ගිය (2026) මාර්තු මාසයේදී ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරකයින් 183,979 දෙනෙකු පමණයි. මෙය සංචාරක මණ්ඩලයේ අපේක්ෂිත සාමාන්‍ය ගණන වූ 248,660ට සාපේක්ෂව 26.0%ක අඩු වීමක්. පෙර (2025) වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 19.8%ක අඩු වීමක්.
පෙබරවාරි මාසය තුළ සංචාරකයින් 279,328 දෙනෙකු රටට පැමිණුනු අතර එම ප්‍රමාණය සංචාරක මණ්ඩලය විසින් අපේක්ෂා කළ සාමාන්‍ය ගණන වූ 270,255ට වගේම, උපරිම ඇස්තමේන්තුව වූ 278,255ටත් වඩා වැඩි ප්‍රමාණයක්. මෙය පෙබරවාරි මාසය තුළ සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් රටට ලැබීමට හේතු වුනා. මාර්තු මාසයේදී මේ තත්ත්වය ආපසු හැරී තිබෙනවා.
සංචාරක පැමිණීම් අඩු වීමට හේතුව ඉරාන යුද්ධය බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහි බලපෑම තිබෙන්නේ සංචාරක කර්මාන්තයට පමණක් නෙමෙයි. සංචාරක කර්මාන්තයේ ආදායම් පහත වැටීමට අමතරව, ශ්‍රී ලංකාව විසින් ඉන්ධන ආනයනය සඳහා දැරිය යුතු පිරිවැයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඉහත තත්වයන් විසින් රටේ විදේශ අංශය විශාල ලෙස ආතතියට ලක් කර ඇති බව පැහැදිලි කරුණක්. කෙසේ වුවද, ඩොලරයක මිල ඉහළ යාමට ඉඩ හැරීම මගින් මහ බැංකුව විසින් තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සමත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන පාලිත පාවෙන විණිමය ප්‍රතිපත්තිය අනුව, පසු ගිය මාසය තුළ මහ බැංකුව විසින් ඩොලරයක මිල ඕනෑවට වඩා ඉහළ යන දින වල වෙළඳපොළට ඩොලර් සපයමින් සහ අනෙකුත් දින වල ඩොලර් මිල දී ගනිමින් විණිමය අනුපාතයේ අහිතකර විචලනයන් සීමා කරන අතරම ශුද්ධ වශයෙන් යම් ඩොලර් ප්‍රමාණයක් එකතු කර ගැනීමටද සමත් වී තිබෙනවා. මෙවැනි අසීරු තත්ත්වයක් යටතේ වුවද, විදේශ සංචිත නොවිකුණා කීයක් හෝ එකතු කර ගැනීම අගය කළ යුතු දෙයක්.
විදේශ අංශය යහපත්ව පැවති වසරේ පළමු දෙමස තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 661.3ක මුදලක් ශුද්ධ වශයෙන් එකතු කර ගෙන තිබුණා. මාර්තු මාසයේ පැවති අහිතකර තත්ත්වයන් තුළද තවත් ඩොලර් මිලියන 48.8ක මුදලක් ශුද්ධ වශයෙන් එකතු කර ගැනීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. මේ අනුව පැහැදිලිවම පෙනෙන්නේ නිවැරදි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන්නේනම් මෙවැනි දරුණු කම්පනයකට වුවද මුහුණ දීම අසීරු නොවන බවයි.
මාර්තු මාසය අවසාන වන විට පැවති දළ නිල විදේශ සංචිත ප්‍රමාණය තවමත් ප්‍රසිද්ධ කර නැහැ. මාසය තුළ ශුද්ධ වශයෙන් විදේශ විණිමය මිල දී ගෙන ඇතත්, මහ බැංකුවේ ණය ගෙවීම් වෙනුවෙන් ඊට වඩා වැඩි මුදලක් වැය කර ඇත්නම් විදේශ සංචිත යම් තරමකින් පහළ යා හැකියි.
යුද වාතාවරණයේ වෙනසක් නොමැති බැවින් අප්‍රේල් මාසයේ තත්ත්වය මාර්තු මාසයේ තත්ත්වයට වඩා හොඳ වීමට හේතුවක් නැහැ. කෙසේ වුවද, අප්‍රේල් මාසය තුළ නොවේනම් මැයි මාසයේදී හෝ මූල්‍ය අරමුදලේ වාරික දෙකක්ම එක වර ලැබීමට නියමිතයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 700කට ආසන්න මුදලක්.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.