වෙබ් ලිපිනය:

Showing posts with label ප්‍රතිපත්ති පොලී අනුපාතික. Show all posts
Showing posts with label ප්‍රතිපත්ති පොලී අනුපාතික. Show all posts

Wednesday, September 16, 2026

ඇමරිකාවේ පොලී අනුපාතික ඉහළට!


ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසින් අද පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේදී, වසර තුනකට පසුව, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 0.25%කින් ඉහළ දැම්මා. මේ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පරාසය 3.75-4.0% දක්වා ඉහළ යනවා. කමිටුවේ සාමාජිකයින් සියලු දෙනාම මෙම තීරණයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

පසුගිය පෙබරවාරි මාසය වන විට 2.4% මට්ටම දක්වා අඩු වී තිබුණු ඇමරිකාවේ උද්ධමනය, ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසුව ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමඟ සැලකිය යුතු ලෙස ඉහළ ගියා. පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 3.4%ක්ව පැවතුනා. ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරනුයේ උද්ධමනය 2% මට්ටමේ පවත්වා ගැනීමටයි.

ජනාධිපති ට්‍රම්ප් විසින් නම් කළ කෙවින් වාර්ෂ්, සෙනෙට් අනුමැතියෙන් පසුව පසුගිය මැයි මාසයේදී ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ධුරයේ වැඩ භාරගත්තා. ඊට පෙර ජෙරමි පවල් එම ධුරය දරද්දී, පොලී අනුපාතික "අවශ්‍ය පමණ" අඩු නොකිරීම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් සිටියේ එතරම් සතුටකින් නෙමෙයි. ජනාධිපති ට්‍රම්ප් විසින්ම නම් කළ කෙවින් වාර්ෂ්ගේ සභාපතිත්වයෙන් යුත් ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව, ජනාධිපති ට්‍රම්ප්ගේ අභිමතයට පටහැනිව පොලී අනුපාතික ඉහළ දැමීමට ඒකමතිකව තීරණය කිරීම විශේෂත්වයක්. මේ මගින් ඇමරිකානු මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු වෙනවා.

දෙසතියකට පමණ පෙර ජනාධිපති ට්‍රම්ප් විසින්, ෆෙඩරල් සංචිත බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු නොකරන්නේ නම් ඇමරිකාව වෙළඳ හිඟයක් පවත්වාගෙන යන රටවල් සමඟ වෙළඳාම මුළුමනින්ම නවත්වා දමන බවට සටහනක් පළ කළා. මෙම පොලී අනුපාතික වැඩි කිරීම සිදු කර තිබෙන්නේ එම "තර්ජනය" සත පහකට මායිම් නොකරමිනුයි.

මේ වන විට ඇමරිකානු රජයේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. එම සමස්ත ණය ප්‍රමාණයටම 0.25%ක පොලී අනුපාතික වැඩිවීමක් අදාළ කර සරලව ගණනය කළොත්, එය වසරකට ඩොලර් බිලියන 100ක අමතර පොලී වියදමකට සමානයි. පසුගිය වසරේ ඇමරිකාවේ ෆෙඩරල් රජයේ වාර්ෂික ශුද්ධ පොලී වියදම ඩොලර් බිලියන 970ක් වූ අතර මෙම වසරේදී එම වියදම ඩොලර් ට්‍රිලියනය ඉක්මවා යන බව පැහැදිලියි. 

Thursday, May 22, 2025

මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි?


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික 7.75% දක්වා 0.25%කින් පහත හෙළා තිබෙනවා. මහ බැංකුවට අනුව, මේ තීරණයට ප්‍රධාන හේතු දෙකක් පාදක වී තිබෙනවා. පළමුවැන්න මහ බැංකුවේ යාවත්කාලීන කළ පුරෝකථන අනුව, අපේක්ෂිත දිගුකාලීන උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා පහත වැටී තිබීමයි. දෙවැන්න, ලෝක ආර්ථික වර්ධන පුරෝකථන පහත වැටීම හා ඒ අනුව සමස්ත ඉල්ලුමේ බාහිර සංරචකය පහත වැටී තිබීමයි. 

අප විසින් මේ තීරණය විග්‍රහ කරන්නේ ඉහත හේතු දෙක තුළ රැඳී සිටිමින් නෙමෙයි. අපගේ අදහස වනුයේ විදේශ අංශයේ ප්‍රවණතා සහ ඒ පිළිබඳව මහ බැංකුවේ අපේක්ෂාවන් වෙනස් වීම මෙන්ම ආර්ථික වර්ධන විභවය පිළිබඳ මහ බැංකුවේ පුරෝකථන මේ තීරණය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සිදු කර ඇති බවයි. 

අපගේ ඇස්තමේන්තු පරිදි, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, දැනටමත්, එනම් මෙම (2025 මැයි) මාසයේදී, අවධමන තත්ත්වය ඉවත් වී තිබිය හැකියි. එහෙත්, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ සඳහා සලකා බලන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. එම දර්ශකය අනුව, විදුලි ගාස්තු වැඩි නොකළහොත්, අගෝස්තු මාසය තෙක්ම අවධමන තත්ත්වයක් පැවතිය හැකි වුවත්, විදුලි ගාස්තු සංශෝධනයක් ඊට පෙර සිදු වීමට ඉඩ තිබෙනවා. එය සිදු වුවත් නැතත්, අගෝස්තු මාසයේ සිට උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යාමට නියමිතයි.

මේ සමඟ පළ කරන මහ බැංකුවේම පුරෝකථන අනුව, වසරක කාලයක් ඇතුළත උද්ධමනය ඉලක්ක මට්ටම වන 5% දක්වා ඉහළ යාමට නියමිතව ඇති අතර, ඉන් පසුව යම් තරමකින් 5% සීමාව ඉක්මවන බවක් පෙනී යනවා. දැන් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළද එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය කෙරෙහි බලපෑමක් ඇති වීමට වසරකට වඩා වැඩි කාලයක් යනවා. ඒ නිසා, මහ බැංකුවේ හේතු ඉදිරිපත් කිරීම් දෙකෙන් පළමුවැන්නට ශක්තිමත් පදනමක් නැහැ. එහෙත් අප එයින් අදහස් කරන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීම හේතු විරහිත ක්‍රියාවක් බව හෝ අයෝග්‍ය තීරණයක් බව නෙමෙයි. 

මූල්‍ය අරමුදල සමඟ ස්ථායීකරණ වැඩපිළිවෙල සකස් කරද්දී 2025 වසරේ පොලී අනුපාතික ඇස්තමේන්තු කර තිබුණේ 7.3% ලෙසයි. මෙම පොලී අනුපාතික 2028 වන විට ක්‍රමයෙන් 6.7% දක්වා පහත වැටෙනු ඇතැයිද ඇස්තමේන්තු කර තිබුණා. එම ඇස්තමේන්තු 5% උද්ධමන ඉලක්කය හා හොඳින් ගැලපෙනවා.

රටේ ණය තිරසාරත්ව ඉලක්ක වලට යාමටනම් පොලී අනුපාතික ඉලක්ක වලටද යා යුතුයි. ආර්ථික වර්ධනය හා උද්ධමනය ඉලක්ක වලට වඩා හොඳ මට්ටමක පැවති බැවින් ණය තිරසාරත්ව ඉලක්ක ඉක්මවා යා හැකි වුවත්, පොලී අනුපාතික අපේක්ෂිත මට්ටමට වඩා ඉහළින් පැවති බැවින් ලැබෙන්නට තිබුණු වාසියෙන් කොටසක් අහිමි වුනා. පසුගිය කාලය පුරා මහ බැංකුව විසින් පොලී අනුපාතික අඩු කර ගැනීමට උත්සාහ ගනිමින් සිටියත් එය ඒ තරම්ම පහසු වූයේ නැහැ.

පොලී අනුපාතික අඩු කර ගැනීමට බාධාවක්ව පැවතියේ මැතිවරණ ආශ්‍රිත දේශපාලන අවදානමයි. මැතිවරණ ආසන්න සති වලදී වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් විකුණා ගැනීම අපහසු වුනා. එහෙත්, මැතිවරණ අවදානම් ඉවත් වීමෙන් පසුව දැන් නැවතත් තත්ත්වය යහපත් අතට හැරී තිබෙනවා. ඒ නිසා, එක් අතෙකින්, මහ බැංකුව විසින් ගෙන තිබෙන්නේ, කාලයක් තිස්සේම ගන්නට ගන්නට අවශ්‍ය වූ, එහෙත් ගත නොහැකි වූ තීරණයක්. හැකි පළමු අවස්ථාවේදීම මහ බැංකුව විසින් එම තීරණය ගෙන තිබෙනවා. 

මේ ආණ්ඩුව විසින්ද ස්ථායීකරණ වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය රාජ්‍යමූල්‍ය විනය පවත්වා ගනිමින් සිටින අතර ඒ සඳහා ආණ්ඩුවේ කැපවීම පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මෙම කාරණයට මුල් තැන දෙමින් තමන්ගේ දේශපාලන අභිලාශ දෙවැනි තැනට දැමීමට පවා ආණ්ඩුව යොමු වී තිබෙනවා. එම තත්ත්වය තුළ, මේ වෙද්දී රාජ්‍යමූල්‍ය කළමනාකරණ අංශයෙන් ආර්ථික ස්ථායීතාවය කෙරෙහි අවදානමක් එල්ල වී නැහැ. 

ඉහත තත්ත්වය තුළ රාජ්‍ය අංශයෙන් මුදා හැරෙන අරමුදල් පෞද්ගලික අංශය වෙත සම්ප්‍රේෂණය වෙමින් තිබුණත්, එම අරමුදල් යොදා ගෙන ආයෝජන සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයෙන් අවශ්‍ය පමණ ඉල්ලුමක් ජනනය වී නැහැ. මෙයට එක් හේතුවක් වන්නේ ආර්ථික අර්බුදයේ මනෝ විද්‍යාත්මක බලපෑමයි. 2008 ආර්ථික අවපාතයෙන් පසුව ඇමරිකාවේ දැකිය හැකි වූයේද මෙවැනි තත්ත්වයක්.

පොලී අනුපාතික පහත වැටෙන්නට ඉඩ සලස්වමින් පෞද්ගලික අංශය දිරිමත් කිරීම මෙයට විසඳුමක් වුවත් මහ බැංකුව ඒ සඳහා මැලිව සිටියේ එමගින් ආනයන ඉල්ලුම සීමා ඉක්මවා ගොස් විදේශ අංශය අස්ථාවර වීමේ අවදානම ගැන සැලකිලිමත් විය යුතු බැවිනුයි. එය නිවැරදි තීරණයක්.

විදේශ අංශය හා අදාළව පැවති විශාලතම අවදානම වූයේ එම අංශය තුලනය වී පැවතුනේ ආනයන සීමාවන්ට යටත්ව වීමයි. නමුත් වාහන ආනයනයට නැවත ඉඩ සැලසීමෙන් පසුව තව දුරටත් මෙවැනි තත්ත්වයක් නැහැ. එමෙන්ම, වාහන ආනයනයට ඉඩ දීමෙන් පසුව විදේශ අංශය අස්ථාවර වීම තබා දැනෙන බලපෑමක් හෝ සිදු වූයේ නැහැ.

මහ බැංකු අධිපතිට අනුව, මේ වන විට ඩොලර් මිලියන 200ක පමණ වාහන ආනයනය කර ඇති අතර තවත් ඩොලර් මිලියන 250ක පමණ වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කර තිබෙනවා. ඒ වාහන ටිකත් ඉදිරියේදී ලංකාවට එයි. අවුරුද්දේ ඉතිරි මාස හත ඇතුළත තවත් ඩොලර් මිලියන 250ක වාහන රටට ආවොත් එකතුව ඩොලර් මිලියන 750ක පමණ වාහන ප්‍රමාණයක්. ඔය වාහන වලින් 200%ක බදු ප්‍රමාණයක් එකතු වුනත්, රුපියල් බිලියන 450ක පමණ බදු ආදායමක්. ඒ අනුව, අවිනිශ්චිතතාවයන් පැවතියත්, රාජ්‍ය ආදායම් ඉලක්කයට යන්න ඒ තරම්ම අමාරු බවක් පෙනෙන්න නැහැ.

අනෙක් අතට මහ බැංකුව විදේශ අංශය පිළිබඳව සැලසුම් කර තිබුණේ ඩොලර් බිලියනයක වාහන රටට ආවත් අස්ථාවරත්වයක් ඇති නොවන විදිහටයි. වාහන ආනයන ඒ මට්ටමට යන බවක් පෙනෙන්න නැහැ. වාහන ආනයන හා අදාළව රජයේ හා මහ බැංකුවේ පුරෝකථන සෑහෙන දුරකට නිවැරදි බවයි පෙනෙන්න තියෙන්නේ. 

දැනට තාවකාලිකව අත් හිටවා තිබුණත්, ට්‍රම්ප් බද්ද නිසා යම් අවිනිශ්චිතතාවයක් ඇති වී තිබෙනවා. නමුත් මේ බදු වල ප්‍රධාන ඉලක්කය වූ චීනය සමඟ යම් සම්මුතියක් ඇති වී තිබෙන තත්ත්වය තුළ බද්දේ යම් සැර බාලවීමක් සිදු වෙන්න බැරිකමක් නැහැ. ඒ ගැන නිශ්චිතව කියන්න කල් වැඩි වුනත්, සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ වල යහපත් වර්ධනයන් එක්ක මේ අවුරුද්දේ එක දිගට තුන්වෙනි වරටත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වීමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළත්, ආර්ථික අර්බුදය වෙලාවේ ලබා ගත් චීන මුදල් හුවමාරු ණය සහ ඉන්දියානු ණය එහිදී සැලකිල්ලට ගත්තේ නැහැ. මේ රටවල් දෙකට ගෙවිය යුතු ණය මහ බැංකුවේ ශේෂ පත්‍රයේ තිබෙනවා. ජනාධිපති දිසානායක චීනයේ සංචාරය කිරීමට සමගාමීව චීන මුදල් හුවමාරු ණය අලුත් කිරීමක්ද සිදු වුනා. මෑතකදී ඉන්දියානු එක්සිම් බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්ද සිදු වුනා. එම ණය සහ මහ බැංකුව විසින් ගෙවිය යුතු ආසියානු නිෂ්කාශන සංගමයේ නොගෙවූ ණය අතර සම්බන්ධයක් තියෙනවද කියන එක හරියටම පැහැදිලි නැතත්, සමස්තයක් ලෙස ඉන්දියානු හා චීන ණය ආපසු ගෙවන්න ලොකු හදිසියක් නැති තත්ත්වයක් ඇති වී තිබෙන නිසා මහ බැංකුවට සංචිත ඉලක්ක වලට යන එකත් ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. මේ තත්ත්වයන් එක්ක, වාහන ආනයන සිදු වීම හමුවේ වුවත්, විණිමය අනුපාතය මත පීඩනයක් නැති තරම්. 

රාජ්‍යමූල්‍ය අංශයේ හෝ විදේශ අංශයේ අවදානමක් නැහැ කියා කියන්නේ මූර්ත අංශය ගැන වැඩි අවධානයක් යොදවන්න හැකියාවක් තිබෙනවා කියන එක. ගෙවුණු අවුරුද්දේ ආර්ථිකය ඇස්තමේන්තු ඉක්මවා වර්ධනය වුනා. නමුත් ඒ තත්ත්වය ඒ විදිහටම දිගටම පවතින්න විශේෂ හේතුවක් නැති නිසා, මේ අවුරුද්දේ ආර්ථික වර්ධනය පහත වැටෙන්නයි ගොඩක් ඉඩ තියෙන්නේ. පුරෝකථන හැම විටම නිවැරදි නොවුනත්, පුරෝකථන වලින් පෙනෙන්නෙත් ඒ තත්ත්වය.

රාජ්‍යමූල්‍ය අංශයේ හෝ විදේශ අංශයේ අවදානම් පාලනය වී ඇත්නම්, උද්ධමන අවදානමකුත් ළඟපාතක පෙනෙන්න නැත්නම්, මහ බැංකුවකට ආර්ථික වර්ධනයට යම් තල්ලුවක් දෙන එක ගැන හිතන්න අවකාශයක් ලැබෙනවා. පොලී අනුපාතික පහත හෙලීම මගින් ඒ සඳහා උදවුවක් කළ හැකියි. 

කාලයක් ඒ සඳහා සුදුසු මූල්‍ය වෙළඳපොළ තත්වයක් නොතිබුණත්, ඊයේ (මැයි 21) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ඉදිරිපත් කළ රුපියල් බිලියන 157.5ක බිල්පත් ප්‍රමාණය පැවති පොලී අනුපාතික වලටම හෝ ඊටත් අඩුවෙන් විකිණී තිබෙනවා. ඊට අමතරව, වෙන්දේසියේදී නිර්ණය වූ පොලී අනුපාතික වලටම තවත් රුපියල් බිලියන 15.75ක බිල්පත් විකුණා තිබෙනවා. ඒ අනුව පෙනෙන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීම මගින් වෙළඳපොළ පොලී අනුපාතිකද අනුරූපව අඩු කරගත හැකි මූල්‍ය වෙළඳපොළ තත්ත්වයක් නැවතත් ඇති වී තිබෙන බවයි. මහ බැංකුව විසින් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තිබෙනවා.

Wednesday, January 29, 2025

ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොවේ!


මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින 8% මට්ටමෙහි නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම රජය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන්, දැනට පවතින අවධමන තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් "දරුණු" වනු ඇතත්, එය තාවකාලික තත්ත්වයක්. මහ බැංකුවේ නිගමනය වී තිබෙන්නේද එයයි. 

මහ බැංකුව විසින් විශේෂ බලපෑමක් හෝ සංඥාවක් නොකළද, වෙළඳපොළ පොලී අනුපාතික පහත වැටෙමින් තිබෙනවා. අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී දින-91 (මාස තුන) බිල්පත් ඵලදා අනුපාතිකය 7.93% දක්වා පහත වැටී තිබෙනු දැකිය හැකියි. මේ අයුරින් වෙළඳපොළ පොලී අනුපාතික මහ බැංකුවේ ඉලක්ක පොලී අනුපාතිකයද ඉක්මවමින් 8% මට්ටමෙන් පහතට වැටී තිබෙන්නේ විශාල කාලයකට පසුවයි. දින-364 (වසර-1) ඵලදා අනුපාතිකයද 8.47% දක්වා පහත වැටී තිබෙනවා.

මේ වන විට මුදල් වෙළඳපොළෙහි අතිරික්ත ද්‍රවශීලතා තත්ත්වයක් පවතින අතර අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ පොලී අනුපාතික 7.75%-8% පරාසයේ විචලනය වෙනවා. මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට තීරණය කිරීමෙන් පෙනී යන්නේ මහ බැංකුව විසින් මුදල් වෙළඳපොළට තව දුරටත් ද්‍රවශීලතාවය සැපයීමට අදහස් නොකරන බවයි. 

ඉදිරි මාස කිහිපය තුළ විදේශ විණිමය වෙළඳපොළ තුළ යම් පීඩනයක් පැවතිය හැකි බැවින් මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමේ හැකියාව සීමා වෙනවා. ඒ නිසා, ඒ ක්‍රමයට වෙළඳපොලට රුපියල් එකතු වීමද සීමා වෙනවා. 

Wednesday, November 27, 2024

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය අලුත් ක්‍රමවේදයකට!


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අලුත් ක්‍රමවේදයක් භාවිතයට ගෙන තිබෙනවා. මෙවැනි වෙනසක් කරන බව කලින්ම දැනුම් දී තිබුණා.

මෙතෙක් පැවති ක්‍රමය අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙකක් තිබුණා. ඒ නිත්‍ය ණය පොලී අනුපාතිකය හා නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකයයි. මෙතෙක් පැවති ක්‍රමය අනුව, මහ බැංකුව විසින් ඉලක්ක කළේ වෙළඳපොළ පොලී අනුපාතිකය මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතර මැද මට්ටමක පවත්වා ගැනීමටයි. 

අලුත් ක්‍රමය අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙකක් නැහැ. තිබෙන්නේ එකක් පමණයි. මෙම පොලී අනුපාතිකය "එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය" ලෙස නම් කර තිබෙනවා. මහ බැංකුව විසින් මින් ඉදිරියට ඉලක්ක කරන්නේ වෙළඳපොළ එක්දින පොලී අනුපාතික ඉලක්කගත නිශ්චිත මට්ටමෙහි පවත්වා ගැනීමටයි. 

අලුත් ක්‍රමය හඳුන්වා දීමට සමාන්තරව මහ බැංකුව විසින් පොලී අනුපාතික පහත හෙලීමක්ද සිදු කර තිබෙනවා. ඒ අනුව, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පවත්වා ගැනීමට අපේක්ෂා කරන්නේ 8% මට්ටමේයි. 

කෙසේ වුවත්, පෙර පැවති මහ බැංකුවේ නිත්‍ය ණය පොලී අනුපාතිකය හා නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය තවමත් පැරණි අර්ථයෙන්ම ක්‍රියාත්මකව පවතිනවා. එහෙත්, එම පොලී අනුපාතික තව දුරටත් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සේ සැලකෙන්නේ නැහැ. 

මෙයින් ඉදිරියට මහ බැංකුව විසින් ප්‍රති මිල දී ගැනීම් (රිපෝ) වෙන්දේසි කරද්දී ලන්සු පිළිගන්නේ එම ලන්සු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා අඩුනම් පමණයි. එමෙන්ම ප්‍රති විකිණුම් (රිවර්ස් රිපෝ) ලන්සු පිලිගන්නේ එම ලන්සු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා වැඩිනම් පමණයි. 

අලුත් ක්‍රමයේදී වෙළඳපොළ එක් දින පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙතට දෙපැත්තකින් තෙරපීමක් සිදු වෙනවා. ඒ නිසා, මහ බැංකුවට පොලී අනුපාතික පාලනය කිරීම වඩා පහසු වෙනවා. ඒ හේතුව නිසාම උද්ධමනය පාලනය කිරීමද වඩා පහසු වෙනවා.

මේ ප්‍රතිපත්ති වෙනස්කම (එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8% ලෙස තීරණය කිරීම) හේතුවෙන් වෙළඳපොළ පොලී අනුපාතික අඩු වශයෙන් 0.5%කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. 


Thursday, March 28, 2024

මහ බැංකුව පොලී අඩු කළේ ඇයි?


දින දෙකකට පෙර (මාර්තු 26) මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික 0.5%කින් අඩු කළා. ඒ අනුව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 8.5%-9.5% දක්වා පහතවැටී තිබෙනවා. මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? එහි බලපෑම් මොනවාද?

රටක මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කය වන්නේ උද්ධමනය 4%-6% සීමාව තුළ පවත්වා ගැනීමයි. ඒ කියන්නේ සාමාන්‍ය අගයක් ලෙස 5% මට්ටමේ.

උද්ධමනය 5% මට්ටමේ තබා ගැනීම සඳහා පොලී අනුපාතික දිගුකාලීනව 7%-8% වැනි මට්ටමක තබා ගැනීම ප්‍රමාණවත්. එවිට උද්ධමනයට වඩා 2%-3%කින් වැඩි පොලියක්, ඒ කියන්නේ 2%-3% පරාසයේ මූර්ත පොලී අනුපාතිකයක් පවත්වා ගැනෙනවා.

මූර්ත පොලී අනුපාතික ගොඩක් වැඩිනම් එය ආර්ථික වර්ධනය කෙරෙහි සෘණාත්මක ලෙස බලපානවා. ඒ නිසා, මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් මූර්ත පොලී අනුපාතික ඕනෑවට වඩා ඉහළ මට්ටමක තියා ගන්නේ නැහැ. හැබැයි උද්ධමන ඉලක්ක වලට යන්න බැරි වීමේ අවදානම ගනිමින් මූර්ත පොලී අනුපාතික ඕනෑවට වඩා පහළ යන්න දෙන්නේත් නැහැ.

ප්‍රතිපත්ති පොලී අනුපාතික සීරුමාරු කිරීම මගින් මහ බැංකුවක් උත්සාහ කරන්නේ ඔය අන්ත දෙක අතර තුලනයක් පවත්වා ගැනීම. ඒ කියන්නේ උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගන්නා අතරම හැකි උපරිම ආර්ථික වර්ධන වේගය පවත්වා ගැනීම. සමහර අවස්ථා වලදී ඔය දෙකෙන් එකක් ගැන වැඩිය නොහිතා අනෙක් එක ගැන පූර්ණ අවධානය යොදවන්න වෙනවා.

මහ බැංකුවේ ඉලක්කය උද්ධමනය 4%-6% සීමාව තුළ පවත්වා ගැනීම ලෙස පවතිද්දී උද්ධමනය 70% තරම් ඉහළ මට්ටමකට ගියාම මහ බැංකුවට එහි වගකීම් ඉටු කිරීමට තිබෙන හැකියාව පිළිබඳ විශ්වාසනීයත්වය බරපතල ලෙස බිඳ වැටෙනවා. ඒ වගේ අර්බුදයකින් පස්සේ මහ බැංකුවකට ආර්ථික වර්ධනය ගැන ලොකුවට නොහිතා, උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවට තිබෙන හැකියාව පිළිබඳව විශ්වාසනීයත්වය ගොඩ නගන්න වෙනවා.

ඉතා කෙටි කලක් තුළ උද්ධමනය ඉලක්ක මට්ටම දක්වා අඩු කර ගැනීම මගින් මහ බැංකුව විසින් නැවතත් එහි ප්‍රතිරූපය ගොඩ නගා ගත්තා. නමුත් කලින් මහ බැංකුව අනාගත්ත අනාගැනිල්ල නිසා පොඩි එහා මෙහා වීමකින් මහ බැංකුවේ ප්‍රතිරූපය නැවත බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා, මහ බැංකුව දැන් කටයුතු කරන්නේ ගිණි පෙණෙල්ලෙන් බැට කෑ පසු කණාමැදිරියන් ගැනත් පරිස්සම් වෙන ප්‍රවේශයකින්. මහ බැංකු වැටුප් ප්‍රශ්නයේදී වුනත් වැරැද්දක් වී තිබෙන බව තේරුම් ගෙන වැඩි කතා නැතිව එය හදාගන්න යොමු වීමෙන් පෙනෙන්නේ මේ පරිස්සමයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 1.3% දක්වාම අඩු වුනා. නමුත්, මහ බැංකුව හදිස්සි වෙලා පොලී අනුපාතික ඕනෑවට වඩා අඩු කළේ නැහැ. ඊට හේතුව වැට් වැඩි කිරීම වැනි හේතු නිසා මේ අවුරුද්දේ මුල් මාස වලදී උද්ධමනය නැවතත් යම් තරමකින් ඉහළ යන බව පෙනෙන්නට තිබීම. හිතපු විදිහටම 2024 ජනවාරි මාසයේදී උද්ධමනය 6.4% මට්ටමට ගියා.

විදුලි ගාස්තු අඩු කිරීම හා එළවළු මිල විශාල ලෙස පහත වැටීම නිසා මේ (2024 මාර්තු) මාසයේ උද්ධමනය 0.9% දක්වාම පහත වැටිලා. මේ තත්ත්වයත් එක්ක වසර තුළ උද්ධමනය 4%-6% සීමාවෙන් උඩට යාමේ අවදානමක් පෙනෙන්න නැහැ.

අනෙක් අතට මාස ගණනක් තිස්සේ වර්ධනය වෙමින් පැවති පෞද්ගලික අංශයට දෙන ණය ප්‍රමාණය ජනවාරි මාසයේදී තරමක් පහත වැටී තිබුණා. කාර්තු හයක් තිස්සේ එක දිගට හැකිලුනු ආර්ථිකය නැවත වර්ධනය වෙන්න පටන් ගත්තේ මේ ණය වර්ධනයේද උදවුවෙන්. ඒ නිසා, ඒ තත්ත්වය දිගටම පවත්වා ගැනීම සඳහා මූර්ත පොලී අනුපාතික යම් තරමකින් පහත වැටෙන්න ඉඩ අරින්න වෙනවා. උද්ධමන අවදානම පහළ ගොස් ඇති නිසා මහ බැංකුවට ඒ සඳහා ඉඩක් ලැබී තිබෙනවා. බොහෝ විට වසරේ ඉදිරි කාලයේදී මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික තවත් අඩු කරන්න ඉඩ තිබෙනවා.

උද්ධමනය අඩු වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ විදුලි ගාස්තු අඩු කිරීම. විදුලි ගාස්තු අඩු කළ හැකි වුණේ ඩොලරයක මිල පහළ ගොස් නිෂ්පාදන පිරිවැය අඩු වූ නිසා. ඒ අනුව, පොලී අනුපාතික පහළ යාම කෙරෙහි ඩොලරයක මිල අඩු වීම වක්‍ර ලෙස බලපා තිබෙනවා.

මේ වෙද්දී ඩොලරයක මිල තිබෙන්නේ රුපියල් 300 සීමාව ආසන්නයේ. ඉදිරියේදී ඩොලරයක මිලට කුමක් වෙයිද?

මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය කළමනාකරුවන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ බොහෝ විට මේ වන විට වාණිජ ණයහිමියන් සමඟ මූලික එකඟතාවයක් ඇති කර ගෙන අවසන් බවයි. මේ අනුව, වසර මැද වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වීමට ඉඩ තිබෙනවා.

ඩොලරයක මිල දවසින් දවස අඩු වෙමින් තිබෙන්නේ මහ බැංකුව විසින් දිගින් දිගටම වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් සිටිද්දීයි. සංචාරක පැමිණීම් හා ශ්‍රමික ප්‍රේෂණ වල වර්ධනය හමුවේ මහ බැංකුව විසින් එසේ මැදිහත්වීම් නොකරන්නට ඩොලරයක මිල මීට වඩා වේගයෙන් පහත වැටෙනවා. මහ බැංකු අධිපතිවරයා විසින් ඉඟි කර තිබුණේ මෙසේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම නිසා මාර්තු මාසය අවසානයේදී විදේශ සංචිත ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඉදිරි කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන වාරිකයද සංචිත වලට එකතු වීමට නියමිතයි. මේ සියල්ලට අමතරව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ පසු රටට එන විදේශ විණිමය ප්‍රවාහ තවත් ඉහළ යන්නට ඉඩ තිබෙනවා.

ඉහත තත්ත්වයන් තුළ දැනට ලංකාවේ විදේශ අංශය තුළ පීඩනකාරී තත්ත්වයක් පෙනෙන්නට නැහැ. ඒ නිසාම, විණිමය අනුපාතය මගින් උද්ධමනය පහළට තෙරපීමත්, එයට ප්‍රතිචාර ලෙස මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති තව දුරටත් ලිහිල් කිරීමත් අපේක්ෂා කළ හැකියි. සරලව කිවුවොත් පොලී අනුපාතික තව දුරටත් පහළ යාම අපේක්ෂා කළ හැකියි.

Thursday, February 8, 2024

මහ බැංකුවේ අලුත්ම තීරණය


ඊයේ (පෙබරවාරි 7) මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වුනා. එහිදී, පොලී අනුපාතික කෙරෙහි බලපාන විශේෂ තීන්දුවක් ගනු ලැබුවා. එනම්, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ සිදු කළ හැකි ගනුදෙනු හා අදාළව මෙතෙක් පැවති ප්‍රමාණාත්මක සීමාවන් ලිහිල් කිරීමයි. 

මේ අනුව, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ වාණිජ බැංකුවකට දිනකට මහ බැංකුවෙන් ලබා ගත හැකි වූ ණය ප්‍රමාණය පිළිබඳ උපරිම සීමාව ඉවත් කර ඇති අතර, මාසයක කාලයක් තුළ නිත්‍ය තැන්පතු පහසුකම ලබා ගත හැකි වාර ගණන 5 සිට 10 දක්වා ඉහළ නංවා තිබෙනවා. 

මේ වන විට මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 10%ක් වන අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 9%ක් වෙනවා. මෙම පොලී අනුපාතික දෙක මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් මුදල් වෙළඳපොළ පොලී අනුපාතික, එනම් කෙටිකාලීන පොලී අනුපාතික, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට වඩා වැඩි විය යුතු අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතයට වඩා අඩු විය යුතුයි. 

නිත්‍ය ණය පහසුකම් අනුපාතය යටතේ මහ බැංකුවෙන් ණය ගැනීමේ අවස්ථාව තිබියදී වාණිජ බැංකුවකට ඊට වඩා වැඩි පොලියකට වෙළඳපොළෙන් ණය ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. එමෙන්ම, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට මහ බැංකුවේ මුදල් තැන්පත් කළ හැකිව තිබියදී ඊට වඩා අඩු පොලියකට වෙනත් අයෙකුට ණය දීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, ඉහත පොලී අනුපාතික දෙක වෙනස් කිරීම මගින් මහ බැංකුවට වෙළඳපොළ පොලී අනුපාතික පාලනය කළ හැකියි. 

කෙසේ වුවද, මුදල් සැපයුම වෙනස් නොකර, වෙළඳපොළ පොලී අනුපාතික වල තාවකාලික විචලනයන් පාලනය කිරීම පමණක් ඉලක්ක කරන්නේනම්, මහ බැංකුවට වෙළඳපොළ සමතුලිත පොලී අනුපාතිකයට වඩා ඉහළින් නිත්‍ය ණය පහසුකම් අනුපාතයත්, එම සමතුලිත පොලී අනුපාතිකයට වඩා පහළින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයත් පවත්වා ගන්නට සිදු වෙනවා. එවිට, වාණිජ බැංකුවකට ද්‍රවශීලතා හිඟයක් හෝ අතිරික්තයක් ඇති වූ විට මහ බැංකුවේ නිත්‍ය පහසුකම් ප්‍රයෝජනයට නොගෙන, වඩා වාසිදායක වෙළඳපොළ ගණුදෙනුවක් කළ හැකි බැවින්, කිසියම් වාණිජ බැංකුවකට මහ බැංකුව වෙත පැමිණීමට සිදු වන්නේ වෙළඳපොළ ගනුදෙනුවක් සඳහා පාර්ශ්වකරුවෙකු සොයා ගැනීමට නොහැකි වූ විට පමණයි. 

රජය විසින් දේශීය මුදල් වෙළඳපොළෙන් කරන ණය ගැනීම් ඉහළ යද්දී දේශීය මුදල් වෙළඳපොළේ ද්‍රවශීලතාව අඩු වී පොලී අනුපාතික ඉහළ යනවා. එවිට මහ බැංකුව විසින් එක්කෝ සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ වෙළඳපොළ සමතුලිත පොලී අනුපාතික හා ගැලපෙන පරිදි ඉහළ දැමිය යුතුයි. එසේ නැත්නම්, පොලී අනුපාතික ඉහළ යාම පාලනය කරමින් මුදල් සැපයුම ඉහළ යාමට ඉඩ හැරිය යුතුයි. 

ඉහත දෙවැන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ වෙළඳපොළ පොලී අනුපාතයට වඩා අඩුවෙන් මුදල් ලබා ගැනීමට වාණිජ බැංකු වලට ඉඩ සැලසීමයි. මෙහිදී, එසේ මහ බැංකුවෙන් අඩු පොලියකට ලබා ගන්නා අරමුදල් වැඩි පොලියකට රජයට ණයට දීම මගින් ලාබයක් ලබා ගැනීමේ අවස්ථාව වාණිජ බැංකු වලට ලැබෙනවා. කෙසේ වුවත්, රජය වැඩියෙන් ණය ගැනීම නිසා පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම පෞද්ගලික අංශයටද බලපාන නිසා, රටේ ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සඳහා, ඇතැම් තත්ත්වයන් යටතේ, මහ බැංකුවකට එසේ පොලී අනුපාතික පාලනය කරන්නට සිදු වෙනවා. 

ඉහත සාමාන්‍ය තත්ත්වයට අමතරව, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ වලට රජය විසින් බලපෑම් කිරීම නිසා නිත්‍ය පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළ දමනු නොලැබීම අපට වරින් වර දැක ගත හැකි වූ තත්ත්වයක්. මහ බැංකු ස්වාධීනත්වය තහවුරු කිරීම මගින් ඉලක්ක කෙරුණේ එවැනි තත්ත්වයන් ඇති වීම වලක්වා ගැනීමයි.

පහළින් තියෙන්නේ 2022 අප්‍රේල් පළමු සතිය වන විට, ඒ කියන්නේ වත්මන් මහ බැංකු අධිපතිවරයා ධුරයේ වැඩ භාර ගන්න කොට, පැවති තත්ත්වය.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික:

නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 7.5%

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 6.5%

බැංකු පොලී අනුපාතික:

බරිත සාමාන්‍ය නව ණය අනුපාතය - 10.73%

බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතය - 7.68%

බරිත සාමාන්‍ය නව ස්ථිර තැන්පතු අනුපාතය - 8.06%

භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ:

දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 12.92%

දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 12.25%

වාණිජ බැංකු වලට මහ බැංකුවෙන් 7.5% පොලියට අරමුදල් සපයාගන්න පුළුවන්කම තියෙද්දී තැන්පතු වෙනුවෙන් ඊට වඩා ගොඩක් ලොකු පොලියක් ගෙවන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා, තැන්පතු වෙනුවෙන් ගෙවන්නේ ඊට කිට්ටු පොලියක්. ඒ පොලියට වඩා 3%ක් පමණ වැඩි පොලියකට ණය දෙනවා. පොලිය ඊට වඩා ගොඩක් වැඩි කරලා පෞද්ගලික අංශයට ණය දෙන්න බැහැ. හැබැයි රජයට ඊට වඩා වැඩි පොලියකට ණය දෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙද්දී බැංකු විසින් කළේ තැන්පතු ලෙස එකතු කරගන්නා අරමුදල් වගේම මහ බැංකුවෙන් ණයට ගන්න සල්ලිත් රජයට ණයට දෙන එක. 

කොහොම හරි, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අතර සැලකිය යුතු පරතරයක් ඒ වෙද්දී හැදිලා තිබුණා. ඒ වගේ පරතරයක් නඩත්තු වෙද්දී මුදල් සැපයුම දිගින් දිගටම ප්‍රසාරණය වෙනවා. මොකද ටැප් එක ඇරියා වගේ මහ බැංකුවෙන් අඩු පොලියට ලැබෙන සල්ලි අනෙක් පැත්තට ලාබයක් තියාගෙන රජයට ණයට දෙන්න බැංකු වලට පුළුවන්.

අලුත් අධිපතිවරයා ධුරයේ වැඩ භාරගත් වහාම මෙන් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් වැඩි කරනවා. ඒ මගින් උත්සාහ කරන්න ඇත්තේ ඉහත විකෘතිය නැති කරන එක වෙන්න ඇති. පහත තිබෙන්නේ ඉන් පසු, අප්‍රේල් මාසය අවසානයේදී පොලී අනුපාතික වෙනස් වී තිබුණු ආකාරය.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික:

නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 14.5%

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 13.5%

බැංකු පොලී අනුපාතික:

බරිත සාමාන්‍ය නව ණය අනුපාතය - 13.72%

බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතය - 15.35%

බරිත සාමාන්‍ය නව ස්ථිර තැන්පතු අනුපාතය - 15.63%

භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ:

දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 23.48%

දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 23.95%

මහ බැංකුවේ විසින් කළේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඒ වන විට පැවති භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වල මට්ටමට ඔසොවන එක. හැබැයි එහෙම කළා කියලා ඔය දෙක අතර තිබුණු විශාල පරතරය නැති වුනේ නැහැ. ඒ වෙනුවට වුනේ එම පරතරය තවත් වැඩි කරමින් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගිය එකයි. මෙය පෙර ලිපියක විස්තර කර තිබෙන ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ ප්‍රශ්නයක්.

මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කිරීමට අනුරූපව වාණිජ බැංකු විසින් තැන්පතු පොලී අනුපාතිකද වැඩි කළත් ඒ හරහා එකතු කර ගත හැකි වූ අමතර අරමුදල් ප්‍රමාණයට වඩා වැඩි ණය ඉල්ලුමක් රජය පැත්තෙන් ආපු නිසා අන්තිමට වුනේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික අතර පරතරය ඒ විදිහටම නඩත්තු වුන එක. ඒ තත්ත්වය යටතේ වාණිජ බැංකු විසින් මහ බැංකුවෙන් අඩු පොලියට ණය අරගෙන රජයට වැඩි පොලියට ණයට දීම සහ ඒ හේතුවෙන් දිගින් දිගටම මුදල් සැපයුම ප්‍රසාරණය වීම මහ බැංකුවට පහසුවෙන් වළක්වාගන්න බැරි තත්ත්වයක් ඇති වුනා.

ඉහත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මහ බැංකුව විසින් 2023 ජනවාරි මාසයේදී නිත්‍ය ණය පහසුකම් හා අදාළ ප්‍රමාණාත්මක සීමාවන් දැම්මා. මේ අනුව, බැංකුවකට මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ ලබා ගත හැකි වූ අරමුදල් ප්‍රමාණය එම බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණයෙන් 90%කට සීමා කෙරුණා. ඒ වෙද්දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4%ක්. ඒ කියන්නේ අවම වශයෙන් තැන්පතු වලින් 4%ක් මහ බැංකුවේ තැන්පත් කර පවත්වා ගෙන යා යුතුයි. හැබැයි අනෙක් අතට මහ බැංකුවෙන් නිත්‍ය ණය පහසුකම යටතේ ණය ලබා ගන්න පුළුවන්. 2023 ජනවාරි මාසයේදී කළේ මෙය සීමා කරන එක.

මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම ඔය විදිහට සීමා කළාම බැංකු වලට යම් ද්‍රවශීලතා ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. තැන්පතු පොලී වැඩි කරගෙන අවශ්‍ය අරමුදල් වෙළඳපොළෙන්ම හොයා ගන්න වෙනවා. මෙයට උදවුවක් ලෙස නිත්‍ය තැන්පතු පහසුකම භාවිතා කිරීමද මාසයකට වාර පහකට සීමා කෙරුණා. එසේ කළ විට ද්‍රවශීලතා අතිරික්තයක් තිබෙන බැංකු වලට තමන්ගේ අතිරික්ත සල්ලි මහ බැංකුවේ තැන්පත් කිරීමේ අවස්ථාව සීමා වන නිසා ද්‍රවශීලතා හිඟයක් තිබෙන බැංකුවක් හොයලා ඒ සල්ලි ණයට දෙන්න වෙනවා.

කොහොම වුනත් මේ වෙද්දී රජය පැත්තෙන් විශාල වෙනස්කම් වෙලා රජයේ ණය ඉල්ලුම විශාල ලෙස අඩු වෙලා නිසා, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික අතර පරතරයද 1% පමණ මට්ටමක් දක්වා විශාල ලෙස අඩු වෙලා තිබෙනවා. පහත තිබෙන්නේ පසුගිය සතිය වන විට පැවති තත්ත්වය.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික:

නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 10%

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 9%

භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ:

දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 10.96%

දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 11.07%

මේ තත්ත්වය යටතේ මහ බැංකුවට ඉහත ප්‍රමාණාත්මක සීමාවන් ලිහිල් කිරීමට ඉඩප්‍රස්ථා ලැබී තිබෙනවා. ඒ එක්කම, වාණිජ බැංකු වලට මුහුණ දෙන්නට වූ ද්‍රවශීලතා අවදානම සැලකිය යුතු ලෙස අඩු වෙනවා. හදිසියකට මහ බැංකුවෙන් අවශ්‍ය පමණ අරමුදල් ලබා ගත හැකි නිසා ඔවුන්ට බයක් සැකක් නැතුව තමන් සතු අරමුදල් ණයට දෙන්න පුළුවන්.

සාමාන්‍ය මූලධර්මයක් ලෙස බැංකු විසින් ණය ලෙස ලබා දෙන අරමුදල් නැවත බැංකු පද්ධතියටම එනවා. මේ ක්‍රියාවලිය හරහා මුදල් මැවීමක් සිදු වෙනවා. එහිදී මුදල් සැපයුමේ යම් ඉහළ යාමක් සිදු වෙනවා. මේ තත්ත්වයන් එක්ක නැවතත් කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතර සීමාවකට පහත වැටෙන්න පුළුවන්. මහ බැංකුව විසින් ඉලක්ක කරන බව පෙනෙන්නේද එයයි. 

නිශ්චිතව කිවුවොත්, කෙටි කාලයක් ඇතුළත භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික තනි අංකයක් දක්වා අඩු වීමට නියමිතයි. ඒ කියන්නේ ස්ථිර තැන්පත් පොලී අනුපාතික වලටද එයම වෙනවා කියන එක. එසේ වෙද්දී ණය පොලී අනුපාතිකද 12%-13% වැනි මට්ටමක් දක්වා පහත වැටෙයි. නමුත් තවමත් පරණ තැන්පතු සඳහා ගෙවන සාමාන්‍ය ස්ථිර තැන්පතු පොලී අනුපාතික 14% ඉක්මවන මට්ටමක තිබෙන නිසා ණය පොලී අඩුවීම සිදු වනු ඇත්තේ මාස කිහිපයක ප්‍රමාදයකින් පසුවයි. 

Thursday, July 6, 2023

දැන ගියොත් කතරගම...


මහ බැංකුව විසින් තවත් 2%කින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරලා තියෙනවා. මේ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 11% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 12% දක්වාත් පහත වැටෙනවා.

මහ බැංකුව විසින් මේ විදිහට පොලී අනුපාතික තව දුරටත් අඩු කරයි කියන එක හිතා ගන්න අමාරු වූ දෙයක් නෙමෙයි. වසර මැද වෙද්දී උද්ධමනය විශාල ලෙස අඩු වීමේ සහ ඉන් පසුව පොලී අනුපාතිකද අඩු වීමේ ඉඩකඩ ගැන පසුගිය වසරේ සිටම අප පෙන්වා දී තිබෙනවා. ඉදිරි මාසයේදී උද්ධමනය තවත් අඩු වෙද්දී මේ පොලී අනුපාතිකද තවත් අඩු වෙයි. 

ආර්ථිකයට වැළඳෙන රෝග බොහොමයකට හේතු වගේම කළ යුතු ප්‍රතිකාරත් රහස් හෝ ගුරු මුෂ්ඨි නෙමෙයි. කාල පරීක්ෂාව සමත් වූ සම්මත, පිළිගත් දැනුම. ඒ දැනුම පැත්තකට දමලා ගොඩ බෙහෙත් කරන්න හෝ අලුතෙන් ප්‍රතිකාර හොයන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. 

පැහැදිලි ලෙසම සීමාව ඉක්මවූ උද්ධමනය කියන්නේ ප්‍රශ්නයක්. වසර එකහමාරකට පෙර තත්ත්වය කොහොම වුනත්, මේ වෙද්දී ගොඩක් අය උද්ධමනයේ හානි ගැන අත්දැකීමෙන්ම දන්නවා. උද්ධමනය කියන්නේ අහම්බෙන් සිදුවන ස්වභාවික සංසිද්ධියක් නෙමෙයි. මුදල් සැපයුම නිවැරදි ලෙස කළමනාකරණය නොකිරීම නිසා සිදු වෙන දෙයක්. ප්‍රතිපත්ති වරදක්. ඒ වරද නිවැරදි කිරීම මගින් උද්ධමනය පාලනය කරන්න පුළුවන්. 

නියම බෙහෙත දුන් විට ලෙඩක් සුව වෙනවා. නමුත් ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. පසුගිය වසරේ අප්‍රේල් පමණ සිටම ලංකාවේ උද්ධමන ලෙඩේ හොඳ අතට හැරිලයි තිබුණේ. නමුත්, ලෙඩා සුව වී ඇති බව පැහැදිලිව පෙනෙන්නේ දැනුයි. 

උද්ධමන රෝගය වැළඳුනු පසු එයට තිබෙන ප්‍රධානම ප්‍රතිකාරය පොලී අනුපාතික වැඩි කිරීම. තවත් විවිධ ප්‍රතිකාර තිබුණත් මූලිකම ප්‍රතිකාරය මේක. පොලී අනුපාතික පහළින් තියාගෙන උද්ධමනය පාලනය කරන්න බැහැ. හැබැයි පොලී අනුපාතික වලින් උද්ධමනය නිට්ටාවට සනීප කරන්න බැහැ. ලෙඩේ නිට්ටාවට සනීප කරන්නනම් රජයේ අයවැය හිඟය කියන නිදන්ගත රෝගය සුව කරන්න වෙනවා. නැත්නම් උද්ධමනය නැවත නැවත මතු වෙනවා. 

අයවැය හිඟය නැති කරන්නම් පළමුව ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න වෙනවා. ඒ සඳහා රජයේ ආදායම් වැඩි කරගෙන එම ආදායම් නොඉක්මවන තරමට වියදම් සීමා කරගන්න වෙනවා. මේ හරහා යම් මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්. හැබැයි එහෙම කළාට පස්සෙත් ඒ ඉතිරි වන මුදල පරණ ණය වල පොලිය ගෙවන්න ප්‍රමාණවත් නැත්නම් අයවැය හිඟයක් තව දුරටත් ඉතිරි වෙනවා. ඒ හිඟය පියවන්න ණය ගන්න වෙනවා. 

ලංකාවේ ගොඩ ගැසී තිබෙන ණය කන්දේ ප්‍රමාණය සහ ඒ වෙනුවෙන් ගෙවිය යුතු ඉහළ පොලිය අනුව පොලී වියදම් පියවා ගත හැකි තරමේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න එක ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයක් ඇති වුනේ ඔය තත්ත්වයත් එක්ක. 

මේ වෙද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙමින් තිබෙනවා. මෙය සිදුවෙන්නේ ස්වේච්ඡා පදනමින් නිසා සිදු වන දේ හරියටම බලාගන්න වෙන්නේ මේ මාසය අවසන් වූ පසුවයි. වාණිජ බැංකු වලට හා අනෙකුත් තනි පුද්ගලයින් ඇතුළු ආයෝජකයින්ට ඔවුන්ගේ සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විකල්ප තුනක් ලබා දී තිබෙනවා. මේ කිසිවක් සඳහා අයදුම් නොකළහොත් සිදුවන දෙය පැහැදිලි නැහැ. ඉදිරියේදී ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන්න යද්දීත් ඔය ප්‍රශ්නයම මතු වෙනවා. සාමාන්‍යයෙන් ඔය ණය 100%ක්ම ප්‍රතිව්‍යුහගත කරන්න ලැබෙන්නේ නැහැ. 

විශ්‍රාම පාරිතෝෂික අරමුදල් හා අදාළව තත්ත්වය තරමක් වෙනස් වන්නේ ප්‍රධාන විශ්‍රාම පාරිතෝෂික අරමුදල්  දෙකක්ම රජයේ භාරයේ තියෙන නිසා. මේ අරමුදල් වල බැඳුම්කර ආයෝජන ප්‍රතිව්‍යුහගත නොකෙරෙන්න ඉඩක් නැති තරම්. එහෙත් ඇතැම් පෞද්ගලික විශ්‍රාම පාරිතෝෂික අරමුදල් ඔවුන්ගේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත නොකරන්න ඉඩ තිබෙනවා. මේ පැත්තෙන් සිදු වන ප්‍රගතිය හරියටම දැනගන්න වෙන්නෙත් මාසයකට පසුවයි. ඔය මාසයක කාලය තුළ විදේශ ණය හා අදාළවත් යම් ප්‍රගතියක් දැකගන්න පුළුවන් විය හැකියි. 

මහ බැංකුව සතු රජයේ ණය ප්‍රතිව්‍යුහගත කරන එක හදිස්සියේ වෙන දෙයක් නෙමෙයි. එය සිදුවනු ඇත්තේ නව මහ බැංකු පණත ක්‍රියාත්මක වෙද්දී. මේ පණත ආවට පස්සේ මහ බැංකුව විසින් රජයේ අයවැය හිඟය පියැවීම සඳහා සල්ලි අච්චු ගහන එක නවතිනවා. ඒ හරහා, මහ බැංකුවට උද්ධමනය තමන්ට අවශ්‍ය මට්ටමක තියා ගැනීමට ඉඩකඩ සැලසෙනවා. ඒ නිසා දිගුකාලීනව උද්ධමනය 5% මට්ටමේ තියා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. 

ඔය තත්ත්වය යටතේ රජයට ආදායම් ඉලක්ක වලට යන්න බැරි වුනොත් හෝ වියදම් ඉහළ ගියොත් ණය ගන්න වෙන්නේ වෙළඳපොළෙන්. මහ බැංකුවට එයට ඉඩ සලසමින් පොලී අනුපාතික ඉහළ දමන්න සිදු වෙනවා. ඒ නිසා, පොලී අනුපාතික පහළින් තියාගන්නනම් රජයේ අයවැය ඉලක්ක වලට යන්නම වෙනවා. 

වාණිජ බැංකු සතු ඩොලර් ණය ප්‍රතිව්‍යුහගත කළාට පස්සේ වාණිජ බැංකු වල විදේශ සංචිත පහළ වැටෙනවා. ඒ අඩුව, හදාගන්න යම් ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මහ බැංකුවේ සංචිත හදාගන්න මහ බැංකුවටත් ඩොලර් අවශ්‍ය වෙනවා. දැනට නොගෙවන විදේශ ණය කොටස් වශයෙන් ගෙවන්න පටන් ගත් විට ඒ වැඩේටත් ඩොලර් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ආනයන සීමා ඉවත් වෙද්දීත් ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. ඔය සියල්ලම එක්ක මැදිකාලීනව ඩොලරයක මිල ඉහළ යනවා මිසක් පහළ යන්නේ නැහැ. 

මේ වෙලාවේ ඩොලරයක මිල පහත වැටීම නිසා ඉන්ධන වල සිට ආනයනික භාණ්ඩ බොහොමයක මිල පහත වැටී තිබෙනවා. ඒ හරහාද උද්ධමනය අඩු වීමට දායකත්වයක් ලැබී තිබෙනවා. නමුත් එම බලපෑම තාවකාලික එකක්. ඩොලරයේ මිල ඉහළ යද්දී ආනයනික භාණ්ඩ මිල නැවත ක්‍රමයෙන් ඉහළ යයි. හැබැයි ඒ හේතුවෙන් උද්ධමන ඉලක්ක වලට යන්න බැරි වෙන්නේ නැහැ.

විණිමය අනුපාතයේ බලපෑම නිසා උද්ධමනය ඉහළ යද්දී වුනත් මහ බැංකුව සතුව තිබෙන ප්‍රතිකාරය පොලී අනුපාතික වැඩි කරන එක. පොලී අනුපාතික වැඩි කරද්දී ණය ඉල්ලුම අඩු වෙලා ආනයන ඉල්ලුම පහළ යනවා. මේ හේතු නිසා ආර්ථිකය ස්ථාවර වුනාට පසුව ඩොලරයක මිල ඉහළ යාම නවතින්නේ හෝ හිතේ හැටියට ණය වෙන්න ඉඩ ලැබෙන පරිදි පොලී අනුපාතික පහළ යන්නේ නැහැ. ඔය දෙකම සුදුසු මට්ටම් වල රැඳෙයි. ඵලදායී කාර්යයක නිරත වන අයෙකුට මේවා ප්‍රශ්න වෙන එකක් නැහැ. 

කොහොම වුනත්, දැනට පවතින උද්ධමන ප්‍රවණතා අනුව පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම යම් තරමකින් ඉහළ යන්න ඉඩ දීමේ හැකියාවක් තිබෙනවා වගේම ආර්ථික වර්ධනය සඳහා එය අවශ්‍යයි. මේ වසරේ පළමු කාර්තුවේදී (පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව) ආර්ථිකය 11.5%කින් හැකිළුනා. දැන් දෙවන කාර්තුවත් ඉවරයි. දෙවන කාර්තුවේදීද 5%කට ආසන්න හැකිලීමක් සිදු වී තිබිය හැකියි. නමුත් මේ (තුන්වන)  කාර්තුවේදී නැත්නම් ඉදිරි (හතරවන) කාර්තුවේදී ඔය තත්ත්වය වෙනස් වී සුළු හෝ ආර්ථික වර්ධනයක් සිදු වෙන්න ඉඩ තිබෙනවා. 

ඉදිරි මාස දෙක තුන තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වුනොත් අමාරුම කාලය ඉවර වෙනවා. නමුත් එයින් අදහස් වන්නේ හැම ප්‍රශ්නයක්ම විසඳිලා ඉවරයි කියන එක නෙමෙයි. මෙහිදී වෙන්නේ වාහනය ගරාජ් එකෙන් ගෙදර ගෙනියනවා වගේ වැඩක්. ඊට පස්සේ නැවත මේ වගේ හදිසි අනතුරක් කර නොගෙන, පාරෙන් පිට නොපැමිණ ගමන යා යුතුයි. රියදුරා පාර දන්න, පාර පේන, එළවන්නත් දන්න රියැදුරෙක්නම් රියැදුරා මාරු වීම හෝ නොවීම ප්‍රශ්නයක් නොවුනත් ගමන් සැලසුම වෙනස් වුනොත්නම් ප්‍රශ්නයක්.

දැන ගියොත් හරි පැත්තට හරවලා කතරගම යන්න පුළුවන්. නොදැන ගියොත් වැරදි පැත්තට හරවලා කලින් පාර වගේ හම්බන්තොට ගිහින් හොම්බෙන් ගියාට පස්සේ ආපහු එන්නත් පුළුවන්. හැබැයි දැන් කලින් තරමටවත් වාහනේ පැට්‍රෝල් නැති නිසා මේ පාර වැරදි පාරේ ගියොත් ආපහු එන්න පැට්‍රෝල් මදි වෙන්න පුළුවන්. මේ දුවන්නේ විදේශ ණයහිමියෝ පිනට ගහල දෙන පැට්‍රෝල් වලින්! 

Friday, June 30, 2023

උද්ධමනය 12% දක්වා අඩු වේ!

 

අප විසින් මාස ගණනාවකට පෙර සිටම විශ්වාසනීය ලෙස ප්‍රකාශ කළ පරිදි ගෙවුණු ජූනි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනය 12.0% දක්වා අඩු වී ඇති අතර ආහාර උද්ධමනය 4.1% දක්වාම පහත වැටී තිබෙනවා. මේ මාසයේදී ආහාර උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීමට ඉඩ තිබෙන බවද අප විසින් කලින්ම සඳහන් කර තිබුණු දෙයක්. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුණු ජූනි මාසයේ උද්ධමනය මීටත් වඩා අඩු වී තිබිය හැකියි.

ආහාර උද්ධමනය මේ වන විටද මහ බැංකුවේ අපේක්ෂිත දිගුකාලීන ඉලක්කය වන 4%-6% පරාසය කරා පැමිණ තිබෙනවා. ඉදිරි ජූලි මාසයේදී සමස්ත උද්ධමනය 8%කට ආසන්න මට්ටමකට පැමිණෙනු ඇති අතර අගෝස්තු මාසය වන විට තවත් පහළට පැමිණ ඉලක්ක පරාසය වෙත පැමිණීමට නියමිතයි. 

ඉහත තත්ත්වය තුළ මේ වන විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තිබෙන්නේ උද්ධමන අගයට වඩා ප්‍රතිශතාංක කිහිපයක් ඉහළින්. මෙම තත්ත්වය හමුවේ, එළැඹෙන බ්‍රහස්පතින්දා මහ බැංකුව විසින් සිය පොලී අනුපාතික වල සැලකිය යුතු කප්පාදුවක් කරනු ඇතැයි සිතිය හැකියි. 

Tuesday, June 27, 2023

සති අන්තයේදී ණය හුවමාරුව අවසන් වෙයිද?


මේ සති අන්තය තුළ සිදු විය හැකි දේ පිළිබඳව අද හෝ හෙට විස්තරාත්මක සටහනක් ලියන්නට මුලින්ම සැලසුම් කර තිබුණත්, නිවාඩු දින ගැන පළ කළ සටහනට ලැබී තිබුණු ප්‍රතිචාර අනුව, තරමක් කෙටි සටහනක් ඊයේ දිනයේදීම ලියා පළ කළා. අද අපි මේ ගැන තවත් ටිකක් කතා කරමු. 

මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් හා දේශපාලන අධිකාරියේ ඉහළම තට්ටුවෙන් පසුව සිදු විය හැකි දේ පිළිබඳව වැඩිම අවබෝධයක් ඇති කණ්ඩායම සේ සැලකිය හැක්කේ වාණිජ බැංකු වල භාණ්ඩාගාර දෙපාර්තුමේන්තු වල සේවය කරන නිලධාරීන් පිරිසයි. අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ ඔවුන්ටද මේ පිළිබඳව තොරතුරු කිසිවක් ලැබී නැති බවයි. ඒ කියන්නේ බැංකුකරුවන් හා රජය/ මහ බැංකුව අතර කිසිදු අවිධිමත් මූලික සාකච්ඡාවක් සිදු වී නොමැති බවයි.

මෙවැනි තත්ත්වයක් තුළ මුලින්ම සිදු විය යුතු හා සිදු වීමට නියමිත දෙය රජයේ පාර්ශ්වයෙන් බැංකුකරුවන් ඇතුළු භාණ්ඩාගාර බැඳුම්කරහිමියන් වෙත මූලික යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීමයි. ඊට පෙර, ඒ සඳහා කැබ්නට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුව තිබෙනවා. ඉන් අනතුරුව, පාර්ලිමේන්තුවේ අනුමැතියද ලබා ගත යුතු වෙනවා. 

සාමාන්‍ය මූලධර්මයක් ලෙස කැබිනට් මණ්ඩල සාමාජිකයින් විසින් එහිදී ගන්නා තීරණ හා සාකච්ඡා කරන දේ පිළිබඳව රහස්‍යභාවය සුරැකීමට බැඳී සිටින නමුත් කැබ්නට් මණ්ඩල අනුමැතිය ලැබූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ඉතිරි කටයුතු පාරදෘශ්‍ය ලෙස කිරීම සාමාන්‍ය ක්‍රමයයි. 

රජයේ මූලික යෝජනා පිළිබඳව බැඳුම්කරහිමියන් දැනුවත් වූ පසුව, වෙළඳපොළ කම්පනයක් ඇති වීම සඳහා යෝජනාවලියට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීම හෝ නොලැබීම අදාළ වන්නේ නැහැ. එම කම්පනය කොහොමටත් ක්ෂණිකව ඇති වෙනවා. ඒ නිසා, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා තවදුරටත් රහසිගතව තබා ගැනීමේ තේරුමක් නැහැ. 

මේ අනුව, කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමට පෙර, අදාළ මූලික යෝජනා ප්‍රසිද්ධ කරනු ලැබීමට ඉඩ තිබෙනවා. ඒ වගේම, වත්මන් පාර්ලිමේන්තුවේ පවතින බලතුලනය අනුව පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම බොහෝ දුරට සංදර්ශනාත්මක කටයුත්තක් පමණක් විය හැකියි. 

මෙහිදී විශේෂයෙන් කිව යුත්තේ මෙම වෙළඳපොළ කම්පනය සිදුවීමට නියමිතව ඇත්තේ භාණ්ඩාගාර බැඳුම්කර හා අදාළව පමණක් බවයි. භාණ්ඩාගාර බිල්පත් ආයෝජන හෝ බැංකු වල ඇති ස්ථිර තැන්පතු ආදිය කෙරෙහි මෙයින් සෘජු බලපෑමක් සිදු වීමේ ඉඩක් නැහැ. 

රජයට බලහත්කාරයෙන් භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාවක් නැහැ. මෙහිදී සිදු වනු ඇත්තේ දැනට නිකුත් කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවට වඩා දිගු කාලයකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර ස්වේච්ඡාවෙන් හුවමාරු කර ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීමයි. මෙය, පෙර ලිපියක විස්තර කර ඇති, ඝානාවේ සිදු වූ දෙයට සමාන දෙයක් වනු ඇති බව මගේ අදහසයි. 

මේ ආකාරයේ වැඩපිලිවෙළක් සාර්ථක වීමටනම් දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර වලින් සැලකිය යුතු කොටසක් අදාළ බැඳුම්කරහිමියන් විසින් ස්වේච්ඡාවෙන් අලුතෙන් නිකුත් කරන බැඳුම්කර සමඟ හුවමාරු කරගත යුතුයි. හුවමාරුවෙන් පාඩුවක් සිදුවේනම් එවැනි ස්වේච්ඡා හුවමාරුවක් සිදු වීමේ ඉඩක් නැහැ. 

මෙහිදී රජයේ පාර්ශ්වයට තිබෙන එක් සාපේක්ෂ වාසියක් වන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වලින් සැලකිය යුතු කොටසක් රජයේම කොටස් සේ සැලකිය හැකි, සේවක අර්ථසාධක අරමුදල හා රාජ්‍ය බැංකු සතුව තිබීමයි. එම බැඳුම්කර අලුත් බැඳුම්කර වර්ගයක් හා හුවමාරු කර ගනු ලැබුවහොත්, ඒ හේතුව නිසාම අලුත් බැඳුම්කර වල ද්‍රවශීලතාව ඉහළ ගොස් පැරණි බැඳුම්කර වල ද්‍රවශීලතාව පහත වැටෙනවා. ඒ හේතුවෙන් අනෙක් ආයතන වල බැඳුම්කරද හුවමාරු කිරීමට පෙළඹුමක් ඇති වෙනවා. ඊට අමතරව මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්ද අලුතෙන් නිකුත් කරන දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පරිවර්තනය කරනු ලැබුවහොත් හුවමාරු කිරීම සඳහා වන පෙළඹුම තවත් ඉහළ යනවා. කෙසේ වුවද, මෙය තීරණය වනු ඇත්තේ අලුත් බැඳුම්කර වෙනුවෙන් ගෙවීමට යෝජිත කූපන් පොලී අනුපාතික හා කල් පිරීමේ කාල මතයි.

ඝානාවේ අත්දැකීම් අනුව, මෙවැනි ස්වේච්ඡා හුවමාරුවක් සති අන්තය තුළ සිදු වී අවසන් වීමේ විශාල ඉඩක් පෙනෙන්නට නැහැ. රජය බැඳුම්කර හුවමාරු කිරීම පිළිබඳව තීරණය කිරීම සඳහා සති කිහිපයක පමණ කාල රාමුවක් ලබා දෙන්නට වැඩි ඉඩක් තිබෙනවා. හුවමාරුව නිසා එක් එක් බැංකුවට සිදු විය හැකි වාසි අවාසි සලකා බැලීම දින දෙක තුනකින් කළ හැකි දෙයක් නෙමෙයි. එම කාලය තුළ දැකිය හැකි වන ප්‍රගතිය අනුව, රජය විසින් මුල් වටයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා පසුව වරක් හෝ කිහිප වරක් සංශෝධනයට ලක් කරනු ලැබීමේ කිසියම් ඉඩක්ද තිබෙනවා. ඇතැම් විට එසේ නොකර කාලය දිගු කිරීමක් කරන්නත් පුළුවන්. බැඳුම්කරහිමියන්ගෙන් වැඩි පිරිසක් මුල් යෝජනාවලියට ප්‍රතිචාර දක්වනු ලැබුවහොත් එය රජය විසින් ලබාගන්නා විශාල ජයග්‍රහණයක්.

යම් හෙයකින් රජයේ මූලික යෝජනා පසුව වෙනස් වුවද එසේ වෙනස් වන්නේ පළමු යෝජනා වල ආකෘතිය ඔස්සේම බැවින් මෙම ණය හුවමාරු යෝජනාව නිසා ඇති වන වෙළඳපොළ කම්පනය සමනය වීම බැංකු නිවාඩු කාලය තුළ සිදු විය හැකියි. එමෙන්ම, සිදු වන වෙනස්කම් එක් එක් බැංකුවේ ගිණුම් කෙරෙහි බලපාන ආකාරය වෙනස් නිසා මෙම යෝජනා ප්‍රසිද්ධ වීමෙන් පසුව, ඉදිරි සතිය තුළ, වාණිජ බැංකු වල කොටස් මිල ගණන් වල විචලනයන් සිදු විය හැකියි. ඒ හැරුණු විට පාරිභෝගික තැන්පතු වලට බලපාන වෙනසක් සිදු වෙන එකක් නැහැ.

මේ කිසිවක් පුරෝකථන නෙමෙයි. මේ කියූ සියල්ල පැය විසිහතරක් ඇතුළත නිවැරදි නොවන බව පෙනී යා හැකි අනුමාන පමණයි. උද්ධමනය වැනි සාර්ව ආර්ථික විචල්‍ය වල හැසිරීම සෑහෙන තරම් නිවැරදිව පුරෝකථනය කළ හැකි වුවත්, ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ගන්නට ඉඩ තිබෙන තීරණ පිළිබඳව කළ හැක්කේ අනුමාන කිරීමක් පමණයි. කෙසේ වුවත්, අප මෙම අනුමාන සිදු කරන්නේ රජය සතුව දැනට තිබෙන විකල්ප පිළිබඳව විශ්ලේෂණය කිරීමෙන් පසුවයි. 

කෙටියෙන් කිවුවොත් දැනට ප්‍රකාශිත දේ සහ ජාත්‍යන්තර අත්දැකීම් අනුව මගේ අදහස වන්නේ භාණ්ඩාගාර බැඳුම්කර ස්වේච්ඡාවෙන් හුවමාරු කර ගැනීම සඳහා ණයහිමියන් වෙත විකල්ප ඉදිරිපත් කරමින් හා යම් කාලයක් ලබා දෙමින් රජය විසින් ඉදිරිපත් කරන මූලික යෝජනාවලියක් ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් විය හැකි වුවත්, මෙම කටයුත්ත අවසන් වීම සඳහා අවම වශයෙන් සති කිහිපයක්වත් ගත විය හැකි බවයි. ඒ අතර, ලබන සතියේ බ්‍රහස්පතින්දා (ජූලී 6) මහ බැංකුව විසින් නැවතත් සැලකිය යුතු ලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමටද ඉඩ තිබෙනවා.

Wednesday, May 3, 2023

බැංකු කඩා වැටෙද්දී පොලී අනුපාතික තවත් ඉහළට!


අද ඇමරිකාවේ ෆෙඩරල් විවට වෙළෙඳපොළ කමිටුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික තවත් පාදක අංක 25කින් (0.25%කින්) ඉහළ දැම්මා. මේ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව 5.00-5.25% දක්වා ඉහළ යනවා. පසුගිය මාර්තු මාසයේ සිට ෆෙඩරල් විවට වෙළෙඳපොළ කමිටුව රැස් වුනු හැම අවස්ථාවකදීම පොලී අනුපාතික ඉහළ දමා තිබෙන අතර මේ එක දිගට පොලී අනුපාතික ඉහළ දමන දහවන අවස්ථාවයි. 

මීට පෙර, උද්ධමනය ඉලක්ක මට්ටම ඉක්මවා ගිය 2006 වසරේදී ඇමරිකාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 5.25% දක්වා ඉහළ දමනු ලැබූ අතර, ඊටත් පෙර 2000 වසරේදී 6.50% දක්වා ඉහළ දමනු ලැබුවා. ඒ අවස්ථා දෙකේදීම දැඩි මුදල් ප්‍රතිපත්තිය අවසන් වුනේ ආර්ථික අර්බුදයකින්. පසුගිය (2022) ජූනී මාසයේදී 9.1% මට්ටම දක්වා ඉහළ ගිය උද්ධමනය මේ වන විට 5.0% මට්ටම දක්වා අඩු වී ඇතත්, ඉලක්ක මට්ටම වන 2.0% දක්වා උද්ධමනය අඩු වන තුරු දැඩි මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම ඇමරිකාවේ මහ බැංකුවේ අභිලාෂය බව පෙනී යනවා.

කෙටිකාලයක් තුළ මේ අයුරින් පොලී අනුපාතික විශාල ලෙස වැඩි කිරීම මූල්‍ය ආයතන වල වත්කම් කෙරෙහි අහිතකර ලෙස බලපානවා. පසුගිය සතියේ ඇමරිකාවේ තවත් බැංකුවක් බංකොලොත් වුනා. මේ විදිහට බංකොලොත් වූ ෆස්ට් රිපබ්ලික් බැංකුව ඇමරිකාවේ 14වන විශාලතම බැංකුවයි. මෙය ඇමරිකාවේ දෙවන විශාලතම බැංකු කඩා වැටීමයි.

ගෙවුණු මාර්තු මාසයේදී ඇමරිකාවේ විශාලතම බැංකු දෙකක් කඩා වැටුණා. ඒ, 16 වන තැන සිටි සිලිකන් වැලි බැංකුව සහ 29 වන තැන සිටි සිග්නේචර් බැංකුවයි. මෙම බැංකු කඩා වැටීම් ඇමරිකන් ඉතිහාසයේ දෙවන හා තෙවන විශාලතම බැංකු කඩා වැටීම් ලෙස සටහන් වුනා. එහෙත්, ෆස්ට් රිපබ්ලික් බැංකුව මේ බැංකු දෙකටම වඩා විශාල නිසා එම බැංකුවේ කඩා වැටීම දෙවන විශාලතම බැංකු කඩා වැටීම බවට පත් වී තිබෙනවා. 

ඇමරිකාවේ ෆෙඩරල් තැන්පතු රක්ෂණ ක්‍රමය නිසා කිසියම් බැංකුවක් කඩා වැටුනත් ඩොලර් 250,000 දක්වා වන තැන්පතු සුරක්ෂිතයි. මෙම රක්ෂණ ක්‍රමය වෙනුවෙන් සාමාජික බැංකු විසින් වාර්ෂිකව මුදලක් ගෙවිය යුතුයි. 

බැංකුවක් බංකොලොත් වූ විට ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම විසින් තැන්පතු ආරක්ෂා කරන ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය, තැන්පතුකරුවන්ට අදාළ මුදල් සෘජුව ගෙවා දැමීමයි. දෙවන ක්‍රමය, එවැනි බැංකුවක් සෘණ මිලකට වෙනත් බැංකුවකට විකිණීමයි. 

මාර්තු මාසයේදී බැංකු කඩා වැටුණු විට පළමු ක්‍රමය අනුගමනය කළත්, ෆස්ට් රිපබ්ලික් බැංකුව අදාළව දෙවන ක්‍රමය අනුගමනය කිරීමට ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම සමත්ව තිබෙනවා. මේ අනුව, මේ අනුව තරඟකාරී වෙන්දේසි ක්‍රමයකින් අඩුම ලන්සුව ඉදිරිපත් කළ ජේපී මෝගන් චේස් බැංකුවට ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම විසින් පවරාගත් ෆස්ට් රිපබ්ලික් බැංකුවේ වත්කම් හා බැරකම් විකුණා තිබෙනවා. කඩා වැටුණු පසු තැන්පතු වෙනුවෙන් වන්දි ගෙවීමට සාපේක්ෂව මෙම ක්‍රමය වාසිදායක ක්‍රමයක්.

බැංකුවක් බංකොළොත් වුනා කියන්නේ එහි වත්කම් වලට වඩා බැරකම් වැඩියි කියන එකයි. කිසිවෙකු විසින් එවැනි ශුද්ධ බැරකමක් මුදල් ගෙවා ලබා ගන්නේ නැහැ. ඒ නිසා, ශුද්ධ බැරකමක් විකිණිය හැක්කේ සෘණ මිලකටයි. ඒ කියන්නේ සල්ලිත් එක්කයි. අඩුම මුදල් ප්‍රමාණයක් සමඟ ෆස්ට් රිපබ්ලික් බැංකුව මිල දී ගන්නට කැමති වී තිබෙන්නේ ඇමරිකාවේ ලොකුම බැංකුව වන ජේපී මෝගන් චේස් බැංකුවයි. 

ඇමරිකානු ඉතිහාසයේ විශාලතම බැංකු කඩා වැටීම 2008දී සිදු වූ වොෂින්ටන් මියුචුවල් බැංකුව කඩා වැටීමයි. ඒ අවස්ථාවේදී එම බැංකුව මිල දී ගත්තේද ජේපී මෝගන් චේස් බැංකුවයි. මේ අයුරින් බංකොලොත් බැංකුවක් වෙනත් බැංකුවකට පැවරීම සඳහා ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගමට වැය වන්නේ තැන්පතු මුදල් ආපසු ගෙවනවාට වඩා අඩු මුදලක්.

පොලී අනුපාතික ඉහළ දැමීම බැංකු පද්ධතියේ ස්ථාවරත්වය මත අහිතකර ලෙස බලපාන නමුත් ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් වඩා විශාල අභියෝගය ලෙස හඳුනාගෙන තිබෙන්නේ උද්ධමනය පාලනය කිරීමයි. එහිදී, ඔවුන් බැංකු කඩා වැටීම ගැන නොසිතා සෘජුව තීරණ ගන්නා අතර බැංකු කඩා වැටීම් වලට වෙනම විසඳුම් දෙනවා. ඇමරිකානු ඩොලරයේ ශක්තිය රඳා පවතින්නේ ඇමරිකාවේ උද්ධමනය අඩු මට්ටමක ස්ථාවර ලෙස පවත්වා ගැනීම මතයි. 

Wednesday, January 25, 2023

පොලී අනුපාතික ප්‍රවණතා...


ඊයේ පැවති මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොකිරීමට තීරණය කර තිබෙනවා. මෙය ඉතා නිවැරදි තීරණයක්. 

උද්ධමනය අඩු වෙමින් තිබෙනවා වගේම ඉදිරි කාලයේදී විශාල ලෙස අඩු වීමට නියමිතවද තිබෙනවා. එහෙත්, එය තවමත් සියල්ලන්ටම පැහැදිලිව පෙනෙන දෙයක් නෙමෙයි. උද්ධමනය අඩුවීම සියල්ලන්ටම පැහැදිලිව පෙනෙනු ඇත්තේ වසරේ මැද භාගය වන විටයි. ඊට පෙර පොලී අනුපාතික පහළ දැමීමෙන් උද්ධමන අපේක්ෂාවන් ඉහළ ගොස් උද්ධමනය පහළ යාම ප්‍රමාද විය හැකියි.

අනෙක් අතට භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික ක්‍රමයෙන් පහත වැටෙමින් තිබුණත්, තවමත් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික හා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අතර විශාල පරතරයක් තිබෙනවා. ඒ වගේම, වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය තිරසාර ලෙස පියැවී නැහැ. වසර මැද වන තුරු මේ තත්ත්වයේ විශාල වෙනසක් සිදු වේයැයි සිතන්න අමාරුයි. 

අද (ජනවාරි 25) පැවති බිල්පත් වෙන්දේසියේදී වැඩි බිල්පත් ප්‍රමාණයක් (රුපියල් බිලියන 120ක්) අලෙවිකරමින් වුවද පොලී අනුපාතිකද අඩු මට්ටමක තබා ගැනීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. පෙර සතියට සාපේක්ෂව දින-91 පොලී අනුපාතික පාදක අංක 17කින්ද, දින-182 පොලී අනුපාතික පාදක අංක 35කින්ද, දින-364 පොලී අනුපාතික පාදක අංක 47කින්ද පහත වැටී තිබෙනවා. ආයෝජකයින්ගේ රුචිය වඩා දිගු පරිණත කාල වෙත විතැන් වෙමින් තිබීම හොඳ ලකුණක්. 

මේ දවස් වල රජයේ අරමුදල් කළමනාකරණය සිදු වන්නේ කොහොමද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව, මෙහෙයුම් ඉලක්කය වන්නේ ප්‍රාථමික අයවැය හිඟයයි. එය වැඩි වෙන්නට ඉඩ හැරීමේ හැකියාවක් රජයට නැහැ. එයින් අදහස් වන්නේ කුමක්ද?

ප්‍රායෝගික තත්ත්වයන් යටතේ රජය විසින් පිළියෙළ කර සම්මත කරගෙන තිබෙන ආදායම් ඉලක්ක ඒ විදිහටම සපුරා ගැනීම අසීරු විය හැකියි. එහෙත්, ඒ හේතුව මත ප්‍රාථමික අයවැය හිඟය ඉලක්ක මට්ටමට වඩා වැඩි වීමට ඉඩ දිය නොහැකි නිසා, ආදායම අඩුවීමට අනුරූපව රජයේ වියදම් සීමා කරන්නට සිදු වෙනවා. මෙය රාජ්‍ය අයවැය කළමනාකරණයේදී මුහුණ දෙන්නට සිදු වී තිබෙන පළමු අභියෝගයයි.

දෙවන අභියෝගය වන්නේ සල්ලි අච්චු ගැසීමක් නොකර ඉහත ප්‍රාථමික අයවැය හිඟයද ඇතුළුව සමස්ත අයවැය හිඟය පියවා ගැනීමයි. විදේශ ණය නොලැබෙන තත්ත්වයක් තුළ මෙම අරමුදල් සපයා ගත හැකි එකම ක්‍රමය දේශීය වෙළඳපොළෙන් ණය ලබා ගැනීමයි. එහිදී අවශ්‍ය තරමට පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ දිය යුතු වෙනවා. 

අසීරුවෙන් වුවත්, රජය ඉහත ඉලක්ක දෙක තුළම රැඳී සිටිනවා. එහි ප්‍රතිඵලය ඉහළ පොලී අනුපාතිකයි. කෙසේ වුවත්, අඩු වශයෙන් කරුණු දෙකක් නිසා දෙවන කාර්තුව තුළ පොලී අනුපාතික මත වන පීඩනය සැලකිය යුතු ලෙස අඩු විය හැකියි.

පළමුවැන්න, රජයේ බදු ආදායම් ක්‍රමක්‍රමයෙන් එකතු වන්නට පටන් ගැනීමයි. බදු අනුපාතික ඉහළ දමනු ලැබුවද එම ඇතැම් බදු ආදායම් තවමත් එකතු වන්නට පටන් ගත්තා පමණයි. 

දෙවන වාසිදායක සාධකය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත පළමු ණය වාරිකයයි. සාමාන්‍යයෙන් මෙම අරමුදල් රජයේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා යොදා ගත නොහැකි වුවත්, විශේෂ තත්ත්වයක් සේ සලකමින් අරමුදල ඒ සඳහා ඉඩ දී තිබෙනවා. එම අරමුදල් රජයට ලැබෙද්දී දේශීය ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය අනුරූප ලෙස පහල ගොස් පොලී අනුපාතික මත පීඩනය අඩු වෙනවා.

මේ කරුණු දෙකට අමතරව වසර මැද වන විට උද්ධමන අපේක්ෂාවන් පහත වැටීමේ වාසියද පොලී අනුපාතික කෙරෙහි යටිකුරු තෙරපුමක් ඇති කිරීමට නියමිතයි. 

Thursday, January 12, 2023

ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ඒක්ෂණ මුදල් වෙළඳපොළ

 



ප්‍රතිපත්ති පොලී අනුපාතික යන්නෙන් අදහස් වෙන්නේ කුමක්ද? මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම හා නිත්‍ය තැන්පතු පහසුකම ලෙස හැඳින්වෙන්නේ කුමක්ද? බැංකු වල ද්‍රවශීලතාවය කියන්නේ කුමක්ද? වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් හෝ ද්‍රවශීලතා අතිරික්තයක් ඇති වන්නේ කොහොමද? ඒක්ෂණ මුදල් වෙළඳපොළ කියන්නේ කුමක්ද? එහි පොලී අනුපාතික තීරණය වන්නේ කොහොමද? එම පොලී අනුපාතික සහ ප්‍රතිපත්ති පොලී අනුපාතික අතර සම්බන්ධය කුමක්ද? ප්‍රතිපත්ති පොලී අනුපාතික මගින් මුදල් සැපයුම පාලනය වෙන්නේ කොහොමද?

වෙබ් ලිපිනය: