වෙබ් ලිපිනය:

Friday, September 25, 2026

උද්ධමන ඉලක්කය වෙනස් වෙයිද?


දැනට පෙනෙන විදිහට ඉදිරි වසර තුනක කාලය සඳහා වන උද්ධමන ඉලක්කයද 5% ලෙසම පැවතීමට ඉඩ තිබෙනවා. ඇතැම් විට ඉදිරි මුදල් ප්‍රතිපත්ති විවරණයෙන් පසුව මේ පිළිබඳව නිවේදනය කෙරෙන්න පුළුවන්. 

ආර්ථික අර්බුදයෙන් පසුව ලංකාවේ මහ බැංකුව ස්වාධීන කළා. තාක්ෂනික පදනමකින් අලුත්, ස්වාධීන මහ බැංකුවක් පිහිටෙව්වා කියලත් කියන්න පුළුවන්. මේ අලුත් මහ බැංකුවට කරන්න තියෙන්නේ එක ප්‍රධාන කාර්යයක් පමණයි. ඒ රජය විසින් ලබා දෙන කවර හෝ උද්ධමන ඉලක්කය පවත්වා ගැනීම. ඉලක්කය වසර තුනකට වරක් නැවත සලකා බලනු ලබනවා. 

මුලින්ම දුන්න ඉලක්කය 5%. එය +/- 2% පරාසයක, ඒ කියන්නේ 3%-7% අතර විචලනය වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා අඩු හෝ වැඩිනම් එයින් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් තමන්ගේ ප්‍රධානම කාර්යය හරියට කරලා නැහැ කියන එක. 

ආර්ථික අර්බුදයෙන් පසුව අද දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව නැවත හිසගසා නැගී සිටීම පිටුපස මහ බැංකුව විසින් කළ දැවැන්ත කාර්යභාරයක් තියෙනවා. ඒ පිළිබඳව මහ බැංකුවේ අදාළ නිලධාරීන්ට හා ආයතනයක් ලෙස මහ බැංකුවට ගෞරවය හිමිවිය යුතුයි. නමුත් උද්ධමන ඉලක්කය පවත්වා ගැනීම කියන නිශ්චිත හා වැදගත්ම කාරණයේදී ආයතනයක් ලෙස මහ බැංකුව අසමත් වෙලා තියෙනවා කියන එක පැහැදිලි ඇත්තක්. 

උද්ධමන ඉලක්කය ඕනෑවට වඩා අඩු වෙනවා කියන්නේත් ඉලක්කය ලඟා කරගෙන නැහැ කියන එක. පසුගිය දෙවසරක පමණ කාලයේදී දැකිය හැකි වූයේ මේ තත්ත්වය. ඒ තරමටම උද්ධමනය අඩු වුනේ මහ බැංකුව විසින් කළ දේවල් නිසා නෙමෙයි. බාහිර සාධක නිසා. ඔය බාහිර සාධක අනෙක් පැත්තට හැරුණු විට උද්ධමනය ඉලක්කය ඉක්මවා යාමේ අවදානමත් ඔය විදිහටම තියෙනවා කියන එක ඒ දවස් වලම අප විසින් පෙන්වා දී තිබෙනවා. දැන් ඒ දේ වෙලා තියෙනවා.

මේක මහ බැංකුවේ නිලධාරීන්ගේ අදක්ෂකමට හෝ වැරදි තීරණ වලට බැර කරන්න බැහැ. ලංකාවේ පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ උද්ධමනය +/- 2% පරාසයක රඳවා ගැනීම මහ බැංකුවට තවමත් කළ නොහැකි දෙයක් බවයි මේ මගින් පැහැදිලිව පෙන්නුම් කර තිබෙන්නේ. මහ බැංකුවට පාලනය කළ නොහැකි සාධක වෙනස් වෙද්දී උද්ධමනය +/- 5% වැනි විශාල පරාසයක විචලනය වෙන්න පුළුවන්. එසේ නොවුනොත් එය වාසනාව නිසා සිදු වෙන දෙයක්.

විචලනයන් පාලනය කරන්න අමාරු වුනත්, මහ බැංකුවට සාමාන්‍ය උද්ධමන මට්ටම පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අවශ්‍යනම් සාමාන්‍ය මට්ටම 5% සිට 4%, 3% හෝ 2% දක්වා අඩු කරන්න පුළුවන්. එසේ නොකර 5% මට්ටමේම තියාගන්නවානම් එය චේතනාන්විතව ගන්න ප්‍රතිපත්ති තීන්දුවක්. සාමාන්‍ය කරුණක් ලෙස ඔය සාමාන්‍ය මට්ටම වැඩිනම් විචලනයන්ද වැඩියි. ඒ නිසා. ඉලක්ක සාමාන්‍ය මට්ටම අඩු කිරීම මගින් යම් දුරකට හෝ විචලනය වීම්ද පාලනය කරන්න පුළුවන්. 

ඉදිරි වසර තුන සඳහා ඉලක්කය තීරණය කරන්න කලින් මහ බැංකුව විසින්ම ඒ පිළිබඳව බාහිර පාර්ශ්වයන්ගේ අදහස් විමසා තිබුණා. ලැබුණු ප්‍රතිචාර මහ බැංකුව විසින් විධිමත් ලෙස ප්‍රකාශයට පත් කර නැතත්, මහ බැංකුවෙන් බාහිර පාර්ශ්වන් විසින් බොහෝ දුරට අපේක්ෂා කර තිබෙන්නේ 2% වැනි ඉලක්කයක් කියන එක මහ බැංකුවේ නිලධාරීන්ගේ විවිධ ප්‍රකාශ වලින් ගම්‍ය වෙනවා. සමහර විට මේ තත්ත්වය මහ බැංකුව විසින් අපේක්ෂා නොකළ තත්ත්වයක් වෙන්න ඇති.

අඩුම වශයෙන් මහ බැංකුවේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු විසින් තමන්ගේ පෞද්ගලික අදහස් ලෙස සඳහන් කරමින් ඉහළ උද්ධමන ඉලක්කයක අවශ්‍යතාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කර තිබුණා. මේ අදහස් පෞද්ගලික අදහස් පමණක්ම නොවෙන්න පුළුවන්. 

මහ බැංකු නිලධාරියෙකු විසින් කොයි තරම් වෘත්තීය මට්ටමෙන් අදහස් දැක්වුවත් මේ නිශ්චිත කාරණයේදී මේ අදහස් දක්වන්නේ මහ බැංකු නිලධාරියෙකු විසින් කියන එක බැහැර කරලා අදහස් ගැන පමණක් අවධානය යොමු කරන්න බැහැ. එය විනිසුරු වයස වෙනස් කිරීම ගැන විනිසුරු මතය විමසනවා වගේම වැඩක්. වෘත්තිකයින්ගේ ස්වාධීන අදහස් ලෙස පැහැදිලිව හඳුනා ගත හැක්කේ මහ බැංකුවට දැනට සම්බන්ධයක් නැති බාහිර පාර්ශ්වයන්ගේ අදහස් පමණයි. 

මහ බැංකුව පැත්තෙන් ඉදිරිපත් කර තිබුණු තර්ක බොහොමයක් 5% ලොකුවට හානිකර නැති බව පෙන්වන තර්ක මිසක් 2% ඊට වඩා හානිකරයි කියා පෙන්වන තර්ක නෙමෙයි.  5% ලොකුවට හානිකර නැහැ කියන එකෙන් 2% සුදුසු නැහැ කියන එක ගම්‍ය වෙන්නේ නැහැ. පිළිගත හැකි තර්කයක් විදිහට ඉදිරිපත් කර තිබුණේ මේ වෙලාවේ පවතින බාහිර තත්ත්වයන් එක්ක හදිසියේ උද්ධමනය ලොකුවට අඩු කරන්න බැහැ කියන එක. ඒක ඇත්ත. 

මේ වෙලාවේ පවතින තාවකාලික ප්‍රශ්නයට විසඳුමක් දෙන අතරම, උද්ධමන ඉලක්කයද අඩු කර ගත ආකාරයේ විසඳුමක් මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු විසින් යෝජනා කර තිබුනා. ඔහු යෝජනා කර තිබුණේ ඉදිරි වසර තුනක කාලය තුළ 5%, 4%, 3% ලෙස වසරින් වසර 1% බැගින් උද්ධමන ඉලක්කය අඩු කළ යුතු බවයි. මෙය කළ හැකි දෙයක්. නමුත් පෙනෙන විදිහට මේ වෙද්දී තීරණය අරගෙන ඉවරයි වගේ. 

අපගේ පෞද්ගලික යෝජනාව වූයේ 5% ඉලක්කය අඩු වශයෙන් 4% දක්වා හෝ අඩු කළ යුතු බවයි. එසේ කිරීමේ අවාසි නැති තරම් වන අතර ඉන්දියාවේ මිල මට්ටම එක්ක ලංකාවේ මිල මට්මම ගැලපීමේ පැහැදිලි වාසිය එහි තිබෙනවා. මේ මගින් ශ්‍රී ලංකා රුපියලද ඉන්දියානු රුපියලට සාපේක්ෂව ස්ථාවරව තියා ගන්න ඉඩ සැලසෙනවා. ලංකාව වැඩිපුරම ආනයන කරන්නේ ඉන්දියාවෙන් නිසා මෙය බාහිර කම්පන හමුවේ රටේ උද්ධමනය ස්ථාවරව තියාගන්නත් උදවුවක්.

ඉදිරි සතියේදී මහ බැංකුව විසින් ඉදිරි තෙවසර සඳහා වන උද්ධමන ඉලක්කය ප්‍රකාශයට පත් කරන්න හිතාගෙන ඉන්නවානම් සහ එම ඉලක්කය දැනට තිබෙන ඉලක්කයමනම්, අඩුම වශයෙන් මහ බැංකුවට කළ හැකි තවත් එක් දෙයක් තිබෙනවා. ඒ, මේ අවස්ථාවේ පවතින බාහිර කම්පන තත්ත්වය නිසා උද්ධමන ඉලක්කය අඩු නොකළත්, වසර තුනකට පසුම එම ඉලක්කය 4% දක්වා අඩු කිරීම ගැන සලකා බලන බව දැන්ම කියන එක. 

මහ බැංකුවට මෙහෙම කියන්න පුලුවන්නම් එයින් ලැබෙන පැහැදිලි හා ක්ෂණික වාසියක් තියෙනවා. මෙයින් අදහස් වෙන්නේ දිගුකාලීනව පොලී අනුපාතික අඩු වෙනවා කියන එක. ඒ නිසා, මහ  බැංකුව පැත්තෙන් මේ වගේ ප්‍රකාශයක් විශ්වාසනීය ලෙස කළොත්, දිගුකාලීන බැඳුම්කර වලට තිබෙන ඉල්ලුම ක්ෂණිකව ඉහළ ගිහින් කෙටිකාලීන පොලී අනුපාතික මත පීඩනය අඩු වෙනවා. මෙහිදී ලැබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරද්දී රජයට ලැබුණු ආකාරයේ වාසියක්. මේ මගින් වෙනත් වියදමක් නැතිවම, වචනයකින් පමණක්, කෙටිකාලීනව රජයේ පොලී වියදම් හා ණය ගැනීමේ අවශ්‍යතාවය යම් තරමකින් හෝ අඩු කරගන්න පුළුවන්. 

උද්ධමන ඉලක්කය ලඟා කරගැනීම හා අදාළව, මුලින් විස්තර කළ, විචලන ප්‍රශ්නය මහ බැංකුවට විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. තෙල් තනිකරම ආනයනය කරන රටක් වන ලංකාවට ලෝක තෙල් මිල මග හැර යන්න කිසිසේත්ම බැහැ. ලෝක තෙල් මිල ඉහළ යද්දී ලංකාවේ උද්ධමනය ක්ෂණිකව වැඩි වෙනවා. ලෝක තෙල් මිල නැවත පහත වැටෙද්දී උද්ධමනය ඉලක්ක මට්ටම ඉක්මවා පහත වැටෙනවා. 

තෙල් මිල ප්‍රශ්නයට ශ්‍රී ලංකා රජය විසින් මෙතෙක් ලබා දුන් විසඳුම වූයේ පාඩුවට තෙල් විකිණීම සහ සහනාධාර දීම. තෙල් මිල කියන නිශ්චිත කාරණයේදී රජය විසින් යම් මැදිහත්වීමක් කරන එකේ වැරැද්දක් නැහැ. ඒ මගින් උද්ධමනය විචලනය වීම පාලනය කරගෙන පසුව උද්ධමන ඉලක්කය පහත හෙළා ගන්නත් උදවු වෙනවා. 

මේ වෙනුවෙන් රජය විසින් කළ යුතු දේ වන්නේ මේ වෙලාවේ හෝ ඉන්ධන මිල ස්ථායීකරන අරමුදලක් පිහිටුවන එකයි. එවිට ලෝක තෙල් මිල වැඩි වන විට සහනාධාර වෙනුවෙන් අයවැයෙන් වෙනම මුදල් වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍යනම් නීතියක් හදලා ඉන්ධන වලින් අය කරන බදු වලින් යම් නිශ්චිත ප්‍රතිශතයක් ඒ අරමුදලට දමන්න පුළුවන්. ඒ වගේම අරමුදලේ සල්ලි ප්‍රයෝජනයට ගන්නා තුරු භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම මගින් පොලී අනුපාතික මතද රජයට යම් පාලනයක් තියාගන්න පුළුවන්. 

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: