වෙබ් ලිපිනය:

Thursday, July 10, 2025

සීයට තිහේ අලුත් බද්ද

මේ වෙද්දී ඇමරිකාව ලංකාවේ අපනයන මත 30%ක අමතර බද්දක් පනවා තිබෙනවා. මෙය මුලින් දමපු 44% බද්ද එක්ක බලද්දී සැලකිය යුතු හොඳ මට්ටමක් වුවත් 30%ක අමතර බද්දක් කියා කියන්නේ සතුටු වෙන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. නමුත් ආණ්ඩුවට මැදිහත් වී මේ බද්ද මීට වඩා අඩු කර ගැනීමේ විභවයක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. වෙන ආණ්ඩුවක් තිබුණත් බොහෝ විට මේ ප්‍රතිඵලයේ වෙනසක් සිදු වෙන එකක් නැහැ.

බද්ද පැනවීමෙන් පසුව ආණ්ඩුව කටයුතු කළ ආකාරයේ කියන්න වැරැද්දක් නැහැ. මේ බද්ද තනිකරම මෙන් ඇමරිකාවේ ඒකපාර්ශ්වික තීන්දුවක්. රාජ්‍ය නායකයින්ට ලිපි ලියා තිබෙන ආකාරයෙන්ම මේ තීරණයේ අධිපතිවාදී ස්වරූපය පැහැදිලිව පෙනෙනවා. ඇමරිකාවේ ආණ්ඩුව විසින් තනිව තීරණය කර නියෝග ස්වරූපයෙන් ඒ තීරණය දැනුම් දීමකුයි මෙහිදී සිදු වී තිබෙන්නේ.

මේ වගේ අවස්ථාවකදී දැක්විය හැකි ප්‍රතිචාර වර්ග දෙකක් තිබෙනවා. එකක් ඇමරිකාවේ තීරණයට ප්‍රතිරෝධය දැක්වීම. චීනය වැනි රටවල් විසින් කළේ එයයි. දෙවන ක්‍රමය කණ පාත් කරගෙන ඇමරිකාව කියන දේ පිළිගැනීම. 

ඔය ක්‍රම දෙකෙන් ලංකාව හමුවේ තිබුණු හොඳම ප්‍රතිචාරය දෙවැන්නයි. ඊට හේතුව ඇමරිකාව ලංකාවට සාපේක්ෂව සුපිරි බලවතෙක් වීම නෙමෙයි. ඇමරිකාව හා ලංකාව අතර සිදු කෙරෙන ද්විපාර්ශ්වීය වෙළඳාම ලංකාවට ඉතාම වාසි සහගත එකක් වීමයි. මේ බද්ද නිසා ඒ වාසිය අඩු වුනත්, තවදුරටත් මේ වෙළඳාමේ වාසිය තියෙන්නේ ලංකාවටයි. 

ප්‍රතිරෝධයක් දක්වන්න ගියානම් වෙන්නේ දැනට තිබෙන වාසියත් නැති වෙන එක. කරන්න ඉතිරි වී තිබුණේ කණ පාත් කරගෙන "හරි සර්. අපි කරන්න ඕනෑ මොකක්ද?" කියලා අහන එක විතරයි. ආණ්ඩුව විසින් කරන්න ඇත්තේ එයයි. එහෙම කළානම් එහි වැරැද්දක් නැහැ. 

දෙවන වටයේ තීරු බදු අනුපාත තීරණය කිරීම් තවමත් අවසන්ව නැතත් දැනට ප්‍රකාශිත අනුපාත දෙස බලද්දී සංශෝධන සිදුව ඇති ආකාරය ගැන අදහසක් ගන්න පුළුවන්. පළමු වටයේ තීරු බදු තීරණය කර තිබුණේ ඉතාම යාන්ත්‍රික ලෙස සමීකරණයක් අනුවයි. සමීකරණය නිවැරදිද යන්න වෙනම ප්‍රශ්නයක්. එම තීරු බදු වලට භූ දේශපාලනය සම්බන්ධ වී තිබුණේ නැහැ. 

දෙවන වටයේදී සිදුව තිබෙන්නේ මුල් වටයේ යාන්ත්‍රික ලෙස තීරණය කළ බදු වෙනත් කරුණුද සලකා සීරුමාරු කිරීමක්. එහිදී ලංකාව වැනි ඇතැම් රටවලට මේ බදු නිසා සිදු විය හැකිව තිබුණු හානිය සීමා වී තිබෙනවා. එසේ ලංකාව වැනි රටවලට සිදු විය හැකි හානිය සීමා කර තිබෙන්නේ එයින් ඇමරිකාවට ලොකු පාඩුවක් සිදු නොවන නිසා. දෙවන වටයේ බදු සංශෝධන කිරීමේදී සලකා බලා ඇති කරුණු කිහිපයක් හඳුනා ගන්න පුළුවන්.

- රටවල් වැඩි ගණනක් 25%, 30%, 35% වැනි සමාන බදු කාණ්ඩ වලට දැමීම. මෙය ඇමරිකාවට පරිපාලනමය වශයෙන් පහසුයි.

- ආසන්න රටවල් අතර තීරුබදු වෙනස්කම් අඩු කිරීම. මේ මගින් වෙනත් රටවල් හරහා ඇමරිකාවට භාණ්ඩ එවීම සීමා කරගන්න පුළුවන්. කොයි තරම් වහසිබස් දෙඩුවත් ඔය වැඩේ වෙන එක පරිපාලනමය ලෙස පාලනය කරන්න අමාරුයි. නමුත් තීරු බදු වෙනස්කම් සීමා කිරීම මගින් මෙය කළ හැකියි. මෙහිදී භූගෝලීය සහ වෙළඳ සබඳතා යන නිර්ණායක දෙකම සලකමින් ආසන්න රටවල් නිර්ණය කර තිබෙනවා.

- ලෝක වෙළඳ ක්‍රමයේ සුසමාදර්ශ වෙනසක් වන මෙම තීරු බදු හේතුවෙන් සිදු වන වෙළඳපොළ නැවත සකස්වීමේ කම්පනය අවම කිරීම.

මේ සියල්ල කර තිබෙන්නේ ඇමරිකාවේම වාසියට වුනත්, දෙවන හා තුන්වන කරුණු දෙක නිසා ලංකාවට සිදු විය හැකි හානිය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

ලංකාවේ අපනයන වලින් 22%ක් පමණම මිල දී ගන්නේ ඇමරිකාවයි. එයින් 75%ක් පමණම ඇඟලුම්. ඉතිරි කොටසේ රබර් නිෂ්පාදන, තේ, මැණික් ඇතුළු තවත් දේ තිබෙනවා. වෙනත් බොහෝ දේ ඇමරිකාවට අපනයනය කෙරෙන නමුත් ලංකාවේ ආර්ථිකයට ලොකුම බලපෑමක් වෙන්නේ ඇඟලුම් අපනයන වලිනුයි.

ලංකාවේ අපනයන වලින් විශාල පංගුවක්, හයෙන් පංගුවක් පමණ, ඇමරිකාවට සිදු කරන ඇඟලුම් අපනයන වුනත් ඇමරිකාවේ ඇගලුම් ආනයන වලින් ලංකාවේ පංගුව 1.5%ක් පමණයි. ඇමරිකාවට ඇඟලුම් අපනයනය කරන ප්‍රධාන රටවල් දහය අතර ලංකාව නැහැ. ඒ නිසා, ලංකාවේ ඇඟලුම් නැත්තටම නැති වුනත් එය ඇමරිකාවට දැනෙන්නේ නැහැ.

ඇමරිකාවට ඇඟලුම් එවන ප්‍රධානම රටවල් වන්නේ චීනය හා වියට්නාමයයි. අසල්වැසි ඉන්දියාව, බංග්ලා දේශය සහ පකිස්ථානයත් මුල් රටවල් දහය අතර ඉන්නවා. කලාපයක් ලෙස ඇමරිකාවට වැඩිපුරම ඇඟලුම් එවන්නේ ආසියාව වුවත්, දකුණු ඇමරිකාවේ භූමිකාව නොසලකා හරින්න බැහැ. මෙක්සිකෝව වගේම නිකරගුවා, හොන්ඩියුරාස් වගේ රටවලුත් ඉන්නේ ලංකාවට උඩින්. පහත තිබෙන්නේ ඇමරිකාවට ඇඟලුම් එවන රටවල වෙළදපොළ පංගු.

චීනය - 29.6% 

වියට්නාමය - 12.7%

ඉන්දියාව - 8.0%

බංග්ලා දේශය - 6.1% 

මෙක්සිකෝව - 4.5%

ඉන්දුනීසියාව - 3.9% 

පකිස්ථානය - 3.3%

කාම්බෝජය - 3.0% 

ඉතාලිය - 2.8%

තුර්කිය - 2.2%

හොන්ඩියුරාස් - 2.2%

නිකරගුවා - 1.5%

ශ්‍රී ලංකාව - 1.5% 

ජෝර්දානය - 1.4%

කැනඩාව -1.4%

එල් සැල්වදෝර් - 1.4%

ගෝතමාලාව - 1.3%

ඊජිප්තුව - 1.2%

දකුණු කොරියාව - 1.1% 

තායිලන්තය - 1.0% 

දැනට ප්‍රකාශිත තොරතුරු අනුව මේ ලැයිස්තුවේ ඇති ආසියානු රටවල් සඳහා බලපාන තීරු බදු අනුපාතය 30%කට ආසන්නයි. ඒ නිසා ලංකාවේ ඇඟලුම් කම්හල් කලාපයේ රටකට විතැන් වීමේ අවදානමක් ලොකුවට පෙනෙන්න නැහැ. ඉන්දියාවට මුල් වටයේ දමා තිබුණේ 26%ක තීරු බද්දක්. එය ලොකුවට අඩු වුනේ නැත්නම් අවසාන වශයෙන් බලද්දී කලාපයේ තීරුබදු අනුපාත කැරකෙන්නේ 30% සීමාව ආසන්නයේ. 5%ක වෙනසකට ආයෝජන රටකින් රටකට ගෙනියන්න තිබෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා, ලංකාවේ ඇඟලුම් කම්හල් කලාපයේ අනෙක් රටවලට විතැන් වීමේ අවදානමක් ලොකුවට පෙනෙන්න නැහැ. 

පොදුවේ ආසියානු කලාපය සඳහා වන තීරුබදු 30% සීමාව ආසන්නයේ තියෙද්දී, දකුණු ඇමරිකානු රටවල් සඳහා පැනවෙන්නේ 10%ක තීරු බද්දක් පමණයි. ඒ නිසා, ඇඟලුම් කම්හල් ආසියානු කලාපයේ සිට දකුණු ඇමරිකානු කලාපය දක්වා විතැන් වීමේ විභවයක් තිබෙනවා. එසේ සිදු වීම ඇමරිකාවේ භූ දේශපාලනික අරමුණු එක්කත් පෑහෙනවා. 

මෙයින් අදහස් වෙන්නේ තීරුබදු පැනවීමෙන් පසුව ලංකාවේ තිබෙන කම්හල් ගලවාගෙන ගිහින් දකුණු ඇමරිකාවේ තියයි කියන එක නෙමෙයි. එවැන්නක් සිදු වනු ඇත්තේ වඩා සුමට ආකාරයකිනුයි. ඉදිරි වසර වලදී අලුතෙන් ඉදි කෙරෙන ඇගලුම් කම්හල් ආසියාවට නොපැමිණ දකුණු ඇමරිකාවට යන්න පුළුවන්. ඒ වගේම ආසියානු කලාපයේ ඇඟලුම් කම්හල් විශාලනය කිරීම් නවතින්න පුළුවන්. ඇඟලුම් කර්මාන්තයේ ප්‍රතිලාභ නැවත රට තුළම ආයෝජනය කිරීම සීමා වෙන්න පුළුවන්.

ඇඟලුම් කම්හලක් වැහෙද්දී මෙන් මේ දේවල් ඇහැට පෙනෙන එකක් නැහැ. නමුත් ආයෝජන අඩු වෙනවා කියන්නේ ආර්ථික වර්ධනය සීමා වෙනවා කියන එක. ඒ වගේම විණිමය වෙළඳපොළ තුළ පීඩනය ඉහළ යනවා කියන එක. මේ බලපෑම් ඉදිරි වසර කිහිපය තුළ ඇති වෙන්න පුළුවන්. 

4 comments:

  1. 'කරන්න ඉතිරි වී තිබුණේ කණ පාත් කරගෙන "හරි සර්. අපි කරන්න ඕනෑ මොකක්ද?" කියලා අහන එක විතරයි. ආණ්ඩුව විසින් කරන්න ඇත්තේ එයයි'

    ඉකොනොත් පච කොටාගෙ මාලිමා ආණ්ඩුවට කොචෝක් දානවා නේද.

    හදුන්නෙත්තියා යැව්වා නං මොනා කියයිද දන්නේ නෑ.

    වොෂින්ටන් මහින්ද සමරසිංහ හින්දා මෙහෙම සහනයක් ලැබුනේ

    ReplyDelete
  2. ඉකොනො

    30% ක වැඩිවීම නම් එච්චරම ලොකු ඉෂූ එකක් නෙවෙයි නේද? කලින් ඩොලර් සීයට විකුණපු එකේ මිල ඩොලර් 130 ක් වගේ පොඩි ගානක් වැඩි වුණාට ඇත්තටම එක්සත් ජනපදය වගේ රටවල වෙළඳ සමාගම් අධික ලාබයක් තියාගෙන විකුණන්නේ, ලංකාවෙන් ඩොලර් 100ට ගේන භාණ්ඩ එහේ විකුණන්නේ අඩුම ඩොලර් දාහකට අධික මිල ගණන්වලට ඒ නිසා ඒ අය ගාන අඩුකරගන්න වියට්නාමය වගේ රටවලට නොගියොත් ලොකු අවුලක් නෑ නේද?

    ලංකාවේ නූතන සමාජය දෙස බලන විට පැහැදිලි වන ප්‍රධාන කාරණයක් නම්, කලින් තිබූ පන්ති බෙදීම් වන "මධ්‍යම පන්තිය" හෝ "පීඩිත පන්තිය" වැනි ඒවා දැන් වැඩිය අදාළ නැති බවයි. ඇත්තටම අපි හැමෝම ඉන්නේ එකම අමාරු තත්ත්වයක කිව්වොත් එය නිවැරදියි, ආණ්ඩුව කියන නිර්ධන පංතියකියලා මගුලක් දැන් නෑ,"අස්වැසුම" වැනි රජයේ ආධාර ලැබෙන අයටත් වඩා අමාරුවෙන් ජීවත් වෙන මධ්‍යම පන්තියේ පිරිස් අද අප අතර ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, දෛනික වියදම් පවා පියවා ගැනීමට නොහැකිව අසරණ වී සිටිනවා. මේ නිසා, "අස්වැසුම" වැනි වැඩසටහන්වලට පමණක් සහන සීමා කිරීම සාධාරණද කියා අප නැවත සිතා බැලිය යුතුයි. මේ අමාරුකම්වලින් පීඩා විඳින මධ්‍යම පන්තියේ දරුවන්ටත් යම් සහනයක් ලබා දීම කාලීන අවශ්‍යතාවක්. ඒ වගේ ලංකාවේ වැරදි විදියට පාවිච්චි කළ ගෝලීය සංකල්ප දෙකක් තමයි සුබසාධනය (welfare) සහ සමාජ ආරක්ෂණය (social protection) කියන්නේ.

    මේ දෙක එකට පටලවාගෙන, දේශපාලන වැඩසටහනක් ලෙස මුලින්ම ඉදිරිපත් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ එස්.බී. දිසානායකයි. මේ ව්‍යාකූලත්වය නිසා අදටත් අපිට මේ දෙකෙන් සිදුවිය යුතු සැබෑ ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. මේ අවුල දැන්වත් ලිහා දමා මේ සංකල්ප දෙකේ වෙනස හරියට තේරුම් ගැනීම වැදගත්.

    ඇත්තම කියනවා නම්, සුබසාධන වැඩසටහන් කියන්නේ කිසිම දෙයක් කරගන්න බැරි, සමාජයේ ඉන්න අසරණම පිරිසට උදව් කරන්නයි. උදාහරණයක් විදියට, ආබාධිත පුද්ගලයන්, වයස්ගත වැඩිහිටියන්, නිදන්ගත රෝග ඇති අය සහ කිසිම කෙනෙක් නැති අසරණ මිනිසුන් වැනි අය වෙනුවෙන් තමයි මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ශිෂ්ට සමාජයක වගකීමක් තමයි මේ වගේ අසරණ මිනිසුන්ව බලාගැනීම. ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය මූලික දේවල් ලබා දීම මේ වැඩසටහන්වල ප්‍රධාන අරමුණයි.

    ඒත් සමාජ ආරක්ෂණය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මේක යම්කිසි නිශ්චිත අරමුණක් වෙනුවෙන්, යම් කාලයකට, යම් පිරිසකට ලබා දෙන දීමනාවක්. උදාහරණයක් විදියට, ඉගෙන ගන්න දරුවෙකුට අධ්‍යාපනය අවසන් වෙනකම් දෙන ආධාරයක් වෙන්න පුළුවන්. නැත්නම් රැකියාවක් කරන්න පුළුවන් කෙනෙක්ට, හදිසියේ ඇතිවන ආර්ථික අපහසුතාවක් (උදා: රැකියාව නැතිවීමක්) දරාගන්න දෙන මූල්‍ය දිරිගැන්වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම දරිද්‍රතාවයෙන් ගොඩ එන්න, නිශ්චිත සැලැස්මකට අනුව දෙන මූල්‍ය වැඩසටහන් (බොහෝ විට 'Cash for Work' වැනි වැඩසටහන්) ද මෙයට අයත් වෙනවා. මේ වගේ දීමනා ලැබෙන අයට නිශ්චිත රාජකාරියක් පවරනවා. ඒ හරහා ඔවුන්ව ආර්ථික දියුණුවට දායක කර ගන්නවා.
    දැන් හොඳට හිතලා බලන්න, මේ ඉහතින් කියපු විදියටද ලංකාවේ සුබසාධන සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඇත්තටම නම් එහෙම වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ලංකාව 17 වෙනි වතාවට IMF පරිවාස භාරයට පත්කරන වෙලාවෙත් IMF එකෙන් ලංකාවට ණය දෙනකොටත් එයාලා ලංකාවට අනිවාර්යයෙන්ම කරන්න කියලා අණ කරපු ප්‍රධාන කොන්දේසිවල නිර්දේශයක් විදියට කිව්වේ සමාජ ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි ඔවුන් විශේෂයෙන් කිව්වා මේ වැඩසටහන අනිවාර්යයෙන්ම රාජ්‍ය බැංකු හරහා ක්‍රියාත්මක කරන්න කියලා. ඒකට හේතුව තමයි, සමෘද්ධි බැංකු හරහා මේවා කළොත් සිදුවන අයථා ක්‍රියා සහ අකාර්යක්ෂමතාවය ගැන ඔවුන් සැක කරපු නිසයි.

      ලංකාවෙ කලින් සමාජ සේවා දෙපාර්තමේන්තුවක් තිබුණා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම නැති කරලා, ජනසවිය සමෘද්ධි, දිවි නැඟුම වගේ දෙපාර්තමේන්තු හැදුවා ඒකෙන් ඒ කාලේ වාසියක් තිබුණාට දැන් මේ දෙපාර්තමේන්තු පවත්වාගෙන යන්න රජය විශාල මුදලක් වියදම් කරනවා. ඇත්තටම මේ දෙපාර්තමේන්තු කරන වැඩ සාමාන්‍ය බැංකු හරහා ඊට වඩා හොඳින්, කාර්යක්ෂමව කරන්න පුළුවන්. එතකොට මේ වැඩසටහන් පහසුවෙන් ඩිජිටල්කරණය කරන්නත් පුළුවන්. එතකොට බදු ගෙවන මිනිසුන්ටත් මේ ගැන විනිවිදභාවයකින් තොරතුරු ලබා ගන්න පුළුවන් නේද? මේ නිසා දැන්වත් මේ සුබසාධන සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් දෙක වෙන් කරලා, නිවැරදිව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් රටට විශාල යහපතක් වේවි නේද?

      ආර්ථික විද්‍යා මූලික සංකල්ප අනුව ලංකාවේ වර්තමාන ආර්ථික හා සමාජ තත්ත්වය තුළ, සාම්ප්‍රදායික පන්ති බෙදීම් අභාවයට යමින් ඇති බවට වන තර්කය, ආර්ථික විද්‍යාත්මකව ඔබ පැහැදිලි කරන්නේ කෙසේද? මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපෑ ප්‍රධාන ආර්ථික හා සමාජ සාධක මොනවාද?

      "සුබසාධනය" සහ "සමාජ ආරක්ෂණය" යන සංකල්ප දෙක ශ්‍රී ලංකාවේ ව්‍යාකූල ලෙස භාවිත කිරීම හේතුවෙන්, ජාතික අයවැය මත සහ ආර්ථික වර්ධනය මත සිදුව ඇති නිශ්චිත සෘණාත්මක බලපෑම් ගණනය කළ හැකි ආර්ථික විද්‍යාත්මක විශ්ලේෂණ ක්‍රමවේදයන් මොනවාද?

      ජා. මූල්‍ය අරමුදල (IMF) විසින් සමාජ ආරක්ෂණ වැඩසටහන් රාජ්‍ය බැංකු හරහා ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කිරීම, සමෘද්ධි බැංකු පද්ධතියේ පවතින ආයතනික අකාර්යක්ෂමතාවයන් සහ දූෂණ අවදානම් ආර්ථික විද්‍යාත්මකව තක්සේරු කරන්නේ කෙසේද? මෙම වැඩසටහන් "ඩිජිටල්කරණය" කිරීමෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ, පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණයක් ඔස්සේ සවිස්තරාත්මකව ඉදිරිපත් කළ හැකිද?

      සමෘද්ධි සහ දිවි නැඟුම වැනි දෙපාර්තමේන්තු පවත්වාගෙන යාමට වැය වන අධික පිරිවැය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට බලපාන්නේ කෙසේද? මෙම අරමුදල් වෙනත් උපායමාර්ගික ආයෝජන (උදා: අධ්‍යාපනය, සෞඛ්‍ය, තාක්ෂණය) සඳහා යොමු කිරීමෙන් ආර්ථිකයට ඇති විය හැකි ආන්තික ප්‍රතිලාභ (Marginal Benefits) ආර්ථික විද්‍යාත්මකව ගණනය කරන්නේ කෙසේද?

      Delete
    2. මේ පොන්නය මේ පල් හෑලි ලියන්න කොහොම වෙලාව වෙන් කරගන්නවද දන්නෑ.

      කීල්ස්අ එකේ රෙන ලගොඩු පොන්නයා වෙන්න ඕනී.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: