Monday, May 11, 2020

ආහාර ආනයන වියදම වැඩිද?


ලංකාවේ හා ඇමරිකාවේ වී වගාවේ කාර්යක්ෂමතාවය ගැන අපි සංසන්දනයක් කළා. පැහැදිලිවම ඇමරිකාවේ වී ගොවිතැන් කෙරෙන විදිහ වඩා කාර්යක්ෂමයි. ලංකාවේ කුඹුරු අක්කරයකින් ලබා ගන්නා වී අස්වැන්න වගේ දෙතුන් ගුණයක් ඇමරිකාවේ වී ගොවියෙක් විසින් ලබා ගන්නවා. නමුත්, ඇමරිකාවේ වී ගොවියෙක්ට සාපේක්ෂව ලංකාවේ වී ගොවියෙක් දුප්පතෙකු වී සිටින්න ප්‍රධාන හේතුව මෙය නෙමෙයි. හේතුව මෙයනම් ඇමරිකාවේ වී ගොවියෙකුගේ ආදායම ලංකාවේ වී ගොවියෙකුගේ ආදායම මෙන් දෙතුන් ගුණයක් විය යුතුයි. එහෙත්, එම පරතරය ඊට වඩා බොහෝ විශාලයි.

අජිත් ධර්මා විසින් යෝජනා කළ සමුහ ගොවිපොළ සංකල්පයෙන් ලොකු ප්‍රයෝජනයක් නොලැබෙන්නේත් මේ හේතුව නිසයි. ගොවීන් විශාල පිරිසක් එකතු වී ලොකු තනි ගොවිපොළක් හදා ගත්තොත් ප්‍රමාණයේ වාසිය ලබා ගෙන අස්වැන්න වැඩි කර ගන්න පුළුවන්. නමුත්, ලැබෙන අස්වැන්න එසේ එකතු වූ ගොවීන් පිරිස අතර බෙදී ගියාට පසුව එක් අයෙකුට ලොකු වාසියක් නැහැ. ඇමරිකාවේ ගොවියෙකු විශාල ආදායමක් ලබන්නේ එක් ගොවියෙකු සතුව විශාල ඉඩම් ප්‍රමාණයක් තිබීමේ වාසිය ලබා ගනිමිනුයි. වී ගොවිතැන ගැන අපි අවධානය යොමු කළත් පොදුවේ කෘෂිකාර්මික අංශය පිළිබඳ තත්ත්වය මෙයයි.

මේ කරුණින් තවත් දෙයක් පැහැදිලි වෙනවා. ලංකාව වගේ රටවල ප්‍රධාන ප්‍රශ්නය ගොඩක් අය හිතාගෙන ඉන්නවා වගේ ප්‍රාග්ධනය නැතිකම නෙමෙයි. ප්‍රාග්ධනය පොම්ප කරලා ආර්ථිකයකට තාවකාලික තල්ලුවක් දෙන්න පුළුවන් වුනත් ආර්ථිකයක් දිගින් දිගටම දියුණු වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි වීම මතයි. මේ කරුණ ඉදිරියේදී ඉඩ ලැබෙන පරිදි ලිපි මාලාවකින් පැහැදිලි කරන්න බලන්නම්. මෙතැනදී කාර්යක්ෂමතාවය කියා කියන්නේ දැනට තිබෙන සම්පත්ම යොදා ගෙන නිෂ්පාදනය වැඩි කර ගන්න එකයි.

ප්‍රාග්ධනය නිසා රටවල් දියුණු වෙනවනම් අප්‍රිකානු රටවලට දශක ගානක් තිස්සේ ලැබුණු විදේශාධාර නිසා ඒ රටවල් මේ වෙද්දී මීට වඩා සෑහෙන්න දියුණු වෙලා තියෙන්න ඕනෑ. ලංකාවේ ගොඩක් ආණ්ඩු වල ඉලක්කය වූ (හා වන) සෘජු විදේශ ආයෝජන කියන්නේත් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් නිසි සේ අවබෝධ කරගෙන නැති තාක්ෂනික උගුලක් තියෙන තැනක්. ඇඟලුම් වැනි රැකියා ජනනය ක‍රන අංශයක හෝ රටේ නැති තාක්ෂණයක් රටට ගෙනෙන ආයෝජනයක් හැර ප්‍රාග්ධනය පමණක්ම  බලාගෙන ගෙන්න ගන්න සෘජු විදේශ ආයෝජන වලින් යහපතකට වඩා අයහපතක් වෙන්න ඉඩ වැඩියි. කොහෙන් හෝ ගෙන්න ගන්න අවශ්‍ය වන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරන කවර හෝ තාක්ෂණයයි.

ඇමරිකාවේ කෘෂිකර්මය මේ තරම් කාර්යක්ෂමනම් ලංකාවේ ගොවියෙක්ට කෙසේවත් ඇමරිකාවේ ගොවියෙක් එක්ක තරඟ කරන්න බැරිද? ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමෙන් ලංකාවට අවාසියක් මිස වාසියක් නැද්ද? ලංකාවේ වී ගොවියා ආරක්ෂා කර ගන්න ආනයන තහනම් කරන්නම වෙනවද?

මේ කරුණ මගේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ලිපි මාලාවේ පැහැදිලි කරලා තියෙනවා. ජාත්‍යන්තර වෙළඳාමෙන් මේ වගේ තත්ත්වයක් යටතේ වුවත් දෙරටටම වාසි ගන්න පුළුවන්. ඇමරිකාවේ වී ගොවියා වැඩි ආදායමක් ලබනවා. ඇමරිකාවේ වී ගොවිතැන වඩා කාර්යක්ෂමයි. එසේ වුවත් ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ වී හෝ සහල් කිලෝවක නිෂ්පාදන වියදම අඩුයි. ඒ නිසා, ලංකාව ආනයන වලට බිය විය යුතු නැහැ. (ඉන්දියාව වගේ රටවල් ගැන පසුව වෙනම කතා කරමු)

හැබැයි මේ හේතු මත රටක් ආහාර වලින් ස්වයංපෝෂිත වීම නරක දෙයක් කියා මම හිතන්නේ නැහැ. ඕනෑම රටකට ආර්ථික නොවන වෙනත් ජාතික අභිලාශ තියෙනවා. රටක් ආහාර වලින් ස්වයංපෝෂිත වීමත් බොහෝ රට වල ජාතික අභිලාශයක්.

මේ වැඩේ මොන විදිහකින්වත් කරන්න බැරි සිංගප්පූරුව වගේ රටවල් තිබෙනවා. එහෙත්, ආහාර වලින් ස්වයංපෝෂිත වීම ලංකාව ඇතුළු ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයකට කළ හැකි දෙයක්. මම මේ ලිපි මාලාව ආරම්භයේදීම පැහැදිලි කළ පරිදි බෝග වගාව සඳහා අවශ්‍ය ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් යම් ප්‍රමාණයක් බොහෝ රටවල් සතුයි. ඇමරිකාව, කැනඩාව, රුසියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලට මේ කටයුත්තේදී වැඩි වාසියක් තිබුණත් ලංකාව වැනි රටකට වුවත් මේ වැඩේ කරන්න බැරිකමක් නැහැ. හැබැයි වැඩේ සාර්ථක වෙන්නේ දොරගුළු නොවසා කළ විටයි.

සමගි පෙරමුණු ආණ්ඩුවේ රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීමේ අභිලාෂය නරක එකක් නෙමෙයි. වැරැද්ද එය කළ ආකාරයේ. ඇමරිකාව වුවත් ආහාර වලින් ස්වයංපෝෂිත රටක්. නමුත්, එසේ ස්වයංපෝෂිත වී සිටින්නේ විවෘත වෙළඳපොළ තරඟයට මුහුණ දී කාර්යක්ෂමතාවය වැඩි කරගෙන මිස දොරවල් වහගෙන හැංගිලා නෙමෙයි.

ඇත්තටම කියනවානම් ලංකාවේ කෘෂිකාර්මික අංශය දැනටත් ඉතා සාර්ථකව වෙළඳපොළ තරඟයට මුහුණ දෙනවා. ලංකාවේ කෘෂි කාර්මික අංශයේ විශාල ප්‍රශ්නයක් නැහැ. පහත තිබෙන්නේ පසුගිය 2019 වසරේ ලංකාවේ ආනයන වියදම් වලින් ආහාර සඳහා වැය වූ මුදලයි. දත්ත සියල්ල ළඟදී නිකුත් වූ 2019 මහා බැංකු වාර්තාවෙන්. ගණන් ඇමරිකන් ඩොලර් මිලියන වලින්.

හාල්-  12.8
සීනි හා රසකැවිලි - 201.2
කිරි නිෂ්පාදිත - 311.9
පරිප්පු - 79.9
වෙනත් ආහාර හා පාන වර්ග - 821.2
ආහාර හා පාන වර්ග ආනයන වියදම් එකතුව - 1426.9

ලංකාවට තිරිඟු හා ඉරිඟු ආනයනය කරන්නේ පාරිභෝගික භාණ්ඩයක් ලෙස නෙමෙයි. කාර්මික අමුද්‍රව්‍යයක් ලෙසයි. පාරිභෝගික ද්‍රව්‍යයක් වෙන්නේ ලංකාවේදී සකස් කිරීමෙන් පසුවයි. ඒ නිසා, ඉහත එකතුවට තිරිඟු හා ඉරිඟු අයත් වී නැහැ.  2019දී ලංකාවට ආනයනය කර තිබෙන තිරිඟු හා ඉරිඟු වල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 346.4ක්.

කෙසේ වුවත්, ඉහත මුළු ආනයන ප්‍රමාණයම ලංකාවේ ආහාර පාන ආනයන වියදම් වලට එකතු කරන එක නිවැරදි නැහැ. 1980දී ප්‍රීමා කම්හල ත්‍රිකුණාමලයේ හදන කොට එය ලෝකයේ ලොකුම තිරිඟු ඇඹරුම් කම්හල් සංකීර්ණයයි. ආරම්භයේ සිටම එම කම්හල ඇඹරූ පිටි ආසියාවේ වෙනත් රටවලට අපනයනය කළා. කමක් නැහැ අපි මේ මුළු වියදමම එකතු කරමු.

ආහාර හා පාන වර්ග ආනයන වියදම් මුළු එකතුව = 1426.9 + 346.4 = ඩොලර් මිලියන 1773.3

මේ ගණන රුපියල් වලට හැරෙවුවොත් රුපියල් බිලියන 300කට වැඩ වැඩියි. 2019දී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදිතය (වන හා ධීවර උප අංශද ඇතුළත්ව) රුපියල් බිලියන 1,113.8ක්. දැව කොටස ඉවත් කළ විට රුපියල් බිලියන 1000ක් පමණ වෙනවා. එහෙම බැලුවොත් රුපියල් 1000ක ආහාරපාන රට ඇතුළේ හදන කොට ආනයන සඳහා රුපියල් 300ක් වැය වෙනවා. ඒ කියන්නේ ඒ කොටස රට ඇතුළේ හදා ගත්තොත් ඒ අනුරූපී ඩොලර් ප්‍රමාණය ඉතුරුයි.

මේ ගණනය අසම්පූර්ණයි. මොකද අපේ කෘෂිකාර්මික නිෂ්පාදිතයෙන් කොටසක් අපි අපනයනය කරලා තියෙනවා. එහෙමනම් අපි කෘෂිකාර්මික අංශයේ අපනයන ආදායමත් සලකා බැලිය යුතුයි. 2019 වසරේ ලංකාවේ අපනයන ආදායම් මෙහෙමයි. ඇමරිකන් ඩොලර් මිලියන වලින්.

තේ - 1,346.4
රබර් - 24.2
පොල් - 329.5
කුළුබඩු - 312.5
එළවළු - 32.0
සකස් නොකළ දුම්කොළ - 34.7
සුළු අපනයන බෝග - 120.0
මුහුදු ආහාර - 262.5
එකතුව - 2,461.9

තව මීට අමතරව කාර්මික අපනයන ලෙස ඩොලර් මිලියන 447.0ක අපනයන ආදායමක් සකස් කළ ආහාර, පාන වර්ග හා දුම්කොළ වලින් උපයාගෙන තිබෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 866.1ක රබර් නිෂ්පාදන අපනයන ආදායමින් කොටසකුත් ලංකාවේ හැදූ රබර් වල අපනයන ආදායමක් සේ සලකන්න වෙනවා. ඒවා අපි පැත්තකින් තියමු.

ඉහත එකතුව පමණක් ගත්තොත් ආහාර පාන අපනයන ආදායම ඩොලර් මිලියන 2,461.9ක්. ආනයන වියදම 1426.9ක්. තිරිඟු හා ඉරිඟු එකතු කළොත් ඩොලර් මිලියන 1773.3ක්. අවසාන වශයෙන් ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සැලකිය යුතු ශුද්ධ වෙළඳ අතිරික්තයකුයි තියෙන්නේ.

ඇත්තටම වෙන්නේ ආහාරපාන ආනයනය කිරීම නිසා ලංකාවේ සල්ලි පිටරටට යන එක නෙමෙයි. එහි අනික් පැත්තයි. ලංකාවේ විශාල වෙළඳ හිඟයට හේතුව කෘෂිකාර්මික අංශයේ ප්‍රශ්නයක් නෙමෙයි. ගොවියා ධනවතෙකු වී නැත්තේත් ආනයන තරඟය නිසා නෙමෙයි.

8 comments:

  1. 1. එතකොට Soviet collective farms සංකල්පය ස්ටාලින්වාදී සෝවියට් දේශයටම පමණක් අනන්‍යවූ සංකල්පයක් පමණද? එය සාර්ථක වීමට නම් ඉඩමෙන් ලැබෙන ආදායම සහ බෙදී යන ශ්‍රමිකයන් අතර අනුපාතයට යම් සීමාකාරී අගයක් පැවතිය යුතු යැයි ඔබේ ලිපියෙන් හැඟවෙයි.

    2. සීනි, රස කැවිලි සහ dairy products සඳහා මෙපමණ වියදමක් යන බව නම් හිතා ගන්නවත් බැහැ.අනිවා ඩෙෆා ඔය ආනයනය කරන සීනි වලින් වැඩි හරිය යන්නේ කසියා සඳහා බව මට නම් විශ්වාසයිිි. ආණ්ඩුවට ඉන් බදු නොලැබෙන නිසා සීනි ආනයනය පුලුවන් තරම් සීමා කල යුතුයි.

    3. ඉතින් ලංකාවේ ⁣වී ගොවියා දුප්පත් වීමට හේතුව ජාත්‍යන්තර වෙලඳාම මඟින් ඔහුව පසුපසට ඇදලා තිබීම වාගේම , ලංකාවේ ගොවියාටම නෛසර්ගික වූ ලක්ෂණ ඇති බව තමයි මට හිතෙන්නේ. බලමු ඔබ කුමක්ද ලියන්නේ කියලා.
    CP-C

    ReplyDelete
  2. ඉකොනො, මේ comment එක ලියන්න හිතුනේ රොබින්සන් කෲසෝ post එකට නිදි ලියපු කොමෙන්ටුව දැකලා.

    අහනකොට ලේ boil වෙන කතාවක් නොවෙිද ඔහු වාර්තා කර ඇත්තේ? ධ⁣නේශ්වර ආර්ථික ක්‍රමයක් ගැලපෙන්නේ බාධානැති වෙලඳපොලක් තියෙනවා නම් විතරයි. දැන් අස්වැන්න සාධාරණ ලෙස විකුණා ගැනීමට රජය සමඟ හැප්පෙන්න වෙනවා නම් අපි මෙතැන සාකච්ඡාවට ගන්නා කිසිම කරුණක් වැඩක් නැහැ. මොකද කියනවා නම් විවෘත වෙලඳපොලක් නැති නිසා.

    එහෙම වෙනකොට අපිට ප්‍රාග්ධන භාණ්ඩ ලෙසට ඇමරිකාවෙන් John Deere කෘෂිකාර්මික උපකරණ වලට අමතරව ඒවා අස්සේ හංගලා Beretta, Remmington, 9mm Glock පවා ආනයනය කරන්න වෙනවා.එතකොට ඔබේ මැයි 5 පලමු පෝස්ටුවේ වගුවලට ආරක්ෂක වියදම ලෙසත් පිරිවැයක් එකතු කරන්න වෙනවා.මේක මාර දෙයක් නේද එතකොට?

    ලංකාව වාගේ පසුගාමී සමාජ දේශපාලන ආර්ථිකයක් ඇති රටක මොනවා කරලත් ගොඩ එන්න බැහැ මේ කාලකන්නි ක්‍රමය වෙනස් නොකර.
    ඒක කරන්නේ කොහොමද?

    දෙහි ටික විකුණන කොට වෙඩි තියලා මරනවා නම් වී ටික විකුනන්න හදනකොට පිටස්තරයකුට මුන් මොනවා නොකරයිද?
    විද්‍යාත්මක ලෙස ගොවිතැන් කරන්න ඇවිත් අන්තිමට කුරාසෝවාගේ Seven Samurai වාගේ ගේමකට set වෙන්න වෙයිද?

    CP-C

    ReplyDelete
    Replies
    1. ඉතා පැහැදිලිවම නිදි කියන විදිහේ දේවල් වෙනවා. මම පෞද්ගලිකවත් දන්නවා. පෞද්ගලිකව කියා කියන්නේ ඉතාම විශ්වාස කටයුතු මාර්ග වලින්. ඒ වගේ දේවල් ගැන වැඩි විස්තර මම බ්ලොග් එකේ ලියන්න කැමති නැහැ. මම ලියන දේවල් ලියන්නේ කවුරු හරි ඇහුවොත් තොරතුරු දෙන්න පුළුවන් දේවල් ගැනයි. මටත් තිබෙන ප්‍රශ්නය ඔබට තිබෙන ප්‍රශ්නයම තමයි. මේ තත්ත්වය වෙනස් කරන්නේ කොහොමද?

      මම හිතන්නේ ඇතැම් විට මම මේ කරුණේදී වෙනස් වෙන්නේ විසඳුම හා අදාළව. මම මෙයට ඉක්මන් හෝ කෙටි විසඳුමක් දකින්නේ නැහැ. ඔබ කියන ආකාරයේ ගේම් වලින් කොහේවත් මෙවැනි ප්‍රශ්නයක් දිගුකාලීනව විසඳිලා නැහැ. ප්‍රශ්නයට හේතුව පුද්ගලයෝ නෙමෙයි. ඒ නිසා, ගේමක් දීලා පුද්ගලයින් ඉවත් කළාට පස්සේ වෙන පුද්ගලයින් ටිකක් ඒ දෙයම කරන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

      වෙනස් කරන්න ඕනෑ මේ වගේ තත්ත්වයක් ඇති වීමට ඉඩ සැලසෙන අවකාශයයි. හැම ප්‍රශ්නයකම මුල රජය ඕනෑවට වඩා බලවත් වීමයි. ඒක තමයි සමාජවාදය විසින් කාලයක් තිස්සේ කරපු හානිය. මිනිස්සුන්ට රජය එක්ක හැප්පෙන්න බැහැ. ඒ වගේම රජය එක්ක හැප්පෙනවා කියන්නෙත් වක්‍ර ලෙස රජයේ ආධිපත්‍යය ගොඩ නගනවා කියන එකයි.

      රජයෙන් වැඩි වැඩියෙන් දේවල් ඉල්ලනවා කියන්නේ රජයට ඒ සඳහා බලය පවරනවා කියන එකයි. ආධිපත්‍යය පිළිගන්නවා කියන එකයි. එතකොට රජය එක සාක්කුවකින් අරගෙන අනිත් සාක්කුවට එයින් කොටසක් දමනවා. කොටසක් අතරමගදී අතුරුදහන් වෙනවා. නමුත්, රජය කියන්නේ ඇත්තටම හිස් පඹයෙක්. බලය කියන දෙය තනිකරම රඳා පවතින්නේ අනෙක් අය ඒ බලය පිළිගෙන යටත් වීම මතයි. කවුරුවත් සත පහකට ගණන් ගන්නේ නැත්නම් ඕනෑම චණ්ඩියෙක් හිස් පඹයෙක් වෙනවා.

      ඔබ කියන පසුගාමිත්වයට හේතුව, මම දකින විදිහට, මිනිස්සු ස්වාධීන නොවී තමන්ගේ කැමැත්තෙන්ම වෙන කාට හෝ යටත් (submissive) වීමයි. තනි පුද්ගලයෙක්ට මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. එහෙම වුනොත් ඔහු විනාශ වෙනවා. බොහෝ දෙනෙක් හිතන විදිහ වෙනස් වෙන්න ඕනෑ. එය හදිසියේ වෙන්නේ නැහැ. ඉක්මන් විසඳුම් නැහැ කියා මම කියන්නේ ඒකයි. මේ කාරණයේදී හොඳම ආයුධය ලෙස මම දකින්නේ දැනුම. ඒ වගේම කණ්ඩායම් ක්‍රියාකාරීත්වය පිළිබඳව මම විශ්වාසය තියන්නෙත් නැහැ. එහිදී අන්තිමට වෙන්නෙත් පුද්ගලයා කණ්ඩායමට යටත් වීම.

      අඩු ගානේ බස් එකේ කොන්දොස්තර අසාධාරණයක් කරන කොට එයට විරුද්ධව කතා කරන කෙනෙක්ගේ උදවුවට තව කෙනෙක් නැගිටින තත්ත්වයක්වත් නැත්නම් ලොකු දේවල් කරන්න අමාරුයි. මේ රටවල කවදාවත් දැකලා නැති මිනිහෙක් වෙනුවෙන් වුනත් කතා කරන්න කිහිප දෙනෙක් හෝ ඉන්නවා.

      මොන දේට නැතත් මිනිස්සු තමන්ට වන ලාබ පාඩු වලට සංවේදීයි. ඒ නිසා, තමන්ගේම ලාබ වෙනුවෙන් කතා කරන්න දිරි දීම තුළ මේ වැඩේ වෙනවා. පඩියෙන් බාගයක් ගන්න යන කොට අනෙක් දේවල් වලට කතා කරන මිනිස්සු ගොඩක් කතා නෑනේ.

      Delete
  3. https://www.theguardian.com/cities/2017/may/18/avocado-police-tancitaro-mexico-law-drug-cartels

    මෙහෙම සිද්ධියක් මෙක්සිකෝවේ අලිඇටපේර ගොවියන්ට සිදු වෙලා තියෙනවා. ඉහත link එකට අනුව අන්තිමට ප්‍රශ්නය විසඳන්න රජය නොවෙයි මැදිහත් වෙලා තියෙන්නේ ;ආයුධ සන්නද්ධව ගොවියන්ම තමයි ගේමට බැහැලා තියෙන්නේ .
    CP-C

    ReplyDelete
  4. කුරුණෑගල පැත්තෙ ඉපිද
    මලියදේවෙ අකුරු කරපු
    සරසවි වරමක් දිනාපු
    ජයසුන්දර නාමධාරි
    කොලුව පුංචි බණ්ඩා

    ලැජ්ජාවක් හිරිකිතයක්
    හිතේ නැතේ කිසිමදෙයක්
    අපූරු පටබැඳි නාමය
    හොඳටම ගැලපෙන නාමය
    පී.බී.-පඩි බාගේ!

    ReplyDelete
  5. ඉඩම් අක්කරගාන 10ක් තිබුනත් සැලකිය යුතු වැඩක් කරන්න පුලුවන් හොදට තාක්ෂණය පාවිච්චි කරනවා නම්. අද වෙද්දි ගොවිතැන කියන්නේ වියදම් වැඩක්. ඒ වගේම මාකට් එක හදාගන්න හොද පොලිටිකල් මෙව්වා එකකුත ්ෙගායියාට තියෙන්න ඕනි. ගෙදර එන වෙලෙන්දට කීයට හරි දීලා දාන මානසිකත්වයේ උන්නොත් ගොවියාට වඩා හැමදාම අතරමැදිය ගොඩ යනවා. අක්කර දහයක අඹ වගාවක ්තියෙනවා නම් ඒ ලැබෙන අඹ අස්වැන්න කිසිසේත්ම පොඩි එකක් නෙමෙයි. ඒ වගේම ඒ අඹ වල තත්වය හොද නම් ඒවා අලෙවිකරගන්නත් ටිකක් ලොකුවට මහන්සි වන්න ඕනා. ලංකාවේ ගොවීන් සමහර වෙලාටව හොදට වගාකරන්න දක්ෂයි. ඒත් අවාසනාවකට බහුතර ගොවීන් තමුනගේ අස්වැනින විකුනා ගැනීමේදි අසමත්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.