විණිමය අනුපාතය කියා කියන්නේ මුදල් ඒකක දෙකක සාපේක්ෂ වටිනාකම් පෙන්නුම් කරන නිර්ණායකය. විණිමය අනුපාතයක හැම විටම දෙපැත්තක් තිබෙනවා. උදාහරණයක් විදිහට ඩොලරයකට සාපේක්ෂව රුපියලක වටිනාකම සහ රුපියලකට සාපේක්ෂව ඩොලරයක වටිනාකම.
ප්‍රායෝගිකව ඩොලරයකට සාපේක්ෂව රුපියලක වටිනාකම දිහා බලන තරම් උනන්දුවකින් කවුරුවත් රුපියලකට සාපේක්ෂව ඩොලරයක වටිනාකම ගැන හොයන්න වද වෙන්නේ නැහැ. රුපියල් වල වටිනාකම ගැන කතා කරද්දී අවිවාදිත ලෙසම ඩොලරය ඊට වඩා ගොඩක් වටිනා මුදල් ඒකකයක් ලෙස සලකලයි කටයුතු කෙරෙන්නේ. ඩොලරයට රුපියල මත විශාල බලපෑමක් කළ හැකි වුවත්, රුපියලට ඩොලරය මත බලපෑමක් කළ නොහැකි තරම්. ඒ නිසා, රුපියලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම මනින එකේ ඒ තරම් වැදගත්කමක් නැහැ.
මේ තර්කය හැම මුදල් ඒකකයකටම එක සේ බලපාන්නේ නැහැ. යුරෝ, පවුම්, යෙන් වගේ මුදල් ඒකක වලට ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු වටිනාකමක් තිබෙනවා. ඒ නිසා, එවැනි මුදල් ඒකක වලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම අඩු වී ඇත්නම් එය ඩොලරය දුර්වල වීමක් ලෙස හඳුනා ගන්න පුළුවන්.
මේ වසරේ පළමු මාස හයක කාලය ඇතුළත ඇමරිකන් ඩොලරය වාර්තාගත ලෙස අවප්‍රමාණය වී තිබෙනවා. මෙම අවප්‍රමාණය වීම බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව 10.7%ක්, යුරෝවට සාපේක්ෂව 14.4%ක් සහ ජපාන යෙන් මුදලට සාපේක්ෂව 9.8%ක්.
මෙම කාලය ඇතුළත ශ්‍රී ලංකා රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 2.4%කින් අවප්‍රමාණය වී තිබෙනවා. මෙය ඒ තරම් විශාල අවප්‍රමාණය වීමක් නෙමෙයි. නමුත්, රුපියල මේ විදිහට 2.4%කින් අවප්‍රමාණය වී තිබෙන්නේ අනෙක් මුදල් ඒකක වලට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූ මුදල් ඒකකයකට සාපේක්ෂවයි. ඒ නිසාම, එම මුදල් ඒකක වලට සාපේක්ෂව රුපියල සැලකිය යුතු ලෙස දුර්වල වී තිබෙනවා.
වසරේ පළමු මාස හය ඇතුලත ශ්‍රී ලංකා රුපියල බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව 12.2%කින්, යුරෝවට සාපේක්ෂව 16.5%කින් සහ ජපාන යෙන් මුදලට සාපේක්ෂව 11.7%කින් අවප්‍රමාණය වී තිබෙනවා. මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම කෙරෙහි ඇමරිකන් ඩොලරයේ වටිනාකම බලපෑම් කරන ආකාරයයි.
ඇමරිකාවේ වත්මන් ආණ්ඩුව රටේ වෙළඳ ශේෂ හිඟය අඩු කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව මෙය කියවන කවුරුත් දන්නා කරුණක්. රටක එක දිගට වෙළඳ ශේෂ හිඟයක් පැවතීමටනම් එම රටට වෙනත් ආකාරයකින් විදේශ විණිමය ගලා ආ යුතුයි. එසේ වෙනත් ආකාර වලින් විදේශ විණිමය ගලා ඒම මුදල් ඒකකය ශක්තිමත් කරනවා.
ඉහත හේතුව නිසාම ඇමරිකාවේ වෙළඳ ශේෂය අඩු කර ගැනීමේ උත්සාහය අනිවාර්යයෙන්ම ඩොලරය දුර්වල වීමකින් අවසන් විය යුතුයි. එහෙත් මෙහිදී සිදු වන්නේ ඇමරිකන් ඩොලරය "කඩා වැටීමක්" නෙමෙයි. ඕනෑවට වඩා ශක්තිමත්ව ඇති ඇමරිකන් ඩොලරය එය තිබිය යුතු නියම තැන ස්ථානගත වීමයි.
ඇමරිකාවේ වෙළඳ ශේෂය අඩු කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගත් ප්‍රතිපත්ති තීරණ ගැනීම් තවමත් අවසන්ව නැහැ. ඒ නිසා, ඇමරිකන් ඩොලරය දුර්වල වීමේ ප්‍රවණතාවතාවද තවමත් අවසන්ව නැහැ. වසර අවසන් වෙද්දී ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක තවදුරටත් ශක්තිමත් වීමට නියමිතව ඇති බව පැහැදිලියි.
කෙසේ වුවද, මේ අයුරින් ඇමරිකන් ඩොලරය දුර්වල වෙමින් තිබුණත්, තව දුරටත් අනෙකුත් මුදල් ඒකක වල වටිනාකම් ප්‍රකාශ කෙරෙන්නේ ඩොලරයට සාපේක්ෂව බැවින් ඩොලරය දුර්වල වීම නිරූපණය වන්නේ අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක ශක්තිමත් වීමක් ලෙසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකන් ඩොලර් වලින් ප්‍රකාශයට පත් කෙරෙන බ්‍රිතාන්‍යයේ, ජපානයේ, යුරෝපීය සංගමයේ රටවල සහ අනෙකුත් බටහිර රටවල් ගණනාවක ඒක පුද්ගල ආදායම් මෙම වසර තුළ සැලකිය යුතු ලෙස ඉහළ යාමට නියමිතයි. අදාළ රටවල දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය ගැනද කියන්නට තිබෙන්නේ එයයි.
ඩොලරය දුර්වල වෙද්දී ඇමරිකන් අපනයන ලාබදායී වී ඇමරිකාවට කරන ආනයන මිල අධික වෙනවා. මෙහි ප්‍රතිඵලය ඇමරිකාවේ වෙළඳ ශේෂ හිඟය අඩු වීමයි. කෙසේ වුවද, චීන යුවාන මුදලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය දුර්වල වී තිබෙන්නේ 1.9%කින් පමණක් වන අතර ඒ නිසාම චීන යුවාන මුදලට සාපේක්ෂව රුපියල දුර්වල වී තිබෙන්නේ 4.4%කින් පමණයි.
මූල්‍ය අරමුදල විසින් ලංකාවට ණය ලබා දෙන්නේ SDR මුදල් ඒකක වලින් වන අතර එම මුදල අනෙකුත් මුදල් වර්ග හා හුවමාරු කරගත හැකියි. එම මුදල් ඒකකයට සාපේක්ෂව ඩොලරය දුර්වල වීම නිසා (ඩොලරයට සාපේක්ෂව SDR මුදල් ඒකකය ශක්තිමත් වීම නිසා) මේ වන විට ලැබී තිබෙන SDR මිලියන 254ක මුදලේ ඩොලර් වටිනාකම ඩොලර් මිලියන 350 පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෙර වාරිකද SDR වලින් සමාන මුදලක් වුවත් ඩොලර් වටිනාකම වූයේ ආසන්න වශයෙන් මිලියන 333ක පමණ මුදලක්. ඊළඟ වාරිකයේ ඩොලර් වටිනාකම මීටත් වඩා ඉහළ යා හැකියි.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.