delete
    6. මේ සංවාදයට එකතු වූ බොහොමයක් දෙනා සහ සංවාදය ඇරඹූ ඉකොන්ටත් මගෙ ගෞරවය.
      මමත් නිදි සහ CP-C කිව්ව වගේ සම්පත් පරිභෝජනය ගැන සැලකිලිමත්.
      ඉකොන් සූර්‍ය පැනල සවි කිරීම ගැන සලකා බලා එය අතහැර දැමූ බව කීවා. මේ ගැන තව ටිකක් අදහස් දක්වන්න පුලුවන්ද?

      Delete
    7. ඇනෝ තුමා හෝ තුමිය වෙතයී.
      ඉතාමත් දුගී පව්ලක ඉපදුනු කෙනෙක් වශයෙන් මමත් ආහාර වල අගය ඉතාමත් හොන්දින් දන්නවා. මම ඔබට මගේ හිතේ තිබුන අදහස සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල දෙයකින් පැහැදිලි කරන්නම්.
      මගේ දුව ගස්ලබු කෑමට ඉතා ප්‍රියයි. ඒක නිසා ගොඩක් දුරට අපි නිතරම එවා මිලදි ගන්නවා. ගොඩක් දුරට අපි ගන්නෙ දුව නිසා. මොකද අපිට හැමදාම කන්න බැහැනේ. ඉතින් අපි දුවට විතරක් කන්න ගස්ලබු ගෙඩියක් ගත්තොත් ගන්න වෙන්නේ ගොඩක් පොඩි ගෙඩියක්.මොකද එයා කන්නෙ කෝප්ප බාගයක් විතර දවසකට වැඩිම උනොත්. ඔබතුමා දන්නනේ ප්‍රමානයෙන් අඩු ගස්ලබු ගෙඩියක් ගත්තොත් අපිට හම්බ වෙන්නෙර් බොහොවිට අමුවෙන් ( ගැට කාලෙම) කඩපු, ඇට්ටකුනා වෙච්චි තේරිච්ච ගෙඩියක්. හැබැයි නාස්තියක් නෑ හෝ අවමයි. ඒත් පාරිභෝගිකයාට ( අවසානයේ මගේ දුව) ලැබෙන්නේ රසයෙන්, ගුනයෙන් ඉතා අඩු කෑමක්.
      හැබැයි මම තව ගානක් වියදම් කරලා හොන්දින් සම්පුර්ණ වුන නියමිත කාලෙදිම අස්වනු නෙලපු හෝ ගහේම තරමක් දුරට ඉදුනු ගස්ලබු ගෙඩියක් ගත්තොත් ලමයා ඒක අසාවෙන් පරිභෝජනය කරයි. ඒ උනාට මගේ නාස්තිය, අපතේ යවන ප්‍රමාණය වැඩී. ( අපි අහාරයට ගත්තේ නෑ කියලා හෝ කුරුල්ලෙකුට කෑමටවත් දුන්නෙ නෑ ශීතකරනයේ දැම්මේ නෑ කියලා හිතුවොත්) මේ අවස්තාවෙ මම ගන්නෙ නම් ලොකු ගස්ලබු ගෙඩිය. මේ වෙලාවෙ මට වටින්නේ මගෙ ලමයගෙ පෝශනය, තෘප්තිය මිසක් නාස්තිය හෝ අදිපරිබෝජන කරුනු නෙමෙයි.( ඒක අඩු කර ගන්න එක වෙනම දෙයක් සහ කරන දෙයක්)
      හැඹයි මේ ඔක්කොම තීරනය වෙන්නෙත් මගේ ජීවන තත්වය සහ ක්‍රය ශක්තිය මත. සමහර විට නොගෙන ඉන්නත් පුලවන්.

      Delete
  9. මැතකදී මියගිය, ජර්මන් ජාතිකයෙක් වූ මගේ සේවය කරන ස්ථානයේ ප්‍රධානියා ආහාර නාස්තිය ගැන හැමවිටම කතා කල කෙනෙක්. හේතුව තමයි දෙවන ලෝක යුද්ධයෙහිදී ආහාර හිගවීම නිසා ඔවුන් මුහුණ දී තිබූ දුෂ්කරතා . යුද්ධයෙහිදී ජර්මනිය ඉදිරියෙන් සිටින විට ආහාර හිගයක් තිබිල නෑ. නමුත් ජර්මනිය පැරදුනු පසු ආහාර සපයා ගන්න අසීරු වෙලා තියෙනවා. මුළු දවසම අර්තාපල් සුප් වලින් ගත්කල දවස් කියන්න බැරි තරම් බව කීවා. මස් හිග නිසා අශ්වයන් පවා මසට අරං. නව පරපුරේ අය ආහාර වල ගහලා තියන Best before දිනය පසු වු වහාම ඒවා කසල වලට දාන කොට ඔහු කීවේ අපිට ඒ කාලේ දැනුන බඩගින්න මේ අය දන්නවා නම් කවදාවත් ඔහොම කෑම නාස්ති කරන්නේ නෑ කියලා. සමහර වෙලාවට සතියක් පරණ පාන් ආහාරයට ගන්නා විට අපි හිනා වෙනවා බඩේ තියෙන්නේ ග්‍රරයින්ඩරයක්ද කියලා.එහෙම කලේ ඔහුට මුදල් නැතිව නෙමෙයි.රුසියානු සය ඇමරිකානු හමුදා භටයින් ගෙන් පවා ඔවුන් කෑම හිගාගෙන තියනවා.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ කල් ඉකුත් වීමේ දින වෙනුවට Best before දවසක් ගහන්නේ මිනිස්සුන්ට තමන්ගේ අභිමතය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නයි.

      Delete
    2. අපි කියන්නේ best before පහු උනාම එන්නෙ better before, ඊටත් පස්සෙ good before ... කියලයි. :D

      Delete
  10. ආහාරයක් නිශ්පාදනය වන්නේ විශ්වයේ එන්ට්‍රොපිය විශාල වශයෙන් වැඩිකරමින්. එවන් ආහාරයක් නිකරුනේ නාස්ති කිරීම මහා පාපයක්.
    ඒ ගැන දරුවන් දැනුවත් කරන්න.

    පව්කාරයන් වු අපට තනිවම එන්ට්‍රොෆිය අඩුකරගන්න ශක්තියක් නෑ. නමුත් එන්ට්‍රොෆි වැඩිවන සීඝතාවය අඩුකලහැකියි.
    ආමෙන්!

    ReplyDelete
    Replies
    1. ඒ නාස්තිය වලක්වන්න ගත යුතු එන්ට්‍රොපිය අඩුවෙන්ම ඉහළ දමන විකල්ප ක්‍රියාමාර්ගය නිසාත් විශ්වයේ එන්ට්‍රොපිය ඊට වඩා ඉහළ යනවනම් කරන්න ඕනෑ මොකක්ද?

      Delete
    2. එතකොට බලන්න ඔ්නේ නාස්තිය වලක්වාගැනීම නිසා ජනනයවන එන්ට්‍රොපිද, නාස්තිය වලන්වා ගැනීම නිසා ආහාර නිශ්පාදනය අඩු කරගත හැකි වීමෙන් ඉතිරිවෙන එනිට්‍රොපියද වඩා වැඩි කියන එකයි.
      බොහෝවිට නාස්තිය වලක්වා ගැනීමෙන් ජනනයවන එන්ට්‍රොපිය අඩු වෙනවා.

      Delete
    3. එන්ට්‍රොපියක් ගැන කතා නොකළත් මම කියන්නෙත් ඔය කරුණම තමයි. නාස්තිය වළක්වා ගැනීම බොහෝ විට කාර්යක්ෂමයි. නමුත්, යම් සීමාවකදී එය අකාර්යක්ෂම වෙනවා.

      Delete
  11. ඉකොනො සහ comment කොටන්නනි,

    මම මේ වැදගත් සංවාදයෙන් ඉවත්වී නැත.
    එහෙත් අද මම රැකියාව කරන ආයතනයේ covid19 රොිගීන් දෙදෙනෙක්මම හමුවීම නිසාත්, ඔවුන්ට self isolate වන්නට සිදුවීම නිසාත්, ඔවුන්ගේ වැඩ කටයුතුවලින් සෑහෙන කොටසක් මටත් සිදුකරන්නට සිදුවීම නිසා මට මේ සංවාදයට සහභාගී වීමට යම් ප්‍රමාදයක් සිද වේවි. කෙසේ වෙතත් ඉදිරි පැය 20 පමණ කාලය මට කාර්යය බහුල වේවි. නමුත් මම එනවා..එනවාමයි.

    මීටර් දෙක තියාගත්තත්, mask දාගෙන හිටියත්, හෝදමු අපි හෝදමු ..හෝදමු අපි හෝදමු කියලා අත හේදුවත් මේ වසන්තය කෙසේ වෙතත් මේ වසන්තයේදී නම් covid19 එනවා සත්තයි ගුරු ගීතයේ වාගේ.

    ReplyDelete
  12. මහත්තයා මේක post එකට නම් අදාල නෑ. IOC ලාබය 2020 jan- mar කාර්තුවේ minus වෙලා. ඇයි ලෝක වෙළඳපොලේ තෙල් මිල මෙච්චර අඩුවෙලා තිබියදීත් ලාභය අඩු වෙන්නේ.revenue 2019-jan_mar වලට වඩා වැඩි නමුත් cost of sales 2020 දි 2019 වඩා වැඩි වෙලා .පැහැදිලි කරන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. 2020 Q1 මූල්‍ය වාර්තා වලට ලින්ක් එකක් දමන්න පුළුවන්ද?

      Delete
  13. අධිපරිබෝජනය නිසා ඊලග පරපුරට තමයි බැටේ වදින්නේ කියන එක වැරදියි. දැන් අපේ රටට ලැබෙන ජලය ප්‍රමාණය වැඩියි. අපි කිසිම අරපිරිමැස්මක් නැතුව ඔහේ ජලය අපතේ දානවා. ගොවිතැන් වලට ජලය පාවිච්චි කිරීමෙත් අරපිරිමැස්මක් කළමණාකරනයක් නැහැ. කොළම නගරයම රදා පවතින්නේ මාස දෙකක විතර ප්‍රමානයක ධාරිතාවක් තියෙන ජලාශ වල ජලයෙන්. යම් විදිහකින් මාස දෙකකට එහා කොළඹට පෑව්වොත් තත්වය ඉක්මන්ටම සවුත්තු වෙනවා.

    ජලය කියන දේ විතරක් සැලකුවත් නාස්තිය අවම කිරීම අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම සහ කළමණාකරනය කියන එක අපෙන් පසුව එන ජනතාවට වඩා අපේ පරම්පරාවටම වැදගත් වෙනවා. දැනටමත් දකුණු වෙරළබඩ වැස්ස යහමින ්ලැබෙන කළුතර මාතර වගේ පැතිවලත් මාසයක් දෙකක් පායන කොට අපිටසිද්ද වෙන්නේ ලුනු වතුර බොන්න. එක් පැත්තකින් අතිවිශාල මුදලක් වියදම් කරලා ජලය පිරිසිදු කරලා බෙදන යුනිට් ගහන්න ඕනි අනෙක් පැත්තෙන් අපි ජලය ඉතුරු කරගන්න ඕනි. ඔතනදි අඩුගානේඒ වගේ ජල ගැටලුවක්තියෙන පැතිවල ජනතාවවත් වැසි ජලය එකතුකරගන්න, ලබෙන ජලය පරිස්සමින් පාවිච්චි කරන්න දිරිමත් කරනවා නම් අඩු තරමේ ටැපි වතුරෙන් කරන වගා කිරීම් ටික සීමා කරන්නනවත් ඒ පාලකයින් ක්‍රියා කරනවා නම්.. එතැනදි නාස්තිය අඩු වෙලා වතුර කඩෙන් ගන්න සිද්ද වෙන ප්‍රමාණය අඩු වෙනවා.

    පොලිතින් පස්නය, කසල පස්නය, එලවල පලතුරු නාස්තිය වගේ හැම දෙයක්ම වගේ ඊලග පරම්පරාවක නෙමෙයි මේ පරම්පරාවේ පස්න. පොලිතින් ප්ලාස්ටික් කුනු එකතු වෙලා ගොඩගැහිලා ඒවා පෙරලිලාලංකාවේ මිනිස්සු මැරුනා.. ඒකත් ඇවිල්ලා එක්තරා විදිහක නාස්තිකාරකම් වල මෙව්වා එකක්. කසල කළමණාකරනය වගේම කසල විදිහට බැහැර වෙන ප්‍රමාණ්‍ය අඩු කරගැනීමත් ඇතැම් රටවල පුරුදු පුහුනු වෙනවා. මොකද කසල විදිහට එලියට දාලා අයේ ඕවා පිරිසිදු කරනවාට වඩා කසල අඩුවෙන් ජීවත්වෙන එක වඩාත් වාසිදායකයි..

    ටොපික් එක පොඩ්ඩක් විතර පැන්නා වුනත් මට කියන්න උළුමනා වුනේ නාස්තිය/ අරපිරිමැස්ම කියන දේ නැතිම කරන්න බැරි වුනත් අපිට අඩු කරගෙන කළමනාකරනය කරගන්න එකෙන් ලොකු ඉතුරුවක් කරගන්න පුලුව්න මෙලොව ජීවිතයටම.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: