වෙබ් ලිපිනය:

Wednesday, April 22, 2026

සාඵල්‍යතා අනුපාතය සහ ජනවිකාශ ප්‍රවණතා


පසුගිය ජන හා නිවාස සංගණනයේ දත්ත මත පදනම්ව සිදු කර තිබෙන ඇස්තමේන්තු අනුව, ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අනුපාතය 1.3 දක්වා පහත වැටී තිබෙනවා. කිසියම් ජනගහණයක් ස්ථාවරව පැවතීම සඳහා අවශ්‍ය වන අවම සාඵල්‍යතා අනුපාතය 2.1ක් ලෙස සැලකෙන අතර ඉහත අගය එම අගයට වඩා බෙහෙවින්ම අඩු අගයක්. 

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සාඵල්‍යතා අනුපාතය පහත වැටී තිබෙන්නේ පහත පරිදියි.

1981: 3.3
2012: 2.4
2024: 1.3

සාඵල්‍යතා අනුපාතය පහත වැටීම, ලංකාවට අනන්‍ය නොවූ, ලෝකය පුරාම දැකිය හැකි ප්‍රවණතාවක්. ලෝක බැංකු දත්ත අනුව, ලෝකයේම සාඵල්‍යතා අනුපාතය පහත වැටී ඇත්තේ පහත පරිදියි.

1963: 5.3
1970: 4.8
1981: 3.7
1990: 3.3
2000: 2.7
2010: 2.6
2024: 2.2

ඉහත ලෝක බැංකු දත්ත අනුව, ලෝකයේම සාඵල්‍යතා අනුපාතය තවමත් 2.1 මට්ටමට වඩා යාන්තමින් වැඩි වුවත්, රටවල් වැඩි ගණනක එම අනුපාතය 2.1 මට්ටමට වඩා අඩුයි. ලෝකයේ සාමාන්‍ය අනුපාතය තවමත් 2.2 මට්ටමේ තිබෙන්නේ අප්‍රිකානු කලාපයේ හා අරාබි ලෝකයේ එම අනුපාත තවමත් ඉහළ මට්ටමක පවතින බැවිනුයි. 

නැගෙනහිර ආසියාව සහ පැසිෆික් දූපත්: 1.3
උතුරු ඇමරිකාව: 1.6
යුරෝපය සහ මධ්‍යම ආසියාව: 1.6
ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත්: 1.8
දකුණු ආසියාව: 2.0
අරාබි ලෝකය: 3.1
අප්‍රිකාව: 4.3

ලෝකයේ භූගෝලීය කලාප අතරින් අඩුම සාඵල්‍යතා අනුපාත වාර්තා වන්නේ නැගෙනහිර ආසියා කලාපය තුළයි. එම කලාපයේ රටවල් ගණනාවක අඩු සාඵල්‍යතා අනුපාත දැකිය හැකියි. 

දකුණු කොරියාව: 0.7
හොංකොං: 0.8
සිංගප්පූරුව: 1.0
චීනය: 1.0
ජපානය: 1.1

අඩු සාඵල්‍යතා අනුපාතයක් පැවතීම හේතුවෙන් ජපානයේ ජනගහණය 2010දී එහි උපරිමයට ලඟා වීමෙන් පසුව ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. චීන ජනගහණයද, 2021 වසරේදී එහි උපරිමයට ලඟා වීමෙන් පසුව අඩු වෙමින් තිබෙනවා. 2022දී වාර්තා වූ ලංකාවේ ජනගහණය (22,181,000) බොහෝ විට ලංකාවේ ජනගහණයේ උපරිම අගයයි.

ලංකාවේ විවිධ ජනවර්ග අතරින් අඩුම සාඵල්‍යතා අනුපාතයක් වාර්තා වන්නේ ප්‍රධානම ජනවර්ගය වන සිංහලයින් අතරයි. වැඩිම අනුපාතය ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම් ජනවර්ගය අතරින් වාර්තා වෙනවා. කෙසේ වුවද, එම අනුපාතය පවතින්නේද 2.1 මට්ටමට වඩා අඩු මට්ටමකයි.

සිංහල: 1.2%
ශ්‍රී ලංකා දෙමළ: 1.5%
ඉන්දියානු දෙමළ/ කඳුකර දෙමළ: 1.7%
ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම්: 2.0%

දිස්ත්‍රික්ක අනුව බලද්දී කොළඹ දිස්ත්‍රික්කයේ සාඵල්‍යතා අනුපාතය 1.0%කට සීමා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එම අනුපාතය 1.1%ක්. කළුතර, ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක වල 1.2%ක සාඵල්‍යතා අනුපාතයක් වාර්තා වෙනවා. ජනගහණය වැඩි නිරිතදිග තෙත් කලාපයේ අඩු සාඵල්‍යතා අනුපාතයන් වාර්තා වෙද්දී ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව සහ මන්නාරම දිස්ත්‍රික්ක වල 1.7%ක සාඵල්‍යතා අනුපාතයක් වාර්තා වෙනවා.

රටේ සාඵල්‍යතා අනුපාතය මේ තරමටම අඩු වීමට බලපා ඇති ප්‍රධාන කාරණයක් වන්නේ දරුවන් බිහි කළ හැකි වයසක සිටින කාන්තාවන් අතර විවාහක කාන්තා ප්‍රතිශතය පහත වැටීමයි. 2012-2024 අතර වයස අවුරුදු 15 ඉක්මවූ කාන්තාවන් අතර විවාහක කාන්තා ප්‍රතිශතය 67.9% සිට 63.6% දක්වා පහත වැටී තිබෙනවා. වයස අවුරුදු 15 ඉක්මවූ විවාහක කාන්තාවන්ගේ සාඵල්‍යතා අනුපාතය 2.7 මට්ටමේ තිබෙනවා. 

විවාහක කාන්තාවන්ගේ සාඵල්‍යතා අනුපාතය:
සිංහල: 2.5%
ශ්‍රී ලංකා දෙමළ: 3.0%
ඉන්දියානු දෙමළ/ කඳුකර දෙමළ: 3.3%
ශ්‍රී ලංකා යෝනක/ මුස්ලිම්: 3.4%
සාමාන්‍ය අගය: 2.7%

අඩු සාඵල්‍යතා අනුපාතයක් පැවතියද රටක ජනගහණය යම් කාලයක් යන තුරු වර්ධනය විය හැකියි. ඊට හේතුව ජනගහණ වර්ධන ගම්‍යතාවයයි. මෙය පැහැදිලි කර ගැනීම සඳහා කාන්තාවක විසින් දරුවන් බිහිකරන සාමාන්‍ය වයස අවුරුදු 25 ලෙසත්, ආයු අපේක්ෂාව අවුරුදු 75 ලෙසත් සලකමු.

පළමු පරම්පරාව:
උපත: 1950
දරුවන් බිහි කිරීම: 1975
සාඵල්‍යතා අනුපාතය: 4.0
අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන: 2
මරණය: 2025

ගැහැණු දරුවන් හරහා දෙවන පරම්පරාව:
උපත: 1975
දරුවන් බිහි කිරීම: 2000
සාඵල්‍යතා අනුපාතය: 2.0
එක කාන්තාවකගේ අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන: 1
අපේක්ෂිත මුළු ගැහැණු දරුවන් ගණන: 1*2 = 2
මරණය: 2050

ගැහැණු දරුවන් හරහා තුන්වන පරම්පරාව:
උපත: 2000
දරුවන් බිහි කිරීම: 2025
සාඵල්‍යතා අනුපාතය: 1.0
එක කාන්තාවකගේ අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන: 0.5
අපේක්ෂිත මුළු ගැහැණු දරුවන් ගණන: 0.5*2 = 1
මරණය: 2075

මේ අනුව පෙනෙන පරිදි, 2025 වන විට සාඵල්‍යතා අනුපාතය 1.0 දක්වා අඩු වී තිබුණත්, එක කාන්තාවකගේ අපේක්ෂිත ගැහැණු දරුවන් ගණන 0.5ක් පමණක් වුවත්, පළමු පරම්පරාවේ එක් ගැහැණියක මිය යන විට ඒ වෙනුවට එක් ගැහැණු ජනිතයෙකු බිහි වෙනවා. ඒ නිසා, 2000 වන විට සාඵල්‍යතා අනුපාතය 2.0 මට්ටම තෙක් පහත වැටී තිබුණත්, 2025 වන විටද ජනගහණය අඩු වීමක් සිදු වන්නේ නැහැ. එය සිදු වන්නේ 2050දී දෙවන පරම්පරාව මිය යන විටයි. ඒ කියන්නේ සාඵල්‍යතා අනුපාතය අවම මට්ටමට වඩා පහත වැටී වසර 50කට පමණ පසුවයි. 

ඉහත හේතුව නිසා, ඉදිරි වසර කිහිපය ඇතුළත ලෝක සාඵල්‍යතා අනුපාතය 2.1 මට්ටමෙන් පහළට වැටීමට නියමිතව ඇතත්, 2084 වසර පමණ වන තුරු ලෝක ජනගහණය වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ජනගහණ වර්ධන ගම්‍යතාවය හේතුවෙන් ලංකාවේ සාඵල්‍යතා අනුපාතය අඩු වුවද රටේ ජනගහණය තවත් කාලයක් යන තුරු වර්ධනය වීමට නියමිතව තිබුණත්, එය එසේ සිදු නොවීමට ප්‍රධානම හේතුව සංක්‍රමණ විශාල ලෙස සිදු වීමයි. 

2 comments:

  1. @ ඉකොනෝ

    ලංකාවේ මාධ්‍ය වාර්තා වල හැටියට පසුගිය 2024 සහ 2025 කියන වසර දෙකක වගේ කෙටි කාලයක් තුළ පමණක් වෛද්‍යවරුන් 1,800කට අධික පිරිසක් ලංකාව අතහැරලා ගිහින් තියෙනවා, ඒ අතරින් විශාල පිරිසක් නිර්වින්දන සහ හදිසි ප්‍රතිකාර වැනි අතිශය තීරණාත්මක අංශවල විශේෂඥ වෛද්‍යවරුන් වීම තමයි ලොකුම ඛේදවාචකය. IMF කොන්දේසි නිසා පනවන ලද 36%ක් දක්වා වූ ඉහළ පුද්ගල ආදායම් බදු බර සහ දරාගත නොහැකි ජීවන වියදම හමුවේ, රජය රුපියල් මිලියන ගණනක් වැය කරලා නොමිලේ උගන්වපු අපේ ඉංජිනේරුවන්, මෘදුකාංග නිර්මාණකරුවන් සහ ව්‍යවසායකයන් අද බටහිර රටවල ආර්ථිකයන් ශක්තිමත් කරන්න තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙනවා.

    ඇත්තටම ඉකොනෝ, අපි මේ කරන්නේ ලෝකයේ ධනවත්ම රටවලට නොමිලේ බුද්ධි ආධාර ලබාදීමක් වැනි වැඩක් මොකද එක වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් බිහි කරන්න ලංකාවේ සාමාන්‍ය බදු ගෙවන්නා රුපියල් ලක්ෂ සිය ගණනක් වක්‍රව ආයෝජනය කරලා තියෙනවා, ඒත් අන්තිමට ඒ ආයෝජනයේ ප්‍රතිලාභ නෙළාගන්නේ එක්සත් ජනපදය බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව හෝ කැනඩාව වැනි රටවල්. මේ බුද්ධි ගලනය නිසා අද අපේ රටේ IT ක්ෂේත්‍රයේ වර්ධනය 20%කින් පමණ මන්දගාමී වෙලා තියෙනවා කියලා Research වලි තියෙනව වගේම, රෝහල්වල දැඩි සත්කාර ඒකක පවා වසා දැමීමට සිදුවන තත්ත්වයක් උදාවෙලා, ඉතින් බදු බරට බයේ උගත් තරුණයෝ රට අතහැරලා යන එක නතර කරන්න බැරි වුණොත්, අපිට ඉතුරු වෙන්නේ නඩත්තු කරන්න බැරි තරම් ණය බරක් සහ මහලු ජනගහනයක් විතරක් තියෙන හිස් රටක් විතරයි නේද? අන්තිමට රට හිරවෙන්නේ විෂම චක්‍රයක නේද?

    ReplyDelete
    Replies
    1. ලංකාවට පැමිණ සේවය කරන්න වෙනත් රටවල ශ්‍රමිකයින්ට අවස්ථාව නැති නිසා ශ්‍රමය ගලා යන්නේ එක පැත්තකට පමණයි. යම් ක්ෂේත්‍රයක ශ්‍රම හිඟයක් ඇත්නම් වෙනත් රටවල වෘත්තිකයින්ට අවස්ථාව දීම මගින් ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. IT ක්ෂේත්‍රයනම් ඉදිරියේදී ලොකුවට වර්ධනය වෙන එකක් නැහැ. ඉදිරියේදී දැනට තියෙන රස්සා ටිකත් නැති වෙද්දී ඉන්න ශ්‍රමිකයින් ප්‍රමාණය වුනත් ඕනෑවට වඩා වැඩි වෙයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: