පසු ගිය සංගණන දිනය වන විට ආපසු පැමිණීමේ අදහස අත නොහැර විදේශගතව වාසය කළ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 672,249ක් ලෙස ගණන් කර තිබෙනවා. මෙම ගණනට,
- මාස හයකට අඩු කාලයක් සඳහා විදේශගතව ඇති ශ්‍රී ලාංකිකයින් ඇතුළත් වන්නේ නැහැ. ඒ කියන්නේ විදේශගතව වාසය කළ අය මිස තාවකාලිකව විදේශ සංචාර වල යෙදුණු අය ගණන් ගෙන නැහැ.
- කිසියම් විදේශ රටක පුරවැසි භාවය හෝ ස්ථිර පදිංචිය ලබා ගෙන ඇති අයද ගණන් ගෙන නැහැ. ඒ කියන්නේ ආපසු පැමිණීමේ අදහසක් නොමැති අයව ගණන් ගෙන නැහැ.
එමෙන්ම, මෙම ගණන් ගැනීම සිදු කර තිබෙන්නේ පවුලේ සාමාජිකයින්ගෙන් ලබා ගත් තොරතුරු මත පදනම්ව බැවින්, පවුල පිටින්ම විදේශගත වී ඇති අය පිළිබඳ තොරතුරු මෙම ගණනට ඇතුළත්ව නැහැ. ඒ නිසා, මෙය සැලකිය හැක්කේ විදේශගත ශ්‍රී ලාංකික ජනගහණය පිළිබඳ අවම ඇස්තමේන්තුවක් ලෙසයි.
මෙම ප්‍රමාණයෙන් 94.7%ක්ම වයස අවුරුදු 18-60 අතර අයයි. ඔවුන්ගෙන් 577,919 දෙනෙකු (මුළු ප්‍රමාණයෙන් 86.0%ක්) රැකියා සඳහා විදේශගතව සිටින අතර 53,621දෙනෙකු (මුළු ප්‍රමාණයෙන් 8.0%ක්) අධ්‍යාපනය සඳහා විදේශගතව සිටිනවා. පවුලේ සාමාජිකයින් සමඟ විදේශගතව ඇති ප්‍රමාණය 38,218ක්.
මෙම අවම ඇස්තමේන්තුව අනුව වුවද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් 12.8%ක් විදේශගතව ජීවත් වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් 10.6%ක් විදේශගතව ජීවත් වෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම ප්‍රතිශතය 9.5%ක් වන අතර මහනුවර දිස්ත්‍රික්කයේ 8.5%ක්.
රටවල් අනුව ව්‍යාප්තිය පහත පරිදියි.
කුවේට් - 15.2%
එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 14.8%
සවුදි අරාබිය - 11.6%
කටාර් - 10.5%
ඉතාලිය - 6.0%
ජපානය - 5.4%
ඕස්ට්‍රේලියාව - 5.0%
දකුණු කොරියාව - 3.5%
එක්සත් රාජධානිය - 2.8%
කැනඩාව - 2.3%
මාල දිවයින - 1.8%
ඕමානය - 1.8%
ඇමරිකා එක්සත් ජනපදය - 1.7%
මැලේසියාව - 1.6%
ඊශ්‍රායලය - 1.4%
ජෝර්දානය - 1.2%
අනෙකුත් රටවල් - 13.4%
- රැකියා සඳහා විදේශගතව සිටින කාන්තාවන්ගෙන් 34.3%ක්ම සිටින්නේ කුවේටයේ වන අතර, සවුදි අරාබියේ 18.4%කුත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 12.7%කුත් වාසය කරනවා. ඉතාලියේ රැකියා කරන කාන්තාවන් ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 4.8%ක්.
- රැකියා සඳහා විදේශගතව සිටින පිරිමින්ගෙන් 18.3%ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද, 16.8%ක් කටාර්හිද, 10.0%ක් සවුදි අරාබියේද ජීවත් වෙනවා. කුවේට්හි තවත් 7.8%ක්ද, ඉතාලියේ 6.3%ක්ද සේවය කරනවා.
- අධ්‍යාපනය සඳහා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් 24.1%කගේ ගමනාන්තය ඕස්ට්‍රේලියාව වන අතර 21.3%කගේ ගමනාන්තය ජපානයයි. එක්සත් රාජධානිය සහ කැනඩාව බලා ගොස් ඇති ප්‍රමාණ පිළිවෙලින් 9.0%ක් සහ 7.4%ක්.
- පවුලේ සාමාජිකයෙකු සමඟ වාසය කිරීම සඳහා පිටව ගොස් ඇති අයගෙන් 14.5%ක් ඉතාලියේ වාසය කරන අතර 11.2%ක් ඕස්ට්‍රේලියාවේත්, තවත් 11.2%ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේත් වාසය කරනවා. තවත් 9.1%ක් එක්සත් රාජධානියේ සිටිනවා.
පසුගිය (2025) වසර තුළ ලංකාවට වැඩිපුරම විදේශ ප්‍රේෂණ පැමිණි රටවල් දහය මෙලෙස පෙළ ගැස්විය හැකියි.
කුවේටය - ඩොලර් මිලියන 839.80 (10.4%)
එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඩොලර් මිලියන 822.46 (10.2%)
සවුදි අරාබිය - ඩොලර් මිලියන 747.82 (9.3%)
එක්සත් රාජධානිය - ඩොලර් මිලියන 717.89 (8.9%)
කටාර් - ඩොලර් මිලියන 657.47 (8.1%)
ඇමරිකා එක්සත් ජනපදය - ඩොලර් මිලියන 559.24 (6.9%)
ඉතාලිය - ඩොලර් මිලියන 540.14 (6.7%)
දකුණු කොරියාව - ඩොලර් මිලියන 484.47 (6.0%)
ඕස්ට්‍රේලියාව - ඩොලර් මිලියන 373.94 (4.6%)
ඊශ්‍රායලය - ඩොලර් මිලියන 280.10 (3.6%)
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.