වෙබ් ලිපිනය:

Showing posts with label ප්‍රජාතන්ත්‍රවාදය. Show all posts
Showing posts with label ප්‍රජාතන්ත්‍රවාදය. Show all posts

Monday, August 12, 2024

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය


ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය කියන්නේ එකෙනෙකට සම්බන්ධ, එහෙත් වෙනම සංකල්ප තුනක්. මේ තුනම යම් ආකාරයක සම්මුතීන්. රටක දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි ඔය කරුණු තුනම බලපානවා. 

මේ තුනෙන් මුල් දෙක වාස්තවික ලෙස මනින්න අසීරු විෂයමූලික සංකල්ප දෙකක්. තුන්වැන්න බොහෝ දුරට තාක්ෂණික කරුණක්. කිසියම් අවස්ථාවක, කිසියම් තැනක, ඔය තුනම ශක්තිමත්ව තියෙන්න පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්.

ඔය තුනෙන් වඩා වැදගත් නීතියේ පාලනය. මොකද කිසියම් ආකාරයක නීතියේ පාලනයක් නැතුව සමාජයකට පවතින්න බැහැ. මේ නීතීන් අලිඛිත සම්මුතීන් පමණක් වෙන්න පුළුවන්. සමහර සමාජ සම්මුතීන් ලිඛිත නීති වලට වඩා බලසම්පන්නයි. ඒ වගේම, නීතියක් පහසුවෙන් බලාත්මක කළ හැක්කේ එය සම්මුතිය හා ගැලපෙන්නේනම් පමණයි. එසේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ දිගින් දිගටම බලය යෙදවීමෙන්.

නීති හදන්නේ කවුද කියන එක රාජ්‍යයක ආකෘතිය අනුව වෙනස් වන දෙයක්. රාජ්‍ය ආකෘතිය කුමක් වුවත් නීති හදා ක්‍රියාත්මක කරන්න බලය අවශ්‍ය වෙනවා. නමුත් නීති අවසාන වශයෙන් සම්මුතීන් හා ගැලපුනේ නැත්නම් නීති හදන හා ක්‍රියාත්මක කරන බලය අභියෝගයට ලක්වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක්. 

නීති හැදීම හා ක්‍රියාත්මක කිරීම සඳහා රජෙකුට තිබෙන බලය බොහෝ දෙනෙකු විසින් ප්‍රශ්න නොකර පිළිගන්නවානම් එය සම්මුතියක්. ප්‍රජාතන්ත්‍රවාදය මේ සඳහා තිබෙන විකල්ප සම්මුතියක්. මෙහිදී නීති හැදීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීම සඳහා බොහෝ දෙනෙකුට අවකාශ සැලසෙනවා.

සම්මුතිය රජෙකුගේ ආධිපත්‍යය පිළිගැනීම වී ඇති සමාජ වල රජු වෙනස් වීමද ඒ සම්මුතියේම කොටසක්. ඒ නිසා, රජු වෙනස් වුනා කියලා රාජ්‍ය ආකෘතියේ වෙනසක් වෙන්නේ නැහැ. රාජ්‍යයට අඛණ්ඩ පැවැත්මක් තිබෙනවා. 

රජෙකුගේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරලා හදා ගන්න විකල්ප සම්මුතියකට රජු වෙනුවට ආදේශකයක් අවශ්‍ය වෙනවා. ව්‍යවස්ථාවකින් සිදුවන්නේ මේ කාර්ය භාරය. සම්මුතියක් ලෙස ව්‍යවස්ථාවක් හදා ගත්තට පස්සේ අනෙකුත් නීති හදාගන්න වෙන්නේ ඒ ව්‍යවස්ථාවට යටත්වයි. ව්‍යවස්ථාව අනෙකුත් නීති වලට වඩා ඉහළින් තිබෙන උත්තරීතර නීතියක්. 

ව්‍යවස්ථාව කියන්නෙත් සම්මුතියක් නිසා සම්මුතියෙන් ව්‍යවස්ථාවක් වෙනස් කරගන්න පුළුවන්. ඒක කරන්නේ පවතින ව්‍යවස්ථාව අනුවනම්, ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය දිගටම පවතිනවා. රජු වෙනස් වෙද්දී රාජ්‍යත්වය එලෙසම පවතිනවා වගේ. 

ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදය තුළ නීති හැදීම සිදු වන්නේ ජනතා නියෝජිතයින් හරහා. කිසියම් නීතියක් සම්බන්ධව හෝ නීති ක්රියාත්මක වීම පිළිබඳව සැලකිය යුතු ප්‍රමාණයක ජන කණ්ඩායමට බරපතල ප්‍රශ්න ඇති වූ විට ඒ පිළිබඳ විරෝධයක් ඇති වෙනවා. එසේ විරෝධතා දක්වන්නට ඉඩක් තිබීම හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක්. 

සාමකාමී විරෝධතා හරහා විරෝධතාකරුවන්ට සෑහීමකට පත් විය හැකි විසඳුමකට පැමිණිය හැකි වූ විට විරෝධතාවක් අවසන් වෙනවා. එවැන්නක් සිදු නොවූ විට සාමකාමී විරෝධතා දිග් ගැසුණු අරගල බවට පත් වෙනවා. අරගල අවස්ථාවක යම් කාලයකට, යම් ස්ථානයක නීතියේ පාලනය බිඳ වැටෙන්න පුළුවන්. නමුත් එයින් සමස්තයක් ලෙස රටේ නීතියේ පාලනය බිඳ වැටෙන්නේ නැහැ. 

සමහර විට විරෝධතාවකට හේතුව වන්නෙම නීතියේ පාලනය දුර්වල වීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක විරෝධතාවකින් හෝ එයින් ඔබ්බට ගිය අරගලයකින් නීතියේ පාලනය ශක්තිමත් වෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න පුළුවන්. 

මේ වගේ අවස්ථාවලදී දිගුකාලීනව නීතියේ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග නිසා වුවත් කෙටිකාලීනව නීතියේ පාලනය කඩා වැටෙන්න පුළුවන්. නමුත් එසේ වූ පමණින් ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය නැති වන්නේ හෝ රාජ්‍ය ආකෘතිය වෙනස් වන්නේ නැහැ. ඒ නිසා, නීතියේ පාලනය නැවත ස්ථාපනය කිරීම අමාරු වැඩක් නෙමෙයි. 

ඇතැම් විප්ලවීය අවස්ථාවන් වලදී එකවර ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය යන තුනම නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකින් පස්සේ සාමාන්‍යයෙන් රාජ්‍යයක ආකෘතියත් වෙනස් වෙනවා. අලුතෙන් රටක් බිහි වෙන අවස්ථාව මෙවැනි සුවිශේෂී අවස්ථාවක්. 

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක්ව සිටීම ප්‍රතික්ෂේප කරමින් ඇමරිකාව නිදහස් රටක් වීම මෙවැනි විප්ලවීය අවස්ථාවක්. මේ වගේ අවස්ථාවක රාජ්‍යයකට ඓතිහාසිකව පැවති අඛණ්ඩ සම්ප්‍රදායක උරුමයක් නැහැ. අලුත් රටක් හදා ගැනීමේ මූලික පියවරක් වෙන්නේ ව්‍යවස්ථාවක් හදා ගන්න එක. 

රටක ව්‍යවස්ථාවක් හදන කටයුත්තට රටේ හැම දෙනෙක්ම සම්බන්ධ වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව මේ වැඩේ කරන්නේ බලය තිබෙන සීමිත කණ්ඩායමක් විසින්. ව්‍යවස්ථාවක් හෝ එහි මූලික අදියර වන නිදහස් ප්‍රකාශනයක් වැනි දෙයක් බලාත්මක වී ප්‍රායෝගික යථාර්ථයක් විදිහට අලුත් රටක් හෝ අලුත් රාජ්‍ය ආකෘතියක් හැදෙන්නේ අභ්‍යන්තරව හා බාහිරව එයට ලැබෙන පිළිගැනීම එක්කයි. 

ඇමරිකාව මේ විදිහට හැදුනු අලුත් රටක්. එහි රාජ්‍ය ආකෘතියේ ඉවත් කළ නොහැකි මූලික අංගයක් වන්නේ ව්‍යවස්ථාව. අනෙකුත් නීති සියල්ල හැදෙන්නේ ව්‍යවස්ථාවට යටත්ව. ඒ අනුව, රටේ නීතියේ පාලනය පවත්වා ගෙන යන්නේ ව්‍යවස්ථාවේ සහ ජනසම්මතයෙන් එයට තිබෙන පිළිගැනීමේ උදවුවෙන්. ඇමරිකාවේ ව්‍යවස්ථාව වරින් වර සංශෝධනය වී ඇතත්, ඒ සියළු සංශෝධන සිදු කර තිබෙන්නේ ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය පවත්වා ගනිමිනුයි.

අසල්වැසි ඉන්දියාව ගත්තත් තත්ත්වය මීට සමානයි. නිදහසින් පසු හැදුණු ඉන්දියාව කලින් නොතිබුණු අලුත්ම රටක්. ඒ අලුත් රටට ඓතිහාසිකව පැවති අඛණ්ඩ සම්ප්‍රදායක උරුමයක් තිබුණේ නැහැ. ඉන්දියාවත් කළේ ඇමරිකාව වගේම මුලින්ම ව්‍යවස්ථාවක් හදා ගෙන ඒ හරහා නීතියේ පාලනය ස්ථාපනය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක් ඇති කිරීම. ඒ සම්ප්‍රදාය එයින් පසුව කැඩුනේ නැහැ. 

බංග්ලාදේශය කියන්නෙත් මේ විදිහටම හැදුනු අලුත් රටක්. ඒ වගේ අලුත් රටකට මුලින්ම කරන්න සිදු වන කාර්යයක් වන්නේ ව්‍යවස්ථාවක් හදා ගන්න එක. මේ වැඩේ කළේ බංග්ලාදේශ නිදහස් සටනට නායකත්වය දුන් අවාමි ලීගය විසින්. නමුත් බංග්ලාදේශයට ඇමරිකාවට මෙන් ඔවුන්ගේ ව්‍යවස්ථාව හා ඒ යටතේ සිදු වන නීතියේ පාලනය දිගටම අඛණ්ඩව පවත්වා ගත හැකි වූයේ නැහැ. 

බංග්ලාදේශයේ ව්‍යවස්ථාව මුලින්ම බලාත්මක වුනේ 1972 දෙසැම්බර් මාසයේදී. ඒ මත පදනම්ව, 1973 මාර්තු මාසයේදී පැවති මැතිවරණයේ ප්‍රතිඵලය මගින් එම ව්‍යවස්ථාව සඳහා ජනතා අනුමැතිය තහවුරු වුනා. නමුත්. 1975 අගෝස්තු මාසයේදී රටේ නායකයා වූ මුජිබර් රහ්මාන්ව ඝාතනය කිරීමෙන් හා හමුදා ආණ්ඩුවක් පිහිටවීමෙන් පසුව මේ ව්‍යවස්ථාව අත්හිටවනු ලැබුවා. ඊට පස්සේ තිබුණේ හමුදා නීතිය.

ඔය ව්දිහට 1975දී අත් හිටවූ ව්‍යවස්ථාව නැවතත් බලාත්මක වෙන්නේ 1979දී. නමුත්, 1982දී හමුදා කුමන්ත්‍රණයක් මගින් එර්ශාඩ් බලය ගැනීමෙන් පසුව නැවතත් මුලට යනවා. එර්ශාඩ් 1986 මැතිවරණය ජයගෙන නැවත ව්‍යවස්ථාව බලාත්මක කළත්, එර්ශාඩ්ගේ මැතිවරණ සාධාරණ මැතිවරණ ලෙස බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ. ඛලිඩා සියා සහ ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් ඔවුන්ගේ පක්ෂ විසින් එර්ශාඩ්ගේ පාලනය අවසන් කරලා 1991 මැතිවරණය පවත්වන තුරු පැවතුණේ ඔය තත්ත්වය වුනත් 1986 වර්ෂයේ ඉඳලා නමට හරි බංග්ලාදේශයේ ව්‍යවස්ථාමය අඛණ්ඩත්වයක් තියෙනවා. ඒක වුනත් සාපේක්ෂව කෙටි කාලයක් තමයි.

ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය තිබූ පමණින් හා මොනවා හෝ මැතිවරණ තිබු පමණින් නීතියේ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ නැහැ. මැතිවරණ සාධාරණ ලෙස පැවැත්වෙන බවත්, නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බවත් බොහෝ දෙනෙකුට පෙනෙන්නට තිබිය යුතුයි. නිල නොවන පැහැර ගැනීම් ආකාරයෙන් සිදු කෙරෙන අත් අඩංගුවට ගැනීම් ආදියෙන් පෙන්නුම් කෙරෙන්නේ නීතියේ පාලනය නෙමෙයි. ඒ වගේම, විධිමත් ලෙස නීතියක් හැදු පමණින් එය සාධාරණ නීතියක් නොවන නිසා විධිමත් ලෙස හදන හැම නීතියකට පුළුල් මහජන අනුමැතියක් ලැබෙන්නේ නැහැ. ඔය වගේ තත්ත්වයන් තුළ ආණ්ඩු මාරු වලින් එහාට යන, රාජ්‍ය ආකෘතියම අභියෝගයට ලක් වන තත්ත්වයන් රටක ඇති වෙන්න පුළුවන්. බංග්ලාදේශයේ ඇති වී තිබෙන්නේ එවැනි තත්ත්වයක්.

දැන් බංග්ලාදේශයේ පිහිටුවා තිබෙන අන්තර්වාර පාලනය ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන අනුව හදපු එකක් නෙමෙයි. වත්මන් බංග්ලාදේශ ව්‍යවස්ථාව අනුව අන්තර්වාර ආණ්ඩු කියා නීත්‍යානුකූල ව්‍යුහයක් නැහැ. අගමැති ඉල්ලා අස් වුනත්, නැවත අගමැති කෙනක් පත් වන තුරු අගමැති බලතල තියෙන්නේ හිටපු අගමැතිටයි. හරියට 1978ට පෙර ලංකාවේ තත්ත්වය වගේ. අගමැති කෙනක් පත් කරගත හැක්කේ පාර්ලිමේන්තුවට. ජනාධිපතිට තමන්ගේ කැමැත්ත අනුව අගමැති කෙනෙක් පත් කරන්න බැහැ. විධායක බලතල නැති නාමික ජනාධිපතිට එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ කැමැත්ත අනුව පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරලානම් ඒ විසුරුවා හැරපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව. බංග්ලාදේශ ව්‍යවස්ථාවෙන් රාජ්‍යය බිඳ වැටෙන එක වලක්වා තිබෙන්නේ ඒ විදිහටයි. 

මේ මොහොතේ බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය අඛණ්ඩත්වය කියන තුනම බිඳ වැටිලයි තියෙන්නේ. ඒ වගේ තැනක ඉඳන් පටන් ගන්නවා කියන්නේ අලුතෙන්ම රටක් හදනවා වගේ වැඩක්. ඒ අර්ථයෙන් කැරලිකරුවන් විසින් මෙය දෙවැනි නිදහස් සටනක් සේ හැඳින්වීම නිවැරදියි. 

බංග්ලාදේශය බිහි කළ 1971 නිදහස් සටන සිදු වුනේ පුළුල් මහජන සහයෝගයක් ඇතුවයි. මේ වගේ ප්‍රකාශයක් විශ්වාසයෙන් යුතුව කළ හැක්කේ ඉන් පසු පැවති 1973 මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එය තහවුරු වන නිසා. 2024 අරගලයට පුළුල් මහජන සහයෝගයක් තියෙනවාද නැද්ද කියා කියන්න පුළුවන් වෙන්නේ යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් තුළ ජනතා කැමැත්ත පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව පමණයි. එතෙක් එය තවත් රාජ්‍යයට එරෙහි කැරැල්ලක් පමණයි.

ව්‍යවස්ථා සම්ප්‍රදාය බිඳිමින් වුවත් බංග්ලාදේශය ආණ්ඩුවක් පිහිටවලා තිබෙනවා. දැනටනම් ඒ ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වී නැහැ. අලුත් ආණ්ඩුවට මුලින්ම කරන්න තියෙන්නෙත්, කරමින් සිටින්නේත්, නීතියේ පාලනය ස්ථාපනය කිරීම. නමුත් ආණ්ඩුව බිහිවන්නේම ව්‍යවස්ථා සම්ප්‍රදාය බිඳිමින් නිසා, නීතියේ පාලනය කුමක්ද කියන එක පිළිබඳ තාක්ෂනික ගැටලුවක් මතු වෙනවා. 

අරගලයට නායකත්වය දුන් සිසුන්ගේ ඉල්ලීම් වෙනස් වුනත්, බංග්ලාදේශයට ව්‍යවස්ථා සම්ප්‍රදාය වෙත නැවත යා හැක්කේත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලෝකයට සහතිකයක් දිය හැක්කේත්, සාධාරණ මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුවක් හා අගමැතිවරයෙක් තෝරා පත් කරගැනීමෙන් පසුව පමණයි. 

Wednesday, August 7, 2024

බංග්ලාදේශ ප්‍රජාතන්ත්‍රවාදය හා අරගලය

ලංකාවේ දැනට ජීවත් වන වයස්ගතම පුද්ගලයාගේ වයස කීයක්ද කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් එය අවුරුදු 114කට වඩා වැඩි වෙන්න බැහැ. 1910දී ඉපදුණු කෙනෙක් තවම ජීවත් වෙනවානම් දැන් වයස අවුරුදු 114ක් වෙලා. 1931දී අවුරුදු 21ක් වෙලා.

ලංකාවේ ජීවත් වූ වයස අවුරුදු 21 ඉක්මවූ සියලුම බ්‍රිතාන්‍ය යටත් විජිත වැසියන්ට 1931දී ඡන්ද බලය හිමි වුනා. ඒ වගේ දෙයක් කලාපයේ වෙනත් කිසිම රටක සිදු වුනේ නැහැ. ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින ප්‍රජාතන්ත්‍රවාදී රට ඉන්දියාව. ඉන්දියානුවන්ට සර්වජන ඡන්ද බලය ලැබී එය පාවිච්චි කරන්න ඉඩ ලැබුණේ නිදහස ලබා ගත්තට පස්සේ 1951දී. ලංකාවට වඩා අවුරුදු විස්සකට පස්සේ. 

මිනිස් නිදහස හොඳින් තහවුරු වී තිබෙන්නේ ශක්තිමත් ද්වි පක්ෂ (හෝ බහු පක්ෂ) ක්‍රමයක් යටතේ නියමිත කාල වකවානු තුළ මැතිවරණ පැවැත්වෙන රටවල් වලයි. එවැනි ශක්තිමත් ද්වි පක්ෂ ක්‍රමයක් තිබෙන රටවල් ගණනාවක, විශේෂයෙන්ම යටත් විජිතයක්ව තිබී නිදහස ලබා ඇති රටවල, එම ද්වි පක්ෂ ක්‍රමය ගොඩ නැගුණු පොදු රටාවක් තිබෙනවා. 

මුලින්ම මිනිස්සු තමන්ගේ නායකයින් විදිහට තෝරා ගන්නේ නිදහස් සටනට නායකත්වය දුන් පිරිස. බොහෝ තැන් වලදී ඒ උරුමය ඔවුන්ගේ දරුවන්ටත් ලැබෙනවා. විශේෂයෙන්ම අපේ කලාපයේ මෙය පොදු සංසිද්ධියක්. දෙවන පක්ෂයක් හැදෙන්නේ ඒ පළමු පක්ෂයේ බෙදීමකින් හෝ කාලයත් එක්ක නිදහස් සටනේ ගැම්ම ඉවර වෙද්දී. 

ලංකාවට නිදහස ලැබෙන්නේ ඒ සඳහා ලොකු සටනක් කිරීමෙන් පසුව නෙමෙයි. ඒ නිසා, ඉන්දියාවේ මෙන්, නිදහස් සටනක් එක්ක එන "ජාතික පිබිදීම" ලංකාවේ ඒ විදිහටම ඇති වුනේ නැහැ. අනෙක් පැත්තෙන් නිදහස ලැබෙන්න කලින්ම ලංකාවට සර්වජන ඡන්ද බලය එක්ක ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ලැබිලයි තිබුණේ. 

පනස් හය වෙද්දී, ශ්‍රීලනිපය බිහි වී තිබීම නිසා, කලාපයේ අනෙක් රටවල් වලට වඩා කලින් ලංකාවේ ශක්තිමත් ද්වි පක්ෂ ක්‍රමයක් ඇති වුනා. ඒ නිසා රටේ මිනිස්සුන්ට පාලකයින්ව එපා වෙද්දී මැතිවරණ හරහා සාමකාමී ලෙස ඔවුන්ව ඉවත් කර වෙනත් කණ්ඩායමක් ආදේශ කරගන්න පුළුවන් කියන එක භාවිතයෙන් හා අත්දැකීමෙන්ම පැහැදිලි වුනා. මේ තත්ත්වය උතුරට බලපෑවේනම් ටිකක් වෙනස් විදිහකට. 

ඉන්දියාවේ මේ වගේ දෙයක් වුනේ දශක කිහිපයක් ප්‍රමාද වෙලා. ඊට එක් ප්‍රධාන හේතුවක් වුනේ ඉන්දියානුවන්ට සර්වජන ඡන්ද බලය ලැබුණේ ලංකාවට වඩා දශක දෙකකට පසුව වීම. අනෙක් හේතුව ඉන්දියාවට නිදහස ගන්න ලංකාවට වඩා ගොඩක් දේවල් කරන්න සිදු වීම. 

නිදහසින් පසු කාලයක් එක දිගටම ඉන්දියාවේ බලයේ හිටියේ කොංග්‍රස් පක්ෂය. කොංග්‍රස් පක්ෂය කිවුවත් ඇත්තටම නේරු-ගාන්ධි පවුලේ පරම්පරා තුනක්. හැත්තෑ හතේ මොරාජි දේසායිගේ සන්ධාන ආණ්ඩුවෙන් මුල් වරට මේ තත්ත්වය වෙනස් වුනත්, කොංග්‍රස් විරෝධය මත එකතු වූ නොගැලපෙන රෝද ටිකක් පමණක් වූ ඒ ආණ්ඩුව කඩා වැටෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඉන්දියාවේ හරියකට ද්වි පක්ෂ ක්‍රමයක් ඇති වුනේ භාරතීය ජනතා පක්ෂය ඉස්සරහට ආවට පස්සේ. දැන් ඉන්දියාවේ තියෙන්නේ බහු පක්ෂ අච්චාරුවක්. කොහොම වුනත් මේ වෙද්දී ලංකාවේ වගේම ඉන්දියාවේත් හොඳින් තහවුරු වූ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තියෙනවා.

දැන් තියෙන බංග්ලාදේශය කියන රට හැදෙන්නේ ඒ රට පකිස්ථානයෙන් වෙන් වීමත් එක්කයි. දැන් තියෙන බංග්ලාදේශයද ඇතුළත් පකිස්ථානය ඉංග්‍රීසින් විසින් හදපු රටක්. ඉන්දියාව වගේම බුරුමය හෙවත් මියන්මාරයත් එහෙම රටවල්. 

බංග්ලාදේශය කියා රටක් නොතිබුණත් කාලයක ඉඳන්ම බංගලි දේශයක් තිබුණා. අපි වංග දේශය කියා කිවුවෙත් ඔය රටට. "ඔලිඳ තියෙන්නේ බංගලි දේසේ" කියලා අපි අහලා තිබුණා. බංගලි මාල, බංගලි වළලු, බංගලි රෝස එහෙමත් අපිට පුරුදු දේවල්. ඔය බංගලි දේශය හෙවත් බෙංගාලය බංගලි භාෂාව කතා කරන බංගලියන්ගේ රට. 

බෙංගාලය නිදහසට කලින් තිබුණු බ්‍රිතාන්‍ය ඉන්දියාවේ එක් පළාතක්. බ්‍රිතාන්‍ය ඉන්දියාව කියා කියන්නේ නූතන ඉන්දියාවේ, පකිස්ථානයේ, බංග්ලා දේශයේ තැන් තැන් වල තිබුණු ඔය වගේ පළාත් ගණනාවක එකතුවක්. කාලයක් බුරුමයත් බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කොටසක්ව පැවතුනා. නමුත් මේ පළාත් අතර තැනින් තැන මහාරාජා වරුන් විසින් පාලනය කළ ස්වාධීන රාජ්‍ය 565ක් හෝ ආසන්න ගණනක් තිබුණු නිසා බ්‍රිතාන්‍ය ඉන්දියාවේ පළාත් සියල්ල එකිනෙකට සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. භූමියෙන් 40%ක් පමණ පාලනය කළේ ඔය මහාරාජාවරු. 

ඉන්දියාවට සර්වජන ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ නිදහසට පසුව වුනත්, ඊට පෙරද ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ වල මැතිවරණ පැවැත්වුණා. එහෙත් ඡන්දය දීම සඳහා සුදුසුකම් තිබුණේ ඉතා ඉහළ ආදායම් හා වත්කම් තිබුණු සීමිත පිරිසකට පමණයි. මේ මැතිවරණ වලදී , විශේෂයෙන්ම නිදහසට පෙර අන්තිමට පැවති 1945/46 මැතිවරණයේදී, ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ ජය ගැනීමට ඉන්දියානු ජාතික කොංග්‍රසයට හැකි වුනත්, වත්මන් බංග්ලාදේශයේ හා පකිස්ථානයේ බහුතර ජනතා සහයෝගය ලබාගෙන ජය ගන්නට අලි ජින්නාගේ සමස්ත ඉන්දීය මුස්ලිම් කොංග්‍රසය සමත් වුනා.

මේ එක්ක බෙංගාලයේ දේශපාලන බලය ඉන්දියානු ජාතික කොංග්‍රසය හා සමස්ත ඉන්දීය මුස්ලිම් කොංග්‍රසය අතර බෙදී ගියා. ජාතිය මත පදනම් වූ ස්වාධීන බෙංගාලයක් පිළිබඳ අදහස් යටපත් වෙලා මුස්ලිම් හා හින්දු අනන්‍යතා උඩට ආවා. ඉන්දියාව හා පකිස්ථානය ලෙස රටවල් දෙකක් බිහි වෙද්දී සියවස් ගණනක් එක රටක් වූ බෙංගාලය වෙන වෙනම රටවල් දෙකක කොටස් බවට වුනා. හින්දූන් වැඩිපුර සිටි බටහිර බෙංගාලය ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙද්දී මුස්ලිම්වරුන් වැඩිපුර සිටි නැගෙනහිර බෙංගාලය පකිස්ථානයේ කොටසක් වී පසුව නැගෙනහිර පකිස්ථානය ලෙස නම් කෙරුණා.

පකිස්ථානයේ බටහිර කොටසේ (වත්මන් පකිස්ථානයේ) හිටියේ වැඩි වශයෙන් උර්දු භාෂාව කතා කළ, ශරීර ප්‍රමාණයෙන් වඩා විශාල, යුදකාමී අතීතයකට උරුම කියන ජනතාවක්. ඊට සාපේක්ෂව බංගලියන් සාමකාමී, තමන්ගේ පාඩුවේ ඉන්න, ශරීර ප්‍රමාණයෙන් කුඩා පිරිසක්. මේ වෙනස්කම් නිසා හමුදා වල ඉහළ නිල වල නැගෙනහිර පකිස්ථානය නියෝජනය වුනේ ඉතාම අඩුවෙන්. 

නැගෙනහිර පකිස්ථානයේ ජනගහණය බටහිර පකිස්ථානයේ ජනගහණයට වඩා වැඩි වුවත්, රාජ්‍ය පරිපාලනය සිදු කෙරුණේ බටහිර පකිස්ථානය තුළයි. නිදහස ලැබූ අලුතම මෙන් එකම රාජ්‍ය භාෂාව ලෙස උර්දු භාෂාව තෝරා ගැනීමත් සමග රටේ බටහිර හා නැගෙනහිර කොටස් අතර ආතතියක් හට ගත්තා. නැගෙනහිර පකිස්ථානයේ බහුතරය කතා කළේ බෙංගාලි භාෂාවයි. 

නිදහස ලැබූ වහාම ඉන්දියාව සර්වජන ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නත් පකිස්ථානය එසේ කළේ නැහැ. ඒකාබද්ධ පකිස්ථානයේ මුල් නායකයින්ගේ මතය වුනේ සාක්ෂරතාව 15%කට සීමා වූ තම රටට ප්‍රජාතන්ත්‍රවාදය නොගැලපෙන බවයි.

මේ හේතුව නිසාම, අඩු ජනගහණයක් සිටින බටහිර පකිස්ථානයට දිගින් දිගටම වැඩි ජනගණයක් සිටින නැගෙනහිර පකිස්ථානය මත සිය ආධිපත්‍යය පතුරවන්නට හැකිවුනා. මුල් වරට, 1970දී සර්වජන ඡන්ද බලය හඳුන්වා දී මැතිවරණයක් පවත්වන තුරු පකිස්ථානය බොහෝ දුරට පාලනය වුනේ හමුදා නිලධාරීන් අතිනුයි. මේ කාලය තුළ දිගින් දිගටම නැගෙනහිර පකිස්ථානයට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි.

ශරීර ස්වභාවයෙන් බෙංගාලීන් සිංහලයින්ට බොහෝ සමානයි. සිංහලයෙකුට කිසිදු අපහසුවකින් තොරව බංගලියන් අතර "සැඟවී සිටින්න" පුළුවන්. "බිදේෂි"යෙකු බව ඔවුන්ට තේරෙන්නේ භාෂාව නොදන්නා නිසා ප්‍රශ්නයකට පිළිතුරු දීමට නොහැකි වුවහොත් පමණයි. වංග බසද උතුරු ඉන්දීය භාෂා අතරින් සිංහල බසට වඩා සමීප බසක්. සිංහලයින් හා බංගලියන් අතර මා දකින තවත් සමානකමක් වන්නේ මැසිවිලි නොනගා කාලයක් තිස්සේ පීඩනයක් දරා සිටින හා යම් සීමාවකට පැමිණි පසු එය එක් වර මුදා හරින ස්වභාවයයි. ඒ වගේම ඔවුන් සාමූහිකව කටයුතු කරන්නට නැඹුරුවක් ඇති පිරිසක්.

සර්වජන ඡන්දබල පදනම මත පකිස්ථානයේ පළමු මැතිවරණය පැවැත්වුනේ 1970දීයි. ඒ ලංකාවේ එවැන්නක් සිදු වී දශක හතරකට පසුවයි. ඉන්දියාවට වඩා දශක දෙකකට පසුවයි. මෙම මැතිවරණයේදී ආසන 300ක් සඳහා නියෝජිතයින් තෝරා ගැනීමට මැතිවරණ පැවැත්වුනා. කාන්තාවන් සඳහා තවත් ආසන 13ක් වෙන්කෙරුනා.

වඩා වැඩි ජනගහනයක් සිටින නැගෙනහිර පකිස්ථානයට මැතිවරණ ආසන 162ක් හා කාන්තා නියෝජන ආසන 7ක් ලෙස ආසන 169ක් වෙන් වූ අතර, ජනගහණය අඩු බටහිර පකිස්ථානය වෙනුවෙන් වෙන් වුනේ ආසන 144ක් පමණයි. මෙම මැතිවරණයේදී කාලයක් තිස්සේ ඒකාබද්ධ පකිස්ථානය තුළ වෙනස් කොට සැලකීමට පාත්‍ර වූ බංග්ලාදේශයේ ජනතාව බංගලි ජාතිකත්වය මත මැතිවරණයට ඉදිරිපත් වන අවාමි ලීගය වඩා එක් රැස් වුනා. එහි නායකයා වූයේ වත්මන් බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස මෙතෙක් මහත් බුහුමනට ලක් වූ ෂෙයික් මුජිබර් රහ්මාන්. පසුගියදා ඉල්ලා අස්වූ ෂෙයික් හසීනාගේ පියා. බෙංගාලි ජනතාවගේ මිත්‍රයා යන තේරුම තිබෙන බංගබොන්ධු යන ගෞරව නාමයද සාමාන්‍යයෙන් ඔහුගේ නම මුලට යෙදෙනවා. 

බංගබොන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ අවාමි ලීගය විසින් මෙම මැතිවරණයේදී නැගෙනහිර පකිස්ථානයේ ආසන 169ක ප්‍රමාණයෙන් ආසන 167ක්ම දිනා ගත්තා. නමුත් බටහිර පකිස්ථානයේ ආසන වාමාංශික, දක්ෂිණාංශික හා මුස්ලිම් ආගමික පක්ෂ ගණනාවක් අතර බෙදී ගියා. මේ අතර ඉදිරියෙන්ම සිටි සුල්ෆිකාර් අලි භූතෝගේ පකිස්තානු ජනතා පක්ෂය විසින් ලබා ගත්තේ ආසන 86ක් පමණයි.

මේ අනුව, ඒකාබද්ධ පකිස්ථානයේ පාලන බලය නීත්‍යානුකූලව හිමි විය යුතු වන්නේ මුජිබර් රහ්මාන්ගේ අවාමි ලීගයට වුවත් මෙහිදී රාජ්‍ය බලය බටහිර පකිස්ථානයේ සිට නැගෙනහිර පකිස්ථානය වෙත විතැන් වීමට නියමිතව පැවති බැවින්, අපේක්ෂා කළ හැකි පරිදිම, සාමකාමී බල හුවමාරුවක් සිදු වුනේ නැහැ. 

මේ වන විට පකිස්ථාන හමුදා ආණ්ඩුවේ ජනාධිපති ධුරය ඉසිලුවේ ජෙනරාල් යහියා ඛාන්. ඔහු එම ධුරයට පත් වුනේ ඊට පෙර එම ධුරය දැරූ ෆීල්ඩ් මාෂල් අයුබ් ඛාන්ගේ ඉල්ලා අස් වීමෙන් පසුවයි. යහියා ඛාන් රාජ්‍ය බලය නැගෙනහිර පකිස්ථානය වෙත විතැන් වීම පිළිබඳව සතුටු වුනේ නැහැ. ඔහු උත්සාහ කළේ සුල්ෆිකාර් අලි භූතෝ සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවීමටයි.

මෙය නැගෙනහිර පකිස්ථානය කම්පනය කරවන තීරණයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. සාමකාමී බල හුවමාරුවක් සිදු වන තුරු බලා සිටින ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේක්ෂාවන් මුළුමනින්ම බිඳ වැටුනා. මෙවැනි අවස්ථා වලදී ලේ වැගිරීම් සිදු වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. සාමකාමී අරගල මෙන්ම සාමකාමී නොවන අරගලද ලෝක දේශපාලනය තුළ වරින් වර සිදු වන සාමාන්‍ය දේවල්. මේවා වැරදි හෝ නිවැරදි ලෙස වර්ග කිරීම පහසු වැඩක් නෙමෙයි. 

මේ තත්ත්වය හමුවේ බංගබොන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්ට බංග්ලාදේශය නමින් වෙනම, ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට සිදු වෙනවා. මෙය සිදු වන්නේ 1971 මාර්තු 26 දිනයි. එනම් ලංකාවේ අප්‍රේල් කැරැල්ල සිදු වූ දිනට ඉතා ආසන්න දිනකයි. මැතිවරණයෙන් පසුව දේශපාලන බලය නැගෙනහිර පකිස්ථානය වෙත ලබා නොදීමට අමතරව, ජෙනරාල් යහියා ඛාන් විසින් හමුදා යොදවා නැගෙනහිර පකිස්ථානයේ සාමකාමී විරෝධතා කෲර ලෙස මර්දනය කිරීමද මේ තීරණය කෙරෙහි බලපානවා. 

මේ හා සමඟම ෂෙයික් මුජිබර් රහ්මාන්ව අත් අඩංගුවට පත් වනවා. එයින් වෙන්නේ බංග්ලාදේශ නිදහස් අරගලය වේගයෙන් ඇවිලී යාමයි. මෙම අරගලය මර්දනය කරන හමුදාව එහිදී බෙංගාලි ජාතිකයින් විශාල ප්‍රමාණයක් මරා දමමින් හා කාන්තාවන් විශාල ප්‍රමාණයක් දූෂණය කරමින් නැගෙනහිර බෙංගාලයේ සාමූහික මතකය තුළ විශාල කාලයකට නොමැකෙන පකිස්තානු විරෝධයක් ඉතිරි කරනවා. 

ඉන්දියාවේ මැදිහත්වීම නොවන්නට ප්‍රතිඵලය වෙනස් විය හැකි වුවත්, ඉන්දියාවේ උදවුවෙන් බංග්ලාදේශය විසින් සිය නිදහස් අරගලය ජයගෙන ස්වාධීන බංග්ලාදේශයක් බිහි කරනවා. මාස අටකට වැඩි කාලයක් දිග් ගැසුණු යුද්ධයකින් පසුව, දෙසැම්බර් මාසයේදී පකිස්ථාන හමුදා ඛණ්ඩ වලට යටත් වීමට සිදු වෙනවා. ඒ වන තුරුද අත් අඩංගුවේ පසු වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ව නිදහස් කිරීමටද සිදු වෙනවා.

මේ වෙද්දී ලෝක බල තුලනය පැවතුනේ අදට වඩා බොහෝ වෙනස් ආකාරයකටයි. ඉන්දියාව හිටියේ රුසියාව සමඟ. චීනය හා ඇමරිකාව හිටියේ ප්‍රතිවිරුද්ධ පැත්තේ. සිරිමාවෝ බණ්ඩාරණායකගේ ආණ්ඩුව රුසියාව පැත්තට බර නොබැඳි පිළිවෙතක හිටියත්, මේ යුද්ධයේදී ගත්තේ පකිස්ථානයේ පැත්තයි. ඉන්දියාව පකිස්ථානයට කළ ආකාරයේ මැදිහත් වීමක් ලංකාවටද කරනු ඇතැයි සිතීම එයට හේතුව වෙන්න පුළුවන්. වසර දහ අටකට පසුව එවැන්නක් සිදු වුනත් බංග්ලා දේශය බිහි වූ ආකාරයෙන් එය දුර දිග ගියේ නැහැ. ඇතැම් විට ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් නොකරන්නට තත්ත්වය වෙනස් විය හැකිව තිබුණා.

නිදහස් බංග්ලාදේශයේ පළමු මැතිවරණය පැවැත්වුනේ 1973දී. මෙම මැතිවරණය ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ අවාමි ලීගය විසින් ජය ගන්නේ කිසිදු තරඟයක් නැතිවයි. ඔහුගේ පක්ෂයට අහිමි වන්නේ ආසන 313කින් ආසන පහක් පමණයි. කොහොම වුනත් මෙය යුද්ධයේ උණුසුම නිසා සිදු වූ දෙයක්. 

මේ අයුරින් බංග්ලා දේශයේ ජනතාව ජාතිකත්වය මත පදනම්ව පකිස්ථානයට එරෙහිව එකමුතු වී සිටියත්, ඔවුන්ගේ දේශපාලනික මතවාද අතර වෙනස්කම් මතු වෙන්නට වැඩි කලක් ගත වෙන්නේ නැහැ. මුලින්ම මේ බිඳී යාම සිදු වන්නේ අවාමි ලීගයේ ශිෂ්‍ය අංශය වන බංග්ලාදේශ ඡත්‍ර ලීගය තුළයි. එහින් බිඳී යන පිරිස් විසින් ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ බිහි කරන අරමුණට සමාන අරමුණකින් ජාතික සමාජවාදී පක්ෂය හදනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ ෂෙයික් මුජිබර් රහ්මාන් බලයෙන් පහ කර සමාජවාදී බංග්ලාදේශයක් හැදීමයි. 

ජාතික සමාජවාදී පක්ෂය විසින් ගොනොබාහිනි හෙවත් ජනතා හමුදාව නමින් සන්නද්ධ අංශයක්ද හදනවා. එහි ක්‍රියාකාරීන් වන්නේ බංග්ලාදේශ නිදහස් සටනට සහභාගී වූ අයයි. මේ වෙද්දී නිදහස් සටන අවසන්ව වැඩි කලක් ගත වී නැහැ. නිදහස් සටන සඳහා නායකත්වය දුන් සන්නද්ධ ගරිල්ලා ව්‍යාපාරය හැඳින්වුණේ මුක්තිබාහිනී හෙවත් විමුක්ති හමුදාව ලෙසයි. ගොනොබාහිනි සාමාජිකයින් විසින් අවාමි ලීගයේ ආධාරකරුවන්, රජයේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් මරා දමන්නට පටන් ගන්නවා.

ගොනොබාහිනි ක්‍රියාකාරිකයින්ගේ භීෂණයට ප්‍රතිචාර ලෙස ෂෙයික් මුජිබර් රහ්මාන් විසින් කළේ ජාතික ආරක්ෂක හමුදාව (ජාතීයො රක්ඛි බාහිනී) නමින් සමාන්තර හමුදාවක් හදා ඒ හරහා ප්‍රති භීෂණය මුදා හැරීමයි. මෙය සමන්විත වන්නේ නිදහස් සටන්කාමීන් අතර සිටි ඔහුට පෞද්ගලිකව හිතවත් අයගෙන්. ඇතැම් විට මුලින්ම ලංකාවේ විශේෂ කාර්ය බලකාය හැදූ ආකාරයට හා අරමුණු වලට සමාන ආකාරයකින් විය හැකියි. 

මෙම ජාතික ආරක්ෂක හමුදාව විසින් විශාල ලෙස නිල නොවන ඝාතන, පැහැර ගැනීම් ඇතුළු මානව හිමිකම් කඩ කිරීම් සිදු කළ සේ සැලකෙනවා. මේ හේතුවෙන් මුජිබර් රහ්මාන්ට ජනතාව අතර තිබුණු ප්‍රසාදය ක්‍රමයෙන් අඩු වෙනවා. ජාතික ආරක්ෂක හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳව හා එම හමුදාවට ලබා දෙන ඉහළ සැලකිලි පිළිබඳව අනෙකුත් හමුදා අංශ අතරද නොසතුටක් වර්ධනය වෙනවා.

මේ කාලය ලෝකය පුරා, විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ, සමාජවාදය ජනප්‍රිය වී තිබුණු කාලයක්. ලංකාවේ තිබුණෙත් සමගි පෙරමුණු ආණ්ඩුවනේ. ඒ නිසා, ජාතික සමාජවාදී පක්ෂය හා ගොනොබාහිනියේ ක්‍රියාකාරකම් පාලනය කළත්, රටේ සමාජවාදය වෙනුවෙන් තිබුණු ඉල්ලුම නොසලකා හරින්න මුජිබර් රහ්මාන්ට හැකි වෙන්නේ නැහැ. ලංකාවේ වුවත්, ජවිපෙ පළමු කැරැල්ල මර්දනය කිරීමෙන් පසුව ආණ්ඩුව ගියේ ජාතික සමාජවාදය පැත්තටමනේ. ඒ වගේ තමයි.

ජාතික සමාජවාදය එක්ක ද්වි පක්ෂ ක්‍රමයකට පවතින්න බැහැ. ලංකාවේ සමගි පෙරමුණු ආණ්ඩුව වසර දෙකක් මැතිවරණ කල් දැම්මත් ඊට පස්සේ මැතිවරණයක් තියපු ගමන් ආසන අටකට කඩා වැටුණා කියලා මතකයිනේ. එක දිගටම බලයේ රැඳී සිටීමේ අරමුනින් මුජිබර් රහ්මන් කළේ ව්‍යවස්ථාව වෙනස් කරලා බහු පක්ෂ ක්‍රමය අහෝසි කරන එක සහ බංග්ලාදේශ ගොවි කම්කරු ජනතා ලීගය හෙවත් බාක්සාල් නමින් තනි පක්ෂයක් හදන එක. දැන් ඕනෑම කෙනෙකුට මහජන නියෝජිතයෙක් වෙන්න අවශ්‍යනම් මේ පක්ෂයේ සාමාජිකයෙක් වෙන්න සිදු වෙනවා. මෙය හැදුවේ අවාමි ලීගය එක්ක බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එකතු කරලා.

ඕක තමයි බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය මුල ඉඳන්ම ගිය පාර. ඒකාබද්ධ පකිස්ථානය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය නොලැබුණු නිසා විමුක්ති අරගලයක් කරපු නැගෙනහිර බෙංගාලයේ බංගලියන්ට අන්තිමට තමන්ගේ ස්වාධීන බංග්ලාදේශය ඇතුලෙ වුනත් හරියකට ප්‍රජාන්තන්ත්‍රවාදයක් ලැබෙන එක ගැන බලාපොරොත්තුවක් නැති වුනා. 

මෙම පසුබිම තුළ 1975 අගෝස්තු මාසයේදී ෂෙයික් මුජිබර් රහ්මාන් හා ඔහුගේ පවුලේ සමීපතම සාමාජිකයින් ඇතුළු 36 දෙනෙකුව ඔහුගේ නිවෙස තුළදීම සමූලඝාතනයට ලක් වෙනවා. මෙය කරන්නේ කනිෂ්ඨ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත හමුදා අනු ඛණ්ඩයක් විසින්. ෂෙයික් හසීනා හා ඇගේ සොහොයුරිය ෂෙයික් රෙහානා මේ වන විට බටහිර ජර්මනියේ සංචාරයක නිරතව සිටි බැවින් ඔවුන්ගේ පණ බේරෙනවා. මෙම සමූලඝාතනය ගොනොබාහිනි හා රක්ඛි බාහිනී හමුදා අතර වූ ගැටුම හා ඒ හරහා අනෙකුත් ප්‍රධාන හමුදා ඛණ්ඩ තුළ වූ බෙදීමද බලපා ඇතැයි සැලකෙනවා.

ෂෙයික් මුජිබර් රහ්මාන් විසින් ස්වාධීන බංග්ලාදේශයක් ප්‍රකාශයට පත් කළ වහාම ඔහුව අත් අඩංගුවට ගැනුණු බැවින්, එම නිවේදනය ප්‍රචාරය කිරීමට ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අවසානයේදී ෂෙයික් මුජිබර් රහ්මාන් වෙනුවෙන් මේ කටයුත්ත කරන්නේ ඉහළ හමුදා නිලධාරියෙක් වූ සියා රහ්මාන්. ඔහු ඒ වෙද්දී, කැප්පෙටිපොළ නිලමේ විසින් කළ පරිදි, තනතුර අතහැර තමන්ගේ මිනිසුන්ගේ පැත්ත ගන්න තීරණය කර අවසන්. මිනිසුන්ගේ පැත්තෙන් ඔහු යුද වීරයෙක්. 

මුජිබර් රහ්මාන්ව ඝාතනය කිරීමෙන් පසුව තවත් එවැනිම කුමන්ත්‍රණ වට කිහිපයකින් පසුව අවසානයේදී බලය මේජර් ජෙනරාල් සියා රහ්මාන් වෙත මාරු වෙනවා. ඒ අවස්ථාවේදී, ජාතික සමාජවාදී පක්ෂයට අවශ්‍ය වන්නේ සමාජවාදී බංග්ලාදේශයක් බව ඔහු තේරුම් ගන්නවා. සියා රහ්මාන් දක්ෂිණාංශික අදහස් තිබුණු කෙනෙක්.

මෙහි ප්‍රතිඵලය වන්නේ සියා විසින් ජාතික සමාජවාදී පක්ෂයේ සන්නද්ධ අංශය මර්දනය කිරීම හා බංග්ලාදේශ ජාතික පක්ෂය බිහි කිරීමයි. ඊට සමාන්තරව ඔහු බාක්සාල් විසුරුවා හැරලා නැවතත් බහු පක්ෂ ක්‍රමයකට ඉඩ සලසනවා. මේ අනුව, බංග්ලාදේශයේ ද්වි පක්ෂ ක්‍රමයට මුල පිරෙනවා. 1979දී පැවති ඊළඟ මැතිවරණයේදී අවාමි ලීගය පරාජය වී බංග්ලාදේශ ජාතික පක්ෂය බලයට පත් වෙනවා. ඔවුන් ආසන 237ක් ලබා ගන්නවා. අවාමි ලීගයට ලැබෙන්නේ ආසන 39ක් පමණයි. පසුව පක්ෂයේ හා රටේ නායකත්වයට පැමිණි බෙගම් ඛලිඩා සියා ඔහුගේ වැන්දඹු බිරිඳයි. 

හැබැයි සියා රහ්මාන්ට වැඩි කාලයක් බලයේ ඉන්න ලැබෙන්නේ නැහැ. 1981දී හමුදා කුමන්ත්‍රණයකින් ඔහුවද ඝාතනය කෙරෙනවා. ඉන් පසුව, 1982දී එර්ශාඩ් විසින් බලය පැහැර ගන්නවා. ඉන් පසුව, ඔහු ජාතීක පක්ෂය නමින් පක්ෂයක් හදලා 1986දී මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. මෙයින් ඔහු යාන්තමින් දිනුවත් ඒ මැතිවරණය සාධාරණ මැතිවරණයක් ලෙස පොදුවේ සැලකෙන්නේ නැහැ. 

ඊට පස්සේ 1988දීවත් මැතිවරණක් තියලා ඔහු එයින්ද ජයගන්නවා. එහෙත් මේ මැතිවරණ කිසිවක් සාධාරණ මැතිවරණ ලෙස සැලකෙන්නේ නැහැ. ඔය 1988 මැතිවරණයට අවාමි ලීගය හෝ බංග්ලාදේශ ජාතික පක්ෂය ඉදිරිපත් වුනේ නැහැ. එය නිකම්ම ප්‍රදර්ශනාත්මක කටයුත්තක් පමණයි. ඒ කියන්නේ ඔය දක්වාම බංග්ලා දේශයේ හරියකට මැතිවරණයක් පැවැත්විලා නැහැ. අපිට පුරුදු අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිලත් නැහැ.

හරියකට තරඟයක් තිබුණා කියලා කියන්න පුළුවන් පළමු බංග්ලාදේශ මැතිවරණය 1991 මැතිවරණය. තරඟය ප්‍රධාන වශයෙන්ම තිබුනේ අවාමි ලීගය හා බංග්ලාදේශ ජාතික පක්ෂය අතර. මේ පක්ෂ දෙක දැනටත් බංග්ලාදේශයේ ප්‍රධාන පක්ෂ. ඒ වෙද්දී ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දුව ෂෙයික් හසීනා අවාමි ලීගයේ නායකත්වය අරගෙන තිබුණා. සියා රහ්මාන්ගේ බිරිඳ බෙගම් ඛලීඩා සියා බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායකත්වයට ඇවිත් තිබුණා. ඔය පක්ෂ දෙකත් එක්ක එර්ශාඩ්ගේ ජාතික පක්ෂයත් තරඟ කළත් ඒ පක්ෂය තුන් වන තැනට ඇදගෙන වැටුනා. ඛලීඩා ශියාගේ පක්ෂය ජයග්‍රහණය කළා. 

ඊට පස්සේ තිබුණු 1996 පෙබරවාරි මැතිවරණය තවත් විහිළු සහගත මැතිවරණයක්. අනෙකුත් පක්ෂ සියල්ලම මෙන් මැතිවරණය වර්ජනය කරපු නිසා ඛලීඩා ශියාට තිබුනේ තනි අස්සයෙකුගේ රේස් එකක්. ස්වාධීන අපේක්ෂකයින්ට ගිය ආසන කිහිපයක් ඇරෙන්න ඉතුරු සියල්ල ඇයට ලැබුනත්, ඡන්ද භාවිතය 21%කට සීමා වී තිබුණා. ගොඩක් ආසන ලැබුණේ නිතරඟයෙන්. 

ඔය මැතිවරණය අනෙකුත් පක්ෂ විසින් වර්ජනය කරන්න හේතු වුනේ ඊට ආසන්නව පැවති අතුරු මැතිවරණයක් පවත්වපු අවස්ථාවේ සිදු වූ දේවල්. ඒ වගේ දේවල් නැවත නොවෙන්න භාරකාර රජයක් යටතේ මැතිවරණය පැවැත්විය යුතු බවයි විරුද්ධ පක්ශ වල ඉල්ලීම වුනේ. අන්තිමට ඛලීඩා ශියාට භාරකාර රජයක් යටතේ තවත් මැතිවරණයක් තියන්න වුනා. මාස පහකට පසුව තියපු ඒ මැතිවරණයෙන් ආණ්ඩු බලය ෂීක් හසීනාට ලැබුණා. නමුත් විශාල බහුතරයකින් නෙමෙයි. 

මම මුලින්ම බංග්ලාදේශයට යද්දී එහි අගමැති වී සිටියේ ෂීක් හසීනා. ඒ ඇගේ පළමු ධුර කාලය. ඉන් පසුව පැවති 2001 මැතිවරණය එරට පැවති වඩාත්ම තියුණු මැතිවරණ සටන වෙන්න පුළුවන්. ඔය මැතිවරණය ආසන්න කාලයේ මම වැඩිපුර හිටියේ බංග්ලාදේශයේ නිසා මැතිවරණ සටන සමීපව නිරීක්ෂණය කරන්න ලැබුණා. මැතිවරණ දවස් වලනම් හිටියේ ලංකාවේ. 

මේ 2001 මැතිවරණයෙන් ෂෙයික් හසීනාට ගෙදර යන්න වුනා. ඛලීඩා ශියා නැවත බලයට පත් වුනා. ආසන ක්‍රමය නිසා මන්ත්‍රී ධුර ප්‍රමාණ වල සැලකිය යුතු වෙනසක් තිබුණත් ඡන්ද ප්‍රතිශත වල තිබුණේ සුළු වෙනසක්. මේ මැතිවරණයේදී ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂය එර්ශාඩ්ගේ පක්ෂය අභිබවා තුන් වන තැනට ආවා.

ඊළඟට 2008 මැතිවරණය. ඒ මැතිවරණයේදී ඛලීඩා ශියාව ගෙදර යවලා ෂෙයික් හසීනා නැවත බලයට එන්නේ විශාල ජයග්‍රහණයක් ලබමිනුයි. ඒ සඳහා අවාමි ලීගය එර්ශාඩ්ගේ ජාතික පක්ෂය එක්ක සන්ධානයක් හදනවා. ඛලීඩා ශියාගේ පක්ෂයද ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂය එක්ක සන්ධානයක් හදාගෙන තරඟයට ආවත් පරාජයෙන් බේරෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. 

ඔය විදිහට ඛලීඩා ශියා එක්ක සටන් කරලා සාධාරණ මැතිවරණයක් අරගෙන බලයට පත් වෙන ෂෙයික් හසීනා ඉන් පසුව 2014 මැතිවරණය පවත්වන්නේ ඛලීඩා ශියාව නිවාස අඩස්සියේ තියලා. ඒ නිසා ඒ මැතිවරණයත් විහිළු සහගත මැතිවරණයක් වෙනවා. ඛලීඩා ශියාගේ පක්ෂය තරඟ නොකළ නිසා, ආසන ටික අමාරුවක් නැතිවම අවාමි ලීගය හා ජමාත්-ඉ-ඉස්ලාමි පක්ෂය විසින් බෙදා ගන්නවා. ඉන් පසුව, 2018 මැතිවරණය ආසන්නයේදී උසාවියෙන් ඛලීඩා ශියාව දූෂණ චෝදනා වලට වරදකරුවෙකු කරනවා. එය ඡන්ද ප්‍රතිඵලය කෙරෙහි බලපානවා. අන්තිමටම පැවැත්වුනු 2024 ජනවාරි මැතිවරණයට බංග්ලාදේශ ජාතික පක්ෂය ඉදිරිපත් නොවූ නිසා ඒකත් අන්තිමට තනි අස්සයෙකුගේ රේස් එකක් පමණක් වුනා. 

අන්තිමට බලද්දී බංග්ලාදේශ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ තරඟයක් තිබී ඇත්තේ අවස්ථා කිහිපයකදී පමණයි. මේ වගේ ක්‍රමයක් වඩා කිට්ටු තනි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයකටයි. සිංගප්පූරුවේ දිගටම තියෙන්නෙත්, කාලයක ඉඳන් රුසියාවේ තියෙන්නෙත් එවැනි ක්‍රමයක්. 

බංග්ලාදේශ ශිෂ්‍ය අරගලය ඉදිරියට ගිහින් ෂෙයික් හසීනාට ඉල්ලා අස්වෙන්න සිදු වෙන්නේ ඔය වගේ ඓතිහාසික සන්දර්භයක. කෝටා ප්‍රශ්නය ඇතුළු එහි මෑතකාලීන පසුබිම ගැන බොහෝ තැන් වල විස්තර කෙරී තිබෙන නිසා මම නැවත ලියන්නේ නැහැ. මට තේරෙන විදිහට මෙය ශිෂ්‍යයන් තුලින් ස්වභාවික ලෙස පැන නැගුනු අරගලයක්. යම් ආකාරයකින් අසූව දශකයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව මතු වූ සටනට සමාන කරන්න පුළුවන්. එහිදී සාමාන්‍යයෙන් ශිෂ්‍ය සටනකට නොලැබෙන විශාල සහයෝගයක් වෛද්‍ය සිසුන් අතරින් මතු වුනා. ඒ ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවය තර්ජනයට ලක් වූ නිසා. බංග්ලාදේශයේදී සිදු වුනේ වඩා වැඩි පිරිසකට රැකියා අවදානමට මුහුණ දෙන්න වීම.

අරගලය සිසුන් තුළින් පැන නැගුනු එකක් වුවත්, එහි වාසිය බෙගම් ඛලිඩා සියාගේ බංග්ලාදේශ ජාතිය පක්ෂය විසින් ලබා ගන්නට උත්සාහ කරන බවක් මුල සිටම පෙනෙන්නට තිබුණා. ඔවුන් වක්‍ර ලෙස අරගලය මෙහෙයවූවා. සිසුන් මේ පිළිබඳව සවිඥානිකව සිටියත් ෂෙයික් හසීනාව බලයෙන් පහ කිරීමෙන් ඔබ්බට සැලසුමක නොසිටි ඔවුන් සතුව ප්‍රායෝගික විකල්ප සැලසුමක් කිසි විටෙක තිබුණේ නැහැ. 

මේ වෙද්දී අරගලයට සම්බන්ධ වූ සිසුන් "දිනූ නිදහස රැක ගැනීම සඳහා" ඔවුන්ට කළ හැකි දේ කරමින් සිටිනවා. බැංකු, හින්දු කෝවිල් වැනි ස්ථාන මුර කරමින් ආරක්ෂාව සැපයීම, ගිනිබත් කළ හා විනාශ කළ තැන් ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීම, රථවාහන පාලනය කරමින් මාර්ග විනය ඇති කිරීම, පැල සිටවීම හා වීදි වල චිත්‍ර ඇඳීම ඔවුන් දැනට කරන කටයුතු සමහරක්. 

බංග්ලාදේශ ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තරමට ශක්තිමත් එකක් නොවූවත්, ගිනි දළු ක්‍රමයෙන් නිවී යද්දී බංග්ලාදේශය නැවත සාමකාමී වෙතැයි මා සිතනවා. ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමෙන් පසුව, සිසුන්ගේ අරමුණ දූෂණ චෝදනා වලට වැරදිකරු වී දඬුවම් ලබා සිටින ඛලීඩා ශියාව නැවත බලයට පත් කිරීම නොවුනත් ප්‍රායෝගිකව අවසන් ප්‍රතිඵලය එය වෙන්න වුනත් බැරිකමක් නැහැ.










Monday, April 15, 2024

ක්‍රම සහ විධි කාරක සභා වාර්තාව

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාවෙහි සඳහන් කරුණක් ගැන පාඨකයින් කිහිප දෙනෙකු විසින් අදහස් දක්වා තිබුණා. වෙනත් තැන් වලද මේ ගැන කතා වෙනු දැකිය හැකි වුනා. නමුත් ඒ බොහෝ දෙනෙකු විසින් එසේ අදහස් පළ කර තිබුණේ අඩු වශයෙන් අදාළ වාර්තාව හෝ නොකියවා බවයි නිරීක්ෂණය වුනේ. 

ක්‍රම සහ විධි කාරක සභාව කියන්නේ කුමක්ද?

කාරක සභා ක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ සුවිශේෂී අංගයක්. පාර්ලිමේන්තුවක් වැනි නියෝජිතයින් සිය ගණනක් සිටින සභාවකට කිසියම් කරුණක් සාකච්ඡා කර තීරණයකට පැමිණීම සඳහා තිබෙන්නේ සීමිත කාලයක් පමණයි. මෙම කාලය තුළ අවශ්‍ය හැම දෙයක්ම ප්‍රමාණවත් තරමින් සාකච්ඡා කරන්න අමාරුයි. මෙයට විසඳුමක් ලෙස කාලය යොදවා අධ්‍යයනය කළ යුතු දේවල් එසේ අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට කරුණු හා නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යය කාරක සභාවකට පැවරෙනවා. කාරක සභාවක් තෝරාගත් නියෝජිතයින් සීමිත පිරිසකගෙන් සමන්විතයි. 

ඇතැම් කාරක සභා ස්ථාවර කාරක සභා. මෙවැනි කාරක සභා වලට පැවරුණු නිශ්චිත කාර්යයන් තිබෙනවා. එම කාර්යයන් සාකච්ඡාවට ගෙන  පාර්ලිමේන්තුවට කරුණු හා නිර්දේශ ඉදිරිපත් කිරීම අදාළ ස්ථාවර කාරක සභාවේ කාර්යයක්. සාමාජිකයින් වරින් වර වෙනස් වුනත් මෙවැනි කාරක සභා දිගටම තිබෙනවා. මීට අමතරව වරින් වර විශේෂ කාර්යයන් සඳහා කාරක සභා පත් කෙරෙනවා. ක්‍රම සහ විධි කාරක සභාව එවැනි විශේෂ කාර්යයන් සඳහා ස්ථාපනය කළ කාරක සභාවක්.

ක්‍රම සහ විධි කාරක සභාව පිහිටුවා තිබෙන්නේ රටේ මූල්‍ය කටයුතු අධීක්ෂණය කරන කාරක සභාවක් ලෙසයි. බදු අය කිරීම්, තීරුබදු සහ රජයේ අනෙකුත් ආදායම් වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග වලට අදාළ සියලු කරුණු පරීක්ෂා කිරීමටත්, අවශ්‍ය අවස්ථා වල බදු සහ තීරුබදු සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්ති වල වෙනස්කම් යෝජනා කිරීමටත් මෙම කාරක සභාවට බලය තිබෙනවා. කෙටියෙන් කිවුවොත් මෙම කාරක සභාව පිහිටුවීමේ අරමුණ රජයේ බදු ආදායම් වැඩි කර ගත හැකි ආකාරය සොයා බලා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීමටයි.

සාමාන්‍යයෙන් මෙවැනි කාරක සභාවක කාර්යය නිර්දේශ ඉදිරිපත් කිරීමට සීමාවෙනවා. ඒවා නීති හෝ නියෝග නෙමෙයි. එම නිර්දේශ සලකා බලා කළ යුතු දෙයක් ඇත්නම් කිරීම පාර්ලිමේන්තුවේ කාර්යයක්.

ක්‍රම සහ විධි කාරක සභාවේ ඉන්නේ කවුද?

මෙහි සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පත් කර තිබෙනවා. ඔවුන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන අයයි. මේ අතරින් අයෙකු වන පාඨලී චම්පික රණවක කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනවා.

ඔය කියන කාරක සභා වාර්තාව කුමක්ද?

මේ කියන්නේ පසුගිය (2024) අප්‍රේල් 1 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවන වාර්තාවයි. මෙම වාර්තාවෙහි ආදායම් එකතු කර ගැනීම ගැනත්, වෙනත් කරුණු කිහිපයක් ගැනත් කරුණු හා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. 

වෙළෙන්දන් "අයුතු" ලාබ ලබන බවක් මේ වාර්තාවේ කියා තිබෙනවාද?

එහෙම කතාවක් මේ වාර්තාවේ නැහැ. "අයුතු" ලාබ ගැන කතා කළ හැක්කේ "යුතු ලාබ" වලට සාපේක්ෂවයි. කවුරු හෝ අයෙක් රටේ පවතින නීති රාමුව යටතේ, එම නීති උල්ලංඝනය නොකර, ලාබ උපයනවානම් ඒවා "යුතු ලාබ" මිසක් "අයුතු ලාබ" නෙමෙයි. "අයුතු ලාබ" කියන වචනය හෝ ඒ ආකාරයේ "අයුතු ලාබ" ගැන මෙම වාර්තාවේ කිසිවක් සඳහන්ව නැහැ. "අසාධාරණ ලාබ" වැනි වචනද මේ වාර්තාවේ නැහැ. එහෙත් වෙළෙන්දන් විසින් "විශාල ලාභයක්" උපයා ඇති බව මෙම වාර්තාවේ සඳහන්ව තිබෙනවා. මෙය "අසාධාරණ" හෝ "අයුතු" ලාභ ගැන කෙළින්ම නොකියා එවැන්නක් ගැන ඉඟි කිරීමක් ලෙස සැලකිය හැකියි. හරියටම කිවුවොත්, වාර්තාවේ සඳහන්ව ඇත්තේ පහත ඇති පාඨයයි.  

"2022 හා 2023 වසර වලදී විශේෂයෙන්ම බී ලූණු, අර්තාපල්, වියලි හාල්මැස්සන්, උම්බලකඩ හා මුංඇට වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමේදී පාරිභෝගිකයාට අතිවිශාල වියදමක් දැරීමට සිදු වී ඇති අතර එමගින් වෙළෙන්දන් විශාල ලාභයක් උපයා ඇත."

මෙවැන්නක් කියන පදනම කුමක්ද?

මෙම කමිටුවේ සාමාජිකයින් විසින් ඉහත සඳහන් ආහාර ද්‍රව්‍ය වල ආනයනික මිලට බදු එකතු කර වෙළෙන්දන්ගේ පිරිවැය ගණනය කරනවා. ඉන් පසුව, එම අගය අදාළ ආහාර ද්‍රව්‍ය වල සිල්ලර මිල සමඟ සංසන්දනය කර මෙම අගයයන් අතර වෙනස වෙළෙන්දන්ගේ ලාබය ලෙස පෙන්වනවා. 


මේ විදිහට ලාබය ගණනය කරන එක නිවැරදිද?

කිසිසේත්ම නැහැ. ඒ බව මෙම වාර්තාවේම සඳහන් පහත පාඨයෙන් වුවද සනාථ වෙනවා.

"භාණ්ඩයක වෙළඳපොළ මිල තුළ ද්‍රව්‍යමය හානි, ප්‍රවාහන වියදම් හා වෙළෙන්දන් විසින් උපයන ලාබ ඇතුළත් වේ."

එහෙත්, මෙම කමිටුව විසින් ලාබ ගණන් හදද්දී ඔවුන් විසින්ම සඳහන් කරන ද්‍රව්‍යමය හානි හා ප්‍රවාහන වියදම් නොසලකා හරිනවා. ඊට අමතරව ගබඩා කර තබා ගැනීමේ වියදම්, මූල්‍ය පිරිවැය, සේවක පඩිනඩි ඇතුළු ශ්‍රමයේ මිල සහ අනෙකුත් අමතර වියදම් (ගොඩනැගිලි කුලී, විදුලි බිල්, ප්‍රචාරණ වියදම් ආදිය) නොසලකා හරිනවා. ලාබය ගණනය කළ හැක්කේ මේ සියලු පිරිවැය අඩු කිරීමෙන් පසුවයි. මෙම කමිටුව විසින් එවැනි නිවැරදි හා අංග සම්පූර්ණ අධ්‍යයනයක් සිදු කර නැහැ. මෙම වාර්තාවේ තිබෙන්නේ මතුපිටින් බලා සිදු කළ අසම්පූර්ණ සංසන්දනයක්. ඒ නිසාම, වාර්තාවේ සඳහන් "විශාල ලාභයක් උපයා ඇති බව" යන ප්‍රකාශයේ පදනම දුර්වල එකක්. එය එසේ විය හැකි වුවත්, මෙම වාර්තාවේ ඇති කරුණු වලින් එය පැහැදිලි ලෙස තහවුරු වන්නේ නැහැ.

ඒ වගේම, මෙම වාර්තාවෙහි ආනයනකරුගේ සිට තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා දක්වා සිදු වන අගය එකතු වීම සහ ඔවුන් අතර ලාබ බෙදී යාම අධ්‍යයනය කිරීමක් සිදුව නැහැ. ඒ වෙනුවට, මේ සියලු පාර්ශ්වයන්ගේ අමතර පිරිවැය හා ලාබ "වෙළෙන්දන් විසින් උපයන ලාබ" ලෙස එක ගොඩකට දමා තිබෙනවා. ඒ නිසා, යම් හෙයකින් මෙහි "විශාල ලාබ" තිබුණත් ඒ විශාල ලාබ එකතු වන්නේ කවර අදියරේදීද යන ප්‍රශ්නයට මෙම වාර්තාව පිළිතුරු සපයන්නේ නැහැ.

එහෙමනම්, මේ වාර්තාවේ ගතයුත්තක් නැද්ද?

ඉහත අඩුපාඩු තිබුණත් වාර්තාවේ ගත යුත්තක් නැති බවක් එයින් අදහස් වන්නේ නැහැ. එහි ඇස්තමේන්තු වලින් වෙළෙන්දන්ගේ ලාබ අදහස් නොවෙතත්, 2018 සිට 2023 දක්වා සිදු කරන සංසන්දනය වැදගත්. සමස්තයක් ලෙස ගත් විට, 2018-2021 කාලයට සාපේක්ෂව 2022 හා 2023 වසර වලදී ඇස්තමේන්තු කර තිබෙන ආන්තිකයෙහි කැපී පෙනෙන වැඩි වීමක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා, මෙය වෙළෙන්දන්ගේ ලාබ වැඩි වීමක්ද යන්න ප්‍රශ්න කිරීමට පසුබිමක් තිබෙනවා. ඊට අමතරව, මෙහි සඳහන් ආනයනික පාරිභෝගික භාණ්ඩ වල ආනයනික මිලට සාපේක්ෂව දේශීය නිෂ්පාදන වල තරඟකාරිත්වය පිළිබඳවද මෙහි සඳහන් තොරතුරු ඇසුරෙන් අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම, වාර්තාවේ මෙම කරුණට අමතරව වෙනත් කරුණු ගණනාවක් පිළිබඳව අධ්‍යයනය කර කරුණු හා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය දෙවසර තුළ මෙහි සඳහන් "ලාබ ඇස්තමේන්තු" ඉහළ ගොස් ඇත්තේ කෙසේද?

බී ලූණු

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 145

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 87

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 58

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 289

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 98

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 191


අර්තාපල් 

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 155

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 100

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 55

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 209

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 103

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 106


වියලි හාල්මැස්සන් 

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 789

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 401

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 388

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 1424

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 508

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 916


උම්බලකඩ 

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 1916

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 926

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 990

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 3065

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 872

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 2193


මුං ඇට 

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 545

2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 215

2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 330

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 1113

2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 438

2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 675


ඉහත දත්ත දෙස බැලූ විට පෙනී යන්නේ කුමක්ද?

පළමු නිරීක්ෂණය වන්නේ ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගියද පෙර දෙවසරට සාපේක්ෂව, පසුගිය දෙවසර තුළ, ඉහත පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීමේ සෘජු පිරිවැය විශාල ලෙස ඉහළ ගොස් නොමැති බවයි. ඊට හේතුව ඩොලරයක මිල ඉහළ යද්දී මෙම භාණ්ඩ ආනයනය කෙරෙන රට වල එම භාණ්ඩ වල මිල ගණන් අඩු වී තිබීමයි. (මුං ඇට හා අදාළව මෙම තත්ත්වයේ කැපී පෙනෙන වෙනසක් දැකිය හැකියි.) එහෙත්, දේශීය අගය එකතු වීම් කොටස දෙගුණයකින් හෝ ඊටත් වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. දේශීය අගය එකතු වීම් කොටස දෙගුණයකින් හෝ ඊටත් වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබීමෙන් වෙළෙන්දන්ගේ ලාභ විශාල ලෙස ඉහළ ගොස් ඇති බවක් අනිවාර්යයෙන් අදහස් වෙන්නේ නැහැ.

මෙහි වෙළෙන්දන් ලෙස පොදුවේ හඳුන්වා තිබෙන්නේ අතරමැදියන් ගණනාවක් සිටින දාමයක්. එහි අවසාන අදියරේ ඉන්නේ පාරිභෝගිකයාට සෘජුව සම්මුඛ වන සිල්ලර වෙළෙන්දා. සිල්ලර වෙළෙන්දන් බොහෝ විට විශාල ධනවතුන් නෙමෙයි. ඔවුන් සුළු ව්‍යාපාරිකයින්. මෙවැනි අය බොහෝ විට තමන් විසින්ම ව්‍යාපාරය වෙනුවෙන් ශ්‍රමය යොදවන අයයි. ඇතැම් විට පවුලේ වෙනත් සාමාජිකයින් විසින්ද මෙවැනි ව්‍යාපාර වෙනුවෙන් ශ්‍රමය යොදවනවා. මෙසේ යොදවන ශ්‍රමය වෙනුවෙන් මොවුන් වෙනම වැටුප් ගන්නේ නැහැ. එම වැටුප් කොටස තිබෙන්නේද ව්‍යාපාරයේ ලාබ කොටස තුළයි.

පසුගිය දෙවසර තුළ සමස්තයක් ලෙස රටේ බඩු මිල විශාල ලෙස ඉහළ ගියා. එසේ බඩු මිල වැඩි වෙද්දී තමන්ගේ ශ්‍රමයේ මිල වැඩි කර ගත හැකි අය බඩු මිල වැඩි වීමට අනුරූපව තමන්ගේ ශ්‍රමයේ මිලද වැඩි කර ගෙන තිබෙනවා. එසේ නොකර ඔවුන්ට තමන්ගේ පෙර පැවති ජීවන තත්ත්වය පවත්වා ගන්න බැහැ. ක්‍රම සහ විධි කාරක සභා කාරක සභාවේ ඇස්තමේන්තු තුළ මෙය පිළිබිඹු වන්නේ වෙළෙන්දන්ගේ ලාබ ඉහළ යාමක් ලෙසයි. ඊට අමතරව ප්‍රවාහන ගාස්තු, විදුලි ගාස්තු ආදිය ඉහළ යාමේ බලපෑමද පිරිවැය කොටසට එකතු වන නිසා තොග වෙළෙන්දාගේ මිල සහ සිල්ලර වෙළෙන්දාගේ මිල අතර පරතරය පසුගිය දෙවසර තුළ අනිවාර්යයෙන්ම ඉහළ ගොස් තිබිය යුතුයි. එයින් ඔවුන්ගේ ලාබ ඉහළ ගොස් ඇති බවක් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ.

මෙම දාමයේ සිල්ලර වෙළෙන්දාට පෙර සිටින්නේ තොග වෙළෙන්දා. ප්‍රවාහන ගාස්තු හා අනෙකුත් වියදම් ඉහළ යාම තොග වෙළෙන්දාටද බලපානවා. ඊට අමතරව තොග ගබඩා කරගෙන සිටීමේ පිරිවැය, විශේෂයෙන්ම මූල්‍ය පිරිවැය, පසුගිය කාලයේදී විශාල ලෙස ඉහළ ගියා. බඩු තොගයක වටිනාකම රුපියල් ලක්ෂයක් ලෙස සැලකුවහොත්, එම මුදල 12%ක බැංකු ණයක් යොදවා කළ ආයෝජනයක්නම්, මාසයක් මේ බඩු වෙනුවෙන් සල්ලි යට කර තැබීමේ පිරිවැය රුපියල් දහසක්. පොලිය 24% වන විට එම පිරිවැය දෙගුණ වෙනවා. 

සුපිරි වෙළඳසැලක් බොහෝ විට තොග වෙළෙන්දාගේ හා සිල්ලර වෙළෙන්දාගේ කාර්යයන් දෙකම කරනවා. ඒ නිසා, ශ්‍රමයේ මිල ඉහළ යාම, ප්‍රවාහන වියදම් ඉහළ යාම, විදුලි ගාස්තු වැනි වියදම් ඉහළ යාම, බැංකු පොලී ඉහළ යාම ආදී හැම දෙයක්ම මිල වෙනස ඉහළ දමනවා. ලාබ වැඩි වී ඇත්ද යන්න නිගමනය කළ හැක්කේ මේ සියලු සෘජු හා වක්‍ර වියදම් ඉවත් කිරීමෙන් පසුවයි.

දාමයේ මුල සිටින ආනයනකරු සැලකුවත්, ක්‍රම සහ විධි කාරක සභා වාර්තාවෙහි ආනයනකරුගේ මූල්‍ය පිරිවැය පිළිබඳව සලකා නැහැ. එම මූල්‍ය පිරිවැය පසුගිය දෙවසර තුළ විශාල ලෙස ඉහළ ගියා. 

ඒ කියන්නේ වාර්තාවේ සඳහන් "වෙළෙන්දන් විශාල ලාභයක් උපයා ඇත" කියන ප්‍රකාශය බොරුවක්ද?

මේ ප්‍රකාශය ඇත්තක්ද බොරුවක්ද කියා හරියටම කියන්න පුළුවන් වන්නේ සියලුම පිරිවැය නිවැරදිව සලකා බලා ඇස්තමේන්තුවක් කළහොත් පමණයි. මෙම වාර්තාවේ එවැනි නිවැරදි ගණනය කිරීමක් සිදු කර නැහැ. තමන් විසින් කවදාවත්ම ව්‍යාපාරයක් කර නැති අය වෙනත් අයගේ ලාබ ගණන් හදන්න යන විට ඔය වගේ අඩුපාඩු සිදු වෙන එක පුදුමයක් නෙමෙයි. ඒ නිසා, වාර්තාවේ සඳහන් ප්‍රකාශය නිවැරදි වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

කොහොම වුනත්, මෙම වාර්තාවෙහි ප්‍රශ්නයක් හඳුනා ගන්නවා. ඒ සඳහා එහි යෝජනා කර තිබෙන විසඳුම් මොනවාද?

ප්‍රධාන යෝජනා දෙකක් දැකිය හැකියි.

1. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පවත්වා ගෙන යාම. මෙහි අරමුණ බව පෙනී යන්නේ රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම මිස පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු මිල අඩු කිරීම නෙමෙයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පවත්වා නොගැනීම නිසා රජයේ බදු ආදායම අඛණ්ඩව අඩු වෙමින් පවතින බව කාරක සභාව විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

2. ආනයනික ආහාර ද්‍රව්‍ය වල ආනයනකරුවන්ට හා වෙළෙන්දන්ට ඒවායේ මිල ගණන් අත්තනෝමතික ලෙස ඉහළ දැමීමට තිබෙන ඉඩකඩ වලක්වමින් මෙම වාර්තාවේ සිදු කර ඇති පරිදි භාණ්ඩ වල බදු පැනවීමෙන් පසු පිරිවැය මාස්පතා ප්‍රසිද්ධියට පත් කිරීම සහ එම භාණ්ඩ වල වෙළඳපොළ මිල ගණන්ද එලෙසම ප්‍රසිද්ධ කිරීම.

මෙම වාර්තාවේ අදාළ භාණ්ඩ වල මිල පාලනය කළ යුතු බව හෝ වෙළඳපොළ නියාමනය කළ යුතු බව සඳහන්ව තිබේද?

එවැනි යෝජනා මෙම වාර්තාවේ නැහැ. 

දැනට මෙම සැපයුමේ දාමය තුළ සිටින වෙළෙන්දන් අධික ලාභ ලබන බව මෙම වාර්තාවේ ඇති කරුණු වලින් තහවුරු නොවෙතත්, එවැන්නක් සිදු වීමේ ඉඩක් තිබේද?

අනිවාර්යයෙන්ම තිබෙනවා. මෙහි සඳහන් පාරිභෝගික භාණ්ඩ වර්ග පහම රට තුළ නිපදවන දේවල්. එම භාණ්ඩ ආනයනය කර ඉහළ මිලකට විකිණිය හැකි වීමෙන් පෙනෙන්නේ දේශීය නිෂ්පාදනය කොයි තරම් අකාර්යක්ෂමද යන්නයි. වෙළඳපොළක මිල තීරණය වන්නේ වඩාත්ම අකාර්යක්ෂම නිෂ්පාදකයාගේ පිරිවැය මතයි. 

වියලි හාල්මැස්සන් උදාහරණයකට ගත්තොත්, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුද සමඟ කිලෝග්‍රෑමයක් ලංකාවට එන විට මිල රුපියල් 396ක් පමණයි. විදේශ ධීවරයාගේ, හාල්මැස්සන් වියලා සකස් කරන්නාගේ, පැකට් කරන්නාගේ, සිල්ලර හා තොග වෙළෙන්දන්ගේ සිට අපනයනකරු දක්වා සියල්ලන්ගේම පිරිවැය හා ලාබ මෙන්ම අපනයන බදු ඇත්නම් ඒවාද තිබෙන්නේ මෙම රුපියල් 396 තුළයි. මෙසේ රුපියල් 396කට ලංකාවට එන වියලි හාල්මැස්සන් කිලෝව ලංකාවේ විකිණෙන්නේ රුපියල් 1308කටයි. පාරිභෝගිකයා විසින් ගෙවන එම මිලෙන් රුපියල් 812ක් රට තුළ ඉතිරි වෙනවා. 

වෙළෙන්දන්ගේ ලාබ කෙසේ වුවත්, ක්‍රම සහ විධි කාරක සභා වාර්තාවෙහි ආනයනික භාණ්ඩ වල දේශීය අගය එකතු කිරීම නිවැරදිව ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අනුව, වියලි හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1308කට විකිණෙන විට රුපියල් 812ක දේශීය ගය එකතු වීමක් සිදු වෙලා. එම මුදල කෙසේ බෙදී ගියත් එසේ බෙදෙන්නේ ශ්‍රී ලාංකිකයින් අතරයි. ඒ නිසා, ආනයනික හාල්මැස්සන් කිලෝවක් පාරිභෝගිකයෙක් විසින් මිල දී ගන්නා විට රටේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 812කින් ඉහළ ගිහින්.

රටේ නිපදවන වියලි හාල්මැස්සන් කිලෝවක් විකිණෙන්නේත් ඔය මිලටයි. එවිට රටේ දළ දේශීය නිෂ්පාදිතයට කොපමණ මුදලක් එකතු වෙනවාද? මෙය තීරණය වන්නේ වියලි හාල්මැස්සන් කිලෝවක් නිපදවීම සඳහා යන දේශීය පිරිවැය කොපමණද යන්න මතයි. යම් හෙයකින් එම පිරිවැය රුපියල් 396ට වඩා වැඩිනම්, එයින් අදහස් වන්නේ ආනයනය නොකර රට තුළ නිපදවන සෑම වියලි හාල්මැස්සන් කිලෝවක් ගණනේම රටේ දළ දේශීය නිෂ්පාදිතය පහළ යන බවයි!

බොහෝ විට ලංකාව තුළ වියලි හාල්මැස්සන් කිලෝවක් නිපදවීම සඳහා වැය වන පිරිවැය රුපියල් 396ට වඩා වැඩි විය හැකියි. එය එසේ නොවේනම්, ආනයනික වියලි හාල්මැස්සන් කිලෝවක් මෙවැනි වැඩි මිලකට විකුණන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ පාරිභෝගිකයාගේ පැත්ත ගැන හෝ රටේ නිෂ්පාදනය වැඩි කර ගැනීම ගැන හිතනවානම් පාර්ලිමේන්තුව විසින් විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නය මෙය බවයි. බී ලූණු, අර්තාපල්, උම්බලකඩ හා මුංඇට සම්බන්ධව වුවද මේ කතාවේ වෙනසක් නැහැ.

මෙවැනි තත්ත්වයක් තුළ ආනයනකරුවන්ට "අධික ලාභයක්" ලැබීමේ අවස්ථාවක් ඇත්තටම තිබෙනවා. තරඟය වැඩි වුනා කියා එම අධික ලාභය අඩු වෙන්නේ හෝ මිල පහළ යන්නේ නැහැ. එසේ විය හැක්කේ ආනයන විශාල ලෙස ඉහළ ගොස් දේශීය නිෂ්පාදිතය නැත්තටම නැති වී යන තත්ත්වයකදී පමණයි.

මෙම භාණ්ඩ වල මිල පාලනය කළහොත් එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙයිද?

දැනට මෙම සැපයුමේ දාමය තුළ සිටින වෙළෙන්දන් විසින් අධික ලාභ ලබා ගන්නේනම් මිල පාලනය කළ විට එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙනවා. නමුත්, මෙයින් දේශීය නිෂ්පාදනය නැත්තටම නැති වී යාම හෝ විශාල ලෙස කඩා වැටීමද නොවැලැක්විය හැකියි. ප්‍රශ්නයේ මුල තිබෙන්නේ දේශීය නිෂ්පාදන වල අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය වීම එයට හේතුවයි. ආනයනකරුවන් විසින් අධික ලාභ ලබයිනම් එය අතුරු ප්‍රතිඵලයක්. රජයට එක්කෝ පාරිභෝගිකයින්ගේ පැත්ත අමතක කර නිෂ්පාදනය ගැන අවධානය යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිෂ්පාදනය වැඩි කර ගැනීම අමතක කර මිල අඩු කර ගැනීම ගැන හිතන්න පුළුවන්. ඔය දෙකම කරන්න බැහැ.

මෙම කාරක සභා වාර්තාවෙහි යෝජනා කරන පරිදි මිල හා පිරිවැය ප්‍රසිද්ධ කිරීම ප්‍රයෝජනවත් නැද්ද?

මෙහි තිබෙන්නේ බඩුමිල ඉහළ යාමේ වැරැද්ද තෙවන පාර්ශ්වයක් පිට පැටවීමේ උත්සාහයක් මිසක් ප්‍රශ්නයට සැබෑ විසඳුම් සෙවීමක් නොවන බව මගේ පෞද්ගලික අදහසයි. එසේ වුවත්, මේ වැඩේ නරක වැඩක් නෙමෙයි. එයින් හොඳක් සිදු වීමේ යම් ඉඩක් ඇති අතර නරකක් වීමට හේතුවක් නැහැ. මෙම අතරමැදි කර්මාන්තයේ ලාබ ඇත්තටම ගොඩක් වැඩිනම් තවත් අය කර්මාන්තයට ආකර්ශනය වී තරඟය නිසා මිල අඩු වීමක් වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය නිෂ්පාදකයින්ට තරඟ කිරීම වඩා අසීරු වෙන්න පුළුවන්.

සමුපකාර ක්‍රමය මේ ප්‍රශ්නයට විසඳුමක්ද?

සමුපකාර කියන්නේ පොදු වචනයක්. විවිධ වර්ග වල සමුපකාර තියෙන්න පුලුවන්. මෙම කර්මාන්තයේ අධික ලාභ තිබේනම්, පාරිභෝගිකයින්ගේ සමුකාරයකට එහි වාසිය ලබා ගන්න පුළුවන්. නමුත්, මෙහිදීද අවසාන වශයෙන් දේශීය නිෂ්පාදකයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රතිඵලය තීරණය වන්නේ කර්මාන්තයේ අධික ලාභ තිබේනම් එම ලාබ තිබෙන්නේ කවර අදියර තුළද යන්න මතයි.

බදු වැඩි කිරීම ප්‍රශ්නයට විසඳුමක්ද?

ඇත්තටම කර්මාන්තයේ අධික ලාබ තිබේනම් බදු වැඩි කිරීම මගින් එම ලාබ වලින් කොටසක් රජයේ ආදායම් බවට හරවා ගන්න පුළුවන්. මෙහිදී පාරිභෝගිකයා විසින් ගෙවන මිල ඉහළ යන්නේ නැහැ. ඊට හේතුව, එම මිල තීරණය වන්නේ ආනයනික පිරිවැය මත නොව දේශීය නිෂ්පාදකයාගේ පිරිවැය මත නිසයි.

Thursday, November 9, 2023

විදුලි බලය රජය විසින් සැපයිය යුතුද?


පෙරේදා (නොවැම්බර් 7) දින පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ අතර මේන් ප්‍රාන්තය තුළ විදුලිය සැපයීම සඳහා පොදු සමාගමක් පිහිටුවීමේ යෝජනාවක් පැවති බවත්, එම යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජය වූ බවත් මම පෙර ලිපියේ සඳහන් කළා. මෙම යෝජනාව බහුතර ඡන්දයෙන් ජය ගත්තේනම් එය ඇමරිකාවේ විදුලිබල සැපයුම් ආකෘතියේ සුවිශේෂී වෙනසක් වෙනවා. ඒ වගේම, මෙවැනි ආකෘතිමය වෙනසක් අනෙකුත් ප්‍රාන්ත වලද සිදු කිරීමට පෙළඹුමක් ඇති කරනවා.  එහෙත්, යෝජනාවට පක්ෂව ලැබුණේ ආසන්න වශයෙන් 30%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. ඡන්දදායකයින්ගෙන් 70%ක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් නිසා යෝජනාව පරාජයට පත් වුනා. 

පාඨකයින් කිහිප දෙනෙකුම උනන්දුවක් දැක්වූ නිසාත්, ඇමරිකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය, ලාබ ඉලක්ක කරන සමාගම් හා ලාබ ඉලක්ක නොකරන සමාගම් අතර අන්තර් ක්‍රියාකාරීත්වය මෙන්ම විදුලි බල කර්මාන්තයේ ආකෘතිය යන පෙර කතා කර තිබෙන මාතෘකා තුනකටම සම්බන්ධ කරුණක් නිසාත්, මේ ගැන තව ටිකක් විස්තර ඉදිරිපත් කිරීම යම් පාඨකයින් පිරිසකට හෝ ප්‍රයෝජනවත් කියා හිතනවා.

ජනමතවිචාරණයට යොමු කෙරුණු ප්‍රශ්නය මෙයයි.

Do you want to create a new power company governed by an elected board to acquire and operate existing for-profit electricity transmission and distribution facilities in Maine?

දැනට මේන් ප්‍රාන්තය තුළ ලාබ ලැබීම ඉලක්ක කරගත් සමාගම් විසින් පාලනය කරන විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ පද්ධති මිල දී ගෙන  පාලනය කිරීම සඳහා මහජන ඡන්දයෙන් පත් වන පාලක මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබන පොදු සමාගමක් අලුතෙන් පිහිටවිය යුතුද?

ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත වල මෙන්ම මේන් ප්‍රාන්තයේද විදුලි බලය සැපයීම කරන්නේත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නඩත්තු කරන්නේත් ප්‍රධාන වශයෙන්ම ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් විසිනුයි. මෙම කර්මාන්තයේ ස්වභාවය අනුව, මුලින්ම යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කරන සමාගමකට අදාළ ප්‍රදේශය තුළ විදුලි බලය සැපයීමේදී යම් ඒකාධිකාරයක් හිමි වීම නොවැලැක්විය හැකි දෙයක්. 

මේන් ප්‍රාන්තය තුළ මෙවැනි පෞද්ගලික විදුලිබල සමාගම් දෙකක් ක්‍රියාත්මකයි. ඒ අතරින් ප්‍රධානම සමාගම සෙන්ට්‍රල් මේන් පවර් සමාගම හෙවත් කෙටියෙන් CMP සමාගමයි. මෙම සමාගම 1899 වසරේදී සුළුවෙන් පටන් ගෙන පසුව ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වූ සමාගමක්. 

වර්ග සැතපුම් 35,000ක් පමණ වූ මේන් ප්‍රාන්තය ප්‍රමාණයෙන් වර්ග සැතපුම් 25,000ක් පමණ වූ ලංකාව හා සැසඳිය හැකි ප්‍රාන්තයක්. එහෙත්, කැනඩාවට මායිම්ව, ඇමරිකාවේ ඊසානදිග මායිමේ පිහිටි මෙම ප්‍රාන්තයේ ජන ඝනත්වය ලංකාවට වඩා ගොඩක් අඩුයි. මිලියන 22 ඉක්මවන ලංකාවේ ජනගහණයට සාපේක්ෂව මේන් ප්‍රාන්තයේ ජනගහණය මිලියන 1.4කටත් වඩා අඩුයි. 

කෙසේ වුවත්, ඒක පුද්ගල ආදායම වැඩි නිසා මේන් ප්‍රාන්තයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 85ක් පමණ වෙනවා. ඒ කියන්නේ, ආර්ථික අර්බුදයට පෙර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ආසන්නව සමානයි. සාමාන්‍යයෙන් විදුලිබල ඉල්ලුම රටක හෝ ප්‍රදේශයක දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකයි. 

සෙන්ට්‍රල් මේන් පවර් සමාගම විසින් විදුලිබලය සපයන ප්‍රදේශය වර්ග සැතපුම් 11,000ක පමණ ප්‍රදේශයක් වුවත්, ප්‍රාන්තයේ ජනගහණයෙන් 78%ක් පමණම ජීවත් වන්නේත්, ප්‍රධාන වාණිජ හා නිෂ්පාදන මධ්‍යස්ථාන තිබෙන්නේත් එම ප්‍රදේශ තුළයි. ඔවුන් සතු පාරිභෝගික ගිණුම් ප්‍රමාණය 650,000 ඉක්මවනවා.

ලාබ ලැබීම ඉලක්ක කරගත් තවත් සමාගමක් වන වර්සන්ට් පවර් සමාගම විසින් වර්ග සැතපුම් 10,400ක ප්‍රමාණ ප්‍රදේශයකට විදුලි බලය සපයමින් පාරිභෝගික ගිණුම් 165,000ක් නඩත්තු කරනවා. ජනගහණයෙන් 17%කට පමණ විදුලි බලය සපයන්නේ මෙම සමාගමයි.

ප්‍රාන්තයේ ඉතිරි ප්‍රදේශ වලට විදුලි බලය සපයන ලාබ අරමුණු කරගත් හා නොගත් තවත් ආයතන හතක් පමණ තිබුණත් ප්‍රාන්තය තුළ විදුලිබලය බෙදා හැරීමේදී ඉදිරියෙන්ම සිටින්නේ ඉහත සඳහන් ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් දෙකයි. එම අනෙකුත් ආයතන අතරින් වැඩිම ප්‍රදේශයක් ආවරණය කරන ආයතනය සමුපකාර ආයතනයක් (Eastern Maine Electric Coop). ඔවුන් පාරිභෝගික ගිණුම් 13,000ක් පමණ නඩත්තු කරනවා. සේවා සපයන භූමි ප්‍රදේශයට සාපේක්ෂව මෙය අඩු ගිණුම් ගණනක්. එයට හේතුව ප්‍රාන්තය තුළ ජනගහණය විසිරී සිටින ආකාරයයි. 

ඇමරිකාවේ විදුලිබල කර්මාන්තය තුළ ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම වෙන් කර ඇති ආකාරය පෙර ලිපි කිහිපයක විස්තර කර තිබෙනවා. ඒ නිසා, තමන්ට විදුලිය සපයන ආයතනය කුමක් වුවත් පාරිභෝගිකයින්ට විදුලිය මිල දී ගැනීමේදී තේරීම් ගණනාවක් තිබෙනවා. ඒ අනුව, CMP හෝ වර්සන්ට් සමාගම් වල යටිතල පහසුකම් හරහා සමාගම් නවයකින් විදුලිය ලබා ගත හැකියි. 

ඉහත සඳහන් කළේ මේන් ප්‍රාන්තයේ විදුලිබල සැපයුම සිදු කෙරෙන ආකෘතියයි. ජනමතවිචාරණ යෝජනාව මගින් උත්සාහ කළේ CMP හා වර්සන්ට් සමාගමේ වත්කම් මිල දී ගෙන පොදු සමාගමක් පිහිටුවීමටයි. ඒ වෙනුවෙන් මුල් තැන ගත්තේ "අවර් පවර්" සංවිධානයයි. 

"අවර් පවර්" සංවිධානයේ ප්‍රධාන විවේචනයක් වූයේ CMP හා වර්සන්ට් සමාගම් විසින් අධික විදුලි ගාස්තු අය කරමින් ලාබ උපයන බව සහ එම ලාබ ප්‍රාන්තයෙන් හා රටෙන් පිටතට ගෙන යන බවයි. මෙම විවේචන වලට යම් සහයෝගයක් ලැබෙන්නට හේතු වුණේ CMP හා වර්සන්ට් සමාගම් මෑතකදී වෙනත් සමාගම් විසින් මිල දී ගනු ලැබීමයි. 2016දී ඇවන්ග්‍රිඩ් සමාගම විසින් CMP සමාගම මිල දී ගත්තා. ඇවන්ග්‍රිඩ් සමාගමේ ප්‍රධානම කොටස් හිමිකරු ස්පාඤ්ඤ සමාගමක් වන අයිබඩ්‍රෝලා සමාගමයි. ඉන් පසුව, 2020දී කැනේඩියානු සමාගමක් වන එන්මැක්ස් සමාගම විසින් වර්සන්ට් සමාගම මිල දී ගත්තා. 

මේ අනුව, ජාතිකවාදී හා ප්‍රාදේශීයවාදී කෝණයකින් බැලූ විට ඉහත සමාගම් විසින් කරන්නේ මේන් ප්‍රාන්තයේ විදුලිබල පාරිභෝගිකයින්ගෙන් එකතු කරගන්නා මුදල් ප්‍රාන්තයෙන් හා රටෙන් පිටට ගෙන යාමයි. අවර් පවර් සංවිධානය විසින් යෝජනා කළේ පොදු සමාගමක් පිහිටුවා ඉහත සමාගම් දෙක සතු යටිතල පහසුකම් මිල දී ගැනීම මගින් ප්‍රාන්තයෙන් හා රටින් පිටතට යන ලාබ ප්‍රාන්තය තුළ රඳවා ගෙන පාරිභෝගිකයින්ට අඩු මිලට විදුලිය ලබා දිය හැකි බවයි. ඊට අමතරව, වඩා හොඳ පාරිභෝගික සේවාවක් සපයන අතර වඩා පරිසර හිතකාමී විය හැකි බවටද ඔවුන් තර්ක කළා. 

අවර් පවර් සංවිධානයේ යෝජනාව වූයේ "පයින් ට්‍රී විදුලි සමාගම" නමින් පොදු සමාගමක් පිහිටුවා ඉහත සමාගම් දෙක සතු යටිතල පහසුකම් මිල දී ගැනීමයි. ලාබ ලැබීම අරමුණු කර නොගත් මෙම සමාගමේ පාලක මණ්ඩලය 13 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගෙන් හත් දෙනෙකු මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගැනෙනවා. ඒ, ප්‍රාන්තයේ කලාප හතක් නියෝජනය වන ලෙසයි. ඉන් පසුව, එම පාලක මණ්ඩල සාමාජිකයින් හත් දෙනා විසින් විෂය දැනුම තිබෙන විශේෂඥයින් හය දෙනෙකු පාලක මණ්ඩලයට පත් කර ගන්නවා. අලුතෙන් පිහිටුවන පයින් ට්‍රී විදුලි සමාගම පාලනය කරන්නේ 13 දෙනෙකුගෙන් සමන්විත මෙම පාලක මණ්ඩලය විසිනුයි. මේ යෝජනාවේ බැලූ බැල්මටම පෙනෙන වැරැද්දක් නැහැ. 

මෙවැනි යෝජනාවක් මැතිවරණ දිනයේදී ජනමතවිචාරණ යෝජනාවක් ලෙස ඇතුළු කිරීම සඳහා අවම අත්සන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙම ප්‍රමාණය ඊට පෙර පැවති මැතිවරණයේදී ප්‍රාන්ත ආණ්ඩුකාරයා තෝරාපත් කර ගැනීම සඳහා භාවිතා කළ ඡන්ද ප්‍රමාණයෙන් 10%ක්. එම ප්‍රමාණය 67,682ක්. එහෙත්, මෙවැනි කටයුත්තකදී වලංගු අත්සන් එකතු කිරීම තරමක් සංකීර්ණ කටයුත්තක්. අත්සන් විශාල ප්‍රමාණයක් එකතු කරද්දී එකම පුද්ගලයා දෙවරක් අත්සන් කිරීම හා වලංගු ඡන්දදායකයින් නොවන අය අත්සන් කිරීම වැනි දේ නොවැලැක්විය හැකියි. ඒ නිසා, අවම වශයෙන් වලංගු අත්සන් 67,682ක් ඇති බව තහවුරු වන්නේ ඊට වඩා 20%ක් පමණ වැඩියෙන් අත්සන් එකතු කර ගත්තොත් පමණයි.

අවර් පවර් සංවිධානය විසින් අත්සන් 80,000 ඉක්මවන ප්‍රමාණයක් එකතු කර ගැනීමට සමත් වූ අතර එම අත්සන් අතර වලංගු අත්සන් 69,735ක් තිබූ බැවින් යෝජනාව ඡන්ද පත්‍රිකාවට ඇතුළු වුනා. 

මෙවැනි යෝජනාවකට ප්‍රාන්තය තුළ දැනට ක්‍රියාත්මක විදුලි සමාගම් කැමති නොවන බව අහන්නත් දෙයක් නෙමෙයි. යෝජනාවට එරෙහිව සංවිධානය වූ Maine Affordable Energy committee සහ Maine Energy Progress සංවිධාන වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එම සමාගම් විසින් මුදල් යෙදෙවුවා. ඔවුන්ගේ තර්කය වූයේ මෙම යෝජනාව හරහා ප්‍රාන්තය තුළ විදුලි බලය සැපයීම රාජ්‍ය ඒකාධිකාරයක් වන බවයි. එමෙන්ම, මෙවැනි ආයතනයක් පිහිටුවීම නිසා විදුලි බිල ඉහළ යන බවත්, ප්‍රාන්තයේ බදු අදායම් අඩු වන බවත්, අලුත් ආයතනයට දිගින් දිගටම ණය ගෙවන්නට වෙන්නේ විදුලි පාරිභෝගිකයෙන්ගෙන් අය කර ගෙන බවත් ඔවුන්ගේ තර්කය වුනා.

යෝජනාව වෙනුවෙන්ද, බොහෝ දෙනෙකු දන්නා වාමාංශික දේශපාලනඥයෙකු වන බර්නි සැන්ඩර්ස් ඇතුළු, විවිධ කණ්ඩායම් පෙනී සිටියා. ඇත්තටම මෙම යෝජනාව අවර් පවර් සංවිධානය විසින් අතට ගන්නට පෙර ඩිමොක්‍රටික් පක්ෂයේ මහජන නියෝජිතයෙකු වන සෙත් බෙරී විසින් සිදු කර තිබුණු යෝජනාවක්. අවර් පවර් සංවිධානයට අනුව, පාරිභෝගික සමුපකාර සමිති විසින් ප්‍රාන්තය තුළ අය කරන විදුලි ගාස්තු වලට සාපේක්ෂව CMP හා වර්සන්ට් සමාගම් විසින් අය කරන ගාස්තු 49%කින් වැඩියි. එමෙන්ම, ප්‍රාන්තය තුළ වසරක් තුළ විදුලිය බිඳ වැටීම් 3.9ක් සිදු වී ඇති අතර මෙය ඇමරිකාවේ ප්‍රාන්ත අතරින් ඉහළම අගයයි. කෙසේ වුවත්, යෝජනාවට පක්ෂ කඳවුරට ආධාර ලෙස ඩොලර් මිලියන 1.2ක් එකතු වෙද්දී යෝජනාවට විරුද්ධ කඳවුර වෙත ඩොලර් මිලියන 39.9ක් එකතු වුනා.

මේ වගේ ප්‍රශ්නයක දෙපැත්තක් තිබෙන නිසා පහසුවෙන් "නිවැරදි" පිළිතුරක් හොයා ගන්න බැහැ. පිළිතුර දේශපාලනිකයි. මහජන අදහස් විමසා ඒ මත පදනම්ව තීරණයක් ගැනීම නිවැරදි වන්නේ ඒ නිසා. ස්වාධීන රාජ්‍ය ආයතනයක් වන ප්‍රාන්තයේ මහජන නීතිඥ කාර්යාලය (office of the public advocate) විසින්ද මෙම යෝජනාව පිළිබඳ අදහස් දැක්වීමක් කළා. ජනතාවට ස්වාධීනව තීරණයක් ගැනීමට ඉඩ සලසමින් තමන් විසින් මේ හා අදාළව පැත්තක් නොගන්නා බව සඳහන් කළ ඔවුන් ඔවුන්ගේ මතය අනුව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමක් කළා.

මහජන නීතිඥ කාර්යාලයේ මතය අනුව මෙවැනි පොදු සමාගමක් පිහිටුවීම නිසා ආරම්භයේදී විදුලි ගාස්තු ඉහළ යාමට නියමිත අතර දිගුකාලීනව විදුලි ගාස්තු අඩු විය හැකියි. සේවා සැපයීමේ ගුණාත්මක භාවය ඉහළ යන බව හෝ පහළ යන බව කියන්නට කිසිදු පදනමක් නැහැ. එමෙන්ම, පරිසර හිතකාමීත්වය වැඩි වන හෝ අඩුවන බව කියන්නටද පදනමක් නැහැ. 

කොහොම වුනත්, අවසාන වශයෙන් වැදගත් වන්නේ සමස්තයක් ලෙස ඡන්දදායකයින් සිතන ආකාරයයි. මේ වන විට එය එළිදරවු වී අවසන්. යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ ආසන්න වශයෙන් 30%ක් පමණයි. ඒ නිසා, මේන් ප්‍රාන්තය තුළ පොදු විදුලි සමාගමක් පිහිටුවීම සිදු වන්නේ නැහැ. 

Friday, June 2, 2023

ණය සීමාව හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය

 


ඊයේ (ජූනි 1) ඇමරිකාවේ සෙනෙට් සභාව තුළත්, පෙරේදා (මැයි 31) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළත්, මහජන නියෝජිතයින් විසින් රෑ වන තුරු වාද විවාද කිරීමෙන් අනතුරුව පැවති ඡන්ද විමසීම් වල ප්‍රතිඵල අනුව ඇමරිකානු ෆෙඩරල් රජයේ ණය ගැනීමේ උපරිම සීමාව 2025 ආරම්භය දක්වා අත් හිටවීම සඳහා වූ යෝජනාව සම්මත වුනා. ජනාධිපති බයිඩන් විසින් අත්සන් තැබීමෙන් පසුව මෙය නීතියක් වීමට නියමිතයි.

ෆෙඩරල් රජයේ ණය ගැනීමේ උපරිම සීමාව වැඩි කර ගැනීම හෝ තාවකාලිකව අත්හිටවීම සඳහා ඇමරිකානු ව්‍යවස්ථාදායකයේ කොටස් දෙකේම අනුමැතිය හිමි විය යුතුයි. එහෙත්, මේ වන විට ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ වැඩි බලය තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයට බැවින් ආණ්ඩු පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයට මෙය අභියෝගයක්ව පැවතුණා.

ඇමරිකානු ව්‍යවස්ථාදායකයේ ඡන්ද විමසීම් වලදී පක්ෂයේ මතය අනුව යමින් සිග්නල් කණු පමණක් වී අත ඉස්සීම සාමාන්‍ය තත්ත්වය නොවුනත්, මෑතකාලීනව එවැනි ධ්‍රැවීකරණ ප්‍රවණතාවක් දැකිය හැකිව තිබුණා. සාමාන්‍ය ජනතාව අතර වුවද පක්ෂ අනුව බෙදීම කලක සිට වැඩි වී උග්‍ර මට්ටමකට ගොස් තිබෙනවා. 

රජයේ උපරිම ණය සීමාව හා රජයේ වියදම් අතර සෘජු සම්බන්ධයක් නැතත් රිපබ්ලිකන් පක්ෂය විසින් රජයේ වියදම් පාලනය කිරීම සඳහා උපරිම ණය සීමාව කෙරෙහි ඔවුන්ට කළ හැකි වූ බලපෑම අවියක් ලෙස ප්‍රයෝජනයට ගත්තා. ඒ අනුව, ජනාධිපති බයිඩන්ට අවශ්‍ය වූ පරිදි කොන්දේසි විරහිතව ණය සීමාව ඉහළ දමා ගැනීම කළ හැකි වූයේ නැහැ. 

ජනවාරි 19 දින වන විට ලබාගත් ණය ප්‍රමාණය නීතිය අනුව ලබාගත හැකි උපරිම සීමාව කරා ලඟා වුනා. ඉන් පසුව, ඇමරිකාවේ මහා භාණ්ඩාගාරයට වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා හදිසි තත්ත්වයකදී ගන්නා තාවකාලික ක්‍රියාමාර්ග (හදිසි නොවන ගෙවීම් ප්‍රමාද කිරීම වැනි) ගන්නට සිදු වුනා. සාමාන්‍යයෙන් මාස කිහිපයක් මේ විදිහට ඇදගෙන යා හැකියි. 

ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජෙනට් යෙලන් විසින් දැනුම් දුන් පරිදි මේ ආකාරයෙන් ඇදගෙන යා හැකි වූයේ ජුනි මාසය මුල දක්වා පමණයි. අලුතෙන් ණය ලබා ගත නොහැකි වීනම් එළැඹෙන සඳුදා (ජූනි 5) වන විට භාණ්ඩාගාරය සතු මුදල් අවසන් වී කර කියා ගත හැකි දෙයක් නැති වන බව ඇය දැනුම් දුන්නා. 

ඉහත අවදානම වලක්වා ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙකට හැකි ඉක්මණින් කිසියම් සම්මුතියකට එළැඹෙන්නට සිදු වුනා. ෆෙඩරල් නිවාඩු දිනයකින් අවසන් වූ පසුගිය දිගු සති අන්තයේදී මෙම සම්මුතිය ඇති කර ගැනුණු අතර පෙරේදා (මැයි 31) අදාළ යෝජනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කර දෙපක්ෂයේම මධ්‍යස්ථ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් සම්මත කර ගැනුණා. පක්ෂ දෙකෙහිම දැඩි මතධාරීන් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නා.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වාදවිවාද වලින් පසුව ඡන්ද විමසීම පවත්වා අවසන් කළේ රාත්‍රී 9:30ට පමණ. ඩිමොක්‍රටික් මන්ත්‍රීවරු 165 දෙනෙකු සහ රිපබ්ලිකන් මන්ත්‍රීවරු 149 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා.  ඩිමොක්‍රටික් මන්ත්‍රීවරු 46 දෙනෙකු සහ රිපබ්ලිකන් මන්ත්‍රීවරු 71 දෙනෙකු යෝජනාවට විරුද්ධ වුනා. එක් එක් පක්ෂයේ නියෝජිතයින් දෙදෙනෙකු බැගින් ඡන්දය දීමෙන් වැළකුණා. ඒ අනුව, යෝජනාව වැඩි අපහසුවක් නොමැතිව සම්මත වුනා. 

ඊයේ (ජූනි 1) සෙනෙට් සභාව තුළ යෝජනාව සම්මත වන විට රාත්‍රී එකොළහේ කණිසමද පසු වී තිබුණා. එහිදී යෝජනාවට පක්ෂව ඩිමොක්‍රටික් ඡන්ද 44ක් රිපබ්ලිකන් ඡන්ද 17ක් සහ ස්වාධීන ඡන්ද 2ක් ලැබුනා. ඩිමොක්‍රටික් නියෝජිතයින් 4 දෙනෙක්  රිපබ්ලිකන් නියෝජිතයින් 31 දෙනෙක්  සහ ස්වාධීන නියෝජිතයෙක් යෝජනාවට විරුද්ධ වුනා. 

මෙම යෝජනාව අනුව, 2025 ජනවාරි 1 දක්වා ණය ගැනීමේ උපරිම සීමාව අත් හිටවනු ලබනවා. ඒ සමඟම, 2024 වසර තුළ ආරක්ෂක වියදම් හැර අනෙකුත් වියදම් ඉහළ දැමිය නොහැකි බවටද සීමාවක් පැනවෙනවා. 2024 නොවැම්බරයේදී ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. 

ප්‍රජාතන්ත්‍රවාදයේ කෝණයෙන් මෙම ඡන්ද විමසීම් හොඳ හැරවුමක්. මෙහිදී එක් පාර්ශ්වයකට හෝ අවශ්‍ය දේ එලෙසම සිදු වූයේ නැහැ. දෙපාර්ශ්වයටම තමන් ජයගත් බව කියා සිටින්නට ඉඩ සලසමින් මධ්‍යස්ථ විසඳුමකට පැමිණීමයි අවසාන වශයෙන් සිදු වුනේ. 

Monday, November 7, 2022

හෙට ඇමරිකාවේ මැතිවරණ දිනයයි!


හෙට (නොවැම්බර් 8) මේ වසරේ ඇමරිකාවේ මැතිවරණ දිනයයි. ඇමරිකාවේ නීතිය අනුව මැතිවරණ පැවැත්වෙන්නේ වසරේ එක් නිශ්චිත දිනයකයි. ඒ නිසා, බලයේ සිටින කණ්ඩායමට වඩා වාසිදායක හෝ ඔවුන්ට "ශුභ" දවස් බලා මැතිවරණ තියන්න බැහැ. නීතිය අනුව මෙසේ මැතිවරණ පැවැත්වෙන මැතිවරණ දිනය වන්නේ නොවැම්බර් මාසයේ පළමු සඳුදා දිනයෙන් පසුව එළැඹෙන අඟහරුවාදා. එනම්, නොවැම්බර් 2-8 අතර සතියේ අඟහරුවාදා. මේ වසරේ මේ දිනය නොවැම්බර් 8. 

ඇමරිකාවේ මැතිවරණ දිනයේදී ජාතික, ප්‍රාන්ත හා ප්‍රාදේශීය මැතිවරණ හා ජනමත විචාරණ විශාල ප්‍රමාණයක් එකවර පැවැත්වෙනවා. ඡන්දදායකයෙකුට මේ සියලුම මැතිවරණ සඳහා එකම තැනකදී එකවර ඡන්දය භාවිතා කළ හැකියි. අවශ්‍යනම් තමන් විසින් තෝරාගත් මැතිවරණ කිහිපයක් සඳහා පමණක් ඡන්දය භාවිතා කළ හැකියි. 

ඇමරිකාවේ මැතිවරණ දිනය ලෝකයේ වැඩිම අවධානයට ලක් වන්නේ වසර හතරකට වරක් ජනාධිපතිවරණයක් පැවැත්වෙන විටයි. අවසන් වරට ජනාධිපතිවරණයක් පැවැත්වුණේ 2020දී නිසා මීළඟට ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ 2024 වසරේදී. මේ වසරේදී  ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැතත් කොන්ග්‍රස් සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සඳහා ජාතික මැතිවරණ පැවැත්වෙනවා. එය සෑම දෙවසරකටම වරක් සිදුවන්නක්.

ඇමරිකානු කොන්ග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Representatives) හා සෙනෙට් සභාව ලෙස හැඳින්වෙන කොටස් දෙකක් තිබෙනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී ධුර ගණන 435ක්. මෙම ප්‍රමාණය පසුගිය වසර 111ක කාලය තුළම වෙනස් වී නැහැ. 

එක් නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයෙකු රටේ එක් නිශ්චිත කොට්ඨාශයක් නියෝජනය කරනවා. එක් එක් ප්‍රාන්තයේ තිබෙන කොට්ඨාශ ගණන ප්‍රාන්තයේ ජනගහණයට සමානුපාතිකයි. ඒ අනුව, ඇමරිකාවේ ප්‍රාන්ත අතරින් වැඩිම ජනගහණයක් ජීවත්වන කැලිෆෝර්නියාවේ මන්ත්‍රී කොට්ඨාශ ගණන 52ක්. පසුගිය කොන්ග්‍රස් මැතිවරණ පැවැත්වුණු 2020දී මෙම ගණන 53ක් වුවත්, 2020 සංගණන ප්‍රතිඵල අනුව කැලිෆෝර්නියා ප්‍රාන්තයේ නියෝජිතයින් ගණන එකකින් අඩු වී තිබෙනවා. අලුත් ධුර දෙකක් එකතු වී, ටෙක්සාස් ප්‍රාන්තයේ නියෝජිතයින් ප්‍රමාණය මෙවර 38 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, ජනගහණය අඩු, ඇලස්කා, ඩෙලවෙයා, වයෝමින්, වර්මොන්ට්, නෝර්ත් ඩකෝටා හා සවුත් ඩකෝටා ප්‍රාන්ත නියෝජනය කරන්නේ එක් නියෝජිතයෙකු විසින් පමණයි. මෙතෙක් එක් නියෝජිතයෙකුට පමණක් හිමිකම් කියූ මොන්ටානා ප්‍රාන්තයට මෙවර තවත් නියෝජිතයෙකු හිමි වී තිබෙනවා. 

නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයෙකුගේ ධුර කාලය වසර 2ක් පමණයි. ඒ නිසා, ඔවුන්ට හැම විටම මෙන් තමන්ගේ ඡන්දදායකයින්ගේ මතය නියෝජනය කරන්නට සිදු වෙනවා. ධුර කාලය වසර දෙකකට සීමා කර තිබීමේ අරමුණද එයයි. මේ වන විට නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයින්ගෙන් 220 දෙනෙකු ඩිමොක්‍රටික් පාක්ෂිකයින් වන අතර 212 දෙනෙකු රිපබ්ලිකන් පාක්ෂිකයින්. මන්ත්‍රී ධුර තුනක් පුරප්පාඩු වී තිබෙනවා. අඟහරුවාදා දින ආසන 435 සඳහාම මැතිවරණ පැවැත්වෙනවා. දැනට පෙනෙන්නට තිබෙන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය රිපබ්ලිකන් පක්ෂයට මාරු වීමට සැලකිය යුතු ඉඩක් ඇති බවයි. 

සෙනෙට් සභිකයින් ගණන 100ක් වන අතර ඔවුන්ගේ ධුර කාලය වසර 6ක්. මෙම ධුර ගණන, ජනගහණය නොසලකා, ප්‍රාන්තයකට දෙක බැගින් බෙදී යනවා. සෙනෙට් සභිකයෙකුගේ ධුර කාලය වසර හයක් වැනි දීර්ඝ කාලයක් වන ලෙස සැලසුම් කර තිබෙන්නේ ජනමතය තාවකාලිකව යම් තරමකින් නොසලකා, ජනතාවගේ දිගුකාලීන යහපත පිණිස හේතු වන තීන්දු ගැනීම පහසු කිරීමටයි. මේ ක්‍රමය තුළ ජනප්‍රිය මතයට එරෙහි වන විශේෂඥ මත වලටද ඉඩක් ලැබෙනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ ජනප්‍රිය මතය නිරූපණය වන නිසා මෙහි හානියක් නැතුවා වගේම යම් තුලනයක් සිදු වෙනවා. 

සෙනෙට් සභිකයෙකුගේ ධුර කාලය වසර 6ක් වුවත් සෙනෙට් සභාව වසර හයකට වරක් එක වර විසිරී යන්නේ නැහැ. සෑම වසර දෙකකටම වරක් සභිකයින් ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් තුනෙන් එකක් අලුතෙන් පත් කර ගැනීමයි සිදු වන්නේ. දැනට සෙනෙට් සභාවේ වැඩි බලයක් තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි. එම පක්ෂයට මන්ත්‍රී ධුර 50ක් හිමිව ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂය සතුව ඇත්තේ ධුර 48ක් පමණයි. ඉතිරි දෙදෙනා ස්වාධීන අපේක්ෂකයින්. 

මෙවර, සාමාන්‍යයෙන් වසර දෙකකට වරක් සිදුවන පරිදි, වසර හයක කාලයක් සඳහා සෙනෙට් සභිකන් 34 දෙනෙකු අළුතෙන් පත් කර ගැනෙනවා. මැතිවරණ පැවැත්වෙන ආසන වලින් 20ක් දැනට නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පාක්ෂිකයින් විසින්. ඉතිරි 12 ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින්. මීට අමතරව, පුරප්පාඩු වී තිබෙන ධුර දෙකක් සඳහාද මැතිවරණ පැවැත්වෙනවා. මැතිවරණයෙන් සෙනෙට් සභාවේ සංයුතියේ විශාල වෙනසක් වීමේ ඉඩක් පෙනෙන්නට නැතත් සුළු හෝ වාසියක් ලබා ගැනීමට වැඩි ඉඩක් ඇති බව පෙනෙන්නේ රිපබ්රිකන් පක්ෂයයි. 

ඇමරිකාවට පිටින් සිටින අය හැමවිටම මෙන් ඇමරිකාවේ ෆෙඩරල් රජය දිහා බලාගෙන හිටියත්, ඇමරිකානුවෙකුගේ ජනජීවිතය කෙරෙහි බලපාන ගොඩක් දේවල් තීරණය වෙන්නේ ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටම තුළයි. මෙවර මැතිවරණ දිනයේදී ඇමරිකාවේ ප්‍රාන්ත 36ක (හා ඇමරිකාවට අයත් ප්‍රදේශ 3ක) ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණද පැවැත්වෙන නමුත් අපේ ප්‍රාන්තය මේ අතර නැහැ. දැනට ප්‍රාන්ත 28ක් පාලනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. එම ප්‍රාන්ත අතරින් 20ක මැතිවරණ පැවැත්වෙනවා. දැනට ඩිමොක්‍රටික් පක්ෂය සතුව බලය තිබෙන ප්‍රාන්ත 22 අතරින් 16කද ආණ්ඩුකාර ධුර සඳහා මැතිවරණ පැවැත්වෙනවා. 

මේ මැතිවරණ දිනයේදී අපේ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා තෝරා පත්කර ගැනීම සඳහා මැතිවරණ නොපැවැත්වුණත්, ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායක සභාව තෝරා පත් කර ගැනෙන මැතිවරණ පැවැත්වෙනවා. එහිද, ජාතික මට්ටමේදී මෙන්ම, කොටස් දෙකක් තිබෙනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ධුර ගණන 100ක්. ධුර කාලය වසර දෙකයි. සෙනෙට් මන්ත්‍රී ධුර ගණන 50ක්. ඔවුන්ගේ ධුර කාලය වසර හතරක්. දෙවසරකට වරක් ඔවුන්ගෙන් 25 දෙනෙකු තෝරා පත් කර ගැනෙනවා. ඒ අනුව, මෙවර අපේ ප්‍රාන්තයේ  නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයින් 100 දෙනෙකු හා සෙනෙට් සභිකයින් 25 දෙනෙකු අලුතෙන් හෝ නැවත පත් කර ගැනෙනවා.

මීට අමතරව, ප්‍රාන්ත රජයේ ඇතැම් තනතුරු පිරවීම සඳහාද මැතිවරණ (හෝ නිලවරණ) පැවැත්වෙනවා. එමෙන්ම ප්‍රාදේශීය මැතිවරණ ගණනාවක්ද පැවැත්වෙනවා. විවිධ මට්ටම් වල සිවිල් තනතුරු ගණනාවක් සඳහාම මහජන ඡන්දයෙන් පුද්ගලයින් පත් කර ගැනෙනවා. පහත තිබෙන්නේ අපේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයා සහ සෙනෙට් සභිකයා තෝරා ගැනීමට අමතරව මැතිවරණ දිනයේදී පැවැත්වෙන වෙනත් මැතිවරණ (හෝ නිලවරණ) අතරින් කිහිපයක්.

- ප්‍රාන්තයේ රාජ්‍ය ලේකම් (Secretary of State)

- ප්‍රාන්තයේ විගණකාධිපති (Auditor of State)

- ප්‍රාන්තයේ භාණ්ඩාගාරික (Treasurer)

- ප්‍රාන්තය තුළ පුරප්පාඩු වී ඇති එක් අධිකරණ කලාපයක අභියාචනාධිකරණ විනිසුරු 

- කෝරළයේ තක්සේරුකරු (County Assessor)

(කෝරළයක් (County) යනු, අපේ ප්‍රාන්තයේනම්, සාමාන්‍ය වශයෙන් 35,000ක පමණ ජනගහණයක් සිටින ප්‍රදේශයක්) 

- කෝරළයේ උසාවි ලිපිකරු (Circuit Court Clerk)

- කෝරළයේ මරණ පරීක්ෂක (County Coroner)

- කෝරළයේ වාර්තා තබන්නා (County Recorder)

- කෝරළය තුළ එක් එක් ප්‍රදේශය නියෝජනය කරන කොමසාරිස් වරු 

- කෝරළය තුළ එක් එක් ප්‍රාදේශීය උසාවි වල විනිසුරුවරුන් 

- කෝරළයේ පොලිස් ප්‍රධානියා (County Sheriff)

- කෝරළයේ ප්‍රධාන රජයේ නීතිඥයා (Prosecuting Attorney)

- කෝරළය තුළ අපේ නාගරික කොට්ඨාශයේ භාරකරු (Township Trustee)

- කෝරළය තුළ අපේ නාගරික කොට්ඨාශයේ පාලක මණ්ඩල සාමාජිකයින් 

- කෝරළය තුළ එක් එක් කලාපයේ පාසැල් පාලක මණ්ඩල 

ඇමරිකාවේ ප්‍රාන්ත පණහක් හා කෝරළ තුන් දහසකට අධික ප්‍රමාණයක් තිබෙනවා. පාසැල් දිස්ත්‍රික්ක 17,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. කෝරළ වලට වඩා කුඩා පරිපාලන ප්‍රදේශ දස දහස් ගණනක් තිබෙනවා. මේ සියලු ප්‍රදේශ වල ඇති ආයතන වල තනතුරු දස දහස් හෝ ලක්ෂ ගණනක් සඳහා අඟහරුවාදා එකවර හා වෙනවෙනම මැතිවරණ පැවැත්වෙනවා. මීට අමතරව ජනතාවට බලපාන විවිධ කරුණු හා සම්බන්ධ ජනමත විචාරණ විශාල ප්‍රමාණයක්ද මැතිවරණ දිනයේදී පැවැත්වෙනවා. බොහෝ විට ජනමත විචාරණ ප්‍රමාණය දහස් හෝ දස දහස් ගණනක්. පහත තිබෙන්නේ උදාහරණ කිහිපයක්.

ටෙනසී ප්‍රාන්තයේ "වැඩ කිරීමේ නිදහස" ලබා ගැනීම සඳහා වන ජනමත විචාරණය - ප්‍රාන්තයේ දැනට පවතින නීති රාමුව යටතේ සමාගමකට සේවයට බඳවා ගැනීමේදී වෘත්තීය සමිතියක සාමාජිකයෙකු විය යුතු බව කොන්දේසියක් ලෙස ඉදිරිපත් කළ හැකියි. ජනමත විචාරණය පවත්වන්නේ එසේ කළ නොහැකි වන සේ ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමටයි.

ඉලිනෝයි ප්‍රාන්තයේ වෘත්තීය සමිති පිහිටුවා ගැනීම මූලික අයිතිවාසිකමක් බවට පත් කර ගැනීම සඳහා වන ජනමත විචාරණය - මෙහි අරමුණ ඉහත ආකාරයේ "වැඩ කිරීමේ නිදහස" පිළිබඳ නීති පැනවීම වැළැක්වීමයි. ජනමත විචාරණය ජයග්‍රහණය කළහොත් වෘත්තීය සමිති පිහිටුවා ගැනීම මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළු වෙනවා. 

නෙවාඩා ප්‍රාන්තයේ අවම වැටුප් නීතිය - මෙය සම්මත වුවහොත් 2024 ජූලි 1 දින සිට ප්‍රාන්තයේ අවම වැටුප පැයකට ඩොලර් 12 දක්වා ඉහළ යනවා. තවත් ප්‍රාන්ත කිහිපයකම මේ ආකාරයේ ජනමත විචාරණ පැවැත්වෙනවා. නෙබ්‍රස්කා යෝජනාව 2026දී ඩොලර් 15 දක්වා අනුක්‍රමික ලෙස අවම වැටුප් ඉහළ දැමීමයි.

ආකන්සා, මේරිලන්ඩ්, නෝර්ත් ඩකෝටා, සවුත් ඩකෝටා හා මිසූරි ප්‍රාන්ත වල කංසා නීතිගත කිරීම සඳහා ජනමත විචාරණ පැවැත්වෙනවා.

ඔරිගන් ප්‍රාන්තයේ වැසියන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් දරාගත හැකි මිලකට ලබා ගැනීම මූලික අයිතිවාසිකමක් බවට පත් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වෙනවා.

කැලිෆෝර්නියා, වර්මොන්ට් හා මිචිගන් ප්‍රාන්ත වල ගබ්සාව මූලික අයිතියක් බවට පත් කර ගනු පිණිස ජනමත විචාරණ පැවැත්වෙනවා.

ඇරිසෝනා ප්‍රාන්තයේ ජනමත විචාරණ යෝජනාවක් අනුව අදාළ යෝජනාව සම්මත වුවහොත් බදු වෙනස් කිරීම සඳහා 60%ක ජනමතයක් අවශ්‍ය වෙනවා. දැනට පවතින නීතිය යටතේ බහුතර ඡන්දයෙන් බදු වෙනස් කළ හැකියි. 

මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ජනමත විචාරණ යෝජනාවක් අනුව අදාළ යෝජනාව සම්මත වුවහොත් ආදායම ඩොලර් මිලියනය ඉක්මවන අයගෙන් 4%ක අමතර ආදායම් බද්දක් අය කර එම ආදායම අධ්‍යාපනය හා හා ප්‍රවාහනය වෙනුවෙන් යෙදවෙනවා. දැනට සියල්ලන්ගෙන්ම අය කරන්නේ 5%ක ආදායම් බද්දක්. 

සවුත් කැරලයිනා ප්‍රාන්තයේ ජනමත විචාරණ යෝජනාවක් අනුව අදාළ යෝජනාව සම්මත වුවහොත් ප්‍රාන්තයේ සංචිත අරමුදල 5% සිට 7% දක්වා ඉහළ දැමෙනවා. දැනට පවතින නීතිය අනුව ප්‍රාන්තයේ ආදායමෙන් 5%ක් "හදිසියකට ගන්නට" ඉතිරි කළ යුතුයි. යම් හෙයකින් අනපේක්ෂිත බාහිර සාධකයක් නිසා ප්‍රාන්ත රජයේ වියදම ආදායම ඉක්මවූ විටක අයවැය හිඟය පියවා ගන්නේ මේ සංචිත මුදලෙන්. යෝජනාව සම්මත වුවහොත් සංචිත ලෙස බදු මුදල් ඉතිරි කර ගැනීමේ අවශ්‍යතාවය ඉහළ යනවා. 

කොලරාඩෝ ප්‍රාන්තයේ ජනමත විචාරණ යෝජනාවක් අනුව අදාළ යෝජනාව සම්මත වුවහොත් ප්‍රාන්තයේ ආදායම් බදු අනුපාතය 4.55% සිට 4.4% දක්වා පහළ යනවා. මීට පෙරද කිහිප වරක්ම ජනමත විචාරණ හරහා ප්‍රාන්තයේ ආදායම් බදු අනුපාතය පහළ දමාගෙන තිබෙනවා.  මේ වන විට ප්‍රාන්තය තුළ සැලකිය යුතු ඉතිරි කරගත් බදු ආදායමක් තිබෙන නිසා අඩු වන ආදායම වෙනත් ක්‍රමයකින් උපයා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. 

කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජනමත විචාරණ යෝජනාවක් අනුව ඩොලර් මිලියන 2 ඉක්මවන ආදායම් ලබන අයගෙන් අය කෙරෙන 1.75%ක අමතර බද්දකින් ලැබෙන ආදායම පරිසර හිතකාමී වාහන ප්‍රවර්ධනය කිරීම වෙනුවන් යෙදවෙනවා.

ඉහත සඳහන් කළේ ප්‍රාන්ත මට්ටමෙන් පැවැත්වෙන ජනමත විචාරණ කිහිපයක්. මීට පහළ ප්‍රාදේශීය මට්ටමේ ජනමත විචාරණ විශාල ප්‍රමාණයක් පැවැත්වෙනවා. උදාහරණ ලෙස බදු වැඩි කර අධ්‍යාපන වියදම් වැඩි කර ගැනීම සඳහා පාසැල් කලාප මට්ටමෙන් පැවැත්වෙන ජනමත විචාරණ. පාසැල් කලාපයක් කියන්නේ බොහෝ විට එක් උසස් පාසැලක් (9-12 ශ්‍රේණි) හා පහළ පන්ති පැවැත්වෙන පාසැල් කිහිපයක් තිබෙන ප්‍රදේශයක්. 

ඉහත සඳහන් කළේ ප්‍රාන්ත මට්ටමෙන් පැවැත්වෙන ජනමත විචාරණ කිහිපයක්. මීට පහළ ප්‍රාදේශීය මට්ටමේ ජනමත විචාරණද විශාල ප්‍රමාණයක් මැතිවරණ දිනයේදී පැවැත්වෙනවා. උදාහරණ ලෙස බදු වැඩි කර අධ්‍යාපන වියදම් වැඩි කර ගැනීම සඳහා පාසැල් කලාප මට්ටමෙන් පැවැත්වෙන ජනමත විචාරණ. පාසැල් කලාපයක් කියන්නේ බොහෝ විට එක් උසස් පාසැලක් (9-12 ශ්‍රේණි) හා පහළ පන්ති පැවැත්වෙන පාසැල් කිහිපයක් තිබෙන ප්‍රදේශයක්. 

ඉන්දියානා ප්‍රාන්තයේ පාසැල් දිස්ත්‍රික් අටක වරිපනම් බදු ඉහළ දැමීම හෝ කලින් ජනමත විචාරණයකින් නිශ්චිත කාලයකට ඉහළ දැමුණු වරිපනම් බදු තවත් වසර කිහිපයක් එලෙසම පවත්වා ගැනීම මගින් ගුරු වැටුප් වියදම් පියවා ගැනීම සඳහා ජනමත විචාරණ පැවැත්වෙනවා. 

මීට අමතරව ප්‍රාන්ත ගණනක කෝරළ මට්ටමෙන්, ගම් මට්ටමෙන් හා පාසැල් දිස්ත්‍රික් මට්ටමෙන් අනුමත ආදායම් ඉක්මවා වියදම් කිරීමට, ණය ගැනීමට හා බදු වැඩි කිරීමට අනුමැතිය පතමින් ජනමත විචාරණ පැවැත්වෙනවා.

ඉලිනෝයි ප්‍රාන්තයේ කුක් කෝරළය - කෝරළයේ ඇති වනාන්තරයක් සංරක්ෂණය කිරීම සඳහා වරිපනම් බදු ඉහළ දමා (වසරකට ඩොලර් 20කින් පමණ) ආදායම් උපයා ගත යුතුද?

විස්කොන්සින් ප්‍රාන්තයේ ඩේන් කෝරළයේ වවුනකී ගම - ඩොලර් මිලියන 9.4ක මුදල් වැය කර ගමේ පොදු පිහිනුම් තටාකයක් ඉදි කළ යුතුද?

කැලිෆෝර්නියා ප්‍රාන්තයේ එල් ඩොරාඩෝ කෝරළය - නවාතැන්පල වල කුලී ගාස්තු මත අය කරන බද්ද 10% සිට 12% දක්වා ඉහළ දමා ප්‍රදේශයේ මාර්ග නඩත්තුව වෙනුවෙන් වැය කළ යුතුද? 

ඔහායෝ ප්‍රාන්තයේ ඩෙලවෙයා කෝරළයේ කොලොම්බස් නගරය - උද්‍යාන හා විනෝද කටයුතු දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති උද්‍යාන වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස 0.086% පොලියට වසර 17ක කාලයක් සඳහා බැඳුම්කරයක් නිකුත් කළ යුතුද?

ඔහායෝ ප්‍රාන්තයේ ලූකස් කෝරළය - පොදු පුස්තකාලය නඩත්තු කිරීමේ වියදම් වෙනුවෙන් දැනට අය කරන 0.37% බද්ද තවත් වසර පහක කාලයක් එලෙසම අය කළ යුතුද?  

සාමාන්‍යයෙන් ප්‍රාන්ත මට්ටමේ වුනත්, ප්‍රාදේශීය මට්ටමේ වුනත් මැදිහත් වීමක පිරිවැයක් තිබෙනවා. ඇමරිකානු දේශපාලන ක්‍රමය තුළ මැදිහත්වීමක් යෝජනා කරන අයෙකුට අදාළ මැදිහත් වීම සඳහා අවශ්‍ය පිරිවැය ආවරණය කර ගන්නා ආකාරයද යෝජනා කරන්න වෙනවා. පිරිවැය ආවරණය කර ගන්නා ආකාරය යෝජනා කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. එම පිරිවැය දරන අයගෙන් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමටද සිදු වෙනවා. 

බොහෝ විට බද්දක් අය කිරීම සඳහා මහජන අනුමැතිය ලැබෙන්නේ අදාළ බදු මුදල් නිශ්චිත කාර්යයකට යෙදවීමේ කොන්දේසිය මතයි. මෙසේ ලබා ගන්නා බදු මුදල් මුලින්ම යම් නිශ්චිත අරමුදලකට බැර වෙනවා. එම අරමුදල යොදා ගත හැක්කේ අදාළ කාර්යය සඳහා පමණයි. එහෙත්, අදාළ කාර්යය සඳහා වුවත් මුදල් අර පිරිමැස්මෙන් හා පාරදෘශ්‍ය ලෙස වියදම් කරන්නට සිදු වෙනවා. සාමාන්‍යයෙන් එයින් යම් කොටසක් වැය නොකර "හදිසියකදී ගැනීමට" ඉතිරි කෙරෙනවා. බදු ආදායම් පහළ ගිය හෝ වියදම් වැඩි වුනු අවස්ථාවක ප්‍රයෝජනයට ගන්නේ එම ඉතිරි කරගත් මුදල්. බොහෝ විට, තාවකාලිකව බදු අනුපාතික වැඩි කර ගැනීම සඳහා මහජනතාව වෙත යන්නේ සංචිත අරමුදල් අඩු වූ විටයි. එවැනි විටෙක දිගුකාලීනව වියදම් අඩු කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් ප්‍රශ්නය විසඳා ගන්නා ආකාරයද මහජනතාවට පැහැදිලි කරන්න සිදු වෙනවා.

බදු අය නොකර, පොදු පහසුකම් සඳහා ආයෝජනය කළ හැකි විකල්ප ක්‍රමය ණය ගැනීමයි. එහෙත්, මෙයද වගකීමෙන් යුතුව කළ යුතු දෙයක්. අවසාන වශයෙන් ණය ආපසු ගෙවීම බදු ගෙවන්නන්ගේ වගකීමක් වන නිසා ණය ලබා ගත යුත්තේද ඔවුන්ගේ අනුමැතියට යටත්වයි. මේ ආකාරයේ ලොකු හා කුඩා තීරණ ගණනාවක් සඳහා මහජන අනුමැතිය ලැබෙන හෝ නොලැබෙන දිනය මැතිවරණ දිනයයි.

Tuesday, April 5, 2022

අලුත් මහ බැංකු අධිපති රට ගොඩදායිද?


මේ මොහොත වන විටද පොදුජන අරගලය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එහි අවසානය කුමක් වෙයිද කියන එක අනාගතයට භාර දෙයක්. මේ මොහොත වන තුරුනම් අරගලය ව්‍යාප්ත වන්නේ සාධනීය ආකාරයකින්. 

අරගලයයේ සාර්ථකත්වය පසුපස මූලික හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව, අරගලකරුවන්ගේ සාමූහිකත්වයයි. දෙවැන්න සාපේක්ෂව ප්‍රචණ්ඩකාරී නොවීමයි. මේ දෙකෙන් එකක් හෝ බිඳ නොවැටී පවත්වා ගත හැකි වන තුරු අරගලයට ඉදිරියට යා හැකියි. 

අප බොහෝ විට ආඩම්බරයෙන් කියන්නේ ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ ලංකාවේ බවයි. මේ ප්‍රකාශය පදනම් වන්නේ 1931 වසරේදී සිට ලංකාවේ සියළු වැඩිහිටියන්ට ඡන්ද බලය හිමිවීම මතයි. බොහෝ බටහිර රටවල මුලින්ම ඡන්ද බලය හිමි වුනේ ධනවත් සුදු පිරිමින්ටයි. ලංකාවේ වුවත් මුලින්ම ඡන්ද බලය හිමිවුණේ ප්‍රමාණවත් අධ්‍යාපනයක් හා වත්කම් තිබුණු අයට පමණයි.

බොහෝ බටහිර රටවල ධනවත් සුදු පිරිමින්ට ඡන්ද බලය, එනම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, ලැබෙන විට ඔවුන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ඇති වෙලා ඉවරයි. කාන්තාවන් හා සුළුතර කොටස් වලට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන විට ඔවුන්ද යම් තරමකින් මේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායේ කොටස්කරුවන් වෙලා. 

ලංකාවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන විට රට ඇතුළේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් හැදී තිබුණේ නැහැ. ධුරාවලිගත සමාජ ව්‍යුහය ඇතුළේ එවැනි ඉඩක් තිබුණේත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතිය හැක්කේ සමානයින් සිටින සමාජයකයි. බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදය මුලදී ධනවත් සුදු පිරිමින්ට සීමා වුනේ අනෙකුත් අය සමානයින් නොවූ නිසයි.

මේ අරගලයෙන් පෙනෙන්නේ මෙතෙක් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් මිස සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබුණු ලංකාවේ පොදු ජනතාව වැඩවසම් ක්‍රමයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් කරමින් සිටින බවයි. ව්‍යවස්ථාව අනුව ජනරජයක් වන ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව සතු වුවත් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක මිනිස්සු තේරුම් ගනිමින් සිටින්නේ දැනුයි. 

ප්‍රශ්නයේ මුල ආර්ථික අර්බුදය වුවත් මේ වන විට එය දේශපාලන අර්බුදයක් බවට පත්ව තිබෙනවා. දේශපාලන අර්බුදයට මෙන්ම ආර්ථික අර්බුදයටද ක්ෂණික විසඳුම් අවශ්‍යයි. ආර්ථික අර්බුදය විසඳීම දේශපාලන අර්බුදය විසඳන තරම් පහසු නැහැ.

පොදුජන අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මුදල් ඇමති ධුරය මෙන්ම මහ බැංකු අධිපති ධුරයද පුරප්පාඩු වී තිබෙනවා. මේ තනතුරු පුරප්පාඩු කර තැබිය නොහැකියි. නමට හෝ කවුරුවත් නොසිටියොත් රටේ ඇතැම් වැදගත් කටයුතු කළ නොහැකිව අකර්මන්‍ය වීමේ අවදානමක් තිබෙනවා. 

අලුත් මුදල් ඇමති ලෙස පත් කෙරුණු අලි සබ්‍රි නීතිඥයෙකු මිස අදාළ විෂය ප්‍රවීණයෙක් නෙමෙයි. දැන් ඔහුත් ඉල්ලා අස් වෙලා. මේ වෙලාවේ කවුරු හෝ මේ තනතුර දැරිය යුතුයි. මේ අභියෝගාත්මක මොහොතේ මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට සූදානම්ව සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහ ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති හා පළපුරුද්දක් ඇති අයෙක්. කෙසේ වුවත්, ඔහුගේ කාර්ය සාධනය තීරණය වන්නේ මහ බැංකුවට කොයි තරම් දුරට ස්වාධීන විය හැකිද යන්න මතයි. ඒ වගේම, ඔහුට හෝ වෙනත් අයෙකුට මහ බැංකුව භාරගෙන මැජික් පෙන්වන්න බැහැ.

ජන අරගලය අවසන් වෙද්දී ආණ්ඩුව මාරු වී හෝ ඒ සඳහා අත්තිවාරම් වැටී තිබෙන්න පුළුවන්. එහෙත්, එසේ වුනා කියා ආර්ථිකයේ අවදානම් පහව යන්නේ නැහැ. ඇත්ත කතා නොකර "අපිට කොරන්න පුළුවන්" කියා ආණ්ඩුව භාර ගන්න ඕනෑම පාර්ශ්වයකට වැඩි කලක් යන්න කලින් මෙවැනිම තත්ත්වයකට මුහුණ දෙන්න සිදු විය හැකියි. 

අද වන විට ප්‍රධාන බැංකු වල ඩොලරයක මිල රුපියල් 310 සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය රුපියල් 300 මට්ටමේ රඳවා ගැනීමට මහ බැංකුව යම් උත්සාහයක් දැරුවත් ඉතා ඉක්මණින්ම එම අදහස අතහැර දමා ඇති බව පෙනෙනවා. දැන් පවතින වාතාවරණය තුළ ඩොලරය රුපියල් 300 මට්ටමේ ස්ථාවර කිරීමේ හැකියාවක් පෙනෙන්න නැහැ.

පවතින දේශපාලන වාතාවරණය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා තවත් ප්‍රමාද විය හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය ප්‍රමාණය හා එය ලැබෙන දිනය ගැන එම අරමුදල විසින් නිශ්චිත ප්‍රකාශයක් සිදු කරන තෙක් ඩොලරය ස්ථාවර කර ගැනීමට ඉඩක් ලැබෙන එකක් නැහැ. ඒ අතරතුර ඩොලරයක මිල ඉතා පහසුවෙන්ම රුපියල් 400 සීමාව දක්වා යා හැකියි. 

රටේ ඩොලර් ප්‍රශ්න ගැන හිතන්න පෙර මහ බැංකුවට මහ බැංකුවේ ඩොලර් ප්‍රශ්නය ගැන හිතන්න වෙනවා. බැංකු වලට බැංකු වල ඩොලර් ප්‍රශ්න ගැන හිතන්න වෙනවා. මිල ඉහළ යාමට සමාන්තරව බැංකු අංශයේ ඩොලර් හිඟය අඩු වෙමින් තිබෙනවා. සමස්තයක් ලෙස ලංකාවේ වානිජ බැංකු විසින් නැති ඩොලර් විශාල ප්‍රමාණයක් විකුණා ඇති බව මම කලින්ම පැහැදිලි කර තිබෙන දෙයක්. දැන් ඩොලරයේ මිල ඉහළ යන වේගය අනුව බැංකු වලට තමන්ගේ පාඩු අවම කර ගැනීම සඳහා හැකි ඉක්මනින් මේ නැති ඩොලර් ප්‍රමාණය මිල දී ගෙන එකතු කර ගන්න සිදු වී තිබෙනවා. ඩොලරය ස්ථාවර වනු ඇත්තේ ඒ කටයුත්ත අහවර වීමෙන් පසුව පමණයි. 

නන්දලාල් වීරසිංහ කියන්නේ මේ වෙලාවේ මහ බැංකු අධිපති ධුරය සඳහා තිබෙන සීමිත තේරීම් අතරින් හොඳ තේරීමක්. ඔහු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති දක්වා ධුර වල කාලයක් කටයුතු කර ඇති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද විධායක අධ්‍යක්ෂ්‍ය වරයෙකු ලෙස කටයුතු කර ඇති අයෙක්. ආර්ථිකයේ පවතින වත්මන් අස්ථාවර තත්ත්වය වසරක් තුළ ස්ථාවර කළ හැකි බවට ඔහු මෑතකදී විශ්වාසය පළ කළා. කෙසේ වුවද, එය කළ හැකි වනු ඇත්තේ අවශ්‍ය දේශපාලන සහයෝගය ලැබේනම් පමණයි.

Monday, April 4, 2022

කී බෝඩ් වීරයෝ දැන් මහපාරේ!


වියුණුවෙහි ලිපියක් පළ කරන්නේ සතියකට පසුවයි. පාඨකයින්ගේ පැත්තෙන් බැලුවොත් මෙය තරමක දිගු නිහැඬියාවක්.

පසුගිය සතිය ලංකාවට සාමාන්‍ය සතියක් නෙමෙයි. ලෝකයම ලංකාව දෙස බලා සිටින මේ වගේ විශේෂ අවස්ථාවක කාලය වැය කළ යුතුව තිබුණු හොඳම ආකාරය වෙනදා මෙන් ලිපියක් ලියා පළ කර පැත්තකට වී සිටීම නෙමෙයි. මම හිතන්නේ මේ වියුණුවෙහි පළ වන ලිපි සාමාන්‍යයෙන් කියවන පාඨකයින් බොහෝ දෙනෙකු හා අදාළව වුවත් මෙය මෙවැනි ලිපි කියවමින් කාලය නාස්ති කළ හැකි වෙලාවක් නෙමෙයි.

මා ජීවත් වන නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ද ඊයේ සවස විරෝධතාවකට එක් වුනා. ඒ බොහෝ දෙනෙකු දෙවසරකට පෙර ගෝඨාභයගේ ජය සැමරූ අය වීමද විශේෂත්වයක්. 

මේ වගේ විරෝධතා වලින් අවසාන වශයෙන් සිදු වන්නේ කුමක්ද කියන එක ප්‍රශ්නයක්. ප්‍රශ්නය ජාත්‍යන්තරීකරණය වීම අවදානම් දෙයක්. කෙසේ වුවත්, දැන් එය සිදු වී අවසානයි. 

විරෝධතා හරහා අත් කර ගත හැකි වාසිය කුමක්ද කියන එකත් එම වාසි වලට සාපේක්ෂව සිදුවන හානිය ප්‍රශ්නයක් නොවන්නේද යන්නත් ගැටළුවක්. එහෙත්, කොහොමටත් සිදු වීමට නියමිත හානිය හමුවේ මෙය නිරර්ථක තර්කයක්. 

මෙය නිදහසින් පසු ලංකාවේ දැකිය හැකි වූ පුළුල්ම මහජන නැගිටීමයි. ජවිපෙ කැරලි දෙකේදී මෙන්ම උතුරේ කැරැල්ලේදීත් මෙවැනි පුළුල් ජන සහභාගීත්වයක් දැකිය හැකි වූයේ නැහැ. මෙය සරල ආණ්ඩු විරෝධී කැරැල්ලක් නෙමෙයි. පුළුල් ක්‍රම විරෝධී කැරැල්ලක්. ඒ නිසාම, එහි දිශානතිය අවිනිශ්චිතයි. 

පැවති තත්ත්වය තුළ සජබ හා ජාජබ විසින් මෙහෙයවුණු විරෝධතාවන් සඳහාද විශාල ජන සහභාගිත්වයක් දැකිය හැකි වුනා. එම කණ්ඩායම් වලට පැහැදිලි දේශපාලන ඉලක්ක තිබුණා. එහෙත්, ආණ්ඩුව සමඟ ඉහත කණ්ඩායම් දෙකමද ප්‍රතික්ෂේප කරන විශාල පිරිසක්, විශේෂයෙන්ම තරුණ වයස් කාණ්ඩ අතර, දැකිය හැකියි. ඔවුන්ට පටු ඉලක්ක නැහැ. ඒ නිසා, ඔවුන් සමඟ ගේම් ගසා වැඩේ ගොඩ දාගන්න ලේසි නැහැ. මේ ගොඩක් අය තනි තනිව හිතා තමන්ගේ හෘද ශාක්ෂිය පසුපස යන අයයි.

ව්‍යතිරේඛ ගණනාවක් ඇතත්, පොදුවේ ලංකාවේ මෑතකාලීන දේශපාලනඥයා රටේ ජනතාවට වඩා උඩින් ජීවත් වූ අයෙක්. ධනවාදය සමඟ කිසිසේත්ම පටලවා ගත යුතු නැතත්, මේ තත්ත්වය මෙවැනි නරක අතකට හැරුණේ හැත්තෑ හතෙන් පසුවයි. 

හැත්තෑ හතට පෙරත් දේශපාලනඥයින් රටේ පොදු ජනතාවට වඩා ඉහළින් නොසිටියා නෙමෙයි. එහෙත් බොහෝ විට එය එසේ සිදු වුනේ කොහොමටත් පොදු ජනතාවට වඩා ඉහළින් සිටි ප්‍රභූන් දේශපාලනයට පැමිණීම නිසා මිසක් ඔවුන් දේශපාලනය හරහා පොරවල් හෝ සල්ලිකාරයින් වීම නිසා නෙමෙයි.

හැත්තෑ හතෙන් පස්සේ සිදු වුනේ කොහේවත් සිටි නිකමුන්ටත් දේශපාලනය හරහා පොරවල් වී මහජනතාවට ඉහළින් වැජඹිය හැකි තත්ත්වයක් ඇති වීමයි. 

මෙය යම් ආකාරයකින් එක්තරා අහම්බයක ප්‍රතිඵලයක්. සමගි පෙරමුණු ජාතික සමාජවාදී රජය විසින් ආනයන තහනම් කර, විණිමය අනුපාතය හිර කරගෙන, රට වසා ගෙන සංවෘත නිෂ්පාදන ආර්ථිකයක් හැදීමට දැරූ උත්සාහයත්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස දෙවසරක් වැඩියෙන් ආණ්ඩු කිරීමත් නිසා හැත්තෑ හතේදී එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ පොල් පිත්තකට වුවත් පාර්ලිමේන්තු යන්න අවස්ථාවක් ලැබුනා. ඒ ඇතැම් මන්ත්‍රීවරු තේරී පත් වුනේ ඊට පෙර තේරී පත්වුණු මහජන නියෝජිතයින්ට සාපේක්ෂව ධන බලයක්, ජන බලයක් තබා පෞරුෂයක් හෝ ලොකුවට තිබුණු නිසා නෙමෙයි.

මේ විදිහට ඉල්ලුවේ අලියා ලකුණෙන් වීම නිසාම විශාල පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පිරිසක් තේරී පත් වෙද්දී මන්ත්‍රීවරුන්ගේ ස්වාධීනත්වය පක්ෂයට යට වී ගියා. ඒ ක්‍රමය තවත් වැඩි දියුණු වී මහජන නියෝජිතයින් සිග්නල් කණු බවට පත් වුනා. පුළුල් ප්‍රජාතන්ත්‍රවාදයක් කවදාවත් හරියට නොතිබුණු ලංකාවේ නමට හෝ තිබුණු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයත් අවසාන වශයෙන් නූතන වැඩවසම් ක්‍රමයක් බවට පත් වුනා. 

මෑතකාලීනව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙස පෙනෙන්නට තිබුණේ මැතිවරණ හරහා තමන්ගේ නියෝජිතයින්ව තෝරා ගැනීමට අවස්ථාවක් තිබීම පමණයි. ඊට පස්සේ සාමාන්‍ය ජනතාවට කිසිම හඬක් තිබුණේ නැහැ. මහජන නියෝජිතයෝ පොරවල්. අනෙක් මිනිස්සු කාණුවට බැසිය යුතුයි. 

සමාජ ජාලා පරම්පරාවේ තරුණ තරුණියන්ට මේ ක්‍රමය දිරවන්නේ නැහැ. "කී බෝඩ් වීරයෝ" කියන අවතක්සේරුව හරහා වහන්න හැදුවත්, ඒ විදිහට මතු වුනේ ලංකාවේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය. මේ පරම්පරාවට කවුරුවත් පොරවල් නෙමෙයි. ඒ වගේම, දැන් තියෙන තාක්ෂණයත් එක්ක දේශ සීමා හරහා ප්‍රාග්ධනය ගලා යාම වගේ දේවල් පාලනය කිරීම වුනත් විහිළු.

මේක හදිසියේ මතු වුනු ප්‍රවණතාවක් නෙමෙයි. "225ම එපා" සටන් පාඨය මතු වුනේ 2020 මැතිවරණ වලට කලින්. ඒත් පස්සේ ඒක යටපත් වුනා. ඇත්තටම ගෝඨාභය බලයට පත් වුනෙත් ඔය "225ම එපා" රැල්ල හරහා. දැන් "කී බෝඩ් වීරයෝ" මහ පාරට ඇවිත්. පොරවල් වෙලා හිටපු අයට කාණුවට බහින්න වෙලා. ගෙවල් අස්සේ හැංගෙන්න වෙලා. 

මේක ආණ්ඩුවට විතරක් නෙමෙයි. ඉදිරියේදී බලයට එන්න ඉන්න කාට වුනත් බරපතල සංඥාවක්. 

තව කතා කරන්න දේවල්නම් ගොඩක් තියෙනවා. නමුත් වෙලාවක් නැහැ. වෙලාව ලැබුණු විට තව මොනවා හරි ලියන්නම්!

Monday, January 10, 2022

දැනුම් කළමනාකරණයේ දේශපාලනය


පිරමිඩ් ක්‍රම ගැන මම මුලින්ම ඉගෙන ගත්තේ ඉතාම කුඩා වයසකදී. මේ දැනුම මට ලැබුණේ "ගණිත විනෝදය" ලෙස සිංහලට පරිවර්තනය කර තිබුණු යාකොව් පෙරල්මාන්ගේ පොතකින්. පසුව රාදුගා ප්‍රකාශකයෝ වුනු, ප්‍රගති ප්‍රකාශන මන්දිරය විසින් මුද්‍රණය කර අඩු මිලකට විකිණූ පොතක්.

කුඩා වයසකදී තර්ක ඥානය මුවහත් කළ හා ගණිතය කෙරෙහි උනන්දුවක් ඇති කළ ඉතාම හොඳ පොතක්. එහෙත් මේ වගේ "අහිංසක" සේ පෙනෙන පොතක් හරහා වුවත්, කොයි තරම් මොළ ශෝධනයක් කර තිබෙනවාද කියන එක තේරෙන්නේ දැනුයි. මේ පොතෙන් වුවත් අවසාන වශයෙන් කර තිබෙන්නේ ඉතා කුඩා කාලයේදීම දරුවන්ගේ ඔළුවට වෙළඳපොළ විරෝධී අදහස් දමා වෙළඳපොළ යකෙක් සේ පෙන්වීම බව පැහැදිලි වන්නේ අදාළ ගණිත ගැටළු ඉදිරිපත් කර තිබෙන ආකාරය දෙස දැන් බැලූ විටයි.

මේ ආකාරයෙන් විධිමත් අධ්‍යාපනය, මාධ්‍ය, කලාව, පොත්පත් ආදිය හරහා කුඩා කාලයේදීම කරන මොළ ශෝධනයන් එක්ක ලංකාවේ දරුවෙක් වැඩිහිටියෙක් වෙන්නේම වෙළඳපොළ විරෝධී, සමාජවාදියෙක් ලෙසයි. ධනවාදය යකෙක්, රකුසෙක් සේ දකින අයෙක් ලෙසයි. ඇමරිකන් හා බටහිර විරෝධියෙක් ලෙසයි. ලංකාවේ දිගටම ජීවත් වුනානම් පෞද්ගලිකව මට වුනත් මේ උගුලෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 

හැබැයි ඒ එක්කම මතු වෙන තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මෙයට විකල්පය වන්නේ කුඩා කාලයේ සිටම වෙළඳපොළ හිතවාදී, ධනවාදී අදහස් වලින් ඔළු පුරවන එකද? එක විදිහක මොළ ශෝධනයක් නරක වෙන්නත්, වෙනත් විදිහක මොළ ශෝධනයක් හොඳ වෙන්නත් පුළුවන්ද?

ලංකාවේ ඉතා සුළු පිරිසක් සමස්තයක් ලෙස දැනුම ප්‍රතික්ෂේප කරන ස්ථාවරයක ඉන්නවා. ලංකාවේ කියා කිවුවේ ලංකාව කේන්ද්‍ර කරගත් කියන අදහසින් මිසක් ලංකාවේ පදිංචිව සිටින කියන අදහසින් නෙමෙයි. ඒ වගේම සුළු පිරිසක් කියා කිවුවේ අවතක්සේරු කිරීමක්, බාල කිරීමක් ලෙසත් නෙමෙයි. ඕනෑම නැවුම් අදහසක් ආරම්භයේදී තනි පුද්ගලයෙක්ගේ අදහසක්. ඉන් පසුව, සුළු පිරිසකගේ අදහසක්.

දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කිරීම කළ හැකි දෙයක් නෙමෙයි. එසේ කළොත්, වැටෙන්නේ මොන වගේ තැනකටද? ගල් යුගයට ආපහු ගියත් මූලික මට්ටමේ හෝ දැනුමක් කියා දෙයක් තිබෙනවා. මට අනුව, පුද්ගලයෙක් කියා කියන්නේම ඒ පුද්ගලයා විසින් සංස්කරණය කර ගෙන ගොඩ ගසා ගන්නා දැනුම. දැනුම එකතු කර ගැනීමක් නැත්නම් පුද්ගලයෙක්ද නැහැ.

දැනුම ප්‍රතික්ෂේප කිරීම කියන අදහස බිහි වන්නේ දැනුම් ආධිපත්‍යයන් ප්‍රතික්ෂේප කිරීම කියන අදහසේ දිගුවක් ලෙසයි. දැනුම් ආධිපත්‍යයන් ප්‍රතික්ෂේප කිරීම කියන අදහස ලංකාව තුළ ජනප්‍රිය කරන්නේ නලින් ද සිල්වා විසින්. එහෙත් ඔහු සමස්තයක් ලෙස දැනුම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔහුගේ මතවාදය තුළ, මට තේරෙන විදිහට, දැනුම් ආධිපත්‍යයන් ප්‍රතික්ෂේප වෙන්නේත් නැහැ. ඔහු ලංකාව තුළ "බටහිර දැනුම් ආධිපත්‍යයට" එරෙහිව සිංහල බෞද්ධ දැනුම් පද්ධතියක ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා. ලෝකය තුළ විවිධ දැනුම් පද්ධති වල "ප්‍රාදේශීය ආධිපත්‍යයන්" තිබීම වෙනුවෙන් (මගේ වචන වලින්) පෙනී සිටිමින් එක් දැනුම් පද්ධතියක් විසින් අනෙකුත් දැනුම් පද්ධති ගිල ගෙන ඒකාධිකාරයක් හදා ගැනීමට එරෙහි වෙනවා.

මට අනුව නලින් ද සිල්වා විසින් මෙතෙක් ඉදිරිපත් කර තිබෙන හොඳම ප්‍රවාදය නිවන පිළිබඳ ඔහුගේ අර්ථදැක්වීමයි. එය ථෙරවාද ත්‍රිපිටකය හා ගැලපේද යන්න මම ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. නැති මනස නැති මනසක් බව නැති මනසින් අවබෝධ කර ගැනීම තුළ සියළුම දැනුම් ප්‍රතික්ෂේප කිරීමක් තිබෙනවා. හැබැයි එයින් පසුවත්, අනුපාදිශේෂ නිර්වාණය දක්වාම, එසේ ප්‍රතික්ෂේප කළ දැනුම ප්‍රයෝජනයට ගැනීමක් සිදු වෙනවා. පුද්ගලයෙකු නැති බව තේරුම් ගෙන ජීවත් වන "පුද්ගලයෙක්" ඉන්නවා. මනසක් නැති බව තේරුම් ගත් "මනසක්" තිබෙනවා. 

දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ලෞකික වූ කිසිවක් ඉතිරි විය නොහැකියි. දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප නොකරන තාක්, හැම මොහොතකම දැනුම එකතු කරන පුද්ගලයෙක්ද ඉන්නවා. මොහොතින් මොහොත වෙනස් වන පුද්ගලයා යනු මොහොතින් මොහොත සංස්කරණය කර ගන්නා දැනුමයි. දැනුම සංස්කරණය කර ගැනීමට එකතු කර ගැනීම මෙන්ම අත හැර දැමීමද ඇතුළත්. එහෙත් දැනුමේ සංරචක මිස සමස්තයක් ලෙස දැනුම අතහැර දැමීමක් සිදු වන්නේ නැහැ.

මරණය සේ අප හඳුනා ගන්නා දෙයින් පසුව දැනුම එක්රැස් කර තබාගත් අසුරණයක් ඒ දැනුමද සමඟ විනාශ වී යනවා. එය භෞතික සීමාවක්. මේ භෞතික සීමාව විසින් දැනුම එක් රැස් විය හැකි සීමාවක් සලකුණු වෙනවා. එහෙත්, දැනුම මෙවැනි අසුරණයකින් පිටතට සම්ප්‍රේෂණය කිරීම මගින් ඉහත ස්වභාවික සීමාව අතික්‍රමණය කළ හැකියි. එසේ එක් තැනක එක් රැස් කර තිබෙන දැනුමකින් අසුරණය පුරවා ගැනීම ටිකෙන් ටික සතෙන් සතේ එකතු කරනවාට වඩා කාර්යක්ෂමයි. මේ ක්‍රියාවලිය තුළ ස්වභාවිකවම දැනුම් ආධිපත්‍යයන් ඇති වෙනවා. හැම විටම වාගේ වැඩිහිටි පුද්ගලයෙකුව බිහි කරන්නේ කවර හෝ දැනුම් ආධිපත්‍යයක් විසින්.

නලින් ද සිල්වාගේ මතවාද බිහි වන්නේ සමාජවාදී අවකාශයක මාක්ස්වාදයට හා සමාජවාදයට එරෙහි විවේචනයක් ලෙසයි. මාක්ස්වාදය තුළ දැකිය හැක්කේ ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීමක්. දැනුම් ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අදහස මතු වන්නේ ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අදහසේ දිගුවක් ලෙසයි.

දැනුම සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කිරීම විකාර අදහසක් වුවත්, දැනුමේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම හෝ  ප්‍රාග්ධනයේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම නරක අදහස් දෙකක් නෙමෙයි. ප්‍රශ්න මතු වන්නේ එයින් පසුවයි. මේ ප්‍රතික්ෂේප කිරීම් කළ යුත්තේ ඇයි? මේ ප්‍රතික්ෂේප කිරීම් කළ හැක්කේ කොහොමද? 

දේශපාලනිකව ගත්තොත්, කොන්දේසි විරහිතව නොවූවත්, මා පෙනී සිටින්නේ ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා (බටහිර) විද්‍යාව යන පැකේජය වෙනුවෙනුයි. ඔය තුනටම බරපතල විවේචන තිබෙනවා. ඒ විවේචන ගැන මා නොදන්නවා නොවෙයි. ඒ වගේම ඒ විවේචන නොසලකා හරිනවාත් නෙමෙයි. ඒ විවේචන සියල්ල එලෙසම තිබියදී වුවද මගේ හේතු සහගත තෝරා ගැනීම ඉහත පැකේජයයි. එහෙත්, මේ කිසිවක් වෙනුවෙන් අනුරාගයක් මට නැහැ. හේතු ඇත්නම් ඔය තුනෙන් ඕනෑම එකක් අත හැර දමන්න මම පැකිලෙන්නේ නැහැ. 

ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා (බටහිර) විද්‍යාව යන පැකේජයෙන් වඩාත්ම අර්බුදයට ගොස් තිබෙන්නේ විද්‍යාව කියා කියන්න පුළුවන්. විද්‍යාව හරහා අප ඇත්තටම ඉදිරියට යනවාද කියන එක කෙනෙකුට පහසුවෙන් ප්‍රශ්න කළ හැකි දෙයක්. මා පෞද්ගලිකව එසේ විශ්වාස කරනවා. එහෙත්, එය හුදෙක් විශ්වාසයක් පමණයි. එහෙත්, එම විශ්වාසයට පදනමක් තිබෙනවා. ඒ මගේ අනුභූතික නිරීක්ෂණ. 

මගේ අනුභූතික නිරීක්ෂණ හා වෙනත් අයෙකුගේ අනුභූතික නිරීක්ෂණ සමාන විය යුතු නැහැ. ඒ නිසාම, වෙනත් අය විද්‍යාව හරහා අප ඇත්තටම ඉදිරියට නොව පසුපසට යනවා කියා හිතනවානම් මට ඒ අදහසට අභියෝග කළ හැකි පදනමක් නැහැ. බටහිර විද්‍යාවට එරෙහි ඇතැම් අය වෙනත් විකල්ප දැනුම් වෙනුවෙන් පෙනී සිටිනවා. මා මෙවැනි විකල්ප දැනුම් අහේතුකව ප්‍රතික්ෂේප කරන්නේ නැතත්, සාමාන්‍ය මූලධර්මයක් ලෙස අහේතුකව පිළිගන්නේද නැහැ. බටහිර විද්‍යාවේ ක්‍රමවේදය මගේ තේරීම වන්නේ එම ක්‍රමවේදය තුළ වෙනත් විකල්ප ක්‍රමවේද හා දැනුම් පහසුවෙන් අවශෝෂණය කර ගැනීමේ පුළුල් හැකියාවක් තිබෙන නිසයි. අනෙක් විකල්ප දැනුම් කිසිවකට මේ හැකියාව මෙපමණකට නැහැ. 

ලෝකය ප්‍රගතිය කරා ගමන් කරන්නේය යන අදහස කෙනෙකු ප්‍රතික්ෂේප නොකරන්නේනම්, එම ප්‍රගතිය සිදු වන්නේ විද්‍යාවේ දියුණුව සමඟ කියන කරුණද පැහැදිලිව පෙනෙන දෙයක්. ධනවාදය වගේම මාක්ස්වාදී සමාජවාදයද විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා. මාක්ස්වාදය ඉදිරියට ගියේම විද්‍යාවේ කොටසක් ලෙසයි. විද්‍යාව යනු සත්‍යයය යන අදහස අභියෝගයට ලක් වන තුරු මාක්ස්වාදය ප්‍රශ්න කෙරුණේ විද්‍යාවට සාපේක්ෂවයි. විද්‍යාවට ප්‍රමුඛතාවය ලැබුණු ලෝකයක ආගම් මිථ්‍යාවන් සේ ප්‍රතික්ෂේප කෙරුණා. 

කවර සීමාවන් තිබුණත්, අද පවා, විද්‍යාවේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන අය විසින් වුවද විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එසේ කරනවානම් කරන්නේ සියළු දැනුම් ප්‍රතික්ෂේප කරන අතළොස්සක් පමණයි. මේ හේතුව නිසා ලෝකයේ සියළු රාජ්‍යයන් අඩු වැඩි වශයෙන් විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා.

මාක්ස්වාදය මත පදනම් වූ සමාජවාදියෙකුට කෙසේවත් විද්‍යාව අත හරින්න බැහැ. මාක්ස්වාදී රාජ්‍යයන් බොහෝ විට විද්‍යාව වෙනුවෙන් සෘජුව පෙනී සිටිනවා වගේම බොහෝ අවස්ථා වලදී ආගම් වලට එරෙහිවද සෘජුව පෙනී සිටිනවා. ඒ නිසා, සමාජවාදී ඒකාධිපතිත්වයක් තුළ බොහෝ විට විද්‍යාවේ ආධිපත්‍යයද නඩත්තු වෙනවා. විකල්ප දැනුම් විනාශ වීමක් හෝ විද්‍යාව තුළට අවශෝෂණය කර ගැනීමක් සිදු වෙනවා.

ධනවාදය තුළ යෝජනා කෙරෙන ප්‍රගතිය සඳහාද විද්‍යාව නැතුවම බැහැ. ඒ නිසා, ධනවාදී රාජ්‍යයකටද විද්‍යාව වෙනුවෙන් සෘජුව පෙනී සිටින්න සිදු වෙනවා. එහෙත් එය සිදු වන්නේ ප්‍රගතිය සඳහා විද්‍යාව ඉවහල් වීම හේතුවෙනුයි. එය එසේ වන්නේද යන්න පරීක්ෂාවට ලක් කෙරෙන යාන්ත්‍රනය ප්‍රජාතන්ත්‍රවාදයයි. රටේ බොහෝ දෙනෙකු විසින් විද්‍යාව ප්‍රතික්ෂේප කරන සන්දර්භයක, ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට විද්‍යාව වෙනුවෙන් සෘජුව පෙනී සිටිය නොහැකියි. එසේ නොවීම තුළින් ගම්‍ය වන්නේ ධනවාදී රටවල බොහෝ දෙනෙකු විද්‍යාව ප්‍රගතිය සඳහා ඉවහල් වන බව පිළිගන්නා බවයි.

මෙයින් වෙනස්ව බොහෝ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් කිසියම් ආගමක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නේ නැහැ. එහෙත්, ප්‍රජාත්නත්‍රවාදය තුළම, කිසියම් රටක බහුතර කැමැත්ත අනුව, රාජ්‍යයක් කිසියම් ආගමක් වෙනුවෙන් සෘජුව පෙනී සිටින තත්ත්වයක් ඇති විය හැකියි. විද්‍යාව එකම හෝ පරම සත්‍යය සේ නොපෙනෙන සන්දර්භයක එවැනි අවකාශයක් ඉතිරිව තිබීමේ කිසිදු වරදක් නැහැ. 

අප පුද්ගලයින් සේ ගොඩ නැගීමම දැනුම එකතු කර ගැනීමක් නිසා අප හැදෙන වැඩෙන දැනුම් ආධිපත්‍යයෙන් ස්වායත්තව අපට ගොඩ නැගිය නොහැකියි. දැනුම් එකතු කර නොගත්තොත් අප පුද්ගලයන් සේ පවතින්නේම නැහැ. දැනුම් තිබෙන තුරු, නොවැලැක්විය හැකි ලෙස, දැනුම් ආධිපත්‍යයන්ද තිබෙනවා. දැනුම් ආධිපත්‍යයක් තුළ ගොඩ නැගෙන පුද්ගලයෙක්ට ඒ දැනුම් ආධිපත්‍යයෙන් මිදෙන්න හෝ සවිඥානිකව ඒ තුළම රැදී සිටින්න තමන් සමඟම යම් අරගලයක් කරන්න සිදු වෙනවා. මේ සඳහා යම් පෙළඹවීමක් හෝ ඇති වන්නේ තමන් රැඳී සිටින දැනුම් ආධිපත්‍යය තුළම එම දැනුම් ආධිපත්‍යයට එරෙහිව කැරළි ගසන යම් පිරිසක්ද සිටීනම් පමණයි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් කියා කියන්නේ මෙවැනි කැරළිකරුවන්ගේ හඬටද ඉඩක් ලැබෙන තැනක්.

පරම වූ දැනුමක් පිළිබඳ සහතිකයක් නැති සන්දර්භයක, රජය විසින් කිසියම් දැනුම් ආධිපත්‍යයක් නඩත්තු කිරීම ප්‍රශ්නයක් නොවන්නේ එම දැනුම් ආධිපත්‍යය පහසුවෙන් බිඳ දැමිය හැකි කවර හෝ යාන්ත්‍රණයක් ඇත්නම් පමණයි. එසේ නැත්නම්, ප්‍රගතියේ දිශාව මග හැරී ආපසු ගමන් කරන අවස්ථාවක, ඒ බව පහසුවෙන් දැනගන්න නොලැබෙන නිසා, බොහෝ දුර ආපසු යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒකාධිපතිත්වයන්ගේ තිබෙන ප්‍රශ්නය මෙයයි. 

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස් මාක්ස්වාදීන් විසින්ද අගය කරන අදහසක්. කොමියුනිස්ට් ප්‍රකාශනය තුළ, අතරමැදි සමාජවාදී රාජ්‍යයක් යෝජනා කරන්නේම ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේ අරමුණින්. එහෙත්, සමාජවාදීන් විසින් යෝජනා කරන ප්‍රජාතන්ත්‍රවාදය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයම නෙමෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිදු වන්නේ අලුත්, වෙනස් අදහස් වලට මතු වන්නට හා සමාජය පුරා පැතිරෙන්නට ඉඩ දීමයි. ඒ හරහා, හොඳම අදහස බහුතර අදහස බවට පත් වනු දැකීමයි. මෙයින් වෙනස්ව, මාක්ස්වාදය විසින් යෝජනා කරන ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් ඉලක්කය වන්නේ ඔවුන් දකින "හොඳම" අදහස බහුතර අදහස බවට පත් වන තුරු දැනුම් ආධිපත්‍යය හරහා මොළ ශෝධනය කිරීමයි. අධ්‍යාපනයේ හා මාධ්‍ය වල රාජ්‍ය ඒකාධිකාරය මාක්ස්වාදීන්ට ඉතාම වැදගත් වන්නේ ඒ නිසයි.

දැන් චීනය ප්‍රජාතන්ත්‍රවාදය සේ සලකන්නේත්, ජවිපෙ වැනි පක්ෂ විසින් මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදය සේ සැලකුවේත්, පෙසපෙ ඉතා පැහැදිලිව හා සෘජුව පෙනී සිටින්නේත් මේ ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන්. මෙහිදී "නිවැරදි දෙය" යම් වූ දෙයක් තිබෙනවා. එය දන්නේ පක්ෂයයි. නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමේ මිනුම් දණ්ඩ මාක්ස්වාදී න්‍යායයි. පක්ෂය තුළ සිටින සියලු දෙනාටම (අඩු වශයෙන් සෛද්ධාන්තිකව) අධ්‍යාපනය හරහා මේ නිවැරදි දෙය පිළිබඳව දැන ගන්න ලැබෙනවා. ඒ අනුව, අධ්‍යාපනය හරහා පාක්ෂිකයන් නම් වූ පිරිසක් ගොඩනැගෙනවා.

සමාජවාදී පක්ෂයක පවතින ප්‍රජාතන්ත්‍රවාදය අනුව බිම් මට්ටමේ සාමාජිකයෙකුට එහි නායකත්වය කරා යන්න පුළුවන්. ඒ අතින් සමාජවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයද බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට සමානයි. (ලංකාවේ දැන් පවතින ප්‍රජාතන්ත්‍රවාදයනම් වැඩවසම් ක්‍රමයට වඩා ලොකු වෙනසක් නැති ක්‍රමයක්! මැතිවරණ කියා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ එක් සුළු කොටසක් පමණයි.) හැබැයි මේ දෙකේ පැහැදිලි වෙනසක් තිබෙනවා. 

බටහිර ප්‍රජාතන්ත්‍රවාදය තුළ පක්ෂයක හෝ වෙනත් ආයතනික ව්‍යුහයක පහළ මට්ටමේ සාමාජිකයෙක් නායකත්වය කරා එන්නේ ඔහුගේ අදහස්ද සමඟයි. බොහෝ විට පුද්ගලයා එතැනම සිටියදී අදහස් නායකත්වය කරා එනවා. ඒ නිසා, නායකත්වයේ සිටින පුද්ගලයා කවුද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නායකත්වයේ මුහුණ එකම වුනත් අදහස් වෙනස් වෙලා.

මෙයින් වෙනස්ව, සමාජවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පහළ මට්ටමේ සාමාජිකයෙක් නායකත්වය කරා ආවත් ඔහු හෝ ඇය විසින් අලුත් අදහස් නායකත්වය කරා අරගෙන එන්නේ නැහැ. ඒ වෙනුවට, න්‍යාය සමඟ හොඳින්ම ගැලපෙන අදහස් තිබෙන පුද්ගලයා නායකත්වය කරා එන එකයි වෙන්නේ. නායකත්වයේ මුහුණ වෙනස් වුනත් අදහස් වෙනස් වෙලා නැහැ. (චීනය පවා මෑත කාලයේදී මේ ආකෘතියෙන් විතැන් වීමට උත්සාහ කරමින් සිටිනු දැකිය හැකියි.)

සමාජවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පක්ෂ සාමාජිකයින් විසින් අධ්‍යාපනය ලැබීම ඉතාම වැදගත්. (ජවිපෙට අනෙක් මාක්ස්වාදීන් විසින් කළ බරපතල විවේචනයක් වුනේ ඔවුන්ගේ මේ අධ්‍යාපනය පංති පහකට සීමා වූ බවයි.) මෙහිදී පක්ෂ සාමාජිකයින් සියලු දෙනාම එකම ආකාරයට සිතන පිරිසක් බවට පත් කෙරෙනවා. නායකත්වය කරා යාම වැනි කරුණු වලදී ඔවුන්ට සමාන අවස්ථා ලැබෙන්න පුළුවන්. එහෙත්, පක්ෂයෙන් පිට සිටින, වෙනත් අදහස් දරන අයෙකුට ඒ සමාන අවස්ථාව එලෙසම ලැබෙන්නේ නැහැ. සමාජවාදී රාජ්‍යයක ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීම කියා කියන්නේ පක්ෂයෙන් පිටත සිටින සියලු දෙනාටද, රාජ්‍ය බලයේ උදවුවෙන්, අවශ්‍ය "අධ්‍යාපනය" ලබා දීමයි. සියල්ලන්ටම එම අධ්‍යාපනය ලැබුණු පසු සියල්ලන්ටම සමාන අවස්ථා ලබා දීම ගැටලුවක් වන්නේ නැහැ. කියන්නේ එකම දෙයනම් කියන කට කාගෙ වුනත් වෙනස කුමක්ද?

මාක්ස්වාදය මත පදනම්ව, සන්නද්ධ විප්ලවයක් මගින් බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ අරමුණින් හැදූ දේශපාලන පක්ෂයක් මැතිවරණ දේශපාලනයට පැමිණි විට ඔවුන්ට උභතෝකෝටිකයකට මුහුණ දෙන්න සිදුවනවා. රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා ඔවුන්ට බහුතර සහයෝගය අවශ්‍යයි. එහෙත්, පක්ෂ සාමාජිකයින් ප්‍රමාණය රටේ කුඩා සුළුතරයක්. පක්ෂයට පිටතින් සිටින අය පක්ෂ සාමාජිකයින් විසින් ලබා තිබෙන "අධ්‍යාපනය" ලබා නැහැ. (ඔවුන් ප්‍රමාණවත් තරමට මොළ ශෝධනය වී නැහැ.) ඔවුන් හිතන්නේ පක්ෂයේ රාමුව ඇතුළේ සිට නෙමෙයි. රාජ්‍ය බලය නැතිව පක්ෂයෙන් පිටත සිටින අයට අවශ්‍ය "අධ්‍යාපනය" ලබා දෙන එක කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. ඔවුන්ගේ සහයෝගය ගන්නනම් පක්ෂයට ඔවුන්ට ගැලපෙන සේ වෙනස් වෙන්නම සිදු වෙනවා. 

වටෙන් ගොඩෙන් නැතුව කෙළින්ම කතා කළොත් ජවිපෙ කියන්නෙත් සන්නද්ධ විප්ලවයක් මගින් බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ අරමුණින් හැදූ දේශපාලන පක්ෂයක්. මැතිවරණ දේශපාලනයට පැමිණීමෙන් පසුවද බොහෝ කාලයක් ඔවුන් මේ අරමුණ අත හැර තිබුණේ නැහැ. ඒ වගේම, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැම විටම දැක්කේ මා ඉහත විස්තර කළ මාක්ස්වාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය මිසක් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. ඔවුන්ට තිබුණේ මාක්ස්වාදී සමාජවාදය මත පදනම් වූ ප්‍රතිපත්ති.

එක්තරා අවස්ථාවකදී, මැතිවරණ දේශපාලනය තුළ, විශාල ජයග්‍රහණයක් ලබන්නට ජවිපෙ සමත් වුනා (චන්ද්‍රිකා සමඟ සභාගය). එහෙත්, එයට හේතුව වූයේ ලංකාවේ මිනිස්සු හදිසියේම ජවිපෙ ප්‍රතිපත්ති පිළිගැනීම නෙමෙයි. ඔවුන්ට ප්‍රධාන පක්ෂ දෙකම එපා වීමයි. 

මේ අවස්ථාවේ වුවද ජවිපෙ කටයුතු කළේ සාමාන්‍ය මාක්ස්වාදී සමාජවාදී පක්ෂයක් ලෙසයි. ඔවුන්ව තෝරාගත් මිනිස්සුන්ට අවශ්‍ය පරිදි ජවිපෙ වෙනස් වුනේ නැහැ. ඒ නිසා, මැතිවරණ දේශපාලනය තුළ ඉදිරියට පැමිණීමට තිබුණු අවස්ථාව ජවිපෙට අහිමි වී ගියා. කෙසේ වුවද, මේ අවස්ථාවේදී මහජන නියෝජිතයින් සේ පත් වුනු ඇතැම් පුද්ගලයින් මේ උභතෝකෝටිකය තේරුම් ගත්තා. පක්ෂය වෙනස් කර ගන්න බැරි නිසා විමල් වීරවංශ වැනි ඇතැම් අය පක්ෂය අත හැර රැල්ල හමන පැත්තට පාවෙලා ගියා. තවත් අය මේ විදිහටම රැල්ල එක්ක පාවී ගොස් පක්ෂය දිය වීමේ අවදානම හමුවේ ජවිපෙ ටිකක් වෙනස් වුනා. ඒ වෙනස් වීම මුල් ස්ථාවරයට නොගැලපුණු නිසා පක්ෂයේ සිටි මූලධර්මවාදීන් ටික පෙසප ලෙස ඉවත් වී ගියා. ජවිපෙ රුවල් බිඳුණු ඔරුවක් වගේ දෙපැත්තට වැනෙන්න ගත්තා. මැතිවරණ කිට්ටු වෙද්දී ජනමතය පැත්තට නැමුනා. අනපේක්ෂිත මැතිවරණ ප්‍රතිඵල හමුවේ ආපහු න්‍යාය පැත්තට නැමුනා.

ඔහොම දෙපැත්තට වැනි වැනී හිටපු ජවිපෙ දැන් නැවතත් ජනමතය ගැන හිතන්න පටන් අරගෙන තිබෙනවා. මේ වෙනස වෙන්නේ හරිනි ජවිපෙ සමඟ සම්බන්ධ වීමෙන් පසුවයි. පසුගිය කාලය පුරාම ජවිපෙ පක්ෂයට පිටින් සිටි විවිධ උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන් පක්ෂය සමඟ සම්බන්ධ කර ගත්තත් ඒ කාටවත් ජවිපෙන් වෙනස් වූ ස්වාධීන දේශපාලන අනන්‍යතාවයක් තිබුණේ නැහැ. හරිනිට ඒ අනන්‍යතාවය වගේම අවශ්‍ය පෞරුෂයද තිබෙනවා. මම පෞද්ගලිකව හරිනිව ජවිපෙ මතවාදය සමඟ අනන්‍ය කර දකින්නේ නැහැ. ඇගෙන් නියෝජනය වන්නේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස්. අඩු වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කරා වෙනස් වීම මේ වෙලාවේ ජවිපෙ හමුවේ තිබෙන තෝරා ගැනීමක්.

සමාජවාදී පක්ෂයක් විදිහට ජවිපෙ/ජාජබ විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම, උගතුන් විසින් රට පාලනය කිරීම වෙනුවෙන්ද පෙනී සිටිනවා. තවත් විදිහකින් කිවුවොත් ජවිපෙ/ජාජබ පෙනී සිටින්නේ රජය මුල් වී (බටහිර) විද්‍යාවේ ආධිපත්‍යය පවත්වා ගැනීම වෙනුවෙන්. මේ කාරණයේදීත් ජවිපෙ/ජාජබට උභතෝකෝටිකයකට මුහුණ දෙන්න වෙනවා. ඒ, මේ පැකේජ් එක ගනිද්දී එහි කොටසක් ලෙස එන නූතන ආර්ථික විද්‍යාව අත හරින්න බැරි වීමයි. නූතන ආර්ථික විද්‍යාව හා මාක්ස්වාදය එකට පැකේජ් කරන්න බැහැ. සුනිල් හඳුන්නෙත්ති වැනි අයට ධනවාදය ගැන කතා නොකර වෙළඳපොළ ගැන කතා කරන්න සිදු වී තියෙන්නේ මෙවැනි පසුබිමක. 

මම මේ ටික ලියන්නේ සමච්චලයට නෙමෙයි. මෙය මම දකින හොඳ හැරවුමක්. හැබැයි ඒ එක්කම ජවිපෙ සාමාජිකයින් මෙන්ම නායකයින් බොහෝ දෙනෙකුට තවමත් සම්ප්‍රදායික ජවිපෙ මානසිකත්වයෙන් මිදෙන්න හැකි වී නැහැ. ජවිපෙ විසින් මුලින්ම කළ යුත්තේ තමන්ගේ සාමාජිකයින්ව යාවත්කාලීන කර ගැනීමයි. ජවිපෙ/ජාජබ විසින්ම හඳුනා ගන්නා පරිදි ඉදිරි මැතිවරණයකදී මුඛ්‍ය නිර්ණායකය වන්නේ රටේ ආර්ථිකය නිසා මෙය සෑහෙන බරක් තැබිය යුතු කරුණක්.

ධනවාදය වුවත් රජය මුල් වී ආධිපත්‍යවාදී ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මම පෙනී සිටින්නේ නැහැ. රජය විසින් සැලසුම්සහගතව ක්‍රියාත්මක කරන්න යන දෙයක් ධනවාදය වෙන්නෙත් නැහැ. හැබැයි රාජ්‍යමූලික සමාජවාදී ක්‍රමයක් ඇතුළේම වුනත්, වෙළඳපොළට ඉඩක් දීම එසේ නොදෙනවාට වඩා ගොඩක් සාර්ථක ක්‍රමයක්. චීනය කරන්නේ ඒකයි. 

ජවිපෙ/ජාජබට ප්‍රතිමුඛ වී සිටින චම්පිකගේ 43 බලකාය විසින්ද ජවිපෙ මෙන්ම උගතුන් විසින් රට පාලනය කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. මේ කණ්ඩායම් දෙකම පෙනී සිටින්නේ බටහිර විද්‍යාව වෙනුවෙන්. උගතුන් සේ සැලකෙන්නේ විධිමත් අධ්‍යාපනයක් ලැබූ අයයි. නූතන ආර්ථික විද්‍යාව වෙනුවෙන් පෙනී සිටීමේදී ජවිපෙ/ජාජබට මුහුණ දෙන්න වන ගැටළුවට මුහුණ දෙන්න නොවීම 43 බලකායට තිබෙන සාපේක්ෂ වාසියක්. 

නලින් ද සිල්වාගේ මතවාද අනුව යමින් බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට විරුද්ධ වූ පිරිස් සිටියේ මේ ආණ්ඩුව සමඟයි. ඔවුන් ඇතැම් විට බටහිර විද්‍යා ආධිපත්‍ය විරෝධය බටහිර විද්‍යා විරෝධයක් දක්වා දිගු කළ අවස්ථා තිබුණා. මේ වෙද්දී මේ බලවේග ආණ්ඩුව සමඟ විරසක වී ඇති බවක් පේනවා. ඇත්තටම මේ ආණ්ඩුව බලයට ගෙනාවේම එක් සංවිධානයක් තුළ ගොනු නොවී විසිරී සිටි මේ මතවාදය සමඟ සිටි පිරිසකගේ උදවුවෙන්. මේ මැතිවරණ සන්දර්භය තුළ මේ පිරිස යම් අවස්ථාවක කවුරු හෝ වටා එකතු වෙයි. මේ කණ්ඩායමට තිබුණු හා තිබෙන ලොකුම අඩුපාඩුව ආර්ථිකය කළමනාකරණය සම්බන්ධව කිසිදු විකල්ප මතවාදයක් නැති වීමයි. 

නලින් ද සිල්වාට ආර්ථිකය සම්බන්ධව විකල්ප මතවාදයක් හදා ගන්න නොහැකි වී තියෙන්නේ ඔහු ආර්ථික විද්‍යාව නොදැන සිටීම නිසාම නෙමෙයි. විධිමත් ලෙස හදාරා නැති වෙනත් විෂයයන් ගැනද ඔහුට විකල්ප අදහස් තිබෙනවා. ඔහුගේ ප්‍රශ්නය ඔහු මාක්ස්වාදය පිළිබඳ කොයි තරම් දරුණු විවේචකයෙකු වුවත් ආර්ථිකය තේරුම් ගැනීමේදී මාක්ස්වාදයේ රාමුව තුළම හිර වී සිටීමයි. දැනුමේ ආධිපත්‍යය පිළිබඳ නලින් ද සිල්වාගේ ප්‍රවාදයත් මාක්ස්වාදී රාමුවේම තිබෙන ප්‍රාග්ධනයේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රවාදයේම දිගුවක්. ඔහු දැනුමේ ආධිපත්‍යය දකින්නේ මාක්ස්වාදීන් ප්‍රාග්ධනයේ ආධිපත්‍යය දකින රාමුවේම සිටයි. ඒ නිසා, මේ ආධිපත්‍යයට එරෙහි විය හැකි ප්‍රායෝගික ක්‍රමයක් ගැන සිතන එක ඔහුට අසීරු වී තිබෙනවා.

දැනුම් කළමනාකරණය ලංකාවේ සන්දර්භයේදී විශාල දේශපාලනික වැදගත්කමක් තිබෙන කරුණක්. ලිපිය පටන් ගත්තේ පිරමිඩ් ක්‍රම ගැන ලියන්න හිතාගෙනයි. එය වෙන ලිපියකට තියමු.

වෙබ් ලිපිනය: